2017-07-21

ගූ දේශපාලනයට ගූ නොවන විසඳුම කුමක් ද?

මෙය ගූ බෙටි හැඩැති චොකලට් එකකි. ලංකාවේ දේශපාලනය චොකලට් හැඩය ගත් බලු බෙට්ටකි.
ගූ යනු ගූථ යන පාලි පදයෙන් තත්සම වන සිංහල වදනක් නිසා එය අසභ්‍ය යයි නො සිතන්න. ගූථපාන ජාතකය මෙතනින් බලන්න. 

මාතලන්ගේ පහත සඳහන් සටහන දැක මෙය ලියන්නට සිත් විය.

//මේ ආන්ඩුව ගූ ගොඩක්ය
එහෙත් විකල්පය ගූ කන්දක් වන රාජපක්ෂලා නම් නොවේ....
අනේ මොකෙක් හරි මේ රට ආක්කරමනය කරහන්කෝ...//

මා ඔහුට දුන් පිළිතුර මෙසේ ය:

//රාජපක්ෂලාට ද විකල්ප වෙන්නට හදන අය ඊට වඩා ගූ ගොඩවල් ය. ලංකාවේ පවතින දේශපාලනය දැවැන්ත ගූ ගොඩකි. ඒ නිසා විකල්ප සෙවිය යුත්තේ වෙනස් දේශපාලනයකිනි. පාරේ ගූ ගොඩක් දුටු විට අප කරන්නේ කුමක් ද? එය මගහැර අපේ ගමන යාමයි. ලංකාවේ පවත්නා දේශපාලනයට විකල්ප දේශපාලනය ද එයයි.//

මේ හදන්නේ ඒ කෙටි පිළිතුර දිගු කර ලියන්නට ය.  

ඇත්තට ම ලංකාවේ දේශපාලනයට විකල්පය මේ ගූ කතාවෙහි ම තිබේ.

ලංකාවේ ගූ දේශපාලනයට ගූවලින් ම විකල්ප සොයන එක තේරුමක් නැත. සරලව කිව්වොත්, වර්තමානයේ සිටින කිසිදු දේශපාලකයකු හෝ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ හරහා පවත්නා ගැටලුවට විසඳුම් සෙවිය නො හැකි ය. හේතුව ඒවා මේ ගැටලුවේ ම එක එක පැතිකඩ වීම මිස විසඳුම් නොවීමයි.

මුලින් ම ගැටලුව හඳුනාගත යුතු ය. ලංකාවේ ගැටලුව පිළිබඳ පිළිගත් විග්‍ර‍හය වාමාංශික එකකි. එසේ වන්නේ වාමාංශිකයන් එතරම් බලවත් නිසා නොව, ලංකාවේ පවතින මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුක්ත රාජ්‍ය ධනවාදයේ දෘෂ්ටිවාදය වන්නේ මාක්ස්වාදයේ ලෝකල් වර්ෂන් එක නිසා ය.

වාමාංශිකයන් කියන පරිදි ලංකාවේ ගැටලුව ධනවාදයේ ගැටලුවකි. එහි ඇත්තක් ද තිබේ. ලංකාවේ ගැටලුව ධනවාදී රජයේ ආධිපත්‍යය නිෂ්පාදනයට ඍජු ලෙස දායක නො වන, රජයෙන් යැපීම මූලික කාර්යය කර ගත් මධ්‍යම පංතියකට හිමි වීමයි.

මෙය කෙටි කාලයක් තුළ සිදු වූවක් නො වේ. ලංකාව නිදහස ලබන්නේ ම සුබසාධනවාදී රාජ්‍ය රාමුවක් සමගයි. රාජ්‍ය සේවක මධ්‍යම පංතියේ ආධිපත්‍යය තහවුරු වීම ආරම්භ වන්නේ 1956න් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් විසින් කරගෙන යන ලද පෞද්ගලික දේපල රජයට පවරා ගැනීම්, පෞද්ගලික අංශය අධික බදු ආදිය හරහා යටපත් කිරීම, සමුපකාර ව්‍යාපාරය රාජ්‍ය ආධිපත්‍යයට යටත් කර ගැනීම හා දැවැන්ත රාජ්‍ය ව්‍යවසාය ආරම්භ කිරීම වැනි සමාජවාදී පියවර සමගයි. 1977 වන විට ලංකාවට ආර්ථිකය විවෘත නො කර ඉදිරියට යා නො හැකි සිරවීමකට ලක් විය.

එහෙත්, ධනේශ්වර චින්තකයකු වන ජේ.ආර්. ජයවර්ධන පවා මූලික ක්‍ර‍මය වෙනස් නො කළ අතර ඔහු ලංකාව ශ්‍රී ලංකා ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී සමාජවාදී ජනරජය ලෙස යළි නාමකරණ කිරීමක් ද කළේ ය. ඔහු යටතේ ආරම්භ වුණේ සමාන අවස්ථා පිරිනමමින් පෞද්ගලික අංශය දිරි ගන්වන හා රාජ්‍ය අංශයේ පාඩු අවම කර ගන්නා ක්‍ර‍මයකි.

2001 - 2004 සමයේ බලයේ සිටි රනිල් වික්‍ර‍මසිංහ ආණ්ඩුව විසින් පෞද්ගලික අංශය ආර්ථිකයේ එන්ජිම බවට පත් කිරීමටත්, රාජ්‍ය අංශය හකුළුවන්නටත් පියවර ගත් මුත් එයට වැඩි ආයුෂක් තිබුණේ නැත.

2005 - 20014 මහින්ද රාජපක්ෂ දශකයේදී රාජ්‍යය පුපුරන්නට කිට්ටු තරමට ප්‍ර‍සාරණය විය. එසේම, එහි අකාර්යක්ෂමතාව ද වර්ධනය විය.

වර්තමානය වන විට රනිල් වික්‍ර‍මසිංහ ද මධ්‍යම පංතිය විසින් මෙල්ල කර ගන්නා ලද පාලකයෙකි. 

ලංකාවේ වැඩ කරන ජනතාවට හා ව්‍යවසායකයන්ට මුහුණ දීමට තිබෙන ප්‍ර‍ශ්න විසඳීම පිණිස කටයුතු කරනවා වෙනුවට වත්මන් රජයට ද දෛනිකව මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ මධ්‍යම පංතික මජර ඉල්ලීමි හා සම්බන්ධ ගැටලුවලට ය. 

එහිදී ඔවුන් ද කටයුතු කරන්නේ මේ ආත්මාර්ථකාමී සමාජ තීරුව සතුටු කරන්නට ය. එයට මූලික හේතුව අන් කිසිවක් නොව ඔවුන් ද අයත් වන්නේ එයට  ම වීමයි. ආණ්ඩුව මහජන මුදල් ගසා කයි. ඉහළ වැටුප්, බදු සහන, නාල නිවාස, යාන වාහන ආදී වරප්‍ර‍සාද රැසක් ඔවුහු මහජන මුදලින් පැහැර ගනිති. රජය මත පදනම් වන මධ්‍යම පංතිය ඉල්ලා පොළවේ හැපෙන්නේ මහජන මුදලින් ඔවුන්ගේ පංගුවයි. 

ලංකාවේ සත්‍ය දේශපාලන ගැටලුව වන්නේ, තමන්ට අවම සේවාවක් පමණක් සපයන, මේ දැවැන්ත අකාර්යක්ෂම ආණ්ඩුව හා රජය උසුලාගෙන සිටීමට මහජනතාවට දරන්නට සිදු වී තිබෙන බරයි. 

මෙයට විසඳුම ආණ්ඩු මාරු කිරීම නො වේ. එහෙත්, අවුරුදු පහෙන් පහට හෝ ආණ්ඩු මාරු කිරීම නරක දෙයක් නො වේ. ඒ ඔස්සේ මෙකී රාජ්‍ය ක්‍ර‍මය වෙනස් කිරීම සඳහා යම් පියවර ගැනීමට ආණ්ඩු මත පීඩනය හෝ පවත්වාගෙන යා හැකි ය. 

මහජනතාවට සහනයක් ලැබෙන්නේ මූලික වශයෙන් නියාමනය සිදු කරන, ප්‍ර‍මාණයෙන් කුඩා නිසා මහජනතාව පිට පැටවෙන බරින් අඩු, මීට වඩා කාර්යක්ෂම රජයක් බිහි කර ගැනීමෙනි. ඒ වෙනුවෙන් ආණ්ඩුව මත පීඩනය පවත්වාගෙන යා යුතු ය. ඒ හැර ආණ්ඩුව මෙන් ම රජය ද දූෂණයෙන් තොර එකක් වනු ඇතැයි සිතීම මුළාවකි. දූෂණය ඒවායේ ඓන්ද්‍රිය ලක්ෂණයකි. 

ආණ්ඩුව හා රජය සම්බන්ධයෙන් අපට ඇති ගැටලුව එය අසූචි කන්දක් බවට පත් වී තිබීමයි. එය බලු බෙට්ටක් තරමට කුඩා කර ගන්නවා නම් අපට නහය වසාගෙන අයින් වෙලා පයින් යා හැකි ය. 

ආණ්ඩුවටත්, එහි ආධිපත්‍යය හිමි මධ්‍යම පංතියටත් ඒ බලු බෙට්ටට කැමති දෙයක් කර ගන්නැයි කියන්නට අපට පුළුවන්. 

ව්‍යවසායකයන්ටත්, වැඩ කරන ජනතාවටත් ආණ්ඩුවෙන් හෝ රජයෙන් ඇති ලොකු සෙතක් නැත. අප වැඩ කළොත් අප කනවා ය. රජය නිසා වී තිබෙන්නේ අපට හම්බ කරන තුට්ටු දෙක නිකමුන් පිරිසක් නඩත්තු කිරීමට වැය කරන්නට සිදු වී තිබීමයි.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-19

පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙන වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුත්තේ ඇයි?

කොළඹ කොලේජ් බේබිලාට ගැහැනුන් පෙනෙන හැටි 
තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද නිපුණතා තරගයේ අද සවස ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණ සම්මාන හා තෑගි බෙදා දීමේ අවස්ථාව නරඹන්නට යන්නට සිදු වුණා, රාජකාරි අවශ්‍යතාවක් එක්ක.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනය පිරී ඉතිරී ගොස් තිබුණේ එක වගේ ටී කමිස, කැප් තොප්පි දාපු තරුණ පිරිසකගෙන්. ඒ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ඇති වෘත්තීය පුහුණු ආයතනවල ඉගෙනුම ලබන සිසුන් වෙන්නට ඇති.

මෙහි සම්මාන හා තෑගි බෙදා දෙද්දි එක්තරා කරුණක් වෙත මගේ අවධානය යොමු වුණා. එය ජනාධිපතිගේ, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු ඇමති චන්දිම වීරක්කොඩිගේ සහ නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතානගේ විශේෂ අවධානයට යොමු වෙනවා නම් හොඳයි.

සම්මාන දෙද්දි, යාන්ත්‍රික ශිල්පි, වැද්දුම්කරු, ජලනල කාර්මික වැනි කාර්මික අංශ විතරක් නෙමෙයි පරිගණක ග්‍රැෆික් නිර්මාන, දෘඪාංග වැනි ශිල්පයන් සම්බන්ධයෙනුත් පළමු, දෙවන, තෙවන ස්ථාන සියල්ල දිනා ගත්තේ පිරිමි සිසුන්.

සිසුවියන්ට සම්මාන ලැබුණේ කොණ්ඩා මෝස්තර, ඇඳුම් මැසීම, හෙද සහායක වැනි ක්ෂේත්‍රවල විතරයි.

බොහෝ දෙනෙකුට මේ ගැටලුවේ තිබෙන දේශපාලනය ග්‍රහණය වන්නේ නැහැ. මේ වර්තමාන ශ්‍රී ලංකාවේ ශ්‍රම විභජනයේ මූලික ලක්ෂණයක්.

ලංකාවේ කාන්තාවන්ගෙන් සියයට 35ක්වත් ශ්‍රම බලකායෙ නැහැ. ඒ කියන්නෙ රැකියා කරන්නෙ කාන්තාවන්ගෙන් තුන්දෙනෙකුගෙන් එක්කෙනෙකු පමණයි.

රැකියා කරන කාන්තාවනුත් වැඩිපුර යොමු වෙන්නෙ ගුරු වෘත්තිය, ලිපිකාර සේවය, හෙද සේවය, වෛද්‍ය වෘත්තිය, කාර්යාල කටයුතු වැනි රැකියාවලටයි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවා කාන්තා සේවා නියුක්තිය අවමයි.

වර්තමානය වන විට විශ්වවිද්‍යාලවල ඉංජිනේරු හා අලුතෙන් පටන් ගත් තාක්ෂණ පීඨ හැර අනෙක් සියල්ලේ ම සිසුන් අති බහුතරය කාන්තාවෝයි. ඒ වගේ ම අධ්‍යාපන විද්‍යා පීඨවල කාන්තාවන් ප්‍රතිශතය සියයට 80කට වැඩියි.

කාන්තාවන් තාක්ෂණික අංශයේ රැකියාවලට යොමු නො වන්නේ ඇයි?

හොරණ අරමනාගොල්ලේ පිහිටි මරුති සේවා මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ එක් තරුණියක් ඉතා හොඳින් මෝටර් කාර්මික රැකියාවක යෙදී සිටියා.

කාන්තාවන් අතර ව්‍යවසායිකාවන් ප්‍රතිශතය සියයට එකටත් වඩා අඩුයි.

කාන්තාවන් බහුතරයක් රැකියා කරන ගුරු, හෙද, ලිපිකරු වැනි රැකියා ක්ෂේත්‍රවල පවා වෘත්තීය සමිති නායකයන් වන්නේ පිරිමි.

මා මෙහිදී මතු කරන්නට උත්සාහ කරන්නේ දේශපාලනික කාරණාවක්. ලංකාවේ විප්ලව කරන්නට බැහැ කාටවත් මේ තත්වය වෙනස් කරන තාක් කල්.

රටේ ජනගහණයෙන් සියයට 52ක් කාන්තාවෝ. ඒ වුණාට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට හයයි. පළාත් සභාවල සියයට හතරයි. පසුගිය කාලයේ තිබුණු පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය සියයට දෙකයි.

ලංකාවේ නියෝජිත දේශපාලනයේ තිබෙන මේ ගැටලුව ඉතාම කටුක විදියට නිරූපණය කරන්නේ වාමාංශික පක්ෂවල වීම තරම් විහිළුවක් තවත් නැහැ. ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන මේ පක්ෂ දෙකේම සත්‍ය දේශපාලන මණ්ඩල හා මධ්‍යම කාරක සභාවල එකම එක ගැහැනියක්වත් නැහැ. අනෙක් වාමාංශික පක්ෂ, කල්ලි, කණ්ඩායම්වල තත්වයත් එයමයි.

නායකයන් සමග ඇති ලිංගික හා පවුල් සම්බන්ධතා නිසා පක්ෂවලට එකතු වන ගැහැනු ටික දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්නට මේ වාමාංශිකයන් අතර කාන්තාවන්ට තියෙන්නේ බත් තැම්බීම, තේ හැදීම, රතු කමිස මැද දීම, රෙදි මසා හෝ ටීචිං කර හෝ දරු පවුල් නඩත්තු කිරීම වැනි වාමාංශික පිරිමින් විසින් බාල වැඩ ලෙස සලකන කටයුතු පමණයි. න්‍යායික සාකච්ඡා වගේ සිරා වැඩ නම් කාන්තාවන්ට දෙන්නෙම නැහැ. එයාලට පැවරෙන්නෙ ඇවිත් අහන් ඉඳලා යන එක වගේ ඒවා විතරයි.

