2017-08-12

පාර සොයා ගන්න දන්නා කොළඹ තරුණයෝ හා මංමුලා වන ගමේ තරුණයෝ

හැබැයි මා තරුණයෙකු නොවෙයි. ඒ වුණාට මා ලෝක තරුණ දිනය ගැන උනන්දුයි. ඒ වෘත්තීය වශයෙන් මා ක්‍රියා කරන ක්ෂේත්‍ර නිසා විතරක් නෙමෙයි.

අපේ තරුණ අවධිය නාස්ති වී යන්නට හේතු වුණ තත්වයන් අපේ දරුවන්ට ඇති නො වන පරිදි කටයුතු කිරීම මගේ වගකීමක් ලෙස මා අද සලකන නිසායි.

මට තවමත් මගේ ගමේදි, මා දන්නා පාසල්වලදි, මගතොටේදි බොහෝ විට හමු වන්නෙ මා ගෙවූ තුරුණු විය ම වැනි තුරුණු වියකට උරුම කියන්නට සිදු වන අවදානමේ ගැට්ටේ සිටින තරුණ පිරිස්. ජාති, ආගම්, දේශපාලනික අන්තවාදයන් ඔවුන්ගේ ඔලුවලට උඩ කැරකෙන්නේ වද බඳින්නට එන කණ මී මැසි හමුදා වගේ.

ඔවුන් අතර බොහෝ දක්ෂයන් සිටිනවා. ඔවුන්ටත් හීන ගොඩක් තියෙනවා. හැබැයි, ඔවුන්ට කොළඹ ඉහළ ප්‍රභූ සමාජයේ ඉංග්‍රීසිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය නැහැ. නිසි මග පෙන්වනවා නම්, එය ඔවුන්ට අත්පත් කර ගැනීම එතරම් දුෂ්කර දෙයක් නො වුණත්, ඊට වඩා පහසුවෙන් ඔවුන් අන්තවාදී අදහස් හා පුහු දෘෂ්ටිවාද සමග බැඳෙනවා. ඒවාට මග පෙන්වන්නට වඩා බලවත් බලවේග සමාජයේ තිබෙනවා. අවසාන ප්‍රතිඵලය විදියට ඔවුන්ට ලැබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි වරප්‍රසාද ලැබුණත්, ඔවුන් අන්තරේ ලෝකයට සීමා වී පුළුල් ලෝකයට දොර කවුළු වසා ගන්නවා.

හැබැයි මට මගේ වෘත්තීය ජීවිතයේදී කොළඹ ප්‍රභූ සමාජයට ප්‍රවේශය ඇති තරුණ පිරිස් හමු වෙනවා. ඔවුනුත් දක්ෂයි. ඉංග්‍රීසි භාෂා භාවිතය පැත්තෙන් චතුරයි. ඔවුන්ගේ සුවිශේෂ ම තත්වය තමයි, ඔවුන් සමාජය තුළ ඉදිරියට යාමට අවශ්‍ය අවස්ථා ලබා ගැනීම සඳහා උවමනා මෘදු කුසලතාවලින් පිරිපුන් වීම සහා වඩා සමාජශීලී හා වෘත්තික වීම. හැබැයි, කොළඹින් බැහැර ලාංකීය සමාජය හා පොදු ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු පිළිබඳ ඔවුන්ට එතරම් අවබෝධයක් හෝ ඒ අවබෝධය ප්‍රායෝගිකව ලබා ගැනීමට ලොකු උනන්දුවක් හෝ නැහැ. හැබැයි, ලංකාවේ සංවර්ධනය සම්බන්ධ තීරණ, තීන්දු ගැනීමේදී ඔවුන් ගමේ තරුණ තරුණියන්ට වඩා බලවත්.

මා iVoice වෙබ් අඩවිය හා සම්බන්ධ කටයුතුවලදී විවිධ තරුණ තරුණියන් හමු වෙනවා. ගමට පාලමක් හදන්නට මුල් වුණ නෙළුවේ මේ තරුණියන් තිදෙනා හමුවන්නට මා ගියා.

ගිය සිකුරාදා මා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් සිකුරාදා උදේ 8-9 විකාශ වූ සාරප්‍රභාගිර වැඩසටහනට සෙනෙල් වන්නිආරච්චි එක්කගෙන ගිහින් පැයක් ඔහු සමග කතා කළා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුවකු ලෙස හය ශ්‍රේණියේ සිට ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන, උසස් පෙළට කලා විෂය තෝරාගෙන, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා උපාධිය හදාරා, හෑෂ්ටැග් පරපුර හරහා සමාජ ක්‍රියාකාරිත්වයන් ඔස්සේ ඉදිරියට ගිහින් වයස අවුරුදු 27ක් වන විට එලිසබෙත් රැජින විසින් වාර්ෂිකව තෝරා ගනු ලබන ලොව තරුණ නායකයන් පිරිස අතරට එක් වී සම්මාන ලබන්නට ඔහු සමත් වුණේ කොහොමද කියන එක මා විමසුවා.

