2017-07-11

එහෙත් හරි ඩෙංගු - මෙහෙත් හරි ඩෙංගු

ජුලි 10දා සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවැත්වුණු පුවත්පත් සාකච්ඡාවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර පැවසූ කරුණක් මෙසේයි:

ඩෙංගු රෝගයෙන් මිය යන අය අතරින් වැඩි පිරිසක් පමා වී රෝහල් ගත වුණ අය. ඔවුන් ඇතැමෙක් කම්පන තත්වයේ හෝ ඒ හා ආසන්න තත්වයක සිටින අයයි.

උණ වැළඳුණාම අත්බෙහෙත් කරමින් නො සිට වෛද්‍යවරයකු හමු විය යුතු බව හා රෝහල්ගත විය යුතු ද, නැද්ද යන්න තීරණය කිරීම වෛද්‍යවරයා විසින් කළ යුතු බවයි වෛද්‍ය උපදෙස. ඒත් ඇයි අපේ මිනිසුන් එසේ නො කරන්නේ?

හේතු ගණනාවක් තිබෙනවා.

1. තමන්ට ඩෙංගු වැළඳී ඇති බව පිළි ගැනීමට මැලිකම.
2. රෝහල්ගත වීම අපාගත වීමකට සමාන නිසා රෝහලට යන්නට ශිෂ්ට මිනිසුන් අකැමැති වීම.
3. පෞද්ගලික රෝහලක නතර වුවහොත්, බිල් ගෙවන්නට ගේ දොර ඉඩ කඩම් විකුණන්නට සිදු වීම.
4. අත් බෙහෙත්වලින් රෝග ලක්ෂණ යටපත් කරගෙන දැන් හොඳයි කියා සතුටු වීම.

මෙහිදී ඉතා වැදගත් කාරණයක් වන්නේ අංක 5යි.

5. ඩෙංගු රෝගය කෙටියෙන් සුව කර ගැනීම සඳහා හොර වෙදුන් වෙත යාම.

ඩෙංගු රෝගය සම්බන්ධයෙන් විවිධ අදහස් විවිධ අය විසින් ලියා තිබුණා. පහත දැක්වෙන සටහන උපුටා ගත්තේ ඉසුරු චාමර සෝමවීරගෙන්.




ඩෙංගු සමබන්ධව මිත්‍යා මත ගොඩක් පැතිරෙන්න පටන් අරන් නිසා. ඩෙංගු කියන්නෙ මදුරුවෙක් මගින් බෝ වෙන වෛරස් රෝගයක්. දැනට මේ රෝගයෙ ආකාර එහෙමත් නැත්තන් සීරොටයිප් පහක් හඳුනාගෙන තියනවා. මේක සුව කරන්න නිශ්චිත බෙහෙතක් තවම සොයාගෙන නැහැ. නමුත් සංකූලතා අවම කර ගැනීමේ ප්‍රතිකාර ක්‍රම තියනවා. ලංකාවෙ ඩෙංගු බෝ කරන්නෙ ගෘහාශ්‍රිතව ජීවත් වීමට හා බෝ වීමට කැමැත්තක් දක්වන ඊඩීස් ඊජිප්ටයි සහ ඊඩීස් ඇල්බොපික්ටස් කියම මදුරු විශේෂ දෙක. මේ රෝගය වැලදීම වලක්වා ගැනීම තමයි වැදගත්. ඩෙංගු වැලඳුන පුද්ගලයෙකුගෙන් වාහක මදුරුවගෙ ඇඟට වෛරසය ඇතුල් වෙලා දින දහයකට විතර පස්සෙ ඒ මදුරුවා දෂ්ඨ කරන අනෙක් පුද්ගලයන්ට ඩෙංගු වෛරසය ආසාදනය වෙනවා. ඉතින් ඩෙංගු වලක්වා ගැනීමේ පහසුම හා වඩා ප්‍රායෝගිකම ක්‍රමය තමා වාහක මදුරු දෂ්ටනයන් වලක්වා ගැනීම.

