2017-04-03

අපි මේවා කිව්වා කියලා මොකවත් වෙනසක් වෙන්නේ නැති බව අපි දන්නවා

මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය. 

මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න

මුල් කොටස මෙතැනින් 


දෙවන කොටස මෙතැනින්

අද අවසන් කොටස

පිරිමි ළමයිගේ නේවාසිකාගාරය

සර්, පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරය තියෙන්නේ, පිට්ටනියට පහුකරලා බාස්කට් බෝල් පිටිය ලඟ. ඒක තට්ටු දෙකේ ගොඩනැගිල්ලක්. අපි පිරිමි ළමයි ඔක්කෝ ම ඈත පැතිවලින් ඇවිත් මෙහෙ නතර වෙලා ඉන්නේ. ගොඩක් බලාපොරොත්තු තියාගෙන අපි මෙහෙට ආවේ. දැන් නම් එහෙම කිසිම බලාපොරොත්තුවක් හිතේ නැහැ. කාලේ ඉවර වුණා ම යන්න බලාගෙන ඉන්නේ. ගෙදර දී වේලක් ඇර වේලක් කාලා හරි සතුටෙන් හිටියා. දැන් එහෙම නැහැ. එදාට නියමිත වැඩ කරලා පුහුණුවීම් කරලා වෙන දෙයක් බලාගෙන ඉන්නවා. කන ගුටිවල සීමාවක් නැහැ. සමහර වෙලාවට නේවාසිකාගාරයේ සර්ලා ගහනවා. එහෙම ගහන්නේ ඇයි කියලා හේතුව අපි දන්නෙත් නැහැ.

නේවාසිකාගාරයේ සර්ලට කේලම් කියන අයියලා ටිකක් ඉන්නවා. ඒ අය හරි ම සැරයි. සර්ලාගෙන් ගුටි කන තරමට ම ඒ අයගෙනුත් ගුටි කන්නත් ඕනේ. ඒ අයියලාගේ යට ඇඳුම් පවා හෝදන්න ඕනේ. ඉන්න බැරි තැන සමහර අයියලා මල්ලිලා පැනලා යනවා. ඒ අයගේ අම්මලා තාත්තලා නේවාසිකාගාරයේ හැටි දන්නේ නැති නිසා ආයෙත් ගෙනත් එයාලාව භාර දෙනවා. එහෙම පැනලා යන අයට රෑට හොඳ ගුටි. ඒක නිසා ගොඩක් දෙනෙක් නේවාසිකාගාරයට අහුවෙලා කරගන්න දෙයක් නැතිව ඉන්නවා. කිව්වට කිසිකෙනෙක් පිළිගන්නෙත් නැහැ. හැබැයි හැමෝම කියන්නේ අපට ශීෂ්‍යත්වයක් දුන්නා කියලායි සර්.

සර්, මම ආපු මුල් දවස්වල අපි හැමෝම ගල් ගැහිලා පුදුමයට පත්වෙලා යන සිද්ධියක් වුණා. මගේ කරුමෙට මම ඒ සිද්ධිය ඇස් දෙකෙන් ම දැක්කා. මම ඒ වෙලාවේ හිටියේ උඩ තට්ටුවේ. පාලිත සර්ලාට කේලම් කියන අයියලා දෙන්නෙක් තවත් අයියා කෙනෙකුට බැට් එකකකින් බිම දාගෙන ගැහැව්වා. කකුල් දෙකටමයි ගැහැව්වේ. මම බයෙන් වෙව්ලන්න ගත්තා. මට එතනින් යන්න විදියකුත් නැහැ.

