2017-07-12

ලංකාවේ දුප්පත්කමට හේතු

ධනවත්කමට හේතු වන විවාහයක්. අර්ජුන් මහේන්ද්‍රන්ගේ දුව හා අර්ජුන් ඇලෝසියස් 
ලංකාවේ දුප්පත්කමට මූලික හේතු මොනවාද යන්න සම්බන්ධයෙන් පසුගිය දිනෙක මා ෆේස්බුක්හි ආරම්භ කරන ලද සංවාදයකට බොහෝ දෙනෙක් දායක වූ හ. ඒ අනුව, මම ලැයිස්තුවක් සකස් කළෙමි.

මේ කරුණු විධිමත් අධ්‍යයනයක් නොව, කිසියම් නිදහස් පොදුජන සංවාදයක් පමණයි. දරිද්‍රතාව පිළිබඳ විධිමත් අධ්‍යයනයන් කරන, පත්‍රිකා ඉදිරිපත් කරන සංවාදයක් වෙන ම  තලයක තිබෙනවා. ඒකයි මේකයි අතරත් වැඩි වෙනසක් තිබේ ය කියා මා සිතන්නේ නැහැ. හේතුව, ඒවායේ යෙදී සිටින අයට දුප්පත්කම කියන්නේ තමන්ගේ වෘත්තියට සම්බන්ධ කොම්පියුටරයක්, පුටුවක් වගේ දෙයක් වීමයි. ඒ අධ්‍යයනවත්, මේ පොදු ජන සංවාදවත් කිසිවක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ විශේෂ අවධානයකට ලක් වෙන්නේ නැහැ. උන්ට කෝකත් එකයි. 

මෙන්න මේ ටික තමයි පෙළගස්වා ගත්ත හේතු. ඕනැ නම් විද්‍යාර්ථියෙකුට මේවා අධ්‍යයනය කරන්නට පුළුවන්. එහෙම කළා ය කියලාත් විශේෂ දෙයක් වෙන්නෙ නැහැ. මේවා අපි අපි ම වෙනස් කර ගත්තොත් අපි ගොඩ. නැතිනම් ඉතින් සොරි අපට ම තමයි. 

1. නූගත්කම (අධ්‍යාපන ක්‍රමය ද බුද්ධිය මොට කරයි. නිර්මානශීලිත්වය වළක්වයි)
2. ජ්‍යෝතිෂය, කට්ටඩි හා හොර වෙද්දු
3. බේබදුකම
4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය
6. කම්මැලිකම
7. බෝ නොවෙන රෝග
8. මහළු වියේදී, අබල දුබල වූ විට සමාජාරක්ෂණයේ පිහිටක් නැති වීම
9. කාන්තාවන් රැකියා නො කිරීම (ශ්‍රම බලකායෙ ඉන්නෙ කාන්තාවන්ගෙන් 35%යි)
10. රැකියා කුසලතා ගොඩනගා නො ගැනීම
11. සූදුව හා ලොතරැයි
12. පවුල් සැලසුම් නො කිරීම
13. රාජ්‍ය අකාර්යක්ෂමතාව
14. දුප්පත්කම මත පදනම්ව ක්‍රියාත්මක වන රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල දූෂණ
15. සහනාධාර

මෙයට දේශපාලනය ද එකතු විය යුතු බව ඇතැමෙකු යෝජනා කළත්, මගේ අදහස වන්නේ දේශපාලනය යනු මෙම සියලු මූලික සාධකවල බලපාන මහා පොදු සාධකයක් බවයි. මෙතැනදී උත්සාහ කරන්නේ වඩා සංයුක්ත ලෙස මෙම හේතු හඳුනා ගන්නට ය.

ආගමත් මෙහිදී වැදගත් සාධකයක්. හේතුව එය සෑහෙන දුරට නූගත්කම පෝෂණය කරනවා.

භාණ්ඩ හා සේවා වෙළෙන්දන් අධික ලාභ ලබන අවස්ථා තිබුණත්, බදු හා තරගකාරිත්වය නිසා ඒවා නියාමනය වෙනවා.

කම්කරුවන් සූරා කන්නට සූදානම් ව්‍යවසායකයන් ඕනැ තරම් ඉන්නවා. ඒත්, ලංකාවේ වෙළඳපොළේ තිබෙන ශ්‍රම හිඟය නිසා බුද්ධිමත්, පුහුණු කම්කරුවන්ට තත්වය කළමනාකරණය කර ගන්නට බැරිකමක් නැහැ. ඒ වුණාට, කම්කරුවන් වැඩිදෙනෙකු නූගත්. උගත් අයත් ඉහත කී ඒවාට අහු වෙලායි ඉන්නෙ.

