2017-05-31

මෙවැනි ව්‍යසන නැවත සිදු නො වීමට

වාර්තාකරණයේ නිදර්ශනයක් - ශෙහාන් ගුණසේකරගේ කැමරාව 
මොරා කුණාටුව ලංකාවෙන් ඈත්ව බංග්ලාදේශය වෙත යොමු වීම ගැන ඔබ ඇතැමෙකු සතුටු වන්නට ඇත. එහෙත්, බංග්ලාදේශයේ සිටින්නේත් ඔබ අප වැනි ම මිනිසුන් බව ඔබට සිහි වුණා ද? ජාති හා ජාතිකවාදයන් විසින් නිර්මානය කර තිබෙන දේශසීමා ඔස්සේ මිනිස් වර්ගයා බෙදීම කෙතරම් මානුෂික ද යන්න සිතන්නට මෙය අවස්ථාවක් කර ගන්න.

කෙසේ වෙතත්, අප තරම් ජාතිය ගැන ආඩම්බර නො වන මුත්, බංග්ලාදේශය පවා ලක්ෂ පහක් පමණ ජනතාව අවදානම් ස්ථානවලින් ඉවත් කර ආපදාවෙන් සිදු වන ජීවිත හානි අවම කර ගන්නට උත්සාහ කරනු දක්නට ලැබිණි.



ලංකාවට ආපදාව කළමනාකරණය කර ගන්නට බැරි වීම ගැන අදහසක් අගමැතිවරයා ම ප්‍රකාශ කළේ ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව රත්නපුර ප්‍රදේශයට අධික වැසි ලැබුණු බව අදාළ අංශවලට සන්නිවේදනය කර නැති බව පෙනේ. එසේම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒ සම්බන්ධ සිය වගකීම් ඉටු කර නැති බව ද පෙනේ. නිසි සන්නිවේදනයක් සිදු වී නම්, රජයට ක්ෂණිකව ක්‍රියාත්මක වන්නටත්, අඩු තරමේ මිනිසුන් හෝ වහා ඉවත් කර, ගංවතුර නිසා සිදු වූ ජීවිත හානි අවම කර ගන්නට හැකියාව තිබිණි.

ඇතැමෙකු අගමැතිගේ ප්‍රකාශය විහිළුවට ගත්තත්, එහි තිබෙන ගැටලුව හඳුනා නොගතහොත් අපට ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත.

දැන් මෙම වරද නිසා කීදෙනෙකු ජීවත අහිමි කර ගත්තා ද? එයට වගකිව යුත්තෙකු නැද්ද? කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අදාළ බලධාරීන්ට එරෙහිව ගන්නා විනය ක්‍රියාමාර්ග මොනවා ද?

කෙසේ වෙතත්, මෑත වකවානුවේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙහි සැලකිය යුතු සංවර්ධනයක් සිදු වූ බව අප අමතක නො කළ යුතු ය. මෑත වකවානුවේදී බොහෝ දුරට නිවැරදි කාලගුණ තොරතුරු ලබා දීමට එම දෙපාර්තමේන්තුව සමත් විය. 

මේ මා 2016-06-12 සිළුමිණ පුවත්පතට ලියූ ලිපියක්. අප මේ සිද්ධිය වාර්තා කළේ නිල නො වන ආරංචි මාර්ගවලින් ලැබුණු තොරතුරු පදනම් කරගෙනයි.

ඔන්න මේ කියන රටේ 2004දි මහා දැවැන්ත ස්වාභාවික ආපදාවක් සිදු වුණා. මේ ස්වාභාවික ආපදාවෙන් දසදහස් ගණනක් ජනතාව මිය ගියා. දැවැන්ත දේපල විනාශයක් සිදු වුණා. එවැනි ආපදාවලින් සිදු වන හානි අවම කර ගන්නට, නිවැරදි කාලගුණ දත්ත ලබා ගන්නට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිළ දී ගන්නට ඒ රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කළා.

