2017-08-09

යුද්දෙ ගැන වෙනස් විදියක කතාවක්

වැලිඔය පිංතූර අන්තර්ජාලයේ නැති තරම්. හොයා ගත්තෙ මේක. 
වසර 1989 කැරැල්ලෙන් පසු ලැබූ මානසික තුවාලත් අරගෙන, ජනාධිපති ප්‍රේමදාස විසින් පවත්වන ලද ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගැනීමේ විභාගයෙන් වැඩි ලකුණු අරගෙන සමත් වෙලා මං ගියා පදවිය බලා.

තරුණ අසහන කොමිෂමේ නිර්දේශ පරිදි ඔය කාලෙ රජයේ සේවයට බඳවා ගැනීම සඳහා තරග විභාග රැසක් තිබුණා. මටත් ඔය තැපැල් මහත්තයෙකු, කෝට් ක්ලාක් කෙනෙකු, දුම්රිය ස්ථානාධිපති කෙනෙකු එහෙම වෙන්නට අවස්ථාව ලැබිලා තියෙද්දිත් මා අනුරාධපුරයෙනුත් කිලෝමීටර් 100ක් විතර ඊසානදිගට වන්නට පිහිටා තිබුණු පදවියේ මායිම් ගම්මානයක් වන බුද්ධංගල පාසලේ ගුරුවරයකු ලෙස තෝරා ගත් රැකියාව තමයි මගේ ජීවිතය වෙනස් කළේ.

දේශපාලනික වශයෙන් වෙනස් මගක යන්නට ඉවහල් වුණේ පදවියේදී හමු වුණ එච්.ඩී. පෙරේරා හා ඔහු හරහා හමු වුණ ජයතිලක බණ්ඩාරව, මහින්ද චන්ද්‍රසේකර වැනි අයයි.

ඔවුන් හැරුණාම, අපේ පාසල හා චමරිය ඇසුරේ හිටපු මතක හිටින මිතුරන් පිරිසක් හිටියා. දැන් කුලියාපිටිය ම.ම.වි. සේවය කරන නෙල්සන් වර්ණකුලසූරිය, දැන් පරාක්‍රමපුර පාසලේ වැඩ කරන සුදත් ගුණරත්න හා ඔහුගේ දරු පවුල, දැන් අලිවංගුව මහා විද්‍යාලයේ විදුහල්පති එස්. කේ. සේරසිංහ, දැන් මිනුවන්ගොඩ සේවය කරන උපුල් ගුණසේකර, මොරටුවේ සහස්රා ආයතනයේ අධිපති සරත් ජයවර්ධන, අපේ මුරකරු හේරත් අයියා, චමරියට නිතර ආ ගිය පසු කලෙක කැබිතිගොල්ලෑව කලාප අධ්‍යක්ෂ වුණ හේමපාල, අවාසනාවන්ත රිය අනතුරකින් මිය ගිය අබේපාල, පසුව උපැවිදි වුණ ධීරානන්ද හාමුදුරුවෝ, පිටුපස ක්වාටර්ස් එකේ හිටපු දැන් අනුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයකු වන උපාලි වගේ සොඳුරු මිතුරන් රැසක් එක්ක, කොටි ගහනකොට එහෙ මෙහෙ දුවමින්, බිය වෙමින්, ඒත් සතුටින් එක පවුලක වගේ ජීවත් වුණ ජීවිතය කිසිදාක අමතක කරන්නට බැහැ.

මේ සොඳුරු මිතුරන් අතරින් මට මගහැරී ගිය ගාමිනී චන්ද්‍රදාස තමයි මගේ ප්‍රාණ සම මිතුරා වුණේ. ගාමිනී ඉක්මණින් මාරුවක් හදාගෙන අපෙන් වෙන් වෙලා යනකොට මට ඒක මානසික අවපීඩනයක් වගේ වුණා.

කාටත් මගහැරී තිබුණ ගාමිනී චන්ද්‍රදාසව මා නිතරම හෙව්වා. අහම්බෙන් ෆේස්බුක් එකේ දැකපු යාවත්කාලීන නො වන ගිනුමක එල්ලිලා යන්තම් ඔන්න මෑන්ව අල්ල ගත්තා. අද අපි කතා කළා.

