2017-09-28

ජාතිවාදය යනු කුමක්ද ?

ජාතිවාදය කියන්නේ මොකක්ද කියලා සංවාදයක් මේ දවස්වල සමාජ මාධ්‍යවල සිදු වෙනවා. මේ ඒකට මගේ සත පහ. මේක අනුභූතික ද, මේ අදහස්වල මූලාශ්‍ර හෙවත් මේවා කියපු තද පොරවල් කවුද ආදී රෙද්දවල් මට වැදගත් නැහැ. මම ඇකඩමික් බුවෙක් නෙමෙයි. ඒ නිසා මට ඒ ඇකඩමික් සම්ප්‍රදායන් වැදගත් නැහැ. මම සහතික නො ලත් සාමාන්‍ය දේශපාලන ක්‍රියාකාරිකයෙකු මිසක් සහතික ගන්නට හෝ ගත් සහතික නඩත්තු කරන්නට හෝ ලියන කෙනෙක් නෙමෙයි. මා වනාහි මට ඕනැ මගුලක් ලියන කෙනෙක්. හැබැයි, මා උත්සාහ කරනවා මා ලියන ඒවායින් සමාජයේ චර්යාත්මක වෙනස්කම් ඇති වන නිල අල්ලන්න. මං දේශපාලනය කරන්නෙ එහෙමයි. මා කරන දේශපාලනයටත්, මා ලියන දේවල්වලටත් මා වගකියනවා.

ජාතිවාදය මිසක් ජාතිකවාදය කියලා අමුතු එකක් තිබේ යයි මා නම් පිළි ගන්නේ නැහැ. ලංකාවෙ ජාතීන් වගයක් තියෙනවා, සිංහල, දෙමළ, මුස්ලිම්, මැලේ, වැදි ආදී වශයෙන්. ඒවා ඔක්කොම එක සමාන ජාතීන්. වෙනස්කම් තිබෙන්නේ බලය අතින් විතරයි. එම ජාතීන් කිසිවකට ඔවුන්ට ම පමණක් සුවිශේෂ වූ කිසිදු සුවිශේෂ අනන්‍යතාවක් නැහැ. යම් යම් අනන්‍ය සංස්කෘතික ලක්ෂණ තියෙනවා. භාෂාවේ සිට අඳින ඇඳුම දක්වා අනෙක් සියල්ලම සෙසු සංස්කෘතීන් සමග සම්මිශ්‍රණය වූ දේවල්. ඔය හැමෝම අද වන විට ෆේස්බුක් එහෙම හරහා ගෝලීය සංස්කෘතියක් සමග සම්බන්ධ වී සිටිනවා.

නිර්මාල් කියනවා වගේ 19වන සියවසේදී ජාතීන් කියන දේශපාලන ප්‍රජාවන් (polities) ගොඩනැගෙන්නට පටන් ගත්තා. මේවාට දේශපාලන ප්‍රජාවන් කියන්නෙ දේශපාලනයෙදි ඒවා වැදගත් වන නිසායි. කුලයත් දේශපාලනයෙදි තවමත් වැදගත් ප්‍රජාවක්. හැබැයි, ඒක මූලික නැහැ. වර්තමානයේදී මූලික වන්නෙ ජාතිය හා ආගම. ඒ අනුව ලංකාවෙ මේ වන විට ජාති-ආගමික දේශපාලන ප්‍රජාවන් තියෙන්නෙ මෙහෙම.

