2017-09-19

ඔය ළමයා තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් තාත්තට එන්න කියපන්

මෑත වකවානුවේදී පළමු වතාවට තමයි දින පහකට පසුව බ්ලොග් සටහනක් තබන්නෙ. බ්ලොගයට එන්නට නො ලැබුණේ මගේ නැන්දම්මාගේ මරණය නිසා ය.

ලිලී ගිමාරා ජීරසිංහ 1936 වසරේ අකුරැස්සේ සාමාන්‍ය පවුලක උපන් දියණියක්. ඇගේ පියා ඉහළ නිලධාරියකුට පහර දීම නිසා රස්සාව නැති කරගෙන සුළු ව්‍යාපාරවල යෙදුණු හිටපු පොලිස් නිලධාරියෙක්. ඇගේ මව ඔහුගේ දෙවන කසාදයයි. රජයට අයත් ගොඩපිටිය කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙන ගනිමින් සිටි මේ දැරියගේ ජීවිතය වෙනස් වුණේ කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා ආරම්භ වුණ පහේ ශිෂ්‍යත්ව විභාගයෙනුයි.

ඇගේ පාසලෙන් ශිෂ්‍යත්ව විභාගය සමත් වී තිබුණේ මධ්‍යම පන්තික පවුලක දැරියක හා ඇයයි. විදුහල්පතිනිය ශිෂ්‍යත්වය සමත් වීම ගැන කියා ඇයට පියා කැටුව එන්නට කීවේ මෙහෙමයි: “ඔය ළමයා (අනෙක් දැරිය) තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් (මගේ නැන්දම්මා) තාත්තට එන්න කියපන්."

සිංහල මාධ්‍යයෙන් රජයේ පාසලක ඉගෙන ගනිමින් සිටි ඇයට කන්නන්ගර මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද මුල්ම මධ්‍ය මහා විද්‍යාල අතරින් එකක් වූ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකාගාරයේ නැවතී ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන්නට අවස්ථාව ලැබුණේ පහේ ශිෂ්‍යත්වය නිසා ය.

ඇය තෙලිජ්ජවිල පාසලේ ඉගෙනුම ලබමින් සිටින අතර ඇගේ මව මිය ගියා ය. වරක් නිවාඩුවට ගෙදර යන විට ඇගේ බාල ම නැගනිය බලා ගැනීම සඳහා දක්ෂ සිසුවියක වූ ඇගේ නැගනිය පහේ ශිෂ්‍යත්ව විභාගයට පෙර පාසල් ගමන නවතා තිබුණු බව ඇය මා සමග කීවේ මහත් කණගාටුවෙනි. මේ නැගනිය දිළිඳු ගොවියකු සමග විවාපත් වී තවමත් දිළිඳු ජීවිතයක් ගත කරයි. මගේ නැන්දම්මා ඇය වෙනුවෙන් බොහෝ දේ කළේ ඇගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම ගැන ඇති වූ ශෝකය නිසා ය. ඒ ඉරනම මගේ නැන්දම්මාට අත් වී නම් ඇය ද එසේ වන්නට බොහෝ ඉඩ තිබිණි.

ජ්‍යේෂ්ඨය සමත් වූ පසු ඇය වැඩිදුර අධ්‍යාපනය නවතා ගුරු වෘත්තියට බැඳුණා ය. පසු කලෙක අකුරැස්සට වඩා ගම්බද ප්‍රදේශයක් වූ යක්කලමුල්ලේ කරාගොඩ ගමේ සිංහල පුහුණු ගුරුවරයකු සමග විවාපත් වූ ඇය විශ්‍රාම ලබන තුරු ම ගමේ පාසලේ ඉංග්‍රීසි උගැන්වීමෙහි යෙදුණා ය.

ගම්බද පාසල්වලදී ඇගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයෙන් ගත හැකි ප්‍රයෝජනය රටට ලැබෙන්නට ඇතැයි මම නො සිතමි. ඇය හොඳින් ඉංග්‍රීසි කතා කළ හැකි, ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කළ, ඉංග්‍රීසි බස ගැන නො නැසුණු ඇල්මක් මරණය ආසන්න කාලය දක්වා ම නඩත්තු කර ගත් පැනසර මනසක් ඇති තැනැත්තියකි. හිටි හැටියේ දුරකථන ඇමතුමක් දී ඇතැම් සිංහල වදනකට සමාන ඉංග්‍රීසි වදන කුමක්දැයි ඇය මගෙන් බොහෝ වර අසා ඇත. භාවිතය අඩු වීම නිසා අමතක වී යන භාෂා දැනුම රැක ගැනීමට ඇය නිරතුරු උත්සාහ කළා ය.

තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලයේ, මීරිගම ගුරු විද්‍යාලයේ ඇය සමග එකට සිටි පැරණි මිතුරන් සමග ඉංග්‍රීසියෙන් කතා කිරීම ද ඇගේ සිරිතක් විය. වර්තමානයේ බොහෝ ඉංග්‍රීසි ගුරුවරුන් ළඟ නැති ඉහළ ප්‍රමිතියක් ඇය සතු විය. එහෙත්, එයින් ප්‍රයෝජනයක් නො ගැනිණි. අධ්‍යාපන දෙපාර්තමේන්තුව වනාහි සාමාන්‍යයෙන්මත් ගල් බොරළු යට යමින් ගොමරිති උඩ මතු වන තැනකි.

ඇගේ දෙවන දියණිය හා විවාපත් වූ මට ඇගේ විශේෂ කැමැත්තක් තිබුණේ මා එවකට ඉංග්‍රීසි ගුරුවරයකු වූ නිසා වන්නට ද ඇත. යුද්ධයට විරුද්ධව හා දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් වැඩ කිරීම නිසා මගේ පළමු දියණිය ලැබෙන්නට සිටියදී මට ස්වයංව රටින් පිටුවහල් වන්නට සිදු වූ අවස්ථාවේත්, මගේ දියණිය උපන් දාට පෙර දා මා වෙන දෙයක් වුණාවේ ය කියා ලංකාවට පැමිණ, දරුවාත්, බිරියත් සමග මගේ නැන්දම්මාගේ හා මාමණ්ඩියගේ නිවසේ සැඟවී සිටි සමයේත්, මට ගුරු රැකියාව අහිමි වී සිටි වසර දෙකහමාරක පමණ කාලයේදීත්, මරණය දක්වාමත් ඇය මා කෙරෙහි තිබූ ආදරය, සෙනෙහස බිඳකිනුදු අඩු නො කළා ය. 

ජනප්‍රිය නො වන මතයක් දැරීම නිසා මා අමාරුවේ වැටී සිටි යුද කාලයේ මා උපන් පවුලෙන් පවා මට කෙණහිලි සිදු විය. බියෙන් පළා යමින් සිටි මා සමග මගේ බිරිය තැනින් තැනට ගිය ඇතැම් විටක ඇය ද කාරයේ පසුපස අසුනේ සිටියා ය. ඒ දොම්නස් වකවානුවේ ඇගේ මුවින් කිසිදු මැසිවිල්ලක් නැඟුණේ නැත.

ඇගේ ජීවිතය ගැන ඇය මුළුමනින් ම තෘප්තිමත්ව සිටියේ නැත. ඇගේ අතෘප්තියට හේතුව කුමක් ද යන්න ඇය දැන සිටියේ නැත. ඇයත්, ඇගේ සැමියාත් අතර කිසිදු අඬදබරයක් තිබුණේත් නැත. ඇගේ දරුවන්ගේ ජීවිත ද අසාර්ථක ඒවා නො වේ. ඇය විහිළුවෙන්, තහළුවෙන් සතුටින් ජීවත් වූ ගැහැනියකි. ඇගේ මරණය දැනගත් අප මිත්‍ර සිසිර යාපා මට සිහිපත් කළේ ඇය සම්බන්ධයෙන් මා ඉස්සර කියූ කරුණකි. ඒප්‍රන් එකක් ඇඳ කුස්සියේ උයන ගාලු දිස්ත්‍රික්කයේ එකම ගෘහනිය ඇය බව මා ඉස්සර කී වග සිසිරට මතක තිබිණි.

ඇය සතුව අපූරු සාහිත්‍යයක් ද තිබිණි. සමාජ සේවය කළ ඇගේ සැමියා සොයා පැමිණෙන අයට ඇය මෙසේ කියයි: “අන්න සුදු සරොං වගයක් ඇඳලා ගියා. යක්කලමුලු යන්න ඇති."