හැබැයි කොටි සංවිධානය මේ අයට වඩා එක පැත්තකින් ඉදිරියෙන් හිටියා. ඒ ඔවුන් කාන්තා මිලිටරි නායිකාවන් පවා බිහි කළ නිසායි. හැබැයි අවසානයේදී වුණේ කාන්තාවන් මිනිස් බෝම්බ බවට පත් කරන එකයි. 

ඔය ඔක්කොම බොරු ය කියලා අප කියන්නේ ඒ නිසායි.

සමාජය වෙනස් කරන්නට අවශ්‍ය නම්, වැඩ කරන ජනතාව අතර හා විශේෂයෙන් ම කාර්මික වැනි ක්ෂේත්‍ර තුළ කාන්තා සේවා නියුක්තිය ගැනත්, කාන්තා ව්‍යවසායකත්වය ගැනත් විශේෂ අවධානයක් යොමු විය යුතුයි.

දේශපාලන පක්ෂ මුලින් ම ගැහැනුන්ට බිය නො විය යුතුයි. ඔවුන්ට වැඩියෙන් ඉඩ ප්‍රස්ථා ලබා දිය යුතුයි. 

ඔක්කොටම කලින් පූර්ණ කාලීන දේශපාලනයට මුවා වෙමින් වගකීම්වලින් ගැලවෙමින් සිටින වාමාංශික තඩි පිරිමින් රැකියාවලට යැවිය යුතුයි. ඔවුන් පුනරුත්ථාපනය වෙන්නට රැකියාවක් කරන එක ඉතා වැදගත්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-17

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට දුන්නේ ඇයි?

නෙවිල් ප්‍රනාන්දු රෝහල
නෙවිල් ප්‍රනාන්දු රෝහල එහි හිමිකරු විසින් රජයට පවරා දී තිබේ. එය අගෝස්තු 1දා සිට රජයේ ශික්ෂණ රෝහලක් ලෙස සෞඛ්‍ය සේවා ආරම්භ කරනු ඇත. ඉදිරි කාලයේදී රාජ්‍ය - පෞද්ගලික ව්‍යවසායක් බවට පත් වීමට නියමිත සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශික්ෂණ රෝහල ලෙස එය භාවිතාවට ගනු ඇතැයි සිතිය හැකි ය.

දැන් මේ ගනුදෙනුව දෙස ආකාර කීපයකට බැලිය හැකි ය. එක් පිරිසක් මෙයට විරුද්ධ වන්නේ රෝහල නඩත්තු කිරීම රජයට පවරා නෙවිල් ප්‍රනාන්දු එයින් ලාභ ගැනීම තමන් අත තබාගෙන ඇති බව කියමිනි. එය කිරි එළදෙනගේ හිස පැත්ත වෙනෙකෙකුට දී පස්සා පැත්ත ගත් කපටියාගේ කතාව සමග සමපාත කිරීමට ද ඔවුහු උත්සාහ කරති.

නෙවිල් ප්‍රනාන්දු ශූර ව්‍යාපාරිකයෙකු බැවින් ඔහු මේ ගනුදෙනුවෙන් ලාභ ලබන්නට බැරි නම් අඩු ගානේ ජාමෙ බේරා ගැනීමට හෝ උත්සාහ කරනු ඇත. මට නම් එහි වරදක් පෙනෙන්නේ නැත. 


ධනවාදය ධාවනය වන්නේ ලාභය නිසා ය. සමාජ සංවර්ධනයත් සමග ලාභය නියාමනය කර ගැනීමට මිනිස් සමාජයට හැකි වී තිබේ. ලාභය අපරාධයක් නො වේ. අපරාධයක් වන්නේ අසීමිත ලාභයයි.

එහෙත්, මේ වන විට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විධිමත් රාජ්‍ය නියාමනයකට යටත් කර ගැනීමේ හැකියාව ඇති වී තිබේ. එයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හා විශ්වවිද්‍යාල සිසුන්ගේ අරගලවල බලපෑම ඉවහල් වන්නට ඇතැයි අපි පිළිගනිමු. 

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අර්බුදය ලේ පිපාසිතයන්ගේ පාපතර බල දේශපාලන අරමුණු ඉටු කර ගන්නා මාවතට යොමු වී ඇති බව අවබෝධ වීමත් සමග ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිට විශ්වවිද්‍යාල සිසුන් දක්වා පිරිස් මේ වන විට එයින් ඉවත් වෙමින් සිටිති. වෙනෙකක් තබා සිසුන් උසි ගැන්වූ අන්තවාදී බලවේග පවා දැන් මල් වැවීම, මුද්දර එකතු කිරීම, නලින්ගේ කිරිපල්ල අතගෑම වැනි වෙනත් විනෝදාංශවලට යොමු වී තිබෙන බව පෙනේ.

සාමාන්‍යයෙන් ලංකාවේ දේශපාලන ආධිපත්‍යය දරන මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදීමය පදනම සපයන මාක්ස්වාදය විසින් සමාජයට හුරු කර තිබෙන්නේ ව්‍යවසායකයා යනු විනාශ කළ යුතු ධනපතියෙකි ය කියා සිතන්නට ය. ඔවුන්ට අනුව, සංවර්ධනය විය යුත්තේ ඔවුන් ම ධනපති යයි කියා හඳුන්වන රජය පමණි. ඔවුන්ට අවශ්‍ය රජය හැම දෙයට ම මැදිහත් වීම ය. සිල්ලර වෙළඳාමේ සිට, බස් කෝච්චි දිවීම, බැංකු, ගුවන් සේවා, පුක පිහින කඩදාසි හැදීම, අත පිහින රෙදි විවීම වැනි හැම දෙයක් ම රජය කළ යුතු යයි ඔවුහු සිතති. එසේම, අනිවාර්ය අධ්‍යාපනයේ සිට, උසස් අධ්‍යාපනය, චිත්‍රපටි නාට්ටිකාරයන්ට අත දීම, ගොවියන්ට ඔක්කොම දී අස්වැන්නත් මිළ දී ගැනීම, කට්ටඩියන්ට හා හොර වෙදුන්ට සම්මාන දීම, වැද්දන් අහිගුණ්ටිකයන්ගේ සමාජ පසුගාමිත්වය රැක ගැනීම දක්වා සියලු දේ රජය කළ යුතු යයි ද ඔවුහු සිතති.

මධ්‍යම පංතිය එහෙම හිතන්නේ නිකම් නො වේ. රජය මේ බැරි මගුල් ඔක්කොම භාරගෙන කරන්නට යන විට ඔවුන්ට නිකම් සිට හෝ අඩුවෙන් වැඩ කර හෝ බදු මුදලින් පඩි ගත හැකි රජයේ රස්සා ලබා ගත හැකි ය.

අනුපානෙට කරන ඊනියා මහජන සුබසාධනයට මුවා වෙමින්, ප්‍රධාන කාර්යය ලෙස මධ්‍යම පංතිය නඩත්තු කිරීම කරන රජය පවත්වාගෙන යා හැක්කේ මේ රටේ වැඩ කරන ජනයා බදු ගෙවනවා නම් පමණක් බවවත් තේරුම් ගැනීමේ හැකියාවක් මේ අඳබාල ඊනියා මාක්ස්වාදීන්ට නැත. කම්කරුවන් පවතින්නට නම් ව්‍යවසායකයන් සිටිය යුතු ය.

ලංකාවේ මාක්ස්වාදීන්ට ව්‍යවසායකයන් වහකදුරු වැනි ය. ඔවුන් ව්‍යවසායකයන් දෙස බලන්නේ ම ධනපති භංග වේවා කියාගෙන ය. එහෙත්, ව්‍යවසායකයා ද කම්කරුවා හා මධ්‍යම පංතිකයා සේ ම හොඳ හෝ නරක දෙක ම විය හැකි තවත් මිනිසෙකි. සමාජය කළ යුතුව තිබෙන්නේ මිනිසකුට හොඳ මිනිසකු වන්නට උදව් කිරීම හෝ අඩු තරමේ නරක මිනිසකු වීම වැළැක්වීමයි.

ලංකාවේ වාමාංශිකයන් විසින් ප්‍රතිගාමී ධනපතියන් ලෙස හඳුන්වන ලද කොතලාවල වැනි අය විසින් රජයට දෙන ලද දේපල අදත් පොදු යහපත සඳහා භාවිතා වේ. වාමාංශික ධනවතුන් විසින් වමේ පක්ෂවලට දුන් දේපලවලට සිදු වී ඇත්තේ කුමක් ද යන්න ඇස් ඇර බලන්න. ඒවා මේ වන විට එක එක කපටින් විසින් පවුල් දේපල බවට පත් කරගෙන තිබෙනවා පමණක් නොව, කාලකන්නි, දොම්නස් ස්ථාන බවට ද පත් කර ඇත. 

නෙවිල් ප්‍රනාන්දු දෙස අප නම් බලන්නේ මේ අතීත අත්දැකීම් මත පදනම්ව මිස වම විසින් ප්‍රවර්ධනය කරන ව්‍යාජ පංති වෛරයෙන් හෝ රාජිත සේනාරත්න කියන තරම් මහා ගෞරවයකින් ද නො වේ.  

ලංකාවේ කම්කරු පංතික විප්ලවයක් සිදු වීමේ කිසිදු හැකියාවක් නැත. එයට මූලික හේතුව ලංකාවේ පවතින්නේ මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් විකෘති සමාජවාදී රාජ්‍ය ධනවාදයක් නිසා ය. මෙය හරියට ම හඳුනාගෙන විග්‍රහ කළ දේශපාලනඥයා ජේ.ආර්. ජයවර්ධනයි. ඔහු ලංකාව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය ලෙස නම් කළේ ඒ වන විට පැවති දැවැන්ත රාජ්‍ය ධනවාදය පිළිබඳ මනා අවබෝධයකිනි. ආර්ථිකය විවෘත කරමින් පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් මුත් ඔහු මේ රාජ්‍ය ධනවාදී සමාජවාදී ආර්ථිකය ද අතහැරියේ නැත.

සිරිමාවෝ බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රීලනිප - සමසමාජ - කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී රජයෙන් පසු රාජ්‍ය ධනවාදය උපරිම තලයකට ගෙන ආවේ මහින්ද රාජපක්ෂයි. ඔහු රාජ්‍ය අංශය ප්‍රසාරණය කළේ දැවැන්ත මධ්‍යම පංතියක් ගොඩනගමිනි. උඩ එවුන්ට තීරු බදු රහිත කාර් ද යට එවුන්ට නිකං වගේ මෝටර් සයිකල් ද දුන්නත්, නිකං කෑම පත්තියන් වී සිටින මේ මධ්‍යම පංතිය සතුටු කළ නො හැකි ය. වත්මන් ආණ්ඩුව රුපියල් දහදාහක පඩි වැඩි වීමක් දුන්නත්, තවමත් මේ මධ්‍යම පංතිය වැඩ කරන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි පක්ෂවලට පැවරෙන්නේ මේ අලස මධ්‍යම පංතියට අවශ්‍ය න්‍යාය සම්පාදනය කර දීමයි. ඒ අනුව, බදුත් නො ගෙවා, සියල්ල නිකනුත් දෙන ගාඩියන් ඒන්ජල් හෙවත් භාරකාර සුරංගනාවක් පිළිබඳ සිහිනය සම්පාදනය කරමින් මධ්‍යම පංතිය චූන් කිරීම ඔවුන් දිගට ම කරනු ඇත.

ලංකාවේ කම්කරු පංතියට කිසිදු පංති විඥානයක් නැත. ඔවුන් සිතන්නේ තමන්ගේ විමුක්තිය තිබෙන්නේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිකයකු වීම තුළ ය කියා ය. ලංකාවේ වම්මු කම්කරු පංතියට ලබා දී තිබෙන අධ්‍යාපනය එයයි. ලංකාවේ කම්කරු පංති විප්ලවයක් සිදු වීමේ හැකියාව මේ මොහොතට අදාළව අවම බව අප කියන්නේ ඒ නිසා ය.

කම්කරු පංතික විප්ලව සිදු නො වුණත්, ලාංකීය සමාජයට සංවර්ධනය වන්නට බැරිකමක් නැත. ඒ සඳහා ප්‍රවේශ දෙකක් තිබේ. එක පැත්තකින් ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කළ යුතු ය. අනෙක් පැත්තෙන් දැනුම, කුසලතා, ආකල්ප පැත්තෙන් දියුණු වන වැඩ කරන ජනතාවක් ගොඩනැගිය යුතු ය.

මධ්‍යම පංතිය සම්බන්ධයෙන් කීමට ඇත්තේ මෙයයි. එය පදනම් කරගෙන දේශපාලනය කරන අයට මේ රටට කිසිදු සාධනීය මෙහෙයක් තවදුරටත් ඉටු කළ නො හැකි බැවින් මාක්ස්වාදය පීඩිතයන්ට අරගල කරන්නට නම් ෂෝක් මෙව්වා එකකි වැනි අලුත් ආතල් එකකට පිවිසීම සුවදායක ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-15

නීතිය හා වෙනස හෙමින් නමුත් ක්‍රියාත්මක වෙමින් තිබේ

ලූලා ද සිල්වා 
බ්‍රසීලයේ ජනප්‍රිය ජනාධිපතිවරයකු ලෙස දෙවරක් ධුරය ඉසිලූ ලූලා ද සිල්වාට අවුරුදු නවයහමාරක සිර දඬුවමක් නියම වී තිබේ. ඒ දූෂණ චෝදනා සම්බන්ධයෙනි. 

ලංකාවේ ඉන්නේ ලූලා නැති වලට පණ්ඩිතයන් වූ කනයින් හෙවත් නායකයන් නැති නිසා නායකයන් වූ අයයි. ගිය ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් නායකයින් සෑම කෙනෙකුම පාහේ දූෂණවලට සම්බන්ධ ය. 

එපමණක් නොව, රජයේ නිලධාරීන් සෑහෙන පිරිසක් ද මේ දූෂණවල හවුල්කාරයෝ ය. 

ලංකාව මුල සිට අග දක්වා ම කුණු වුණ දූෂණයකි. එහෙත්, දූෂණය සම්බන්ධයෙන් ආණ්ඩුවට විතරක් බනින්නට කවුරුත් කැමති ය. ඒ අදහස පවා පරම දූෂිත එකකි. 

විශේෂයෙන් ම ආණ්ඩුවට දූෂණය පටවා සුද්ද වෙන්නට උත්සාහ දරන දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තීය සමිති, මාධ්‍ය ආදිය රජයටත් වඩා දූෂිත ය. 

ආණ්ඩුව දූෂණයෙන් ගලවා ගැනීම සෑම මැතිවරණයක ම මූලික පොරොන්දුවක් වූ මුත් කිසිදු දේශපාලකයකුට අාණ්ඩුව නොව, අඩු තරමේ තමන්වත් දූෂණයෙන් ගැලවී සිටීමට බැරි විය. වර්තමාන ආණ්ඩුව පැටලුණු මහ බැංකු බැඳුම්කර වංචාව වැනි සිදුවීම් සම්බන්ධයෙන් දැන් විමර්ශන සිදු වෙමින් තිබේ.

එහෙත්, පසුගිය ආණ්ඩුවේ නායකයන්ගේ දූෂණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම මේ ආණ්ඩුවේ සිටින ඩීල්කාරයන් විසින් වළක්වා ඇති බවක් පෙනේ. 

එහෙත්, මේ රැකවරණය රජයේ නිලධාරීන්ට ලැබෙන්නේ නැත. මහින්ද රාජපක්ෂගේ දේශපාලන බලය පාවිච්චි කර නීතිපති ලවා නඩු ඉවත් කරවා ගන්නට කාදර්ලාට, චන්දන කත්‍රිආරච්චිලාට හැකි වුණත් රජයේ නිලධාරීන්ට එවැනි වරප්‍රසාද ලබා ගැනීම අති දුෂ්කර ය. හිටපු ඇමති මිල්රෝයි ප්‍රනාන්දුගේ බිරියට මරණීය දණ්ඩනය ලැබී තිබියදීත් මහින්දගෙන් ඇය වෙනුවෙන් සමාවක් ලබා ගන්නට හැකි විය. එහෙත්, කිසිදු රජයේ නිලධාරියෙකුට එවැනි අවස්ථාවක් ලැබේදැයි අපි නො දන්නෙමු. 