අවශ්‍ය ජාත්‍යන්තර උපදෙස් ලබා ගන්නට, මිළ දී ගන්නා උපකරණය බලන්නට ආදී දේවලට නිලධාරීන් විදේශයන්ටත් ගියා. රුපියල් කෝටි 320කට විතර අදාළ උපකරණය මිළ දී ගත්තා ය කියමුකෝ. ඒක ටිකක් ලොකුයි. සවි කරනතුරු තියන්න තැනක් නැහැ ඒ නිසා මූලස්ථාන ගොඩනැගිල්ලේ කොරිඩෝවක තැන්පත් කළා. සෑහෙන කලක් යනතුරු පැකිං කැඩුවේවත් නැහැ.

ඊට පසුව තමයි මේක සවි කරන්නට තැනක් හොයලා බැලුවෙ. ඒකට ඒ රටේ තියෙන ගොන්ගල කියන කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරනවා. හැබැයි එතන කුලුනක් හදන්න ඕනෑ. කුලුන හදන්නටත්, උපකරණ ගෙන යන්නටත්, පාරක් හදන්න ඕනෑ. ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.

පාර හදන්නට අවුරුද්දක් ගියා. කුලුන හදන්නට තවත් අවුරුද්දක් ගියා. එතෙක් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතිය කොරිඩෝවක වැස්සට තෙමෙමින්, අව්වට වේලෙමින් තිබුණා. කොහොමින් කොහොම හරි ඒක එතැනට අරගෙන ගියා ය කියමුකෝ. ඒක කුලුන උඩට උස්සන්නට අවශ්‍ය තාක්ෂණය අර කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව ඉටු කරපු රජයේ ආයතනයට නැහැ. ඒ නිසා ඔවුන් පෞද්ගලික ආයතනයකින් ඒ සඳහා දොඹකරයක් කුලියට ගත්තා.

නිසි තාක්ෂණය පාවිච්චි නො කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රේඩාර් පද්ධතිය ඔසවද්දි දොඹකරය පෙරලුණා කියමුකෝ. එතකොට උස්සපු කෑලිවලට මොනවා වෙන්න ඇති ද? ඒවා කන්දෙන් පහළට රෝල් වෙන්නත් ඇති. දොඹකරයේ ක්‍රියාකරුවාගේ අත පයත් කැඩුණා. ඒ වුණාට ඒක කුලියට ගත්ත දොඹකරයක් නේ. ඒ නිසා ඒ වැඩේට සම්බන්ධ නිලධාරි ඒ ගැන කරදර වුණේ නැහැ.

දැන් ඉතින් මොකද කරන්නේ? කෑලි ටික අහුලලා එතන මුර කුටියකට දාලා වැහුවා. හොරුන්ගෙන් පරිස්සම් කරන්නට අර කොන්ත්‍රාත් කරපු රජයේ ආයතනය එතැනට මුරකරුවෙක් යෙදුවා. ඔහොම කාලය ගත වුණා. මුරකරුවාට වැටුප් ගෙව්වේ කොන්ත්‍රාත් කරපු ආයතනය. ඒගොල්ලන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට කිව්වා දැන් කුලුන භාර ගන්න කියලා. ඒ වුණාට ඒ දෙපාර්තමේන්තුව ඒක කළේ නැහැ කියමුකෝ.

මේ රජයේ ආයතන දෙක අතර මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ගැටලුවක් ඇති වුණා. ඊට පස්සෙ මුරකරුවා ඉවත් කළා. හොරු ඇවිදින් අර වටිනා කියන ඩොප්ලර් රේඩාර් පද්ධතියේ කොටස් ගලවාගෙන ගියා.

මේ වෙනකොට මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට මහජන මුදලින් අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැය කරලා ඉවරයි. ඊට පස්සෙ?

ඒ ආයතනය තීරණය කරනවා, එම උපකරණ අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් එකක් මිළ දී ගන්නා එක ලාභයි කියලා. අලුත් එකක වර්තමාන මිළ රු. මිලියන 600ක් විතර වෙනවා. ඒක පරීක්ෂා කරන්නට, මිළ දී ගන්නට එහෙම නිලධාරි පිටරට යන්නත් ඕනැ.

මේ රටේ රාජ්‍ය ආයතන කටයුතු කිරීමට පුරුදු වී තිබෙන්නේ මේ ආකාරයට ය. අප හමුවේ තිබෙන අභියෝගය මෙවැනි රාජ්‍ය ආයතන සක්‍රිය කිරීමයි.

ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඇමතිවරයාගේ සිට පුනරුත්ථාපනය කළ යුතුව තිබේ. මුළු රටට ම ආපදා තත්වයක් ප්‍රකාශ කර සියලු දෙනාට ඉවත් වෙන්න ය කියන්නට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයක් අවශ්‍ය නැත. සෑම ප්‍රදේශයක් සම්බන්ධයෙන් ම ආපදා වළක්වා ගැනීමේ හා කළමනාකරණය කිරීමේ සැලසුම් සකස් කර යාවත්කාලීන කරමින් නඩත්තු කළ යුතු ය.

කෙසේ වෙතත් මෙය ද කිව යුතු ය. කොයි තරම් අඩුපාඩු තිබුණත්, ආපදා කළමනාකරණයේදී ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, දිසා ලේකම්ගේ සිට ග්‍රාමසේවක දක්වා රාජ්‍ය පරිපාලන සේවා, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන අායතන, 1990 ගිලන් රථ සේවාව ආදිය කළ කාර්යභාරයට කිසි සේත් ම සම වෙන්නට කිසිවෙකුට හැකියාව නැත.

එසේම, එසේ සම වන්නට ප්‍රචාරයෙන්වත් උත්සාහ ද නො කළ යුතු ය. ඒ වෙනුවට අන් සියලු දෙනා විසින් කළ යුතුව තිබෙන්නේ ආපදා කළමනාකරණයෙහි මූලික වගකීම සහිත රජයට අනුපූරක වීමයි. රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබේ. වැඩ නො කරන අය ගැන සොයා බලා ඔවුන් හෙළිදරව් කළ යුතු ය. එහෙත්, වැඩ කරන මිනිසුන් අගය කරන්නට ද සමාජයක් ලෙස අප පසුබට නො විය යුතු ය.

පසුගිය කාලය මුළුල්ලේ රජය හැඩගස්වන ලද්දේ දේශපාලන අධිකාරය විසින් කියන වැඩ කිරීමට ය. වර්තමාන ආණ්ඩුව මේ හස්තය බුරුල් කර ඇත. එහෙත්, රාජ්‍ය නිලධාරීන් හා සේවකයන් එම තත්වය භාවිතා කර තිබෙන්නේ වැඩ කිරීමට ද? ඔවුන්ට තීරණ, තීන්දු ගෙන ක්‍රියාත්මක වීමට දී තිබෙන සාපේක්ෂ නිදහස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම සඳහා යොදා ගැනීම ඔවුන්ගේ වගකීමකි. අවංකව මහජන සේවය වෙනුවෙන් වැඩ කරන මිනිසුන් FCIDයට බිය විය යුතු නැත. එහි ගිය කිසිවෙකු එ් වෙත යොමු වුණේ මහජන සේවය වෙනුවෙන් කළ කටයුතු නිසා නො වේ. දේශපාලකයන් වෙනුවෙන් කළ බැල මෙහෙවර නිසා ය.   

මේ අතර, මාධ්‍ය විසින් ආපදා හමුවේ කරන ලද කාර්යභාරය ගැන තුලනාත්මකව විග්‍රහ කළ යුතු ය. මාධ්‍ය ඇත්තෙන් ම තම වගකීම නිසි පරිදි හඳුනාගෙන කටයුතු කළා ද?

මේ පිළිබඳ මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන මීට ටික කලකට ඉහතදී කරන ලද පහත දැක්වෙන විග්‍රහය ඉතා වැදගත් ය.

ආපදා පෙර සූදානම හා කඩිනමින් මතු වන ආපදා ගැන නිල අනතුරු ඇඟවීම් බෙදා හැරීම සදහා මාධ්‍ය දායකත්වය ගැන මීට පෙර අප කථා කොට තිබෙනවා.

ආපදා සිදු වූ පසුත් මාධ්‍යවලට ලොකු වගකීම් සමුදායක් හා තීරණාත්මක කාර්යභාරයක් හිමි වනවා. ඉතා වැදගත් හා ප්‍රමුඛ වන්නේ සිදුවීම් නිවැරදිව හා නිරවුල්ව වාර්තා කිරීම. වුණේ මොකක්ද, වෙමින් පවතින්නේ කුමක්ද යන්න සරලව රටට තේරුම් කර දීම. එයට රාජ්‍ය, විද්වත් හා ස්වේච්ඡා ආයතනවල තොරතුරු හා විග්‍රහයන් යොදා ගත හැකියි.

