2017-09-24

W3Lanka බ්ලොගයේ පනස් ලක්ෂයේ කඩඉම

ලිලී ගිමාරා ජීරසිංහ, යක්කලමුල්ල 

හේතුවෙන් නැන්දම්මාගෙ මළගම
හිටියෙ මම ගෙදරින් බොහෝ දුර
සතියෙ මැද මා වැඩට ආවත්
හිටියෙ කන්තෝරුවෙ නෙමෙයි මම

එහෙත් ජංගම දුරකථනයෙන්
බ්ලොග් එකත් අප්ඩේට් කෙරුවා
ඒකෙ ජංගම ස්වරූපය තුළ
අනේ හිට් කවුන්ටරය නැතුවා

හිට් කවුන්ටර් එකේ මිලියන
පහක් සලකුණු වන්න තිබුණා
ගෙදර ඇවිදින් අද බලන විට
එය පසුව හත් දහක් ගෙවිලා

හිතා හිටියත් ඒ නිමිත්තෙන්
අලුත් කලඑළියක් ගෙනෙන්නට
නික්ම ගිය හදිසියේ අම්මේ
අපට මොන සතුටක් ද සිත් තුළ

බ්ලොග් නො ලිව්වත් නොම කියෙව්වත්
පරිගණකයක් අත නො ගෑවත්
නැන්දම්මෙ ඔබ, ඔබේ දුව දුන්
ආදරෙන් මගෙ අකුරු හැඩ විය

ඒ නිසා මේ පනස් ලක්ෂයෙ
කඩඉමේ මේ බ්ලොගය අද දින
ඔබෙ නමින් පුද දෙනු හැරෙන්නට
වෙනත් යහපත් දෙයක් මට නැත

අජිත් පැරකුම් ජයසිංහ


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-23

හදවත ඉල්ලා

❤ මෙම සටහන උපුටා ගනු ලැබුවේ දිවයින පුවත්පතෙනි. මහනුවර රෝහලේදී හදවත් බද්ධයකට සූදානම් වෙමින් සිටියදී වෛද්‍යවරුන් අතර ඇති වූ කඹ ඇදීමක් නිසා බද්ධයට ගෙන ආ හදවත මිය යාමේ සිද්ධියට එම පුවත සම්බන්ධයි.

//නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ජගති පෙරේරා මහත්මිය මෙසේ කීවාය. "හදවතක්‌ බද්ධ කරද්දී පිළිවෙළක්‌ තියෙනවා. මේ සමහර වෛද්‍යවරු පළවැනි හදවත් බද්ධ කිරීමේ ශල්‍ය කර්මයෙන් පස්‌සේ තනි තනියම තමන්ව වර්ණනා කර ගන්න උත්සාහ කළා. මාධ්‍ය වලින් දැකපු අය මටත් කිව්වා. මේ සැරේ මේ ශල්‍යකර්මය කරන්න ලෑස්‌ති වෙනවා කියලා මට කිව්වේ නැහැ. මම සඳුදා රෝහලේ හිටියා. ඒත් මට කවුරුවත් මේ බව කිව්වේ නැහැ. ගිය පාර ශල්‍යකර්මය වෙලාවේ වෛද්‍ය ඥානකාන්තන් බොහොම මහන්සි වුණා. එයා ගැන කවුරුවත් කතා කළේ නැහැ. ශල්‍යකර්මයට පස්‌සේ ඒ ලෙඩාගේ ජීවිතේ රැකගන්න මායි මගේ කණ්‌ඩායමයි බොහොම වෙහෙසක්‌ ගත්තා. ඒවා කවුරුත් දන්නේ නැහැ. මේ සිස්‌ටම් එක හඳුන්වලා දුන්නේ වෛද්‍ය අනිල්. මේක ටීම් වර්ක්‌ එකක්‌. සාමූහිකව ම හැමෝම මේකට මහන්සි වෙන්න ඕනි. ඒක දන්නැතුවද මන්දා තනි තනියම තීරණ ගන්නවා.

"මම හවස කොළඹ ගියා. මගේ බබාගේ ජාත්‍යන්තර ක්‍රීඩා තරගයක්‌ තිබුණා. මම එයා එක්‌ක ඉන්න ඕනිනේ. අඟහරුවාදා රෝහල් අධ්‍යක්‌ෂකතුමා මට කතා කරලා කිව්වා, අනිත් දෙන්නාට ඒ කියන්නේ වෛද්‍ය ප්‍රියන්ත දිසානායකටයි වෛද්‍ය අරුණි ජයසේකරටයි උපදෙස්‌ දෙන්න ශල්‍යකර්මයට අවශ්‍ය කටයුතු ගැන කියලා. එතකොට මම ඇහුවා මොන ශල්‍යකර්මයද කියලා. ඒ වෙලාවෙ තමයි කිව්වේ, හදවතක්‌ බද්ධ කරන්න යනවා කියලා. ඔය කියන ලෙඩා බොහොම දුර්වලයි. හරි අමාරුයි එයාගේ පසුවිපරම් කරන්න."//

මෙතන තියෙන දෙය තේරුම් ගන්නට මේ ප්‍රකාශය ප්‍රමාණවත්. ඕනැම කුණු ගොඩක් පසුපස සිටින මාධ්‍යවලටත් මෙහි වගකීම පැවරෙනවා.

⁣සාමාන්‍යයෙන් රජයේ රෝහල්වල තිබෙන අඩුපාඩු අනුව හදවත් සැත්කම් තබා තුවාලෙක⁣ට බෙහෙත් දැමීම සම්බන්ධයෙන්වත් වගකියන්නට බැහැ ය කිව හැකියි. සැලකිලිමත් නො වීම පිළිබඳ වගකීම්වලින් ගැලවෙන්න⁣⁣ට නීතියේ සිදුරක් සොයා ගැනීමත් අමාරු නැහැ.

මෙම නිර්වින්දන ⁣⁣වෛද්‍ය විශේෂඥවරිය⁣ දිවයින පුවත්පතට කරන ප්‍රකාශයෙන් ම ඇයට තිබෙන සැබෑ ප්‍රශ්නය කියවෙනවා. එය කීර්තිය, පිළිගැනීම, අභිමානය පිළිබඳ ප්‍රශ්නයක්. ඒ සියල්ලටමත් වඩා හදවතක් නැතිකම පිළිබඳ ප්‍රශ්නයක්.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-21

රෙද්ද උස්සා වාර්තා තැබූ මෝඩ මනමාල ජෝඩුවක්

ලංකාවේ මිනිසුන්ට ලෝකයේ හෝ ආසියාවේ හෝ දකුණු ආසියාවේ හෝ බැරිනම් ලංකාවේ හෝ පළමු, ලොකුම, දිගම, උසම මෙව්වා එක වෙන්නට තිබෙන්නේ මාර ම උනන්දුවකි.

එහෙත්, ලෝකයේ හොඳම මිනිස් නිර්මාන කිසිවක් ලංකාවේ දැන් හැදෙන්නේ ද යන්න සැක සහිත ය.

ලංකාවේ මිනිසුන් ගුණය අහිමි කර ගනිමින් ප්‍රමාණය විශාල කර ගන්නට දරන උත්සාහය විසින් වත්මන් ලංකාවේ සංස්කෘතික හරය ම ප්‍රකාශයට පත් වේ.

ආගම් අනුව ජීවත් වෙනවා වෙනුවට සිදු වන්නේ මල් කෝටියක්, පහන් අසූ හාරදාහක්, චෛත්‍ය වටා ඔතන සිවුරක්, මළුව වැසෙන තරම් පලතුරු ආදිය පිදීම, කටු ගොඩක් ඇ‍ඟේ ගසා ගැනීම, ඇපල්වලින් තොරන් ගැසීම වැනි විකාර ය.

මෙම මානසිකත්වයේ නවතම ප්‍රකාශනය වන්නේ ලොව දිගම ඔසරිපොට නාඩගමයි. ඒ පිළිබඳ ලංකාදීප පුවත්පතෙහි පළ වී තිබිණි.

ගැටඹේ මංසන්ධියේ සිට ඊරියගම මංසන්ධිය දක්වා දිග හරින ලද මීටර් 3200ක රෙද්දක් උස්සාගෙන සිටීමේ මෙම විකට ජවනිකාවට ප්‍රවාහනයට බාධා කරමින් මහාමාර්ගය යොදාගෙන ඇති අතර, පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කර රෙද්ද ඉස්සීම සඳහා ඔවුන් යොදවා තිබේ.

ඒ සඳහා මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක ද රෙද්ද ඉස්සිල්ලට සහභාගි වී ඇත.

මානසික රෝගීන්ගේ ලෙඩ නිසා කරන මෙවැනි ඇඳගැනිලි වෙනුවෙන් පාසල් දැරියන් 250කගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට වගකිව යුත්තේ කවුරුද යන්න සෙවිය යුතු ය. ගිනස් පොතට යැවිය යුත්තේ සාරි ඇන්ද මෝඩිය නොව අන්න ඒකා ය.

මෙම අවස්ථාවේ ඇති වූ මාර්ග තදබදය නිසා ආර්ථිකයට සිදු වූ හානිය ද, එතැනට ගිය දේශපාලකයන්ගේ වාහනවලට ඉන්ධන, කාර්ය මණ්ඩලවලට වැටුප් හා පොලිසියේ වැටුප් ද, පාසල් සිසුන්ගේ අධ්‍යාපනයට සිදු වූ හානිය ද පියවන්නේ මේ පිස්සු මනමාලිය නො වේ. මේ රටේ මහජනතාවයි.

මෙවැනි මෝඩ වාර්තාවලට ඔබත් හවුල් වෙනවා ද? 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-19

ඔය ළමයා තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් තාත්තට එන්න කියපන්

මෑත වකවානුවේදී පළමු වතාවට තමයි දින පහකට පසුව බ්ලොග් සටහනක් තබන්නෙ. බ්ලොගයට එන්නට නො ලැබුණේ මගේ නැන්දම්මාගේ මරණය නිසා ය.

ලිලී ගිමාරා ජීරසිංහ 1936 වසරේ අකුරැස්සේ සාමාන්‍ය පවුලක උපන් දියණියක්. ඇගේ පියා ඉහළ නිලධාරියකුට පහර දීම නිසා රස්සාව නැති කරගෙන සුළු ව්‍යාපාරවල යෙදුණු හිටපු පොලිස් නිලධාරියෙක්. ඇගේ මව ඔහුගේ දෙවන කසාදයයි. රජයට අයත් ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මේ දැරියගේ ජීවිතය වෙනස් වුණේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ආරම්භ වුණ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනුයි.

ඇගේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබුණේ මධ්‍යම පන්තික පවුලක දැරියක හා ඇයයි. විදුහල්පතිනිය ශිෂ්‍යත්වය සමත් වීම ගැන කියා ඇයට පියා කැටුව එන්නට කීවේ මෙහෙමයි: “ඔය ළමයා (අනෙක් දැරිය) තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් (මගේ නැන්දම්මා) තාත්තට එන්න කියපන්."

සිංහල මාධ්‍යයෙන් රජයේ පාසලක ඉගෙන ගනිමින් සිටි ඇයට කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මුල්ම මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක් වූ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලැබුණේ පහේ ශිෂ්‍යත්වය නිසා ය.

ඇය තෙලිජ්ජවිල පාසලේ ඉගෙනුම ලබමින් සිටින අතර ඇගේ මව මිය ගියා ය. වරක් නිවාඩුවට ගෙදර යන විට ඇගේ බාල ම නැගනිය බලා ගැනීම සඳහා දක්ෂ සිසුවියක වූ ඇගේ නැගනිය පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර පාසල් ගමන නවතා තිබුණු බව ඇය මා සමග කීවේ මහත් කණගාටුවෙනි. මේ නැගනිය දිළිඳු ගොවියකු සමග විවාපත් වී තවමත් දිළිඳු ජීවිතයක් ගත කරයි. මගේ නැන්දම්මා ඇය වෙනුවෙන් බොහෝ දේ කළේ ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන ඇති වූ ශෝකය නිසා ය. ඒ ඉරනම මගේ නැන්දම්මාට අත් වී නම් ඇය ද එසේ වන්නට බොහෝ ඉඩ තිබිණි.