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගගේ සිට ම රජයේ නිලධාරීන්ට අධිකරණය හමුවේ සිය නිර්දෝෂීභාවය ආරක්ෂා කර ගැනීමේ අභියෝගයට මුහුණ දෙන්නට සිදු වී තිබේ. 

අලුත්ම ඩබල හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඩී.කේ.පී. දසනායක හා නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහයි. දසනායකට චෝදනා එල්ල වී තිබෙන්නේ කප්පම් ගැනීම සඳහා තරුණයන් 11දෙනෙකු කොළඹදී පැහැරගෙන ඝාතනය කිරීමට උදව් කිරීම සම්බන්ධයෙනි. ඒ සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාගේ නම ද ගෑවී ඇත. 

නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට චෝදනා එල්ල වී තිබෙන්නේ යාපනයේ සමූහ ඝාතනයට ලක් කර මරා දමන ලද විද්‍යා සිසුවිය එම අපරාධයට ලක් වන අයුර වීඩියෝ කළ බව කියන ස්විට්සර්ලන්ත පුරවැසියකු වන ලාංකික සම්භවයක් ඇති දෙමළ ජාතිකයකුට රටින් පැන යන්නට උදව් කිරීම සම්බන්ධයෙනි. 

පේදුරුතුඩුවේදී අණ නො තකා ධාවනය කළ බව කියන වැලි ට්‍රක් රියදුරකු වෙඩි තබා ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල්වරයකු ද රිමාන්ඩ් කරන ලදී. වෙඩි තැබූ උප පොලිස් පරීක්ෂක දෙමළ ජාතිකයකු නො වුණි නම්, කියන්නේ වෙන කතාවකි. කොස්තාපල් මුස්ලිම් ජාතිකයෙකි. 

මෙවැනි ම වෙඩි තැබීමක් නිසා පසුගිය ඔක්තෝබරයේදී යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් දෙදෙනෙක් ද මිය ගිය හ. එහිදී ද වෙඩි තබා තිබුණේ දෙමළ පොලිස් නිලධාරියෙකි. 

දේශපාලනඥයන්ට මෙන් ම රජයේ නිලධාරීන්ට ද එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක විය යුතු ය. ආණ්ඩුව හා රජය විනයගත කළ හැක්කේ එසේ ය. 

මේ හැම කෙනෙකු ම වැරදිකරුවන් නො වන්නට පුළුවන. ඇතැම් විට වැරදිකරුවන් වුණත්, නීතිය ඉදිරියේ ඔවුන් නිදහස් වන්නට පුළුවන. තමන් කළ කී දේ ගැන තමන්ගේ හෘදය සාක්ෂිය දන්නවා ඇත. 

බූරු ගැසුවත් එක ය. බූරු පිටියේ බකං නිලාගෙන හිටියත් එක ය. මූලිකව ම තමන්ගේ නම ආරක්ෂා කර ගැනීම රජයේ නිලධාරීන්ගේ වගකීමකි. 

දේශපාලකයන් යනු හදන්නට බැරි පිරිසකි. ඉදිරියේදී හෝ බලාපොරොත්තු තැබිය හැකි කිසිදු දේශපාලකයකු මේ රටේ නැත. ඉන්නවා නම් නිර්භයව නම කියන්නැයි මම මීට පෙර ද අභියෝග කළෙමි. කිසිවෙකු ඒ අභියෝගය භාර ගන්නට ඉදිරිපත් වූයේ නැත. 

සියල්ල අප බලාපොරොත්තු වන තරම් හොඳින් සිදු වන්නේ නැත. එහෙම වෙනවා නම්, අප අතර සිටින වැඩිදෙනෙකු ද හිරේ යා යුතු ය. හැබැයි යමක් සිදු වෙමින් තිබේ. ඒ සිදු වන දෙයෙහි වැදගත්කම අප අවබෝධ කර ගත යුතු ය. ඒ වෙනස ඇති වූයේ පසුගිය සමය තුළ ලංකාවේ රාජ්‍යය තුළ, අධිකරණය තුළ, පොලිසිය තුළ ඇති වූ යම් වෙනස්කම් නිසා ය. කුහක නොවී ඒ වෙනස ඇති කළ මිනිසුන් දිරි ගැන්විය යුතු ය. ඒ වෙනස වර්තමාන ආණ්ඩුවට පවා අභියෝගයක් වන තැනට වර්ධනය කළ යුතු ය.   

ලංකාව දූෂණයෙන් හා අපරාධවලින් මුදා ගැනීම ආණ්ඩුවෙන් පටන් ගන්නට බලා සිටින, ආණ්ඩුව එහෙම කරනවා නම් අපි මෙහෙම කළාම මොකදැයි අසන අඳබාලයන්ගේ හඬ නො අසන්න. දූෂණය දුරලීම පටන් ගත යුත්තේ අපෙන් ම ය.

අපි අපේ වගකීම ඉටු කරනවා ද? අපි අපෙන් ම අසමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-14

දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න

අපේ දිවවලට වැඩියෙන් ම පැණිරහ දැනුණු කාලෙ තිබුණෙ සිරිමා බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී ආණ්ඩුව. කියන්න ඕනැ නැහැනේ. සීනි රාත්තල සත 72ට දුන්නෙත් කූපන් එකට. ඒ කාලෙ අල්ලට සීනි කාලා තමයි වැඩිදෙනෙකු තේ බිව්වෙ. රටඉඳි මදුලක් එක්ක වුණත් තේ බොන එක ඒ දවස්වල ලක්සරි වැඩක්. 

රටඉඳි කිව්වම මතක් වුණේ මේ මෑතක් වෙනකල් ම ඕවා විකිණුවේ හද්දා ජරාවට. මට මතක් වෙනවා මේ 21වන සියවස කිට්ටු වෙනකල් ම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් ගාව දූවිලි වැදි වැදී, මැස්සන් වහ වහා ඕවා විකුණපු හැටි. 

හැත්තැ ගණන්වල රට ඉඳි ගැන හිතාගන්න පුළුවන් නේ. අපි පෝලිමේ ගිහින් එක්කෙනාට කාල ගානෙ දුන්න පාන් අරන් ඇවිත් ගුල්ලන් ගැන ගැන තමයි ඒවා කෑවෙ. ඒ කාලෙ අපි ඔය ගුල්ල කියන සතා පිටි ආහාරවල ම කොටසක් විදියට තමයි සැලකුවේ. 

ඇල්ටේසන් බල්ලා
බනිස් ගෙඩිය ගිල්ලා
ඒකෙ හිටිය ගුල්ලා
ඒකට කෙළ ගිල්ලා

ඒ කවියත් ඒ කාලෙ හැදුණු එකක්. 

මට කියන්න ඕනැ වුණේ වෙන වාක්කියක්. පොඩි කාලෙ අපි වලිවලදි අනෙක් පැත්තෙ එකාට කියන්නෙ “දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න," කියලායි. ඒ කියන්නෙ ඒ වගේ හීනි රැළි වෙලා යන්න තමයි හොම්බට අනින්නෙ.

බොම්බයි මොටයි මාමා කියන්නෙ ඉඳ හිට පටු මාවත් දිගේ පිත්තල සීනුවක් හඬවමින් ගිය රසබර චරිතයක්. තහඩුවලින් හදපු, වටේට වීදුරු අල්ලපු, උඩින් රවුම් මූඩියක් තියෙන, කොක්කකින් අතේ එල්ලගෙන යන පෙට්ටියේ තමයි බොම්බයි මොටයි තිබුණෙ. 

ඒවට සමහරු සීනි පොල් කොහු කියලාත් කිව්වා. සමහර විට බොම්බයි මුටයි කියන වචනෙ හරි ඇති. හැබැයි, ගම්වල අපි දැකපු මොටයි ජාති තිබුණා මේ වගේ. විශේෂයෙන් ම බිත්තර වී දියේ දාලා තියලා, ගොඩට අරගෙන, බර තබා තියලා, වපුරන දවසට කලින් දවසේ හවස උණුහුමට උණුහුමේ කැට කඩනකොට ඒවායෙන් ඇදලා තිබුණ සුදුපාට මොටයියනුත් මේ වගේ නිසා අපට බොම්බයි මොටයි කියන්න හේතුවක් තිබුණා.

බාබර් සාප්පුවේ බිම වැටිලා තියෙන කෙස් ගුලි වගේ සියුම් කෙඳි සහිත බොම්බයි මොටයි රෝස පාටයි. ඒකෙ හරි මිහිරි සුවඳකුත් තිබුණා. සත පහක දහයක බොම්බයි මොටයි දාලා දෙන්නෙ පරණ කොපි පොත්, පෙළ පොත් කඩදාසියකට. ඒ සීනි පොල් කොස්සෙන් කොනක් කඩලා කටට දාගත්ත සැණින් දියවෙලා දිවේ ඉඳලා උණ්ඩුක පුච්ඡය දක්වා ම රස නහර සියල්ල පිනා යනවා මෙයා. 

සමහර බොම්බයි මොටයි මාමලා නයිස් කියලා රෝස පාට, කහ පාට තුනී, පැතලි, රවුම් කඩදාසි වගේ කෑමකුත් විකිණුවා. ඒක බොම්බයි මොටයි තරම් ම පැණිරහ නැහැ. හැබැයි කටට ගත්තාම අර වගේ ම ක්ෂණයකින් දිය වෙලා යනවා. 

දැන් අපේ ගම්වල බොම්බයි මොටයිකාරයන් නැහැ. අපේ ගම් දැන් ගම් නෙමෙයි. දියුණු නො වෙච්ච නගර. මොනවා වුණත්, අද පවා ලාම්පු තෙල් කරත්ත පවා දැක ගන්නට පුළුවන් කොළඹ හතේදි. 

මේ පිංතූරෙ මං ගත්තෙ කොළඹ තුනේ රැජින පාරෙදි. ටිටිනි - ටිටිනි, ටිටිනි - ටිටිනි කියලා අප්‍රිකානු සංගීත භාණ්ඩයක වගේ ශබ්දයක් ඇහිලා බලනකොට මෙන්න එනවා බොම්බයි මොටයි වෙළෙන්දෙක්. පෙට්ටිය එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා. හැබැයි මූලික ලක්ෂණ එමමයි. පොඩ්ඩක් නවත්තලා ගත්තා පිංතූරයක්. 

“මං මේක ෆේස්බුක් දානවා," මං කිව්වා.

“දෙන් දානවද?" ඔහු ඇහුවා. “අපේ බොස් යේක පලනවා. මං කියන්නං පලන්න කියලා." 

බස්සෙකට නැග්ග ගමන් මං ෆෝන් එකෙන් ම ඒක ෆේස්බුක් දැම්මා. බොස් දැක්කද දන්නෙ නැහැ.

ලොකු වෙළඳාමක් නැතුව ඇති. හැබැයි ජීවිතය රසවත් කරන උරුමයක් ඉදිරියට ගෙන යන මිනිහෙක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-12

ලංකාවේ දුප්පත්කමට හේතු

ධනවත්කමට හේතු වන විවාහයක්. අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව හා අර්ජුන් ඇලෝසියස් 
ලංකාවේ දුප්පත්කමට මූලික හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනෙක මා ෆේස්බුක්හි ආරම්භ කරන ලද සංවාදයකට බොහෝ දෙනෙක් දායක වූ හ. ඒ අනුව, මම ලැයිස්තුවක් සකස් කළෙමි.

මේ කරුණු විධිමත් අධ්‍යයනයක් නොව, කිසියම් නිදහස් පොදුජන සංවාදයක් පමණයි. දරිද්‍රතාව පිළිබඳ විධිමත් අධ්‍යයනයන් කරන, පත්‍රිකා ඉදිරිපත් කරන සංවාදයක් වෙන ම  තලයක තිබෙනවා. ඒකයි මේකයි අතරත් වැඩි වෙනසක් තිබේ ය කියා මා සිතන්නේ නැහැ. හේතුව, ඒවායේ යෙදී සිටින අයට දුප්පත්කම කියන්නේ තමන්ගේ වෘත්තියට සම්බන්ධ කොම්පියුටරයක්, පුටුවක් වගේ දෙයක් වීමයි. ඒ අධ්‍යයනවත්, මේ පොදු ජන සංවාදවත් කිසිවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ නැහැ. උන්ට කෝකත් එකයි. 

මෙන්න මේ ටික තමයි පෙළගස්වා ගත්ත හේතු. ඕනැ නම් විද්‍යාර්ථියෙකුට මේවා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම කළා ය කියලාත් විශේෂ දෙයක් වෙන්නෙ නැහැ. මේවා අපි අපි ම වෙනස් කර ගත්තොත් අපි ගොඩ. නැතිනම් ඉතින් සොරි අපට ම තමයි. 

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය
6. කම්මැලිකම
7. බෝ නොවෙන රෝග
8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම
9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)
10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම
11. සූදුව හා ලොතරැයි
12. පවුල් සැලසුම් නො කිරීම
13. රාජ්‍ය අකාර්යක්ෂමතාව
14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ
15. සහනාධාර

මෙයට දේශපාලනය ද එකතු විය යුතු බව ඇතැමෙකු යෝජනා කළත්, මගේ අදහස වන්නේ දේශපාලනය යනු මෙම සියලු මූලික සාධකවල බලපාන මහා පොදු සාධකයක් බවයි. මෙතැනදී උත්සාහ කරන්නේ වඩා සංයුක්ත ලෙස මෙම හේතු හඳුනා ගන්නට ය.

ආගමත් මෙහිදී වැදගත් සාධකයක්. හේතුව එය සෑහෙන දුරට නූගත්කම පෝෂණය කරනවා.

භාණ්ඩ හා සේවා වෙළෙන්දන් අධික ලාභ ලබන අවස්ථා තිබුණත්, බදු හා තරගකාරිත්වය නිසා ඒවා නියාමනය වෙනවා.

කම්කරුවන් සූරා කන්නට සූදානම් ව්‍යවසායකයන් ඕනැ තරම් ඉන්නවා. ඒත්, ලංකාවේ වෙළඳපොළේ තිබෙන ශ්‍රම හිඟය නිසා බුද්ධිමත්, පුහුණු කම්කරුවන්ට තත්වය කළමනාකරණය කර ගන්නට බැරිකමක් නැහැ. ඒ වුණාට, කම්කරුවන් වැඩිදෙනෙකු නූගත්. උගත් අයත් ඉහත කී ඒවාට අහු වෙලායි ඉන්නෙ.

මේ පිළිබඳව චානුක වත්තේගම විසින් පළ කරන ලද අදහස ද වැදගත්. “ලංකාව දුප්පත් ඇයිද කියන ප්‍රශ්නය අහන්න කලින් අපි අහමු සිරිදාස කියන ගොවියා දුප්පත් ඇයිද කියලා. බේබදුකම, කම්මැලිකම වගේ පුද්ගල සාධක යම් පමණෙකට හේතු වෙන්න පුළුවන් හැබැයි ප්‍රධාන හේතුව සිරිදාසට ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් කරන්ට නොහැකි වීම. ඇයි ගොවිතැනින් වෙනත් රැකියාවකට යොමු වෙන්න බැරි කියලා ඇහුවොත් ඒකට හේතුව ඒ තරමට රට කාර්මීකරණයව නොතිබීම. (රටේ කර්මාන්තයක් නැතිනම් ඉගෙන ගත්තා කියලත් රැකියා නෑ.) රටේ කර්මාන්ත දියුණු වෙනවා නම් සිරිදාසට වැඩි වැටුපක් ලැබෙන කොට ඔය අනෙක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. කර්මාන්ත (භාණ්ඩ හා සේවා දෙකම) දියුණු නොවන්නේ නම් ඔය වෙන මොන ප්‍රශ්නය විසඳුවත් දුප්පත්කම නැති කරන්න බැහැ."