මා අද ලියු ලිපිය තුළින් විමසා බැලුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස්ගේ තරුණ නියෝජිතවරිය වන්නට තරම් තැනකට බෙන්තර හබුරුගල ගමේ ඉපදුණු, අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ අවුරුදු 27ක තරුණියක් සමත් වුණේ කොහොමද කියන එක.

අපේ පරම්පරාවේ අපේ මිතුරන් බොහෝ දෙනෙකු පුහු දෘෂ්ටිවාදයන් හා අන්තවාදී අදහස් නිසා ජීවිත හෝ අනාගත විභවයන් හෝ අහිමි කර ගත්තා. ඒ ගැන හොඳින් දන්නා අපි අනාගත පරපුරටත් ඒ කාලකණ්ණිකම ම උරුම කර දෙනවා ද?

මේ තරුණ කෙල්ලගේ කතාව කියවා බලන්න ඇය සිය වාසනාව පාදා ගැනීමට ගෙන තිබෙන මග. මේ පසුපස දේශපාලනය වුණත් තියෙන්නට පුළුවන්. හැබැයි මා හිතන්නෙ පුද්ගල දක්ෂතාව හා ගත් මග වැදගත්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

11 comments:

  1. nayakayo hadanna ba..awasthawanta anuwa nayakayo bihiwenne.buddiya manina sadake colamba jiwath wimath ingrisi katha kirimata haki wimath kiyana ekai hinawata karanaya

    ReplyDelete
    Replies
    1. නායකයන් හදන්නට බැරි ය, අවස්ථාවට අනුව බිහි වෙනවා ය කියන එක ඉතාම නො දියුණු අදහසක්. අවස්ථාවට නායකත්වය දෙන්නට පුළුවන් වෙන්නෙ නායකයන් හැදිලා හිටියොත් විතරයි.

      මං උදාහරණයක් කියන්නම්. සුනාමි වෙලාවෙ පැරෑලිය පැත්තෙ දුම්රිය අනතුර එක්ක විශාල මරණ සංඛ්‍යාවක් සිදු වුණා. ඒ වෙලාවෙ එහෙ තිබුණෙ අරාජික තත්වයක්. බද්දේගම සමිත හාමුදුරුවෝ හැඩිදෙමළකන්දෙ පන්සලේ හිටියා. එයා එතනට ඇවිත් නායකත්වය අරගත්තා. ඒ නායකයාව හැදුණෙ සුනාමිය කියන අවස්ථාව හින්දද? නැහැ. එයා නායකයෙකු ලෙස ගොඩනැගිලා හිටියා. සුනාමිය වෙලාවෙ නායකයකු අවශ්‍ය වෙලා තියෙන පසුබිමක එයා එතන හිටියා.

      අපි නායකයන් හදන්නට ඕනැ. හැමෝටම ලොකු ම නායකයා වෙන්නට බැහැ. සමාජයට අවශ්‍ය එක් නායකයකු නෙමෙයි. අනෙක් අයගේ නායකත්වය භාර ගන්නා එකත් නායකත්වයේ ම ලක්ෂණයක්.

      ඔය අන්නෝන්ගෙ කමෙන්ට් එකේ බුද්ධිය මනින සාධකේ කොළඹ ජීවත් වීමත් ඉංගිරිසි කතා කිරීමට හැකි වීමත් කියා සලකන තත්වයක් තිබීම තමයි ඇත්තෙන් ම ගැටලුව. හැබැයි, ඒකට හිනා වෙවී ඉඳලා හරි වෛර කරමින් ඉඳලා හරි වැඩක් නැහැ. ඒක වෙනස් කරන්නට ගමේ තරුණයන් බලසතු කරන්නට ඕනැ. ඉංග්‍රීසි ඉගෙනීම වගේ ම, මං කියන්නෙ සිංහල අකුරු මේ වගේ ටයිප් කරන්නට ඉගෙන ගන්නා එකත් වැදගත් ඒ නිසායි.