ඉන් පසු වැදගත්ම කාරිය ආපදා ප්‍රතිචාරයට හැකි උපරිම ආවරණය සැපයීමයි. මෙයට බේරා ගැනීම්, තාවකාලික රැකවරණ, ආධාර බෙදා හරින ක්‍රම හා තැන්, ලෙඩරෝග පැතිරයාම ගැන අනතුරු ඇඟවීම් ආදිය ඇතුළත්.

ආපදා කළමනාකරණය හා සමාජසේවා ගැන නිල වගකීම් ලත් රාජ්‍ය ආයතන මෙන්ම හමුදාවත්, රතු කුරුසය හා සර්වෝදය වැනි මහා පරිමාන ස්වේච්ඡා ආයතනත් පශ්චාත් ආපදා වකවානුවල ඉමහත් සේවයක් කරනවා. මාධ්‍යවලට කළ හැකි ලොකුම මෙහෙවර මේ සැවොම කරන කියන දේ උපරිම ලෙස සමාජගත කිරීමයි. ඊට අමතරව අඩුපාඩු හා කිසියම් දූෂණ ඇත්නම් තහවුරු කර ගත් තොරතුරු මත ඒවා වාර්තා කිරීමයි.

මේ සියල්ල කළ පසු මාධ්‍ය තමන් ආධාර එකතු කොට බෙදීමට යොමු වුණාට කමක් නැතැයි මා සිතනවා. කැමති මාධ්‍යවලට එයට නිදහස තිබිය යුතුයි. මාධ්‍ය පර්යේෂකයෙක් හා විචාරකයෙක් හැටියට මා එහිදී විමසන්නේ එබඳු සුබසාධන ක්‍රියා මාධ්‍යයේ ප්‍රධාන සමාජ වගකීම්වලට සමානුපාතිකව කෙතරම් ප්‍රමුඛතාවක් ගනීද යන්නයි.

සිදුවීම් නිවැරදිව, නිරවුල්ව වාර්තා කිරීම පැත්තෙන් නම් ලංකාවේ මාධ්‍ය දුර්වල ය. විශේෂයෙන් ම සමාජ මාධ්‍යකරුවන් මෙහිදී හැඟීම් තරමට ම වෘත්තිකභාවය ද සංවර්ධනය කර ගත යුතු ය. තහවුරු කර නො ගත් ආරංචි වගකීමකින් තොරව වාර්තා කිරීම නිසා ජනතාව කලබලයට පත් වී අපහසුතාවන්ට මුහුණ දුන් අවස්ථා ද වාර්තා විය. 

කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය මෙම ආපදාවේදී ද සිය ශක්තිය කදිමට ප්‍රදර්ශනය කළේ ය. තරුණ බලවේග සමාජ මාධ්‍ය ඔස්සේ ආපදා සහන සේවා වෙනුවෙන් කළ මැදිහත්වීම මාධ්‍ය විශ්ලේෂකයන් විසින් පුළුල්ව අධ්‍යයනය කළ යුතුව තිබේ. ඉරුදින මාධ්‍යවේදී කසුන් පුස්සවෙල දකුණු පළාතේ සිට සමාජ මාධ්‍ය භාවිතා කරමින් කළ වාර්තාකරණය, පරිපාලන නිලධාරියකු වන චම්පික නිරෝෂ්ගේ මාධ්‍ය භාවිතාව, ශෙහාන් ගුණසේකරගේ කැමරාකරණය, පිලිප් ශාන්තගේ හා මනෝරම වීරසිංහගේ සමාජ මාධ්‍ය සටහන්, වෙනදා තමන් ඉතා සක්‍රිය වූ ෆේස්බුක් අවකාශයෙන් ඉවත්ව මහ පොළවේ වැඩට බට චමීර ජීවන්ත දෙද්දුවගේ, චමල් අකලංක පොල්වත්තගේ, නදී වාසලමුදලිආරච්චි, දමිත් කේතක - සයිබර් වරිගයේ උන්ඩියා, මොහොමඩ් ෆර්ෂාන්  වැනි ක්ෂණිකව සිහිපත් වන නම් කීපයක් පමණක් මෙහි සඳහන් කරමි. නම් මගහැරුණු තවත් අයට එයින් නිගරුවක් නොවේ යයි සිතමි.
චම්පික නිරෝෂ්

