2017-11-14

වාමාංශික ‘බව‘ දුක සහ කම්කරුවන්ගේ ‘බව‘ කර්මය

ලංකාව කියන්නෙ අමුතු රටක්. මේකෙ වාමාංශිකයන් කිසිදාක තනියෙන් ආණ්ඩු පිහිටුවලා නැහැ. හැබැයි, ලංකාවෙ ජනමතය පාලනය කරන්නට වාමාංශිකයන්ට විස්මිත හැකියාවක් තියෙනවා. ඒ වගේ ම කුඩා බලය වුණත් පාවිච්චි කරලා සමාජයේ ගමන වළක්වන්නටත් ඔවුන්ට හැකියාව තියෙනවා. හොඳම උදාහරණය තමයි පෞද්ගලික අධ්‍යාපනය හා ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්ති වෙනස් කරන්නට සයිටම් විරෝධී අරගලය හරහා ඔවුන් සමත් වීම.

හැබැයි, බොහෝ විට ඔවුන් සාර්ථක වෙලා තියෙන්නෙ ප්‍රතිගාමී බලවේග සමග සන්ධානගත වූ අරගලවලදි විතරයි. සයිටම් විරෝධී අරගලය දිනා ගන්නට ලැබුණේ දොස්තර සංගමයේ ඉතා පටු, ආත්මාර්ථකාමී උවමනාවක් සමග සන්ධානගත වුණ නිසායි. ඒ උවමනාව තමයි, වෛද්‍ය හිඟයක් තබාගෙන මහජන මුදල්වලට කේවෙල් කරමින් සුවිශේෂ වරප්‍රසාද ලබා ගන්නටත්, අධික ලෙස රෝගීන් සූරාකමින් බදු පවා නො ගෙවා විශාල ලාභ ලබන්නටත් තිබෙන ඉතා දක්ෂිණාංශික වූ ප්‍රතිගාමී උවමනාව.

මේ විදියට ම තමයි වාමාංශිකයන් කලින් කලට ජාතිවාදය සමග එකතු වන්නේත්. ලංකාවේ වාමාංශිකයන්ට දීර්ඝ කාලීන ජනවාර්ගික ගැටලුව විසඳීම සඳහා කිසිවක් කරන්නට බැරි වී තිබෙන එකෙන් ම පෙනෙනවා වාමාංශිකකමේ තරම.

කෙසේ වෙතත්, මොවුන් විසින් නිර්මානය කර තිබෙන සමාජ මිථ්‍යාවන් රැසක් සමාජයේ ස්ථාවර වෙලා තියෙනවා. ඒවා ඉතා ප්‍රගතිශීලී අදහස් ලෙස පිළිගැනීමට ලක් වී තිබෙන, එහෙත්, හරයාත්මකව ඉතා ප්‍රතිගාමී ලක්ෂණ සහිත පිළිගැනීම්. 

දර්ශනය කියන්නේ පවත්නා පිළිගැනීම් නිවැරදිදැයි ප්‍රශ්න කිරීම වුණත්, ලංකාවේ වාමාංශික දර්ශනවාදීන් හිතාමතා ම ඒ ප්‍රශ්න කිරීම මගහරිනවා. ඒ විතරක් නෙමෙයි, මෙවැනි පිළිගැනීම් ජනතාව විසින් ප්‍රශ්න කිරීම වළක්වන්නට ඔවුන් විවිධ කූට උපාය අනුගමනය කරනවා.

