2017-05-30

ගංවතුර කඳවුරේ නයනා

නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.

කාමරයේ අල්මාරිය ඇර බැලූ ඇගේ පපුව හෝස් ගා දැවී ගියේ ය. සාරි, ගවුම්, ළමා ඇඳුම් ආදියෙන් තවමත් දිය බේරේ. ඇය අල්මාරි ලාච්චුව ඇර බැලුවා ය. වටිනා ලියකියවිලි සියල්ල තෙමී ඇත. ඒ අතර රත්තරං බඩු උකස් පත්‍රිකා ද ඇති බව සිහි වී ඇගේ අත නිතැතින් ම ගෙලට ගියේ ය.

ඇය ඇඳ මත වාඩි වුණා ය. එසැණින් ම දැනුණ තෙත නිසා වහා නැගිට්ටා ය. ඒ සමග ම ඇඳ පැත්තකට ඇල විණි. බෝඩ්වලින් හදන ලද එය නැවත පාවිච්චි කරන්නට බැරි වනු ඇත. එය දැනටමත් තෙමී, පෙඟී පපඩමක් සේ පිම්බී ඇත. ගෘහ භාණ්ඩ ගන්නට ගත් ණය තවමත් ගෙවා අවසන් වී නැත.

දරුවන්ගේ කාමරය පුරා පොත්පත් විසිරී ඇත. ඒවා මත ද තෙත මඩ තට්ටුවකි. කළු පාට කුණු මඩවල නහය කකාරවන ගඳ නිසා ඇය නහය හකුළුවා ගත්තා ය. කිළිටි වී මඩ තැවරී කාමරය මැද වැටී සිටි දුවගේ බෝනික්කකු දුටු විට නයනාට සිහි වූයේ ෆේස්බුක්හි හුවමාරු වූ දූෂණය කර මරා දමන ලද දැරියකගේ මළ සිරුරයි. ඇයට කඳවුරේ දමා ආ දුව සිහිපත් විය.

කක්කුට්ටකු හරහට අඩි තබමින් පොත් උඩින් දුව ගියේ ය.

“සර්පයොත් ඉන්නවද දන්නෙ නැහැ.” ඇය බියපත්ව පසුපසට පැන්න පාරට කකුල මඩ මත ලිස්සා ගියේ ය. ඇය උළුවස්ස අල්ලාගෙන නො වැටී බේරුණා ය. බිත්තියේ සිටි හංගොල්ලකු මිරිකී ඇගේ අතේ සෙවල තැවරිණි. ඇයට වස පිළිකුලක් දැනිණි. අැය බිත්තියේ ම බොහෝ වර අත පිස දැමුවා ය. වෙනදාට නම් ඇය බිත්තියේ කුණු ගාන්නට එපා යයි පුතාට තරවටු කරන්නී ය.

ඇගේ සැමියා රොන් මඩින් නැහැවුණ යතුරු පැදිය දෙස විස්සෝපයෙන් බලා සිටියි. ඔවුන් නිවසින් පිටව යන විටත් වෙල් යාය මැද පාර කරවටකටත් වඩා යට වී තිබුණි. ඔවුන් රැගෙන ගියේ නාවික හමුදාවේ බෝට්ටුවකිනි. කිසිවක් රැගෙන යන්නට හැකියාවක් නො තිබිණි. ජීවිත කාලය තුළ දිනා ගත් ලොකු ම ජයක් වූ, තමන්ගේ ම පළමු වාහනය ගෙදර ම දමා යන්නට ඔවුන්ට සිදු විය. දැන් ඉතින් බස් පාරට ඇති කිලෝමීටරය පයින් ම බඩ ගාන්නට සිදු වනු ඇත. අල්ලපු ගෙදර නුවන් මල්ලී හයර් කරන ත්‍රිරෝද රියට ද සිදු වී ඇත්තේ මෝටර් සයිකලයට සිදු වූ දෙය ම ය.