මේ පිළිබඳව චානුක වත්තේගම විසින් පළ කරන ලද අදහස ද වැදගත්. “ලංකාව දුප්පත් ඇයිද කියන ප්‍රශ්නය අහන්න කලින් අපි අහමු සිරිදාස කියන ගොවියා දුප්පත් ඇයිද කියලා. බේබදුකම, කම්මැලිකම වගේ පුද්ගල සාධක යම් පමණෙකට හේතු වෙන්න පුළුවන් හැබැයි ප්‍රධාන හේතුව සිරිදාසට ලොකු වැටුපක් ලැබෙන රැකියාවක් කරන්ට නොහැකි වීම. ඇයි ගොවිතැනින් වෙනත් රැකියාවකට යොමු වෙන්න බැරි කියලා ඇහුවොත් ඒකට හේතුව ඒ තරමට රට කාර්මීකරණයව නොතිබීම. (රටේ කර්මාන්තයක් නැතිනම් ඉගෙන ගත්තා කියලත් රැකියා නෑ.) රටේ කර්මාන්ත දියුණු වෙනවා නම් සිරිදාසට වැඩි වැටුපක් ලැබෙන කොට ඔය අනෙක් ප්‍රශ්න විසඳා ගන්න පුළුවන්. කර්මාන්ත (භාණ්ඩ හා සේවා දෙකම) දියුණු නොවන්නේ නම් ඔය වෙන මොන ප්‍රශ්නය විසඳුවත් දුප්පත්කම නැති කරන්න බැහැ."

මිනිසුන්ගේ චින්තනය වැදගත් නැති බව හා වැදගත් වන්නේ පාලකයන්ගේ චින්තනය පමණක් බවත් ඔහු පවසනවා. ඇත්තෙන් ම ලංකාවේ දැන්, දැන් පාලකයන්ට කිසිදු චින්තනයක් තිබේ ද යන්න පැහැදිලි නැහැ.

ආචාර්ය ජග්දීෂ් භගවති වරෙක කිව්වෙ වෙන රටවල් දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් මදිවෙලා හැබැයි ඉන්දියාව දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් වැඩි වෙලා කියලා ය කියමින් මෙවැනි මාතෘකා පොදු ජනතාව කතා කිරීම වැදගත් නැති බවත් චානුක පවසනවා. එහෙත්, හේතුව හරියට ම දන්නා බව සිතන චානුක වත්තේගමට මේ රටේ ජනාධිපතිකම තබා ජනාධිපති උපදේශකකමක්වත් ලැබෙයි ද කියන එක සැකයි. ඒ වගේ ම චානුක සමස්තය ග්‍රහණය කරගෙන තිබෙනවා ය කියා සිතන සිතීමත්, ස්වයං අධි තක්සේරුවක් බවයි ඔහු විසින් පළ කරන ලද අදහස්වලින් පෙනෙන්නේ.

මේ සියලු කතාබහ අතරේ සොඳුරු සිත විසින් පළ කරන ලද මෙම අදහස තුළ සැලකිය යුතු ඇත්තක් ගැබ්ව තිබුණා.

මම ඉස්සර දැකපු දුප්පත්කම දැන් දකින්න නැහැ. මම ඉස්සර දැකපු දුප්පත් ගෙවල් බිත්ති කටු මැට්ට, සෙවිලි කරල තිබ්බෙ පොල් අතු වලින් , බිම ගොම මැට්ට. පත්තු කලේ භූමිතෙල් ලාම්පු. ඒකෙත් අර පෝසත් අය ඒ කාලේ පාවිච්චි කරල අයින් කරපු සූත්‍රිකා බල්බ වලින් හදපුවා. ලිප් දර. මිදුල වැලි සහ පුංචි ගල්.පුංචි ළමයි හොටු නාවර පෙරාන පැය 24ම හෙලුකොට්ටෙන්. කොටින්ම මම වයස අවුරුදු හත අට වෙනකම්ම හිටිය ගේත් බාගයක් ඔය වගේ. ඒත් දැන් අපේ අහල ගම් 7ක පොල් අතු සෙවිල්ලපු ගෙයක් හොයා ගන්න නෑ. දැන් ඉන්නේ දුප්පත්තු නෙමේ “මධ්‍යම ප්‍ාන්තික දුප්පත්තු. ඒකත් විහින් දුප්පත් වෙලා."

මේ සංවාදයේ මා දුටු සුවිශේෂ ම කාරණය වන්නේ දුප්පත්කමට ඉවහල් වන කිසියම් සමාගමක නමක් කිසිවෙකු සඳහන් නො කිරීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

18 comments:

  1. මං හිතන්නේ පහත සාධක දුප්පත්කමට හේතුවක් නොවෙයි. ඒවා රටේ ආර්ථිකයේ නිර්ණායක. ඒවා දුප්පත්කමට හේතු ලෙස දක්වන්නේ නම් ඒ ලැයිස්තුවේ අවසානයේ විය යුතුයි.
    4. බැංකු, මුල්‍ය ආයතන හා ගිනිපොළීකාරයෝ
    5. රජය අය කරන බදු හා රාජ්‍ය ණය

    .

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහසත් පිළි ගනිමින් පහත සඳහන් කරුණත් කියනවා.

      මම හිතන්නේ ලංකාවේ ගිනි පොළී ආර්ථිකය ගැන විධිමත් හැදෑරීමක් රටේ නැහැ. දුප්පත්කම වැඩිපුර ම මුල් බැසගෙන තිබෙන ග්‍රාමීය ප්‍රදේශවල මෙය බරපතල සමාජ ප්‍රශ්නයක්. අවුරුද්දකට 120%ක පමණ පොළියට ණය දීම ඉතා සාමාන්‍ය තත්වයක්.

