2017-08-31

දූෂිතයන් නොවන බව කියන නීතිඥයන් බිල් නිකුත් නො කරන්නේ ඇයි?

නීතිඥයන් දුෂිත පුද්ගලයින් බව ප්‍ර‍සිද්ධියේ පැවසූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායකට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති යූ.ආර්. ද සිල්වා මහතා ප්‍ර‍කාශ කොට ඇත.

කපුටන් කළු පාට යයි අප කියන්නේ පොදු හා සාමාන්‍ය තත්වය සලකා ය. ඒ අනුව, කපුටා කළු පාට ය. එහෙත්, තද කළු කපුටෝ ද, ළා කළු කපුටෝ ද, අළු පාට කපුටෝ ද, කලාතුරකින් සුදු කපුටෝ ද සිටිති.

නීතිඥයන් සාමාන්‍යයෙන් සිය සේවාවන් වෙනුවෙන් කරන අය කිරීම් සම්බන්ධයෙන් ලදු පතක් නිකුත් කරන්නේ නැත. මා වැරදි නම්, ලංකාවේ උසාවිවල නීතිඥයන් විසින් නිකුත් කරන ලද ලදුපත් ඉදිරිපත් කර මා වැරදි බව පෙන්වා දෙන්න. ඇතැම් නීතිඥයන් ඉතුරු සල්ලිවත් දෙන්නේ නැත.

තමන් විසින් ලබා ගන්නා ලද මුදලක් සම්බන්ධයෙන් ලදුපතක් ඉදිරිපත් නො කිරීම ඉතා වංක ගනුදෙනුවක ලක්ෂණයකි. මෙමගින් ආදායම් වසන් කිරීම ඔස්සේ බදු වංචා කිරීමට අවස්ථාව ලැබේ.

මෙය සාමාන්‍ය තත්වය නම් රන්ජන් රාමනායක කරන ප්‍ර‍කාශයේ වරදක් ඇතැයි මට නම් නො පෙනේ.

තමන්ගේ ප්‍ර‍කාශය වෙනුවෙන් පෙනී සිටිමින් හිරේ යාමට සූදානම් රන්ජන් රාමනායක වැනි මිනිසුන්ට අපේ සහයෝගය හිමි විය යුතු ය.

මේ පිළිබඳව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කරන ලද ප්‍ර‍කාශය පහත උපුටා දක්වමි.

ඕනෑම වෘත්තියක සුපිරිසිදු චරිත ඇති ලෙසම, අන්ත දුෂිත පුද්ගලයින් ද සිටී. අධිකරණ කේෂ්ත්‍ර‍ය එයින් කිසි ලෙසකින් හෝ පරිබාහිර නැත. පුරවැසියන්ට ලංකාවේ වෙනත් ඕනෑම වෘත්තීයක නිරත වන පුද්ගලයින් විවේචණය කළ හැකි ලෙසම නීතිඥවරුන් ද, විනිසුරුවන් ද විවේචණය කළ හැකිය. ඒ සදහා නිදහස ද, ඉවසා සිටීමේ හැකියාව ද තිබිය යුතුය.

රංජන් රාමනායක මහතා අධිකරණයට සිදු කරන චෝදනාව අලුත් දෙයක් නොවන අතර, ගෙවීගිය වසර 15 කට වැඩි කාලයක් මේ රටේ සිවිල් ක්‍රියාකාරිකයින්, ජනමාධ්‍ය පමණක් නොව නීතිඥවරුන් ද, අධිකරණ සේවා කොමිෂන් සභාව ද, සංවාදයට බදුන් කරමින් සිටින තාර්කික යථාර්ථයකි.

රාවය කර්තෘ වික්ටර් අයිවන් විසින් හෙළි කළ ලෙනින් රත්නායක විනිසුරු පිළිබද සිදුවීම මේ රටේ අධිකරණ කේෂ්ත්‍ර‍ය ගද ගසා ඇති තත්වය හෙළි කළේය. අබේරත්න විනිසුරු ගේ සිදුවීම එයට දෙවැනි වන්නේ නැත.

අගවිනිසුරු සරත් එන් සිල්වා පිළිබදව වික්ටර් අයිවන් මහතා සිදුකළ හෙළි කිරීම් ‘ශිෂ්ඨ, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදී, යහපාලනයක්‘ සැබවින් තිබෙන රටක සිදුවූවේ නම් එම රටේ අධිකරණය සුද්ධ කිරීම එයින්ම ඇරඹෙන්ට තිබුණි. හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා‍ ‘ආණ්ඩුවට කැමති ආකාරයට නඩු තීන්දු දෙන්නට තමන් කැමති බව තමන්ට කී බව‘ ජනාධිපතිවරයාම ප්‍ර‍කාශ කර තිබුණි.

ශ්‍රී ලංකා අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයෙකු ලෙස පත්වීම් ලැබූ ඩී.එම්.ඒ.අයි.දිසානායක මහතා සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. එය විභාග කළ අධිකරණ සේවා කොමිෂන් සභාව දිසානායක මහතා මහෙස්ත්‍රාත් ධූරයේ ස්ථිර පත්වීම ලබාදීමෙන් වැලකී සිටියේය.
අලි හොරකමක් පිළිබද විනිසුරු තිලිණ ගමගේ ට එරෙහිව ‘දුෂණ විරෝධී පෙරමුණ‘ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඔහුට ඇප ලබා දුන් ආකාරය අදටත් විවාද සම්පන්නය. දැන් ඔහු වැඩ තහනමකට ලක්වී සිටී. දිස්ත්‍රික් විනිසුරුවරුන් වන සෝමරත්න හා අරවින්ද පෙරේරා සම්බන්ධයෙන් ද මෙවැනි චෝදනා තිබූ අතර ඒ සියල්ලට අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට යම් පියවර ගෙන ඇත.

සිය දිවි නසාගත් බව විශ්වාස කරන විනිසුරු ආබෘ සම්බන්ධයෙන් තත්වය ද එසේමය.

කුප්‍ර‍කට සිල් රෙදි නඩුවේ විනිසුරු මාරු කරන්නට පිරිසක් උත්සහ දරන බව ‘රාවය‘ පුවත්පත පසුගිය සතියේ හෙළි කර තිබුණි. අධිකරණය වඩාත් බලපෑමක් එල්ලවන්නේ විනිසුරන් මාරු කර නඩු තීන්දු ලබා ගැනීම ද? , එසේ නොවේ නම්, විනිසුරුවන් මාරු කිරීමට උත්සාහයන් දරන නීතිඥයින් ද?, රාමනායක මහතා සිදු කළ ප්‍ර‍කාශය ද? යන්න අප පුළුල් සංවාදයකට ලක් කළ යුතුය.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉහතින් දැක්වූ සිදුවීම් බහුතරයක් පිළිබද සිය මුනිවත රැකි අතර අධිකරණ කේෂ්ත්‍ර‍ පිරිසිදු කිරීම සදහා එලදායී මැදිහත්වීමක් සිදු කර නැත. නමුත්, මේ සියලු කරුණු පිළිබද සිවිල් සංවිධාන, ජනමාධ්‍ය, මහජන නියෝජිතයින් අඛණ්ඩව සිය හඩ මතු කරමින් සිටී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අමතකව ඇති නමුත්, අධිකරණ කේෂ්ත්‍රයේ වැඩිම අවධානයට යොමුවී ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරි මහේෂි ජයවර්ධන මහත්මිය ගේ ‘සබැදියවන් අතර ගැටුම‘ යි. ඇයගේ සහෝදරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර, පුවත්පත් අවස්ථා ගණනාවක දී ම බලවත් පුද්ගලයින් ‘නඩු තීන්දු සදහා බලපෑම් කරන බව‘ ට චෝදනා කර ඇත. මෙම චෝදනාව, විවේචණය ලංකාවේ අධිකරණයේ ස්වාධීනත්වයට, නිදහසට, අධිකරණයේ පාලනයට යහපත් වන්නේ නැත.

ඒ සියල්ලටම වඩා චිත්‍ර‍පට නළුවෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විසින් ‘නීතිඥයින් දුෂිත බව‘ ට කළ ප්‍ර‍කාශයක් අධිකරණය අපහාසයක්, ව්‍යසනයක්, අනතුරුක්, අගෞරවයක්, කැලළක්, අවමානයක් බවට පත් වන්නේ කෙසේ ද? යන්න අප විසින් පුළුල්ව විමසා බැලිය යුතුව ඇත.

වගකීම් සහිත සමාජයක් පණිවුඩකරුවාට වෙඩි තබන්නේ නැත! පණිවුඩයේ අරුත වටහා ගෙන සමාජ ප්‍ර‍ගමනය සදහා කටයුතු කරන්නේය. ලෙනින් රත්නායක, අබේරත්න, ආබෘෘ, තිලිණ ගමගේ, සෝමරත්න, අරවින්ද, වැනි විනිසුරුවන් විසින් අධිකරණයට සිදු කර ඇති අගතියට වැඩි යමක් රංජන් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් අධිකරණයට සිදුවන්නේ දැයි නිදහසේ සිතා බැලීම වැදගත්ය. රාමනායක මහතා ගේ ප්‍ර‍කාශය සරත් එන් සිල්වා, මොහාන් පීරිස් අගවිනිසුරුවන් පිළිබද මෙරට ප්‍ර‍මුඛ වැසියන් සිදු කර ඇති සදහන්වලට වඩා විනාශකාරී ද යන්න ‘විවෘත මනසකින් සිතා බැලිය‘ යුතුය. සබැදියාවන් අතර ගැටුමක් ඇති රෙජිස්ට්‍රාර්වරියට වැඩි අගතියක් රාමනායක මහතා ගේ ප්‍ර‍කාශයෙන් සිදුවන්නේ ද?
නැත! කිසි ලෙසකින් හෝ නැත!!

අධිකරණය පිළිබද විශ්වාසය, ගෞරවය වර්ධනය කිරීමට නම් වික්ටර් අයිවන් මහතා ගේ භාෂාවෙන් කියන ‘මේ කුණු වී ගද ගසන නරාවල‘ පවිත්‍ර‍ කළ යුතුය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයට අර්බුදයේ කොටසක් වනු වෙනුවට ‘විසදුමේ පාර්ශයක්‘ වීම වැදගත් බව අප අවධාරණය කරමු.

කීර්ති තෙන්නකෝන්
විධායක අධ්‍යක්ෂ/ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය හා කැෆේ සංවිධානය
2017 අගෝස්තු 29

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-30

ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය

2008දී ලියන ලද ලිපියක නැවත පළ කිරීමකි.


ඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.

පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.


මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.'


කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?


නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.


මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.


නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.


පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.


මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.


‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.


මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.


මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.


පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.


මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.


‛මායාකාරිය' නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය' නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්' නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.


සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.


එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.


බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.


බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම' නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.


වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.


එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.


මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.


මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.


බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?


1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින' කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.


අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?


පසුව එකතු කරමි: රාජපක්ෂ පවුල් පාලනය ශිරානි බංඩාරනායක හිටපු අග විනිසුරුවරියට එළව එළවා පහර දෙන්නට හේතුව ද මෙවැනි ම නො වේ ද?  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-28

උත්සව ධනවාදය ගැන සංවාදයක් අරඹමු

කේක් 
උත්සව ධනවාදය (Event Capitalism) කියන්නේ ධනවාදී පාරිභෝජනවාදයේ ඉතා නරක ප්‍රවණතාවක්. උත්සව ධනවාදය කියන්නෙ ධනවාදය ගැන අතැඹුලක් සේ දත් බවට පොර ටෝක් දෙන වාමාංශිකයන්ට අහු නො වෙච්ච, හැබැයි ඔවුනුත් අහු වෙච්ච සීන් කෝන් එකක්. 

මේ වන විට එය මුළු ලෝකය ම වසා ගනිමින් පැතිරෙමින් තිබෙනවා. එමගින් ලෝකයේ සම්පත් විශාල ප්‍රමාණයක් අනවශ්‍ය, අධික පරිභෝජනය හරහා විනාශ කර දමනවා. 

