2017-08-24

නිදහස් අධ්‍යාපනයේ යථාර්ථය නොදත් අය වෙනුවෙන් හීන සොයන සමනල්ලු

පසුගිය දවසක රොහාන් පෙරේරාගේ හීන සොයන සමනල්ලු චිත්‍රපටය බැලුවා. ඒක හරි අපූරු අද්දැකීමක්.

ළමයින් සුරංගනා කතාවලට ෆැන්ටසිවලට කැමතියි. ඒ වගේම සත්‍ය අත්දැකීම්වලටත් ළමයින් අකැමැති නැහැ. හීන සොයන සමනල්ලු ළමයින් වෙනුවෙන් නිර්මානය කළ අපූරු යථාර්ථවාදී චිත්‍රපටයක්.

ඒකෙ කතාව එතරම් අපූර්වත්වයකින් තොර, නිතර අසා පුරුදු කතාවක්. ළමයින් හරි අවංකයි, ඔවුන්ගේ සිතුවිලි මල් වගේ පිවිතුරුයි, පොඩි ළමයි දඟයි - ඒ වුණාට හුරතල් වගේ ගතානුගතික, ඒකරූපී අදහස් සමග තරමක් ආයාසයෙන් වියා ගත් කතාවක් තමයි එහි තියෙන්නේ.

ඒක ටිකක් විතර වගේ Petar Lalović විසින් 1997දී සර්බියන් බසින් නිර්මානය කරන ලද, Some Birds Can't Fly ලෙස ඉංග්‍රීසියෙන් ප්‍රසිද්ධ වූ චිත්‍රපටයේ ආභාසය ලැබූ චිත්‍රපටයක්. හැබැයි කොපියක් නෙමෙයි.

මේ චිත්‍රපටයට මා කැමති එහි තිබෙන ඉතා විචිත්‍ර අන්දමින් නිර්මානය කළ යථාර්ථවාදී දර්ශන කීපයක් නිසායි. ඒ එක් දර්ශන තලයක් වන හද්දා පිටිසර දිළිඳු පාසල ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගැන තේමාවක් විවර කරනවා. දොම්නස් පෙනුමක් ඇති, අබලන් ගොඩනැගිලි සහිත, පුස් බැඳුණු බිත්ති ඇති, කැඩුණු ගෙබිම ඇති, ගුරුවරුන් දෙතුන් දෙනෙකු වැඩ කරන, නැති බැරි පවුල්වල ළමයින් තිහ හතළිහකට සීමා වුණ, එපා වාහෙට හොදි බෙදන මෙවැනි පාසල් හද්දා පිටිසර ගම්වල වගේ ම නගර පරිවාරවලත් සුලබයි.

උස වහලවල් ඇති, ඝන බිත්ති සහිත, යටත් විජිත විලාසිතාවේ ගොඩනැගිලි ඇති, ක්වයර් ඇති, ස්පෝට්ස් ගොඩක් තියෙන, පිරිසිදු ඇඳුම් අඳින ළමයින් සිටින, දෝංකාර දෙන පඩිපෙළවල් ඇති ඉහළ පෙළේ පාසල් හා ගම්වල මේ හද්දා පිටිසර පාසල් අතර පිළිසැසඳුම හෙවත් contrast එක මේ චිත්‍රපටයේ නිරූපණය කරන ආකාරය මේ මොහොතේ නිදහස් අධ්‍යාපනය පිළිබඳ රටේ තිබෙන සංවාදයත් සමග කදිමට පෑහෙනවා.

මෙවැනි පාසල් කීපයක ම මා වැඩ කර තිබෙනවා. ඒවායේදී මට හමු වුණ ළමයින් මේ ළමයින් වගේ ම තමයි. නගරවල ළමයින් පරපීඩන මානසිකත්වය වෙනුවෙන් කැඩෙටිං, රගර් ගහද්දි ගමේ ළමයින්ට තියෙන්නෙ සම්බෝල කඩන සෙල්ලම හෙවත් බෝලයක් අරගෙන කාට හරි දමලා අදින එක. ඒ සෙල්ලමට මෙලෝ නීතියක් නැහැ. කාට හරි රිදෙන්න බෝලෙන් ගහන එක තමයි සෙල්ලම. මේ සෙල්ලම ම වුණත් නිදහස් අධ්‍යාපනයේ විෂමතාව නියෝජනය කරනවා.