මෙම ආපදා තත්වය ද දේශපාලන වාසි ලබා ගැනීම සඳහා පාවිච්චි කළ විශාල පිරිසක් සිටිය හ. ඇතැමෙකු විසින් මෙම ආපදාවෙහිදී කරන ලද එක ම දෙය වන්නේ තම සතුරන් කළ හා නො කළ දේ පිළිබඳ සොයා බලා අඛණ්ඩව ඔවුන්ට පහර දීමයි.

මෙවැනි අවස්ථා බලා එළියට බසින සංවර්ධන විරෝධීන් ගැන වෙන ම ලිපියක් ලිවිය යුතු යයි සිතමි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

13 comments:

  1. ආණ්ඩුව අස්සයා පැනලා යනකං ඉන්නව ඉස්තාලය වහන්න.. මාද්‍ය්‍ය කරේ කොරහේ කිඹුලන් පෙන්වීම හා දුක මාකට් කිරීම.. හැම එකකටම නියාමනයක් තියෙන්න ඕනි කියන එක ආයෙම ඔප්පු උනා..

    ReplyDelete
  2. නලීන් දිලෘක්ශ,සයිබර වරිගේ උණ්ඩියාව අමතක කරන්නම බෑ.සෑහෙන වැඩක් කලා සහ කරමින් ඉන්නවා.නියමිත තොරතුරු ලබාගන්න ජාත්‍යන්තර සම්බන්ධතා පවා භාවිතාකරමින් විශ්වාසනීය සේවයක් සමාජමාධ්‍යකරුවන් ඉටුකලා.
    ජයවේවා..!!

    ReplyDelete
  3. ආපදාවන්ට ප්‍රතිචාර දක්වන්නන් තමන්ගේ ආරක්ෂාව ගැන යොමුකර තිබුන අවබෝදය ඉතාම මදි. උදාහරණක් විදියට, වැටුන ගහක් කපන කෙනෙක් යකඩ toe එකකින් කකුලේ ඇඟිලි ආරක්ෂා කරගන්න ඕන. ආරක්‍ෂිත ඇස් ආවරණ, ඇත වැසුම්, හිස් වැසුම් වගේ දේ වලටත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය දායක විය යුතුයි. මයි ටූ සෙන්ට්ස්.

    ReplyDelete
  4. අනාවැකි කියන්න ඩොප්ලර් ඕන නෑ. ක්‍ෂිතිජය වැඩසටහනට ආ දේශපාලන විචාරක තුමාටත් මතක් වෙලා තියෙන්නේ අවුරුදු නැකත හොඳ නැති නිසා මල මිනී ගෙදරට එන බවට සාස්තර කාරයෝ කියපු කතාව. කන්න ඕනෑ උනාම කබර මසුත් තලගොයි මස් වෙනවලු!

    ReplyDelete
  5. කලින් දැන ගත්තනම් ගොඩින් බේරගන්න තිබුණා කියන එක කතාවේ එක පැත්තක්. ගංවතුරට පස්සේ තමන්ගේ වතු පිටි හරකබාන බලන්න ගිය සීය කෙනෙකුයි, මුණුබුරෙකුයි, බල්ලෙකුයි ගංවතුරට අහුවෙලා නාවික හමුදාව බේරගන්න හැටි ගැන කතාවක් "අලුත් පාර්ලිමේන්තුව" පෙන්නනවා. බිමල් රත්නායක "සටන" වැඩසටහනේ කියනවා වගේ, ආපදාවකදී වැදගත් කරුණු තුනෙන් මුල සහ අග නැති උනාට දෙවෙනි කාරණාව නම් අපට තියෙනවා. විපත්තියකදී මිනිස්සු පිහිටට ඒම. ඒකෙන් අපි පලවෙනි තැන.

