2017-06-17

ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක

ලංකාවේ අප මුහුණ දී තිබෙන මූලික ම ගැටලු දෙක මා දකින අන්දමින් මෙසේ ය.

1. ලංකාවට දරා ගත නො හැකි තරම් අති විශාල රජයක් නිර්මානය වීම. එයට සාපේක්ෂව ආණ්ඩුව අසාමාන්‍ය අන්දමින් බලවත් වීම. රජයේ බර දැරීම සඳහා වැඩ කරන ජනයාට විශාල වශයෙන් බදු ගෙවන්නට හා ණය බරට උර දෙන්නට සිදු වීම. 

2. රාජ්‍ය මූලික අකාර්යක්ෂම මානසිකත්වය. මෙහි මූලික ගැටලුව වන්නේ ලාංකිකයන්ගේ ජන විඥානය නිර්මානය වන්නේ අතිශය අකාර්යක්ෂම රජයක් පරමාදර්ශය කරගෙන වීමයි. 

ආණ්ඩුව

මෙහි පළමු කාරණයට අදාළව ගතහොත්, ආණ්ඩුව හා සමස්තයක් ලෙස දේශපාලනය අසාමාන්‍ය ලෙස බලවත් වීම බරපතල සමාජ, ආර්ථික ගැටලුවක් නිර්මානය කරනවා. රජය පුළුල් වන තරමට, රජය අකාර්යක්ෂම වන තරමට, ආණ්ඩුව හා දේශපාලනය ශක්තිමත් වීමත්, දූෂණය සඳහා අවස්ථාව පුළුල් වීමත් වළක්වන්නට බැහැ. පුළුල් රජයක් හා උපරිම කාර්යක්ෂමතාවක් සහිත රජයක් ෆැන්ටසිගත කරන සමාජවාදය ප්‍රායෝගික නැහැ කියලායි මා හිතන්නෙ. 

රජයෙන් යැපීම

රජයෙන් යැපෙන මානසිකත්වය ඇත්තෙන් ම ලොකු ම ප්‍රශ්නය වන්නේ රජය නඩත්තු කරන වැඩ කරන ජනතාවටයි. රජය විසින් අවම සේවාවන් සපයන්නේත් මෙම වැඩ කරන ජනතාවටමයි. මේ පිරිස තුළ මැද පෙරදිග ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, අවිධිමත් අංශයේ කම්කරුවන් වගේ ම ඉහළ  ව්‍යවසායකයන්, ඉහළ කළමනාකරණ ශ්‍රේණිවල අයත් ඉන්නවා.

මේ අතර තවත් පිරිසක් බලා ඉන්නේ ම රජයෙන් යැපෙන්නටයි. දේශපාලකයන් හා රජයේ ඉහළ නිලධාරීන් මහජන මුදලින් වැටුප්, දීමනා, වරප්‍රසාද, විදේශ චාරිකා ආදිය ලබා ගන්නවාට අමතරව සිය බලය පාවිච්චි කරමින් රජය සමග ව්‍යාපාරත් කරමින් මුදල් උපයා ගන්නවා. ඔවුන් කරන්නේ මහ දවල් මංකොල්ලයක්. ඒ ගැන වැඩි විස්තර අවශ්‍ය නැහැ. කවුරුත් දන්නවා.

රජයේ සේවයේ පහළ ස්ථරවලට මෙවැනි වරප්‍රසාද අවමයි. එහෙත්, ඔවුන් මහජන මුදල් මංකොල්ල කන්නේ මූලිකව ම වැඩ නො කර සිටීමෙනුයි. 

මේ අතර, ගොවීන් වැනි තවත් පිරිසක් සිටිනවා. ඔවුන් නියෝජනය කරන නාමල් කරුණාරත්නගේ ස්වරයට ඇහුම්කණ් දීමෙන් මෙම බලවේගය තේරුම් ගන්නට පහසුයි. මේ වැඩි දෙනෙකු ගොවිකම හරියට නො කරන ග්‍රාමීය දිළින්දන්. ගොවීන් නගා සිටුවන්නට රජය උපකාර කළ යුතුයි. ඒත් ඔවුන්ට මහජන මුදලින් වාරි පහසුකම්, පොහොර ආදිය සැපයීමෙන් පසුව අස්වැන්නත් වැඩි මිළකට මිළ දී ගැනීමට රජය බැඳී සිටිනවා ය කියා තමයි ඔවුන් සිතන්නේ. නාමල් කරුණාරත්න කියන්නේ මේ බ්ලැක්මේල් කිරීමේ ප්‍රකාශකයායි.

තව කට්ටියක් තමයි රජයේ විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයෝ. ඔවුන් මහජනයා බ්ලැක්මේල් කරමින් කප්පම් ඉල්ලීම නිවේදනය කරන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය හරහායි. 

මේ වන විට ලංකාව අතිශය ආපදාපන්න රටක්. මා ජීවත් වන්නේ කළුතර දිස්ත්‍රික්කයේයි. එහි භූමි කළමනාකරණය සම්බන්ධයෙන් රජය පැහැදිලි මැදිහත් වීමක් කළෙත් නැහැ. ජනතාව කළේ ඉතා අවිධිමත් ලෙස කඳුකර කැලෑ එළිපෙහෙළි කරමින් තේ වැවීමයි. එයින් ග්‍රාමීය දිළිඳුකම නැති වුණ එක ඇත්ත. ඒ වුණාට මේ වන විට තිබෙන්නේ අතිශය භයානක තත්වයක්. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයට පසුගිය දිනවල නායයාම් තර්ජන පිළිබඳ වාර්තා කිරීම් 400ක් ලැබී තිබුණා. දැන් මේ සියලු දෙනාත් පුරුද්දට වගේ රජයට බනිමින් වන්දි ඉල්ලනවා. ප්‍රශ්නය කොයි තරම් සංකීර්ණ ද යත්, වන්දි, විකල්ප ඉඩම් ආදිය දෙන විට ඒ පවුල්වල සියලු දෙනා ඒවා ඉල්ලනවා. ඒ ඇතැමෙකු එහි පදිංචිව සිටි අයත් නොවෙයි. 

මේ තත්වය තුළ විසඳුම මොකක් ද?