ඒවායේ ඉන්න ළමයින් කියන්නෙ වෙන පාසලකට යන්නට බැරිකම හෝ එහෙම යන්නට උවමනාවක් නැතිකම නිසා හෝ එහි රැඳෙන දුරාවාරේ පාසල් එන ළමයි. ගුරුවරුන්, ගුරුවරියන් ගත්තත්, වෙනත් පාසලකට මාරුවක් හදාගන්නට බැරිකම හෝ උවමනාවක් නැතිකම හෝ නිසා ඒවායේ ටැග්ගැහෙන, දැනුම අලුත් නො වන නීරස වෘත්තීය ජීවිත ගත කරන බලධාරීන්ගෙන් විතරක් නෙමෙයි ළමයින්ගෙනුත් පීඩනයට පත් වන අසරණයන් පිරිසක්.

වර්තමානයේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැම්පේන් කරන කිසිවෙකු මෙවැනි පාසල්වල ඉගෙනගෙන හෝ උගන්වා හෝ නැහැ. ඔවුන් පැමිණ තිබෙන්නේ කොළඹ හෝ ප්‍රධාන නගරවල ප්‍රධාන පාසල්වලින්. ගමෙන් කිව්වත්, අනුරාධපුරේ සෙන්ට්‍රල් එක, පොළොන්නරුවෙ රෝයල් එක, බදුල්ලෙ ධර්මදූතෙ, හොරණ තක්ෂිලා, මතුගම කන්නන්ගර, වගේ ඒවායින්.

නිදහස් අධ්‍යාපනය කියන්නෙ ඇත්තට ම මේ රටේ ඇති හැකි ඉහළ හා පහළ මධ්‍යම පංතිවලට මහජන මුදලින් නොමිළේ අධ්‍යාපනය දෙන ගමන්, ගමේ හා නගර පරිවාරයේ දිළිඳු, පීඩිත, කම්කරු පවුල්වල දරුවන්ට කොකා පෙන්නන සිස්ටම් ප්‍රෝඩාවක් බව තවමත් දන්නෙ නැති හා එය තේරුම් ගන්නට ඔය උතුරු කොළඹ අධ්‍යාපන කලාපය වගේ එකකට යන්නට පවා කම්මැලි බොරුකාරයන්ට ඔන්න දැන් හීන සොයන සමනල්ලු ඒ තේමාව ඇහැට ඇඟිල්ලෙන් ඇනලා පෙන්නනවා.

මේ චිත්‍රපටයෙ තවත් තේමාවන් ගණනාවක් සාකච්ඡා වෙනවා. තාරක මව්පියන් විසින් අත්හැර දමන ලද, මහළු හා දිළිඳු ආත්තම්මාගේ කරුණාව මත ජීවිතය ගැට ගසා ගන්නා දරුවෙක්. දරුවන්ගේ අනාථ දරුවන් බලා කියා ගන්නට දුක් විඳින, ඔවුන්ගේ අනාගතය ගැන කම්පා වෙන එවැනි ආත්තම්මලා කොච්චර මේ රටේ ඉන්නවා ද? බේබදුකම, ළමා ශ්‍රමය, හිංසනය, විෂමතා, මධ්‍යම පන්තික පිරිමින්ගේ කුහක ආත්මාර්ථකාමය, වර්තමානයේ බරපතල සමාජ ප්‍රශ්නයක් වෙමින් තිබෙන මඳසරුභාවය වැනි තේමාවන් රැසක් හීන සොයන සමනල්ලු චිත්‍රපටය විසින් ස්පර්ශ කරනවා. ඒ අතරේ ළමයින්ට රස විඳින්නට පහසු බොළඳ කතාවකුත් එහි ඉදිරිපත් කෙරෙනවා.