ඇය මහන මැෂිමේ පියන ඉවත් කළා ය. වතුර ගොස් ඇතත්, මැෂිමෙහි මඩ තැවරී ඇත්තේ මඳ වශයෙනි. විදුලි මෝටරය විනාශ වන්නට ඇත. අලුත් මෝටරයක මිළ කීයක් වනු ඇද්දැයි ඇයට මොහොතකට සිතිණි. රෙදි කෑලි පෙට්ටිවල මඩ අතරින් ළමා ගවුම් පොඩියක මුද්‍ර‍ිත රූපයක් පැහැදිලිව පෙනිණි. කාටුන් චරිතයක් බිලී බාන්නට යන දර්ශනයක් එහි තිබිණි.

ඇයට කුස්සියට යන්නට නො සිතිණි. කුස්සිය පිහිටා ඇත්තේ පඩියක් පහළිනි. එය දුටු විට ඇයට ක්ලාන්තය හැදෙනු ඇතැයි ඇය බිය වූවා ය.

සැමියා නාන කාමරයට හිස පොවා බලනු දුටු ඇය ඔහුගේ උරහිස මතින් එබී බැලුවා ය. කොමඩ් එකේ තවමත් වතුර පිරිලා ය.

“දෙයියනේ, මුළු ජීවිතයක ම දේවල් වතුරෙ. අපි කොහොමද ආයෙත් ඔලුව උස්සන්නෙ? ” ඇයට කියැවිණි.

ආර්තවය සිදු වන්නට ළඟ බව අද උදේ සිට ඇගේ සිරුරට දැනේ. සනීපාරක්ෂක තුවා, යට ඇඳුම්, ගවුම්, සාරි, තුවා, ඇඳ ඇතිරිලි, කොට්ට, දරුවන්ගේ ඇඳුම්, සැමියාගේ කමිස කලිසම්, වළං, මුට්ටි, පිළිවෙලට අසුරන ලද තුනපහ, මිරිස් ආදිය දැමූ බෝතල්, තව බොහෝ දේවල් ඇගේ මනස හරහා ඇඳී සියල්ල මතින් මඩ තට්ටු තට්ටු ඇදී වැසී ගියේ ය.

“අපට මේක කරන්න බැහැ. මට නම් මෙතන ඉන්නත් බයයි. අපි යමු,” ඇය කීවා ය. අවට මුළු පරිසරය ම පාළු, දොම්නස්, ගුප්ත, මූසලකමකින් පිරී ඇත. අහස ද කළු වළාවලින් බර වෙමින් තිබේ. නැවත මහ වැසි වහිනු ඇත. නිහඬ, දොම්නස් පාළුව විනිවිදිමින් පළඟැටියකු තටු මදින හඬ ඇසිණි.

“ඔයා යන්න.” චන්දන, ඇගේ සැමියා කීවේ නොරුස්නා හඬකිනි.

ඇත්තෙන් ම ඇය යා යුතු ය. 12 හැවිරිදි දියණියත්, අටහැවිරිදි පුතුත් තබා ආවේ අසල්වැසි කාන්තාවකගේ භාරයේ ය. සැමියාගේත්, ඇගේත් ගමට යන්නටවත් ඔවුන් ළඟ හරිහමන් ඇඳුමක් නැති බව ඇයට සිහි විය. එහෙත්, එහෙම යන්නට බැරි තරමට ඔවුන්ගේ ජීවිතය කොළඹට ගැට ගැසී ඇත. සැමියාගේ රැකියාව. ඇගේ මැහුම් ව්‍යාපාරය. ළමයින්ගේ පාසල් ආදී සියල්ල ඇත්තේ කුණු ගඳ ගසන, කාණු උතුරන, වාහන තදබද වී හති අරින, හුස්ම ගන්නට බැරි තරම් උණුසුම් මේ කර්කශ කොළඹ රටේ ය.

