2017-04-29

කම්කරුවනි, පාලක මධ්‍යම පන්තියට විරෝධය පළ කරන්නට මැයි දිනය වර්ජනය කරමු

කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන මධ්‍යම පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීම පිණිස, සැබෑ කම්කරුවන් කොහේවත් නො ගොස් තමන්ගේ දූ දරුවන් සමග ගෙදර සිටිය යුතු බව අපේ අදහසයි. 

ලංකාව පාලනය කරන මධ්‍යම පන්තිය ප්‍රධාන වශයෙන් ම යැපෙන්නේ රජයෙනි. රජයේ සිය ලාභ පංගුව කොන්ත්‍රාත්, කොමිස්, වැටුප් ආදිය හරහා බෙදා ගැනීම පිණිස මෙම පන්තියේ ස්ථර අතර ගැටුමක් තිබේ. පහත දැක්වෙන්නේ අප මෙම මධ්‍යම පන්තිය නියෝජනය කරන පක්ෂ ඒවායේ පදනම අනුව හඳුනා ගන්නා ආකාරයයි.

එජාප: ව්‍යවසායක හිතවාදී නාගරික මධ්‍යම පන්තිය
ශ්‍රීලනිප: ග්‍රාමීය මධ්‍යම පන්තිය
පොදු ජන පෙරමුණ: රාජ්‍ය මූලික කොල්ලකාරී මධ්‍යම පන්තිය
ජවිපෙ: මධ්‍යම පන්තියේ පහළ ස්ථරය
පෙසප: මධ්‍යම පන්තියේ පහළ ස්ථරයේ රැඩිකල් බලවේගය
ජාතික හෙළ උරුමය: සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තිය
දෙමළ ජාතික සන්ධානය: දෙමළ ජාතිකවාදී මධ්‍යම පන්තිය
බොදු බල සේනා: සිංහල ජාතිවාදී මධ්‍යම පන්තිය
දෙමළ මහජන සභාව: දෙමළ ජාතිවාදී මධ්‍යම පන්තිය
මුස්ලිම් කොංග්‍රසය: මුස්ලිම් මධ්‍යම පන්තිය

ලංකාවේ සැබෑ කම්කරුවන්ගේ ඍජු නියෝජනයක් තිබෙන පක්ෂ ලෙස සැලකිය හැක්කේ වතු කම්කරු පක්ෂ පමණි. එහෙත්, ඒවායේ නායකත්වය හැම විට ම ඉහළ පන්තික ය. මෙම ප්‍රජාව තුළ ශක්තිමත් මධ්‍යම පන්තියක් නැතිකම නායකයන් විසින් සිය වාසිය සඳහා උපයෝගී කර ගනු ලැබේ.

ලංකාවේ තිබෙන සෙසු දේශපාලන පක්ෂවලට පැහැදිලි ජන පදනම් නැති නිසා ඒවායේ පන්ති පදනම් විමසන්නට යාම තේරුමක් නැත. බොහෝ බෝඩ් ලෑලි වනාහි පක්ෂ ලෙස පෙනී සිටින මධ්‍යම පන්තික පුද්ගලයෝ ය. 

මේ කවුරු කවුරුත් කම්කරු දිනය සමරන්නේ තමන් කම්කරුවන් ය, තමන් වැඩ කරන්නේ කම්කරු පන්තිය වෙනුවෙන් ය ආදිය කියමිනි. එහෙත්, මේ කිසිදු පක්ෂයක නායකයකු කිසිදු දිනෙක ඵලදායී වැඩ කරන කම්කරුවකු ලෙස වැඩ කර තිබේ ද යන්න සැක සහිත ය. අඩු තරමේ වාමාංශික පක්ෂයක හෝ එවැනි කම්කරුවකුට නමට හෝ නායකත්වය ලැබී නැත. 

ලංකාවේ ශ්‍රම බලකායෙන් 35%කට වඩා කාන්තාවෝ ය. ඵලදායී වැඩ කරන කම්කරුවන් අතර කාන්තා ප්‍රතිශතය ඉතා ඉහළ ය. උදාහරණයක් ලෙස මැද පෙරදිග කම්කරුවන්, වැවිලි කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන් අතර කාන්තා ප්‍රතිශතය ඉහළ ය.

එහෙත්, කම්කරු දිනවල වේදිකාවල කතා කරන, පෙළපාලි යන පිරිසෙන් 5%ක්වත් කාන්තාවන් නො වේ. එපමණක් නොව, මෙම පක්ෂවල ඉහළ මණ්ඩලවල කාන්තාවක් ඉන්නේ ඉතා කලාතුරකිනි. 

මැයි දින පවත්වන වෘත්තීය සමිති ද තිබේ. ඒවායෙන් වැඩි හරියක් ද රජයෙන් යැපෙන මධ්‍යම පන්තිකයන්ගෙන් සැදුම් ලත් ඒවා මිස ඵලදායී වැඩ කරන කම්කරුවන් නියෝජනය කරන සමිති නො වේ. පෞද්ගලික අංශයේ ද වෘත්තීය සමිති බලයක් ඇත්තේ බැංකු වැනි තැන්පතු පොළියත්, ණය පොළියත් අතර දැවැන්ත පරතරය ඔස්සේ මහජනයා සූරා කා ඉහළ වැටුප්, විශ්‍රාම වැටුප් වැනි වරප්‍රසාද රැසක් ලබා ගන්නා සේවකයන් නියෝජනය කරන සමිතිවලට ය. 

ඇඟලුම් කම්කරුවන් වැනි ප්‍රජාවන් වෘත්තීය සමිතිවල නියෝජනය වන්නේ ඉතා සුළුවෙනි. ඇතැම් වෘත්තීය සමිති, සේවකයන්ගේ සමිතිවලට වඩා රාජ්‍ය නොවන සංවිධානයි. 

වෘත්තීය සමිති යනු ලාභදායී ව්‍යාපාරයකි. එය මැනැවින් කළමනාකරණය කර ගත් දක්ෂයෝ සිටිය හ. ඇතැමෙකු මහා විප්ලවවාදියකු යයි සිතන, එහෙම ෆැන්ටසියක ද සිටි බාලා තම්පෝ එවැන්නෙකි. මැරෙන කල් ම, අවුරුදු පනහකටත් වඩා සමිතියේ ලේකම්කම දැරීමෙන් ම මෙම සමිතිවල තත්වය පැහැදිලි කර ගත හැකි ය.

තම්පෝගෙන් පසු හොඳම මැනේජර් මුරුත්තෙට්ටුවේ ආනන්ද නම් වන වෘත්තීය සමිති නායකයා ය. 

මා ඉහත ලියන ලද මගුල් එකක්වත් කම්කරුවන්ට අදාළ නැති මුත්, මේ ජවුසන් නටන්නේ කම්කරුවන්ගේ නමිනි. ඵලදායී වැඩ කරන කම්කරුවන් මේ විකාරවලට දැන්වත් විරුද්ධ විය යුතු ය. 

ඵලදායී වැඩ කරන සැබෑ කම්කරු කොටසක සැබෑ උවමනාවන් තේරුම් ගන්නට නිර්මානශීලී උත්සාහයක් ජාතික හෙළ උරුමය විසින් දරා තිබේ. එය ඇගයිය යුතු ය.


අනෙකුත් පක්ෂ පැත්තකින් තබා වාමාංශික යයි හඳුන්වා ගන්නා පක්ෂවලට අප මෙම අභියෝගය කරන්නෙමු. 

ඔබ පෙනී සිටිනවා යයි කියන කම්කරුවා ගැන ඔබ දන්නේ කුමක් ද? ආපසු සිතා බලන්න. 

කොටින් ම කම්කරුවා යනු කවරෙක් ද? කම්කරුවන් නො වන්නේ කවරෙකු ද? වර්තමාන කම්කරුවා තේරුම් නො ගෙන කළ හැකි සමාජ වෙනසක් නැත. 

අප නම් ඉතා පැහැදිලිව ම කියන්නේ බලවත් කළ යුත්තේ රජයේ සේවකයන් නොවන බවයි. බලවත් කළ යුත්තේ රජය කර තබාගෙන යන, රජයේ සේවාවන් නිසි ලෙස නො ලබන, කොන් කරන ලද, එහෙත්, ඵලදායී වැඩ කරන කම්කරුවන් ය. අප පෙනී සිටින්නේ ඔවුන් වෙනුවෙන් ය. අපට අප පෙනී සිටින කම්කරු පන්තිය ගැන පැහැදිලි ස්ථාවරයක් තිබේ. එවැනි ස්ථාවරයක් තිබෙන එකදු වාමාංශික පක්ෂයක්වත් ලංකාවේ නැත. (මෙම ලිපියත් කියවන්න)

පීඩිතයන් ගැන කතා කරනවා නම්, රටේ ප්‍රධාන ම පීඩිත බලවේගය ඉන්නේ ඔබේ ගෙදර ය. ඒ සැමියා මැයි පෙළපාලියට කොළඹ ගිය මැයි දිනයේත් ගෙදර සිට දරුවන් බලා කියා ගනිමින්, උයා පිහා, රෙදි සෝදා වහලියක සේ වැඩ කරන ගැහැනියයි. 

රටේ ජනගහණයෙන් 51%ක් කාන්තාවන් වන මුත් නිල ශ්‍රම බලකායෙහි කාන්තා නියෝජනය 35%කි. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 6%කි. පළාත් සභාවල කාන්තා නියෝජනය 4%කි. පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය තිබුණේ 2%ක මට්ටමේ ය. දැන් පළාත් පාලන ඡන්ද හදිසි වී ඇති අය අමතක කරන කාරණයක් වන්නේ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් බවට පත් කිරීම සඳහා රජය අලුතින් ගෙනැවිත් තිබෙන නීති සමග අලුත් ක්‍රමයට මැතිවරණ පැවැත්වීමට කටයුතු කළ යුතුව ඇති බවයි. 

මේ ඊනියා කම්කරු දිනයේ කම්කරුවන්, පීඩිතයන් ගැන කරන බොල් කතා අසන්නට කම්කරුවන් මැයි දිනයට නො යා යුතු ය. 

අපි දැන් කලක සිට මෙම අභියෝගය වාමාංශිකයන් ඉදිරියේ තබා තිබේ. එය නො දැක්කා සේ සිටීමේ හැකියාව දැන් අහෝසි වී යමින් තිබෙන බව මේ මැයි දිනයේ හෝ අවබෝධ කර ගන්න. දැන් සංවාදය විවෘත ය. බිය නො වී ඉදිරියට එන්න. කම්කරුවා කවු ද? 
 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

“ALL 4 DAMMA’S LIFE” (ධම්මගේ දිවි සුරකින්නට සියල්ලන් කැපවී...)

Dhamma 
ජීවිතය ඇත්තෙන් ම කාරුණික නැත. මා හඳුනන කිහිප දෙනෙකු ම වකුගඩු ආබාධවලට ලක් වූ හ.

වකුගඩු ආබාධිත තත්වයට පත් වූවන්ට වකුගඩුවක් සොයා ගැනීම පහසු කටයුත්තක් නො වේ. එය ශරීරයට ගැලපීම විරල ය. එසේම, වකුගඩු ආබාධිතයන් වැඩි වීමත් සමග ම දැවැන්ත වකුගඩු ජාවාරමක් ද රටෙහි ක්‍රියාත්මක වේ. විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් චිත්‍ර‍පටය එය යන්තම් ස්පර්ශ කර තිබිණි.

වකුගඩු රෝගියකු යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් ලබමින් කලක් ජීවත් වන අයෙකි. දින දෙක තුනකට වරක් රුධිරය පිරිසිදු කර ගැනීමෙන් මරණය කල් දමා ගනිමින් ජීවත් වන මුත්, වකුගඩුවක් බද්ධ කර ගන්නා තෙක් ඔවුන්ට අපරිමිත වේදනාවකට ලක් වීමට සිදු වේ. වකුගඩුව බද්ධ කර ගැනීමෙන් අනතුරුව ද ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ අවදානම් රැසක් මැද ය. පසුගිය කාලයේ පැතිරුණු දරුණු උණ රෝගය වැන්නක් වකුගඩු බද්ධ කළ අයෙකුට දරා ගැනීම පහසු නැත.

වකුගඩු රෝගයකින් පෙළෙන පුද්ගලයකු සිටින පවුලක් මුහුණ දෙන්නේ දැවැන්ත ආර්ථික කුණාටුවකටයි. රුධිර කාන්දුකරණය වෙනුවෙන් යන අති දැවැන්ත වියදම නිසා මේ පවුල් ආර්ථික වශයෙන් හාන්සි වෙයි. වකුගඩු බද්ධයට, ඖෂධවලට යන වියදම් ද අති විශාල ය.

ලංකාවේ ආණ්ඩුව හා රජය නඩත්තු කිරීමට වැය වෙන මහා ධනස්කන්ධයෙන් අංශු මාත්‍ර‍යක් හෝ ප්‍ර‍මාණවත් තරම් රුධිර කාන්දුකරණ යන්ත්‍ර‍ රජයේ රෝහල්වලට ලබා දීම සඳහා වෙන් කරන්නේ නම් මේ මිනිසුන්ගේ ජීවිතයට මඳ සැනසුමක් හෝ ලබා දිය හැකි ය.

ධම්ම සඳරුවන් යනු ලංකාවේ විකල්ප සංගීත අවකාශයන් තුළ තාල වාදනය අනුරාගයෙන් හදාරමින්, භාවිතාවේ යෙදවූ කලා ශිල්පියෙකි. මේ වන විට ඔහු ද දරුණු වකුගඩු ආබාධයකට ලක්ව සිටියි.