හීන සොයන සමනල්ලු බලන්න. ඒක සමාජ සත්තා යථාර්ථවාදී සිනමාවට හොඳ එකතු කිරීමක්. ලංකාවෙ ළමා සිනමාවට නැවුම් අත්දැකීමක්. ළමා චිත්‍රපට නමින් ළමාකාමීන් වෙනුවෙන් මෘදු කාම චිත්‍රපට හදන ලංකාවෙ ළමයින්ට ඔවුන් ජීවත් වන ලෝකයේ තිබෙන අසාධාරණය පෙන්වා දෙමින් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අරගල කරන හැටි හිතන්නට ඔවුන් පොළඹවන සමාජවාදී චිත්‍රපටයක්.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

8 comments:

  1. මුලින්ම ගිය ගමේ ඉස්කෝලෙ යුනිෆෝම් ඇන්දෙත් නෑ ටී ශර්ට් පවා ඇන්දා. ළමයි 450යි ගුරු 3යි

    ReplyDelete
  2. මම ගියේ ගමේ මහා විද්‍යාලයකට. ඉගැන්නුවේ හද්දා පිටිසර ඉස්කෝලවල. මේවායේ ළමයෙකුට නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට යන්නට නම් අසාමාන්‍ය දක්ෂතාවක් තිබී පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා නගරයේ පාසලකට යාමට හැකි විය යුතුයි. හැබැයි නගරයේ පාසල්වල ළමයින්ට සාමාන්‍ය දක්ෂතාවක් තිබේ නම් තමන්ගේ තැන ලබා ගත හැකියි.

    නිදහස් අධ්‍යාපනය කියන්නෙ තනිකර ප්‍රෝඩාවක්. වැඩ කරන ජනතාවගේ බදු මුදලින් නොමිළේ දෙන අධ්‍යාපනයේ හොඳම පාසල් ටික අල්ලා ගන්නේ ඉහළ මධ්‍යම පන්තික කොටස්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයත් එහෙමම තමයි.

    මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමේ හැකියාව ඇති දරුවන්ට ඒ සඳහා අවස්ථාව දීලා රජය සිය වැඩි අවධානය යොමු කරන්නට ඕනැ නගර පරිවාරයේ හා ගම්වල දිළිඳු පාසල්වල දරුවන්ගේ අධ්‍යාපනයටයි.

    ReplyDelete
    Replies
    1. මම ඉගෙනවත්තේ සුපිරිම (??) යැයි හඳුන්වන කොළඹ පාසලක.
      මතු කළ යුතු කාරණය නම්, නගරයේ පාසල් අතර ඉතාම දිළිඳු, ගම්වල පාසල් වලටත් වඩා නොදියුණු පාසල් තිබෙනවා. ඒවා කොළඹ නගරයේ ඕනෑ තරම් තිබෙනවා. පසුගිය කාලයේ එවන් පාසල් කිහිපයකට යන්න මට අවස්ථාවක් ලැබුණා . ඇතැම් පාසල් වල මේස පුටු කබඩ් ප්‍රමාණවත්ව නැහැ. තියෙන්නෙත් කසි කබල් දේවල්. කොළඹ නගරයේ එවන් පාසල් තිබීමම පුදුමයක්. විශේෂයෙන්ම ඉතා දුප්පත් දෙමල පාසල් සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.
      නිදහස් අධ්‍යාපනය විහිළුවක් වී ඇත්තේ ඊනියා සුපිරි පවුල් සඳහාද එහි පල ලබා ගැනීමට අවස්ථාව ඇති නිසා. කොළඹ රාජකීය විදුහලට යන දොස්තර පුතාටත් එය ලැබෙනවා. දොස්තර තම පුතාට විභාගය සමත්කර දීමට ලක්ෂ 10 වියදම් කරන්න පුලුවන් සල්ලිකාරයෙක්. එම පුතා අවුරුදු 12 ක් 13ක් පුරාම නොමිලේ අධ්‍යාපනය ලබනවා. එයට මෙරටේ දුප්පත්ම මිනිසත් බදු ගෙවනවා. කෙතරම් විහිලුවක්ද?.
      ඊනියා සුපිරි පාසල් වල ගෝත්‍රවාදී ආදී ශිෂ්‍ය සංගම් විසින් අරමුදල් තරකරනවා විවිධ ආකාරයේ ව්‍යපෘති හරහා. එම සංගම් අධ්රජ්‍යයක් ගොඩ නගාගෙන තියෙන්නේ. මට මෙහෙම යෝජනාවක් කරන්න පුළුවන්.
      මෙම ආදී සිසු සංගම් මගින් තරකරන අරමුදල් වලින් 25% (අවම) තමන් විසින් තෝරාගත් දුෂ්කර පාසලක දියුණුවට වියදම් කල යුතු බවට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ආදී සිසු ජාතික අරමුදලක් ගොඩ නගා එය භාණ්ඩාගාරයේ සහ විගණකාධිපති පාලනයක් හරහා, සෑම ආදී සිසු සංගම් වල සහභාගිත්ය යටතේ එම අරමුදල පාලනය කළ හැක. සියලු ගනු දෙනු විනිවිද බව රැකෙන ලෙස ඉටුකළ හැක.

