2017-11-18

ගිංතොට ජාතිවාදී කලබලවලට වගකිව යුත්තේ කවුරු ද?

Photo from thefakawitraveller.com
දින කිහිපයක් තිස්සේ ගිංතොට ප්‍රදේශයේ සිදු වෙමින් තිබෙන බව කියන සිංහල මුස්ලිම් ගැටුම පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති බව ද, ඇතැම් ප්‍රදේශවල පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව ද වාර්තා වේ.

සාමය කඩ කරන්නන්ට වෙඩි තැබීම දක්වා බලතල පොලිසිය සතු වන අතර ඒවා අවශ්‍ය නම් මෙවැනි තත්වයන් පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ය.

විවිධ පුද්ගලයන් විසින් විවිධ කටකතා පතුරුවමින් සිටින අතර, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පුවත් හා මතවාද ඉතා පැහැදිලිව ම විශ්වසනීයත්වයකින් හා වගකීමකින් තොර ය.

විශේෂයෙන් ම, මෙවැනි සිදුවීම් ආණ්ඩුව සමග පටලැවීමට උත්සාහ කරන බවක් ද පෙනෙන බැවින් ආණ්ඩුව විසින් කළ යුතුව තිබෙන දෙය වන්නේ නීතිය උපරිම අන්දමින් ක්‍රියාත්මක කිරීමයි. මේ වන විටත් ගැටුමට මුල් වූ ඇතැමුන් අත්අඩංගුවට ගෙන තිබේ. ජාතිභේදයකින් තොරව සියලු වැරදිකරුවන් අත්අඩංගුවට ගත යුතු ය. එසේම, මෙම සිදුවීම භාවිතා කරමින් දේශපාලන වාසි ගන්නට උත්සාහ කරන පිරිස්වලට එයට කිසි සේත් ම ඉඩ නො දීමේ වගකීමක් ද ආණ්ඩුවට තිබේ.

මේ පිටුපස ඇමති වජිර අබේවර්ධන සිටින බව මෙම භික්ෂුව ප්‍රසිද්ධියේ ම පවසයි. මේ සම්බන්ධයෙන් ඒ භික්ෂුව යූටියුබ් මගින් ප්‍රචාරය කළාට පොලිසියට පැමිණිලි කර තිබේ ද යන්න විමසා බැලිය යුතු ය. එසේ ම, එය සත්‍යයක් නො වේ නම්, මෙම භික්ෂුව සම්බන්ධයෙන් අපහාස නීතිය යටතේ පියවර ගැනීම වජිර අබේවර්ධනගේ වැඩකි. ජාතිවාදී ගැටුම ඇති වීම පාලනය කිරීමට මෙවැනි පියවර ද ඉතා වැදගත් ය.

ප්‍රාදේශීය දේශපාලනය මේ පසුපස තිබෙන්නට ඉඩ ඇති බව අපි ප්‍රතික්ෂේප නො කරමු. එසේම, සිංහල, මුස්ලිම් අන්තවාදී බලවේග ද මෙවැනි අවස්ථාවලදී සංවිධානාත්මකව තත්වය තීව්‍ර කිරීමට ඉදිරිපත් වන බව පැහැදිලි ය.

අනෙක් පැත්තෙන් මේ පසුපස ව්‍යාපාරික ගැටුම්, ආර්ථික ඊර්ෂ්‍යාවන් වැනි දේ ඇති බව ප්‍රහාර දෙස බැලූ විට පෙනේ. වැඩිපුර ප්‍රහාර එල්ල වන්නේ ව්‍යාපාරික ස්ථානවලට හා ව්‍යාපාරිකයන්ට ය. සමස්තයක් ලෙස ම මේ අන්තවාදයන් අවුළුවන පිරිස් පිටුපසින් සිටින කඩාකප්පල්කාරීන්ගේ ප්‍රධාන ඉලක්කය ආර්ථිකයයි.

මෙය ද බොහෝ දුරට ධර්ගා නගරයේ සිදුවීමට සමාන ය. සිදු වී තිබෙන්නේ අහම්බ හදිසි අනතුරක් සම්බන්ධ සාමාන්‍ය ගැටුමක් වුව ද, එයට ජාතිවාදී අර්ථකථනයක් දීම හේතුවෙන් මෙම ගැටුම නිර්මානය වී තිබේ.

මෙය දෙමළ ඊලාම් සටනේ නිමාවෙන් පසු සිංහල ජාතිවාදී ව්‍යාපාර විසින් මතු කර ගන්නා ලද මුස්ලිම් බිල්ලකු පිළිබඳ සංකල්පයේ ම ඉදිරි පියවරකි. සිංහල ජාතිවාදී ව්‍යාපාරවලට සිය පැවැත්ම සඳහා එවැනි බිල්ලකු අවශ්‍ය ය. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජාතිවාදීන්ට ද මේ ඔස්සේ අලුත් පැවැත්මක් නිර්මානය වී තිබේ. මේ දෙපිරිස ම විසින් කරනු ලබන්නේ සමාජයට බිය විකිණීම හා ඒ ඔස්සේ අරමුදල් සම්පාදනය කර ගැනීමයි. එකතු කර ගන්නා මුදල් වෙනුවෙන් කලින් කල මෙවැනි සංදර්ශන පෙන්විය යුතු ය.

රටක ආණ්ඩුවක්, රජයක්, පොලිසියක්, හමුදාවක් අවශ්‍ය මේ තත්වයන් තේරුම් අරගෙන නියපොත්තන් කැඩිය හැකි මට්ටමේදී ම ඒවා මර්දනය කිරීමට ය. මහජනතාව ලෙස අප බදු ගෙවා ඒ ආයතන නඩත්තු කරන්නේ ඒ වෙනුවෙනි. එහෙත්,  සුපුරුදු පරිදි මෙතනත් සිදු වී තිබෙන්නේ පොරවෙන් කපන්නට සිදු වන තරමට ප්‍රශ්නය වර්ධනය වීමයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-16

මහාචාර්ය නලින් ද සිල්වා හා ඇත්ත බොරු වීම

නලින් ද සිල්වා මහාචාර්යතුමාත් හරියට සනත් ජයසූරිය වගේ ය. ජයසූරිය ක්‍රීඩාවෙන් සමුගත් මුත් ඉන් අනතුරුව නැවතත් ක්‍රීඩා කළේ ය. 

මහාචාර්ය නලින් ද සිල්වා ද ලිවීම නවත්වන බව කීව ද ඔහු ඇත්තට ම එසේ නවත්වා ඇද්දැයි නො දනිමි.

කෙසේ වෙතත්, මහාචාර්ය නලින් ද සිල්වා ලිවීම නැවැත්වූයේ ඇයි?

ඔහුගේ ලිවීම නතර වීම ගැන විස්සෝප වෙමින් එයින් තමන් ප්‍රවර්ධනය කර ගත් බොහෝ දෙනෙකුට මහාචාර්ය නලින් ද සිල්වා තමන් ලිවීම නතර කරන බව කීවේ ඇයිදැයි අමතක විය. 

ඔහු ලිවීම නතර කළේ සයිටම් අහෝසි කිරීමට ආණ්ඩුව තීරණය කළ නිසා බව ඔහු කියයි. ඔහු මෙතෙක් මේ ආණ්ඩුව ගැන කිසිදු හොඳක් කියූ, ඒ ගැන බලාපොරොත්තුවක් තිබුණු අයෙකු නො වූව ද හදිසියේ ඔහුට ආණ්ඩුව මතක් වූයේ ඇයි?

මහාචාර්ය නලින් ද සිල්වාගේ දාර්ශනික මැදිහත් වීම බැරෑරුම් ලෙස ගන්නා අය ඔහුගේ පහත සඳහන් ප්‍රකාශය ද බැරෑරුම් ලෙස ගත යුතු ය. 

මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. 

මෙය තව බොහෝ දේවලට අදාළ ය. නිදහස් සෞඛ්‍යය යනු මුදල් ගෙවා සෞඛ්‍ය පහසුකම් ලැබීමට හැකි අයට ඒ අවස්ථාව අහිමි කිරීම නො වේ.

ඊනියා සයිටම් විරෝධීන් ඉදිරියේ ආණ්ඩුව දණ නමන්නට ඇත. ඒ ගැන පුදුම විය යුතු ද නැත. එහෙත්, ඇත්ත බොරු වෙන්නේ නැත.

මේ ලිපිය නැවත කියවා වටහා ගැනීම වැදගත් ය.


අන්තිම ලිපිය

මා ලියන්නේ පුරුද්දට වුවත් මා ඒ ලිපි පළ කරන්නේ ඇයි? ඒ මට අනෙක් අයට කීමට යමක් ඇතැයි සිතන නිසයි. එහෙත් ඒ කියන දේ ඒ අනෙක් අය වැරදි කියා නිගමනය කරන්නේ නම් මා ඒ ලිපි පළ කළ යුත්තේ ඇයි? අවුරුදු තිස්පහකට වැඩි කාලයක් මා ලියා පළ කර ඇති නමුත් තුන්හාර සියයක්වත් මා කියන දේ නිවැරදි කියා නොපිළිගන්නා බව පැහැදිලියි. 1994 දී මා කළුතර දිස්ත්‍රික්කයට තරඟ කළ අවස්ථාවේ දී මට මනාප පන්දහසකට වඩා ලැබුණෙ නැහැ. ඒ මුළු දිස්ත්‍රික්කයෙන් ම! මෙරට ජනයා මගේ දේශපාලන අදහස්වලට අකමැති බව, ඒ වැරදි යැයි සලකන බව මා එදා තේරුම් ගත යුතුව තිබුණා.

ඊයේ (නොවැම්බර් 08) මට ඒ අවබෝධය ලැබුණු දවස ලෙස සලකන්න පුළුවන්. ආණ්ඩුව සයිටම් අහෝසි කරන්න තීරණය කරලා. සයිටම් නිසා නිදහස් අධ්‍යාපනය විනාශ වන බව මෙරට ඉතා වැඩි පිරිසක් කියනවා. මගේ අදහස වූයේ නිදහස් අධ්‍යාපනය යනු මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට හැකි අයට ඒ අවස්ථාව නැති කිරීම නොවන බව. මා මේ සම්බන්ධයෙන් ලිපි රාශියක් ලියා ඇති. එහෙත් බොහෝ දෙනා එය අනුමත කරන්නේ නැහැ. ඔවුන් මට විරුද්ධ වනවා පමණක් නොව ඒ ලිපි කියවීම ද ප්‍රතික්‍ෂෙප කළ බව ප්‍රතිචාරවලින් පැහැදිලි වුණා. මා ගෙන ආ තර්ක වැරදි බව කිසිවකු පෙන්වා දී නැති නමුත් අති විශාල බහුතරය මගේ තර්ක වැරදි බව පිළිගෙන තිබෙනවා. සයිටම් අහෝසි කිරීමත් සමග දෙතුන් සියයක් හැර රටේ බහුතරය මා කියන දේ නොපිළිගන්නා බව පැහැදිලියි.

