2017-10-16

ලංකාවට හරි යන්නෙ මොන විදියෙ ආර්ථිකයක් ද?

ලංකාවේ ධනපති පන්තියේ ඉන්නේ මෙන්න මුන් වැනි එවුන් වීම ද රටට ගසා ඇති හෙණයකි 

අපේ රටේ තියෙන්නේ කුමන ආකාරයක ආර්ථිකයක් ද, සමාජ ක්‍ර‍මයක් ද කියන කාරණය අප සාකච්ඡා කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මේ රටේ තිබෙන්නේ කලක සිට පතුරුවා හැරීමෙන් ඝනීභූත වූ මිථ්‍යා අදහස් පද්ධතියක්.

උදාහරණයක් විධියට ලංකාවේ පවතින්නේ ධනපති පාලනයක් ය කියන එක අමු ම අමු ප්‍ර‍ලාපයක්. ලංකාවේ බලවත් ම පන්තිය රජයෙන් යැපෙන මධ්‍යම පන්තියයි. දේශපාලකයන්ගේ සිට රජයේ නිලධාරීන් හරහා රජයේ සේවකයන් දක්වා විහිදෙන මෙම මධ්‍යම පන්තියට පහළින් රාජ්‍ය සහනාධාර මත යැපෙන ග්‍රාමීය දිළින්දන් ද විශාල ප්‍ර‍මාණයක් සිටිනවා. ඔවුන් ගොවීන් යයි කීවාට, වෘත්තීය ගොවීන් ලෙස හඳුන්වන්නට පුළුවන් පිරිස ප්‍ර‍තිශතයක් ලෙස අවමයි.

රාජ්‍ය උපකාර මත පවතින පූජක ප්‍ර‍ජාවේ ද මතවාදී බලපෑමට ලක් වන, රජයෙන් යැපෙන, මූලික වශයෙන් ම ග්‍රාමීය හා අර්ධ නාගරික වන මෙම මධ්‍යම පන්තිය තමයි ලංකාවේ සංඛ්‍යාත්මකවත්, ආර්ථිකවත් බලවත්. ලංකාවේ ශක්තිමත් ධනපති පන්තියක් නැහැ. ඉන්න ධනපතීන් අතරින් ද වැඩි පිරිස බයිං ඇන් සෙලිං කරන අය මිසක් කර්මාන්ත කෙරෙහි යොමු වන අය නෙමෙයි. කර්මාන්ත වෙත යොමු වෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගැන්වීමේ කිසිදු සැබෑ උවමනාවක් ලංකාව පාලනය කරන මධ්‍යම පන්තියට නැහැ. ලංකාවෙ ධනපති පන්තියේ වැඩි දෙනෙකුගේ මූලික ගැටලුව ඔවුන් ඔය මොනවා හෝ විකුණා මුදල් උපයා සැප විඳීම ගැන හැර වෙනත් දෙයක් ගැන නො දන්නා පිරිසක් වීම. 

විවෘත ආර්ථිකයක් පිළිබඳ ලංකාවේ ඇත්තේ ද මිථ්‍යා අදහසක්. ලංකාවේ ආර්ථිකය ලෝකයේ සෙසු ආර්ථිකයන් වගේ ම විවෘත වන්නේ සාපේක්ෂවයි. හැබැයි, ලංකාවේ ආර්ථිකය මේ රටේ ම 1956ට කලින් තිබුණු ආර්ථිකයට සාපේක්ෂව තවමත් එතරම් විවෘත නැහැ. පනහ දශකයේ අග භාගයේ සිට ලංකාවේ ආර්ථිකයේ රාජ්‍ය අංශය පුළුල් කිරීම ආරම්භ වුණා. පෞද්ගලික දේපල රජයට පවරා ගනිමින් හා අලුතින් සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදිය ආරම්භ කරමින් රාජ්‍ය ව්‍යවසාය පුළුල් කෙරුණා. සමුපකාර වැනි පොදු හිමිකාරිත්වයන් සහිත ව්‍යවසාය පවා අනියමින් රජයට පවරා ගැනුණා. ඒ ව්‍යවසායවලට වෙළඳපොළ ප්‍ර‍මුඛත්වය දුන්නා විතරක් නෙමෙයි ඇතැම් ඒවා ඒ ක්ෂේත්‍ර‍වල ඒකාධිකාරයන් බවටත් පත් කළා.

