2017-05-31

මෙවැනි ව්‍යසන නැවත සිදු නො වීමට

වාර්තාකරණයේ නිදර්ශනයක් - ශෙහාන් ගුණසේකරගේ කැමරාව 
මොරා කුණාටුව ලංකාවෙන් ඈත්ව බංග්ලාදේශය වෙත යොමු වීම ගැන ඔබ ඇතැමෙකු සතුටු වන්නට ඇත. එහෙත්, බංග්ලාදේශයේ සිටින්නේත් ඔබ අප වැනි ම මිනිසුන් බව ඔබට සිහි වුණා ද? ජාති හා ජාතිකවාදයන් විසින් නිර්මානය කර තිබෙන දේශසීමා ඔස්සේ මිනිස් වර්ගයා බෙදීම කෙතරම් මානුෂික ද යන්න සිතන්නට මෙය අවස්ථාවක් කර ගන්න.

කෙසේ වෙතත්, අප තරම් ජාතිය ගැන ආඩම්බර නො වන මුත්, බංග්ලාදේශය පවා ලක්ෂ පහක් පමණ ජනතාව අවදානම් ස්ථානවලින් ඉවත් කර ආපදාවෙන් සිදු වන ජීවිත හානි අවම කර ගන්නට උත්සාහ කරනු දක්නට ලැබිණි.



ලංකාවට ආපදාව කළමනාකරණය කර ගන්නට බැරි වීම ගැන අදහසක් අගමැතිවරයා ම ප්‍රකාශ කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර ප්‍රදේශයට අධික වැසි ලැබුණු බව අදාළ අංශවලට සන්නිවේදනය කර නැති බව පෙනේ. එසේම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධ සිය වගකීම් ඉටු කර නැති බව ද පෙනේ. නිසි සන්නිවේදනයක් සිදු වී නම්, රජයට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත්, අඩු තරමේ මිනිසුන් හෝ වහා ඉවත් කර, ගංවතුර නිසා සිදු වූ ජීවිත හානි අවම කර ගන්නට හැකියාව තිබිණි.

ඇතැමෙකු අගමැතිගේ ප්‍රකාශය විහිළුවට ගත්තත්, එහි තිබෙන ගැටලුව හඳුනා නොගතහොත් අපට ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත.

දැන් මෙම වරද නිසා කීදෙනෙකු ජීවත අහිමි කර ගත්තා ද? එයට වගකිව යුත්තෙකු නැද්ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අදාළ බලධාරීන්ට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග මොනවා ද?

කෙසේ වෙතත්, මෑත වකවානුවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සැලකිය යුතු සංවර්ධනයක් සිදු වූ බව අප අමතක නො කළ යුතු ය. මෑත වකවානුවේදී බොහෝ දුරට නිවැරදි කාලගුණ තොරතුරු ලබා දීමට එම දෙපාර්තමේන්තුව සමත් විය. 

මේ මා 2016-06-12 සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක්. අප මේ සිද්ධිය වාර්තා කළේ නිල නො වන ආරංචි මාර්ගවලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙනයි.

ඔන්න මේ කියන රටේ 2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට ඒ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.

අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. සෑහෙන කලක් යනතුරු පැකිං කැඩුවේවත් නැහැ.

ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ඒ රටේ තියෙන ගොන්ගල කියන කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.

පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතිය කොරිඩෝවක වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින් තිබුණා. කොහොමින් කොහොම හරි ඒක එතැනට අරගෙන ගියා ය කියමුකෝ. ඒක කුලුන උඩට උස්සන්නට අවශ්‍ය තාක්ෂණය අර කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු රජයේ ආයතනයට නැහැ. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා දොඹකරයක් කුලියට ගත්තා.

නිසි තාක්ෂණය පාවිච්චි නො කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රේඩාර් පද්ධතිය ඔසවද්දි දොඹකරය පෙරලුණා කියමුකෝ. එතකොට උස්සපු කෑලිවලට මොනවා වෙන්න ඇති ද? ඒවා කන්දෙන් පහළට රෝල් වෙන්නත් ඇති. දොඹකරයේ ක්‍රියාකරුවාගේ අත පයත් කැඩුණා. ඒ වුණාට ඒක කුලියට ගත්ත දොඹකරයක් නේ. ඒ නිසා ඒ වැඩේට සම්බන්ධ නිලධාරි ඒ ගැන කරදර වුණේ නැහැ.

දැන් ඉතින් මොකද කරන්නේ? කෑලි ටික අහුලලා එතන මුර කුටියකට දාලා වැහුවා. හොරුන්ගෙන් පරිස්සම් කරන්නට අර කොන්ත්‍රාත් කරපු රජයේ ආයතනය එතැනට මුරකරුවෙක් යෙදුවා. ඔහොම කාලය ගත වුණා. මුරකරුවාට වැටුප් ගෙව්වේ කොන්ත්‍රාත් කරපු ආයතනය. ඒගොල්ලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා දැන් කුලුන භාර ගන්න කියලා. ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුව ඒක කළේ නැහැ කියමුකෝ.

මේ රජයේ ආයතන දෙක අතර මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඊට පස්සෙ මුරකරුවා ඉවත් කළා. හොරු ඇවිදින් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතියේ කොටස් ගලවාගෙන ගියා.

මේ වෙනකොට මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට මහජන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැය කරලා ඉවරයි. ඊට පස්සෙ?

ඒ ආයතනය තීරණය කරනවා, එම උපකරණ අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් එකක් මිළ දී ගන්නා එක ලාභයි කියලා. අලුත් එකක වර්තමාන මිළ රු. මිලියන 600ක් විතර වෙනවා. ඒක පරීක්ෂා කරන්නට, මිළ දී ගන්නට එහෙම නිලධාරි පිටරට යන්නත් ඕනැ.

මේ රටේ රාජ්‍ය ආයතන කටයුතු කිරීමට පුරුදු වී තිබෙන්නේ මේ ආකාරයට ය. අප හමුවේ තිබෙන අභියෝගය මෙවැනි රාජ්‍ය ආයතන සක්‍රිය කිරීමයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇමතිවරයාගේ සිට පුනරුත්ථාපනය කළ යුතුව තිබේ. මුළු රටට ම ආපදා තත්වයක් ප්‍රකාශ කර සියලු දෙනාට ඉවත් වෙන්න ය කියන්නට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් අවශ්‍ය නැත. සෑම ප්‍රදේශයක් සම්බන්ධයෙන් ම ආපදා වළක්වා ගැනීමේ හා කළමනාකරණය කිරීමේ සැලසුම් සකස් කර යාවත්කාලීන කරමින් නඩත්තු කළ යුතු ය.

කෙසේ වෙතත් මෙය ද කිව යුතු ය. කොයි තරම් අඩුපාඩු තිබුණත්, ආපදා කළමනාකරණයේදී ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, දිසා ලේකම්ගේ සිට ග්‍රාමසේවක දක්වා රාජ්‍ය පරිපාලන සේවා, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන අායතන, 1990 ගිලන් රථ සේවාව ආදිය කළ කාර්යභාරයට කිසි සේත් ම සම වෙන්නට කිසිවෙකුට හැකියාව නැත.

එසේම, එසේ සම වන්නට ප්‍රචාරයෙන්වත් උත්සාහ ද නො කළ යුතු ය. ඒ වෙනුවට අන් සියලු දෙනා විසින් කළ යුතුව තිබෙන්නේ ආපදා කළමනාකරණයෙහි මූලික වගකීම සහිත රජයට අනුපූරක වීමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබේ. වැඩ නො කරන අය ගැන සොයා බලා ඔවුන් හෙළිදරව් කළ යුතු ය. එහෙත්, වැඩ කරන මිනිසුන් අගය කරන්නට ද සමාජයක් ලෙස අප පසුබට නො විය යුතු ය.

පසුගිය කාලය මුළුල්ලේ රජය හැඩගස්වන ලද්දේ දේශපාලන අධිකාරය විසින් කියන වැඩ කිරීමට ය. වර්තමාන ආණ්ඩුව මේ හස්තය බුරුල් කර ඇත. එහෙත්, රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් එම තත්වය භාවිතා කර තිබෙන්නේ වැඩ කිරීමට ද? ඔවුන්ට තීරණ, තීන්දු ගෙන ක්‍රියාත්මක වීමට දී තිබෙන සාපේක්ෂ නිදහස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීම ඔවුන්ගේ වගකීමකි. අවංකව මහජන සේවය වෙනුවෙන් වැඩ කරන මිනිසුන් FCIDයට බිය විය යුතු නැත. එහි ගිය කිසිවෙකු එ් වෙත යොමු වුණේ මහජන සේවය වෙනුවෙන් කළ කටයුතු නිසා නො වේ. දේශපාලකයන් වෙනුවෙන් කළ බැල මෙහෙවර නිසා ය.   

මේ අතර, මාධ්‍ය විසින් ආපදා හමුවේ කරන ලද කාර්යභාරය ගැන තුලනාත්මකව විග්‍රහ කළ යුතු ය. මාධ්‍ය ඇත්තෙන් ම තම වගකීම නිසි පරිදි හඳුනාගෙන කටයුතු කළා ද?

මේ පිළිබඳ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මීට ටික කලකට ඉහතදී කරන ලද පහත දැක්වෙන විග්‍රහය ඉතා වැදගත් ය.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

සිදුවීම් නිවැරදිව, නිරවුල්ව වාර්තා කිරීම පැත්තෙන් නම් ලංකාවේ මාධ්‍ය දුර්වල ය. විශේෂයෙන් ම සමාජ මාධ්‍යකරුවන් මෙහිදී හැඟීම් තරමට ම වෘත්තිකභාවය ද සංවර්ධනය කර ගත යුතු ය. තහවුරු කර නො ගත් ආරංචි වගකීමකින් තොරව වාර්තා කිරීම නිසා ජනතාව කලබලයට පත් වී අපහසුතාවන්ට මුහුණ දුන් අවස්ථා ද වාර්තා විය. 

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය මෙම ආපදාවේදී ද සිය ශක්තිය කදිමට ප්‍රදර්ශනය කළේ ය. තරුණ බලවේග සමාජ මාධ්‍ය ඔස්සේ ආපදා සහන සේවා වෙනුවෙන් කළ මැදිහත්වීම මාධ්‍ය විශ්ලේෂකයන් විසින් පුළුල්ව අධ්‍යයනය කළ යුතුව තිබේ. ඉරුදින මාධ්‍යවේදී කසුන් පුස්සවෙල දකුණු පළාතේ සිට සමාජ මාධ්‍ය භාවිතා කරමින් කළ වාර්තාකරණය, පරිපාලන නිලධාරියකු වන චම්පික නිරෝෂ්ගේ මාධ්‍ය භාවිතාව, ශෙහාන් ගුණසේකරගේ කැමරාකරණය, පිලිප් ශාන්තගේ හා මනෝරම වීරසිංහගේ සමාජ මාධ්‍ය සටහන්, වෙනදා තමන් ඉතා සක්‍රිය වූ ෆේස්බුක් අවකාශයෙන් ඉවත්ව මහ පොළවේ වැඩට බට චමීර ජීවන්ත දෙද්දුවගේ, චමල් අකලංක පොල්වත්තගේ, නදී වාසලමුදලිආරච්චි, දමිත් කේතක - සයිබර් වරිගයේ උන්ඩියා, මොහොමඩ් ෆර්ෂාන්  වැනි ක්ෂණිකව සිහිපත් වන නම් කීපයක් පමණක් මෙහි සඳහන් කරමි. නම් මගහැරුණු තවත් අයට එයින් නිගරුවක් නොවේ යයි සිතමි.
චම්පික නිරෝෂ්

මෙම ආපදා තත්වය ද දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළ විශාල පිරිසක් සිටිය හ. ඇතැමෙකු විසින් මෙම ආපදාවෙහිදී කරන ලද එක ම දෙය වන්නේ තම සතුරන් කළ හා නො කළ දේ පිළිබඳ සොයා බලා අඛණ්ඩව ඔවුන්ට පහර දීමයි.