ජ්‍යේෂ්ඨය සමත් වූ පසු ඇය වැඩිදුර අධ්‍යාපනය නවතා ගුරු වෘත්තියට බැඳුණා ය. පසු කලෙක අකුරැස්සට වඩා ගම්බද ප්‍රදේශයක් වූ යක්කලමුල්ලේ කරාගොඩ ගමේ සිංහල පුහුණු ගුරුවරයකු සමග විවාපත් වූ ඇය විශ්‍රාම ලබන තුරු ම ගමේ පාසලේ ඉංග්‍රීසි උගැන්වීමෙහි යෙදුණා ය.

ගම්බද පාසල්වලදී ඇගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් ගත හැකි ප්‍රයෝජනය රටට ලැබෙන්නට ඇතැයි මම නො සිතමි. ඇය හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි, ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කළ, ඉංග්‍රීසි බස ගැන නො නැසුණු ඇල්මක් මරණය ආසන්න කාලය දක්වා ම නඩත්තු කර ගත් පැනසර මනසක් ඇති තැනැත්තියකි. හිටි හැටියේ දුරකථන ඇමතුමක් දී ඇතැම් සිංහල වදනකට සමාන ඉංග්‍රීසි වදන කුමක්දැයි ඇය මගෙන් බොහෝ වර අසා ඇත. භාවිතය අඩු වීම නිසා අමතක වී යන භාෂා දැනුම රැක ගැනීමට ඇය නිරතුරු උත්සාහ කළා ය.

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ, මීරිගම ගුරු විද්‍යාලයේ ඇය සමග එකට සිටි පැරණි මිතුරන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීම ද ඇගේ සිරිතක් විය. වර්තමානයේ බොහෝ ඉංග්‍රීසි ගුරුවරුන් ළඟ නැති ඉහළ ප්‍රමිතියක් ඇය සතු විය. එහෙත්, එයින් ප්‍රයෝජනයක් නො ගැනිණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වනාහි සාමාන්‍යයෙන්මත් ගල් බොරළු යට යමින් ගොමරිති උඩ මතු වන තැනකි.

ඇගේ දෙවන දියණිය හා විවාපත් වූ මට ඇගේ විශේෂ කැමැත්තක් තිබුණේ මා එවකට ඉංග්‍රීසි ගුරුවරයකු වූ නිසා වන්නට ද ඇත. යුද්ධයට විරුද්ධව හා දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වැඩ කිරීම නිසා මගේ පළමු දියණිය ලැබෙන්නට සිටියදී මට ස්වයංව රටින් පිටුවහල් වන්නට සිදු වූ අවස්ථාවේත්, මගේ දියණිය උපන් දාට පෙර දා මා වෙන දෙයක් වුණාවේ ය කියා ලංකාවට පැමිණ, දරුවාත්, බිරියත් සමග මගේ නැන්දම්මාගේ හා මාමණ්ඩියගේ නිවසේ සැඟවී සිටි සමයේත්, මට ගුරු රැකියාව අහිමි වී සිටි වසර දෙකහමාරක පමණ කාලයේදීත්, මරණය දක්වාමත් ඇය මා කෙරෙහි තිබූ ආදරය, සෙනෙහස බිඳකිනුදු අඩු නො කළා ය. 

ජනප්‍රිය නො වන මතයක් දැරීම නිසා මා අමාරුවේ වැටී සිටි යුද කාලයේ මා උපන් පවුලෙන් පවා මට කෙණහිලි සිදු විය. බියෙන් පළා යමින් සිටි මා සමග මගේ බිරිය තැනින් තැනට ගිය ඇතැම් විටක ඇය ද කාරයේ පසුපස අසුනේ සිටියා ය. ඒ දොම්නස් වකවානුවේ ඇගේ මුවින් කිසිදු මැසිවිල්ලක් නැඟුණේ නැත.

ඇගේ ජීවිතය ගැන ඇය මුළුමනින් ම තෘප්තිමත්ව සිටියේ නැත. ඇගේ අතෘප්තියට හේතුව කුමක් ද යන්න ඇය දැන සිටියේ නැත. ඇයත්, ඇගේ සැමියාත් අතර කිසිදු අඬදබරයක් තිබුණේත් නැත. ඇගේ දරුවන්ගේ ජීවිත ද අසාර්ථක ඒවා නො වේ. ඇය විහිළුවෙන්, තහළුවෙන් සතුටින් ජීවත් වූ ගැහැනියකි. ඇගේ මරණය දැනගත් අප මිත්‍ර සිසිර යාපා මට සිහිපත් කළේ ඇය සම්බන්ධයෙන් මා ඉස්සර කියූ කරුණකි. ඒප්‍රන් එකක් ඇඳ කුස්සියේ උයන ගාලු දිස්ත්‍රික්කයේ එකම ගෘහනිය ඇය බව මා ඉස්සර කී වග සිසිරට මතක තිබිණි.

ඇය සතුව අපූරු සාහිත්‍යයක් ද තිබිණි. සමාජ සේවය කළ ඇගේ සැමියා සොයා පැමිණෙන අයට ඇය මෙසේ කියයි: “අන්න සුදු සරොං වගයක් ඇඳලා ගියා. යක්කලමුලු යන්න ඇති."

සරොං වගයක්, කමිස වගයක් වැනි ජන වහරක් දකුණේ ඇද්දැයි විපරම් කර බැලූ මට දැන ගන්නට ලැබුණේ එය ඇගේ වාංමාලාවේ පමණක් ඇති යෙදුමක් බවයි. ගෙදරදොර මනා ලෙස පවිත්‍රව තබා ගන්නට කැමති ඇය මසකට දෙකකට වරක් මුළු නිවස ම අස් කර, සියලු දේ සෝදා පිරිසුදු කර ගත්තා ය. මේ වැඩේට ඇය කිව්වේ ග්‍රාස්හෝප් කරනවා ය කියා ය. එය කුමන භාෂාවකවත් ඇති වදනක් නො වේ.

ඇයට තිබූ ප්‍රශ්නය මා තේරුම් ගත් ආකාරයට නම් ස්වාත්ම ඵලසාධනය සම්බන්ධ ගැටලුවකි. ස්වාත්ම ඵලසාධනය ලෙස සිංහලට පරිවර්තනය වන්නේ self-actualization නම් සංකල්පයයි. එයින් අදහස් වන්නේ යමෙකුගේ දක්ෂතා හා කළ හැකි දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා ඒවා උපරිමයෙන් භාවිතා කිරීමයි.

ස්වාත්ම ඵලසාධනය යනු අප කවුරුත් ජීවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාරණයකි. මුදල් ඉපැයීමෙන්, ගෙවල් හැදීමෙන්, දරුවන් තැනීමෙන් පමණක් ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි ය. ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි වූ කල ඇති වන්නේ අතෘප්තියකි. මෙය ලංකාවේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. පිරිමින්ට තරම්වත් ස්වාත්ම ඵලසාධනය සඳහා අවස්ථා ගැහැණුන්ට නො ලැබේ. පවුල හා විශේෂයෙන් ම දරුවන් සම්බන්ධ වගකීම් එයට එක් ප්‍රධාන හේතුවකි. බොහෝ දෙනෙක් තමන්ට අහිමි වූ දේ කුමක් ද යන්න පවා තේරුම් ගැනීමට අසමත් වේ.

මගේ නැන්දම්මාට ස්වාත්ම ඵලසාධනය පිළිබඳ තම ගැටලුව හඳුනා ගන්නට නො හැකිව අතෘප්තිමත් මහළු වියක් ගත කිරීමට සිදු වුණත්, ඇය ඇරියස් නැතුව ජීවත් වන්නට තරම් ප්‍රබල චරිතයක් වූවා ය. සංදර්ශනාත්මක ලෙස ආගම් ඇදහීමක් නො කළ ඇය දිනපතා මල් පහන් පුදා පෞද්ගලිකව බුදු දහම අනුව ජීවත් වූවා ය. අනුන්ට ඉරිසියා, ක්‍රෝධ නො කළා ය. ධනයට, බලයට, දේපලවලට, රන් රිදීවලට ආශා නො කළා ය. අස්ථි දුර්වල වීම නිසා වරක් ඇගේ කොන්ද බිඳිණි. මගේ බිරිය ඇතුළු ඇගේ දරුවෝ වැර වෑයමින් ඇය සුවපත් කර ගත් හ. එහෙත්, නැවත වරක් ඇද වැටී අස්ථි ආබාධයකට ලක් වූ ඇයට යළි සුවපත් වීමේ දිරිය නො තිබිණි. මිය යන්නට සති ගණනාවක පෙර සිට ම ඇය ජීවිතය අත්හැර සිටියා ය. මියැදෙන්නට තරම් රෝගාබාධයක් නො තිබුණු ඇය සොයා ක්ෂණයකින් මරණය පැමිණියේ ය.

ඇගේ කතාව මා මෙහි සටහන් කරන්නේ ස්වාත්ම ඵලසාධනය ගැන සිතන්නට යමක් ඇය අප හමුවේ ඉතිරි කර ගිය නිසා ය. ඔබේ දක්ෂතාවන් හඳුනා ගන්නටත්, ඒවායෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් ඔබ උත්සාහ කරනවා ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-14

අලින් මරනවා ද? මිනිසුන් මරනවා ද? ගහණයන් පාලනය කරනවා ද?

පින්නවල අලි අනාථාගාරය අසලදී දුටු දසුනක් 
ස්වාධීන රූපවාහිනියේ 'කවුද ඇත්ත කියන්නෙ?' වැඩසටහනේදි නයනක රන්වැල්ල ඉදිරිපත් කළ අදහස් ඉතා වැදගත්. (වැඩසටහන මෙතනින් නැරඹිය හැකියි.) ඒ තුළ සතුන් පිළිබඳ දැනුම සම්භාරයක් අඩංගු වුණා. ඒ බොහොමයක් කරුණුවලට විරුද්ධ වෙන්නට හේතුවක් මධ්‍යස්ථ මතධාරියෙකුට නැහැ. හේතුව, සොබාදහමේ තුලනය, ගහකොළ, සතා සීපාවාට සහ පරිසරයට ආදරය කිරීම වැනි දේ ඉතා හොඳ ආකල්ප.

ඒ වුණාට පරිසරවාදීන්ගේ මූලික ගැටලුවත් නයනක රන්වැල්ල මෙම සාකච්ඡාවේදී පෙන්නුවා. ඒ තමයි පරිසරය සම්බන්ධයෙන් අනම්‍ය වීම හා මිනිසා පරිසරයේ ම කොටසක් ලෙස නො තැකීම.

මිනිසා කියන්නෙත් සතෙක්. මේ සතා වෙනත් සතුන්ගෙන් වෙනස් වන්නේ ඔහුගේ අති විශිෂ්ට බුද්ධිය නිසා. ඔහු කොතරම් බුද්ධිමත් සතෙකු ද යත්, මිනිසා දන්නවා තමන් මිහිපිට බිහි වී තිබෙන්නේ පරිණාමීය කාලයන් අනුව දිගු කාලීන පැවැත්මකට නො වන බව. එහෙම බැලුවා ම තමන් නියත වශයෙන් ම විනාශ වීමට නියමිත බව දැනගෙන මිහි පිට ජීවත් වන එකම සත්වයාත් මිනිසා ම තමයි. කැරපොත්තාට, ඉබ්බාට, කිඹුලාට පසුව පරිණාමය වූ මේ අපූරු සතා ඒ සතුන්ට පෙර වඳ වී යාමත් සිදු විය හැකියි.

විනාශ වීමට පෙර මිනිසා සමස්ත පෘථිවියත්, අවට ග්‍රහ ලෝක කීපයකුත් වෙනස් කරනවා. මේ වෙනස ඇතුළේ ඔහු සත්ව ලෝකයේ පූර්ණ ආධිපත්‍යය තහවුරු කර ගන්නා බව නියතයි. ඔහු සොබාදහමට පරාජය වුවත්, මදුරුවාටවත් නැවත වටයකින් පරාජය වෙයි කියා සිතන්නට අමාරුයි. හෝමෝ සේපියන් සේපියන් මානවයාට කිසිදාක වෙනත් සතුන් අභියෝගයක් වී නැහැ, මදුරුවා හා ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් තරම්. අලින් වැනි පරිණාමයේ ඉදිරියෙන් සිටින සතුන්ට නම් මිනිසාට අභියෝග කිරීමේ කිසිදු හැකියාවක් නැහැ. ඔවුන්ට මිනිස් රැකවරණය නැතුව පැවැත්මක් නැහැ. මේක තමයි සොබා දහම හා මිනිසාගේ මැදිහත්වීම පිළිබඳ ඇත්ත.