පහත දැක්වෙන සටහන අපට එව්වේ අප මිත්‍ර‍ ජයාන් පතිරණ විසිනි. කලාකරුවකුගේ ජීවිතය රැක දීම වෙනුවෙන් පැවැත්වෙන මෙම අපූරු ප්‍ර‍සංගයට සහභාගි වී, ඒ ව්‍යායාමයේ නියැලී සිටින මිනිසුන් අගයන්නටත්, ධම්මගේ තාල වාදනයක් හෙටත් අසන්නට ඔහුගේ ජීවිතය රැක දීමටත් ඔබේ දායකත්වය සපයන්න.

ජීවිතය කුරිරු ය. මරණය භාර ගැනීමට මිනිසා පහසුවෙන් සූදානම් නැත. ධම්මටත්, වකුගඩු රෝගවලින් පෙළෙන සැමටත් දිරි දෙමි.

“All 4 DAMMA’S LIFE” යනු රත්මලාන ප්‍රදේශයේ වෙසෙන, “ධම්ම සඳරුවන්” නැමැති කලාකරුවාගේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කමට අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන සංගීතමය වැඩසටහනකි. මෙය “BLACK & WHITE” නමැති තේමාව යටතේ 2017 මැයි මස 07 වැනි දින මීගමුව මාරිස්ටෙලා විද්‍යලයීය ශ්‍රවණාගරයේදී ප.ව. 7.00 සිට පැවැත්විමට නියමිත අතර ප්‍රසංගයේ තේමාවට අනුකූල පරිදි කළු සහ සුදු ඇඳුමින් සැරසී සහභාගිවීම අපේක්ෂා කෙරේ.

මෙම රෝගී කලාකරුවා තම වකුගඩු බද්ධ කිරිමේ සැත්කමට නියමිත අවසන් කාල පරිච්ඡේදයට සමීපව ඇති බැවින්, ප්‍රමුඛ කලාකරුවන් පිරිසක් සහ “SHANE ZING WITH LINE ONE” සංගීත කණ්ඩායම එකම වේදිකාවකට එක්ව, කිසිඳු මුදල් අයකිරිමකින් තොරව සිය නිර්මාණ ඉදිරිපත් කරමින් මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට දායක වේ.

මෙම ප්‍රසංගය සඳහා ඇතුල්වීමේ ගාස්තුව රු.1000/- කි. ප්‍රසංගය තුළින් ලැබෙන සෑම රුපියලක්ම “ධම්ම සඳරුවන්” කලාකරුවාගේ වකුගඩු බද්ධ කිරිමේ සැත්කම වෙනුවෙන් පිරිනැමේ.
ධම්ම


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-27

එස් එෆ් ලොක්කන්ගේ ලංකාවට සරත් ෆොන්සේකා

කලත්තෑව මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය ඇල්ෆ්‍ර‍ඩ් සොයිසාගේ පුත් වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතනය කිරීමෙන් ප්‍ර‍සිද්ධියට පත් එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව පැමිණි පසු භික්ෂූන් සමග එක් වෙමින් ජාතිවාදී වීරයෙකු සේ හැසිරෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු සම්බන්ධ ඇතැම් වීඩියෝ සමාජ මාධ්‍යවල ද පළ වූ අතර ඔහු කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් අනුරාධපුරයේ කරගෙන යන බවට වාර්තා ලැබිණි.

මේ වීරයා එස් එෆ් ලොක්කා ලෙස හැඳින්වුණ ද ඔහු සේවය කර ඇත්තේ ජාතික ආරක්‍ෂක බලමුළුවේ (කලින් ග්‍ර‍මාරක්ෂක) බව පොලිසිය කියයි. (මූලාශ්‍ර‍ය මෙතැනින්)

ලංකාව වනාහි මෙවැනි එස් එෆ් ලොක්කන්ගේ රටකැයි කීවාට වරදක් නැත. එස් එෆ් ලොක්කා කරාටේ වසන්ත මරන්නට යන්නේ සමූහයක් සමග සන්නද්ධව ය. ඒ පෞද්ගලික ආරාවුලකට ය. එහෙත්, පසුව එය මතු කර පෙන්වන්නට හදන්නේ රට, ජාතිය, ආගම, අනුරාධපුරය වෙනුවෙන් කරන මෙහෙයක් ලෙසයි. එහෙත්, මේ වීරත්වයට ඔබින භාෂාව, හැසිරීම ආදිය ඔහු දන්නේ නැත. එපමණක් නොව, කැටපත් පවුර සේ කුරුටු ගාන ලද පච්චවලින් පිරුණු ඔහුගේ ශරීරය හෝ මේ වැඩේට ගැලපෙන්නේ නැත.

මෙවැනි වීරයන් ඕනෑ තරම් මේ සමාජ මාධ්‍ය අවකාශයේ ද සිටිති. ඉස්සරහට මුණ ගැසුණු විට මුහුණ බලන්නට ආත්ම ශක්තියක් නැති ඇතැමෙකු ෆේස්බුක්හි කුණුහරුපෙන් බහ තේරූ සිරා චන්ඩි ය.

මුළු ලංකාව ම මේ වගේ ය. තනි තනියෙන් ගත් කල බස් කොන්දොස්තරලාටත් බිය අන්තිම බියගුල්ලන් රංචු ගැසී මොබ් මානසිකත්වයෙන් පොදු ජනතාවට හිරිහැර වන අන්දමින් හැසිරෙන කඩාකප්පල්කාරීන් හා ත්‍ර‍ස්තවාදීන් බවට පත් වීම ලංකාවේ ඉතා සුලබ ය. 

සරළව කිව්වොත් ග්‍රාමාරක්ෂකයන් විශේෂ කාර්ය බලකාය සේ ඇඳ ගැනීම හෙවත් කොටළුවන් සිංහ හම් පොරවා ගැනීම ලංකාවේ දේශපාලන අවකාශයේ අති සුලබ ය. 

පුද්ගල අනන්‍යතාවට, විදේශ සංචාරයට, පාස්පෝට් එකට, උප්පැන්න සහතිකයට, පක්ෂ අරමුදලට වංචා කරන, මාධ්‍ය වීරයන් වීමට අම්මා වුණත් පාවා දෙන, වාසියට සිවුරට මුවා වෙන, සිත් පතුළේ සඟවා ගත් සමාජ විරෝධිත්වයන් දේශපාලනයට ගෙන එන නිල්, රතු, කොළ, කහ අමනයන් නායකත්වය දෙන දේශපාලනයක මෙවැනි තත්වයක් ඇති වීම පුද්මයට කරුණක් නො වේ.

2015 ජනවාරි 8 බලයට පැමිණි රජයේ කුමන අඩුපාඩු තිබුණත්, එම රජය විසින් රටේ ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය පුළුල් කිරීමට සැලකිය යුතු පියවර රැසක් ගන්නා ලදී. පසුගිය වසර දෙකහමාරක කාලය තුළ දේශපාලන නායකයන්ගේ මෙහෙයවීමෙන් මහජන මුදලින් මහජනයා ඝාතනය කිරීම හෝ නතර වී තිබිණි. ඇතැමෙකුට ලොකුම ප්‍රශ්නය එයයි. අද නැති නම් හෙට ආණ්ඩුව මිනී මරත්වා යි ඔවුන් ප්‍රාර්ථනා කරන්නේ දැන් අවුරුදු දෙකහමාරකට එපිට සිට ය. එසේ මරන කල තමන් බේරී වෙනත් මෝඩයන් පිරිසක් ඉස්සරහට යවන හැටි ඔවුහු හොඳින් දනිති.

බොහෝ අය මෙම ප්‍ර‍ජාතාන්ත්‍රික අවකාශය අපහරණය කළ හ. රජයේ ප්‍ර‍ජාතාන්ත්‍රික පිළිවෙත් විහිළුවට ලක් කළ හ. රංචු ගැසීමේ හැකියාව පාවිච්චි කරමින් ප්‍ර‍ජාතාන්ත්‍රික නො වන උද්ඝෝෂණ, වර්ජන ආදිය මෙහෙයවමින් පොදු මහජනතාවට හිරිහැර කළ හ.

මේ අතරවාරයේ මේ පිරිස් අනියමින් ප්‍ර‍වර්ධනය කළ තවත් කරුණක් වන්නේ ගෝඨාභය රාජපක්ෂ වැනි කෘර පුද්ගලයකුට බලය ලබා දීම මෙම තත්වයට විසඳුම බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් රටේ විනය ඇති කිරීම සඳහා විශේෂ බලතල සහිත තනතුරක් සරත් ෆොන්සේකාට ආරාධනා කරන්නේ මෙම වාතාවරණය තුළ ය.

රටේ විනයක් නැති බව ඇත්ත ය. එහෙත්, විනය ඇති කිරීම සඳහා මිලිටරි හා පැරාමිලිටරි බලතල පාවිච්චි කිරීම කෙතරම් සාර්ථක වේ ද යන්න එම ව්‍යාපෘතියට නායකත්වය දෙන අය මත තීරණය වනු ඇත. 

කෙසේ වෙතත්, පසුගිය වසර දෙක තුළ අප දුටු දෙය වන්නේ රජයට පාලනය කරන්නට ඉඩ නො දෙන්නේ යයි දැඩි අධිෂ්ඨානයකින් යුතුව රාජපක්ෂවාදී බලවේගය හා ඔවුන්ට නියමින් හා අනියමින් උදව් කරන වාමාංශික, වෘත්තීය සමිති හා මධ්‍යම පංතික කල්ලි කණ්ඩායම් කටයුතු කරන බවයි. 

මෙහිදී මහජනතාව වැඩ නිමවා නිවෙස් බලා යන වේලාවට පාරවල් අවහිර කිරීමේ සිට අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීම දක්වා ත්‍රස්තවාදී ස්වරූපයේ පියවර රැසක් පසුගිය සමයේ දක්නට ලැබිණි. 

එවැනි තත්වයක් තුළ රජයකින් මෙවැනි ප්‍රතිචාරයක් පළ වීම පුදුම විය යුතු තත්වයක් නො වේ. 

සරත් ෆොන්සේකා ගැන අපට කීමට තිබෙන්නේ ඔහු පැහැදිලිව ම ගෝඨාභය රාජපක්ෂ වැන්නකු නො වන බවයි. ඔහු හමුදාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ චර්යාව කෙසේ වෙතත්, ඔහු දේශපාලනයට පිවිසි පසු අප ඔහු වෙතින් දුටුවේ ප්‍රජාතන්ත්‍රවාදයට, ලිබරල්වාදයට නැඹුරු වෘත්තිකයකුගේ චර්යාවකි. ඔහු දේශපාලනයේදී ගත් වැරදි තීන්දු තිබෙන්නට පුළුවන. එහෙත්, ඔහු දේශපාලන බලය හමුවේ මිනිසුන් පැහැරගෙන යමින්, පහර දෙමින්, මරා දමමින් උම්මත්තකයකු ලෙස නො හැසිරුණු බව නම් අපි දනිමු. 

රජය පාලනය ස්ථාපිත කළ යුතු ය. එහෙත්, සාධාරණ මහජන උද්ඝෝෂණවලට අවස්ථාව ද දිය යුතු ය. හැබැයි, උද්ඝෝෂණ මගින් මොබ්වලට රට පාලනය කිරීමට ද ඉඩ නො දිය යුතු ය. 

ප්‍රජාතන්ත්‍රවාදය යනු කඩාකප්පල්කාරිත්වය සඳහා අවකාශයක් නො වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-26

රට යාම හා පාරිභෝජනවාදය

කසල කළමනාකරණය ගැන පුහුණු වෙන්නට පිටරට ගිය නිලධාරීන් ගැන ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා ඇත. මේ සටහන ඒ ගැන නො වේ. රට යාම ගැනයි.

ලංකාව කුඩා දූපතකි. මිනිසා සංචරණයට ලොල් සතෙකි. එසේම, සංචරණය ධනේශ්වර පාරිභෝජනවාදී ජීවිතය තුළ ප්‍ර‍වර්ධනය කරනු ලබන ව්‍යාපාරයකි.

සංචරණය නරක දෙයක් නො වේ. එහෙයින්, සංචරණය පාරිභෝජනවාදී ය කියා අවමන් කිරීම සුදුසු නැත.

එහෙත්, සංචරණය පාරිභෝජනවාදී වන ආකාර තිබේ. උදාහරණයක් ලෙස, ලංකාවේ මිනිසුන් කරන ට්‍රිප් යාම කියන වැඩේ සලකා බලන්න. වාහනවල තෙරපී අරවා මේවා කකා, මග දිගට කුණු දමමින්, සමාරම්භයේ සිට සමාප්තිය දක්වා අරක්කු බොමින්, ඒ බෝතල් කුඩු කර තමන් නැරඹූ සුන්දර ස්ථානවල දමමින්, ගිය තැන්වලින් රවුම් ගල් කැටයක් හෝ ගෙදර ගෙන එමින්, ගල්වල අකුරු කොටමින්, ගල් කණු අල්ලා ලිප් බැඳ උයා කමින්, ගස් ගල් පල්ලේ කැත කරමින්, පරිසරය වනසමින්, තමනුත් රස නො විඳ කරන්නන් වාලේ අනුන්ට පෙනෙන්නට කරන සංචරණය දුප්පතා කළත්, පොහොසතා කළත්, එය ඇත්තෙන් ම පාරිභෝජනවාදයයි.

මෙහි තවත් පැත්තක් තිබේ. ඒ රට යාමයි. ලංකාවේ අපට මේ කරදිය වළල්ලෙන් එහා රටකට පය තැබීම දුෂ්කර ව්‍යායාමයකි. මෙරට ජනගහණයෙන් අති බහුතරය ජීවිතයේ කිසිම දිනෙක වෙනත් රටකට යන්නට අවස්ථාව නො ලබති. ඒ නිසා ම, ලංකාවේ මිනිසුන් රට යන්නේ වැඩිපුර ම අල්ලපු ගෙදර මිනිහාට පෙනෙන්නට ය. පිටරට ගියා යයි අනුන්ට කියන්නට අපි හරි කැමති ය. කොච්චර කැමති ද යත්, පුළුවන් නම් වෙන රටක පුරවැසිභාවය අරගන්නට පවා කැමති ය. හැබැයි ඉතින් මේකෙ ඉඳලා වගතුවක් නැති නිසා ඒක වැරදි ය කියන්නටත් බැරි ය.