සරලව කිව්වොත්, උත්සව අවස්ථාවක ඔබ මත්පැන් බොන, බයිට් කන මළ පෙරේත ස්වභාවය ගැන ආපසු සිතා බලන්න. 

දැන් මගෙන් අහන්න එපා උත්සව ධනවාදය කාගේ සංකල්පයක් ද, ඒක ගැන කියල තියෙන්නෙ කවුරුද අරවා මේවා. මේ යෙදුම සකසා ගන්නට ඉවහල් වුණේ මේ වන විට උත්සව සංවිධානය කිරීම සඳහා පවත්නා සමාගම්වල නාමයයි. ඒවාට කියන්නෙ Event Management Companies කියලායි.

උත්සව ධනවාදය ගැන මා ලියපු ලිපිය මම රාවයට යැව්වා. පළ වුණත්, නැතත්, මේ සතියෙ සිකුරාදා වන විට බ්ලොග් එකටත් දාන්නම්. 

මේ ගැන මා ලියන්නට සිතමින් සිටින කාලයේ පිලිප් ශාන්ත මේ ගැන තබපු සටහන් දෙකක් මා සේව් කරගෙන තිබුණා. පහත පළ වන්නේ ඒවායි. 

ධනවාදය (Festival Capitalism) ආපදා ධනවාදයේ (Disaster Capitalism) උප කුලකයක් ද?
=============================================
රජය මගින් කැලැන්ඩර් උත්සව පැවැත්වීම ආණ්ඩු බේදයකින් තොරව කරන්නක් බව මීට ඉහත දී මම පැහැදිලි කළෙමි. ඒ අනුව විවිධ සම්ප්‍රාදායී උත්සව සදහා සෙනග ඒකාරාශී කර විශාල වියදමක් දරමින් උත්සව පැවැත්වීම අර්ථ විරහිත වුවත් ඒවායේ ප්‍රතිලාභය ගලා යන්නේ සිද්ධි කළමනාකරුවන්ට (Event Managers) බව මම පැහැදිලි කළෙමි. ඔවුන් මැතිවරණයක දී බලයට පත්වන පක්ෂයේ ප්‍රචාරක කළමනාකරුවන් වූ අතර ඒ වැය බර උපයා ගන්නේ බලයට පත්වූ ආණ්ඩු පවත්වන රාජ්‍ය උත්සව වලිනි.

එම ක්‍රියාවලිය මගින් උපරිම ලෙස තම ප්‍රචාරක කළමනාකරුවන්ට මුදල් උපයා ගැනීමට වරප්‍රසාදය උදා කර දුන්නේ රාජපක්ෂ රෙජීමය විය යුතුය. 2500 බුද්ධ ජයන්තිය සමරමින් ඔවුන් කෙතරම් නම් ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් රාජ්‍ය මුදල් අවභාවිතා කරමින් තම හෙන්චයියන්ට මුදල් කොල්ල කා ගැනීමට ඉඩ දුන්න ද?
මේ ආණ්ඩුව ද එමම කරමින් සිටී. විවිධ උත්සව විශාල පරිමාණයෙන් පවත්වමින් තම සහචරයන්ට මුදල් හම්බ කර ගැනීම සදහා අවස්ථාවන් නිර්මාණය කර දෙමින් සිටී. මෙවර පවත්වන ලෝක වෙසක් උත්සවය නිමිත්තෙන් ද එවැනි මුදල් අවභාවිතයකට උත්සාහ දරමින් සිටී.
ජනාධිපති ලේකම් කාර්යාලයේ චක්‍ර ලේඛයකට අනුව රජයට අයත් සැම ආයතනයකම 12 x 5 ප්‍රමාණයේ බැනරයක් ප්‍රදර්ශනය කරමින් එම උළෙලට සුභ පැතිය යුතුය. එසේ සුභ පැතීමෙන් මේ රටේ මිනිස්සුන්ට වන විශේෂ වාසිය කුමක්දැයි පැහැදිලි නැත. එහෙත් එවැනි ප්‍රමාණයේ බැනරයක් නිර්මාණය කර ප්‍රසිද්ධ කිරීම අනිවාර්යෙන් කළ යුත්තකි.

12 x 5 ප්‍රමාණයේ බැනරයක් ඩිජිටල් තාක්ෂණයෙන් නිර්මාණය කර ගැනීමට අවම වශයෙන් රුපියල් 3000ක් පමණ වැය වේ. එවැනි මුදලක් ලංකාවේ සියළු රාජ්‍ය ආයතනයන්ගෙන් වැය කළ විට කෙතරම් නම් මහජන මුදලක් අවභාවිතා වේද? වඩාත් හාස්‍ය වන්නේ එමගින් කිසිම ධනාත්මක වාසියක් අත් නොවීමයි.
මට හිතෙන්නේ මෙය උත්සව ධනවාදය (Festival Capitalism) ලෙසයි. උත්සවයක් නිර්මාණය කර ගනිමින් එය යොදාගෙන තම හෙන්චයියන්ට රජයේ මුදල් උපයා ගැනීමට අවස්ථාව සලසා දීම එහි අරමුණයි.


උත්සව පැවැත්වීමේ ධනවාදය (Event Management Capitalism)

=============================================
දින දර්ශනයට අනුව සිද්ධීන් අළලා රාජ්‍ය උත්සව පැවැත්වීම දැන් සාමාන්‍ය දෙයක්. එදා මෙදා තුර සෑම ආණ්ඩුවක්ම මෙවැනි උත්සව පැවැත්වීමට දක්වන්නේ දැඩි කැමැත්තක්. මේ උත්සව පැවැත්වීමේ අර්ථය හරිම අහිංසක වෙන්න පුළුවන්. ඒත් ප්‍රශ්නය වන්නේ රාජ්‍ය ධනය වැය කරමින් පවත්වන මේ උත්සව වල අවසන් ප්‍රතිලාභය (Outcome) කුමක්ද යන්නයි.

උදාහරණයකට පසුගිය දා පැවැති ලෝක ළමා දිනය සැමරීම සදහා ජාතික උත්සවයක් මෙන්ම ප්‍රාදේශීය උත්සවයන් ද රජයේ අනුග්‍රහයෙන් පැවැත්වූවා. එදාටම යෙදී තිබූ ලෝක වැඩිහිටි දිනය සැමරීමට ද මෙවැනිම උත්සව පැවැත්වූවා. ඇත්තටම මේ උත්සව හරයාත්මකව ගත්විට කතා සාප්පු පමණයි. එමගින් සමාජයට ලැබෙන ප්‍රතිලාභයක් නෑ.

නමුත් අප මෙහි නොදකින පැත්ත තමයි මේ උත්සව පැවැත්වීමේ අරමුණ. ඕනෑම ආණ්ඩුවක් බලයට පත්වන්න මැතිවරණයකට තරග කරන විට ව්‍යාපාරිකයන් ඊට උදව් කරනවා. එසේ උදව් කළ අයට ඒ මුදල් පොළියත් එක්ක ලබා ගැනීමේ අවස්ථාවක් මේ උත්සව නිසා ලැබෙනවා. රාජ්‍ය උත්සව බොහොමයක් දැන් සංවිධානය කරන්නේ රජයේ නිලධාරීන් විසින් නෙවෙයි. ඒවා උත්සව කළමනාකරන (Event Management Company) සමාගම් වලට පවරනවා. එවැනි සමාගම් පවත්වාගෙන යන්නේ අළෙවිකරණ ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්.

තමන්ට මැතිවරණයේ දී උදව් කළ ව්‍යාපාරිකයන් ඒහි භික්ඛුභාවයෙන් උත්සව සංවිධාකයන් බවට පත් කර වියදම් වූ මුදල් පොළියත් සමග ලබාගැනීමට අවස්ථාවක් උදා කර ගැනීම තමයි වැඩි වැඩියෙන් රාජ්‍ය උත්සව පැවැත්වීමේ අරමුණ. ඒ නිසා පත්වන ඕනෑම ආණ්ඩුවක් වටා මෙවැනි මහජන මුදල් උරා බොන්නන් (Blood Suckers) පෙළ ගැසී සිටිනවා. හිටපු ජනාධිපතිවරයාගේ 2011 පදවි ප්‍රාප්ත උත්සවය වෙනුවෙන් නිදහස් චතුරඝ්‍රයේ පැවැත්වූ ප්‍රදර්ශනයකට මේ අන්දමින් රුපියල් මිලියන 62ක් වියදම් කළා. එහි උත්සව සංවිධායකයා වූයේ ඒහිභික්ඛුභාවයෙන් උත්සව සංවිධායකයෙක් වූ ප්‍රබල ඇමතිවරයකුගේ සහචරයෙක්.

ඒ සංස්කෘතිය දැනුත් වෙනස් වී නෑ. ආණ්ඩුව වටා හා ආණ්ඩුවේ දේශපාලකයන් වට පොදි ගැසී සිටින ව්‍යාපාරිකයන් උත්සව සංවිධානය වෙනුවෙන් මහජන මුදල් කොල්ල කනවා. මෙය උත්සව සංවිධානයේ ධනවාදය ලෙස හදුන්වන්න පුළුවන්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-27

එජාපයේ දෙවෙනි පෙළට අබ සරණ ද?

මේ කාරණය ගැන ලියන්නට හිටිද්දි තමයි තුෂාර දංකැටිය ඒ ගැන මේ සටහන ලියා තිබෙනවා දැක්කෙ.

“එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දරදිය අදින, මතවාදි මෙහෙයුම් ගෙනයන නියෝජ්‍ය ඇමතිවරුන් හා පසුපෙළ මන්ත්‍රීන්ට හිස්වන ඇමති ධුර ලබා නොදෙන්නේ ඇයි? එක් ඇමතිකමක් තියෙද්දී එකම කෙනාට තවත් ඇමති කම් ලබා දෙන්නේ ඇයි? එම්.කේ.ඩී.එස් ගුණවර්ධනගෙන් හිස්වු ඉඩම් ඇමතිකම දුන්නේ ද හොඳ අමාත්‍යාංශයක් තිබුණ කෙනෙකුට. අධිකරණ ඇමති ධුරය ද එසේ ය.බුද්ධශාසන ඇමතිකම ද දුන්නේ පුල් ඇමති කමක් තියෙන කෙනෙකුටමය. ඔය ඇමතිකම් පසුපෙළ වැඩ කිරීමට දක්ෂ මන්ත්‍රිවරුන්ට දෙනවා නම් ඒක හොඳ අභිප්‍රෙරණයක්. ඒ වගෙම ඔවුන් නියෝජනය කරන කොට්ඨාසයේ ජනතාවටත් දෙන ප්‍රබෝධයක්."

තුෂාරගේ එම ෆේස්බුක් සටහනට ප්‍රතිචාරයක් දක්වමින් බර්ටි රණවීරගේ මෙසේ පවසයි: “රනිල් කවුදැයි හඳුනා ගැනීමට උත්සහ කරන්න. ඔහුගේ අතිශය විශ්වාසවන්තයන්ට හැර ප්‍රබල ඇමතිකම් දෙන්නේ නැත පසුපෙළ අයෙකු පත් කරනු ලැබුවහොත් තවත් කැබිනට් ඇමතිවරයෙකු වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවේ. එය මහජන අප්‍රසාදයට හේතු වනු ඇතැයි රනිල් සිතුවා විය හැක."

රනිල් එහෙම හිතනවා ද යන්න මට නම් සැක ය. හේතුව, ව්‍යසන අවස්ථාවලදී පවා ඇමතිවරුන් වෙනුවෙන් වාහන ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමේදී රනිල්ට එහෙම සංවේදීකමක් තිබුණේ නැත.

රනිල් මහජන අප්‍රසාදය නොව, මහජන ප්‍රසාදය ගැන හෝ තකන්නේ නැත. රනිල් තකන්නේ තමන්ගේ සමීප කවය හා පැරණි මිතුරන් ගැන පමණි. ගාමිනී ජයවික්‍රම පෙරේරා වැනි තවමත් ඡන්දයෙන් පත් විය හැකි ජ්‍යේෂ්ඨයන්ට සහ තලතා අතුකෝරළ වැනි එතරම් ජ්‍යේෂ්ඨ නො වුණත් ජන පදනමක් ඇති දේශපාලකයන්ට තැනක් දීම ගැටලුවක් නො වේ. ගැටලුව වන්නේ තිලක් මාරපන, මලික් සමරවික්‍රම වැනි ජන පදනමක් නැති පන්දම්කාරයන්ට රනිල්ගේ තිබෙන අනවශ්‍ය පක්ෂපාතිත්වයයි.