දියණියට වැසිකිළි බරක්වත් හැදුණොත්. ඇය තනිව අනාථ කඳවුරේ ඇති වැසිකිළියට යන්නට අකැමැති ය. හාත්පස අසූචි, මුත්‍රා, කෙළ, බීඩි-සිගරට් කොට විසිරුණු පාසල් වැසිකිළියට යන්නට අකැමැත්ත නිසා දියණිය පමණක් නො ව, ඇය ද වැසිකිළි යන්නේ තව දුරටත් ඉවසා ඉන්නට බැරි වූ විට පමණි.

“ආ නංගි, දැන් ඉතින් අපිත් මෙහෙ. ඔයාලත් මෙහෙ, නේ ද?”යි දුව පංති යන එන වෙලාවට පාරේ කැරකෙන වෙල අද්දර පොඩි ගෙදරක රස්තියාදුකාර කොල්ලෙක් දිනක් ඇයට ඇසෙන්නට කියා තිබිණි. ඇගේ ආරක්ෂාව ගැන නයනාට බය හිතිණි.

පුතාට හෙම්බිරිස්සාව ය. නහය පිසදමන්නටවත් ලේන්සුවක්වත් නැත. වතුරේ බැස දුව පැන ඇවිදීම නිසා ඔහුගේ කකුල් කසයි.

දරුවන් භාර දී ආ අසල්වැසි කාන්තාව ද රෝගී ය. දියවැඩියාවට හා අධි රුධිර පීඩනයට ප්‍ර‍තිකාර ගන්නා ඇගේ සියලු රෝග විනිශ්චය ලේඛන වතුරේ ගොසිනි.

අනාථ කඳවුර වී ඇත්තේ පුතාගේ ප්‍රාථමික පාසලයි. පංතිවල තිබූ දරුවන්ගේ උපකරණ, පොත්පත්, නිර්මාන ආදිය මුළුවල ගොඩගසා විනාශ වී තිබේ. මේ පිරිස අනාථ කඳවුරෙන් පිට වන තුරු දරුවන්ට පාසල් නැත. පුතා නම් මේ අලුත් අත්දැකීමෙන් සතුටු වන අවස්ථා ඇත.

එහෙත්, කහ පාට අඳුරු දොම්නස් විදුලි බල්බ රැය පුරා දැල්වෙන, මැසි මදුරුවන් පිරි, මිනිසුන් මුණු මුණු ගාන, කහින, කාරන, බීමත් අය නන් දොඩවන, යකඩ කකුල් ඇති පාසල් ඩෙස් බංකු බිම ඇතිල්ලෙන, ඒවා ඇතිල්ලීමෙන් ම ගෙවී, පළුදු වුණු අසම පොළව මත පන්සලෙන් දුන් කිළිටි පැදුරු මත නිදාගන්නට වැතිරුණු විට “අම්මෙ අපි කවදද ගෙදර යන්නෙ?” යි පුතා අසයි.

චන්දන ඉන්නේ කෝපයෙනි. අනාථ කඳවුරට ගෙනැවිත් බෙදා දෙන බඩු අරගන්නට ඔහු පෝලිමේ යන්නේ මහත් අකැමැත්තෙනි. කෑම, බීම හැර වෙනත් දේ වෙනුවෙන් ඔහු පෝලිමේ යන්නේ නැත.

“අපි හිඟන්නො නෙමෙයි. අපට ඕව වැඩක් නැහැ,” ඔහු තරහෙන් කියයි.

