2017-10-05

පහේ ශිෂ්‍යත්වය ගැන කුමක් කළ යුතු ද?

පහේ ශිෂ්‍යත්වය ගැන තවත් ලිපියක් මෙතනින් 
පහේ ශිෂ්‍යත්වය කියන්නෙ වර්තමාන තත්වය අනුව ජීවිතේ වැදගත් කඩඉමක්. එය ලංකාවේ ළමයින්ගේ ජීවිත බරපතල විපර්යාසයකට ලක් කරන දැඩි තරගකාරී විභාගයක්. එය නිදහස්, නිර්මානශීලී අනාගත පරපුරක් බිහි කිරීමේ ලා බරපතල බාධාවක් බව ඇත්ත. ඒ පිළිබඳ විවේචන එමටයි.

ඒ වුණාට මේ විභාගය දිහා ජනප්‍රිය නිශේධාත්මක ඇසින් බලන එක හරි ද?

මේ පිළිබඳ සිතන්නට මා පෙළඹුණේ පිලිප් ශාන්තගේ ‘ශිෂ්‍යත්ව විභාගය ජීවිතයකට කිසිම වටිනාකමක් එකතු නොකරයි' කියන අදහසත් එක්ක.

ග්‍රාමීය හෝ නාගරික පරිවාරයන්ගේ දරුවකුට රජයේ වඩාහොඳ පාසලකට ඇතුළත් වන්නට තිබෙන එකම සාධාරණ අවස්ථාව පහේ ශිෂ්‍යත්වයයි. එහෙත්, ඒ සඳහා අසාමාන්‍ය දක්ෂකමක් තිබිය යුතුයි. උදාහරණයක් ලෙස, අනුරාධපුරයේ සිට කිලෝමීටර් 150ක් පමණ ඈතින් පිහිටි වැලිඔය ගජබාපුර සිංහල පාසලේ දරුවෙකුට ලකුණු 160ක් ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුයි. එහෙම කළත්, අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වීමට තරම් ඒ ලකුණු ප්‍රමාණවත් නැහැ.

ගමේ පාසල හොඳම පාසල යන්න ඇත්තක් නො වේ. ගමේ පාසල්වල පහසුකම් අවමයි. උසස් පෙළ සමත්ව රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම් ලැබෙන්නේ මෙතනින් තේරී හොඳ පාසල්වලට යන දරුවන්ට ය. මේ සියලු වටිනාකම් ශිෂ්‍යත්වය අසමත් වන පරිවාරයේ පාසල්වල දරුවන්ට අහිමි වේ.

ශිෂ්‍යත්වයෙන් වටිනාකම් එකතු වෙන්නෙ නැහැ ය කියන එක වැරදියි. මේකට විසඳුමක් යෝජනා නො කර පහේ ශිෂ්‍යත්වයට බනින එක තේරුමක් නැහැ. මගේ දුව පහේ ශිෂ්‍යත්වය ලිව්වා. ඇය දැනට එතරම් අධ්‍යාපනයට නැඹුරු අයෙකු නෙමෙයි. පාසලේ හවස පන්ති තිබුණා. තවත් පන්තියකටත් ඇය ගියා. මගේ බිරිඳ ගෙදරදී උදව් කළා. ඒ වුණාට එයා ඒ එකක්වත් ඇඟට ගත්තේ නැහැ. එයාගේ ගානට විතරයි එයා කළේ. මට හිතෙන විදියට ලොකු පීඩනයක් එයා ගත්තෙ නැහැ. අපට තිබුණා. ස්විමිං හා නැටුම් පන්ති නවත්වන්නට වුණා. ඒක ලොස් එකක්. හැබැයි, එයා එච්චර ක්‍රීඩාවට දක්ෂ ළමයෙකු නෙමෙයි. එයා ලියන රචනාවලට හැමදාම හොඳ ලකුණු ලැබෙනවා. ගණිතයට ටිකක් දුර්වලයි. මං උදේ කතා කරලා ඇහුවා ප්‍රතිඵල බලමුද කියලා. අනෙක් පැත්ත හැරිලා නිදා ගත්තා. ලකුණු 152ක් තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම නම්, මේ ශිෂ්‍යත්වය වෙනුවෙන් කරපු වැඩ කිරීම නිසා දරුවාගේ යම් අධ්‍යාපනික අඩුපාඩු නැති වුණා. අධ්‍යාපනයට නැඹුරු නැති ළමයෙකු ඒ පැත්තට නැඹුරු වුණා. විශේෂයෙන් ම ගණිතය පැත්තෙන් ලබපු සංවර්ධනය වැදගත්.