අප ලංකාව උදාහරණයකට ගත්තොත්, ලංකාවේ මුල්ම විධිමත් ජන සංගණනය කර තිබෙන්නේ හර්කියුලිස්‌ ජෝර්ජ් රොබට්‌ ආණ්‌ඩුකාරයාගේ කාලයේ 1871දීයි. ඒ වන විට ලංකාවේ ජනගහනය ලක්ෂ 24යි. ඒ කාලය වන විට ලංකාවේ මුළු භූමියෙන් 50%කට වඩා වනාන්තර. එහි ජීවත් වූ අලින් සංඛ්‍යාව 15,000ක් විතර යයි අනුමාන කෙරෙනවා. ඇත්තෙන් ම කියනවා නම්, වතු වගාව කළ ඉංග්‍රීසි වැවිලිකරුවන් විශාල අලි සංහාරයකුත් කළා. 

වසර 2011දී, එස්.එම්. චන්ද්‍රසේන වනජීවී ඇමති කාලයේදී පරිසරවාදීන්ගේ විරෝධය මැද අලි සංගණනයක් කළා. එහි ගණන් ගැනීම අනුව ලංකාවේ වන අලි 5800කට වැඩි ගණනක් ජීවත් වුණා. 

අවුරුදු 140කට පසුව 2011 වන විට ලංකාවේ ජනගනය මිලියන 20.4ක් ඒ කියන්නේ 1871 වන විට සිටි ජනගහණය මෙන් නවගුණයක් විතර දැන් ලංකාවේ ජීවත් වෙනවා. වසර 2040 විතර වන විට ලංකාව උපරිම ජනගහනයට ළඟා වේවි. එය මිලියන 22 සිට 25 අතර ගණනක් විය හැකියි.

ලංකාවේ දැනට ජීවත් වන ජනගහණයෙන් ලක්ෂ 40ක් පමණ දැනටත් මන්දපෝෂණයෙන් පෙළෙනවා. මන්දපෝෂණයට මූලික ම හේතුව, දුප්පත්කම විතරක් නෙමෙයි. නූගත්කමත් එයට බලපානවා. ලක්ෂ 40ක් පමණ ජනයා දිගු කාලීනව බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර ගනිමිනුත් ඉන්නවා. ප්‍රශ්න ගොඩයි.

මේ ප්‍රශ්න මැදට තමයි තවත් ලක්ෂ 50ක ජනගහනයක් අලුතෙන් එකතු වීමේ ඉඩක් තියෙන්නේ. එතකොට ඔවුන් පදිංචි වන්නේ කොහේ ද? ඔවුන්ට අවශ්‍ය ආහාර වගා කරන්නේ කොහේ ද? ඔවුන්ට අවශ්‍ය රැකියා නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්ත පිහිටුවන්නේ කොහේ ද? මේ මිනිසුන්ට අවශ්‍ය බලශක්තිය නිපදවන්නේ කොහොම ද?

රටකට සංවර්ධනය අවශ්‍ය වන්නේ එහෙමයි. සංවර්ධනයත් එක්ක වනාන්තර විනාශ වෙනවා. ගම් පුළුල් වෙනවා. යුද්ධය අවසන් වීමෙන් පසුව පදවිය ජනපදයේ සිට වන්නි වනාන්තරය හරහා වවුනියාව දක්වා ම අලුතෙන් ගම් බිහි වුණා. පාරවල් හැදුණා. යුද්ධය කාලේ අලින්ගෙන් පදවි ජනපදයට කරදර තිබුණෙ නැහැ. දැන් වන අලි පදවි ජනපදයට කඩා වදින නිසා ගොවිතැනක් බතක් කර ගැනීම දුෂ්කර වෙලා. කන්න හතරක් ම නියඟය නිසා පාළු වී ගිය නිසා තමයි ඒ පැත්තෙන් ලොකු අලි මිනිස් ගැටුමක් වාර්තා නොවන්නේ. මේ බව අපට කිව්වෙ ඒ පැත්තෙ ගුරුවරයකු හා සමාජ ක්‍රියාකාරිකයකු වන සුදත් ගුණරත්න මිතුරායි.

අපට සංවර්ධනය එපා ද? සංවර්ධනයත් එක්ක වනසතුන්ට භූමිය අහිමි වී යාම අප කළමනාකරණය කර ගන්නෙ කොහොම ද? නාලක ගුණවර්ධන කියන්නා සේ අපට සෑම මීමින්නා ගැන ම අධි සංවේදී විය හැකි ද?

නයනක රන්වැල්ල වැනි පරිසරවාදීන්ගේ තර්කවල ගැටලුව තමයි, වන සතුන් ගැන අධි සංවේදීභාවයක් ඇති කරන්නට උත්සාහ කිරීම. උදාහරණයක් විදියට රිලවුන්, වඳුරන් එක ගෙඩියක් කෑමට ගෙඩි පහක් විනාශ කර දැමීම ගැන ඔහුට තිබෙන තර්කය ගන්න. ඔහු කියන්නේ එය වන වගාව සඳහා අවශ්‍ය දෙයක් බවයි. එය ඇත්ත විය හැකියි. ඒත්, අප ජීවත් වන්නේ මිනිසුන්ටත්, සතුන්ටත් බරපතල විදියට ආහාර හිඟ යුගයක. අනෙක් පැත්තෙන් වනාන්තර වගා කිරීම පවා විද්‍යාත්මකව ඉතා පරිසර හිතවාදී ලෙස කරන්නට මිනිසුන් අද වන විට දන්නවා. ඔහුට අවශ්‍ය නම් එය කළ හැකියි. ඒ වැඩේ වෙනුවෙන් වඳුරන්ට, රිලවුන්ට, දඬුලේනන්ට කුරුම්බැට්ටියේ සිට බෝග විනාශ කිරීමට ඉඩ දෙන්නට බැරි වකවානුවකයි අප ජීවත් වන්නේ.

නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන කියන්නා සේ අප පරිසර අන්තවාදීන් මෙන් ම සංවර්ධන අන්තවාදීන් ද නො විය යුතුයි. සංවර්ධනය වෙනුවෙන් සමස්ත පරිසරය ම බිලි දෙන්නටත් අපට බැහැ. එහෙම කරලා මිනිසාට තම පැවැත්ම තහවුරු කර ගන්නටත් බැහැ. අපට තිබෙන්නේ මැද තැනක් විතරයි. එහිදී මිනිසාට සත්ව ගහණයන් පාලනය කිරීමට සිදු වීම වැළැක්විය නො හැකි ය. වඳ වීමේ තර්ජනයට ලක් වී සිටින කළු වඳුරා වැනි සතුන් සංරක්ෂණය කිරීමට පියවර ගැනීම ද මේ පාලනයේ ම කොටසකි.

අපට අනිවාර්යයෙන් ම ජනගහනය පාලනය කරන්නට ද සිදු වෙනවා. එතනදී නයනක රන්වැල්ලට වෙන නඩුවකුත් තියෙන බව පෙනුණා. බොහෝ අය හිතන්නේ සිංහල, දෙමළ ජනගහනය අතර වර්ධන වේගය අඩු වෙද්දී මුස්ලිම් ජනයා අතර වර්ධන වේගය වැඩි බවයි. මේ පිළිබඳ ඇත්ත තත්වය අපි මීට බොහෝ කලකට පෙර පෙන්වා දුන්නෙමු.

ජන සංගණන අනුව, 1881දී සිංහලයන්ගේ ප්‍රතිශතය 66.91%කි. 2011 සංගණනය වනවිට මෙම ප්‍රතිශතය 74.88%කි.

ශ්‍රී ලාංකික මුස්ලිමුන්ගේ ප්‍රතිශතය 1881දී 6.69%කි. 2011දී 9.23%කි.

1881දී ශ්‍රී ලාංකික දෙමළ ප්‍රතිශතය 24.90%කි. එය 2011 වනවිට 11.21%කි වී තිබේ.

1911 සංඛ්‍යාලේඛන අනුව ඉන්දියානු දෙමළ ජනගහණය 12.93%ක්ද, ලාංකීය දෙමළ ජනගහණය 12.86%ක්ද විය. 2011 වන විට ඉන්දියානු දෙමළ ජනගහණය 4.16%කි.

ඉහත සංඛ්‍යාලේඛන අනුව බලන කල ඉතා පැහැදිලිවම සිංහල ජනගහණයේ ප්‍රතිශතය වැඩි වී තිබේ. වෙනත් ජාතීන් සිංහල ලෙස ස්වීකරණය වීමට වැඩි නිදහසක් ලැබේනම් තත්වය තවත් වෙනස්වන්නට පුළුවන.

ආගම් අනුව ගත්තත් 1881දී 61.53%ක් වූ බෞද්ධ ප්‍රතිශතය 2012 වනවිට 70.19%ක් දක්වා වැඩිවී තිබේ.

මුස්ලිම් ජනගහණයේ සාපේක්ෂව වේගවත් වැඩිවීමක් 1981 - 2012 කාල පරිච්ඡේදය තුළ දකින්නට ලැබෙන බව සත්‍යයකි. ප්‍රතිශතය වැඩිවීම 2%කට මඳක් වැඩිය. මෙම වකවානුව තුළ සිංහල ජනගහණයේ ප්‍රතිශත වර්ධනය 1%ට අඩුය.

සිංහලයන් අතර සිය ජාතිය සම්බන්ධයෙන් භීතියක් ඇතිකරන්නට උපයෝගී කරගන්නේ මේ සංඛ්‍යාලේඛනයි. එහෙත්, ‍අප සිතන පරිදිනම් යම් ජාතියක් වඩා දියුණු තත්වයට පත්වනවිට ඉබේම ජනගහණ පාලනයක් ඇති වේ. අධික ජනගහණයක් ඇති සමාජ කණ්ඩායම් අතර දිළිඳුකමද අධිකය.

ලංකාවේ ජාතීන් අතර ඇති මෙවැනි ප්‍රශ්න ෆෙඩරල් දීමෙන් විසඳන්නට බැරි ය. මාක්ස්වාදී ආණ්ඩුවක් පිහිටෙව්වා ය කියා මේවා කිසි සේත් ම විසඳෙන්නේ නැත. හේතුව ප්‍රශ්නය ගැන අවබෝධයක් ඔවුන්ට නැතිකමයි. ජාතීන් අතර ප්‍රශ්නයට විසඳුම අන් කිසිවක් නොව, ජාතීන් ඉක්මවා ගිය පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීම බව අපි කලක සිට කියන්නෙමු. අප වැඩ කරන්නේ ඒ වෙනුවෙනි. ලංකාවේ සංවර්ධනය ද එහිදී ඉතා වැදගත් ය. පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගිය හැක්කේ සංවර්ධනයත් සමගයි.

අප එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් වී සිටින ආණ්ඩුවකට උපකාර කරන්නේ ඇයි ද යන්න තේරුම් ගැනීමට බැරුව අඤ්ඤකොරොස් වී සිටින අයට රජයේ 'V2025 පොහොසත් රටක්' සංවර්ධන සැලැස්ම කියවන ලෙස අපි යෝජනා කරමු. එයට විකල්ප ඉදිරිපත් කිරීමට ඕනෑම දේශපාලන පක්ෂයකට පුළුවන. දැනට කිසිවෙක් එවැනි විකල්පයක් ඉදිරිපත් කර නැත.

අනෙක් කාරණය තමයි, පාරිභෝජනය පාලනය කිරීම. ඒ ගැන වැඩිදුරටත් පසුවට.

කවුද ඇත්ත කියන්නෙ බලන්නට පුළුවන් මෙතනින් >>

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-11

කොරේ පිටට මරේ හෙවත් සංවර්ධන නිලධාරි හා පළාත් පාලන මන්ත්‍රීන්

තවත් සංවර්ධන නිලධාරීන් 20,000ක් බඳවා ගන්නට නියමිත බව ආණ්ඩුව පවසයි. රජයේ රැකියා බලාගෙන උපාධි සහතික ලබා ගත්, වෙනත් රැකියාවක් කිරීමට සුදුසුකම්, කුසලතා නැති, එහෙම නැතිනම් ඵලදායී වැඩක් කිරීමට උවමනාවක් නැති තවත් පිරිසක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගාල් වනු ඇත. 