ගාමිනී යාපහුව පැත්තේ අති දුෂ්කර ගම්මානයක කණු මුල් උදුරලා අලුතින් ගොවි බිම් අස්වද්දපු සැබෑ ගොවියකුගේ පුතකු ලෙස ඉපිද, කෙතේ කමතේ වැඩ කර, අමාරුවෙන් උසස් පෙළ හදාරා, විද්‍යා පීඨයට ගොස් පළමු පත්වීම ලෙස ගජබාපුර ඉස්කෝලෙ ගුරුවරයකු ලෙස ගිය අහිංසක තරුණයෙක්. ගාමිනී මට හමු වෙනකොට ඔහු හිටියෙ ඇලිකිඹුලාගල විද්‍යාලයේ චමරියේයි. බිම් බෝම්බ, කොටි ප්‍රහාර බහුල, පාළු වනගත ගුරු පාරක් දිගේ වැලිඔය හරහා දවසකට කිලෝ මීටර් දහයක් විතර අසහනකාරී බයිසිකල් ගමනකින් යා යුතු පාසලක් තමයි ගජබාපුර. ඒ ජනපදය පිහිටුවා තිබුණේ මුලතිව් දිස්ත්‍රික්කයේ කලින් සිලෝන් තියටර්ස් ෆාම් ලෙස හැඳින්වුණ දෙමළ ජනවාසයක මිනිසුන් ඉවත් කරලායි.

මේ ගම්වල ජීවිතයටත් වඩා දිනපතා යන මේ ගමන අනතුරුදායකයි. මරණයත් අතින් අරගෙන කොහොම හරි ඉස්කෝලෙට ගිහින් ආපහු පණ පිටින් පරාක්‍රමපුර ඇලිකිඹුලාගල පාසලේ චමරියට එන එක දැවැන්ත අභියෝගයක්. ඒ වකවානුවේ ඒ ප්‍රදේශයේ ජීවත් වූ මිනිසුන්ට වඩා, පිටින් රැකියාවලට යන්නට සිදු වුණ, ගුරුවරුන් දෙතුන් දෙනෙකු උගන්වපු මෙවැනි පුංචි පාසල්වල ගුරුවරුන් හිටියේ දැඩි මානසික පීඩනයකින්. ඒක විෂාධයක් මට්ටමේ ම තියෙන්නට ඇති.

ඉතින් මේ සටහන ලිව්වෙ ගාමිනීට මුහුණ දෙන්නට සිදු වුණ එක්තරා සිදුවීමක් නිසායි. ඒ කාලෙ ගාමිනී මා වැඩ කළ බුද්ධංගල විද්‍යාලයේ අපේ චමරියේයි හිටියේ. ගජබාපුර අවුරුදු ගණනක් වැඩ කළ ඔහුට මා සිටි පාසලට මාරුවක් ලැබී තිබුණත්, ගජබාපුරට ගුරුවරයකු නැති වීම නිසා ඒ මාරුව ක්‍රියාත්මක වුණේ නැහැ. 

දවසක් ආපහු ඇවිත්, වෙනදා වගේ බතුත් නො කා, විටත් නො කා, ගාමිනී කා එක්කවත් කතා නො කර, බොහොම දුක්මුසු විදියට කල්පනා කර කර හිටියා. “ඇයි බං?" කියලා අහලා බොහොම අමාරුවෙන් තමයි විස්තරේ දැනගත්තෙ.

ගාමිනී රස්සාව දාලා ගෙදර යන්න හිතමින් සිටිද්දි බොහොම අමාරුවෙන් තමයි හිත හදලා ආපසු පාසලට ඇරියෙ. එහෙම නො වුණා නම්, දැන් මහනුවර නගරයේ පාසලක චිත්‍ර උගන්වන ගාමිනී ආපහු ගමේ කුඹුරු කොටන්නට යන්නට ඉඩ තිබුණා. ඒක සමහර විට ගුරු වෘත්තියට වඩා හොඳ වෙන්නත් ඉඩ තිබුණා.

