2017-07-08

කොළඹයි, පේරායි ස්වාධීන විශ්වවිද්‍යාල කරන්නට පුළුවන් ද?

පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ අධීක්ෂණ කමිටුවේ උසස් අධ්‍යාපන උප කමිටුව තුළදී කොළඹ හා පේරාදෙනිය විශ්වවිද්‍යාල ස්වාධීන විශ්වවිද්‍යාල බවට පත් කිරීමේ හැකියාව පිළිබඳ අදහසක් සාකච්ඡා වී තිබේ. 

විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වූ ආචාර්ය නිර්මාල් දේවසිරි තනි වාක්‍යයකින් කියා තිබුණේ, මේක කරන්න හදන එකත් හොදයි. අපේ ඇගේ තියෙන කුණු ටික හෝද ගන්න හොද අවස්ථාවක් කියා ය.

මෙවැනි නොපැහැදිලි අදහස් පළ කිරීම්වලින් නිරූපණය වන්නේ වඩා සංයුක්ත පහත දැක්වෙන අදහස්වලට ඉදිරියේදී යටත් වීමට තිබෙන සූදානමයි.

මේ පිළිබඳව මේ වන විට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය යටින් සිට මෙහෙයවන්නට උත්සාහ කරන දේශපාලන පක්ෂය වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයකු වන පුබුදු ජයගොඩ මෙසේ අදහස් දක්වා තිබිණි.

“අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ මීලඟ පියවර ආරම්භ වෙමින් තිබේ. පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කළත් රාජ්‍ය විශ්ව විද්‍යාල සුරකින බවට, වර්ධනය කරන බවට දුන් පොරොන්දු හුදු සුරංගනා කතා පමණක් බව ඔප්පු වෙමින් තිබේ. පාලකයන් මේ උත්සාහ කරන්නේ සෑම ජාතික විශ්ව විද්‍යාලයක්ම සයිටම් එකක් කිරීමටය. එනිසා තවමත් 'සයිටම් අහෝසි කරනු' සීමාවේ පටුවී සිටින සියල්ලන් 'අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවය පෞද්ගලීකරණය නොකරනු' සටන්පාඨය දක්වා සිය ක්‍රියාකාරීත්වයන් පුළුල් කරගත යුතුය."

මෙම යෝජනාව ඉදිරිපත් කළ බව කියන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයාගේ නම සඳහන් නො කරමින්, අයිලන්ඩ් පුවත්පත දූෂමාන දෙස වාර්තා කරන්නේ ලාභ ඉපයීම වෙනුවෙන් විශ්වවිද්‍යාල ස්වාධීන කළ යුතු බවට එම මන්ත්‍රීවරයා යෝජනා කළ බවයි. මෙම අදහස රජයේ නිල අදහසක් ද, නැතිනම් නිකම් කියා දැමූවක් ද යන්න සොයා බැලීමේ උනන්දුවක් ද මෙම පුවත්පතට නැත. ප්‍රවෘත්ති යනු ඉතා පටු අරමුණු සහිතව නිර්මානය කරන ඒවා ය.