අනෙක් බරපතල ගැටලුව වන්නේ තමන්ට අතිශය සමීප අකිල, සාගල වැනි අය හැර වෙනත් දෙවන පෙළකට ඔහුගෙන් අවස්ථාවක් නො ලැබීමයි. මේ හේතුව නිසා පසුපසට තල්ලු වී තිබෙන යමක් කළ හැකි දක්ෂයෝ රැසක් එජාපයේ සිටිති. උදාහරණ ලෙස අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න වැනි අය සැලකිය හැකි ය.

රනිල් වනාහි ජේ.ආර්. වැනි දක්ෂ හා උසස් පෞරුෂයක් ඇති නායකයකු නොවේ. ජේ.ආර්. ඉඩ දුන්නේ රනිල්ට පමණක් නො වේ. ප්‍රේමදාස වැනි කුල පීඩිත, පහළ පංතියෙන් පැමිණි නායකයකුට ජනාධිපති ධුරය දක්වා උසස් වීමට අවස්ථාව ලැබුණේ ජේ.ආර්.ගේ නායකත්වය යටතේ ය. එහෙත්, වර්තමාන දේශපාලකයන්ට එවැනි ඉවසීමක් ද නැත. රනිල්ට එය ඇත. කලින් පක්ෂය දමා ගිය ගාමිනී දිසානායකට 1994 ජනාධිපතිවරණයට තරග කරන්නට ලැබෙන්නේ ඒ ඉවසීම නිසා ය. කරු ජයසූරිය සිය දේශපාලන අනාගතය අඳුරු කර ගත්තේ මේ ඉවසීමක් නැතිකම නිසා ය. දයාසිරි ජයසේකර එජාප දෙවෙනි පෙළ සිටි දක්ෂයෙකි. ඔහු ජෝකරයකු වූයේ නො ඉවසිල්ල නිසා ය. විටින් විට ඉවසීම, නො ඉවසීම අතර දෝලනය වන මුත් සජිත් ප්‍රේමදාස වනාහි දක්ෂකමක් නැති අයෙකි.

දෙවෙනි පෙළ නායකයන් හදන ගමන් ම තම නායකත්වය නිසි මොහොත දක්වා රැක ගැනීම දක්ෂ නායකයකුගේ ලක්ෂණයකි. එහෙත්, රනිල්ට ඒ ගුණය නැත. එජාපයේ දෙවෙනි පෙළ දක්ෂයන් මේ යථාර්ථය තේරුම් ගත යුතු ය. කටයුතු නො කළ යුතු හොඳම ආකාර සම්බන්ධයෙන් සජිත්, කරු, දයාසිරි වැනි උදාහරණ ඕනෑ තරම් එජාපයේ තිබේ.

අප මෙම සටහන තබන්නේ එජාපය වෙනුවෙන් නො වේ. අප උත්සාහ කරන්නේ රටට නායකයන් බිහි කර ගන්නට ය. එජාපය හෝ ශ්‍රීලනිපය මෙහිදී වැදගත් වන්නේ අන් කිසිදු හේතුවක් නිසා නොව එම පක්ෂවලටත් වඩා බෙහෙවින් පසුගාමී වන වෙනත් පක්ෂවලින් එවැනි නායකයන් බිහි වීමේ ඉඩකඩ බොහෝ අඩු නිසා ය. හේතුව එක පැත්තකින් දෘෂ්ටිවාදී ය. අනෙක් පැත්තෙන්, මේ පක්ෂවල නායකත්වය අත්පත් කරගෙන සිටින මැදි වියේ දෙබිඩ්ඩන්ගේ සීමාව ඉතා පටු නිසා ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-26

රාජිත ද? අනුර කුමාර ද?

රාජිත දැවැන්ත, අස්වාභාවික ප්‍රහාරයකට ලක් වී තිබේ.

විජේදාස රාජපක්ෂ නෙරපා හළ දවසේ අනුර කුමාර දිසානායක රාජිතට පාර්ලිමේන්තුවේදී එල්ල කළ කර්කශ ප්‍රහාරය එම අස්වාභාවිකත්වයේ උපරිමයකි.

දැන් ඔහුට එරෙහිව විශ්වාස භංගයක් ද ගෙනැවිත් තිබේ.

රාජිත පිරිසිදු දේශපාලකයකු යයි අපි නො සිතමු. දේශපාලකයන්ගේ පිරිසිදුකම සාපේක්ෂ ය. 

2015දී අනුර කුමාර දිසානායක ද සුළු හෘදයාබාධයකට ලක් වී රෝහල්ගත කරන ලදී. රාජිත සේනාරත්න හෘදය රෝගියෙකි. එහෙත් ඔහු හෘදය රෝගියකුට නොහොබිනා තරමින් සක්‍රිය දේශපාලනඥයෙකි. 

දේශපාලනඥයන්ගේ රෝගාබාධ සඳහා ජනාධිපති අරමුදලෙන් ලොකු ලොකු ගණන් මුදල් ලබා ගැනීම කලක සිට සිදු වේ. රාජිත සේනාරත්නට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 100ක් ලබා දී ඇති බව රාජිත 2016 නොවැම්බරයේදී පිළි ගත්තේ අනුර කුමාර දිසානායක ඒ පිළිබඳ මතු කළ නිසා ය. 

කෙහෙලිය රඹුක්වැල්ලට ජනාධිපති අරමුදලින් රු. ලක්ෂ 109ක් ලබා දී තිබේ. එයට අමතරව තවත් තැන්වලිනුත් මුදල් ගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. 

සාමාන්‍ය මිනිසකුට මෙවැනි රෝගාබාධයක් සම්බන්ධයෙන් ප්‍රතිකාර ගැනීමට ජනාධිපති අරමුදලින් ලැබෙන්නේ ලක්ෂ කීපයක් බව ඇත්තකි. 

සාමාන්‍ය මිනිසකු කුඩා කාරයක් මිළ දී ගන්නා විට එහි සත්‍ය වටිනාකම මෙන් කීප ගුණයක් බදු ගෙවද්දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තීරුබදු නො ගෙවා වාහන ආනයනය කර ගනිති. එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මහජන මුදලින් තවත් වරප්‍රසාද රැසක් ලබා ගනිති. ජවිපෙ මන්ත්‍රීවරුන් ද 1994 සිට මේ වරප්‍රසාද ලබා ගෙන තිබේ.

ජවිපෙ මන්ත්‍රීවරු මහජන මුදලින් මෙසේ වරප්‍රසාද ලබා ගනිමින් ලංකාවේ සංවර්ධනයට කළ දායකත්වයක් තිබේ ද? සීිගිරිය මුදුනට ගඩොල් ගෙන ගිය කතාව හැර ජවිපෙ රටේ සංවර්ධනයට කරන ලද වෙනත් දායකත්වයක් පිළිබඳ කතාවක් තිබේ නම් කියන්න.

රාජිත සේනාරත්න පිරිසිදු දේශපාලකයකු නො වුණත් ඔහු විසින් කරන ලද කාර්යයන් රැසක් තිබේ. විශේෂයෙන් ම මෑත වකවානුවේදී රාජිත සේනාරත්න සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ඉතා වැදගත් වෙනස්කම් රැසක් සිදු කළ බව කුහක නො වී පිළිගත යුතු ය.

අත්‍යවශ්‍ය ඖෂධ හා වෛද්‍ය උපකරණ මිළ අඩු කිරීම සඳහා ගත් පියවර නිසා වෛද්‍ය ව්‍යාපාරිකයන් රැසකගේ ජාවාරම්වලට කෙළ විණි. එසේම, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියාමනය කිරීමට ගනු ලබමින් තිබෙන ඇතැම් පියවර නිසා ජාවාරම්කරුවන් හෙල්ලී සිටින බව ඇත්තකි. 


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වනාහි ජාවාරම්කරුවන්ගේ තිගැස්ම නියෝජනය කරන වෘත්තික සංවිධානයකි. එහි පරාජිත ස්වභාවයට හේතුව රාජිත බැවින් ඔවුන් ඔහු සමග බද්ධ වෛරයෙන් කටයුතු කරන බව ඉතා පැහැදිලි ය.

රාජිතගේ තබා අනුර කුමාරගේ හෝ පිරිසිදුකමක් නැත. උදාහරණයක් ලෙස අනුර කුමාරගේ අයර්ලන්ත අභිරහස නො විසඳුණු එකකි. එහෙයින් මේ මොහොතට අදාළව කිසිදු දේශපාලකයෙකුගෙන් පිරිසිදුකම් බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීම වැනි තත්වයකි. ඒ වෙනුවට අප කළ යුත්තේ ඉන්නා ගොනුන් බැඳ කරත්තය අපට අවශ්‍ය දෙසට දක්කා ගැනීමයි. අප දේශපාලනය ලෙස කරන්නේ එයයි. 

එහිදී රාජිත යනු ලංකාවේ දේශපාලන සම්පතකි. ඔහුට වාමාංශික ව්‍යාපාරයේ හා වෘත්තීය සමිති ව්‍යාපාරයේත්, සිවිල් සමාජයේත් තිබෙන අත්දැකීම් ප්‍රමාණය අති විශාල ය. දේශපාලනික උපායශීලිත්වය හා සන්නිවේදනය පැත්තෙන් ඔහු අති දක්ෂයෙකි. මෑත වකවානුවේදී ඔහුගේ දේශපාලනික තෝරාගැනීම් රටේ ගැඹුරු වෙනස්කම් ඇති කිරීමට ඉවහල් විය. 

එබැවින් මේ අවස්ථාවේදී අප රාජිත ආරක්ෂා කළ යුතු ය. ඒ රාජිත අවංක, පිරිසිදු දේශපාලකයකු නිසා නො වේ. රාජිත පමණක් නොව, අනුර කුමාර පවා අවංක හෝ පිරිසිදු හෝ දේශපාලකයන් නො වේ. එවැනි අය ලංකාවේ ඉන්නා බවට අපට නම් ගැරන්ටියක් දිය නො හැකි ය.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-24

නිදහස් අධ්‍යාපනයේ යථාර්ථය නොදත් අය වෙනුවෙන් හීන සොයන සමනල්ලු

පසුගිය දවසක රොහාන් පෙරේරාගේ හීන සොයන සමනල්ලු චිත්‍රපටය බැලුවා. ඒක හරි අපූරු අද්දැකීමක්.

ළමයින් සුරංගනා කතාවලට ෆැන්ටසිවලට කැමතියි. ඒ වගේම සත්‍ය අත්දැකීම්වලටත් ළමයින් අකැමැති නැහැ. හීන සොයන සමනල්ලු ළමයින් වෙනුවෙන් නිර්මානය කළ අපූරු යථාර්ථවාදී චිත්‍රපටයක්.

ඒකෙ කතාව එතරම් අපූර්වත්වයකින් තොර, නිතර අසා පුරුදු කතාවක්. ළමයින් හරි අවංකයි, ඔවුන්ගේ සිතුවිලි මල් වගේ පිවිතුරුයි, පොඩි ළමයි දඟයි - ඒ වුණාට හුරතල් වගේ ගතානුගතික, ඒකරූපී අදහස් සමග තරමක් ආයාසයෙන් වියා ගත් කතාවක් තමයි එහි තියෙන්නේ.

ඒක ටිකක් විතර වගේ Petar Lalović විසින් 1997දී සර්බියන් බසින් නිර්මානය කරන ලද, Some Birds Can't Fly ලෙස ඉංග්‍රීසියෙන් ප්‍රසිද්ධ වූ චිත්‍රපටයේ ආභාසය ලැබූ චිත්‍රපටයක්. හැබැයි කොපියක් නෙමෙයි.