රජය එක පාරට ම හකුළුවන්නට බැහැ. හැබැයි, රජයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව දැඩි අරගලයක් කළ යුතුයි. එසේම, රාජ්‍ය සේවකයා හා දේශපාලකයා වගවිය යුතු ය යන්න දැඩිව අවධාරණය කළ යුතුයි. මේවායේදී වාමාංශික පක්ෂ විසින් ප්‍රවර්ධනය කරනු ලබන රජයේ සේවයේ පහළ ස්ථරය සම්බන්ධයෙන් සහනශීලී ප්‍රතිපත්තියට පවා වැඩ කරන ජනයා එරෙහි විය යුතුයි. 

එසේම, ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප පිටුදැකිය යුතුයි. ලංකාවේ සංවර්ධනයට පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්, විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයන් අතිශය වැදගත්. ඔවුන් තමයි, ඵලදායී නිෂ්පාදන කරන්නේ, රැකියා සපයන්නේ. ඔවුන් සූරාකන්නන් පිරිසක් ලෙස හඳුන්වමින් කරන නො මග යැවීම පිටුදැකිය යුතුයි. 

ඒ වගේම සැබෑ සූරාකන්නන් හඳුනා ගත යුතුයි. මෙහිදී පසුගිය දිනවල මා ෆේස්බුක්හි ඇසූ ප්‍රශ්නයක් නැවත අසනවා. ලංකාවේ ඔබේ ජීවිතය දැඩි ලෙස සූරා කන, රජය නො වන, දේශීය හෝ බහුජාතික සමාගම් මොනවා ද?

ලංකාවේ ජනතාව සූරා කන ප්‍රධාන ම බලවේගය රජය. රජය කියන්නේ රජයෙන් යැපෙන අය. ඔවුන්ට තමයි රජය සේවා සපයන්නේ. සුබසාධන සේවා කියන්නේ ඒ සූරාකෑම ආවරණය කරන කඩතුරාවක් විතරයි. 

පාරිභෝජනවාදය හරහා අප සූරා කන ප්‍රධාන මෝරුන් ඉන්නේ නිෂ්පාදන හා සේවා කර්මාන්තවල නෙමෙයි. මුල්‍ය වෙළඳපොළේයි. මේ මිනී මෝරුන් රජයේ හා පෞද්ගලික බැංකු, මුල්‍ය ආයතන ආදියේ සිට උගස් ගන්නන්, දේපල වෙළඳාම්කරුවන් හා ගිනී පොළීකාරයන් දක්වා විහිදෙනවා. මේ ගැන පසුව විග්‍රහ කරන්නම්.

මෙම සටහන මා තැබුවේ දිමිත්‍රිගේ පහත දැක්වෙන අදහසට පිළිතුරු ලෙසයි.

පැරා, ඔබ පෙසපෙ/ජවිපෙ සම්බන්ධව කාලයක් තිස්සේ ලියන දේ මම කියවනවා. ඔවුන්ගේ විනාශකාරී සටන් ක්‍රියාමාර්ග, පෞද්ගලික අධ්‍යාපන විරෝධයේ ඇති දෙබිඩිකම, කම්කරු පන්තිය තොරොම්බල් කිරීම, කම්කරු පන්තියේ අර්ථ දැක්වීම ගැන ඔබ කියන දේ එක්ක බොහෝදුරට මම එකඟයි.

නමුත් මා නැවත නැවත හිතීමට පොලඹවන දෙයක් තමයි, මෙරට විශාල රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යාම ගැන ඔබ කරන නිර්දය විවේචනය. විශාල රාජ්‍ය සේවක සංඛ්‍යාවක් නඩත්තු කිරීම ඔබට අනුව රටේ ඇති දැවැන්තතම ප්‍රශ්නයක් (දෙවැනි වන්නේ නම්, ජාතිවාදී ප්‍රශ්නයට පමනක් දෙවැනි වන). දැවන්ත රාජ්‍ය සේවකයන් සංඛ්‍යාවක් නඩත්තු කිරීමට කරන දැවැන්ත වියදම සහ ඊට කිසිසේත්ම නොසරිලන කාර්යක්ශමතාව සම්බන්ධව, මෙය කරුනක් වශයෙන් නැතැයි කියන්න කාටවත් බැහැ. නමුත් මම තවමත් හිතන්නේ, රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් ඇතිවන අතිවිශාල විරැකියාව මගින් ඇතිකරනු ඇති සමාජයීය ප්‍රශ්නය (මේ තරුන කොටස්තුල ඇති ආතතිය, අවිනිශ්චිතභාවය, ඉච්ඡාභංගත්වය මගින් ඇතිකරන ප්‍රශ්න) ඊට වඩා කීප ගුනයකින් වැඩි වනු ඇති බවයි (ඔවුන් ලද අධ්‍යාපනය ප්‍රමිතියෙන් අඩුයි, ඔවුන්ගේ ඉංග්‍රිසි දැනුම අඩුයි, නවීන ආකල්පවලින් තොරයි, තාක්ශනය සමග හුරුව අඩුයි, පෞද්ගලික අංශය ඔවුන්ගැන උනන්දු නොවන්නේ ඒ නිසයි වැනි කතා හෝ ධනාත්මක චින්තන කතා මේ සඳහා උත්තර නොවෙයි). එමගින් (මහා පරිමානයෙන් රජයේ රැකියා ලබාදීම මගින්) මගහරවාගන්නා ලද අනර්ථයන් (avoided social evils?), ඔවුන්ට පඩි ලෙස සහ වෙනත් පහසුකම් ලෙස ගෙවන ලද මුදල සමග සාධාරන සංසන්දනයක් මා දන්නා තරමින් කවුරුවත් කර නැහැ. එසේ කල නොහැකිවාත් වන්නට පුලුවන්.

උදාහරනයකට පහුගිය රජය විසින් රැකියාවිරහිත උපාධිධාරීන්ට රැකියා සැපයීම ගන්න. එම රැකියා සැපයීම (එවක රජයේ අරමුන කෙසේවුවත්) නොකලා නම්, එම තරුනයන්ගෙන් අති බහුතරය පෙසපෙ (හෝ වෙනත් එවැනි සංවිධානයන් ) වටා රොක්වනු ඇතිවාට සැක නැහැ. එවන් තත්වයක් තුල, එම සංවිධාන ගැන, නායකත්වයන් ගැන හුදෙක් විවේචනය කර පලක් නැහැ. මා හිතන්නේ එලෙස රැකියා ලද අති බහුතරයක් තරුන කොටස් මේ සංවිධාන වෙතට ආකර්ශනය වුනේ නැහැ.