මෙවැනි අවස්ථා බලා එළියට බසින සංවර්ධන විරෝධීන් ගැන වෙන ම ලිපියක් ලිවිය යුතු යයි සිතමි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-30

ගංවතුර කඳවුරේ නයනා

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.

කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය.

ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත.

දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කාමරය මැද වැටී සිටි දුවගේ බෝනික්කකු දුටු විට නයනාට සිහි වූයේ ෆේස්බුක්හි හුවමාරු වූ දූෂණය කර මරා දමන ලද දැරියකගේ මළ සිරුරයි. ඇයට කඳවුරේ දමා ආ දුව සිහිපත් විය.

කක්කුට්ටකු හරහට අඩි තබමින් පොත් උඩින් දුව ගියේ ය.

“සර්පයොත් ඉන්නවද දන්නෙ නැහැ.” ඇය බියපත්ව පසුපසට පැන්න පාරට කකුල මඩ මත ලිස්සා ගියේ ය. ඇය උළුවස්ස අල්ලාගෙන නො වැටී බේරුණා ය. බිත්තියේ සිටි හංගොල්ලකු මිරිකී ඇගේ අතේ සෙවල තැවරිණි. ඇයට වස පිළිකුලක් දැනිණි. අැය බිත්තියේ ම බොහෝ වර අත පිස දැමුවා ය. වෙනදාට නම් ඇය බිත්තියේ කුණු ගාන්නට එපා යයි පුතාට තරවටු කරන්නී ය.

ඇගේ සැමියා රොන් මඩින් නැහැවුණ යතුරු පැදිය දෙස විස්සෝපයෙන් බලා සිටියි. ඔවුන් නිවසින් පිටව යන විටත් වෙල් යාය මැද පාර කරවටකටත් වඩා යට වී තිබුණි. ඔවුන් රැගෙන ගියේ නාවික හමුදාවේ බෝට්ටුවකිනි. කිසිවක් රැගෙන යන්නට හැකියාවක් නො තිබිණි. ජීවිත කාලය තුළ දිනා ගත් ලොකු ම ජයක් වූ, තමන්ගේ ම පළමු වාහනය ගෙදර ම දමා යන්නට ඔවුන්ට සිදු විය. දැන් ඉතින් බස් පාරට ඇති කිලෝමීටරය පයින් ම බඩ ගාන්නට සිදු වනු ඇත. අල්ලපු ගෙදර නුවන් මල්ලී හයර් කරන ත්‍රිරෝද රියට ද සිදු වී ඇත්තේ මෝටර් සයිකලයට සිදු වූ දෙය ම ය.

ඇය මහන මැෂිමේ පියන ඉවත් කළා ය. වතුර ගොස් ඇතත්, මැෂිමෙහි මඩ තැවරී ඇත්තේ මඳ වශයෙනි. විදුලි මෝටරය විනාශ වන්නට ඇත. අලුත් මෝටරයක මිළ කීයක් වනු ඇද්දැයි ඇයට මොහොතකට සිතිණි. රෙදි කෑලි පෙට්ටිවල මඩ අතරින් ළමා ගවුම් පොඩියක මුද්‍ර‍ිත රූපයක් පැහැදිලිව පෙනිණි. කාටුන් චරිතයක් බිලී බාන්නට යන දර්ශනයක් එහි තිබිණි.

ඇයට කුස්සියට යන්නට නො සිතිණි. කුස්සිය පිහිටා ඇත්තේ පඩියක් පහළිනි. එය දුටු විට ඇයට ක්ලාන්තය හැදෙනු ඇතැයි ඇය බිය වූවා ය.

සැමියා නාන කාමරයට හිස පොවා බලනු දුටු ඇය ඔහුගේ උරහිස මතින් එබී බැලුවා ය. කොමඩ් එකේ තවමත් වතුර පිරිලා ය.

“දෙයියනේ, මුළු ජීවිතයක ම දේවල් වතුරෙ. අපි කොහොමද ආයෙත් ඔලුව උස්සන්නෙ? ” ඇයට කියැවිණි.

ආර්තවය සිදු වන්නට ළඟ බව අද උදේ සිට ඇගේ සිරුරට දැනේ. සනීපාරක්ෂක තුවා, යට ඇඳුම්, ගවුම්, සාරි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට, දරුවන්ගේ ඇඳුම්, සැමියාගේ කමිස කලිසම්, වළං, මුට්ටි, පිළිවෙලට අසුරන ලද තුනපහ, මිරිස් ආදිය දැමූ බෝතල්, තව බොහෝ දේවල් ඇගේ මනස හරහා ඇඳී සියල්ල මතින් මඩ තට්ටු තට්ටු ඇදී වැසී ගියේ ය.

“අපට මේක කරන්න බැහැ. මට නම් මෙතන ඉන්නත් බයයි. අපි යමු,” ඇය කීවා ය. අවට මුළු පරිසරය ම පාළු, දොම්නස්, ගුප්ත, මූසලකමකින් පිරී ඇත. අහස ද කළු වළාවලින් බර වෙමින් තිබේ. නැවත මහ වැසි වහිනු ඇත. නිහඬ, දොම්නස් පාළුව විනිවිදිමින් පළඟැටියකු තටු මදින හඬ ඇසිණි.

“ඔයා යන්න.” චන්දන, ඇගේ සැමියා කීවේ නොරුස්නා හඬකිනි.

ඇත්තෙන් ම ඇය යා යුතු ය. 12 හැවිරිදි දියණියත්, අටහැවිරිදි පුතුත් තබා ආවේ අසල්වැසි කාන්තාවකගේ භාරයේ ය. සැමියාගේත්, ඇගේත් ගමට යන්නටවත් ඔවුන් ළඟ හරිහමන් ඇඳුමක් නැති බව ඇයට සිහි විය. එහෙත්, එහෙම යන්නට බැරි තරමට ඔවුන්ගේ ජීවිතය කොළඹට ගැට ගැසී ඇත. සැමියාගේ රැකියාව. ඇගේ මැහුම් ව්‍යාපාරය. ළමයින්ගේ පාසල් ආදී සියල්ල ඇත්තේ කුණු ගඳ ගසන, කාණු උතුරන, වාහන තදබද වී හති අරින, හුස්ම ගන්නට බැරි තරම් උණුසුම් මේ කර්කශ කොළඹ රටේ ය.

දියණියට වැසිකිළි බරක්වත් හැදුණොත්. ඇය තනිව අනාථ කඳවුරේ ඇති වැසිකිළියට යන්නට අකැමැති ය. හාත්පස අසූචි, මුත්‍රා, කෙළ, බීඩි-සිගරට් කොට විසිරුණු පාසල් වැසිකිළියට යන්නට අකැමැත්ත නිසා දියණිය පමණක් නො ව, ඇය ද වැසිකිළි යන්නේ තව දුරටත් ඉවසා ඉන්නට බැරි වූ විට පමණි.

“ආ නංගි, දැන් ඉතින් අපිත් මෙහෙ. ඔයාලත් මෙහෙ, නේ ද?”යි දුව පංති යන එන වෙලාවට පාරේ කැරකෙන වෙල අද්දර පොඩි ගෙදරක රස්තියාදුකාර කොල්ලෙක් දිනක් ඇයට ඇසෙන්නට කියා තිබිණි. ඇගේ ආරක්ෂාව ගැන නයනාට බය හිතිණි.

පුතාට හෙම්බිරිස්සාව ය. නහය පිසදමන්නටවත් ලේන්සුවක්වත් නැත. වතුරේ බැස දුව පැන ඇවිදීම නිසා ඔහුගේ කකුල් කසයි.

දරුවන් භාර දී ආ අසල්වැසි කාන්තාව ද රෝගී ය. දියවැඩියාවට හා අධි රුධිර පීඩනයට ප්‍ර‍තිකාර ගන්නා ඇගේ සියලු රෝග විනිශ්චය ලේඛන වතුරේ ගොසිනි.

අනාථ කඳවුර වී ඇත්තේ පුතාගේ ප්‍රාථමික පාසලයි. පංතිවල තිබූ දරුවන්ගේ උපකරණ, පොත්පත්, නිර්මාන ආදිය මුළුවල ගොඩගසා විනාශ වී තිබේ. මේ පිරිස අනාථ කඳවුරෙන් පිට වන තුරු දරුවන්ට පාසල් නැත. පුතා නම් මේ අලුත් අත්දැකීමෙන් සතුටු වන අවස්ථා ඇත.

එහෙත්, කහ පාට අඳුරු දොම්නස් විදුලි බල්බ රැය පුරා දැල්වෙන, මැසි මදුරුවන් පිරි, මිනිසුන් මුණු මුණු ගාන, කහින, කාරන, බීමත් අය නන් දොඩවන, යකඩ කකුල් ඇති පාසල් ඩෙස් බංකු බිම ඇතිල්ලෙන, ඒවා ඇතිල්ලීමෙන් ම ගෙවී, පළුදු වුණු අසම පොළව මත පන්සලෙන් දුන් කිළිටි පැදුරු මත නිදාගන්නට වැතිරුණු විට “අම්මෙ අපි කවදද ගෙදර යන්නෙ?” යි පුතා අසයි.

චන්දන ඉන්නේ කෝපයෙනි. අනාථ කඳවුරට ගෙනැවිත් බෙදා දෙන බඩු අරගන්නට ඔහු පෝලිමේ යන්නේ මහත් අකැමැත්තෙනි. කෑම, බීම හැර වෙනත් දේ වෙනුවෙන් ඔහු පෝලිමේ යන්නේ නැත.

“අපි හිඟන්නො නෙමෙයි. අපට ඕව වැඩක් නැහැ,” ඔහු තරහෙන් කියයි.

අනාථාධාර බෙදන පිරිසක් පැමිණියහොත් අසල්වැසි කාන්තාව දරු දෙදෙනා ද අමතක කර පෝලිමේ රණ්ඩු වන්නට යනු ඇත. ඇඟ පත හයිය හත්තිය ඇති පිරිමි ඇවිත් දෙන දේ උදුරාගෙන මෙන් රැගෙන යති. ඔවුන් ඇතැමෙක් ගංවතුරට හසු වූ අය ද නො වන බව අසල්වැසි නැන්දා කියයි. ගම් ගණනාවක මිනිසුන් ජීවත් වන කඳවුර අවුල් ජාලයකි. ග්‍රාමසේවක නෝනාට ඒ අවුල ලිහන්නට අමාරු ය. නැන්දා ඉන්න තැන වටේට ම බඩු ය. එහි නැත්තේ මොනවාදැයි තිලිණි කල්පනා කරයි. කිරිපිටි, පරිප්පු, සැමන්, සීනි, තේ කොළ, ඇඳුම්, කොපි පොත්, පෑන්, පැන්සල්, පැස්ටල්, සෙල්ලම් බඩු, අරවා මේවා හැම දෙයක් ම ඒ සිලි මළු තුළ ඇත.. ඇය යටට අඳින්නේ සායකි. එහෙත්, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ගෙනැවිත් දුන් පෑන්ටි කීපයක් ද ඇය ඉල්ලා ගත්තා ය.

“දූට දෙන්න පුළුවන්.”

දැන් ඇය සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන වයස ඉක්මවා ඇත. ඒවාත් ගන්නට ඇත්තේ දුවට දෙන්නට විය හැකි ය. එහෙත්, දුව කඳවුරට පැමිණ ඇය බලා, පොදියකුත් බැඳගෙන ගියා මිස ඇය කැටුව ගියේ නැත.

අසල ගෙදරක තිලිණි නංගී දැන් පස් මස් ගැබිණියකි. ගැබිණි කාන්තාවන්ට රෝහල්ගත වන්නට යයි උපදෙස් දී ඇත. එහෙත්, එවිට ඇගේ අනෙක් දරු දෙදෙනා බලා ගන්නට වන්නේ සැමියාට ය. එතකොට ගංවතුරට හසු වූ ගෙදර පිරිසිදු කරන්නේ කවුරු ද?