මේ චිත්‍රපටයට මා කැමති එහි තිබෙන ඉතා විචිත්‍ර අන්දමින් නිර්මානය කළ යථාර්ථවාදී දර්ශන කීපයක් නිසායි. ඒ එක් දර්ශන තලයක් වන හද්දා පිටිසර දිළිඳු පාසල ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන තේමාවක් විවර කරනවා. දොම්නස් පෙනුමක් ඇති, අබලන් ගොඩනැගිලි සහිත, පුස් බැඳුණු බිත්ති ඇති, කැඩුණු ගෙබිම ඇති, ගුරුවරුන් දෙතුන් දෙනෙකු වැඩ කරන, නැති බැරි පවුල්වල ළමයින් තිහ හතළිහකට සීමා වුණ, එපා වාහෙට හොදි බෙදන මෙවැනි පාසල් හද්දා පිටිසර ගම්වල වගේ ම නගර පරිවාරවලත් සුලබයි.

උස වහලවල් ඇති, ඝන බිත්ති සහිත, යටත් විජිත විලාසිතාවේ ගොඩනැගිලි ඇති, ක්වයර් ඇති, ස්පෝට්ස් ගොඩක් තියෙන, පිරිසිදු ඇඳුම් අඳින ළමයින් සිටින, දෝංකාර දෙන පඩිපෙළවල් ඇති ඉහළ පෙළේ පාසල් හා ගම්වල මේ හද්දා පිටිසර පාසල් අතර පිළිසැසඳුම හෙවත් contrast එක මේ චිත්‍රපටයේ නිරූපණය කරන ආකාරය මේ මොහොතේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ රටේ තිබෙන සංවාදයත් සමග කදිමට පෑහෙනවා.

මෙවැනි පාසල් කීපයක ම මා වැඩ කර තිබෙනවා. ඒවායේදී මට හමු වුණ ළමයින් මේ ළමයින් වගේ ම තමයි. නගරවල ළමයින් පරපීඩන මානසිකත්වය වෙනුවෙන් කැඩෙටිං, රගර් ගහද්දි ගමේ ළමයින්ට තියෙන්නෙ සම්බෝල කඩන සෙල්ලම හෙවත් බෝලයක් අරගෙන කාට හරි දමලා අදින එක. ඒ සෙල්ලමට මෙලෝ නීතියක් නැහැ. කාට හරි රිදෙන්න බෝලෙන් ගහන එක තමයි සෙල්ලම. මේ සෙල්ලම ම වුණත් නිදහස් අධ්‍යාපනයේ විෂමතාව නියෝජනය කරනවා.

ඒවායේ ඉන්න ළමයින් කියන්නෙ වෙන පාසලකට යන්නට බැරිකම හෝ එහෙම යන්නට උවමනාවක් නැතිකම නිසා හෝ එහි රැඳෙන දුරාවාරේ පාසල් එන ළමයි. ගුරුවරුන්, ගුරුවරියන් ගත්තත්, වෙනත් පාසලකට මාරුවක් හදාගන්නට බැරිකම හෝ උවමනාවක් නැතිකම හෝ නිසා ඒවායේ ටැග්ගැහෙන, දැනුම අලුත් නො වන නීරස වෘත්තීය ජීවිත ගත කරන බලධාරීන්ගෙන් විතරක් නෙමෙයි ළමයින්ගෙනුත් පීඩනයට පත් වන අසරණයන් පිරිසක්.

වර්තමානයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැම්පේන් කරන කිසිවෙකු මෙවැනි පාසල්වල ඉගෙනගෙන හෝ උගන්වා හෝ නැහැ. ඔවුන් පැමිණ තිබෙන්නේ කොළඹ හෝ ප්‍රධාන නගරවල ප්‍රධාන පාසල්වලින්. ගමෙන් කිව්වත්, අනුරාධපුරේ සෙන්ට්‍රල් එක, පොළොන්නරුවෙ රෝයල් එක, බදුල්ලෙ ධර්මදූතෙ, හොරණ තක්ෂිලා, මතුගම කන්නන්ගර, වගේ ඒවායින්.

නිදහස් අධ්‍යාපනය කියන්නෙ ඇත්තට ම මේ රටේ ඇති හැකි ඉහළ හා පහළ මධ්‍යම පංතිවලට මහජන මුදලින් නොමිළේ අධ්‍යාපනය දෙන ගමන්, ගමේ හා නගර පරිවාරයේ දිළිඳු, පීඩිත, කම්කරු පවුල්වල දරුවන්ට කොකා පෙන්නන සිස්ටම් ප්‍රෝඩාවක් බව තවමත් දන්නෙ නැති හා එය තේරුම් ගන්නට ඔය උතුරු කොළඹ අධ්‍යාපන කලාපය වගේ එකකට යන්නට පවා කම්මැලි බොරුකාරයන්ට ඔන්න දැන් හීන සොයන සමනල්ලු ඒ තේමාව ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා.

මේ චිත්‍රපටයෙ තවත් තේමාවන් ගණනාවක් සාකච්ඡා වෙනවා. තාරක මව්පියන් විසින් අත්හැර දමන ලද, මහළු හා දිළිඳු ආත්තම්මාගේ කරුණාව මත ජීවිතය ගැට ගසා ගන්නා දරුවෙක්. දරුවන්ගේ අනාථ දරුවන් බලා කියා ගන්නට දුක් විඳින, ඔවුන්ගේ අනාගතය ගැන කම්පා වෙන එවැනි ආත්තම්මලා කොච්චර මේ රටේ ඉන්නවා ද? බේබදුකම, ළමා ශ්‍රමය, හිංසනය, විෂමතා, මධ්‍යම පන්තික පිරිමින්ගේ කුහක ආත්මාර්ථකාමය, වර්තමානයේ බරපතල සමාජ ප්‍රශ්නයක් වෙමින් තිබෙන මඳසරුභාවය වැනි තේමාවන් රැසක් හීන සොයන සමනල්ලු චිත්‍රපටය විසින් ස්පර්ශ කරනවා. ඒ අතරේ ළමයින්ට රස විඳින්නට පහසු බොළඳ කතාවකුත් එහි ඉදිරිපත් කෙරෙනවා.

හීන සොයන සමනල්ලු බලන්න. ඒක සමාජ සත්තා යථාර්ථවාදී සිනමාවට හොඳ එකතු කිරීමක්. ලංකාවෙ ළමා සිනමාවට නැවුම් අත්දැකීමක්. ළමා චිත්‍රපට නමින් ළමාකාමීන් වෙනුවෙන් මෘදු කාම චිත්‍රපට හදන ලංකාවෙ ළමයින්ට ඔවුන් ජීවත් වන ලෝකයේ තිබෙන අසාධාරණය පෙන්වා දෙමින් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගල කරන හැටි හිතන්නට ඔවුන් පොළඹවන සමාජවාදී චිත්‍රපටයක්.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-21

හෙට දකින රනිල් නොදකින හෙට

කළල ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත
අපට රනිල් යනු මහ මොළයක් හෝ මිස්ටර් ක්ලීන් කෙනෙකු නො වේ. එහෙත්, ලංකාවේ මේ මොහොතේ සිටින වාමාංශික, දක්ෂිණාංශික, ජාතිවාදී, ප්‍රභූ, නිර්ප්‍රභූ ආදී දේශපාලන චරිත අතරින් ඉදිරියෙන් හා බලවත්ව සිටින ප්‍රධාන චරිතය රනිල් වික්‍රමසිංහයි. ඔහුට ආසන්නයෙන් යන සෙසු බලවත් පිරිස් ලෙස සැලකිය හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, මහින්ද රාජපක්ෂ වැනි අයයි. අන් සියල්ලෝ ම ඊට පිටුපසිනි.

අප රනිල් වික්‍රමසිංහ සමග වැඩ කරන්නේ ඔහු හෙට දකින අයෙකු ලෙස වරදවා වටහාගෙන නම් නො වේ. ඇත්තම කීවොත් ඔහුට මහ ලොකුවට හෙට පෙනෙන්නේ නැත. එහෙම පෙනෙනවා නම් බටලන්ද, බැඳුම්කර වැනි කුණු කේස්වලට නම ගාවා ගන්නේ නැත. බැඳුම්කර කේස් එකට නම ගාවා ගැනීම වනාහි රනිල් ඔහු පිළිබඳ තැබූ විශ්වාසය බරපතල ලෙස පළුදු කර ගැනීමකි.

කෙසේ වෙතත්, අප දකින ආකාරයට, ලංකාවේ මේ නිශ්චිත මොහොතට අදාළ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝග්‍යතම නායකත්වය වන්නේ රනිල්-මෛත්‍රී තුලනයයි.

මහින්ද-ගෝඨා ගත්තත් මේ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ වඩා ජනප්‍රිය පදනමක සිට කළ හැකිව තිබුණු සුසංයෝගයකි. එහෙත්, ඔවුන්ගේ පවුල්වාදී, සීමාන්තික කෑදරකම හා මිනීමරු මානසිකත්වය නිසා ඔවුන් මුල් පෙළේ නායකත්වයෙන් බැහැර කර තබා ගැනීම අත්‍යවශ්‍ය ය. එහෙත්, මහින්ද හා ගෝඨා තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබුණු අධිෂ්ඨානසහගතබව මෛත්‍රී-රනිල් සුසංයෝගයට නැත.

මෙහිදී වඩා ඉදිරිගාමී නායකත්වය ලෙස අප දුටු රනිල්ට වඩා මෛත්‍රීපාල බොහෝ පැතිවලින් පරිණත නායකයෙකි.

රනිල් නොම්මර එකේ කට්ටිවාදියෙකු බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටියි. ඔහුගේ සමීප කවයේ සිටින අය බලන්න. තිලක් මාරපන, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ වැනි රනිලියානු සමීප කවයේ දේශපාලකයන්ට කැමරාවක් දිහා කෙළින් බලන්නට පවා හැකියාව නැත. ජනතාවගේ ඇස් දෙස කෙළින් බලන්නට බැරි අන් කිසිදු හේතුවක් නිසා නොව, තමන් බලයට පත් වී තිබෙන හොර පාරවල් ගැන ඔවුන් දන්නා නිසා ය.

මෛත්‍රීපාල ජන බලය ගැන වැඩි විශ්වාසයක් තබා ඇති නායකයෙකි. ඔහු ක්‍රමානුකූලව ශ්‍රීලනිපය තුළ පදනමක් ගොඩනගා ගනිමින් තිබේ. උපායිකව එය වැරදි යයි කිව නො හැකි ය. මහින්දට ඕනෑ නම් විජේදාස රාජපක්ෂ වැනි අසාර්ථක නන්නත්තාරවාදීන් එකතු කරගෙන ගොඩ ටිකක් ලොකු කරගෙන තාවකාලික සෙල්ලමක් පෙන්නන්නට පුළුවන. මෛත්‍රීපාල සිරිසේනට ඉදිරි සංවත්සරයෙන් පසු සුසිල් ප්‍රේම ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ආණ්ඩුවේ හිඳිමින් මහින්දට තවමත් කඩේ යන නිවටයන්ට බැහැපියව් දොට්ට යයි කියන්නට ශක්තිය ලැබෙනු නියත ය.

මේ වන විට ශ්‍රීලනිපයට අලුත් බලවේග එකතු වෙමින් සිටියි. මොන බයිලා කිව්වත්, ඡන්දයකදී මහින්දගේ නමට මෙන් ම ශ්‍රීලනිපයටත් බලයක් ඇත. මේ වන විට මෛත්‍රීපාල කියන නමටත් බලයක් ගොඩනැගෙමින් තිබේ.

මහින්දගේ උපාය වන්නේ මෛත්‍රීපාලව බිත්තියට හේත්තු කර 'අගමැතිකම මට දීපන් උඹට ජනාධිපති වෙලා ඉන්නට දෙන්නම්' යයි තර්ජනය කරන්නට ය. එය බැරි වුණොත්, මහින්ද නියත වශයෙන් ම රනිල් වෙත ගොස් 'ඔයාට ජනාධිපතිකම දෙන්නම් මෙයා - මට අගමැතිකම දෙන්නැ'යි කියන්නට ඉඩ තිබේ.