මා පළ කරන ලිපිවලින් පලක් නොවන බව පැහැදිලියි. රටේ බහුතරයට මගෙන් ඉගෙනීමට දෙයක් නැහැ. බුදුදහම ඉතිහාසය බටහිර විද්‍යාව සාහිත්‍යය දර්ශනය යථාර්ථය දැනුම ආදිය ගැන කියන කිසිවක් බහුතරයක් පිළිගන්නේ නැහැ. මා අසාර්ථක බවත් දැනුම් තේරුම් නැත්තකු බවත් පිළිගැනීමට සිදු වී තිබෙනවා. මගෙන් ඉගෙනීමට දෙයක් නොමැති අයට ලිවීමෙන් පලක් නැහැ. හැරත් මට වඩා යමක් කමක් දන්නා අය දසදහස් ගණනින් රටේ සිටින විට, ඔවුන් ඉතා තර්කානුකූල ව ලියන විට, මා කිසි දෙයක් අලුතින් ලියා නැති බව විචක්‍ෂණ ජනමාධ්‍යවේදීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට, ලිපි පළ කිරීම අනවශ්‍ය බව පැහැදිලියි.

මින් පසු අවුරුදු තිස්පහකට වැඩි කාලයක් තිස්සේ මා කළ වරද කරන්නේ නැහැ. මේ ලිපිය මා පළ කරන අන්තිම ලිපියයි. මගේ ලිපි අන්තිම බව පාඨකයා තේරුම් ගෙන බොහෝ කල්! මා මින් පසු මෙරට අයට කියවීමට සිංහලෙන්වත් ඉංගිරිසියෙන්වත් ලිපි පළ කරන්නේ නැහැ. ඉංගිරිසියෙන් ලිපි පළ කිරීම නවතා අවුරුදු කිහිපයක් වෙනවා. අවුරුදු තිස්පහක් ඔබේ කාලය නාස්තිකිරීම ගැන කණගාටු වෙනවා.
නලින් ද සිල්වා

2017 නොවැම්බර් 09

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-14

වාමාංශික ‘බව‘ දුක සහ කම්කරුවන්ගේ ‘බව‘ කර්මය

ලංකාව කියන්නෙ අමුතු රටක්. මේකෙ වාමාංශිකයන් කිසිදාක තනියෙන් ආණ්ඩු පිහිටුවලා නැහැ. හැබැයි, ලංකාවෙ ජනමතය පාලනය කරන්නට වාමාංශිකයන්ට විස්මිත හැකියාවක් තියෙනවා. ඒ වගේ ම කුඩා බලය වුණත් පාවිච්චි කරලා සමාජයේ ගමන වළක්වන්නටත් ඔවුන්ට හැකියාව තියෙනවා. හොඳම උදාහරණය තමයි පෞද්ගලික අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සයිටම් විරෝධී අරගලය හරහා ඔවුන් සමත් වීම.

හැබැයි, බොහෝ විට ඔවුන් සාර්ථක වෙලා තියෙන්නෙ ප්‍රතිගාමී බලවේග සමග සන්ධානගත වූ අරගලවලදි විතරයි. සයිටම් විරෝධී අරගලය දිනා ගන්නට ලැබුණේ දොස්තර සංගමයේ ඉතා පටු, ආත්මාර්ථකාමී උවමනාවක් සමග සන්ධානගත වුණ නිසායි. ඒ උවමනාව තමයි, වෛද්‍ය හිඟයක් තබාගෙන මහජන මුදල්වලට කේවෙල් කරමින් සුවිශේෂ වරප්‍රසාද ලබා ගන්නටත්, අධික ලෙස රෝගීන් සූරාකමින් බදු පවා නො ගෙවා විශාල ලාභ ලබන්නටත් තිබෙන ඉතා දක්ෂිණාංශික වූ ප්‍රතිගාමී උවමනාව.

මේ විදියට ම තමයි වාමාංශිකයන් කලින් කලට ජාතිවාදය සමග එකතු වන්නේත්. ලංකාවේ වාමාංශිකයන්ට දීර්ඝ කාලීන ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා කිසිවක් කරන්නට බැරි වී තිබෙන එකෙන් ම පෙනෙනවා වාමාංශිකකමේ තරම.

කෙසේ වෙතත්, මොවුන් විසින් නිර්මානය කර තිබෙන සමාජ මිථ්‍යාවන් රැසක් සමාජයේ ස්ථාවර වෙලා තියෙනවා. ඒවා ඉතා ප්‍රගතිශීලී අදහස් ලෙස පිළිගැනීමට ලක් වී තිබෙන, එහෙත්, හරයාත්මකව ඉතා ප්‍රතිගාමී ලක්ෂණ සහිත පිළිගැනීම්. 

දර්ශනය කියන්නේ පවත්නා පිළිගැනීම් නිවැරදිදැයි ප්‍රශ්න කිරීම වුණත්, ලංකාවේ වාමාංශික දර්ශනවාදීන් හිතාමතා ම ඒ ප්‍රශ්න කිරීම මගහරිනවා. ඒ විතරක් නෙමෙයි, මෙවැනි පිළිගැනීම් ජනතාව විසින් ප්‍රශ්න කිරීම වළක්වන්නට ඔවුන් විවිධ කූට උපාය අනුගමනය කරනවා.

මෙයට හොඳම උදාහරණයක් තමයි, බව නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කණ්ඩායම. එහෙත්, ඔවුන් කිසිදාක ලංකාවේ වාමාංශය විසින් කර තිබෙන පන්ති විග්‍රහයේ ගැටලුවට අවධානය යොමු කරන්නේ නැහැ. හේතුව, එය වාමාංශික පිළිගැනීම් ප්‍රශ්න කරන, මහජනතාවට වඩා ප්‍රයෝජනවත් වන දාර්ශනික සංවාදයකට මුලපිරීමක් වන නිසා. ඒ වෙනුවට ඔවුන් මතු කරන්නේ භෞතිකවාදය හා විඥානවාදය පිළිබඳ කිසිදා අවසන් නො වන සංවාදය වැනි මූලධාර්මික දේවලුයි. අප ඔවුන් එසේ පමණක් කරනවා නම්, එයට විරුද්ධ නැහැ. හැබැයි ඔවුන් පසුගිය කාලයේ සයිටම් විරෝධයේ න්‍යාය සම්පාදකයන් බවට පත් වී සිටියා. අපගේ විවේචනය වැලමිටෙන් ඇනීමක් ලෙස නො ගෙන වඩා සංයුක්ත ලෙස තේරුම් ගන්නට ඔවුන්ට මෙම සටහන ඉවහල් වනු ඇතැයි අප සිතනවා. 

කම්කරුවන්ට තමන්ගේ සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට ඉවහල් වන දාර්ශනික සාකච්ඡා වෙනුවට ව්‍යාජ සංවාද කරළියට ගෙන ඒම ප්‍රතිගාමී කාර්යයක් ලෙස අපි දකිනවා. අප ඔවුන් විවේචනය කරන්නේ එවැනි පදනමකිනුයි. පෞද්ගලිකව අප ඔවුන්ගේ දාර්ශනික ලිපි කියවනවා. ඔවුන් සයිටම් විරෝධී සටනට සම්බන්ධ නො වුණා නම් අප මෙම චෝදනාව ඔවුන්ට එල්ල කරන්නේ නැති බව ද කිව යුතුයි.

පන්තිමය උවමනාව කෙසේ වෙතත්, බව වෙබ් අඩවියේ ශාස්ත්‍රීය හරය අප අගයනවා. වැඩ කරන ජනතාව එය කියවිය යුත්තේ ඔවුන්ගේ ප්‍රතිගාමී අරමුණ ගැන අවබෝධයකින් යුතුවයි. මෙන්න ලින්ක් එක.  

අප වාමාංශිකයන් විසින් ස්ථාපිත කර තිබෙන මෙම ව්‍යාජ සමාජ පිළිගැනීම් අභියෝගයට ලක් කරන එක දිගට ම කරනවා. මේ ලිපියත් ලියන්නෙ ඒ වෙනුවෙන්. 

මූලිකව ම වාමාංශිකයන් කියන්නේ පීඩිතයන්ගේ නියෝජිතයන් පිරිසක් නො වන බව අපි කියනවා. ඔවුන් නියෝජනය කරන්නේ ලංකාවේ බලවත් ම සමාජ පන්තිය වන මධ්‍යම පන්තියේ මැද හා පහළ ස්ථරයි. රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය කියන්නෙ ඉතා පැහැදිලිව ම බදු මුදල් සූරා කන, මහජන මුදලින් යැපීම සාධාරණීකරණය කළ හැකි මට්ටමටවත් මහජන සේවාවන් පවත්වාගෙන නො යන පීඩක පන්තියක්. මේක හංගන්න කොයි තරම් තියරි හැදුවත් මේ ඇත්ත මහජනතාව දන්නවා. නැත්තේ ඇත්ත ගැන දැනුම නෙමෙයි. අවබෝධයක් නැතිකමයි.

ඵලදායී වැඩ කරන ජනතාව අතර වාමාංශිකයන්ට කිසිදු පදනමක් නැහැ. ඔවුන් කම්කරු පන්ති වෘත්තීය සමිති ලෙස හඳුන්වන ඒවා වෙන මොකවත් නෙමෙයි, රජයේ සේවයේ හා රජයේ ව්‍යවසායන්ගේ වෘත්තීය සමිතියි. ඔවුන්ට පෞද්ගලික අංශයේ කම්කරුවන් අතර පදනමක් ඇත්තේ ම නැති තරම්. කම්කරුවන් ඔවුන් වැඩපොළවලට වැද්ද නො ගන්නේ අන් කිසිදු හේතුවක් නිසා නෙමෙයි. වාමාංශික වෘත්තීය සමිතිකාරයන් අවසානයේදී කරන්නේ තමන්ගේ රස්සාවට කෙළින එක විතරක් බව දන්නා නිසායි.