“බිම නිදා ගන්න, වාඩි වෙන්න, නැගිටින්න ගියාම එපා වෙනව අක්කෙ,” තිලිණි කීවා ය.

කඳවුරේ ඇඳුමක් මාරු කර ගන්නටවත් පෞද්ගලිකත්වයක් නැත. කාමුක පිරිමි ඇස් හැමපැත්තෙන් ම විදුලි බුබුළු සේ දැල්වෙයි.

කොහොම වුණත් ඒ දැන් ඔවුන්ගේ ගෙදර ය.

“අපි යමු,” නයනා සැමියාගේ අතින් ඇල්ලුවා ය.

“තමුසෙ යනවා, මට බැහැ,” ඔහු අත ගසා දැමුවේ ය. දැන් ඔහුගේ හොස්ස අගින් මැස්සා යන්නට බැරි ය. කඳවුරේ පිරිමියකු හිටි හැටියේ ඩෙස් පුටු පෙරළාගෙන පැන සිය බිරිඳට පහර දෙනු ඇය ඊයේ දුටුවා ය. අනෙක් අය ඔහු ඇද පැත්තකට කළ හ. කලබැගෑනිය නිසා එහි පැමිණි පොලිස් නිලධාරි මහතා සපත්තුත් දමාගෙන නයනලාගේ පැදුර මතින් ගියේ ය. ඒ සපත්තුවලින් මොන මොනවා පාගා තිබෙන්නට ඇද්ද?

කඳවුරට ගියාත් හරි නෑවේ නැත. පාසලේ අලුතින් සවි කරන ලද ටැප් අසල ඉඳුල් හා චිරි චිරි ගා ඇඟිලි මතින් මිරිකෙන මඩ ය. නයනාගේ හිස කසයි. ඇය කෙස් අතරින් ඇඟිලි යැව්වා ය. එහි තෙල් ය. කකුල් ද කසයි.

“දුව ගැන බයයි. අපි යමු. ගේ අස් කරන්න උදව් කරන්න ය කියලා අර උදව් කරන්න එන මල්ලිලාට කියමු.”

දුව ගැන කියූ විට චන්දනගේ හිත වෙනස් වනු නයනාට දැනිණි.

- අජිත් පැරකුම් ජයසිංහ (ගිය අවුරුද්දේ ලියන ලද කෙටිකතාවකි)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-29

ආපදා හා ශ්‍රී ලාංකික කුහකත්වය

අද උදේ නාගොඩ රෝහලට ගියා ප්‍රවාහන වැඩකට. පාරවල් බ්ලොක්. යන්න ඕනැ රවුම් පාරවල. ප්‍රධාන ගේට්ටුව ළඟ ගංවතුර.

රෝහලේ නිලධාරි බරට වැඩ. අලුතෙන් හදපු බිල්ඩිමේ කොටසක් විවෘත කරන්න. අද ඇමති රාජිත උපන් දිනය. ලොකු උත්සවයක් නෙමෙයි.

ගංවතුර නිසා රූපවාහිනීවල සිංදු වාදනයත් වැරැදි ය කියන අය ඉන්නවා. එහෙම අයටක්, දේශපාලන විරුද්ධවාදීන්ටත් මේ පොඩි උත්සවය පවා ඇති ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරයකට.

මේවා සංවිධානය කරන්නේ නිලධාරි. දේශපාලකයන් තුටු කරන්නට වෙන්න ඇති. හැබැයි හම යන්නෙ දේශපාලකයන්ගෙ. මේ ආණ්ඩුව දේශපාලන ස්නායු අක්‍රීය එකක්.

පාලිත තෙවරප්පෙරුම ගංවතුරෙ වැඩ කළේ ⁣⁣පේන්න ය කියන කටවල්වලින් ම කෝ අහවලා කියලා අහනවා.

ආපදා හානි ගැන බොරුවට වැළපෙන අය වැස්ස ඇති වීමත් ආණ්ඩුවේ වරදක් ලෙසයි දකින්නේ.

ආපදාවට පහුවෙනිදා ම කෝ ආණ්ඩුවට පිටරටින් ආධාර ලැබුණා ද කියා අහන කුහකයන් අපි දුටුවා. මේ අය පසුගිය කාලේ ඉන්දියන් ඇම්බියුලන්ස් විරෝධියෝ.

ඇත්තට වැඩ කරන අවංක ස්වෙච්ඡා සහන සේවකයන් අතර වතුර බෝතල ටිකක් එක්ක පිංතූර අරගෙන ප්‍රචාරයට යොදා ගන්න බොරුකාරයන් වැහි වැහැලා. හඳුනා ගන්න ලේසියි. වැඩියෙන් ම සද්දෙ ඒ තැන්වලයි.

ආපදාව වාර්තා කිරීමේ ජනමාධ්‍ය කාර්යය හරියට කරන අය අතර ආපදා ටුවර් යන කරදරකාරයන් පිරිලා.

මේ අතර ප්‍රචාරය නැතුව තමන්ගේ ඩියුටියටත් වඩා කැප වන හමුදා, පොලිස් ඇතුළු විශාල පිරිස අමතක වෙනවා. මේ දැවැන්ත රාජ්‍ය යන්ත්‍රය ආපදා වැළැක්වීමේදීත් සක්‍රීය කළ යුතුයි.

ආපදාවක් කියන්නෙත් ශ්‍රී ලාංකික කුහකත්වයේ ම තවත් හෙළිදරව්වක්.

(ලිව්වෙ දුරකථනයෙන්. වැරදි නිවැරදි කරගෙන කියවන්න.)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-27

ලංකාවේ ආපදා කළමනාකරණ ආපදාව

ආපදාවෙන් විපතට පත් වූවන් බේරා ගැනීමට ගොස් ජීවිත පරිත්‍යාග කළ ගුවන් හමුදාවේ වයි.එම්.එස්. යාපාරත්න 
ශ්‍රී ලංකාව ආපදා බහුල රටක් බවට පත් වී තිබේ. මිහිතලය උණුසුම් වීමත් සමග ඇති වූ දේශගුණික විපර්යාස මෙන් ම, දේශීයව සිදු වූ භූගෝලීය හා සමාජයීය වෙනස්කම් ද එයට හේතු වී තිබේ.

දැවැන්ත රජයක්, වරප්‍රසාදිත විශාල ඇමති මණ්ඩලයක්, නිතර විදේශ පුහුණුවීම් හා තීරු බදු රහිත වාහන වැනි වරප්‍රසාද ලබන ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවකයන්ගෙන් සමන්විත ආපදා කළමනාකරණය සම්බන්ධ ආයතන පද්ධතියක් තිබුණත්, ආපදාවක් සිදු වී සෑහෙන වෙලාවක් යන තෙක් එම යාන්ත්‍රණය පණ ගන්වා ගැනීම දුෂ්කර ය.

එහෙත්, රජයේ ත්‍රිවිධ හමුදා හා පොලිස් සාමාජිකයෝ හැකි ඉක්මණින් ආපදා සිදු වන ස්ථාන වෙත ළඟා වී සේවා සපයති. ආපදා කළමනාකරණයේදී දැවැන්ත ම වැඩකොටස ඉටු කරන්නේ ඔවුන් ය.

මෙවර ද ආපදාවට ලක් වූවන් බේරා ගැනීමට ගොස් හෙලිකොප්ටරයේ කේබලය කැඩී යාමෙන් ගුවන් හමුදා නිලධාරියකු මරණයට පත් විය.

මේ මිනිසුන්ගේ සේවය කිසිදු කලෙක ලංකාවේ ඇගයීමට ලක් නො වේ. ලංකාවේ මිනිසුන් ඔවුන් ගැන කතා කරන්නේ අටපාස් හමුදාකාරයන් ය කියා ය. මේ මිනිස්සු කිසි දිනෙක තමන් ආපදාවෙහිදී කළ කටයුතු ගැන පෞද්ගලික විස්තර කියනු, ලියනු දක්නට නො ලැබේ. එය ඔවුන්ගේ රාජකාරිය බව ද, ඒ වෙනුවෙන් මහජන මුදලින් වැටුප් ගෙවන බව ද ඇත්ත ය. එහෙත්, ඔවුන්ගේ ඇපකැප වීම ඊට වඩා දෙයකි.

එසේම, ගිලන් රථ සේවා, රෝහල් වැනි තවත් තැන්වල පිරිස් ද ආපදාවලදී ඇප කැප වී වැඩ කරති.

එහෙත්, ෆේස්බුක් එකෙන් ආපදා කළමනාකරණය කරන තව පිරිසක් සිටිති. ඒ අය පටන් ගන්නේ ම රජය කිසිවක් නො කරන බව, බෝට්ටු නැති බව, කෑම නැති බව කියමිනි. එහෙත්, ඒ වන විටත් රජයේ ත්‍රිවිධ හමුදා හා ආපදා කළමනාකරණය සම්බන්ධ නිලධාරීහු වැඩට බැස හමාර බව ඔවුහු අමතක කරති. ආපදාවට ලක් වූවන් දියේ ගිලෙමින් සිටියදී මේ ෆේස්බුක් වීරයන් කරන්නේ ඒ මළමිනී මතින් දේශපාලනය කිරීමයි. රජය වැඩක් නැති බව ද, දේශපාලකයන් වගකිව යුතු බව ද කියමින් තමන් කැමති දේශපාලකයන් බලයේ සිටියා නම් මෙවැනි ආපදා සිදු නො වන බවට වහසි බස් දොඩමින් තිරිසනුන් සේ හැසිරෙති.

හුදකලා ෆේස්බුක් වීරයන්ට ඇත්ත වශයෙන් ම කළ හැකි ලොකු දෙයක් නැත. ඔවුන් වැඩි දෙනෙක් කරන්නේ ආපදා සහන සේවාවල යෙදෙන අයට බාධා වන පරිදි ආපදා සංචාරවල යෙදීමයි. ඡායාරූප ගැනීමයි. තමන් අරෙහෙම කළා, මෙහෙම කළා ය කියමින් පම්පෝරි ගැසීමයි. ඔවුන්ට අමතක වන කාරණය වන්නේ ඔවුන් කරන දේ ඉතා ම සුළු බවයි. එහෙත්, නිහඬව කරන සේවය වෙනුවෙන් ෆේස්බුක් වැනි නව තාක්ෂණයන් භාවිතා කරන පිරිස්වලට මා කියන මේ දෙය අදාළ වන්නේ නැත.

මේ අතර තවත් පිරිසක් ජනතාව බියපත් වන පරිදි වැරදි තොරතුරු පතුරුවති. පහත දැක්වෙන්නේ එවැනි වැරදි තොරතුරක් පිළිබඳව පැහැදිලි කිරීමකි. මෙම සටහන ෆේස්බුක් සමාජ ජාලය වෙතින් උපුටා ගන්නා ලද්දකි.

ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර හා කැනියොන් ජලාශ දොරටු ඇරීමෙන් කැලනි ගඟ ශීඝ්‍රයෙන් ඉහළ යන බවට සටහනක් ඔබ දැනටමත් දැක ඇතුවාට සැක නැත. නමුත් එය සැබෑ තත්වය නොවේ. ඉහත කී ජලාශ අනෙකුත් ජලාශ හා සසඳන කල කුඩා ප්‍රමාණයේ ජලාශ වේ. එබැවින් ඒ ජලාශයන්ගේ දොරටු විවර කිරීම නිසා දැනට පවත්නා තත්වයේ දැනෙන වෙනසක් සිදු නොවේ. මෙම සියලු ජලාශයන්ට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙනුයේ මාඋස්සාකැලේ සහ කාසල්රි ජලාශ මගිනි. කැලනි ගංගා ද්‍රෝණියට වඩාත් දැඩිව බලපානු ලබන ජලාශ වන්නේ කාසල්රී සහ මාඋස්සාකැලේ ජලාශයන්‍ ය. යම් හෙයකින් ඒ ජලාශයන් පිටාර මට්ටමට පැමිණියහොත් කැලනි ගඟේ ජල මට්ටම කෙටි කාලයක් තුල ඉහළ යාම හා සිදු වන හානිය වැඩිවිය හැක. නමුත් දැනට පවත්නා තත්වය නම් ඒ ජලාශයන් තවම අර්ධයක් හෝ පිරී නොමැත. එබැවින් පෙර කී ජලාශයන් පිලිබද සටහන් ෂෙයාර් කිරීමෙන් මිනිසුන් කලබල කිරීමෙන් වලකින මෙන් ඉල්ලා සිටිමි. අද දිනයේ ආරම්භයට වඩා කැලනි මිටියාවත අවට තත්වය මේ වන විට තරමක් යහපත් බව මේ වන විට දැකිය හැකිය , එමෙන්ම අද රාත්‍රියේ වැසි නොවැස්සොත් ගංවතුර අවදානම පහව යා හැකිය.
- අනුරාධ සංජය සේනානායක

ලංකාවේ රජයේ ආපදා කළමනාකරණය ද සෙසු සියලු කාරණා මෙන් ම පවතින්නේ ඌන සංවර්ධිත මට්ටමක බවට විවාදයක් නැත. එහෙත්, එයට හේතු හඳුනා ගෙන පිළියම් යෝජනා කරනවා වෙනුවට එයින් දේශපාලන වාසි ගන්නට යාමෙන් මේ රටට කිසිවක් සිදු වන්නේ නැත.

