2017-10-21

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලියට බ්‍රේක් ගැසිය යුත්තේ ඇයි?

සාමය ද ක්‍රියාවලියකි. එසේ නොමැතිව නිර්මානය කර අවසන් කළ හැකි චිත්‍රපට දර්ශනයක් වැනි අවස්ථාවක් නො වේ.

සාමය සඳහා බොහෝ දේ කළ යුතුව තිබේ. ආණ්ඩුක්‍රම ගොඩනැගීම යනු එයින් එකක් පමණි. එයට වුණත් පෙර කළ යුතු බොහෝ වැඩ කටයුතු තිබේ.

සාමය යනු එක පැත්තකින් ක්‍රියා මාලාවක් හෙවත් කැම්පේන් එකක් ද, තව පැත්තකින් බිස්නස් එකක් ද වේ.

සාම කොම්පැනි ගැන මතක් වන විට කුමාර් රූපසිංහලාගේ සුමනසිරි ලියනගේලාගේ තවත් එවැනි පීස්නික්ලාගේ බිස්නස් අමතක කර කතා කළ නො හැකි ය. (පීස්නික් යන වචනය සුමනසිරි ලියනගේගේ ම නිර්මානයකි. එයින් අදහස් වන්නේ රස්සාවට සාමය ගොඩනැගීම කරන අයයි. මෙවැනි අය විශාල වැටුප් වෙනුවෙන් සාම ව්‍යාපෘතිවල වැඩ කරන ගමන් යුද ව්‍යාපෘතිවලට ආවඩන්නෝ වූ හ. පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකකින් මෛත්‍රීපාල සිරිසේන දිනාගෙන ජාතික ලැයිස්තු මන්ත්‍රීකමකට තට්ටු කළ මලිත් ජයතිලක කුමාර් රූපසිංහ ළඟ වැඩ කළ එවැනි එක් පීස්නික් කෙනෙකි.) ඔවුන්ට අප බිස්නස්කාරයන් යයි කියන්නේ පැහැදිලි හේතුවක් මතයි. බිස්නස්කාරයන්ට දේශපාලනයක් නැත. ඔවුන්ට ඇත්තේ තමන් කරන ව්‍යාපාරයෙන් ලැබෙන ලාභය පිළිබඳ අදහසක් පමණි. බිස්නස්වලින් ලාභ නැතිව යන කල ඔවුහු ඒවා අතහැර දමා වෙන බිස්නස් කරති. ව්‍යාපෘති අවසන් වන විට මේ පීස්නික්ලා සාමය ගැන කතා කිරීම ද අවසන් කරති.

සාමය දේශපාලනය කර ගත් සිවිල් සමාජයක් ද අපේ රටේ ඇත. ඒවා ද රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති සමග සම්බන්ධ බව ඇත්තකි. එහෙත්, ව්‍යාපෘති ඇතත්, නැතත්, මේ පිරිස සාමය වෙනුවෙන් වැඩ කරති. එය ඔවුන්ට වෘත්තියෙන් එහාට ගිය දෙයකි. රස්සා නැති වුණත් ඔවුන් සාමය අත්හැර දමන්නේ නැත. මේ පිරිස වඩා අවංක පිරිසක් බව ඇත්තකි. එහෙත්, ඔවුන් අවංක තරමට දේශපාලනික නැත.

සාමය ගොඩනැගීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලියට ලඝු කරනු ලැබුවේ මේ සිවිල් සමාජ ස්ථරය විසිනි. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ නියමුවා වන ජයම්පතී වික්‍රමරත්න පැමිණෙන්නේ මේ පසුබිමෙනි.

මූලික ගැටලුව ඔවුන් හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහජනයා අතර ජනප්‍රිය නායකයන් නො වීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනැගීමේ ක්‍රියාවලිය හිර වන්නේ එතැන ය. සාම ක්‍රියාවලිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට ලඝු කළ විට සිදු වන්නේ සාම ක්‍රියාවලිය ද එතැන ම හිර වීමයි.

