2017-07-24

රජයේ සේවකයන්ට ෆේස්බුක්හි ලියන්නට පුළුවන් මොන වගේ කවි ද?


මෙහෙම සම්මන්ත්‍රණයක් ලංකා ගුරු සංගමයෙන් සංවිධානය කර තිබෙනවා. මේ සටහන තබන්නේ එයට ප්‍රචාරයක් ලබා දීමේ අරමුණින් වුණත්, ඒ පිළිබඳ අදහස් කීපයක් දැක්විය යුතුයි කියා හිතෙනවා. මේ කථික මහත්වරුන් මේ අදහසත් සැලකිල්ලට ගනියි කියා බලාපොරොත්තු වෙනවා.

මෙයට මුල් වුණේ කුශාන් ශාලිකගේ සිද්ධිය. ඒ පිළිබඳ විස්තරයක් මෙතැන තිබෙනවා.

කවියක් ලිව්ව නිසා ගුරුවරයකුට දඬුවම් මාරුවක් දෙන ලැජ්ජා නැති අධ්‍යාපනය



මේ හා සම්බන්ධ වැදගත් ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක් තිබෙනවා. ඒ හා සම්බන්ධ නඩුවට මැදිහත් වුණේත් ලංකා ගුරු සංගමයයි. ඒ නඩුවේදී සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවන්නට කොළඹ මහානාම විද්‍යාලයේ හිටපු විදුහල්පති ප්‍රේමලාල් කුමාරසිරිට හා එම විද්‍යාලයේ ගුරුවරයකු ලෙස කටයුතු කළ තුසිත තිළිණ මාලේගොඩ නමැත්තාට ශ්‍රේෂ්ඨාධිකරණය 2016 සැප්තැම්බර් 28දා නියෝග කළා.

2011 නොවැම්බර් 27දා විද්‍යාලය ඉදිරිපිට පැවති මව්පිය උද්ඝෝෂණයකදී මාධ්‍යයට අදහස් පළ කිරීම හේතුවෙන් මෙම වගඋත්තරකරුවන් දෙපළ ඇයට ප්‍රසිද්ධියේ ශාරීරිකව හා මානසිකව හිංසා කළ බවත්, ඔවුන්ගේ බලපෑම මත 2012 පෙබරවාරි 01 සිට ඇගේ වැඩ තහනම් කර ඇති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සිටියා. එමගින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබෙන අදහස් ප්‍රකාශ කිරීමේ හා සමානාත්මතාවේ හිමිකම් උල්ලංඝනය වී තිබෙන බවට ඇය නඩු පැවරුවා.

මෑත කාලීනව රාජ්‍ය සේවය හා අදහස් ප්‍රකාශයනය සම්බන්ධයෙන් ඇති වුණ වැදගත් ම සාකච්ඡාවට මුල පිරුණේ මෙම නඩු තීන්දුවත් එක්කයි. 

බ්ලොග්කරණයේ, සමාජ මාධ්‍යවල ලිවීමේ, පුවත්පත්වලට ලිපි ලිවීමේ හා පොත්පත් පළ කිරීමේ යෙදී සිටින ගුරුවරුන් වගේ ම වෙනත් රජයේ සේවකයිනුත් මගෙන් විවිධ අවස්ථාවල අසා තිබෙන කාරණයක් වන්නේ ඔවුන්ට එසේ කිරීමට නීතියෙන් ඉඩක් තිබේ ද යන්නයි. 


එහෙම ඉඩක් තිබෙනවා. එහෙත්, ආයතන සංග්‍රහය විසින් එම ඉඩ සීමා කරලාත් තිබෙනවා. ඒ අනුව ගුරුවරයකුට මල් වැවීම, මුද්දර එකතු කිරීම, කේක් සෑදීම, සාරි හැට්ට මැසීම වැනි දේ ගැන කතා කරන්නට පූර්ණ නිදහස තිබෙනවා. හැබැයි, අධ්‍යාපනය පිළිබඳ විවෘත අදහස් ප්‍රකාශ කරන්නට හැකියාවක් නැහැ. අධ්‍යාපන බලධාරීන් සමන්ති මනෝහාරි පැලකැටිය ගුරුවරියගේ වැඩ තහනම් කරන්නේ ආයතන සංග්‍රහයේ xxxi වැනි පරිච්ඡේයේ 3.2 වගන්තිය භාවිතා කරලා, මාධ්‍යයට ප්‍රසිද්ධියේ අදහස් දැක්වූවා ය කියන චෝදනාව මතයි.