      මේ වන විට ලියාපදිංචි මුල්‍ය ආයතනත් ක්ෂුද්‍ර ණය ලෙස 60% විතර පොළියට ණය දෙන එක සුලබයි. විශේෂයෙන් ම ගැමි කාන්තාවන් මේ ණය උගුලට හසු වෙනවා.

      ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ තිබෙන ගැටලු තමයි මෙම තත්වයට මග පාදන්නේ. දුප්පතුන් කියන්නේ බැංකුවලට හසු නො වන පිරිසක්.

      Delete
    2. මට මතකයි අඳ කුඩා කාලයේත් ඔය මාසෙකට රුපියල් සීයට දහයේ සුළු ණය ක්‍රමය තිබුණා. එය අදත් එලෙසම පැවතීමට එක් හේතුවක් නූගත්කම විය හැකියි.

      නමුත් ඕනෑම භාණ්ඩයක් මෙන් ඒ සුළු ණය ක්‍රමයත් ක්‍රියාත්මක වෙන්නේත් වෙනත් විකල්ප අඩු වියදම් ක්‍රමයක් නැති නිසයි. ඒ සමගම පොලියට ණය දෙන අයට ඇපයට ගත හැකි වටිනා දේ අඩු නිසා, ඔවුන් ගේ රිස්ක් එක වැඩි නිසයි.

      රාජ්‍ය බැංකුවලින් ඇරඹූ ප්‍රජා ණය නියාමක ක්‍රමයට මොකද වුනේ?

      ඕස්ටේ‍රලියාවේ මේ දිනවල ස්ථිර තැන්පතු සඳහා පොලිය 2% යි. නිවාස ණය සඳහා ගණුදෙනුකරුවන් ගෙවයි යුතු පොලිය 5% ට අඩුයි.

      නමුත්, ක්‍රෙඩිට් කාඩ් පොලිය 20% වැඩියි. (due to comparatively higher risk)

      නීත්‍යානුකූලව පවත්වාගෙන යන ඇප නොමැතිව ණය දෙන (extreme risk) තැන්වල පොලිය 50% පමණ වෙනවා.

      නිතරම රූපවාහිනී චැනල්වල ප්‍රචාරය කෙරෙන ඒ එක් සේවාවක (nimble.com.au) පොලි විස්තර මෙලෙසයි.

      Small Loans
      If the principal amount you borrow is between $300 - $2,000 you'll pay:

      Establishment fee: 20% of the principal amount
      Monthly loan fee: 4% of the principal a month

      Medium Loans
      If the principal amount you borrow is between $2,001 - $5,000 you'll pay:

      Establishment fee: $400
      Interest charges based on the Annual Percentage Rate (APR): 47.6158%
      Comparison Rate^: 65.6597% p.a.

      මේ ආකාරයේ ඩොලර් දෙතුන් සීයේ ණය ගන්නේ අන්ත දුප්පත් මිනිසුන්.

      Delete
  2. දුප්පත්කම යමෙකුගේ මාසික ආදායම අනුව නිර්වචනය කල හැකිද ?

    ReplyDelete
  3. Biggest contribution to poverty is done by government itself...government wants broaden itself to maintain authority and for various political advantages..employing henchmen to posts..they actually wants other subsidies pruned to maintain corrupt corporations and boards..

    ReplyDelete
  4. ලංකාවේ දුප්පත් කමට; එහෙම නැතිනම් රටක් විදියට ලංකාව දුප්පත් වීමට හේතු කෙටියෙන් කියන්න පුළුවන් (1) අතිශය අක්‍රමවත් රාජ්‍ය කළමනාකරණය, (2) භාණ්ඩ නිෂ්පාදනයට සහ සේවා සැපයුමට අවස්ථා නිර්මාණය කර ඉන් ජනනය වන රැකියා සඳහා පුද්ගලයන් බඳවා ගැනීම වෙනුවට, පුද්ගලයන්ට වැටුපක් ලබාදීම අරමුණු කරගෙන තනතුරු නිර්මාණය කර නිෂ්පල රැකියා ලබා දීම (ප්‍රාදේශීය සභාවල ගස් යට සංවර්ධන නිලධාරීන් වගේ). (3) කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හෝ අගය එකතු කිරීම් මත පදනම් වුන ආර්ථිකයක් නොමැති වීම.

    ලංකාවේ ජීවත්ව වෙන මිනිස්සුන්ගේ දුප්පත් කමට හේතු ගොඩක් පැරකුම් කියල තිබෙනවා. තව මගහැරුණු එකක් දෙකක් මට හිතෙනවා.

    ඒ තමයි සමාජීය දුර්මත.
    ලංකාවේ රැකියා පුරප්පාඩු තියෙනවා නමුත් සමහර රැකියා වලට සමාජයේ පහල පෙලේ යයි සම්මතයන් තිබෙන නිසා ඒවා කරන්න යන්නට මිනිස්සු කැමති නැහැ.