(සම්පූර්නයෙන්ම වෙනස් විශයන් වුවත්, කසල කලමනාකරනය මේ සඳහා උදාහරනයකට ගන්න පුලුවන්. මට වැටහෙන පරිදි, ලංකාවේ කසල කලමනාකරනය තාක්ශනික වශයෙන්ම පිරිවැය පිරිමසා ගැනීමටවත් හැකිවන ව්‍යාපාරයක් නොවෙයි. නිවැරදි අවසාන අපහරන ක්‍රියාවලියක් (දැනට නොපවතින) ආරම්භ කිරීමට සහ පවත්වා ගෙන යාම සඳහා රජය අනිවාර්යයෙන්ම අති විශාල පිරිවැයක් දැරිය යුතු වෙනවා. එය අද මේ සඳහා රජය දරන සිල්ලර වියදමට වඩා ඉතා අධික වියදමක් වනු ඇති. නමුත් එවන් ක්‍රියාවලියකින් සමාජය ලබන සෘජු සහ අනියම් ප්‍රතිලාභ, සාම්ප්‍රදායික මූල්‍යමය විශ්ලේශනයකින් -conventional cost-benefit analysis- මනින්නට බැහැ. එසේ නොකර සිටීමේ ප්‍රතිඵල අප අද හොඳින් අත් දකිනවා)

රාජ්‍ය සේවකයන්ගේ සේවය කෙසේ හෝ කාර්යක්ශම තත්වයකට ගෙන ඒම තමයි අභියෝගය. (අධික වියදමක් දරා නඩත්තුකරන මංත්‍රී-ඇමති මන්ඩල කාර්යක්ශම කිරීමත් තවත් මේ වගේම අභියෝගයක් තමයි.) මම දන්නේ නැහැ එය කල හැක්කේ කෙසේදැයි කියා, නමුත් එය කෙසේ හෝ කල යුතුයි කියලයි මට හිතෙන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

20 comments:

  1. ලංකාව RESET කල නොහැක.

    අහේතුව-
    1.දියුනු නිශ්පාදන ආර්ථිකයක් නොමැති වීම.
    2.නිදන්ගත දකුණු ආසියානු යාචක උප්පරවැට්ටී ආර්ථික න්‍යාය.
    3.1948 දී, අහම්බෙන් අඩු මාසෙන් ලැබුන ආබාධිත නිදහස් බබා.
    4.ආත්ම අභිමානයක් නැති ජාතියක් වීම.(මහාවංශ ද්වේශපාලනයට කොටුවීම)
    5.තකතීරූ නිදහස් අධ්‍යාපනය.
    6.අබ්බගාත අවස්තාවාදී වාමාංසික කදවුර.
    7.වතිකානු බලය.
    8.නොමේරූ චීන බල ආක්‍ර‍මණය.(US+Euro යුධ බලය හා වෙළදපොල නිසා)


    1ට හේතූ 23456 වේ. 7_8ට කලහැක්කක් නොමැත.

    ReplyDelete
  2. //(අධික වියදමක් දරා නඩත්තුකරන මංත්‍රී-ඇමති මන්ඩල කාර්යක්ශම කිරීමත් තවත් මේ වගේම අභියෝගයක් තමයි.) මම දන්නේ නැහැ එය කල හැක්කේ කෙසේදැයි කියා, නමුත් එය කෙසේ හෝ කල යුතුයි කියලයි මට හිතෙන්නේ.//
    O/L ෆේල් හොරු,A/L පාස් හොරු කියල ජාති දෙකක 225 ඉන්න ලංකා පාර්ලිමේන්තුව සහ පලාත් සභා හොරූ සහ පලාත් පාලන හොරූ වශයෙන් තවත් 10,000 වැඩිය පිරිසක් කාර්යක්ෂම පිරිසක් කලහැකි එක් යෝජනාවක් ඇත. එනම් විමධ්‍යගත මුදල් වැඩිකිරීම,සංවර්ධන යෝජනා ක්‍ර‍ම වැඩි කිරීම.අධ්‍යයන කටයුතු සදහා විදේශ සංචාර වැඩිකිරීම, වසරකට දෙවරක් වාහන පර්මිට් ලබාදීම ආදිය වැනි ක්‍රියාවන් සහ නවීන විද්‍යානුකූලව ආමාත්‍යාංශ විෂයන් වෙන්කිරීමයි.(විදෙස් අමාත්‍යංශයට ජලභීතිකා මර්ධන ඒකකය ඇමිනීම.)

    මේ රට විනාශකරපු‍ ප්‍රධාන කොට්ඨාශය ඡන්ද දායකයින් වන අපයි. මුලින් අපි එය නිවැරදි කරමු !

    ReplyDelete
  3. ඇත්ත ඔය රජය කියන සූරා කන්නා නැති උනානම් පැරා වගෙ හද්දා වන්නියේ ඉපදුන, රනිල්ගෙ පන්තියේ උන්ගෙ වචනෙන් කියනවනම් ගොඩයෙක් කවදාවත් ඔය ඉන්න තත්වෙට එන්නෙ නෑ. එහෙම නාවනම් ඔය හීනමානය නෑ. ඔය හීන මානය නැති උනානම් උග්‍ර සින්හල විරොධී බටහිර ගැත්තෙක් වෙන්නෙ නෑ. එහෙම ගත්තම බන්ඩාරනායකගෙ, සිරිමාවොගේ, මෙන්ම ප්‍රේමදාසගෙ සුභසාධනවාදී රජයන් කරලා තියෙන්නෙ කාලකන්නි වැඩ. අපේ ගුණමකුවොන්ට හරියන්නෙ සමාජ අසාධාරණය දිගටම පවත්වාගෙන යන, රටේ දේශීය ආර්ථිකය විනාශ කරන රනිල් වගෙ උන්ගෙ ආණ්ඩුම තමයි.

    ReplyDelete
    Replies
    1. රනිල්ට විනාශ කරන්න ලැබිල තියෙන තියෙන දේශීය ආර්ථිකය මොකද්ද?