මිනිසුන්ගේ චින්තනය වැදගත් නැති බව හා වැදගත් වන්නේ පාලකයන්ගේ චින්තනය පමණක් බවත් ඔහු පවසනවා. ඇත්තෙන් ම ලංකාවේ දැන්, දැන් පාලකයන්ට කිසිදු චින්තනයක් තිබේ ද යන්න පැහැදිලි නැහැ.

ආචාර්ය ජග්දීෂ් භගවති වරෙක කිව්වෙ වෙන රටවල් දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් මදිවෙලා හැබැයි ඉන්දියාව දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් වැඩි වෙලා කියලා ය කියමින් මෙවැනි මාතෘකා පොදු ජනතාව කතා කිරීම වැදගත් නැති බවත් චානුක පවසනවා. එහෙත්, හේතුව හරියට ම දන්නා බව සිතන චානුක වත්තේගමට මේ රටේ ජනාධිපතිකම තබා ජනාධිපති උපදේශකකමක්වත් ලැබෙයි ද කියන එක සැකයි. ඒ වගේ ම චානුක සමස්තය ග්‍රහණය කරගෙන තිබෙනවා ය කියා සිතන සිතීමත්, ස්වයං අධි තක්සේරුවක් බවයි ඔහු විසින් පළ කරන ලද අදහස්වලින් පෙනෙන්නේ.

මේ සියලු කතාබහ අතරේ සොඳුරු සිත විසින් පළ කරන ලද මෙම අදහස තුළ සැලකිය යුතු ඇත්තක් ගැබ්ව තිබුණා.

මම ඉස්සර දැකපු දුප්පත්කම දැන් දකින්න නැහැ. මම ඉස්සර දැකපු දුප්පත් ගෙවල් බිත්ති කටු මැට්ට, සෙවිලි කරල තිබ්බෙ පොල් අතු වලින් , බිම ගොම මැට්ට. පත්තු කලේ භූමිතෙල් ලාම්පු. ඒකෙත් අර පෝසත් අය ඒ කාලේ පාවිච්චි කරල අයින් කරපු සූත්‍රිකා බල්බ වලින් හදපුවා. ලිප් දර. මිදුල වැලි සහ පුංචි ගල්.පුංචි ළමයි හොටු නාවර පෙරාන පැය 24ම හෙලුකොට්ටෙන්. කොටින්ම මම වයස අවුරුදු හත අට වෙනකම්ම හිටිය ගේත් බාගයක් ඔය වගේ. ඒත් දැන් අපේ අහල ගම් 7ක පොල් අතු සෙවිල්ලපු ගෙයක් හොයා ගන්න නෑ. දැන් ඉන්නේ දුප්පත්තු නෙමේ “මධ්‍යම ප්‍ාන්තික දුප්පත්තු. ඒකත් විහින් දුප්පත් වෙලා."

මේ සංවාදයේ මා දුටු සුවිශේෂ ම කාරණය වන්නේ දුප්පත්කමට ඉවහල් වන කිසියම් සමාගමක නමක් කිසිවෙකු සඳහන් නො කිරීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ෆේස්බුක් එකෙන් රට හදන්නට පුළුවන් ද?

තරුණ සංවාදය: යහපත් රටක් හදන්නට සමාජ මාධ්‍ය

සමාජ මාධ්‍යවලට ප්‍ර‍ජා සංවර්ධනයට දායක වෙන්නට පුළුවන් කොහොමද යන තේමාව යටතේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදය හා එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් අන්තර් ක්‍රියාකාරී සාකච්ඡා සභාවක් සංවිධානය කර තිබේ.
දිනය: ජුලි 18 / වේලාව: පෙ.ව. 10 සිට 12 දක්වා
ස්ථානය: ලක්ෂ්මන් කදිරගාමර් ආයතනය, හෝර්ටන් පෙදෙස, කොළඹ 7
සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යවලින් සමාජ මාධ්‍යවල යෙදී සිටින ප්‍ර‍ධාන ක්‍රියාකාරිකයන් තිදෙනෙකු සංවාද සභාව අමතනවා.


නදී වාසලමුදලිආරච්චි (nadiewma), ලේඛිකා, ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරික





පී. ගෝපිහරන් (@gopiharan)- සමාජ මාධ්‍ය ක්‍රියාකාරික 







හිමාල් කොතලාවල (@himalkk) ජනමාධ්‍යවේදී හා සමාජ මාධ්‍ය බලපෑම්කරු







සාකච්ඡාව භාෂා තුනෙන් මෙහෙයවනු ලබන්නේ ශ්‍රී ලංකා සංවර්ධන ජනමාධ්‍ය සංසදයේ එම්.සී. රස්මින් විසිනි.
(සහභාගි වන සියලු දෙනාට ඒ මොහොතේ ම හෙඩ්ෆෝන් මගින් භාෂා තුනෙන් ම පරිවර්තන ලබා ගත හැකි ය.)

මෙම වැඩසටහන සංවිධානය කරනු ලබන්නේ ප්‍ර‍ජාව විසින් ධාවනය කරනු ලබන ඩිජිටල් ජනමාධ්‍ය අන්තර්ගත වේදිකාවක් හා තරුණයන් සඳහා විකල්ප මාධ්‍ය අවකාශයක් වන www.iVoice.lk විසිනි. ජාතික ප්‍ර‍තිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ ගරු නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා විසින් මෙම වෙබ් අඩවිය නිල වශයෙන් දියත් කරනු ඇත.  
පහත සබඳතා පුරුක ඔස්සේ ලියාපදිංචි වන්න. (සමරු තිළිණ, ශබ්ද උපකරණ, සංග්‍ර‍හ වැනි කරුණු නිසා ඔබගේ පැමිණීම තහවුරු කිරීම ඉතා වැදගත් බව සංවිධායකයන් පවසනවා.) ඔබේ හඬට ඉඩක්! http://bit.ly/2sp7X4J

@ivoice.lk සමග සම්බන්ධ වන්න. මෙම වැඩසටහන සජීවීව විකාශය කරනු ලැබේ.

සම්බන්ධව ඉන්න #iVoice

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-11

එහෙත් හරි ඩෙංගු - මෙහෙත් හරි ඩෙංගු

ජුලි 10දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර පැවසූ කරුණක් මෙසේයි:

ඩෙංගු රෝගයෙන් මිය යන අය අතරින් වැඩි පිරිසක් පමා වී රෝහල් ගත වුණ අය. ඔවුන් ඇතැමෙක් කම්පන තත්වයේ හෝ ඒ හා ආසන්න තත්වයක සිටින අයයි.

උණ වැළඳුණාම අත්බෙහෙත් කරමින් නො සිට වෛද්‍යවරයකු හමු විය යුතු බව හා රෝහල්ගත විය යුතු ද, නැද්ද යන්න තීරණය කිරීම වෛද්‍යවරයා විසින් කළ යුතු බවයි වෛද්‍ය උපදෙස. ඒත් ඇයි අපේ මිනිසුන් එසේ නො කරන්නේ?

හේතු ගණනාවක් තිබෙනවා.

1. තමන්ට ඩෙංගු වැළඳී ඇති බව පිළි ගැනීමට මැලිකම.
2. රෝහල්ගත වීම අපාගත වීමකට සමාන නිසා රෝහලට යන්නට ශිෂ්ට මිනිසුන් අකැමැති වීම.
3. පෞද්ගලික රෝහලක නතර වුවහොත්, බිල් ගෙවන්නට ගේ දොර ඉඩ කඩම් විකුණන්නට සිදු වීම.
4. අත් බෙහෙත්වලින් රෝග ලක්ෂණ යටපත් කරගෙන දැන් හොඳයි කියා සතුටු වීම.

මෙහිදී ඉතා වැදගත් කාරණයක් වන්නේ අංක 5යි.

5. ඩෙංගු රෝගය කෙටියෙන් සුව කර ගැනීම සඳහා හොර වෙදුන් වෙත යාම.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය විසින් ලියා තිබුණා. පහත දැක්වෙන සටහන උපුටා ගත්තේ ඉසුරු චාමර සෝමවීරගෙන්.




ඩෙංගු සමබන්ධව මිත්‍යා මත ගොඩක් පැතිරෙන්න පටන් අරන් නිසා. ඩෙංගු කියන්නෙ මදුරුවෙක් මගින් බෝ වෙන වෛරස් රෝගයක්. දැනට මේ රෝගයෙ ආකාර එහෙමත් නැත්තන් සීරොටයිප් පහක් හඳුනාගෙන තියනවා. මේක සුව කරන්න නිශ්චිත බෙහෙතක් තවම සොයාගෙන නැහැ. නමුත් සංකූලතා අවම කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම තියනවා. ලංකාවෙ ඩෙංගු බෝ කරන්නෙ ගෘහාශ්‍රිතව ජීවත් වීමට හා බෝ වීමට කැමැත්තක් දක්වන ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් කියම මදුරු විශේෂ දෙක. මේ රෝගය වැලදීම වලක්වා ගැනීම තමයි වැදගත්. ඩෙංගු වැලඳුන පුද්ගලයෙකුගෙන් වාහක මදුරුවගෙ ඇඟට වෛරසය ඇතුල් වෙලා දින දහයකට විතර පස්සෙ ඒ මදුරුවා දෂ්ඨ කරන අනෙක් පුද්ගලයන්ට ඩෙංගු වෛරසය ආසාදනය වෙනවා. ඉතින් ඩෙංගු වලක්වා ගැනීමේ පහසුම හා වඩා ප්‍රායෝගිකම ක්‍රමය තමා වාහක මදුරු දෂ්ටනයන් වලක්වා ගැනීම.

මේක කරන්නෙ කොහොමද? හැම මදුරුවම ඩෙංගු බෝ කරන්නෙ නැත්නම් අපි ඩෙංගු වාහක මදුරුවන් හඳුනා ගන්නෙ කොහොමද? මදුරුවො අල්ලලා ඩෙංගු මදුරුවොද කියලා හොයනවට වඩා සියලුම මදුරුවන් සහ උන් බෝ වෙන ස්ථාන නැති කිරිමයි වැදගත්. ඒත් කාට හරි දැන ගන්න ඕනෙ නම් ඩෙංගු වාහක මදුරුවා මොන වගේද කියලා එයාලගෙ පිංතූර මේ එක්ක දානවා.මදුරුවගෙ ජීවන චක්‍රයෙ අවස්ථා හතරක් තියනවා . ඒ තමා බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුල් මදුරුවා. සුහුඹුල් මදුරුවගෙ ගැහැණු සතා පමණයි ලේ උරා බොන්නෙ. ඒ එයාලගෙ බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රෝටීන් හදන්න ඕනෙ වෙන ඇමයිනෝ අම්ල ලබා ගන්න. (හැම මදුරු විශේෂයකම ගැහැණු සතා ලේ බොන්නෙ නැහැ ).

ඩෙංගු වාහක මදුරු විශේෂ වල ජීවන චක්‍රය ගැන පොඩ්ඩක් දැනගෙන හිටියොත් එයාලව බෝ වෙන එක වලක්වන්න අපිට ලේසියි. ඩෙංගු වාහක මදුරු විශේෂයෙ ගැහැණු මදුරුවෙක් වරකට බිත්තර 30-120 අතර ප්‍රමාණයක් දානවා.මදුරු ගැහැණු සතාගෙ ශරීර ප්‍රමාණය හා එයා ලබාගත්ත රුධිර පරිමාව අනුව මේ බිත්තර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්.එයාලා බිතර දාන්නෙ පිරිසිදු වතුරෙද අපිරිසිදු වතුරෙද කියලා ලොකු ලොකු තර්ක යනවා. අපිට වතුරෙ පිරිසිදු අපිරිසිදු බව පියවි ඇසින් බලලා නිගමනය කරන්න බැරි නිසා ඒ ගැන තර්ක කරනවට වඩා වතුර එකතු වෙන තැන් ඉවත් කරන හෝ විනාශ කරන එකයි වැදගත්. කලිනුත් කිව්වා වගේ මෙයා ගෘහාශ්‍රිතව බෝ වෙන මදුරුවෙක්. වතුර රැඳෙන වැහිපීලි, සිමෙන්ති ටැංකි, වතුර එකතු කරන බඳුන්, කුරුල්ලන්ට සත්තුන්ට වතුර දාන බඳුන්, ෆ්‍රිජ් එකේ එලියෙන් වතුර එකතු වෙන කොටසක් තියනවනම් ඒක, ටයර්, විසිකරන ජලය රැඳෙන ආකාරයේ බඳුන්, පොලිතින්, පොල්කටු, උන බට, වාහන කොටස්. බ්‍රොමීලියා වගේ වතුර රැඳෙන විසිතුරු පැලෑටි, නොගැඹුරු සිමෙන්ති කාණු, සමහර ප්‍රදේශ වල නොගැඹුරු ලිං, රබර් වගාවන් අශ්‍රිත පොල් කටු ආදී බොහෝ තැන්වල බිත්තර දානවා. මෙයාලා බිත්තර කෙලින්ම වතුරට දානවට වඩා වතුර අඩංගු බඳුනෙ වතුර පෘෂ්ඨයට මදක් ඉහලින් බිත්තර දාන්න කැමතියි.මේ බිත්තර වලටත් විශේෂ හැකියාවක් තියනවා. ඒ තමා වතුර නැතුව මාස දෙකත් හයත් අතර කාලයක් සජීවීව පැවතීමේ හැකියාව.බිත්තර දාපු බඳුනෙ වතුර වේලිලා ගියත් ඊළඟ වැස්සෙන් පස්සෙ පුපුරන්න මේ බිත්තර වලට පුලුවන්. අනික ඩෙංගු වෛරසය මව් මදුරුවා මඟින් යම් සුලු ප්‍රතිශතයක් බිත්තර හරහා ගිහින් ඊ ළඟට එන පරම්පරාවෙ වාහක මදුරුවන් සිටීමේ හැකියාවකුත් තියනවා.

මේ මදුරු බිත්තර වතුර ලැබුනම දවස් එකක් දෙකක් ඇතුලත පුපුරනවා. ඒත් සමහර පාරිසරික සාධක මත මේ කාලය වැඩි වෙන්න පුළුවන්. වතුරෙ ඔක්සිජන් සාන්ද්‍රනය අඩු නම් බිත්තර ඉක්මනින් පිපිරීමේ හැකියාවක් තියන බවත් දැන් හොයාගෙන තියනවා.බිත්තර පුපුරලා එන කීටයා ඔක්සිජන් ලබාගන්නෙ ප්‍රධාන වශයෙන්ම වාතයෙන්.කන්නෙ වතුරෙ අඩංගු ජීවී අජීවී කාබනික අංශු.මෙයාල පෙරා බුදින්නො. ඒ කියන්නෙ වතුරෙන් කාබනික අංශු පෙරලා තම ගන්නෙ. කීට අවස්ථා හතරක් තියනවා.හතර වෙනි කීට අවස්ථාවට පස්සෙ පිලවා වෙනවා. පිලවා කන්නෙ නැහැ.ඒත් වාතයෙන් ඔක්සිජන් ලබා ගන්නවා. බිත්තර ඉඳලා පිලවා වෙන්න යන කාලෙ ආහාර වතුරෙ ස්වභාවය සහ උෂ්ණත්වය වගේ කාරනා මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සතියක් වගේ කාලයක් මේ වැඩේට ගියත් විද්‍යාගාර තත්ව යටතෙ දවස් හතරකින් මේ වැඩේ වෙනවා. පිලවා දවසකින් දෙකකින් හැව හලලා වැඩිහිටි මදුරුවෙක් වෙනවා.