ධනපති පන්තිය යයි නම් කරමින් ඔවුන් ව්‍යවසායකයන්ට එරෙහිව දැවැන්ත වෛරයක් කම්කරුවන් අතර ගොඩනැගුවත්, ඇත්තෙන් ම ලංකාවේ ධන කුවේරයන් වන්නේ රැකියා සම්පාදකයන් වන, බදු ගෙවන්නන් වන, අපනයන ආදායම් ගෙනෙන්නන් වන ව්‍යවසායකයන් ද යන්න ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලකයන්, නීතිඥ හා වෛද්‍ය වැනි වෘත්තිකයන්, ටියුෂන් ගුරුවරුන්, ගිනි පොළීකාරයන්, ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩියන්, හොර වෙදුන්, පූජකයන් එහෙම විශාල ධනයක් සංකේන්ද්‍රණය කර ගන්නවා. ඒත්, ඔවුන් එතරම් පිරිසකට රැකියා සපයන ව්‍යවසායකයන් නෙමෙයි. එසේම, ඔවුන් වැඩිදෙනෙකු ඉතා පැහැදිලිව ම බදු වංචාකරුවන්. මේ ධනවතුන් කිසි විටෙක වාමාංශිකයන්ගේ විරෝධයට ලක් වී නැහැ.

සියල්ල රජය විසින් මහජනතාවට නොමිළේ ලබා දිය යුතුයි කියා අදහසක් වාමාංශිකයන් මහජනතාව අතර පතුරුවනවා.එහෙත්, රජයට ආදායම් ලැබෙන මාර්ග හැම එකකට ම ඔවුන් විරුද්ධයි. එසේම, ඔවුන් බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයන්ගෙන් අසීමිතව බදු අය කිරීමයි. ව්‍යවසායකයන් හැම ආකාරයෙන් ම හිර කර ඔවුන් අධෛර්ය කිරීමට ද ඔවුන් ක්‍රියා කරනවා.

මේ අතර රැකියා යනු රජයේ රැකියා පමණක් ය යන ආකල්පය ද සමාජයේ ස්ථාපිත කරන්නේ මොවුන් විසිනුයි. පෞද්ගලික අංශයේ හා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවල රැකියා කරන ශ්‍රමිකයන් කිසි මොවුන්ගේ පිළිගැනීමට ලක් වන්නේ නැහැ. රජයේ සේවයේ කාර්යක්ෂමතාව නැංවීම වෙනුවෙන් වාමාංශිකයන්ගේ වෘත්තීය සමිති ඉතිහාසයේ කිසිම දවසක කිසිම දෙයක් කර නැහැ. ලංකාවේ උපාධිධාරීන් වැඩි දෙනෙකු රැකියාවලට යෝග්‍ය තත්වයට හැඩගැස්වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එනවාටත් විරුද්ධ ඔවුන් රැකියා වෙළඳපොළේ ඉල්ලුමක් නැති මේ උපාධිධාරීන්ට මහජන මුදලින් රැකියා ලබා දෙන්නත් සටන් කරනවා.

මේ දැවැන්ත, අකාර්යක්ෂම, මුල සිට අග දක්වා ම දූෂිත රජය නිසා මේ වන විට ජනතාවට විශාල ණය බරකට උර දෙන්නට සිදු වී තිබෙනවා. එහෙත්, වාමාංශිකයන්ට අවශ්‍ය රජය තව තවත් විශාල කරන්නටයි. එය ඉතා පැහැදිලි මධ්‍යම පන්තික උවමනාවක්.

ලංකාවේ ප්‍රශ්න විසඳන්නට තමන්ට බලය දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා. දේශපාලකයන්ගේ පමණක් දූෂණ නැති කිරීමෙන් රට ගොඩ ගත හැකි බවට මිථ්‍යාවක් ද ඔවුන් වපුරනවා. ඔවුන් කිසි විටෙක රජයේ නිලධාරීන්ගේ හා රජයේ සේවකයන්ගේ වංචා, දූෂණවලට එරෙහිව කිසිදු වැදගත් පියවරක් අරගෙන නැහැ.

වාමාංශිකයන් විසින් උත්කර්ෂයට නගන තවත් පිරිසක් තමයි ගොවි ජනතාව යයි ව්‍යාජ ලෙස හඳුන්වනු ලබන, එහෙත් සැබැවින් ම බහුතරයක් දෙනා ග්‍රාමීය දිළින්දන් වන පිරිස. ඔවුන් වෙනුවෙන් මහජන මුදලින් පොහොර, වතුර ආදිය දී අස්වැන්නත් වැඩි මිළට ගත යුතු යයි ඔවුන් කියනවා. එහෙත්, මොවුන් සැබෑ වෘත්තීය ගොවීන් බවට පත් කිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ ආදී පියවර ගන්නවාටත් ඔවුන් විරුද්ධයි.

වාමාංශිකයන්ට කිසි දාක මේ රටේ බලය ගැනීමේ උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. වාමාංශික නායකයන් එකක් හරියට ම විග්‍රහ කර ගන්නට දන්නවා. ඒ තමයි, තමන්ට බලය ලබාගෙන කිසිවක් කළ නො හැකි බව.

වාමාංශිකයන්ගේ ශ්‍රමයේ අස්වැන්න හැමදාමත් නෙළාගෙන තිබෙන්නේ මධ්‍යම පන්තික අවස්ථාවාදී පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැන් නම්, වාමාංශිකයන්ගේ සියලු අමනකම්වල ඵලය සතුටින් නෙළා ගන්නේ රාජපක්ෂ ඒකාධිපති කල්ලියයි.

වාමාංශිකයන් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැහැ. ඉතිහාසය මුළුල්ලේ ම ඔවුන් වඩා ප්‍රජාතාන්ත්‍රික සමාජ වටපිටාවන් ඇති වූ පසු වර්ජන, පෙළපාලි, හර්තාල් ආදියෙන් එය කඩාකප්පල් කර, ඒකාධිපතිවාදයකට රට තල්ලු කර තිබෙනවා. 1953, 1956 -59, 2001-2003 සහ 2015න් මෙපිට වකවානුව උදාහරණ ලෙස සැලකිය හැකියි. මේ හැම යුගයක් ම අවසන් වී තිබෙන්නේ දැඩි ඒකාධිපතිවාදී පාලනයන් බලයට පැමිණෙමිනුයි. අවසානයේදී ඔවුන් කරන්නේ, නොමග ගිය තරුණ පරපුරක් මර්දකයන්ට බිලි දී ඇතැම් විට තමනුත් විනාශ වීමයි. මේ අතර, කපටි ම පිරිස බටහිර රටවලට පැන ගන්නවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-13

රේඩියෝ බැලීම හෙවත් මගේ රේඩියෝ කතා

රේඩියෝ කියන්නෙ හරි සුන්දර දෙයක්. රූපවාහිනී එන්න කලින් ඉපදුණු අපේ පරම්පරාවෙ අය රේඩියෝවට පෙම් බැඳි තරම ගැන අපූරු කතාවක් තමයි ලියනගේ අමරකීර්ති ලියපු කුරුළු හදවත නවකතාව.

රේඩියෝවට පෙම් බැන්දට, ගෙදරදි ප්‍රවෘත්ති කියන විධිය අනුකරණය කරමින් පත්තරේ කියෙව්වට, ගමේ තොරණ ගාව එහෙම ලවුස්පීකරෙන් එනවුන්ස් කළාට රේඩියෝ ලෝකෙ අප වගේ හද්ද ඩොටේ කට්ටියට ගොඩක් දුර වුණා. ඒ හීන එහෙම්ම ම බොඳ වෙලා ගියා.

හැබැයි මං පදවියේ ගුරුවරයකුව ඉන්න කාලෙ සාම රැළිවල එහෙම කරපු නිවේදනයන් නිසා ජයතිලක බංඩාර අයියා හරහා රජරට සේවයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබුණා.

එතකොට මං හිටියෙ අනුරාධපුරේ. රජරට සේවයෙන් පුහුණුවක් දීලා මා ඇතුළු පිරිසකට ස්වේච්ඡා සන්නිවේදකයන් විදියට වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා බොහෝ දේවලට සම්බන්ධ වෙන්නට නිර්ලෝභී අවස්ථාවක් එවකට රජරට සේවයේ පාලිකාව වූ ශ්‍රියානි සමරනායක අපට ලබා දුන්නා.

හැබැයි 2001දී රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් එක්ක රජරට සේවයේ ප්‍රධානියා බවට නැවත පත් වුණ ජෝතිපාල තෙබුවනගෙ මුල් ම රාජකාරිය වුණේ අප කණ්ඩායම දොට්ට දාන එක. ඒ වෙනකොට මම මගේ අවසන් වැඩසටහන කරලා සමු ගැනීම සඳහා මෙන්න මේ ගීතයත් වාදනය කරලායි තිබුණෙ.



එතනින් මගේ රේඩියෝ කතා අවසන් වුණා. මං අනුරාධපුරය දාලා ගමට ආවා. රනිල්ගෙ ආණ්ඩුව වැටුණට පස්සෙ මගෙත් එක්ක වැඩ කළ පිරිස සහන නිවේදකවරුන් ලෙස සේවයට බඳවා ගත්තත් මං ඒ ගැන හෙව්වෙ නැහැ. එතකොට මං හිරු පත්තරේ වැඩ. බැහැලම දේශපාලනය කරනවා.

රේඩියෝ ගැන නැවත ආසාවක් ඇති වුණේ 2012දි විතර බීබීසී සිංහල සේවයේ තනතුරකට අයදුම් කළ වෙලාවෙයි. මුලින් ම සිංහල, ඉංග්‍රීසි දෙපැත්තට ම පරිවර්තන හැකියාවන් පරීක්ෂා කරන ප්‍රශ්න පත්තරයකට උත්තර ලිව්වා. මං දන්නවා ඒකෙන් මං උපරිම ලකුණු ගත් බව. එතන ඇවිත් හිටි අයගෙන් දෙපැත්තට ම පරිවර්තන කරන්නට පළපුරුද්ද තිබුණු අය අඩුයි. ඊළඟට ඔඩිෂන් එකක් හෙවත් හඬ පරීක්ෂාවක් තිබුණා. මේ සියල්ල ඉතා මැනැවින් බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය විසින් මෙහෙයෙව්වා.