      Delete
    2. ////ඊනියා සුපිරි පාසල් වල ගෝත්‍රවාදී ආදී ශිෂ්‍ය සංගම් විසින් අරමුදල් තරකරනවා විවිධ ආකාරයේ ව්‍යපෘති හරහා. එම සංගම් අධ්රජ්‍යයක් ගොඩ නගාගෙන තියෙන්නේ. මට මෙහෙම යෝජනාවක් කරන්න පුළුවන්.
      මෙම ආදී සිසු සංගම් මගින් තරකරන අරමුදල් වලින් 25% (අවම) තමන් විසින් තෝරාගත් දුෂ්කර පාසලක දියුණුවට වියදම් කල යුතු බවට ක්‍රමවේදයක් සකස් කළ යුතුයි. ආදී සිසු ජාතික අරමුදලක් ගොඩ නගා එය භාණ්ඩාගාරයේ සහ විගණකාධිපති පාලනයක් හරහා, සෑම ආදී සිසු සංගම් වල සහභාගිත්ය යටතේ එම අරමුදල පාලනය කළ හැක. සියලු ගනු දෙනු විනිවිද බව රැකෙන ලෙස ඉටුකළ හැක. //////////////

      ++++++++++++++++++++++++==

      Delete
  3. වහාම නරඹමි
    .dayal bathee

    ReplyDelete
  4. චිත්‍රපටිය බැලුවා. මමත් හරි ආසයි ඒ ෆිල්ම් එකට

    ReplyDelete
  5. දැන් දැන් ලාංකීය ළමා සිනමාව ඉතා දියුණු තත්වයේ තියනවා හඳයා ගෙන් පෝෂණය වූ ළමා සිනමාව සෝමරත්න බාලසූරිය වාගේ අයගෙන් පසුව අලුත් නිර්මාණකරුවනුත් මෙවැනි හොඳ නිර්මාණ එලි දැක්වීම ජාතියේ පිනක්
    විචාරක දියණිය

    ReplyDelete
  6. "සම්බෝල කඩන සෙල්ලම" සහ රගර් අතර වෙනස හොද නිරීක්ශනයක්.මමත් මුලදි හිටියෙ සම්බෝල කඩන පැත්තේ. දෙකම එකම spirit එක වුනත් අනෙකුත් කාරනා අතින් අහසට පොලව වගේ.රගර් ගහන එකාට සල්ලිද,ගෑනුද රස්සාද ඇතුලුව සියල්ලම ලැබෙද්දි අනෙකාට ඉතුරු වෙන්නෙ මතකය විතරයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.