මහින්දගේ කාලයේ මෙවැනි පත්වීම් 80,000ක් දෙන ලදී. එම ඊනියා සංවර්ධන නිලධාරීන් සංවර්ධනයට දේශපාලකයන් තරමට ම කොඩිවිනයක් විය. මේ අතර සිටින ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස හැඳින්වෙන පිරිස අතරින් වැඩිදෙනෙකුට වැඩක් ඇත්තේ ම නැත. ඇතැම් උපාධිධාරී සංවර්ධන නිලධාරි මහතුන් කළේ බැසිල්ගේ දිවි නැගුමෙහි ඇට පැකට් බෙදීම වැනි පොඩි පොඩි අතානාත්තු ය. 

හැබැයි, මේ කාටත් ලංකාවේ ආර්ථිකය උසුලාගෙන සිටින සැබෑ වැඩ කරන ජනයා අතරින් වැඩි දෙනෙකු ලබන වැටුපට වඩා වැටුප් පමණක් නොව, මහජන මුදලින් මෝටර් සයිකල් ද ලැබිණි. 

තවත් සංවර්ධන නිලධාරීන් 20,000කට රැකියා දෙන එක නරක යයි අපි නො කියමු. හැබැයි මේ සංවර්ධන නිලධාරීන් ලක්ෂයම දැන්වත් හරිහමන් විදියකට වැඩට යෙදවිය යුතු ය. සෑම ගමකට ම සේවය සැලසීම සඳහා බලතල සහිත නිලධාරීන් 35ක් පමණ සිටින රටක ගමේ මිනිහාට යම් තරමකට පහසුවෙන් සොයා ගත හැක්කේ ග්‍රාම සේවක හා මිඩ්වයිෆ් නෝනා පමණි. කෘෂි සංවර්ධන නිලධාරීන් දස දහස් ගණනක් සිටින රටක දවසින් දවස ගම්වල කුඹුරු මෙතරම් පුරන් වන්නේ කෙසේ ද? ඒ සම්බන්ධයෙන් මෙම නිලධාරීන් විගණනයට ලක් නො වන්නේ ඇයි?

මහජන මුදලින් වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් ආදියට හිමිකම් කියන මෙම නිලධාරීන් රටේ සංවර්ධනය සඳහා ඇත්තෙන් ම සේවයට යෙදවිය යුතු ය. එය කරන්නේ කෙසේ ද?

ලලිත් වීරතුංගගේ හිස් මුදුනට වැදුණු ටොක්ක සමග රජයේ ඉහළ නිලධාරීන් නීතියට පිටින් වැඩ නො කළ යුතු බවට සිහිපත් කරමින් මුත්‍රා බර හැදෙන්නට ඇත. 

මහජනතාවගේ පැත්තෙන් මීළඟ පියවර ගත යුත්තේ වැඩ නො කර කර අරින, අයිස් ගහන, බොරු කරන, ජනතාව පීඩාවට පත් කරන රජයේ සේවකයින් මට්ටු කිරීමට ය.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වැදගත් වන්නේ මෙතැනදී ය. 

පළාත් පාලන නියෝජිතයන් ගම් මට්ටමේ රාජ්‍ය සේවා නිරීක්ෂකයන් බවට පත් කළ යුතු ය. ගමේ පළාත් පාලන නියෝජිතයා ලවා ගමට අදාළ රාජ්‍ය නිලධාරීන් සේවයට කැඳවා ගත යුතු ය. රජයෙන් සිදු වන අසාධාරණකම් හා නො කෙරෙන දේවල් සම්බන්ධයෙන් ජනතාව බලමුළු ගැන්වීමට පළාත් පාලන නියෝජිතයන් කටයුතු කළ යුතු ය.

රටට ඉදිරියට යන්නට නම්, සිදු වන ප්‍රතිපත්ති වෙනස්කම්වලින් ප්‍රයෝජන ගෙන ගමේ සංවර්ධනයට වැඩ කළ හැකි බිම් මට්ටමේ සැබෑ නායකයන් පිරිසක් මෙම පළාත් පාලන මැතිවරණය හරහා ගොඩනගා ගන්නට සියලු පක්ෂ මහජනතාවට උපකාර කළ යුතු ය. 

පළාත් පාලනය උදේනි අතුකෝරළලාගෙන් සංකේතවත් වන යුගය අවසන් කිරීමට ඉදිරි පළාත් පාලන මැතිවරණය අවස්ථාව කර ගනිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-08

හිරේ යන එක මාර ෆන් ද? (රජයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට)

කට කණේ ගෑවෙන තරමට පනාව දාගෙන අත් උස්සාගෙන හිරේ යන දේශපාලකයන් කෙළින්ම යන්නේ බන්ධනාගාර රෝහලට ය. ගෙවන වාට්ටුවලට යන අයත් සිටිති.

හිරේ යන එක ෆන් වැඩක් නො වන බව එයින් ම පෙනෙනවා ය.

හිරේ ජීවිතය ගැන හිතාගන්නට උවමනා නම් බැඳලා හදන බල්ලකුගේ ජීවිතය හිතින් මවා ගන්න.

එය ඉතා කටුක ය. විශේෂයෙන් ම, වියපත් මිනිසුන්ට එය ඉතා දුෂ්කර ය. ප්‍රියයන්ගෙන් වෙන් වී ජීවත් වන්නට සිදු වීම එහි ඉතාම කටුක තත්වයයි.

සිරදඬුවමකට ලක්ව බන්ධනාගාරගත වූවෙකුට සිය පවුලේ අය පමණක් මසකට වරක් හමු විය හැකි ය. ආහාර පාන කිසිවක් පිටතින් ගෙන්වා ගැනීමට බැරි ය. බිරියන්ගෙන්, සැමියන්ගෙන්, දරුවන්ගෙන් හිටි හැටියේ එසේ වෙන් වීම පහසු නැත. එය දුරකථන ඇමතුම්, ස්කයිප් කෝල් සහිතව පිටරට චාරිකාවකට ගියා සේ නොවේ.

ලංකාවේ සිරගෙවල්වල සාමාන්‍යයෙන් ඇඳන් නැත. මදුරු දැල් නැත. මා සිතන පරිදි මදුරු කොයිල් පවා තහනම් ය. විදුලි පංකා නැත. සාමාන්‍ය වාට්ටුවල නම් විවිධ රෝගාබාධ ඇති, අපිරිසිදු, කුඩුකාර, කොලුකාර, ඒඩ්ස්කාර, මදාවි, පිස්සු ආදී විවිධාකාර ඩයල් සමග එකට වැටී සිටිය යුතු ය. දළයන්ගේ හෙවත් බලවත් හිරකාරයන්ගේ උදහසට ලක් වුණොත් නිදාගන්නට සිදු වන්නේ ඩස්බින් එක හෝ කක්කුස්සිය හෝ ළඟ ය.

සෙල් හෙවත් සිරමැදිරි තුළ එක්කෝ තනිව, නැතිනම් තුන්දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සමග රැය පහන් වන තුරු සිටිය යුතු ය. සෙල් එකට දමා වැසූ පසු පසුදා පහන් වන තෙක් මුත්‍රා, මළපහ කළ යුතු වන්නේ ඒ සඳහා දෙන බාල්දියකට ය. එය කුටිය තුළ ම තබා ගත යුතු ය. මේ කුටිවල බොහෝ විට වාතාශ්‍රය දුර්වල ය. සාමාන්‍යයෙන් සියලු සිරගෙවල් අධික ලෙස තදබද ය.

සිරගෙදරට අඳින ජම්පරය යයි කියන කොට කලිසම හා බැනියම සහිත ඇඳුම ඉතා රළු එකකි. බලවතුන්ට අවසර ගෙන ගෙදරින් සීමිත ඇඳුම් සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට පුළුවන. එහෙත්, එහි ස්වභාවය ද කලින් කී පරිදි ම ය.

නාගැනීම නලාවට අනුව ය. ශාරීරික පිරිසිදුකම පවත්වා ගැනීම ලෙහෙසි නැත.

සාමාන්‍යයෙන් උදේට පාන් හා පොල් සම්බෝල ද, දවල්ට හා රෑට මස් හෝ මාළු හෝ බිත්තර හෝ සමග බත් ද ලැබේ. බෙරි වූ, නීරස, නිසි ලෙස නො සෝදන ලද ආහාර ලැබීම සාමාන්‍ය දෙයකි. කල්දේරම්වල තම්බන ලද උඩ තෙල් පාවෙන තේ යයි හැඳින්වෙන කහට වර්ගයක් ද බාල හකුරු සමග දිනකට දෙවරක් ලැබේ.

හිරගෙදරදී රසට ප්ලේන්ටියක් බොන එක පවා ඉතා දුෂ්කර ය. තත්වය හිතා ගන්නට ඒ ඇතැයි සිතමි. 

දුරකථන ඇමතුම්, අන්තර්ජාලයට පිවිසීම, අවසර සහිත මාධ්‍ය හැර වෙනත් මාධ්‍ය පරිහරණය නීති විරෝධී ය.ලියුම් ලිවීමට පවා අවසර ඇත්තේ මාසයට දෙකකි. එය ද තැපැල් කිරීමට පෙර කියවනු ලැබේ. එන ලියුම් ද කියවා ඇතැම් කොටස් වාරණය කරනු ලැබේ.

රෝගාබාධ සහිත අයට වෛද්‍ය නිර්දේශ මත බන්ධනාගාර රෝහලට ඇතුළත් විය හැකි ය. තදබල රෝගාබාධ ඇති අය මාංචු දමා, ආරක්ෂාව සහිතව ප්‍රසිද්ධ රෝහල්වලට ඇතුළත් කරනු ලැබේ.

බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලද අයට කිසියම් වැඩ කණ්ඩායමක හෙවත් පාටියක වැඩ කරන්නට ද සිදු වේ.

සිරගෙදර වනාහි ලිංගික අපයෝජන බහුල තැනකි. පිරිමින් විසින් පිරිමින්ව දූෂණය කිරීම සුලබව සිදු වේ. පැමිණිලි කරන්නට ගියොත් උණු පොල්තෙල් ඇස්වලට ගසා අන්ධ කිරීම, හැංගී සිට කටුවලින් ඇණ තුවාල කිරීම හෝ මරා දැමීම වැනි ක්‍රියා කරන අය සිටිති. ඇතුළේ සිටින සිරකරුවන් ලවා තරහකරුවන් මරා දැමීමේ සිට බලෙන් ගුද සංසර්ගය කිරීම දක්වා දේ කොන්ත්‍රාත් දෙන්නට ද පුළුවන්කම තිබේ. මේවා ගැන කියා ආරක්ෂාව ඉල්ලන්නට පුළුවන. එවිට ඔබට පැය 24 ම සිර කුටියක් තුළ සිටිය හැකි ය.

බලවතුන්ට බන්ධනාගාර පරිපාලනයට බලපෑම් කර හෝ අල්ලස් දී හෝ හිතවත්කම් මත හෝ යම් වරප්‍රසාද ලබා ගත හැකි මුත්, ඒවා අයිතිවාසිකම් නො වන නිසා පොරවල් සේ සිටින්නට බැරි ය. ඒ වෙනුවෙන් දරන්නට සිදු වන වියදම් ඉතා අධික ය.

හිනා වෙවී හිරේ යන අය ගේට්ටුවෙන් ඇතුළු කර ලියාපදිංචි කිරීමේ පටිපාටිය හරහා යන විට අභිමානය අවසන්ව, අවමන් සහගතබව හා ආත්මානුකම්පාව සමග අවපීඩනයට පත් වෙති.

ඔය අව් අස්සේ සිරේට නියම වන ප්‍රභූන් බන්ධනාගාර රෝහලට ඇතුළත් වන්නේ කෙසේ ද යන ප්‍රශ්නය බාහිර සමාජයේ මාධ්‍ය විසින් මතු කරන විට, බන්ධනාගාර නිලධාරීන්ට ද තමන්ගේ රස්සාවට කෙළවා ගන්නවා ද නැතිනම්, නීති ප්‍රකාරව කටයුතු කරනවා ද යන්න ගැන දෙවරක් සිතන්නට සිදු වේ.

බන්ධනාගාර නිලධාරීන් ගැන කියන්නට තිබෙන්නේ මෙයයි. යම්කිසි ලක්ෂණ නිසා අප පොලිස් නිලධාරීන් නරක යයි කියනවා නේද? එම ලක්ෂණ පැත්තෙන් බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන්ට වඩා අන්ත ය. ඔවුන් සාමාන්‍යයෙන් ගත් කල සිරකරුවන්ට කතා කරන්නේ, සලකන්නේ ඉතා අවමන් සහගතව ය. 

