2017-05-15

ලෙනින්ගේ කල්පය අවසානයේ හිමිකාරිත්වයේ දර්ශනය

සෝඩා බෝතල් කැඩීම 
ඉන්දියානු ව්‍යාප්තවාදය චීන ප්‍රබන්ධයක් ද මැයෙන් අප ලියූ ලිපියට ප්‍රතිචාරයක් දක්වමින් ලාංකික සිතුවිලි බ්ලොග්කරුවා පහත දැක්වෙන අදහස දක්වා තිබුණා.

අද කාලය ගැන සිතපුවහම, අද සිදුවෙන්නේ ප්‍රාග්ධනය කීපදෙනෙකු අතට යාම පමනයි
https://www.oxfam.org/en/pressroom/pressreleases/2017-01-16/just-8-men-own-same-wealth-half-world

ලෝකයේ මිනිසුන් අටදෙනෙකු සතු ධනය ලෝකයේ බාගයක ධනයට සමාන වෙනවා මේගැන මහාචාර්ය Thomas Piketty අපුරු පොතක් ලියනවා වසර 200ක පමණ කාලයකදී ධනය පුද්ගලයන් සතු වුණේ කොහොමද කියල.


මෙහිදී වාමාංශිකයන්ගෙන් ගන්න සුරාකෑම කියන න්‍යාය වලංගු වන්නේ නෑ.


ඒ වුණාට ලෝකය ගැන සාහිත්‍ය විමර්ශන ඔස්සේ පමණක් අධ්‍යයනය කරන වාමාංශිකයිනුත් පදනම් වන්නේ ඔක්ස්ෆෑම් වැනි සංවිධානවලින් නිකුත් කරනු ලබන මෙවැනි සංඛ්‍යාලේඛන විග්‍ර‍හ මතයි.

මීට කෙටි කලකට ඉහතදී අලේන් බදියු නම් දාර්ශනිකයා විසින් මෙවැනි ම සංඛ්‍යාලේඛනයක් සඳහන් කරමින් කරන ලද අදහස් දැක්වීමක් බව බ්ලොග් අඩවිය විසින් පළ කර තිබිණි. එතැනදී එම බ්ලොග් අඩවියට සම්බන්ධ අයෙකු හා මා අතර සංවාදයක් ඇති වුණා. මා පෙන්වා දුන් කාරණය වන්නේ අලේන් බදියුට හිමිකාරිත්වය සම්බන්ධයෙන් ගැඹුරු දර්ශනයක් නැති බවයි.  

ඔක්ස්ෆෑම් විසින් ඉදිරිපත් කරන ලද මේ ජනප්‍රිය සංඛ්‍යාලේඛනය ඇත්තට ම සිහිපත් කරන්නේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ ඩිස්රායලි කියන ලද මෙන්න මේ ප්‍රකාශයයි.

"There are three kinds of lies: lies, damned lies, and statistics."

ඔක්ස්ෆෑම් යනු පුණ්‍යාධාර එකතු කරන සංවිධානයක්. බංග්ලාදේශයේ සැමියා මිය ගිය කාන්තාවකට දරු පවුල පෝෂණය කරන්නට එළදෙනක් අරන් දෙන්නට ඩොලර් එකක් දෙන්න වගේ ප්‍රචාරණ ව්‍යාපාර ඔවුන් කරනවා. ඉතින් සංවර්ධිත රටවල මිනිස්සු ආධාර කරනවා. හැබැයි ඔවුන්ගේ ආධාරත් බංග්ලාදේශයේ ගවයාත් අතර විශාල බිස්නස් එකක් තිබෙනවා. හරක් පට්ටියක් පමණ මිළ දී ගන්නට පුළුවන් තරම් විශාල මාසික වැටුප් ලබන පිරිමි හා ගැහැනුත්, සුඛෝපභෝගී යාන වාහන, දිව්‍ය මාළිගා වැනි කාර්යාල, විදෙස් චාරිකා ආදී බොහෝ දේ සම්පූර්ණ වූ පසු ඉතිරියක් තිබුණොත් තමයි බංග්ලාදේශයේ සැමියා මිය ගිය දරුවන් ඉන්න කාන්තාවට එළදෙනක් ලැබෙන්නේ. 