ව්‍යාපාරිකයන් රට යන්නේ ව්‍යාපාරික අවශ්‍යතාවලට විය හැකි ය. එය රටට හොඳ ය. ව්‍යාපාරිකයන් පිටරටකට ගොස් ඒ රටවල ව්‍යාපාර නරඹා, සතුටින් ඉඳ පැමිණෙන එක පාරිභෝගිකයන් වන අපට ද නරක නැත.

දේශපාලකයන් රට යන්නේ ද රටේ ජනතාවගේ සුබසිද්ධියට ඉවහල් වන පියවර ගැනීම වෙනුවෙන් වෙන්නටත් පුළුවන. හැබැයි, දේශපාලකයන් රට යන තරමේ හැටියට මේ රටේ ජනතාවට සුබසිද්ධියක් නො වෙන එක සැක සහිත ය. මහින්ද යාපා අබේවර්ධන කෘෂිකර්ම ඇමති කාලේ ලංකාවේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ දේශීය නියෝජිතවරයා එහි මූලස්ථානය වන රෝමයට ගොස් තිබුණු වාර ගණන මෙන් කිහිප ගුණයක් මේ ඇමති රෝමයට ගොස් තිබුණ බව මට දැනගන්නට ලැබිණි.

මේ චාරිකා සඳහා ඇත්තෙන් ම යොදා ගනු ලබන්නේ මහජනතාවගේ සුබසිද්ධිය සඳහා යෙදවිය හැකිව තිබුණු සම්පත් ය. මහජන මුදලින් හෝ ජාත්‍යන්තර සංවිධාන ලංකාවේ මහජනතාවගේ සුබසාධනයට ඉවහල් වනු ඇති ය යන අනුමානයෙන් ලබා දෙන සම්පත්වලින් හෝ දේශපාලකයන්ට ලබා දෙන විදෙස් පුහුණුවීම් හා වෙනත් අවස්ථාවලින් රටට එතරම් සෙතක් සිදු වී නැති බව පැහැදිලි ය. ලෝකේ ඇවිද ආවත් අඩු තරමේ දේශපාලකයන්ගේ ගොඩේ ගති හෝ වෙනස් වී නැත.

අනෙක් පිරිස රජයේ ඉහළ නිලධාරීහු ය. අනුන්ගේ අවස්ථා පවා පෙරේත ලෙස කොල්ල කමින් රට යන බොහෝ රජයේ නිලධාරීන් රට යන්නේ වෙන මොකකටවත් නොව රට යන්නට ය.  නොමිළේ රට ගියා ය කියා අනෙක් අයට කියන්නට ය. ඔවුන් ලබන පුහුණුවීම්වලින් ද රටට සෙතක් වන්නේ නැත.

මේ ලියන මා ද වරක් ජපානයට ගියෙමි. මා සිටි හෝටලයේ නැවතී සිටි, වෙනත් පුහුණුවකට පැමිණි ලංකාවේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරියකු මගෙන් ඇසුවේ ලංකාවේ සිට ගෙන ආවේ මොනවා ද කියා ය. මා ඇඳුම් ටිකක් රැගෙන ආ බව මම කීවෙමි. නිලධාරියා මට උපදෙස් දුන්නේ නැවත එන්නේ නම්, එහි සිටින කාලය කන්නට සෑහෙන ක්ෂණික නූඩ්ල්ස් වැනි දේ රැගෙන එන ලෙසයි. ගමන් බඩු සඳහා වන බරෙන් සැලකිය යුතු ප්‍ර‍මාණයක් ඔහු නූඩ්ල්ස් පැකට් ගෙනැවිත් තිබිණි. ඉතිරි කර ගන්නා මුදලින් මොවුන් ඒ රටවල සංචරණය කරනවා නම් එයත් ලොකු දෙයකි. එහෙත් ඇතැමෙකු කරන්නේ කුම්මැහියන් සේ කාමරවලට රිංගාගෙන සිට ආපසු එන විට බඩු අරගෙන එන එක ය. රට ගිය බව දැනගත් විට හත්මුතු පරම්පරාවේ ම අය තෑගි බලාපොරොත්තු වන පවුල් ද ලංකාවේ තිබේ.

රට යන සෙසු පාරිභෝජනවාදීන් වන්නේ රාජ්‍ය නොවන සංවිධාන ඉහළ නිලධාරියෝ ය. ඒ අය විදේශගත වන්නේ ද පුහුණු වීම්, පුහුණු කිරීම්, ලංකාව ගැන ලෝකයට කීම්, ලෝක දැනුම ලංකාවට ගෙන ඒම් වැනි දේවලට ය. ගම්වල කට්ටිය වන්දනා නඩවලට සම්බන්ධ කර දී කොමිස් මුදලින් අවුරුදු පතා දඹදිව යන ඇතැම් උපාසකම්මලා සේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නිලධාරියෝ ද අවුරුදු පතා ජිනීවා යති. ජිනීවා යාම වෙනුවෙන් ම ඇතැම් වාර්තාත් හදති. මේත් පාරිභෝජනවාදයේ ම තවත් සංකීර්ණ ස්වරූපයකි.

ඉස්සර කාලේ මෙන් දැන් පණිවුඩ හෝ ලියුම් හෝ අරගෙන තැන් තැන්වලට යා යුතු නැති බව අනුන්ගේ මුදලින් රට යන පාරිභෝජනවාදියෝ වැඩි දෙනෙක් හොඳින් දනිති. ඔවුන් සහභාගි වන පුහුණුවීම්, පුහුණු කිරීම් වැනි ඒවා ද වැඩි හරියක් දැන් අන්තර්ජාලය හරහා කළ හැකි බව ද, ඒවා වෙනුවෙන් එතරම් මුදල් වැය කිරීම තේරුමක් නැති බව ද ඔවුහු හොඳින් දනිති. මේ කට්ටිය හැමෝ අතේ ම සුපිරි ජංගම දුරකථන ද තිබේ. ඒවායින් පිටසක්වල ජීවීන් සිටිත් නම් ඔවුන් සමග කතා කරන්නට පවා තරමට දැන් තාක්ෂණය දියුණු ය.

තේරුමක් නැති සංචරණය හේතුවෙන් ඇත්තෙන් ම විශාල මිනිස් ශ්‍ර‍මයක්, ඉන්ධන ප්‍ර‍මාණයක් හා පරිසර සම්පත් ප්‍ර‍මාණයක් නාස්ති වේ. ජන ජීවිතයට, සොබාදහමට එයින් සිදු වන බාධා අපමණ ය. පාරිභෝජනවාදයට එරෙහි අරගලය තුළ මේ පාරිභෝජනවාදී සංචරණයට එරෙහි අරගලය ද තිබිය යුතු ය.

මෙම සටහන සංචරණයට හෝ පරිභෝජනයට එරෙහි එකක් ලෙස වරදවා වටහා නො ගන්න. බුද්ධිමත් පරිභෝජනයත්, සංචරණයත් රටට, ලෝකයට වැඩදායී ය. ලෝකය දැකීමෙන් මිනිසුන්ගේ මනස් ලෝකය ද පුළුල් වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-23

ලංකාවේ මාක්ස්වාදී පල් බොරු ගැන දයලෙක්තික අධ්‍යයනයක්

මෙම පැහැදිලි කිරීම කරන්නේ මවිසින් මීට පෙර ලියන ලද කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද? යන ලිපියට ෆේස්බුක්හි ප්‍රියන්ත රත්නායක විසින් පළ කරන ලද ප්‍රතිචාරයක් හා සංවාදගත වීමටයි.

ප්‍රියන්ත රත්නායක මතු කරන කාරණය මෙසේයි: //1.අජිත් ට අනුව කම්කරුවන් ගේ ජීවිත කාලකන්නි වී ඇත්තේ රජය බදු මුදල වශයෙන් ඔවුන් ගෙන් සූරා කැම නිසා. මෙතනදී කම්කරුවාගේ රිජු නිශ්පාදන සම්බන්ධය වෙන කම්කරුවා ගේ ශ්‍රමයෙහි හිමි කරු සඳහන් කරල නැ. එකෙන් ගම්‍ය වෙන්නෙ කම්කරුවා සූරා කන එකම මාධ්‍යය රාජ්‍ය බදු කියලද​? එහෙම නැත්තම් ශ්‍රම හිමි කරුගේ සූරා කැම නොගිනිය හැකියි කියලද​? අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද ?රාජ්‍ය සුබසාධනය නිසා කම්කරුවාට පෙරලා ලැබෙන වාසිය සලකල​. ඒ කියන්නෙ, පෙන්නන්න පුලුවන් ද​, කම්කරුවා රාජ්‍ය බදු නොගෙවා හිටියොත් සහ එනිසාම රාජ්‍ය සුබ සාධනය නතර වුවහොත් එමගින් කම්කරුවාගේ තත්වය කාලකන්නි නොවෙන්නෙ කොහොමද කියල?
2. පේන විදියට අජිත් ලන්කාවේ 5% කට ගොවීනුත් ඇතුලත් කරල​. කියන්න පුලුවන් ද​? මේ ගොල්ලො නඩත්තු කරන කම්කරුවන් ගෙ ප්‍රතිශතය​?//

මා ඉදිරිපත් කර තිබෙන මේ ප්‍රවාදය ගැන වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි. ඒ නිසා එය පරිපූර්ණ එකක් ය කියලා මා කියන්නෙ නැහැ. හැබැයි මේක සියවසක් තිස්සේ පවතින මාක්ස්වාදී බොරුවට ප්‍රතිචාරයක්. //අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද // කියලා අහන නිසායි මම කියන්නෙ. මාක්ස්වාදීන් සම්ප්‍රදායික නිගමනවලට පැමිණි විදිය වුණත් අවුරුදු සීයක් විතර ගිහිනුත් කවුරුවත් පෙන්වා දීලා නැහැ. ඒවා අවිවාදිත පිළිගැනීම් බවට පත් කරලා, ඒ මත තමයි විග්‍රහ ගොඩ නගන්නේ. මේක කතිකාවන්ගේ සාමාන්‍ය ලක්ෂණයක්.

ධනවාදය පවතින්නේ ලාභය මත නිසා කම්කරුවාගේ අතිරික්ත ශ්‍රමය හිමි කර ගන්නා කෙනෙකු ධනවාදය තුළ හැමදාම ඉන්නවා. සමාජවාදී රාජ්‍ය ධනවාදය තුළ රජය ඒක කළා. සමාජවාදී සමාජයක රජය නම් සමාගමේ වුණත් අවසාන අයවැයෙහි ලාභ තිබුණා. ඒ ලාභ එක්කෝ නිලධාරි අසමාන විදියට කොල්ල කා ගත්තා. නැතිනම්, අනාගතය වෙනුවෙන් ආයෝජනය සඳහා තබා ගත්තා.

මේක ධනපති සමාගම් වගේ ඒවාටත් අදාළයි. ඒවායේ හිමිකරුවන් හා ඉහළ කළමනාකරුවන් ලාභය අධි පරිභෝජනයට යොදා ගන්නවා. ඉතිරියට ඔවුන් මොකක්ද කරන්නේ? රජය කරපු දේ ම තයි. ආයෝජනය කරනවා. ලාභ වැඩි කර ගැනීමට වෙන්නට පුළුවන්. හැබැයි, එකම වැඩේ.

මාක්ස්වාදීන් කවදාවත් ව්‍යවසායකයාගේ පැත්තෙන් මේක විග්‍රහ කරන්නේ නැහැ. ව්‍යවසායකයාත් ණය සඳහා පොළී, ආදායම් බදු ආදී සූරාකෑම් ගණනාවකට ලක් වෙනවා. අවසානයේදී ව්‍යවසායකයා පැත්තෙනුත් රජය සූරා කනවා.

ව්‍යවසායකයාට ධනපතියා කියලා නමක් පටබැඳලා වෛරය ඇති කිරීම මාක්ස්වාදයේ මූලික ලක්ෂණයක්. හැබැයි ව්‍යවසායකයා කියන්නේ විකල්පයක් නැති කෙනෙක්. ව්‍යවසායකයා වෙනුවට රාජ්‍යය ආදේශ වීම කියන එක විතරයි සමාජවාදී පර්යේෂණවලදි අපි දැක්කේ. මූලික වෙනසක් නැහැ. ඒ විතරක් නෙමෙයි ඒක අසාර්ථක බවත් ඔප්පු වුණා.

අපි සරල උදාහරණයකින් ලංකාවේ අප මුහුණ දෙන සූරාකෑම කරන්නේ කවුරුද කියා තේරුම් ගන්නට උත්සාහ කරමු. දෛනික ජීවිතයේදී අපව දැඩි ලෙස සූරා කන්නේ කවුරුද? සමාගම් ද? රජය ද? දැඩි ම සූරාකෑම් සිදු වන උදාහරණ කීපයක් අරගෙන බලන්න. අරක්කු බෝතලෙන්, සිගරට් එකෙන් රජය කරන සූරාකෑම කොයි තරම් විශාල ද බලන්න. දුරකථන සේවාවලින් රජය කෙතරම් සූරා කනවා ද? වාහනයක් මිළ දී ගන්නකොට කීයක් බදු ගෙවනවා ද? ලංකාවේ කිසිම ව්‍යවසායකයෙකුට මේ වගේ සූරාකෑමක් කරන්නට ලැබෙන්නේ නැහැ. එහෙම කරනවා නම් කරන්නේ ඔය කණ්ණාඩි වගේ මිනිසුන් කලාතුරකින් මිළ දී ගන්නා භාණ්ඩවලින් විතරයි. නිදහස් වෙළඳපොළ තරගකාරිත්වය නිසා ඒකාධිකාරයන් පවත්වාගෙන යන එක ලෙහෙසි නැහැ. වෙළඳ සමාගම් පාරිභෝගිකයා සූරා කන්නේ නැති බවක් මෙයින් අදහස් කරන්නේ නැහැ. මා කියන්නේ රජය බදු අය කරන එක තරම් ඒක ලෙහෙසි නැති බවයි.  