අනෙක් පැත්තෙන් ආපදාවක් ඇති වන්නේ කෙසේ ද යන්න ගැන ජනතාව තේරුම් ගැනීම වැදගත් ය. ආපදා යනු කල් තබා දැනුම් දී උදා වන අවස්ථා නො වේ. එසේ ම, ආපදාවේ පරිමාණය ද කිසිවෙකුට අනුමාන කළ නො හැකි ය. ආපදා වෙනුවෙන් පූර්ව සූදානම ගම් මට්ටම දක්වා විහිදිය යුතු ය. ලංකාවේ දැවැන්ත රාජ්‍ය සේවය මේ වෙනුවෙන් සංවිධානය කළ හැකි ය. ආණ්ඩුව එය කරන තෙක් බලා නො සිට රාජ්‍ය සේවයට ම මේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කර ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කළ හැකි ය.

අනෙක් වැදගත් කාරණය වන්නේ ආපදාව සිදු වන්නට පෙර වළක්වා ගැනීමයි. බොහෝ නාය යාම්වලට හේතුව කඳු මුදුන් වගාවන් හා පදිංචිය සඳහා හෙළි පෙහෙළි කිරීමයි. මේ හෙළි පෙහෙළි කිරීම් කරන්නේ අන් කවරෙකුවත් නොව, මේ රටේ ජනතාව ම බව අපි දනිමු. රජයේ කැළෑ අත්පත් කරගෙන, ඒවාට බලපත්‍ර, ඔප්පු ආදිය හදා ගන්නට දන්නා අය ඒවා හෙළි පෙහෙළි කිරීම නිසා තමන්ගේ ම ජීවිතවලට සිදු වන අවදානම ගැන නො දන්නේ යයි කියන්නේ බොරුවට ය. එහෙත්, මේ ජනතාවගෙන් ඇතැම් අය දිළින්දෝ ය. ඔවුන් ඒ තැන්වල වගා කරන්නේ, ගෙවල් හදා ගන්නේ වෙනත් විකල්ප නැති නිසා ය. ලංකාවේ රජයට මේ ජනතාවට මග පෙන්වීමේ යාන්ත්‍රණයක් නැත.

ගංවතුරට ලක් වන ඇතැම් නිවාස ද නුසුදුසු තැන්වල, ප්‍රමිතියෙන් තොරව ඉදි කරන ලද ඒවා ය. එහෙත්, ජනතාවට එසේ නිවාස ඉදි කර ගැනීමට සිදු වන්නේ ඇයි ද යන්න ද වටහා ගත යුතු ය.

මේ වන විට කොළඹ හතර වටේ ම සුඛෝපභෝගී නිවාස විශාල වශයෙන් ඉදි වෙමින් තිබේ. එහෙත්, මධ්‍යම මට්ටමේ හා පහළ මට්ටමේ ආදායම්ලාභීන්ට දරා ගත හැකි කිසිදු නිවාස යෝජනා ක්‍රමයක් කොළඹ හෝ රටේ කොහේවත් නැත. තිබෙනවා නම් තිබෙන්නේ හොර මගඩි ය.

අවදානම් සහිත ස්ථානවලින් ඉවත් වන්නැයි කරන දැනුම් දීම් නො තකා හැරීම ද, සූදානමක් නැතිකම ද අවදානම දෙගුණ, තෙගුණ කරයි. ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ආපදා තත්වයන් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් කරන මුත්, ඉවත් වීමට සිදු වන මිනිසුන්ගේ ගැටලු පිළිබඳ රජය හෝ වෙනත් කිසිවෙකු හෝ සොයා බලන්නේ නැත.

අපදා වැළැක්වීම සම්පූර්ණයෙන් ම ආණ්ඩුවට පවරා බැන අඬගසමින් සිටීම තරම් මුග්ධ ක්‍රියාවක් තවත් නැත. ජනතාව සියලු වගකීම් ආණ්ඩුවට නො පැවරිය යුතු ය. ආණ්ඩුවෙන් ස්වාධීනව සිය වගකීම් ඉටු කිරීමේ හැකියාව රජයට ගොඩනගා දිය යුතු ය. ඒ සඳහා ආපදා සම්බන්ධයෙන් රජය හරි හැටි ක්‍රියාත්මක වන්නේ ද යන්න විමසා බැලිය යුතු ය. එසේ ක්‍රියාත්මක වී නැති නම්,  ඔවුන්ගේ වගවීම ප්‍රශ්න කළ යුතු ය. 

ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ ආණ්ඩුවට වඩා රජයයි. ආණ්ඩුව කළ යුත්තේ අවශ්‍ය තීරණ, තීන්දු ගැනීමයි. එහෙත්, රජය මෙතෙක් ගත් තීරණ, තීන්දු අනුව කටයුතු කර තිබිය යුතු ය. 

දේශපාලකයන් සංඛ්‍යාවෙන් 500කි. රජය ලක්ෂ 14කට වැඩි මිනිස් බලයකි. එහි කළමනාකාර මට්ටමේ පමණක් 40,000ක් පමණ සිටිති.  

ආණ්ඩු හා දේශපාලකයන් සාමාන්‍යයෙන් ම ආත්මාර්ථකාමී ය; ජනතාව විෂයෙහි සැබෑ සංවේදිතාවකින් තොර ය. එසේම කපටි ය. ඇමතිවරුන්ට වාහන මිළ දී ගැනීමට හෝ අමාත්‍යාංශ ගොඩනැගිලි කුලී ගෙවීමට හෝ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ පරිපූරක ඇස්තමේන්තු අඩු තරමේ සිදු වී තිබෙන ආපදාව නිසා කල් තැබීමට හෝ තරම් සංවේදිතාවක් තබා උපායශීලිත්වයක්වත් වර්තමාන ආණ්ඩුවට නැත. 

ඒ මුග්ධ ක්‍රියාව පාවිච්චි කර අධි සංවේදී කතා පවත්වන දේශපාලකයිනුත්, තීරු බදු රහිතව වාහන ආනයනය කර ගන්නා, ඒවා විකුණාගන්නා, පොදුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලැබෙන වරප්‍රසාද කිසිවක් ප්‍රතික්ෂේප නො කරන, මෙතෙක් රටට කිසිදු වැඩක් කර නැති සෝබනකාරයන් බව ද අප අමතක නො කළ යුතු ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-26

කඳු පාමුල සිට ලියමි

මේ අපේ ගම් පැත්ත
කිසිම කන්දක්
කිසිම තැන්නක්
කිසිම කිසිවක්
නොමැත ස්ථිර

අපට දිය දුන්
අපට පණ දුන්
කන්ද පාමුල
නිදමි මම දැන්

අදත් ඊයේ
වගේ මහ වැසි
නොවසින්න යයි
කියමි අහසට

එහෙත් තව වැසි
වසී තවමත්

වියළි දිනවල
ඔබ සිටින බර
නො දැනුණේ ඇයි
සිතමි මම දැන්

දයාබර කඳු
මිතුර ඔබටත්
සුබ රැයක්!

- අජිත් පැරකුම් ජයසිංහ
2017-05-26

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-25

ඥානසාර ඔය ඇති දැන්

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නැවතත් සමාජ පිළලයක් ලෙස ඉස්මතු වෙමින් තිබේ. ඔහු වනාහි හිටි ගමන් උඩ එන යළි හිටි ගමන් යට යන අමුතු මහණෙකි. ඔහුගේ උඩ ඒම, යට යාම තීරණය කරනු ලබන වෙනත් සාධක ඇති බව පැහැදිලි ය.

මේ සාධක මොනවා ද? එකක් මුදල් ය. මුදලක් ලැබෙන විට ඥානසාර අවදි වේ. ඥානසාර යනු විදේශ අරමුදල්වලින් නැටවෙන්නෙකු බව හා ඔහුගේ ක්‍රියාකාරිත්වයේ අවසන් අරමුණ සිංහල ජාතිය හා බුද්ධාගම විනාශ කිරීම බව මේ වන විට පැහැදිලි ය. අප සාමාන්‍යයෙන් කිසිදු ආගමක් නො අදහන ජාතිය මූලික සාධකයක් කර නො ගන්නා අය වුවත්, මොහු සිංහල බෞද්ධ ජාතිකවාදයට කරන හානියට එරෙහිව නම් ජාතිකවාදීන් සමග එක් වන්නට අප සූදානම් ය.

දෙවන ප්‍ර‍ධාන සාධකය දේශපාලනයයි. ඔහු විසින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අනුග්‍ර‍හය ලබා ගනිමින් අලුත්ගමදී අවුළුවන ලද මුස්ලිම් විරෝධී ජාතිවාදී ගිනිසිළු අවසානයේදී මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී මුස්ලිම් ඡන්ද අහිමි වන තැනකට පත් කළේ ය.

හිටි හැටියේ යළි මතු වී තිබෙන ඔහුගේ වර්තමාන රංගනය සේවය කරන්නේ කාටද යන්න පැහැදිලි නැත. මහින්ද රාජපක්ෂ නැගී සිටීමට උත්සාහ කරන විට ම ඥානසාර ද යළි මතු වන විට ඥානසාර හසුරුවන්නේ රනිල් විසින් ය කියා ද මතයක් ඉදිරිපත් වනු දැකිය හැකි ය.

කෙසේ වෙතත්, මේ හාදයා දැන් නම් අනුකම්පා කළ යුතු මානසික රෝගියකු මට්ටමට වැටෙමින් සිටියි. මේ වන විට ඔහු පසුපස යන පිරිස වනාහි නියම ලුම්පන් පාදඩයන් පිරිසකි. ඔහු සමග සිටින මුග්ධ සාමනේර භික්ෂූන්ගේ නායකයෙක් නිහඬ විරෝධතාවකටැයි කියමින් පොලිස් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ, සුදු ලේන්සුවකින් කට බැඳගෙන ලවුඩ්ස්පීකරයක් සේ මාධ්‍යවලට කතා කළේ ය. ප්‍ර‍ධාන ධාරාවේ සිංහල මාධ්‍ය අවධානය එතරම් යොමු නො වන මොවුන්ගේ ජවනිකාවලට දෙමළ ජාතිවාදී මාධ්‍ය පූර්ණ ආවරණය සැපයීමෙන් ම පෙන්නුම් කරන්නේ මොවුන් සේවය කරන්නේ ඇත්තට ම කාට ද යන්නයි.

මේ රටේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පසුගියදා ප්‍ර‍සිද්ධියේ ම කියූ කාරණයක් වන්නේ තමන් අධිකරණ ඇමති තනතුරේ සිටින තුරු ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට ඉඩ නො දෙන බවයි. එවැනි දේශපාලකයන්ගෙන් නායකත්වය ලබන නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල අකාර්යක්ෂමතාව ගැන අප පුදුම විය යුතු නැත. පසුගිය යුගයක් පුරා ම පොලිසිය හා අධිකරණය හැඩගස්වනු ලැබුවේ පාලනයට අවශ්‍ය දේ, අවශ්‍ය පමණින් ඉටු කිරීමටයි. දැන් පාලනයට අවශ්‍ය දේ කුමක්දැයි පැහැදිලි නැත. එයට හේතුව රටේ පාලනයන් එකකට වඩා පැවතීමයි.