ඉන් පසුව, සම්මුඛ පරීක්ෂණයට ප්‍රියත් ලියනගේ බ්‍රිතාන්‍යයේ සිට ආවා. සම්මුඛ පරීක්ෂණය අවසානයේදී මම ඇහුවා මට ලිඛිත පරීක්ෂණයේ සහ ඔඩිෂන් එකේ ප්‍රතිඵල දැනගන්නට පුළුවන් ද කියලා. එතනින් තමයි සෙට් ගේම එළියට පැන්නෙ. මෙන්න ප්‍රියත් ලියනගේ කියනවා එහෙම එකක් ගැන එයා දන්නෙ නැහැ කියලා. මම මෙතන සිදු වුණ කූට ප්‍රයෝගය සම්බන්ධයෙන් බීබීසී එකේ ප්‍රධානීන්ට පැමිණිලි කළා. ඔවුන් නැවතත් මගේ පැමිණිල්ල විමර්ශනය කරන්නට ප්‍රියත් ලියනගේට යොමු කරන බව කිව්වා. මං ඇහුවා මගේ පැමිණිල්ල එයාට විරුද්ධව නම් එයා කොහොමද ඒක විභාග කරන්නෙ කියන එක. ඕක ඉතින් ඒ පැත්තට, මේ පැත්තට ඇඹරි ඇඹරි තිබිලා මට ම එපා වෙලා මං අතහැර දැම්මා. ඒක එහෙම වුණ එකත් නරක ම නැහැ. මිදි ඇඹුල කතාවම ම නෙමෙයි, ඒ වගේ ආයතනයකින් අවස්ථාවක් ලැබුණා නම් හොඳයි. ඒත් මං හිතන්නෙ දැන් තියෙන බීබීසී සිංහල සේවය වගේ එකක් නම් මේ බ්ලොග් එකේ වුණත් කරන්නට බැරිකමක් නැහැ කාලය පොඩ්ඩක් හොයා ගන්නට පුළුවන් නම්. ප්‍රියත් ලියනගේ ටික කලකට පසු වෙනත් වංචා වගයකට වැරදිකරු වී බීබීසියෙන් දඬුවම් ලැබුවා.

රේඩියෝ විනෝදාංශයට නැවත වතාවක් යොමු වෙන්නට අවස්ථාව ලැබුණෙ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිකමට සුදර්ශන ගුණවර්ධන පත් වුණාට පසුවයි. අර පරණ රේඩියෝ ආසාව ඇතුළෙ මං නැවත ජීවත් වෙනවා. ඒකෙන් මහ ලොකු දෙයක් වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් මං සතුටු වෙනවා. කවුරු වුණත් සතුටෙන් ඉන්න එක හොඳයි නේ. මිනිසුන් සතුටෙන් ඉන්නකොට කුහකකම, සමාජ වෛරය වගේ දේවල් අඩු වෙනවා. ඔය වර්තමාන වොරියර්ලා බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව සතුට, ප්‍රමෝදය පිළිබඳ ප්‍රශ්නයක්.

මේ සටහන ලියන්නෙ ඒ වගේ සීරියස් බුද්ධිමතුන්ට නෙමෙයි. සතුටු වෙන්න කැමති මිනිසුන්ට.

මං ඉතින් මගේ චූන් එකටත් එක්ක සිකුරාදා සාරප්‍රභාගිර වැඩසටහන කරනවා නේ. මේ සතියෙ වැඩසටහනට ගෙන්නුවේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික තරුණ නියෝජිත ශේෂාද්‍රි කෝට්ටෙආරච්චි. ඇතුළට යනකොට මෙන්න අද වැඩසටහන වෙන ස්ටුඩියෝ එකක. මං යනකොට එක වැඩසටහනක් ඉවර වෙලා ඩිලාන් ඇමතිතුමායි, ජනරංජනයි එළියට බහිනවා. පුංචි බීම් එක ඇතුළෙ සෙනග පිරිලා ලයිට් දාලා, කැමරා අල්ලගෙන අලුත් වැඩක්. අපේ රේඩියෝ වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කරනවා.

වර්තමානයේ කිසිදු මාධ්‍යයක් හුදෙක් ඒ මාධ්‍යයට පමණක් සීමා වෙන්නෙ නැහැ. වර්තමානයේ තියෙන්නෙ බහු මාධ්‍ය අවකාශයක්. ප්‍රධාන මාධ්‍යය රේඩියෝ වුණත්, ඒකත් වෙබ් අඩවි, වීඩියෝ වගේ දේ එක්ක සම්බන්ධ කරන්නට පුළුවන්. සුදර්ශන ගුණවර්ධන උත්සාහ කරන්නෙ එහෙම වැඩක් කරන්න. රේඩියෝව රේඩියෝවෙන් එළියට ගන්න. මේ කරන අත්හදා බැලීම් රාජ්‍ය අංශය තුළ ඉතා වැදගත්. හරියට යමක් කර පෙන්වනවා නම් ඒ ඔස්සේ ප්‍රමිති නිර්මානය කරන්නට රජයට පුළුවන්. එතකොට වෙනම නියාමන යාන්ත්‍රණයන් අවශ්‍ය නො වෙන්නටත් පුළුවන්.

පහත වීඩියෝ දෙකට මම හරි කැමතියි. ඒකෙ ඉන්න තරම් මං කළු නෑ හලෝ. ලයිට් දාපු කට්ටිය මාව හරියට ලයිට් කළේ නැහැ. ඒකයි. මේ වීඩියෝ දෙක ඔස්සේ රේඩියෝ වැඩසටහන් විකාශය වන මැදිරියක් තුළ සිදු වන නාට්‍යමය ජවනිකාත් බලන්නට පුළුවන්. රේඩියෝ බලන එකත් හරි අපූරු වැඩක්.

දැන් ඉතින් මේකට ශාස්ත්‍රීය විග්‍රහ කරන්න යන්න එපා. සතුටින් බලන්න බැරිනම් නිකම් ඉන්න. කොහොම වුණත් කමක් නැහැ, සතුටු වෙන්නට පුළුවන් විදියට ජීවත් වෙන්න.

(විශේෂ ස්තුතිය සුදර්ශන ගුණවර්ධනට. මම වගේ අයට සාමාන්‍යයෙන් වැඩිය කවුරුවත් අවස්ථාවක් දෙන්න කැමති නැහැ. හේතුව මේ බ්ලොග් එක ම තමයි ඉතින්. ජීවිතේට මගෙත් එක්ක වචනයක් කතා කරපු නැති අය පවා ජන්මාන්තර වෛරක්කාරයන් වෙලා තියෙනවා මේ බ්ලොග් එක නිසා. ඒත්, සුදර්ශන ලෝබ නැතුව බොහෝ අයට අවස්ථා ලබා දෙමින් ඉන්නවා. දක්ෂයා අනෙක් අයට බය නැහැ. ඔහු දන්නවා වෙන කෙනෙකුට ඔහු වෙන්නට බැරි බව.)






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-11

බජට්ටෙක

බජට්ටෙක කියන්නෙ එච්චර ලොකුවට ගන්න ඕනැ සීන්කෝන් එකක් නෙමෙයි. මොකද, ඕක මේ රටේ බජට්ටෙක නෙමෙයි. ඕක රජයෙ බජට්ටෙක.

රජයෙ බජට්ටෙක වැඩියෙන් ම වැදගත් රජයේ සේවකයන්ට, නිලධාරීන්ට, දේශපාලකයන්ට සහ රජය සමග කොන්ත්‍රාත් කරන අයට. අපි ඉතින් දෛනික කුලී කුරක්කමක් කරලා එදා වේල හොයා ගන්න වැඩ කරන ජනතාව නේ. අපට ඔය රජය ගොඩක් අදාළ නැහැ. ටිකක් අදාළයි.

එක පැත්තකින් රජය අධ්‍යාපනය, සෞඛ්‍යය ආදිය වෙන කාගෙන්වත් ගන්න එපා, අපෙන් විතරක් ගනිල්ලා, අප කැමති විදියට විතරක් ගනිල්ලා ය කියලා අපට ඒ දේවල් සාධාරණ මිළකට මිළ දී ගන්නට අවස්ථාව අහුරලා තිබෙනවා. අනෙක් පැත්තෙන්, මේ දේවල් අපට නොමිළේ දෙනවා ය කියලා රජය ඒ වෙනුවෙන් අපෙන් අම්බානක් හූරා කනවා.

ලංකාවෙ තියෙන ලොකු ම සූරාකෑම් කරන්නෙ ඔය ධනපති සමාගම් නෙමෙයි. රජය තමයි ලොකුම සූරා කන්නා. සූරාකෑමට වාමාංශික ශබ්දකෝෂයේ නිශ්චිත අර්ථයක් තිබෙන එක මෙතනට අදාළ නැහැ. අප ඒ නිශ්චිත අර්ථ ගණන් ගන්නෙ නැහැ.

මොන රෙද්ද වුණත් කමක් නැහැ. අරක්කු බෝතලයක් ගන්නකොට රුපියල් දාහකට වඩා ගානක් පැත්තක ඉඳන් අපෙන් අරන් සාක්කුවෙ දාගන්න එකා, පෙට්‍රල් ලීටරයක් ගහනකොට විතරක් නෙමෙයි එස්එම්එස් එකක් ගහනකොටත් ඒකෙන් හෙණ ගානක් සාක්කුවට දාගන්න එකා, කාරෙකක් ගන්නකොට කාරෙකේ වටිනාකම වගේ තව ගුණයකට වඩා අපෙන් ඩැහැ ගන්න එකා, තව එක එක විදියට එක එක බදු පනවමින් අපේ සාක්කුවේ පතුල අතගාන එකා කරන ඒ අසමජ්ජාති, දහදුරා, බලු වැඩේ සූරාකෑම නෙමෙයි නම් ඉතින් බලෙන් ගුදේ ඇරීම වගේ දෙයක් වෙන්න ඕනැ. කොහොම වුණත් මාක්ස්වාදීන් කැමති නැහැ රජය අපව සූරා කනවා ය කියනවාට. මොකද උන්ගෙ දේශපාලනය වන්නෙ ක්‍රි.ව. 2500දි හරි මේ රජය පාලනය කරන ආණ්ඩුව වෙන්නනේ.  