සාමාන්‍යෙන් ඉස්සෙල්ලා උපදින්නෙ පිරිමි මදුරුවො. ඊ ළඟට ගැහැණු මදුරුවො. එයාලා ඉපදිලා කෙටි කාලයකින් එකතු වෙනවා. ගැහැණු මදුරුවගෙ ඇඟේ ස්පර්මතීකා කියන නමින් හඳුනව කුඩා මලු තුනක් තියනවා. මේ මලුවල එයා පිරිමි මදුරුවාගෙන් ලබා ගන්න ශුක්‍රාණු ගබඩා කර ගන්නවා. එයාගෙ බිත්තර සංසේචනයට නැවත නැවත පිරිමි මදුරුවෙක් එක්ක එකතු වීම අනිවාර්‍ය නැහැ මෙහෙම ශුක්‍රාණු ගබඩා කර ගන්න නිසා. දැන් එයාට ඩෙංගු රෝගියෙක්ගෙන් ලේ උරා බීලා දින දහයක් දා හතරක් පමණ වෙන බීජෞෂන සමයකින් පස්සෙ තව කෙනෙකුට බෝ කරන්න පුලුවන්. පිරිමි මදුරුවන්ගෙ ජීවිත කාලය කෙටියි. ස්වභාවික තත්වය යටතෙ ඩෙංගු වාහක වර්ගයන්ට අයත් මදුරු ගැහැනු සතෙක් සති තුනක් හතරක් ජීවත් වෙනවා. මේ කාලය පාරිසරික තත්ත්ව මත වෙනස් වෙන්න පුළුවන්. විද්‍යාගාර තත්ව යටතෙ එයාලා මාස තුනක් විතර ජීවත් වෙනවා අපි නිරීක්ශනය කරලා තියනවා.

මදුරුවෙකුට පෙනීමේ හැකියාව තිබුනත් එය ගොඩක් දියුණු නැහැ. එයා ගොදුරකට ආකර්ශනය වෙන්නෙ ගොදුරෙ උෂ්ණත්වය, එයින් එන සුවඳ/ගඳ සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය කියන කාරනා මත. දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් ඇයි සමහරුන්ට වැඩිපුර මදුරුවො කන්නෙ කියලා.කන ගාවට ඇවිත් සද්ද දාන්නෙ (මේ සද්දෙ එන්නෙ එයාල තටු ගහන නිසා) එතන උෂ්ණත්වෙ සාපේක්ෂව වැඩි නිසා. ඩෙංගු වාහක මදුරුවො වැඩිපුර මිනිස්සුන්ව දෂ්ඨ කරන්නෙ උදේ වරුවෙ සහ හවස් වරුවෙ. ඒත් අනිත් වෙලාවට කන්නෙ නෑම කියලා කියන්න බැහැ. මෙයාලා ගෙවල් ඇතුලෙ වගේම එළියෙදිත් කනවා. ඒ කන්නෙත් අපි වැඩිපුර ක්‍රියාකාරී වෙලවෙදිමයි.ඒ වගේම එයාල එක රුධිර වේලක් උපයා ගන්න කිහිප දෙනෙක් දෂ්ඨ කරන්නත් පුළුවන්. ඒ හැසිරීම නිසා එයාලා අතින් ඩෙංගු බෝ වීමේ හැකියාව වැඩි වෙනවා.ලේ ගත්තට පස්සෙ එයාලා නිවෙස් තුල හෝ පිටත් හෝ ආර්ද්‍රතාව වැඩි අඳුරු තැනක බිත්තර මෝරනකං විවේක ගන්නවා. ගොඩක් විට නිවෙස් වලින් පිට මේ වැඩේ කරන නිසා ගෙවල් ඇතුලෙ කෘමි නාශක ගහලා මෙයාව පාලනය කරන්න අමාරුයි.

එයාගෙ ජීවන චක්‍රයේ අවස්ථා වැඩි ගණනක් තියෙන්නෙ වතුරෙ නිසා එයාලා බෝ වෙන තැන් නැති කලොත් එයාලව පාලනය පහසුයි.කසල වතුර එකතු නොවෙන පරිදි බැහැර කිරීම, පොලිතීන් , ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම,වතුර ටැංකි, ලිං ආදියට කීට භක්ශක මසුන් යෙදීම, වැහිපීලි, ටයර්, සහ වාහන කොටස්, පොලිතීන් ආදිය වතුර එකත් නොවන් සේ තැබීම වගේ සරල දේ අපිට කරන්න පුලුවන්. කලුතෙල් වගේ දෙය්ක් වතුරට දාන්න පුලුවන් තැන්වල දැම්මොත් කීටයන්ට වාතයෙන් ඔක්සිජන් ලබා ගන්න බැරුව මැරෙනවා. ටෙමිෆොස් වගේ කීට නාශක සහ බීටීඅයි වගේ දේවල් වතුර වැඩිකාලයක් එකතු වෙච්චි තැන් වලට යොදන්න පුලුවන් වුනත් වඩා ප්‍රායෝගික ගෘහාශ්‍රිත කසල වතුර එකතු වෙන්න බැරි විදියට කලමනාකරන කර ගැනීම.

රෑට මදුරු දැල් පාවිච්චි කරනවා වගේ පුංචිම දරුවො ඩෙංගු පවතින පැතිවල දවල් කාලෙත් හැකි සෑම අවස්ථාවකම නෙට් ඇතුලෙ තියනවා නම් හොඳයි. දිගට ඇඳුම් ඇඳීම, පැඟිරි තෙල් සහ ඒ ආකාරයෙ මදුරු විකර්ෂක ආලේප ගැල්වීමත් කරන්න පුළුවන්.

වඩාම වැදගත් මදුරුවන් බෝ නොවන විදියට අපේ පරිසරය පවත්වා ගැනීම. මේක ඩෙංගු වසංගතයක් ආවම පිස්සුවෙන් ඔක්කොම ගස් කොලන් කපා දැමීම නෙමේ දිනපතා පුරුද්දක් විදියට නිවැරදිව කසල බැහැර කිරීම සහ අවට පරිසරය හොඳින් නිරීක්ෂණය මගින් කරන්න පුලුවන්. අපිට නොපෙනෙන ඩෙංගු බෝවෙන තැන් ගොඩක් ගෙයි , වහලෙ සහ ගෙයි පිටත වත්තෙ තියෙන්නෙ පුලුවන්, පාසල, පාර, වැඩ කර තැන සහ අසල් වැසි නිවාස ගැනත් අපිට මේ විදියටම සැලකිලිමත් වෙන්න වෙනවා. ඩෙංගු ඇවිත් ඔයාවත් ඔයාගෙ පවුලෙ අයත් අරන් යන්කං ඉන්න එපා.

- ඉසුරු චාමර සෝමවීර


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-10

පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුත්තේ මෙන්න මේ ඉලක්කම් නිසායි

අවුරුද්දකට සිසුන් 300,000ක් රජයේ පාසල්වලට ඇතුළු වෙනවා.

ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නවා සිසුන් 500,000ක් විතර.

සෑම වසරකම 160,000ක් පමණ දේශීය උසස් පෙළ සමත් වෙනවා.

රජයේ විශ්වවිද්‍යාලවලට ගන්නේ අවුරුද්දකට සිසුන් 30,000ක් පමණ.

පෞද්ගලික විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නවා 55,000ක් විතර.

වසරකට ශ්‍රී ලාංකික සිසුන් 12,000ක් පමණ පිටරට විශ්වවිද්‍යාලවලට යනවා.

එක් සිසුවෙකු වෙනුවෙන් වසරකට රු. ලක්ෂ පහක් මේ රටින් පිටරටට ගියත් එතන රු. 6,000,000,000ක් හෙවත් බිලියන හයක් තියෙනවා.

ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සඳහා බඳවා ගන්නේ ඒ සඳහා සුදුසුකම් ලබන අයගෙන් 17%ක් පමණයි.

මහ බැංකුවේ 2012 සංඛ්‍යාති අනුව,

ලංකාවේ වෛද්‍යවරුන් සංඛ්‍යාව 17,000කට පොඩ්ඩක් වැඩියි.

වෛද්‍යවරයකු ඉන්නේ මහජනතාවගෙන් 1200කට විතර එක්කෙනයි.

ලංකාවේ වෛද්‍යවරුන් හිඟයි. ඒ නිසා ඉන්න වෛද්‍යවරුන්ට වැඩ වැඩියි.

හැබැයි ඉතින් ලෙඩ්ඩු කියන්නෙ සල්ලි නිසා සල්ලි පස්සෙන් යන දොස්තරලා කැමතියි වෛද්‍යවරුන් ගණන වැඩි නො වී රෝගීන් ගණන වැඩි වෙනවා නම්. (මේ කියන්නෙ හැමෝ ම ගැන නෙමෙයි නිසා තොප්පිය හරි අය විතරක් දාගන්න.)

මේ වෛද්‍ය හිඟය නැති කරන්න වෛද්‍යවරුන් අවශ්‍ය ප්‍රමාණයට බිහි කළ යුතුයි. හැබැයි, රජයෙන් නොමිළේ අධ්‍යාපනය ලබා දීම වෙනුවෙන් තව තවත් බදු ගෙවන්නට මහජනතාවට හැකියාවක් නැහැ. නොමිළේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් විතරක් මේ රටේ සෑම පුරවැසියෙකු ම දැනටත් අවුරුද්දකට රු. 16,000ක් බදු ගෙවනවා. හැබැයි, ඒ බදු ගෙවන ජනතාවට ලැබෙන සේවාවන් ගැන කවුරුවත් තෘප්තිමත් බවක් පෙනෙන්නෙ නැහැ.

වැඩිපුර වෛද්‍යවරුන් බිහි කරන්නට නම් මුදල් ගෙවා හෝ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට කැමති අයට ඒ සඳහා රට තුළ පහසුකම් සැලසීමේ වරදක් නැහැ.

එහෙම රටක පෞද්ගලික විශ්වවිද්‍යාල තියෙන එකේ වරද මොකක් ද?

සයිටම් කියන්නේ එක් පෞද්ගලික විශ්වවිද්‍යාලයක් විතරයි. ඒ ගැන නිතර නිතර අදහස විමසන අයට පසුගිය දිනෙක මා ෆේස්බුක්හි දුන් පිළිතුරක් මෙසේයි:

1. මට සයිටම් අදාළ නැත. ඒත් ඒක ගැනම අහන නිසා මා සයිටම් එකට පක්ෂ ය කියා ගණන් හදා ගත්තාට කමක් නැත.

2. ලංකාවේ රජයට වඩා ව්‍යවසායකයන් හොඳත් නැත. නරකත් නැත. රජයට සමස්ත ආර්ථිකයම ධාවනය කිරීමේ ධාරිතාව නැත. රජය ව්‍යවසායකත්වයට උපකාර කළ යුතුය. එය මැනැවින් නියාමනය කළ යුතුය.

3. පෙර පාසලේ සිට ම ⁣අධ්‍යාපනයට සම්බන්ධ වන පෞද්ගලික ව්‍යවසායකයන් රජයට වඩා විශේෂ නරකක් ක්ෂේත්‍රයට කර නැත.

4. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ඇති ගැටලුවලට රජය ඉදිරිපත් කර ඇති විසඳුම ක්‍රියාත්මක කළ යුතුය.

5. රාජ්‍ය අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අඛණ්ඩව ගත යුතුය.

6. රාජ්‍ය අධ්‍යාපනයට අනුපූරක (supplementary) ලෙස පෞද්ගලික අධ්‍යාපනය විධිමත් නියාමනයක් සහිතව යොදා ගත යුතුය.

7. දක්ෂ සිසුන්ට රජය නොමිළේ හෙවත් මහජන මුදලින් උසස් අධ්‍යාපනය ලබා දිය යුතුය.

8. මහජන මුදලින් ලබා දෙන අධ්‍යාපනයට අවස්ථා නොලැබෙන සිසුන්ට ණය ක්‍රම ඔස්සේ පෞද්ගලිකව උසස් අධ්‍යාපනය ලබා ගැනීමට අවස්ථා බහුල කළ යුතුය.

9. අප ප්‍රවර්ධනය කරන ප්‍රශස්තම උසස් අධ්‍යාපන ක්‍රමය වන්නේ රාජ්‍ය නියාමනය සහිත ලාභය අරමුණු කර නොගත් ස්වාධීන විශ්වවිද්‍යාලයි.

10. රජය පමණක්, නොමිළේ පමණක් අධ්‍යාපනය ලබා දිය යුතු බව කියන අය උසස් පෙළ සමත් වී මහජන මුදලින් දෙන අධ්‍යාපනයට අවස්ථා නොලබන 80%ක් සිසුන්ගේ ප්‍රශ්නයට ප්‍රායෝගික විසඳුම් යෝජනා කළ යුතුය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-08

කොළඹයි, පේරායි ස්වාධීන විශ්වවිද්‍යාල කරන්නට පුළුවන් ද?

පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධීක්ෂණ කමිටුවේ උසස් අධ්‍යාපන උප කමිටුව තුළදී කොළඹ හා පේරාදෙනිය විශ්වවිද්‍යාල ස්වාධීන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ හැකියාව පිළිබඳ අදහසක් සාකච්ඡා වී තිබේ. 

විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ ආචාර්ය නිර්මාල් දේවසිරි තනි වාක්‍යයකින් කියා තිබුණේ, මේක කරන්න හදන එකත් හොදයි. අපේ ඇගේ තියෙන කුණු ටික හෝද ගන්න හොද අවස්ථාවක් කියා ය.

මෙවැනි නොපැහැදිලි අදහස් පළ කිරීම්වලින් නිරූපණය වන්නේ වඩා සංයුක්ත පහත දැක්වෙන අදහස්වලට ඉදිරියේදී යටත් වීමට තිබෙන සූදානමයි.

මේ පිළිබඳව මේ වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටින් සිට මෙහෙයවන්නට උත්සාහ කරන දේශපාලන පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන පුබුදු ජයගොඩ මෙසේ අදහස් දක්වා තිබිණි.

“අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මීලඟ පියවර ආරම්භ වෙමින් තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළත් රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකින බවට, වර්ධනය කරන බවට දුන් පොරොන්දු හුදු සුරංගනා කතා පමණක් බව ඔප්පු වෙමින් තිබේ. පාලකයන් මේ උත්සාහ කරන්නේ සෑම ජාතික විශ්ව විද්‍යාලයක්ම සයිටම් එකක් කිරීමටය. එනිසා තවමත් 'සයිටම් අහෝසි කරනු' සීමාවේ පටුවී සිටින සියල්ලන් 'අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය නොකරනු' සටන්පාඨය දක්වා සිය ක්‍රියාකාරීත්වයන් පුළුල් කරගත යුතුය."

මෙම යෝජනාව ඉදිරිපත් කළ බව කියන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් නො කරමින්, අයිලන්ඩ් පුවත්පත දූෂමාන දෙස වාර්තා කරන්නේ ලාභ ඉපයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ස්වාධීන කළ යුතු බවට එම මන්ත්‍රීවරයා යෝජනා කළ බවයි. මෙම අදහස රජයේ නිල අදහසක් ද, නැතිනම් නිකම් කියා දැමූවක් ද යන්න සොයා බැලීමේ උනන්දුවක් ද මෙම පුවත්පතට නැත. ප්‍රවෘත්ති යනු ඉතා පටු අරමුණු සහිතව නිර්මානය කරන ඒවා ය.