මධ්‍යම පංතික මිනිසුන්ට, ගැහැණුන්ට සිරගෙදර ජීවිතය කිසි සේත් ම දරා ගත හැකි එකක් නො වේ. එය අතිශය පීඩාකාරී අත්දැකීමකි. කිසි දිනෙක කිසිවකුට අත් නො විය යුතු ශෝචනීය ඉරණමකි.

සිරගත නො වන පරිදි වැඩ කරන්නට අප පරිස්සම් විය යුත්තේ එහෙයිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-07

රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවක්

ලලිත් ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු නිසා තත්වයේ බරපතලකම දනියි. ඔහුගේ මුහුණින් පෙනෙන්නේ එයයි. අනුෂ පැල්පිට මෑත වකවානුවේදී දේශපාලනයෙන් ඉදිරියට පැමිණි නිලධාරියෙකි. ඔහුට බරක්පතලක් නැත. 
ලලිත් වීරතුංග හා අනුෂ පැල්පිට මහජන මුදල් වංචා කර, මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඡන්ද අල්ලස් ලෙස සිල් රෙදි බෙදූ බව ඔප්පු වී තිබේ. ඡන්ද ලබා ගැනීම සඳහා මේ අල්ලස් දීම මෙහෙයවූ පිරිස් නිරුපද්‍රිතව සිටියදී නෛතික වගකීමට උර දුන් රාජ්‍ය නිලධාරීන්ට දඬුවම් විඳින්නට සිදු වීම ඉතා වැදගත් ය.

මේ වනාහි රාජ්‍ය නිලධාරීන් කණ් කෙටි දෙකෙන් අල්ලා උස්සා දෙපයින් සිටුවන නඩු තීන්දුවකි.

කවුරුන් වුණත් සිරගත වීම හොඳ දෙයක් නො වේ. ලලිත් වීරතුංග වැනි ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකුට මෙසේ වීම ඉතා අවාසනාවන්ත ය. එහෙත් කරන්නට දෙයක් නැත. ඔවුන් මේ පක්කලිකම් කළේ මීයක් කඩා අත ලෙවකන්නට ම නො වේ.

මේ අය රාජපක්ෂලාට සේවය කර පස්සා පැත්තේ අත් පිසදා ගත් අය ද යන්න ඔවුන්ගේ පවුල්වල දේපල සම්බන්ධයෙන් විමර්ශනයක් කළොත් හෙළිදරව් කර ගත හැකි ය.

කෙසේ වෙතත්, ඔවුන් සිරගත වන්නේ සමස්ත රාජ්‍ය සේවයම නඟා සිටුවීම වෙනුවෙනි. ඔවුන් දෙන පණිවුඩය වන්නේ රාජ්‍ය නිලධාරීන් තමන් සේ කටයුතු නො කළ යුතු බව හා එසේ කළ හොත් සිදු වන්නේ මෙය බවයි. මොවුන්ගේ විශ්‍රාම වැටුප් ආදී වරප්‍රසාද අහෝසි වී යයි. අනාගතයේ යම් සමාවක් ලැබුණත් ඒවා ආපසු ලැබෙන්නේ නැත. ඔවුන්ට යම් සහනයක් ලබා ගන්නට ඉඩක් ඇත්තේ අභියාචනය හරහා පමණි.

ලංකාවේ රාජ්‍ය අංශය තුළ දූෂණය ඉහවහා යන්නටත්, දේශපාලනය සොරුන්ට ම සින්න වන්නටත් මූලික හේතුව රාජ්‍ය අංශයේ පරිහාණියයි. මේ සම්බන්ධයෙන් රාජ්‍ය අංශයේ පරිපාලන හා කළමනාකාර ශ්‍රේණිවල නිලධාරීන් විශේෂයෙන් වගකිව යුතු ය.

තනතුරු ලබා ගැනීම, ඒවායෙහි වැජඹීම, වරප්‍රසාද භුක්ති විඳීම, රට යාම, සෙස්සන්ගෙන් පළි ගැනීම, අයථා ආදායම් ලබා ගැනීම වැනි උවමනාවන් වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන් පසුපස යාමත්, දේශපාලකයන් රාජ්‍ය නිලධාරීන් පාවිච්චි කිරීමත් ආරම්භ වූයේ එකට ම ය. වර්තමානය වන විට රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන පරිහාණියට දේශපාලකයන් වගකිව යුතු තරමට ම රාජ්‍ය නිලධාරීන් ද වගකිව යුතු ය.

දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වැඩියෙන් දූෂිත ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීහු සිටිති. ඔවුහු දේශපාලකයන් තරමට ම මහජන මුදලින් වරප්‍රසාද භුක්ති විඳිති. එහෙත්, දේශපාලකයන් තරම්වත් මහජනතාවට වග නො කියති.

පසුගිය කාලයක් මුළුල්ලේ ම, විශේෂයෙන් ම ලංකාවේ වම හා ජනමාධ්‍ය රාජ්‍ය නිලධාරියා සුරතල් කරමින් දේශපාලකයා පිට සකල දෝෂ පටවන ප්‍රචාරණයක යෙදී සිටියහ. මෙය දූෂිත රාජ්‍ය නිලධාරීන්ට ලැබුණු කදිම ආවරණයක් විය. එහෙත්, දීනකම අයිතිවාසිකමක් නො වේ. දේශපාලනය නිසා හරියට වැඩ කරන්නට බැරි නම් ඒ රැකියාවලට නො ආ යුතු ය. තමන්ට පහළින් සිටින අය පීඩනයට ලක් කරන විට හෝ ඔවුන්ට තමන් දේශපාලකයන් ඉදිරියේ හැසිරෙන ආකාරය සිහිපත් විය යුතු ය.

සංඛ්‍යාත්මකව ගත්තොත්, දේශපාලකයන් සංඛ්‍යාව සුළු ය. එහෙත්, ඒ හා සමාන වරප්‍රසාද මහජන මුදලින් භුක්ති විඳින රාජ්‍ය නිලධාරි තන්ත්‍රය ගතහොත් දේශපාලකයන් සංඛ්‍යාව මෙන් පනස් ගුණයක් පමණ වේ.

අප මේ කරන්නේ දේශපාලකයන් නිදොස් කිරීමක් නො වේ. අප උත්සාහ කරන්නේ දේශපාලකයන්ගේ පිටුපස සැඟවී සිටින රාජ්‍ය නිලධාරීන් ද එළියට ඇද දැමීමයි.

ග්‍රාමසේවකගේ සිට, කාර්යාල කාර්ය සහායකගේ සිට, පාසල් මුරකරුවාගේ සිට ඇතැම් රජයේ සේවකයන් වනාහි මහජනතාවට පාට් දාන චණ්ඩි, වැඩ නො කරන වංචාකාරයෝ සහ අල්ලස් ගන්නෝ ය. රාජ්‍ය සේවකයාගේ කොන්ද බිඳ දමා ඇති ය යන ජනප්‍රිය කතාවක් ඇත. එහෙත්, වඩා බරපතල තත්වය වන්නේ රාජ්‍ය නිලධාරියා ඉදිරියේ මහජනයාගේ කොඳු බිඳ දැමීමයි.

දේශපාලකයන් මෙන් ම රාජ්‍ය නිලධාරීන් ද නො බියව ප්‍රශ්න කරන මහජනතාවක් ගොඩනැගිය යුතු ය.

ලලිත් වීරතුංග නඩුව යනු හුදු පුද්ගලයකු සම්බන්ධ කාරණයක් නො වේ. සමස්ත රාජ්‍ය ව්‍යූහයක් ම ප්‍රතිසංස්කරණය කිරීමේදී ගෙවිය යුතුව තිබෙන මිළකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

පරණවිතානගේ අලුත් සංකල්පය හෙවත් සුභද්‍රගේ අභද්‍ර වචනය

ලංකාවට අලින් වැඩි බවට කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය ඇමතිවරයා කළ ප්‍රකාශය වැරදි සභාවකට කළ නිර්භීත ලෙස ඇත්ත කීමකි. මෙතරම් අලි-මිනිස් ගැටුමක් ඇත්තේ ද දෙපාර්ශ්වයේ ම මරණ වාර්තා වන්නේ ද අලින් වැඩි නිසා ය.

අලින් වැඩි බව බොරුවක් නම් ඉතා පැහැදිලිව ම මිනිසුන් වැඩි ය. මිනිස් ගහණය පාලනය කළ යුතු ය. එය ද නිසි පරිදි සිදු වන්නේ නැත. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ අය ජනගහනය පාලනය කරනවාටත් විරුද්ධ ය. අලි ගහණය පාලනය කරනවාට විරුද්ධ ඇතැම් අය ඔවුන් අල්ලා, ජීවිත කාලයට ම බැඳ තබාගෙන, වධ දෙමින් පෙරහරේ ගෙන යනවාට පක්ෂ ය. මේකත් ලෝකයක් ද මර්තේලිස්. 

ජනගහණ වර්ධනය සම්බන්ධයෙන් වැදගත් සාධකයක් වන්නේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකයයි. සාමාන්‍යයෙන් මෙයින් අදහස් වන්නේ ප්‍රජනන වියේ සිටින කාන්තාවන් සාමාන්‍යයෙන් ලබන දරුවන් සංඛ්‍යාවයි.

බොහෝ රටවල් සම්බන්ධයෙන් ගත් කල, 2.1ක සමස්ත සාඵල්‍යතා අනුපාතිකය ජනගහණය තිබෙන මට්ටමෙන් පවත්වා ගැනීමට ඉවහල් වේ. එයට ප්‍රත්‍යාදේශන සාඵල්‍යතා අනුපාතිකය යයි කියනු ලැබේ.

වසර 2011දී කරන ලද ජන සංගණනය අනුව ලංකාවේ සමස්ත සාඵල්‍යතා අනුපාතිකය 2.4කි. එය බංග්ලාදේශයේ තත්වයටත් වඩා නරක අගයකි.

කලින් මිලියන 22ක පමණ උපරිමයකට ළඟා වනු ඇතැයි උපකල්පනය කළ ලංකාවේ ජනගහණය වසර 2040 පමණ වන විට මිලියන 25ක් පමණ වනු ඇතැයි ජනවිකාස විද්‍යා මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ප්‍රක්ෂේපණය කරයි. මේ පිළිබඳ විද්වතුන් අතර වෙනස් මත තිබේ.

කෙසේ වෙතත්, ලංකාවේ ජනගහණයට තවත් ලක්ෂ 50ක පමණ පිරිසක් එකතු වීමට ඉඩ තිබේ. එවිට ඔවුන්ට අලුතෙන් නිවාස, ජල පහසුකම්, ආහාර, ඉඩම් වැනි බොහෝ දේ අවශ්‍ය වනු ඇත.

වැඩි වන අලි ගහණයකුත් සමග වැඩි වන මිනිස් ජනගහණයක් තුලනය කර ගන්නා ආකාරය ලංකාවේ OMDV පරිසරවාදීන් හා ආගමික අන්තවාදීන් වහා පැහැදිලි කර දිය යුතුය. එවිට එ් අනුව ප්‍රතිපත්ති සම්පාදනය කළ හැකි ය.

OMDV පරිසරවාදීන් යනු කවරෙකුදැයි දන්නවා ද? OMDV= ඕනැ මළ දානෙකට විරුද්ධ

ලංකාවේ පාලනය කළ යුතු සත්ව ගහණයන් රැසකි. ඒ අතර, රිලා, වඳුරු, වල් ඌරු, කිඹුල්, මැසි, මදුරු ආදීහු වෙති. අවධානය යොමු නොවූ වඳුරු මිනිස් ගැටුම පිළිබඳ මෙම ලිපියෙහි විස්තරයක් තිබේ. 

OMDV පරිසරවාදීන් විසින් පැහැදිලි තෝරාගැනීමක් කළ යුතුව තිබේ. ඒ වනාහි මිනිස් ගහණය තීරණාත්මක ලෙස පාලනය කරනවා ද නැතිනම් මිනිසා සත්ව ගහණය හා සොබා දහම පාලනය කරනවා ද යන්නයි. 