මේ කරුණ මා සමග කියූ ප්‍රභූ දේශපාලනයට සමීප මිතුරා පැවසුවේ මෙතැනදී මෛත්‍රීපාල මහින්දට අහු නො වනු ඇති මුත්, රනිල් ෂුවර් නැති බවයි.

හෙට දකින රනිල් කෙනෙකු හදා ගන්නට ඕනෑ නම් මෙන්න මෙතැනදී නො ඇඹරෙන රනිල් කෙනෙකු හදා ගන්නට රනිල්වාදීන් වග බලා ගත යුතු ය.

වත්මන් බල තුලනය බුද්ධිමත්ව රැක ගන්නේ නම් 2025 දක්වා බලය රැක ගැනීම දුෂ්කර නැත. රාජපක්ෂ පවුලේ බාල චෞරයන්ට සිර ගෙදර රුවන් දොරටු විවර වනවාත් සමග ම මහින්දට හා ගෝඨාභයට පවා කැමති නම් රටේ සංවර්ධනයට දායක විය හැකි සම්මුතියකට එළඹීමට ඉඩ ලබා දිය හැකි ය. ලංකාවේ දේශපාලනයේ ඉන්න බහුතරයක් පල් හොරු තමා ය. මේ මොහොතේ දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ දැනට කරගෙන යන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි. සොරුන් හිරේ යැවීම වුව ඊට දෙවෙනි ය.

අප සහාය දෙන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවාදැයි සරලව කියන්නේ නම් ඒ මෙසේ ය:


  1. පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
  2. රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී බදු, පරිපාලනය, ආරක්ෂාව, ව්‍යාපාර නියාමනය, නීතියේ ආධිපත්‍යය, මහජන සුබසාධනය, සමාජාරක්ෂාව දිළිඳුකම දුරලීම වැනි කාරණාවලට මූලික අවධානය යොමු කිරීම
  3. රාජ්‍යය ප්‍රමාණාත්මකව කුඩා හා වඩා කාර්යක්ෂම එකක් බවට පත් කිරීම
  4. රජයේ මධ්‍යම පංතික ආධිපත්‍යය තුලනය කිරීම හා වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට වැඩි බලයක් ලබා දීම.
  5. ගෝලීය ආර්ථිකය හා දේශපාලනය සමග සුබවාදීව කටයුතු කිරීම
දැනට ඒ ඇති ය. මේ වනාහි සමාජවාදය ගැන කතිකාවේ ලංකාවේ පොළවේ මේ මොහොතේ නිශ්චිත දේශපාලනයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-20

ජාතික චින්තනයට ඩෑන් ප්‍රියසාද් සරණයි!

මහාචාර්ය නලින් ද සිල්වාගේ ජාතික චින්තනය අද වන විට ඩෑන් ප්‍රියසාද්ලාගේ ලුම්පන් බිස්නස් මට්ටමට පිරිහී තිබීම ඇත්තට ම හාස්‍යජනක ය. අද වන විට ජාතික වීරයකු වන එක ඉතා පහසු ය. ඒ වෙනුවෙන් නලින් ද සිල්වා තරම් මහන්සි වන්නට ඕනෑ නැත. පොඩි චන්ඩියකුට වුව, සමාජ මාධ්‍ය හරහා ජාතික වීරයකු වීම ඉතා පහසු ය.

ඩෑන් ප්‍රියසාද් වනාහි කොහේ හෝ අහිංසක ගැහැනියක තනියම නිවසේ සිටින වෙලාවක් බලා රොත්ත පිටින් ඒ ගෙදරට පැන වෙන මොකක් හරි සීන්කෝන් එකක් මුස්ලිම් ජාතිය සිංහල ජාතිය වඳ කරන්නට කරන එකකැයි කියා දර්ශනයක් දමා එය වීඩියෝ කර අන්තර්ජාලයට මුදා හැර, මුස්ලිම් විරෝධී උම්මත්තකයන් අතර ජනප්‍රිය වී ගතමන්ට් එකක් සොයා ගන්නා නිකමෙකි.

ඩෑන් ප්‍රියසාද් වැනි අයට අනුග්‍රහ දක්වන, ඔවුන්ට මුදල් එවන ප්‍රධාන පිරිස වන්නේ රට දමා විදේශයන්ට සංක්‍රමණය වී එහි ජීවත් වන ගමන් ලංකාවට මාාාර ආදරේ බව පෙන්නීමට උත්සාහ කරන අයයි. ඩෑන් ප්‍රියසාද්ගේ මෝඩ රංගනයේ වීඩියෝ අපට එවමින් ඒවා තව අය සමග බෙදා ගන්නැයි කියූ පිරිස් වැඩි දෙනෙකු විදෙස්ගත වීර සිංහලයෝ ය.

අද වන විට ගලගොඩඅත්තේ ඥානසාරලා ද ඩෑන් ප්‍රියසාද්ලා පස්සේ වැටෙන තත්වයට පත් වී තිබේ.

වඳ කිරිපිටි කියා සැක කරනු ලබන යම් දෙයක් තිබේ නම් මුලින් ම කළ යුත්තේ ඒ කිරිපිටි විද්‍යාත්මක පරීක්ෂණයකට ලක් කිරීමයි. හැබැයි, තනියෙන් සිටින ගැහැනුන්ට චන්ඩි පාට් දමා වීඩියෝ කර විකුණා මුදල් ගරා ගැනීම ඊට වඩා ලේසි ය. විද්‍යාව ජාතික චින්තනයටත් විරුද්ධ නේ.

දෙමළ ජාතිය විනාශ කිරීම හැර සිංහල ජාතිවාදය විසින් අත්පත් කර ගන්නා ලද වෙනත් ජයග්‍රහණයක් තිබේ ද යන්න දැන්වත් ආපසු හැරී බැලිය යුතු ය.

නලින් ද සිල්වාගේ සිංහල ජාතිවාදයෙන් තෙම්පරාදු කරන ලද බටහිර විරෝධය හා විද්‍යාව පිටුදැකීමේ ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට රජ ගෙදර සිට දුගී පැල දක්වා රට පුරා හොර වෙද්දු හා කට්ටඩියෝ සිරී කා ඇත. ඒ මදිවාට 2015 මහ මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා ජ්‍යෝතිෂ විශ්වවිද්‍යාලයක් පිහිටුවනු ලබන බවට පොරොන්දුවක් තිබිණි.

වර්තමානය වන විට ලංකාවේ දුප්පත්කමට හා රෝගාබාධ රැසකට ප්‍රධාන හේතුව වන්නේ කට්ටඩි හා හොර වෙද්දු ය. කිසිදු ඵලදායී වැඩක් නො කරන මේ තක්කඩින් විසින් ලාංකික ජනතාව ඉතා නිර්දය ලෙස සූරා කමින් තිබේ.

ආගමික පූජකයන්ට ද මෙයින් කල්ල මරේ විය. මේ වන විට එකිනෙකා සමග තරගකාරීව මහජනයා ගසා කන පන්සල්, පල්ලි, කෝවිල් ආදිය වනාහි සෑහෙන මුදල් සංසරණයක් වන තැන් ය.

වැඩිම කෙළවිල්ලක් වුණේ අධ්‍යාපනයට ය. පාසල් අද වන විට අධ්‍යාපනය හැර අන් සියලුම ගෝත්‍රික අභිචාර සිදු වන තැන් බවට පත් වී තිබේ. ඒවා සිදු වන්නේ ජාතියේ, ආගමේ, සංස්කෘතියේ නාමයෙනි.

මාධ්‍යවල තත්වය ද එසේ ය. අද ඒවායේ ඉඩ පිරෙන්නේ ජ්‍යෝතිෂ, හොර වෙද, ෆෙන්ෂුයි, හක්ගෙඩි හා ඒවා විසින් නිර්මානය කරන මුග්ධත්වයේ අනෙක් කෙළවර වන අපරාධ, ස්ත්‍රී දූෂණ ආදියෙනි.

හැබැයි, නලින්ගේ ජාතික චින්තනයට ද කෙළ විණි. දේශපාලන ඇඩ්වටයිසින්කාරයකු වන සමන් රෝහිත සිල්වා නලින්ගේ චින්තන කෑල්ල පර්සි මහේන්ද්‍රගේ මහින්ද කෑල්ල සමග පූට්ට් කර මහින්ද චින්තනය හැදුවේ ය.

මහින්ද චින්තනය නිසා දෙමළ ජාතියට කෙළ වුණේ ය. හැබැයි සිංහල ජාතියට ද ගොඩ එන්නට බැරි නරා වලක වැටිණි.

නලින් ද සිල්වා මහැදුරුතුමනි, ඔබට ඩෑන් ප්‍රියසාද් සරණයි!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-19

අඩෝ භාවනා කරපිය කැ____

ස්තුතිය පෙනී සිටි පොලිස් නිලධාරියාට සහ ෆොටෝෂොප් කරපු කෙනාට 
පොලිස්පති පූජිත විජේසුන්දර සිය පොලිස් නිලධාරීන් බලහත්කාරෙන් භාවනා කරවන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ප්‍ර‍ිද්ධ ය. එසේ භාවනා නො කළේ යයි කියන අයට ඔහු තර්ජනය කරන, පහර දෙන වීඩියෝ දර්ශන අන්තර්ජාලයට නිකුත් වී තිබේ.

මහින්ද රාජපක්ෂ අඳුරු දශකය තුළදී ප්‍ර‍චණ්ඩත්වය හා අවනීතිය පොලිසිය තුළ ඔඩුදිව්වේ ය. උද්ඝෝෂණාදියට පහර දීම, අල්ලස, දූෂණය පමණක් නොව, සැකකරුවන් මරා දැමීම පොලිසියේ ඉතා සුලබ විය.

වර්තමානය වන විට පොලිසිය සාපේක්ෂ වශයෙන් කාර්යක්ෂම බව ප්‍රශංසා මුඛයෙන් පැවසිය යුතු ය. ඉහත කී ආකාරයේ සිදුවීම්වල සාපේක්ෂ අඩුවක් දක්නට ලැබේ. 

එහෙත්, පොලිස්පති යනු එක්තරා විදියක උම්මත්තකයකු බව මේ භාවනා චක්‍රලේඛයේ සිට ම පෙන්නුම් කරයි. 

භාවනාව යනු පෞද්ගලික දෙයකි. එය ආගමටත් වඩා පෞද්ගලික ය. යමෙකුට භාවනා කිරීමට බල කරන්නා ඉතා බරපතල අන්දමින් වෙනත් අයෙකුගේ පෞද්ගලිකත්වයට බලපෑම් කරයි. 

පෞද්ගලිකව මා නම් භාවනා කරන්නට කිසිදු අදහසක් නැත. මා භාවනා කර තිබේ. එයින් කිසිදු යහපතක් වේ යයි මට නම් වැටහී නැත. 

මා භාවනා කිරීමට යොමු වුණේ ආනන්ද වීරසේකරගේ පුනරුත්ථාපන වැඩසටහනක් හේතුවෙනි. එය කුමක්දැයි දැන ගැනීමට මම දින කීපයක් බැරෑරුම් අන්දමින් භාවනා කර බැලුවෙමි. අපට කමටහන් දුන් භික්ෂු නිලධාරියාට මා ඒ කියන අන්දමින් සිත එකඟ වීමක් සිදු නො වන බව පෙන්වා දුන් විට ඔහුට කේන්ති ගියේ ය. භාවනා නො කර, එසේ කරන එවුන්ගේ නහයවලට පොල් කෙඳි රිංගවමින් සිටි එකකු තමන්ට භාවනා කරන විට සුදු පාට එළියක් පෙනුණ බව කී විට භික්ෂුව ඔහුට ප්‍රශංසා කර, මට ද එසේ සිදු විය යුතු බව පැවසී ය. 

එකී භික්ෂුව අළුයම පහට අපට කමටහන් දී, අප සමග සිටි සාමනේර භික්ෂුවකට වෙනම කමටහනක් දීම සඳහා කුටියේ නවතාගෙන දොර වසා ගැනීමෙන් පසු මා ද එකී භාවනා වැඩසටහන අතහැර දමා ඒ දින කිහිපය බොරුවෙන් ගත කළෙමි. 