මේ පිළිබඳ ප්‍රබන්ධය නිර්මානය කර ගන්නට අවශ්‍ය පසුබිමත් එසේ සූක්ෂම අන්දමින් එම පුවත්පත විසින් සපයා තිබෙන අතර, උන්නතිකාමී පක්ෂයක නායකයකු වන පුබුදු ජයගොඩ එම ප්‍රබන්ධය මත පදනම්ව එයට එරෙහිව ක්ෂණිකව දක්වන ලද සංයුක්ත අදහස් දැක්වීමත්, සිවිල් සමාජ නායකයකු ලෙස හැඳින්විය හැකි නිර්මාල් රංජිත් දේවසිරිගේ ඇල්මැරුණු අසංගත ප්‍රකාශයත් විසින් අනාගතය පිළිබඳ පැහැදිලි සංඥා දෙකක් නිකුත් කර තිබේ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි අයට ස්වාධීන විශ්වවිද්‍යාලවලට විරුද්ධ වන්නට සාධාරණ හේතුවක් නැත. එහෙයින් ඔහු තව ටික දිනකින් “මේ එන්නෙ ඒ ස්වාධීන විශ්වවිද්‍යාල නෙමෙයි," යන තැනින් පුබුදු ජයගොඩ සමග කරට අත දා ගන්නට ඉඩ තිබේ. රාජ්‍ය බලය ගැනීමට හෝ සමාජ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තීරණාත්මක ලෙස මැදිහත්වීමට උවමනාවක් නැති පෙරහැර බැලීමෙන් සතුටු වන බලවේගවල ඒ කියන ස්වාධීන විශ්වවිද්‍යාල ඔවුන් කිසි දිනෙක හදන්නේ නැත. හදනවා නම් දැන් වුණත් පටන් ගන්නට බැරිකමක් ද නැත.

අප ලාභයට විරුද්ධ නැත. එසේම, ලාභය යනු මහා නරක දෙයකැයි ද අප සිතන්නේ නැත. ලාභය යනු එක පැත්තකින් අලුතෙන් නිෂ්පාදනය වන ප්‍රාග්ධනයයි. අනෙක් පැත්තෙන් සමාගම් කොයි තරම් ලාභ ලැබුවත්, ඒ ලාභය පරිභෝජනය කිරීම හේතුවෙන් එය සමාජයට කාන්දු වේ. ලාභයෙන් රජය ලබා ගන්නා බදු ද ආපසු යන්නේ සමාජයට ම ය.

මෙය ඉතා සරල කාරණයකි. අපි මෙසේ සිතමු. ලොකු ධනපතියෙකු සුපිරි හෝටල්වලින් ආහාර ගන්නා විට එම හෝටලවල සේවය කරන කම්කරුවන්ට රැකියා බිහි වේ. ධනපතියා ඉහළ පෙළේ වාහනයක් මිළ දී ගන්නා විට, ජපානයේ කම්කරුවන්ට රැකියා ලැබේ. කම්කරු පංතියට දේශසීමා වැදගත් නැත. මේවා කීවේ අප නොව, ඒගොල්ලන්ගේ ම ශාස්තෘවරයින් ය.

හැබැයි, අසාධාරණ ලාභ අනිවාර්යයෙන් ම නියාමනය කළ යුතු ය. හේතුව, අසාධාරණ ලාභ නිසා මිළ දී ගැනීමේ හැකියාවට දැඩි සීමා පැනවේ. සයිටම් සම්බන්ධයෙන් මතු කරන ලක්ෂ 120 කතාව එයයි.

දුප්පත්කම හොඳ දෙයක් නෙමෙයි. එය ජීවිතය කාලකණ්ණි කරන, දුරලිය යුතු තත්වයක්. හැබැයි, යහපත් ජීවිතයක් කියන්නේ සල්ලි උඩ පීනන එක නෙමෙයි. උසස් ජීවිතයක් ගත කරන්නට සල්ලි ගොඩක් ඕනැ නැහැ. සාමාන්‍ය ආදායම් මට්ටමකින් වුණත් පරමාදර්ශී ජීවිතයක් අත්පත් කර ගන්නට, සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. ධනවතුන් ය කියන පිරිසට ඉරිසියා නො කිරීම හා ඔවුන්ගේ ජීවිත දෙස ද උපේක්ෂාවෙන් බලන්නට පුළුවන්කම උසස් මිනිස්කමක ලක්ෂණයක්.

රටට අවශ්‍ය කුසලතා ගොඩනැගීමට සුදුසු දක්ෂ ශිෂ්‍යයන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා නොමිළේ උගන්වන රජයේ විශ්වවිද්‍යාල අවශ්‍ය ය. එසේම, ස්වාධීන විශ්වවිද්‍යාලවලින් ද දක්ෂ සිසුන්ට ශිෂ්‍යත්ව ආදිය වැඩි වැඩියෙන් ලබා දිය යුතු ය. එසේම, ශිෂ්‍ය ණය ද ඉතා හොඳ ක්‍රමවේදයකි. ඉගෙන ගැනීම සඳහා ලබා ගන්නා සහන ණය රැකියාවක් කරන කාලයක ගෙවා දමනවා නම්, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දැන් කෘර ලෙස බිස්නස් කරනවා වැනි කුල අහන්නට ද ඕනෑ නැත.

හැබැයි ඉතින් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය සමාජයට වැඩදායී සේවයක් කිරීම ය යන මූලික ආකල්පය ගොඩනැගීම අතිශය වැදගත්ය. වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් පිට වන දොස්තරලාගේ සිට ගුරුවරුන්, ලිපිකරුවන් දක්වා පිරිස්වලට නැති මූලික දෙයක් වන්නේ මෙම ආකල්පයයි. එය වත්මන් උසස් අධ්‍යාපන ක්‍රමයේ ලොකුම ගැටලු අතරින් එකකි.

වර්තමානයේ නිදහස්ව සිතන, ස්වාධීන, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සිටින්නේ වාමාංශික පක්ෂ, දේශපාලන කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ආදිය අතර නො ව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අතරේ ය.

ස්වාධීන විශ්වවිද්‍යාල පිළිබඳ චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් දක්වන ලද අදහස් කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරමි. 

"කැම්පස් ටික UGC එකෙන් ගැලෙව්වට පස්සේ ඒකෙ වියදම් පියවනු පිණිස උපාධි විකිණීම අනිවාර්ය ය" යන මෝඩ තර්කයට පිළිතුරු පිණිස ලියමි...

සියල්ලට පළමු කිවයුතු දෙයක් වෙයි... ලෝකේ දියුණු යැයි සම්මත කිසිදු රටක්, අපේ වැනි එකතැන පල්වෙන අධ්‍යාපන ක්‍රමයක් සහිතව දියුණු වුණේ නැත... අපට හිතාගන්නවත් බැරි අහසට පොළොව මෙන් දුරස්ථ දියුණු දැනුම් පද්ධතියක් ඔවුන්ට හිමිවීමට ඇත්තේ එකම එක රහසකි.. එනම්, ඔවුන්ගේ දැනුම ඔවුන් එදිනෙදා ගතකරන ජීවිතයට අනුව දිගින් දිගටම, නොනවත්වාම යාවත්කාලීන වීම සහ අපේ දැනුම වනාහි හුදෙක්ම "රස්සාවක් ලබාගන්නට තියෙන කඩදාසි සුදුසුකමක්" වීම යන සාධකය මත ය.... අර කී එවුන්ගේ දියුණු රටවල එවුන්ගේ දැනුම දිගින් දිගටම නොනවත්වාම යාවත්කාලීන වීමට ඇත්තේ ද එක රහසකි... එනම් පුද්ගලික අංශය සමග අත්වැල් බැඳ ගැනීමයි....

පුද්ගලික යන වචනය ඇසුණු සැණින් ආහාර මාර්ගයේ පහළ කෙළවරේ ඉත්තෑවුන් දුවන උදවිය මින් පල්ලෙහාට කියවීමෙන් වලකින්න...

විශ්ව විද්‍යාලයයක්, උපාධි විකිණීමෙන් තොරව සල්ලි හොයන්නේ කෙසේ ද? මීට අපට දහසකුත් එකක් උත්තර බැඳිය හැකි නමුදු, එකක් පමණක් සටහන් කිරීම සෑහේ ....

විශ්ව විද්‍යාලයයක ලොකුම සම්පත එහි බුද්ධි පදාසය ය... එනම් එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ප්‍රජාව ය... විශ්ව විද්‍යාලවල (හරිනම්) ඉන්නේ රටේ හොඳම මොළ ටික ය... මෙන්න මේ හොඳම මොළ ටික ලවා තමන්ගේ විෂයයට අදාළ පර්යේෂණ කටයුතු කරවාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් කිසිම පුද්ගලික ආයතනයක් ඊට එපා කියන්නේ නැත... ඒ වෙනුවෙන් කල යුත්තේ සරල වැඩකි.... එනම්, ශිෂ්‍යයන් හදාරන විෂය ඒකක වලට අදාළව, කෙටිකාලීන හෝ දිගුකාලීන ක්ෂේත්‍ර පර්යේෂණ අනුයුක්ත කිරීමයි... 
එයින් රටට සේවාවන් තුනක් සැපයේ... එක, රටේ හොඳම මොළ ටික, රටේ වැදගත්ම ප්‍රශ්න අධ්‍යයනය කිරීමට යෙදවීම ය.. දෙක, එම සේවාව වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නට සූදානම් පුද්ගලික ආයතනවල වියදමෙන් විශ්ව විද්‍යාල නඩත්තු කිරීම ය... තුන, අධ්‍යාපනය අවසන් කර එළියට එන සිසුවාට, "රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට" බැඳී පාරවල් ගාණේ පිකට් කරනවා වෙනුවට, සරසවියෙන් පිටවන විටම රැකියා අවස්ථාවන් එකක් නොව කීපයක් තිබීම ය....

මේ එක ක්‍රමයකි... තවත් ක්‍රම තිබේ.... මේවා හුදෙක් අපේ හිතළු නොව, ලෝකයේ දියුණු රටවල දැනට දශක ගණනක් තිස්සේ අතිසාර්ථකව ක්‍රියාත්මක වන අටෝරාසියක් අධ්‍යාපන මොඩලයන්ගෙන් එකකි....

(හැබැයි ඉතිං ඔය මොක කරන්නත් පෙර, අන්තරේ වැනි ත්‍රස්තවාදී සංවිධාන පළවාහැර, සරසවිය නම් මුදා නොගත් කලාපය රටේ ජනතාව භාරයට ගත යුතු ය..... )

ස්වාධීනව මෙහෙයවෙන, එහෙත් ලාභය අරමුණු කර නොගන්නා විශ්ව විද්‍යාලයයක පැවැත්මට සල්ලි හොයන එක ක්‍රමයකි ඔය... තව ක්‍රම ඕනෑතරම් දිය හැකි ය.... දැනට මේ ඇති ය...."


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-07

කුකුළු ෆාම්කාරයාගෙ සත්ව කරුණාව හෙවත් උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක

සිංහල බෞද්ධයන් බුරුමෙ ඇතැම් බෞද්ධයන් වගේ තවම මුස්ලිමුන්ට ගල් ගහලා මරන්නෙ නැහැ.

හරක් මස්වලට විරුද්ධ වුණාට ඉන්දියාවෙ හින්දූන් වගේ හරකුන් මුර කරන්නට තරම් අමාරුවකුත් නැහැ.

සිංහල බෞද්ධ බහුතරය ඇතුළු ලාංකිකයන්ගේ ජාතික මාංශාහාරය තමයි කුකුළු මස් හෙවත් මකුළු කුස්. අපි මාර පෙරේතයි චිකන් කන්න. චිකන් කන එක අපේ ඉස්ටැයිල් එක වගේ.

මතුගම ටවුමෙ තිබුණු හරක් මස් කඩේ දැන් වහලා. හරක් මස් කන්න පුළුවන් කඩ දෙක තුනකට වඩා ටවුමෙ නැහැ. හැබැයි කුකුළු මස් විකුණන කඩ නම් දිනපතා වගේ අලුතෙන් විවෘත වෙනවා. ටවුමෙ තියෙන ෆාමසි ගානට ම වගේ කුකුළු මස්, බිත්තර විතරක් විකුණන්නට තියෙන කඩ තියෙනවා. පාරිභෝජනවාදී සුඛෝපභෝගිත්වයත්, ලෙඩ රෝගත් යන්නෙ සමාන්තරව.

චිකන් කියන්නෙ ලංකාවෙ වගේ ම ලෝකෙත් පාරිභෝජනවාදී මෝස්තරකාර ආහාරයක්. කේ.එෆ්.සී. වගේ සමාගම් ඒ පාරිභෝජනවාදය විලාසිතාවක් කළා. අපි චිකන් කන්නෙ පෝෂණයට ම නෙමෙයි. ධනවාදය විසින් අපට චිකන් අතිවඩවලා තිබෙන නිසා.

වසර 2016දී ලංකාවෙ කුකුළු මස් පරිභෝජනය ජනගහණයෙන් බෙදා බැලුවාම ලොකු කුඩා හැම මිනිහෙකු ම වගේ චිකන් කිලෝ 7.3ක් දෙසා බාලා තියෙනවා. මේක ඇමරිකාව එක්ක සන්සන්දනය කරලා බැලුවොත් ඇමරිකන්කාරයෝ නම් අවුරුද්දට කුකුළු මස් කිලෝ 47.6ක් කනවා.

ලාංකිකයන්ගේ ඒක පුද්ගල බිත්තර කෑම අවුරුද්දකට බිත්තරත් 54ක්. ඒ කියන්නෙ හැම ලාංකිකයෙකු ම සතියකට එක බිත්තරයක්වත් කනවා.

ලංකාවේ දෛනික බිත්තර පාරිභෝජනය ලක්ෂ 65ක් විතර වෙනවා. (සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක මව්බිම පුවත්පතට කර තිබූ ප්‍ර‍කාශයකි. මෙය ඩේලි මිරර් පුවත්පත විසින් 65,000 ලෙස වැරදියට වාර්තා කර තිබිණි.) උපාසක සක සක - රෑට බිත්තර දෙක දෙක කියලා පරණ උපහාසාත්මක කවියක් තියෙනවා.

පසුගිය දවස්වල වයඹ පළාතේ සුළු හා මධ්‍ය පරිමාණ බිත්තර නිෂ්පාදකයන් ඇමති පී. හැරිසන්ගේ පඹයෙකුට බිත්තර ගසමින් උද්ඝෝෂණයක් කළා. හේතුව, මේ බැටරි කූඩු කියලා ජාතියක්.
Photo credit: http://www.prijatelji-zivotinja.hr

බැටරි කූඩු කියන්නේ මෙන්න මේ පිංතූරයේ දැක්වෙන විදියේ ඉඩ පිරිමසා, වැඩ අඩු කර ගනිමින්, අසූචි පහසුවෙන් ඉවත් කරගනිමින් ලෙඩ රෝගත් වළක්වා ගනිමින්, වියදමත් අඩු කර ගනිමින් බිත්තර නිෂ්පාදනය කරන්නට යොදා ගන්නා ක්‍ර‍මයක්. මේ කූඩුවක දාන්නට පුළුවන් කිකිළියන් ප්‍ර‍මාණය 3 - 6 අතර. යුරෝපා සංගමය, ඇමරිකාව එහෙම එක් කිකිළියකට ලබා දිය යුතු ඉඩ ප්‍ර‍මාණය නීතිගත කරලායි තියෙන්නේ.

ලංකාවේ මහා පරිමාණ කුකුළු ගොවිපළවල මෙම ක්‍ර‍මය දැනටත් භාවිතා වෙනවා. සුළු පරිමාණ කුකුළු ගොවීන් මෙයට කැමති නැත්තේ එයින් බිත්තර නිෂ්පාදන වියදම අඩු වෙන නිසායි. එතකොට පාරිභෝගිකයන්ට අඩු මිළට බිත්තර මිළ දී ගන්නට පුළුවන්.