වාමාංශිකයන් මේ බිස්නස් එක දිහා නො බලා අර සංඛ්‍යාතිය විතරක් අරගන්නේ හරකුන් සමග තිබෙන ඔවුන්ගේ සමීපත්වයක් නිසා නෙමෙයි. අර බිස්නස් එක වගේ බිස්නස් එකක් ඔවුන් ද කරන නිසායි. ඒ තමයි රැවටීම. 

මා අලේන් බදියුට හිමිකාරිත්වය පිළිබඳ ගැඹුරු දාර්ශනික අදහසක් නැති බව පැවසූ විට අලේන් බදියුගේ බැතිමත්තු ප්‍රකෝප වුණා. එතැනදී තර්ක වශයෙන් ඉදිරිපත් කරපු කරුණක් තමයි මට රු. 100ක් අයිති නම් එය මට අයිති බව. හැබැයි හිමිකාරිත්වය කියන්නේ එහෙම පරම දෙයක් නො වන බවත්, තවත් බොහෝ දේවලින් එය සීමා වන බවත් මා පෙන්වා දුන්නා. උදාහරණයක් ලෙස අර රු. 100 මගේ ය කියලා මට පුළුවන් ද ඒකෙන් සිගරට් පත්තු කරන්න. බැහැ. මුදල් විනාශ කිරීම රටේ නීතිය අනුව දඬුවම් ලැබිය හැකි වරදක්.

නෛතික හිමිකාරිත්වය යනු යම්කිසි දෙයක පූර්ණ හිමිකාරිත්වයක් නෙමෙයි. අපි නිදසුනකට බිල් ගේට්ස්ගේ වත්කම් ගනිමු. ඒ සියල්ල ඔහුට සම්පූර්ණයෙන් ම අයිති ද? ඔහුගෙන් වැටුප් ලබන අයට කිසිවක් හිමි නැද්ද? ඔහු ලබන ලාභයට ඔහු කුමක් ද කරන්නේ? සෑම ධනපතියෙකු ම සිය ලාභය නැවත ප්‍රාග්ධනය බවට පත් කරනවා. එවිට එය සම්පූර්ණයෙන් ම ඔහුට අයිති ද?

වෘත්තීය අයිතිවාසිකම්, කම්කරු නීති, මානව හිමිකම්, බදු, රාජ්‍ය බලය, මැර බලය, දූෂණය වැනි බොහෝ දේවලින් හිමිකාරිත්වයට සීමා නිර්ණය වෙනවා. 

මිනිසුන් පුද්ගලයන් ලෙස කෙතරම් කෑදර වුණත්, එම පුද්ගලයාට ඇත්තට ම පෞද්ගලිකව හිමි කර ගත හැක්කේ සීමිත දේපල ප්‍රමාණයක් විතරයි. හිමිකාරිත්වය කියන්නේ පරමත්වයක් නෙමෙයි. එයත්, සාපේක්ෂ දෙයක්. හිමිකාරිත්වය හා ව්‍යවසායකත්වය කියන්නෙ සමාජ තුලනයට අවශ්‍ය වෘත්තික භූමිකාවන්.

දේපල හිමි කර ගැනීම, ව්‍යවසායකරණය වැනි දේවල් සරල නැහැ. ඒවාට විශේෂ කුසලතා අවශ්‍යයි. ඒ වගේ ම ඒවායේ දැඩි අවදානමක් ද තිබෙනවා. අපි උදාහරණයකට ලලිත් කොතලාවල ගනිමු. ඔහු ලංකාවේ සිටි දැවැන්ත දේපල හිමියෙක්. එහෙත්, අවසානයේ ඔහුට සිදු වුණේ කුමක් ද?

කම්කරුවන් කියන්නේ තමන්ගේ ශ්‍රමයට මුල් තැන දෙන, සීමිත දේපල හිමිකාරිත්වයක් ඇති සමාජ ස්ථරයක්. කම්කරුවන්ගේ පැවැත්ම සඳහා ව්‍යවසායකයන්, දේපල හිමියන් අවශ්‍යයි.