සිත එකඟ කර ගැනීම එතරම් ම හොඳ දෙයක්දැයි මම නො දනිමි. එහෙත්, සෙනග පිරුණු බසයක ජූඩ් රොගන්ස්ගේ යාදින්නක් සහිත සංගීත ප්‍රසංගයක් ද රූපවාහිනියේ වාදනය වෙද්දී පොතක් බලන්නට මට පුළුවන. ඒ ගානට හිත එකඟ කර ගන්නට තිබුණාම ඇති ය. මගේ ඒ ධ්‍යානය බිඳෙන්නේ ඇත්ත වශයෙන් සුන්දර ස්ත්‍රී දර්ශනවලින් පමණි. එච්චර සාන්ත දාන්ත තීන්ත කූඩුවක් වෙන්නට මට නම් උවමනාවක් ද නැත. 

බලෙන් භාවනා කරවීම, වැන්දවීම වැනි දේ පාසල්වල සුලබව සිදු වේ. මේවා කරන අය මගේ දැක්ම අනුව නම් මානසික රෝගියෝ ය. ඔවුන්ට ප්‍රතිකාර ලබා දිය යුතු ය. 

මා කිසිදු ආගමක් අදහන්නේ නැත. මට ඔය භාවනාවල් ද අදාළ නැත. බාව නෑවීමට නම් මා කැමති ය. යම් කිසිවෙකු මට බලෙන් ආගම් අදහවන්නට හදනවා නම්, මා අකැමැති භාවනාවල් මා ලවා කරවන්නට හදනවා නම් එය මගේ පුද්ගල නිදහසට එල්ල කරන බරපතල තර්ජනයකි. මගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-17

පොදු ප්‍රවාහනය නැංවීමට ආයෝජන කරනු!

කාටුනය ivoice.lk වෙනුවෙන් අඳින ලද්දක් බව කරුණාවෙන් සලකන්න
ප්‍රවාහනය කියන්නෙ ලංකාවෙ වැඩ කරන ජනතාවගේ ඇත්ත දැවෙන ප්‍රශ්නයකි.

කොළඹට සෑම සතියේ දිනක ම පිටතින් පැමිණෙන ලක්ෂ 15ක් වන ජනතාවගෙන් ලක්ෂ 10ක් ම එන්නේ බස්වලිනි. ඒ වෙනුවෙන් බස් ගමන් වාර 27,000කට වැඩි ගණනක් කොළඹට පිවිසෙයි. සම්පූර්ණ වාර්තාවක් මෙතැනින් කියවන්න. 

බස් මගීන් විඳින දුක ගැන කතා කරන්නට කොයි තරම් දේ තිබෙනවා ද? අපේ රටේ වැඩ කරන ජනතාව නියෝජනය කරනවා ය කියන දේශපාලන පක්ෂ, ජනතාව වෙනුවෙන් පවතිනවා ය කියන මාධ්‍ය, ලංකාවේ මහජන ගැටලු මත පැවැත්ම තහවුරු කර ගන්නා රාජ්‍ය නොවන සංවිධාන මේ ගැන කතා කරනවා ද?

දුම්රිය වඩා වේගයෙන් ගමන් කරනමුත්, ඒවායේ අධික තදබදය නිසා මගීන් මුහුණ දෙන පීඩාව හා අවදානම අධික ය. දුම්රිය මාර්ගවල තවත් දුම්රිය යෙදීමට ඕනෑ තරම් ඉඩකඩ ඇතත් ඒ වෙනුවෙන් ආයෝජනයක් සිදු වන්නේ ම නැත. උදාහරණයක් ලෙස, කළුතර සිට කොළඹ දෙසට උදෑසන දුම්රිය ධාවනය වන ආකාරය සලකා බලන්න.

උදෑසන 6.16 - 6.38 අතරත්, 7.20 - 7.58 අතරත්, 8.05 - 8.36ත් අතරත්, 8.36 - 10.45ත් අතරත් කොළඹ දෙසට දුම්රිය ධාවනය වන්නේ නැත. මෙම කාලයන් තුළදී තව දුම්රිය ධාවනය කළ හැකි ය. එසේම, පෙ.ව. 7.00ට හා 7.20ට ධාවනය වන්නේ මැදිරි හයකින් යුත් කුඩා දුම්රිය දෙකකි. ඒවා ඒ වෙලාවට ප්‍රමාණවත් නැත.

වත්මන් රජය අලුත් දුම්රිය වෙනුවෙන් කිසිදු ආයෝජනයක් කළේ නැත. මේ වන විට ඉන්දියාවෙන් ගෙන්වන ලද රතු පැහැති එස් 11 වර්ගයේ දුම්රිය අබලන් වෙමින් තිබේ. ඒ නිසා ඇතැම් දුම්රිය අවලංගු කිරීමෙන් මගීන්ට දැඩි පීඩාවන්ට මුහුණ දෙන්නට සිදු වේ. මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන සමුද්‍රදේවි, සාගරිකා, හික්කඩුව, රුහුණු කුමාරි, ගාලු කුමාරි ආදී ප්‍රධාන දුම්රිය සියල්ල ම මේ වර්ගයේ ඒවා ය.

දවසකට 165,000කට වඩා මගීන් කොළඹට ඒම සඳහා භාවිතා කරන දුම්රිය වෙනුවෙන් ආයෝජනය නො කළාට, රජයට මැති ඇමති වාහන වෙනුවෙන් ආනයනය කරන්නට නම් සල්ලි තිබේ.

මීට මාස කීපයකට ඉහතදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ පොදු ප්‍රවාහනය වෙනුවෙන් රජයේ ආයෝජන හා මැති ඇමති වාහන වෙනුවෙන් ආයෝජන සන්සන්දනය කරමින් මෙසේ පැවසී ය.

මැති ඇමැතිවරුන් සඳහා වාහන ගෙන්වීමට මෑත කාලයේ වෙන් කරන ලද මුදල් මෙසේය.
2016 නොවැම්බර් රුපියල් මිලියන 791
2017 පෙබරවාරි රුපියල් මිලියන 543
2017 මැයි රුපියල් මිලියන 330
මාස හයක් තුළ සාමාන්‍ය වියදමට අමතරව වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 1664කි.

පොදු ප්‍රවාහනය සඳහා ආසන්න අවුරුදු කිහිපය තුළ වෙන් කළ මුදල් මෙසේය.

2015 රුපියල් බිලියන 78
2016 රුපියල් බිලියන 58
2017 රුපියල් බිලියන 51.2

පොදු ප්‍රවාහනය වෙනුවෙන් රජයේ ආයෝජන අඩු කරමින් තිබෙන බව මෙම සංඛ්‍යා දත්තවලින් පෙනේ.

මොකුත් නො කර ඉන්නවාට වඩා මොකක් හෝ කරන එක හොඳ නිසා චම්පිකගේ බස් ලේන් එකත් නරක ම නැත. ඒ ගැන අපගේ විග්‍රහය මෙතැනින් කියවන්න.

මේ වන විට මධ්‍යම පංතික වෘත්තීය සමිති නායකයන්, රාජ්‍ය නොවන සංවිධාන නායකයන්, වාමාංශික පක්ෂ නායකයන්, මාධ්‍ය ප්‍රධානීන්, රජයේ ඉහළ නිලධාරීන් වැනි අය ද බස්වල, දුම්රියවල යන්නේ නැත. බස්වල, දුම්රියවල යන එන මගීන් දෛනිකව විඳවන විඳවීම ගැන මේ කිසිවෙක් දන්නේ නැත. පොදු ප්‍රවාහනයේ ගැටලු මේ කිසිවකුගේ ගැටලු නො වන්නේ ඒ නිසා ය. දේශපාලකයන් ව්‍යාජ අරගලවල පැටලෙන්නේ ද, මාධ්‍යවල ඉඩකඩ දේශපාලකයන්ගේ වැඩකට නැති වල්පල්වලින් පිරෙන්නේ ද මහජන ප්‍රශ්න ගැන සමාජයේ හඬක් නැති තත්වයක් තුළ ය.

අඩු තරමේ ඇමති චම්පික රණවකට හෝ ඒ ගැන හැඟීමක් තිබීම ගැන සතුටු විය හැකි ය. පොදු ප්‍රවාහනය වෙනුවෙන් ආයෝජන නො කර, තියෙන පාරවල්වල ඉරි ඇන්ද පළියට මේ ප්‍රශ්නය විසඳිය නො හැකි බව රජය අවබෝධ කර ගත යුතු ය.

බස් ප්‍රමුඛතා මංතීරු සාර්ථක ද? 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-16

හොර කල්ලි දෙකට ම එරෙහිව පුරවැසි බලවේග පෙරට

ඊයේ පුරවැසි බලවේග කොළඹදී පවත්වන ලද උද්ඝෝෂණ ව්‍යාපාරය ඉතා සාර්ථක එකක් බව මගේ නිරීක්ෂණයයි.

මූලිකව ම ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සහ ජෝසප් ස්ටාලින් හැර 2015 ජනවාරි 8 වෙනස වෙනුවන් වැඩ කළ සියලුම පුරවැසි නායකයන් තවමත් අධිෂ්ඨානශීලීව ඒ වෙනස වෙනුවෙන් ඇපකැප වී සිටිනු දකින්නට ලැබිණි.

ඒ කිසිවෙක් ආණ්ඩුවේ වර්තමාන ක්‍රියාකලාපයන් පිළිබඳ පැහැදීමක ඇති බවක් අප නිරීක්ෂණය කළේ නැත. එහෙත්, ඔවුන් තවමත් සිටින්නේ වත්මන් ආණ්ඩුව හා වත්මන් බල තුලනය රැක ගත යුතු ය යන තැන ය. රාජපක්ෂ සොර මුළුව කිසි සේත් ම මෙයට විසඳුම නො වන බව ද, අප කළ යුතුව තිබෙන්නේ වර්තමාන සිර වීමෙන් ඉදිරියට යාම මිස ආපසු යාම නො වන බව ද බොහෝ දෙනෙකුගේ අදහසයි.

වර්තමාන ආණ්ඩුවේ තිබෙන මූලික ගැටලුව ගැන අප විවෘතව කතා කළ යුතු ය. එය වනාහි ආසන 106ක් හිමි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ ගැටලුවයි. වර්තමාන ආණ්ඩුවේ ශ්‍රීලනිප මෛත්‍රී පාර්ශ්වයට තිබෙන්නේ එම ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක් පමණි. එ් අතර අවසන් මහ මැතිවරණයේදී පවා රාජපක්ෂලාට කඩේ ගිය, තවමත් එසේ කරන අය සිටිති. එහෙම තිබියදීත්, අච්චර දැවැන්ත අලියකුට එයින් තුනෙන් පංගුවක් පමණ වන මීහරකකු ඉදිරියේ ඇඹරෙන්නට සිදු වී තිබෙන්නේ ඇයි ද යන්න එජාපය විමසිලිමත් විය යුතු ය.

මෙහි තිබෙන ප්‍රශ්නය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නො වේ. මේ මොහොත දක්වා ම ඔහු විසින් පවත්වාගෙන යමින් තිබෙන තුලනය හා රාජපක්ෂ බලවේගයට හිස ඔසවන්නට ඉඩ නො දී තබා ගැනීම අතිශය වැදගත් ය.

මූලික ගැටලුව තිබෙන්නේ පුරවැසි අපේක්ෂා පිළිබඳ වඩා බලාපොරොත්තු සහගත නායකත්වයක් වූ රනිල් වික්‍රමසිංහගේ ය. ඊයේ පුරවැසි බලවේග ආණ්ඩුවට සාධනීය බලපෑමක් කරන්නට ජනතාව බලමුළු ගන්වද්දී රනිල් ඒ ගැනවත් තඹ දොයිතුවකට මායිම් නො කර, සිය සහචර කල්ලියේ සිටින, ජන පදනමක් නැති, ඇවන්ට්ගාඩ් සමාගම වෙනුවෙන් පෙනී සිටීමේ චෝදනා හේතුවෙන් මීට පෙර ඉල්ලා අස් වීමට සිදු වූ තිලක් මාරපන විදේශ ඇමති ධුරයට පත් කළේ ය. මේ වනාහි රනිල් වික්‍රමසිංහ යනු කිසි සේත් ම මහජනයා සම්බන්ධයෙන් වගකීමක් ඇති අයෙකු නො වන බව නැවත, නැවත ඔප්පු කිරීමකි.

