2017-01-24

ඉතිහාසය ඇඟිලි අතරින් රූරා හැලේ; අලෝකෝ උදපාදි

ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නිර්මානකරුවා ඉතිහාසය අල්ලා ගන්න උත්සාහ කරන්නේ ඇඟිලි විහිදවූ අතකින් වතුර ගන්නට හදනවා වගේ ය කියා මට හිතෙනවා. ඇඟිලිවල ඉතිහාසයේ වතුර ගෑවෙනවා. ඒත් ඇත්තෙන් ම ඉතිහාසය ඒ ඇඟිලි අතරින් රූරා බිමට හැලෙනවා.

එහෙම වෙන්නට මූලික හේතුව මොකක් ද? ඒ හේතුව සංකේතවත් කරන ජවනිකාවක් මේ චිත්‍රපටයේ ම තිබෙනවා. මතකද අර වලගම්බා රජු සොයාගෙන එන සතුරන්ට හමු වන ගැහැනු ළමයා හා ඇගේ බෝනික්කා.

ඒ ළමයා බෝනික්කා නළවන දර්ශනය අපි වෙන ම අරගෙන බැලුවොත් ඒක අවුරුදු දෙදාහකට වඩා ඈත අතීතයේ සිදු වූ දෙයක් ය කියන්නට පුළුවන් ද?

බෝනික්කන් ලංකාවට ආවේ කොහෙන් ද? බෝනික්කන් විතරක් නෙමෙයි, පිදුරුවලින් හදපු පඹයන් ගැනවත් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවා ද යන්න අධ්‍යයනය කර බැලිය යුතුයි. බොහෝ විට බෝනික්කන්, පඹයන් අපේ රටට ආවේ බටහිරින් වෙන්න පුළුවන්. අද කාලේ අපට හිතෙන්න පුළුවන් බෝනික්කා හැමදාමත් අප ළඟ ඉන්න ඇති ය කියලා. බෝනික්කා කියන වචනෙ නිරුක්තිය හොයාගෙන ගියොත් සමහර විට එය ප්‍රංශ භාෂාව දක්වා වුණත් යන්නට පුළුවන්. මේ රටේ ළමයි එදාත් බෝනික්කන් එක්ක සෙල්ලම් කළා ද? ඒ කාලෙත් ගැහැනු ළමයින් බෝනික්කන් එක්ක සෙල්ලම් කරද්දී පිරිමි ළමයින් රෝද තිබෙන සෙල්ලම් බඩු පැදෙව්වා ද? ස්ත්‍රී පුරුෂ භූමිකා එදාත් අද වගේ ම ද? මම හිතන්නේ ඉතිහාසය ප්‍රතිනිර්මාණය කරන්නා ඉදිරියේ තිබෙන අභියෝග මෙන්න මේවා. මාත් මේ ප්‍රශ්නවලට උත්තර දන්නෙ නැහැ. 

ඉතිහාසය කලාත්මක ලෙස ප්‍රතිනිර්මානය කරන්නට යන්නන්ට මුහුණ දෙන්නට සිදු වන මුල් ම ගැටලුව තමයි, අපි ඉතිහාසය දෙස බලන්නේ වර්තමානයේ ඉඳගෙන වීම. වර්තමානය විසින් ෆෝමැට් කරපු අපේ ඔලුවලින් අපි ඉතිහාසය දිහා බලනකොට අපටත් නො දැන වර්තමානය අපේ ඉතිහාස ප්‍රතිනිර්මානයට රිංගනවා. ඒක මුළුමනින් ම වළක්වන්නට පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව කවුරුද දන්නෙ ඇත්තට ම අතීතයේ තිබුණේ මොනවද කියලා. ඒ සඳහා මූලාශ්‍ර අවමයි. තිබෙන මූලාශ්‍රත් දුර්වලයි. හැබැයි, අන්න එතනදී තමයි නිර්මානකරුවාගේ පරිකල්පනය වැදගත් සාධකයක් වන්නේ.

ආලෝකෝ උදපාදි චිත්‍රපටයේ නැත්තේ ඉතිහාසය පිළිබඳ මේ පරිකල්පනයයි. ඉහළ තාක්ෂණික පරිකල්පනයකින් එය වසා ගන්නට බැහැ.

ඉතිහාස රචකයාගේ කාර්යයට වඩා ඉතිහාසය පදනම් කර ගත් නිර්මානකරුවාගේ කාර්යය සංකීර්ණයි. ඉතිහාස රචකයා සොයන්නේ ඉතිහාසය ගලා ගිය හැටි. එහෙත් නිර්මානකරුවා සොයා යා යුත්තේ ගලා යන ඉතිහාසය තුළ ජීවිතය රැඳුණු හැටි. මිනිසුන් ජීවත් වුණ හැටි. ඉතිහාස රචකයා ඒ කාලෙ මිනිසුන් කරපු, කියපු දේවල් ගැන කියද්දි, නිර්මානකරුවා විස්තර කරන්නෙ ඒවා කරපු හැටි.

වර්තමානයේ වගේ ම ඉතිහාසයේත් භික්ෂූන් කියන්නේ ගස් යට වාඩි වෙලා භාවනා කරමින් හා පේළියට ඇවිදිමින් පිරිත් කියමින් සිටි රූකඩ නෙමෙයි. ගිරි නිඝණ්ඨයා වගේ ම මහාතිස්ස තෙරුන්ටත් විචිත්‍ර ජීවිතයක් තිබුණා. ඒවායේ තිබුණු නාට්‍යමය ස්වභාවය ස්පර්ශ වුණොත් තමයි නිර්මානශීලිත්වය ඉහළ යන්නේ.

ඉතිහාසයෙන් අනාගතයට මග පෙන්වීමක් කරන්නට පුළුවන්. ඒ ලෝකය පැවතුණු ආකාරය හා එහි චලනයන් සිදු වුණු ආකාරය හදාරමින් ඒවායේ විශ්වීයත්වය මතු කරන්නට පුළුවන්. ඒත්, ආලෝකෝ උදපාදි චිත්‍රපටයෙන් එහෙම දෙයක් වුණා ද? 

අතීතය මාරයි, අතීතයේ සිටි යුග පුරුෂයන් මාරයි කියා අතීතය උත්කර්ෂයට නගන අතීතකාමය ඉක්මවා ගිය වින්දනීය ඉසව්වක් කරා ආලෝකෝ උදපාදි චිත්‍රපටය විහිදෙන්නේ නැහැ ය කියලයි මට නම් හිතෙන්නේ. 

පතෝල වගේ චිත්‍රපටයක් නිසා කියන්න විශේෂ දෙයක් නැහැ. රූපමය සුන්දරත්වය නිසා බලන්න හොඳයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-23

සමාජ ජාල සිංහල සාහිත්‍යයේ කැරැල්ල

සමාජ ජාල සිංහල සාහිත්‍යය කිව්වා ම ඒක නිකම් හොල්මන් ද පොල්කොළ කියලා කාට හරි හිතෙන එක අසාධාරණ නැහැ. හේතුව එහෙම එකක් තියෙනවා ය කියලා කවුරුවත් ලොකු පොරක් තාම කියලා නැහැ නේ.

හැබැයි, තමන්ගේ නිර්මාන අන්තර්ජාලයෙන් පළ කිරීම ඔස්සේ ඉදිරියට ගිය බොහෝ අය අපේ රටේ ඉන්නවා. උදාහරණයක් ලෙස ගත්තොත් ගප්පියා සිංහල ශ්‍රව්‍ය දෘෂ්‍ය කලාවට නෝ බජට් තාක්ෂණය ඔස්සේ නව මානයක් හඳුන්වා දුන් කෙනෙක්.