පෞද්ගලික ව්‍යවසායකයන් අධික සූරාකෑමක් කරන්නට නම් මිනිසුන්ගෙන් වහලුන්ගෙන් වගේ වැඩ ගන්නට ඕනැ. ඒවා දැන් කරන්නට බැහැ. ගෝලීය ශ්‍රම වෙළඳපොළේ තියෙන්නෙ ශ්‍රම හිඟයක්. පුහුණු කම්කරුවන්ට තමන් කරන වැඩ තෝරා ගන්නට පුළුවන්.

අර මං කලින් විස්තර කරපු විදියේ සූරාකෑමක් සාධාරණීකරණය කරන්නට පුළුවන් මහජන සුබසාධනයක් රජයෙන් වෙනවා ද? අඩු ගානේ කුණු ටිකවත් කළමනාකරණය කරන්නට රජයට බැරි වෙලා තිබෙනවා නේ.

සෞඛ්‍යය, අධ්‍යාපනය වගේ අනෙකුත් සුබසාධන සේවා ගැන සලකා බැලුවොත් ඔබට තේරේවි එහි තත්වය. එ්වායේ වැඩිම වියදමක් යන්නේ සේවක වැටුප්වලට. ඒ ආයතනවල ශ්‍රම ඵලදායිතාව ගැන මා කියන්නට ඕනැ නැහැ නේ. ඒක කවුරුත් දන්නවා. රාජ්‍ය සුබසාධනය ගැන මට නම් කියන්නට තිබෙන්නේ මෙච්චරයි. එය පවතින්නේ ආණ්ඩුවත්, රජයට සම්බන්ධ මධ්‍යම පංතියත් කරන සූරාකෑම යන්තමින් හෝ සාධාරණීකරණය කර ගන්නට විතරයි. තවත් සරලව කිව්වොත් බදු ගෙවන ජනතාව රැවටීමටයි. රජයේ නිලධාරීන් බොහෝ වෙලාවට ඒ රැවටීම හෝ කරන්නට උනන්දුවක් නැහැ. ඒ තරමට ඒවා අකාර්යක්ෂමයි. වර්තමානයේදී රජය මහජනයාට සපයන සේවා තරමක් හෝ උසස් තත්වයක තිබෙන්නේ මහාමාර්ග සම්බන්ධයෙන් විතරයි. හැබැයි, කොළඹ වාහන තදබදය දැවැන්ත ප්‍රශ්නයක්.

හැබැයි, මේවා කඩා වැටුණොත් වැඩ කරන ජනතාවගේ ජීවිත තවත් කාලකණ්ණි වෙන බව ඇත්ත. ඒ නිසා තමයි, අපි රජය වෙනුවෙන් පෙනී ඉන්නෙ. ඒක කඩා වැටෙන එක වළක්වා ගන්නට උත්සාහ කරන්නෙ. රජයෙන් යැපෙන රාජ්‍ය විරෝධීන් පවා අපට බනින්නේ අපි රජය ආරක්ෂා කරනවා ය කියලායි. ලංකාවේ රජය පවතින්නේ හෙලවෙන දතක් වගේ අස්ථාවර තත්වයක. ඔය රජයේ සේවකයන්ට එක මාසයක් නියමිත දිනට වැටුප් ගෙවා ගන්නට බැරි වුණොත් බලන්න පුළුවන් වෙයි තත්වය. මහින්දගේ කාලේ සිට ම ආණ්ඩුව විවිධ වංගු දමමින් කොහොම හරි පඩිය වෙලාවට ගෙවා ගන්නවා. හැබැයි ඒ බර දරන්නේ ඵලදායී වැඩ කරන කම්කරුවෝයි. ලංකාවේ බොහෝ විප්ලවකාරයන් රජය හා ආණ්ඩුව අතර වෙනසවත් දන්නේ නැහැ. ඔවුන් දන්නේ නැහැ තමන් කරන දෙයෙහි ප්‍රතිඵලය මොකක්ද කියන එක. 

විකල්පයක් නොමැතිව, පවත්නා රජය බිඳ දැමීම කියන්නේ ම්ලේච්ඡත්වයට පාර කැපීමක්. එයින් ලංකාවේ සමාජය විසින් අප අත්පත් කරගෙන තිබෙන බොහෝ ජයග්‍රහණ ආපසු හැරවෙන්නට පුළුවන්.

ගොවීන් ගැනත්, ප්‍රියන්ත සඳහන් කර තිබුණා. ගොවීන් කියන්නේ ලංකාවේ ගම වගේ තවත් රොමැන්තික සංකල්පයක්. මේවායේ බොරුව හෙළිදරව් කරන්නට හුඟදෙනෙකු බයයි. 

ගොවීන් ලෙස හඳුන්වා ගනිමින් රජයේ සහනාධාර අයදුම් කරන විශාල පිරිසක් ඇත්තට ම වෘත්තීය ගොවීන් නෙමෙයි.ඒ අය එක්කෝ රජයේ රැකියා කරන මධ්‍යම පන්තිකයෝ. නැතිනම් ග්‍රාමීය දිළින්දෝ. වෘත්තීය ගොවීන් ඉන්නවා. ඒ අයට රජයේ සහනාධාර එතරම් වැදගත් නැහැ. උදාහරණයකට නුවරඑළියේ එළවළු ගොවීන් අරගෙන බලන්න. පසුගිය කන්නයේ ගෝවා වවලා රුපියල් කෝටියකට වඩා ලාභ ලබපු ගොවීන් ඉන්නවා. හැබැයි මෝඩ විදියට හැමෝම ගෝවා වවපු මේ කන්නයේ හැමෝටම කෙළ වුණා. හැබැයි අර මං කියපු ගොවියා මේ සැරේ ගෝවා වැව්වෙ නැහැ. මිනිහා බලනවා මාකට් එකේ වැඩිපුර විකිණෙන ඇට ජාති මොනවද කියලා. මිනිහා වවන්නෙ අඩුවෙන් යන ජාතියක්.

ගොවීන් ය කියන ග්‍රාමීය දිළින්දන් සම්බන්ධයෙන් මට කියන්නට තිබෙන්නේ මෙයයි. රජය පොහොර සඳහා මහජන මුදල්, මහජන මුදලින් වාරිමාර්ග නඩත්තුව, මහජන මුදලින් වැඩි මිළට අස්වනු මිළ දී ගැනීම ආදී සහනාධාර සැපයිය යුත්තේ බැරෑරුම් ලෙස ගොවිතැනේ යෙදෙන, වෘත්තීය ගොවීන්ට විතරයි. ආහාර නිෂ්පාදකයන් වන ගොවීන්ට, ධීවරයන්ට රජය උදව් කළ යුතුයි. ආහාර මිනිස් සමාජයේ පැවැත්මට අත්‍යවශ්‍යයි. ඒ ගැන විරෝධයක් නැහැ. 

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීම කියන්නේ වෙන වැඩසටහනක්. ඒක ගොවියා එක්ක පටලවා ගන්නට ඕනැ නැහැ. 

කම්කරුවන්ගේ ප්‍රතිශතය ගැනත් ප්‍රියන්ත අසා තිබුණා. මා නම් පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් විතරයි. ඒ ගැන මා කලින් ලිපියේ මෙහෙම ලිව්වා. //ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.//

ඒ ලිපියේ ම මා පාලක පන්තිය ගැන මෙහෙම ලිව්වා. //අප නම් ලංකාව විග්‍රහ කරන්නේ මධ්‍යම පන්තික රාජ්‍ය ධනවාදයක් ලෙසයි. ඒක දුවවන බලවේගය තමයි දේශපාලකයන් 500කින්, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 40,000කින්, රජයේ සේවකයන් ලක්ෂ 14කින් (විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකින්) සැදුම් ලත් මධ්‍යම පන්තිය. රජය සමග කොන්ත්‍රාත් කරන අය, රජයේ සහනාධාර මත පවතින ගොවියන් ආදීනුත් මෙයට ඈඳෙනවා. මේ අය එක්ක ඍජුවම ලක්ෂ 20ක් හා සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් පමණ යැපෙන්නේ රජයෙන්. ඒ යැපීම සාධාරණීකරණය කර ගන්නට යම් සුබසාධනයකුත් රජයෙන් සිදු වෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි, මේ දැවැන්ත රජය නඩත්තු කරන්නට ගෙවන බදු හා ණය තමයි අපේ ජීවිතය කාලකණ්ණි කරන ප්‍රධාන සාධක. මෙන්න මේ පන්තිය තමයි ලංකාවේ පාලක පන්තිය. ඔවුන් තමයි ආණ්ඩු හදන්නේ. එපමණක් නොවෙයි, ඔවුන් තමයි මහජන මුදල් සොරා කා උපයා ගත් ප්‍රාග්ධනයෙන් ගුණදාස අමරසේකර කියූ ආකාරයේ වසල වෙළඳ කුලයක් හදන්නේ.//

එතකොට මා පෙනී සිටින ඵලදායී වැඩ කරන ජනතාව කවුරුද?

1. විදේශ ශ්‍රමිකයන්: //මේ වන විට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 17ක් විදේශ රටවල රැකියා කරති. සෑම ශ්‍රී ලාංකිකයන් 12දෙනෙකුට ම එක් අයෙක් විදේශ රැකියාවක නිරතව සිටිති.
එයින් 36.28%ක් කාන්තාවෝ ය. 63.22%ක් පිරිමි වෙති. ශ්‍රී ලාංකික සංක්‍ර‍මණික කම්කරු ප්‍ර‍ජාවෙන් 34%ක් ම කාන්තාවන් වන අතර ඔවුන්ගෙන් 82.5%ක් ම අඩු කුසලතා අවශ්‍ය ගෘහස්ථ රැකියාවල නියැලෙන අය වෙති. (මූලාශ්‍රය මෙතැන)

ශ්‍රී ලංකාවේ සෑම කාන්තාවන් 17දෙනෙකුගෙන් එක් අයෙක් පමණ විදේශ රැකියාවක යෙදී සිටිති.

ශ්‍රී ලාංකික විදේශ ශ්‍ර‍මිකයන් විසින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපද ඩොලර් බිලියන 7කට වැඩි මුදලක් එවූ හ. එය රුපියල් බිලියන 800කට අධික ය.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

2. තේ, රබර්, පොල්, කුළුබඩු හා වෙනත් සුළු අපනයන භෝග වගාවේ නියැලි කෘෂිකාර්මික කම්කරුවන් හා සුළු හා මධ්‍ය පරිමාණ ගොවීන්: මෙම සංඛ්‍යාව ගණනය කරන්නට විධිමත් පර්යේෂණ අවශ්‍යයි. තේ කර්මාන්තය සම්බන්ධයෙන් විතරක් දළ අදහසක් මෙම සටහනින් ලබා ගන්නට පුළුවන්. //ශ්‍රී ලංකාවේ තේ වගාව ආශ්‍රිතව ඍජුව හා වක්‍ර‍ව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ 30ක් පමණ වන බව මාධ්‍ය වාර්තා පවසනවා. එය ලංකාවේ සමස්ත ජනගහණයෙන් 10%කට වැඩියි. ඔවුන් අතරින් බහුතරය කාන්තාවන් වීමත් සුවිශේෂ තත්වයක්. වතු ආශ්‍රිතව සේවය කරන තේ දළු නෙළන්නියන්, කර්මාන්තශාලා කම්කරුවන් හා තවත් සේවකයෝ රාශියක් සිටිනවා.

2012 වසරේ නිල ජන හා නිවාස සංගණන වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 4.4%ක් ජීවත් වන්නේ වතු ආශ්‍රිතවයි. එමගින් අදහස් වන්නේ විශාල හා මධ්‍ය පරිමාණ වතු පමණයි. යටත් විජිත යුගයේදී වතු කම්කරුවන් ලෙස ශ්‍රී ලංකාවට සංක්‍ර‍මණය වූ ප්‍ර‍ජාව වර්තමානයේදී හැඳින්වෙන්නේ කඳුරට දෙමළ ජනතාව ලෙසයි.

කුඩා තේ වතු හිමියන් බොහෝ විට පවුලේ අයගේ හෝ බාහිර කම්කරුවන්ගේ හෝ සහයෝගය ඇතිව තමන්ගේ ඉඩමේ ම වැඩ කරන ගොවීන් පිරිසක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්.// (උපුටා ගැනීම kiyanna.lkහි මවිසින් තබන ලද සටහනකිනි.)

3. රට පුරා අපනයන කර්මාන්තවල සේවය කරන කම්කරුවන්: (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

4. අවිධිමත් අංශයේ කම්කරුවන්: මේ අය අතරට ඉදිකිරීම් කම්කරුවන්, කුලී කම්කරුවන්, ගෘහ සේවක සේවිකාවන් ආදීන් අයත් වනවා. (සංඛ්‍යාලේඛන අධ්‍යයනය කළ යුතුයි)

5. සේවා අංශයේ කම්කරුවන්

මේ වර්ගීකරණය වුණත් පරිපූර්ණ නැහැ. මේවා ගැන සාකච්ඡා කළයුතුයි.