වර්තමානයේ පවතින දේශපාලන තත්වය එක්තරා ආකාරයක මෘදු අරාජිකත්වයකි. මේ වන විට ආණ්ඩුවට අමතරව රාජ පක්ෂය ද, සයිටම් විරෝධී ආගමික කල්ලිය ද, චූල වෘත්තීය සමිති ද, විවිධ ජනමාධ්‍ය ද, පාතාල ලෝකය ද තැන් තැන්වල තම තම පමණින් පාලනයන් පවත්වාගෙන යති.

ඥානසාර භික්ෂුව මේ උත්සාහ කරන්නේ ගෝඨාභයට අධිකරණ ඇමති දී ඇති ගැරන්ටිය වැනි දෙයක් මැර බලයෙන් දිනා ගන්නට ය. ඔහු එහිදී යම් දුරකට සාර්ථක වී ඇති බව අධිකරණය, පොලිසිය ඔහු ඉදිරියේ දක්වන නිවට ප්‍ර‍තිචාරවලින් පෙනේ.

අනෙක් පැත්තෙන්, බොහෝ විට දුප්පත්කම නිසා ළමා කල මහණ කරනු ලැබ, සිවුරු ඇඳ සිටින වැඩිහිටි පුරුෂයන් අතින් අපචාරයට ලක් වී, මානසික ප්‍ර‍තිකාර අවැසි මට්ටමක සිටින, එහෙත්, බෞද්ධයන් විසින් සිවුර නිසා මුරුංගා අත්තට නංවා සිටින මේ පුද්ගලයන් එක්තරා දුරකට සමාජ අනුකම්පාව හිමි විය යුතු පිරිසකි.

සමාජය විසින් ඔවුන් පසුපස මොබ් නිර්මානය කරමින්, ඔවුන් නිරන්තර මොබ් මානසිකත්වයක තැබීම විසින් පුද්ගලයන් ලෙස ඔවුන්ට සිදු වන හානිය හුදු පෞද්ගලික සීමාවෙන් අවසන් වන්නේ නැත.

නිතර මොබ් සමග ගමන් කරමින් සිටි මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි වැනි අයට පසු කලෙක හෝ මේ ජීවිතවල නිස්සාරත්වය වැටහිණු බව පෙනේ. එහෙත්, ඔවුන් ඉවත් වන විට ඒ තැන ගන්නට තවත් බොහෝ අය ඉදිරිපත් වෙති. හේතුව, ලැබෙන ප්‍ර‍සිද්ධිය සමග ඔවුන්ට ලැබෙන වරප්‍ර‍සාද, තාන්න මාන්න, ධනය ආදියයි.

ඥානසාර අත්අඩංගුවට ගත යුතු ය. ඔහුට එරෙහිව වාර්ගික අසමගිය හා ප්‍ර‍චණ්ඩත්වය ඇති කිරීම සම්බන්ධයෙන් ඇති නීති මත ක්‍රියා කළ යුතු ය. ඔහු පුනරුත්ථාපනය කළ යුතු ය. මේ කාලකණ්ණි ජීවිතයෙන් මිදීමට අවශ්‍ය නම් ඔහු ටික කලකට හිරේ ගොස් එන එක ඔහුට ම හොඳ ය. එවිට වෙනත් තලයකින් ප්‍ර‍ධාන ධාරාවේ දේශපාලනයට පිවිසීමට පදනමක් ද වැටෙනු ඇත. 

දැන් මේක ලිව්වාම මෙතන ඇවිත් මුස්ලිම් උන්ට නැති නීතිය ඥානසාරට විතරක් මොකද කියා ගොන් ප්‍ර‍ශ්න අහන අයට අපට දීමට ඇත්තේ සරල පිළිතුරකි. දෙමළ හෝ මුස්ලිම් සමාජවල මේ වර්ගයේ හරකෙකු නැත. වෙනත් වර්ගවල එවුන් ඉන්නවා ඇත. ඉන්නවා නම් ඔවුන්ගේ නම්වලින් පැහැදිලි කරුණු සහිතව පැමිණිලි කරන්න. පැමිණිලි යනු පැමිණිලි මිස අවලාද නො වේ. ලංකාවේ පොලිසිය අප දන්නා තරමින් සුළුජාතික ත්‍ර‍ස්තවාදීන්ට එරෙහිව ක්‍රියාත්මක වීමේදී පට්ට කාර්යක්ෂම ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-23

ලිබර්ටියේ සිට දෙහිවලට පැය දෙකක බස් ගමනක නිම්නයක හුදකලාව

නිම්නයක හුදකලාව අමුතුම චිත්‍රපටයක්.  ඒකෙන් මොකක්වත් දෙයක් ප්‍රකාශ කරන්නෙ නැතුවත් ඇති. එහෙම ප්‍රකාශ කරනවා නම් අවංකව කිව්වොත් මට නම් එ්ක තේරෙන්නෙ නැහැ. කලාකරුවාගේ ප්‍රකාශනය හෘදයෙන් විඳගන්න කෙනාටනේ සහෘදයා කියන්නෙ. හැබැයි ඉතින් ඔය සහෘදභාවයේ ශබ්ද විකාශන යන්ත්‍ර වන විචාරකයන් ඇත්තට ම කලාකරුවාගේ ප්‍රකාශනය විඳගත් අයද? හැබැයි ඉතින් කෘතිය නිර්මානය කළාට පස්සෙ කතුවරයා එතනින් අවසන් වන නිසා කතුවරයා මොන මගුල කියන්නට අදහස් කළත් අප⁣ට මොකද? එතනින් එහාට වැදගත් වන්නේ අප විඳගත් රසය විතරයි.

නිම්නයක හුදකලාවේ රසය නිෂ්පාදනය වන්නේ එහි අැති අසම්මත කතාවේ, රූප රාමුවල, ශබ්ද සංකලනවල, සංස්කරණයේ හා රඟපෑම්වල තිබෙන අපූරු නිර්මාන කෞශල්‍යයේ මහිමයෙන්.

කතාවක් ගමන් කරන්නේ කාල රේඛාවක. කාල රේඛාවන් කතන්දර ලෝකයේදි වක්‍ර වෙන්නෙ නැහැ. කාලය වක්‍ර වෙන්නෙ කළු කුහර වගේ මිනිස් චින්තනයෙන් විග්‍රහ කරන්න බැරි අවකාශය කියන අදහසත් අතාර්කික වන අවකාශවල. නිම්නයක හුදකලාව කියන්නෙත් ඒ ව⁣ගේ කළු කුහරයක්. ඒක ඇතුළෙ හරි අපූරු දේවල් වෙනවා. කාලය ඉස්සරහට, පස්ස⁣ට, පැත්තෙන් පැත්තට එහෙ මෙහෙත් යනවා. සිදු වෙන්නෙ අතාර්කික දේවල්.

නිම්නයක හුදකලාව හරියට ඒ චිත්‍රපටයේම තැනක කියවෙනවා වගේ ද්විමාන ලෝකෙක ත්‍රිමානයක් වගේ. චතුර්මාන ලෝකෙකට ත්‍රිමානයක් වගේ.

මේ සිදු වන දේවල් ගැන කාටවත් අනාවැකි කියන්න බැහැ, අඩු ගානෙ මේ මටවත් කියලා සිරසෙ කිංස්ලි අපට මේ චිත්‍රපටයෙ කියනවා.

ඒ ෆැන්ටසිය ඇතුළෙ සිදු වන ⁣දේවල් තර්කයෙන්, න්‍යායයෙන් විග්‍රහ  කරන්නට බැහැ. ඒවා ඔහේ සිද්ධ වෙනවා.

යථා ලෝකයේදි මාධ්‍යවේදීන්, චිත්‍ර ශිල්පයේ මහැදුරන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ලෙස නම් දරාපු චරිත  චිත්‍රපටයේදි නළුවන් වෙලා තිබෙන එකත් හරි අපූරු දෙයක්. ඒ මදිවට ගමේ ගොඩේ කොලු ගැටව් ආදරේ කරන නිළියොත් චිත්‍රපටයේ ඉන්නවා. 

යථා ලෝකයෙන් ෆැන්ටසික ලෝකය නිර්මානය වන හැටිත් හරි අපූරුයි. දුප්පත්කම, නූගත්කම, ත්‍රස්තවාදය, මිනිස් බෝම්බ නිසා යථාව බව⁣ට පත් කර ගන්නට පුළුවන් හීන පවා මහ මග බිඳ වැටෙනවා.

හුදෙක් ප්‍රචාරය විසින් ම ඇති කරනු ලබන ආශාව නිසා මිනිසුන් පරිභෝජනය කරන භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා පාරිභෝගිකයන් රවටන්නට වෙළඳ දැන්වීම් නිර්මානකරණය වෙනුවෙන් මිනිස් නිර්මානශීලිත්වය වැය කිරීම ඉතා ආකර්ශනීය ව්‍යාපාරයක් වී තිබෙන අවකාශයේ ම ⁣⁣⁣ගොනුන් අදින ලාම්පු තෙල් කරත්තත් පාරේ යනවා.

සීනි දියවුණ බනිස් තියෙන තේ කඩත්, එව, කව, බොව, තුටු වව කියන රාත්‍රී සමාජ ශාලාත් එකට පවතිනවා.

හරියට මහා දර්ශනවාදයි, මරිමෝඩකමයි එකම අවකාශයේ පවතිනවා වගේ.

කොහොම වුණත් මේ අවුල් ජාලය පැටලුම් ඇරලා මුල මැද අග ගලපලා වියන ලස්සන කතන්දරයකුත් චිත්‍රපටයේ යටිතලය කියවන විට සොයා ගන්නට පුළුවන්. හැබැයි කල්පනා කරන්නට ඕනැ. චිත්‍රපටයේ අවසානය අපව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය මූලධර්මත් සිහි ගන්වනවා. 

චිත්‍රපටියක් කියන එක ගණිත ගැටලුවක්, සංකීර්ණ තේරවිල්ලක් වගේ විය යුතු ද කියලා ඔබ අහයි. අපට කල්පනා කරන්න වෙලාවක් නැද්ද? නැතිනම් කල්පනා කරන්නට උවමනාවක් නැද්ද? 

චිත්‍රපයට බලා ඉවර වෙලා හිටගෙන නාමාවලිය කියවමින් හිටිද්දී ආපසු යන්නට ආපු පසු තුරුණු වියේ සිටි යුවලේ පිරිමියා මගෙන් ඇහුව ප්‍රශ්නය මේකයි:

චිත්‍රපටය ගැන මොකක්ද හිතන්නෙ?

මං කිව්වෙ ඒ ගැන කල්පනා කරන්නට ඕනැ, තව පාරක් බලන්න තියෙනවා නම් හොඳයි වගේ කියලයි. ඒ දෙන්නා හිනා වෙවී පඩි පෙළ බැස්සා. සමහර විට හිනා වුණේ මට ද දන්නෙ නැහැ. 

හයයි දහයට ලිබර්ටිය ළඟින් නැගපු බස් එක දෙහිවල පහු කරනකොට අටත් පහුවෙලා කියමුකෝ. කල්පනා කළා විතරක් නෙමෙයි, මේ බ්ලොග් ලිපියත් ජංගම දුරකථනෙන් ම කෙටුවා බස් එකේදිම. මේක විචාරයක් කියල පටලවා ගන්න එපා ඔය වරලත් විචාරකයෝ. අපි ඔහෙලගෙ අවකාශවලට එන්නෙ නැහැ. 

දිමිත්‍රි කියපු අදහස ගැන හිතලා ඔන්න මේකත් ලෝකයක් ද මර්තේලිස් කවියේ අවසානය වෙනස් කළා. ඒක මෙතනින් කියවන්න.