      Delete
  4. පැරා,

    රාජ්‍ය සේවය ජනතාවට විශාල බරක් තමයි. මේක මම කලිනුත් කියල තියනවා, මේ නිසයි මම කිව්වේ රනිල් 2002 දී කල හොදම දේ රාජ්‍ය සේවය අඩු කිරීමයි කියල. නමුත් දැන් විශාල රාජ්‍ය සේවයක් තියනවා, මේ අය ගේ පලදායිබව ඉතා අඩුයි ,නමුත් දැන් ප්‍රායෝගිකව මේ මිනිසුන්ව රස්සාවෙන් ඉවත් කිරීමට ප්‍රායෝගිකව බෑ, මම මිට කලිනුත් නොයෙක් විට රාජ්‍ය සේවය පලදායි කරන විදි කිව්වා, ඉතින් ඔබ කියන්න මේකට විසදුම මොකද්ද කියල.

    ReplyDelete
  5. ගොවීන්ට පොහොර සහනාදරය මුදලින් සැපයීම බොහොම සාර්ථක රාජ්‍ය උපක්‍රමයක්, ගොයියෝ ඒ සල්ලි තැබරුම් වලට දුන්නම ඒවා බදු වසයෙන් අපහු එනවට අමතරින්, කන්නය අගට වී මිළ දේ ගන්න දෙන සහනාධාරයත් අඩුකර ගතහැකියි, ජෝප්පොන්ට පාරට දාන්න අමුඩකාරයෝ සොයාගන්නත් අපහසුයි, එක ගලෙන් කුරොල්ලෝ රංචුවක් බිම.

    ReplyDelete
  6. //රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් ඇතිවන අතිවිශාල විරැකියාව මගින් ඇතිකරනු ඇති සමාජයීය ප්‍රශ්නය//

    ප්‍රශ්නයට පිළිතුර ලිපියේ උඩින් තියෙනවා.

    //එසේම, ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප පිටුදැකිය යුතුයි. ලංකාවේ සංවර්ධනයට පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්, විශේෂයෙන් ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ව්‍යවසායකයන් අතිශය වැදගත්. ඔවුන් තමයි, ඵලදායී නිෂ්පාදන කරන්නේ, රැකියා සපයන්නේ. ඔවුන් සූරාකන්නන් පිරිසක් ලෙස හඳුන්වමින් කරන නො මග යැවීම පිටුදැකිය යුතුයි.//

    ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප එසේම තිබියදී රජය මේ අන්දමින් රැකියා නොසැපයුවානම් අතිවිශාල විරැකියාව ප්‍රශ්නයක් වෙන්න ඉඩ තිබුණා තමයි. ප්‍රශ්නයට විසඳුම රැකියා ජනනය කරන පිරිස් දිරිමත් කිරීම මිස පැලැස්තර විසඳුමක් ලෙස රජය මඟින් වැඩි වැඩියෙන් රැකියා සපයන එක නෙමෙයි.

    අවුල් වී තිබෙන නූල් බෝලයේ පැටලුම් ඇරීම සඳහා පටන් ගත යුත්තේ ව්‍යවසායකයින් දිරිමත් කරන වාතාවරණයක් හැදීමෙනුයි. ඒ සඳහා රජය විසින් කළ යුතු ප්‍රධානම දෙය දේපළ අයිතිවාසිකම් (property rights) තහවුරු කිරීමයි. පෞද්ගලික අංශයේ රැකියා හා ප්‍රතිලාභ වැඩි වන විට රජයේ රැකියා වලට ඇති ආකර්ශනය නිකම්ම නැති වී රජය කුඩා වන එක ඉබේම සිදු වෙනවා.

    මා දන්නා තරමින් තොරතුරු තාක්ෂණ අංශයේ හා පළාත් සභා ඉංජිනේරු වැනි තනතුරු සඳහා වන රජයේ පුරප්පාඩු පිරවීම පහසු නැහැ. රජයේ කිසියම් තනතුරකට විශාල ඉල්ලුමක් තිබීම එම තනතුරේ අකාර්යක්ෂමතාවය පෙන්වා දෙන කරුණක්. ඉල්ලුම අඩු තැන් ඇත්නම් ඒවා සාපේක්ෂව කාර්යක්ෂම තැන්.

    ReplyDelete
    Replies
    1. //..ප්‍රශ්නයට විසඳුම රැකියා ජනනය කරන පිරිස් දිරිමත් කිරීම මිස....//
      //..පටන් ගත යුත්තේ ව්‍යවසායකයින් දිරිමත් කරන වාතාවරණයක් හැදීමෙනුයි..//

      ඔබ කියන දේ පැහැදිලියි. මගේ ප්‍රශ්නය ඔය දේවල් රජය විසින් නොකරන්නේ ඇයි? ඊට ඇති බාධක මොනවාද? කිසිවෙක් ඊට ප්‍රමානාත්මකව විරෝධතාවයන් දක්වනවාද? (මම අදහස් කලේ විරෝධතාකරුවන්ගෙන් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක ට / සයිටම් එකට තරම් විරෝධයක් ඔබ සඳහන් කරන ප්‍රතිපත්තිමය කාරනා වලට එන්නේ නැහැ නේද? ඉහත දෙකම ගැන ආන්ඩුව සිටින්නේ දැඩි ස්ථාවරයකයි. ඇයි එවැනි ස්ථාවරයක් ආන්ඩුව මෙහිදී නොගන්නේ? ) මම හිතන්නේ රජයට පුලුවන් කමක් තිබේ නම් එසේ නොකර ඉන්න එකක් නැහැ!

      කෙටියෙන් අසනවානම්, රජය/ආන්ඩුව ඔබ සඳහන් කරන දේ කරන්නේ නැද්ද?, එහෙම නැත්නම් එය කල නොහැකිද? ඊට ඇති බාධක මොනවාද?