සරොං වගයක්, කමිස වගයක් වැනි ජන වහරක් දකුණේ ඇද්දැයි විපරම් කර බැලූ මට දැන ගන්නට ලැබුණේ එය ඇගේ වාංමාලාවේ පමණක් ඇති යෙදුමක් බවයි. ගෙදරදොර මනා ලෙස පවිත්‍රව තබා ගන්නට කැමති ඇය මසකට දෙකකට වරක් මුළු නිවස ම අස් කර, සියලු දේ සෝදා පිරිසුදු කර ගත්තා ය. මේ වැඩේට ඇය කිව්වේ ග්‍රාස්හෝප් කරනවා ය කියා ය. එය කුමන භාෂාවකවත් ඇති වදනක් නො වේ.

ඇයට තිබූ ප්‍රශ්නය මා තේරුම් ගත් ආකාරයට නම් ස්වාත්ම ඵලසාධනය සම්බන්ධ ගැටලුවකි. ස්වාත්ම ඵලසාධනය ලෙස සිංහලට පරිවර්තනය වන්නේ self-actualization නම් සංකල්පයයි. එයින් අදහස් වන්නේ යමෙකුගේ දක්ෂතා හා කළ හැකි දේ ගැන පූර්ණ අවබෝධයක් ලබා ගැනීම හා ඒවා උපරිමයෙන් භාවිතා කිරීමයි.

ස්වාත්ම ඵලසාධනය යනු අප කවුරුත් ජීවිතය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු කාරණයකි. මුදල් ඉපැයීමෙන්, ගෙවල් හැදීමෙන්, දරුවන් තැනීමෙන් පමණක් ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි ය. ස්වාත්ම ඵලසාධනය ඇති කර ගත නො හැකි වූ කල ඇති වන්නේ අතෘප්තියකි. මෙය ලංකාවේ බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. පිරිමින්ට තරම්වත් ස්වාත්ම ඵලසාධනය සඳහා අවස්ථා ගැහැණුන්ට නො ලැබේ. පවුල හා විශේෂයෙන් ම දරුවන් සම්බන්ධ වගකීම් එයට එක් ප්‍රධාන හේතුවකි. බොහෝ දෙනෙක් තමන්ට අහිමි වූ දේ කුමක් ද යන්න පවා තේරුම් ගැනීමට අසමත් වේ.

මගේ නැන්දම්මාට ස්වාත්ම ඵලසාධනය පිළිබඳ තම ගැටලුව හඳුනා ගන්නට නො හැකිව අතෘප්තිමත් මහළු වියක් ගත කිරීමට සිදු වුණත්, ඇය ඇරියස් නැතුව ජීවත් වන්නට තරම් ප්‍රබල චරිතයක් වූවා ය. සංදර්ශනාත්මක ලෙස ආගම් ඇදහීමක් නො කළ ඇය දිනපතා මල් පහන් පුදා පෞද්ගලිකව බුදු දහම අනුව ජීවත් වූවා ය. අනුන්ට ඉරිසියා, ක්‍රෝධ නො කළා ය. ධනයට, බලයට, දේපලවලට, රන් රිදීවලට ආශා නො කළා ය. අස්ථි දුර්වල වීම නිසා වරක් ඇගේ කොන්ද බිඳිණි. මගේ බිරිය ඇතුළු ඇගේ දරුවෝ වැර වෑයමින් ඇය සුවපත් කර ගත් හ. එහෙත්, නැවත වරක් ඇද වැටී අස්ථි ආබාධයකට ලක් වූ ඇයට යළි සුවපත් වීමේ දිරිය නො තිබිණි. මිය යන්නට සති ගණනාවක පෙර සිට ම ඇය ජීවිතය අත්හැර සිටියා ය. මියැදෙන්නට තරම් රෝගාබාධයක් නො තිබුණු ඇය සොයා ක්ෂණයකින් මරණය පැමිණියේ ය.