අනාථාධාර බෙදන පිරිසක් පැමිණියහොත් අසල්වැසි කාන්තාව දරු දෙදෙනා ද අමතක කර පෝලිමේ රණ්ඩු වන්නට යනු ඇත. ඇඟ පත හයිය හත්තිය ඇති පිරිමි ඇවිත් දෙන දේ උදුරාගෙන මෙන් රැගෙන යති. ඔවුන් ඇතැමෙක් ගංවතුරට හසු වූ අය ද නො වන බව අසල්වැසි නැන්දා කියයි. ගම් ගණනාවක මිනිසුන් ජීවත් වන කඳවුර අවුල් ජාලයකි. ග්‍රාමසේවක නෝනාට ඒ අවුල ලිහන්නට අමාරු ය. නැන්දා ඉන්න තැන වටේට ම බඩු ය. එහි නැත්තේ මොනවාදැයි තිලිණි කල්පනා කරයි. කිරිපිටි, පරිප්පු, සැමන්, සීනි, තේ කොළ, ඇඳුම්, කොපි පොත්, පෑන්, පැන්සල්, පැස්ටල්, සෙල්ලම් බඩු, අරවා මේවා හැම දෙයක් ම ඒ සිලි මළු තුළ ඇත.. ඇය යටට අඳින්නේ සායකි. එහෙත්, කාන්තා කටයුතු අමාත්‍යාංශයෙන් ගෙනැවිත් දුන් පෑන්ටි කීපයක් ද ඇය ඉල්ලා ගත්තා ය.

“දූට දෙන්න පුළුවන්.”

දැන් ඇය සනීපාරක්ෂක තුවා පාවිච්චි කරන වයස ඉක්මවා ඇත. ඒවාත් ගන්නට ඇත්තේ දුවට දෙන්නට විය හැකි ය. එහෙත්, දුව කඳවුරට පැමිණ ඇය බලා, පොදියකුත් බැඳගෙන ගියා මිස ඇය කැටුව ගියේ නැත.

අසල ගෙදරක තිලිණි නංගී දැන් පස් මස් ගැබිණියකි. ගැබිණි කාන්තාවන්ට රෝහල්ගත වන්නට යයි උපදෙස් දී ඇත. එහෙත්, එවිට ඇගේ අනෙක් දරු දෙදෙනා බලා ගන්නට වන්නේ සැමියාට ය. එතකොට ගංවතුරට හසු වූ ගෙදර පිරිසිදු කරන්නේ කවුරු ද?

“බිම නිදා ගන්න, වාඩි වෙන්න, නැගිටින්න ගියාම එපා වෙනව අක්කෙ,” තිලිණි කීවා ය.

කඳවුරේ ඇඳුමක් මාරු කර ගන්නටවත් පෞද්ගලිකත්වයක් නැත. කාමුක පිරිමි ඇස් හැමපැත්තෙන් ම විදුලි බුබුළු සේ දැල්වෙයි.

කොහොම වුණත් ඒ දැන් ඔවුන්ගේ ගෙදර ය.

“අපි යමු,” නයනා සැමියාගේ අතින් ඇල්ලුවා ය.

“තමුසෙ යනවා, මට බැහැ,” ඔහු අත ගසා දැමුවේ ය. දැන් ඔහුගේ හොස්ස අගින් මැස්සා යන්නට බැරි ය. කඳවුරේ පිරිමියකු හිටි හැටියේ ඩෙස් පුටු පෙරළාගෙන පැන සිය බිරිඳට පහර දෙනු ඇය ඊයේ දුටුවා ය. අනෙක් අය ඔහු ඇද පැත්තකට කළ හ. කලබැගෑනිය නිසා එහි පැමිණි පොලිස් නිලධාරි මහතා සපත්තුත් දමාගෙන නයනලාගේ පැදුර මතින් ගියේ ය. ඒ සපත්තුවලින් මොන මොනවා පාගා තිබෙන්නට ඇද්ද?

කඳවුරට ගියාත් හරි නෑවේ නැත. පාසලේ අලුතින් සවි කරන ලද ටැප් අසල ඉඳුල් හා චිරි චිරි ගා ඇඟිලි මතින් මිරිකෙන මඩ ය. නයනාගේ හිස කසයි. ඇය කෙස් අතරින් ඇඟිලි යැව්වා ය. එහි තෙල් ය. කකුල් ද කසයි.