දැනටත්, වඩා ගුණදායක, පිරිසිදු, තත්වයෙන් ඉහළ, පරිසර හිතකාමී ලෙස අසුරන ලද බිත්තර සාධාරණ මිළකට ගන්නට පුළුවන් සුපිරි වෙළඳසැල්වලින් විතරයි. කුකුළු මස් කඩකාරයන් ෂොපිං බෑග්වලට ජරා පිදුරු දාලා, කුකුළු ගූ තැවරුණ බිත්තර විකුණන්නෙ ඒ අතරට බට්ටිචි බිත්තර වගේ පොඩි ඒවාත් රිංගවලායි.

මේ කුකුළු ගූ තැවරුණ බිත්තර ගැන කතා කරනකොට මේකත් කියන්නට ඕනැ. ඔය කඩවල කොත්තු රස ඒවට දාන බිත්තරවල හා කොත්තු හදන එවුන්ගෙ අත්වල නිතර මේ කුකුළු ගූ තැවරී තිබෙන නිසා බවත් දැනගෙන කොත්තු කන්න.

හැබැයි ඉතින් මොනවා වුණත්, මේ සුළු නිෂ්පාදකයන් ආරක්ෂා වෙන්නට ඕනැ. උන් කුකුළෙකු හදාගෙන බිත්තරයක්, මස් ටිකක් විකුණගෙන ජිවත් වන නිසා තමයි දුප්පත්කම නැති වෙන්නෙ.

මේ බැටරි කූඩු ක්‍ර‍මය ඔවුන්ට භාවිතා කරන්නට බැරි ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය නැති නිසායි. ඒ නිසා ලොකු, ලොකු ෆාම්වල බැටරි කූඩු පාවිච්චි කරනවාටත් ඔවුන් විරුද්ධයි. ඇත්තට ම විරුද්ධ මිළ අඩු වෙනවාට. ගොවියා ආරක්ෂා කරන්නට නම් පාරිභෝගිකයාගෙන් ගසා කන්නට සිදු වෙනවා. මෙය ඇත්තට ම සංකීර්ණ ආර්ථික, දේශපාලන ගැටලුවක්.

හැබැයි අර මිදි ඇඹුලයි කියපු නරියා වගේ කියන්නෙ වෙන කතාවක්. කූඩුවල කිකිළියන් පස් හයදෙනෙකු දැම්මා ම උන්ගෙ තටු දුර්වල වෙනවාලු. එළියට ගන්නකොට කකුල් කැඩෙනවාලු. ඉතින් යකෝ මොකටද පස් හය දෙනෙකු දාන්නෙ. පුළුවන් නේ දෙතුන් දෙනෙකු දාන්න. එළියට ගන්නකොට ගනිල්ලකෝ මල වගේ. මොකෝ උඹල කොහොම එළියට ගත්තත් උන් ආපහු ඇතුළට යන්නෙ නැහැ නේ. යන්නෙ අපේ බඩවලට නේ.

කුකුළු ෆාම්කාරයන් සත්ව අයිතිවාසිකම් ගැන කතා කරනකොට මට නම් ටිකක් මඤ්ඤං වගේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-06

හැට දෙලක්ෂයට ඇට දෙකක්වත් ඉතුරු වෙයි ද?

වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් රටට හඳුන්වා දෙන බවට පොරොන්දු වෙමිනි. ඒ වෙනුවෙන් ලක්ෂ 62කට වැඩි ඡන්දදායකයන් ප්‍ර‍මාණයක් ඡන්දය ප්‍ර‍කාශ කළ හ.

එහෙත්, දැන් සිදු වන්නේ කුමක් ද? භික්ෂු ප්‍ර‍චණ්ඩත්වය, ධනකාමය හා සමාජ පසුගාමිත්වය හේතුවෙන් සමාජයෙන් ඈත් වෙමින් තිබෙන සංඝ සංස්ථාව හා මහනායකවරු එයට එරෙහිව අවි අමෝරා ගැනීම හා එය ආණ්ඩුවේ දේශපාලනික විරුද්ධවාදීන්ට, මාධ්‍යවලට පමණක් නොව, ආණ්ඩුව ඇතුළේ ම සිටින ඇතැම් බලලෝභීන් පනින රිලවුන්ට ඉනිමගක් වීමයි.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය යෝජනා වන්නේ පාර්ලිමේන්තුවේ ම කමිටු ක්‍රියාවලියක් හරහා ය. එයට මහජන නියෝජිතයින් සහභාගි වෙති. මහජන නියෝජිතයන් යනු මේ සම්බන්ධයෙන් කටයුුතු කිරීමට ජනවරමක් ඇති අයයි. එයට අමතරව, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියක් ද පැවැත්විණි. දැන් නිවේදන නිකුත් කරන මහනායක භික්ෂූන් එහි පැමිණ ඉදිරිපත් කළ අදහස් මොනවා ද?

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව උද්ඝෝෂණ මතු වන විට ම අප කියූ දෙයක් වන්නේ තරුණ ලේවලට ඉව අල්ලන දේශපාලන පිශාචයන් එයට රොද බඳිනු ඇති බවයි. පාරාජිකා වී රටින් පළා ගිය වාමාංශික අන්තවාදීන්ට පවා මේ ලේ සුවඳට ඉව අල්ලන්නට පටන් ගෙන තිබේ.

ඒ හා සමානව ම, ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනේ ආවාම දෙන්නම් ජම්බු කියා දත මදිමින් බලා සිටින පිරිසක් ද ඇති බව අප අමතක නො කළ යුතු ය. ඒ අතර ප්‍ර‍ධාන කණ්ඩායම් වන්නේ නන්නත්තාර වී සිටින වීරවංශ කල්ලිය, උදය හා ගම්මන්පිල පක්ෂය, දිනේෂ් ගුණවර්ධන, ජාතික සිංචන නඩය වැනි අයයි. තමන්ට ඇති ශක්තිය ගැන හොඳින් දන්නා නිසා මොවුන් උත්සාහ කරන්නේ නඩුවලින් බේරෙන්නට ආණ්ඩු පෙරළා ගන්නට අවශ්‍යව සිටින රාජපක්ෂලා හා පාරාජිකා වී සිටින භික්ෂු සංඝයයි.

ඊට අමතරව, ජනාධිපතිකමට හීන තිබුණට කෝටියක් - අතේ නැහැ එක රුපියලක් හෙවත් රටට කළ කිසිදු වැඩක් නැතත් චම්පික රණවක වැනි අය ද, තවත් එවැනි ම වැඩ බැරි දේශපාලකයන් ද එහි එල්ලෙනු නිසැක ය.

කඩාකප්පල්කාරිත්වය හැර අනාගත වැඩපිළිවෙලක් නැති වාමාංශික අන්තවාදී කල්ලිවලට සිසුන්, වෛද්‍යවරුන් වැනි ප්‍ර‍ජාවන් බලමුළුගැන්වීමට තිබෙන හැකියාව ද සැලකිය යුතු සාධකයකි.

එසේම, වර්තමාන ආණ්ඩුවේ නායකයන්ට ද බලයේ එල්ලී සිටීමේ කෑදරකම හැර රටට ගැලපෙන නායකත්වයක් සඳහා අවශ්‍ය ධාරිතාවන් හෝ පැහැදිලි අනාගත දැක්මක් ද නැත.

මේ සියල්ල මැද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට තල්ලු කර ගැනීම ප්‍ර‍ගතිශීලි ජනතාවට ලෙහෙසි පහසු කාර්යයක් නො වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-04

දොස්තරලා වර්ජනය කල් දැම්මේ ඇයි?

හෙට සිට දොස්තරලා නැවතත් වර්ජනය කරන්නට තීරණය කර තිබිණි. මෙය ලියාගෙන යන අතර ලැබුණු පුවතකින් කියැවුණේ එම වර්ජනය සතියකින් කල් දමා ඇති බවයි.

සම්ප්‍ර‍දායික වාමාංශිකයන් හා වෘත්තීය සමිතිකාරයන් මෙවැනි වර්ජන සම්බන්ධයෙන් දක්වන ආකල්පය වන්නේ මහජනතාවට සිදු වන අපහසුතාවට රජය වගකිව යුතු බව හා මහජනතාව වර්ජකයන්ගේ ප්‍ර‍ශ්න විසඳා දෙන ලෙස රජයට බල කළ යුතු බව ය.

මෙම වාමාංශික රාජ්‍ය විරෝධී ආකල්පය කොයි තරම් දුර දිග ගොස් තිබේ ද යත්, සාමාන්‍යයෙන් ත්‍ර‍ස්තවාදීන් පවා කියන්නේ තමන් ප්‍ර‍සිද්ධ ස්ථානවල පුපුරුවා හරින බෝම්බවලින් විනාශ වන ජීවිතවලට වගකිව යුත්තේ රජය බවයි. බෝම්බ ප්‍ර‍හාරවලින් ජීවිත ආරක්ෂා කර ගන්නට නම් මහජනතාව ත්‍ර‍ස්තවාදීන්ගේ ඉල්ලීම් ලබා දෙන ලෙස රජයට බල කළ යුතු බව ඔවුන්ගේ තර්කයයි.

ළමයකු ප්‍රාණ ඇපයට ගෙන දෙමව්පියන්ගෙන් කප්පමක් ඉල්ලා සිටින පුද්ගලයකු වුව කරන්නේ එය ම ය.

මෙම සටන් උපායමාර්ගය දැන් යල්පැන ගොස් හමාර ය. මූලිකව ම, මහජනතාව අපහසුතාවට පත් කර ඉල්ලීම් දිනා ගැනීම සඳහා මහජන සහයෝගය ලබා ගත නො හැකි ය. ලොව කිසිදු ත්‍ර‍ස්තවාදියකුට, දේශපාලන ව්‍යාපාරයකට, වෘත්තීය සමිතියකට එසේ ඉල්ලීම් දිනා ගැනීමට මෑත ඉතිහාසයේ නම් හැකි වී නැත.

එපමණක් නොව, එසේ ඉල්ලීම් දිනා ගැනීමට උත්සාහ කළ අයට අවසානයේදී අත් වුණේ විනාශයයි.

සයිටම් පමණක් වසාගන්නට උවමනා වී සිටින දොස්තරලා මෙය හොඳින් තේරුම් ගත යුතු ය. සතියක් කල්පනා කර තීරණයක් ගන්න. නැතිනම් සාකච්ඡා කර සම්මුතියකට එළඹෙන්න. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-03

පැරාට උමා ගැන කතා කරන්නට තිබෙන සුදුසුකම කුමක්ද?

මාධ්‍යකරුවකු ලෙස උමා ඔය ගැන කතා කරන්නට ජාතික රූපවාහිනියෙන් කතා කළාම මා එය භාර ගත්තේ එය ලොකු අභියෝගයක් බව දැනගෙනයි.

ඒකට එක් හේතුවක් තමයි, අප මේ දිනවල ගොඩනගමින් සිටින සංවර්ධන සන්නිවේදනය සඳහා ම වූ මාධ්‍ය අවකාශයක් වන iVoice.lkටත් එය අදාළ නිසායි. මේ අපි මීට කලින් පවත්වාගෙන ගිය kiyanna.lk වෙබ් අඩවිය ම වඩා දියුණු ස්වරූපයකින් නැවත දියත් කිරීමක්. මේ සතියේ මැද වන විට මෙම වෙබ් අඩවිය දියත් කරනවා. එය හා එක් වන්නට ඔබට ආරාධනා කරනවා.

පහත දැක්වෙන්නේ අද ජාතික රූපවාහිනිය විසින් විකාශය කරන ලද ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-07-01

අධ්‍යාපන නිදහසේ කතාව ඕනැ බබෙකුට තේරෙන විධියට

හතු පිපෙන්නා සේ තැන තැන ඇරෙන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ද නියාමනයක් අවශ්‍ය ය.
සමාජයක පැවැත්ම සඳහා සියලු දෙනාට ම මූලික අධ්‍යාපනය ලබා දීම අත්‍යවශ්‍යයි. ඒ නිසා තමයි සෑම දරුවෙකුගේ ම මූලික අධ්‍යාපනය වෙනුවෙන් සමාජය සමස්තයක් විදියට බදු මුදලින් වියදම් දරා ගැනීම සාධාරණ වෙන්නෙ. ලංකාවෙ නම් මේ වන විට අවුරුදු 13ක අධ්‍යාපනය අනිවාර්ය කරන්නට රජය පියවර ගනිමින් ඉන්නවා. ඒ කියන්නෙ මේ රටේ මහජනයා සෑම දරුවකු ම අවුරුදු 13ක් පාසල් යන බවට වග බලා ගන්නට ඕනැ. ඒ වියදම් තමන්ගේ බදු මුදලින් දරා ගන්නට ඕනැ.

අධ්‍යාපනය මිනිස් අයිතියක් ය කියන කාරණේ ඔය මූලික අධ්‍යාපනය සම්බන්ධයෙන් සර්ව සාධාරණයි. ඒ වුණාට උසස් අධ්‍යාපනය, යාවජීව අධ්‍යාපනය වැනි අංශවලදී ප්‍රශ්නකාරීයි. හේතු පැහැදිලියි. ලෝකෙ කිසිම රජයක් සියලු දෙනාට උසස් අධ්‍යාපනය අනිවාර්ය කරලා නැහැ. ඒක පෞද්ගලික තෝරා ගැනීමක්. අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයක් කියා කීවත් වැරදි නැහැ.

පොදුවේ සමාජයට අවශ්‍ය වෘත්තිකයන් නිර්මානය කර ගන්නට රජය උසස් අධ්‍යාපනය නොමිළේ දෙන එක සාධාරණයි. ඒ සඳහා දක්ෂ සිසුන් තෝරා ගැනීමට ක්‍රමවේදයක් තිබීමත් සාධාරණයි. ඒ වගේ ම තමයි, යම්කිසි කෙනෙකුට තමන්ගේ උන්නතිකාමයන් හඹා යන්නට ප්‍රමිතියෙන් යුත් උසස් අධ්‍යාපනය තෝරා ගැනීමේ අවස්ථා තහවුරු කර දීමත් දියුණු සමාජයක ලක්ෂණයක්. උදාහරණයක් විදියට ලංකාවට තව අවුරුදු 25කටවත් ගගනගාමීන් අවශ්‍ය නො වෙන්නට පුළුවන්. ඒ වුණාට මේ රටේ දරුවෙකුට ඒ ගැන ඉගෙන ගන්නට අවස්ථාව තිබීම ගැටලුවක් නෙමෙයි. හැබැයි, අභ්‍යවකාශ තරණය වෙනුවෙන් සැලසුමක් නැති රටක ගගනගාමීන් බිහි කරන්නට රජය මහජන මුදල් වියදම් කරන්නට ඕනැ නැහැ. ඕනැ කෙනෙකුට පුළුවන් තමන්ගේ මුදල් වියදම් කරලා ඕනැ දෙයක් ඉගෙන ගන්න. නොමිලේ කියන වචනය ඇතුළෙම තියෙනවා මිලක් තිබෙන බව. නිදහස් ය කියන්නේ ඒ මිල වෙන අය ගෙවන බවයි. මේක තේරුම් ගැනීම ඉතා පහසුයි. නොමිලේ ඉගෙන ගන්නා සිසුන්ට උගන්වන ගුරුවරුන්ට පඩි ගෙවන්නේ කාගේ සල්ලිවලින් ද? ඒ මේ රටේ වැඩ කරන ජනයා ගෙවන බදු.

රජයේ විශ්වවිද්‍යාලවලට යන්නේ දිළින්දෝ ද?