      - DImithri

      Delete
    2. ප්‍රධාන හේතුව නිදහස ලැබුණු දා සිට අද දක්වාම මතවාදී ලෙස ලංකාව පාලනය කරන්නේ සමාජවාදීන් විසින් වීමයි. සමාජවාදී ලෙස තමන්ව හඳුන්වාගන්නා පක්ෂ සම්පූර්ණයෙන්ම පැත්තකින් තිබ්බත්, ඉතිරි ප්‍රධාන පක්ෂ වල තීරණ ගැනීමේ බලය ඇති ඇති මහත් බහුතරයටද ධනවාදය ගැන විශ්වාසයක් නැති අතර, ඒ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නටද කැමති නැත. මේ ගොඩක් අයට සමාජවාදීන් ධනවාදය කියා හඳුන්වන දෙය ගැන මිස සැබෑ ධනවාදය ගැන අවබෝධයක්ද නැත. "ධනවාදයට මානුෂික මුහුණුවරක් දෙන" කතාවක් කියමින් ධනවාදය මානුෂික නොවන බවට කතාවක් ජනගත කරමින් මතවාදී තලයේදී ලොකුම විනාශය කළේ චන්ද්‍රිකා කුමාරතුංගයි. එහි හානිය සමාජවාදීන් ලෙස සෘජුව පෙනී සිටින පක්ෂ වලින් කර ඇති හෝ කරන හානියට වඩා බොහෝ වැඩිය. මේ වන විට එජාප හා ශ්‍රීලනිප ඉදිරි පෙළට පැමිණ සිටින්නේද සමාජවාදී ආකෘතියක සකස් වී ඇති අධ්‍යාපන ක්‍රමයක් තුළ බිහි වී ඇති අයයි. සෝවියට් දේශය විසින් අඩු මිලට දුන් පොත් දැන් නැතත් කලාව ඉදිරියට යන්නේ ඒ ආකෘතිය තුළමය. ඒ නිසා ආණ්ඩුවේ බොහෝ ආකෘති තවමත් තිබෙන්නේ සමාජවාදී රාමුවේය. මේ රාමුව තුළ තමන්ගේ ආකල්ප ගොඩනගා ගෙන ඇති අය ධනවාදය ලෙස දන්නේ සමාජවාදීන් විසින් හඳුන්වා දුන් යක්ෂයාය. ඒ නිසා, දේශපාලකයින් හා ව්‍යවසායකින් සමාජවාදයට එරෙහි වන්නට හදන්නේද ධනවාදය කුමක්දැයි හඳුනාගනිමින් නොව තමන් ධනවාදය ලෙස හඳුනාගෙන ඇති යක්ෂයාගේ භූමිකාව වෙත මාරුවෙමිනි. එය ඇත්තටම මානුෂික නොවන භූමිකාවක් නිසා ඔවුන්ට එතනින් එහාට පියවරක් තැබිය නොහැකිය. මා හිතන හැටියට සුසමාදර්ශ වෙනසක් කිරීමේ යතුර තිබෙන්නේ සමාජ ජාලා වලය. එය සෙමින් සිදු වනු ඇත.

      Delete
    3. මට හිතාගන්න බැහැ ඇයි ඔබ කියන දේ අඩුවශයෙන් ජේ ආර් කලේ නැත්තෙ කියලා. ඔහු බලවත් නායකයෙක්. මම හිතන්නේ නැහැ ඔබ කියන සමාජවාදී මතවාදයක් 77 සිට 80 ගනන් දක්වා තිබුනායැයි කියා. ඔහුගේ ඇමති මන්ඩල ඇතුලේ වාම ලයින් එකේ කවුරුවත් හිටියේ නැහැ. ඔහු වාමාංශිකයන්ට කොහොමත් බය කෙනෙක් නෙමෙයි. ඔබ කියනවද වාමාංශික කැරලි ගැසීම් ඔහුට එය කරන්න ඉඩනොදුන්නා කියා?

      මට හිතෙන්නේ මෙහි වෙනත් යමක් තියෙනවා. ඔහු ඇතැම් විට ඒ ගැන දෙවරක් හිතුවා වෙන්නට පුලුවන්. ඒ කුමක්ද යන්න මට හිතාගන්න බැහැ. ඔහුගේ දේශපාලන ස්ථායීභාවය ගැන හිතුවා වෙන්නට බැහැ. එහෙම තත්වයක් ඔහුට තිබුනේ නැහැ. එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ආවේනික නොහැකියාව?!? මම කැමති නැහැ එහෙම හිතන්න. වෙන හේතුවක් ඇති.

      - Dimithri

      Delete
    4. ජේආර් විශ්වාසය තැබුවේත් සිංගප්පුරු ආකෘතියේ රාජ්‍ය මූලික සංවර්ධන ආකෘතියක් පිලිබදව මිස පූර්ණ නිදහස් ආර්ථිකයක් ගැන නෙමෙයි. ඔහු ඇමරිකන්වාදී හා බටහිරවාදී වූ තරමට ධනවාදී වුනේ නැහැ. ඒ සඳහා ලංකාවේ සමාජය සූදානම්ව නොසිටි බව ඔහු හිතන්න ඇති. එය තරමක් දුරට ඇත්තක්. සිංගප්පුරු ආකෘතිය සාර්ථක වෙන්න හොඳ හා අවංක ටීම් එකක් අවශ්‍යයි. ජේආර් වටා පෙළ ගැසී සිටියේ එවැනි පිරිස් නෙමෙයි. ඒත් ජේආර් ඉතා කෙටි කලක් තුළ ආර්ථිකයේ විශාල වෙනසක් කළා. ඒ වෙනසේ හොඳ (වගේම ඇතැම් නරක) ප්‍රතිඵල තවමත් තිබෙනවා. මොන අඩුපාඩු තුබුණත් ලංකාව 77න් පසු යුගයේ ලබාගත් ආර්ථික ජයග්‍රහණ ඉන්පෙර ලබාගත් ඒවාට වඩා බොහෝ වැඩියි. ජනවාර්ගික ප්‍රශ්නය නිවැරදිව කළමනාකරණය නොකිරීම හා බලයට පත් වන විට මෙතරම් වයස්ගතව නොසිටියානම් ජේආර් විසින් මීට වඩා දෙයක් කළ හැකිව තිබුණා කියා මම හිතනවා.

      Delete
  7. ඔබ මේ කියන සියලු දේ පිලිගන්නවා (ගොවීන්, ශිෂ්‍යයන් විසින් රජය/ මහජනයා බ්ලැක්මේල් කිරීම පිටුදැකිය යුතුයි; රජයේ කාර්යක්ෂමතාව වෙනුවෙන් වැඩ කරන ජනතාව දැඩි අරගලයක් කළ යුතුයි; රාජ්‍ය සේවකයා හා දේශපාලකයා වගවිය යුතු ය යන්න දැඩිව අවධාරණය කළ යුතුයි; ව්‍යවසායකයා පිළිබඳ තිබෙන නිශේධනීය ආකල්ප පිටුදැකිය යුතුයි.) මා කලින් කියූ රාජ්‍ය සේවකයන්ගේ සේවය කෙසේ හෝ කාර්යක්ශම තත්වයකට ගෙන ආ යුතුයි යන්නට ඔබ තවත් එකතු කර තිබෙනවා.