අර කේලම් කියන අයියලා දකියි කියලා. ඉතින් මම එහෙම ම හැංගිලා හිටියා. අර ගුටි කාපු අයියාගේ නම මට මතක නැහැ. හැබැයි නාවලපිටිය වගේ කාඞ් එකක් ගහලා තිබුණා වගේ මතකයි. පස්සේ ඒ අයියට ඇවිද ගන්නත් බැරිව දවස් ගණනාවක් දුක් වින්ඳා. මමයි තව යාළුවෙකුයි ඒ අයියාට තෙල් වගයක් හොයාගෙන ගෑවා. එයා අමාරුවෙන් යනකොට එනකොට පාලිත සර් දකිනවා. ඒ ඇයි කියලා නිකමටවත් ඇහුවේ නැහැ. අපි හැමෝ ම මදි නොකියන්න ගුටි කනවා. ඒත් මේ වගේ ගුටි කනවා දැක්කේ එදා. සර්, අපිට ගුටි දෙනකොට නංගිලාට අක්කලාට වගේ නොවෙයි බිම අඩිය තියලා ඇවිදින්න බැරිවෙන්න දෙන්නේ. පාලිත සර් ලඟ නියම පොල්ලක් තිබුණා. ඒකෙන් එකක් අතකට වැදුනොත් සතියක්වත් බැඳගෙන ඉන්න වෙනවා. අපි එහෙම ගුටි කාලා නොන්ඩි ගහ ගහ හරි අත් බැඳගෙන හරි යනකොට ඉස්කෝලේ සමහර සර්ලා අහනවා ඇයි කියලා. අපි කියන්නේ ටේ‍්‍රනින් එකේ දී වැටුනා කියලා. ඒක එතනින් ඉවරයි. අයේ කවුරුත් හොයන්නේ නැහැ අපි ගැන.

සර්, ගැහැණු ළමයින්ට වගේ නොවෙයි අපිට පුහුණුව හරි අමාරුයි. ගොඩක් වෙහෙසෙනවා. ඒත් පුහුණුව ඉවරවෙලා ඉක්මනින්ම ඇඟ හෝදගෙන කන්න ආවත් බොහෝ ම වෙලාවට කෑම නැහැ. උයලා නැහැ කියනවා. එතකොට අපි ඉස්කෝලේ යන්නේ, ඉන්න බැරි බඩගින්නකින්. පන්තියට යන්න පරක්කු වුණොත් පන්තියේ මැඩම්ලා බනිනවා. ඒක නිසා කොහොම හරි යනවා. පස්සේ පළමුවෙනි කාලච්ඡේදයෙන් පස්සේ ගිහින් කනවා.

සමහර වෙලාවට, අර අපේ සර්ලාට කේලම් කියන අයියලා, කෑම එකේ මොනවා හරි හොඳ දෙයක් තිබුණොත්, අපි එනකොට එයාලා ඒක කාලා ඉවර කරලා. එතකොට තියෙන දෙයක් එක්ක අපි කනවා, ඒ තරමට ම බඩගින්න සර්.

සර්, අපට අපි ගෙදරින් ගේන සල්ලිවත් ලඟ තියා ගන්න බැහැ. අර අපේ සර්ලට කේලම් කියන අයියලා හොරකම් කරනවා නැතිනම් බලෙන් ගන්නවා. ඒක නිසා අපි, අපේ සල්ලි තියලා තියෙන්නේ ඉස්කෝලේ ලඟ කඩවල්වල. අපි මොනවා හරි ගන්න ඕන වුනා ම කඬේට ගිහින් සල්ලි ඉල්ල ගන්නවා. ඒ කඬේ ඇන්ටි දන්නවා නේවාසිකාගාරයේ හැටි. නිවාඩුවට හරි වෙනත් වුවමනාවකට හරි ගෙදර ගිහින් එන දවසට අපි කීපදෙනෙකුට හරියන්න ගෙදරින් කෑම ගේනවා. ඉතින් අපි හිනාවෙවී ඒවා කනවා. කවුරු හරි ගෙදර ගිහින් එනවා කියන්නේ අපිට අවුරුදු වගේ. ඒත් අර කේලම් කියන සාමාන්‍ය පෙළ විභාගෙවත් පාස් නැති, උදේට ගොඩක් වෙලාවට ඉස්කෝලෙවත් යන්නේ නැති අයියලා අපෙන් කෑමත් හොරා කනවා, නැතිනම් බලෙන් ගන්නවා සර්. පාලිත සර් නිතරම නැති නිසා අපිව පාලනය කරන්නේ ඒ අයියලා. පාලිත සර් අහන්නෙත් ඒ අයියලා කියන දේ. අපි කියන දේ කනකට ගන්නේ නැහැ. දැන් අපි කියන්න යන්නෙත් නැහැ සර්ට. එක දවසක් මල්ලි කෙනෙක් මේ කරදර ඔක්කෝ ම ලියලා පාලිත සර්ගේ කාමරයට ලිවුමක් දාලා තිබුණා. පාලිත සර් දීල ද නැතිනම් ඒ අයියලාට වෙන ක‍්‍රමයකට ලැබිල ද දන්නේ නැහැ, ඒ මල්ලි ලියපු ලියුම අර කේලම් කියන අයියලා ලඟ. ඒ අයියලා අපි හැමෝගේම අත් අකුරු බල බල අපිට මදි නොකියන්න විකට් පොලූවලින් ගැහැවා. මගේ යාළුවෙක් ව ඒගොල්ලෝ හොඳට ම සැක කරා. අර රෙස්ලින් කල අයියා කෙනෙක් හිටියේ සුදුපාට එක්කෙනෙක් අන්න එයා මගේ යාළුවාට හොඳට ම ගැහැවා. එදා නම් එයාට අමාරු වුණා. අර අයියා තව මල්ලි කෙනෙකුට ගැහුවා ඇඳන් දෙකක් විතර යටින් යන්න. අපි ඒ කේලාම් කියන අයියලාගේ යට ඇඳුම් පවා හෝදන්න ඕනේ. අපේ අම්මලා තාත්තලා දුප්පත් තමයි, නමුත් අපිව මෙහෙට එව්වේ වැඩකාරකමට නෙවෙයිනේ. පුදුම ශිෂ්‍යත්වයක් සර් මේක. අපේ මැඩම්ලා සර්ලා කියන්නේ මෙහෙට එන්න වාසනාව තියෙන්න ඕනලූ. අපි සමහර වෙලාවකට බඩවල් අල්ලගෙන හිනාවෙනවා, ඒවා මතක් කරලා.