ඒ කාලෙ වැලිඔය පැත්තෙ ඉතා පැහැදිලි දේශ සීමා මායිම් වැටක් තිබුණා. අතරින් පතර ග්‍රාමාරක්ෂක බංකර් සහිතව ඉදි කර තිබුණු මේ වැටෙන් එහා පැත්තට යන්නට සිවිල් වැසියන්ට අවසර තිබුණෙ නැහැ. ඒ වගේ ම, ඒ පැත්තට හමුදාව වුණත් ගියේ මෙහෙයුම් සඳහා විතරයි. ඔය කාලෙ හමුදාවෙ කුඩා කණ්ඩායම් මෙහෙයුම් සඳහා ගිහින් ආපහු එන්නෙ දින ගණනාවකට පස්සෙ. ඒවා එක්තරා විදියක ගරිල්ලා ස්වරූපයේ ප්‍රහාර. කොටින් කරපු විදියට ම තමයි හමුදාවත් මෙහෙයුම් කළේ. මේ මෙහෙයුම්වලට යනකොට ඇතැම් විට ගමේ මිනිහෙකුත් එක්කගෙන ගියා පාර හොයා ගන්නට. මේ මිනිසුන් දඩයක්කාරයෝයි. ඔවුන් කැළයට ගියේ සාමාන්‍ය විදියට සරම් කමිස ඇඳලා පන් මල්ලකුයි, තුවක්කුවකුයි අරගෙන.

දවසක් ගාමිනී පාසලේ උගන්වමින් ඉන්නකොට පාසල් වත්ත අසලින් ම මෙසේ මෙහෙයුමකට ගිය කුඩා කණ්ඩායමක් ආපසු හමුදා බල ප්‍රදේශයට ඇතුළු වුණා. ඒ එක්ක පාසලේ ළමයකුගෙ තාත්තා කෙනෙකුත් ආවා. බර පන් මල්ලකුත් අරගෙන හමුදා භට පිරිස පිටුපසින් මේ මිනිහා කඳවුර දිහාවට යන ගමන් ගාමිනීට කතා කළා.

“සර්, පොඩි බඩ්ඩක් පෙන්නන්න ද?"

“මොකක් ද?"

ගැමියා ගාමිනී ළඟට ඇවිත් පන් මල්ලේ කට විහිදුවලා පෙන්නුවා.

ඒකෙ තිබුණෙ බෙල්ල ළඟින් කපපු මිනිස් ඔළුවක්. කොටි නායකයකුගෙ හරි සාමාන්‍ය දෙමළ මිනිහකුගෙ හරි වෙන්න ඇති. කාගෙ වුණත් මිනිහෙකුගෙ.

මේ සිද්ධිය සිදු වුණේ 1994දීයි. වසර 2000දී විතර කොටි සංවිධානය ගජබාපුර පැත්ත සම්පූර්ණයෙන් ම අල්ලා ගත්තා. රජයේ හමුදා ගජබාපුර නැවත අල්ලා ගත්තෙ අවුරුදු අටකට පස්සෙ 2008දී. මේ ඒ වෙලාවේ ගත්ත වීඩියෝවක්.





ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

28 comments:

  1. Replies
    1. වැලි ඔය වුණේ මනල් ආරු. දෙමළෙන් මනල් කියන්නෙ වැලි. වේලි නෙමෙයි. මේ වැලිඔය මිසක් වේලිඔය නෙමෙයි.

      Delete
  2. මගේ මල්ලී ගියේ ලග්ගලින් එහා ලේඬියංගලට 1994 දී. එහේ හිටියේ කොටි නොවෙයි අලි.

    ReplyDelete
  3. වැලිඔයදී තමයි මා මුලින් ම මිනිස් මොළයක් පියවි ඇසින් දැක්කෙ. නිකවැව පැත්තෙ ගැටුමකින් පස්සෙ මා ලංකාදීප පුවත්පතේ පදවිය වාර්තාකරු විදියට එතනට ගියා. ඒ වෙලාවෙ වෙඩි ප්‍රහාරයට ලක් වුණ මිනිහකුගෙ අළු පාට මොළයක් පැත්තක වැටිලා තිබුණා. සිංහල මොළයක් ද, දෙමළ මොළයක් ද කියලා මට දැන් මතක නැහැ.