පහේ ශිෂ්‍යත්වය පටන් ගත්තෙ කන්නන්ගර මහත්තයා හතළිස්ගණන්වල. ගමේ සාමාන්‍ය ගැහැනියක වෙන්නට ඉඩ තිබුණ මගේ නැන්දම්මා ඉංග්‍රීසි ගුරුවරියක වුණේ පහේ ශිෂ්‍යත්වය නිසා. මගේ නැන්දම්මාගේ ජීවිතයට එකතු වෙලා තියෙන්නෙ වටිනාකමක් නෙමෙයි ද?

මම 1975දී පහේ ශිෂ්‍යත්වය සමත් වුණා. පිරිමි ළමයින් දෙන්නයි පාස් වුණේ. එකෙක් කොළඹ ආනන්දෙට ගියා. මං මතුගම ආනන්ද ශාස්ත්‍රාලයෙම නතර වුණා. දරුවන් සිව්දෙනෙකු සිටි, ගෙයක් හදා ගන්නට දත කමින් සිටි, රැකියාව විතරක් තිබුණු රජයේ ගුරු යුවලකගේ පුතකු වන මට ශිෂ්‍යත්ව සල්ලි නො ලැබීමත්, මගේ මව්පියන්ට මා වඩා හොඳ පාසලකට යවන්නට වියදම් දරා ගැනීමට නො හැකි වීමත් එයට හේතු වෙන්නට ඇති. මං ගිය ඉස්කෝලෙ විෂය අධ්‍යාපනය පිළිබඳ ගැටලු තිබුණෙ නැහැ. ඒත්, විෂය බාහිර වැඩ සඳහා එක ක්ලබ් එකක්වත් තිබුණෙ නැහැ. බිග් මැච් එකක් නිසා පැවතුණු ක්‍රිකට් හැරෙන්නට වෙන කිසිම ක්‍රීඩාවක් අවම හෝ පිළිවෙලකට කෙරුණෙ නැහැ. ජීවිතයට වටිනාකම් එකතු වෙන්නෙ විෂය අධ්‍යාපනයෙන් ම නෙමෙයි. මේ වගේ ඉස්කෝලවලින් නව යොවුන් වියේ අපේ පොපියන උනන්දුවට බුබුළු නැගෙන්නට අවකාශයක් සපයන්නට බැරි වුණා. ඒ නිසා තමයි, මෙවැනි පාසල්වලට ගිය අපි වගේ ළමයි, විවෘත වුණ ආස්වාදනීය අවකාශය වන කැරැලිකාරී දේශපාලනය වෙත යොමු වුණේ.

මෙය පිලිප් කියන්නා සේ පෞද්ගලික ආවේගයක් නෙමෙයි. සජීවී උදාහරණයක්. පහේ ශිෂ්‍යත්වයෙන් ජීවිතවලට එකතු වෙන හොඳ දේත්, නරක දේත් දෙකම තියෙනවා. පහේ ශිෂ්‍යත්වය කියන්නෙ ක්‍රියාවලියක්. ඒක හුදෙක් විභාගය සහ ප්‍රතිඵලය පමණක් නොවෙයි. අනෙක පහේ ශිෂ්‍යත්වය ඒ වයසේ දරුවන්ට කරන හානිය හා සමාන ම එකක් උසස් පෙළ විසින් ඒ වයස් කාණ්ඩයේ දරුවන්ටත් කරනවා. මේවායේ ගැටලු තිබෙනවා. ලංකාවේ සමස්ත අධ්‍යාපනය ම ගැටලු ගොඩක් තමයි. හැබැයි ඒවාට විසඳුම් හොයන්නට වන්නේ තිබෙන දේවල් වෙනස් කරමින් මිස පරමාදර්ශ උඩින් පාත් කරමින් නෙමෙයි.

පහේ ශිෂ්‍යත්වයට නිකම් බැන්නා ය කියලා වැඩක් නැහැ. මේ ගැන ටිකක් ගැඹුරින් සංවාදයක් ගොඩනගා ගන්නට ඕනැ. ඒ ගැන කරුණු සහිත තවත් ලිපියක් මා ලිව්වා. එයත් කියවන්න.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

12 comments:

  1. විශයකට ලකුණු 80 ක් අරගෙනත්
    ෆේල් වෙන ලංකාවේ ශිෂ්‍යත්ව විභාගය.
    අපිට කොහෙද වැරදිලා තියෙන්නෙ.