පෞද්ගලික ව්‍යවසායකයන්ගේ තැනට රජය පත් වුණා ය කියලා වෙනසක් නැහැ. ඒකත් දේපල හිමිකාරිත්වයේ වඩා ඒකාධිකාරී තවත් එක් ස්වරූපයක්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, මහජනයා රජයේ පාර්ශ්වකරුවන් ය කියනවා නේ. ඒත්, රජයට අයත් දේපල සියල්ල මහජන දේපල යයි කියන්නට පුළුවන් ද?

කම්කරුවාට මාක්ස්වාදයෙන් උගන්වා තිබෙන්නේ ඔහුගේ කාලකණ්ණිකමට හේතුව ධනපතියා ලබන ලාභය නිසා, කම්කරුවාගේ අවසාන ජයග්‍රහණය ඇත්තේ ධනපතියාගේ දේපල උදුරාගෙන පොදු දේපල බවට පත් කිරීම තුළ බවයි. පොදු දේපල කිව්වාට මේවා ප්‍රායෝගිකව රජයේ දේපල. වෙන එකක් අපි නම් දන්නෙ නැහැ. වෙන ඒවා තියෙන්නේ ඓතිහාසික භෞතිකවාදය ගැන බාගෙට ලියපු ප්‍රබන්ධ සාහිත්‍ය කෘතිවල හා ඒවාට ඇතැමෙකු අනුබද්ධ කරන්නට උත්සාහ කරන විද්‍යා ප්‍රබන්ධ වගේ කතාවල විතරයි. 

නිෂ්පාදනයේ දියුණු අවධිවලදි ව්‍යවසායකත්වය, දේපල හිමිකාරිත්වය වැනි දේවල් සමාජයට අත්‍යවශ්‍ය වෘත්තිකමය තත්වයන්. කම්කරුවාගේ පැවැත්මට ඒවා අත්‍යවශ්‍යයි. රජය ඒ කටයුතු කිරීම අසාර්ථක බව ලෙනින්වාදයේ සියවස තුළදී වාමාංශික ලෙනින් හා දක්ෂිණාංශික කේන්ස් විසින් අතිනත අල්ලාගෙන පද්ද පද්දා චූන් එකේ ඔප්පු කර අහවර ය.

වර්තමාන සමාජ ක්‍රමයේ තිබෙන විෂමතා නැති කරන හැටි ගැන අප අධ්‍යයනය කළ යුතුයි. පර්යේෂණ කළ යුතුයි. හැබැයි මේ යල් පැන ගිය මනස්ගාත ඔලුවෙන් හිස් කර ගන්නේ නැතිව නැවුම්ව හිතන්නට බැහැ. 

මම කම්කරුවෙක්. මා පෙනී සිටින්නේ ඵලදායී වැඩ කරන කම්කරුවන් වෙනුවෙන්. එහිදී මා දකින දෙයක් නම් කම්කරුවා දේපල හිමිකාරිත්වය හා ව්‍යවසායකත්වය සම්බන්ධ වෘත්තිකයකු වීම අනිවාර්ය අවශ්‍යතාවක් නෙමෙයි. කම්කරුවා තහවුරු කර ගත යුත්තේ ශ්‍රමයේ වටිනාකම පමණයි. 

ලෙනින්ගේ කල්පය අවසාන වන 2017දී වාමාංශිකයන්ටත් අයිඑන්ජීඕවල ප්‍රචාරණ උපක්‍රම දේව භාෂිත බවට පත් වන්නේ අන් හේතුවක් නිසා නොව මේ කල්පාවසාන මුරුගසන් වැස්ස වසින සමය නිසා ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. මාක්ස් වාදය අප්සෙට් කිව්වට ඒ හරහා කරපු අරගල උදව් උනේ නැද්ද දනවාදය මෙතරම් ඉක්මනට සොෆ්ට් කරන්න ?

    ReplyDelete
  2. අපේ රටේ මිනිස්සුන්ට රැකියා අවශ්‍යයි. ව්‍යවසායකයෙක් ඒ සඳහා ඔහුගේ මුදල් ආයෝජනය කළොත් ඒකෙන් ඔහු ඔහුගේ මුදල් අවදානමකට ලක් කරනවා.

