2017-10-03

ධර්මසේන පතිරාජගේ ස්වරූප හා ඇන්ටික් ලයිෆ්

ධර්මසේන පතිරාජ ලංකාවේ ජ්‍යේෂ්ඨ හා ශ්‍රේෂ්ඨ සිනමාධරයකු බව අමතක නො කරමින් ස්වරූප චිත්‍රපටය ගැන මට හිතෙන හැටි බොරු ව්‍යාජ වර්ණනා නැතුව මෙසේ ලියමි.

එම චිත්‍ර‍පටය කියැවිය හැකි ප්‍ර‍ධාන ආකාර දෙකක් තිබේ.

1. කෆ්කාගේ රූපාන්තරණය නම් කෙටි නවකතාවේ අනුවර්තනයක් ලෙස
2. කෆ්කාගෙන් අභාසය ලද ස්වාධීන කෘතියක් ලෙස

ලංකාවේ මුදල් ගෙවා චිත්‍ර‍පට බලන අප වැනි සාමාන්‍ය සිනමා රසිකයන් කෆ්කා කියවා ඇතැයි කෆ්කා කියවූ බව කියන, චිත්‍ර‍පටයේ ප්‍රෙස් ෂෝ එක නොමිළේ බලන, විචාරකයන් යයි තමන් හඳුන්වා ගන්නා, ධර්මසේන පතිරාජට පතී යි කියන, පතී සමග එකට වැඩ කර ඇති, පතී සමග බීලා තියෙන ප්‍ර‍භූන් පිළි ගන්නේ නැත. එබැවින්, ඔවුන්ට අනුව මෝඩයන් වන අපට මෙම චිත්‍ර‍පටය කෆ්කාගේ නවකතාව සිනමාවට අනුවර්තනය කර ගැනීමක් ද යන්න අදාළ නැත. අප යන්නේ චිත්‍ර‍පටයක් බලා රසයක් විඳින්නට ය. ප්‍රහේලිකාවකින් ඔලුව කුරුවල් කර ගන්නට නො වේ.

කෆ්කා අමතක කර වෙනම මෙම චිත්‍ර‍පටය සලකා බැලුවහොත්, එම චිත්‍ර‍පටයේ රූප රාමු හැම එකකම ඇති මූලික ලක්ෂණය වන antique ගතිය හෙවත් පෞරාණිකත්වය අමතක කර චිත්‍ර‍පටය රස විඳිය නො හැකි ය.

එහි ඇත්තේ කිසියම් ඉතිහාසයකට අයිති පැරණි ගෘහ නිර්මාන, ගෘහෝපකරණ, ඇඳුම් පැළඳුම් ආදිය නො වේ. එහි ඇත්තේ දිරා ගිය, මළ බැඳුණු, කැඩුණු-බිඳුණු, හම ගිය ඇන්ටික් දේවල් ය. එහි සිටින මිනිසුන් ද එසේ ය.

එය ඉතිහාසය ප්‍ර‍තිනිර්මානය කිරීමේ උත්සාහයක් නො වේ. කෆ්කාට ද කාලය අදාළ නැත. මෙම චිත්‍ර‍පටය ද ඉතිහාසයේ එක් අවධියක් නිරූපණය කරන එකක් නො වේ. මෙහි සෑම රූප රාමුවක් පාසා ම ඇත්තේ ඇන්ටික් ය. එහි මූලික ලක්ෂණය මෙම පෞරාණිකත්වයයි. එහි සිටින මිනිසුන් වනාහි ඇන්ටික් ලෝකයක ජීවත් වන මළගිය පරාණකාරයන් වැනි පිරිසකි. එහි මූලික විකාරරූපිත්වය එයයි. අනෙක් සියල්ල ම රූප රචනා වන්නේ මෙම පෞරාණිකත්වය තුළයි.

සිනමාකරුවා සෑම රූප රාමුවක් තුළ ම ඉතා පරිසමාප්ත කලා අධ්‍යක්ෂණයකින් හා ආලෝක පාලනයකින් යුක්තව මේ පෞරාණිකත්වය නඩත්තු කරයි. චිත්‍ර‍පටයේ සිදුවීම් පෙළගැස්ම මෙම පෞරාණික පසුතලය තුළ පිහිටුවයි. 

එහි ප්‍ර‍ධාන චරිතය වන ග්‍රෙගරි නම් තරුණ වෙළඳ සේවකයා දිනක් උදෑසන කුරුමිනියකු හෝ වෙනත් අද්භූත සතකු වෙයි. එතැන් සිට පෙළගැසෙන්නේ ග්‍රෙගරි කුරුමිනියකු වීම නිසා ඔහුගේ පවුලේ සිදු වන ආර්ථික, සමාජමය හා භාවමය විපර්යාසයයි.