    ReplyDelete
  2. බොහෝ අය නොදන්න,අමතක කරන කාරනයක් තමයි විශය සමගාමී බාහිර කිුයා කාරකම් කොච්චර තියෙන වද කියන එක.විශේෂ යෙන් 5ශිෂ්‍යත්වය කියන්නෙ පරිසරය,හා ගණිතයට අැති දක්ෂකමයි

    ReplyDelete
  3. පහේ ශිෂ්‍යත්වයෙන් ජීවිතය ගොඩදා ගත් අය ඕන තරම් ඉන්නවා.දැන් දැන් ඒක අම්මලාගේ විභාගය වෙලා. එකයි වැරැද්ද.සාමාන්‍යපෙළ අසමත් උනත් 12වන වසර දක්වා පාසැල් යන්න ඉඩ දෙන්න ගත් තීරණය ඉතාම් හොඳ තීරණයක්.

    ReplyDelete
  4. වැදගත් ලිපියක්. කවුරු කොහොම කිව්වත් ශිෂ්‍යත්වය වැනි ක්‍රමයක් පැවතිය යුතුයි. එහි අඩුපාඩු තිබුනත් ලංකාවේ අධ්‍යාපනය බෙදී යාමේදී ඇති පැහැදිලි විෂමතාවය නිසා දුෂ්කර ප්‍රදේශයක සිටින දක්ෂ දරුවෙකුට ඉදිරියට යාමට ඇති ප්‍රධාන අවස්ථාවක් මේක. කවුරුහරි කියනවනන් මේක අහෝසි කල යුතුයි කියා එම දරුවන්ට ඉදිරියට යාමට විකල්ප යෝජනා තිබිය යුතුයි.
    ගමේ පාසල නගරයෙ පාසල් මට්ටමට දියුනු කර ලඟම පාසල හොඳම පාසල කරන සංකල්පය තාමත් ලංකාවෙ අපිට පෙනෙන මානයේ වත් නැති විකල්පයක් පමණයි.

    ReplyDelete
  5. දුවට සුභ පතනව බං. ශිෂ්‍යත්වෙට ළමයින්ගෙ ළමා කාලය අත්හරින එක ගැන නම් කලකිරෙනව බං. සිරාවටම. ශිෂ්‍යත්වෙන් ඉදිරි අනාගතේ මනින්න බෑ බං. සා.පෙළ a9ක් අරන් මැත්ස් කරල කෙළවගන්නෙ...අන්න ඒ වගේ එකක් ඔය ශිෂ්‍යත්වෙත්. ... නේ?

    ReplyDelete
  6. දැන් ඔය හොඳින් සමත් උන කිසිම ළමයෙක් කියන්නනේ නෑ. අම්මා තාත්තා මට පාඩම් කරන්නම බලකලා. විශය භාහිර වැඩ නැවැත්තුවා. වගේ කතාවල්. ඒ කියනදේ ඇත්ත නම් ළමයින්ට බල කරල ප්‍රතිඵල ලබා ගන්න බෑ කියන එක දෙමව්පියන්ට තේරුම් යන්න ඕන. මගේ මතය නම් අමතර පන්තියමට ගියාට කමක්නෑ . විෂය ශාහිර වැඩ මාස කිපයකට නැවත්තුවාටත් කමක් නෑ. හැබැයි දරුවාට බල කිරීම සහ තර්ජනය කිරීම වැරදියි. දරුවා විභාගය සඳහා motivate කිරිම විතරයි දෙමව්පියන් කල යුත්තේ.

    ReplyDelete
  7. මම පහ ශ්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ පානදුරේ ඉතාම කුඩා පාසලක. හැත්තෑ ගනන්වලත් පහේ ශිෂ්‍යත්වයට ලොකු උනන්දුවක් තිබුනා. අම්මලා මාව අමතර පන්ති වලටත් යැව්වත් මම කට්ටි පැන්නා. හැබැයි පෙර පිනකට මම ශිෂ්‍යත්වය සමත්වෙලා කොළඹ ආනන්දයට අතුලුවුනා. ඒක මගේ මුළු ජීවිතයම වෙනස්කල සන්ධිස්ථානය. ආනන්දයට නොගියානම් බොහෝ දුරට මට යන්නට වන්නේ පානදුරයේම තවත් පාසලකට. ආනන්දයේදී මගේ පෞරුෂත්වයට අඩිතාලම වැටුනා කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම ලංකාව වගේ රටක, රෝයලිස්ට්, ආනන්දියන් කිව්වම ඔය මහා විද්‍යාලවලට ගියා කිව්වට වඩා තැනක් තිබෙනවා. ආනන්දයේදී මගේ සමකාලීනයන් අද ලංකාවේ මෙන්ම විදේශ වලත් බොහෝ උසස් තනතුරු දරනවා. ශිෂ්‍යත්වයෙන් මගේ ජීවිතයට එක්කල වටිනාකම ඒකයි.