මේ ආණ්ඩුව අර්බුදයට පත් කරන ප්‍රධාන පිරිස රනිල්ගේ සහචර කල්ලිය බව අමුතුවෙන් කිව යුතු නැත. භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධියේදී රවි කරුණානායකගේ සොරකම ළුනු බිකක් බව බොරුවක් නො වේ. එහි සැබෑ කොල්ලය රනිල්ගේ සහචර කල්ලියේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ හා ඔහුගේ බෑණාගේ වැඩකි.

මෙම තත්වය හමුවේ අතිශය වැදගත් ක්‍රියාමාර්ග දෙකක් වෙනුවෙන් පුරවැසි බලවේග සිය බලපෑම තීව්‍ර කළ යුතු ය. ඒ රාජපක්ෂ හොර කල්ලිය හා මහ බැංකු හොර කල්ලිය සම්බන්ධයෙනි. මේ දෙපිරිසට ම කිසිදු බුරුලක් නො දැක්විය යුතු ය. තරාතිරම නො බලා උපරිම ක්‍රියාමාර්ග ගත යුතු ය. ආණ්ඩුවේ ය කියා කිසිවෙකු ආරක්ෂා නො කළ යුතු ය. මේ කල්ලි දෙක විසින් සොරකම් කරන ලද මුදල් නිර්දය ලෙස ආපසු ලබා ගැනීමට කඩිනමින් ක්‍රියා කළ යුතු ය.

මේ දෙපිරිස මේ වන විටත් කටයුතු කරන්නේ එකිනෙකා අතර අවබෝධයකින් බව පෙනේ. ඔවුන්ට ඕනෑ නම් සන්ධාන ගත වී හිරේ ගියත් අපට කමක් නැත. අප කටයුතු කළ යුත්තේ 2015 ජනවාරි 8 අපේක්ෂා ඉදිරියට ගෙන යාමට ඇපකැප වන බලවේග සමගයි. අප ශක්තිමත් කළ යුත්තේ ඔවුන් ය. එජාපයේ, ශ්‍රීලනිපයේ සෙසු බලවේගවලට එක්කෝ හැඩගැසිය හැකි ය. නැතිනම් රාජපක්ෂලා සමග ම යා හැකි ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-13

ආණ්ඩුවට සෙල්ලං දාන්න ඉඩ නො දෙන්න ඔබත් වීදියට එන්න


මා පුරවැසි බලයේ හෝ මෙම ලැයිස්තුවේ සඳහන් සංවිධාන කිසිවක සාමාජිකයකු නො වේ. එහෙත් මම අගෝස්තු 15දා මෙම උද්ඝෝෂණයට සහභාගි වෙමි. (එය සත්‍යක්‍රියාවක් නිසා, නීරස කතා නැති, බොරු සටන් පාඨ සහ ඝෝෂා නැති, පාරවල් අවුරා මහජනතාවට කරදර නො කරන අදට ගැලපෙන උද්ඝෝෂණයකැයි සිතමි.)

මා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන ද උනන්දුවක් නැත. විධායක බලතල කප්පාදු කර ජනාධිපති ධුරය වෙනස් කිරීමට නම් මා කැමති ය. 

බලය බෙදා ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා මුලින් ම කළ යුතුව තිබෙන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමයි. දෙමළ ජාතික සන්ධානය මධ්‍යම රජය වෙත දිනාගෙන උතුර සංවර්ධනය පිළිබඳ වගකිව යුතු ඇමති තනතුරක් ලබා දීම වුව දැනට ප්‍රමාණවත් ය. තව ඕනෑ නම් පසුවට පුළුවන. දැන් වෙලා තියෙන්නේ විග්නේශ්වරන්ගේ පළාත් සභාවට තියෙන බලතලවලින්වත් යමක් කර ගන්නට බැරි වීමයි. ඒ රාජ්‍ය අකාර්යක්ෂමතාවේ පළාත්බද තත්වය මිස අන් යමක් නො වේ. 

උතුරට බලයට වඩා මේ මොහොතේ අවශ්‍ය ප්‍රාග්ධනයයි. එය මුළු ලංකාවට ම අදාළ තත්වයකි. ප්‍රාග්ධනය නැතුව බලය තිබුණා ය කියා කරන්නට දෙයක් නැත. බලයා නොව කෙළවල්ලා දුන්නත්, ඔය පවතින රාජ්‍ය අංශයෙන් මෙලෝ වැඩක් නැත.

කවුරු මොනවා කීවත්, පසුගිය වකවානුව තුළ යම් සාපේක්ෂ වෙනසක් සිදු වන බව කැපී පෙනෙන ලෙස සලකුණු කළ ප්‍රධාන රාජ්‍ය දෙපාර්තමේන්තුව පොලිසියයි.

විශේෂයෙන් ම මුල්‍ය අපරාධ විමර්ශන අංශය හෙවත් FCID පසුගිය ආණ්ඩුව කාලයේ ප්‍රධාන පෙළේ වංචා හා දූෂණ පැමිණිලි 89ක් විමර්ශනය කර අවසන් කරන ලදී. එයින් 22ක් රාජපක්ෂ පවුල හා සම්බන්ධ ය. එහෙත්, නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වී තිබෙන්නේ 15ක් සම්බන්ධයෙන් පමණි.

රාජපක්ෂලාගේ නඩු කල් යන්නේ මාස ගණන්වලිනි. තමන්ගේ ආණ්ඩුවක් නැවත බලයට එනතුරු නඩු කල් දමා ගත හැකි බව රාජපක්ෂ පවුලේ සොරු දැන් උදම් අනති. 

ගෝඨාභය රාජපක්ෂ තම දෙමාපියන්ගේ සොහොන් හදන්නට නාගරික සංවර්ධන අධිකාරියෙන් රුපියල් කෝටි 9 ක් ලබා දීම හා සම්බන්ධ ලියුමේ අත්සන ගෝඨාභයගේම දැයි පරීක්ෂා කර තහවුරු කිරීමට අවුරුදු දෙකක් ගිහිල්ලාත් බැරි වූ දප්පුලන්නන් සිටින නීතිපති දෙපාර්තමේන්තුව හා රාජපක්ෂලා රකින විජේදාස රාජපක්ෂ ඇමතියා සිටින තාක් කල් ඔවුන්ට රැකවරණය සුරක්ෂිත ය. 

මේ සෙල්ලම් දැන් ඉතින් අවසන් කළ යුතු ය. පසුගිය හා වත්මන් ආණ්ඩුවලත්, දේශපාලකයන් හා සම්බන්ධව දූෂණය් යෙදුණු රාජ්‍ය නිලධාරීන්ගේත්  දූෂණ විමර්ශනය කිරීමට විශේෂ අධිකරණයක් පිහිටුවිය යුතු ය. විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමති ධුරයෙන් නෙරපිය යුතු ය.

රාජපක්ෂ ආණ්ඩු සමයේ හා වර්තමාන ආණ්ඩු සමයේ මහජනතාවගෙන් මංකොල්ල කන ලද මහ බැංකු බැඳුම්කර අයුතු ලාභයේ සිට සියලු සොරකම් කරන ලද මුදල් ඉක්මණින් ආපසු ලබා ගත යුතු ය. මේ සොරුන්ගේ දේපල රාජසන්තක කළ යුතු අතර, ඔවුන්ට දඬුවම් කළ යුතු ය.

බලය බෙදීම ගැන මෙයත් කිව යුතු ය. දේශපාලකයන්ට බලය බෙදා දුන්නා ය කියා රටක් සංවර්ධනය කළ නො හැකි බව පුරවැසි ව්‍යාපාර තේරුම් ගත යුතු ය.

ජාතික මට්ටමෙන් හෝ පළාත් මට්ටමෙන් දේශපාලකයන් ශක්තිමත් කිරීමට වඩා පුරවැසියන්ට වැදගත් විය යුත්තේ ප්‍රාදේශීය මට්ටමෙන් පළාත් පාලනය හා පුරවැසි ක්‍රියාකාරකම් ශක්තිමත් කිරීමයි.

පළාත් පාලන ඡන්දය කල් දැම්මා දැන් හොඳට ම ඇති ය. එය අලුත් ක්‍රමය යටතේ පැවැත්විය යුතු ය. පැරණි ක්‍රමයට ආපසු නො යා යුතු ය. එසේ ම, පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය 25%ක් බවට පත් කිරීමට සංශෝධනය කළ නීති කිසි සේත් ම ආපසු හැරවීමට ඉඩ නො දිය යුතු ය.

එක එක කාලෙට එක එක බයිලා කියන, හරියට වැඩක් කර ගත නො හැකි, පළාත් සභා හා පළාත් පාලන (ඡන්ද කල් දමන) ඇමති ෆයිසර් මුස්තාපා ද ඉවත් කළ යුතු ය. 


පුරවැසි බලය යනු ‘පුරවැසි බලය' නම් සංවිධානය නො වේ. එම නම භාවිතා කරන අය සැබෑ පුරවැසි බලයක් ගොඩනැගීමේ හැකියාව ඇති නායකත්වයක් නො වන බව ඔප්පු කර තිබේ.

සැබෑ පුරවැසි බලය වන්නේ 2015 ජනවාරි 8 වෙනසට උර දුන් ජනතාවගේ බලයයි. ඒ අපේක්ෂා බොඳ වී යන්නට ඉඩ නො දෙන පුරවැසි ක්‍රියාකාරිත්වය සැබෑ පුරවැසි බලයයි. ඒ සඳහා සංවිධාන අත්‍යවශ්‍ය නැත. අප ක්‍රියාකාරී වන්නේ එසේ ය. 

නායකයන් කවුරුද යන්න ද වැදගත් නැත. ලක්ෂ 62කගේ ජන බලය නියෝජනය කරන්නට ඔබත් අඟහරුවාදා, අගෝස්තු 15දා සවස තුනට විහාර මහා දේවි උයන ඉදිරිපිටට රොක් වන්න.  

වත්මන් බලතුලනය ඉදිරියටත් රැක ගත යුතු ය. එසේම, දූෂිතයන් පලවා හැරිය යුතු ය. ආණ්ඩුවට සෙල්ලම් කරන්නට ඉඩ නො දිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-12

පාර සොයා ගන්න දන්නා කොළඹ තරුණයෝ හා මංමුලා වන ගමේ තරුණයෝ

හැබැයි මා තරුණයෙකු නොවෙයි. ඒ වුණාට මා ලෝක තරුණ දිනය ගැන උනන්දුයි. ඒ වෘත්තීය වශයෙන් මා ක්‍රියා කරන ක්ෂේත්‍ර නිසා විතරක් නෙමෙයි.

අපේ තරුණ අවධිය නාස්ති වී යන්නට හේතු වුණ තත්වයන් අපේ දරුවන්ට ඇති නො වන පරිදි කටයුතු කිරීම මගේ වගකීමක් ලෙස මා අද සලකන නිසායි.

මට තවමත් මගේ ගමේදි, මා දන්නා පාසල්වලදි, මගතොටේදි බොහෝ විට හමු වන්නෙ මා ගෙවූ තුරුණු විය ම වැනි තුරුණු වියකට උරුම කියන්නට සිදු වන අවදානමේ ගැට්ටේ සිටින තරුණ පිරිස්. ජාති, ආගම්, දේශපාලනික අන්තවාදයන් ඔවුන්ගේ ඔලුවලට උඩ කැරකෙන්නේ වද බඳින්නට එන කණ මී මැසි හමුදා වගේ.