සර්, අපිට නේවාසිකාගාරයෙන් ලැබෙන කෑම කොහොමත් මදිනේ. ඉතින් අපි ගොඩක් වෙලාවට එළියේ කඩවලින් තමයි බඩපුරව ගන්නේ. අපේ සර්ලා ඒක දන්නවා. නොදන්නවා වගේ ඉන්නේ. අපිට ඉස්කෝලෙන් දෙන කෑම සල්ලි ප‍්‍රමාණවත් නැති නිසා, අපි හැමෝ ම ගෙදරින් කිරිපිටිත් ගේනවා. ඒ මදිවට මාසයකට රුපියල් පන්දාහක් විතර ගෙන්න ගන්නවා. එක එක දේවලට. අපි ගොඩක් මහන්සි වෙනවනේ. ඒක නිසා බඩගිනි එනවා වැඩියි. අපේ අතේ තියෙන සල්ලි ඉවර වුණා ම, හැමදාම ගෙදරට කරදර කරන්න බැහැනේ. ඒක නිසා අපි කරන්නේ හැමෝම නිදා ගන්න කල් ඉඳලා රෑට පොල් කඩනවා. ඊට පස්සේ හිරමණය බාස්කට් බෝල් පිටියට අරන් ගිහින් පොල් ලෙලි ගහලා පොල් ගාලා සමපෝෂ ගුලි හදාගෙන කනවා. එහෙම කනකොට සමහර දවස්වලට අර අයියලාට අහුවෙනවා. ඒ අය අපිට හොඳට ම ගහලා අපි හදපු සමපෝෂ ගුලිත් කාලා පසුව දාට පාලිත සර්ටත් අල්ලලා දෙනවා. පාලිත සර් අපිට හොඳට ම අල්ලගෙන ගහනවා.

අපි ම වෙලාවකට කල්පනා කරනවා අපූරු ශිෂ්‍යත්වයක්නේ අපිට ලැබිලා තියෙන්නේ කියලා. ඉතින් සර්, මේ විදියට නිදිමරලා ගුටි කාලා බඩගින්නේ ඉස්කෝලේ යන අපිට පන්තියේදී නිකම්ම නින්ද යනවා. එතකොට ඉස්කෝලේ මැඩම්ලා සර්ලා අපිව අල්ල ගන්නවා. ”මේ බලන්න මේ ළමයි හැම වෙලාවෙම නිදි”. ”ඇසුත් අමුතු විදියකට රතුවෙලා”. ”මොනවා හරි බීලා ඇත්තේ ”. ”කියන්න මොනවද බීවේ”. ඇයි අම්මලත් ලඟ නැති එකේ මේ විදියට විනාස වෙන්න යන්නේ ”. ”පව් නේද අම්මලා”. ”නේවාසිකාගාරයෙන් හොඳට සලකනවා නේද”, ”පුහුණුවීම් කරලා”, හොඳ අනාගතයක් හදාගන්න තියෙද්දී , මොනවද මේ කරන්නේ ”. ”කීයෙන් කී දෙනාට ද මේ අවස්ථාව ලැබෙන්නේ ” කියලා උපදෙස් දෙනවා. ඉතින් අපි කොහොමද මැඩම්ලාට ඇත්ත කියන්නේ. සමහර වෙලාවට අපිට හරි ම දුකයි, අපි ගැන හොයලා බලන මැඩම්ලට බොරු කියන්න වෙන එක ගැන. ඒත් වෙන කරන්න දෙයක් නැහැනේ. අපි දන්නවා කිසිකෙනෙකුට බැහැ අපිට උදවු කරන්න කියලා. එහෙම උදවු ඉල්ලන්න ගිය අයියලා අක්කලාට වෙච්ච දේවලූයි, උදවු කරපු ඉස්කෝලේ සර්ලා මැඩම්ලට වෙච්ච දෙවලූයි අපි දැකලා අහලා තියෙන්නේ.