    ReplyDelete
  8. මෙතනට අදාළ නැහැ. එත් මේවා නොකියත් බැහැ.

    වික්ටර් ට බැනපු මිනිස්සු ඉරාජ්ටත් බැන්නා. ඉරාජ් කරපු දේ හරි කියනවා නෙවෙයි. එහ්වූ උන්ම දැන් මේක හොන්දයි කියනවා.

    බලන්න මේක කොච්චර කැතද කියලා.
    https://www.youtube.com/watch?v=TaDl8hMP90I

    ලංකාවේ ලුම්පන් මිනිස්සුන්ගේ දෙබිඩි සංස්කෘතික නිර්ණායක වලට වෙන උදාහරණ අවශ්‍ය නැහැ.

    මුස්ලිම් අන්තවාදය එපා කියන ගමන් එටත් වඩා අධිකාරිවාදී බෞද්ධ අන්තවාදයක් වෙනුවෙන් පෙනී හිටිනනෙත් මේ මිනිස්සුම තමා. 2020 දී ආඥා දායකයෙක්ව ගෙන්න හදන්නෙත් වෙන කවුරුත් නෙවෙයි.

    හැබැයි රට එතනට තල්ලු කරන්නෙත් අසාර්ථක වර්තමාන පාලනය

    ReplyDelete
    Replies
    1. "මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න."

      එතකොට පැරා මේ ලපයි සිපයි රණ්ඩුව මෙතන දාන්න ඉඩ දුන්නේ ඇයි ?

      මේවා දැමීමෙන් කරන්නේ.....මේ වගේ දේවල් කතා කිරීමෙන් කරන්නේ .... මේවා තව තවත් ප්‍රාචාරය කරන්න ඔබ වැනි වියත් බ්ලොග් කරුවන් ආධාර කිරීමයි !




      Delete
  9. මමත් ඔය පහේ ශිෂ්‍ය්ත්ව බුවෙක්. නුගේගොඩ සෙන් ජෝන්ස් එකෙන් රෝයල් එකට තල්ලු වුනා. මම මහ ලොකු හුත්තක් ඉගෙන ගත්තේ නැහැ. ඒක මගේ වැරැද්ද මිසක් ..සිස්ටම් එකේ වැරැද්දක් නෙමේ. ඒ මගේ පෞද්ගලික අත්දැකීම. අඬන්න බලන් ඉන්න එකාට මොන්ටිසෝරියත් කඳුලු මඩුවක්. අති පන්ඩිත මහත්වරුන්ට කරන්න තියෙන්නේ, මේ සිස්ටම් එකේ වැරැද්ද හදනවා මිසක්, පහේ දරුවන්වට දිරවා ගන්න බැරි ඔටුනු පෙන්නීම නෙමේ. මේක පුදුම ජොලියක්. එක පකෙක් මේ ලමා මානසික වර්ධනයේ තිබිය යුතු සෞන්ද්ර්‍යාත්මක වටපිටාව හඳුනාගෙන තියෙනවද? පැරා.. කරුනාකර මේ හාල්පාරුවන්ට අධ්‍යාපන ලාලිතව්‍ය කියාදෙන්න. උඹ ගුරුවරයෙක්. දරුවාගේ මාන්සිකත්වය නොදත් , ඒ පිලිබඳ පැන්සයක අවබෝධයක් නැති, කාලකන්නි පුස් හැත්තක් ගුරුවරුන් ලෙස නැවත නැවතත් රාජකාරී කිරීම සහ අධිපතිවාදි ගුරු හොරුන් ලෙස තව තවත් සෙට් බිහිකරවීමේ ප්‍රතිපලය දැන් පේනවා. අපි මේ කියන්නේ පෞද්ගලික අහ්දැකීම්, ඉතාම නිර්ව්‍යාජ්ව රස විඳලා තියෙන නිසා. වෙනස් කල යුත්තේ රෙද්දේ චක්‍ර ලේකන නෙමේ. මිනිස් ආකල්ප. එවන් නොවෙනස් ලෝකයක බිහිවෙන්නේ ගල් රූප. මම ගරුකරනවා මලාලා යූසුෆ්ලා පකිස්තානයෙන් එලියට ගත්ත එංගලන්තයට සහ ඇය වන් දරුවන් ආදරයෙන් හදාවඩා ගන්නා ඔක්ස්ෆර්ඩ් වැනි ආයතයන්ට. අපි ගෝත්‍රිකයෝ විතරක් නෙමේ අම්බ කුහකයෝ. අනේ අපේ දරුවනේ...ලමයිනේ එලියට වරෙල්ලා...නිදහසේ සිතපල්ලා...නිදහසේ ඉගෙනගනිල්ලා...මේ පාදඩ විභාග ගොන් චූන් එකෙන් එලියට එන්න හැකි නිවහල් චින්තනාත්ම පසුබිමක් ඇතිවේවා. මේ ටැබ් දෙන ලොක්කලා, ගස් යට හුජ්ජ කරන ගමේ පාසලේ අහිංසක දරුවන් නොදකින එක මාර අන්දරයක්. මේවා සතේ දෙකේ ගොන් චූන් චැරිටිවලින් කරන්න පුලුවන් වැඩ නෙමේ කියලා, නූගත් මටත් හිතෙනවා.

