2017-10-01

පාසල් සිසුන්ගේ සුරක්ෂා රක්ෂණයේ දේශපාලනය

පාසල් සිසුන් හතළිස් ලක්ෂයක් ආවරණය කරන සුරක්ෂා රක්ෂණය මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන ප්‍රධාන ම දෙයයි. අප විමසා බලන්නට උත්සාහ කරන්නෙ එහි වෙළඳපොළ වටිනාකම නොව දේශපාලන වැදගත්කමයි.

අපි මේ වන විට වාමාංශිකයන්ගේ විප්ලවය පිළිබඳ අදහස අතහැර හමාර බව ඔබ දන්නවා ඇති. අවුරුදු 75ක් විතර පරණ ලාංකීය වාමාංශික අදහස තවදුරටත් අල්ලාගෙන ඉන්නට තරම් අතීතකාමී නොස්ටැල්ජික් මනසක් අපට නැහැ. සොරි. 

යම් ක්‍රමයක් දිගින් දිගට ම අසාර්ථක වෙනවා නම් එය අතහැර වෙනත් ක්‍රමයක් අත්හදා බැලීමේ එඩිතරකම අපට තියෙන්නට ඕනැ. ඒ නිසා තමයි අපි මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුක්ත, රාජ්‍ය ඒකාධිකාරී, සංවෘත, අර්ධ සමාජවාදී අර්ථ ක්‍රමය අතහැරලා ලිබරල්, නිදහස්, සමාජ වෙළඳපොළ ආර්ථිකයක් වෙනුවෙන් පෙනී ඉන්නෙ.

ඒකට එක හේතුවක් තමයි, පවත්නා ක්‍රමයට තව දුරටත් ඉදිරියට යන්නට බැරි වීම. එජාප, ශ්‍රීලනිප, ජවිපෙ, පෙසප, දෙජාස වගේ මධ්‍යම පන්තික පක්ෂවලට ඇත්තට ම මේ ක්‍රමය වෙනස් කරන්නට උවමනාවක් නැහැ. මොකද, පවත්නා ක්‍රමය විශේෂයෙන් ම රජයෙන් යැපෙන රනිල් වික්‍රමසිංහගේ සිට පාසල් ගුරුවරයකු හා 'විප්ලවීය දර්ශනවාදියකු' වන විදර්ශන කන්නන්ගර දක්වා මධ්‍යම පන්තියට මල් මසුරන්. විෂමතා තිබුණත්, මේ කවුරුත් කය නො වෙහෙසා හෝ සාපේක්ෂව අඩුවෙන් වෙහෙසා බඩ කට පුරවා ගන්නා අය. ඒගොල්ලන්ගෙ දේශපාලනය තමන්ගෙ කොටස වැඩි කර ගැනීමට විතරයි.

අප ඔවුන්ගෙන් වෙනස් වන්නෙ අප ඉතා පැහැදිලිව ම මේ පන්තියෙන් පිටත සමාජ ස්ථර දෙකක් වන ව්‍යවසායකයන් හා සැබැවින් ම වැඩ කරන ජනතාව බලසතු කිරීම වෙනුවෙන් පෙනී සිටින නිසායි. 

එතනදී අපි ඉතා පැහැදිලිව ම කියනවා ලංකාවේ ලොකුම සමාජ ගැටලුව මේ රජයේ තිබෙන දැවැන්තකම බව. එය ප්‍රමාණයෙන් කුඩා කළ යුතුයි. ඒ වගේ ම කාර්යක්ෂම කළ යුතුයි. දැනට අඩු තරමේ මහජන මුදලින් පඩි කන, වරප්‍රසාද භුක්ති විඳින ජනාධිපතිගේ සිට සනීපාරක්ෂක කම්කරුවා දක්වා පිරිස තම වැටුපට වග විය යුතු තත්වයට පත් කළ යුතුයි. 

තව කට්ටියක් ඉන්නවා. ඒ තමයි, මහජන මුදලින් ඇල වේලි නඩත්තු කර දෙන, පොහොර සහනාධාර දෙන, අස්වනුත් මිළ දී ගත යුතු, දිළිඳු සහනාධාර එහෙමත් ගන්නා, තමන් ගොවීන් ය කියා හඳුන්වා ගන්නා ග්‍රාමීය දිළින්දන්. පරම්පරා ගණනක් තිස්සේ මේ දිළින්දන් මහජන මුදලින් මේ රටේ දිළිඳුකම නඩත්තු කරනවා, බේබදුකම, අලසකම හා ග්‍රාමීය පසුගාමිත්වයත් එක්ක. 