    අනෙක, අර්ධකාලීන රැකියාවල යෙදෙන අයෙකුට ලැබෙන ගෙවීම් වලට රජය මගින් රෙගුලාසි සකස් කර නොමැති කම.

    ReplyDelete
  5. චානුක වත්තේගම ගේ අදහස නිවෑරදි විය හෑකියි නමුත් මට තියන ප්‍රස්නය මා කුඩා ව්‍යාපාරයක් කරගෙන යන අයෙක් මා හට 3 පේස් විදුලිය සහ මාගෙ පර්චස් දහයක ඉඩමේ ඉදිකිරිමක් කිරිම සදහා මා බෑංකු කිපයකින්ම නයක් ඉල්ලා සිටි විටි (සියල්ල පෞගලික බෑංකූ ප්‍රතික්සෙප කරෙ කිසිදු හෙතුවක් නොදක්වා වීම. මාගෙ බෑංකු මිතුරෙක් පවසා සිටියෙ බෑංකුවලට ලෑබෙන කුඩා පරිමාන නය ලෑබුනු සෑනින් මහාපරිමාන ව්‍යාපරිකයන් ඔවුන් වෙනම ලියාපදිංචි කර ඈති ආයතන වලට ලබාගන්නා බවයි තවද ඔවුන් බෑන්කුවලට කතාකර ඔවුන්ගෙ නය නුදුන හොත් ඔවුන්ගෙ විශාල ගිනුම වෙනත් බෑංකු වෙත ගෙනයන බවට වක්ක්‍රකාර තර්ජනය කරන බවයි සමහර බෑංකු කරුවන් ඔවුන්ම කතාකර එම මුදල් ඔවුන්ට ලබාදෙන්නෙ නය එකතුකරගෑනිමෙ පහසුව තකා දෑන් අපි වගෙ පොඩි එවුන්ට නාථ දෙයියනෙ පිහිටයි

    ReplyDelete
  6. ඔය කියන හේතුත් බලපානවා, නමුත් මූලික හේතුව ඕක නෙවෙයි. රටේ ධනය කියන්නෙ උත්පාදනය කළ යුතු දෙයක්, එය ණයට ගැනීම හෝ පිනට ලැබෙන දෙයක් නෙවෙයි. ධනය ඉපැද්දවිය යුත්තෙ මූලිකවම ව්‍යවසායකයන් විසින්. මේ සඳහා අවශ්‍ය වෙන්නෙ නිර්මාණශීලි ව්‍යවසාකයින්. නමුත් අපේ රටේ එවැනි පිරිසක් බිහි වෙනවාද ? අපේ අධ්‍යාපන ක්‍රමයෙන් එහෙම දෙයක් ලැබෙන්නෙ නෑ. අඩු වශයෙන් වෘත්තිකයන් බිහිවෙන්නෙත් අඩුවෙන්, ව්‍යවසායකයන් ගැන කවර කතාද? අනික අපේ රටේ ව්‍යවසායකයන් ගැන මවල තියෙන්නෙ වැරදි චිත්‍රයක්, විශේෂයෙන් වාමාංශික සහ අසාර්ථක සමාජවාදීන්ට අනුව ව්‍යවසායකයන් කියන්නෙ සම්පත් සූරගෙන කන, වෛර කළ යුතු ධනපති පන්තියක්. ඔවුන්ට අනුව රජය විසින් සියලු ව්‍යාපාර මෙහෙයවිය යුතුයි. රජයට නිර්මාණශීලී ව්‍යාපාර තියා සාමාන්‍ය ව්‍යාපරත් කළ නොහැකියි. උදාහරණයක් විධියට ගමනාගමන (දුම්රිය,ලංගම) සහ ගුවන් ගමනාගමන (ශ්‍රී ලන්කන්) අරගෙන බැලුවොත් රජයේ අකාර්යක්ෂමතාවය නිසා ඒවා අධික පාඩු ලබනවා. ඒවල බරත් බදු හැටියට ගෙවිය යුත්තෙ ජනතාව. ඒකෙ නරකම දේ නම් ශ්‍රී ලන්කන් වැනි ආයතන භවිතා නොකරන බහුතරයකට ඒ බර ගෙවන්න වීමෙන් ඔවුන් තව තවත් දුපපත් වීමයි.
    ලංකාවෙ විශ්ව විද්‍යාලවල ඉන්න ශිෂ්‍යයො ගත්තොත් බහුතරයට තියෙන්නෙ පන්ති වෛරයක්. ඔවුන් උපාධි අරගෙන එළියට ආවාම, සුළුතරයකට ආණ්ඩුව රස්සා දුන්නත් බහුතරයකට රස්සා දෙන්න පුළුවන් වෙන්නෙ ඔවුන් වෛර කරන ධනපති පන්තියටම තමයි. රජය කල යුත්තෙ නිර්මාණශීලි ව්‍යවසායකයන්ට සහන දීම, දිරි ගැන්වීම සහ යම් ආකාරයකින් ඔවුන් පාලනය කිරීමයි. නමුත් නොවන්නෙත් ඒ දේ, ඒ වෙනුවට රජය කරන්නෙ ඩීල් කාරයන්, සූදුකාරයන්, සුරා නිෂ්පාදකයින් වැනි තක්කඩියන් සමග එක ගෙයි කෑමක්. අමාරුවෙන් උඩට එන නිර්මාණශීලි ව්‍යවසායකයන්ටත් නොයෙකුත් පීඩා කරමින් ඔවුන් අධෛර්‍යට පත් කරනවා.