සමාජ ජාල සිංහල සාහිත්‍යය පවතින්නේ බ්ලොග්, ෆේස්බුක් වැනි අවකාශයන්ගේ සිදු වන නිර්මානකරණය ඔස්සේයි. එහි මූලිකත්වය ලැබෙන්නේ ප්‍රකාශනයට මිස ඊනියා සදාචාරයට, සම්මතයන්ට, පොත් ප්‍රකාශකයන්ට, පොත් වෙළෙන්දන්ට හෝ විචාරකයන්ට නෙමෙයි. ඒ නිසා තමන්ගේ ප්‍රකාශනය කළ පසු එය එතනින් අහවරයි. සම්මාන අරවා මේවා පසුපස හඬ හඬා දුවන විකාර අවමයි.

පුවත්පත් කලාවෙන් පුරවැසි මාධ්‍යකරණයට ආපු, ගෙවල්වල රූපවාහිනී තියා විදුලි බලයවත් නැති කාලෙ උපන් පනහ පැනපු ඩයල් එකක් වන මේ කියන මා ද මේ වන විට මගේ නිර්මානකරණ මාධ්‍යය කරගෙන තියෙන්නේ සමාජ මාධ්‍ය. අපේ පරම්පරාවේ විතරක් නෙමෙයි, අපට වඩා වැඩිමහළු අයත් දැන් මේ ක්ෂේත්‍රයට පිවිසෙමින් ඉන්නවා. තාක්ෂණික දැනුම නැතිකමේ තමන්ගේ අඩුව වහ ගන්නට අනුන්ට බැන බැන ඉන්නේ නැතිව, ඒ හැකියාවන් අත්පත් කර ගන්නා එකයි කරන්නට ඕනැ. 

හැබැයි, මේ අවකාශය තුළ බඩ පිනුම් ගහන්නේ අපි නෙමෙයි. ඔය පරණ තාලෙ පොත් පෙරළන සාහිත්‍යය ගැන වගේ වගක් නැති අලුත් පරපුරයි. (අලුත් පරපුර කියන අනන්‍යතාව පාවිච්චි කරන කට්ටිය නෙමෙයි. ඒගොල්ලනුත් දැන් පරණයි.)

ඒකට හොඳ උදාහරණයක් තමයි හිස් අහස ලියන සඳරු. මට දවසක් ඔහු හමු වුණ වෙලාවක මං කිව්වා නවකතාවක් ලියන්න ය කියලා. ඔහු අහිංසක විදියට හිනා වෙලා කිව්වෙ “අනේ අයියෙ මං ඕව දන්නෑනෙ," කියලයි.

පොත් පෙරළන සාහිත්‍යය හා සෙසු කලා කියන්නේ ඇත්තට ම මේ දන්නෝ බුදුන්ලා හෙවත් දන්නා අයගේ ශිල්ප ශාලිකායි. නො දන්නා අහිංසකකම ඇතුළෙ තියෙන අව්‍යාජත්වය තමයි මේ සමාජ ජාල සිංහල සාහිත්‍යය සුන්දර කරන්නේ. සීමා මායිම් නැතිකම හා අව්‍යාජත්වය තමයි සුන්දරත්වයේ උල්පත.

ඒකේ අනන්‍යතාව වෙනුවෙන් කැරැල්ලක් ගැසිය යුතුයි කියලා මම කියන්නේ සාහිත්‍ය මාෆියාවේ ආධිපත්‍යයට නතු වුණ සාහිත්‍ය කතිකාව තුළ මේ අලුත් ප්‍රවණතාවේ සුන්දරත්වය මතු කර ගත යුතු නිසායි.

උදාහරණයක් ලෙස කාර් පිස්සුව බ්ලොගයේ පළ වූ වීරතන්ත්‍රි වලව්වේ EN එක කියන කෙටිකතාවෙන් උපුටා ගත් පහත සඳහන් කොටස්වල උපමා රූපකවල තිබෙන සුන්දරත්වය බලන්න. මේ නැවුම් සුන්දරත්වයට හේතුව අව්‍යාජත්වය හා නිදහස හැර වෙන කුමක් ද?

“තාප්පය සහ වලව්ව අතර තියෙන්නේ අලුත් අවුරුදු දවසට හිස්වෙච්චි බස් ස්ටෑන්ඩ් එක පුරා රතිඤ්ඤා කෑලි විසිරිලා තියනවා වගේ හැමතැනම වේලිච්ච කොළ විසිරිච්ච වත්තක්."

“වීරතන්ත්‍රී මහත්තයා හෙමින් සීරුවේ ආපහු යතුර කරකවලා වාහනේ ස්ටාට් කරගෙන අගෝස්තුවේ හුළඟක පාවෙන වරාමලක් වගේ පාවෙලා යන්න ගියා."

“මනෝජ් ඇතුළු ගමේ කොල්ලො ටික ඔය සම්මාදම් සංචාරේ යන අතරේ අර හොල්මනක් එනකල් බලං ඉන්න අනාගත හොල්මං බංගලාවක් වගේ තියන වීරතන්ත්‍රී වලවුවටත් කොහොමෙන් කොහොම හරි ආවා."

“සාමාන්‍යයෙන් ගමේදී තමන් මාර පොරවල් කියලා හිතාගෙන ඉන්න මේ කොල්ලෝ රැල වීරතන්ත්‍රී නෝනා ඉන්න තැනට ඇවිදගෙන ගියේ අඩි විස්සේ පාරක රිවස් කරන ලේලන්ඩ් බස් එකක් වගේ ස්ලෝ එකේ."

"කට්ටිය හිටියේ අවුරුදු දා රෑ පළවෙනි රතිඤ්ඤාව ඇහිච්ච බලු පැටවු වගේ තිගැස්සිලා."

"දකුණු පැත්තේ බිත්තියට හේත්තු වෙලා ටයර් එකක් බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා. දිරපු රිම් දෙකක් විතර සංසාරේ හැටි කියාගෙන වේයන්ට හෝ කූඹින්ට වාසස්ථාන වෙලා. ඒ මදිවට ඒවට උඩින් වීල්බැරෝ එකක් මුනින් අතට බුදිකොරෝලා තිබ්බා."

"කොල්ලෝ මනෝජ්ට බැන්නේ තාම සිංහල ව්‍යවහාරේට බිහිවෙලාවත් නොතිබුණු ටෞකණ්ඩ හරුප වලින්..."

"අම්මා බැණුම් සංගීතේ අවසන් කළේ අන්න ඒ ඩ්‍රම් පාර ගහලා."

"අල්ලපු ගමේ ඉඳලා පළාත් සභාවට ගිය මන්ත්‍රී තුමෙකුත් ඇවිල්ලා වැලක එල්ලපු බනිස් ගෙඩියක් කාලා කතාවක් පවත්තලා රට ජාතිය බේරගන්න පොරොන්දු වෙලා යන්න ගියා."

"කඹේ යාන්තං හෙල්ලීගෙන එනකොටම තමයි ඉර කපපු බයික් කාරයෙක් දැක්ක ට්‍රැෆික් පොලිස් රාලහාමි කෙනෙක් පාරට පනින තරම් වේගෙන් මනෝජ් ඔළුවට මතකයක් කඩාපැන්නේ."