ගෙදර යනකොට රෑ දහයයි. හෙට උදේ පහට ආයෙත් පිටත් වෙයන්කෝ. මදැයි වැඩ කරන ජනතාව චිත්‍රපටි බැලුවා. හැබැයි, මේ වගේ චිත්‍රපටයක් බැලීම වෙනුවනේ කරන ඒ කැප කිරීමයි, මේ ලිවීමත් එක්ක ඔබ සමග කරන සංවාදගත වීමයි අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජීවිතේ කොටස්.  


ඇමති මාරුව හෙවත් කොට්ට මාරුව

ලංකාවේ ජනමාධ්‍යවලට පුවත් නැති නිසා කාලයක් තිස්සේ පුන පුනා ලියනු ලබන ප්‍ර‍වෘත්ති කීපයක් තිබේ.

එකක් කොටි නැගිටීමයි. අනෙක, ඇමතිවරුන් කීපදෙනෙකු ආණ්ඩුවෙන් කඩාගෙන යාමයි. ඊළඟ එක ඇමති මාරුවයි.

ඇමති මාරුව ඊයේ සිදු විය. ඒ ගැන එක එක කතා කියනු අසන්නට ලැබේ. එහෙත්, හොඳම ප්‍ර‍ස්ථාව පිරුළ හිසරදයට කොට්ටා මාරු කිරීමයි. එයින් හිසරදය හොඳ වන්නේ නැත. හැබැයි රෝගියාගේ හිත තාවකාලිකව හොඳ වේ.

පසුගිය කාලය පුරාම, ලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ඕපාදූපකාරයන්, විප්ලවවාදීන්, විරුද්ධ පක්ෂය පමණක් නොව, ආණ්ඩුවේ ම ඇමතිවරුන් පවා මුදල් ඇමති රවි කරුණානායකට බැනීම පුරුද්දක් කරගෙන සිටිය හ. රවි කරුණානායක සොරෙකි ය යන කරුණ සියලු දෙනා විසින් පුන පුනා කීවත්, සියලු දේශපාලකයන් සොරුන් වන නිසා ඔහු ද සොරකු විය හැකි මුත්, ඔහු රාජපක්ෂ පවුල වැනි සුවිශේෂ සොරුන් පිරිසක් අයිති වන වර්ගයට දැමිය හැකි ද යන්න මම නො දනිමි.

මෙහිදී මා වැරදි විය හැකි ය. ඔහු කළ බව කියන සොරකම් ගැන දන්නා අයට ඒ පිළිබඳ අදාළ ආයතනවලට පැමිණිලි කිරීමට හෝ මෙහි ඒවා සටහන් කිරීමට හෝ හැකි ය.

කෙසේ වෙතත්, මගෙ කියවීම වන්නේ ඔහු ඉතා දුෂ්කර අවධියකදී ආර්ථිකය කළමනාකරණය කිරීමට සිය දායකත්වය සැපයූ කාර්යක්ෂම මුදල් ඇමතිවරයකු වූ බවයි. ප්‍රාතිහාර්ය පෙන්විය නො හැකි කාලයක, ඔහු කිසියම් දැක්මක් ඇතිව ආර්ථිකය හසුරුවන්නට උත්සාහ කළේ ය. එහෙත්, ඔහුට නොව, කිසිවෙකුට කිසිවක් පහසුවෙන් කළ හැකි වාතාවරණයක් ලංකාවේ ආර්ථික-සමාජ දේහයේ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ම නැත. හොඳම උදාහරණය වන්නේ රවිගේ පළමු අයවැයෙන් තීරු බදු රහිතව වාහන ආනයනය කර ගැනීමට දේශපාලකයන්ට හා රජයේ ඉහළ හා මධ්‍යම මට්ටමේ නිලධාරීන්ට දී තිබෙන වරප්‍ර‍සාදය නැවැත්වීමට කළ යෝජනාවයි. දැන් දේශපාලකයන්ගේ රථ ගාය ගැන කතා කරන විප්ලවවාදීන්, දූෂණ විරෝධීන් වැඩි දෙනෙකු එදා රජයේ නිලධාරීන් සමග එක් වී මෙම යෝජනාව ක්‍රියාත්මක නො වන තැනට වැඩ සිද්ධ කළ හ. මූලිකව ම කිසිවෙකු මේ වැදගත් යෝජනාවට උර දුන්නේ නැත.

කෙසේ වෙතත්, රවීට විදේශ ඇමතිකමට ටාන්සර්රෙකක් දීමෙන් පෙනී යන්නේ රවී තවදුරටත් එජාපයේ ප්‍ර‍බල ම චරිත අතරින් එකක් බවයි. ඒ නිසා රවීගේ පරම්පරාවේ දෙමළ ඥාතිත්වයන් සොයා වෙහෙසෙන, රවීගේ කොළඹකමට ඉරිසියා කරන ජාතිවාදීන්ට එතරම් සතුටු වන්නට දෙයක් සිදු වී නැත.

මංගලට මුදල් ඇමතිකමට අමතරව ජනමාධ්‍ය ඇමතිකම ද පැවරීම ඉතා වැදගත් සංඥාර්ථ සහිත ඇමති මාරුවකි.

මාධ්‍ය බුවාලා පහුගිය දිනවල හිටපු ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක වළං බාන දරණුවටත් තබාගෙන සිටිය හ. මංගල ජනමාධ්‍ය නියාමනයේ හසළ අත්දැකීම් සහිත ඇමතිවරයෙකි. මාධ්‍ය නිදහස අපහරණය කරමින් සිටි අය මංගල සමග කෙසේ කටයුතු කරනු ඇද්ද යන්න ඉදිරියේදී බලා ගන්නට පුළුවන.

අනෙක් වැදගත් කාරණය අගමැති රනිල් වික්‍ර‍මසිංහගේ ගජ මිතුරකු ලෙස සැලකෙන තිලක් මාරපනගේ පුනරාගමනයයි. වසර 2015 අගභාගයේදී මාරපනට නීතිය හා සාමය පිළිබඳ ඇමති ධුරයෙන් ඉල්ලා අස් වන්නට සිදු වුණේ ආචාරධර්ම විරෝධී ලෙස, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙමින් කුප්‍ර‍කට ඇවන්ට්ගාඩ් සමාගමේ නීතිඥයා ලෙස ද පෙනී සිටින ගමන්, තම ගනුදෙනුකරුවා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පවා පෙනී සිටිමින්, තමන් යටතේ ඇති පොලිසිය ලකුණු දමා ගැනීමට විමර්ශන කරන බවට කුණු කතාවක් කීම නිසා බව මතක තබා ගත යුතු ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-22

මේකත් ලෝකයක් ද මර්තේලිස්


මර්තේලිස් සහෝදරය
නිර්ධන පංතිය වෙනුවෙන්
විප්ලවයක් කරනු පිණිස
ධනපති පංතිය වනසමු
එ්ක තමයි මේ යුගයේ
කාර්යභාරය වන්නේ

මරුට සිනාසෙනු තේලිස
ඉදිරියට ම යනු තේලිස
රට ජාතිය රකිනු පිණිස
ගසා දමනු සතුරු සිරස

මර්තේලිස් තේරෙනවද
පූර්වජ පියා වෙනුවට
ශිෂ්ට කරන ලද පියෙකුගෙ
ආශාවේ වස්තුවෙ අනෙකා කවුරු ද?
විරුද්ධභාෂිතයක් ඔබ
ජිජැක් නෙමෙයි ශිශෙක් හරිද?

වැලියු චේන් එක ඇතුළේ
එක හියුමන් රිසෝසයකි
මර්තේලිස්
හයරිං ෆයරිං ඩුං ඩුං

මර්තේලිස් ප්‍රොජෙක්ට් එකකි
ප්‍රෝග්‍ර‍ස් එක තවම මදි ය
රේස් එකේ ෆන්ඩ්ස් එවනු

මර්තේලිස් සෙක්සි ඔයා
මේක සොඳුරු ලෝකයක් ය
ශවකාමය වුව කූල් ය
එව කව බොව
සැපම විඳුව

මර්තේලිස් උඹයි මායි
අපි එළියට වැටිල වගෙයි
භාෂා ලෝකයක් ය මේ
ජීවිතයම රාමු කරපු
පොඩි කොටු තුළ

හුකා ගන්න කියල උන්ට
අපි යමු අඩියක් ගහන්න
ප.එ.ක.*
චිත්‍රපටියකුත් බලමු ද?