අප ඉතා පැහැදිලිව කියන්නේ මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තල්ලු කිරීමට උත්සාහ කිරීම දේශපාලනික වශයෙන් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි.

සාමය වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගොඩනගන්නට දරන උත්සාහයේ අවසන් ප්‍රතිඵලය ලෙස සාම විරෝධී, ජාතිවාදී, ලිංගවාදී, අන්තවාදී, ප්‍රතිගාමීන් බලවත් වෙනවා නම්, ඒ සාම ක්‍රියාවලිය ම අසාර්ථක එකකි.

සාමය ආර්ථිකයත් සමග ඍජුව සම්බන්ධ ය. අප ඉතා පැහැදිලිව කියන්නේ මේ මොහොතේ වඩා වැදගත් වන්නේ ආර්ථික සාමය ඇති කිරීම සඳහා වැඩ කිරීම බවයි. උදහරණයක් ලෙස, බලය බෙදා ගැනීමේ ව්‍යූහයන් තවදුරටත් පුළුල් කරන්නට යනවා වෙනුවට කළ යුතුව තිබෙන්නේ තිබෙන ව්‍යූහයන්වල ඵලසාධනය නැංවීමට කටයුතු කිරීමයි. පළාත් සභා බලතල හෝ තම පළාතේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීමට පළාත් නායකයන් අසමත් වන්නේ ඇයි ද යන්න සොයා බලන විට, රාජ්‍ය සේවය තුළ ඇති ගැටලුව හඳුනාගත හැකි ය. රාජ්‍ය සේවයේ ඵලදායිතාව නංවන තෙක්, කුමන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ආවත් ජනතාවට වැඩක් නැත.

රාජ්‍ය සේවයේ ඵලදායිතාව නැංවීම පවා සාම ක්‍රියාවලියට ඍජුව ම අදාළ ය. එහෙත්, අපේ සාම ව්‍යාපෘති ලියැවී ඇත්තේ නිර්මානශීලී මනස්වලින් මෙහෙයවෙන අත්වලින් නො වේ. ඒවා යාන්ත්‍රික බළල් අත් බවට පත් වීමත් සාමය හරහා වැටුණු බරපතල බාධකයකි. 

නිදසුනක් ලෙස, අවුරුද්ද අන්තිමේ මේ දවස්වල කොළඹ, යාපනය වැනි තැන්වල ලොකු හෝටලයක මඟුල් ගෙයක් පවත්වන්නට බැරි තරමට වැඩමුළු, සම්මන්ත්‍රණ, ප්‍රතිපත්ති සාකච්ඡා ආදිය තිබේ. මේ වනාහි සාම ව්‍යාපෘතිවල සල්ලි වියදම් කර ගැනීමේ ඉලක්ක සපුරා ගන්නා ඒවා ය. මේ වැඩසටහන්වලට මේ වන විට මුහුණ දෙන්නට සිදු වී තිබෙන ලොකුම අභියෝගය සහභාගි වන්නට පිරිස් නැතිකමයි. එහෙත්, වාර්තා ලියා යැවිය යුතුව තිබේ. හැම සාම ක්‍රියාවලියක ම සේ ම මෙම සාම ක්‍රියාවලියේ ද අරමුදල් කණගාටුදායක ලෙස නාස්ති වෙමින් තිබේ. (කියවන්න කෝටි ගණන් වැය වන රජයේ තමාෂා හා ලංකාවේ උත්සව සංස්කෘතිය )

ඇත්ත කල් කදුරු තිත්ත ය. සාම ව්‍යාපාර මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රීඩාව නවතා යළි තමන් දෙස ම බැලිය යුතුව තිබේ. සිවිල් සමාජය දේශපාලනික විය යුතු ය. 