    ReplyDelete
  4. ඔය කියන වැලි ඔය තියෙන්නේ කොහෙද මොනරාගල අපි ඉන්න පැත්තෙත් වැලි ඔයක් තුබුණා මතකයි වැඩියෙන්ම තිබුනේ වැලි වතුර එන්නේ වහිනකොට විතරයි ඔය වගේම බෝඩ් එකක් ගහලා තිබුනා ඔය අයිනේ

    ReplyDelete
    Replies
    1. වැලිඔය ආරක්ෂක ජනපදය පිහිටා තිබෙන්නේ ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියා සහ අනුරාධපුර දිස්ත්‍රික්වල කොන් ඈඳෙන හරියක.

      Delete
  5. යුද්ධයෙන් පසු ගජබාපුර, ඇහැටුගස්වැව වැනි ප්‍රදේශ වල ජනතාව යලි පදිංචි කිරීමත් සමඟ මම ඒ පළාත්වල රාජකාරි කටයුතු සඳහා ගියා. ඇතැම් මිනිසුන් යන්තමින් ජීවිතය ගොඩ නගමින් සිටියා . ගොවිතැන ප්‍රධානයි. එක රැයකින් සියල්ල අතහැර දමා පල ගිය හැටි සහ නැවත පැමිණෙන විට සියල්ල සුන් වී ඇති ආකාරය ඒ මිනිසුන් කඳුළු පෙරමින් කිව්වා. සම්පත් නුවර හරහා අප ගිය මාර්ග හරිම දුෂ්කරයි. මිනිසුන් ජීවත් වීමට මෙතරම් දුක් විදින්නේ ඇයිද යන්න මට නිතරම වද දෙන ප්‍රශ්නයක් වුණා. ඒ මිනිසුන්ගේ ආත්ම ශක්තිය හරිම ප්‍රභලයි.
    රජයට වඩා රාජ්‍ය නොවන සංවිධාන ඒ මිනිසුන්ට සේවයක් කරමින් තිබුණා . ගොවිතැනට විශේෂ උපකාර රාජ්‍ය නොවන සංවිධාන කරමින් සිටියා.
    සඳහන් කළයුතු තවත් කාරණයක් වන්නේ, ඒ පළාතේ සැමියා අතහැර දැමූ දරුවන් සමඟ තනිවූ කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටියා. මහලු දෙමවුපියන් ඔවුන්ගේ එකම ආරක්ෂාවයි(?). ඒත් එම කාන්තාවන් දරුවන් සමඟ ජීවිතයට මුහුණ දෙමින් සිටියා .

    ReplyDelete
  6. අහ්.. ඇඟ හිරිවට්ටන මතක..

    මම ට්‍රින්කෝ නැවක ඉන්නකොට මගේ නැවේ කොල්ලෙක් හිටියා (කේටරින් ඇසිස්ටන්ට් කෙනෙක්) ගම පදවි ශ්‍රීපුර.. ඌ නිවාඩු ගිහිං එනකං ශුවර් නෑ.. කොල්ලෝ කියන්නේ ඌට නිවාඩුවට ඩබල් හාඩ්ලයින් දෙන්න ඕනි කියල :)

    ReplyDelete
  7. බුද්ධංගල ආනන්ද හාමුදුරුවෝ මහණ වුනේ මෙහේ පන්සලකද ?

    ReplyDelete
    Replies
    1. 1989 කැරැල්ල කාලේ ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරියා ය. ඒ කාලයේ ඔහුගේ බුද්ධි අංශ වධකාගාරය භාරව සිටි තරු ගලවන ලද නිලධාරියකු වූ ස්ටාෆ් නුගවෙල විසින් දත් කඩන ලද විශාල තරුණ පිරිසක් අනුරාධපුරයේ තවමත් සිටිති. ඒ නිසා ඔහුට අනුරාධපුරයෙන් නම් නිවන් යන එක ලේසි නැත.