    මීට ..
    බොහෝ කාලයකට පෙර බොක්ස් එකෙන් එලියට පැන හිතන්න පටන් ගත තාත්තා කෙනෙක්.

    ReplyDelete
  10. ගුරුවරු අතර නව ප්‍රවණතාවයක් ඇති වෙමින් තිබෙනවා. ඒ තමයි තමන්ගෙ දරුවා ශිෂ්‍යත්ව තරඟයට හිතාමතා එක් නොකිරීම. සාමාන්‍ය පරිදි ඉගෙන ගන්නා ඒ දරුවන්. සාමාන්‍ය විදිහට පාස් වෙනවා.මම උගන්වන පාසලේ ගොඩක් ගුරුවරුන්ගෙ දරුවන් එහෙමයි. හැබැයි ඕක ගුරුවරියක් වුනාම ටිකක් විතර වෙනස් වෙනවා.
    ශිෂ්‍යත්වය නැති කරනෙක අසාධාරණයක් විදිහටයි මට පේන්නේ. අඹ යාළුවා පොතේ ඉදන්ම ගමේ එකාට නගරෙට එන එකම ක්‍රමය ඕක. ලංකාවේ පාසල් සියල්ලට සමාන පහසුකම් ලැබෙන දිනය උදා වන තෙක් එය එහෙමම නෙමෙයි ද

    ReplyDelete
  11. සියලුම පාසල් වලට සමාන තත්වය ලැබෙන ක්‍රමයක් හදන්නනම් මුලින්ම අපි කරන්න ඕනේ දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි තාමත් වික්ටොරියානු යුගය ට වැඳගෙන පවත්වාගෙන යන පිරිමි සහ ගැහුණු පාසල් අහෝසි කිරීම. ඊට පස්සේ හැම ඉස්කෝලයක්ම ප්‍රාථමික හා ද්විතියිත තියලා වෙන් කරන්න ඕනේ. කිසිම ඉස්කෝලයක් එකේ ඉඳලා දහතුනය යනකම් පන්ති තියන්න හොඳ නෑ. එහෙම වුනාම තමයි අපි මේක අපේ ඉස්කෝලේ.... අවුරුදු දහතුනක් ගියේ මේකට, පණ දීල හරි මේක රැකගන්නවා, අනිත් උන් ඔක්කොම අපිට වඩා පහත් කියන ගොන් සංකල්ප නැති කරන්න පුළුවන්.

    එහෙම වුනොත් හැමෝටම 1 ඉඳලා 5 වෙනකම් එක ඉස්කෝලෙකට යන්න පුළුවන්... ඊට පස්සේ එතන ඉඳලා වැඩිදුර ඉගෙන ගන්න වෙනත් එකකට යනවා. එතකොට ඔය ආදි ශීෂ්‍ය මාෆියාව නවතිනවා. තමන් ආදි ශිෂ්‍යයෙක් නම් පුතා දුවත් ඒකටම යන්න ඕනේ කියන ගෝත්‍රික සංකල්පය නැති වෙනවා. එතකො‍ට විතරයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.