මේ ලිපියත් කියවන්න. මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. පැරා,

    මට මුලින්ම අහන්න ඕනේ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මගින් විසදෙන ප්‍රශ්නය මොකද්ද ? කියන එකයි

    //මූලික ගැටලුව ඔවුන් හෝ ඔවුන්ගේ අනුග්‍රාහකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහජනයා අතර ජනප්‍රිය නායකයන් නො වීමයි.//

    ඔබ මේ කියන්නේ රනිල්ට ජනමතයක් නැතිබවද ? ඒ කියන්නේ රනිල් බහුතර මහජනතාව නියෝජනය නොකරන බවද ?

    //අප ඉතා පැහැදිලිව කියන්නේ මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තල්ලු කිරීමට උත්සාහ කිරීම දේශපාලනික වශයෙන් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි.
    //

    එකියන්නේ ජනතාව කැමති නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට, හැබැයි පැරා ලොක්කගේ මාම කලාවගේ රනිල් ලොක්කට මෙහෙම කරයිද දන්නේ නෑ.

    ජනමතයට

    01. රටේ ඒකීයබාවය නැතිකර සන්දිය රජයක්
    02. රටේ පලත්සබාවලට පොලිස් බලතල ඉඩම් බලතල දෙන නව ක්‍රමයක්.

    වගේ වචන පෙරලියක් කරලා මෙයින් ලැබෙන ප්‍රතිපලය දින්නත් පැරදුනත් සමාන වෙන ක්‍රමයක් රනිල් ලොක්ක ගෙනෙයි.

    //රාජ්‍ය සේවයේ ඵලදායිතාව නැංවීම පවා සාම ක්‍රියාවලියට ඍජුව ම අදාළ ය. //

    පසුගිය මාස කීපයක කාලයේ මට ලැබුන අද්දැකීම් මත රාජ්‍ය සේවයේ අක්ර්යක්ෂමතාවය ඇතිවෙන්නේ කොහොමද කියන අදහස මම යම්තරමකට තේරුම් ගත්ත.

    මෙන්න හේතු

    01. කිසියම් වැඩක් නිලදාරියකුට පැවරු විට ඔහුට හිතුමතේට ක්‍රියාත්මක වෙන්න බෑ, ඔහුට සිද්දවෙනව ආයතන සංග්‍රහයේ නීති රීති පිළිපදින්න, මෙහිදී හිතන්න ඔබට මුදලක් අනුමත කරන්න ඕනේ කියල, මෙවිට වෙන්නේ නිලදාරීන් ගණනාවකට අත්සන් තැබීමට සිදුවීමයි. ඉතා සුලුදෙයක් කිරීමට මාස ගණනාවක් ගතවෙන්නේ මෙනිසයි.

    02. දැන් කෙනෙක් අහයි හරි ලේසියි නේ මේ නීති වෙනස් කරන එකනේ කියල, නමුත් එක ප්‍රායෝගිකව ඉතා දුෂ්කරයි එය වෙනස් කිරීමට ඕනේ නම් ඔබට සිදුවෙනවා ආයතන සංග්‍රහය නව නීති ඇති පනත් කෙටුම්පත් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුව ට යවල සම්මත කරගන්න. මෙහිදී මේ නීති සම්මත උනාම පාඩු වෙන්නේ ඉහල දෙසපලයටත් ඔහුට පහලින් සිටින තම හෙන්ච කොලුවන්ටත් පමණයි නම් කිසිකලක මේ නීති සම්මත නොවෙයි.

    ඔබට මතක ඇති මම PayPal ගැන කිව්වා, දැන් මම ප්‍රායෝගිකව දන්නවා ඇයි PayPal ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අපහසු කියල,
    කතාව දික්වෙන නිසා මම සරලව උදාහරණයක් දෙන්නම්.