    නමුත් මගේ මූලික අදහස වුනේ, රජයේ රැකියා ලබාදීම හෝ විශාල රාජ්‍ය සේවක පිරිසක් නඩත්තු කිරීම ඔබ කියන අධික වියදම පැත්තෙන් පමනක් බැලිය නොහැකියි යන්නයි. මෙමගින් මිනිය නොහැකි, කිසිවෙක් මනින්නට තැත් නොකරන සමාජයීය ප්‍රශ්න ප්‍රමානයක් මගහරවා තිබෙනවා යන්නයි.

    මේ සම්බන්ධ සංඛ්‍යාලේඛන සොයන්න තැත්කලා. හොයාගන්න පුලුවන් වුනේ මෙන්න මේවායි.

    Preliminary Report: Census of Public and Semi Government Sector Employment-2016 =>

    Total number of employees in the Public and Semi Government sector* = 1,117,808 (excluding the staff of three forces)
    *හමුදාවන්ද ඇතුලුව මේ සංඛ්‍යාව ~ මිලියන 1.4 බව ශ්‍රී ලංකා මහ බැංකුව (2017) කියනවා. හොඳයි හමුදාවන්ට අයත් සංඛ්‍යාව අමතක කරමු-විශාල හමුදාවක අවශ්‍යතාවයක් නැහැ.)

    2016 Budget speech =>

    Total (Government) Expenditure (Rs. Billion) =2,153(2015 actual); 2,787(2016 budget)
    Recurrent Expenditure (Rs. Billion) =1,648(2015 actual); 1,928(2016 budget)
    Salaries and Wages including Provincial Councils (Rs. Billion) = 615(2015 actual); 658(2016 budget)
    --
    --

    සංඛ්‍යාලේඛන අනුව රජයේ මුලු වියදම, රාජ්‍ය (සහ සෙමි ) මුලු සේවකයන්ගේ වැටුප් ලෙස යන වියදම වගේ හතර පස් ගුනයක්. මුලු පුනරාවර්තන වියදම ගත්තොත්, රාජ්‍ය (සහ සෙමි ) මුලු සේවකයන්ගේ වැටුප් ලෙස යන වියදම වගේ තුන් ගුනයක්. මම කියන්න යන්නේ සේවක වැටුප් ලෙස යන වියදම සාපේක්ශව විශාල නැහැ කියලයි. ඔබ ඒ ගැන දමන බර වැඩියි කියලයි මට හිතෙන්නේ. මේක සංසන්දනය කරන්න මැති ඇමති වරුන්ට (වැටුප් සමග සහ වැටුප් හැර) වියදම් හොයාගන්න මට හැකිවුනේ නැහැ.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. //මම කියන්න යන්නේ සේවක වැටුප් ලෙස යන වියදම සාපේක්ශව විශාල නැහැ කියලයි.//
      මෙය අඩුද වැඩිද කියන එක සැසඳිය යුත්තේ රජයේ මුළු වියදමට සාපේක්ෂව නෙමෙයි. මේ පිරිස් අතින් සිදුවන ඵලදායී නිෂ්පාදනයට සාපේක්ෂව. රජය විසින් සපයන සේවා සම්බන්ධව මෙය මැනීම අසීරු දෙයක්. කෙසේ වුවත් රජයේ සේවය සඳහා ඇති විශාල ඉල්ලුමෙන් පෙනෙන්නේ විශාල පිරිසකට රජයේ රැකියාවෙන් ලැබෙන වැටුප ඉක්මවන ඵලදායී කාර්යයක් කිරීමේ හැකියාවක් නැති බවයි. පැහැදිලි කිරීම සඳහා උදාහරණයක් ලෙස රුපියල් 40000ක වැටුපක් ගන්න කෙනෙක් කරන ඵලදායී සේවයේ වටිනාකම රුපියල් 25000යි කියමු. මෙයින් අදහස් වන්නේ අදාළ පුද්ගලයා මහන්සි වී වැඩ නොකරන බවම නෙමෙයි. හිට්ලර්ගේ කාලේ වගේ කාට හෝ වලවල් කැපීමට හා නැවත පිරවීමට පඩි ගෙවුවොත් ඔහු මහන්සි වී වැඩ කරනවා. නමුත් එයින් සිදුවන ප්‍රයෝජනයක් නැහැ. දැන් ඔබ කියා ඇති ආකාරයේ සමාජ ප්‍රශ්න විසඳීමක් මේ හරහා සිදුවනවා කියා හිතුවොත් රජයේ රැකියා කියන්නේ සමාජ සංරක්ෂන ක්‍රමයක්. රජයෙන් පිටත සිටින අය එහි බර දරනවා. සමාජ සංරක්ෂන ක්‍රම හා සුබසාධන ක්‍රම වලට මගේ මූලික විරෝධතා නැතත් මේ ආකෘතිය ඒ සඳහා හොදම ආකෘතිය නෙමෙයි. එසේනම් කළ යුත්තේ පාරදෘශ්‍ය ලෙස අර අමතර රුපියල් 15000 විරැකියා දීමනාවක් ලෙස ගෙවීමයි. එසේ නොකර රුපියල් 25000ක වැඩක් කරන කෙනෙකුට රුපියල් 40000ක් ගෙවූ විට තමන් රුපියල් 40000ක වැඩක් කරන බව හිතන්න ඔහු පෙළඹෙනවා. මෙය බලා සිටින රජයෙන් පිටත සිටින රුපියල් 25000ක වටිනාකමක් ඇති දෙයක් කරන කෙනෙක්ට සිතෙන්නෙත් තමන් රුපියල් 40000ක වැඩක් කරන බවයි. ඒ නිසා ඔහුට හිතෙනවා තමන්ගේ මහන්සියට වටිනා යමක් නොලැබෙන බව. එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු ස්වයං රැකියාවක් හෝ පෞද්ගලික අංශයේ රැකියාවක් නොකර ආණ්ඩුවේ රැකියාවක් හොයන්න පෙළඹෙනවා. ව්‍යවසායකයෙකුට ඔහු වෙනුවෙන් වැය කළ හැක්කේ ඔහුගේ සැබෑ වටිනාකම වන රුපියල් 25000 පමණයි. නැත්නම් ඔහුට පාඩුයි. එහෙත් රජයේ රැකියාවකින් රුපියල් 40000ක් ලැබෙන නිසා ඒ මුදලට සේවය කරන්න පිරිස් හොයන්න අමාරුයි. ඒ නිසා ව්‍යවසායකයින් අධෛර්යමත් වන අතර අලුත් රැකියා බිහිවීම නවතිනවා. මෙය චක්‍රයක් සේ නැවත නැවත සිදුවෙනවා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල අවම වැටුප් නියම කර තිබීමේ ඇති ප්‍රශ්නයත් මෙයට තරමක් සමාන එහෙත් වෙනත් ප්‍රශ්නයක්. සුබසාධන හා සමාජ සංරක්ෂන ක්‍රම ක්‍රියාත්මක කළ කිරීම අවශ්‍යනම් එය යුත්තේ සෘජු හා පාරදෘශ්‍ය ලෙසයි. එවිට වෙළදපොල යාන්ත්‍රණය අකර්මන්‍ය වී අකාර්යක්ෂමතා වැඩිවීම සිදුවන්නේ අඩුවෙන්. රජයේ බලපෑම අඩුවන තරමට ප්‍රශ්නය ස්වභාවික ලෙස විසඳෙනවා.