    ව්‍යාපාරය බඩු නොවිකිණීම නිසා, භාණ්ඩ තහනම් කිරීම නිසා (උදාහරණයකට ප්‍රේමදාස ස්ලොට් මෙශින් තහන්ම් කිරීමෙන් ධම්මික පෙරේරාට වූ පාඩුව ), රජයට පවරා ගැනීම් (සෙවනගල සීනි කම්හල ) , සාදන භාණ්ඩය තාක්ෂණික වෙනසකින් තව දුරටත් අවශ්‍ය නොවීම ( කැමරා වලට සිදු වූ දෙය ) වැනි හේතු නිසා ඔහුගේ අයෝජනය නැතිවෙන්න පුළුවන්.

    එහෙම වුණත් ඒ සඳහා ඔහු ලබා ගත් ණය සඳහා පෞද්ගලික ඉඩම් හෝ ලිඛිත ඇපකර දීල තියෙනවනම් ඔහුගේ තවත් දේපල නැතිවෙන්න පුළුවන්. රජයේ බදු නිසා හෝ ඉහල තරඟකාරීත්වය නිසා ලාභ ඉතා අඩුවී යන්න පුළුවන්.

    සේවය කරන්නා ගන්න අවදානම් සාපේක්ෂව බොහොම අඩුයි. ඔහුට ස්ථීර රැකියාවක් තියෙනවා. කාර්‍යක්ෂම සේවයකෙකු නොවුනත් රස්සාවෙන් දොට්ට දාන අමාරුයි හෝ බැහැ. වෙලාවට පඩි ලැබෙනවා. ඉන්නම බැරිනම් වෙන රැකියාවකට යනවා. ඒ වුණාට අර අයෝජකයා සූරා කන්නෙක් කියා හඳුන්වනවා. තමන්ගේ වැඩ කොටස හරියට නොකෙරුවත් කම්කරුවා සැමවිටම හරි යන මතය තමයි උසාවි වල වුණත් ගන්නෙ.

    ReplyDelete
    Replies
    1. ප්‍රාග්ධනය කියන්නේත් ධනපතියා කියන්නේත් දෙකක්.ඒ දෙක අතර වෙනසවත් දන්නේ නැති මේ ඉයන්ලා වගේ ගොන් හරක් තමයි ලංකාවේ විවේචකයෝ වෙලා තියෙන්නේ

      Delete
  3. ධනේශ්වර ප්‍රාග්ධන ගොඩගසා ගැනීම විසින් ප්‍රාණවත් කරනු ලබන සීමාරහිත වර්ධනය, සීමිත සම්පත් ඇති ග්‍රහලෝකයකදී දිගට ම කළ නො හැකි බව පිළිබඳ දෙවිධියක අදහස් තිබේ.

    එකක්, සම්පත් සීමිත ද යන්න පිළිබඳ නිගමනයක් නැත. මිනිස් බුද්ධියට පෘථිවියේ පමණක් නොව විශ්වයේ සම්පත් සොයා යන්නට තිබෙන හැකියාව ද වර්ධනය වෙමින් තිබේ. අනෙක් පැත්තෙන් සම්පත්වල ඵලදායිතාව ද වර්ධනය වෙමින් තිබෙන හෙයින් සම්පත්වල ඵලදායිතාව වර්ධනය කර ගැනීමේ මිනිස් හැකියාව ද වර්ධනය වෙමින් තිබේ. (උදාහරණ: න්‍යෂ්ටික බලය, ප්‍රතිචක්‍රීයකරණ තාක්ෂණයන්)

    අනෙක් පැත්තෙන්, මිනිස් සමාජය තුළ පාරිභෝජනවාදයට එරෙහිව මතු වන දේශපාලනයට මෙහිදී විශේෂ කාර්යභාරයක් තිබේ. පාරිභෝජනවාදයට එරෙහි අරගලය නව සමාජවාදයේ ප්‍රධාන කොටසකි. සමාජවාදය හුදු රාජ්‍ය බලය සඳහා සටන් පාඨයක් නො වේ. එය ජීවන භාවිතාවකි.

    ධනපතීන්ගේ අන්තයේදී පාරිභෝජනවාදය යම් තාක් දුරකට ධනය පහළට කාන්දු වීමට උපකාරී වේ. උදාහරණයක් ලෙස සංචරණය, සත්කාරක කර්මාන්ත වැනි ඒවා ගත හැකි ය.