සමාජවාදය නමින් ද හැඳින්වුණු මේ රාජ්‍ය ඒකාධිකාරී ආර්ථිකය විවෘත කිරීමේ සංකේතාත්මක අවුරුද්ද ලෙස සමගි පෙරමුණු රජය පරාජය කරමින් එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි 1977 අවුරුද්ද සැලකෙනවා. ඒත්, මේ විවෘත කිරීමත් ඉතා සාපේක්ෂ එකක්. තවමත් රාජ්‍ය අංශය ඉතා ශක්තිමත්. රජය සිල්ලර වෙළඳාම දක්වා බොහෝ ව්‍යවසායන්හි යෙදී සිටිනවා. රාජ්‍ය ඒකාධිකාරයන් තවමත් පවත්වාගෙන යනවා. ඒ වගේ ම රාජ්‍ය බැංකු වැනි ව්‍යවසායන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය මුල්‍ය ප්‍ර‍තිපත්ති පවා සකසනවා.

මෙම බොහෝ රාජ්‍ය ව්‍යවසාය සුදු අලි. ඇතැම් ඒවා ඩයිනෝසර්ලා වගේ ආචීර්ණ කල්පිත ජීවීන්. උදාහරණයක් තමයි දුම්රිය. ලංගම වගේ ඒවා නිසා බස්රිය ධාවන කාලසටහන් ඒකාබද්ධ කරන්නට බැරි වී තිබෙනවා. ශ්‍රීලන්කන් වැනි රාජ්‍ය ව්‍යවසාය ආර්ථික දේහය මත වැඩෙන පිළල වගේයි.

අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශ විශාල වශයෙන් පෞද්ගලීකරණය වී තිබෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු සේවා සම්පාදනයෙහිදී දක්වන අකාර්යක්ෂමතාව නිසායි. රජය නඩත්තු කිරීමට බදු ගෙවන ගමන් ම මහජනතාවට සිය සාක්කුවෙන් සැලකිය යුතු අධ්‍යාපන, සෞඛ්‍ය ආදී වියදමක් දරාගන්නට සිදු වී තිබෙනවා. මේ සේවාවන් පවත්වාගෙන යාම වෙනුවෙන් විශාල රජයේ සේවක පිරිසකට වැටුප් හා වරප්‍ර‍සාද පිරිනැමීමට සිදු වී තිබෙන අතර, ඔවුන්ගේ ශ්‍ර‍ම ඵලදායිතාව ඉතා අඩුයි. මේ රාජ්‍ය සේවාවන් ඇත්තට ම සේවය කරන්නේ ඒවායේ රැකියා කරන මධ්‍යම පන්තියටයි. ඒවායින් මහජන සේවා සපයන්නේ ඒවායේ පැවැත්ම සාධාරණීකරණය කර ගන්නට අවශ්‍ය මට්ටමට පමණයි.

දැන් රජයට නැවත වරක් ආර්ථිකය තව ටිකක් විවෘත කරන්නට සිදු වී තිබෙන්නේ මේවායේ තිබෙන අකාර්යක්ෂමතාව හා තව දුරටත් ඒවා පවත්වාගෙන යන්නට බැරි වී තිබෙන නිසායි. එහෙත්, සුපුරුදු පරිදි ම රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය මෙය දකින්නේ ඔවුන්ගේ පැවැත්මට කරන ලද තර්ජනයක් ලෙසයි. ඔවුන් ඉතා ප්‍ර‍චණ්ඩ ලෙස වීදි බැස සටන් කරන්නේ ඒ නිසායි. එහෙත්, ඇත්ත එය නොවෙයි. පාලක මධ්‍යම පන්තිය වුණත් මේ ලිහිල්කරණය සිදු කරන්නේ ඔවුන්ට සිය වරප්‍ර‍සාදිත තත්වය රැක ගත හැකි පරිදි වත්මන් ක්‍ර‍මය රැක ගත හැකි පමණටයි.

එවැනි තත්වයක් තුළ මේ රටේ සැබෑ වෙනසක් අවශ්‍ය කරන සමාජ ස්ථර වන ව්‍යවසායකයන්ට හා සැබැවින් ම වැඩ කරන ජනතාවට පැහැදිලි ස්ථාවරයක සිට වැඩ කරන්නට සිදු වෙනවා. ඒ ලංකාවට අවශ්‍ය කුමන ආකාරයේ ආර්ථිකයක් ද යන්න සම්බන්ධයෙනුයි. 

මෙහිදී මගේ යෝජනාව වන්නේ ලංකාවට ගැලපෙන්නේ මනා රාජ්‍ය නියාමනයක් සහිත, පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත්, නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්. රජය ව්‍යසායකත්වයන්ට අත නො ගැසිය යුතුයි. රජයට එය බැරි බව නැවත නැවත ඔප්පු කරන්නට අවශ්‍ය නැහැ. 