කුරුමිනියා භාරගැනීම, ඔහු සමග ජීවත් වීම හා කුරුමිනියාගෙන් ගැලවීම පිළිබඳ කතාව එහි සියුම් අන්තර් සම්බන්ධයන් ද සමග තේරුම් ගැනීමට නම් කෆ්කාගේ රූපාන්තරණය නවකතාව කියවන්නට ම සිදු වේ. එය නො කියවූ අයට චිත්‍ර‍පටය තේරෙන්නේ නැත. එබැවින් අප වැනි සාමාන්‍ය මිනිසුන්ට බැනලා වැඩක් නැත. එතනින් එහාට මේ චිත්‍ර‍පටය විවරණය කිරීම පණ්ඩිත විචාරකයන්ගේ වැඩකි.

කෆ්කාගේ රූපාන්තරණය කෙටි නවකතාව වනාහි ඕනෑම පාඨකයකුට මහත් ආසාවෙන් කියවිය හැකි රසවත් කෘතියකි. එය විකාරරූපී සාහිත්‍ය කෘතියක් ලෙස පසු කලෙක අර්ථ නිරූපණය වන්නට ඇත. ඒ අනුව, ඒ ශෛලියෙන් ලියන වෙනත් රචකයන් ද බිහි වන්නට ඇත. එවැනි රචනා ශෛලි ලංකාවේ අය ද අනුගමනය කළ හ. ඒවා විකාරරූපී, අධියථාර්ථවාදී වැනි නම්වලින් හැඳින්විණි. එහෙත්, මේ බොහෝ පසුකාලීන ලේඛකයන් ඒවා ලිව්වේ ඒ ශෛලියෙන් ලියන රැල්ලට, විලාසිතාවට නිසා ඒ බොහෝ ඒවා කියවා රස විඳීම දුෂ්කර ප්‍රහේලිකා ය. ඒවායේ නැත්තේ කෆ්කා තුළ තිබූ අපූර්වත්වයයි. එයට හේතුව, මේ රචකයන් කෆ්කා මෙන් කිසියම් ස්වාභාවික මනෝභාවයකින් නිර්මානයට පිවිසෙනවා වෙනුවට කෘත්‍රිමව එය ඇති කර ගැනීමට උත්සාහ කිරීමයි.

අධියථාර්ථවාදය ඉතා සියුම් නිර්මානශීලිත්වයකින් හසු කර ගත් එක් අවස්ථාවක් මෙම චිත්‍ර‍පටයේ තිබේ. ඒ ග්‍රෙගරි තම කාර්යාලයේ කැඩපතින් මුහුණ බලන අවස්ථාවයි. එම අවස්ථාවේදී ග්‍රෙගරි ඉවත් වී ගියත්, කණ්ණාඩියෙහි ග්‍රෙගරිගේ රූපය රැඳී තිබේ. අධියථාර්ථවාදය වනාහි පරිකල්පනයේ ඉහළ තලයකි. එය නිර්මානය තුළින් නිසගයෙන් උපදින නිර්මාණශීලිත්වයකි. කෘත්‍රිමව ඇති කළ හැක්කක් නො වේ. 

සාමාන්‍ය රසිකයකු වන මා කලා කෘතියක වඩාත් ම අගය කරන දෙය වන්නේ එහි අපූර්වත්වයයි. කලා කෘතියක අපූර්වත්වය බිහි වන්නේ එහි අව්‍යාජත්වයෙන් හා නිර්මාපකයාගේ පරිකල්පනීය ශක්තියෙනි. අපූර්ව කලා කෘති බලෙන් ඉපැදවිය නො හැකි ය. ඒවා නිසගයෙන් පැන නගියි. කලාකරුවා කළ යුතුව තිබෙන්නේ අව්‍යාජව ජීවත් වීම හා නිර්මානකරණයේ යෙදීමයි. වෘත්තීය කලාකරුවන්ට මෙය කොතරම් දුරට කළ හැකිදැයි මම නො දනිමි. එසේම, චිත්‍ර‍පටය වැනි සාමූහික හා වෙළඳපොළ පාදක නිර්මානයකදී ද යම් සංකීර්ණත්වයන් තිබිය හැකි මුත්, මූලික කලාත්මක සංකල්පය සම්බන්ධයෙන් මා කියූ දෙය අදාළ ය.

ධර්මසේන පතිරාජගේ අරමුණ වන්නේ කෆ්කාගේ නවකතාව රූපයට නැගීමයි. එබැවින් ස්වරූප විවරණය කළ යුත්තේ කෆ්කාගේ රූපාන්තරණය නවකතාවට අනන්‍යවයි. කුරුමිනියා චිත්‍ර‍ණය කරනවාට කෆ්කා අකැමැති වූ බව මම අසා ඇත්තෙමි. එය රූපයට නැගීම ම එක් අතකින් නවකතාවේ රසය චිත්‍ර‍පටය තුළ මරා දැමීමක් වන්නට පුළුවන.

කෆ්කාගේ නවකතාව පතිරාජගේ සිනමාත්මක රූපරචනය තුළ ප්‍ර‍තිනිර්මානය කිරීමේදී මට නම් එය ඉහත මා කී පෞරාණිකත්වයෙන් වෙන් කළ නො හැකි ය. එකී පෞරාණිකත්වය මා තුළ නිර්මානය කරන්නේ ප්‍රහේලිකාවකි. කෆ්කාගේ කෘතිය ප්‍රහේලිකාවක් නො වේ.