මේ පිළිබඳ ප්‍රබන්ධය නිර්මානය කර ගන්නට අවශ්‍ය පසුබිමත් එසේ සූක්ෂම අන්දමින් එම පුවත්පත විසින් සපයා තිබෙන අතර, උන්නතිකාමී පක්ෂයක නායකයකු වන පුබුදු ජයගොඩ එම ප්‍රබන්ධය මත පදනම්ව එයට එරෙහිව ක්ෂණිකව දක්වන ලද සංයුක්ත අදහස් දැක්වීමත්, සිවිල් සමාජ නායකයකු ලෙස හැඳින්විය හැකි නිර්මාල් රංජිත් දේවසිරිගේ ඇල්මැරුණු අසංගත ප්‍රකාශයත් විසින් අනාගතය පිළිබඳ පැහැදිලි සංඥා දෙකක් නිකුත් කර තිබේ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වැනි අයට ස්වාධීන විශ්වවිද්‍යාලවලට විරුද්ධ වන්නට සාධාරණ හේතුවක් නැත. එහෙයින් ඔහු තව ටික දිනකින් “මේ එන්නෙ ඒ ස්වාධීන විශ්වවිද්‍යාල නෙමෙයි," යන තැනින් පුබුදු ජයගොඩ සමග කරට අත දා ගන්නට ඉඩ තිබේ. රාජ්‍ය බලය ගැනීමට හෝ සමාජ ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා තීරණාත්මක ලෙස මැදිහත්වීමට උවමනාවක් නැති පෙරහැර බැලීමෙන් සතුටු වන බලවේගවල ඒ කියන ස්වාධීන විශ්වවිද්‍යාල ඔවුන් කිසි දිනෙක හදන්නේ නැත. හදනවා නම් දැන් වුණත් පටන් ගන්නට බැරිකමක් ද නැත.

අප ලාභයට විරුද්ධ නැත. එසේම, ලාභය යනු මහා නරක දෙයකැයි ද අප සිතන්නේ නැත. ලාභය යනු එක පැත්තකින් අලුතෙන් නිෂ්පාදනය වන ප්‍රාග්ධනයයි. අනෙක් පැත්තෙන් සමාගම් කොයි තරම් ලාභ ලැබුවත්, ඒ ලාභය පරිභෝජනය කිරීම හේතුවෙන් එය සමාජයට කාන්දු වේ. ලාභයෙන් රජය ලබා ගන්නා බදු ද ආපසු යන්නේ සමාජයට ම ය.

මෙය ඉතා සරල කාරණයකි. අපි මෙසේ සිතමු. ලොකු ධනපතියෙකු සුපිරි හෝටල්වලින් ආහාර ගන්නා විට එම හෝටලවල සේවය කරන කම්කරුවන්ට රැකියා බිහි වේ. ධනපතියා ඉහළ පෙළේ වාහනයක් මිළ දී ගන්නා විට, ජපානයේ කම්කරුවන්ට රැකියා ලැබේ. කම්කරු පංතියට දේශසීමා වැදගත් නැත. මේවා කීවේ අප නොව, ඒගොල්ලන්ගේ ම ශාස්තෘවරයින් ය.

හැබැයි, අසාධාරණ ලාභ අනිවාර්යයෙන් ම නියාමනය කළ යුතු ය. හේතුව, අසාධාරණ ලාභ නිසා මිළ දී ගැනීමේ හැකියාවට දැඩි සීමා පැනවේ. සයිටම් සම්බන්ධයෙන් මතු කරන ලක්ෂ 120 කතාව එයයි.

දුප්පත්කම හොඳ දෙයක් නෙමෙයි. එය ජීවිතය කාලකණ්ණි කරන, දුරලිය යුතු තත්වයක්. හැබැයි, යහපත් ජීවිතයක් කියන්නේ සල්ලි උඩ පීනන එක නෙමෙයි. උසස් ජීවිතයක් ගත කරන්නට සල්ලි ගොඩක් ඕනැ නැහැ. සාමාන්‍ය ආදායම් මට්ටමකින් වුණත් පරමාදර්ශී ජීවිතයක් අත්පත් කර ගන්නට, සතුටින් ජීවත් වෙන්නට පුළුවන්. ධනවතුන් ය කියන පිරිසට ඉරිසියා නො කිරීම හා ඔවුන්ගේ ජීවිත දෙස ද උපේක්ෂාවෙන් බලන්නට පුළුවන්කම උසස් මිනිස්කමක ලක්ෂණයක්.