මේක කරන්නෙ කොහොමද? හැම මදුරුවම ඩෙංගු බෝ කරන්නෙ නැත්නම් අපි ඩෙංගු වාහක මදුරුවන් හඳුනා ගන්නෙ කොහොමද? මදුරුවො අල්ලලා ඩෙංගු මදුරුවොද කියලා හොයනවට වඩා සියලුම මදුරුවන් සහ උන් බෝ වෙන ස්ථාන නැති කිරිමයි වැදගත්. ඒත් කාට හරි දැන ගන්න ඕනෙ නම් ඩෙංගු වාහක මදුරුවා මොන වගේද කියලා එයාලගෙ පිංතූර මේ එක්ක දානවා.මදුරුවගෙ ජීවන චක්‍රයෙ අවස්ථා හතරක් තියනවා . ඒ තමා බිත්තර, කීටයා, පිලවා සහ සුහුඹුල් මදුරුවා. සුහුඹුල් මදුරුවගෙ ගැහැණු සතා පමණයි ලේ උරා බොන්නෙ. ඒ එයාලගෙ බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රෝටීන් හදන්න ඕනෙ වෙන ඇමයිනෝ අම්ල ලබා ගන්න. (හැම මදුරු විශේෂයකම ගැහැණු සතා ලේ බොන්නෙ නැහැ ).

ඩෙංගු වාහක මදුරු විශේෂ වල ජීවන චක්‍රය ගැන පොඩ්ඩක් දැනගෙන හිටියොත් එයාලව බෝ වෙන එක වලක්වන්න අපිට ලේසියි. ඩෙංගු වාහක මදුරු විශේෂයෙ ගැහැණු මදුරුවෙක් වරකට බිත්තර 30-120 අතර ප්‍රමාණයක් දානවා.මදුරු ගැහැණු සතාගෙ ශරීර ප්‍රමාණය හා එයා ලබාගත්ත රුධිර පරිමාව අනුව මේ බිත්තර ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුලුවන්.එයාලා බිතර දාන්නෙ පිරිසිදු වතුරෙද අපිරිසිදු වතුරෙද කියලා ලොකු ලොකු තර්ක යනවා. අපිට වතුරෙ පිරිසිදු අපිරිසිදු බව පියවි ඇසින් බලලා නිගමනය කරන්න බැරි නිසා ඒ ගැන තර්ක කරනවට වඩා වතුර එකතු වෙන තැන් ඉවත් කරන හෝ විනාශ කරන එකයි වැදගත්. කලිනුත් කිව්වා වගේ මෙයා ගෘහාශ්‍රිතව බෝ වෙන මදුරුවෙක්. වතුර රැඳෙන වැහිපීලි, සිමෙන්ති ටැංකි, වතුර එකතු කරන බඳුන්, කුරුල්ලන්ට සත්තුන්ට වතුර දාන බඳුන්, ෆ්‍රිජ් එකේ එලියෙන් වතුර එකතු වෙන කොටසක් තියනවනම් ඒක, ටයර්, විසිකරන ජලය රැඳෙන ආකාරයේ බඳුන්, පොලිතින්, පොල්කටු, උන බට, වාහන කොටස්. බ්‍රොමීලියා වගේ වතුර රැඳෙන විසිතුරු පැලෑටි, නොගැඹුරු සිමෙන්ති කාණු, සමහර ප්‍රදේශ වල නොගැඹුරු ලිං, රබර් වගාවන් අශ්‍රිත පොල් කටු ආදී බොහෝ තැන්වල බිත්තර දානවා. මෙයාලා බිත්තර කෙලින්ම වතුරට දානවට වඩා වතුර අඩංගු බඳුනෙ වතුර පෘෂ්ඨයට මදක් ඉහලින් බිත්තර දාන්න කැමතියි.මේ බිත්තර වලටත් විශේෂ හැකියාවක් තියනවා. ඒ තමා වතුර නැතුව මාස දෙකත් හයත් අතර කාලයක් සජීවීව පැවතීමේ හැකියාව.බිත්තර දාපු බඳුනෙ වතුර වේලිලා ගියත් ඊළඟ වැස්සෙන් පස්සෙ පුපුරන්න මේ බිත්තර වලට පුලුවන්. අනික ඩෙංගු වෛරසය මව් මදුරුවා මඟින් යම් සුලු ප්‍රතිශතයක් බිත්තර හරහා ගිහින් ඊ ළඟට එන පරම්පරාවෙ වාහක මදුරුවන් සිටීමේ හැකියාවකුත් තියනවා.