මෙයට හොඳම උදාහරණයක් තමයි, බව නමින් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන කණ්ඩායම. එහෙත්, ඔවුන් කිසිදාක ලංකාවේ වාමාංශය විසින් කර තිබෙන පන්ති විග්‍රහයේ ගැටලුවට අවධානය යොමු කරන්නේ නැහැ. හේතුව, එය වාමාංශික පිළිගැනීම් ප්‍රශ්න කරන, මහජනතාවට වඩා ප්‍රයෝජනවත් වන දාර්ශනික සංවාදයකට මුලපිරීමක් වන නිසා. ඒ වෙනුවට ඔවුන් මතු කරන්නේ භෞතිකවාදය හා විඥානවාදය පිළිබඳ කිසිදා අවසන් නො වන සංවාදය වැනි මූලධාර්මික දේවලුයි. අප ඔවුන් එසේ පමණක් කරනවා නම්, එයට විරුද්ධ නැහැ. හැබැයි ඔවුන් පසුගිය කාලයේ සයිටම් විරෝධයේ න්‍යාය සම්පාදකයන් බවට පත් වී සිටියා. අපගේ විවේචනය වැලමිටෙන් ඇනීමක් ලෙස නො ගෙන වඩා සංයුක්ත ලෙස තේරුම් ගන්නට ඔවුන්ට මෙම සටහන ඉවහල් වනු ඇතැයි අප සිතනවා. 

කම්කරුවන්ට තමන්ගේ සැබෑ ප්‍රශ්න විසඳා ගැනීමට ඉවහල් වන දාර්ශනික සාකච්ඡා වෙනුවට ව්‍යාජ සංවාද කරළියට ගෙන ඒම ප්‍රතිගාමී කාර්යයක් ලෙස අපි දකිනවා. අප ඔවුන් විවේචනය කරන්නේ එවැනි පදනමකිනුයි. පෞද්ගලිකව අප ඔවුන්ගේ දාර්ශනික ලිපි කියවනවා. ඔවුන් සයිටම් විරෝධී සටනට සම්බන්ධ නො වුණා නම් අප මෙම චෝදනාව ඔවුන්ට එල්ල කරන්නේ නැති බව ද කිව යුතුයි.

පන්තිමය උවමනාව කෙසේ වෙතත්, බව වෙබ් අඩවියේ ශාස්ත්‍රීය හරය අප අගයනවා. වැඩ කරන ජනතාව එය කියවිය යුත්තේ ඔවුන්ගේ ප්‍රතිගාමී අරමුණ ගැන අවබෝධයකින් යුතුවයි. මෙන්න ලින්ක් එක.  

අප වාමාංශිකයන් විසින් ස්ථාපිත කර තිබෙන මෙම ව්‍යාජ සමාජ පිළිගැනීම් අභියෝගයට ලක් කරන එක දිගට ම කරනවා. මේ ලිපියත් ලියන්නෙ ඒ වෙනුවෙන්. 

මූලිකව ම වාමාංශිකයන් කියන්නේ පීඩිතයන්ගේ නියෝජිතයන් පිරිසක් නො වන බව අපි කියනවා. ඔවුන් නියෝජනය කරන්නේ ලංකාවේ බලවත් ම සමාජ පන්තිය වන මධ්‍යම පන්තියේ මැද හා පහළ ස්ථරයි. රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය කියන්නෙ ඉතා පැහැදිලිව ම බදු මුදල් සූරා කන, මහජන මුදලින් යැපීම සාධාරණීකරණය කළ හැකි මට්ටමටවත් මහජන සේවාවන් පවත්වාගෙන නො යන පීඩක පන්තියක්. මේක හංගන්න කොයි තරම් තියරි හැදුවත් මේ ඇත්ත මහජනතාව දන්නවා. නැත්තේ ඇත්ත ගැන දැනුම නෙමෙයි. අවබෝධයක් නැතිකමයි.

ඵලදායී වැඩ කරන ජනතාව අතර වාමාංශිකයන්ට කිසිදු පදනමක් නැහැ. ඔවුන් කම්කරු පන්ති වෘත්තීය සමිති ලෙස හඳුන්වන ඒවා වෙන මොකවත් නෙමෙයි, රජයේ සේවයේ හා රජයේ ව්‍යවසායන්ගේ වෘත්තීය සමිතියි. ඔවුන්ට පෞද්ගලික අංශයේ කම්කරුවන් අතර පදනමක් ඇත්තේ ම නැති තරම්. කම්කරුවන් ඔවුන් වැඩපොළවලට වැද්ද නො ගන්නේ අන් කිසිදු හේතුවක් නිසා නෙමෙයි. වාමාංශික වෘත්තීය සමිතිකාරයන් අවසානයේදී කරන්නේ තමන්ගේ රස්සාවට කෙළින එක විතරක් බව දන්නා නිසායි.