      (ඔබ අවංකවම බුද්ධි කලම්බනයක් කරන්න හදන බව පෙනෙන නිසයි ලියන්නේ. නැත්නම් මගේ අදහස් වෙනත් අය මත බලෙන් පටවන්න මට අවශ්‍ය නැහැ.)

      Delete
    2. ස්තුතියි පැහැදිලි කිරීමට.

      මගේ අදහස ලියාගෙන යනවා

      Dimithri

      Delete
  8. සූරාකෑම ගැන: කලින් ඔබේ ලිපියකට (අප්‍රේල්) ලියන්නට පටන් ගත්ත කොමෙන්ටුවක්, ඒ දවස්වල ඉවර කරගන්න බැරි වුන එකක්.

    සූරාකෑම ගැන රැන්ඩම් තෝට්ස් ටිකක්..

    ඒ කාලේ මමත් වාමාංශික පක්ශ හැම එකකම වගේ (ජවිපෙ ලයින් එකේ ඇර) කරක් ගහලා තියෙනවා මොකක්ද මේ මාක්ස්වාදයේ කියන ආර්ථික විද්‍යාව කියන එක තේරුම් ගන්න. කියන්න කනගාටුයි, එහෙම ඉගෙන ගන්න පුලුවන් සංවාදයක් කොහෙවත් තිබුනෙ නැහැ. (ධනපති පන්තියේ අර්බුදය අර්බුදය, හෙජමොනිය හෙජමොනිය, දෙබිඩ්ඩා දෙබිඩ්ඩා ;-))ජවිපෙ පන්ති පහේ ඊට වඩා දෙයක් තිබුනද කියලා නම් දන්නේ නැහැ. සමහර විට අපට කලින් පරම්පරාවේ ලසසප, කොප හි, ඉහල පෙලේ යම් ඉගැන්වීමක් තියෙන්නට ඇති. මාක්ස්වාදයේ වැදගත්ම සංකල්ප තමයි ලේබර් එක්ස්ප්ලොයිටේශන් - ශ්‍රමය සූරාකෑම සහ ඒලියනේශන් - පරාරෝපනය (එක්ස් කන්ඩායම ඕකට කිව්වෙ වෙන වචනයක් ).

    (පැරා කියනව වගේ) අපි මාකට් එකෙන් බඩු ගන්නකොට වැඩි මුදලක් ගෙවනව, වැඩ කරන ජනතාව රජයට ගෙවන බදු මුදල් රජය වෙනත් පිරිසක් නඩත්තු කරන්න ගෙවනව වගේ එකක් නෙමෙයි මාක්ස්වාදයේ කියන සූරාකෑම.

    මාක්ස්වාදයේ එන, ඔය ධනපතියා කම්කරුවාගේ ශ්‍රමය සූරාකන එක මම සරලව තේරුම් අරන් තියෙන්නෙ මෙහෙමයි. ධනපතියා වෙනුවෙන් නිශ්පාදනය කෙරෙන භාන්ඩයක, ඒ සඳහා වැඩකරන කම්කරුවකුගේ ශ්‍රමය x ප්‍රමානයක් ගැබ් වෙලා තියෙනවායැයි සිතමු. දැන් ධනපතියා කම්කරුවාට ගෙවන්නේ හෙට ඔහුට/ඇයට නැවත වැඩට ඒමට පමනක් ප්‍රමානවත් වන, යන්තම් පන නල ගැටගහගන්න ප්‍රමානවත් වන ගෙවීමක් විතරයි. - කියමු y කියලා. හැම තිස්සෙම x>>>y. දැන්, x-යy තමයි අතිරික්ත ශ්‍රමය එහෙම නැත්නම් ධනපතියා විසින් කම්කරුවාට නොගෙවූ ශ්‍රමය සූරා කෑ ප්‍රමානය. (x,y ඒකක = මුදල් ඒකක) මේක කියන තරම් සරල නැත්තේ අපි බලන්න ඕනේ ඇවරේජ් වලින්. මාස් හෝල්ඩින් එකේ එහෙම නෙමෙයි, හොඳට කම්කරුවාට ගෙවනවා කිව්වට මේ තියරිය කඩාවැටෙන්නේ නැහැ.

    ඕකෙ තියෙනවා තව සංසිද්ධියක්, ධනපතීන් අතර තරඟයේදී, ධනපතියාගේ ලාභ රේට්ටු නිරතුරුව පහල යෑම. මේක ගනිතමය වශයෙන් පැහැදිලි කිරීමක් තියෙනවා නික් බීම්ස් ගේ පොතක (මට මතක විදියට මාක්ස්වාදය සහ නිශ්පාදනය භූගෝලකරනය? - කොහොම කලත් ඒ සරල සමීකරන නම් මට තේරුනේම නැහැ.) ඉතින් මේ කියන ලාභ රේට්ටු පහල යෑම නිසා තමයි ධනපතික්‍රමය අනිවාර්ය අර්බුදයකට ගොස් බිඳ වැටෙනවායැයි කියන්නේ. ඔය මම තේරුම් ගත්ත ඔක්කොම.

    මට තිබුන ප්‍රශ්න තමයි ධනපතික්‍රමය අනිවාර්ය අර්බුදයකට ගොස් බිඳ වැටෙනවායැයි කියන කතාව දැන් දශක, ශතවර්ශ ගානක් කියනවා. එහෙම වෙන බවක් පේන්න නැහැ.