අනිවාර්ය අධ්‍යාපනය, ඒ කියන්නේ ලංකාවේ නම් අද වන විට වසර 13ක අධ්‍යාපනය, රජයේ වගකීමක් වීම සාධාරණ බව මා කලිනුත් සඳහන් කළා. හේතුව මූලික අධ්‍යාපනය සැම දෙනාට ම සමාන අන්දමින් ලැබිය යුතුයි. ඒ වුණාට මොකද වෙන්නෙ? මේ රටේ ධනය හා බලය ඇති, බොහෝ විට රජය සමග සම්බන්ධ මධ්‍යම පංතික කොටස් විවිධ කූට ප්‍රයෝගවලින් රජයේ හොඳම පාසල්වල ඉඩ තමන්ගේ දරුවන්ට ලබා ගන්නවා. එතනදී ග්‍රාමීය මෙන් ම නාගරික වැඩ කරන ජනතාවගේ දරුවන් පරිධියේ පාසල්වලට තල්ලු වෙනවා. ඔවුන්ට පහේ ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ කඩඉම් පසු කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්නට නම් අසාමාන්‍ය දක්ෂතාවක් අවශ්‍යයි. ඒ වුණාට වඩා හොඳ පාසල් අත්පත් කර ගන්නා දරුවන් සාමාන්‍ය දක්ෂතාවලින් ඒ කඩඉම් ජය ගන්නවා. සමාජය ඒ තිත්ත ඇත්ත හොඳින් දන්නවා. ඒ නිසායි, ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කරගන්නට මේ තරම් තරගයක් සමාජයේ තියෙන්නේ.

වෛද්‍ය විද්‍යාලවලට ඇතුල්වන සිසුන්ගෙන් 47%ක් ම නාගරික සිසුන් බව ද 41%ක් අර්ධ නාගරික සිසුන් බව ද 11% පමණක් ග්‍රාමීය සිසුන් බව ද උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්තවලින් හෙළි වෙනවා. අනෙක් පැත්තට ශාස්ත්‍ර පීඨ වලට ඇතුල්වන සිසුන්ගෙන් 15% පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන්. එහෙම වෙන්නෙ අර මා ඉහත දැක්වූ හේතුව නිසා. වෛද්‍ය පීඨයක සිසුන් උගත් පාසල් මොනවාද කියා අධ්‍යයනය කර බලන්න. වැඩිදෙනෙක් නාගරික ජනප්‍රිය පාසල්වලින් පැමිණි අය. හද්දා පිටිසරින් ආපු ළමයි වැඩිපුර ඉන්නෙ කලා පීඨවල. ඔවුන් වැඩිදෙනෙකුට රජය රස්සා නො දුන්නොත් රැකියාවක් සොයා ගන්නට පුළුවන් ආකාරයේ අධ්‍යාපනයක් විශ්වවිද්‍යාලවලින් ලැබෙන්නේ නැහැ. උසස් අධ්‍යාපනයේ ඇත්ත ඒක. මේ රටේ ග්‍රාමීය, අඩු ආදායම්ලාභී, දිළිඳු සමාජ කොටස්වලට නිදහස් අධ්‍යාපනයෙන් ලැබෙන්නෙ රොඩ්ඩ.

ජාත්‍යන්තර පාසල් ළමයින් ධනපති පන්තියේ ද?

ඒ වගේම ජාත්‍යන්තර පාසල්වලට යන විශාල සිසුන් ප්‍රමාණයක් අයත් වන්නේත්, මේ ජනප්‍රිය පාසල් පොරයෙන් ගිලිහෙන ප්‍රවර්ගයටයි. ඔවුන්ගේ මව්පියන්ට ඒ වියදම දරා ගැනීමට හැකි වීම අපරාධයක් නෙමෙයි. ඔවුනුත් මේ රටේ දරුවෝ. මේ දරුවන් රජය විසින් නො තකා හැරීම නිසා ම ඔවුන් අයත් වන්නේ පීඩිත ප්‍රජාවකටයි. (පීඩිතයන් වන්නේ දුප්පතුන් පමණක් නොවෙයි. කොච්චර පොහොසතුන් වුණත් කාන්තාවන් පීඩිතයි. විෂම ලිංගිකයන් නොවන පිරිස් පීඩිතයි. සුළුතර ජාතීන් පීඩිතයි.) ලංකාවේ ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න දරුවන් සංඛ්‍යාවවත් අධ්‍යාපන අමාත්‍යාංශය දන්නේ නැහැ. ඒ දරුවන්ට ඉතා අසාධාරණ අන්දමින් මේ රටේ විශ්වවිද්‍යාල දොරටු වැසෙනවා. ඔවුන් උසස් අධ්‍යාපනය ලබන්නට පිටරට යා යුතුම ද?

ඔය විදියට ලංකාවේ පීඩිත පංතියේ දරුවන්ගේ අධ්‍යාපන සම අයිතිය අහිමි කරන්නේ පළමු ශ්‍රේණියේදීමයි. එ් අහිමි වීම නිවැරදි කර ගන්නට පුළුවන් අසාමාන්‍ය දක්ෂතා තිබෙන දරුවන්ට විතරයි. ලංකාවේ නිදහස් උසස් අධ්‍යාපනය කියන්නේ ඕකට. ඒකෙ පදනම ම පවතින්නේ ජනප්‍රිය පාසල් හිමි කර ගැනීම හා පෞද්ගලික ටියුෂන් මතයි.

සයිටම් තුවාලය

මහජන මුදලින් පවත්වාගෙන යන නිදහස් යයි කියන අධ්‍යාපනය වගේ ම පෞද්ගලික අධ්‍යාපනයත් මේ රටේත්, ලෝකයේත් ඉතිහාසයක් මුළුල්ලේ ම පවතිනවා. කන්නන්ගර මහතා 1940 දශකයේදී නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ පෞද්ගලික අධ්‍යාපනයට අමතරව මිස එය විනාශ කරමින් නෙමෙයි. එයින් අරමුණු කළේ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමයි. සියලු දරුවන් එක වගේ පාසල්වලට යා යුතු ය කියන මෝඩ, බොරු සමාජවාදී සංකල්පය මත පෞද්ගලික පාසල් රජයට පවරා ගැනීම සිරිමාවෝ බණ්ඩාරනායක කළ දෙයක් මිසක් කන්නන්ගර සංකල්පයක් නෙමෙයි.

අපට තිබෙන ගැටලුව සයිටම් නෙමෙයි. අධ්‍යාපනයේ නිදහස කියන සංකල්පයට මේ සයිටම් විරෝධී උද්ඝෝෂණය හරහා එල්ල වන බලපෑමයි. සයිටම් කියන්නේ ලොකු තුවාලයක්. තුවාලයක් හැදුණාම කකුල කපන්නේ තුවාලය හොඳ කරන්නට බැරි නම් විතරයි. සයිටම් තුවාලෙ හොඳ කරන්නට රජය ගත් පියවරවලට උදව් කළ යුතුව තිබෙන්නේ ඒ නිසායි.

අධ්‍යාපනය විකිණීම

රටට අවශ්‍ය වෘත්තිකයන් බිහි කර ගන්නට මහජන මුදලින් පවත්වාගෙන යන උසස් අධ්‍යාපනය අනිවාර්යයෙන් ම තිබිය යුතුයි. කොයිම රජයක්වත් වාමාංශිකයන් කියන ආකාරයේ අධ්‍යාපනය ‘විකිණීමේ' පිළිවෙත් ඉදිරිපත් කර නැහැ. කොයි ම රජයක්වත් රජයේ පාසල්, විශ්වවිද්‍යාල වසන්නට පියවර අරගෙන නැහැ. ඒවා පුළුල් වෙමින් පවතින්නේ. පෞද්ගලික අංශයකට ඉඩ දීම කියන ප්‍රතිපත්තිය නම් තියෙනවා. පෞද්ගලික අංශයකට ඉඩ දීම කියන එකයි, අධ්‍යාපනය විකිණීම යයි අදහස් කරන එකයි එකක් නෙමෙයි. පැහැදිලිව ම දෙකක්. විකිණීම කියන වචනය ම දේශපාලන සංදර්භය තුළ නිශේධාත්මක අරුත්වලින් යුක්ත එකක්. මිළ දී ගත හැකි හැම දෙයකට ම ඒ විකිණීම කියන නිශේධාත්මක අරුත අදාළ නැහැ. උදාහරණයක් විදියට ඔබ පොතක් මිළ දී ගන්නවා. එය මිළ දී ගත් පළියට ඔබ ඔය කියන විකිණීම කියන නිශේධාත්මක අදහස එතන නැහැ.

යම් දෙයක වටිනාකම කවුරුන් හෝ ගෙවිය යුතුයි. රජය මහජන බදු මුදලින් උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ උසස් පෙළ සමත් වන සිසුන් පස්දෙනෙකුගෙන් එක්කෙකුට පමණක් නම් ඉතිරි හතරදෙනාටත් තමන්ගේ මුදල් වැය කර හෝ කැමති නම් උසස් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව තිබිය යුතුයි. පෞද්ගලික අධ්‍යාපනයෙන් එයට යම් අනුපූරක වීමක් සිදු කර ගත හැකි නම් එය වැරදි නැහැ. මේක අදාළ වෙන්නේ ලංකාවේ දැන් තිබෙන තත්වයට. ඉතුරු හතරත් රජයේ විශ්වවිද්‍යාලවලට ම බඳවා ගන්න ය කියා කියන්නට පුළුවන්. හැබැයි ඒකට ලංකාවේ තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව තව පස්ගුණයකින් විතර වැඩි කරන්නට ඕනැ. ඒක කරන්නට තව විශාල බදු ප්‍රමාණයක් ගෙවන්නට මේ රටේ ජනතාවට සිදු වෙනවා. ඔබ කැමති ද? ඔය දේශපාලකයන් 500කගේ දූෂණය නැති කර ඉතිරි කළත් ඒ මුදල සොයා ගන්නට දශක් හෝ සියවස් ගණනාවක් යාවි. එතකල් අර සිසුන් හතර දෙනාට මොකක්ද කරන්නෙ? සමස්ත සමාජයේ ම වියදමින් උසස් අධ්‍යාපනය ලබන්නට වරප්‍රසාද ලබා ගත් සිසුවෙකු එසේ අවස්ථාව නො ලද, ඒ වෙනුවෙනුත් පෞද්ගලික ධනය වියදම් කරන, රජයට බරක් නැති තවත් සිසුන් හතරදෙනෙකුට ඉගෙන ගන්නට අවස්ථාව දෙන්නට එපා ය කියා උද්ඝෝෂණය කරන එක මිනිස්කමක් ද?

ලෝකෙ රැල්ල

මෙතනදී කියන තවත් කාරණයක් තමයි උසස් අධ්‍යාපන වියදම් රජය විසින් දැරිය යුතු බවට ලෝකයේ අරගලයක් තිබෙන බව. මේ ලෝකයන් දැන ගත යුතු තව කාරණයක් තියෙනවා. ඒ තමයි ලෝකෙ කොහේවත් ලංකාවේ තිබෙන ජාතියේ මෝඩ දේශපාලනික නවක වධයකුත් නැති බව. ලෝකෙ වෙන තැන්වල තිබෙන අරගල පැන නගින්නේ වෙනත් සංදර්භවලින්. ලංකාව කළ යුත්තේ මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් සොයන එක මිසක් ලෝකෙ රැළිවලට ආවඩන එක නෙමෙයි. පෞද්ගලික උසස් අධ්‍යාපනය මේ රටට අවශ්‍ය රජයේ විශ්වවිද්‍යාල වෙනුවට නෙමෙයි. ඒවාට අනුපූරකයක් ලෙසයි . එහි ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු තිබෙන බව ඇත්ත. ඒවා නිවැරදි කළ යුතුයි. ගුණාත්මකභාවය පිළිබඳ ගැටලු හැම තැනම තිබෙන බව කවුරුත් දන්නවා. ඒ වගේ ම හතු පිපෙන්නා සේ පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි විය යුතු බවත් අප කියන්නේ නැහැ. ඒවා නිසි නියාමනයකට ලක් වීම අනිවාර්යයි. නියාමනයවත් හරියට කර ගන්නට බැරි නම්, එවැනි රජයකින් පවත්නා අධ්‍යාපන ගැටලුවට විසඳුම් දෙන්න බැරි බව අමුතුවෙන් කියන්නට ඕනැ නැහැ නේ.

ලංකාවේ පවතින තත්වය තුළ අපට ස්වාධීන විශ්වවිද්‍යාල පිළිබඳ බලාපොරොත්තු තියන්නට බැහැ. ඒ නිසා මේ කාර්යයන් වෙනුවෙන් රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්වයන් හොඳ විසඳුමක් ලෙස සැලකිය හැකියි. ඒ එක්කම මේ රටේ මිනිසුන්ට දී තිබෙන ව්‍යවසායකයන් යනු සොරුන් ය, ලාභය යනු අපරාධයකි, වෙළඳපොළ යනු පිටුදැකිය යුතු තැනකි වැනි බොළඳ වාමාංශික අදහස් ගැනත් අලුතෙන් සිතන්නට සමාජය පෙළඹවිය යුතුයි. ඔය පිළිකෙව් කරන ව්‍යවසායකයන් විසින් අතීතයේදී කරන ලද ධන පරිත්‍යාගයන් මත තමයි වර්තමානයේදී මධ්‍යම පංතිකයන් පොර කමින් දරුවන් ඇතුළත් කරන, දැන් රජයට පවරාගෙන තිබෙන පාසල් බොහොමයක් බිහි වුණේ.

ඔය නොමිළේ ඉල්ලන සියල්ල වෙනුවෙන් බදු බරට කර ගැසිය යුත්තේ රජයෙන් ඒ කිසිදු සේවාවක් හරියට නො ලැබෙන, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන්, මැදපෙරදිග ශ්‍රමිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් වැනි වැඩ කරන ජනතාව. අරගල ඉදිරියට එන්නේ ප්‍රශ්න නිසා බව ඇත්ත. ඒත්, හැම අරගලයක් ම සාධාරණ නැහැ. උදාහරණයක් විදියට අධ්‍යාපනයට මුදල් වියදම් නො කර ඒකත් ඉතුරු කර ගන්නට තියෙනවා නම්, සියල්ල නිකම් ලැබෙනවා නම් කවුරුද අකැමැති? උදාහරණයක් ලෙස, කුඹුරට බිත්තර වී හා පෝර ටික නිකම් දීලා, වාරිමාර්ගත් නඩත්තු කරලා, වගා හානිත් ප්‍රතිපූරණය කරලා, අස්වනුත් වැඩි මුදලට ගන්නවා නම් ගොවීන් අකැමැති නැහැ නේ. වෙන කවුරුහරි ඇවිත් කුඹුරෙ වැඩත් කරලා දීලා යනවා නම් තව සතුටු වෙයි. දැන් ප්‍රශ්නය කවුරුද ඔය දේවල වියදම දරන්නෙ? අපි බදු ගෙවන්නත් අකැමැතියි නේ. කොහේ හරි සුරංගනාවක් ඉන්නවා ද මේ ඔක්කොම අපට දෙන්න.

රජය මූලික කර ගත් ලංකාවේ මධ්‍යම පංතිකයන්ගේ උවමනාව තමයි, වැඩ කරන පීඩිතයන් තව තවත් මහන්සි වී වැඩ කරමින් රජය හා රජයෙන් මධ්‍යම පංතිකයන්ට ලැබෙන වරප්‍රසාද ටික ආරක්ෂා කර දීම. හැම සටනක් ම සාධාරණ නැහැ. මේ මොහොතේ පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධව සිදු වන සටත් අසාධාරණ සටනක්. ඒ බව තේරුම් ගන්නට බැරි පිරිසක් බිහි වී තිබෙන්නේ ඉතිහාසයක් මුළුල්ලේ ගොඩනගලා තිබෙන මිථ්‍යාව නිසා. ඒ මිථ්‍යාව ප්‍රශ්න නො කර භාර ගන්නා නිසා.

- අජිත් පැරකුම් ජයසිංහ, රාවය - 2017-07-02

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.