ධනපති පන්තිය යයි නම් කරමින් ඔවුන් ව්‍යවසායකයන්ට එරෙහිව දැවැන්ත වෛරයක් කම්කරුවන් අතර ගොඩනැගුවත්, ඇත්තෙන් ම ලංකාවේ ධන කුවේරයන් වන්නේ රැකියා සම්පාදකයන් වන, බදු ගෙවන්නන් වන, අපනයන ආදායම් ගෙනෙන්නන් වන ව්‍යවසායකයන් ද යන්න ප්‍රශ්නයක්. උදාහරණයක් විදියට ලංකාවේ දේශපාලකයන්, නීතිඥ හා වෛද්‍ය වැනි වෘත්තිකයන්, ටියුෂන් ගුරුවරුන්, ගිනි පොළීකාරයන්, ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩියන්, හොර වෙදුන්, පූජකයන් එහෙම විශාල ධනයක් සංකේන්ද්‍රණය කර ගන්නවා. ඒත්, ඔවුන් එතරම් පිරිසකට රැකියා සපයන ව්‍යවසායකයන් නෙමෙයි. එසේම, ඔවුන් වැඩිදෙනෙකු ඉතා පැහැදිලිව ම බදු වංචාකරුවන්. මේ ධනවතුන් කිසි විටෙක වාමාංශිකයන්ගේ විරෝධයට ලක් වී නැහැ.

සියල්ල රජය විසින් මහජනතාවට නොමිළේ ලබා දිය යුතුයි කියා අදහසක් වාමාංශිකයන් මහජනතාව අතර පතුරුවනවා.එහෙත්, රජයට ආදායම් ලැබෙන මාර්ග හැම එකකට ම ඔවුන් විරුද්ධයි. එසේම, ඔවුන් බලාපොරොත්තු වන්නේ ව්‍යවසායකයන්ගෙන් අසීමිතව බදු අය කිරීමයි. ව්‍යවසායකයන් හැම ආකාරයෙන් ම හිර කර ඔවුන් අධෛර්ය කිරීමට ද ඔවුන් ක්‍රියා කරනවා.

මේ අතර රැකියා යනු රජයේ රැකියා පමණක් ය යන ආකල්පය ද සමාජයේ ස්ථාපිත කරන්නේ මොවුන් විසිනුයි. පෞද්ගලික අංශයේ හා සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තවල රැකියා කරන ශ්‍රමිකයන් කිසි මොවුන්ගේ පිළිගැනීමට ලක් වන්නේ නැහැ. රජයේ සේවයේ කාර්යක්ෂමතාව නැංවීම වෙනුවෙන් වාමාංශිකයන්ගේ වෘත්තීය සමිති ඉතිහාසයේ කිසිම දවසක කිසිම දෙයක් කර නැහැ. ලංකාවේ උපාධිධාරීන් වැඩි දෙනෙකු රැකියාවලට යෝග්‍ය තත්වයට හැඩගැස්වීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙන එනවාටත් විරුද්ධ ඔවුන් රැකියා වෙළඳපොළේ ඉල්ලුමක් නැති මේ උපාධිධාරීන්ට මහජන මුදලින් රැකියා ලබා දෙන්නත් සටන් කරනවා.

මේ දැවැන්ත, අකාර්යක්ෂම, මුල සිට අග දක්වා ම දූෂිත රජය නිසා මේ වන විට ජනතාවට විශාල ණය බරකට උර දෙන්නට සිදු වී තිබෙනවා. එහෙත්, වාමාංශිකයන්ට අවශ්‍ය රජය තව තවත් විශාල කරන්නටයි. එය ඉතා පැහැදිලි මධ්‍යම පන්තික උවමනාවක්.