    ReplyDelete
  7. මෙහෙමයි පැරා,

    මම මුණු පොතේ සංවාද වලටනම් සහබාගි වෙලා නෑ. නමුත් ඔබ වැදගත් සංවාදයක් මෙතන මතුකරනවා.

    පැරා ඔබ moderate කිරීම නිසා මෙතන සංවාදයක් ගොඩනැගීම අමාරුවෙනවා, මෙහි කොමෙන්ට් කරන අයගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි, අපි කවුරුත් පුද්ගලිකව හදුනන්නේ නෑ ඉතින් ඇයි අපි මඩ ගහගන්නේ ඇයි අපට බැරි විරුද්ධ මත ඉවසන්න ? අසබ්ය දේ ලියන අය කරන්නේ තමන්ගේ හීනමානය ලෝකයට ප්‍රදර්ශනය කිරීමයි, මොකද ඔවුන්ට හැකියාවක් නෑ පුද්ගලිකව මෙවැනි පහත් විවේචන කිරීමට.

    //ඇයි ගොවිතැනින් වෙනත් රැකියාවකට යොමු වෙන්න බැරි කියලා ඇහුවොත් ඒකට හේතුව ඒ තරමට රට කාර්මීකරණයව නොතිබීම. //

    ඇයි ඔබ හිතන්නේ ගොවිතැනින් අඩු ආදායමක් ලබනවා කියල ? මම සරල උදාහරණයක් දෙන්නම් ඔබ ගන්න ගම්බිරිස් වගාව ගැන (දැන් නම් මිල අඩුවන බවයි කියන්නේ ) නමුත් අක්කර බාගයකින් ලක්ෂ 2 වැනි මුදලක් ලබාගත හැකි උනා.
    හැබැයි ඔබ හිතන්න කෘමි නාශක නොදා හදන ගම්බිරිස් කුඩු අපනයනය කරනවානම් විදේශ වල ශ්‍රී ලංකාවේ ලබන මුදල වගේ 16 ගුණයක් ලැබෙනවා. නමුත් ප්‍රයෝගික දුෂ්කරතා කීපයක් තියනවා මුලිකම දේ තමයි අපනයන සංවර්දන මණ්ඩලයේ නිසි ක්‍රමවේදයක් නොතිබීම සහ සාමාන්‍ය ගොවියකුට මෙම තොරතුරු ලබාගැනීමේ අපහසුව.

    මෙතැනදී වැදගත්ම වත්කම තමයි දැනුම. ඔබ ග්‍රාමීය ප්‍රදේශ බැලුවොත් මෙවැනි කුලුබඩු විශාල ප්‍රමාණයක් නිපදවා අපනයනය කරන්න පුළුවන් රජයට දැඩි ත්ත්වපාලනයක් තියනවනම් රටේ මෙය මහාපරිමානයෙන් කලහැකියි. දැනට මාස ගණනකට පෙර ජර්මනියට යවපු රසායනික පොර නොගහපු ගොටුකොල කන්ටෙනරයක ගොටුකොල වල කෘමිනාශක අන්තර්ගත බව ඔවුන් සොයාගැනීමෙන් පසු සම්පුර්ණ කන්ටේනරය විනාශාකර දැමු අතර ඔවුන්ට මාස 6ට අපනයනය තහනම් උනා. මෙනිසා මෙවැනි දේ සදහා නිසි ප්‍රවර්දනයන් තියෙන්න ඕනේ.

    අනෙක් කාරණය අපනයන වෙළදාම (දැනට ) සම්පුර්ණයෙන් බදුවලින් නිදහස් මෙනිසා මෙය ප්‍රවර්දනය කලයුතුයි.

    //ආචාර්ය ජග්දීෂ් භගවති වරෙක කිව්වෙ වෙන රටවල් දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් මදිවෙලා හැබැයි ඉන්දියාව දුප්පත් වෙන්නෙ පණ්ඩිතයින් වැඩි වෙලා කියලා//

    මේකට හොද හේතුවක් තියනවා ශ්‍රී ලංකාව වගේ රටවල ඉන්නේ කටපාඩම් කිරීම මගින් විබාග සමත්වූ පිරිසක් ඔවුන්ට ප්‍රායෝගික ලෝකයේ කිසිවක් කල නොහැකියි. විශ්වවිද්‍යාල අද්යාපනයේ නියුතු පිරිසෙන් දක්ෂ ප්‍රායෝගික බුද්ධියක් ඇති 25% පමණ වසර 3 ඇතුලත රටින් පිටවෙනවා ඉතිරි පිරිසෙන් තවත් 25% පමණ වසර 10 ක් ඇතුලත රටින් පිටවනව (මොකද ඔවුන් දැනගන්නවා මෙරටේ ප්‍රායෝගික බුද්ධිය මෙහෙයවා වැඩ කර දියුණුවීමට නම් විවිද නීති විරෝදී ක්‍රම වල යෙදෙන්න ඕනේ බව )

