2017-10-19

මරණයේ තුඩුව එළියකන්ද ළඟදීම එළි දකී

එළියකන්ද පාර වර්තමානයේ: ඡායාරූපය උපුටා ගත්තේ මේ බ්ලොගයෙනි
එළියකන්ද වධකාගාරයේ ගෙවූ අවුරුද්දකුත්, සතියකුත්, මාසයකුත්, එක් දිනක් වන කාලය මගේ මුළු ජීවිතය ම හැඩගැස්වූ ක්ෂතිමය අත්දැකීමකි. අවුරුදු 25ක් තිස්සේ එය රචනා කරන්නේ කෙසේදැයි මම සිතා බලමින් සිටියෙමි. සත්තකින් ම කිහිප වරක් ම ඒ කතාව මුළුමනින් ම ලියා හෝ ලියන්නට පටන් ගෙන හෝ තිබේ. එවැනි අත්දැකීමක් සටහන් කිරීම එය විඳීමටත් වඩා අසීරු ය. 

එම සිදුවීම් දාමය දෙස උපේක්ෂාවෙන් බලන්නට හැකියාව අත්පත් කර ගන්නට ද මට බොහෝ කාලයක් ගත විය. ඒ හා සම්බන්ධ දේශපාලන හැඟීම්බරභාවයන්ගෙන් මා දැන් සම්පූර්ණයෙන් ම විනිර්මුක්ත වී ඇතැයි මම සිතමි. 

ඒ හා සම්බන්ධ විවිධ ගැටලු හේතුවෙන් අවසානයේදී මා තීරණය කර ඇත්තේ එය නවකතාවක් බවට පත් කරන්නට ය. නවකතාව ඇත්ත මත පදනම් වූ ප්‍රබන්ධයකි. පෞද්ගලික අත්දැකීමක් වාර්තාගත කරනවාට වඩා දුරක් නවකතාවක් ඔස්සේ යා හැකි වනු ඇතැයි මම සිතමි. 

එයින් මා උත්සාහ කරනුයේ ලංකා ඉතිහාසයේ එක්තරා යුගයක අත්දැකීම් ඇසුරෙන් තෝරා ගත් වස්තු බීජ කිහිපයක් ඇසුරු කරගෙන මිනිස් සන්තානයේ අඳුරු පැතිකඩ වෙත ආලෝක ධාරාවක් යොමු කරන්නට ය. 

දැන් මේ නවකතාව අවසන් අදියරේ ඇත. අවශ්‍ය පර්යේෂණ කිහිපයක් සඳහා මාතර පැත්තෙන් උපකාර කළ හැකි කිසිවෙකු වේ නම් කරුණාකර කියන්න. මේ අවුරුද්දේ පොත පළ කරන්නට බලාපොරොත්තු වෙමි. ප්‍රකාශකයකු සොයමින් සිටිමි. 

පහත දැක්වෙන්නේ පොතෙන් එක් කොටසකි. 

මුහුණ ඔබා තිබුණු ජීප් පතුල තෙත ගතියෙන් යුක්ත ය. ඔවුන් පාරට බසින්නට පෙර මඳ වැස්සක් වැටිණි. තෙත් උණුසුම් වාතයත්, ජීප් රියේ ඩීසල් දුමාරයත්, කණ් පතුල හාරන එන්ජින් හඬත්, මර බියත්, කලකිරීමත් මැදින් ඔහු ජීප් පතුලේ වමනය කළේ ය.
අවසානයේ එය ස්ථිරව නතර වන විට ඔහුගේ පා හිරි වැටී තිබිණි.

“බැහැපල්ලා.“

පාද දෙක පොළව මත සිටුවා ගන්නට උත්සාහ කළත්, පා හිරි වැටී තිබුණෙන් ඔහු බිම ඇද වැටුණේ ය.

“මේ මොකද මූ ගහන්නත් ඉස්සෙල්ලා මැරිල ද?“

පහර එල්ල වන්නට දැන් ඔන්න මෙන්න ය.