නිශ්චිත අර්ථෙ මොක වුණත්, මේ විදියට අපෙන් හූරා ගන්නා බදුවලින් අපට සාධාරණ සේවාවක් ලැබෙනවා ද? බදු ගෙවන අපේ දරුවන්ට අධ්‍යාපන, සෞඛ්‍ය, පරිපාලන, යටිතල පහසුකම් වැනි සේවාවන් හරියට ලැබෙනවා ද? මං සරලව ම මේක පැහැදිලි කරන්නම්. රජය ඇත්තට ම කරන්නෙ අපෙන් ඩැහැ ගන්නා බදු මුදල් දේශපාලකයන්, නිලධාරීන් හා රජයේ සේවකයන් අතර ලාභ ලෙස බෙදා ගන්නා එක. මේක කරන්නෙ වැටුප්, වාහන, විදේශ චාරිකා, උත්සව, බදු සහන ආදිය හරහායි. ඒක සාධාරණීකරණය කරන්නට යන්තමින් සෑහෙන්නට මහජන සේවාවල් සපයනවා. මේක ඕනැම රජයේ ආයතනයකට ගියාම විනාඩි පහෙන් තේරුම් ගන්නට පුළුවන් උවමනාවක් තියෙනවා නම්. එහිදී වැදගත් වෙන්නෙ ඒවායේ රැකියා කරන අය මිසක්, ඒවායින් සපයන සේවාව නෙමෙයි. බොහෝ රජයේ සේවකයන්ට මහජනතාවට සේවා සැපයීම තරම් එපා කරපු වෙන දෙයක් නැහැ. ඒකනෙ මූණෙ ලේ කළඳක් නැති, කවදාවත් සේවාලාභියෙකු එක්ක හිනා නො වෙන රජයේ සේවක හැතිකරයක් අපට දිනපතා හමු වන්නෙ.

මට නම් බජට්ටෙක වැදගත් මෙන්න මේ තත්වයන් වෙනස් කරන්නට එය කොයි තරම් ඉවහල් වෙනවා ද කියන කාරණය මත විතරයි.

2018 වසරේ ඇස්තමේන්තු කරන ලද රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982ක් වන අතර එම වසරේ සම්පූර්ණ රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2175ක් පමණයි. ඉතුරු ටික ණය. ණය ගෙවන්නෙ කවුරු ද? අය වැය පරතරය 2020 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 3.5කට අඩු වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා යි මුදල් ඇමති මංගල සමරවීර පැවසුවා.

මේක කරන්නට නම් රාජ්‍ය වියදම්වල නාස්තිය අවම කරන්න ඕනැ. ඒ වගේ ම රාජ්‍ය ආදායම් වැඩි කර ගන්නට ඕනැ. ලක්ෂ 14ක් රජයේ සේවකයන් හිටියාට රජයට හරියට ආදායම් බදු ටිකවත් එකතු කර ගන්නට බැරි බව අමතක නො කළ යුතුයි. ඒකට යාන්ත්‍රණයක් හදා ගන්නට බැරි නිසා රජය කරන්නේ වෙළඳපොළෙන් සියලු පාරිභෝගිකයන්ට බදු පනවන එක. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ආදායම් ලබන අය බදුවලින් ගැලවෙමින්, පහළ ආදායම් ලබන අය බදු බරින් මිරිකෙනවා.

රජයේ ආදායමෙන් 78%ක් වැය කරන්නෙ ණය ගෙවන්නට නම්, ඒ වගේ රජයකට සුරංගනාවියක වගේ සියල්ල නිකම් දෙන්නට බැරි බව තේරුම් ගැනීම අපහසු නැහැ. ඒ නිසා දෙයියන්ගෙ නාමෙට අඩු ගානෙ තව ණය ගන්න එක හරි අඩු කරන එක තමයි රජයට මේ රටේ ජනතාව වෙනුවෙන් කරන්නට තිබෙන ලොකුම සේවය. ණය ගත්තට කමක් නැහැ, ඒ ණය නිසා ආදායම් උත්පාදනය වෙනවා නම්.

දැවැන්ත අකාර්යක්ෂම රජයක් නඩත්තු කරන්න, දේශපාලකයන්ට හා නිලධාරීන්ට කාර් ගන්න ණය අරගෙන ආපහු ඒවා ගෙවන්න අප මත බදු පටවන්න එපා ඉදිරියේදිවත්.

රජයේ සේවකයන්ගේ වැටුප් සම්බන්ධ යෝජනාව කාර්යක්ෂමතාව සමග සම්බන්ධ වෙනවා නම් ඉතා හොඳයි. පොදු වැටුප් ක්‍රමයක් කියන්නෙ මොකක් ද දන්නෙ නැහැ. මහජනතාවට නම් වැදගත් රජය විසින් තමන්ගේ බදු මුදලට සාධාරණ අන්දමින් සේවා සපයනවා ද කියන එක විතරයි. එහෙම කරන්නට බැරි නම් මහජනතාවට සේවා සාධාරණ මිළකට මිළ දී ගන්නට ක්‍රම සැලැස්වීමත් රජයේ වගකීමක්.

ලංකාවෙ රජය බිස්නස් කරන්නට යන එක කිසිම තේරුමක් නැහැ. උදාහරණයක් විදියට ලංගම වගේ ආයතන බස් දුවනවාට වඩා හොඳයි, ඒ බස් නැවතුම්පොළවල කඩ එහෙම හදලා, බස් නැවතුම්පොළත්, ඒ කඩත් කුලියට දීලා ඒ ලැබෙන ආදායමෙන් ඔය ඉන්න සේවකයන්ට පැන්ෂන් යනකල් පඩි ගෙවන එක. වැඩට නො ආවත් කමක් නැහැ. අඩු ගානෙ තව මිනිහෙකුගෙ දවස හරි කාලකණ්ණි නො වී තියෙයි ඒ මූණු බලලා.

දැන් ඔය ලංගමට විදුලි බස් දෙන්නට යනවා නේ. ඊට කලින් ලංගම සේවකයන්ට හවසට බස්සෙක අතුගා තැබිය යුතු බව කියා දිය යුතුයි. සමහර ලංගම බස්වල ඇතුලෙ ගොවිතැන් වුණත් කරන්නට පුළුවන්. මහින්ද ලෝක තරුණ සමුළුවට ගෙනාපු සුඛෝපභෝගී බස් ලංගමට දුන්නනේ. පසුගිය කාලෙ ඒවා අධිවේගී මාර්ගවල දිව්වා. අඩු ගානට දිව්වෙ නැහැ නේ. දැන් මේවා හරියට නඩත්තු නො කිරීම නිසා මග කැඩෙනවා. ඒ අතරෙ ලංගම සේවකයන් රු. බිලියන තුනක් ඉල්ලනවා වැටුප් ඇරියස් වෙනුවෙන්. මෙන්න මේක තමයි රජයෙ බිස්නස්වල කටුක යථාර්ථය.

ඒ නිසා රජය මේ බිස්නස්වලට ආයෝජනය කරනවාට වඩා හොඳයි තියෙන බිස්නස් කළමනාකරණය කරන්නට පුළුවන් ව්‍යූහයක් හදන එක. සරලව කියනවා නම් ලංගම වගේ මහජනතාවගෙන් මුදල් අය කරන, බදුත් නො ගෙවන බිස්නස් මුලින් ම ආදායමෙන් වැටුප් ටික බේර ගන්න තරමට හෝ ගොඩනගා ගන්න ය කියලා ඒවායේ සේවකයන්ට කියන්න. ඔය බස් එකක්, දෙකක් තියෙන පොඩි මුදලාලි කෙනෙකු වුණත් ඕක කරන හැටි දන්නවා.

මේ බජට්ටෙකෙත් මේ රටේ දුම්රිය සේවය නැංවීම සඳහා කිසිදු යෝජනාවක් නැහැ. මේ තියෙන රේල් පාරවල්වල තව කෝච්චි දුවවන්නට පුළුවන්. අන්න ආයෝජන අවශ්‍ය ක්ෂේත්‍ර.

අයවැය කියන්නෙ යෝජනාවලියක්. එය ඒ වගේ ම ඉතා සුන්දර සිහිනයක්. මෙම අයවැයෙත් එවැනි සොඳුරු මාතෘකා තිබෙනවා. ඒත්, සියල්ලම බැරි වුණත් ඇතැම් සිහින හෝ සැබෑ කර ගන්නට උත්සාහ කරන්නට අපට බැරිකමක් නැහැ. අයවැය පසු විපරම් ඒකකයක් මුදල් අමාත්‍යංශයේ පිහිටුවීමට කරලා තිබෙන යෝජනාව ඉතා වැදගත් ඒ නිසායි.

අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීමේ පරිශ්‍රය වෙනුවෙන් රුපියල් බිලියන 3000ක් වෙන් කිරීම කොළඹ කසල ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දීමට ඉවහල් වේවි.

සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදි කිරීමත් කළ හැකි දෙයක් වගේ ම ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ ජීවිත ගුණය ඉහළ නංවන්නට වැදගත් සාධකයක්.

මේ සියල්ලට ම වඩා අයවැයේ වැදගත්කම තියෙන්නෙ හැම මට්ටමක ම ව්‍යවසායකත්වය දිරිගැන්වීමට යොමු වී තිබීමයි. ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ මේ දැක්ම ඉතා වැදගත්. අපේ රටට ඉදිරියට යන්නට පුළුවන් ව්‍යවසායකත්වය ඔස්සේ මිනිස් නිර්මානශීලිත්වය නිෂ්පාදනයට යොමු කිරීමෙන් පමණයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-09

සයිටම් විරෝධීන්ට සුබපැතුම්! එහෙත් නිහඬ බහුතරය වෙනුවෙන් අපි හෙටත්



සයිටම් හෙවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට (පමණක්) එරෙහිව පැවති විරෝධය ජයගෙන ඇති බව එය මෙහෙයවූ අය මහ හඬින් කෑගසා කියති.

අපි ඔවුන්ට සුබ පතමු. මේ රටේ බහුතර විශාල පිරිසක් තම අධ්‍යාපන නිදහස වෙනුවෙන් අරගල නො කර සාමකාමීව නිහඬව සිටියදී සයිටම් විරෝධීන් ඔවුන්ගේ සටන පාවිච්චි කළ හ. ජනතාවගෙන් ප්‍ර‍තික්ෂේප වෙද්දී මාරාන්තික උපවාස තර්ජන ආදිය කරමින් සමාජය බිය වද්දමින් හෝ තම අරමුණ දිනා ගන්නට ඔවුන් සමත් වී ඇති බව පෙනේ.

එහෙත්, අපට නම් අප සිටි ස්ථාවරන් කිසිවක් වෙනස් කර ගන්නට අවශ්‍යතාවක් නැත. නැවත නැවත ඔප්පු වෙමින් තිබෙන්නේ අප ඉදිරිපත් කළ කරුණු ම ය.

ලංකාවේ රාජ්‍ය බලය හිමි මධ්‍යම පන්තිය සිය පන්ති උවමනාවන් වෙනුවෙන් අවසානයේදී පන්තියේ වඩාත් ආත්මාර්ථකාමී කොටස් සමග සම්මුතිගත වෙයි.