ඒ වගේ ම හුදෙක් ම අධි පාරිභෝජනවාදය වෙනුවෙන් ප්‍රවර්ධනය කරන ඇතැම් භාණ්ඩ හා සේවා සම්බන්ධ කම්කරුවන් ගැන ගැටලු තිබෙනවා. ඔවුහු ඵලදායී වැඩ කරන කම්කරුවෝ ද? මේක ඉතා සංකීර්ණ කාර්යයක්. හැබැයි, අපි නිකමට හිතමු ඔය ඇතැම් වෙඩිං සේවාකාරයන්, රාජ්‍ය උත්සවවල එහෙම නටන නැට්ටුවන් වගේ අය. මේ අය හෙළන ශ්‍රමය මිනිස් සමාජයේ උන්නතියට වැදගත් ද? හානිකර ද?

මා මේ ලියූ ලිපියෙහිත් ගැටලු ඇති. ඒවා සාකච්ඡා කළ යුතුයි. ඒ වගේ ම, ලංකාවේ සමාජය තේරුම් ගන්නට විධිමත් අධ්‍යයන රැසක් සිදු විය යුතුයි. ඒවා අපේ පුද්ගල ධාරිතාවෙන් බැහැර කාරණා.

අප කරන්නේ එක දෙයක් පමණයි. ඒ දැනට පොදු පිළිගැනීම තුළ පවත්නා ඝනීභූත, යල්පැන ගිය අදහස් පද්ධතියකට අභියෝග කරන එකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-21

කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද?

ජීවිතේ අවසාන කාලය මේ වගේ නො වෙන්න - අද ම වම ගැන අලුතෙන් හිතන්න 
ලංකාවේ කම්කරුවන් කවදාවත් රාජ්‍ය බලය අපේක්ෂා කරලා නැහැ. වැඩ කරන ජනතාව වෙහෙස මහන්සි වී වැඩ කරමින් ලංකාවේ දැවැන්ත රජයේ බර අදිනවා විතරයි. ඔවුන් නියෝජනය කරන දේශපාලනයක් ලංකාවේ මෑත අඩ සියවසකදී තිබුණේ නැහැ.

හැබැයි, ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුණයන්, ගැමියන්, ගොවියන්, රජයේ සේවකයන් යන පහළ මධ්‍යම පංතිය මත පදනම් වූ ජවිපෙ හා දෙමළ ඊලාම් කොටි සංවිධානය තීරණාත්මක ලෙස බලය ඉල්ලා සටන් කර තිබෙනවා.

වාමාංශිකයන්ගේ ම භාෂාව අනුව සුළු ධනේශ්වර කොටස් ලෙස සැලකෙන මෙම බලවේගයට රාජ්‍ය බලය සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳ මට නම් ගැටලුවක් නැහැ. ඒ වගේ කාලයක් තිස්සේ බලය ඉල්ලපු රනිල්ට බලය අරන් දෙන්නට අප වැඩ කළා. ඔහු ලංකාව වෙනස් කරන්නට යම් උත්සාහයක් දරමින් ඉන්නවා. වසර 2020 වෙනකල් ඒකට අවස්ථාව දෙන්නට පුළුවන් නම් හොඳයි. ලංකාව කියන්නෙ එහෙම අවුරුද්දෙන්, දෙකෙන් ප්‍රශ්න විසඳන්නට පුළුවන් රටක් නෙමෙයි

පහළ මධ්‍යම පන්තිය බලය ගන්න නම් ජවිපෙ, පෙසප, ලසසප, කොප, නසසප (බාහුට විරුද්ධ කණ්ඩායම), එක්සත් සමාජවාදී පක්ෂය, අක්ෂය කණ්ඩායම, ඒ කණ්ඩායම්වලින් හා පක්ෂවලින් කැඩී ගිය කණ්ඩායම්, ඒ කණ්ඩායම්වලිනුත් කැඩී ගිය කණ්ඩායම් හා විදර්ශන කන්නන්ගර, සුමනසිරි ලියනගේ වගේ කට්ටිය එකතු වෙලා සාකච්ඡා කරලා තමන් කරන්නට යන්නෙ මොකක්ද කියලා කියන්නට ඕනැ.

හැබැයි, ඒක මේ කම්කරු පන්තිය, නිර්ධන පන්තිය ආදිය සමග පටලවා ගන්න ඕනැ නැහැ. ඇත්ත කතා කරන්න.

ඔය මාක්ස්ගේ පන්ති විග්‍රහය ම අද වන විට පට්ට අවුලක් සහ ජෝක් එකක් වෙලා. වරද මාක්ස්ගේ නෙමෙයි. ඒකට හේතුව මාක්ස්ගෙන් පස්සෙ පහළ වුණ විශිෂ්ට ම දාර්ශනිකයන් වගේ පේන ලංකාවේ වාමාංශික පොරවලට තමන්ගේ භාෂා ප්‍රයෝගවලින් වර්තමානයට ගැලපෙන පන්ති විග්‍රහයක් කරන්නට බැරි වෙලා තිබෙන එකයි.

අප නම් ලංකාව විග්‍රහ කරන්නේ මධ්‍යම පන්තික රාජ්‍ය ධනවාදයක් ලෙසයි. ඒක දුවවන බලවේගය තමයි දේශපාලකයන් 500කින්, රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් 40,000කින්, රජයේ සේවකයන් ලක්ෂ 14කින් (විශ්‍රාමිකයන් ලක්ෂ පහමාරකින්) සැදුම් ලත් මධ්‍යම පන්තිය. රජය සමග කොන්ත්‍රාත් කරන අය, රජයේ සහනාධාර මත පවතින ගොවියන් ආදීනුත් මෙයට ඈඳෙනවා. මේ අය එක්ක ඍජුවම ලක්ෂ 20ක් හා සමස්ත ජනගහණයෙන් පහෙන් එකක් පමණ යැපෙන්නේ රජයෙන්. ඒ යැපීම සාධාරණීකරණය කර ගන්නට යම් සුබසාධනයකුත් රජයෙන් සිදු වෙනවා. අපි ඒක නැහැ කියන්නේ නැහැ. හැබැයි, මේ දැවැන්ත රජය නඩත්තු කරන්නට ගෙවන බදු හා ණය තමයි අපේ ජීවිතය කාලකණ්ණි කරන ප්‍රධාන සාධක. මෙන්න මේ පන්තිය තමයි ලංකාවේ පාලක පන්තිය. ඔවුන් තමයි ආණ්ඩු හදන්නේ. එපමණක් නොවෙයි, ඔවුන් තමයි මහජන මුදල් සොරා කා උපයා ගත් ප්‍රාග්ධනයෙන් ගුණදාස අමරසේකර කියූ ආකාරයේ වසල වෙළඳ කුලයක් හදන්නේ. 

මා නම් පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන් විතරයි. ලංකාවට විදේශ විනිමය ගෙන එන, ලංකාවේ ඵලදායී කර්මාන්ත හා සේවා පවත්වාගෙන යන, වැටුප් ශ්‍රමිකයන් තමයි මම කම්කරුවන් ලෙස සලකන්නේ. එතැනදීත්, වැඩ මූලිකයන්ගෙන් එහාට කළමනාකරුවන් ය කියන්නේ මට අනුව නම් කම්කරුවන් නොවෙයි. මේ අර්ථකථනය වුණත් ඇත්තෙන් ම අසම්පූර්ණයි. හැබැයි, මේ ප්‍රජාවන් කියන්නේ මේ රටේ දේශපාලන බලයෙන් පලවා හැර තිබෙන පිරිසක්. ඇත්තම කිව්වොත් ඔවුන්ට දේශපාලනයෙන් හෝ රජයෙන් හෝ ඇති ලොකු ප්‍රයෝජනයකුත් නැහැ. ඒ මිනිසුන් වැඩ කරලා, හම්බ කරලා, වෙළඳපොළෙන් භාණ්ඩ හා සේවා මිළ දී අරගෙන ජීවත් වෙනවා. ඔවුන්ගේ දරුවන්ට හොඳ රජයේ පාසල් නැහැ. රජයේ විශ්වවිද්‍යාල ගැන එතනින් එහාට කතා කරන්නට බැහැනේ. ඔවුන්ට විශ්‍රාම වැටුප් වගේ රජයේ සේවකයන්ට තිබෙන අනාගත සුරක්ෂිතභාවයකුත් නැහැ. ඒවා තමයි ඔවුන්ට තිබෙන ප්‍රශ්න.

නිර්ධනයා කියන සංකල්පය මට අනුව නම් මහා යල් පැන ගිය කතන්දරයක්. කම්කරුවා නිර්ධනයකු වෙන්නට උවමනාත් නැහැ. එහෙම වෙලාත් නැහැ. අද වන විට කම්කරුවන්ට හැකියාව ලැබිලා තිබෙනවා ඉතුරුම්වලින් දේපල විතරක් නෙමෙයි සමාගම් කොටස් පවා මිළට ගන්නට. නවීන කම්කරුවා කියන්නේ බුද්ධිමත්, පුහුණු ශ්‍රමිකයෙක් මිස වහලෙක් නෙමෙයි. වර්තමාන කම්කරුවා කියන්නේ ශ්‍රම වෙළඳපොළේ කේවෙල් කිරීමේ හැකියාව ද සහිත කෙනෙක්. ඔහුගේ අවශ්‍යතාවන් වෙනස්. 

වාමාංශික දේශපාලනය විසින් ලංකාවේ ප්‍රවර්ධනය කරලා තිබෙන මධ්‍යම පන්තික අපේක්ෂා හරි ප්‍රබලයි. වාමාංශිකයන්ට බලය නැති වුණාට ඔවුන්ගේ මධ්‍යම පන්ති දේශපාලනය තමයි ලංකාවේ දේශපාලන ක්‍රමයේ පදනම. කම්කරු පන්තිය මතත් පටවලා තිබෙන්නේ මේ මධ්‍යම පන්තික විඥානය ම තමයි. ඒක පරාජය කරන්නට නම්, අපි නිකම් ඉඳ මහජන මුදලින් වැටුප් ගැනීම වෙනුවට වැඩ කිරීම අගයන සමාජයක් හදන්නට ඕනැ. ඒ වගේ ම කම්කරුවන් මධ්‍යම පන්තිකයන් බවට පත් නො වී කම්කරුවන් ලෙස ම දියුණු වීම තහවුරු කරන්නට ඕනැ.   

මේ තත්වයන් තේරුම් නො ගෙන, විග්‍රහ කර නො ගෙන, කොහේ හරි පොත්වල තියෙන යල් පැන ගිය රාමුවකට ලංකාව හා ලෝකය රිංගවන්නට හදමින් කරන දේශපාලනය කොයි තරම් බොරුවක් ද?

ලංකාවේත්, ලෝකයේත් අලුත් දේශපාලනයක් මතු වෙන්නට ඕනැ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන්. ඒක වම ද, නැද්ද කියන එක තියා සම්ප්‍රදායික පන්ති විග්‍රහයවත් මම නම් හිතන්නෙ ඒකට වැඩක් නැහැ. ඒක අලුතින් හිතන අලුත් ව්‍යාපාරයක් විය යුතුයි. එච්චරයි. 

හැබැයි ඉතින් අලුත් ව්‍යාපාරයක් ගැන හිතන අතරේ ම සම්ප්‍රදායික වමට අවස්ථාවක් දෙන එක වුණත් නරක නැහැ. ඔවුන් ෆැන්ටසිවලින් ගැලවිලා යථාර්ථය ස්පර්ශ කරන්නට ඕනැ. වම බලය අල්ලපු සමහර තැන්වල ඒක වුණා. ඒ තැන්වල වම තවමත් බලයේ ඉන්නවා. හැබැයි උතුරු කොරියාවේ, කියුබාවේ වගේ නෙමෙයි. ශක්තිමත් රාජ්‍ය ධනවාදයන් එක්ක. 

අපි ඉල්ලන්නෙ එක දෙයයි. කම්කරුවා අලංකාරිකයක් ලෙස පාවිච්චි කරන එක අතහැරලා තමන්ගෙ පන්තිය වන පහළ මධ්‍යම පන්තිය වෙනුවෙන් කෙළින් ම පෙනී ඉන්න. එතකොට ලේසියි.

(මැයි දිනේට කොළඹ යන්න ඉන්න අය ඊට කලින් මේ ලිපියට පිළිතුරු ලියලා යන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-20

කුණු ප්‍රශ්නය හා සමාජවාදය; පුබුදු ජයගොඩට හා විදර්ශන කන්නන්ගරට ප්‍රතිචාරයක්

"එහෙමනම් කුණු දාන්නේ කොහේටද ? " කියන ගොන් ප්‍රශ්නය අපෙන් අහන හරකුන්ට කියන්න තියෙන්නේ "එහෙනම් උඹලගේ ගෙවල් ගාවට ළඟ තැනක මේ කුණු ටික ගෙනත් දාන විදියක් කතා කරගමු" කියන එකයි..යකුනේ, අපි මේ මොහොතේ කල යුත්තේ කුණු අතීශය බරපතල සමාජ අර්බුධයක් වුයේ මන්ද යන ප්‍රශ්නය යලි යලිත් ඇසීමයි...නිද්‍රාවට පත් බහුතර මධ්‍යම පන්තියට මේ ප්‍රශ්නයේ ගැඹුර මුණගැස්විමයි..කුණු ප්‍රශ්නය යලි යලිත් වර නගමින් ඊනියා සංවර්ධන කතිකාව ප්‍රශ්න කිරීමයි..අයිතිවාසිකම් සහ යුක්තිය යනු සටන් කොට දිනාගත යුතු දෙයක් යන දේශපාලන දැනුම මිනිසුන් වෙතට රැගෙන යාමයි..පහල පාන්තික ජනයාගේ ජීවිතයන් ගෞරවනීය ලෙස පිළිගනිමින් ඔවුන් දේශපාලනිකව බල ගැන්වීමයි...කුණු ප්‍රශ්නය යනු මීතොටමුල්ලේ කුණු වෙන තැනකට ගෙන ගොස් බෑමේ ප්‍රයෝගික ප්‍රශ්නයක් ලෙස ලඝු කරන ඊයේ පෙරේදා මැරිලා ඉපදුනු උන්ට මට නැවත කීමට ඇත්තේ මෙයයි.".අපි උඹලගේ ගෙවල් අවටත් රවුමක් ගහල කුණු දාන්න හොඳ තැනක් බලමු...."

