2017-05-23

ලිබර්ටියේ සිට දෙහිවලට පැය දෙකක බස් ගමනක නිම්නයක හුදකලාව

නිම්නයක හුදකලාව අමුතුම චිත්‍රපටයක්.  ඒකෙන් මොකක්වත් දෙයක් ප්‍රකාශ කරන්නෙ නැතුවත් ඇති. එහෙම ප්‍රකාශ කරනවා නම් අවංකව කිව්වොත් මට නම් එ්ක තේරෙන්නෙ නැහැ. කලාකරුවාගේ ප්‍රකාශනය හෘදයෙන් විඳගන්න කෙනාටනේ සහෘදයා කියන්නෙ. හැබැයි ඉතින් ඔය සහෘදභාවයේ ශබ්ද විකාශන යන්ත්‍ර වන විචාරකයන් ඇත්තට ම කලාකරුවාගේ ප්‍රකාශනය විඳගත් අයද? හැබැයි ඉතින් කෘතිය නිර්මානය කළාට පස්සෙ කතුවරයා එතනින් අවසන් වන නිසා කතුවරයා මොන මගුල කියන්නට අදහස් කළත් අප⁣ට මොකද? එතනින් එහාට වැදගත් වන්නේ අප විඳගත් රසය විතරයි.

නිම්නයක හුදකලාවේ රසය නිෂ්පාදනය වන්නේ එහි අැති අසම්මත කතාවේ, රූප රාමුවල, ශබ්ද සංකලනවල, සංස්කරණයේ හා රඟපෑම්වල තිබෙන අපූරු නිර්මාන කෞශල්‍යයේ මහිමයෙන්.

කතාවක් ගමන් කරන්නේ කාල රේඛාවක. කාල රේඛාවන් කතන්දර ලෝකයේදි වක්‍ර වෙන්නෙ නැහැ. කාලය වක්‍ර වෙන්නෙ කළු කුහර වගේ මිනිස් චින්තනයෙන් විග්‍රහ කරන්න බැරි අවකාශය කියන අදහසත් අතාර්කික වන අවකාශවල. නිම්නයක හුදකලාව කියන්නෙත් ඒ ව⁣ගේ කළු කුහරයක්. ඒක ඇතුළෙ හරි අපූරු දේවල් වෙනවා. කාලය ඉස්සරහට, පස්ස⁣ට, පැත්තෙන් පැත්තට එහෙ මෙහෙත් යනවා. සිදු වෙන්නෙ අතාර්කික දේවල්.

නිම්නයක හුදකලාව හරියට ඒ චිත්‍රපටයේම තැනක කියවෙනවා වගේ ද්විමාන ලෝකෙක ත්‍රිමානයක් වගේ. චතුර්මාන ලෝකෙකට ත්‍රිමානයක් වගේ.

මේ සිදු වන දේවල් ගැන කාටවත් අනාවැකි කියන්න බැහැ, අඩු ගානෙ මේ මටවත් කියලා සිරසෙ කිංස්ලි අපට මේ චිත්‍රපටයෙ කියනවා.

ඒ ෆැන්ටසිය ඇතුළෙ සිදු වන ⁣දේවල් තර්කයෙන්, න්‍යායයෙන් විග්‍රහ  කරන්නට බැහැ. ඒවා ඔහේ සිද්ධ වෙනවා.

යථා ලෝකයේදි මාධ්‍යවේදීන්, චිත්‍ර ශිල්පයේ මහැදුරන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් ලෙස නම් දරාපු චරිත  චිත්‍රපටයේදි නළුවන් වෙලා තිබෙන එකත් හරි අපූරු දෙයක්. ඒ මදිවට ගමේ ගොඩේ කොලු ගැටව් ආදරේ කරන නිළියොත් චිත්‍රපටයේ ඉන්නවා. 