ලංකාවේ ප්‍රශ්න විසඳන්නට තමන්ට බලය දෙන්නැයි ඔවුන් ඉල්ලා සිටිනවා. දේශපාලකයන්ගේ පමණක් දූෂණ නැති කිරීමෙන් රට ගොඩ ගත හැකි බවට මිථ්‍යාවක් ද ඔවුන් වපුරනවා. ඔවුන් කිසි විටෙක රජයේ නිලධාරීන්ගේ හා රජයේ සේවකයන්ගේ වංචා, දූෂණවලට එරෙහිව කිසිදු වැදගත් පියවරක් අරගෙන නැහැ.

වාමාංශිකයන් විසින් උත්කර්ෂයට නගන තවත් පිරිසක් තමයි ගොවි ජනතාව යයි ව්‍යාජ ලෙස හඳුන්වනු ලබන, එහෙත් සැබැවින් ම බහුතරයක් දෙනා ග්‍රාමීය දිළින්දන් වන පිරිස. ඔවුන් වෙනුවෙන් මහජන මුදලින් පොහොර, වතුර ආදිය දී අස්වැන්නත් වැඩි මිළට ගත යුතු යයි ඔවුන් කියනවා. එහෙත්, මොවුන් සැබෑ වෘත්තීය ගොවීන් බවට පත් කිරීමට අවශ්‍ය ඉඩම් ප්‍රතිසංස්කරණ ආදී පියවර ගන්නවාටත් ඔවුන් විරුද්ධයි.

වාමාංශිකයන්ට කිසි දාක මේ රටේ බලය ගැනීමේ උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. වාමාංශික නායකයන් එකක් හරියට ම විග්‍රහ කර ගන්නට දන්නවා. ඒ තමයි, තමන්ට බලය ලබාගෙන කිසිවක් කළ නො හැකි බව.

වාමාංශිකයන්ගේ ශ්‍රමයේ අස්වැන්න හැමදාමත් නෙළාගෙන තිබෙන්නේ මධ්‍යම පන්තික අවස්ථාවාදී පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. දැන් නම්, වාමාංශිකයන්ගේ සියලු අමනකම්වල ඵලය සතුටින් නෙළා ගන්නේ රාජපක්ෂ ඒකාධිපති කල්ලියයි.

වාමාංශිකයන් සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නේ නැහැ. ඉතිහාසය මුළුල්ලේ ම ඔවුන් වඩා ප්‍රජාතාන්ත්‍රික සමාජ වටපිටාවන් ඇති වූ පසු වර්ජන, පෙළපාලි, හර්තාල් ආදියෙන් එය කඩාකප්පල් කර, ඒකාධිපතිවාදයකට රට තල්ලු කර තිබෙනවා. 1953, 1956 -59, 2001-2003 සහ 2015න් මෙපිට වකවානුව උදාහරණ ලෙස සැලකිය හැකියි. මේ හැම යුගයක් ම අවසන් වී තිබෙන්නේ දැඩි ඒකාධිපතිවාදී පාලනයන් බලයට පැමිණෙමිනුයි. අවසානයේදී ඔවුන් කරන්නේ, නොමග ගිය තරුණ පරපුරක් මර්දකයන්ට බිලි දී ඇතැම් විට තමනුත් විනාශ වීමයි. මේ අතර, කපටි ම පිරිස බටහිර රටවලට පැන ගන්නවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

9 comments:

  1. Nicely Written.
    Well said.

    ~සූස්ති ගුණේ~

    ReplyDelete
  2. /* දොස්තර සංගමයේ ඉතා පටු, ආත්මාර්ථකාමී උවමනාවක් .................. තමයි, වෛද්‍ය හිඟයක් තබාගෙන මහජන මුදල්වලට කේවෙල් කරමින් සුවිශේෂ වරප්‍රසාද ලබා ගන්නටත්, අධික ලෙස රෝගීන් සූරාකමින් බදු පවා නො ගෙවා විශාල ලාභ ලබන්නටත් තිබෙන ඉතා දක්ෂිණාංශික වූ ප්‍රතිගාමී උවමනාව. */

    මේ කතාව නිකං කට කහනවට කියන එකක් විතරයි නේද?