මේක කියවගෙන යනකොට පහත සටහන් කරන කෑල්ල දැකලා මට ෆුල් ම ආතල්. මතුගම ආතල් දන්න තව එවුන් ඉන්නවා නේ කියලා සන්තෝසෙට. ඔය අපේ කමෙන්ට් කරන ඇතැම් කොළඹ කේන්ද්‍රීය මනෝභාවයෙන් පෙළෙන කට්ටිය හිනා වෙනවනේ මටයි මතුගමටයි. මං ඉතින් අනුකම්පා කරනවා. මතුගම ඉඳන් මං මේ කරපු හරිය කෝ ඉතින් උඹල අගනගරවල හරි පිටරටවල හරි ඉඳලා කළා ද?

“කොළඹ ඔෆිස් ඇරෙන වෙලාවට මතුගම යන බස් එකක් තරමට මනෝජ්ගේ හිත මාරු කාසියක් ගහන්න ඉඩක් නැති තරමට එක එක සිතිවිලි වලින් පිරිලා." 

ඔන්න ඔහොමයි මතුගම උපමාවට ආවෙ.

මේ වගේ උපමා ලියවෙන අව්‍යාජත්වය තියෙන්නේ ලංකාවේ සමාජ ජාල සිංහල සාහිත්‍යයේ විතරයි. ඒක ඔය පොත් පෙරළන සාහිත්‍යය පහු කරගෙන වේගයෙන් ඉදිරියට යමින් තිබෙනවා.

කෙටිකතා පොතක් ගහලා පිටපත් 500ක් විකුණා ගන්න අවුරුද්දක් විතර යනවා. මං ලියපු මේ කෙටිකතාව පැය 24න් ඒ වගේ කීප ගුණයක් කියෙව්වා. මං හිතන්නෙ කෙටිකතා, කවි වගේ ඒවා පොත් විදියට අච්චු ගහන එක තේරුමක් නැහැ. විකුණන්න බැහැ. වෙන ක්‍රම හොයන්න ඕනැ.

අවුල තියෙන්නෙ ලංකාවෙ සාහිත්‍ය මාෆියාව කෙටිකතා හෝ කවි විදියට සලකන්නේ පොත්වල අච්චු ගහපුවා විතරක් වීමයි. හැබැයි සමාජ ජාල සිංහල සාහිත්‍යය ඔය සීමාවනුත් පසු කරලා ඉවරයි.

සමාජ ජාල සිංහල සාහිත්‍යයට අපි අනන්‍යතාවක් හදාගන්නට ඕනැ.

සමාජ ජාල සිංහල සාහිත්‍යය පෝෂණය කරන්නට දායක වුණ තවත් අයගේ නම් හා බ්ලොග් ආදිය මෙතැනට සම්බන්ධ කරන්න. මම කිසිවකුගේ නම් නො ලිව්වේ ඇතැමෙකු මගහැරෙන එක වළක්වා ගන්නටයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-22

මේ දවස්වල ස්වර්ණා

සබන් ගාගෙන නාන අය ළඟ තැවරි තැවරි ඉන්නකොට තමන්ගෙ ඇඟෙත් සබන් ගෑවෙනවා ය කියා හිතාගෙන ඉන්න ලංකාවෙ කලා සමාජය කාලෙන් කාලෙට කාගෙ හරි ඇඟේ ඇතිල්ලෙනවානේ. මේ දවස්වල ස්වර්ණා.

ස්වර්ණා එක්ක බීපු හැටි කියන අය නම් තාම දැක්කෙ නැහැ.

ස්වර්ණා ගැන මං කියවපු හොඳම සටහන තමයි පහත උපුටා දක්වන්නෙ. ලිව්වෙ තරංගා කුලරත්න.

බොරුවෙන් ම පිරිච්ච සමාජයක ඇත්ත තිත්ත තමයි. බෙහෙතුත් තිත්තයි. මෙතනින් පහළට තියෙන්නේ තරංගා කුලරත්න ලියූ සටහන. 

පර්සනල් දැන හැදුනුම්කම් මං පොඩ්ඩකට පැත්තකින් තියනවා.

ස්වර්ණා සෙන්සේෂනලයිස් කිරිල්ල මේ දවස් වල තදට කෙරෙනවා පේනවා. ලංකාවේ කට්ටිය තමුන් වැඩිමනත් දේවල් නොදන්න, සර්ෆස් ලෙවල් එකේ දේවල් දන්න ජීවිත වලට මෙෂර්මන්ට්ස් හදන්නෙ, ලයිට් බිල්කාරයො මීටරේ බලන්නැතුව එස්ටිමේටඩ් බිල හදනවා වගේ. එහෙම හදන මෙෂර්මන්ට්ස් වලට රෙදි අරන්, කපලා මහලා, ෂුගර් කෝටඩ් සූට් එක දානවා මීඩියා හරහා. මං හිතන්නෙ, දැන්, ස්වර්ණා ඇඳන් ඉන්නේ මොන සූට් එකද කියන එක ගැන ස්වර්ණා දැනුවත්. ඇහේ මිම්මට මෙෂර්මන්ට්ස් අරන්, කපලා මහලා දුන්න/දෙන අය තමයි දැනුවත් නැත්තෙ.

වැ‍ඩේ නැගලා යන නිසාමද මන්දා මට පරණ ආටිකල් එකක් මතකෙට ආවා. 2010 සමබිම ආටිකල් එකේ පොඩි කොටසක් මං දැක්කෙ අහම්බෙන්, ගිය අවුරුද්දෙ. සුදර්ශනට මෙසේජ් කරලා ෆුල් ආටිකල් එකම ගෙන්න ගත්තෙ අර පොඩි කොටස කියෙව්වට පස්සෙ ඇති වුනු උනන්දුව නිසාමයි. මැගසින් එකේ 16 වෙනි පිටුවෙ තියෙනවා "ස්වර්ණා ගැන නැවත සිතීමක්". මේ දවස් වල ස්වර්ණා ගැන යන සෙන්සේෂනලයිස්ඩ් අටපට්ටම් වලට වඩා මේක ඉන්සයිට්ෆුල් කියලා මට හිතෙන්නෙ.

'බොරු කීමෙන් වලකින්න' කියලා අටපට්ටම් ලියන/කියන අයට කිව්වට වැඩක් වෙන්නෑ. මොකද ලංකාව කියන්නෙම බොරුවක් නිසා. ගිය අවුරුද්දෙ දෙරණ ටීවී ප්‍රෝග්‍රෑම් එකකදි ස්වර්ණා ගැන, දීප්ති වැඩකට ඇති තැනකින් කතාව පත්තු කරාට ඉතුරු අයගෙන් කතාව ඇදිලා ගියේ තේරුමක් ඇති තැනකට නෙවෙයි. ඒ අතීත ප්‍රෝග්‍රෑම් එකේ අනෝමා (රාජකරුණා) කියනකොට ස්වර්ණා කොන්ඩෙ බෙල්ලට බැන්දෙ, කඩේකට යද්දිවත් අදින්නෙ නැති සාරි ඇන්දෙ, මාල බැන්දෙ ෆුල් කොන්ෂස්ලි කියලා මට කියන්න හිතුනෙ "පොඩ්ඩක් ඉන්න, ඒකට හිනාවෙලා එනකම්" කියලා. තාම හිනා ඒ අහපු දේවල්වලටයි, දැන් මේ කියවන දේවල් වලටයි.

ස්වර්ණා මොනවා කරන්නද? එයා නෙවෙයිනෙ ඒවා කියන්න‍ෙ, ලියන්නෙ. (එහෙමද? නැත්නම් ස්වර්ණා ඒවා එහෙම අටපට්ටම් කරලා කිව්වද දන්නෙත් නෑ.)