රටට අවශ්‍ය කුසලතා ගොඩනැගීමට සුදුසු දක්ෂ ශිෂ්‍යයන් වෙනුවෙන් උසස් අධ්‍යාපනය ලබා දීම සඳහා නොමිළේ උගන්වන රජයේ විශ්වවිද්‍යාල අවශ්‍ය ය. එසේම, ස්වාධීන විශ්වවිද්‍යාලවලින් ද දක්ෂ සිසුන්ට ශිෂ්‍යත්ව ආදිය වැඩි වැඩියෙන් ලබා දිය යුතු ය. එසේම, ශිෂ්‍ය ණය ද ඉතා හොඳ ක්‍රමවේදයකි. ඉගෙන ගැනීම සඳහා ලබා ගන්නා සහන ණය රැකියාවක් කරන කාලයක ගෙවා දමනවා නම්, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන දැන් කෘර ලෙස බිස්නස් කරනවා වැනි කුල අහන්නට ද ඕනෑ නැත.

හැබැයි ඉතින් අධ්‍යාපනයේ මූලික පරමාර්ථය සමාජයට වැඩදායී සේවයක් කිරීම ය යන මූලික ආකල්පය ගොඩනැගීම අතිශය වැදගත්ය. වර්තමානයේ විශ්වවිද්‍යාලවලින් පිට වන දොස්තරලාගේ සිට ගුරුවරුන්, ලිපිකරුවන් දක්වා පිරිස්වලට නැති මූලික දෙයක් වන්නේ මෙම ආකල්පයයි. එය වත්මන් උසස් අධ්‍යාපන ක්‍රමයේ ලොකුම ගැටලු අතරින් එකකි.

වර්තමානයේ නිදහස්ව සිතන, ස්වාධීන, ප්‍රගතිශීලී බුද්ධිමතුන් සිටින්නේ වාමාංශික පක්ෂ, දේශපාලන කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් ආදිය අතර නො ව සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන් අතරේ ය.

ස්වාධීන විශ්වවිද්‍යාල පිළිබඳ චමීර ජීවන්ත දෙද්දුවගේ විසින් දක්වන ලද අදහස් කීපයක් කෙරෙහි ඔබේ අවධානය යොමු කරමි. 

"කැම්පස් ටික UGC එකෙන් ගැලෙව්වට පස්සේ ඒකෙ වියදම් පියවනු පිණිස උපාධි විකිණීම අනිවාර්ය ය" යන මෝඩ තර්කයට පිළිතුරු පිණිස ලියමි...

සියල්ලට පළමු කිවයුතු දෙයක් වෙයි... ලෝකේ දියුණු යැයි සම්මත කිසිදු රටක්, අපේ වැනි එකතැන පල්වෙන අධ්‍යාපන ක්‍රමයක් සහිතව දියුණු වුණේ නැත... අපට හිතාගන්නවත් බැරි අහසට පොළොව මෙන් දුරස්ථ දියුණු දැනුම් පද්ධතියක් ඔවුන්ට හිමිවීමට ඇත්තේ එකම එක රහසකි.. එනම්, ඔවුන්ගේ දැනුම ඔවුන් එදිනෙදා ගතකරන ජීවිතයට අනුව දිගින් දිගටම, නොනවත්වාම යාවත්කාලීන වීම සහ අපේ දැනුම වනාහි හුදෙක්ම "රස්සාවක් ලබාගන්නට තියෙන කඩදාසි සුදුසුකමක්" වීම යන සාධකය මත ය.... අර කී එවුන්ගේ දියුණු රටවල එවුන්ගේ දැනුම දිගින් දිගටම නොනවත්වාම යාවත්කාලීන වීමට ඇත්තේ ද එක රහසකි... එනම් පුද්ගලික අංශය සමග අත්වැල් බැඳ ගැනීමයි....

පුද්ගලික යන වචනය ඇසුණු සැණින් ආහාර මාර්ගයේ පහළ කෙළවරේ ඉත්තෑවුන් දුවන උදවිය මින් පල්ලෙහාට කියවීමෙන් වලකින්න...