සර්, අපේ සර්ලා මැඩම්ලා නිතර ම අපිව ඉස්කොලේ සර්ලා මැඩම්ලාගෙන් විතරක් නොවෙයි ඉස්කෝලේ අනෙක් ළමයින්ගෙනුත් වෙන් කරලා තියන්න උත්සහ කරනවා. අර අයියලා අපිව අනෙක් ළමයි එක්ක නිතර ම ගහගන්න පොළඹවනවා. ඉස්කෝලේ ළමයිනුත් අපෙත් එක්ක ගොඩක් කතා නොකරන නිසා මේ වැඬේ අපේ අය හොඳට කරගෙන යනවා. අපේ අයත් හැමතැනින්ම ගුටි කන නිසා ඉස්කෝලේ ළමයින්ට හරි ගහනවා. එකරලා තමන්ගේ හිත හදාගන්නවා. අපේ සර්ලත් අපි ගහගත්තොත් අර අයියලාගෙන් අහලා නිකන් ඉන්නවා. ඉස්කෝලේ මැඩම්ලා සර්ලත් බනින්නේ අපිටනේ ඉතින්.

සර්, අපිට නිතර ම ගහන අර අපේ සර්ලට කේලම් කියන අයියලා ගැනත් කියන්න ඕනේ. ඒ අයත් අපි වගේ ම මෙහෙට ආව දුප්පත් අම්ම තාත්තගේ ළමයි. ඒ අයට මෙහෙ ම වුණේ මෙහෙට ආපු නිසා. හිටපු හැටියේ ඒ අය අපෙත් එක්ක හොඳින් කතා කරනවා. එතකොට ඒ ගොල්ල අපිට කියන්නේ අපි කරගත්තා වගේ ජීවිතේ නාස්ති කර ගන්න එපා කියලා. අපිට දැනෙනවා ඒ අය එහෙම කතා කරන කොට මොනවා හරි බීලා ඉන්නේ කියලා. එතකොට ඒ අයියලා කියනවා ඒ අයට වෙච්ච දේ. හරි දුකෙන් කතා කරන්නේ. අපිට කියනවා කොහොම හරි විභාගේ පාස් කර ගන්න පාඩම් කරන්න කියලා. එතකොට අපිටත් ඒ අය ගැන දුක හිතෙනවා. ඒ වෙලාවට, අපිට එ අය උපදෙස් දෙන්නේ හරියට තාත්තලා වගේ. එතකොට හිනාත් යනවා. දුකත් හිතෙනවා.

ඒ අයියලා අපිට දවසක් කීවා, මේ ඉස්කොලේ ප‍්‍රින්සිපල් සර්ට වඩා සුසන්ත සර් තමයි නේවාසිකාගාරය සහ ක‍්‍රීඩා පසලේ වගකීම භාරව ඉන්නේ කියලා. ඒගොල්ල එකතුවෙලා මීට කලින් හිටිය ප‍්‍රින්සිපල් කෙනෙක්වත් මෙහෙන් යැව්වලූ. ඒක නිසා අපිට සුසන්ත සර්ටවත් පාලිත සර්ටවත් යමුනා මැඩම්ටවත් ඉවොන් මැඩම්ටවත් විරුද්ධව මොනවත් කරන්න, කියන්න එපාලූ. ඒ අයියලා අපෙන් අහනවා, කවුරුත් අපේ සර්ලට මැඩම්ලට විරුද්ධව වචනයක්වත් කියනවා දැකලා තියෙනවාද කියලා. අපිටත් හිතෙනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා.