ස්වර්ණා දක්ෂ රංගන ශිල්පිනියක්. ඒක ඇත්ත.

Excerpts from Samabima article -
"මා දන්නා තරමට ස්වර්ණා තම ජීවන අත්දැකීම් ස්ත්‍රීවාදී භාවිතය වෙනුවෙන් අරගල කරන්නට කැප කළ අරගලකාරිනියක් නෙවේ. අරගල කිරීම කෙසේ වෙතත් ස්වර්ණාගේ ජීවන භාවිතයේ ස්ත්‍රීවාදී රැඩිකල් බව තමන්ගේ ජීවිතයට සම්බන්ද තීරණ ගත හැකි කාන්තාවක් බවට ඇයව දකින්නට පුළුවන.

“සැබවින්ම ඇසිය යුතු ප්‍රශ්නය පුරුෂාධිපත්‍යයට විරුද්ධ ජීවන අභ්‍යාසයක නිරත වී මේ තරම් පහසු ජීවන වටපිටාවක් නිර්මාණය කරන්න පුළුවන්ද සහ මේ තරම් සාමකාමී ජීවන පැවැත්මක් ගෙවන්න පුළුවන්ද යන්නයි. ඇය විසින් ලාංකීය ස්ත්‍රීවාදි ව්‍යාපාරය වෙත උරුම කර දෙනු ලැබූ ස්ත්‍රීවාදී භාවිතය කුමක්ද? පේනතෙක් මානයක එවැන්නක් නොමැත.

"පුරුෂාධිපත්‍යයට විරුද්ධ නම්, ඇයට ඇගේ ගමන් පථය සකස් කරගන්නට අවශ්‍ය වුනේ නම්, මේ තරම් පහසු සංහිදියාවක් පුරුෂ සමාජය සමග පවත්වාගෙන යන්නේ කෙසේද? මට දැනෙන තරමට මෙය පුරුෂාධිපත්‍යට විරුද්ධ වීමක් නෙවෙයි. පුරුෂාධිපත්‍යය සමග ඩීල් එකක් දාගෙන කොහොමද ඉන්නෙ යන එම ප්‍රශ්නයට පිළිතුරක් ස්වර්ණාගේ ජීවිතය ලබාදෙනවා. " - ගිෂානි උමේගා



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-21

අත් පොරව (කෙටිකතාවකි. අපරාධයකි. ළමයින්ට සුදුසු නැත. සත්‍ය සිද්ධියකි)

ඔහු ත්‍රිරෝද රිය පාරට නො පෙනෙන ලෙස පඳුරු ගොල්ලකට මුවා වන සේ නවතා, ගෙල හරවා පසුපස බලා දඟකාර ලෙස හිනැහුණේ ය.

තරුණ විය පියමං කරමින් සිටියත්, ඔහු තවමත් කඩවසම් ය. නවීන විලාසිතාවකට අනුව කොණ්ඩය පැත්තක් බොහෝ අඩු වන සේ කපා ඇත. එක් කණක කරාබුවකි. 

නගරයේ ත්‍රිරෝද නැවතුම්පළේදී ඔහු දෙස බැලූ මුල් බැල්මෙන් ම එය ඔහු ළඟ තවමත් ඇති බව ඇය දැන ගත්තා ය. උඩ බොත්තම් නො පියවූ කමිසයෙන් ඝන රන් මාලයත් එහි නැව් සුක්කානම් මාල පෙත්තත් පිටට පනින අයුරු ඇය ආසාවෙන් බැලුවා ය. ඔහුගේ අතට ද අලුත් රන් දම්වැලක් එක් වී තිබේ. ඒ අත තරුණ ය. කඩවසම් ය. තලෙලු දකුණු අත්ගොබයේ වැලමිටට උඩින් කමිස අතට වැසෙන සාවිය දක්වා කළු ලොකු පච්ච රටාවකි. 

ඔහු ඇගේ අත ගෙන දෑස් දෙස බලා සුන්දර හිනාවක් පෑවේ ය.

“යමු."

ඔවුහු අතිනත ගෙන අඳුරු තේක්ක කැලයේ ගැඹුරට ම ඇවිදගෙන ගිය හ. එය රාත්‍රී රෑසියන් හඬන, අජීවී, මූසල කැලෑවකි. තමන් ද ඇවිද යන්නේ යන්නේ අවතාරයක් ලෙස නොවේදැයි ඇයට සිතිණි. ඇය නිතැතින් ම ඔහුගේ අත දැඩිව අල්ලා ගත්තා ය.  

වැඩ කර ගොරෝසු වූ, නිය තුඩු කැඩී ගිය, නො මැකෙන කහට නිය කන්නාවල රැඳි ඇගේ අතට වඩා ඔහුගේ තරුණ දීප්තිය තවමත් රැඳුණ අත සිනිඳු ය.ඔහු වැනි කඩවසම් පිරිමින් පවා ආකර්ශනය කර ගන්නට ඇගේ මස් පිරුණු පපුවටත්, පස්සා පැත්තටත් තවමත් හැකි වීම ගැන ඇයට සියුම් ආඩම්බරයක් දැනිණි. 

“මට සල්ලි ටිකක් ඕනැ."

“මං පන්දාහක් දෙන්නම් කිව්වනේ."

“මට ඊට වඩා ලොකු ගාණක් ඕනැ. මං ඉල්ලන්නෙ ණයට."

“සල්ලි නැහැ සුදූ. මං ණයට නෙමෙයි දෙන්නෙ. ඒක මට ආපහු එපා."

ඔහු ඇය ඇද තදින් තුරුළු කරගෙන, කම්මුලට හාද්දක් දී නැවතත් දඟකාර ලෙස ඇගේ ඇස් දෙස බැලුවේ ඔහුට වඩා මිටි ඇගේ හිස එක් ඇඟිල්ලකින් නිකටින් අල්ලා ඔසවමිනි. ඔහුගේ දෙතොල ඇය වෙත පහත් වෙන්නට පොපියයි.

“මං ඇඳුම් ගලවනකල් අහක බලාගන්න.

ඇය ඔහුගෙන් ඉවත් වෙමින් කීවා ය. ආපසු යන්නට ඇඳුම් පරිස්සම් කර ගත යුතු ය.

ඔහු කැමැත්තෙන් ම පඳුරක් අද්දරට ගොස් කලිසමේ සිපරය පාත් කළේ ය. ඔහුගේ අලුත් කොණ්ඩා මෝස්තරය නිසා හිසේ පිටුපස සුළි දෙකක් තිබෙනවා යයි ඇයට සිතිණි. ඔහු සිපරය ඔසවයි.

“පස්ස බලන්න එපා. මං ලෑස්ති නැහැ."

ඔහු සිහින් හඬින් සිනාසුණේ ය.

“ගෑනු ඔහොමමයි."

ඇගේ කටහඬ සැලේ. හද ගැස්ම පපුව පුපුරන තරම් ය. ඇය වෙවුලන අතකින් අත් බෑගයේ සිපරය ඇරියා ය. 

හිසේ සුළි දෙකක් ඇති අයට වතුරෙන් අනතුරු ඇතැයි කියනු ඇය අසා ඇත. ඇගේ නෙතත්, සිතත්, ගතේ ජවයත් සියල්ල යොමු වුණේ ඒ සුළි දෙක මැද අඟල් දෙක තුනක අවකාශයටයි.


-------------





“ලස්සන අත් පොරව," ඇය කීවා ය.