ඇගේ කතාව මා මෙහි සටහන් කරන්නේ ස්වාත්ම ඵලසාධනය ගැන සිතන්නට යමක් ඇය අප හමුවේ ඉතිරි කර ගිය නිසා ය. ඔබේ දක්ෂතාවන් හඳුනා ගන්නටත්, ඒවායෙන් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීමටත් ඔබ උත්සාහ කරනවා ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

23 comments:

  1. කාලෙකට පස්සේ පරණ හිරු පත්තරේ මතක් උනා. ස්වාත්ම ඵලසාධනය වෙනම දෙයක් ඒත් ඊට වඩා මට නම් මේ කතාව, ඒ මනුස්සයාගේ
    යටගියාව, ඡීවිතේ තිබුනාය කියන ගුණාංග වටිනවා. හිරු එකේ අය කාගෙත් සාමූහික මහන්සිය, අජිත් සී හේරත්ගෙ
    රෝහිතගෙ, චන්ද්රානි සිරිවර්ධනගෙ (මතක විදියට අර නිල්ලෙන් පිරුන තුරුහිස ලිව්වෙ) නිම්තෙරේ කවි ආර් යූ අතුකොරල
    බොබී බී බොතේඡු, කාරියවසම් ගෙ කෙටිකතා මතක් උණා.

    ඔබේ නැන්දම්මාට නිවන් සුව!

    ReplyDelete
  2. එකල ඉංගීසි අධ්‍යාපනය නිවැරදිව ඉගෙන ගෙන සිටි ඉංග්‍රීසි ගුරුභවතුන්ගේ දැනුම අද අය හා සංසන්දනය කරන්න නොහැකියි. මගේ මුල්ම ඉංග්‍රීසි ගුරුවරියත් ඔබේ නැන්දම්මා මෙන් අයෙකි. මා පාසලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ආරම්භ කරන විට ඇයගේ ඉගැන්වීම තුළ හොඳ දැනුමක් තිබුණි. එවැනි ගුරුභවතුන් මෙන් ඔබගේ නැන්දම්මා ද සැබෑ ගුරු මාතාවකි.

    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. විචාරක දියණිය ඔබට ඉංග්‍රීසි පුලුවන්ද බැරිද බ්ලොග් මාර්ගයෙන් අපට නොමිලේ උගන්වන්න

      Delete
  3. Thank you Para uncle for elaborating the concept of "Self Actualisation".

    ReplyDelete
  4. Nidaha Aadayapanaya Nothibunanam Mema Kathawa kohoma weida?

    ReplyDelete
    Replies
    1. කන්නන්ගරට පෙර සමයේත් අපේ රටේ නිදහස් අධ්‍යාපනය තිබුණු බව බොහෝ දෙනෙකු දන්නේ නැත. එවකට ද රජයේ පාසල්වල අධ්‍යාපනය සඳහා සිසුන්ගෙන් මුදල් අය කළේ නැත.

      කන්නන්ගර මහතා කළේ දුප්පත්, දක්ෂ සිසුන්ට ඉදිරියට යා හැකි වන පරිදි විධිමත් මධ්‍ය මහා විද්‍යාල පද්ධතියක් හා ඒවාට සිසුන් තෝරා ගැනීම පිණිස ශිෂ්‍යත්ව ක්‍රමයක් පිහිටුවීමයි. මගේ නැන්දම්මා යනු එයින් ඉදිරි මග සකසා ගත් කාන්තාවකි.

      කන්නන්ගර මහතා මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට තිබෙන අයිතිය කිසිවෙකුට අහිමි කළේ නැත. එය කළේ 1960 දශකයේදී සමාජවාදී ප්‍රතිපත්ති මත පාසල් රජයට පවරා ගත් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව විසිනි.

      වර්තමානය වන විට කන්නන්ගර මහතා විසින් පිහිටුවන ලද මධ්‍ය මහා විද්‍යාල හා 1960 දශකයේදී රජයට පවරා ගන්නා ලද පාසල් ද විවිධ කූට උපායන් මගින් ධනවත් හා රජයෙන් යැපෙන මධ්‍යම පන්තික කොටස් විසින් සිය භුක්තියට ගෙන තිබේ. වැඩ කරන ජනතාවගේ දරුවන්ට ඒවායේ ඇත්තේ සීමිත ඉඩකඩක් පමණි. රජය විසින් මහජන මුදලින් දෙන අධ්‍යාපනයේ හොඳම පංගුව මංකොල්ල කන්නේ සුපිරි පාසල් අත්පත් කරගෙන සිටින නාගරික ඇති හැකි අය විසිනි.