සිංහල-බෞද්ධ
දෙමළ-හින්දු
සිංහල-ක්‍රිස්තියානි
දෙමළ-ක්‍රිස්තියානි
(ක්‍රිස්තියානි කිව්වාමත්, කතෝලික, එංගලන්ත සභා, ඉවැන්ජලික ආදී වෙනස්කම් තිබුණත් ඒ වෙනස්කම් දේශපාලනයෙදි එතරම් බලපෑම් සහගත නැහැ.)
ඉස්ලාම්-මුස්ලිම්
ඉස්ලාම්-මැලේ (දේශපාලනික වශයෙන් ශක්තිමත් නැහැ)
කඳුරට දෙමළ (ඔවුන් අතර ආගමික වෙනස්කම් එතරම් මූලික නැහැ. හේතුව ඔවුන් ඒ තරම් ම දේශපාලනික වශයෙන් ශක්තිමත් නැහැ)
වැදි ජාතිය දේශපාලනික ප්‍රජාවක් ලෙස සලකන්නට තරම් ඔවුන්ට බලයක් නැහැ.

ලංකාව කියන ඒකීය රාජ්‍ය ව්‍යූහය ගොඩනැගුවෙ ඉංග්‍රීසීන් විසින් වුණාට, ඔවුන් නො ආවත්, ලෝකය දියුණු වන විට ලංකාවේ ඒකීය පාලනයක් බිහි වෙන්නට ඉඩ තිබුණා. ඒ නිසා මේක හැදුවෙ ඉංග්‍රීසීන් ය කියන එක හෝ ඒ නිසා ඒක යුක්තියුක්ත නැහැ ය කියන එක තේරුමක් නැහැ.

ජාතියකට රාජ්‍යයක් කියන එක යථාර්ථයක් නෙමෙයි. ලෝකෙ හැම තැනම තියෙන්නෙ ප්‍රබල ජාතියක ආධිපත්‍යයෙන් යුක්ත රාජ්‍යයන්. ජාතික ප්‍රශ්න හා ජාතික විමුක්ති අරගල කියන්නෙ ජාතීන් ප්‍රබලත්වය හා ආධිපත්‍යය අත්පත් කර ගන්නට කරන අරගල.

මේක ලංකාවට අදාළව ගත්තොත්, ලංකාවෙ සිංහල-බෞද්ධ ජාති-ආගමික දේශපාලන ප්‍රජාව තමයි ප්‍රබල. ඔවුන් සිංහල-ක්‍රිස්තියානි ප්‍රජාවත් සමග එකතු වී සිය දේශපාලන ප්‍රජාව පුළුල් කර ගන්නවා. දෙමළ ජාතිය තුළත් මේ හා සමාන දෙයක් සිදු වෙනවා. මේ අතරවාරයේ මේ ජාතීන් දෙකේ ම කුල අනන්‍යතා යටපත් වෙනවා. යටපත් වෙනවා කියන්නෙ නැති වෙන එක නෙමෙයි.

දැන් මේ ජාති-ආගමික දේශපාලන අනන්‍යතාවන් බදාගෙන ඉන්න අය විසින් එය පවත්වාගෙන යන්නට අදහස් පද්ධති ගොඩනගාගෙන තිබෙනවා. ඒකෙ කිසි අවුලක් නැහැ. හැබැයි, ලෝකෙ ඉදිරියට යන්නෙ දේශපාලන ප්‍රජාවන් පුළල් කර ගනිමින්. කැමති වුණත්, අකැමැති වුණත්, ඒක අනිවාර්යයෙන් ම සිදු වෙනවා. ඒක සිදු වන්නෙ සන්නිවේදනයේ, ප්‍රවාහනයේ, වෙළඳපොළේ, මුල්‍ය ආර්ථිකයේ, විද්‍යාවේ, තාක්ෂණයේ ඇති වන සංවර්ධනයත් එක්ක. ජාති-ආගමික දේශපාලන අනන්‍යතා රැක ගන්නට පුළුවන් එක්තරා සීමාවකට විතරයි. ඒක හුදු දෘෂ්ටිවාදීමය සටන් පාඨවලට ලඝු වෙනවා. දේශපාලන යථාර්ථයේදී ඒවාට පැවැත්මක් නැහැ.

මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, මෑත වකවානුවේදී ජාතිවාදය හමුවේ වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවන් දණ බිම නැමූ ප්‍රබල ම අවස්ථාව තමයි, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම. ඒක තනිකර ම බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන්ගේ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයක්. හැබැයි, මෙතනදී බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයට අයත් නො වන රාජ්‍යයක් ලෙස යුරෝපයේ ප්‍රතිව්‍යූහගත වන ආකාරය බොහෝ විට සමාන වනු ඇත්තෙ ස්විට්සර්ලන්තයට මිසක් ලංකාවට හෝ උතුරු කොරියාවට නෙමෙයි. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වුණත්, දේශපාලන ප්‍රජාවන් පුළුල් වන එක නවතින්නෙ නැහැ. ඒ පුළුල් වීම ලෝක ප්‍රජාවක් කරා අඛණ්ඩව සිදු වන එකක් නිසා ඒකට විශේෂ අතරමග නාමකරණයනුත් වැදගත් නැහැ. ඕනැ නම්, යුරෝපා, දකුණු ආසියාතික වගේ ඒවා පාවිච්චි කළාට ගැටලුවකුත් නැහැ. ඒවයෙත් එල්ලිලා ඉන්නට ඕනැ නැහැ.

ලංකාවෙ ලාංකික ජාතියක් නැහැ. ඒ වුණාට ලාංකීය කියන එක පුළුල් දේශපාලන ප්‍රජාවක් පිළිබඳ සිහිනයක් වැනි දෙයක්. ඉන්දීය, ජර්මානු දේශපාලන ප්‍රජා වුණත් එහෙමයි. ඊට වඩා පුළුල් එකක් තමයි යුරෝපා දේශපාලන ප්‍රජාව.

ජර්මනියේ මතු වන ජාතිවාදී රැල්ලට වුණත්, දැනට පවතින තත්වයන් තුළ ලොකු දෙයක් කරන්නට බැහැ. ඒකත් නරේන්ද්‍ර මෝදි කියන හින්දු ජාතිවාදියා ඉන්දියාවේ අගමැති වුණාට වඩා දෙයක් වෙයි කියලා හිතන්නට බැහැ. ලෝකෙ නැවත හිට්ලර්ලා බිහි වෙන්නෙ නැහැ. ඕනැ නම් පිලිපීනය වගේ පරිවාරයේ රටක එවැනි අය බිහි වේවි. එයින් ලෝක දේශපාලනයට කිසිවක් වෙන්නෙ නැහැ.

මා කියන මේ දේවල් වෙනස් වෙන්නට පුළුවන් ලෝක යුද්ධයක් වගේ දෙයකින් විතරයි. හැබැයි, තුන්වන ලෝක යුද්ධයකින් පස්සෙ නැවත සංවිධානය වෙන්නට ලෝකයක් ඉතිරි වෙන්නෙ නැති නිසා එවැන්නකින් පස්සෙ සමාජවාදය ගොඩනගන්නට පුළුවන් වෙයි කියලා හිතාගෙන වතුර කොරහේ කිඹුලන් දකින වාමාංශිකයන්ට සුරතාන්තය ලබා ගන්නට වෙන්නෙ හස්ත සංසර්ගයෙන් විතරමයි.

වාමාංශිකයන්ට වෙච්ච ලොකුම පැටලිල්ල තමයි, ජාතිය වැළඳගැනීම. අධිපති ජාතිවාදය වේවා, පීඩිත ජාතිවාදය වේවා, මේ කිසිවක් ප්‍රගතිශීලී හරයන්ගෙන් යුක්ත ඒවා නෙමෙයි. වාමාංශිකයන් ජාතිවාදයන් සමග ගනුදෙනු කළ යුතු නැහැ ය කියා මෙයින් කියැවෙන්නෙ නැහැ. ඒ ගනුදෙනුව සිදු විය යුත්තෙ ඓතිහාසික, භූගෝලීය තත්වයන්ට අනුකූලවයි. එහෙම නැතුව, රොමැන්තික් ලාලසාවකින් නෙමෙයි. ජාතික අරගල සමග ප්‍රගතිශීලින් සම්බන්ධ විය යුත්තෙ එක් මූලධාර්මික පදනමකින්. ඒ කියන්නෙ එකී ජාතික අරගලය දේශපාලන ප්‍රජාවන් පුළුල් වීමෙහි ලා කොයි තරම් ඉවහල් වෙනවා ද කියන පදනම මත.