ඔහු “හ්ම්" කීවා මිස වෙනත් කිසිවක් කීවේ නැත.

ඇත්තෙන් ම එය කුඩා, හුරුබුහුටි පොරවකි. කෙතරම් කුඩා ද යත්, ඉතා පහසුවෙන් ඉණෙහි ගසාගෙන ගසකට බඩ ගෑ හැකි ය. මිටත් සමග ම එය ඇගේ අත් බෑගයට වුව දමා ගත හැකි ය. එය අගනා ලෝහයෙන් කළ, කපා කොටා පදම් වූ, දිලිසෙන තලය රැවුල කැපිය හැකි තරම් හොඳින් මුව තැබූ අනගි කුඩා පොරවකි.   

“ඔය පොරවෙන් හොඳට ඔලු පලන්නත් පුළුවන්," ඔහු කීවේ ය. “පලු දෙකට පලන්න පුළුවන්. හරියට පොල් ගෙඩියක් දෙකට පලනවා වගේ."

ගමේදී කොස් ගෙඩි දෙකට පැලීම සඳහා දර පලන පොරව යොදා ගනු ඇය දැක තිබේ.

පොරවකින් පලන ලද ඔලුවක් කෙසේ වනු ඇද්දැයි ඇය කල්පනා කළා ය. කළු පැහැති උකු දියරයක් පිරි කටුව පැලූ අඳුරු පැහැ ලොකු ගෙඩියක් වැනි යමක් ඇගේ සිතේ ඇඳිණි. එය හිසක පිටුපසකැයි ඇය සිතුවා ය. හිසෙහි පිටුපසට පහරක් දුන් විට මිනිසකු පහසුවෙන් මරා දැමිය හැකි බව ඇය අසා තිබේ.

“ඕකෙන් එහෙම ඔලු පලලා තියෙනවා ද?"

“තවම ඕනැ වුණේ නැහැ."

ඇය ඔහු සමග ආවේ නොබෝදා ය. ඔවුන් විවාහක නැත. විවාහය තව දුරටත් ඇයට වැදගත් නීතිමය කටයුත්තක් නො වේ. ඇය නීතියෙන් විවාහ කර ගත් මිනිහා මෙන් ම සෙසු අය ද ඇය දමා ගිය හ. මේ මිනිහා ද යනු ඇත. එහෙත් තවම නැත. ඔවුහු තවම එකට සිටිති.

ඔහුට එය උවමනා ය. ඇයට ද එසේ ය. එය හැර අන් රසක් ජීවිතයේ තිබේදැයි ඇය දන්නේ නැත.

ඔහු ගස් නගියි. අතු කපයි. මහ රූස්ස ගස් පවා කපා බිම හෙළයි. ඇඟේ පතේ අමාරුවට හවසට සීල් අරක්කු හෝ අතමිට හිඟ නම් කසිප්පු හෝ බොයි.

ඇය ද මහ ගසක් වැනි ය. ඔහු අතු නො කපා ම ඇය බිම පෙරළා ගනියි.

“කෙල්ල නිදි නැහැ."

"බලාඉන්න කියපිය."

ඔහු වහා ඇතුළු වෙයි. එහි වෙන සුරතල් නැත. එය දැවැන්ත ය. අත් පොරවේ මිට සේ සවිමත් ය. ඇය තුළ එය ඉදිරියටත්, පසුපසටත් වේගයෙන් යන්නේ ඔහු ගස් කපන විට පොරවට යොදන ජවයෙනි. මුලදී මඳ වේදනාවක් දැනුණ ද, ඉක්මණින් ම තරල ගලාවිත් තෙත් වූ කල ඒ ඉහළ පහළ යාම තරම් සුවයක් තවත් නැත. ඇය නෙතු පියාගෙන හූල්ලන්නී ය.

“පස්ස හැරිය."

ඔහු හිටි හැටියේ දිනෙක කියයි.

“රිදෙනවා."

"පල වේසි යන්න."

එය වේදනාවක් ද සුවයක් ද යන්න ඇය නො දනී.

ගස් කැපූ මිනිසා ටිකකින් කැපූ ගසක් සේ ඇද වැටී තෘප්තියෙන් සුසුම් හෙළා ගොරවන්නට පටන් ගනියි.

ඇය ඇඳුම හරිගස්සාගෙන ළමයා දෙස බලයි. ඇය නිදි ය. නැතිනම් නිදි වාගේ විය හැකි ය. ඇය කොයි මොහොතක හෝ වැඩිවිය පැමිණෙනු ඇත. දියණියගේ ආරක්ෂාව සැපයීම ඇගේ වගකීමයි. මේ ඇගේ කසාද මිනිහාගේ දුවනියක නො වේ. කසාද මිනිහාගේ ළමයින් දෙන්නා ඔහුගේ මව ළඟ ය. ඔහු වස බිව්වේ ය. ඔහු ඇයට හිතින් බොහෝ සේ ආදරය කළේ ය. එහෙත්, සමාජ ජීවිතයේදී මෙන් ම අර වැඩේදී ද ඔහු නෝංජල් ය. ඔහු දැන සිටියේ ඉරිසියා කරන්නට හා කටගොන්නක් බී ආඩාපාලි කියමින් හඬන්නට ය.

“මගෙ එකාව මරං කාපු වේසි!" ළමයින් දෙදෙනාගේ වියදමට කලකින් මුදල් නො දුන් විට කොහෙන් හෝ අංකය සොයාගෙන ඇගේ ජංගම දුරකථනයට කතා කරන ඇය කතාව අවසන් කර මුව ඉවත ගත් විගස කියයි. දුරකථනය විසන්ධි කරන්නේ ඉන් අනතුරුව ය.

නැන්දම්මාට දැන් ඇයට කතා කළ නො හැකි ය. ප්‍ර‍ධාන පාරෙන් ඈත දුරබැහැර හේනක පිහිටි මේ පැල් කොටය අහලක සිග්නල් නැත. සිග්නල් ඇතත්, ජංගම දුරකථනය ආරෝපණය කර ගැනීම සඳහා මේ අහල පහළක විදුලි බලය නැත. ඒ දෙක ම තිබුණත්, ඇය අතේ මුදල් නැත.

හේන් පාළුව හා කුප්පි ලාම්පු කළුවර හොඳ අර වැඩේට විතර ය. කන්නට, බොන්නට මිනිහා ගෙනත් දෙයි. යන්නට අතක් නැත. කරන්නට දෙයක් නැත. ළමයා පාසල් යන්නේ ද නැත. ගියත් ඒකිට ඉගෙන ගන්නට සමර්ථකමකුත් නැත. ඒකිගේ අනාගතය කෙසේ වනු ඇද්ද? ලස්සන නැතත්, ඇඟපත මවගේ ආරෙට ගොස් මෝරා වැඩුණොත් ඇයට කොල්ලකු සොයා ගැනීම එතරම් දුෂ්කර නො වනු ඇත. දැනට නම් ඇය ඇගේ පියා මෙන් කෙට්ටු නසරානි පෙනුමෙන් යුක්ත ය.

“ලොකු වුණාම අළු ගසා දාලා ඒවි," යි ඇය සිතුවා ය.

මෙහෙම ඉඳලා වැඩක් නැත. ඇයට එහෙම ඉඳීම පුරුදුත් නැත. කුලියක් මලියක්, වෙළඳාමක් නැතිනම්, කසිප්පු ටිකක්, ගංජා ටිකක් වුණත් විකුණා ගන්නා හැටි ඇය දනියි. මේ වියළි කලාපයේ ගංජා ඇත. ටිකක් එහෙට මෙහෙට ඇද්දා නම් ගානක් කපා ගත හැකි ය. එහෙත් ඇගේ ත්‍රිරෝද රිය සොච්චම් ගණනකට උගස් තබලා ය. එය බේරා ගත යුතු ය. ඇය දර කොටයක් සේ නිදන ඔහු වැරෙන් සෙලෙව්වා ය.