      නගරවල හා ගම්වල හුදකලා පාසල්වල කොන් කර දමා ඇති වැඩ කරන ජනතා දරුවන්ට වර්තමානයේ ඇති නිදහස් ය කියන අධ්‍යාපන ක්‍රමය ඔස්සේ ඉදිරියට යා හැක්කේ අසාමාන්‍ය දක්ෂකමක් තිබේ නම් පමණි.

      වැඩ කරන ජනයාගේ දරුවන්ට අධ්‍යාපන නිදහස ලබා දීම සඳහා අලුත් කන්නන්ගර කෙනෙකු අවශ්‍ය වන්නේ ඒ නිසා ය.

      Delete
    2. Ajith Perakum Jayasinghe ++++++++++++

      නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් අද පවතින්නේ ඔබ හා මා සඳහා නොවේ. ඒවා පවතින්නේ කා වෙනුවෙන්දැයි හොඳින් බලාගන්නට පුළුවන් වන්නේ මුදල් ගෙවා එම සේවා ලබාගන්නට තිබිය යුතු ඉඩත් සහ මේවායේ කාර්යක්ෂම නියාමනය වෙනුවෙන් අප කතා කරන විට බුරා පනින කුක්කන් දිහා බැලීමෙනි.

      Delete
  5. ස්තුතියි. මා දන්නා වැඩිහිටියෙකු තේරුම් ගැනීමට ඔබ ලිපිය ප්‍රයෝජන වුනා.

    ReplyDelete
  6. ස්වාත්ම ඵලසාධනය ගැන ඔබේ මතුකිරීම ඉතාම වටිනවා. මං හිතන්නේ, මේ ගැන කතා වී තිබෙන ප්‍රමාණය ඉතාම අඩු වෙන්නට ඕනේ.

    මං මගේ මිතුරු මිතුරියන් කිහිප බොහෝ දෙනෙකුගෙන් අසා තිබෙනවා ඔබේ ජීවත් වීමේ අරමුණ කුමක්ද කියන එක. නමුත් තවම කිසි විටෙක ඍජු පිළිතුරක් ලැබී නැහැ. සමහර විට ඉපදුන නිසා මැරෙන්න බැරි නිසා වගේ පිලිතුරුත් ලැබී තිබෙනවා.

    ප්‍රථම උපාධියෙන් පසු සංවර්ධන නිලධාරී හෝ උපගුරු තනතුරකට මා තල්ලු කර දැමීමට පවුලේ අය ගත් මහත් උත්සාහයෙන් යන්තම් මිදී ඉදිරියට යන්න ගත් තීරණය නිසා මා අද තෘප්තිමත් මිනිසෙකු යයි මට දැනෙනවා.

    ReplyDelete
  7. ෙනාදුටු නැනැදම්මා ගැන ෙශා්කය

    ReplyDelete
  8. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
  9. මේ කතාවේ මට දැනුන සංවේදීම කොටස වන්නේ ඇගේ නැගනිය පාසල් ගමන නවතා දැමු සිද්දියයි. ලංකවේ බොහෝ දරුවන් අධ්‍යාපනය කඩාකප්පල් කර ගන්නේ මෙසේ ඔවුනට දෛවය හරස් වන නිසාය. විකල්ප අධ්‍යාපනය ක්‍රම සෑදිය යුත්තේ මෙවැනි දරුවන්ට පසු කලෙක හෝ (වැඩිහිටියන් වු පසුව හෝ) අධ්‍යාපනය ලැබීම සදහාය. විවෘත විශ්වවිද්යාතලය මෙවැනි එක් විකල්පයකි. නමුත් එහි වුවත් ප්‍රාථමික අධ්‍යාපනය මට්ටමේ සිට ඉගෙනිය හැකි දැයි නොදනිමි. මේ නිසා වැඩිහිටියන් සදහා වන නිදහස් අධ්‍යාපනයක් ද වැදගත් වේ. මිනිසුන් කුමන රැකියාවක් කලද, කුමන සමාජ තත්වයක හෝ වයසක සිටියද, ඔවුනට අධ්‍යාපනය ලැබීමට ඇති අවශ්ථා පුළුල් කල යුතුය. එහි ප්‍රතිලාභය ඔවුනට පමණක් නොව මුළු සමාජයටම ලැබේ.
    උගත් කාන්තාවක් වුවද දුප්පත් ස්වාමි පුරුෂයකු කසාද බැද සතුටින් ජීවත් වී අතිමහත් සමාජ සේවයක් සිදුකල අවශ්තා ඇත. බෙන්ගාලි පොත් බොහෝමයක් සිංහලට පරිවර්ථනය කල චින්තා ලක්ෂ්මි සිංහආරච්චි මහත්මිය එවැනි චරිතයකි. ඇය බෙන්ගාලි බස ඉගෙන ගන්නේ විවාහයෙන්ද බොහෝ කලකට පසුවය.