    ඔය සේරම කරුණු දොස්තරලා අමුතුවෙන් කළ හෝ පවත්වා ගැනීමට උත්සාහ කරන දේ නොව පැවැතුනු ආණ්ඩුවල සහ පවතින ආණ්ඩුවේ නොහැකියාව කියාපාන ලක්‍ෂණ කියා මා නම් කියන්නේ!

    ReplyDelete
  3. සංවාදයට තුඩුදෙන ලිපියක්
    විචාරක දියණිය

    ReplyDelete
  4. අදන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ මොකෙක් හරි දෙමළ ධනපතියෙක් හවුල් කරගෙන වවුනියාවට ඉහල තැනත පෞද්ගලික වෛද්‍ය පීඨයක් දාන්න.
    වාමාංශිකයෝ හුම් කියන එකක් නෑ

    ReplyDelete
  5. අදාල නැති බව කතන්දර ජේද කීපය අතරල ගත්තම පැරා මෙතෙක් ලියු හොඳම විග්‍රහයක්, පැරාත් ඉස්සර සමාජවාදී ජිවන විලාසිත ගැන ලියන කාලේ මම සුපුරුදු ටපලවිලි විලාසයෙන් කොමෙන්ටුවක් ලීවා පැරා INGO සෙට් එකක් එක්ක වැඩ කලොත් හෝ පැරණි සමාජවාදී රටක කාලයක් ජිවත් වී අත්දැකීම් තිබුන නම් අගනේය වගේ එකක්, ඒ කොමෙන්ට් එකට මහාචාර්ය නලින්ගේ තාලේ උත්තරයක් තිබුන දෝ කොහෙද.

    දියුණුවේ රහස කාර්යක්ෂමතාව සහ ව්‍යවසායකත්වය බව වාමන්ශිකයන්ට කියා දීමට තැත් කිරීම කණාට සුදු පාට ගැන කියාදීම වගෙයි. කාර්යක්ෂමතාව ගැන දැනගන්න නම් තරඟකාරී නිෂ්පාදනයක යෙදෙන්නම වෙනවනේ. ඔවුන් රාජ්‍ය පාලනයට ආවොත් මාඕගේ කාලයේ චිනේ වගේ රටේ සියළු දෙනාට වෙන්නේ රජයේ නියෝග ඇති පොත් පින්චවල් කට පාඩම් කරන්නයි, චීන සඟරා වල තිබු නියර උඩ වැඩිවෙලා පොත් පිංචක් පාඩම් කරන අතේ රතුපටියක් බැඳී ගොවියන්, ගෙවිලියන්ගේ ෆොටෝ ලස්සනයි.

    ඔය ගැටලුවට දැනට ඇති හොඳම විසඳුම හෙමින් සැරේ සුදු කරපටි අධ්‍යාපනයට තිත තැබීමයි, හිටං වැනි පරණ කොමියුනිස්ට්කාරයේකුත් බලයේ ඉන්නකම් පියවර 10 ඉදිරියට 8ක් පස්සට අනුපාතයෙන් තමයි යන්න වෙන්නේ.