“මොකද හුත්තියෙ? නිදාගන්න දෙන්නෙ නැද්ද? තොට මොකද? මෙතන කකා ඉන්නවා මිසක් වැඩක් තියෙන එකක් යැ."

"මට සල්ලි ටිකක් ඕනැ."

“සල්ලි?"

"මගෙ ත්‍රීවීල් එක බේර ගන්න ඕනැ."

“හෙට කපන ගහේ තිබිලා වැටුණොත් බොට ගෙනත් දෙන්නම්."

ඔහු අනෙක් පැත්ත හැරී ගොරවන්නට වූයේ ය. ඇත්ත ය. ඔහු ළඟ සල්ලි නැත. ඔහු උපයන්නේ එදිනෙදා කන්නට හා බොන්නට ය. ඊට අමතරව ඔහුට අවශ්‍ය අරක පමණ ය. මීට කලින් ගෑනි ද ඔහු දමා යන්නට ඇත්තේ මේ මෙලෝ රහක් නැති ජීවිතය එපා වෙලා විය හැකි ය. එහෙත්, ඔහු ඒ වැඩේට නම් ඇස්වහක්, කටවහක් නැතුව අති දක්ෂ ය.

“උඹ මාරයි නේ අයියෙ."

ගංජා මිටියක ගනුදෙනුවකදී අහම්බෙන් ටවුමේදී හමු වී තේක්ක කැලේට ගොස් ගල් පොත්තක් උඩ තබාගෙන ඇය සුරලොව ඇරිය පසු ඇය ඔහුට කීවා ය.

“උඹ වරෙන් මා එක්ක යන්න. මට අපේ ගමේ හේනක පැලක් තියෙනවා. මං ගස් කපලා උඹට කන්න දෙන්නම්. අපි හැමදාම කරමු."

ගංජා සමග අසු වී දඩ ගෙවා නිදහස් වී පැමිණීමෙන් පසු ඇය බෙහෙවින් ණය වූවා ය. පොලිසියට, උසාවියට පගා දෙන්නට, ඇප තියන්නට, දඩ ගෙවන්නට වූ ණය ගෙවන්නට ඇය ත්‍රිරෝද රිය සීයට දහයේ පොළියට උගසට තිබ්බේ රුපියල් ලක්ෂයකට ය. දැන් එහි පොළිය ම රුපියල් තිස්දාහක් වෙලා ය. අමාරුවෙන් උපයා ගත් දේ නාස්ති වී යයි. ඇය සිඟන්නියක වේ ද? මේ මිනිහා ඇය පන්නා දැමුවහොත් ඇය දියණියත් සමග කොහි යන්න ද?

මුදල් ඇති තැනක් ඇය දනියි. එය කඹයක් වැනි රන් දම්වැලකි. එය ඇගේ තන මත බරට බරේ වැදී තිබේ. ඒ ඔහු ඇගේ ගෙල සිප ගන්නා විට ය. ඔහු ගෙල දිගේ පහළට, පහළට එන විට නාභියේ, කලවාවල මෙන් ම අන්තිමේදී දණහිසේ ද ඒ ඝන රන් දම වැදී තිබේ. ඔහු කැමති වෙනස් විධියකට ය.

“ගඳ ඇති."

“මගෙ මැනික ළඟ මට මල් සුවඳයි."

ඒවා ඔය වෙලාවට නිකමට වගේ කියන කතා ය. ඒ වුණාට කාට වුණත් සල්ලි සුවඳ ය. ඔහු වැඩේ කර ගන්නට හදන්නේ ආදරේට ය. ආදරේත් හොඳ ය. ඒ වුණාට උගේ වැඩේ කර ගත් පසු ඌට ඉක්මණින් තේක්ක කැළෙන් පිට වී පළා යන්නට ඕනෑ ය. ඇයට මදි ය.

“තව පාරක්." ඇය යදියි.

“අද බෑ."

“හෙට?"

“හැමදාම බෑ. පවුලට ආරංචි වේවි."

“ඉතින් පවුල එක්කම කරගන්න බැරි ද?"

"ඔයා ඒ වගේ නෙමෙයි චූටි. ඔයා වගේ ඒගොල්ලන් දන්නෙ නැහැ."

ඔව් උන් මැනිකෙලා නේ යි ඇය සිතයි.

“අනෙක මං කැමති ඔයා වගේ පිරිච්ච සරීරවලට."

“මට සල්ලි ටිකක් ඕනැ," ඇය ඔහුගේ ඝන රන් මාලය අතගාමින් ඔහුට තුරුල් වෙමින් කියයි.

“කීයක් ද?"

“ටිකක් ලොකු ගාණක්. ණයට. මං බේරනවා."

ගණන කියූ විට ඔහු විකාරදැයි ඇසුවේ ය. එය විකාරයක් නො වේ. ඔය ඝන රන් මාලය දෙයියන් දුන්නේ නැත. ත්‍රිරෝද රියක් හයර් කර කඹ වැනි මාල ද ඇඟිලි පහට මුදු ද දැමිය නො හැකි ය.

සල්ලි තිබෙන්නේ එතැන ය. අන්න ඒ රන් මාලයේ ය. පසුවදා ඇය දුවණිය ද සමග ළඟ ටවුමට ගොස් බැටරි බැස තිබූ දුරකථනය ද ආරෝපණය කරගෙන රීලෝඩයක් ද දමා ගත්තා ය. කෙල්ලට නො තේරෙන්නට ඇය ඔහුට දුරකථන ඇමතුමක් ගත්තා ය.

“දැන් කොහෙද ඉන්නෙ? මාව අමතක නො වුණු එක ලොකු දෙයක්. අමතක වෙන්නෙ කොහොම ද ඉතින්? නේ ද?" ඔහු කියයි. 

“මං ආයෙ බැන්දා. හම්බ වුණාම විස්තර කියන්නම්. මට සල්ලි ටිකක් ඕනැ."

“සල්ලි නැහැ. පොඩි ගානක් නම් දෙන්න පුළුවන්."

“කීයක් ද?"

“පන්දාහක්."

“කමක් නැහැ."

“කවදද හම්බ වෙන්නෙ?"

“අරයට නඩුවක් තියෙනවා ය කිව්වා හෙට. මං ගමේ ගිහින් එන්න එනවා."

“හා. මටත් ආසයි. කාමරේකට යමු. කාලෙකින් නේ."

“ඕනැ නැහැ. අපි තේක්ක කැළේට යමු."

ඇය ගමේ ගොස් එන බව ඔහුට කීවේ රාත්‍රී කර්මය හමාර කර අනෙක් පැත්ත හැරෙන විට ය.

“රෑ නො වී වරෙන්. මං නඩුවට යනවා."

එය මිනීමැරුම් නඩුවක් බව ඇය අසා ඇත. එහෙත් ඇය ඔහුගෙන් ඇසුවේවත්, ඔහු ඇයට කීවේවත් නැත.

“මං හවස් වෙන්න කලියෙන් එනවා. කෙලී ගෙදර."

“ඒකිවත් අරන් පලයන්."

“නෑ. ඒකි තනියෙන් ඉඳියි."

