2017-07-14

දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න

අපේ දිවවලට වැඩියෙන් ම පැණිරහ දැනුණු කාලෙ තිබුණෙ සිරිමා බණ්ඩාරනායකගේ අගමැතිත්වයෙන් යුක්ත වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, සමසමාජ, කොමියුනිස්ට් සමගි පෙරමුණු සමාජවාදී ආණ්ඩුව. කියන්න ඕනැ නැහැනේ. සීනි රාත්තල සත 72ට දුන්නෙත් කූපන් එකට. ඒ කාලෙ අල්ලට සීනි කාලා තමයි වැඩිදෙනෙකු තේ බිව්වෙ. රටඉඳි මදුලක් එක්ක වුණත් තේ බොන එක ඒ දවස්වල ලක්සරි වැඩක්. 

රටඉඳි කිව්වම මතක් වුණේ මේ මෑතක් වෙනකල් ම ඕවා විකිණුවේ හද්දා ජරාවට. මට මතක් වෙනවා මේ 21වන සියවස කිට්ටු වෙනකල් ම පිටකොටුවේ බස් ස්ටෑන්ඩ් ගාව දූවිලි වැදි වැදී, මැස්සන් වහ වහා ඕවා විකුණපු හැටි. 

හැත්තැ ගණන්වල රට ඉඳි ගැන හිතාගන්න පුළුවන් නේ. අපි පෝලිමේ ගිහින් එක්කෙනාට කාල ගානෙ දුන්න පාන් අරන් ඇවිත් ගුල්ලන් ගැන ගැන තමයි ඒවා කෑවෙ. ඒ කාලෙ අපි ඔය ගුල්ල කියන සතා පිටි ආහාරවල ම කොටසක් විදියට තමයි සැලකුවේ. 

ඇල්ටේසන් බල්ලා
බනිස් ගෙඩිය ගිල්ලා
ඒකෙ හිටිය ගුල්ලා
ඒකට කෙළ ගිල්ලා

ඒ කවියත් ඒ කාලෙ හැදුණු එකක්. 

මට කියන්න ඕනැ වුණේ වෙන වාක්කියක්. පොඩි කාලෙ අපි වලිවලදි අනෙක් පැත්තෙ එකාට කියන්නෙ “දෙනව උඹට හොම්බයි කටයි බොම්බයි මොටයි වෙන්න," කියලායි. ඒ කියන්නෙ ඒ වගේ හීනි රැළි වෙලා යන්න තමයි හොම්බට අනින්නෙ.

බොම්බයි මොටයි මාමා කියන්නෙ ඉඳ හිට පටු මාවත් දිගේ පිත්තල සීනුවක් හඬවමින් ගිය රසබර චරිතයක්. තහඩුවලින් හදපු, වටේට වීදුරු අල්ලපු, උඩින් රවුම් මූඩියක් තියෙන, කොක්කකින් අතේ එල්ලගෙන යන පෙට්ටියේ තමයි බොම්බයි මොටයි තිබුණෙ. 

ඒවට සමහරු සීනි පොල් කොහු කියලාත් කිව්වා. සමහර විට බොම්බයි මුටයි කියන වචනෙ හරි ඇති. හැබැයි, ගම්වල අපි දැකපු මොටයි ජාති තිබුණා මේ වගේ. විශේෂයෙන් ම බිත්තර වී දියේ දාලා තියලා, ගොඩට අරගෙන, බර තබා තියලා, වපුරන දවසට කලින් දවසේ හවස උණුහුමට උණුහුමේ කැට කඩනකොට ඒවායෙන් ඇදලා තිබුණ සුදුපාට මොටයියනුත් මේ වගේ නිසා අපට බොම්බයි මොටයි කියන්න හේතුවක් තිබුණා.