අධ්‍යාපනය වෙළඳපොළකරණය කරනවාට විරුද්ධව කරන බව කියනමුත්, මෙම ව්‍යාපාරය අවසානයේදී පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මට්ටමෙන් ඔබ්බට නො යන්නට බොහෝ ඉඩ තිබේ. (උදාහරණයක් ලෙස දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය කුමාර් ගුනරත්නම් නිදහස් වූ පසු අවසන් විය.)

මෙම සටනට සම්බන්ධ වූ ජවිපෙ පෞද්ගලික අංශයට හා ව්‍යවසායකයන්ට එරෙහි පක්ෂයක් ලෙස සලකුණු වන අතර, එමගින් ඔවුන් සිය නාගරික ඡන්ද පදනම අහිිමි කර ගන්නට ඉඩ තිබේ. ව්‍යවසායකයන්ට, පෞද්ගලික අංශයට එරෙහිව යන පක්ෂයකට ලංකාවේ දේශපාලන බලය ගැන සිතන්නට බැරි ය. 2020 සිහිනය තව බොහෝ පසුපසට යනු ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඊයේ පුවත්පත්වල පළ කර තිබූ දැන්වීමකට අනුව සෑම ලාංකික දරුවකු ම උපදින්නේ රු. ලක්ෂ පහක ණය බරක් දරාගෙන ය. රජයේ ණය බර 2016 වසරේ මුළු වාර්ෂික ආදායම මෙන් පස්ගුණයකි. ලබන අවුරුද්දේ රජයේ වාර්ෂික ආදායමෙන් 78%ක් වැය කරන්නට සිදු වන්නේ ණය ආපසු ගෙවීමට ය.

එහෙම රජයකට සියල්ල නිකම් දෙන සුරංගනාවකගේ භූමිකාව රඟපාන්නට බැරි ය. නිකං දෙන එක තව පුළුල් කරන්නට නම් තව තව බදු බර වැඩි කළ යුතු ය.

රජය තව තවත් පුළුල් වන තරමට අඩුවෙන් වැඩ කර සාපේක්ෂව වැඩියෙන් මහජන මුදලින් වැටුප්, වරප්‍ර‍සාද ආදිය ලබා ගන්නා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු මධ්‍යම පන්තිය ද විශාල වනු ඇත. එසේම, ඔවුන් දේශපාලනිකව ද බලවත් වන නිසා රාජ්‍ය ප්‍ර‍තිපත්ති සම්පාදනය වනු ඇත්තේ ඔවුන්ට වාසිදායක ලෙස ය. මූලිකව ම මෙම රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව වැඩි කරන්නට බැරි ය. මන්ද, එහි හිමිකාර පන්තියට එසේ කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැත. ඔවුන්ට අවශ්‍ය වරප්‍ර‍සාද පමණි.

මේ පංතියේ බර කර ගසාගෙන යන්නට සිදු වන්නේ මේ රටේ ඵලදායී වැඩ කරන ජනතාවට ය. මේ රජයෙන් අවම සේවාවක් ලැබෙන්නේ ද මෙම ඵලදායී වැඩ කරන ජනතාවට ය. එය කෙසේ වන්නේදැයි මම සරල උදාහරණයකින් පැහැදිලි කරන්නම්.

ඔවුන්ට ආදි ශිෂ්‍ය සංගම් පසුපස යන්නට, හොර ලේඛන හදා ගන්නට, උපදින්නටත් පෙර සිට දරුවන් පාසල් දමා ගැනීම ගැන සැලසුම් කරන්නට බැරි ය. ඒ ඔවුන් වැඩ කරන නිසා ය. ඒ නිසා ඔවුන්ගේ දරුවන්ට පළමු ශ්‍රේණියෙන් ම හොඳම රජයේ පාසල් ටික අහිමි වේ. එතනින් එහාට රජයේ අධ්‍යාපනය හරහා ඉදිරියට යන්නට හැකි වන්නේ අසාමාන්‍ය දක්ෂයන්ට පමණි. ඔවුන් අසීරුවෙන් අත් කර ගන්නා පෞද්ගලික අධ්‍යාපනයට ද නිසි පිළිගැනීමක් ඇති කර ගැනීම ද මෙම වාමාංශික වැඩසටහන නිසා නැති වේ.

හොඳම පාසල් ළඟ ඉඩම් අයිති ධනවත් කොටස් ඉතා පහසුවෙන් එම පාසල්වලට ඇතුළත් කරති. මෙම අවස්ථාව දිළිඳු සමාජ කණ්ඩායම්වලට අවම ය.

අවාසනාව මේ නිහඬ බහුතරයට වීදි බැස උද්ඝෝෂණය කරන්නට ද වේලාවක් නැති වීමයි. හේතුව ඔවුන්ට වැඩ කරන්නට සිදු වී තිබීමයි. ඔවුන්ට දේශපාලනය කරන්නට ද වෙලාවක් නැත. ඔවුන්ට වැඩ කරන්නට තිබේ. ඡන්දය දෙනකොට ද ඔවුන්ට හිතන්නට වෙලාවක් නැත. ඒ නිසා මධ්‍යම පන්තික පක්ෂවල මධ්‍යම පන්තික වැඩසටහන්වලට ම බලය ද දෙති.

ලංකාවේ දේශපාලන ගැටලුව මෙයයි. මේ රටේ කම්කරුවන්ට මෙන් ම ව්‍යවසායකයන්ට ද හඬක් නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-07

තෙල් රනා නෑවා ද?

තෙල් අර්බුදය ඇත්තෙන් ම ආණ්ඩුවේ හා රටේ පවතින තත්වයේ සංකේතාත්මක ප්‍රදර්ශනයකි.

මෙම ප්‍රශ්නයට ඉතා පැහැදිලිව ම ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග වගකිව යුතු ය. එය ඉතා අසාර්ථක කළමනාකරණයකි.

ප්‍රංශයෙන් LIOC සමාගම විසින් ආනයනය කරන ලද මතභේදයට තුඩු දුන් තෙල් නැව ලංකාවට පැමිණ ඇත්තේ ඔක්තෝබර් 15දා ය. එහි තෙල්වල තත්වය බාල බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියයි. එහෙත්, එහි තිබුණු අංශු පෙරහන් කිරීමෙන් පසු එම තෙල් තොගය වෙළඳපොළට නිකුත් කළ හැකිව තිබුණු බව LIOC පවසයි.

අනෙක් පැත්තෙන් LIOC සමාගම හසුරුවන්නේ ලංකාවේ ඉන්ධන වෙළඳපොළෙන් 15%ක් පමණි. 85%ක් ම විකුණන ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තත්වය කළමනාකරණය කර ගන්නට හැකියාව තිබිය යුතු ය. එහෙත් බැරි විය.

කෙසේ හෝ කල් ගත කරමින් නො සිට මෙම ප්‍රශ්නයට විසඳුම් සෙවිය හැකිව තිබිණි. තෙල් නැවට අවසර ඉල්ලා ඇතැමුන් තමන්ට මුදල් පවා දෙන්නට ඉදිරිපත් වූ බව ඇමතිවරයා පවසයි. අැමතිවරයකුට අල්ලස් දෙන්නට ඉදිරිපත් වීම බරපතල අපරාධයකි. ඇමතිවරයා කළ යුත්තේ මේවා මාධ්‍යවලට කිය කියා ඉන්න එක නොව අල්ලස් කොමිසමට පැමිණිලි කරන එක ය. දැන් වුණත්, මේ අල්ලස් කතාව ගැන විමර්ශනය කළ යුතු ය.

ඇමතිවරයා මෙම සමාගම් දෙකෙන් එකක්වත් විශ්වාස කළ යුතු නැත. රජයේ සමාගම වූ පළියට ලංකා ඛනිජ තෙල් සංස්ථාව යනු මහජනතාව සූරා කන තවත් එක් සමාගමක් පමණි. එහි සිදු වන නාස්තිය හා දූෂණත්, නිලධාරීන් ගන්නා ඉහළ වැටුප්, වරප්‍රසාද ආදියත්, අකාර්යක්ෂමතාවත් ලංකාවේ ජනතාව පිට පැටවී තිබෙන විශාලතම බරවලින් එකකි. ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධික වියදම් පියවීම පිණිස තෙල් මිළ ඉහළ මට්ටමක තබා ගැනීමට සිදු වී තිබේ. ඒ හේතුවෙන් LIOC අධික ලාභ ලබයි.

අකාර්යක්ෂම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන්ට ඒ මදිවාට ලංකාවේ තෙල් වෙළඳපොළ ඒකාධිකාරයක් අවශ්‍යව තිබේ. තෙල් විකිණීම යනු ඇත්තෙන් ම රජය නම් කොම්පැනිය මහහජනතාව සූරා කන ප්‍රධාන ම ආකාරයකි. තෙල් බිස්නස් එක රජයට පවරා ගත්තා ය කියා මේ රටේ ජනතාවට සිදු වූ කිසිදු සෙතක් නැත. පෞද්ගලික සමාගම් හොඳ බවක් මෙයින් අදහස් වන්නේ නැත. අප කියන්නේ රජය නම් සමාගම ද අතීතයේ තිබුණු ෂෙල් කොම්පැනිය තරමට ම මහජනතාව සූරා කන බවයි. ලාභය බෙදී යන්නේ දේශීයව විය හැකි ය. එහෙත්, මහජනතාවට එයින් ඇති වැඩක් නැත.

අනෙක් පැත්තෙන්, තෙල් ගැටලුව මහා අර්බුදයක් බවට පත් කළේ මාධ්‍ය විසිනි. මාධ්‍ය හැසිරීමෙහි වගකීම් විරහිත ස්වභාවය ගැන පුදුම විය යුතු නැත. විශේෂයෙන් ම සමාජ මාධ්‍ය කටකතාවල තිඹිරි ගෙය වන නිසා මෙම යුගයේ මාධ්‍ය පාලනය පහසු නැත. කළ යුතුව තිබෙන්නේ මාධ්‍ය පාලනය කරන්නට යාම නොව තමන්ගේ රාජකාරිය හරියට කරන එක ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-06

මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!

පදවි වැව වගේ සොඳුරු මිනිහෙක් - ඡායාරූපය: nearby.lk
පදවිය මහසෙන් විදුහලේ ආර්ථික විද්‍යාව උගන්වමින්  සිටි අප කල්‍යාණ මිත්‍ර සුදත් ගුණරත්න අද උදෑසන පන්තියේදී මාතෘකාව පමණක් කියා විනාඩි කිහිපයක් නිහඬව බලා සිට, පපුව අල්ලාගෙන පුටුවෙහි වාඩි වී මිය ගිය බව අසා මහත් සේ කම්පාවට පත් වුණෙමි.

