2017-10-26

පළමුව ආර්ථිකය නම් බාටා - දෙවනුව ජාතිය නම් පාසල

ජාතිය ගැන සංවාද බොහොමයක් තිබේ.  නිර්මාල් දේවසිරි වැනි වාමාංශිකයෝ ද ඒ සංවාද පෝෂණය කිරීමට සුවිසල් දායකත්වයක් සපයති. ඒවාට ප්‍රගතිශීලීන් සම්බන්ධ විය යුත්තේ කොතැනින් ද යන්න තීරණය වන්නේ පවත්නා දේශපාලන සංදර්භයට සාපේක්ෂව බව මගේ අදහසයි.

දෘෂ්ටිවාදීමය කරුණු වන සිංහල බෞද්ධයාගේ හෝ දෙමළ ජාතිකයාගේ හෝ වෙනත් ජාතික ප්‍රජාවකගේ හෝ අභිමතාර්ථවලට වඩා පොදුවේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න වන ආර්ථික හා සංවර්ධන ගැටලු කෙරෙහි වැඩි අවධාරණයකින් යුතුව දේශපාලනිකව මැදිහත් වීම මේ නිශ්චිත මොහොතට අදාළව ප්‍රගතිශීලීන්ගේ වගකීම යයි සිතමි.

ජාතිය අවසන් දේශපාලන ප්‍රජාව නො වේ. මේ මොහොතේත්, දේශපාලනික ප්‍රජාවන් පුළුල් වෙමින් පවතින අතර අප එය දිරි ගැන්විය යුතු ය. අපගේ පරම්පරාවේ ප්‍රශ්න අපේ දරුවන්ගේ පරම්පරාවට අදාළ වන ආකාරය වෙනස් ය. ජාතිය ගැන ඕනෑව⁣⁣ට වඩා සංවාද කරන්නට යනවාට වඩා ඒ පරම්පරාවල අාර්ථික සංවර්ධනය වෙනුවෙන් වැඩ කිරීම දේශපාලනික ය. අනෙක් පැත්තෙන් ජාතිවාදී විෂබීජවලින් අනාගත පරම්පරාවලට නො දීම ද දේශපාලනික ය.

මා 2009 දක්වා උපරිම බලය බෙදීමක් සඳහා සහයෝගය දැක්වූයෙමි. එයට හේතුව, එය යථාර්ථයක් කර ගන්නට පුළුවන් ව්‍යූහයක් වන දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය එදා සක්‍රිය තත්වයක තිබීමයි. එහෙත්, ඔවුන් පවා යුද්ධය වෙනුවට සම්මුතිය දෙසට යොමු කර ගන්නට අපි අසමත් වීමු. ශ්‍රී ලංකා රජය තරම් හෝ ඔවුන් සම්මුතියකට සූදානම්බවක් පෙන්වූයේ නැත. සම්මුතීන්ට එළඹීමට පසුබට වීම එවැනි අන්තවාදී සංවිධානවල සුලබ ලක්ෂණයකි. එ් වෙනුවෙන් දෙමළ ජාතිය විසින් ගෙවන ලද වන්දිය අති විශාල ය.

දෙමළ අරගලය වෙනුවෙන් පමා වී පණ දෙන්නට යන අලුත් වාමාංශික මෝස්තරවාදීන් පිරිසක් දැන් බිහි වී තිබේ. ඔවුන්ගේ විශේෂය වන්නේ ඔවුන් වැඩි දෙනෙකු 2009ට පෙර සමයේ අප බලය බෙදා ගැනීමේ සාකච්ඡාමය විසඳුමක් වෙනුවෙන් වැඩ කරද්දී සහ අප අතර ම සිටි තව පිරිසක් දෙමළ වෙනම රාජ්‍යයකට සහයෝගය දෙද්දී එය කර ඇර සිටි අය සහ දෙමළ විරෝධී යුද්ධයට ආවැඩූ අය වීමයි. දෙමළ අරගලය වෙනුවෙන් දකුණෙන් සිදු වූ උපරිම සංකේතාත්මක මැදිහත්වීම ලෙස මා දකින්නේ 2003දී පැවැත්වුණු සිහල දෙමළ කලා උළෙලට සිහල උරුමය පහර දුන් අවස්ථාවේ දෙමළ කලාකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන ලද සටනයි.

පසුව හෝ නිවැරදි වීම වරදක් නැති මුත් සියල්ල විනාශ වූ පසු බොරුවට හෙළන කිඹුල් කඳුළු ද හඳුනා ගත යුතු ය.

සද්ධර්මරත්නාවලියේ 'ආඳා යවා තබාලා වල්පත ගන්නාසේ' යි උපමාවක් යෙදුණේ මේ අය කරන දේ වැනි අමන වැඩ සඳහා ය. මේ වගේ කාලයක ෆේස්බුක්හි ප්‍රභාකරන් වීරයකු යයි කීම යුද්ධය පැවති කාලයේ සාමය වෙනුවෙන් වැඩ කිරීම තරම් අභියෝගාත්මක වැඩක් නො වේ. 

දෙමළ ජාතියට තව දුරටත් ජාතිවාදයෙන් කිසිවක් අත් කර ගත නො හැකි බවට මම සරල උදාහරණයක් දෙමි. විසුවනාදන් රුද්‍රකුමාරන් අගමැති වෙමින් පිහිටුවන ලද දෙමළ ඊලාම් පාරජාතික ආණ්ඩුවට වෙච්ච දෙයක් දන්නා කෙනෙකු සොයා දෙන්න.