යථා ලෝකයෙන් ෆැන්ටසික ලෝකය නිර්මානය වන හැටිත් හරි අපූරුයි. දුප්පත්කම, නූගත්කම, ත්‍රස්තවාදය, මිනිස් බෝම්බ නිසා යථාව බව⁣ට පත් කර ගන්නට පුළුවන් හීන පවා මහ මග බිඳ වැටෙනවා.

හුදෙක් ප්‍රචාරය විසින් ම ඇති කරනු ලබන ආශාව නිසා මිනිසුන් පරිභෝජනය කරන භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා පාරිභෝගිකයන් රවටන්නට වෙළඳ දැන්වීම් නිර්මානකරණය වෙනුවෙන් මිනිස් නිර්මානශීලිත්වය වැය කිරීම ඉතා ආකර්ශනීය ව්‍යාපාරයක් වී තිබෙන අවකාශයේ ම ⁣⁣⁣ගොනුන් අදින ලාම්පු තෙල් කරත්තත් පාරේ යනවා.

සීනි දියවුණ බනිස් තියෙන තේ කඩත්, එව, කව, බොව, තුටු වව කියන රාත්‍රී සමාජ ශාලාත් එකට පවතිනවා.

හරියට මහා දර්ශනවාදයි, මරිමෝඩකමයි එකම අවකාශයේ පවතිනවා වගේ.

කොහොම වුණත් මේ අවුල් ජාලය පැටලුම් ඇරලා මුල මැද අග ගලපලා වියන ලස්සන කතන්දරයකුත් චිත්‍රපටයේ යටිතලය කියවන විට සොයා ගන්නට පුළුවන්. හැබැයි කල්පනා කරන්නට ඕනැ. චිත්‍රපටයේ අවසානය අපව බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය මූලධර්මත් සිහි ගන්වනවා. 

චිත්‍රපටියක් කියන එක ගණිත ගැටලුවක්, සංකීර්ණ තේරවිල්ලක් වගේ විය යුතු ද කියලා ඔබ අහයි. අපට කල්පනා කරන්න වෙලාවක් නැද්ද? නැතිනම් කල්පනා කරන්නට උවමනාවක් නැද්ද? 

චිත්‍රපයට බලා ඉවර වෙලා හිටගෙන නාමාවලිය කියවමින් හිටිද්දී ආපසු යන්නට ආපු පසු තුරුණු වියේ සිටි යුවලේ පිරිමියා මගෙන් ඇහුව ප්‍රශ්නය මේකයි:

චිත්‍රපටය ගැන මොකක්ද හිතන්නෙ?

මං කිව්වෙ ඒ ගැන කල්පනා කරන්නට ඕනැ, තව පාරක් බලන්න තියෙනවා නම් හොඳයි වගේ කියලයි. ඒ දෙන්නා හිනා වෙවී පඩි පෙළ බැස්සා. සමහර විට හිනා වුණේ මට ද දන්නෙ නැහැ. 

හයයි දහයට ලිබර්ටිය ළඟින් නැගපු බස් එක දෙහිවල පහු කරනකොට අටත් පහුවෙලා කියමුකෝ. කල්පනා කළා විතරක් නෙමෙයි, මේ බ්ලොග් ලිපියත් ජංගම දුරකථනෙන් ම කෙටුවා බස් එකේදිම. මේක විචාරයක් කියල පටලවා ගන්න එපා ඔය වරලත් විචාරකයෝ. අපි ඔහෙලගෙ අවකාශවලට එන්නෙ නැහැ. 

දිමිත්‍රි කියපු අදහස ගැන හිතලා ඔන්න මේකත් ලෝකයක් ද මර්තේලිස් කවියේ අවසානය වෙනස් කළා. ඒක මෙතනින් කියවන්න.