එකී වගන්තියෙන් කියවෙන්නේ මෙසේයි: එබඳු රජයේ නිලධාරියකු විසින් පුවත්පත්වලට ලිපි ලිවීමෙන් හෝ වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් හෝ රජය හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විවේචනය කිරීම සඳහාවත්, රාජකාරිමය වූ හෝ නොවූ හෝ සිය දුක්ගැනවිලි (උදා: සිය රාජකාරි ඉටු කිරීමට කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීම සම්බන්ධ විවේචන හෝ පැමිණිලි; අතිරේක අරමුදල් නොසැපයීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය වෙත එල්ල කරන විවේචන ආදිය) ප්‍රචාරය කිරීම සඳහාවත් ප්‍රවෘත්ති පත්‍ර මාධ්‍ය යොදා නොගත යුතුය.   

එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉහත කී වැඩ තහනම් කිරීම වැරදි බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. SC/FR/76/2012 අංක දරණ මූලික හිමිකම් පෙත්සමේ තීන්දුව ඓතිහාසික එකක් වන්නේ ඒ නිසායි. එම ගුරුවරියට එරෙහිව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වන වගන්තියේ ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ ලෙස ලැබීමට ඇයට ඇති අයිතිය කඩ වී ඇති බවත්, 14(1) වගන්තිය අනුව ඇයට හිමි භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ද කඩකොට ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරනවා.

2016 තොරතුරු දැනගැනීමේ පනත සම්මත වුණායින් පස්සේ ආයතන සංග්‍රහයේ මේ ප්‍රතිපාදනය නිර්බල වෙන බව නීතිඥ ජගත් ලියනආරච්චි රාවය පුවත්පතට පවසා තිබෙනවා. 

තොරතුරු සම්බන්ධ ආකල්ප, මාධ්‍ය හා සන්නිවේදනය විශාල පරිවර්තනයකට ලක් වෙද්දී රජයේ සේවකයන්ගේ ආයතන සංග්‍රහය එක තැන පල් වෙනවා. 

ඒ සම්බන්ධයෙන් නඩුවක් පැටලේවා කියා බලාපොරොත්තුවෙන් තමයි මම පසුගිය කාලේ අධ්‍යාපනය සම්බන්ධයෙනුත් විවෘතව ම බ්ලොග්කරණයේ යෙදුණේ. එහෙම නඩුවක් පැවරුණා නම් අපට මේ ගැන වඩා විවෘත සාකච්ඡාවක් ආරම්භ කරන්න තිබුණා. ඒත්, මා ගුරු වෘත්තියෙන් ඉවත් වන තුරු ම අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධියේ මාධ්‍යකරණයේ යෙදීම සම්බන්ධයෙන් මට එරෙහිව කටයුතු කළේ නැහැ. හැබැයි, මට එරෙහිව පවරන නඩුවකදී පහසුවෙන් වැරදිකරු විය හැකි වැරදි කිසිවක් නො කර සිටීමට මා වග බලා ගත්තා.


හැබැයි, මා රාජ්‍ය සේවයෙන් ඉවත් වන්නට මූලික හේතුව වුණේ ද මගේ මාධ්‍ය භාවිතාව පුළුල් කර ගැනීමට තිබුණු අවශ්‍යතාව සහ එයින් රාජ්‍ය සේවකයකු ලෙස මගේ වගකීම් සමග ඇති වන බැඳියා පිළිගැටුම නිසායි. 

ආණ්ඩුවේ ප්‍රතිපත්ති හෝ පරිපාලන ක්‍රියාමාර්ග හෝ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කිරීම හා විවේචනය කිරීම යන ශීර්ෂය යටතේ ඇති මෙම පරිච්ඡේදය සංශෝධනය විය යුතුවා වගේ ම රජයේ සේවකයන් විසින් දැනට පවතින පරිච්ඡේදය හොඳින් කියවා තේරුම් ගත යුතුව ද තිබෙනවා. හේතුව සංශෝධනයක් කියන්නේ මේ සියල්ල අහෝසි කර දැමීම නොවන නිසායි.