    රජයේ සේවක අකාර්යක්ෂමතාවට (ඇත්තටම එක අකාර්යක්ෂමතාව නොවේ හොරකම)වලක්වන්න තාක්ෂණික විසදුම් අපමණ තියෙනවා, මම සේවය කරන ප්‍රොජෙක්ට් එකේ ෆීල්ඩ් ඔෆිසර්ල 14ක් මම මැනේජ් කරන්නේ එයාලට දීල තියන ස්මාර්ට් ෆෝන් එකෙන්, එයාල නියුතු කාර්ය සහ දත්ත ඈප් එකකින් වාර්තා කරන අතරේම ලෝකේසන් එක සහ ගමන් කළ මාර්ගය ලොග් වෙනවා, ඔවුන් එකතු කරන දත්ත ගැන එයින් අපට හොඳ විශ්වාසයක් ලැබෙනවා, ස්ථානය සහ වෙලාව පින්පොයින්ට් එකටම දන්නා නිසා සැකයක්ඇත්නම් රිචෙක් කරතහැකි, ඒ වගේම මයිලේජ් වගේ අලෝවන්ස් ක්ලෙම් ගැන දබර කර ගන්න වෙන්නේ නෑ. ඔවුන්ට පෞද්ගලික හේතු මත ඕනෑම මොහොතක අපි ලබා දුන් ෆෝන් එක ඔෆ් කරන්න අවසර තියනවා, හැබැයි ඒ වෙලාවට ක්ලෙම් කරන්න ලැබෙන්නේ නෑ. ඔවුන් දැන් අපට බොරු කියන්න තැත්කරන්නේම නෑ :) මෙවැනි විසදුමක් රජයේ ව්‍යාප්ති සේවකයන්ටත් අදාලයි, හැබැයි ඒවගේ එකකට ඉස්සෙල්ලම රෙද්ද උස්සගෙන එන්නේ ජෙප්පෝ පෙරටුගමින් සමග එකට එකතුවෙලා.

    රජයේ සේවයේ උද්දච්චයන්ගේ අමන ක්‍රියා පලිවෙත නිසා මගේ ඥාතින් පිරිසක් පොලිසියේ බංකුවේ රාත්තිරිය ගතකරල, උසාවි කුඩුවේ වරුවක් ලැගල දඩයකුත් ගෙවල අවා, එයින් ගිය හොඳයි මිනි මරාගෙන හිරේ ලගින්නේ නැතුව, අවුල එයාගේ මුතුන් මිත්තෙක් දිවියලෝකේ යන්න දේවාලෙකට පුජා කරපු ඉඩමක් උඩින් හදන්න යන පාරක්, මේවා කුඹුරු කීවට අවුරුද්දට 4 වතාවක් බෝංචි, කැරට්, තක්කාලි වගා කරන ඉඩම්, රටට නය නැති ගොවියෝ. කුඹුරු හරහා ටවුමට යන අඩිපාරේ කෙළවර ගෙවල් වල රජයේ සේවකයෝ දැන් වාහන අරගෙන, ටිකක් රවුමෙන් යන ගම්සභා පාරට එයාල කැමති නෑ, අඩුකුලේ ගමක් මැදින් යන්න තියෙන නිසා, කුඹුරු මැදින් අඩි 3 පාර අඩි 10ක් කරන්න ගේම, එක පැත්තක ජීවිතය යහපත් කරගන්න වතුර සපයාගන්න, හොරුන්ගෙන් එළවලු බේරගන්න රෑට රෑක් නිදි වරාගෙන අවුරුද්ද පුරා ගොවිතැන් කරන හරි හමන් අධ්‍යාපනයක් ලබා නැති මගේ ඥාති ගොවින්. අනෙත් පැත්තේ ගේ ගාවට කාර් එක ගෙන්න අපහසු නිසා රජයේ සේවයේ සියළු සම්බන්දතා යොදා ගෙන මනිෆ්යුලටේ කරන සෙට් එක, මේ දක්වා එයාලගේ ප්‍රයත්න සේරම ඒවායේ හිල් තියන තැන හොයාගෙන නැවැත්තුවේ මම, ඒවෙනුවෙන් අවුරුදු 4 පුරාවට මගේ දවස් 30කට එහා වැය කරලා තියෙනවා. මේ වතාවේ ඒ කුඹුරු වල හිමිකාරය වන දේවාලයේ අලුතෙන් පත්වූ දේවාලේ බස්නයකයා ගතමනාවක් අරගෙන පාරට කැමැත්ත පල කරලා, ගොඩකරන්න අනුමැතිය එන්න, වගාවන්ත් හානි ආවම වෙන්න අවශ්‍ය බැමි දන්නා ආණ්ඩුවෙන් ප්‍රතිපාධන වෙන්කරන්න තව අවුරුදු කීපයක්ම යාවි, එතෙක් කන්න කීපයක් වගා කරගන්න ඒ ගොවීන්ට හැකියි එයත් තහනම් කරන්න සිමා ලකුණු කරන්න ගොවින් කිසිවෙකුටත් නොදන්ව පැමිණි, ඒ සඳහා ඇති ලිඛිත නියෝග කිසිවක් පෙන්වීමට අසමත් වූ අමන නිලධාරීන් ඔවුන්ගේ රාජකාරියට බධාකල කියල ගොවින් කීප දෙනෙකුවම රිමාන්ඩ් කෙරෙව්වා. මට මැදිහත්වෙලා ඔවුන්ට එරෙහිව චෝදනා ඉදිරිපත්කරන්න හැකි වුනත්, ඔවුන්ගේ ලොක්කෝ අවශ්‍ය ලිපි ටික කඩිනමින් හදල අනෙකුත් රජයේ ව්‍යාප්ති සේවක කුක්කෝ සාක්කියට අරගෙන වැඩේ වහල දමාවි, ඊට පසු දේශපලුවෙක් අල්ලගන්නේ නැතිව (කුඩුවේ දාන්න ගිය අයට පොලිස් බංකුවේ රාත්තිරිය ගත කරන්න පහසුකම් සලසුවෙත් දේශපලුවෙක්) මට ඒ කාර්යාල වලින් මගේ වැඩක් කරගන්න බැරිවේවි, අතගහන්න ඉස්සෙල්ල ගොඩක් හිතන්න වෙනවා.