බාබර් සාප්පුවේ බිම වැටිලා තියෙන කෙස් ගුලි වගේ සියුම් කෙඳි සහිත බොම්බයි මොටයි රෝස පාටයි. ඒකෙ හරි මිහිරි සුවඳකුත් තිබුණා. සත පහක දහයක බොම්බයි මොටයි දාලා දෙන්නෙ පරණ කොපි පොත්, පෙළ පොත් කඩදාසියකට. ඒ සීනි පොල් කොස්සෙන් කොනක් කඩලා කටට දාගත්ත සැණින් දියවෙලා දිවේ ඉඳලා උණ්ඩුක පුච්ඡය දක්වා ම රස නහර සියල්ල පිනා යනවා මෙයා. 

සමහර බොම්බයි මොටයි මාමලා නයිස් කියලා රෝස පාට, කහ පාට තුනී, පැතලි, රවුම් කඩදාසි වගේ කෑමකුත් විකිණුවා. ඒක බොම්බයි මොටයි තරම් ම පැණිරහ නැහැ. හැබැයි කටට ගත්තාම අර වගේ ම ක්ෂණයකින් දිය වෙලා යනවා. 

දැන් අපේ ගම්වල බොම්බයි මොටයිකාරයන් නැහැ. අපේ ගම් දැන් ගම් නෙමෙයි. දියුණු නො වෙච්ච නගර. මොනවා වුණත්, අද පවා ලාම්පු තෙල් කරත්ත පවා දැක ගන්නට පුළුවන් කොළඹ හතේදි. 

මේ පිංතූරෙ මං ගත්තෙ කොළඹ තුනේ රැජින පාරෙදි. ටිටිනි - ටිටිනි, ටිටිනි - ටිටිනි කියලා අප්‍රිකානු සංගීත භාණ්ඩයක වගේ ශබ්දයක් ඇහිලා බලනකොට මෙන්න එනවා බොම්බයි මොටයි වෙළෙන්දෙක්. පෙට්ටිය එහෙම පොඩ්ඩක් වෙනස් වෙලා. හැබැයි මූලික ලක්ෂණ එමමයි. පොඩ්ඩක් නවත්තලා ගත්තා පිංතූරයක්. 

“මං මේක ෆේස්බුක් දානවා," මං කිව්වා.

“දෙන් දානවද?" ඔහු ඇහුවා. “අපේ බොස් යේක පලනවා. මං කියන්නං පලන්න කියලා." 

බස්සෙකට නැග්ග ගමන් මං ෆෝන් එකෙන් ම ඒක ෆේස්බුක් දැම්මා. බොස් දැක්කද දන්නෙ නැහැ.

ලොකු වෙළඳාමක් නැතුව ඇති. හැබැයි ජීවිතය රසවත් කරන උරුමයක් ඉදිරියට ගෙන යන මිනිහෙක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

14 comments:

  1. දෙදාස් ගණන් වල පොඩි සොෆ්ටෙයා කඩේක වැඩ කළා. පොඩි එකක් නිසා තිබ්බේ රෙසිදන්ෂල් පැත්තක. කොළඹ අවට. ඒ පාරේ බොම්බයි මොටයි යනවා. අපි අරගෙන කනවා ඒ දවස්වල.

    ඇයි දැන් ගමේ යන්නේ නැද්ද? ගමේ ජීවත් වුනේ අන්තිමට අනුව දශකේ මුල.

    අර අපේ ගං ගං නෙවෙයි කියන කෑල්ල නිසයි මම කියවන්න ගත්තේ. ලංකාවේ ගන් කිව්ව බහුතරයක් හඳුනා ගන්න ඕනේ අර්ධ නාගරික ලෙස. ඇත්තෙන්ම ජනගහනයෙන් සැහෙන තරමක් ඉන්නවා ඇත්තේ එව්වයේ. සංවර්ධිත ද නැද්ද කියන කොටස අදාළ නෑ