ඔහු හොඳම කමිසය හා සුදු සරම ඇඳ උදෙන් ම උසාවිය බලා පිටත් වූයේ ය. 

ඇය අත් පොරව අත් බෑගයේ දමා ගත්තා ය.

2017-01-19

දූල්වල අලංකාරේ අලංකාරය ඔබ තවම දුටුවේ නැද්ද?

සම්මානලාභී නවකතා කියවීම නිසා අවසානයේදී ගත වූ කාලය වෙනුවෙන් ඇති වූ කලකිරීම හේතුවෙන් දූල්වල අලංකාරය මිළ දී ගැනීමෙන් හා කියවීමෙන් වැළකී සිටියමි. එහෙත්, පසුගිය දිනෙක පුස්තකාලයකදී අත ගැටුණු එය ගෙදර ගෙනැවිත් කියැවූ මට ඇති වූ විස්මය සමග නැවත එය කියවීමට පෙර මෙම සටහන තබමි.

ඉතිහාසය නැවත ලියන නවකතා යයි කියමින් ඉතිහාසගත කාන්තා චරිත සංසර්ගයේ යෙදුණු හැටි අවුස්සන හෝ එතනිනුත් එහාට ගොස් ඉතිහාසයේ කාන්තා චරිත සමග රමණය කරන හා ඉතිහාසය උඩ තබා වර්තමානයේ තම තමන්ගේ ඔලුවල පහළ වන විකාර සිතුවිලි මෝචනය කරන ඊනියා රැඩිකල් ඉතිහාස නවකතා රැල්ලට එරෙහිව නියම ඉතිහාස නවකතාව නම් මේ යයි කියන නවකතාවක් ලෙස සුමුදු නිරාගී සෙනෙවිරත්න ලියූ දූල්වල අලංකාරේ සැලකිය හැකි ය.

අපභ්‍රංස ගොඩක් කවරයට තබා බැඳ සීරියස් කියවීමක් අවශ්‍ය යයි තමන් ම හෝ තමන්ගේ හිතවතුන් ලවා කියවා ගන්නා කොළඹ සාහිත්‍ය මාෆියාවේ නවකතාව කෙසේ වෙතත්, ඉතා බැරෑරුම් කියවීමක් සැබැවින් ම ඉල්ලා සිටින ගැඹුරු නවකතාවකි, දූල්වල අලංකාරේ. එය වනාහි නැවත නැවත කියවා රස විඳ ගත හැකි නවකතාවකි.

දූල්වල අලංකාරේ ප්‍රස්තුත කර ගන්නේ චරිතවලටත් වඩා කාල රාමුවකි. සමාජ පරිවර්තනයකි. එහිදී වඩා වැදගත් වන්නේ සමාජයයි. චරිත වැදගත් වන්නේ දෙවනුවයි.

දූල්වල අලංකාරේට පසුබිම් වන 19වන සියවසේ අවසාන භාගය වනාහි රටෙහි අතිශය ප්‍රචණ්ඩ සමාජ විපර්යාසයක් සිදු වූ අවධියකි. ඉංග්‍රීසි යටත් විජිතවාදීන් විසින් දියත් කරන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ සමග ලංකාවේ ගොඩනැගෙමින් තිබුණු ධනවාදය පෞරාණික ස්වයං පෝෂිත ගමට බලපාන හැටි හා ඒ ඔස්සේ ගැමි ජන ජීවිතය දැවැන්ත විපර්යාසයකට ලක් වන හැටි සුමුදු නිරාගී වචනයෙන් චිත්‍රණය කරන්නේ දැවැන්ත පෙතිකඩක් මත සියුම් විස්තර සහිත චිත්‍රයක් අඳින්නා සේ ය. 

කතාවේ ප්‍රධාන චරිතයත් පාරම්පරික සිත්තරෙකි. රාජකාරි ක්‍රමය අහෝසි වී යාමත්, පන්සලට රාජ්‍යානුග්‍රහය නැති වී යාමත්, වෙහෙර විහාර ගරා වැටීමත් හේතුවෙන් සුරේන්දර නයිදේගේ ජීවනෝපාය බිඳ වැටෙයි. ඊටත් වඩා ඔහු වැදගත් ලෙස සලකන සිය පරම්පරා උරුමය රැක ගැනීම ඔහුට ඉතා දුෂ්කර වෙයි. ඔහුගෙන් පසු ඇත්තෙන් ම ඒ සිත්තර සම්ප්‍රදාය බිඳ වැටෙන බව පෙනේ. මේ වන විට පන්සල්වල ඇඳ තිබෙන චිත්‍ර ය කියන ජාතිය දෙස බැලූ විට අපට අහිමි වූ සම්ප්‍රදායේ තරම තේරුම් ගත හැකි ය.

දක්ෂ සිත්තරකු වීමේ පෙර ලකුණු පහළ කරමින් සිටි සුරේන්දර නයිදේගේ පුතා ජීවන් නයිදේ සිත්තර කර්මය හැර දමා, ගැමි ගොවි ජීවන රටාවෙනුත් මිදී, අලුතෙන් වැදගත් වන්නට පටන් ගත් මුදල් සෙවීම වෙනුවෙන් මිනිරන් පතල් කම්කරුවකු බවට පත් වේ. 

සුරේන්දර නයිදේගේ ඊළඟ සිසුවා වන ඔහුගේ දියණියගේ පුත් ඩිංගිරි පල්ලියේ පාසල් හරහා අධ්‍යාපනය ලැබ ඩේවිඩ් ලෙස නමත් වෙනස් කරගෙන අවසානයේදී සාර්ථක කර්මාන්තකරුවකු බවට පත් වේ. 

මේ අතර, මුඩුබිම් පනත හා විහාර දේවාලගම් පනත එයි. රාජකාරි ක්‍රමය අහෝසි කෙරේ. බ්‍රිතාන්‍යයෙන් පැමිණි වැවිලිකරුවෝ අක්කර දහස් ගණනින් මිළ දී ගෙන පළමුව කෝපි ද, දෙවනුව තේ ද වවති. ගැමියන්ට පොදු ඉඩම් හා අනාගත පරම්පරාවලට ව්‍යාප්ත වීම සඳහා ඉඩකඩ අහිමි වෙයි. හරකුන්ට කන්නට තණ බිම් නැති වෙයි. ගොවියන්ට යැපෙන්නට කුඹුරු මදි වෙයි. පරිසරයේ හා දේශගුණයේ සිදු වන විපර්යාස ගැන නම් ලේඛිකාව එතරම් අවධානයක් යොමු කර නැතැයි මට සිතේ.

සරළ, අල්පේච්ඡ ජීවිතයකට හුරු වූ උඩරට ගැමියෝ මේ විපර්යාසයට ප්‍රතිරෝධය දක්වති. කතුවරියගේ ස්පර්ශයට ලක් වන යුගය වන විට කැරැලි දෙකක් මර්දනය කර, සරදියෙල්වත් මරා දමා, ස්වදේශිකයන්ගේ කොඳු බිඳ දමා තිබුණු යුගයකි. සුද්දන්ට ගැති රණමල් බණ්ඩා වැනි ආරච්චිලාගේ සිට අලුත් හෝ අලුත් වූ ප්‍රභූ පැළැන්තියක් හිස ඔසවමින් සිටි යුගයකි. පහතරටින් මිනිරන් කර්මාන්තය හා රේන්ද කර්මාන්තය හරහා නව ධනපති පංතියක් නැගී සිටින අතර ඔවුහු වැවිලි කර්මාන්තයට ද පිවිසෙති. ඒ ප්‍රධාන වශයෙන් පොල් කර්මාන්තය ඔස්සේ ය.