ඒක නිසා වෙන්න ඇති ඉස්කොලේ අනෙක් ළමයි ගැන උනන්දුවෙන් හොයලා බලන ඉස්කෝලේ මැඩම්ලා සර්ලා අපි ගැන එතරම් බලන්නේ නැත්තේ. නේවාසිකාගාරයේ පැත්ත පලාතේ එන්නේ නැත්තේ. සර්, අපේ අයියලා අක්කලා ඉන්නවා සාමාන්‍ය පෙළ දෙවන පාර ලියලත් අසමත් අය. ඒ අයට ඉස්කෝලේ ඉන්න බැහැනේ. ඒත් අපේ මැඩම්ලා සර්ලා එයාලට යන්න දෙන්නේ නැහැ. ඉන්න කියනවා. එහෙම උනාම ඒ අයට නැවත පෞද්ගලිකවත් සාමාන්‍ය පෙළ දාන්න බැහැ. තුන්වන පාර කරනවා නම් පෞද්ගලිකවනේ දාන්න ඕනේ. එතකොට ඉස්කෝලෙන් අයින් වෙන්න කියනවානේ. ඒක නිසා ඒ අයට අපේ මැඩම්ලා සර්ලා විභාගේ කරන්න දෙන්නේ නැහැ. මොන තරම් පව් ද සර්. එහෙම අපේ මැඩම්ලා කියන එක අහන්නේ නැතිව, පෞද්ගලිකව විභාගේ කරන්න තීරණය කලා ගිය අවුරුද්දේ අයියලා දෙන්නෙක්. ඒ අය මෙතෙක් කාලයක් ඉස්කෝලේ වෙනුවෙන් කල සියල්ල ම ඉවරයි සර්, හොඳට ම සාප කරලා යැව්වේ. කිසි ම ක‍්‍රීඩා සහතිකයක් දුන්නේ නැහැ.

සර්, මගේ යළුවෙක් මීට ටික කාලයකට ඉස්සල්ලා පැනලා ගියා. එයා නිතර ම අර අයියලාගේන් ගුටි කෑවා. පාලිත සර් දැන දැනත් ඒ ගැන බැලූවේ නැහැ කියන එක එයා හොඳට ම දැන ගෙන හිටියා. ඒක නිසා එයා නේවාසිකාගාරය අතහැරලා යන්න තිරණය කලා. මාත් එක්ක එයා ඒ ගැන නිතර ම කිවා. මම කිවා , ”උඹට නම් ගියපුවා ම අම්මා හොඳින් සලකයි. ඒත් මට එහෙම ද. මම මෙතනින් පැනලා ගියොත් තවත් අමාරුවේ. මම ඔහේ ඉන්නවා ගුටි කකා කියලා.” එක දවසක් රෑ 1 ට විතර යාළුවා මාව ඇහැරෙව්වා. මට කිව්වා මම දැන් යනවා කියලා. මම කිව්වා එපා කියලා. එයා උඩ තට්ටුවේ ජනේලෙන් එයාගේ මල්ල පාරට විසිකළා. ඒකරලා හොරෙන් පහළට ගියා. මම නිදාගත්තා. පස්සේ එයා කිව්වා එදා නේවාසිකාගාරය ලඟ බැම්මෙන් එහාට පැනලා. පාර දිගේ දිව්වලූ යාන්තමට එළිය වැටෙන කල්. සර් දන්නවා ද, එයා දුවලා තියෙනවා පැය පහක් පමණ. අලවතුගොඩට වෙනකල් දිව්වලූ. කොහෙ ද සර්, අලවතුගොඩ තියෙන්නේ ගොඩක් දුර ද. මම නම් දන්නේ නැහැ.

තව කෙනෙක් හිටියා විදුහල්පති කෙනෙකුගේ පුතෙක්. හොඳ දක්ෂයා. අපරාදේ එයාගේ ක‍්‍රීඩා දක්ෂතා එහෙන්ම ම නැතිවෙන්න ඇති. එයත් එක්ක අපේ සර්ලා මැඩම්ලා හරි තරහෙන් හිටියේ. ඇයි දන්නේ නැහැ. තාත්තා විදුහල්පති නිසා ද කියලා. එයා හරියට මෙහෙදී දුක් වින්දා.