විශ්ව විද්‍යාලයයක්, උපාධි විකිණීමෙන් තොරව සල්ලි හොයන්නේ කෙසේ ද? මීට අපට දහසකුත් එකක් උත්තර බැඳිය හැකි නමුදු, එකක් පමණක් සටහන් කිරීම සෑහේ ....

විශ්ව විද්‍යාලයයක ලොකුම සම්පත එහි බුද්ධි පදාසය ය... එනම් එහි ඉගෙනගන්නා ශිෂ්‍ය ප්‍රජාව ය... විශ්ව විද්‍යාලවල (හරිනම්) ඉන්නේ රටේ හොඳම මොළ ටික ය... මෙන්න මේ හොඳම මොළ ටික ලවා තමන්ගේ විෂයයට අදාළ පර්යේෂණ කටයුතු කරවාගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් කිසිම පුද්ගලික ආයතනයක් ඊට එපා කියන්නේ නැත... ඒ වෙනුවෙන් කල යුත්තේ සරල වැඩකි.... එනම්, ශිෂ්‍යයන් හදාරන විෂය ඒකක වලට අදාළව, කෙටිකාලීන හෝ දිගුකාලීන ක්ෂේත්‍ර පර්යේෂණ අනුයුක්ත කිරීමයි... 
එයින් රටට සේවාවන් තුනක් සැපයේ... එක, රටේ හොඳම මොළ ටික, රටේ වැදගත්ම ප්‍රශ්න අධ්‍යයනය කිරීමට යෙදවීම ය.. දෙක, එම සේවාව වෙනුවෙන් අත දිගහැර වියදම් කරන්නට සූදානම් පුද්ගලික ආයතනවල වියදමෙන් විශ්ව විද්‍යාල නඩත්තු කිරීම ය... තුන, අධ්‍යාපනය අවසන් කර එළියට එන සිසුවාට, "රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයට" බැඳී පාරවල් ගාණේ පිකට් කරනවා වෙනුවට, සරසවියෙන් පිටවන විටම රැකියා අවස්ථාවන් එකක් නොව කීපයක් තිබීම ය....

මේ එක ක්‍රමයකි... තවත් ක්‍රම තිබේ.... මේවා හුදෙක් අපේ හිතළු නොව, ලෝකයේ දියුණු රටවල දැනට දශක ගණනක් තිස්සේ අතිසාර්ථකව ක්‍රියාත්මක වන අටෝරාසියක් අධ්‍යාපන මොඩලයන්ගෙන් එකකි....

(හැබැයි ඉතිං ඔය මොක කරන්නත් පෙර, අන්තරේ වැනි ත්‍රස්තවාදී සංවිධාන පළවාහැර, සරසවිය නම් මුදා නොගත් කලාපය රටේ ජනතාව භාරයට ගත යුතු ය..... )

ස්වාධීනව මෙහෙයවෙන, එහෙත් ලාභය අරමුණු කර නොගන්නා විශ්ව විද්‍යාලයයක පැවැත්මට සල්ලි හොයන එක ක්‍රමයකි ඔය... තව ක්‍රම ඕනෑතරම් දිය හැකි ය.... දැනට මේ ඇති ය...."


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. අද වෙනවිට යුනෙස්කෝව සාක්ෂරතාවය අර්ථ දක්වන්නේ මෙසේ.

    The United Nations Educational, Scientific and Cultural Organization (UNESCO) defines literacy as the "ability to identify, understand, interpret, create, communicate and compute, using printed and written materials associated with varying contexts.

    අකුරු කියවීමට ලිවීමට පමණක් පුළුවන් වීමෙන් ඉතා ඉහල සාක්ෂරතාවයක් ඇතැයි සිතා සිටින අප වැනි දුපත් ජනයන්ට ඔයිට වැඩිය හොඳ ප්‍රගතිශීලී බුද්දිමතුන් සිටින්නට නම් උන් සුළගටවිත් අහසින් වැටෙන්න ඕනේ.