ලංකාවේ ජාතික ප්‍රශ්නය විසඳීමට කෙටි ක්‍රම නැති බව අප දැන් පසක් කර ගත යුතු ය. වෙනම රාජ්‍ය පමණක් නොව 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා ගිය බලය බෙදීමක්වත් යථාර්ථයක් කර ගැනීම අති දුෂ්කර ය. එයට එක් මූලික හේතුවක් වන්නේ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවන ලද පළාත් සභා ඔස්සේ හෝ කළ හැකි දෙයක්වත් කරන්නට උතුරු නැගෙනහිර පළාත් සභා අසමත් වීමයි.

පවත්නා රාජ්‍ය ව්‍යූහය වෙනස් නො කර, බලය බෙදීමකින් ජනතාවට සෙතක් නො වන බව ඉතා පැහැදිලි ය.

පවත්නා මධ්‍යම පන්ති මූලික රාජ්‍ය ක්‍රමය වෙනස් කරන්නට නම් රාජ්‍ය නියාමනයක් සහිත නිදහස් වෙළඳ ආර්ථිකයක් ගොඩනැගිය යුතු ය. ව්‍යවසායක හා කම්කරු පන්ති බලවත් කළ යුතු ය. වෙනත් විසඳුමක් නැත.

මාක්ස්වාදී සමාජවාදය කිසි සේත් ම සාර්ථක විසඳුමක් නො වේ. එයට හේතුව දැන් ක්‍රියාත්මක වන රාජ්‍ය මූලික ධනවාදී ක්‍රමය ද බොහෝ දුරට ඒ සමාජවාදයට සමාන වීමයි. එයට යන්නට පුළුවන් උපරිම දුර දැන් ගොස් හමාර ය. අනෙක් පැත්තෙන් ලංකාවේ මාක්ස්වාදී පරමාණුක සංවිධාන වනාහි කිසිවක් කර ගත නො හැකි අතදරුවන් පිරිසකි. රටේ වෙනසක් කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් කළමනාකරණය කර ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත.

තිබෙන එක ම විසඳුම රාජ්‍ය නියාමනයකින් යුත් නිදහස් වෙළඳපොළ ආර්ථිකයයි. එය ක්‍රියාත්මක කරන්නේ එජාප ද ශ්‍රීලනිප ද පොදු ජන පෙරමුණ ද යන්න වැදගත් නැත. මූලික වශයෙන් නායකයන් ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා නම්, නීතියේ ආධිපත්‍යය පිළිගන්නවා නම්, සාපේක්ෂ වශයෙන් අඩුවෙන් දූෂිත නම් ඒත් ඇති ය.

ලෝකය සමග සම්බන්ධ වෙමින්, ආර්ථිකය ස්ථාවර තත්වයකට පත් කිරීම සඳහා ලංකාව දැවැන්ත අරගලයක් කළ යුතුව තිබේ. මේ මොහොතේ මූලික අරගලය ද එයයි. ඒ වෙනුවෙන් පවත්නා බලය බෙදා ගැනීමේ ව්‍යූහයන් උපරිම අන්දමින් භාවිතා කරමින්, සියලු ජාතීන් සංවර්ධන ක්‍රියාවලියට සම්බන්ධ කරගෙන කටයුතු කළ යුතු ය. එවැනි කළමනාකරණයක් කළ හැකි නායකත්වයක් අප ගොඩනගා ගත යුතු ය.

අනෙක් පැත්තෙන්, ඉවසීම හා කල් ගැනීම ද අවශ්‍ය ය. විශේෂයෙන් ම ඊළඟ පරම්පරා ජාතිවාදය සලකා බලනු ඇත්තේ අපේ පරම්පරා එය සලකා බලන තැනින් නො වනු ඇත. ලංකාව ආර්ථික ස්ථාවරය ගොඩනගා ගැනීමට ගන්නා පියවර පමණක් නොව, ජනවිකාසයෙහි සිදු වන වෙනස්කම් පවා මෙහිදී අදාළ ය. 2030 වන විට ලංකාවේ ජනගහනයෙන් පහෙන් පංගුවක් වැඩිහිටියන් බවට පත් වන්නේ නිකම් නො වේ. වර්තමාන ජාතිවාදී, මාක්ස්වාදී, රැඩිකල් පරම්පරාවන් ද අත පය අවලංගු පිරිස් බවට පත් කරමිනි.

ප්‍රගතිශීලීන් ජාතිය ගැන කතා කරනවාට වඩා පුළුල් දේශපාලන ප්‍රජාවන් වෙනුවෙන් වැඩ කරන්නට ඕනැ එම නිසා ය. ජාතිවාදයන් සමාජයේ තිබුණු පලියට ප්‍රගතිශීලීන් ඒවාට කර ගැසිය යුතු නැත. (වාමාංශිකයන් හා ප්‍රගතිශීලීන් යනු එක වර්ගයක් නො වේ.) ප්‍රගතිශීලීන් ජාතිවාදයන් සමග වැඩ කළ යුත්තේ තත්වයන් කළමනාකරණය කරමින් හා සමාජ ඉදිරිගමන පුළුල් අර්ථයකින් සලකා බලමිනි. 

පළමුව ආර්ථිකය ය. දෙවනුව සංවර්ධනය ය. තුන්වනුව චිරස්ථායීභාවය ය. ජාතිය වැනි දෘෂ්ටිවාදීමය කාරණා ගත යුත්තේ ඊටත් පසුව ය. ජාතිවාදයන් වෙනුවෙන් පණ දෙන්නට යන එක ප්‍රගතිශීලීන්ට කොහෙත් ම අදාළ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

1 comment:

  1. දෙගුරුන් විසින් තම - දරුවන්ට දෙන නොමඳ දන නම්
    වියතුන් සභා මැද - ඉන්ට ඉදිරිව සිල්ප දෙනු මැයි

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.