මේක ලංකාවට අදාළව ගත්තොත්, ලංකාවේ ජාතීන් අතර ගැටුමේ ඉතා ගැඹුරු සුසමාදර්ශීය වෙනසක් ප්‍රභාකරන්ගේ මරණයෙන් සලකුණු වුණා. දෙමළ අරගලය පරාජය වීම වළක්වා ගන්නට දෙමළ නායකයන් අසමත් වීම කියන්නේ ඔවුන් විසින් ම සිංහල ජාතියට අත්පත් කර දුන් අමතර වාසියක්. එතනින් එහාට කලින් තිබුණු වෙනම රාජ්‍ය, සහ-සන්ධීය, සන්ධීය ආදී යෝජනා ප්‍රායෝගික නැහැ. ඒවා වෙනුවෙන් මරාගෙන මැරෙන්නට යාමෙන් දෙමළ ජාතියට අත්පත් වන කිසිම දෙයක් නැහැ.

ලංකාවට අදාළව සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිවාදයන්ගේ තව දුරටත් කිසිදු ප්‍රගතිශීලී විභවයක් නැහැ. ඒ නිසා ඔය ජාතිවාදී කතිකාවන්ගේ හා ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම්වල එල්ලී සිටීමේ කිසිම තේරුමක් නැහැ. ඒවාට ඉඩක් නො දිය යුතු බවක් එයින් අදහස් වන්නේ නැහැ. මා කියන්නෙ ප්‍රගතිශීලීන් එය මහ ලොකුවට අදාළ කර ගත යුතු නැති බවයි.

ලංකාව දේශපාලනිකව ප්‍රතිව්‍යූහගත කිරීමේදී වඩා වැදගත් වන්නේ මධ්‍යම රජයේ දේශපාලනය තුළට සියලු ජාතීන් අනුගත කර ගැනීමයි. පළාත් සභාවලට හා එයිනුත් පහළට බලතල ලබා දීම වැදගත් වන්නෙ ඒ සංදර්භය තුළයි. වෙන් වීමේ සිහිනය යටි සිතේ තියාගෙන බලය ඉල්ලන බලවේගවලට බම්බු ගහගන්නැයි ඉතා පැහැදිලිව, නිරවුල්ව කියන්නට සිදු වී තිබෙනවා.

වාමාංශික දේවාල හා යාඥා මධ්‍යස්ථානත්, ජාතිවාදී නැටුම් පන්තිත් අතහැර එජාපය, ශ්‍රීලනිපය, පොදු ජන පෙරමුණ වැනි ප්‍රධාන ධාරාවේ දේශපාලනය එක්ක වැඩ කිරීම වැදගත් මෙන්න මේ සංදර්භය තුළයි. අපි වැඩ කළ යුත්තෙ පුළුල් දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමට උත්ප්‍රේරක වන්නට මිසක් ජාතිවාදී දේශපාලන අනන්‍යතාවන් ශක්තිමත් කරන්නට නෙමෙයි. ඒ වෙනුවෙන් වැඩ කරන අය එසේ කර ගැනීම පවා, හැරමිටිය වනන දුර අනෙකාගේ නැහැ තුඩ ළඟින් අවසන් වන තෙක් අපට ප්‍රශ්නයක් නැහැ.