මේ මදුරු බිත්තර වතුර ලැබුනම දවස් එකක් දෙකක් ඇතුලත පුපුරනවා. ඒත් සමහර පාරිසරික සාධක මත මේ කාලය වැඩි වෙන්න පුළුවන්. වතුරෙ ඔක්සිජන් සාන්ද්‍රනය අඩු නම් බිත්තර ඉක්මනින් පිපිරීමේ හැකියාවක් තියන බවත් දැන් හොයාගෙන තියනවා.බිත්තර පුපුරලා එන කීටයා ඔක්සිජන් ලබාගන්නෙ ප්‍රධාන වශයෙන්ම වාතයෙන්.කන්නෙ වතුරෙ අඩංගු ජීවී අජීවී කාබනික අංශු.මෙයාල පෙරා බුදින්නො. ඒ කියන්නෙ වතුරෙන් කාබනික අංශු පෙරලා තම ගන්නෙ. කීට අවස්ථා හතරක් තියනවා.හතර වෙනි කීට අවස්ථාවට පස්සෙ පිලවා වෙනවා. පිලවා කන්නෙ නැහැ.ඒත් වාතයෙන් ඔක්සිජන් ලබා ගන්නවා. බිත්තර ඉඳලා පිලවා වෙන්න යන කාලෙ ආහාර වතුරෙ ස්වභාවය සහ උෂ්ණත්වය වගේ කාරනා මත වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් සතියක් වගේ කාලයක් මේ වැඩේට ගියත් විද්‍යාගාර තත්ව යටතෙ දවස් හතරකින් මේ වැඩේ වෙනවා. පිලවා දවසකින් දෙකකින් හැව හලලා වැඩිහිටි මදුරුවෙක් වෙනවා.

සාමාන්‍යෙන් ඉස්සෙල්ලා උපදින්නෙ පිරිමි මදුරුවො. ඊ ළඟට ගැහැණු මදුරුවො. එයාලා ඉපදිලා කෙටි කාලයකින් එකතු වෙනවා. ගැහැණු මදුරුවගෙ ඇඟේ ස්පර්මතීකා කියන නමින් හඳුනව කුඩා මලු තුනක් තියනවා. මේ මලුවල එයා පිරිමි මදුරුවාගෙන් ලබා ගන්න ශුක්‍රාණු ගබඩා කර ගන්නවා. එයාගෙ බිත්තර සංසේචනයට නැවත නැවත පිරිමි මදුරුවෙක් එක්ක එකතු වීම අනිවාර්‍ය නැහැ මෙහෙම ශුක්‍රාණු ගබඩා කර ගන්න නිසා. දැන් එයාට ඩෙංගු රෝගියෙක්ගෙන් ලේ උරා බීලා දින දහයක් දා හතරක් පමණ වෙන බීජෞෂන සමයකින් පස්සෙ තව කෙනෙකුට බෝ කරන්න පුලුවන්. පිරිමි මදුරුවන්ගෙ ජීවිත කාලය කෙටියි. ස්වභාවික තත්වය යටතෙ ඩෙංගු වාහක වර්ගයන්ට අයත් මදුරු ගැහැනු සතෙක් සති තුනක් හතරක් ජීවත් වෙනවා. මේ කාලය පාරිසරික තත්ත්ව මත වෙනස් වෙන්න පුළුවන්. විද්‍යාගාර තත්ව යටතෙ එයාලා මාස තුනක් විතර ජීවත් වෙනවා අපි නිරීක්ශනය කරලා තියනවා.