මෙම පරිසරවාදීන්, දේශපාලකයන් හා විවිධ පටු අරමුණු මත ඔවුන් පසුපස වැටෙන ජනතාව නිසා ශ්‍රී ලංකාවේ වැඩි වන ජනගහණයට සරිලන සංවර්ධනයක් සිදු වන්නේ නැත. හැමෝටම විදුලිය අවශ්‍ය ය. ඉන්ටර්නෙට් අවශ්‍ය ය. සන්නිවේදනයෙන් මුළු රට ම ආවරණය විය යුතු ය. හැබැයි, ජල විදුලි ව්‍යාපෘතිත් එපා ය. ගල් අඟුරු බලාගාරත් එපා ය. එල්.එන්.ජී. හෙවත් ද්‍රව ස්වාභාවික වායුත් එපා ය. සුළං බලාගාරත් එපා ය. 

මෙම සටහන තබන මොහොත වන විටත්, අගලවත්ත ප්‍රදේශය ගංවතුර තර්ජනයට ලක් වී තිබේ. ලංකාවේ වැඩිම ජල ධාරිතාවක් ඇති ගඟ වන කළු ගඟෙහි වතුර රඳවා ගන්නට ඇති එකම ජලාශය වන කුකුළේගඟ ජලාශයෙහි විදුලිය නිෂ්පාදනය සඳහා ජලය රඳවා ගත හැක්කේ මීටර් දෙකක් උසට පමණක් බව ඔබ දන්නවා ද? එය ජලාශයක් ලෙස හඳුන්වන්නට පවා වාරි ඉංජිනේරුවෝ කැමැත්තක් නො දක්වති. එය එතරම් කුඩා ය. මේ ජලාශය විශාල කරන්නට ඉඩ නො දුන්නේ කවුරු ද? තම මහා ඉඩම් යායවල් රැක ගැනීම වෙනුවෙන් ඉඩම් අහිමි වන කුඩා ඉඩම් හිමියන් කුපිත කරවූ දේශපාලකයන් එක පැත්තකින් සිටිති. අනෙක් පිරිස වන්නේ ජලාශය විශාල කළහොත් සිංහරාජයේ කොටසක් විනාශ වන බව කියමින් එයට විරුද්ධ වූ පරිසරවාදියෝ ය. ජලාශය ඉදි කළේ නැති ය කියා සිංහරාජය ආරක්ෂා වෙනවා නම් කමක් නැත. ජලාශයත් නැත. සිංහරාජයත් නැත. ගංවතුර ඇත. දැන්වත් ජනතාව මේ සංවර්ධන විරෝධී ඊනියා පරිසර අන්තවාදීන් ගැන අවබෝධ කර ගත යුතු ය.

OMDV පරිසරවාදීන් යනු පාරිභෝජනවාදීහු පිරිසකි. එයට මූලික හේතුව වන්නේ ඔවුන් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවාදීන් වීමයි. ව්‍යාපෘතිවාදය යනු සමාජ දේශපාලන දර්ශනයකින් තොරව, ප්‍රශ්න හෙවත් ඔවුන්ගේ භාෂාවෙන් ඉෂූස් වෙනුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන පිරිසකි. මේ ව්‍යාපෘති ගැන ද කීමට තිබෙන්නේ අනෙකුත් රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ගැන කියන්නට තිබෙන දේ ම ය. එම අරමුදල්වලින් වැඩි ප්‍රතිශතයක් වැය වන්නේ ද උත්සව ධනවාදය හා කාමසුඛල්ලිකානු ජීවිත ගත කරන නිලධාරීන්ගේ වැටුප් වෙනුවෙනි. උත්සව ධනවාදය යනු කුමක්දැයි මෙම ලිපියෙන් හඳුනාගන්න. 


ලංකාවේ පාලනය කළ යුතු පරපෝෂී මිනිස් ගහණයන් ද කීපයක් තිබේ. ඒවා මෙසේ ය:

  • දේශපාලකයන්
  • රජයේ නිලධාරීන්
  • රාජ්‍ය නොවන සංවිධාන
  • වෘත්තීය සමිති නායකයන්
  • කලාකරුවන් යයි කියන නලාකරුවන්
  • ජනමාධ්‍ය‘වේදීන්'
  • සල්ලි පොළියට දෙන්නන්


මේ වනාහි රිලවුන්, වඳුරන් වැනි පිරිසකි. හේතුව, ඔවුන් එක ගෙඩියකින් කෑල්ලක් කන්නේ ගෙඩි දහයක් බිම දමමින් නිසා ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-05

රේඩියෝ සංස්ථාවේ වෙළඳ දැන්වීම් සේවයේ නම වෙනස් කිරීම

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ නම ටිකක් පරණ තාලෙ එකක්. හැබැයි, ඒ නම පත්තියම් වුණ එකක්. ඒ නිසා එය වෙනස් කළ යුතු ද කියන ප්‍රශ්නය ඇසූ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති සුදර්ශන ගුණවර්ධනට ලැබෙන්නට ඇති පිළිතුර සිතා ගත හැකියි.

රින්සෝ කියන සෝදන කුඩු වර්ගයේ නම ලංකාවෙ සමාජයට කොයි තරම් පත්තියම් වුණාද කියනවා නම් අද පවා වෙනත් සෝදන කුඩු වර්ගයක් භාවිතා කරද්දි පවා මිනිස්සු රින්සො දානවා ය කියනවා.

මේ වටිනාකම් ගැන අවබෝධයක් නො තිබුණු ඒ සමාගමේ ලොක්කෝ ජාත්‍යන්තර වෙන්න රින්සෝ රින් කළා.

අපේ මිනිස්සු තාමත් සියලු පීවීසී බටවලට කියන්නෙ එස්ලෝන් බට කියලා. සියලු රබර් සෙරෙප්පුවලට බාටා කියන අයත්, සෑම උපත් පාලන කොපුවකට ම ප්‍රීති කොපු යයි කියන අයත් මේ රටේ ඉන්නවා.

හැබැයි, හැම රේඩියෝ චැනලයකට ම වෙළඳ සේවය කියන තත්වයක් රටේ නැහැ. ඇත්තම කියනවා නම්, වෙළඳ සේවය ඒ තරම් නවීන රේඩියෝ චැනලයක් ලෙස සැලකෙන්නේත් නැහැ.

වෙළඳ සේවය කියන නම වැටෙන්නට ඇත්තෙ Commercial Service කියන එකේ පරිවර්තනයක් ලෙස වෙන්නට ඇති. මෙතන කොමර්ෂල් කියන වචනයෙන් වෙළඳ කියන අදහසට වඩා එන්නෙ වෙළඳ ප්‍රචාරණ කියන අදහසයි.

කොමර්ෂල් කියන වචනය රේඩියෝ හෝ රූපවාහිනී මාධ්‍ය දැන්වීම්වලටත් භාවිතා වෙනවා. ඒ නිසා කොමර්ෂල් සර්විස් කියන යෙදුමෙන් වෙළඳ ප්‍රචාරණ දැන්වීම් විකාශය කරන සේවය වැනි අදහසක් දෙන්නට ඇති.

ඒ දවස්වල ලංකාවෙ සිංහල බසින් ප්‍රධාන රේඩියෝ චැනල් දෙකයි තිබුණෙ. ඒ දෙක පළමුවන සේවය, දෙවන සේවය ලෙසත්, තවත් කලෙක ස්වදේශීය සේවය හා වෙළඳ සේවය ලෙසත් හැඳින්වුණා. පළමුවන සේවය හෙවත් ස්වදේශීය සේවයේ වෙළඳ ප්‍රචාරණ වැඩසටහන් තිබුණෙ නැහැ.

මුල් කාලෙ ඉංග්‍රීසි බසිනුත් කොමර්ෂල් සර්විස් එකක් තිබුණ බව මතකයි. ඒත්, පසු කලෙක ලංකාවේ ඉංග්‍රීසියෙන් රේඩියෝ චැනල් දෙකක් අහන්නට තරම් ශ්‍රාවකයන් පිරිසක් නැති බව වැටහුණු නිසා ගුවන් විදුලිය එක ඉංග්‍රීසි චැනලයකට සීමා කර ගත් බවයි මගේ අදහස. දැන් එය වැඩිත් නැති, අඩුත් නැති නාලිකාවක්. හැබැයි, ගෝල්ඩ් එෆ්.එම්. එහි ඉඩ අල්ලාගත් බවයි මා සිතන්නෙ.

කෙසේ වෙතත්, වෙළඳ සේවය කියන්නෙ ඇමරිකා එක්සත් ජනපදය වගේ වැරදි පරිවර්තනයක් වෙන්නට පුළුවන්. United States of America නිවැරදිව පරිවර්තනය කළොත් එය ඇමරිකාවේ එක්සත් රාජ්‍ය විය යුතුයි.

අැෆ්‍රිකා අප්‍රිකාව වූ හැටිත්, ෆ්‍රන්සය විය හැකිව තිබූ ෆ්‍රාන්ස් රට ප්‍රංශය වූ හැටිත් මේ ආකාරයට ම විකෘතියි.

ඉංග්ලිෂ් භාෂාව ඉංග්‍රීසි වූ හැටි ඊටත් වඩා විකෘතියි.

ගුවන් විදුලිය කියන වචනය ම පවා විකෘතියක්. Sri Lanka Broadcasting Corporation කියන සංස්ථාවේ නම ශ්‍රී ලංකා විකාශන සංස්ථාව නො වී ගුවන් විදුලි සංස්ථාව වුණ හැටි පුදුමයි.

Broadcasting කියන විෂයට දැන් රූපවාහිනියත් ඇතුළත්. ඒ නිසා මෙම සංස්ථාව ශ්‍රී ලංකා රේඩියෝ වුණා නම් සරලයි.

කොහොමත්, අප හැමෝම දන්නා රේඩියෝවට ගුවන් විදුලිය කියන්නෙ මොකට ද? රේඩියෝ විකාශය සිදු වන්නෙ විද්‍යුත් චුම්බක තරංගවලිනුයි. එය විදුලිය නෙමෙයි. ඒ නිසා එය ගුවන් විදුලියක් නෙමෙයි. 

කොහොම වුණත්, මා හිතන්නෙ දැන් ලංකාවෙ රේඩියෝ චැනල් සංඛ්‍යාව උවමනාවට වඩා වැඩියි. ගුවන් විදුලි සංස්ථාවට වුණත්, මා දන්නා තරමින් සිංහලෙන් රේඩියෝ චැනල් හත අටක් තියෙනවා. රජයට අයත් තවත් රේඩියෝ චැනලුත් තියෙනවා, අයිටීඑන් එෆ්එම් වගේ.

මේ අතරවාරයේ ඉතා තරගකාරී පෞද්ගලික සිංහල රේඩියෝ චැනල් දුසිම් දෙකක්වත් විකාශය වෙනවා. ඒ අතරේ ගුවන් විදුලි සංස්ථාව විකාශය කරන පන්නයේ වැඩසටහන් විකාශය කරන චැනලුත් ගණනාවක් තිබෙනවා.

මේවා පවත්වාගෙන යන්නට අවශ්‍ය වෙළඳ දැන්වීම් ලබා ගන්නේ විකාශන රේටිං ය කියන අවිශ්වසනීය, මතභේදාත්මක ක්‍රමයක් ඔස්සේයි. කොහොම හරි, රේටිං හරහා ගොඩ දාගන්නා නිසා හොඳයි. අපේ මේ බ්ලොග් පඩංගු වගේ බලන සංඛ්‍යාව හරියට ගණන් හදා ගන්නට ක්‍රමයක් නැති එක රේඩියෝ, රූපවාහිනී කර්මාන්තයට මාර ආශිර්වාදයක්, ඇත්ත වශයෙන් ම.

ගුවන් විදුලි සංස්ථාවේ සේවකයින් දාහක් විතර ඉන්නවා, මා හිතන විදියට. ඔවුන්ගේ රැකියා වෙනුවෙන් මේ චැනල් විකාශය විය යුතුයි.

මේක තමයි රාජ්‍ය අංශයේ සාමාන්‍ය ස්වභාවය. එහි ප්‍රධාන සේවාව වන්නේ රජයේ සේවකයන්ට රැකියා සැපයීමයි. මහජන සේවය ඉන් අනතුරුවයි. මේක කිව්වයි කියලා කවුරුවත් තරහ වෙන්න එපා ඔන්න. මේක තමයි ඇත්ත.