ඔහුත්, මාත් අතර බොහෝ දේශපාලනික වෙනස්කම් තිබිණි. එහෙත්, එවැනි ප්‍රාණසම මිතුරන් ළඟ බොහෝ විට දැකිය හැකි පරිදි ම ඒ වෙනස්කම් සියල්ල නො වෙනස් මිත්‍රත්වයට හා ආදරයට දෙවෙනි විය. මහ ලොකු දේශපාලනයකින් තොරව, තුරුණු වියේ එකට වැටී දුක සැප බෙදා හදා ගත් ජීවිතයක හදවතේ ගැඹුරට ම කා වැදුණු මතකයන් අප අතර තිබිණි.

ඔහු දිගට ම මා ලියන ලිපි කියැවූයේ ය. උඹේ අදහස්වලට මං එකඟ නැහැ මචං යි කියා වුව ද මගේ පැහැදිලි කිරීම් ඔහු සන්සුන්ව අසා සිටියේ ය. පසුකාලීන බොහෝ දේශපාලන සහෝදරයන් සේ තමන් අකැමැති සැම දෙය පැතලි ලෙස ප්‍රතික්ෂේප නො කරන පුළුල් දැක්මක් ඔහුට තිබිණි. මිනිසුන්ට ඒ පුළුල්කම ලැබෙන්නේ අව්‍යාජව, අවංකව, පූර්ණ ලෙස තමන් ලද ජීවිතය ජීවත් වීමෙනි. 

අව්‍යාජ ගැමියකු වූ, ගමේ ම ඉපිද, මහා යුද්ධයක් මැද පවා ගම හැර නො ගොස්, එහි දරුවන්ට අනුරාගයෙන් අකුරු උගන්වමින් සිට, ගමේදී ම දිවි ගමන අතරමග නතර කළ සුදත්ට නගරවල සිටින විෂඝෝර සර්පයන්ගෙන් මිදී ජීවත් වීමේ වාසනාව ලැබිණි.

සුදත්ගේ හදවත එසේ හිටිහැටියේ නතර වුණ ද, කකියන අපේ හදවත්වල ඔහුගෙන් ණයට ගත් ජවය තවමත් ජීවමාන ය. අනුරාගී ගුරුවරයකු වූ ඔහුගෙන් අනුප්‍රාණය ලද තවත් බොහෝ මිනිසුන් ඈත පදවියේත් ලොව අන් තැන්වලත් සිටිනවා ඇත.

අවුරුදු දහයකටත් වැඩි කාලයකින් රුව නො දුටු, දුරකථනයෙන් පමණක් හඬ ඇසූ ඔහු බලන්නට ළඟදී ම එන බව මම කීවෙමි. ඊට පෙර ඔහු නතර වූයේ ය.

මචං, උඹට ආදරෙයි කියන්න පමා වුණාට සමා වෙයන්!


සුදත් ගුණරත්නට
============


රිදුණු තැවුණු හද අරගෙන
පදී රටට මං එනකොට
උඹ හිටියා එහේ මිතුර
අත් විහිදා වැළඳගන්න

කරුංකා පුවක් තල තල
තලා කොළ විටක් කාගෙන
ගුරු නිවාසෙ පිටිපස්සේ
මිතුරු උණුසුමට ගුලි වුණ

වන්නි කැලෙන් මරු එනකොට
දරු මල්ලන් කර පින්නන්
උන් මරුවන් වුණ හැටි ගැන
කතා කළෙමු කම්පාවෙන්

කන්න ගණන් වැහි නොමැතිව
වැවේ වතුර හිඳී ගිහින්
ජීවිත වේලී යද්දිත්
දෙගොඩ තැලූ හිනා ගඟුල

පුංචි පුංචි කතා මිසක්
මහ ලොකු හීනයක් නො දුටු
ලෝබ නැතුව කහට නැතුව
ශිල්ප සතර බෙදා දුන්නු

පදවි වැව වගේ මිනිහෙක්
ආදරය කරන මිතුරෙක්
බුද්ධංගල පාමුල සිටි
වග ආඩම්බරයෙන් කීවෙමි

මුල් පත්වීමෙන් පස්සේ
තව තව පත්වීම් ලැබිණි
ඒත් මචං ඒ මුල ළඟ
තිබුණු සිසිල යළි නො ලැබිණි

රිදුණු තැවුණු හද අරගෙන
උඹට ආදරෙයි කියන්න
පදී රටට මං ආවා
ඉතින් මචං උඹ කොහේ ද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-03

සයිටම් සම්බන්ධයෙන් රජයේ විසඳුම හා මස් රාත්තල ම ඉල්ලන ෂයිලොක්ලා

ලෝකයේ මේ වන විට කොමියුනිස්ට් ආණ්ඩුවකට තිබෙන්නේ ලොවෙන් හුදකලා වී, ඉතිහාසය තුළ එක තැන නතර වී තිබෙන බව පෙනෙන උතුරු කොරියාව සහ කියුබාව පමණි. කොමියුනිස්ට්වාදය සෙසු ලෝකයට පිළිගැනීමට අපහසු වන ප්‍රධානම හේතුවකි, මෙම ජීවමාන උදාහරණ දෙක.

කොමියුනිස්ට් දේශපාලනයක් හෝ වෙනත් ඒ හා සමාන විකල්පයක් ප්‍රවර්ධනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ නැත. මූලික වශයෙන් ම ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් නැති බව පෙනේ. එසේම, ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් ද නැත.

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන වාමාංශික පක්ෂ දෙකට ප්‍රමුඛ වී තිබෙන්නේ එකිනෙකා පරයා මතු වීමේ බර අරගලයයි. ඔවුන් අතර හෝ එක් එක් පක්ෂ තුළ පවා ලංකාවේ ආණ්ඩුවක් පිහිටුවා ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් නැත.

දූෂණය නැති කළ පමණින් රට සංවර්ධනය කළ හැකි යයි ඇතැම් වාමාංශිකයෝ සිතාගෙන සිටිති. ඒ බවක් මහජනතාවට ද කියති. දූෂණය නැති කිරීම නරක දෙයක් නො වේ. එහෙත්, එපමණකින් රටක් දියුණු වන්නේ නැත. ඒ සඳහා ආයෝජන, දැනුම හා කුසලතාවන් ගොඩනගා ගැනීම අවශ්‍ය ය. වාමාංශිකයන්ට ඔවුන් වර්තමානයේ අනුගමනය කරන ප්‍ර‍තිපත්ති ද සමග එසේ කළ නො හැකි වීමට පැහැදිලි හේතු තිබේ.

බොහෝ වාමාංශික පක්ෂ පෞද්ගලික අංශයට විරුද්ධ ය. ඇතැමෙක් වෙළඳපොළටත් විරුද්ධ ය. වෙළඳපොළෙහි මූලික සාධකයක් වන ලාභය සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ ඉතා අවිද්‍යාත්මක වූ නිශේධනීය අදහසකි. සේවාවන් රජය විසින් නොමිළේ සැපයිය යුතු යයි ඔවුහු විශ්වාස කරති. රජය නිෂ්පාදනය ද සියතට ගත යුතු බව ඔවුහු සිතති. පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ දුන්නත් ඔවුන් ඕනෑම මොහොතක ඒවා රජයට පවරා ගන්නට ඉඩ තිබේ. පෞද්ගලික ව්‍යවසායකයන් අතර මෙම වාමාංශික බලවේග සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැත.

වාමාංශික අන්තවාදීන් අතට රාජ්‍ය බලය ලැබෙන්නට නම් දරුණු ආර්ථික අර්බුදයක් හෝ යුද්ධයක් වැනි භයානක තත්වයක් රටේ ඇති විය යුතු බව ඔවුහු දනිති. එහෙයින්, ඔවුන් දේශපාලනය කරන්නේ එවැනි මොහොතක් ඉලක්ක කරගෙන ය.

අන්තවාදීන් තමන්ට බලය නැති සංදර්භයක් තුළ රටේ ජන ජීවිත සංවර්ධනය වෙනවාට කැමති නැත. සාමකාමී වටපිටාවක් ඇති වෙනවාට, මිනිසුන් සතුටින් ජීවත් වෙනවාට කැමති නැත. එහෙම වුණොත් තමන්ගේ දේශපාලනය අසාර්ථක වේ යයි ඔවුන් බය ය.

සයිටම් සම්බන්ධයෙන් රජය විසින් ලබා දී තිබෙන විසඳුමට එකඟ නැති ජනතා විමුක්ති පෙරමුණේ සිට විවිධ තනි පුද්ගල වාමාංශිකයන් දක්වා පිරිස් තේරුම් ගත හැක්කේ එසේ ය.

සයිටම් යනු අභියෝගාත්මක ව්‍යවසායකි. එහෙත්, එය සිදු වූයේ රාජ්‍ය දිරි ගැන්වීම යටතේ ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සයිටම් වෙතින් අල්ලස් ලබා ගත් බව පවා පෙනේ. ඔහු වෙනුවෙන් ප්‍ර‍ශස්ති ගැයූ සහේලි නම් ආධුනික ගායිකාවකට ද මෙම විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මෙවැනි තත්වයන් ලංකාවේ ව්‍යාපාර අවකාශයෙහි එතරම් පුදුම විය යුතු දේ නො වේ. එවැනි තත්වයන් සම්බන්ධයෙන් දොස් පැවරිය යුත්තේ අභියෝගාත්මක ව්‍යවසයාන්ට අතගසන ආයෝජකයන්ට නො වේ.