එයාට අර කේලම් කියන අයියලා හරියට ගැහුවා. එයා ඉස්කෝලේ මැඩම්ලා සර්ලා එක්කත් ප‍්‍රශ්න හදාගෙන තිබුණා. අන්තිමේට එයා යන්න ගියා. අදටත් මම කියන්නේ එයාට හොඳ අනාගතයක් තිබුණා කියලයි. අපරාදේ එයා මෙහෙ ආවේ. ගියේ ක‍්‍රීඩා එපාවෙලා. එක දවසක් එයාට මෙහෙ නේවාසිකාගාරයේ කරදර ඉවසගන්න බැරුව රේසරයකින් හොඳට ම කකුල කපා ගත්තා.

සර්, ටිකක් යමක් කමක් කරන්න පුළුවන් අම්මෙකුගේ තාත්තෙකුගේ දරුවෙකෙු නේවාසිකාගාරයට ආවොත් එයා නම් නිකං ඉන්නේ නැහැ. එයා නේවාසිකාගාරයේ අසාධාරණ වැඩවලට විරුද්ධ වෙනවා. එයාලාගේ අම්මලා තාත්තලාත් හොයලා බලනවානේ. එතකොට අපේ මැඩම්ලා සර්ලා කරන්නේ , ඉක්මනින් ම එයාට විරුද්ධව බොරු වැරදි හදලා නේවාසිකාගාරයෙන් යවනවා. ඉස්කොලෙනුත් යවනවා. සුසන්ත සර් ඒවාට හොඳට උදවු කරනවා. නිතරම අපෙනුත් අහනවා. එයා ගිය එක හොඳයි නේද කියලා. අපිත් ඉතින් ඔව් කියලා ඔලූව හොලවනවා. වෙන මොනවා කරන්න ද ?

සර්, අපි මෙහෙට එනකොටත් හොඳට ක‍්‍රීඩා කරපු අයනේ, අපිව තෝර ගත්තෙත් ඒ නිසානේ. අපි නම් කතා වෙන්නේ, මෙහෙ පුහුණුවෙන් ලොකු දියුණුවක් අපිට වුණේ නැහැ කියලයි. මොකද අපි එනකොටම පෙන්නපු දක්ෂතා දැන් අඩුවෙලා තියෙන්නේ. නැතිනම් තිබුණ තැනමයි. ගොඩක් අමාරු පුහුණුවක් දීලා අපව වෙහෙසට පත් කරත් අපේ ක‍්‍රීඩා කුසලතා එහෙමට වැඩිවෙලා නැහැ. අපි කොහේ හිටියත් හොඳට දුවන අයනේ. ඉතින් එක එක තැන්වල හොඳට දුවන අය එක ඉස්කෝලෙකට දුවනකොට අනෙක් ඉස්කෝල පරදිනවා තමයි නේද සර්. වෙනදට වඩා ශරීර වර්ධන ව්‍යායාම කරන නිසා, ඇඟවල් නම් හැදිලා තියෙනවා. අපි කරන ඉසව්වට හරියන ව්‍යායාම කෙරෙනවා අඩුයි.

සර්, පිරිමි ළමයින්ගේ නේවාසිකාගාරය භාරව කෙනෙක් ආවා මීට අවුරුදු දෙකතුනකට ඉස්සල්ලා. මුලින් නම් එයා ටිකක් හොඳට හිටියා. පහුවෙනකොට එයාත් වෙනස් වුණා. අපේ නේවාසිකාගාරයට එහා පැත්තේ ඉඩමක් වෙන්දේසි දැම්මා. අපේ නේවාසිකාගාරය භාර කෙනා තමයි එක එක්කනාට ඉඩම් පෙන්නන්න යන්නේ. හිටපු ගමන් එයා අමුතු විදියට කතා කරනවා. අපි දන්නවා එතකොට එයා මොනවා හරි බීලා ඉන්නේ කියලා. සමහර දවස්වලට එයා අපේ අයියලා හරි මල්ලිලා අල්ලගෙන අර ඉඩමේ පස් පුරවනවා වගේ වැඩ කරනවා. අපේ අයියලාටත් කරන්න දෙයක් නැහැනේ. ඉතින් එයාලත් ඒවා කරනවා. මේ වගේ තව ඕන තරම් කතා තියෙනවා සර් කියනවා නම්. ඔය ඇතිනේ.