    එහෙත් කම්කරුවාගේ අන්තයේදී වැදගත් ම සටන් පාඨය වන්නේ පාරිභෝජනවාදය පිටුදැකීමයි.

    මෙහිදී විෂමතා අවම කිරීම මිස මුළුමනින් ම පිටුදැකිය හැකි බවක් අදහස් කරන්නේ නැත. විෂමතා විවිධත්වයේ ම තවත් ස්වරූපයකි.

    ReplyDelete
  4. ස්තුතියි පැරා,

    මේ පොස්ට් එක මම ඊයෙ දැක්කත් ප්‍රතිචාර දක්වන්න ලැබුනේ දැන්තමයි.
    හිහ් හිහ් ..... කුනුරසය නැති බුද්ධිමත් පොස්ට් වල ප්‍රතිචාර තරමක් අඩුයි !!

    මම කියන්න හිටපු ගොඩක් දේවල් ඉයන් මට වඩා හොදට කියල තියනවා.

    ඉයන් කිව්වා වගේ සේවකයකුට රැකියාව නැතිවන්නේ අදාළ ආයතනය වසා දමන්න සිදුවුනොත්, එහෙම උනත් ඉස්තිර සේවකයක් නම් වන්දි ගෙවන්න සිදුවෙනවා. නමුත් හිමිකරුවන්ට මෙවෙනුවෙන් යොදවපු සියල්ල නැතිවෙන්න පුළුවන්, මම ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලික ආයතනයක රැකියාව කරපු කාලේ එහි හිමිකරුවා මා සමග කිව්වේ තමන්ට කොච්චර මානසික පීඩනයක් තියනවද සේවකයන්ගේ ඊලග පඩි ගෙවල ගත්ත ණය වාරික ගෙවන්න කියල.

    මේකේ සංකීර්ණ තාවය දැක්ක මට මගේ ආයතනය ශ්‍රී ලංකාව තුල වියාප්ත කිරීමට කිසිම කැමැත්තක් තිබුනේ නෑ, මේ නිසා මම කලේ මට සේවයක් ඕන වෙනකොට ඉන්දියාව තුල ඇති computer programmers බහුලවත් විශේෂ පුහුණුවක් ඇති වැඩක් කර ගැනීමට ඔස්ට්‍රේලියාව වැනි රටවල අයත් පාවිච්චි කරනවා, සමහර විට ඉහල මිලක් ගෙවන්න උනත් මම පාවිච්චි කරන තාක්ෂණික විදි ක්‍රම වලට අනුව ඇමරිකානු සමාගමක් කලානම් මට යන වියදම වගේ 10 ගුණයකට වැඩි වියදමක් දරන්න වෙනවා.

    මුලදී ම මම ශ්‍රී ලංකාව තුල ඇතිවන ප්‍රශ්න ගැන දැනුවත් උනේ මගේ මිතුරකුට අයත් ආයතනයකට සේවකයන් සොයාදීමට මට කිව්ව වෙලාවේදී මම ශ්‍රී ලංකාව තුල ඇති මේ ප්‍රශ්නය ගැන දැනුවත් උනා, මෙහිදී අන්තර්ජාතික ප්‍රමිතියට අපේ මිනිසුන් වැඩ නොකලත් අන්තර්ජාතික වැටුපක් බලාපොරොත්තු උනා, මහේ මිතුරාට එක මාසයක ලක්ෂ 5 ක් නැවත ගෙවාදැමීමට සිදුවුනා අපේ අයගේ වැඩ නිසා, ඇත්තම කියනවනම් ශ්‍රී ලංකාවේ ඉතා දක්ෂ computer programmers බිහිඋනත් ඔවුන් බොහෝදෙනෙක් විශ්ව විද්‍යාලයෙන් පිටවූ හැටියේ විදේශ වල රැකියා ලබාදෙනවා, ශ්‍රී ලංකාවේ ඉතිරු වෙන අය බොහෝවිට කුසලතා සම්පුර්ණ නොකළ අය සහ විවිද පුද්ගලික හේතු නිසා දක්ෂතා ඇතුව ශ්‍රී ලංකාව තුල නවතින අයයි.