“දුව ගැන බයයි. අපි යමු. ගේ අස් කරන්න උදව් කරන්න ය කියලා අර උදව් කරන්න එන මල්ලිලාට කියමු.”

දුව ගැන කියූ විට චන්දනගේ හිත වෙනස් වනු නයනාට දැනිණි.

- අජිත් පැරකුම් ජයසිංහ (ගිය අවුරුද්දේ ලියන ලද කෙටිකතාවකි)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

10 comments:

  1. "බඩු මුට්ටු , වාහන ආපහු ගන්න බැරියැ. ජීවිතේ බේරගන්න කොහෙට හරි පලයං. ජීවත් වෙලා හිටියොත් ඕවා ගන්න පුලුවං "
    මේ වතාවේ ගං වතුර එන බව දැනගත්ත ගමං ආපු කෝල් බොහොමයක් ඔය වගේ ඒවා.
    ගියපාර ගං වතුරට යටවෙන්න කලිං මාත් හිතුවෙ ඔහොම තමා. ඒත් සබ්බ සකල මනාවවම ගං වතුරට ගහගෙන ගියාට පස්සෙ ඉතුරු වෙච්ච දොර ලොක් එකේ ඉඳලා බල්බ් හෝල්ඩර් එක දකවා ඔක්කොම දේවල් උදව් කරන විදිහට ආපු එවුං ගලවගෙන ගියාට පස්සෙ ඇඳගෙන හිටපු වස්තරෙත් නැති වෙච්ච මිනිස්සුන්ගෙ ජිවිත වලට වෙච්ච දේ දැක්කම හිතුනෙ ජීවිතේ විතරක් බේරිලා මොකටද කියල.මොකද රටේ බහුතරයක් හිතන විදිහට හැමදේම ගොඩනගන්න ජීවිතේ විතරක් බේරගෙන බැරි නිසා. මොකද අපි නැතිවෙච්ච දේවල් ආපහු ගොඩනගනකං ලෝකෙ කැරකෙන්නෙ නැතුව බලං ඉන්නෙ නැති නිසා.
    අපි ගොඩ නැගෙනකං කන්න බොන්න, ලමයින්ට උගන්නන්න, උන්ගෙ ඕන එපාකං පිරිමහන්න, ගෙවල් කුලී, අමාරුවෙන් ගත්ත ත්‍රීවීල් එකේ ලීසිං එක, ලයිට් වතුර බිල් ගෙවන්න එක මිනිහට පහලොව ගානෙ ඉන්න දෙවිවරුවත් එන්නෙ නැති නිසා.
    ඇත්තටම සියල්ලම විනාස වුනාට පස්සෙ ජීවිතේ බේරෙනව කියන්නෙම කරුමයක්. වාසනාවන්තයො තමා මැරිල යන්නෙ.
    ගංවතුර දිහා බලං ඉඳල ෆේස්බුක් එකේ පෝස්ට් දාන එවුන් අපිට පව් කියල ගන්න ආතල් එක දැක්කම ඊට වඩා එපා වෙනව.
    අපිවත් යටවුනාම සමහරු බෝට්ටු පවා එවල තිබ්බලු කෙලින්ම නේවි කමාන්ඩර්ට කතා කරල. හැබැයි අපිම වතුරෙ බැහැගෙන ගිහිං පාර අයිනෙ ඉඳං දික් කරන මොකක් හරි කෑමක් අරං අපිත් එක්කම හිරවෙලා ඉන්න පවුල් හතර පහක ගෑනු පොඩි එවුන් ට කන්න අරං එනකං නේවි කමාන්ඩර්ට අමතක වෙලා බෝට්ටුව එවන්න. හැබැයි ඒහෙම පෝස්ට් එක දාපු එකා මාර වීරයෙක් වෙලා.
    ඕක තමා ඇත්ත. ආමි එකේ , නේවි එකේ අටපාස් මිනීමරුවො ටික නොහිටින්න තව තුන් හාරසීයක් අතුරුදහන් ලැයිස්තුවේ තමා.
    මේ ලියපු ටිකත් ඉතිං සර්ව අශුභවාදී දෘශ්ටිකෝණයෙන් ලියලා කියල කියන්න පුලුවං .ඒත් ඉතිං ඇත්ත ඕක තමා.