    ගෙදර ගිහින් අවුරුදු 2ක් ගතවෙලත් තවම සිංහල වෙබ් එකේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගමයි. http://www.ugc.ac.lk/si/about-us/chairman.html

    ඉංග්‍රීසි වෙබ් එකේ සභාපති මොහාන් ද සිල්වා යි.
    http://www.ugc.ac.lk/en/about-us/chairperson.html

    අවුරුදු දෙකක් තුල වෙබ් එක යාවත්කාලීන කරගත් නොහැකි UGC ට විශ්විද්‍යාල අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකි යයි සිතන්නේ නම් මරී මෝඩ කමකි. UGCයේ තිබෙන චක්‍රලේඛන ආදී කාලයේ යල්පැන ගිය ලෝකයේ කිසිම රටක භාවිත නොකරන පරණ ක්‍රම ඇතුලත් ඒවා. සිංහලෙන් UGC දැක්ම හා මෙහෙවර පෙන්වන වෙබ් පිටුව කල් ඉකුත් වෙලා නිසා වැඩ කරන්නෙත් නෑ. ඔන්න අපේ UGC එක.

    නිර්මාල් කියන්නෙත් කුනුවුණ ඇකඩමික් මාෆියාවක ඉන්න එක පොඩි කුණුගොඩක් විතරයි. නිර්මාල් සභාපති වෙලා 2012 අධ්‍යාපනයට 6% ඉල්ලලා ලොකුවට ස්ට්‍රයික් කලාට අන්තිමේ බැසිල්ගෙන් ඉල්ලුවේ පඩි වැඩිවීමයි, ස්ට්‍රයික් කරපු මාස 3 පඩි කපන්න එපා කියන එකයි. ඒ අතරේ රට යන්න ඕනේ වුන අය හොරෙන් හොරෙන් ඩීන්ලට ලියුම් දීල ස්ට්‍රයික් එකෙන් ඉවත් වුණා විලිලජ්ජ නැතිව. ඔන්න අපේ ඇකඩමික්ලා. අන්තිමේ කැම්පස් කොල්ලෝ දෙන්නෙක් නිරපරාදේ මැරුණ එක විතරයි වුනේ. ලැබුණු පඩි වැඩිවීමයි ස්ට්‍රයික් කරපු මාස 3 පඩියයි අරගෙන එකේ ඔක්කොම නගුට පාත් කරගෙන වැඩට ගියා. ඒ කොල්ලෝ දෙන්නගේ මරණේ වගකීම නිර්මාලටත් කොටසක් තියෙනවා.

    මේ ඔක්කොම ඇතුලෙන් කුණුවෙලා තියෙන ශරීරයක්. අතුල කුණුවෙලා තිබුන කාලේ වැඩි නිසා දැන් දැන් ඇතුලේ සැරව ටික ටික එලියන එන එක පිටින් පැලැස්තර දමල නවත්තන්න බෑ.

    ReplyDelete
  2. අජිත් අයියාගේ මෙම ලිපිය වත්මන් අධ්‍යාපන අර්බුදය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉතා වැදගත් සංකල්පයක් පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමක් වශයෙන් මම දකිමි. ඉදිරි දිනකදී මේ සම්බන්ධයෙන් මාගේ බ්ලොග් අඩවිය තුළින් ද ලිපියක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

    ReplyDelete
  3. Independent university will still take the local undergrads from Z score. By releasing the clutches of UGC they can introduce new courses with collaboration of industry. If the courses are attractive they will be able to attract best teaches and research staff. Not bullshit slogans of privatization.

    ReplyDelete
  4. ඔය යෝජනාව විශ්ව විද්‍යාල ආචාර්ය/ මහාචාර්ය වරුන්ගේම අදහසක්නෙ, ආණ්ඩුව ඕක එකසරේම කරේ තියාගෙන නාගන්නේ නැතුව පොඩ්ඩක් හිරකරා නම් මහාචාරියලට කට ඉස්සර කර ගන්න ඇරල, ජෙප්පෝ එයාලගේ ප්‍රගතිශීලි යෝජනාවක් විදිහට කර තියාගන්නවා.