මේවා පිළිබඳ ඇත්තෙන් ම රජයේ සේවයට ඇතුළු වන විට ම සියලු රජයේ සේවකයන් දැනුවත් කළ යුතුව තිබෙනවා. ඒත්, වර්තමානයේ රජයේ සේවයට ඇතුළු වන මාණ්ඩලික නිලධාරීන් පවා මේ කරුණු පිළිබඳ අවබෝධයක් ඇති අය නෙමෙයි. වරක්, ආණ්ඩුවට කඩේ යනවා ය කියා, රාජකාරි වේලාවේදී මට බැන වදිමින් ෆේස්බුක් සටහන් තැබූ, කලින් ගුරුවරයකු වී සිට පසුව පරිපාලන සේවයට බැඳී දැන් අමාත්‍යාංශයක ඉහළ තනතුරක් දරන, තමන් මහජන මුදලින් යන විදේශ සංචාරවලදී ලබා ගත් ඡායාරූප ෆේස්බුක්හි ආඩම්බරයෙන් ප්‍රදර්ශනය කරන ජවිපෙට සම්බන්ධ යයි කියන නිලධාරියකුට මා මේ කරුණ පෙන්වා දුන්නා. 

කුමන තරාතිරමක රජයේ සේවකයෙකු වුණත් රජය නියෝජනය කරන්නෙක්. මහජන බදු මුදලින් වැටුප් ලබා ගන්නා අයෙකු නිසා සෑම රජයේ සේවකයෙකු ම රජය ලෙස මහජනතාවට වගකියන්නට බැඳී සිටිනවා.  ඒ නිසා තමන් රජය නෙමෙයි වගේ රජය සම්බන්ධයෙන් හිතුමතේ අදහස් පළ කිරීමට රජයේ සේවකයෙකුට අයිතියක් නැහැ. ඒ වගේ ම තමයි, වෘත්තීය සමිති නායකයන් වූ පළියට වුණත්, මාධ්‍ය ඔස්සේ කැමති කැමති විදියට අදහස් දක්වන්නට රජයේ සේවකයන්ට අයිතියක් නැහැ. 

ෆේස්බුක්හි කවියක් ලිවීම නිසා කුශාන් ශාලිකට අනියමින් දඬුවමක් දුන්න එක වැරදියි වගේ ම, බොහෝ වෘත්තීය සමිති නායකයන් මාධ්‍ය ඉදිරියේ අදහස් පළ කරන ආකාරයත් වැරදියි. ඔවුන් ආවරණය ලබා ගන්නේ වෘත්තීය සමිති වරප්‍රසාදවලටයි. හැබැයි රජයේ වෘත්තීය සමිති නායකයන්ට ආණ්ඩු පෙරළන්නට තර්ජන කරන්නට, ඒ වෙනුවෙන් වර්ජන කරන්නට ආචාරධාර්මික හැකියාවක් නැහැ.

සමස්තයක් ලෙස ම රජයේ සේවකයිනුත්, දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා ආචාරධර්ම පිළිබඳ අවබෝධයකින් තොර පිරිසක්. 

ආණ්ඩුව කියන්නේ රජයේ හිස වගේ දෙයක්. රජයේ සේවකයන් කියන්නේ රජය කියන ශරීරයේ සෛල. මේ කොටස් දෙකම ඉතා වගකීමකින් හැසිරිය යුතුයි. මාධ්‍ය භාවිතාවත් මේ වගකීමේ ම කොටසක්. මේ කොටස් දෙක ම නඩත්තු වන්නේ වැඩ කරන ජනතාවගේ බදු මුදලින්.

ලංකාවේ නම්, රජයේ සේවකයන් කියන්නේ සාමාන්‍යයෙන් ම, අඩුවෙන් වැඩ කර, වැඩ කරන සෙසු ජනයාට සාපේක්ෂව වැඩියෙන් වරප්‍රසාද මහජන මුදලින් ලබා ගන්නා පිරිසක්.