මේ ප්‍රකාශය කරන්නේ විදර්ශන කන්නන්ගර ය. ඔහුගේ මේ අදහස මේ මොහොතේ ප්‍රධාන වශයෙන් ම ෆේස්බුක් හරහා දේශපාලනය කරන ලංකාවේ වාමාංශිකයන්ගේ දැක්ම යම් ශිෂ්ටත්වයකින් සංකේතවත් කළ අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ෆේස්බුක් වාමාංශිකයන් වැඩි දෙනෙකුට ආණ්ඩුවට හා තමන්ගේ විරුද්ධවාදීන්ට වෛර කිරීම හැර පැහැදිලි අදහසක් නැත. ඇතැමෙක් කෙතරම් අශිෂ්ට ද යත්, මැරුණු මිනිසුන්ගේ මළකුණ පවා ආණ්ඩුවට පහර දීමට ඔසවා ගනිති.

කුණු අතිශය බරපතල සමාජ අර්බුදයක් වුයේ මන්ද යන ප්‍රශ්නය යළි යළිත් ඇසීම හා ඊනියා සංවර්ධන කතිකාව ප්‍රශ්න කිරීම සරලමතික ආණ්ඩු විරෝධයට වඩා ගැඹුරු ය.

කුණු අතිශය බරපතල සමාජ අර්බුදයක් වූයේ අන් හේතුවක් නිසා නොව, ධනේශ්වර පරිභෝජනවාදයේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙහිදී පරිභෝජනයත්, පරිභෝජනවාදයත් පටලවා ගත යුතු නැත.

පරිභෝජනය මිනිසාගේ සාමාන්‍ය ලක්ෂණයකි. සමාජ සංවර්ධනයත් සමග පරිභෝජන රටා ද වෙනස් වේ. එහිදී පරිභෝජනය අනිවාර්යයෙන් ම වැඩි විය යුතු ය කියන්නට බැරි ය.

අපි රිලා රංචුවක් උදාහරණයකට ගනිමු. රිලවුන් ආහාර ගන්නා විට ගසට විශාල හානියක් සිදු වේ. ඔවුන් කෑමට ගන්නා ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අපතේ යවති. එහෙත්, බුද්ධිමත් හා වගකිවයුතු පුරවැසියෝ එසේ නො කරති.

මිනිසුන්ගේ අවුල ඇති වන්නේ පරිභෝජනය ජීවිතයේ පරම අරමුණ බවට පත් කර ගැනීමත් සමගයි. මෙය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ.

උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබේ.

පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් පහත දක්වමි. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍ය ය. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.


  • භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
  • පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
  • අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
  • අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
  • අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධික බල තණ්හාව
  • අධික කාම තෘෂ්ණාව


මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ  අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.


  • අධික ජංගම දුරකථන ලෝලය
  • සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
  • සෙල්ෆි පිස්සුව
  • ට්‍රිප් යාමේ පිස්සුව හෙවත් සංචරණ තෘෂ්ණාව
  • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධ්‍යාපන පිස්සුව
  • තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
  • ටියුෂන්
  • පාසල්වාදය
  • ජාතිවාදය
  • ආගම්වාදය
  • බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
  • මංගල්‍යෝත්සව
  • අවමංගල්‍යෝත්සව
  • දාන පිංකම්
  • උපන් දින සාද
  • දන්සැල්
  • අවුරුදු උත්සව
  • පාසල් ස්පෝට්මීට්
  • දේශපාලන රැස්වීම්
  • කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
  • අධික ලෙස මත්පැන් බීම
  • කම් සැපෙහි අධික ලොල්කම
  • ටෙලිනාට්‍ය
  • වැඳීම
  • සංගීත සංදර්ශන
  • රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීම හා පසුව එතැනින් ඉවත් වන්නට මහජන මුදලින් වන්දි ඉල්ලීම
මෙහි අවසානයට සඳහන් කරන ලද කාරණය මීතොටමුල්ල කුණු කන්ද අවට පදිංචිකරුවන් බොහෝ දෙනෙකුට සම්බන්ධ ය. (මූලාශ්‍රය: කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් වී.කේ.ඒ. අනුර) 

මිනිසුන් රජයේ ඉඩම් බලෙන් අල්ලා ගන්නේ ඇතැම් විට නැති බැරිකමට විය හැකි ය. එහෙත්, නැති බැරි වුණත් නීති ගරුකව කටයුතු කරන මිනිසුන් ඕනෑ තරම් මෙරට සිටිති. රජයේ ඉඩම් බලෙන් අල්ලන ඇතැමුන් දුප්පත් අසරණයෝ ම නො වෙති.

පාරිභෝජනවාදය පිළිබඳ ලොව පුරා මාක්ස්වාදී පාලනයන්ට නිවැරදි දැක්මක් නො තිබීම පිළිබඳ හොඳම උදාහරණය චීනයයි. මාක්ස්වාදීන් බොහෝ කාරණාවලදී කළේ ධනවාදියෙන් ධනපතියා ඉවත් කර එතැනට රජය, පක්ෂය හා නිලධාරියා ආදේශ කිරීම පමණි. පාරිභෝජනවාදය වැනි ධනවාදයේ දුර්ගුණ මාක්ස්වාදීන් විසින් ද එලෙස ම ඉදිරියට ගෙන යන ලදී. 

මේ තත්වය මේ වන විට ජවිපෙ දේශපාලනය තුළ මතු වෙමින් තිබෙන බාල මෝස්තරවාදී ලක්ෂණ තුළ ද දැකි ය හැකි ය. ඔවුන්ගේ උත්සවවල සංස්කෘතික ලක්ෂණත්, එළිමහන් සංගීත සංදර්ශනත් අතර වෙනසක් නො පෙනෙන තරමට එම කාරණා පැත්තෙන් ඔවුන් ද පාරිභෝජනවාදය තුළ ගිලෙමින් සිටිනු දැකිය හැකි ය.

ලංකාවේ මාක්ස්වාදීන් අතර සාමාන්‍යයෙන් දැකිය හැකි පාරිභෝජනවාදය පිළිබඳ සරලමතික හා ව්‍යාජ මාකට් විරෝධී අදහස්වලට එහා ගිය පුළුල් විග්‍රහයක් පසුගිය අප්‍රේල් 18 දින ලක්බිම පුවත්පතේ ලිපියක පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ විසින් වියමන් කර තිබිණි.

මීතොටමුල්ලේද ගොඩ ගැසෙන්නේ නාගරික නිවෙස් වල කුස්සියේ කුණු බාල්දිය සහ ඉවතලන ටොෆී කොළ පමණක් නොවේ. බොහෝ දෙනා මේ කොළඹ සාමාන්‍ය ජනතාවගේ දෛනික අපද්‍රව්‍ය ලෙස සිතා සිටියද මෙයින් විශාලතම කොටස අත්පත් කර ගන්නේ මහා පරිමාන කර්මාන්ත වල අපද්‍රව්‍ය බව මීතොටමුල්ල ප්‍රදේශ වාසීන්ට නොරහසකි. එනිසා කසල පිලිබඳ ප්‍රශ්නය වත්මන් නිෂ්පාදන ක්‍රමය හා බැඳී පවතී.

එමෙන්ම වත්මන් නිෂ්පාදනයේ පදනම ලාභ ලැබීමයි. වැඩිවැඩියෙන් ලාභ ඉපයීම හරහා ප්‍රාග්ධන සමුච්ඡගතකරණයයි. නිෂ්පාදනයේ අරමුණ ලාභය නිසා සමාජ අවශ්‍යතා වල අවසන් සීමාවෙන් නිෂ්පාදනය නතර නොවේ. සැබවින්ම පරිභෝජනය නොකරන දේ පවා නිෂ්පාදනය කරමින්, පරිභෝජනය කරන දේ අවශ්‍ය ප්‍රමාණයට වඩා නිෂ්පාදනය කරමින් ලාභ ඉපයීම මේ ආර්ථික ක්‍රමයේ ස්වභාවයයි. ඒ සඳහා මාධ්‍ය, ජීවන සංස්කෘතිය, කලාව, වෙළඳ දැන්වීම්කරණය ආදී සියල්ල භාවිතා කරමින් මොළ සෝදන අතර අපට කිසිසේත්ම අවශ්‍ය නොවන දේ පවා ජීවිතයේ අත්‍යවශ්‍ය දේ ලෙස ඒත්තු ගන්වන දෘෂ්ටිවාදී මෙහෙයුමක් ක්‍රියාත්මක වේ. එනිසාම ධනවාදී සමාජ ක්‍රමය තුළ නිෂ්පාදනය මෙන්ම පරිභෝජනයද අතාර්කික වන අතරම අධික වේ.

ලාභයම පමණක් අරමුණු කරගෙන පරිසරය සහ මිනිස් ජීවිත නොතකන නිසා මේ නිෂ්පාදන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු සෝබන, එහෙත් විනාශකාරී ඇසුරුම්කරණය සමගද සම්බන්ධ වී තිබේ. මේ නිසා කුණු කසල පිලිබඳ ප්‍රශ්නයද උග්‍ර වේ. මේ අධි නිෂ්පාදනය මෙන්ම අධි පරිභෝජනවාදී ජීවන විලාශයද නගර කේන්ද්‍රීයව වර්ධනය කෙරෙන නිසා මේ ප්‍රශ්නය මුලින් කැපී පෙනෙන්නේ නගර වලය. එය ක්‍රමයෙන් නගරයෙන් බැහැරටද ගමන් කරන ආකාරය දැන් දැන් අපට නිරීක්ෂණය කළ හැක.

ඕනෑම භාණ්ඩයක භාවිත වටිනාකමක් සහ හුවමාරු වටිනාකමක් පවතින අතර ඒ දෙක අතර තුලිත සම්බන්ධයක් පවතී. වත්මන් සමාජ ක්‍රමය වනාහී එහි හුවමාරු වටිනාකම් අධි නිශ්චය කරමින් සමස්ත සමාජයම එමගින් සංවිධානය කරන සමාජ ක්‍රමයකි. මේ කුමන ආකාරයකින් ගත්තද කුණු ප්‍රශ්නය වත්මන් ආර්ථික උපායමාර්ගය සමග බැඳී පවතී. මේ ප්‍රශ්නයට දිගුකාලීන පිළිතුර වන්නේ ආර්ථිකයේ සමස්ත පදනමම වෙනස් කිරීමකි. අප සමාජවාදය ලෙස හඳුන්වන්නේ එලෙස ආර්ථිකයේ අරමුණු, ඉලක්ක ප්‍රාග්ධනයේ සහ ලාභ අරමුණු වල වියගසෙන් මුදාගෙන ඒවා සමාජයේ සහ පරිසරයේ යහපැවැත්ම කෙරෙහි වගකීම්සහගත දිශාවකට ගෙනයාමයි.

සුළු, මධ්‍ය හා පරිමාණ කර්මාන්ත යනු මේ රටේ රජයේ රස්සා නො ලැබෙන. අවවරප්‍රසාදිත පීඩිත ජනයා වැඩි පිරිසක් රැකියා කරන අංශය හා රජය පවත්වාගෙන යාමට ආදායම් නිපදවන ප්‍රධාන අංශයක් නිසා අපට ඒ කර්මාන්ත සම්බන්ධයෙන් විරෝධයක් නැත. ඒවායේ අපද්‍රව්‍ය බැහැර කිරීමත් මේ රටේ ජනතාවගේ ම ප්‍රශ්නයකි. 

එම කරුණ හැර, පුබුදු ජයගොඩගේ  මෙම වියමන සමග අපට කිසිදු ගැටුමක් නැත. එහෙත්, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන උපායමාර්ගවල ගැටලුවක් තිබේ. ඔවුන් බිම් මට්ටමේදී කරන්නේ මෙකී සංවාදය නො වේ. කුණුප්‍රශ්නය සම්බන්ධයෙන් විධිමත් විසඳුම් සෙවීමට රජයට බල කරනවා වෙනුවට ඔවුන් කරන්නේ ජනතාව බිය ගන්වා, වර්තමාන ආණ්ඩුවට එරෙහිව උසි ගන්වා කලබල ඇති කිරීමට උත්සාහ කිරීමයි.

අප මේ සම්බන්ධයෙන් පුබුදු ජයගොඩට දක්වන ලද ප්‍රතිචාරයෙහි මෙම කරුණ ද දක්වන ලදී.

ඔබ ම මෙහි විග්‍රහ කර ඇති මේ ප්‍රශ්නය හා සම්බන්ධ සමාජවාදය මේ රටේ ජනතාව සිටින තැන අතර පරතරය කෙතරම් ද යන්න ඔබගේ විග්‍රහය ඇසුරෙන් ම පහසුවෙන් තේරුම් ගත හැකි ය. ඒ පරතරය පියවීම පිණිස අප දේශපාලනය කළ යුතු ය. එහෙත්, එය ලෙහෙසි නැත.

උපුල් කුමාරප්පෙරුම විසින් මෙහිදී සමාජවාදය සහ මේ රටේ ජනතාව සිටින තැන අතර පරතරයක් තිබීම නිසා එම විසඳුම අදාළ නොවේ යයි තර්ක කිරීම කෙතරම් සාධාරණ ද යන ප්‍රශ්නය මතු කළේ ය.