    ReplyDelete
  6. මේ අතර, කපටි ම පිරිස බටහිර රටවලට පැන ගන්නවා..... කොකොයි එකාද ලඟදි පැන්නේ

    ReplyDelete
  7. සයිටම් අර්බුදය සහ දොස්තර මාෆියාව කියන්නේ ප්‍රශ්න දෙකක්. දැන් එකක් අනිකට සම්භන්ධයි ගහයි වැලයි වගේ. නමුත් දොස්තර මාෆියාවට සයිටම් උත්තරයක් නොවෙයි. ප්‍රමිතියකට නැති බොහෝ දේ අතර සයිටම් තවත් අංගවිකල දරුවෙක්. ජීවත් කරවන්න උත්සාහ කරවනවට වඩා හොඳයි මැරෙන්න අරින එක.
    දොස්තර මාෆියාවට උත්තරේ රජයේ විශ්ව විද්‍යාල වල තියෙන වෛදය පීථ දියුණු කරන එක. වහල තියෙන ගොඩනැගිලි වලට කෝටි ගනන් කුලී ගෙවන්න පුළුවන් නම් ආණ්ඩුවට ඒ වැඩේ කරන්න බැරි මොකද? දොස්තර මාෆියාවෙ හුලං බහින කොට පෞද්ගලික වෙද විදුහල් එකක් නෙවෙයි දෙකක් උනත් අරින්න පුළුවන් වේවි.

    ReplyDelete
  8. මෙන්න නිර්මාල් එයාගෙ ෆේස්බුක් එකේ ප්‍රශ්නයක් අහලා මේ ලිපිය ගැන.

    //මේ ලිපියේ කර්තෘ ලෙස පෙනී සිටින "අප" යනු කව්ද? මෙම "අප" හී අඩංගු "මම" කවු ද? "මම" හැර ඒ "අප" හී අඩංගු අනෙක් අය කව්ද? - Nirmal Dewasiri//

    ReplyDelete
    Replies
    1. මාව සීරියස් නො ගන්නා බව ප්‍රසිද්ධියේ කියූ නිර්මාල් මේ තරමට හෝ මාව සීරියස් ගැනීම ගැන මම සතුටු වෙමි.

      මෙහි අප යනු මේ අන්දමින් සිතන මා ද ඇතුළු සමූහයයි. එය සංවිධානයක් නො වේ. මා යනු කවුරු ද යන්න එය තුළ ම තිබේ.

      Delete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.