මේ තත්වයන් වෙනස් කරන්නේ කොහොම ද? ඒකට ලංකාව මොඩ් කළ යුතුයි. සියල්ල ආණ්ඩුව විසින් නිකම් දිය යුතුයි කියන හිඟන මානසිකත්වය නැති කළ යුතුයි. ජීවිතය විඳින්නට නම් මහන්සි වී වැඩ කළ යුතුයි කියන ආකල්පය සමාජයේ ඇති කළ යුතුයි. ත්‍රීවීල් පාක්වල කට බලිය බලියා ඈනුම් අරිමින් සිටින නූගත් තරුණයින් වෘත්තීය පුහුණුවලට යැවිය යුතුයි. සදාකාලිකව පුරප්පාඩු පිය නො වෙන කර්මාන්තශාලාවල වැඩට තරුණ තරුණියන් යොමු කළ යුතුයි. තරුණ තරුණියන් තුළ වැඩ කිරීම හොඳ දෙයක් ය කියන ආකල්පය ඇති කළ යුතුයි. ආණ්ඩුවේ රස්සාවලට විරවමින් කලා උපාධි හැදෑරීම හා දේශපාලකයන්ට පෝස්ටර් ගැසීම වැනි නිරර්ථක දේවලින් තරුණ පරපුර ගලවා ගත යුතුයි. නුපුහුණු ගෘහ සේවිකාවන් ලෙස ගැහැනුන් පිටරට යන එක අවම කළ යුතුයි. කාන්තාවන් ගෙවල්වල බත් තම්බ තම්බා, ඕපාදූප දොඩවමින් ඉන්නවා වෙනුවට ශ්‍රම බලකායට තල්ලු කළ යුතුයි. 

වර්තමාන ආණ්ඩුවේ මොන ගැටලු තිබුණත්, මේ කාරණා සම්බන්ධයෙන් යම් දැක්මක් ඔවුන්ට තිබෙනවා. අප සහයෝගය දෙන්නෙ ඒ නිසායි. මූලිකවම මා ඉහත දක්වන ලද ගැටලු වෙනුවෙන් මේ රටේ වෙනත් කිසිදු දේශපාලන බලවේගයකට විසඳුමක් නැහැ. ඔවුන් එහෙම ප්‍රශ්න ඇති බවක්වත් දන්නෙත් නැහැ. 

වර්තමාන ආණ්ඩුව විසින් මේ රටේ ඇති කරන ලද ගැඹුරට විහිදෙන ප්‍රතිසංස්කරණ තිබෙනවා. ඒවායේ ගැඹුර අවබෝධ කර ගන්නට බොහෝ දෙනෙකුට හැකියාවක් නැහැ. දන්න එවුනුත් නො දන්නවා වගේ ඉන්නවා. මා මේ කතා කරන්නෙ දැනට තියෙන ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම වගේ බොහෝ දෙනෙකුට ලොකු වෙලා තියෙන, මට නම් වැදගත් නැති කාරණා ගැන නෙමෙයි. මට වැදගත් වන්නෙ දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට ගත් පියවර, වෘත්තීය පුහුණු පාඨමාලා ගාස්තුවලින් නිදහස් කිරීම, සාමාන්‍ය පෙළ අසමත් වන සිසුන් පාසල්වලදී ම වෘත්තීය පුහුණුවට සූදානම් කිරීම, රජයේ සේවයට බඳවා ගැනීම් සීමා කිරීම, බදු ප්‍රතිපත්තිය විධිමත් කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරි ගැන්වීම, ඍජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට අවධානය යොමු කිරීම, පෞද්ගලික අංශය දිරි ගැන්වීම, ආපදා රක්ෂණය වැනි දේයි. 

මේ එකක්වත් ඉතා හොඳින් මේ රජය විසින් කරන බවක් අප කියන්නේ නැහැ. හැබැයි, ඒවා සංකල්ප වශයෙන් හෝ හොඳයි. අප උත්සාහ කළ යුත්තේ මෙතනින් ඉදිරියට යාමට මිස ආපස්සට එන්නට නොවෙයි. ලංකාවට ගැලපෙන ආණ්ඩුවක් හදා ගැනීම කියන්නෙත් අරගලයක්. 

එතනින් පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණයේ දේශපාලනයට පිවිසෙමු. මේ ඔස්සේ සිදු වන දෙයක් තමයි, රක්ෂණ ක්‍රමවල වැදගත්කම පිළිබඳ රටේ ජනතාවගේ අවබෝධය පුළුල් වීම. දැනට රක්ෂණ සමාගම්වලින් ක්‍රියාත්මක කරනු ලබන, ලාභය ම මූලික කර ගත් රක්ෂණ ක්‍රම වෙනුවට සමාජ රක්ෂණයක වැදගත්කම පිළිබඳ අවබෝධයක් මෙයින් ජනතාවට ලබා දිය හැකියි. 