එසේම, නවකතාවේ බොහෝ වැදගත් දේ ධර්මසේන පතිරාජට මගහැරෙන බව මගේ අදහසයි. නිදසුනක් ලෙස කුරුමිනියා හා සමග පවුලේ අයගේ අන්තර් සම්බන්ධය ද, එය වෙනස් වන හැටි ද, ඒ හා සම්බන්ධ මනෝභාවයන් ද කෆ්කා ගැඹුරින් විග්‍ර‍හ කරයි. පතිරාජ ඒවා මතුපිටින් අතපතගායි. කෆ්කා ලියන්නේ උත්තම පුරුෂ කථනයකට සමීප ග්‍රෙගර්ගේ චරිතය මූලික කර ගත් ප්‍ර‍ථම පුරුෂ කථනයකිනි. ධර්මසේන පතිරාජගේ කථනය දුරස්ථ ප්‍ර‍ථම පුරුෂ එකකි.

නිදසුනක් ලෙස ග්‍රෙගරිට තමන් කලින් ඇලුම් කළ කිරිවල රස නො දැනී යන අයුර අපට වැටහේ ද? ඔහුගේ නැගනිය ඔහුට සපයන ආහාරවලට කර ඇති වෙනස වැනි දේ අපට පහසුවෙන් තේරෙනවා ද? ග්‍රේටාගේ වයලින් වාදනයට සවන් දෙන්නට කුරුමිනියා පැමිණීම, වාදනයේ රසයෙන් ගිලිහී සිටි බෝඩිංකාරයන් කුරුමිනියා දැකීම, ග්‍රෙගරිගේ පියා කුරුමිනියාට ඇපල් ගෙඩියකින් පහර දීම, ඇපල් ගෙඩිය කුරුමිනියාගේ සිරුරෙහි රැඳීම, ආදම් කෑ ඇපල් ගෙඩියෙන් සේ මේ ඇපල් ගෙඩියෙන් ද ග්‍රෙගරි ඇතුළු සියලු දෙනාට යථාර්ථය අවබෝධ වෙන්නට පටන් ගැනීම වැනි කෆ්කාගේ නවකතාවේ නාට්‍යමය සිදුවීම් ස්වරූප චිත්‍ර‍පටයෙහි ඉදිරිපත් කර ඇත්තේ හැඟීම්වලින් තොර වියළිබවකිනි. 

අප වැනි ගෙදර වැඩ ගොඩක් කර චිත්‍ර‍පට බලන්නට නො එන, විචාරක පඬිවරුන් නො වන සාමාන්‍ය රසිකයන්ට ස්වරූප මහා කම්මැලි චිත්‍ර‍පටයක් වන්නේ ඒ නිසා ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. ොනව උනත් අජිත් අයිය සාමාන්‍ය රසිකයකු යැයි විග්‍රහ කර ගැනීම වටීද

    ReplyDelete
    Replies
    1. අසාමාන්‍ය විචාරකයන් ඉන්න මේ රටට වැඩි වැඩියෙන් අවශ්‍ය සාමාන්‍ය රසිකයන්වයි.

      Delete
  2. "ස්වරූප" බලන්න
    නොමැත වරම් මට
    ඈත දුරු රටක
    දිවි ගෙවනා

    "අහස ගව්ව"
    තරමට ලස්සනදැයි
    බලපු කෙනෙක්
    මට කියනු මැනා

    ඉර අඳුරු පට
    පෙර දිග අහසේ....
    එන්න මගේ පිය මිතුරෝ....

    ReplyDelete
  3. film eka balan nathuwa unath eva wicharaya karanna puluwan ne ayya.

    ReplyDelete
    Replies
    1. අපොයි පුළුවන්. මං දන්න කෙනෙක් වරක් කොළඹ මහජන පුස්තකාලෙ පුරහඳ කළුවර ගැන දේශනයක් කළා ඒ චිත්‍රපටය බලන්නෙ නැතුව.

      Delete
  4. ඔළුව අවුල් වෙන චිත්‍රපටියක් වගේ. ඉස්සර බැලුවට දැන් බලන්න හිතෙන්නෑ එහෙම එවුවා.

    ReplyDelete
  5. සාමාන්‍ය රසිකයෙක් නම් පඬි විචාර නොදී සිටීම මැනවි!

    ReplyDelete
    Replies
    1. සාමාන්‍ය මිනිහා සහ රසිකයා අතර වෙනසක් ඇත. රසිකයා යනු රස විඳින්නෙකි. මා කර ඇත්තේ මා වින්ද රසය, නො වින්ද රසය හා එයට හේතු ගැන කතා කිරීමයි. මෙය පඬි විචාරයක් නො වේ.

      Delete
  6. පතිරාජ මෙම කතාව අනුසාරයෙන් කරපු බටහිර චිත්‍රපටයක් අනුකරණය කරල තියෙනවා. ඇන්ටික් ගතිය එන්නෙ ඒකයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.