අජිත් පැරකුම් ජයසිංහ
2017-05-22

*පසුව එකතු කළෙමි

2017-05-21

දැවැන්ත නායකයෙක් හැදිලා නැත්නම් ගැඹුරු මුල් ගැන කතා කරන එක විහිළුවක්

උපත මත බොහෝ විට තීරණය වූ ජාතිය, ජන වර්ගය, ආගම, කුලය ආදී අනන්‍යතාවලින් හැකිතාක් මිදුණු තැනැත්තා සැබෑ බෞද්ධයා ලෙස සලකන ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ශ්‍රී රාහුල බෞද්ධ අධ්‍යයන ආයතනයේ අධිපතින් වහන්සේ ය. කැලණිය විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ද වන උන්වහන්සේ වසර දෙදහස් පන්සියයක ඉතිහාසය මත පදනම් ව අප ගොඩ නඟා ගෙන ඇත්තේ කවර නම් දෙයක්දැයි විමසති.
සිංහල ජාතිවාදය එක පැත්තකින් රට අනතුරේ හෙළනවා. දෙමළ ජාතිවාදය තවත් පැත්තකින් ඒ වැඬේම කරනවා. කොයි ආණ්ඩුව ආවත් ඔවුන් මේවා තමන්ගෙ දේශපාලන අනාගතයට පාවිච්චි කරනවා විතරයි. මෙහෙම ගියොත් රටේ අනාගතයට මොකක් වෙයිද?
දෙමළද සිංහලද කියලා වෙනසක් නැතුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ ප‍්‍රශ්න බොහෝ දුරට සමානයි. කුඹුරු කරන අම්පාර, කුරුණෑගල, පොළොන්නරුව වගේ පළාත් වල සිංහල මිනිස්සුන්ට තියෙන ප‍්‍රශ්නයි, උතුරේ කුඹුරු කරන අයට තියෙන ප‍්‍රශ්නයි සමානයි. ඒ නිෂ්පාදන වලට හරි මිලක් නෑ. තමන්ගෙ දරුවන් යවාගන්න හො`ද පාසල් නෑ. තියෙන පාසල් වලට හො`ද ගුරුවරු නෑ. තරුණයන්ට රැුකියා නෑ. ඔය වගේ ප‍්‍රශ්න ගණනාවකින් දෙපැත්තෙම මිනිස්සු පීඩිතයි. ඒ වගේම යුද්ධය නිසා මුහුණ දෙන්න වුණු විශේෂ ප‍්‍රශ්න ගණනාවක් ඔය කියන උතුරේ හැම දෙමළ මනුස්සයම අත්විදලා තියෙනවා. ඒ කියන්නෙ දකුණට වඩා වෙනස් අත්දැකීමකුත් තියෙනවා. මේ සිංහල, දෙමළ කියන එක ඒ මිනිස්සුන්ගේ ඇඟේ තියෙන ප‍්‍රශ්නයක් නෙමෙයි, උඩින් ඒ ගොල්ලො මත දාන එකක් කියන එකයි මගේ අදහස. මේ ප‍්‍රශ්නෙ හරියට තේරුම් ගන්න ඕනෙ. එහෙම නැතුව සරල තැන් වලින් අල්ලගෙන වැඩ කරන්න අමාරුයි.
එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යථාර්ථ දෙකක - යුද්ධයට සෘජුව සහ වක‍්‍රව මුහුණ දීපු මිනිස්සුන්ගේ ඔළු හදන්න අපේ රටේ පශ්චාත් යුද කාලය තුළ කිසිම විධිමත් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණේ නෑ. මේ කාරණයත් ජාතිවාදී බලවේගවල වාසියට හේතු වෙනවා නේද?
අර මම මුලින් කියපු ප‍්‍රශ්න එහෙමම තියෙන අතරෙ යුද්ධය වෙනුවෙන් මේ රටේ වෙනම මතවාද හැදුණනෙ. ඒක උතුරටත් පොදුයි. දකුණටත් පොදුයි. මේ මතවාද ඔස්සේ ගිහින් එක පැත්තක් අනෙක් පැත්ත පරාජයට පත් කරලා අවසාන වුණාට පස්සෙ මේ දෙපැත්තම නැවත ස්වභාවික තත්ත්වයට ගේන්න කිසිම වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වුණේ නෑ. දකුණ මේ ජයග‍්‍රහණය කියන එක දිගටම පවත්වාගෙන ගියා. යුද්ධයෙන් හානි වූ උතුරෙත්, දකුණෙත් මිනිස්සුන්ගෙ මනස හදන වැඩපිළිවෙළක් හැදුණෙ නෑ. ඒ ගැන ප‍්‍රමාණවත් සාකච්ඡාවක් තිබුණෙත් නෑ. දකුණ දිගටම ජයග‍්‍රාහී මානසිකත්වයේ හිටියා. ඒ මානසිකත්වය තියාගන්න විවිධ කණ්ඩායම් විවිධ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කළා. උතුරේ මනසත් වෙනස් කරන්න අවශ්‍ය දේවල් වෙනුවට ඒ විදියටම තියාගන්නයි බලධාරීන් කටයුතු කළේ. මේක බරපතල කාරණයක්. එකම රටක් ඇතුළෙ ජන කොටස් දෙකක් ජීවත් වෙන්නෙ යථාර්ථ දෙකක. ඒ නිසා මේ වෙලාවෙ නැවත ඔය ජාතිවාදය කියලා රැල්ලක් ඇවිත් තියෙනව නම් ඒක අලූතින් පටන් ගත්ත එකක් නෙමෙයි. අර සකස් කරපු පාරෙම දිගුවක්.
අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජාතිවාදය අදාළ නෑ. ඒත් ගැටලූව තියෙන්නෙ පාලකයන් ඒකට පෙළඹවීමේ ප‍්‍රමාණය. කොහොමද මේකෙන් ජනතාව බේරාගන්නෙ…?
මම දකින දේ තමයි, අහවල් දේශපාලනඥයො මේක කරයි, අරයා මේක කරන්න ඕනෙ වගේ දේවල් බලාගෙන හෝ ඒ ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. ආගමික් නායකයො වෙන්න පුළුවන්, සමාජ සංවිධාන වෙන්න පුළුවන් ඒ වගේ සක‍්‍රීය සමාජයක් හරහා තමයි මේක කරන්න පුළුවන්.
දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක අපේ වගේ සමාජයක ආගමික නායකත්වයට මෙතැනදි වැඩි බරක් දාන්න පුළුවන්…?
ඇත්තටම ඔව්. මගේ අදහසත් ඒක තමයි. ආගමික මූලයන්වලට ගියහම මේ වගේ ප‍්‍රශ්නවලට මුහුණ දීම ගැන අපිට හොදට අධ්‍යයනය කරන්න පුළුවන්. බුදු දහමෙ මෛත‍්‍රිය ගැන කතා කරනවා. කිතුනු දහමෙ අසල්වැසියාට පේ‍්‍රම කිරීම ගැන කතා කරනවා. එතැනින් අපිට හො`ද ආරම්භයක් ගන්න පුළුවන්. දේශපාලකයා කියන්නෙ බලය ඉලක්ක කරගෙන කටයුතු කරන පිරිසක්. මේ බෙදීම් රේඛා ඇති කරන්නෙත් ඒ වෙනුවෙන්. ඔවුන්ට ඡුන්ද ගොඩක් ලැබෙන්නේ මේ ජාතිවාදී මතවාද පෝෂණය කිරීමෙන් සහ ඒවා ඇවිළවීමෙන්.
ඒත් ආගමික නායකයන් විසින්ම නේද මේ මතවාද දරුණු විදිහට පෝෂණය කරන්නෙ, ඒක හැම ආගමකටම පොදුයි…?
ඒක තමයි තියෙන බරපතළම ගැටලූව. බුදු දහම ගන්න. බුදු දහමේ තියෙන ඉගැන්වීම් මේ ජාතිවාදී බලවේග වලට මුහුණට මුහුණ මුණ ගැස්සුවොත් ඔවුන්ට උත්තර නැති වෙනවා. ඔවුන්ට මුහුණ දෙන්න බෑ. උපත මත කිසිම කෙනෙක් උසස් පහත් වෙන්නෙ නෑ, පැවිදි සංස්ථාව ගොඩනැංවීමේ මූලික කාරණය බෙදීම් නෑ කියන එක. ඒවා මේ මොහොතේ මේ ඇතැම් කණ්ඩායම් පෙන්වන ආගමික කාරණා වලට වඩා සම්පූර්ණ වෙනස්. හැබැයි මේක අභියෝගයට ලක් කිරීම තමයි මේ වෙලාවේ කළ යුතුම දේ. ආගම් නියෝජනය කරන තරුණ පිරිස් ඉන්නවා, සාධනීය අදහස් වල. මේකට අපි දිගටම උත්සාහ කරන්න ඕනෙ, එතකොට තමයි කොයි වෙලාවෙ හරි මේක දැල්වෙන්නෙ. අනෙක් කාරණය තමයි, මේ කියන හාමුදුරුවරු කියන්නෙත් පහුගිය යුද්ධ කාලෙ පුරාම ඒ අත්දැකීම් විඳපු අය. ඒ ගොල්ලන්ගෙ දායකයන්ගෙ දරුවො මැරෙනවා. ඒ අයට පාංශුකූලෙ දෙන්න යනවා. බුද්ධ පූජා තියනවා. මායිම් ගම්මාන වල හිටියා නම් ඒ හාමුදුරුවරු ඉබේම එක පාර්ශ්වයකට යනවා. ඒ ගොල්ලොත් එක ඉලක්කයක්. ඒ මානසිකත්වයෙන් හාමුදුරුවරු වගේම පූජකතුමන්ලත් මුදවාගන්න ඕනෙ. ඇත්තටම සංහිඳියාව කියන වචනය මේ වැඬේදි පාවිච්චි කරන්න මම එච්චර කැමැති නෑ. මම කැමැති ‘සුවපත් වීම’ කියන වචනය පාවිච්චි කරන්න. ඒක තමයි අපිට ආගන්තුක නැති වචනය. කෙනෙක් හාමුදුරු කෙනෙක්ට වැන්දහම කියන්නෙ ‘සුවපත් වේවා’ කියලා. ඒ කියන්නෙ ශරීරය ලෙඩකින් සුවපත් වෙන්න කියලා නෙමෙයි නෙ. ඒ කතා කරන්නෙ මානසික සුවය ගැන. තමන් සුවපත් වෙලා අනුන්ව සුවපත් කිරීම ගැනයි බුදු දහමෙ කතා කරන්නෙ. කරණීයමෙත්ත සූත‍්‍රයෙ ‘යන්තං සන්තං පදං’ කියන්නෙ ‘ශාන්ත පදය’ කියන එක. මෙතැනදි තවත් කාරණයක් කියන්න ඕනෙ, වෛද්‍යවරයා කොයිතරම් බරපතළ ලෙඩකින් පීඩා වින්දත්, එයා දෙන බෙහෙතෙන් ලෙඞ්ඩු සනීප වෙනවා. ඒ වගේ තමයි ආගමික නායකයනුත්. ඒ ගොල්ලොත් තුවාල සහිත තමයි. ඒත් යමක් කරන්න පුළුවන් නම් වඩා වැදගත් වෙනවා.
විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරිම භයානකයි.ඔබ වහන්සේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයක් දරනවා. ඇත්තටම මෙතැනදි විද්වත් ප‍්‍රජාවේ නිහඬතාවත් ඉතාම බරපතළ කාරණයක්, ඒ වගේම ඔවුන් ජාතිවාදය පෝෂණය කරනවා…?
ඇත්තටම අසූ තුනේ සිද්ධිය වෙනකොට විද්වත් ලෝකයට ඒ තරම් දැනුමක් නොතිබුණා කියලා හිතමු. ඒත් ඊට පස්සෙ අවස්ථා ගණනාවකදි ඒකම වෙන්න යනකොට විද්වත් සමාජය පෙන්නුම් කරපු නිහඬ බව හරිම භයානකයි. ඒවා මමත් හරිම කම්පනයකට පත් වුණු අවස්ථා. සමාජයේ මත හැඩගස්වන්නන් නිහඩ වීම භයානකයි. අපේ සමාජය බරපතළ විදිහට මිලිටරීකරණය වෙච්ච සමාජයක්. අසූව දසකයේ ඉදලා වෙච්ච දේවල් බලන්න. විකල්ප මත දරන එක භයානකයි කියන එක සමාජගත වුණා. විශ්වවිද්‍යාලවල ඉස්සර විවිධ මත දරන අය ගෙනැත් සංවාද කළා. දැන් අවුරුදු ගණනාවක ඉදන් ඒවා නෑ. සංවාදවලට සහභාගි වෙන්න අය නෑ. ඒක ඉවරෙටම ඉවරයි. මේ තත්ත්වයන් නිසා විශ්වවිද්‍යාල සිසුනුත් හිරි වැටිලා ඉන්නෙ. සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරු කියනවා, හාමුදුරුවනේ අපිත් ඉන්නෙ ඔය මතයෙ, ඒත් කියන්න බයයි කියලා. ඒ වගේ මිනිස්සු භීතියට පත් කරලා තියෙන්නෙ. ඒ මානසිකත්වය තවම හරියට වෙනස් වෙලා නෑ. ඒකයි මම කියන්නෙ හැමකෙනාම තුවාල වෙලා ඉන්නෙ කියලා. ඒ තුවාල සුවපත් කිරීමයි කළ යුත්තේ. ඇත්තටම එතැනදි තරුණ පරම්පරාවට වැදගත් කාරයභාරයක් තියෙනවා.
හාමුදුරුවනේ, අපි පාසල පැත්තට හැරෙමු. ඔළුව පොහොසත් නැති ගුරුවරු පාසැලේදි බරපතළ විදිහට ශිෂ්‍යයාගෙ ඔළුවට ජාතිවාදී අදහස් දානවා. ඒ ශිෂ්‍යයාට යුද්ධයේ අත්දැකීම් නැති වුණත් එළියට එන්නෙ ජාතිවාදී අදහස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්…?
අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුම නෙ. ඒක නිසා මේක අමාරු කාර්යයක්. බෞද්ධ ආදර්ශයක් විදිහට ගත්තොත් ඒක මෙහෙම කියන්න පුළුවන්. බොර වෙච්ච, අවර්ණ වෙච්ච ජල බදුනක් තියෙනවා. ඒකට නොනවත්වාම පිරිසිදු ජලය එකතු කරන්න. එතකොට ටිකින් ටික අපිරිසිදු ජලය ඉවත් වෙලා පිරිසිදු ජල බදුනක් බවට පත් වෙනවා. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒත් මේක කොහොම හරි කළ යුතුයි.
අධ්‍යාපන ක‍්‍රමය වෙනස් කළත් ආපහු ඒ අධ්‍යාපනය දෙන්නෙ හිටපු ගුරුවරුයි. අවුරුදු දෙකකට කලින් රට ඇතුළෙ ආණ්ඩු මාරුවක් සිද්ධ වුණා. ජාතිවාදය කියන විෂය ගත්තහම, පහුගිය ආණ්ඩුවට සාපේක්ෂව යම් යම් සාධනීය තැන් මේ ආණ්ඩුවෙ ක‍්‍රියාකාරිත්වය තුළ තිබුණත් බරපතළ වෙනසක් දකින්න නෑ. ඒ ඇයි ?
ඒකටත් අදාළ වෙන්නෙ අර අපිරිසිදු ජල බදුනෙ කතාවම තමයි. නෙල්සන් මැන්ඩෙලා වගේ කැපවීමක් අවශ්‍යයි. ඒ වගේ මැදිහත්වීමක් කරන්න නායකයෙක්, මිනිහෙක් ගොඩනැගිලා නෑ. ඉන්දියාවේ ගාන්ධිට වෙනත් ඉලක්ක තිබුණෙ නෑ. ඒ වැඬේ විතරක් කළා. මැන්ඩෙලාත් එහෙමයි. අපේ රටේ ඒ කැපවීම, කැක්කුම සහිත මිනිහෙක් බිහි වෙලා නෑ. ආත්ම පරිත්‍යාගයෙන් යුක්තව ඒ වගේ ගැඹුරු වැඩක් කරන්න පුළුවන් කෙනෙක් මේ රටේ ගොඩනැගිලා නෑ. නිදර්ශනයක් හැටියට කිව්වොත්, ජනාධිපතිතුමා එයාට බෝම්බ ගහපු සිද්ධියෙ සැකකාරයව නිදහස් කළා. ප‍්‍රාදේශීය දේශපාලකයෙක් පාලමක් විවෘත කරලා නම ගහගන්නවා වගේ පොඩි වැඩක් නෙ ඒක. එයාට පුළුවන් වුණා නම් මේ වගේ හිරකාරයො සියලූම දෙනාගෙ මව්පියො කැදවලා කියන්න, ‘ඔයාලගෙ දරුවො වෙනස් පරිසරයක් ඇතුළෙ වැරදි කරන්න ඇති, නමුත් දැන් තත්ත්වය වෙනස්, මේ ළමයි හිරගෙවල් ඇතුළෙ ජීවිත ගත කරනවට වඩා මම කැමැතියි මේ ළමයි සාමාන්‍ය ජීවිතවලට එනවට, අපි එකතු වෙලා මේ රට හදමු’ කියලා, අන්න ඒක දැවැන්ත පියවරක්. එහෙම බැරි මේ අය දැවැන්ත මිනිස්සු නෙමෙයි. අර ගොල්ලොන්ට ඒ විදිහට කිව්ව නම් ඔවුන්ට කොච්චර අභිමානයක්, ගෞරවයක් දැනෙයිද? ඒ වගේ කැපකිරීම් කරන්න මේ අය ලෑස්ති නෑ. කොච්චර පොඩි මිනිස්සුද මේ අය? පක්ෂයක නායකත්වයක් වගේ සිල්ලර දේවල් වලට කුළල් කා ගන්නවා හැර ඔය කියන දැවැන්ත පියවර තියන්න පුළුවන් කිසිම මිනිහෙක් මේ අය අතර නම් මම දකින්නෙ නෑ. එහෙම ගත්තහම අපි අවුරුදු දෙදාස් පන්සීයක් ගැන කතා කළාට, ඒ අවුරුදු දෙදාස් පන්සීය විසින් ලොකු, දැවැන්ත මිනිහෙක් නිර්මාණය කරලා නෑ. අපිට දෙදාස් පන්සීයක එහෙම ඉතිහාසයක් ගැන කියන්න පුළුවන් නම්, ඒ ගැඹුරු මුල් විසින් හදපු ගැඹුරු මිනිහෙක් ඉන්න ඕනෙ. ඒ දැවැන්තයා හැදිලා නැත්නම් ඒ ගැඹුරු මුල් ගැන කතා කරන එක විහිළුවක්.
සාකච්ඡා කළේ ශාලික විමලසේන