විදේශ ආයෝජන කෙරෙහි විශාල අවධානයක් යොම කර ඇති රටක් වන ලංකාව දේශීය ආයෝජකයන් පිටරටට ඇදී යාම වැළැක්වීම, ඔවුන් රැක ගැනීම, දිරි ගැන්වීම හා ඔවුන්ට මාර්ගෝපදේශ සැපයීම විධිමත් අන්දමින් කළ යුතු ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වැනි දේශපාලනික වශයෙන් අභියෝගාත්මක ආයෝජනයකට කිසියම් ව්‍යවසායකයකු දිරි ගැන්වූවා නම්, ඔහුට ඒ සඳහා උපකාර කිරීමේ වගකීමක් ද රජයට තිබේ. මෙය අලුත් තත්වයක් නො වේ. ලංකාව විදේශ ආයෝජකයන්ට උපකාර කිරීම සඳහා ම දීර්ඝ කාලයක සිට ආයෝජන මණ්ඩලයක් පවත්වාගෙන යයි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේදී ඇඟලුම් කර්මාන්තයේ දේශීය හා විදේශීය ආයෝජනයන්ට කරන ලද දිරි ගැන්වීම් ලංකාවේ අපනයන ආදායම් හා රැකියා වියුක්තිය නැති කිරීමට විශාල වශයෙන් ඉවහල් විය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එක පැත්තකින් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් රටින් බැහැරට යන විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගන්නට ද අනෙක් පැත්තෙන් රටින් බැහැර සිසුන්ට වෛද්‍ය උපාධි පිරිනැමීමෙන් විදේශ විනිමය ආකර්ශනය කර ගන්නට ද පුළුවන. නේපාලය වැනි රටවල් පවා දැන් මෙය කරති. ලංකාවේ ඇතැම් සිසුවෝ නේපාලය, බෙලරස් වැනි රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණ ලංකාවේ රජයේ සේවයට එක් වෙති.

සයිටම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය සිසුන්ගේ ප්‍ර‍ශ්න කිරීම මූලික වශයෙන් ප්‍ර‍මිතිය පිළිබඳව ය. ප්‍ර‍මිතිය ගැටලුවක් වී නම් එම ගැටලුව විසඳීම අපහසු නැත. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට බාධා කළේ ය. කාලෝ ෆොන්සේකා යටතේ වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දදේශපාලනික පක්ෂපාතිත්වයන්ගෙන් යුක්ත ය; සමාජ ආර්ථික දැක්ම පැත්තෙන් අපරිණත ය.

ලංකාවේ රජය සම්බන්ධයෙන් තිබෙන මූලික ගැටලුව එහි ඉදිමුණු දැවැන්තභාවය හා ඒ දැවැන්තභාවයට කිසි සේත් ම නො ගැලපෙන අකාර්යක්ෂමතාවයි. මෙය සමාන කළ හැකි වන්නේ බරවා කකුලකට ය. රජයේ අකාර්යක්ෂමතාව යනු ඉතා ගැඹුරට විහිදුණු එකකි. එයට පිළියම් යෙදීම ලෙහෙසි නැත. මේ වන විට මේ රටේ ජනතාව සූරා කන ප්‍ර‍ධාන ම ධනේශ්වර ව්‍යූහය එයයි. රජයට අයත් ව්‍යවසාය කිසිවක් ජනතාවට වඩා හොඳ, ලාභදායී සේවා සපයන්නේ නැත. අනෙක් පැත්තෙන් මේවායේ බර දරා ගැනීමට ජනතාවට විශාල බදු බරකට හා ණය බරකට උර දීමට සිදු වී තිබේ. අලුත්, අලුත් රාජ්‍ය ව්‍යවසායන් යනු මේ බදු බර ඉහළ නංවන ක්‍ර‍මයකි.

අනෙක් පැත්තෙන්, මේ රජයේ සේවා සම්පාදනය බොහෝ දුරට රජය පවත්වා ගැනීම සාධාරණීකරණය කරන පමණට සීමා වේ. උදාහරණයක් ලෙස පාසල් අධ්‍යාපනය සලකා බැලුවහොත්, මේ වන විට එය පාසලේ සිට ම නවලිබරල්වාදී හැඩගැස්මකට ගොදුරු වී තිබේ. රජයේ පාසල් පවා එකිනෙකා අතර දැඩි ලෙස තරගකාරී විකෘති ව්‍යූහයන් බවට පත් වී තිබෙන අතර ඒවායින් ලබා දෙන අධ්‍යාපනය දැඩි ලෙස වානිජකරණය වූ එකකි. සමස්තයක් ලෙස ගත් කල පාසල් අධ්‍යාපනය ගුණ යහපත් මිනිසුන් නිර්මානය කිරීමට එතරම් ඉවහල් වන්නේ නැත. මේ අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යන්නේ ඇත්තෙන් ම එයින් වරප්‍ර‍සාද ලබන, අඩුවෙන් වැඩ කර, සාපේක්ෂ වශයෙන් වැඩි වරප්‍ර‍සාද ලබන, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන් වෙනුවෙනි. රජයේ සේවා ඇත්තේ මහජනතාව වෙනුවෙන් ය යන මිථ්‍යාව බිඳ දැමිය යුතු ය. ඒවා ඇත්තේ රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය වෙනුවෙනි. මහජන සේවාවන් යනු මධ්‍යම පන්තියේ මෙම උවමනාවට ආවරණයක් පමණි.

රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රජයට පවරා ගැනීම වැරදි ක්‍රියාවක් වන්නේ මෙම සංදර්භය තුළයි. පාසල් අධ්‍යාපනය යනු සියලු සිසුන්ට අනිවාර්යයෙන් ම ලබා දිය යුතු, අත්‍යවශ්‍ය මූලික සේවාවකි. එහෙත්, තෘතීයක අධ්‍යාපනය එසේ නො වේ. එය එක පැත්තකින් පෞද්ගලික ආයෝජනයකි. උදාහරණයක් ලෙස ලංකාවේ බොහෝ දෙනා වෛද්‍යවරුන් වීමේ සිහින ගොඩනගන්නේ ඒ හා බැඳුණු දැවැන්ත වරප්‍ර‍සාද ඔස්සේ වේගයෙන් මුදල් ඉපැයීමේ හා පන්ති ඉණිමගේ ඉහළට ඉක්මණින් ගමන් කිරීමේ අභිලාෂයෙනි. ඔවුන් ඇතුළත් වන්නේ මහජන සේවාවකට නොව ජාවාරම් ස්වරූපී දැවැන්ත ව්‍යාපාරයකට ය. රටක දිළිඳු දරුවන් වෙනුවෙන් තෘතීයක අධ්‍යාපනය වෙනුවෙන් ණය ක්‍ර‍ම වැනි සහන සැලසිය යුතු ය. එසේම, රටට අත්‍යවශ්‍ය, විශේෂයෙන් ම තරගකාරී නො වන අංශවල වෘත්තිකයන් ගොඩනැගීම සඳහා ආයෝජනය කළ යුතු ය. එහෙත්, තෘතීයක අධ්‍යාපනය තවත් පැත්තකින් පෞද්ගලික ආයෝජනයක් බව ද අප අමතක නො කළ යුතු ය. මේ රටින් නිදහස් අධ්‍යාපනය ලබා විදේශ රටවලට සේවය සැපයීම පිණිස රටින් පිට වන පිරිස් පවා සිටින බව අප අමතක නො කළ යුතු ය. තෘතීයක අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීම් කළ හැකි අය එසේ ගෙවීම කිසිදු වරදක් නො වන්නේ එම සංදර්භය තුළයි. එය රජය පමණක්, නොමිළේ පමණක්, තෝරා ගත් පිරිසකට පමණක් ලබා දිය යුතු දෙයකි ය යන්න ඉතා බොළඳ, පසුගාමී අදහසකි. සරලව කිව්වොත්, තෘතීයක අධ්‍යාපනය බදු ගෙවන ජනතාවට ඉතා පීඩාකාරී බදු බරක් බවට පත් නො කළ යුතු ය.

සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද? ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය. ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය.

ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි.

බොහෝ දෙනෙකු සිතන්නේ රජය ලාභ නො ලබන ආයතනයක් ය කියා ය. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. රජය පමණක් නො ව, දැවැන්ත සමායතන පවා මේ වන විට ලාභය ඉහළ වැටුප් හා වරප්‍ර‍සාදවලට පරිවර්තනය කරගෙන තිබේ. එහෙයින් රජය හෝ කිසිදු ස්වාධීන ආයතනයක් හෝ ලාභයෙන් මුළුමනින් ම ගැලවී ඇතැයි සිතීමට වඩා ලාභය ගැන පුළුල් අන්දමින් විග්‍ර‍හ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-11-01

ලාභය මාර කුණුහරුපයක් ද?

සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. ලාභ නො ලබන, පොදු ආයතන ගොඩනැගීම රජයට විකල්ප වැඩපිළිවෙලක් ලෙස ද සැලකිය හැකි ය.

එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද?

ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් නැවත ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය.

ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය.

ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි.

සමුපකාර සංකල්පය යනු ලාභය පිළිබඳ නිශේධාත්මක අදහසකින් තොරව මහජනතාව අතරින් පැනනැගුණු ආර්ථික ව්‍යාපාරයකි. ලංකාවේ සමුපකාර ව්‍යාපාරය විනාශ කළේ රජයයි. සමුපකාර දෙපාර්තමේන්තුව පිහිටුවමින් රජය සමුපකාර සංවිධාන වක්‍ර‍ ලෙස රජයට පවරා ගනිමින් විවිධ සේවා සමුපකාර සමිති නමින් රාජ්‍ය ආයතනයක් පිහිටෙව්වේ ය. මේ වන විට සමුපකාරය ඍජුවම රජයේ බූදලයක් වී තිබේ.

බොහෝ දෙනෙකු සිතන්නේ රජය ලාභ නො ලබන ආයතනයක් ය කියා ය. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. රජය පමණක් නො ව, දැවැන්ත සමායතන පවා මේ වන විට ලාභය ඉහළ වැටුප් හා වරප්‍ර‍සාදවලට පරිවර්තනය කරගෙන තිබේ. සමාගම් හිමිකරුවන් හා ප්‍ර‍ධානීන් එ් සමාගම්වල නිලධාරීන් ලෙද විශාල වැටුප්, දීමනා, නිවාස වැනි වරප්‍ර‍සාද, විදේශ චාරිකා ආදිය ලබා ගනිති. දේශපාලකයන් හා ඉහළ නිලධාරීන් රජයට කරන්නේ ද එය ම ය. රජයේ විශේෂත්වය වන්නේ පාඩුව මහජනතාව පිට පැටවීමට හැකි වීමයි. හොඳම උදාහරණය මිහින් ලංකා ය. එහි නිලධාරීහු තමන්ගේ ලාභය ගත් හ. පාඩුව අපට ය.

එහෙයින් රජය හෝ කිසිදු ස්වාධීන ආයතනයක් හෝ ලාභයෙන් මුළුමනින් ම ගැලවී ඇතැයි සිතීමට වඩා ලාභය ගැන පුළුල් අන්දමින් විග්‍ර‍හ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම ලිපියත් කියවන්න: රාජපක්ෂය සමුපකාර ඡන්ද දිනීම

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.