මදුරුවෙකුට පෙනීමේ හැකියාව තිබුනත් එය ගොඩක් දියුණු නැහැ. එයා ගොදුරකට ආකර්ශනය වෙන්නෙ ගොදුරෙ උෂ්ණත්වය, එයින් එන සුවඳ/ගඳ සහ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රනය කියන කාරනා මත. දැන් ඔයාලට තේරුම් ගන්න පුලුවන් ඇයි සමහරුන්ට වැඩිපුර මදුරුවො කන්නෙ කියලා.කන ගාවට ඇවිත් සද්ද දාන්නෙ (මේ සද්දෙ එන්නෙ එයාල තටු ගහන නිසා) එතන උෂ්ණත්වෙ සාපේක්ෂව වැඩි නිසා. ඩෙංගු වාහක මදුරුවො වැඩිපුර මිනිස්සුන්ව දෂ්ඨ කරන්නෙ උදේ වරුවෙ සහ හවස් වරුවෙ. ඒත් අනිත් වෙලාවට කන්නෙ නෑම කියලා කියන්න බැහැ. මෙයාලා ගෙවල් ඇතුලෙ වගේම එළියෙදිත් කනවා. ඒ කන්නෙත් අපි වැඩිපුර ක්‍රියාකාරී වෙලවෙදිමයි.ඒ වගේම එයාල එක රුධිර වේලක් උපයා ගන්න කිහිප දෙනෙක් දෂ්ඨ කරන්නත් පුළුවන්. ඒ හැසිරීම නිසා එයාලා අතින් ඩෙංගු බෝ වීමේ හැකියාව වැඩි වෙනවා.ලේ ගත්තට පස්සෙ එයාලා නිවෙස් තුල හෝ පිටත් හෝ ආර්ද්‍රතාව වැඩි අඳුරු තැනක බිත්තර මෝරනකං විවේක ගන්නවා. ගොඩක් විට නිවෙස් වලින් පිට මේ වැඩේ කරන නිසා ගෙවල් ඇතුලෙ කෘමි නාශක ගහලා මෙයාව පාලනය කරන්න අමාරුයි.

එයාගෙ ජීවන චක්‍රයේ අවස්ථා වැඩි ගණනක් තියෙන්නෙ වතුරෙ නිසා එයාලා බෝ වෙන තැන් නැති කලොත් එයාලව පාලනය පහසුයි.කසල වතුර එකතු නොවෙන පරිදි බැහැර කිරීම, පොලිතීන් , ප්ලාස්ටික් භාවිතය අඩු කිරීම,වතුර ටැංකි, ලිං ආදියට කීට භක්ශක මසුන් යෙදීම, වැහිපීලි, ටයර්, සහ වාහන කොටස්, පොලිතීන් ආදිය වතුර එකත් නොවන් සේ තැබීම වගේ සරල දේ අපිට කරන්න පුලුවන්. කලුතෙල් වගේ දෙය්ක් වතුරට දාන්න පුලුවන් තැන්වල දැම්මොත් කීටයන්ට වාතයෙන් ඔක්සිජන් ලබා ගන්න බැරුව මැරෙනවා. ටෙමිෆොස් වගේ කීට නාශක සහ බීටීඅයි වගේ දේවල් වතුර වැඩිකාලයක් එකතු වෙච්චි තැන් වලට යොදන්න පුලුවන් වුනත් වඩා ප්‍රායෝගික ගෘහාශ්‍රිත කසල වතුර එකතු වෙන්න බැරි විදියට කලමනාකරන කර ගැනීම.

රෑට මදුරු දැල් පාවිච්චි කරනවා වගේ පුංචිම දරුවො ඩෙංගු පවතින පැතිවල දවල් කාලෙත් හැකි සෑම අවස්ථාවකම නෙට් ඇතුලෙ තියනවා නම් හොඳයි. දිගට ඇඳුම් ඇඳීම, පැඟිරි තෙල් සහ ඒ ආකාරයෙ මදුරු විකර්ෂක ආලේප ගැල්වීමත් කරන්න පුළුවන්.