“මගෙ කකුල් හිරි වැටිලා.“

සෙබළෙක් ඔහුට උදව් කළේ ය. ඔවුහු ඇස් බැඳ සිටි රචක ඇදගෙන ගොස් ශාලාවක උස් පඩියකින් නංවා බිත්තියක් අද්දර බිම අතහැරියේ ය. රචක බිත්තියට පිට දී බිම වාඩි වී අන්දුන් කුන්දුන් වී ගිය මනස නිරවුල් කර ගැනීමට උත්සාහ කළේ ය.
මේ සියල්ල හීනයක් ද? එසේ නම් ඇහැරෙන්නේ නැත්තේ ඇයි?

තව මොහොතකට පසු රචක එතැනම, ඒ විදියට ම අසුන් ගෙන සිටියේ ය. ඔහුගේ සර්වාංගය ම පුපුරු ගසමින්, දැවෙමින්, මහා සීතලකට නිරාවරණය වූවා සේ වෙවුලමින් තිබිණි. මිරිස් කෑවා සේ ස්-ස් හඬින් හුස්ම ඉහළ අදිමින් හති ලන ඔහුත් නො දැන ම අඛණ්ඩ කෙඳිරියක් ඔහුගේ උගුරෙන් නැඟිණි. දැරිය නො හැකි තරම් බර ඇද වෙහෙසට පත්, කටින් සෙම හළන ගොනෙකුගේ කෙවිටි පහරින් තලන ලද සම මත නැගෙන රැළිති සේ තම සිරුර පුරා ද දහස් ගණනක් තිගැස්සුම් කම්පනය වෙතැයි රචකට සිතිණි. එහෙත්, ඒ කිසිවක් දැකිය නො හැකි තරමට කිටි කිටියේ රෙදි කඩකින් ඔහුගේ දෑස් බැඳ තිබේ.

වාහන රෝදවලින් ඇගිලි හෑරුණ, මඩ සහිත විශාල පිට්ටනියකැයි සිතිය හැකි සමතලා බිමක එහා කෙළවරට ගෙන ගොස් බිත්තියකට හේත්තු කර උණ පතුවලින් පිට මැද්දට ද පාදවලටද පහර පිට පහර දෙද්දී ඔහු බිම ඇද වැටිණි. ඔවුහු නො කඩවා ම පහර පිට පහර දුන් හ. හැම මාංශ පේශියකට ම, හැම අස්ථියකට ම දරා ගත නො හැකි වේදනාවක් දැනිණි. නො කඩවා ම ඊ-ඊ-ඊ හඬින් කෑ ගැසූ ගෑ ඔහුගේ දෑස් බැඳි රෙදිකඩ මොහොතකට ගැලවී ගියේ ය.

හාත්පස ආලෝකවත් කරමින් ගුප්ත කහ පැහැ සැර විදුලි පහන් එළි දල්වා තිබේ. අවට උස් කටුකම්බි වැට තුළ අවකාශයේ දිගු පාසල් ගොඩනැගිලි ශාලා ය. පිට්ටනියේ යුද ට්‍රක් රථ හා ජීප් ය. නාට්‍යානුසාරී ලෙස පහර දීම මෙහෙයවූ, යන්තමින් තුරුණු වියට එළඹුණු බව පෙනෙන, තවමත් දැලි රැවුල් වැවීම පමා වූ, අනෙක් අය ‘සර්‘ කියා අමතන හමුදා නිලධාරියා එල්ලේ ගසන පොල්ලක කෙළවර අග සිටගෙන බිම ඇද වැටී සිටි ඔහු දෙස බලා, “හහ් හහ් හා“ ගා කෘත්‍රිම ලෙස සිනාසුණේ ය.

නැවතත් ගුටි මුරය ඇරඹිණි. වේදනාව විසින් ම වේදනාව නිර්වින්දනය කළ බොහෝ වේලාවකට හෝ බොහෝ වේලාවක් ලෙස දැනුණු කෙටි කාලයකට පසු නිලධාරියා ‘නවත්වනු!‘ යි අණ කළේ ය.