    දැන් මෙය කියවන අය කියන්න බැරි නෑ මමත් ඉන්දියානුවෝ සුරා කනවා කියල අනෙක් අතට කියයි ETCA එක හොදයි නේ කියල තොරතුරු තක්ෂණය කරන අය පැත්තෙන් බැලුවහම, ඇත්තටම මගේ අදහස ETCA ගිවිසුම නැතුවත් අපට ඕනේ දේ ඉන්දියානුවෝ ලවා අපි කරගන්නවා මේ ගිවිසුම නිසා අපට අමුතු වාසියක් නෑ තොරතුරු තක්ෂණය පැත්තෙන්.

    ReplyDelete
  5. පැරා,

    අර ස රස කියන හාදයා, මෑන්ස්ගෙ මඩ බ්ලොග් එකේ ඇනෝ ඇවිත් පැරා දානවා වගේ කමෙන්ට් දාලා පස්සෙ මිනිහම ප්‍රොෆයිල් එකෙන් ඇවිත් ආපහු පැරාටම නෙලනවා. මර සිඟිති ආතල් ඕයි පොර ගන්නෙ.

    ඌටම හරියන නොම්බර එකේ බත්කන හරක් ටයිප් බයියො සෙට් එකක් ඉන්නවා එකෙ කමෙන්ට් දාන. බැරිවෙලා හරි ස රසයට එගේන්ස් ටයිප් කමෙන්ට් එකක් කවුරු හරි දාලා තිබ්බොත් උන් සෙට්එක එකතුවෙලා බනින්නෙ පැරාටයි අර කතන්දර මෑන්ස්ටයි.

    ඔයි සරස බයියා ඇන්ඩ් ද ක්ලෑන් ඇයි ඔහේල එක්ක ඔච්චර වෛර... ?

    (මෙම පෝස්ටුවට අදාළ නොවන කමෙන්ටුවක් පළකිරීම ගැන සමාවෙන්න.)

    ReplyDelete
    Replies
    1. කුමාර කළුආරච්චි කියන සිංහල ජාතිවාදියාට හිරු කණ්ඩායමේ හා වෙනත් දෙමළ ජාතිවාදීන් සෙට් වෙලා තියෙන එක තේරුම් ගන්න පුළුවන් මං මේ මාතෘකාවට දාලා තියෙන ලෙනින්ගේ කල්පයේ අවසානයෙන්. මේ ඉන්නෙ කල්පාන්ත මේඝයට තෙමුණු එවුන්. උන්ට මෘග සංඥාව පහළ වෙලා.

      ආරක්ෂිත ඉහළ මාලයක ඉඳන් කෝපි කෝප්පයක් බිබී කල්පාන්ත මේඝයට හසු වුණ වඳුරන්ගෙ රිලා නැටුම් බලන්න. හෙට අලුත් ඉරක් පායනකොට ඕකුන් බලු කුක්කන් වෙලා ඉන්නවා දකින්නට පුළුවන්.

      Delete
    2. කිසියම් අයෙක් පැරාගේ මෙම පිළිතුරට "වල් පරයා" යන්න ද එකතු කොට කුමාර කළුආරච්චිගේ 'මල්ලේ පොල්' නමැති බ්ලොගයේ පළ කොට ඇත.

      ඒ මෙසේය ---

      <<<>>>>

      Delete
  6. මේක ටිකක් දරුණුයි. කොමියුනිස්ට් හා ධනවාදය අතර වෙනසක් නෑ වගේ අදහසක් එනවා. (ධනවාදය ටිකක් සොෆ්ට් වගේ) නිර්මාල් මොකද දන්නෙ නෑ මේ ගන කියන්නෙ.

    ReplyDelete
  7. පැරා, ඔබ ෆේස්බුක් එකේ මෙහෙම කියනවා.

    "පරිභෝජනයයි, පාරිභෝජනවාදයයි කියන්නෙ දෙකක්. උදාහරණ පලතුරු බීම අයත් වන්නෙ පරිභෝජනයට. කොකා කෝලා අයත් වන්නෙ පාරිභෝජනවාදයට."

    ඇයි කොකා කෝලා අප්සෙට් ද?

    -Dimithri

    ReplyDelete
  8. https://www.crisisgroup.org/asia/south-asia/sri-lanka/286-sri-lanka-s-transition-nowhere

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.