මා නම් කියන්නේ සමාජවාදය හා මේ රටේ ජනතාව සිටින තැන අතර පරතරය ඉතා පැහැදිලිව විසඳුමට අදාළ බවයි. එය ඇත්තෙන් ම මේ රටේ නොව, ලෝකයේ ම ජනතාවට අදාළ ය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංකල්පීය තලයේදී ඉතා බුද්ධිමත් ලෙස මෙම ප්‍රශ්නය ආමන්ත්‍රණය කරමින් මහජන තලයේදී උද්වේගකාරී චර්යාවන් ප්‍රවර්ධනය කරන්නේ මෙම පරතරය නිසා ය. එහෙත්, එයින් ඔවුන් ප්‍රවර්ධනය කරන සමාජවාදයට කිසිදු උත්ප්‍රේරකයක් ලැබෙන්නේ නැත.

සමාජවාදය කරා යා හැක්කේ සමාජ සංවර්ධනය ඔස්සේ මිස මෙතෙක් මිනිස් සමාජය අත්පත් කර ගත් යම් ජයග්‍රහණයක් තිබේ නම් එය අත්හැර දමා ම්ලේච්ඡත්වය ඔස්සේ නො වේ.

මේ ලිපියේ කොතැනක හෝ සමාජවාදය කරා යාමට ම්ලේච්ඡත්වය යෝජනා කර තිබේදැයි උපුල් කුමාරප්පෙරුම ඇසී ය.

ලිපියේ නැත. එහෙත්, එය පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මෙන් ම සෙසු වාමාංශික පක්ෂවල ද දේශපාලන උපායමාර්ගවල ඇති බව මගේ අදහසයි.

වගකිව යුතු පුරවැසියන් උද්ඝෝෂණය කළ යුත්තේ කුණු කොහේවත් දාන්න එපා කියා නො වේ. කුණු දමන තැන ඒවා නිසි පරිදි කළමනාකරණය කිරීමේ වගකීම රජයට ඇති කරන්නට ය. වර්තමාන උද්ඝෝෂණවල ප්‍රතිඵලය වනු ඇත්තේ කොහේ හෝ ජනශුන්‍ය ප්‍රදේශයක කුණු ඩම්ප් කිරීමට රජය පෙළඹීමයි.

සමාජවාදය යනු ඉතා පැහැදිලිව ම පාරිභෝජනවාදයට එරෙහි අරගලයකි. (පරිභෝජනය සමග පටලවා නො ගන්න. බුද්ධිමත් පරිභෝජනය හා පාරිභෝජනවාදය එකක් නොව දෙකකි.) එය අද, මේ මොහොතේ, මෙතැන සිට ම ආරම්භ කළ යුතු අරගලයකැයි අප කියන්නේ ඒ නිසා ය. එය සමාජවාදය සඳහා වන දේශපාලනයේ එක් ප්‍රධාන අක්ෂයකි. 

කුණු අර්බුදය ගැන කුණු නො වන රූපවාහිනී සාකච්ඡා දෙකක්.

කවුද ඇත්ත කියන්නෙ (ස්වාධීන රූපවාහිනිය)

කුණු කන්ද (ජාතික රූපවාහිනිය)


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-19

මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න


නිල් ඇඳගත් මහත්තයෝ මේ අහන්න
ආණ්ඩුවට බැරි බව මම පිළි ගන්නම්
ඔහෙල හිටිය නම් හරි බව දැන ගන්නම්
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

කොළ ඇඳගත් මහත්තයෝ මේ අහන්න
මේක කලින් ආණ්ඩුවේ වරද තමයි
ඉක්මණින් ම විසඳන බව පිළි ගන්නම්
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

රතු ඇඳගත් මහත්තයෝ මේ අහන්න
උනුත් එකයි මුනුත් එකයි ඇත්ත තමයි
සකල දෝස නසන බෙහෙත ඔබම තමයි
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

කහ ඇඳගත් මහත්තයෝ මේ අහන්න
රට බෙදන්න මම නම් නැහැ ඉඩ දෙන්නේ
දෙමළ හම්බ හැතිකරයත් වල පතුලේ
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

මයික්කාර මහත්තයෝ මේ අහන්න
ඔබයි අනාවැකි කිව්වේ ඇත්ත තමයි
ආධාරත් අරන් ආවා ඉස්තූතියි
මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

අජිත් පැරකුම් ජයසිංහ
2017-04-19


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-04-18

කුණු කඳුවලට යට වී කුණු වී යන ලංකාව වෙනුවෙන් කුණු ප්‍රශ්නයට කඩිනම් විසඳුම් දෙනු!

අප මෙම සටහන තබන්නේ සාරසගේ මල්ලෙ පොල් බ්ලොග් අඩවියෙන් උපුටා ගත් පහත සඳහන් පරිකතා පෙළ යමෙකු අපගේ බ්ලොගයේ කමෙන්ටුවක් ලෙස පළ කර තිබුණ නිසා ම නො වේ. අප මේ ගැන දිගින් දිගට ම ලියා තිබේ.

"W3Lanka" blog author Ajith Perakum Jayasinghe's silence on the Meetotamulla tragedy is deafening!!!

He didn't get the orders yet from Sirikotha. All are busy making media notices since staff & SLAS officials all are on leave for festival season. Will write soon once the proper orders & instructions revived from UNP top management & Expact Tamil Diaspora officials. Wait & see, please notice that Ajit P & Ajit D both are paid writers (So called occupational bloggers).

Ranil Haamu was holidaying in Japan when the tragedy happened. Now he is holidaying in Vietnam. People in Meethotamulla have to wait until Ranil Haamu finishes his holiday. Ranil Haamu's holiday is more important than the lives of the people.

Ajith Perakum will write about Meethotamulla once Ranil Haamu returns on the 19th. He is not allowed to write anything, until he gets instructions from Ranil Haamu. Until then you can write comments to his blog post about worshipping parents and teachers.

අයිසේ අජිත් පැරකුම් ජයසිංහ,

තමුසේ තෙත් කලාපයේ ද ඉන්නේ ඕයි?

පමා නොවී ඉන්න තැනකින් ඇවිල්ලා මීතොටමුල්ල ගැන පෝස්ට් එකක් දානවා ඕයි. ඕකට රනිල් හාමු නිවාඩු සුව විඳලා එනකම් ඉන්න ඕන නෑ.

අප ගැන සිහිපත් වීම ගැන සාරසට බොහොම ස්තුතියි. ඔන්න අපි ලින්ක් එකකුත් දාලා දුන්නා. ඕකේ බේබි?

ඔබේ ආශාවේ වස්තුව වන රනිල් හාමු අපට නම් තවත් දේශපාලන ක්‍රියාකාරිකයකු පමණි. මේ අවස්ථාවේදී රනිල් යනු ලංකාවේ සිදු වන වෙනස් වීම් විෂයෙහි ඉතා ම වැදගත් දේශපාලන බලවේගයට නායකත්වය දෙන්නා වීම හැර අපට රනිල් වෙනත් ආකාරයකින් අදාළ වන්නේ නැත.

ලෝකෙ රටේ සිදු වන සිදුවීම් ගැන අපේ අදහස් දැන ගැනීමට උනන්දුවක් සමාජ මාධ්‍ය අවකාශයේ තිබීම ගැන අප අපේ පාඨකයන්ට ස්තුති කරමු. එහෙත්, අප හැම දෙයක් ම දන්නේ නැත. හැබැයි ලංකාවේ කුණු ප්‍රශ්නය ගැන නම් අප ලියන්නේ අද ඊයේ සිට නො වේ.

පහත පළ වන්නේ අප පසුගිය සැප්තැම්බර් 13දා ලියූ සටහනකි. එය මෙතැනින් උපුටා ගන්නා ලදී. එහි වැදගත් පරිකතා හෙවත් කමෙන්ටු ද තිබෙන නිසා ඔබ කැමති නම් ඒවා ද කියවන්න.

කොළඹ කුණු යනු කොළඹ වැසියන්ගේ කුණු පමණක් නො වේ. කොළඹ නගර සීමාවේ ජීවත් වන හත් ලක්ෂයක් පමණ ජනගහණයට අමතරව, ලක්ෂ 18ක් පමණ ජනයා සතියේ දිනවල විවිධ අරමුණු උදෙසා කොළඹ නගරයට පැමිණෙන බව විවිධ තක්සේරු අනුව පෙනේ. මේ අය විසින් දවසකට කුණු ටොන් 750ක් පමණ ජනනය කරනු ලැබේ. 

කොළඹ කුණු මීතොටමුල්ලට ගෙනැවිත් දැමීම නැවැත්වීම සඳහා දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණි. බ්ලූමැන්ඩල් කුණු කන්ද, මීතොටමුල්ල කුණු කන්ද වැනි කුප්‍රකට කුණු කඳු ඒ අවට ජනයාට අපායක ජීවිතය නිර්මානය කර දෙයි. 

කොළඹ විරෝධය නිසා දැන් ඒ කුණු ඒකලට ගෙන ගොස් දමන්නට තීරණයක් ගෙන තිබේ. කොළඹ කුණු අපට එපා යි කියමින් දැන් ඒකල ජනයා උද්ඝෝෂණය කරති. 

මෙම සියලු උද්ඝෝෂණ සාධාරණ ය. එහෙත් ප්‍රශ්නය කිසිවෙකුට තමා ජීවත් වන පරිසරය තුළ කසල බැහැර කිරීමට අවශ්‍ය නො වීමයි. තමන්ගේ කසල පවා වෙන කොහේ හෝ ගෙන ගොස් දැමිය යුතු ය. එහෙත් ඒ වෙන කොහේවත් තැන්වල ද තවත් මිනිස්සු ජීවත් වෙති. ඔවුන්ට ද ඒවා භාර ගැනීමට අවශ්‍ය නැත. 

ලංකාවේ පළාත් පාලන ආයතන විසින් කරනු ලබන එක ම ඵලදායී කාර්යය කසල බැහැර කිරීම විය හැකි ය. එහෙත්, ඒකවත් හරියට කර ගන්නට පළාත් පාලන ආයතනවලට හැකියාවක් නැත. පළාත් පාලන සභා විසුරුවා හැර තිබීම කසල කළමනාකරණයේ දුබලකමට හේතුවක් වන්නට පුළුවන. එහෙත්, පළාත් පාලන සභිකයන් සිටියත්, ඔවුන් කුණු අදින්නේ නැත. ඔවුන් නොමැතිව කසල කළමනාකරණය හරියට කරන්නට බැරි නම්, එයට හේතුව පළාත් පාලන ආයතනවල ලේකම්ගේ සිට රජයේ සේවයේ අකාර්යක්ෂමතාවයි. 

කසල කළමනාකරණය මෙතරම් ගැටලුවක් වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ එය විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව සිදු නො කිරීමයි. එසේම, ඒ සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමක් ද නැත. ඒ වෙනුවෙන් රජය ආයෝජනය කරන්නේ නැත. කසල කළමනාකරණයේ රැකියාවල නියුතු මිනිසුන්ට අවම සෞඛ්‍යාරක්ෂක උපකරණ හෝ නැති බව පෙනේ. ඔවුන් ඒ ගැන තැකීමක් ද නැත. අපිරිසිදු සතුන් ලෙස කසල ලොරිවල එල්ලී යනු දැකිය හැකි ය. අත්‍යවශ්‍ය සේවාවක නියැලි මෙම කම්කරුවන්ගේ ජීවිත ගොඩනැගීම ද කසල කළමනාකරණයේ ම කොටසකි. ඔවුහු මිනිස් කසල නො වෙති. 


කසල යනු මුදල් ය. එහි ඉන්ධන, පොහොර හා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි තවත් බොහෝ ද්‍රව්‍ය තිබේ. ඒ සඳහා අවශ්‍ය ක්‍රමවේදයකි. කසල මැනැවින් කළමනාකරණය කර ගන්නා ලෝකයේ දියුණු රටවල් සමග සන්සන්දනාත්මක ව බැලූ විට ලංකාවේ ඒක පුද්ගල කසල ජනනය එතරම් විශාල නැත. 

රජයට ඒ වෙනුවෙන් ආයෝජනය කළ නො හැකි නම්, එය පෞද්ගලික අංශයට පැවරීමෙහි ඇති වරද කුමක් ද? 

මෙම ප්‍රශ්නයෙහි තවත් පැතිකඩක් තිබේ. කසල කළමනාකරණය යනු සෑම පුද්ගලයකු ම සම්බන්ධ විය යුතු පොදු කාර්යයකි. ඒ සඳහා අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප පෙර පාසල් අධ්‍යාපනයේ සිට ගොඩනැගිය යුතු වේ.

අප දැන් සිටින්නේ කොතැන ද? රේල් පාරක්, මහ පාරක් දෙපස බලන්න. වාහනවල, පයින් යන එන අය විසින් තැන තැන දමා ගිය ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, ඉඳුල්, මළ මුත්‍රා ආදිය කෙතරම් ප්‍රමාණයක් දකින්නට ලැබේ ද? මිනිසුන් වන්දනාවේ හා සිරි නැරඹීමට යන සිද්ධස්ථාන, පොදු ස්ථාන ආදියේ තත්වය ද එසේ ය. ලංකාව ලෝකෙන් උතුම් ම රට යයි කියන්නට කැමති වුව ද ලංකාවේ මිනිසුන් ඉතා අපිරිසිදු ය. ඒ අපිරිසිදුකම නිසා ඔවුහු ලංකාව විනාශ කරමින් සිටිති. 

ලංකාවේ දේශපාලන ව්‍යාපාර සිය දේශපාලනයට මේවා ද අදාළ කර ගත යුතු ය. සමාජ වෙනස ඇති කිරීම සඳහා මේවා ද අදාළ වේ. වගකිව යුතු පුරවැසියන්ගෙන් තොරව දියුණු සමාජයක් බිහි කළ නො හැකි ය. වගකිව යුතු පුරවැසියන් නිර්මානය කරන්නට විප්ලවවාදී පක්ෂයක් බලයට ගන්නා තෙක් සිටින්නට උවමනා නැත. පුරවැසි වගකීම මෙවැනි ප්‍රශ්නවල සිට ම ගොඩනැගිය යුතු ය. 