‘හහ් හහ් හා,‘ යි නාට්‍යමය ලෙස යළි සිනාසුණු හේ ‘දැන් යනු!‘ යි කීවේ ය.

රචක නැගී සිටීමට උත්සාහ කළේ ය. ඒ සමග ම ඔහු කැරකී ගොස් ඇද වැටිණි. සොල්දාදුවෝ දෙදෙනෙක් ඔහුගේ උඩු බාහුවලින් ඩැහැගෙන ඇදගෙන ආහ. ගල් බොරළු මතින් ඇදෙන පා දෙක ගමනේ රිද්මයට මාරු කරන්නට රචක උත්සාහ කළේ ය.

ඔහුගේ මුළු ගත ම, කෙස්ස පවා දහදියෙන් පෙඟිණි. නහයෙන් දියාරු ඉස්මක් නොකඩවා ගලා ආවේ ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

20 comments:

  1. රචක බිත්තියට පිට දී බිම වාඩි වී අන්දුන් කුන්දුන් වී ගිය මනස නිරවුල් කර ගැනීමට උත්සාහ කළේ ය.


    මෙතන නිකම් කැතයි වගේ පැරා අංකල්. අවුල් වී ගිය මනස , කියනයෙදුම short and sweet වෙයි!

    අමිල

    ReplyDelete
  2. මෙතැන රචක කියන්නේ පිරිමි නමක් ද නැති නම් writer කියන අදහසින් ද?

    පිරිමි නමක් ලෙස නම් රචක යන්න ගැලපෙන්නේ නෑ කියා හිතෙනවා. පරාක්‍රම හෝ ජිතේන්ත්‍ර කියා යොදන්න බැරි ද?

    ReplyDelete
    Replies
    1. රචක ලෙස යොදා ඇත්තේ රයිටර් කියන අදහසත්, නමක් ලෙස රචක යන්නත් දෙක ම සිතාගෙනයි. නමක් ලෙස එය එතරම් හොඳ නැති බව මට ද සිතේ. ඔබ යෝජනා කරන නම් දෙකට ද මගේ කැමැත්තක් නැත. වඩා යෝග්‍ය නම් කීපයක් යෝජනා කරන්නේ නම් ගොඩක් ස්තුතියි.

      Delete


    2. මා පරාක්‍රම කියා යෝජනා කළේ පැරකුම් වෙනුවටයි, ජිතේන්ද්‍ර කීවේ අජිත් වෙනුවටයි.

      ඔව්, ඒ වගේ නම් වලට අයිතිකාරයනුත් කැමති නෑ තමයි!

      Delete
    3. වාසගමකකුත් දාමු චූලක එදිරිමුණි වගේ වෙන්න

      Delete
    4. යතික (<යාත්‍රික)- ගමනක යෙදෙන්නා වගේ නමකට මං නං කැමතියි.
      ඒක මට හිතුනෙ මයිකල් ඔන්දච්චිගෙ 'ඇනිල්'ස් ඝ්හොස්ට්' එකේ බලපෑමෙන්ද මන්ද. ඒකෙත් අර ඝාතකයන් විසින් මරාදාපුබවට (අතුරුදහන් කරපු) වෝහාරික සාක්කි ඇති 'ඇටසැකිල්ලට' නමක් දාන්නෙ 'Sailor' කියල නේද?

      Delete
    5. අකුරු තුනේ නමක් ගැලපෙනවා කියලා හිතෙනවා..විජිත කොහොමද?

      Delete
  3. මේ ගැන රෝහිත මුණසිංහ {එළියකන්ද වධ කඳවුර } ලියලා තියෙනවා. එම පොත ගෙන ඔබේ අදහස කුමක්ද ?

    ReplyDelete
    Replies
    1. රෝහිත මුණසිංහ එහි දිගු කාලයක් සිටි අයෙකු නොවෙයි. මා සිතන පරිදි ඔහු එහි හිටියේ සති දෙකක් වැනි කාලයක්. ඔහු එම පොතේ ඉදිරිපත් කරන කරුණු සියල්ල ම නිවැරදි නැහැ. එහෙත්, එය විසින් ලංකාවේ වධකාගාර සමාජයට විවෘත කළ පොතක්.