      ඒ බුද්ධංගල අම්පාර පැත්තේ ය. මේ බුද්ධංගල පදවියේ ය. එය ද පැරණි රජ මහා විහාරයකි.

      Delete
    2. බුද්ධංගල ආනන්ද හාමුදුරුවෝ ගිහි කාලෙ පණපිටින් නිවන් යවපු තරුණයෝ රාශියක් ඉන්නවා. එතුමා කඳවුරට එනකොට හැමෝම වැඳ වැටිලා බුදු සරණයි කියන්න ඕනලු. එහෙම නොකියන එවුන් එදාම නිවන් යවනවලු. කොහොමද බෞද්ධාගමික ඇල්ම? එතුමගේ මල්ලි දැන් ඔය තරම් දඟලන්නෙ ජිනීවා ගිහින් හෙම අයියා වෙනුවෙන් තමයි මූලිකවම.

      Delete
    3. අරු මචන් මොකද බන් මේ වැදගත් මිනිස්සුන්ගේ නම ගහලා පෙනන්නේ ඒවා කෙත වැඩ මේවා වැදගත් බ්ලොග්..... සමහර කරපුවා ලියුවිට ඒවා මකලාම දානවා ඒවා නරකයි මේවා හොඳයි

      Delete
    4. මෑන් කොළ යුනිෆෝම් එක ගලවලා තැබිලි යුනිෆෝම් එකට මාරු වුනේ වන්දවගන්න තියෙන ආසාව හින්දමයි

      Delete
    5. ඔය බුද්ධංගල ආනන්දට රෑට නින්ද යනවද දන්නෙ නෑ. Sure එකටම මහන වෙන්න ඇත්තෙ ඒ කාලෙ නිවන් යවපු කොල්ලන්ගෙ සාපෙන් බේරෙන්න වෙන්න ඕනෙ

      Delete
    6. /කොළ යුනිෆෝම් එක ගලවලා තැබිලි යුනිෆෝම් එක/
      නියම කතාව බ්‍රෝ!

      Delete
    7. නුගවෙල තරැ ගලවපු නිලධාරියෙක් කියන්නේ ඇයි?ඔහු ස්ටාෆ් සාජන්ටි කෙනෙක් නේද?නිලධාරියෙක්ගේ තරැ ගැලෙවිවත් සාජන් තනතුරකට පහත දාන්නේ නෑ නේද?

      Delete
  8. මිනිස් ජිවිත සතපහට වැටිලා තිබ්බ කාලකන්ණි යුගයක් නම් ආයෙමත් කිසි දාක එපා.

    ReplyDelete
  9. මාත් ආසයි දුර ඉස්කෝලෙක නැවතිලා උගන්වන්න.ඒත් ඉතින් ගෙදර අය ,හිතවත්තු , යාළුවො මට පිස්සු කියල කියනවා.
    ඔය කාලයම මම වින්දෙ පහේ පන්තියෙ දරුවෙක් විදිහට. දැවෙන මල සිරුරු එක්ක. ගෙදර ඉන්නැතිව තැනින් තැනට මාරු වෙවී හැංගි හැංගි ඉන්න වුනේ ඒ වෙද්දි ඔබේ පාර්ශ්වය නියෝජනය කරපු රැකියාවක මගේ තාත්ත නිරත වෙලා උන්නු නිසා.
    කොහොම වුනත් ඔබේ මතය වෙනස් කරන්නට ඉඩ සලසපු එච්.ඩී. පෙරේරා මහතාට ස්තූති වන්ත වෙනවා.
    මනුස්ස ඔළුව ගැන කියනවා නම් පහේ ළමයෙක් වෙලා ඉද්දි පාරේ තැන තැන ගින්නට පිච්චෙන මනුස්ස සිරුරු දැක්ක මට මොනා හිතෙන්න ඇති ද?