අපි මේවා කිව්වා කියලා මොකවත් වෙනසක් වෙන්නේ නැති බව අපි දන්නවා. මොනවත් නොවුනත් කමක් නැහැ. අපි ගොඩක් දුක් විඳිනවා කියලා දැනගත්තානේ ඒත් ඇති. අපි මේ කිව්වේ අපේ සාගරයක් වගේ දුක්කන්දරාවෙන් බින්දුවක් වගේ කොටසක්. කාට හරි අපේ මේ තොරතුරු හරියට හොයලා, අපිව මේ උගුලේන් ගලවගෙන අපේ දක්ෂතා තවත් දියුණු කරන්න වුවමනාවක් තියෙනවා නම් ඉතා ම සාධාරණ පරික්ෂණයක් කරන්න කියලා අපි ඉල්ලනවා. නැතිව බොරුවට බාගෙට උවමනාවක් නැතුව තොරතුරු හොයලා බාගෙට පරීක්ෂණ කරලා තවත් අපිව අමාරුවේ දාන්නේ නැතිව. ඊට හොඳයි අපි දැන් මේ ඉන්න විදිය.

ස්තූතියි අපේ කතාව කියෙව්වට

මීට
නේවාසිකාගාරයේ අපි

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. මොකක්ද මේ ශ්‍රී ලංකා මොඩලයේ "හරිම පුදුම ඉස්කෝලේ"?

    ReplyDelete
    Replies
    1. A.Ratnayaka central college Walala menikhinna Srilanka

      Delete
  2. මේ ලිපි මාලාව මගින් මතු කල කරුනු සත්‍ය නම් රටේ අධ්‍යාපනයට දෙයිය්නගේම පිහිටය. සයිටම් විරෝධයටත් වැඩි විරෝධයක් අධ්‍යාපනය සම්බන්ධ මෙවැනි කරුනු සම්බන්ධයෙන් සමස්ත ජනතාවම ඒක රාශි විය යුතුය.

    යම් විදියකින් මෙම ලිපි මාලාවේ සදහන් කරුන අසත්‍යනම්, ලබන වසරේදී නෙළුම් යාය 2017 හොදම නිර්මාණයට හිමි සම්මානය මෙම බ්ලොගයට ලබා දිය යුතුය.

    ReplyDelete
    Replies
    1. මෙතරම් හොඳින් ප්‍ර‍බන්ධයක් කිරීමේ හැකියාව මට නම් නැත. එහෙයින් මෙම විස්තරය අපට ලියා එවූ අයට එම සම්මානය ලබා දිය යුතු ය.

      Delete
    2. අන්තිම පේලියේ පලවූ මෙවැනිම සත්‍යත් ප්‍රබන්ධයත් අතර සිර වූ කතාවක්.

      නිසංසලා තලඑලලු හුරුබුහුටි පුංචි දුවෙක් ඉගෙන ගත්තේ තුනේ පන්තියේ කාටවත් කරදරයක් නැති පුංචි නිසංසලා ඉස්කෝලේ අවේ ගියේ තනියම එහෙම වෙන්න හේතුව තමියී නිසංසලාගේ ගෙදර තිබුනේ කුකුලේගල මුදුනට වෙන්න තිබුණු පුංචි තැනිතලාවේ ඉතිං කදු මුදුනට වෙන්න තිබුණු එකම ගෙදර නිසංසලාගේ
      නිසංසලාගේ ඔක්කොම යාලුවෝ හිටියේ ඉස්කෝලේ ලග පුංචි නිසංසලා ගොඩක් අග හිගකම් මෙද්දේ ජීවත් වෙච්චි ළමයෙක් එත් නිසංසලා ඉස්කෝලේ නොවරදවාම ගියා එයාට තිබුනේ කහ ගැහුණු එකම පුංචි ගවුම හැමදාම පහල දොලෙන් හේදුව එතකොට අතමම නිසංසලාගෙන් අහනවා දුවේ ඔය ගවුම දැන් හොදලම දියවෙලම යාවි කියල ඉතින් පුංචි නිසංසලා කවදාවත් එකට උතරයක් දුන්නේ නෑ. නිසංසලා දන්නවා දර කපල විකුණන තාත්තට ගව්මක් අරන් දෙන්න තරම් වත් කමක් නැති විත්තිය
      ඉස්කෝලේ ගිහින්ආපු නිසංසලා හිටියේ චකිතෙකින් දවල් විවේක කාලේදී පන්තිභාර ගුරුතුමී ඔක්කොම ලමියින්ට එන්න කියල රස්වෙමක් තිබ්බ

      “ළමයිනේ අලුත් චක්රලේකනයට අනුව පෝෂදායක අහාර වේලක ලමියින් ගන්න ඔනී ඉතින් කව්රුත් හෙට ඉදලා මුන් කුව්පි අල වගේ පෝෂණය සහිත අහාර අරගෙන එන්න ඔනෙ”