    ප්‍රශ්නය තමන්ගේ නොවෙනතාක් කල් පිලිතුර හරිම දාර්ශනිකයි කියනවනෙ. පැරාගෙ මේ ව්‍යසන සම්බන්ධ පෝස්ට් ඔක්කොගෙම ඇත්ත කතා කරපු එක ගැන ස්තූතිය . නැත්තං ගොඩක් මේ ගැන අහන්න කියවන්න තියෙන්නෙ හිත නිවන කතා විතරනෙ

    ReplyDelete
  2. ගංවතුරට අහුවුන සාමාන්‍ය පහළ මධ්‍යම පංතියේ පවුලක ඉරණම ගැන ගොඩක් හිතට වැදෙන කතාවක්

    ReplyDelete
  3. සිවිල් මිනිස්සු සහ හමුදාවේ අය දැනට මේ කරන මැදිහත් වීමයි සහනාදාර දීමයි ඕනෙවටත් වැඩිය ප්‍රමාණවත්, ඒවා නිසියාකාරව හසුරුවන්න යාන්ත්‍රණයක් තිබෙනවා නම්. බොහෝ දෙනෙක් කරන්නේ තමුන්ට ඕනේ විදියට මොනවාහරි කරන එක. ඒකත් වරදක් නෙවෙයි. හැබැයි එහෙම කරන එකේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි. ඒ වගේම සහන හරි හැටි නොදන්නා සේවා වලට යන නුපුහුණු සිවිල් මිනිස්සු ලොකු අනතුරු වලට ලක්වෙලා ජීවිත හානි වෙන්නත් පුළුවන් ඒකෙන්.

    නිසියාකාරව පරිණතව මේවා හැසිරවිය හැකි යාන්ත්‍රණයක් තිබුන නම් අපේ මිනිස්සුන්ගේ මේ අවංක කැපවීම හොදටම ඇති.

    ReplyDelete
  4. හරිම කණගාටුවක් දැනුන. මේවා පුරුදු නැති මිනිසුන්ගේ මානසිකත්වය හරිම අනාරක්ෂිත තත්වයක ඇති. මම ගිය අව්රුද්දෙ අවදානම් ගෙයක හිටපු දන්නා කියන පවුලක් නවත්වා ගත්ත. ළඟ එන උසස්පෙළට සුදානම් වෙන දරුවෝ කීදෙනෙක් මේ අතර ඇද්ද?

    ReplyDelete
  5. කුණු කඳවුරු
    ගංවතුර කඳවුරු
    මෙහැම පරයා නැගෙන
    දියවන්නාවේ
    රථගාය කඳවුරු

    ReplyDelete
  6. මේ අර ගිය පාර ගංවතුරට ලියපු කතාවම නේද? කමක් නැහැ, පරිස්සම් කරලා තියන්න. ඊළඟ ගංවතුරටත් නයනාට මේකම වෙන නිසා කතාවත් අදාළ වේවි. මේ පාර එකම වෙනස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ගණන් මිනුම් ටික අඩු නැතුව දෙන එක විතරයි.

    ReplyDelete
  7. Story feels very real. I have been in flood situation but not desperate as Nayana. Hope people will help people to get out of situation.

    ReplyDelete
  8. ජිවිත කාලෙන් වැඩිහරියක් ඉඩමකට ගෙයකට වාහනයකට නහින දෙහින අපිටම නේ වෙන්නෙ..

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.