    ReplyDelete
  5. විශ්ව විද්‍යාල ආර්ථිකය සංවර්ධනය කිරීමට පුද්ගලික අංශය සමග සම්බන්ධ වීමේ වරදක් නැහැ. මොනවා උනත් නිර්මාල්ගේ ඇඟේත් හෝදන්න තරමට කුණු තියෙනවා එහෙනම්.

    ReplyDelete
  6. Very interesting articles - please read:
    "Who should pay for university education?
    The tuition fees debate looks set to roll on in the next parliament. But does anyone have a workable solution?" https://www.theguardian.com/education/2015/apr/15/who-should-pay-for-university-education

    "Students answer: Who should pay for my education?" https://www.timeshighereducation.com/student/news/students-answer-who-should-pay-my-education#survey-answer

    "There Is No Such Thing As A Free College Education" https://www.forbes.com/sites/ccap/2014/10/03/there-is-not-such-thing-as-a-free-college-education/#2e54e4b5417a

    ReplyDelete
  7. \\මේ පිළිබඳ ප්‍රබන්ධය නිර්මානය කර ගන්නට අවශ්‍ය පසුබිමත් එසේ සූක්ෂම අන්දමින් එම පුවත්පත විසින් සපයා තිබෙන අතර, උන්නතිකාමී පක්ෂයක නායකයකු වන පුබුදු ජයගොඩ එම ප්‍රබන්ධය මත පදනම්ව එයට එරෙහිව ක්ෂණිකව දක්වන ලද සංයුක්ත අදහස් දැක්වීමත්, සිවිල් සමාජ නායකයකු ලෙස හැඳින්විය හැකි නිර්මාල් රංජිත් දේවසිරිගේ ඇල්මැරුණු අසංගත ප්‍රකාශයත් විසින් අනාගතය පිළිබඳ පැහැදිලි සංඥා දෙකක් නිකුත් කර තිබේ//

    මේවා ජාත්‍යන්තර තලයේදීත් සිද්ද වෙන දේවල්. උන්ගේම මාධ්‍ය වාර්තා වල පදනම් වෙලා උන්ම ඒක සංවාදයටත් ගන්නවා. අපිට සිද්ධ වෙන්නේ ප්‍රතික්ෂේප කරන්නත් බැරි පිලිගන්නත් බැරි තත්වයක ඉඳන් ඒකට මුහුණ දෙන්න.

    ReplyDelete
  8. අපේ අධ්‍යාපන ක්‍රමය යල් පැනලා කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑ. ඒක දැනගන්න ඕලෙවල් ඒ ලෙවල් සිලබස් බලන්නත් ඕනේ නෑ. ලංකාවේ එක දෙක පන්ති වල විෂය නිර්දේශය අරන් ඒක ඇමරිකාවේ, ස්වීඩනයේ, නැත්නම් බ්‍රිතාන්‍යයේ සිලබස් එකක් එක්ක සංසන්දනය කරල බැලුවනම් නියමෙටම පේනවා.

    අපි පරිසරය කියලා, ගහ කොළ, සත්තු, සුළඟ කියලා කියනකොට ඒ විෂය නිර්දේශ වල මේ හැම දෙයක්ම වෙන්නේ කොහොමද කියලත් කියලා දෙනවා. ඕක්සිජන් ගැන, ශාක වලින් වායු පිටකරන එක ගැන පරීක්ෂණ 2 පන්තියේ තියෙනවා. අපේ තාම කියන්නේ ගස් වලින් අපිට කෑම ලැබෙනවා කියලා.

    මේව ඉගෙනගෙන අපි දියුණුවෙන්න තියා හිතන්නවත් පුළුවන්ද

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.