    ReplyDelete
  10. "ඒකෙ තිබුණෙ බෙල්ල ළඟින් කපපු මිනිස් ඔළුවක්. කොටි නායකයකුගෙ හරි සාමාන්‍ය දෙමළ මිනිහකුගෙ හරි වෙන්න ඇති. කාගෙ වුණත් මිනිහෙකුගෙ. "

    මේ වගේ දේවල් ගොඩක් කොටිත් කළා. සිංහලුන්ගේ ඔලුත් ඔය වගේ බෑග් වල තියෙන්න ඇති.
    කවුද ඒව ගැන ලියන්නේ .....
    මේ වගේ දේවල් ලියන්න කලින් ටිකක් ඉදිරිය ගැන හිතල බලන්න.

    ReplyDelete
    Replies
    1. ,අම්මෝ කොටි ඒවා කලේ නෑ. බොරු නම් පැරාගෙන් අහල බලන්න.කලත් මොකද සුළු ජාතිකයොනෙ...ඒ අය වැරදි කලාට මහ ජාතිව වැරදි කරන්න හොඳ නෑ ඒකත් කාලෙකට කලින් පැරාමයි කිව්වෙ..

      Delete
  11. @පැරා, සමාවෙන්න මෙතනට අදාල දෙයක් නොවෙයි.

    මොකද්ද බං 'සාරප්‍රබාගිර' කියන්නේ? (සාර-ප්‍රබා-ගිර වචනවල තේරුම තේරෙනවා. ඒ වුනාට ඒ නමේ නිර්මාත්මක බව නම් අන්තිමයි. හරි ආටිෆිශල් ගතියක් තියෙන්නේ.) එනි වේ.. හෙට ඉඳල අහන්නයි යන්නේ (සිකුරාදා උදේ 8-9 FM 94.3, 94.5 MHz). සුබ පැතුම් ඉන් ඇඩ්වාන්ස්!

    [[මුලින්ම ඔය නම වෙනස් කරලා ඉන්න බැරිද? ;-) අර සුබාරතී කියන නමයි, ඒකෙ තේමා ගායනයයිත් මට නම් සෙට් වෙන්නෙ නැහැ. මොකක්ද මහම පසුගාමී ගතියක් තියෙන්නෙ (ඕක ඇහෙන කොට මට මතක් වෙන්නෙම හඩු ඩයල්ලෙකක්!). මේ මට හිතෙන හැටි.]]

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මේක අලුත් වැඩසටහනක් නෙමෙයි. දැනටත් විකාශය වෙන එකක්.

      Delete
    2. මං දන්නවා. මම කියන්න ගියේ කොනක ඉඳල - නම්ව්ල ඉඳල වෙනස් කරන්න වෙනවය කියල

      - Dimithri

      Delete
  12. මගේ පියා 2001 - 2005 වෙනකම් සේවය කළේ වැලිඔය 224 බලසේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරියා විදියට. යුද්ධයේ අඳුරු සෙවනැලි දකිමින් සිටින මිනිසුන්ට අවුරුදු උත්සව, ප්‍රජා සේවා , පාසල් ළමයින් වෙනුවෙන් දේශනා වැඩමුළු , රසවින්දන වැඩසටහන් රාශියක් ඔහුට කරන්න හැකියාව ලැබුනා. ඔහුගේ සහෝදරයා එවකට 223 වෙනි බලසේනා මූලස්ථානයේ බලසේනාධිපති විදියට කටයුතු කළා ඔවුන් දෙදෙනාගේ සේවා කාලයේ ඉතා කිට්ටුවෙන් සේවය කරපු එකල්ම අවස්ථාව එයයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ස්වෙිචිඡා බලකායට බැදෙන ගුරැමහතුන්ට පැවරෙන ඔය වගේ රාජකාරි ඔවුන් හොදින් කරනවා.තව පුනරැත්ථාපන කදවුරැ භාරවත් ඔවුන් කටයුතු කළා

      Delete
  13. විචාරක දියණිය කruණාකර ඔබේ පියා 1987/ 1991 වකානුව සේවයකළ තැන සොයා බලා දන්වන්න
    පුලුවන්ද කැම්පස් එකේ සමික්ෂනයකට වෙන් මොකකටවත් නොවෙයි

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.