ලංකාවේ තිබෙන දැවැන්ත රජයට කුමක්ද කරන්නෙ? එහිදී කළ හැකි හොඳම දෙය තමයි, වක්‍ර බදු අඩු කරමින් ආදායම් බදු වැනි ඍජු බදු ආදායම් වැඩි කර ගත හැකි පරිදි රජයේ බදු යාන්ත්‍රණය විධිමත් කිරීම, වෙළඳපොළ කාර්යක්ෂම ලෙස නියාමනය කිරීම හා දිළිඳු සමාජ කණ්ඩායම්වල අවශ්‍යතා දිළිඳුකම පිටුදැකීමේ අරමුණකින් යුක්තව ආමන්ත්‍රණය කිරීම. අපට අවශ්‍ය කාර්යක්ෂම රජයක් මිසක් තවත් විශාල රජයක් නෙමෙයි. 

අපි එදිනෙදා ප්‍රශ්න ගැන දේශපාලන ස්ථාවරයන් තේරිය යුතුව තිබෙන්නේ මෙවැනි දේශපාලන පදනමක ඉඳලායි. එහෙම නැතුව, රතු පාට ලෙලෙව්වාට කරන්නට පුළුවන් වෙන දෙයක් නැහැ. මොකද, සමාජවාදය යයි කියන රාජ්‍ය මූලික ධනවාදය දැන් අපේ රටේ කුරුවල් වෙලා ඉවරයි.

ඔබේ අදහස කුමක් ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. හොඳ විග්‍රහයක්! ඔය ටික තේරුම් ගන්න ආර්ථික විද්‍යාව ගැන ශාස්ත්‍රාලීය පුහුණුවක් අවශ්‍ය වන්නේ නැහැ. ඇහැ කණ ඇරලා, පාට කණ්ණාඩි අයින් කරල පොඩ්ඩක් වටපිට බැලුවහම පේන්න තියෙන ඇත්ත.

    ReplyDelete
  2. //ලංකාවෙ ධනපති පන්තියේ වැඩි දෙනෙකුගේ මූලික ගැටලුව ඔවුන් ඔය මොනවා හෝ විකුණා මුදල් උපයා සැප විඳීම ගැන හැර වෙනත් දෙයක් ගැන නො දන්නා පිරිසක් වීම. //

    Buying and selling is a service, it's not some thing that needs belittling. If they are making good money out of buying and selling, it means there is an economical need to move those items from one the seller to the buyer.
    On the other hand, if there is no production happening, that means there is not enough incentive (naturally available or government made) for business men to invest in production. Believe me, they don't care how they make money as long as they make money. Even if we assume local businessmen lack the ability to build a production based business, we still have to come to terms with the fact that not even foreign businesses show interest in production in SL, apart from few areas where only minimum skill is needed.

    ReplyDelete
  3. You said "රාජ්‍ය සහනාධාර මත යැපෙන ග්‍රාමීය දිළින්දන් ද විශාල ප්‍ර‍මාණයක් සිටිනවා. ඔවුන් ගොවීන් යයි කීවාට, වෘත්තීය ගොවීන් ලෙස හඳුන්වන්නට පුළුවන් පිරිස ප්‍ර‍තිශතයක් ලෙස අවමයි." Read this: https://www.huffingtonpost.com/isabel-macdonald/clinton-apologizes-for-us_b_843541.html
    ඔය කියන ගොවියන්ට සහනාදාර දීමත් නරකම දෙයක් නෙවෙයි.
    This is my take.
    I was reading about Haiti, because I am in the process of applying for a job over there. That is a county full of cell phones, but no electricity. They have cut down all their forests, now digging up the roots for coal. Oh, I read that this is the only country in the world that don't have free education!

    ReplyDelete
  4. //මෙහිදී මගේ යෝජනාව වන්නේ ලංකාවට ගැලපෙන්නේ මනා රාජ්‍ය නියාමනයක් සහිත, පෞද්ගලික අංශයේ මූලිකත්වයෙන් යුත්, නිදහස් වෙළඳපොළ ආර්ථිකයක්. //

    මේ ආර්ථිකයේ සංයුතිය තමයි තීරණේ කරන්නේ මේක කොතරම් දුරට විවෘතද කියල. එතනදි ලංකාවේ නිෂ්පාදන ආර්ථිකයකට වඩා භාණ්ඩ හා සේවා වල ගුණාත්මක බව තියෙනවා. (ඔනෑ තරම් උදාහරණ!) මොකද ලංකාවේ නිෂ්පාදනවල ප්‍රමිතිය අන්තර්ජාතික තත්වෙක නැහැ. හඳුන් කූරක් හැදුවත් ප්‍රමිතිය ගැන තකන්නේ නැති තරම්ම ඒක දරුණුයි. ඉතින් ජාත්‍යන්තරව එතනට යන්න ලේසි නැහැ. නමුත් සේවා සැපයීමේදී එම තත්වය වෙනස් ( ශ්‍රමය) ඒ නිසා ඔබ කියන