    ඉතිරි 50% න් 25% පමණ පුද්ගලික අංශයට අනුයුක්ත වෙන්නේ යමක් කමක් යම්තරමකටවත් කළහැකි පිරිසයි, කිසිවක් කළනොහැකි මෝඩ පිරිස රාජ්‍ය සේවය තුල එකතුවෙනවා. (ඔවුන් අතරේ දක්ෂ කෙනෙක් කලාතුරකින් හිටියත් ඔහුට තම කාර්ය නිසිලෙස කිරීමට අදක්ෂයන් ඉඩ දෙන්නේ නෑ )

    මේකට හොද උදාහරණය දැනට දින 2ට පෙර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආයතනය ලෝකප්‍රසිධ්ද කළා
    http://www.dailymirror.lk/article/SLC-to-compensate-stripped-ground-staff-132639.html

    මේතියෙන්නේ FCID යන්න වෙයි කියල කම්කරුවන්ගේ පඩිය වන රුපියල් 1500 ලබාදීමට, ඔවුන්ට ලබාදුන් කලිසම නැවත ඉල්ලපු මෝඩ තකතීරු නිලදාරීන් පිරිසකගේ අමන වැඩක් (මේක රජය අප්‍රසාදය කිරීමට කල දෙයක් වෙන්න පුළුවන් නමුත් කිසිම නිලදාරියෙක් ට මෙතක් දඩුවම් නොකිරීමෙන් පෙන්නේ මේ රජයේ තියන අක්ර්යක්ෂම තාවයයි ) මෙතන මොවුන් නිතියානුකුල වෙන්න පුළුවනි නමුත් මේ අය ප්‍රායෝගික නෑ මොකද නිලදාරියෙකුට නිතිය මේකනම් මෙම කලිසම් දෙනවිට අදාළ කම්කරුවන් දැනුවත් කරන්න තිබූන.

    මෙහෙම හිතන රාජ්‍ය සේවකයන් ඉන්න රටක නවීන ලෝකයට උවමනා ප්‍රායෝගික දේවල් කරනවා කියන්නේ විහිළුවක් විතරයි.

    අනෙක් කාරණය අද අන්තර්ජාලය තුලින් බොහොදෙවල් ඉගනගන්න පුළුවන්, ඔබ හිතන්න වඩූ මහතකු ගැන ඔහුට අලුත් දැනුම ලබාගන්න පුළුවන් https://www.youtube.com/watch?v=vhD5giZvULI

    බලන්න මෙවැනි දෙයකට යන්නේ 20 MB පමණයි වගේ නමුත් ඔහුට රුපියල් 100 ට අඩු මුදලකට නව දැනුමක් ලබාගන්න පුළුවන්. මෙවැනි දෙයක් නිපද වූවානම් ඔබ හිතන්න කොච්චර විශාල වෙළදපොලක් ශ්‍රී ලංකාවේ විතරක් තියනවද ?



    ReplyDelete
    Replies
    1. ඔය කලිසම් ගලවපු කතාවට මාධ්‍ය ලොකු ප්‍රචාරයක් ලබා දීලා, ක්‍රිකට් ආයතනයි ලංකාවයි දෙකම අවමානයට පත් වුණා. හැබැයි ඕනෑම ආයතනයකින් තාවකාලිකව හෝ පූර්ණකාලීව සේවය කරල ඉවත් වෙනවානම්, එම ආයතනය ලබා දෙන නිල ඇඳුමේ සිට සියලුම දේවල් (ජංගම දුරකතන, වාහන, ලැප්ටොප්/පරිගනක, ක්‍රෙඩිට් කාඩ්, නේම් කාඩ්) සියල්ල ලබා දිය යුතුයි, එය සේවා ගිවිසුමේ පැහැදිලිව සඳහන්. දැනුවත් කළේ නෑ කියන්න බෑ, තාවකාලික සේවකයෙක් පවා ගිවිසුමක් අත්සන් කරලනෙ සේවය පටන් ගන්නෙ.