    ReplyDelete
    Replies
    1. අපේ ගම්වල විදුලිය තියෙනවා. 3 ජී තියෙනවා. ගෙවල් ටයිල් කරලා. කසිප්පු තිබුණත් මිනිස්සු සීල් අරක්කු තමයි වැඩිපුර බොන්නෙ. නිතර පාටි දාලා කාලා බීලා නටනවා. හැම ගෙදරකම වගේ වාහනයක් තියෙනවා. නැතිනම් ත්‍රීවීල් හයර් කරගෙන ගමන් බිමන් යනවා. මොකද පබ්ලික් ට්‍රාන්ස්පෝට් අන්තිමයි. හැබැයි, හුඟක් පාරවල් කාපට්. ඉතිරි ඒවාත් දැන් හදාගෙන යනවා. (නැතිනම් මෙතන ඇවිත් මහින්දගෙ වරුණාව කියන්නට පටන් ගනියි.)

      හැබැයි, කුණු ටැට්ටරේ එන්නෙ සතියට දවසයි. එන දවස දන්නෙ දෙයියො විතරයි. ජලසම්පාදනෙන් වතුර දෙන්නෙ නැහැ. හැබැයි ආණ්ඩුවෙනුයි, කොම්පැනිකාරයෝයි භූගත ජලය දූෂණය කරනවා. අපි කියලාත් වෙනසක් නැහැ. පරිසරය වනසනවා. දැන් තැනිතලාවල ගංවතුර. කඳු බෑවුම් නාය යනවා. හරි ෂෝක්.

      Delete
    2. ඇයි ඔය ගං වල දැන් ඉරිසියාව කුහක කම නිෂ්පාදනය කරන්නේ නැතෙයි. ඒවා ගමේ බයියන් හරහා කොලොම් පුරේට පටවන් නැතෙයි. කුඩුකේඩු හැතිකරය නිෂ්පාදනය කරන්නේ නැතෙයි. අණවින කොඩිවින සහ වැටේ ඉන්නට මරා ගැනීම දැන් නැතෙයි. අවිද්‍යාව මිත්‍යා දෘෂ්ටිය දැන් නැතෙයි. ඒවා කොලොම් පුරේට ඇක්ස්පෝට් කරන්නේ නැතෙයි.

      Delete
  2. Ruwan M Jayatunge 1973 -1974 කාලයේ ලංකාවේ ආංශික සාගතයක් තිබුනේය​. ලෝක ආහාර අර්බුධය මෙන්ම 1970 සමගි පෙරමුණු රජයේ ආර්ථික ප්‍රතිපත්ති නිසාද ආහාර හිඟයක් බලපැවැත්විනි. හාල් පොලු මිරිස් පොලු නිසා හාල් ප්‍රවාහනය තහනම් කොට තිබුනේය​. සතියට දින දෙකක් බත් කෑම තහනම් කරන ලදි. මගුල් ගෙදරකට ආරාධනා කල හැකිව තිබුනේ සීමිත පිරිසකට විය​. පාන් ඇතුළු වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදා හරින ලද්දේ සලාක ක්‍රමයකටය​. මයියොක්කා , බතල පරිභෝජනයට බල කෙරුනි. සීනි හිඟය නිසා බොහෝ දෙනෙකු තේ බීමට හුඹස් මැටි සහිත හකුරු හෝ සක්කර යොදා ගත්හ​. ග්‍රාමීය ප්‍රදේශ වල මෙන්ම නාගරික ප්‍රදේශ වල දුප්පත් ජනයා අතර මන්ද පෝෂණය බහුල වූයේය​.

    1973 -1974 සාගත කාලය ගැන ලියවෙන්නේ බොහෝ අඩුවෙනි. අපගේ වර්තමාන Y , Z පරම්පරාව මෙම කාලය ගැන දන්නේම නැත​. මෙකී සාගත කාලය ගැන මෑතකදී ලියවෙන ලද්දේ සන්නස්ගලගේ අම්මා චරිතාපදානයේ පමණි. (ෆේස්බුක්හි පළ කරන ලද කමෙන්ටුවකි.)