මේ රක්ෂණය සෞඛ්‍යය සමග සම්බන්ධයි. නිදහස් සෞඛ්‍යය කියන්නේ රජයේ රෝහල්වලින් පමණක් ප්‍රතිකාර ලබා ගැනීම ය කියලා තමයි ලංකාවේ වාමාංශිකයන් විසින් පීඩිත ජනතාවන්ට උගන්වලා තියෙන්නෙ. ඒ වගේම තමයි, වර්තමානය වන විට පෞද්ගලික රෝහල් ගාස්තු ජනතාවට දරා ගන්නටත් බැහැ. මේ තත්වයන් වෙනස් වන්නටත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැනට තිබෙන තත්වය වන මහජන මුදල් රෝහල් සේවකයන්ට වැටුප් ලෙස දිය වී යද්දී මහජනතාවට චැනල් සෙන්ටර්, ඩිස්පෙන්සරි, ෆාමසිවලට අත මිට දිය කර ගන්නට සිදු වීම වෙනස් කරන්නටත් ලංකාවට ගැලපෙන සමාජ රක්ෂණ ක්‍රමයකට හැකියාව ලැබේවි. 

සුරක්ෂා රක්ෂණය ඒ දෙසට තැබූ වැදගත් දේශපාලනික ඉදිරි පියවරක් ය කියා අප කියන්නේ ඒ නිසායි. දැන් ඉතින් මෙතන ඇවිත් ලියන්නට ඕනැ තරම් අඩුපාඩු ඔබේ හිතට නැගෙනවා ඇති. අපි නැහැ කියන්නෙ නැහැ. හැබැයි, මීට කලින් තිබුණු ඒව මීට එහා. දැන් අපි කල්පනා කරන්නට ඕනැ මෙතනින් එහාට යන විදිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. හරියට හරි පැරා! ඉන්නා තැන අපිට ඕනෑ තැනම නොවෙයි. ඒත් අපි බලන්න ඕනෑ ඉන්නා තැනින් ඉදිරියට යන්න මිසක් ආපස්සට යන්න නොවෙයි...

    ReplyDelete
  2. niyama samaja rakshanaya,samajawadi rakshnayai.

    ReplyDelete
    Replies
    1. Oluwa, galaka wadunada ? :D

      Delete
  3. නිදහස් අධ්‍යාපනය වෙනුවට අධ්‍යාපන ණය ක්‍රමයක් හඳුන්වා දෙන්නේ නම් කලා උපාධි පැටව ගහනවා වෙනුවට වෘතීමය වටිනා කමක් ඇති උපාධි වලට ග්‍රාමීය සිසුන් පෙළඹෙනු ඇති.

    ReplyDelete
  4. අජිත් පැරකුම් ජයසිංහගේ ලිපි වලින් අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයාව සෘජුව සහ වක්‍රව වර්ණනා කරන බව වැටහේ. අන්ත දක්ෂිණාංශික ධනපති අගමැතිගේ හොදම ගෝලයා වන අකිල විරාජ්ට කඩේ යන්න ලැජ්ජා නැද්ද පැරකුම්?

    ReplyDelete
    Replies
    1. වාමාංශික දක්ෂිණාංශික බෙදීම් මා දැන් පිළිගන්නේ නැහැ. හොඳ දෙයක් කරනවා නම් ඕනෑම කෙනෙකු අගය කරනවා.

      Delete
  5. පොහොසත් දෙමව්පියන්ගේ ළමයින්ට පෞද්ගලික රෝහල් වල සැපත්, දුප්පත් දෙමව්පියන්ගේ ළමයින්ට රජයේ ඉස්පිරිතාලත් ලැබෙනවට කැමති කුහකයන්ගෙන් මේක තේරුම් ගැනීමක් බලාපොරොත්තු වන්න එපා. ඒකට හේතුව 'පන්ති පරතරය නැතිකරන්න' බලය ඉල්ලන අයට මේක පාඩුවක් නිසා. ජීවන කිව්ව වගේ සිසුණය ක්‍රමයකිනුත් මේවගේ පන්ති ප්‍රශ්ණයක් නැතිව අනික් මිනිස්සුන්ට බරක් නොවී උසස් අධ්‍යාපනය ලබා ගන්න අවස්ථාව ලැබෙන එක ආවත් මේගොල්ලො ඒකෙ ඇද හොයයි.

    ReplyDelete
  6. ඔය රක්ෂණ යෙන් යම් දෙයකට වන්දි ලබාගන්න කීදෙනෙක් පස්සෙන් යායුතුද කොපමන කලක් යයිද
    දෙයියෝ තමයි දන්නේ නේද එහෙම නේද පැරා

    ReplyDelete
  7. සුරක්ෂා රක්ෂණය කිර්යාත්මක් වන්නේ කෙසේද? ප්‍රතිලාභ කවරේද යනාදී විස්තර ඇතුලත් කල යුතුව තිබුනා

    ReplyDelete
    Replies
    1. ඒ පිළිබඳ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල තියෙනවා. බදාදා උදේ 8-9 වෙළඳ සේවයේ සාරප්‍රභාගිර වැඩසටහනක් මේ ගැන කරන්නට බලාපොරොත්තු වෙනවා.

      Delete
  8. aththatama ehema unanam ratak wasayen itha tika kaalayak athulatha sanwardanaye hini peththata apata gaman karanna puluwan wenawa.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.