ගෙදර යනකොට රෑ දහයයි. හෙට උදේ පහට ආයෙත් පිටත් වෙයන්කෝ. මදැයි වැඩ කරන ජනතාව චිත්‍රපටි බැලුවා. හැබැයි, මේ වගේ චිත්‍රපටයක් බැලීම වෙනුවනේ කරන ඒ කැප කිරීමයි, මේ ලිවීමත් එක්ක ඔබ සමග කරන සංවාදගත වීමයි අප විසින් ප්‍රවර්ධනය කරනු ලබන ජීවිතේ කොටස්.  


10 comments:

  1. හෙට පාංදරින් එන්නත් තියෙද්දි :)

    ReplyDelete
  2. හොරට පිච්චර් බලල හාමිනේට අතේ කෝට් උනාම වැඩේ ගොඩ දාගන්න සම්බාව්‍ය පොස්ට් දානවා නේද.
    නෝ ..... ටියා.

    ReplyDelete
  3. අම්මෝ!

    චිත්‍රපටියක් නරඹලා පඩි පෙළක් බැහැපු කාලයක් මතක නෑ! මං හිතන්නේ 1993 දී විතර මැජෙස්ටික් එකේ දී විය යුතුයි!

    ප/ලි
    (ඕස්ට්‍රේලියාවේ සිනමා ශාලාවල බැල්කනි නැත. ටිකට් වර්ග තුනක් තිබුණ ද (ළමා, වැඩිහිටි, ජ්‍යෙෂ්ඨ පුරවැසි) ඒ අනුව ආසන වෙනස් නොවේ)

    ReplyDelete
    Replies
    1. මේක බැලුවෙ ලිබර්ටි ලයිට් එකේ. ඒක තියෙන්නෙ උඩ තට්ටුවක. බැල්කනි නැහැ.

      Delete
  4. මචං පැරා.. උඹ මතුගම ප්‍රයිවට් බස් ස්ටෑන්ඩ් එකේ පෝලිමක් නැති එක ගැන ලිව්වේ නෑ. හැබැයි ඔය ට්‍රැෆික් කතාව නම් මරු. ට්‍රේන් එකට හුරු උනාම හරි.
    ඒ වගේ ද බස්වල සීට්වල සයිස් එක. හදල තියෙන්නෙම සෝමාලියාවේ හරි උගන්ඩාවේ හරි එවුන්ට වගේ. පිරිම් දෙන්නෙක්ට වාඩි වෙන්න බෑ එකට. ඒ තරම් පොඩියි. කපල්ස්වලටම හොදයි. නැද්ද?

    මේව ගැන ලියල මේව හදාගන්න බලමු පැරා. ලොකු ලොකු දේවල් හරියයි මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න විසදුනාම. නේ?


    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. මේව තමයි මේ රටේ ජනතාව මුහුණ දෙන ඇත්ත ප්‍ර‍ශ්න. ඉදිරියේදි ලියන්නම්.

      Delete
  5. තාම බලන්න බැරි වුණා. මේ සිනමාපටය ගැන ලියැවුණු පැරාගේ මේ සටහනයි කසීරගේ සටහනයි දෙකම කියෙව්වා. ළගදිම බලන්නම්කෝ.

    ReplyDelete
  6. //නිම්නයක හුදකලාවේ රසය නිෂ්පාදනය වන්නේ එහි අැති අසම්මත කතාවේ, රූප රාමුවල, ශබ්ද සංකලනවල, සංස්කරණයේ හා රඟපෑම්වල තිබෙන අපූරු නිර්මාන කෞශල්‍යයේ මහිමයෙන්.// එකඟයි.

    ඇත්තටම බූඩි අපව වෙනස් මානයකට ගෙන යනවා. පැරා කිව්ව වගේ නැවත් වතාවක් නරඹන්න හිතෙන චිත්‍රපටයක්. මා චිත්‍රපටයක් ගැන ලිපියක් ලියන්නේ දෙවතාවක් නරඹලා නිසා ඉවසනවා. විමුක්තිගෙ ෆිල්ම් එක ගැන ලියන්නම් කියල ආයෙ බලන්න ඉද්දි ගැලවිලත් ඉවරයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.