      Delete
    2. රෝහිත මුණසිංහ ගේ පොතේ බූස්ස ගැනත් දිගු විස්තරයක් තියෙනවා නේද? ඔහු බූස්සේ අවුරුද්දක් විතර ඉඳලා තියෙන බවයි මගේ මතකය ඒ පොතෙන්.

      Delete
  4. අතීතයේ අනේක දුක්විඳ තරුණ වියේදී ජීවිතය අකාලයේ දන්දුන් ඔවුන් වෙනුවෙන් අදටත් අප නෙත් තෙත් කරවන්නේ මෙවැනි අවදි කරවීම් තුලින් පමණි. අද අප විදින්නේ ඔවුන් එදා විදවම්න් පරිත්‍යාග කල බැවිනි.

    ReplyDelete
  5. I think you should release this book before next election for people to remind the UNP+JVP terror unleashed in 88/89. I am one of those unfortunate youth lived in that era and will never forgive UNP+JVP and never will vote for them until the last UNP+JVP politician is out from the party.

    ReplyDelete
    Replies
    1. UNP එකට හානියක් වෙනවනම් ඡන්දෙට කලින් පොත එළි දක්වන්න බැරි අමාරුකම් නහුතයක් මතු වේවි නේද පැරා.

      Delete
    2. මේක අපි ඒ පක්ෂ දේශපාලන මට්ටමෙන් නෙමෙයි අරගන්නෙ. මේක එජාප හෝ ජවිපෙ බල දේශපාලනය ගැන කතා කරන පොතක් නෙමෙයි. මේකෙ සාකච්ඡා කරන්නෙ මිනිස් ප්‍රචණ්ඩත්වයේ පැතිකඩ ගැන.

      Delete
    3. ඔබේ පෘථුල දෘෂ්ටිය ඉතා වැදගත්. අපි හැමදාම යූ ඇන්පිය, ජේවීපිය, එස් එල් එෆ්පී, සිංහල, දෙමළ , මුස්ලිම් කියල හෝ නැත්නම් බෞද්ධ, ක්‍රිස්තියානි ආදී වශයෙන් මගේ ආත්මාර්ථකාමිත්වය ටිකක් ඈතට පතුරුවා හැරල එක ප්‍රචණ්ඩත්වයක් තව ප්‍රචණ්ඩත්වයකට වඩා හොඳ හෝ නරක බව කියමින් විවිධ කණ්ණාඩි වලින් බල බලා මේ කුණු ක්‍රමය සාධාරණීකරණය කරනවා. මිනිසාට එරෙහිව මිනිසා විසින් කරනලද අපරාධ ලෙස මේවා නිර්වචනය කර ගත්තොත් ඒකම අපේ හිතට තදින් කාවද්දා ගත්තොත් අපේ ඊලඟ පරපුරටත් ඒ බව කියාදුන්නොත් අපි ජයගන්නවා. ඔබ මෙයට ගත්ත කාලයත් ඒ දෙස අන්ත වලින් විනිර්මුක්ත ආකල්පයකට එන්න දරපු ව්‍යායාමයත් ඔබ විසින් කරන් ලද ශ්‍රේෂ්ට කැප කිරීමක්.

      Delete
  6. මේක Oriana Fallaci ගෙ "A Man" වගෙ පොතක් වෙවිද. ඒ format එක හොදයි මට හිතෙන්නෙ. සුබ පැතුම් පැරා මේක ඉක්මනට පල කරන්න.

    ReplyDelete
  7. Wow...uncle para great. These should get unearthed somehow for the sake of present & future young generations.

    ReplyDelete

  8. ඕක අපි හැමෝගේම වධ වේදනා වල ප්රවකාශයක් වේවිද?

    ReplyDelete
  9. රචක වෙනුවට මෙය උත්තම පුරුෂයෙන් ලිව්වොත් හොදයි කියල හිතෙනවා

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.