අප අසන ප්‍රශ්නය නම් වාමාංශිකයන්ට මේ ජාතිවාදී අටමගල සමග ඇති පයුරුපාසානය කුමක් ද යන්නයි. ප්‍රගතිශීලීභාවය වමෙන් වෙන් වී වෙනම සලකුණු වන්නෙ එතැනින්. ප්‍රගතිශීලීන් වැඩ කරන්නෙ වඩා අනාගතවාදී දේශපාලන බලවේග එක්ක. වමට වඩා ලංකාවෙ සම්ප්‍රදායික ‘දකුණ' අනාගතවාදීයි. ඇත්ත ඒකයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. ජාතිකවාදය කියා දෙයක් නෑ කියන්න බෑ... ඇමරිකාවේ ට්‍රම්ප් කියන්නේ ජාතිකවාදියෙක්... ඔහු සුදු ජාතිවාදියෙක් කියලා ලිබරලුන් දැගලුවට ඇමරිකාවෙ ඉන්න අපට පේන විදිහට ඒක එහෙම නෙමේ.... ඔහු ඇමරිකාව පලමුවෙන් තබා හිතන කෙනෙක්... ඒකෙ වරදක් නෑ... බ්‍රිතාන්‍යේ නයිජල් ෆරාජ්, ජර්මනියේ දක්ෂිනාංශික පක්ෂ එහෙමත් එහෙමයි...
    ඔනෑවට වඩා ජාත්‍යන්තරවාදී වියයුතුත් නෑ... බ්‍රිතාන්‍යෙ යුරෝපා සංගමයෙන් අයින් වීම මෝඩ තීරනයක් නෙමේ, බ්‍රිතාන්‍ය මිනිස්සු බ්‍රසල්ස් වල ඉන්න බ්‍රිතාන්‍යෙ නොවන යුරෝපීයන් ටිකක් තමන් ජීවත්වෙන හැටි තීරනය කෙරන එකට විරුද්ධවීමක් තමා එතැනින් පිලිබිබු කෙරුනේ... යුරෝපා සන්ගමය හොද අදහසකින් පටන්ගත් එකක් විය හැකියි නමුත් බ්‍රිතාන්‍යේ පුරප්පාඩු වලට වසරකට කොතරම් සේවකයින් පිරිසක් පිටින් ගන්නවාද, බ්‍රිතාන්‍යට සරනාගතයින් කීයක් කියන එක වගේ අභ්‍යන්තර තීරනයක් පවා යුරෝපා සන්ගම‍යට ඔනෑ විදිහට ගන්න වුනා... ඒක විකෘතියක්

    ReplyDelete
  2. Minorities will always try to establish themselves economically and politically in-order to challenge the majority. That is why we have Tamil NA and Muslim C as established parties and any party with name Sinhala is just in the political margin. Tamils did and will try again to have a separate homeland (or whatever), Muslims are not big enough for now (yes, for now) and will get bigger and try different things. First they will need so called autonomy, then they will have ethnic enclaves, then in these minority (in their enclaves) will have a referendum to separate. That's how we are going to lose part of our Sinhala country, not by world war 3. Have look at the word today, such referendums are happening in Iraq and Spain, they will not separate tomorrow but in time they will. Thanks Keerthi Wijebahu

    ReplyDelete
  3. පැරා මේ කතාවෙ තේරුම මොකක්ද? "ඒක තනිකර ම බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන්ගේ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයක්." කියන එකේ?

    //මේක උදාහරණයකින් පැහැදිලි කරනවා නම්, මෑත වකවානුවේදී ජාතිවාදය හමුවේ වඩා පුළුල් දේශපාලන අනන්‍යතාවන් දණ බිම නැමූ ප්‍රබල ම අවස්ථාව තමයි, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම. "ඒක තනිකර ම බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන්ගේ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵලයක්."//

    - Dimithri

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ ප්‍රජාතන්ත්‍ර‍වාදයත්, සමාජ නායකත්වයත් අතර තුලනයක් අවශ්‍යයි. ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයේ නමින් පසුගාමිත්වය නිශ්ක්‍රීය ලෙස භාර නො ගැනීම ප්‍ර‍ගතිශීලීන්ගේ වගකීමක්. අපි ලංකාවෙ යුද්ධයට විරුද්ධ වුණෙත් මේ පදනමින් ම තමයි. එතනදි අප දුර්වල නිසා අප පැරදුණා. බ්‍රිතාන්‍යයේදි එහෙම වෙන්නට අවශ්‍ය වුණේ නැහැ.