වඩාම වැදගත් මදුරුවන් බෝ නොවන විදියට අපේ පරිසරය පවත්වා ගැනීම. මේක ඩෙංගු වසංගතයක් ආවම පිස්සුවෙන් ඔක්කොම ගස් කොලන් කපා දැමීම නෙමේ දිනපතා පුරුද්දක් විදියට නිවැරදිව කසල බැහැර කිරීම සහ අවට පරිසරය හොඳින් නිරීක්ෂණය මගින් කරන්න පුලුවන්. අපිට නොපෙනෙන ඩෙංගු බෝවෙන තැන් ගොඩක් ගෙයි , වහලෙ සහ ගෙයි පිටත වත්තෙ තියෙන්නෙ පුලුවන්, පාසල, පාර, වැඩ කර තැන සහ අසල් වැසි නිවාස ගැනත් අපිට මේ විදියටම සැලකිලිමත් වෙන්න වෙනවා. ඩෙංගු ඇවිත් ඔයාවත් ඔයාගෙ පවුලෙ අයත් අරන් යන්කං ඉන්න එපා.

- ඉසුරු චාමර සෝමවීර


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2 comments:

  1. පැරා,

    //ඩෙංගු රෝගය කෙටියෙන් සුව කර ගැනීම සඳහා හොර වෙදුන් වෙත යාම.//

    හොර වෙදුන් ලගට ගියත් හොද වෙදුන් ලගට ගියත් මේ දෙගොල්ලොන්ටම කිසිම බෙහෙතක් නෑ, ඒ කියන්නේ රෝගය සුව වෙන්නේ බෙහෙත් වලින් නෙමෙයි අදාළ ලෙඩාගේ ප්‍රතිශක්තිකරණය මතයි.

    අද වෙලා තියෙන්නේ හැම ලෙඩේ ටම බෙහෙත් ගන්න පුරුදු වෙලා මනුස්ස ප්‍රතිශක්තිකරණය හොදටම නැති වෙලා මේ නිසා බොහෝ දෙනාට ඔරොත්තු දෙන්නේ නෑ.

    ඔබ කියනවා වගේ ඩෙංගු රෝගීන්ට රෝහල් ගතවීම වැදගත් වෙනවා මොකද සංකුලතා පාලනයට.
    හැබැයි ඔබ මේ කෙටි වීඩියෝව බලන්න https://www.youtube.com/watch?v=xZbcwi7SfZE
    මෙයට ඔබ මිට කලකට ඉස්සලා දාපු මස්කෑම ගැනත් සදහන්

    ReplyDelete
  2. දැනට ඩෙංගි විතරක් නෙවෙයි, හැම කරුණක් ගැනම ජනතාව නොමග යනවා. ඒකට හේතුව ලංකාවෙ විභාග ෆේල් වෙලා රස්සාවක් නැතුව ඉන්න රස්තියාදුකාරයො ටිකක් ෆේස් බුක් පේජ් ටිකක් පටන් අරගෙන, අසත්‍ය කරුණු ගැන පෝස්ට් හදලා දාන්න පටන් ගැනීම. මම දැක්ක දේ තමයි, යමක් ඉගෙන ගත්ත, දැනුවත් පිරිස් පවා මේ බොරු කිසිම සෙවිල්ලක් නැතුව ෂෙයා කරනවා. ඩෙංගි හොර වෙදුන් නම් ෆේස් බුක් එක පුරා වැහි වැහැලා. ඒ ඒ විෂය ගැන උපදෙස් දෙන්න ඕනෙ විශේෂඥ්ඥ අය මිසක් රස්තියාදුකාර ෆේස්බුක් ඇඩ්මින්ලා නෙවෙයි. මේ ලින්ක් එකේ තියෙන්නෙ ඩෙන්ගි ගැන දැනුවත් කිරීමක්. මේකට ඇවිල්ල හිටියෙ මීගමු රෝහලේ ඩෙන්ගි පිලිබඳ ඉහලම දැනුමක් තියෙන විශේෂඥ්ඥ වෛද්‍යවරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සෞඛ්‍ය ඇමති වගේ පිරිසක්.

    https://m.youtube.com/watch?v=0_OezsEF878

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.