      Delete
    2. @Lankika Sithuwili

      1982 පමණ කාලයේ මමත් ඔවැනි DIY වීඩියෝ පටි එංගලන්තයෙන් ගෙන්වා ගෙන, ඒවායේ පෙන්වන ආකාරයට මා සතුව තිබූ විදුලි වඩු කාර්මික යන්ත්‍රවලින් විනෝදයට මෙන් ගෘහ භාණ්ඩ කිහිපයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. එහිදී මට තේරුම් ගියේ ලංකාවේ මෙය කිරීමට අපහසු බවයි. එයට හේතුව ලංකාවේ දැව සපයා ගැනීමේදී කිසිදු සම්මත විශාලත්වයක් හෝ ප්‍රමාණයක් හෝ නැති වීමයි. උදාහරණයක් වශයෙන් ලංකාවේ ලෑලි දෙකක් කිසිවිටක එකම පළලින් යුක්ත නැහැ. ඉතින් මට සිදු වුණේ පළමුව මා සපයා ගත් දැව ඒ වීඩියෝවල පෙන්වන සම්මත ප්‍රමාණයට සකසා ගැනීමයි. එහෙත් දියුණු රටවල දැව මිළදී ගන්නා විට ඒවා සියල්ලක්ම එකම සම්මත ප්‍රමාණයකින් යුක්තයි (හරියට ම කඩදාසි A3, A4, A5 වැනි සම්මත ප්‍රමාණවලින් විකිණීමට තිබෙන්නාක් වැනි). එමනිසා වැඩය ඉක්මන් වෙනවා සේම නිෂ්පාදන වියදමත් අඩුයි. කෙසේ නමුත් එකල ජපානයෙන් සහ යුරෝපයෙන් යන්ත්‍ර සූත්‍ර ආනයනය කළ සමාගම් (උදාහරණ වශයෙන් ජපානයෙන් මෝටර් සයිකල් ආනායනය කළ ස්ටැෆඩ් මෝටර් සමාගම), ඔවුන් එම යන්ත්‍ර අසුරා තිබුණු ලී පෙට්ටි හිස් වූ පසු වෙන ම විකිණීම කරගෙන ගිය අතර, එවැනි ලී පෙට්ටි මිළට ගෙන මට වඩා පහසුවෙන් එම ගෘහ භාණ්ඩ තනා ගැනීමට හැකි වුණා. ඒ එම පෙට්ටි සාදා තිබුණු දැව සම්මත ප්‍රමාණවලින් යුක්ත වූ නිසා යි.

      Delete
    3. //දැනුවත් කළේ නෑ කියන්න බෑ, තාවකාලික සේවකයෙක් පවා ගිවිසුමක් අත්සන් කරලනෙ සේවය පටන් ගන්නෙ.//

      Prabath,

      ඔබ කියනදේ නිවැරදියි හැබැයි මේ සියලු ගිවිසුම් තියෙන්නේ බොහෝවිට ඉංග්‍රීසියෙන්, මේ ව අත්සන් කරන විට පිටපතක් වත් ලබාදෙන්නේ නෑ, එහෙම ලබාදුන්නත් කම්කරුවන් වන මේ මිනිසුන් ඕව කියවන්නේ නෑ, මිනිසුන් ලෙස ප්‍රායෝගිකව හිතනවානම් අදාළ නිලදාරීන් මොවුන්ට වාචිකව දැනුවත් කලයුතු වෙනවා. එහෙම වෙච්ච නැතිබව මේ නිලදාලින් කියන නිදහසට හේතු වලින් පෙනෙනවා.

      මේ වගේ අහිංසකයන් ට මෙහෙම සැලකුවත් බලවතුන් කෝටිගණන් අපහරණය කරලා නිදැල්ලේ ඉන්නවා එකයි ඇත්ත.

      AnonymousJuly 14, 2017 at 12:55 AM,

      //1982 පමණ කාලයේ මමත් ඔවැනි DIY වීඩියෝ පටි එංගලන්තයෙන් ගෙන්වා ගෙන, ඒවායේ පෙන්වන ආකාරයට මා සතුව තිබූ විදුලි වඩු කාර්මික යන්ත්‍රවලින් විනෝදයට මෙන් ගෘහ භාණ්ඩ කිහිපයක් නිර්මාණය කරන්න උත්සාහ කළා. එහිදී මට තේරුම් ගියේ ලංකාවේ මෙය කිරීමට අපහසු බවයි.//

      ඔව් එක 1982 වැනි කලකදී එහෙම වෙන්න පුළුවන් මොකද සියල්ලම අතින් කල නිසා නමුත් දැන් ඉට වෙනසස් සියල්ල සිදුවෙන්නේ power tools පවිච්ච්චියෙන්, එහෙම උනත් අපේ මිනිසුන් ගේ ප්‍රමිතියක් බොහෝවිට නැති නිසා නිසිලෙස හැම තැනදීම නොවෙන්න පුළුවන් නමුත් උවමනාව තියනවනම් මේවා අභියෝග නෙමෙයි.

      Delete
    4. @Prabath Kurukulasuriya
      මේක විහිලුවක් වෙන්නේ මෙහෙමයි. දේශපාලකයෝ, නිළධාරියෝ වගේ කටිටිය ගෙදර යනකොට තමන් පාවිච්චිකරපු වාහන පවා අරන් යද්දී අහක බලන් ඉන්න රටක් වගේ සුළු සේවකයන්ගේ කලිසම් පවා ගලවලා අරගෙන හෙලුවෙන් ගෙදර යවන්න තරම් ට්‍රාන්සපේරන්ට් වෙන එකයි.

      Delete
    5. @Lankika Sithuwili

      ////උවමනාව තියනවනම් මේවා අභියෝග නෙමෙයි.////

      මේ කතාව ව්‍යවසායකයෙකුට අදාළ වෙන්න පුළුවන්. ඒත් මං වගේ hobbyist කෙනෙකුට යමක් තැනීමේදී අමු ද්‍රව්‍යය සම්මත ප්‍රමාණයකට/ප්‍රමිතියකට නැති වීම කරදරයක්.