    හේතුව පැරා කියනවා වගේ මේ කම්කරු පන්තිය කියන අර්ථ දැක්වීම දැන් සම්පූර්නයෙන්ම වෙනස් වී ඇති බව කියලයි.

    විහිලුවට වගේ කිව්වොත්, මාක්ස්වාදය නැවත "සංඝායනාවකට" ලක් වියයුතුයි. අද තත්වයට නොගැලපෙන ගතියක් තියෙනවා. මම දන්නේ නැහැ යුරෝපයේ දාර්ශනිකයන් මේ නැවත අර්ථ දැක්වීම සිදුකරලද කියලා. නමුත් ලංකාවේ මාක්ස්වාදීන් නම් පරන එකම තමයි අල්ල ගෙන ඉන්නෙ.

    අනිත් එක මාක්ස්වාදයේ කියන ආර්ථික විද්‍යාව අනුව ධනපති පන්තිය කඩා වැටීම යුනිවර්සල් සත්‍යයක් නම්, අපි සමාජවාදය සඳහා දීර්ගකාලීනව වැඩ කරන ගමන්, කෙටිකාලීනව සමාජ ජයග්‍රහන, විද්‍යා ක්ශේත්‍රයේ ජයග්‍රහන සඳහාත් (ධනපති පන්තිය යටතේ) දායක වීම වැරැද්දක් නොවිය යුතුයි. නැතිනම් වටිනා නිර්මානශීලී ජීවිත පලරහිතව අපතේ යනවා.

    - Dimithri

    ReplyDelete
    Replies
    1. Dimithri,

      //
      මට තිබුන ප්‍රශ්න තමයි ධනපතික්‍රමය අනිවාර්ය අර්බුදයකට ගොස් බිඳ වැටෙනවායැයි කියන කතාව දැන් දශක, ශතවර්ශ ගානක් කියනවා. එහෙම වෙන බවක් පේන්න නැහැ.
      //

      එහෙම නොවෙන්නේ මේ ධනපති ක්‍රමය තුල වාමාංශික ක්‍රමයකුත් තියනවා
      උදාහරණයක් ගත්තොත් බංකොලොත් වීමට වැඩකළ විශාල බැංකු වලට ඇමරිකානු රජය මුදල් යොදවනවා.

      https://www.forbes.com/sites/mikecollins/2015/07/14/the-big-bank-bailout/#49f0f1892d83
      සාමන්යෙන් ධනවාදයේ සිදුවෙන්නේ අකාර්යක්ෂම වියාපාර බංකොලොත් වීමට සලස්වා කාර්යක්ෂම වියාපාර අක්ර්යක්සම වියාපරවල වත්කම් අත්පත්කර ගැනීමයි නමුත් දැන් සිදුවී ඇත්තේ කාර්යක්ෂම වියාපාර වලින් ලබාගන්න බදුමුදල් අක්ර්යක්ෂම වියාපර නගසිටවිමය දීමයි මේකට තමයි කියන්නේ
      capitalism for the poor and socialism for the rich!!

      ලෝකයේ ආර්ථික ක්‍රම ගැන බැලුවහම වාමාංශික සහ දක්ෂිනාන්සික ක්‍රම යොදල ක්‍රියාත්මක වෙන දියුණු සමාගම් තියනවා
      සපන්යේ 7 වෙනි විශාල ආයතනය වන Mondragon Corporation සමුපකාරය මෙවැනි එකක්,

      සරලව කිව්වොත් පසුගිය ආර්ථික අවපාතය පවතී කාලයේ කිසිවෙකුගේ රැකියාවක් නැතිකිරීමට උවමනා නුවුනේ ඔවුන් තම සේවකයන් වෙනත් රැකියාවලට පුරුදු කරලා වෙනත් රැකියාවල් ලබාදුන්නා නිසයි මෙය තරමක සංකීර්ණ ක්‍රමයක් නමුත් ශ්‍රී ලංකාවේ මෝඩ වමන්ශිකයන් ට මේගැන කිසිම අවබෝදයක් නෑ

      Delete
  9. ඔය මුකුත් ඕනේ නෑ පැරා මොන ජොබ් එක කලත් එක අඩුපාඩුවක් නැතිව කාර්යක්ෂමව ඉක්මනට කරනවානම් රට ගොඩ. කරන්නනම් වලේ කරන්නේ නැතිව! පාසල් කලේ පටන් කරනවානම් මොනවද කරන්න බැරි?

    සයිටමය ගත්තත් කියන්නේ එකේ ප්‍රමිතියක් නැකිලානේ ඉතින් කරන අය එක ප්‍රමිතියක් ඇතුව කරානම් හෝ කරලා පෙනුවනම් අවුල් නැනේ

    ReplyDelete
  10. වෙනස් කල නොහැකිවෙද
    මෙ ජන විඥානය
    ජනවාරි අට වෙනිද
    හරියටම කලා මෙන්

    පෙළ ගැහෙමු
    එකා මෙන්
    විස්සයි විස්සෙදිත්
    චන්ද පත කුරුටුගා
    බලය අවලංගු කර
    පන්නන්න හොරු රැලම
    දියවන්නා ඔයෙන්

    රවී සහ කිරිඇල්ල
    කුමට මේ ගොම ඇල්ල
    දයාසිරි මෙන් කවට
    රාජිතද ගෙන එකට
    එතනෝල් ජොන්ස්ටන්
    බේරුවල රත්තරං
    මුතූහෙට්ටි ගාල්ලෙන්
    ජෝන වත්තල පුරෙන්
    වෙල්ලස්ස නිගාකල
    මහින්දානන්දයෝ

    ගෙදර යැව්වොත්
    මෙ සැම
    ඉතිරි උන්වත් හැදෙයි

    ReplyDelete
  11. You post good. But some things to tell. We socalism people put forse to garment do hard work and do fair to work class people. But we no tell garment to make the garment small and shink. Socalism to go victary big garment need that stong. We must give power garment, garment must protet and give hight priority to workers.

    ReplyDelete
  12. I met a uk born white man yeaterday and he discussed few issues wit me. 1. Why do government do business in sri lanka. As per him the government shohld only set policies so that employer cant not exploit their employees . And do politicians do business. As per him in uk if a one wants to do politocs his business has to be placed on a truat otherwise people wont vote for him. What realized from that is as voters we are a atulid nation. We dont demand what we want. We let a bunch of groons rum th country. May b we who doesnt not possess any intelectual capacity should not hv th roght to vote ?

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.