ලංකාවේ දැනට පවතින රාජ්‍ය සේවය කියන්නේ ලංකාවේ සමාජ දේහය වසාගෙන හැදුණු, දැවැන්ත පැසවූ හොරි ගෙඩියක් වගේ එකක්. ඒ නිසා ලංකාවේ රජයේ සේවකයන් සම්බන්ධයෙන් මහජනතාවගේ ආකල්පය විය යුත්තේ “අපේ සල්ලි එක්ක සෙල්ලං කරන්න එන්න එපා! වගකීමෙන් වැඩ කරන්න!" කියන එකයි. රජයේ සේවකයන් ද දේශපාලකයන් සේ ම සුරතල් නො කළ යුතු පිරිසක්. 


ලංකාවේ සමාජයේ සාමාන්‍ය මාධ්‍ය සාක්ෂරතාව පිළිබඳ බරපතල ගැටලු තියෙනවා. රජයේ සේවකයන්ට සාමාන්‍ය ජනතාවට වඩා සුවිශේෂ වූ මාධ්‍ය ඥානයක් තිබිය යුතුයි. හැබැයි සාමාන්‍ය තත්වය වන්නේ ඒ මාධ්‍ය ඥානය පිළිබඳ අල්ප හෝ අවබෝධයක් සාමාන්‍ය රජයේ සේවකයන්ට තබා ඉහළ නිලධාරීන්ට හෝ වෘත්තීය සමිති නායකයන් වැනි ජනමත නායකයන්ටත් නැති වීමයි.

මේ ප්‍රශ්නයේ පවතින දෙපැත්ත ම ගැන මේ සංවාදයේදී අවධානය යොමු වේවායි ප්‍රාර්ථනා කරනවා. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

6 comments:

  1. බොහොම වැදගත් අදහසක් ඉස්මතු කරන ලිපියක්.

    ReplyDelete
  2. ///එබඳු රජයේ නිලධාරියකු විසින් පුවත්පත්වලට ලිපි ලිවීමෙන් හෝ වාර්තාකරුවන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වීමෙන් හෝ රජය හෝ රජයේ දෙපාර්තමේන්තුවක් විවේචනය කිරීම සඳහාවත්, රාජකාරිමය වූ හෝ නොවූ හෝ සිය දුක්ගැනවිලි (උදා: සිය රාජකාරි ඉටු කිරීමට කාර්යමණ්ඩල ප්‍රමාණවත් නොවීම සම්බන්ධ විවේචන හෝ පැමිණිලි; අතිරේක අරමුදල් නොසැපයීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරය වෙත එල්ල කරන විවේචන ආදිය) ප්‍රචාරය කිරීම සඳහාවත් ප්‍රවෘත්ති පත්‍ර මාධ්‍ය යොදා නොගත යුතුය. ///

    ඔය කියන වගන්තියේ පැහැදිළිවම කරන්න එපා කියලා කියන්නේ "ප්‍රවෘත්ති පත්‍ර මාධ්‍ය" සමග ගනුදෙනු පමණක් නිසා අනික් මාධ්‍ය භාවිතය සම්බන්ධව තීරණ ගන්න බලයක් නැතුව ඇති...
    ඒ නිසා අර ගුරුවරිය පමණක් නෙමෙයි කවි ලියපු ගුරුවරයත් නිවැරදි විය යුතුයි...

    ReplyDelete
  3. “අපේ සල්ලි එක්ක සෙල්ලං කරන්න එන්න එපා! වගකීමෙන් වැඩ කරන්න!" කියන එකයි.
    වඩාත්ම උචිත විදියට නම් කිව යුත්තේ..... " කාලකන්ණි පිංගුත්තර හැත්ත අපේ සල්ලි ටික කන්නේ නැතුව වෙන රස්සාවක් සොයා ගෙන පල" කියාය.
    රාජ්‍ය සේවකයා = පිංගුත්තරයා

    ReplyDelete
  4. හැබැයි රජයේ වෘත්තීය සමිති නායකයන්ට අපි කඩේ යන ආණ්ඩු පෙරළන්නට තර්ජන කරන්නට, ඒ වෙනුවෙන් වර්ජන කරන්නට ආචාරධාර්මික හැකියාවක් නැහැ.

    ReplyDelete
  5. වැදගත් ලිපියක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.