ලංකාවේ රාජ්‍ය මාධ්‍ය කියන්නෙ ඉතා ප්‍රබල ක්ෂේත්‍රයක්. රාජ්‍යය මාධ්‍ය පවත්වාගෙන යා යුතු නැත කියන මූලධර්මය ලංකාවෙදි යථාර්ථවාදී නැහැ. හේතුව, ලංකාවේ මාධ්‍ය කර්මාන්තය කියන්නෙ දියුණු ප්‍රජාතාන්ත්‍රික භාවිතාවක් තිබුණු හෝ තිබෙන අංශයක් නෙමෙයි. එහෙම ධාරිතාවක් ලංකාවේ මාධ්‍යවලට ඇත්තේ ම නැහැ.

විශේෂයෙන් ම සංවර්ධන සන්නිවේදනය, ප්‍රජාව විසින් ධාවනය කරනු ලබන මාධ්‍ය වැනි අංශවලදී ලංකාවේ පෞද්ගලික මාධ්‍ය ඉතා පසුගාමීයි. රජයේ මාධ්‍ය පවා මේ වන විට ඒ කෙරෙහි තිබෙන අවධානයෙන් ආදායම් සෙවීමේ ප්‍රමුඛතාව වෙත යොමු වී තිබෙනවා.

ශ්‍රී ලංකා රේඩියෝ සංස්ථාවට කරන්නට පුළුවන් දෙයක් තියෙනවා. මේ ගැන මා මීට පෙර ප්‍රවෘත්ති මාධ්‍ය නියාමන පනත සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීත් කරුණු ඉදිරිපත් කළා. මා ඉදිරිපත් කළේ ඇයි ලංකාවේ රාජ්‍ය මාධ්‍යවලට පරමාදර්ශී ප්‍රමිති සහිත ආදර්ශන නිර්මානය කරන්නට බැරි කියන එකයි. එවැනි තත්වයකදී නියාමනය පහසුයි. නියාමනය සඳහා වෙනම ව්‍යූහයන් සකස් නො කළත්, පෞද්ගලික නාලිකාවලට අනුගමනය කරන්නට ප්‍රමිතිගත මාධ්‍ය මේවායි කියා ඒ ආදර්ශන පෙන්වා දෙන්නට පුළුවන්.

එහෙත්, අවාසනාව වන්නේ මේ වන විට ලංකාවේ රාජ්‍ය මාධ්‍යවල එවැනි පරමාදර්ශී ආදර්ශනයන් බවට පත් කිරීමට අවශ්‍ය ධාරිතාවන් නැති වීමයි. පෞද්ගලික මාධ්‍යවල කුමන අඩුපාඩු තිබුණත්, බොහෝ පැතිවලින් ඔවුන් රාජ්‍ය මාධ්‍ය පසු කර බොහෝ දුර ගිහින්. 

මෙය සෙසු අංශවලට වඩා බලපාන්නේ ප්‍රවෘත්ති සම්බන්ධයෙනුයි. ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රමිතියක් පවත්වා ගන්නට අසමත් වන විට සෙසු කුමන පැත්තකින් ආදර්ශයක් වුවත් එහි ඵලදායිතාව අඩුයි.

ප්‍රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රමිතිය ගැන කතා කරන විට බොහෝ දෙනෙකුට එක පාරට ම මතක් වන්නේ ආණ්ඩුවට විරුද්ධ පක්ෂයේ, රජයට විරුද්ධ අයගේ ක්‍රියාකාරිත්වයන් සම්බන්ධයෙන් ප්‍රවෘත්ති පළ වෙනවා ද, නැද්ද යන්නයි. එහෙම නැහැ කියලා කෝ සමබරතාව කියා අසනු දැකිය හැකියි.

මෙතන තියෙන්නේ ප්‍රවෘත්ති යනු මොනවා ද යන්න සම්බන්ධයෙන් ම වැරදි අර්ථ නිරූපණයක් මත පදනම් වීමේ ගැටලුවක් ය කියායි මා සිතන්නේ. ඒ ගැන පසුව කතා කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-04

ගීතය සඳහා වෙන් වු භාෂාවක් තිබේද?

මෙය කවිය සම්බන්ධයෙන් ද තිබෙන සංවාදයකි. ගුණදාස අමරසේකර සිය අසක් දා කව පද්‍යයෙහි පෙරවදනෙහි ද මෙය විමසයි. සිංහල කවියෙහි හදබස ගැන ඔහු එහි සඳහන් කරයි. ඒ වනාහි අවම අලංකාර සහිත, පුහු ආටෝපයෙන් තොර අව්‍යාජ බසකි. මෙම ලිපියෙහි ගීතය අරභයා එවැනි සංවාදයක් ඇත. - සංස්කාරක

තුෂාර සම්පත් දංකැටිය විසිනි

ගීත විචාරයක යෙදුණු සමන්ත හේරත් ප්‍රකාශ කර සිටියේ ගීතය සඳහා වෙනම රමණීය බසක් නැතිනම් වාග් මාලාවක් තිබිය යුතු බවයි.ඔහු එහිදී ප්‍රකාශ කර සිටියේ කොන්ක්‍රිට් වැනි වචනයක් සොල්බරි සාමි වැනි වචනයක් ගීත සඳහා යොදා ගත නොහැකි බවයි.

මෑත දිනයක මතුගම විද්‍යාලයක පැවති ගී රස වින්දන වැඩ සටහනකදී රවි සිරිවර්ධන ප්‍රකාශ කර සිටියේද ගිතය සඳහා වෙන්වු වාග් මාලාවක් පවතින බවයි.ඔහු එහිදී කිවේ දර්ශනය වැනි වචනයක් ගීතය සදහා යොදා ගත නොහැකි බවයි. (මන රංජන දර්ශනීය කියල සින්දුවක් තියෙනවත් එක්ක)

ගීතය සඳහා වෙනම භාෂාවක් තිබෙනවා යැයි කීම ඇත්තක්ද?

වරක් x කණ්ඩායම ප්‍රකාශ කර සිටියේ මෙය පට්ටපල් බොරුවක් හා තක්කඩිකමක් බවයි. ගීත ලිවිමේ තනි බලයක් ගොඩ නගන්නට උත්සාහ දරන අය විසින් ගෙතූ මිත්‍යාවක් බව ඔවුන් එහිදී ප්‍රකාශ කෙරුවා. ගීතයට වෙනම භාෂාවක් තිවෙනවා යැයි කීමෙන් උගතුන් නොවන වෙනත් අයට ගීත රචනාවලට ඒමට අවස්ථාව අහුරන බව එමගින් ඔවුන් කියා සිටියා.

මීට සමානම අදහසක් අජිත් පැරකුම්ද වරක් කියා සිටියා මට මතකයි. ඒසේ ප්‍රකාශ කිරිම (වෙනම භාෂාවක් ඇතැයි කීම) භාෂාව පණ්ඩිතයන්ගේ අවියක් කරගැනීමට උත්සාහ කිරීමක් ලෙසයි අජිත් ප්‍රකාශ කර සිටියේ.

සමන්ත හේරත්ගෙත් රිවි සිරිවර්ධනගෙන් ඉහත අදහස ඉතා අතාර්කික සංගීතය පිළිබදව හා ගීතය පිළිබදව ව්‍යවහාරික දැනුමක් නොමැතිව කියුවක් බව නුතන ව්‍යවහරික ගීත ශ්‍රවණයේදී හා විශ්‍ලේෂණයේදී ඉතාමත් හොඳට පැහැදිලි වෙනවා.සමන්තටත්,රවිටත් අනුව කවදාවත් ට්‍රැක්ටර් හා යකඩ කියන වචන ගීත සඳහා යොදාගත නොහැකියි. එහෙත් එය ඉතා අලංකාරව නුතන ගීතය තුළ භාවිත තිවෙනු පෙනේ.

ට්‍රැක්ටරේ යකඩ ගජසෙන්
කුංචනාදයෙන් ඇලලුණු....

මෙය ඉතා ජනප්‍රිය ගීතයකි.මෙහිදි ට්‍රැක්ටර් වැනි වචනයක් යෙදීම ගීතයට කිසිදු හානියක් වි නොමැත. සමන්තලාට අනුව ගෑස්පහ,කොම්පඤ්ඤවීදිය ගීතවලට ළං කළවත් නොහැක.එහෙත් ඒවා ලස්සනට ගීතවලට යොදාගෙන තිබේ.

පාරු පාලමෙන් කොළඹට ගැල් පේළිය සැපත් උනා.
ගෑස්පහට ලං වෙනකොට අපි හොඳටම හවස් උනා.

නාවල අන්නාසි කෝට්ටෙ දොඩම් යස ..
ගල්කිස්සේ සිඤ්ඤක්කු කොම්පඥ්ඥවීදියේ ඉදි ආප්ප බොහොම රසා..

මෙහිදීද තත්සම වචන ගැලපෙන ආකාරයට හා රස සුන් නොවන ආකාරයට යොදාගෙන තිබේ.

ඉහත කී විචාරකයන් මඟ ගත්තේනම් ඔගස්ටස් විනයාගරත්නම්ට කිසිදා 'පනම් අටින් මට වැඩිකර දුන්න' වැනි ගීතයක් නිර්මාණය කරන්නට නොහැකිවනු ඇත.

මාස්ටර් සර් මගෙ හිමි තැනමට දෙන්න.
අනේ සර් කරුණාවෙන් සලකන්න.. 

මාස්ටර් වැනි වචනයක් ඉතා රමණිය ලෙස මෙහිදී යොදාගෙන තිබෙව බව පෙනේ.

කල්ලඩිපාලම,ලොරෙන්සෝද අල්මේදා,පෘතිගීසිකාරයා වැනි වචනයක් බැලු බැල්මට කර්කශ ගීතවත් බවක් නැති වචනය. එහෙත්,

කල්ලඩි පාලම පාමුල සින්දු කිවිව යාලුවො
ඇයි ගොලු ගැහුණේ...

ලොරෙන්සොද අල්මේදා කොලොම් තොටට යහපත් නාවිකයා..

පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සුරයා.. 

යන ගීතවලදී ඉතාමත් රිද්මානුකූල ලෙස යොදාගෙන ඇත.මේ උදාහරණ කිහිපයක් පමණි.

ගීත සඳහා වෙන් වු භාෂාවක් හෝ වාග් මාලාවක් නොමැති බව මේ අනුව පැහැදිලි වෙනවා.

ගීත සදහා වෙන් වු වචන කියල ජාතියක් භාෂාව නිරිමාණය වීමේදිම සිදුවන්නේ නෑ.අදාල සන්දර්භයට අනුව ඕනැම වචනයක් ගීතය සඳහා ගැලපෙනවා.මං කියන්න යන්නේ හින්දු ආගම අදහන දෙමල යුවතියක් ගැන නම් ඒ සන්දර්භයට ගැලපෙන ඕනෑම වචනයක් භාවිත කළ හැකියි.

මන්නාරම් පිටිවැල්ලේ මදටිය වැල් ඔන්චිල්ලේ....
නැහැයේ කරාඹුව දෙකනේ කඩුක්කම් දමා සියොළඟ
මොට්ටැක්කිලියෙන් හැඩකොට වසා ඉඟ නමා....

මෙහිදි කඩුක්කම් වැනි වචනයක් ගීතයේ සන්දර්භයෙන් ඉල්ලා සිටිනවා.එවිට ඒක නොගැලපීමක් වෙන්නේ නෑ.

පෘතුතිසිකාරයන් ගැන කියන්න යනකොට කාලතුවක්කු බයිනේත්තු ගැන නොකිය බෑ
කාලතුවක්කුයි බයිනේත්තුයි හරවන්නේ.

මෙහිදි මගේ තර්කය වන්නේ ගීතයේ සන්දර්භයට අනුව ඕනෑම වචනයක් ගීත සදහා යොදාගත හැකි බවයි.ගීත සඳහාම වෙන්වු වචන මාලාවක් නොමැති බවයි.ගීත සදහා වෙනම වාග් මාලාවක් තිබුණහොත් විවිධ වු අත් දැකීම් ගීතයකින් ප්‍රකාශ කරන්න්නටද නොහැකි වනවා.

ලප නොමවන් සද සේ සොමි ගුණෙනා.
උපුල් කොපුල් වෙහෙසි ඇතේ.
ආනන්ද සාගරේ.
කුමරියක පා සළඹ සැලුණා...

මේ ලස්සන වචන ටික විතරක් තිබුනහම විවිධ වු අත්දැකීම් ප්‍රකාශ කරන්නේ කෙසේද?