    හිතන්න ශ්‍රී ලංකාවේ වෙබ් අඩවියක් මගින් යමක් විකුනනවා කියල, මෙහිදී සිද්දවෙනවා Digital signature එකක් පිළිගන්න පහත ආයතන අතර තොරතුරු හුවමාරු කරන්න
    (අ) ශ්‍රී ලංකා රේගුව
    (ආ ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුව
    (ඇ ) ශ්‍රී ලංකා තැපෑල

    ආදී ආයත සියල්ලම Digital signature (අත්සන් ) මගින් සහතික කිරීමට පහසුකම් සැලසීම , මෙහිදී සියලුම ආයත පරිගණකගත කරලා සියල්ලම ආරක්ෂා කාරීව කරන්න වෙනවා වගේම සියලුම ක්‍රියාවලින් පරිගණක ගතවීම නිසා මෙතක් වංචා කල පිරිසට අනාගතයේ මෙය කිරීමට ඇති හැකියාව සිමා වෙනවා, ප්‍රශ්නය පැනනගින්නේ මෙන්න මෙතැනයි.

    කෙසේ වෙතත් රජයේ සමහර අමාත්‍යංශ PayPal ලබාගැනීමට මුලික අඩිතාලම දමමින් සිටිනවා නමුත් මෙය සම්පුර්ණ වීමට සියල්ල ක්‍රියාත්මක විය යුතුයි මෙහිදී මෙය සාර්ථක කරගමිමට රජයට ඉක්මනින් කරන්න ඕනේ නම් ඔවුන්ට සිදුවෙයි නිර්මාණාත්මක ලෙස දැඩි බාදා ඇති ප්‍රදේශ අතහැර සිමා කාරී ලෙස හෝ මේ සේවාව ලබාගැනීමට

    ReplyDelete
    Replies
    1. ඔය ජනතා කැමැත්ත, ජනමතය වැනි සංකල්ප ඕනැ කෙනෙකුට ඕනැ විදියකට පාවිච්චි කරන්න පුළුවන් වියුක්ත අදහස්. ඒවා නිර්නය කරන නිශ්චිත ක්‍රමවේදයක් නැහැ.

      දේශපාලනය කියන්නෙ මේ ජනමතය නවා ගන්න එක හෙවත් මැනිපියුලේට් කරන එක. ඒක හරියට කරගන්න පුළුවන් අය තමන්ගෙ අරමුණට යනවා. උදාහරණයක් විදියට මහින්ද රාජපක්ෂ ඉතා ම පටු අරමුණු වෙනුවෙන් පවා ඒ මැනිපියුලේට් කිරීම කළා. උදාහරණයක් තමයි 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය.

      වර්තමාන ආණ්ඩුවත් කරමින් ඉන්නෙ ඒ වැඩේ ම තමයි. ඒ වුණාට ඒක ඔවුන්ට කරන්නට අමාරු බවයි මගේ අදහස.

      Delete
    2. රාජ්‍ය සේවය ගැන ඔබේ අදහසට මා එකඟ නැහැ. ආයතන රෙගුලාසි, මුල්‍ය රෙගුලාසි තියෙන්නෙ වැඩ කිරීම නවත්වන්න නෙමෙයි. වැඩ කරන ආකාරය විධිමත් කරන්නට සහ මහජන මුදල් අපහරණය වෙන එක වළක්වන්න. ඒවා යාවත්කාලීන විය යුතුයි. ඒත් වර්තමාන රාජ්‍ය සේවය තුළ තියෙන්නේ ඒ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි. එතන තියෙන්නේ වැඩ නො කර සිටීම සඳහා ඒ රෙගුලාසිවලට ආවරණය වීමයි. තමන්ගේ වාසියට ඒ රෙගුලාසි උල්ලංඝනය කරන්නට කිසිම බයක් නැහැ. මං ඉතා සුලබ, සරල උදාහරණයක් කියන්නම්. ආයතන සංග්‍රහය අනුව, රජයේ සේවකයන් අනියම් නිවාඩු ලබා ගැනීම සඳහා දින හයකට කලින් අයදුම් කර අනුමත කර ගත යුතුයි. කොහේද බලන්න මේක ක්‍රියාත්මක වෙන්නෙ?