    ReplyDelete
  6. කරන්න පුලුවන් යුතුකමක් කළා අයියෙ.මේක අහම්බෙන් වගේ එකතු වුණු කන්ඩායමක්.ඒ පහුගිය අවුරුද්දෙ කොළඹ ගංවතුර එක්ක.මෙතන නොකියම බැරි නම් තමයි ලේඛිකා නදී වාසලමුදලිආරච්චි සහ සයිබර් වරිගයේ උන්ඩියා නොහොත් දමිත් කේතක,සුජිත් ප්‍රියන්ත,ප්‍රසාද් වැලිකුඹුර,රජයේ ජනාධිපති මාධ්‍ය අංශය තුළ පවා ඉඳිමින් කටයුතු කළ උදිත් ඉරෝෂ් ඇතුලු නම නොපෙනුනත් වැඩ කළ මිනිසුන්න් බොහෝමයක් හිටිය.මාද්‍යකරුවන් විදියට අපි තොරතුරු දෙද්දි සමහර වෙලාවට මේ අය තමයි බත් පාර්සල් දෙතුන්දාහ හදල එව්වෙ.තරුණියක් කියල නෑ නදීල දවසට හාල් කිලෝ 400/500 තනියම හොයල දුන්නු දවස් තිබ්බා.වෙනත් රැකියා තියෙනව,රජයේ හෝ ඉහළ සම්බන්ධකම් නෑ කියල නෑ උන්ඩියාල චමීරල,ප්‍රියලාල් කොග්ගල ගේල, සුජිත් ල ඉල්ලන ප්‍රමාණයක් පානීය ජලය දුන්න.නම් නොකී සහ මෙතැන පළ කරන්න අමතක ගොඩක් ඉන්නව.
    - Kasun Pussewela

    ReplyDelete
  7. කෙසේ වුවත් සමාජ ජාල ඔස්සේ මේ පිරිස විපතට පත් වුවන්ට සහන සැපයීමට විශාල උත්සාහයක් දරද්දී ඔවුන්ගෙන් ඇතැමෙක් සමඟ දේශපාලන ඇරියස් ඇති නිහීනයන් පිරිසක් මඩ ගැසීමේ හා චරිත ඝාතනය කිරීමේ උත්සාහයක නිරත වූ බව කණගාටුවෙන් වුවත් සඳහන් කළ යුතුයි.

    ReplyDelete
  8. //කෙසේ වෙතත් මෙය ද කිව යුතු ය. කොයි තරම් අඩුපාඩු තිබුණත්, ආපදා කළමනාකරණයේදී ත්‍රිවිධ හමුදා, පොලිසිය, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, දිසා ලේකම්ගේ සිට ග්‍රාමසේවක දක්වා රාජ්‍ය පරිපාලන සේවා, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරිය, පළාත් පාලන අායතන, 1990 ගිලන් රථ සේවාව ආදිය කළ කාර්යභාරයට කිසි සේත් ම සම වෙන්නට කිසිවෙකුට හැකියාව නැත.//
    සහතික ඇත්ත. මාධ්ය සංදරශන කලා විතරයි ඉතා දුෂ්කර පැති වලට ලගා උනේවත් නෑ. රජයේ මේ ලිස්ට් එකට එකතු වෙන්න ඔනි ග්‍රමාරක්ශකයින්.

    ReplyDelete
    Replies
    1. ////රජයේ මේ ලිස්ට් එකට එකතු වෙන්න ඔනි ග්‍රමාරක්ශකයින්./////////

      ++++++++++++++++++

      Delete
  9. //ඒ නිසා රජයේ ආයතනයකට කොන්ත්‍රාත්තුව භාර දුන්නා පාර හදලා කුලුන හදන්න.//

    මේ රාජ්‍ය ආයතනය මොකක්ද? CECB එකද? SD&CC එකද? RCDC එකද?

    ReplyDelete
  10. සන්නිවේදනයේ අඩුවක් පෙන්නපු ඒ මිලිමීටර් 150 කතාවත් නිවැරදිව සන්නිවේදනය වුනේ නෑ.

    Disaster preparedness තියා ඇමතිලාට වාහන ගෙන්වන එකටවත් ප්‍රිපෙයාරඩ් නෑ නේ. ඒ හින්දයි පරිපුරක ඇස්තමේන්තු හදලා අනුමත කර ගන්න වෙන්නේ!

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.