ඒ හැර ගීතයට වෙන් වු රමණීය බසක් තිබෙනවා කීමෙන් ගීත රචනය භාෂා පණ්ඩිතයන්ගේ බුදලයක් බවට පත් වීමක්ද වෙනවා. (ඔබ මේ ගැන කියන්නේ කුමක්ද?)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-09-01

උත්සව ධනවාදය හරහා පාරිභෝජනවාදය අපේ ජීවිත ගිලගන්නා හැටි

Photo: Daily Mail
ධනවාදයේ මූලික ම නරකක් වන්නේ පාරිභෝජනවාදයයි. සරලව කිව්වොත් පාරිභෝජනවාදය කියන්නෙ පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කිරීම වැනි දෙයක්. ඒ කියන්නෙ ජීවිතයේ මූලික අරමුණ පරිභෝජනය ලෙස සැලකීම. 

පරිභෝජනයේ හා පාරිභෝජනවාදයේ වෙනස හඳුනා ගැනීම තරමක් සංකීර්ණයි. මිනිසාට හොඳින් ජීවත් වීම සඳහා පරිභෝජනය කරන්නට සිදු වෙනවා. හැබැයි, පරිභෝජනය කළ යුත්තෙ වගකීමෙන්. පරිභෝජනය කියන්නෙ තනියෙන් තමන් කැමති දෙයක් තමන්ට ඕනැ විදියට ‘මයි කාර් - මයි පැට්‍රල්' විදියට කිරීමේ නිදහස නෙමෙයි. පරිභෝජනය කියන්නෙ සමාජය ගැන, පරිසරය ගැන, සොබාදහම ගැන සංවේදීව කළ යුතු වැඩක්. වගකීමක් සහිත පුරවැසියෙක් කියන්නෙ බුද්ධිමත් පාරිභෝගිකයෙක්.

පාරිභෝජනවාදය විසින් කරන්නේ මිනිසා පරිභෝජනය වෙනුවෙන් පරිභෝජනය කරන, තේරුමක්, වගකීමක් නැති, ආත්මාර්ථකාමී මෝඩයකු බවට පත් කිරීම. එවැන්නන් පරිභෝජනය කරන්නෙ තමන්ට ඕනැ නිසා නෙමෙයි. වෙනත් අය කියන නිසා. 

පාරිභෝජනවාදයේ හොඳ සංකේත දෙකක් තමයි කොකා කෝලා සහ පීට්සා. කොකා කෝලා කියන්නෙ තනිකර ම ප්‍රචාරණය මත මනසේ නිර්මානය වී තිබෙන පානයක්. ඒ හැර එහි කිසිම හරයක් නැහැ. කොකා කෝලා විරෝධීන් ඒ ගැන කියන ඇණ මුරිච්චි ගලවන්නට පුළුවන්, ටොයිලට් හෝදන්නට පුළුවන්කමක් හෝ එහි තිබෙනවා ද යන්න සැක සහිතයි. එහි තිබෙන්නෙ වතුරවලින් අධික ලාභ ලැබීමේ උපායක් විතරයි. කොකා කෝලා විරෝධයත් එක්තරා විදියකට ප්‍රචාරය ම තමයි.

පීට්සා කියන්නෙත් මහ ලොකු රස කෑමක් නෙමෙයි. ඒවා කන්නෙ ප්‍ර‍ර්ශනයට හා විලාසිතාවට. ඒවා කන ගමන් ෆොටෝ අරන් ෆේස්බුක් දාන්න. නැතිනම්, ඩිලිවරි එකෙන් හරි, ඩ්‍රෝන් එකෙන් හරි ඒක ගෙනත් දෙනකොට අල්ලපු ගෙදර අයට පේන්න. අපි ඊ්යෙ පීට්සා කෑවා, හරි ෂෝක් අනේ කියල පහුවෙනිදට ඔෆිස් ගිහින් කියන්න.

පාරිභෝජනවාදය හුදු භාණ්ඩ වන්දනාව පමණක් නො වේ. උන්නතිකාමය ද පාරිභෝජනවාදය සමග දැඩිව බැඳී තිබෙනවා.

පාරිභෝජනවාදයත් සමග හඳුනා ගත යුතු තවත් ලක්ෂණයක් වන්නේ සමාජයේ අනෙකා පරයා කැපී පෙනීමේ ආසාවයි. පාරිභෝජනවාදය සමාජවාදය සමග ගැටෙන ප්‍රධාන දේශ සීමාව මෙය වේ.

වර්තමාන ජීවිතයේ පරිභෝජනවාදය විහිදෙන දිශානති කිහිපයක් හඳුනා ගන්නට තමයි පහත දැක්වෙන ලැයිස්තුවෙන් උත්සාහ කරන්නෙ. මේ හැම පරිභෝජනයක් ම මිනිසුන්ට අවශ්‍යයි. එහෙත්, ඒවා පාරිභෝජනවාදයන් බවට පත් වන්නේ ඒ වෙනුවෙන් දැඩි උන්නතිකාමයකින් හා තෘෂ්ණාවකින් යුතුව කටයුතු කිරීම සමගයි.

  • භාණ්ඩ හා සේවා අධික ලෙස මිළ දී ගැනීම හා පරිභෝජනය
  • පාරිභෝජනය ගැන නිතර සිතමින්, සාකච්ඡා කරමින්, එය ප්‍රවර්ධනය කිරීම
  • අවශ්‍යතා අනුව පරිභෝජනය කිරීම වෙනුවට භාණ්ඩ අනුව අවශ්‍යතා නිර්මානය කර ගැනීම
  • අධික ලෙස දැනුම ප්‍රමාණාත්මකව එක්රැස් කිරීම හා එය කැපී පෙනීමට හා අනෙකා යටපත් කිරීමට යොදා ගැනීම
  • අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධික බල තණ්හාව
  • අධික කාම තෘෂ්ණාව

මේ ඔස්සේ බැලූ විට අධික පාරිභෝජනවාදය හා ඍජුව හා වක්‍රව සම්බන්ධ පැතිකඩ කීපයක් මෙසේ  අවිධිමත් ලෙස සලකුණු කළ හැකියි.


  • අධික ජංගම දුරකථන ලෝලය
  • සමාජ මාධ්‍ය විනෝද උන්මාදය
  • සෙල්ෆි පිස්සුව
  • ට්‍රිප් යාමේ, පිටරට යාමේ අධික ආශාව හෙවත් සංචරණ තෘෂ්ණාව
  • දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් ද නො කා නො බී අධික ලෙස ධනය හා දේපල රැස් කිරීම
  • අධ්‍යාපන සහතික තෘෂ්ණාව
  • තමන්ට මගහැරුණු සිහින දරුවන්ගෙන් සැබෑ කර ගන්නට යාම
  • ටියුෂන්
  • පාසල්වාදය
  • ජාතිවාදය
  • ආගම්වාදය
  • බිග්මැච්, ට්‍රකිං හා කඨින පෙරහර
  • මංගල්‍යෝත්සව
  • අවමංගල්‍යෝත්සව
  • දාන පිංකම්
  • උපන් දින සාද
  • දන්සැල්
  • අවුරුදු උත්සව
  • පාසල් ස්පෝට්මීට්
  • දේශපාලන රැස්වීම්
  • පොත් දොරට වැඩීම්
  • කැන්ටිමෙන් කෑමට හා සුඛෝපභෝගී වාහනවල යාමට පාර්ලිමේන්තු යාම
  • අධික ලෙස මත්පැන් බීම
  • කම් සැපෙහි අධික ලොල්කම
  • ටෙලිනාට්‍ය
  • වැඳීම
  • සංගීත සංදර්ශන
මේ ලැයිස්තුවේ තිබෙන කහ පාටින් හයිලයිට් කරපු අවස්ථා සමග උත්සව ධනවාදය දැඩිව බැඳී තිබෙනවා. මේ වන විට රජය, රාජ්‍ය නොවන සංවිධාන, අන්තර් රාජ්‍ය සංවිධාන, අලෙවිකරණ සමාගම් ආදිය අධික වශයෙන් මෙවැනි උත්සව පැවැත්වීම කරනවා. 

මේ උත්සව වෙනුවෙන් ම වෙනම ඉවන්ට් මැනේජ්මන්ට් සමාගම් තිබෙනවා. ඇමතිලා තමන්ගෙ චක්ගෝලයන්ගෙ ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට තමයි උත්සව පැවැත්වීම භාර දෙන්නෙ. ඇතැම් විට චක්ගෝලයන්ගෙ කොම්පැනි නමට විතරයි. උන් උත්සව සංවිධානය ඇත්ත ඉවන්ට් මැනේජ්මන්ට් කොම්පැනිවලට උප කොන්ත්‍රාත්තු දෙනවා ගානක් තියාගෙන. අමාත්‍යාංශවලට වෙන් වෙන මුදල්වලින් වැඩි ප්‍රමාණයක් වැය වෙන්නෙ මේ උත්සව වෙනුවෙන්.

රාජ්‍ය නොවන සංවිධාන සහ අන්තර් රාජ්‍ය සංවිධාන එහෙමත් කරන්නෙ ඒ වැඩේම තමයි. ලංකාවෙ මානව හිමිකම් ආරක්ෂා කරන්න, සාමය ගොඩනගන්න, දුප්පත්කම නැති කරන්න එහෙම ලෝකයෙන් ලැබෙන ආධාරවලින් වැඩි ප්‍රමාණයක් වියදම් වෙන්නෙ ඩිජිටල් බැනර්, ස්ටේජ් සෙටප්, හෝටල් බිල්, සැන්විචස්, පැටිස්, කට්ලට්, තේ , කෝපි, වතුර බෝතල්, අත පිහින කඩදාසි ආදිය වෙනුවෙන්. 


මීට අමතරව, නැට්ටුවෝ, පොටෝකාරයෝ, භාෂා පරිවර්තකයෝ, ජෝකර්ලා, වීදි නාට්ටිකාරයෝ වගේ තව පිරිසකුත් ජීවත් වෙන්නෙ උත්සව ධනවාදයෙ පිහිටෙන්. 

උත්සව ධනවාදය බිම් මට්ටමට එනකොට මංගල උත්සව, අවමංගල උත්සව, කොටහළු පාටි, උපන් දින උත්සව, දාන, කඨින පිංකම් ආදිය සම්බන්ධව පොටෝ ඇල්ලිලි, වීඩියෝ කෙරිලි, බෙර, නැටුම්, අෂ්ඨක, ඇඳුම් ඇන්දීම, ෆේෂල්, මල්, කේක්, මත්පැන්, පුටු, ටෙන්ට්, කොඩි, ලයිට් ආදිය විතරක් නෙමෙයි දැන් දැන් රූපවාහිනියෙන් බණ කීම් ආදිය දක්වාත් පාරිභෝජනවාදී උත්සව ධනවාදය විහිදෙනවා. 

පාරිභෝජනවාදී උත්සව ධනවාදයේ පහළ මට්ටමේදී උත්සව පැවැත්වීම වෙනුවෙන් මිනිසුන් ණය වෙනවා. එයින් ලබන සතුටට වඩා ණය නිසා ලබන දුක හා ඒ නාස්ති වූ මුදල උපයන්නට වෙන මහන්සිය නිසා සිදු වන කරදරය වැඩි වෙන්නට පුළුවන්. 

මේකෙ අනෙක් පැත්ත තමයි, රටේ උත්සව ධනවාදය. ඒක නිසා රජය ණය වෙනවා. ඒ බර ජනතාව පිට පැටවෙනවා. මානව හිමිකම් තත්වය වර්ධනය කරන්න, සාමය ඇති කරන්න, දුප්පත්කම දුරලන්න සහ තවත් බොහෝ හොඳ අරමුණු වෙනුවෙන් වෙන් වෙන මුදල්වලින් සැන්විචස්, කට්ලට්, පැටිස්, කේක්, ෆ්‍රයිඩ් රයිස් කාලා මධ්‍යම පන්තිකයන් දියවැඩියා, අධි රුධිර පීඩන, කොලෙස්ටරෝල් ආදිය හදා ගන්නවා. 


උත්සව ධනවාදය පිටුදැකීම පාරිභෝජනවාදයට එරෙහි අරගලයේ හා සමාජවාදී ජීවින විලාසයක් වෙනුවෙන් කරන අරගලයේ අත්‍යවශ්‍ය පියවරක්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.