      Delete
    3. //තමන්ගේ වාසියට ඒ රෙගුලාසි උල්ලංඝනය කරන්නට කිසිම බයක් නැහැ. //

      මේ කතාව නම් 100% එකගයි. හැබැයි පැරා තමන්ට වාසියක් නැති අවස්තාවක රෙගුලාසි උල්ලංඝනය කිරීමට සේවකයෙක් පෙලබෙන්නේ ඇයි ? ඔහුට පහසු දේ තමයි තමාට එය කල නොහැකි බව කියල ඇග බේරගන්න එක, පුද්ගලීක අංශයේ එහෙම නෑ යම් පාඩුවක් විදීමට ආයතනයට සිදු උනොත් ආයතනයේ ඉහල කළමනාකාරිත්වය වේගයෙන් බලනවා ඊට හේතුව මොකද්ද කියල, මොකද බංකොලොත් උනොත් රාජ්‍ය අංශයේ වගේ රජයේ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන්නේ නැති නිසා.

      දැන් සිංගප්පුරුවේ වෙලා තියන්නේ පැරා රටේ සියලුම අංශ පරිගණක ගත කරලා තියනවා සොරකම් කිරීමට හැකියාව අවමයි වගේම අසුඋනොත් දඩුවම බරපතලයි, අනෙක් අතට ඉහල ඇමතිවරුන්ට විශාල වැටුපක් ගෙවන නිසා රජයෙන් සොරකම් කරලා දඩුවම් ලැබීමට අවදානමක් ගන්නේ නෑ.

      දැන් අපේ රටෙත් මෙවැනි ක්‍රමයක් ඇති කරන්න නම් ඇමතිවරුන්ට ඉහල වැටුපක් ලැබෙන්න ඕනේ එහෙම උනොත් විතරයි ඔවුන් සියල්ල පරිඝනක ගතකිරීමට පෙලබෙන්නේ යම්විදියකින් මෙය කරන්න ගිහිල්ල තමන්ගේ තියන ආදායම නැතිකරගන්න ඔවුන් මෝඩයෝ නෙමෙයි.

      Delete
  2. මේ හලෝ, ඔහේට පේපැල් ලොකුම ප්‍රශ්නෙ උනාට ලංකාවට එහෙම නෙමේ...
    තවම උතුරු නැගෙනහිර මිනිස්සු දාස් ගානක් ඉඩම් හමුදාවෙන් අල්ලගෙන ඉන්නවා, සිය ගානක් දේශපාලන සිරකාරයො බූස්සෙ ඉන්නවා, රාජපක්ෂ මැරයින් කල යුධ අපරාධ වලට දඩුවම් ලැබිල නෑ, හිංගල බෞජ්ජ කහකඩයෝ ජාතිවාදය අවුස්සනවා... මේවයි විසදන්න ඔනෙ ප්‍රශ්න..
    ඔහේගෙ තියෙන මෝඩ රනිල්/ බටහිර/ යූඑන්පී විරෝදෙ ගැන අපිට කැසිල්ලක් නෑ... අපි මරාව එලෙව්වෙ පේපැල් ගන්න නෙමේ, ඌ පතුරපු හිංගලබෞජ්ජ අන්තවාදී, ඒකාධිපති, දමිල/ මුස්ලිම් විරෝදී, චීන ගැති, බටහිර විරොදී මජර රාජ්‍ය යාන්ත්‍රනය අකුලන්න...

    ReplyDelete
  3. මේ අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන තල්ලු කිරීමට උත්සාහ කිරීම දේශපාලනික වශයෙන් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් විය හැකි බවයි.
    ++++++++++++++

    ReplyDelete
  4. අපොස අසමත්
    නීති සම්පාදනය සමත්
    උගතුන් අනූහතරක්
    සහිත දියවන්නාවේ
    මහජන නියෝජිතයන්ට
    තෝරාදෙන්න
    නව ව්‍යවස්ථාව
    ජයම්පතීයෝ නුඹට
    ගතවේවි
    ජිවිත කාලයක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.