    ReplyDelete
  10. ස්තුතියි පැරා,

    ඔබේ නැන්දම්මට නිවන් සුව ලැබේවා !

    මට මතකයි මම කුඩා කාලයේ මගේ මිත්තනිය විසින් The radiant way නමැති පොතෙන් ඉංග්‍රීසි ව්යාකරණ උගන්වනවා. මම දැක්ක වැදගත් දෙයක් තමයි අපේ වැඩිහිටියන් ගේ ඉංග්‍රීසි දැනුම අපේ ඉංග්‍රීසි දැනුමට වඩා ඉතා හොදයි කියන එක. නමුත් ඔවුන් ඉගනගත් ක්‍රමය නිසා වැඩි කාලයක් යනව වගේ අදහසක් තියනවා.

    මම මේ ලගදී දැක්ක කෙනෙක් කියනවා ඉංග්‍රීසි ව්යාකරණ ඉගැනීමෙන් තොරව ඉංග්‍රීසි වේගයෙන් ඉගනගන්න පුළුවන් බව. https://www.youtube.com/watch?v=KR-E6z1hwhE

    මේ පිළිබද ඕබේ අදහස කුමක්ද ?

    ReplyDelete
  11. ඇයට සුභ ගමන්! ඔබේ සටහනට ස්තූතියි!

    ReplyDelete
  12. ඕකට සිංහලෙන් කියන්නේ අලියා උගේ තරම දන්නේ නැහැ කියලා...

    ReplyDelete
  13. ඇයට නිවන් සුව පතමි.

    ReplyDelete
  14. නැවුම් ගතියක් සහිත ලිපියක් ලෙස මට දැනේ.

    ( There's a language error in para 7 )

    ReplyDelete
  15. මට මගේ දෙමාපියන් මතක් වුනා. ඒ දෙපොලත් මුලු ගුරු දිවිය තුලම පාසැලේ ලමුන්ට සැලකුවෙත් තමන්ගේ දරුවන්ට වගේ.

    ReplyDelete
  16. ප්‍රාදේශීයවාදයක් නෙමෙයි. දකුනු පලාතේ ඔය පරම්පරාවේ කාන්තාවන් අනික් ප්‍රදේශවල අයට වඩා මීටර් (ප්‍රඥාවත්? මේකට හරිම වචනෙ මම දන්නෙ නැහැ. බුද්ධිමත්, නැනවත් කියන එකම නෙමෙයි) අපිව පුදුමයට පත්කරවන තරම්. පැරාගේ නැන්දම්මා ඊට කදිම උදාහරනයක් බව කියා ඇති විස්තරයෙන් හැඟෙනවා.

    ඇයට සුභ අවසන් ගමනක්!

    - Dimithri

    ReplyDelete
  17. නැන්දම්මට සුභ ගමන් නැන්දම්මේ. මේ වගේ පුතෙක් ලැබීමත් දුක කරදර මැද ඔවුන්ට ශක්තියක් වීමත් ඔබ දුන් ලොකුම දායාදය.

    ReplyDelete
  18. විදුහල්පතිනිය ශිෂ්‍යත්වය සමත් වීම ගැන කියා ඇයට පියා කැටුව එන්නට කීවේ මෙහෙමයි: “ඔය ළමයා (අනෙක් දැරිය) තාත්තට හෙට ඉස්කෝලෙට එන්න කියන්න. උඹත් (මගේ නැන්දම්මා) තාත්තට එන්න කියපන්." -මේවත්අහගෙන අධ්‍යාපනය ඉවර කරා කියන්නේ දිරිය කාන්තාවක්

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.