      Delete
    2. ඔබ මේ කියන්නේ (// බ්‍රිතාන්‍යයේ දේශපාලන නායකයන්ගේ මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයේ//) පරාජිත අගමැතිගේ දේශපාලන උපායමාර්ග ගැනද? ඔය කියන චන්දය තැබුවේ රටේ ව්‍යවස්ථාව අනුව. ඒක මෝඩ ප්‍රජාතන්ත්‍රවාදයක් වෙන්නෙ කොහොමද? පැරදුන එක ගැන මම හිතන්නේ ඒකට කාටවත් බැනලා වැඩක් නැහැ. මිනිස්සුන්ගේ තේරීම. ට්‍රම්ප් දින්නා වගේ. ඒකට නායකයන්ගේ "ප්‍රජාතන්ත්‍රවාදය මෝඩ විදියට" භාවිතා කිරීමක් කියන්න පුලුවන්ද?

      (එක්කො ඔබ කියපු එක මට තේරුනේ නැහැ.)

      -Dimithri

      Delete
  4. The illusion of singhala racism and the truth of thamil racism....read from here..>>>
    https://m.facebook.com/MataAdenawaYakoo/photos/a.138146566681035.1073741828.134047753757583/284421002053590/?type=3&source=48&refid=28&_ft_=qid.6471106867339523870%3Amf_story_key.-1575252520034965415%3Ais_sponsored.1%3Aei.AI%406e6877ad8c31d594adc043ef57c800e3%3Atop_level_post_id.284421335386890%3Apage_id.134047753757583&__tn__=EH-R

    ReplyDelete
  5. ජාතිවාදයයි,ජාතිකවාදයයි කියලා දෙකක් තියෙනාවා ,ප්‍රගතිසීලීඅදහස් දරන්නේ ජාතිකවාදීන් ,ප්‍රතිගාමින් තමයි ජාතිවාදි අදහස් දරන්නේ,මේ ලියුම් කරුත් ජාතිවාදීවයි අදහස් දක්වලා තියෙන්නේ ,ඒ නිසා එයාට ඔනේ ප්‍රගතිසීලි වෙන්න උනාට ,එයා ප්‍රතිගාමියි,

    ReplyDelete
  6. ලංකාවෙ ජාතිවාදියොත් නෑ. ජාතිකවාදියොත් නෑ. ඉන්නෙ අවස්ථාවාදියෝ. රෝහින්‍යා අවතැන් වුවන්ට ගහන්න ගියේ ඒ නිසානේ. ඒ මිනිස්සු 2008ත් ආවා. 2013ත් ආවා. ඒ ආපු ඔක්කොම ඇමරිකාවෙ සහ කැනඩාවෙ පුරවැසිභාවය අරගෙන රටින් පිටවෙලා ගියා. කවුරුවත් ගහන්න ගියේ නැහැ. හැබැයි වෙනසක් තිබුණා. එතකොට ආරක්ෂක ලේකම් ගොටාභය රාජපක්ෂ!

    ReplyDelete
  7. ෂෝං පෝල් බෙල්මොන්ඩෝSeptember 30, 2017 at 1:48 PM

    ගෝඪාභය රාජපක්ෂ මහතා ජනපති වුවහොත් රට බෙදී ගොස් ජාතිවාදී කඳවුරු ඇතිවීම වැළකෙයි - ඒ නිසා පැරාත් මතක් කරල එතුමා ඉල්ලුවොත් ජාතිවාදය ඇති වීම වළක්වන්න ඔහු ජනාධිපති කරවන්න ඡන්දය දෙන්න (බ්ලොග් නම් කවද ලියන්න බැරිද ? ඕක නැතුව ගියැයි කියල ලොකු හානියක් නැහැ නෙව )

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.