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-20

ජාතික ප්‍රශ්නයේදී සිංහල බෞද්ධ හා දෙමළ මාවත් හැර වෙනත් පාරවල් නැද්ද?

ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් මැද මාවතක් නැති ය කියන එක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මෙන්න මෙහෙම ඉදිරිපත් කරනවා.

යුද්ධයේ අවසානය පිළිබඳව සිංහල-බෞද්ධ පාර්ශවයෙන් හා දෙමළ පාර්ශවයෙන් ඉදිරිපත් වන කියාපෑම් දිහා බැලූ විට පැහැදිලිවම පේන දේ තමයි දෙපාර්ශවයටම තමන්ගේ කියාපෑම් සඳහා ඉතාම පැහැදිලි හේතු තිබෙන බව. අප වැනි අය පිළිගත්තත් නැතත් මේක මගහැරයා නොහැකි යථාර්ථයක්. හොඳින්ම පෙනෙන දේ තමයි සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වන බව. පිලිප් ශාන්ත කියල තිබුණ වගේ අපි බලන් ඉන්න ඕනෙ දෙමළ සමාජය තුළ වර්ධනය වන නව ගතිකයන්ට සිංහල-බෞද්ධ දේශපාලනය මුහුණ දෙන්නෙ කොහොමද කියල. කොහොම වුනත් මේ ප්‍රතිවිරුද්ධ ජාතිකවාදයක් දෙක අතර තිබෙන දුරස්ථභාවය සමනය කිරීමට දැනට මැද මාවතක් නැති බවනම් පැහැදිලියි. - නිර්මාල් රංජිත් දේවසිරි

සමාජ දෙක අතර තිබෙන දුර එන්න එන්නම දුරස්ථ වෙනවා ය කියන තර්කය අනුව ගත්තොත්, ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් දෙකයි තියෙන්නෙ. එකක්, දෙමළ වෙනම රාජ්‍යය. අනෙක, සිංහල මූලික රාජ්‍යය විසින් දෙමළ ජනයා මර්දනය කිරීම.

මෙතනදී නිර්මාල්ගේ ගෝටා-2020 ව්‍යාපෘතිය ස්ථානගත වන්නේ මේ දෙවන කාරණය සමග විය යුතුයි.

හැබැයි නිර්මාල් මීට ටික දවසකට ඉහතදී මීට වඩා පරස්පර විරෝධී කතාවක් කිව්වා මා සමග ඇති වුණ සංවාදයකදී. ස්වයං නිර්ණ හිමිකම කියන්නෙ මොකක් ද කියා මගෙන් ඇහුවා ම මම කීවා ඒක ජාතියකට වෙන් වී වෙනම රාජ්‍යයක් හදා ගන්නට තිබෙන අයිතිය බව. එතකොට නිර්මාල් කිව්වෙ මෙහෙමයි.

Nirmal Dewasiri ඒක ස්ව්‍යං නීර්ණ අයිතිය ප්‍රකාශයට පත් කරන එක ක්‍රමයක් විතරක් වෙන්න බැරිද?
Nirmal Dewasiri ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ ස්ව්‍යං නීර්ණ අයිතිය කියන්නේ දේශපාලන වශයෙන් වෙනම සිතන ප්‍රජාවකට තමන්ගේ සාමූහික දේශපාලන ඉරණම තම ප්‍රජාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් තීරණය කරගැනීමට තියෙන අයිතිය කියල සලකන්න බැරි ඇයි?

Reply
2
May 9 at 12:33pmEdited

මේ සාකච්ඡාව නිර්මාල් කියන විධියේ ප්‍රජාතාන්ත්‍රික එකක් නම්, එහිදී සැලකිල්ලට ගත යුතුව තිබෙන මූලික ම කරුණක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කිසියම් ප්‍රජාවක් සෙසු ප්‍රජාවන්ගෙන් හුදකලාව තීරණවලට එළඹීම නො වන බවයි.

ඒක හරියට මේ වගේ. දැන් ඔබේ ගමේ පවුලක් කියනවා ඔවුන්ගේ භූගෝලීය සීමාව ඇතුළේ පවුලේ කටයුතු තීරණය කිරීම ප්‍රජාතාන්ත්‍රිකව ඔවුන් විසින් කරනවා ය කියලා. ඒ අනුව ඔවුන් බහුතර කැමැත්තෙන් තීරණය කරනවා ඔවුන්ගේ ගෙදර කුණු පාරට ගෙනැවිත් දැමිය යුතු බව. ඒක ප්‍රජාතාන්ත්‍රික තීරණ ගැනීමක් නො වන බව ඔබට තේරෙනවා නේ.

ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියත් එවැනි දෙයක්. වර්තමාන ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය තුළ ස්ථාපිත නො වන ජාතීන්ගේ ස්වයං නිර්ණ හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදී නැහැ.

නිර්මාල් මෙහිදී මේ ප්‍රශ්නය සලකන්නේ සිංහල, දෙමළ ජාතිවාදීන් අතර ගැටුමක් පමණක් ලෙසයි. හැබැයි මෙතන ඊට වඩා අරගල සංඛ්‍යාවක් තිබෙනවා.

ජාතිවාදීන්ගේ අරගලයි, වාමාංශිකයන්ගෙ අරගලයි, ප්‍රගතිශීලීන්ගෙ අරගලයි කියලා තුන් ජාතියක් පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. ජාතිවාදීන් අරගල කරන්නෙ ජාතික රාජ්‍යවල ස්වභාවය වෙනුවෙන්. වාමාංශිකයන් බොහෝ විට ජාතිවාදීන්ගේ වලිග වෙමින් ජාතිවාදී නිරුවත වහ ගන්න සමාජවාදී සළුපිළි අඳිනවා. ප්‍රගතිශීලීන්ගේ අරගලය වෙනත් එකක්. ඒ තමයි ජාතිය කියන දේශපාලන ප්‍රජාව ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් අරගල කරන එක. ඒක පුළුල් අරගලයක කොටසක්.

මෙතනදී මම නම් හිතන්නෙ පොදු ජනතාවගේ අරගලය කියන්නේ ඉහතදී මම ප්‍රගතිශීලීන්ගේ අරගලය ලෙස හඳුන්වන ලද එකයි.

මා ඉදිරිපත් කරන කාරණය වන්නේ ජාතික ප්‍රශ්නයේදී තුන්වන පාර්ශ්වයකටත් තමන්ගේ කියාපෑම් සඳහා ඉතා පැහැදිලි හේතු තිබෙන බව. ඒත් ප්‍රශ්නය වන්නේ ඒ හේතුවලට සවන් දෙන්නට නිර්මාල්ලා සූදානම් නැතිකම. ඒකට හේතුව තමයි ඒ හඬට වරනැගීමක් නැති වීම.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-05-18

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)

ඔහුත් මාත් මෙහි නොව
කොහේ හෝ තැබෑරුමක හමු වුණි නම්
අප වාඩි වී අඩියක් ගසනු ඇත
රවුම් ගණනක් ම බොනු ඇත

ඒත් අපි හමුදා දෙකක
මුහුණට මුහුණ සටනේ
මම ඔහුට වෙඩි තැබුවෙමි
එතැනම මරා දැමුවෙමි

මා ඔහු මරා දැමුවේ
ම්.... ඔහු මගේ සතුරා නොවැ
ඔව් ඒකනේ, ඔහු මගේ සතුරා
තේරුණා නේද, ඔහු මගේ සතුරා

මං හිතන්නේ ඔහුත්
මං වගෙම වෙන්න ඇති
රස්සාවක් නැතුව පිච්චියක් අතේ නැතුව
ඒ මදැයි හේතුව බැඳෙන්නට

යුද්දෙ හරි අමුතුයි නේ
එහිදි ඔබ මරන මිනිහා
හමු වුණා නම් තැබෑරුමක
අඩියක් ගසා සාක්කුවටත් 
කීයක් හෝ දමනු ඇත

-අජිත් පැරකුම් ජයසිංහ
2017 - 05 -18

(තෝමස් හාඩි විසින් ලියන ලද පහත සඳහන් කවියේ අනුවාදයකි)

The Man He Killed
BY THOMAS HARDY

"Had he and I but met
By some old ancient inn,
We should have sat us down to wet
Right many a nipperkin!

"But ranged as infantry,
And staring face to face,
I shot at him as he at me,
And killed him in his place.

"I shot him dead because —
Because he was my foe,
Just so: my foe of course he was;
That's clear enough; although

"He thought he'd 'list, perhaps,
Off-hand like — just as I —
Was out of work — had sold his traps —
No other reason why.

"Yes; quaint and curious war is!
You shoot a fellow down
You'd treat if met where any bar is,
Or help to half-a-crown."



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.