      Delete
    2. නායකයින් අවස්තාව අනුව බිහිවෙනවා කියන්නේ ඒක තමයී නේද???? නායකත්වය කියන එක පුහුනු කරලා හෝ සහජයේන්ම තිබුනත් අවස්තාව උදා කරගන්න බැරුව හෝ උදාවෙන් නැතුව කීදෙනෙක් ඉන්නවද? ඉතිං නායකයින් බිහිවෙන්න එක්කෝ සමජයෙන් අවස්තාව එනකල් ඉන්න ඕන නැත්නම් සමාජයේ තිබෙන කිසියම් අවස්තාවක් බලෙන් අත්පත් කරන් බිහිවෙන්න වෙනවා නේද??? කෙනෙක් දේශපාලනයට එන්නෙත් මේවගේ අවස්තාවන් යොදාගෙනනේ.

      Delete
    3. නායකයන්ට හැම විටම අවස්ථා තියෙනවා. හේතුව නායකයන් හැම තැනකදිම අවශ්‍යයි. පන්තියේ මොනිටර්ගේ සිට කර්මාන්තශාලාවේ වැඩමූලිකයන් ආදී නායකයන් සුවිශාල සංඛ්‍යාවක් සමාජයට අවශ්‍යයි.

      විශේෂ නායකත්වයන් අවශ්‍ය විශේෂ අවස්ථා තියෙනවා. බොහෝ විට ඒ විශේෂ අවස්ථාවලදි ඉදිරියට එන්නෙ නායකත්ව පුහුණුව ලබා තිබෙන අය.

      නායකත්වය කියන්නෙ වාසනා ගුණය නිසා ම පහළ වේ යයි බලාපොරොත්තු විය හැකි දෙයක් නෙමෙයි. නායකත්ව විභවයන් තිබුණත්, අවශ්‍ය කුසලතා නැති නම් නායකත්වයට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසා තමයි කුසලතා ගොඩනැගීම වැදගත් වන්නෙ.

      නායකයන් ගොඩනැගීම සමාජ වගකීමක්.

      නායකයන් අවස්ථාව අනුව ගොඩනැගෙනවා ය කියන එක විඥානවාදී අදහසක්. අවස්ථා විසින් නායකයන් හදන්නෙ නැහැ. නායකයන් අවස්ථාවලට අනුව හැඩගැසී නායකත්වය දෙනවා.

      Delete
  2. අපේ රටේ උන්ට කඩ්ඩ බැරිනම් ඉතින් සොරිම තමයි. එත් අපේ රටේ උන් ජීවිත කාලයක් කට්ටකාලා හම්බ කරලා ගන්න ජපන් වාහන ඩිසයින් කරන ජපන් ඉංජො ගත්තොත් උන්ට කඩ්ඩ පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට ඉතින් උන්ට වාහනේ ඩිසයින් කර ගන්නට පුළුවන් නේ. අපට ඉතින් කඩ්ඩ බැරි වුණාට පුළුවන් ය කියන්න තියෙන්නෙ කේන්දර බලන එක වගේ ඒවනේ.

      Delete
    2. මරු අදහස...

      Delete
    3. ජපන්නුට ඉංග්‍රීසි කතා කරන්න බැරි වුනාට කියවන්න ලියන්න පුළුවන් විශේෂයෙන් ඉංජිනේරුවන්ට. ඔවුන්ට ඉංග්‍රීසි කතා කරන්න අමාරු ඒසඳහා එතරම් අවස්ඨාවන් නැති නිසා . අනෙක කැරොකේ වලදි හොඳට ඉංග්‍රීසි සිංදු කියන්නත් ඔවුන්ට පුළුවන් .

      Delete
  3. මේ UN ආයතනය හරහා මොකක්ද ලංකාවේ තරුණ පරපුරට, තරුණයින් නංවන්න කරපු වැඩ කොටස ගැන පැහැදිලි කරන්න ...

    ලෝක මට්ටමේ මොනවද ඔය ආයතනය කරලා තියෙනේ මට පැහැදිලි නැහැ .... වැඩමුළු සම්මන්ත්‍රණ ඇරෙන්න

    NGO ගැන කතා කරද්දී ඔබතුමාම කියලා තියෙන්නේ ලංකාවේ අය NGO හරහා ලංකාවට එන මුදල් අපහරණය කරන හැටි

    ප්‍රශ්න තියෙන්නේ ඔය NGO වල නෙමේ ඒ හරහා ඒ අරමුදල් භාවිත කරමින් ලංකාවේ ඉදිරියට එන අය කරන දේවල් ගැන ...

    ඔවුන්ට සමාජයේ හොද නමක් ගරු බුහුමන් වගේම .... අනික් පැත්තෙන් ඔවුන් දුෂීත මිනිසුන් .....

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.