    ReplyDelete
    Replies
    1. 1970-77 කාලය ලංකාවේ තිබුණේ සමාජවාදී ආණ්ඩුවක් තමයි. 1950 දශකයේ බණ්ඩාරනායක විසින් ආරම්භ කරන ලද සමාජවාදී ප්‍රතිපත්තිවල බඩු ගියේ මේ කාලෙ තමයි. ඒකෙන් පස්සත් ආපහු මහින්ද ඒකෙ රාජ්‍ය ධනවාදී ලක්ෂණවල ආපහු බඩු ඇරියා. සමාජවාදය කියලා ඔයිට වඩා දෙයක් කරන්න බැහැ ලංකාවෙ. ඒ නිසා ඔය වගේ සමාජවාදයක් ඕනෑ ය කියන අයට මේවා මතක් කරලා දෙන්නට ඕනැ.

      ඒ කාලේ සමාජය වනචාරිත්වයට ආසන්න වුණා. මූලික හේතුව බඩගින්න වෙන්න ඇති. මේ සමාජවාදය ඇතුළේ මිනිසුන් මුදල් හා පාරිභෝජනය පසුපස යන එක පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ. ඒ නිසා තමයි ගම්වල අපේ ම මිනිසුන් උක්පැණිවලට හුඹස් මැටි දාලා, මිරිස් කුඩුවලට ගඩොල් කුඩු දාලා අපට ම කවන තත්වයේ තිරිසනුන් වුණේ.

      Delete
  3. Indika Kodithuwakku බොම්බෙ ( මුම්බායි ) මිටායි තමා බොම්බයි මොටයි වෙලා තියෙන්නෙ .

    මිටායි කියන්නෙ හින්දි / උර්දු වලින් sweets වලට. (ෆේස්බුක්හි පළ වූ අදහසකි.)

    ReplyDelete
  4. Sachin Jayanetti නුවර ටවුමෙ තැනින් තැන යන බොම්බයි මුටයි, නයිස් කාරයින්ට අමතර ව නුවර මාර්කට් එක ඉස්සරහා තව අපූරු රසකැවිලි වෙළෙන්දෙක් හිටියා. මිනිහගේ ඇඳුම පරණ සාරවිටකාරයෙකුගේ වගේ. ඒත් ඊටත් වඩා විචිත්‍රයි. කුඩා අපි වඩාත් කුතුහලයට පත් වුනේ අඩියකට කිට්ටු උස පතුලක් තිබුණු ඔහු ගේ සපත්තු දෙක නිසා. ඒ අඩිය පැතලි නැහැ. කවාකාරයි. ඔහු ඒ මත සමබරව ඉන්න උත්සාහ කරන ගමන් තමයි වෙළඳාම කළේ. ඔහුගේ රසකැවිල්ල තිබුනේ බන්දේසියක. ඒ බන්දේසිය පටි දෙකකින් බෙල්ලෙ එල්ලගෙන ඉන්නේ. රසකැවිල්ල දොදොල් සහ ජෙලි අතර මැද ඝනකමකින් යුතු තැඹිලි පැහැ ජෙලියක්. ඒක හදන්නේ මුහුදු පැළෑටියකින්. ඔහුගෙ අතේ මේසන් හැඳි වගේ උපකරණ දෙකක් තිබුනා. හැබැයි තලය හරි හතරැස්. එකක තලය තේ හැන්දකටත් වඩා කුඩායි. ඒ සාම්පල් වලට. ලොකු හැන්ද මිළදීගන්න ඒවට. කවුරු හරි ඉල්ලුවාම අර හැන්දෙන් ලස්සනට හතරැස් කොටු කපලා දෙනවා. මිනිහ ඒ කැවිල්ලට අපූරු නමකුත් දීලා තිබුනා. ඒ "ප්‍රේමරස" (ෆේස්බුක්හි පළ වූ අදහසකි.)