ඔවුන් අතර බොහෝ දක්ෂයන් සිටිනවා. ඔවුන්ටත් හීන ගොඩක් තියෙනවා. හැබැයි, ඔවුන්ට කොළඹ ඉහළ ප්‍රභූ සමාජයේ ඉංග්‍රීසිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය නැහැ. නිසි මග පෙන්වනවා නම්, එය ඔවුන්ට අත්පත් කර ගැනීම එතරම් දුෂ්කර දෙයක් නො වුණත්, ඊට වඩා පහසුවෙන් ඔවුන් අන්තවාදී අදහස් හා පුහු දෘෂ්ටිවාද සමග බැඳෙනවා. ඒවාට මග පෙන්වන්නට වඩා බලවත් බලවේග සමාජයේ තිබෙනවා. අවසාන ප්‍රතිඵලය විදියට ඔවුන්ට ලැබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි වරප්‍රසාද ලැබුණත්, ඔවුන් අන්තරේ ලෝකයට සීමා වී පුළුල් ලෝකයට දොර කවුළු වසා ගන්නවා.

හැබැයි මට මගේ වෘත්තීය ජීවිතයේදී කොළඹ ප්‍රභූ සමාජයට ප්‍රවේශය ඇති තරුණ පිරිස් හමු වෙනවා. ඔවුනුත් දක්ෂයි. ඉංග්‍රීසි භාෂා භාවිතය පැත්තෙන් චතුරයි. ඔවුන්ගේ සුවිශේෂ ම තත්වය තමයි, ඔවුන් සමාජය තුළ ඉදිරියට යාමට අවශ්‍ය අවස්ථා ලබා ගැනීම සඳහා උවමනා මෘදු කුසලතාවලින් පිරිපුන් වීම සහා වඩා සමාජශීලී හා වෘත්තික වීම. හැබැයි, කොළඹින් බැහැර ලාංකීය සමාජය හා පොදු ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු පිළිබඳ ඔවුන්ට එතරම් අවබෝධයක් හෝ ඒ අවබෝධය ප්‍රායෝගිකව ලබා ගැනීමට ලොකු උනන්දුවක් හෝ නැහැ. හැබැයි, ලංකාවේ සංවර්ධනය සම්බන්ධ තීරණ, තීන්දු ගැනීමේදී ඔවුන් ගමේ තරුණ තරුණියන්ට වඩා බලවත්.

මා iVoice වෙබ් අඩවිය හා සම්බන්ධ කටයුතුවලදී විවිධ තරුණ තරුණියන් හමු වෙනවා. ගමට පාලමක් හදන්නට මුල් වුණ නෙළුවේ මේ තරුණියන් තිදෙනා හමුවන්නට මා ගියා.

ගිය සිකුරාදා මා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් සිකුරාදා උදේ 8-9 විකාශ වූ සාරප්‍රභාගිර වැඩසටහනට සෙනෙල් වන්නිආරච්චි එක්කගෙන ගිහින් පැයක් ඔහු සමග කතා කළා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුවකු ලෙස හය ශ්‍රේණියේ සිට ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන, උසස් පෙළට කලා විෂය තෝරාගෙන, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා උපාධිය හදාරා, හෑෂ්ටැග් පරපුර හරහා සමාජ ක්‍රියාකාරිත්වයන් ඔස්සේ ඉදිරියට ගිහින් වයස අවුරුදු 27ක් වන විට එලිසබෙත් රැජින විසින් වාර්ෂිකව තෝරා ගනු ලබන ලොව තරුණ නායකයන් පිරිස අතරට එක් වී සම්මාන ලබන්නට ඔහු සමත් වුණේ කොහොමද කියන එක මා විමසුවා.

මා අද ලියු ලිපිය තුළින් විමසා බැලුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස්ගේ තරුණ නියෝජිතවරිය වන්නට තරම් තැනකට බෙන්තර හබුරුගල ගමේ ඉපදුණු, අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ අවුරුදු 27ක තරුණියක් සමත් වුණේ කොහොමද කියන එක.

අපේ පරම්පරාවේ අපේ මිතුරන් බොහෝ දෙනෙකු පුහු දෘෂ්ටිවාදයන් හා අන්තවාදී අදහස් නිසා ජීවිත හෝ අනාගත විභවයන් හෝ අහිමි කර ගත්තා. ඒ ගැන හොඳින් දන්නා අපි අනාගත පරපුරටත් ඒ කාලකණ්ණිකම ම උරුම කර දෙනවා ද?

මේ තරුණ කෙල්ලගේ කතාව කියවා බලන්න ඇය සිය වාසනාව පාදා ගැනීමට ගෙන තිබෙන මග. මේ පසුපස දේශපාලනය වුණත් තියෙන්නට පුළුවන්. හැබැයි මා හිතන්නෙ පුද්ගල දක්ෂතාව හා ගත් මග වැදගත්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-08-11

හයියෙන් ගියොත් පයින් ගහනවා - පොලිසිය කියයි


අද උදේ බස් එකට නගිනකොට රියදුරන්, කොන්දොස්තරලා බර සාකච්ඡාවක්. ආයෙමත් ස්ට්‍ර‍යික් එකක් කරන්නට වෙයි කියලාත් කියවුණා. ඒගොල්ලන් හිටියෙ බොහොම උද්වේගයෙන්.

හේතුව තමයි වාහන වැරදිවලට දඩ මුදල් වැඩි කිරීම.

අවම දඩ මුදල රු. 30,000ක් වන වරදක් තිබෙනවා. ඒ තමයි, බාල වයස්කරුවන් රිය පැදවීම.

දැඩි දඩ පණවන්නෙ යම් දේවල් සම්පූර්ණයෙන් ම තහනම් කරන්න. පහත දැක්වෙන්නෙ රු. 25,000 බැගින් අවම දඩ පණවනු ලබන වැරදි.

1. වලංගු රියදුරු බලපත්‍ර‍යක් නොමැතිව රිය පැදවීම
2. රියදුරු බලපත්‍ර‍යක් නොමැති පුද්ගලයන් සේවයේ යෙදවීම
3. මත්පැන්, මත්ද්‍ර‍ව්‍ය භාවිතා කර රිය පැදවීම
4. දුම්රිය මාර්ග හරහා අපරීක්ෂාකාරීව රිය පැදවීම
5. වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය පැදවීම

මා නම් හිතන්නෙ මේ වැරදිවලට දැඩි දඬුවම් පැමිණවීමේ කිසිදු වරදක් නැහැ.

මේ වගේ ම නියමිත වේගය ඉක්මවා ධාවනය කිරීම සම්බන්ධයෙන් වේගය ඉක්මවන ප්‍ර‍මාණය අනුව රු. 15,000 දක්වා දඩ පැණවිය හැකියි.

අපරීක්ෂාකාරීව රිය පැදවීමේ වරදට අවම දඩය රු. 10,000ක් වෙනවා.

වමෙන් ඉස්සර කිරීම, ජංගම දුරකථන භාවිතා කරමින් රිය පැදවීම වැනි වැරදිවලට දඩය රු. 2000යි.

මේ දඩ එකක්වත් අසාධාරණ නැහැ.

හැබැයි, වෘත්තීය රියදුරන්ට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. එහිදී විශේෂයෙන් ම බස් රියදුරන් ගැන අවධානය යොමු කළ යුතුයි.

දිනපතා කිලෝමීටර් 15ක විතර දුරක් බස් රියවල කෝච්චිවල යන එන මට මේ ගැටලු පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබෙනවා.

ලංගමේ විරෝධය නිසා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නො කිරීමෙහි ප්‍ර‍තිඵලයක් ලෙස පාරේ දුවන බස් අතර අධික තරගයක් තිබෙනවා. බස් ව්‍යාපාරයේ සිටින අය අවුරුදු පහක් විතර යනකොට ඒ බසය වෙනුවට අලුත් බසයක් ධාවනයට යෙදවීම සඳහා මුදල් ඉපැයීම ව්‍යාපාරික වශයෙන් වරදක් නෙමෙයි. බොහෝ බස් රථ මසකට කිලෝමීටර් 10,000කට වඩා දුර ධාවනය වෙනවා. මේ බස්වල ටයර්, එන්ජින් කොටස් ආදී බොහෝ දේ අලුත් කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. රක්ෂණාවරණ, ණය, බලපත්‍ර‍ ගාස්තු, බදු, කප්පම්, පුණ්‍යාධාර වැනි තවත් වියදම් රැසක් ද බස් හිමියාට තියෙනවා. ඒ සියල්ල එක්ක බැලුවාම බස් හිමියන් ලබන ලාභය අසාධාරණ යයි කියන්නට අමාරුයි.

හැබැයි, බස් සේවකයන් කියන්නේ ඉතා දුෂ්කර රැකියාවක් කරන පිරිසක්. විශේෂයෙන් ම පෞද්ගලික බස් නැවතුම්පළවල ඔවුන්ට කිසිදු පහසුකමක් නැහැ. බස් සේවකයන්ට ගෙවන්නේ දෛනික වැටුප්. ඔවුන්ට අසනීපයකදීවත් වැටුප් සහිත නිවාඩුවක් නැහැ. ඊපීඑෆ්, ඊටීඑෆ් මොකවත් නැහැ. මේ මිනිස්සු පවතින්නෙ රු. 1200ක් විතර වන හෝ නැතිනම් ආදායමෙන් 15%ක් විතර වෙන විදියට හදා ගන්නා දෛනික වැටුපකින්. එහි සත්‍ය වටිනාකම දවසකට රු. 1500-2000 අතරයි තියෙන්නේ.

ඉතින් මේ ගාන හොයා ගන්න මේ මිනිස්සු මගීන්ට කෑලි ගානට සලකනවා. මග කොටනවා. රේස් යනවා. මග දිගට කෝල් දදා බස් එලවනවා. මාර්ග නීති මහා පරිමාණෙන් කඩනවා.

දවස පුරා පාරෙ ඉන්න මේ මිනිසුන්ට නීති නො කඩා රිය පදවන්නට පුළුවන් වාතාවරණයක් ලංකාවේ පාරවල්වල නැහැ. ත්‍රිරෝද රියදුරන්, යතුරු පැදි පදවන්නන්, පයින් යන්නන් එහෙම මාර්ග නීති තඹයකට තකන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් බස් රියදුරන් අකුරට වැඩ කළොත් එහෙම මිනිසුන්ට වෙලාවට වැඩට යන්නට ලැබෙන්නේත් නැහැ.

මේ නීති හොඳයි. හැබැයි, මිනිසුන් නීති කැඩීම වළක්වන පරිසරයක් නිර්මානය කිරීමත් මේ එක්කම සිදු විය යුතුයි. ඒ සඳහා මගී බස් ධාවනය විධිමත් කිරීමට පියවර ගැනීමත් අනිවාර්යයි.

සමස්තයක් ලෙස ම සමාජය විනයගත කිරීමට අවශ්‍ය පියවර ගන්නට ඕනැ. නීති පිළිබඳ සමස්ත සමාජය ම දැනුවත් කරන්නට ඕනැ. එක් පිරිසක් විතරක් පීඩාවට පත් වන පරිදි කටයුතු කළොත් නීතිවලින් වැඩක් නැහැ. මේ නීති ආපස්සට නො ගත යුතුයි. හැබැයි, ක්‍රියාත්මක කිරීම පරිස්සමෙන් කළ යුතුයි. 

මේක පොලිසියේ විතරක් වැඩක් නෙමෙයි. අප හැමෝගෙම වැඩක්.

(මාතෘකාව උපුටා ගත්තේ පැරණි ලංකා පුවත්පතකිනි. සටන් විරාමයෙන් පසු කොටි පාලන ප්‍රදේශවල චාරිකාවක් ගිය ලංකා පුවත්පතේ මාධ්‍යකරුවන් පිරිසක් ඔවුන් ගිය වාහනය අධි වේගයෙන් ධාවනය වීම නිසා නවත්වා අවවාද කළ කොටි පොලිස් නිලධාරියකු ගැන වෛරී අදහසක් ඇති කිරීමේ අරමුණින් එම නිලධාරියාගේ කැඩිච්ච සිංහල කතාව ලිපියේ මාතෘකාව ලෙස යොදා ගත්තේ එසේ ය. මෙම කොටි පොලිස් නිලධාරියා අදහස් කරන්නට ඇත්තේ ෆයින් ගහනවා යන්නයි. මෙය කියන්නේ තරහකට නො වේ. පුවත්පත් සිරස්තල කලාවේ සලකුණු විය යුතු සිරස්තලයක් බැවිනි.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.