    //ලංකාවෙ ධනපති පන්තියේ වැඩි දෙනෙකුගේ මූලික ගැටලුව ඔවුන් ඔය මොනවා හෝ විකුණා මුදල් උපයා සැප විඳීම ගැන හැර වෙනත් දෙයක් ගැන නො දන්නා පිරිසක් වීම. //


    එක සත්‍යයක් නොවේ.

    ReplyDelete
  5. සෑහෙන දුරට එකඟ වෙන්න පුළුවන් විග්‍රහයක්. මට හිතෙන හැටියටනම් රාජ්‍ය ව්‍යවසාය අද මේ තත්වයට වැටිලා තියෙන්නේ එහි තියෙන ව්‍යුහයේ සහ ක්‍රියාවලියේ ඇති අඩු පාඩු වලට වඩා අමන වැඩබැරිදාසලා (දේශපාලකයින් සහ නිලධාරීන්) රාජ්‍ය සේවයට ඇඟිලි ගැසීම නිසා බවයි. උදාහරණයක් ලෙස මීට දශක දෙක තුනකට පෙර තත්වය ගැන සළකා බැලුවොත් අදට වඩා පැහැදිලිවම පලදායි සහ විශ්වාසනීය සේවයක් රාජ්‍ය සේවය හරහා මිනිසුන්ට ලැබුණා. අපට විසදුම් සෙවීමට ඇති ප්‍රධානම ගැටලුව ලෙස මම දකින්නේ මෙන්න මේ නුසුදුසු දේශපාලකයින් සහ නිලධාරීන් නුසුදුසු තැන්වලට පත්වීම වලක්වා ගන්නේ කොහොමද කියන එකයි.

    ReplyDelete
  6. විවෘත ආර්ථිකේ කෙසේ වෙතත් අද වැඩිහරියක් ධනපති පන්තිය ළඟ ගැවසෙන්නේ කළු සල්ලි බව නම් කිවටුතු මනාය.
    විචාරක දියණිය

    ReplyDelete
  7. අජිත් පැරකුම් ජයසිංහගේ ඊනියා ස්ත්‍රීවාදයේ මයාකාරී සළුපට සබුද්ධික තර්කණයෙන් ඉරා දමා ජයසිංහයානු ස්ත්‍රීවාදයේ නග්නත්වය එළි කළ හරේන් මාපිටිගම සහෝදරයාට අන්තර්ජාතික විප්ලවීය වමේ උත්තමාචාරය!

    ReplyDelete
    Replies
    1. මා හෙළිදරව් කළ බව කියන එකී උත්තරීතර කමෙන්ට් සඳහා මගේ ෆේස්බුක් පිටුව බලන්න. මම තවමත් මගේ මතය වෙනුවෙන් එලෙස ම පෙනී සිටින බව ද පවසමි.

      Delete
  8. ලංකාවෙ ග්‍රාමීය ආර්ථිකයේ නිෂ්පාදන සහ සේවා නඟා සිටුවිය හැක්කේ සමූපකාර ක්‍රමය වැනි සියලු පාර්ශවයන් එක් වී ගොඩනඟා ගන්නා සාමූහික ව්‍යාපාරයක් තුළින්ය කියා මා සිතනවා. එවිට නිෂ්පාදනවලට අවශ්‍ය inputs මහා පරිමාණ ලෙස ලබා ගැනීම තුලින් ඒවා සඳහා වියදම අඩු කර ගත හැකියි. තනි තනිව කිසිවකුටවත් බැරි වූ එසේම නිෂ්පාදන සැකසීම, ඇසිරීම, ගබඩා කිරීම සහ අලෙවිය සඳහා බෙදා හැරීම වුවද එවන් සාමූහික ව්‍යාපාරයක් තුළින් ඔවුන්ට කළ හැකි වනු ඇත. එවිට රජයේ සහනාධාර විශාල වශයෙන් අවශ්‍ය නොවනු ඇති, නිෂ්පාදන වැඩි වනු ඇති, කළමනාකරණය වැඩිවනු ඇති, ග්‍රාමීයව රැකියාද බිහිවනු ඇති, ආර්ථික සුරක්ෂාව ඇතිවනු ඇති.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.