      පුංචි නිසංසලා හවස් වරුවෙම දොළ ගාවට වෙලා කල්පනා කළා ඉස්කෝලෙට පෝෂදායක අහාර වේලක අරගෙන යන්නේ කොහොමද කියල ඊයේ අම්ම රොටි තුනක් හැදුව තාත්තට එකක් නිසන්සලට එකක් අතම්ම්යි අම්මියි එක රොටියක් දෙකට කඩාගෙන කෙව ගෙදර හරියටම තිබුන පිටි ටිකත් ඉවරයි ඉතින් කොහොමද ඉස්කෝලෙට කෙම ගෙනියනේ පුංචි හිතට හරිම දුකයි කරුවල වැටෙනකොට අතමම නිසංසලා හොයාගෙන දොළ ලගට අවා
      “ වරෙන් මගේ රත්රන් දුවේ දැන් කරුවල වෙටෙන්නත් ලගයි”

      පුංචි නිසංසලා ඇස් කොනට ආපු පුංචි කදුළු බින්දුව අත්ලෙන් පිසදම්ම
      පසුවදා නිසංසලා ඉස්කෝලේ ගියේ පුංචි බයකින්.උදෙන්ම යාලුවෝ ඉස්කෝලේ ඇවිත්
      යාළුවන් එක්ක සෙල්ලමට වැටුණු නිසංසලා ට ඔක්කොම අමතක යි ඔන්න ටික වෙලාවක් ගතවුණා ගුරුතුමිය විවේක කාලය දන්වන සීනුව නද කලා
      ඔක්කොම දරුවන් ගෙදරින් ගෙනාපු කෙම කන්න ලස්ති උන ඔක්කොම ලමින් ගුරුතුමියට තම තමන් ගෙනාපු කෙම පාර්සල් පෙඉන්නුව නිසංසලා ත් තමන්ගේ කෙම පාර්සල් පෙන්නුවේ අනිත් ලමුන්තට් පෙනෙන්න එක්ක ඉතින් ලමින් කෙම කන්න පටන් ගත්ත නිසංසලා තමන්ගේ කෙම පර්ස්ලයත් අරගෙන් හෙමිහිට පිටනියේ මාර ගහ යට්ටට ගියා ඈතින් හිටපු හිමාලි ටීච නිසංසලා යන්නී කොහෙද කියල බලාගෙනෛඉ හිටියේ ඉතින් පුංචි නිසංසලා කාටත් හොරෙන් මාර ගහ යට ඉදගත්ත
      කවුරුවත් පෙනෙන්න නැහැ හිමිහිට ලර්සල්ය අතට අරගෙන දිග ඇරලා ඔතල තිබුණු පත්තර කොලෙන් වහ ගත්ත කාටවත් නොපෙනෙන්න. මාරගහ උඩ් හිටපු කපුටෙක් කාක් කියල පියබල ගියා පුංචි නිසංසලා ගේ අත කෙම පර්සලයට්ත් කටටත් කීප වරක් උස්පහත් උන හිමාලි ටීච එනවා පුංචි නිසංසල දෙකේම නී හිමාලි ටීච මාර ගහ පිටිපසෙන් ඇවිත් නිසංසලා කෙම කනවද කියල බෙලුව
      එත් නිසංසලා දැක්කේ නී හිමාලි ටීච් දුටු දෙඉන් හිමාලි ටීචගේ කම්මුල් දිගේ ලොකු කදුළු බින්දු එක දිගට කඩාගෙන වැටුන නිසංසලාලට නොපෙනෙන්න හිමාලි ටීච සාරියෙන් කදුළු පිසදමමින් පසල පැත්තට දිවගියා නිසංසලා කඩදාසියෙන් කාටවත් නොපෙනෙන්න ගඩොල් කෙටයෙන් බාගය ඔතාගෙන බෙග් එකට දාගත්ත බඩ නොපිරුනත් නිසංසලා ලග තිබුණු ටැප් එකෙන් වතුර ගොඩක් බීල බඩ පුරවා ගත්ත

      Delete
  3. ඇයි මේවට නිත්‍යානුකූල පියවර ගන්න බැරි ?

    ReplyDelete
  4. අධ්‍යාපන ඇමතිවරයාට මෙම ලිපිවල පිටපත් යොමුකර තිබේද?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.