    ReplyDelete
  5. බොම්බායේ විතරක් නොවෙයි, මං හිතන්නේ ලෝකේ හැම තැනකම තියෙන කෑමක්.

    ෆෙයාරි ෆ්ලොස් - Fairy floss

    Cotton Candy - කොට්න් කැන්ඩි

    !!!

    ReplyDelete
  6. මගේ පරණ මතකය මේ කතාවෙන් අලුත් උනා . අපේ පැත්තෙත් බොම්බයි මොටයි කාරයෙක් හිටියා. ඒ දවස්වල රු 2 ක් දුන්නම කොලේක ඔතලා බොම්බයි මොටයි දෙනවා. ඕක ඉතින් ඒ දවස්වල හරි ඉස්තරම්. එක දවසක් මම ගෙදර ඉන්නකොට බොම්බයි මොටයි කාරයෙක් පාරේ ගියා. ඒ වෙලාවේ මට එකපාරටම මුදල් හොයාගන්න බැරිඋනා මිත්තනිය විතරයි ගෙදර හිටියේ මම රු 2 ත් අරගෙන පාරට දුවගෙන යනකොට ඇය කැ ගැහුවා ළමයෝ පාරට යන්න එපා දැන් අම්මත් එයි කියලා මම ඒ ක ඇහුවේ නෑ ගිය පාරට යනකොට මොටයි කාරයා ටිකක් දුර ගිහින් මම පස්සේ ගිහින් බොම්බයි මොටයි අරගෙන ගෙදර යන්න හෙදුවාම මන් දැක්ක අම්මා ඈත එනවා. අම්ම දැක්ක විතරයි මොටයි ටිකත් ගුලිකරගෙන දිවුවා ගෙදර. හැබැයි අම්මා දැකලා තිබුනා මං දුවනවා. ගෙදර ආපු ගමන අපෙ අම්මා දේශනාවක් තිබ්බ නොසෑහෙන්න. ඉතින් මට හිතුනා බොම්බයි මොටයි ගත්තට වැඩිය හොඳයි නිකන් හිටියනම් කියල එත් මම අර ගත්ත ඒවා රසකරමින් කෑවා.

    ReplyDelete
  7. ශ්‍රී ලංකාවේ බොම්බයි මොටයි කොට්න් කැන්ඩි වලට වඩා පර්සියන් පශ්මක් කියන එකට සමානයි වගේ https://en.wikipedia.org/wiki/Cotton_candy#/media/File:Pashmak.jpg

    ReplyDelete
  8. a guy who is selling this since 1978, when i was schooling, who is still at Horana, weekends near gate of "Shilpa"

    ReplyDelete
    Replies
    1. Is that guy from Mathugam though he sells at "Shilpa". Is he the guy named "PARA"?????

      Delete
  9. පොටෝ එක දැක්ක ගමන් හිතුනා Queen's road කියලා. හරි නම් මෙය "රෙජිනා" පාර විය යුතුයි.නමුත් කො.න.ස.නිළධාරීන්ගේ අතපසු වීමකින් එය "රැජින" විය. පැරා ඒ කතාව දන්නවා ඇතිනේ.

    ReplyDelete
  10. මම බොම්බයි මොටයි නමින් දැනගෙන උන්නෙ නයිස් නමින් ඔබ හදුන්වපු වර්ගය.අපේ ගමේ තාමත් සීනි පොල්කොහු කියල තමයි කියන්නෙ.හතර පැත්තටම වීදුරු වලින් ආවරණය වුනු ඔබ කිව් පැරනි බාජනයේම තමයි තාමත් රැගෙන යන්නෙ.මාසයකට විතර කලින් අපේ ගෙදරට ආපු වෙලෙන්දාගෙන් මම පුතාට අරගෙන දුන්නා.දැන් දෙන අඩුම ගාන රුපියල් පනහයි කිව්වා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.