ලංකාවේ කසල කළමනාකරණය සම්බන්ධ පර්යේෂණ පත්‍රිකාවක් මෙතැනින්කියවිය හැකි ය. 

ඒ සම්බන්ධ ජාත්‍යන්තර තත්වය ගැන විග්‍රහයක් මෙතැනින්


පහත පළ වන්නේ අප 2015 මැයි මස ලියූ සටහනකින් උපුටා ගත් කොටසකි. 

එක තැනක ගොඩගසන කුණු තව තැනකට ගෙන ගොස් දැමුවා ය කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත.  

කසල බැහැර කිරීම යනු බරපතල සංස්කෘතික ගැටලුවක් ලෙස ද විග්‍රහ කළ හැකි කාරණයකි. ලාංකිකයන් වැඩිදෙනෙකුට කසල යනු කුමන හෝ ආකාරයකින් තමන්ගේ පෞද්ගලික සීමාවෙන් බැහැර කර ගත යුතු දෙයක් පමණි. 

ටොෆිය කා කොළය බිම දමන, ගෙදර කුණු ටික ෂොපිං කවරයක දමා ගෙනැවිත් පාර අයිනට විසි කරන, සමස්ත වායුගෝලයට ම පිළිකාකාරක මුදා හරින සේ පොලිතින් හා ප්ලාස්ටික් ගිනි තබන, තැන නො තැන නො බලා කෙළ ගසන, පොදු වැසිකිළිය අපිරිසිදු කරන, විරෝධය පළ කිරීම සඳහා පාරේ ටයර් පුළුස්සා පොදු දේපලක් වන මහාමාර්ගයට හානි කරන, පොදු මහජන ප්‍රශ්නවලින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන, හැම රෙද්දට ම ජාතිවාදය පටලවා ගන්නා විනයක් නැති ජනතාවක් වාසය කරන රටක මෙම ප්‍රශ්නය විසඳීම පහසු නැත. 

මා ජීවත් වන නගරයේ ප්‍රාදේශීය සභාව කසල ප්‍රශ්නයට අපූරු විසඳුමක් ගෙනැවිත් තිබේ. ඒ අනුව, නගරයේ කසල බඳුන් කිසිවක් නැත. සියලු කුණු ඒවා රැගෙන යන්නට යම් යම් වෙලාවලට එන කුණු ට්‍රැක්ටරයට භාර දිය යුතු ය. නගරයට එන මිනිසුන් රැගෙන එන කුණු ඔවුන් ගෙදර ගෙන යා යුතු ය. එහෙත්, ගම්වලට කුණු ට්‍රැක්ටරය යන්නේ ද නැත. ඒ කියන්නේ නගරයට එන පොලිතින් ගම්වල ම ගොඩගැසිය යුතු ය. මේ ක්‍රමය දැන් වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වේ. නගරය දැන් ඉස්සරටත් වඩා අපිරිසිදු ය. හැබැයි පළාත් පාලන ආයතනයට ලෙහෙසි ය. 

කසල බැහැරකරණය පිළිබඳ ප්‍රශ්නය ලංකාවේ ආණ්ඩුව විසින් ආමන්ත්‍රණය කළ යුතුව තිබෙන බරපතල ම ප්‍රශ්නවලින් එකකි. එහෙම කියලා කසල බැහැර කිරීම හැදෑරීම සඳහා ඇමතිවරුන්, නිලධාරීන් හා පළාත් පාලන ආයතන සභාපතිවරුන් පිටරට චාරිකා සඳහා යැව්වා කියා ද මේ ප්‍රශ්නය විසඳෙන්නේ නැත. 

කසල බැහැර කිරීමේදී ජනතාව වගකීම්සහගත වීම ඉතා වැදගත් ය. විශේෂයෙන් ම පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන ද්‍රව්‍ය භාවිතා කිරීමේදී ජනතාව සකසුරුවමින් කටයුතු කළ යුතු ය. ගිනිිපෙට්ටිය පවා ෂොපිං බෑග්වල දමා විකුණන සුපිරි වෙළඳසැල් ද කසල බැහැර කිරීමේ ක්‍රියාවලිය සමග සම්බන්ධ කර ගත යුතු ය. තමන් නිකුත් කරන පොලිතින් හා ප්ලාස්ටික් ආපසු ලබා ගත යුතු බවට ඔවුන්ට නීති පැනවිය යුතු ය. 

පොලිතින් හා ප්ලාස්ටික් වනාහි ඇසුරුම් කර්මාන්තයේ දියුණු අවස්ථාවක් නිසා පත්තර කඩදාසියට, හබරල කොළයට, කාඩ්බෝඩ් පෙට්ටියට මේ රට ආපසු යනු ඇතැයි බලාපොරොත්තු විය යුතු නැත. ඒ වෙනුවට කළ යුතුව තිබෙන්නේ කසල කළමනාකරණය විධිමත් කිරීමයි. 

ප්‍රතිචක්‍රීයකරණය කර්මාන්තයක් ලෙස දිරිගැන්විය යුතු ය. දැනටත් යකඩ ප්‍රතිචක්‍රීයකරණය දියුණු කර්මාන්තයක් ලෙස ලංකාවේ සිදු වේ. එහෙත්, ඒ හා සම්බන්ධ පාරිසරික ගැටලු ද රැසක් තිබේ. නිදසුනක් ලෙස වැලිපැන්න ප්‍රදේශයේ පිහිටුවා තිබෙන මෙල්වා කර්මාන්තශාලාවට එරෙහිව ඒ පැත්තේ ජනතාව උද්ඝෝෂණය කරන්නේ එයින් සිදු වන පාරිසරික හානිය නිසා ය. 

වීදුරු, ප්ලාස්ටික්, කඩදාසි වැනි ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බොහෝ දේ සම්බන්ධ කර්මාන්තවලට සහනාධාර පිරිනැමීම හා එම කර්මාන්ත නිසි පරිදි නියාමනය කිරීම ඔස්සේ කසල බැහැර කිරීම සඳහා වැය වන මහජන මුදල් අවම කර ගන්නට පුළුවන. 

නිවසේ කසල ඇසුරින් කොම්පෝස්ට් නිපදවාගෙන ගෙවතු වගා සඳහා යොදා ගැනීම සඳහා ජනතාව දිරිගැන්විය හැකි ය. මේ සඳහා ජනතාව දැනුවත් කරන වැඩසටහන් ඕනෑතරම් කෘෂිකර්ම අංශ විසින් දියත් කර තිබේ. එහෙත්, එක් මූලික ප්‍රශ්නයක් ගැන ඔවුන්ට අවබෝධයක් නැත. ඒ වනාහි නාගරික ජනතාවට ගොම සොයා ගැනීම දුෂ්කර බවයි. බොහෝ විසඳුම් ප්‍රායෝගික නො වන්නේ මෙවැනි සුළු කාරණා නිසා ය. 

කසල ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා උද්ඝෝෂණ කිරීම පමණක් ප්‍රමාණවත් නො වේ. මන්ද, කසල ප්‍රශ්නය විසඳා ගැනීම යනු කුණු ටික තමන්ගේ පරිසරයෙන් ඈත් කර කොයි ලෝකෙකට හෝ පැටවීම නො වේ.

මේ ආකල්පය නිසා දැන් අභ්‍යවකාශයත් හැඩි වී තිබේ. පෘථිවියට ආසන්නයේ කක්ෂවල ඇති චන්ද්‍රිකා විසින් මුදා හරින ලද අපද්‍රව්‍ය නිසා දැනටමත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා තිබෙන අභ්‍යවකාශ යානාවලට තර්ජන ඇති වී තිබේ. 


මීතොටමුල්ල කසල කන්ද සම්බන්ධයෙන් ගෝඨාභයගේ කොළඹ සෝබනයට හෝ පරිසර ඇමති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ වර්තමාන ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවට පමණක් දොස් තැබීම තේරුමක් තිබේ යයි අපි නො සිතමු. එයින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීම අපි හෙළා දකිමු. 

රජයට මෙන් ම ලංකාවේ කිසිදු දේශපාලන ව්‍යාපාරයකට, කිසි කලෙක කසල කළමනාකරණය සම්බන්ධයෙන් දැක්මක් හෝ වැඩපිළිවෙලක් හෝ තිබී නැත.

එසේම, මෙයත් කිව යුතු ය. ඇතැම් අන්තවාදී බලවේග පසුගිය දිනවල මීතොටමුල්ල කුණු කන්දට එරෙහිව කළ උද්ඝෝෂණ පිටුපස මෙන් ම, ඒකල කසල ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහනට එරෙහිව පැවති උද්ඝෝෂණ පිටුපසත් සිටිය හ. ඔවුන්ට ඇත්තෙන් ම අවශ්‍ය මෙම ප්‍රශ්නය විසඳීමට නො ව, කසලත් සමග ම මිනිස් ජීවිතත් කසල වී යනු දකින්නට ය. 

මෙම ප්‍රශ්නය විසඳීම සඳහා අප කවුරුත් රජයට සහාය විය යුතු ය. රජයට පුළුවන් නම් කුණු ප්‍රශ්නෙ විසඳපියව් කියා අභියෝග කිරීම හරියට ‘අපි නාන්නෙ නැහැ. පුළුවන් නම් නාවපියව්' කියන්නා වැනි ගොන් තර්කයකි. 

අපි මේ සම්බන්ධයෙන් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු. ඔබත් අදහස් දක්වන්න.  


  • කසල කළමනාකරණය විධිමත් කර, පළාත් පාලන ආයතන ශක්තිමත් කරන තෙක්, නිශ්චිත කාල වකවානුවක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් ඇති කරනු! එමගින් කසල කළමනාකරණය සඳහා අවශ්‍ය කඩිනම් පියවරවලට ශක්තිය ලබා දෙනු!
  • කසල කළමනාකරණය වෙනුවෙන් ප්‍රමිති සංවර්ධනය කිරීම සඳහා ස්ථිර නියාමන කොමිෂමක් පත් කරනු! 
  • දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කසල කළමනාකරණය විධිමත් කිරීමේ වැඩසටහන් සඳහා යෝජනා සංවර්ධනය කිරීම කසල කළමනාකරණ නියාමන කොමිෂමට පවරනු!
  • කසල කළමනාකරණය විෂයෙහි රජයේ අකාර්යක්ෂමතාව පිළි ගනිමින් කසල කළමනාකරණයෙහිදී පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දෙනු! 
  • කසල කළමනාකරණයෙහිදී ප්‍රතිචක්‍රීයකරණය සඳහා කරනු ලබන ආයෝජන දිරි ගන්වනු! නිශ්චිත සාධාරණ කාල සීමාවක් සඳහා එම ව්‍යවසාය බදුවලින් නිදහස් කරනු! 
  • කසල බැහැර කිරීම සම්බන්ධ දැනට පවත්නා නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරනු! 
  • ආහාර පාන, විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ආදී ප්ලාස්ටික්, පොලිතින් භාවිතා කරන සෑම සිල්ලර වෙළඳසලක ම අලෙවියට සාපේක්ෂ සාධාරණ බරක පොලිතින් හා ප්ලාස්ටික් දවටන ආපසු ලබා ගැනීම හා ඒවා පළාත් පාලන ආයතන වෙත භාර දී ලදු පතක් ලබා ගැනීම අනිවාර්ය කරනු! එම ලදුපත ඉදිරිපත් නො කරන සිල්ලර වෙළඳසැල්වලට කසල කළමනාකරණ බද්දක් පනවනු! එයින් ලැබෙන ආදායම කසල කළමනාකරණ නියාමන කොමිෂම හරහා කසල කළමනාකරණය විධිමත් කිරීම සඳහා ආයෝජන වෙනුවෙන් ලබා දෙනු!
  • කසල කළමනාකරණය සම්බන්ධ වෘත්තීන්හි යෙදී සිටින කම්කරුවන්ට සේවා ප්‍රමිති, සාධාරණ වැටුප්, රක්ෂණාවරණ හා සමාජ ආරක්ෂණය තහවුරු කරනු! 


ජෝන් පර්කින්ස් ලියූ Confessions of an Economic Hit Man නම් පොතේ සඳහන් වන ආකාරයට ඉස්සර කාලේ සවුදි අරාබියේ ප්‍ර‍ධාන නගරවලට එළුවන් අත්‍යවශ්‍ය වුණාලු. ඒ කසල ශෝධනය සඳහා. සවුදි අරාබිය නවීකරණය වීම ආරම්භ වුණේ මේ කසල කළමනාකරණ ක්‍රමය වෙනස් කිරීමත් සමගයි. 

(ලංකාවේ ඊනියා වෙළඳපොළ විරෝධීන් කසල කළමනාකරණය පෞද්ගලික අංශයට භාර දෙන එකත් කසල වෙළඳපොළකරණයකැයි සලකනවා විය හැකි ය. කසල කළමනාකරණය ද ජීවිතයට ඉතා වැදගත්, අත්‍යවශ්‍ය දෙයක් නිසා එය ද රජය විසින් තෝරා ගත් පිරිසකට පමණක් කළ යුතු යයි ඔවුන් සිතනවා ඇත. වෙළඳපොළකරණය ගැන නිර්මාල් රංජිත් දේවසිරි විසින් දක්වන ලද //හැබැයි මෙතන තියෙන උත්ප්‍රාසය තමයි අවුරුද්ද වෙළද පොලකරණය වීම ගැන විවේචනය කරන Ajith Perakum Jayasinghe ඊට වඩා සමාජයීය වශයෙන් බෙහෙවින් හානිදායක වන අධ්‍යාපනය වෙළදපොළකරණයට මාරාන්තික ලෙස පක්ෂ වීම.// යන අදහසට ප්‍රතිචාර මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.