      ////නමුත් දැන් ඉට වෙනසස් සියල්ල සිදුවෙන්නේ power tools පවිච්ච්චියෙන්////

      නෑ... ආනයනික දැව හැරුණාම ලංකාවෙන් උපදවා ගන්නා දැව තවමත් ප්‍රමිතියකට/සම්මත ප්‍රමාණයකට නැහැ. දියුණු ආර්ථිකයක් ඇති රටක Bauhaus වැනි home improvement & gardening සාප්පුවකින් තමුන්ට අවශ්‍ය දැව නියමිත/සම්මත ප්‍රමාණවලින් පහසුවෙන්ම ලබා ගන්න පුළුවන්. ඊට පසු ඇත්තේ ඒවායින් තමුන්ට අවශ්‍ය දේ නිපදවා ගැනීම පමණයි.

      Delete
  8. මමත් අවුරුදු ගානක් යුරෝපයෙ ඉන්න කෙනෙක්.මෙහෙ ආව දවස්වල මට පුදුම හිතුන.මොකද අපි ඉගෙනගත්ත ඉස්කෝලවල කැම්පස්වල තිබුන විද්යාගාර පහසුකම් මෙහෙ නැහැ.ඒත් රටක් විදිහට ලෝකෙ හොඳම රටවල් විස්ස අතරෙ මේ රට තියෙනව.ලමයි ගත්තම අපේ අයට වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නව.ලංකාවෙ උගන්නපු කෙනෙක් විදිහට මට නම් හිතෙන්නෙ අපේ අද්ධ්යාපනය ගොඩක් පසුගාමිය් කියල.වද දීල ඉගැන්නුවට උන්ට ජීවත්වෙන හැටි කියල දෙන්නෙ නැහැ.වෙනස පටන් ගන්න ඕන එතැනින්.එතකොට ඉතිරි ඒව ඉබේම හැදෙයි.

    ReplyDelete
  9. දුප්පත්කම එක පැත්තකින් සංස්කෘතියක් ලෙස දකින්න පුළුවන්. මෙය ආකල්ප සමග බද්ධව පවතී. උදාරණයක් තමයි තමන්ට කුඩා ගෙවත්තක් උරුම පුද්ගලයන්ගෙන් ප්‍රථමයෙන් එය කළමනාකරණය කරගන්න අවධානය යොමුකරන්නේ අපේ රටේ සුළුතරයකි. බොහෝ ගෙවතු කුඩා කැලවල්ය. ගෙවත්තේ වතුරටික,පළතුරු ආදිය සම්පතක් ලෙස සලකන්නේ ටික දෙනයි.නමුත් අපේක්ෂාවන් ඇත. මේක මම අපේ ගමෙදි හොදින් දැක්කා. ඊටපසුව තමයි මේ ලිපිය ලිව්වේ. http://samadhibuddhistcenter.blogspot.de/2017/04/blog-post.html
    තවත් වැදගත් කරුණක් තමයි ශික්ෂණය.උගත්යයි කියන අය පවා, ආගම් නාමයෙන් පෙනීසිටින ඇතැම් අයපවා අදහස් දැක්වීමේදී නොහික්මුණු බවක් තියෙනවා. සමාජ වෙබ් අඩවිවල ඇතැම්හු අදහස් දක්වන ආකාරය නිදසුනකි. මෙම නොහික්මීම නිසා සමාජයට ආකල්ප ගෙනයන්න අමාරුයි. ශික්ෂණය මනොවිද්‍යාත්මකයි.
    නූතනය ආර්ථිකයෙදී මීටවඩා දෙවල් ප්‍රමුඛයි. නමුත් මේ කාරණාත් වැදගත්ය.

    ReplyDelete
  10. මෙහි අංක 1 වියයුත්තේ මිනිසුන්ගේ චින්තනය කාලීනව වෙනස් නොවීම
    රැකියා පහත්කොට සැලකීම.
    අධ්‍යාපනය මතම රැකියා උත්පාදනය වීම .
    නිදහසින් පසු ශ්‍රී ලංකාවේ යැපුම් කෘෂිකර්මය සම්පූර්ණ බිඳ වැටීමට ලක්වීම
    විචාරක දියණිය

    ReplyDelete
  11. දුප්පත්කමට හේතුව , ඉස්සර නම් සමාජ අනවබෝධය දැන් ... ඒ තත්වය සංකීර්ණ වෙලා . මිනිස්සු බහුතරයක් කම්මැලියි. නිකන් ලැබෙනකම් බලන් ඉන්නවා . අනෙක කොච්චර දුන්නත් මදි. ආශාවන් අසිමන්තිකයි. හැමෝම බලය අල්ලන්න හදනවා , තමන්ට හිමි තැන ( තමන් ලබාගත් තැන ) මතක නෑ. කිසිදු උත්සහයක් නොගෙන අනුන්ගේ පහනෙන් එලිය බලන්න ඉන්න කොටසක් තමයි මෙහෙ වැඩිපුර ඉන්නේ . ඉතින් , ලංකාවේ දුගී බව ඉවර කරන්න හරිම අමාරුයි. මිනිස් ආකල්ප වෙනස් කරන්න සියල්ලටම පෙර

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.