සුමුදු නිරාගී අඩුවෙන් ස්පර්ශ කරන අංශ ද තිබේ. නුවරට කෝච්චි පාර දැමූ මෙම යුගය ඇඟ බදු වැනි තිරශ්චීන බදු පැණවුණු යුගයකි. ගැමි ජනයාට එදා දැනුණු පීඩනය දූල්වල අලංකාරේහි නිරූපිත තරමටත් වඩා වැඩි විය යුතු ය.

රාජකාරිය මිස වැටුප් ශ්‍රමය ගැන නො දැන සිටි සිංහල ගැමියා වතුවල වැඩට නො ගිය හෙයින් වැවිලිකරුවන් විසින් දකුණු ඉන්දියාවෙන් ගෙන්වන ලද දෙමළ වතු කම්කරුවන් විසින් ද උඩරට භූමි චිත්‍රය වෙනස් කරන ලදී. නවකතාවේ අවසන් හරියට එන විට සිංහල ගැමි ගැහැනුන් ද වතුවල වැඩට යන්නට පෙළඹෙන තත්වයක් නිර්මානය වී තිබේ.

මේ අතර සංස්කෘතික තලයේ සිදු වන දේ ද වැදගත් ය. පාරම්පරික සිත්තරකු වන සුරේන්දර නයිදේ ජීවත් වන ගම මැදින් අසු පිටින් යන ඔලීවියා නම් වන වතු හිමියාගේ බිරිඳ ද චිත්‍ර ශිල්පිනියකි. සුරේන්දර නයිදේට වත්තට පැන සිය එළදෙන කළ අලාභය පියවීම සඳහා පෙතිකඩ චිත්‍රයක් ඇඳ වතු හිමියාට දෙන්නට සිදු වෙයි. එහෙත්, ඔහුට කිසි දිනෙක ඔලීවියා හමු වන්නේ නැත. ඔලීවියාට සුරෙන්දර නයිදේ හමු වන්නේ නැතැයි කීවා නම් වඩා සාධාරණ ය. එහෙත්, අවසානයේදී බෘස් නම් සිත්තරාට සුරේන්දර නයිදේ හමු වෙයි. අලුත් චිත්‍ර කලාවක් බිහි වෙයි. මට මංජු ශ්‍රී සිහි විය.

දූල්වල අලංකාරේ ගැන මට නම් කියන්නට තිබෙන්නේ එය වනාහි ඔය සම්මාන ලබන කෘතිවලට වඩා පරම්පරාවක් ඉදිරියෙන් සිටින ජාත්‍යන්තර මට්ටමේ කෘතියක් බවයි. මා වඩාත් විස්මයට පත් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්න සිය පරිකල්පනය හා පර්යේෂණ විනය මෙහෙයවා නිර්මානය කරන මායාව යථාර්ථය සමග පැටලෙන තරමේ ඉන්ද්‍රජාලයක් වීම නිසායි. එය කියවන ඔබ පෞරාණික ලේඛන අධ්‍යයනය කරමින් දූල්වල ගම හා පැරණි සිත්තර පරම්පරා ගැන ද මහනුවර ඩේවිඩ් පෙරේරා සාප්පුව ගැන ද සෙව්වා නම් පුදුම විය යුතු නැත.   

මීට පෙර මා මෙවැනි කෘති කියවා ඇත්තේ ද සේපාලි මායාදුන්නේ, ලාංගනී ප්‍රනාන්දු අබේධීර, මුල් යුගයේ සුනේත්‍රා රාජකරුණානායක වැනි ගැහැනුන්ගෙන් ම වීම විස්මිත තත්වයකි. ලංකාවේ සාහිත්‍යය මත අඬු බඬු විහිදුවාගෙන සිටිමින් සම්මාන විනිශ්චය හා සම්මාන ලබා ගැනීම මාරුවෙන් මාරුවට කරන සාහිත්‍ය මාෆියාව හා එහිම කොටසක් වන විචාරක මාෆියාව මේ කාන්තාවන් ලිබ්බොක්කට තල්ලු කිරීම වළක්වා ගැනීම සිංහල සාහිත්‍යය බේරා ගැනීමේ අරගලයේ අතිශය වැදගත් කාර්යයකි.    

මෙයත් කියවන්න: සේපාලි මායාදුන්නේගේ මහාසාමි හා අතීතකාමයෙන් මිදෙන්නට අතීතය කියවීම




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හෝමොසෙක්ෂුඅල් ලොක්කාගේ හෝමොෆෝබියා අරාජික කැබිනට්ටුව

මේ පුවත ගැන කතාව මෙතැනින් පිවිස කියවන්න
රට ක්‍ර‍ම ක්‍ර‍මයෙන් අරාජිකත්වයක් කරා ගමන් කරමින් තිබෙන බව වික්ටර් අයිවන් කිහිප වරක් ම කියනු අසා ඇත්තෙමි.

මෙය කදිමට නිරූපණය වූ තැනකි පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීම. විශේෂයෙන් ම එහිදී ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා යයි කියමින් යෝජනා කරන ලද නීති සංශෝධන පිළිබඳ සාකච්ඡාව මේ අරාජිකත්වයේ කදිම නිරූපණයකි.

ජී.එස්.පී. ප්ලස් ලබා ගැනීම සඳහා රටක් සමලිංගිකත්වය හෝ ගණිකා වෘත්තිය හෝ නීතිගත කළ යුතු නැත. එහෙත්, විදේශ අමාත්‍යාංශය විසින් සකසනු ලැබූ බව කියන කැබිනට් පත්‍රිකාවට ඒ හා සම්බන්ධ යෝජනා ද එකතු වී තිබිණි.

ශ්‍රී ලංකාව මහා පරිමාණෙන් සමලිංගික සම්බන්ධතා, ගැහැනු-පිරිමි-සමලිංගික ගණිකා වෘත්තිය මෙන් ම ගබ්සා ද සිදු වන රටකි. සමලිංගිකත්වය කෙතරම් දුරට රටේ මුල් බැසගෙන තිබේ ද යත්, කැබිනට් මණ්ඩලයේ සිටින කිහිපදෙනෙකු ම සමරිසි අය බව ප්‍ර‍කට ය.

එසේම, ඔය හුටපටය හා සම්බන්ධව Transactional sex ගැන ද කියැවිණි. හුවමාරු ලිංගිකත්වය ලෙස හැඳින්විය හැකි මෙය ගණිකා වෘත්තියේ ම සුපිරි පැතිකඩකි. එහිදී කලින් ගනුදෙනු කතා කර ගැනීම අනිවාර්ය ලක්ෂණයක් නො වේ. එය ලිංගික තෑගි හුවමාරු කර ගැනීමක් ලෙස සැලකේ. සාමාන්‍යයෙන් විවාහ වීමෙන් තොරව සිදු කෙරෙන මෙය තුළ ලිංගිකත්ව හුවමාරුව මගින් භෞතික වරප්‍ර‍සාද ලබා ගැනීමේ පැහැදිලි උවමනාව දක්නට ලැබේ. මෙය ආදරයෙන් වෙනස් වන්නේ එතැනිනි. එහෙත්, එය තුළ ආදරය ද තිබිය හැකි ය. 

සිංහලට ද පරිවර්තනය වී තිබෙන කුෂ්වාන්ත් සිංගේ The Company of Women නවකතාවට පාදක වන්නේ මෙවැනි සම්බන්ධතායි.

මෙවැනි සම්බන්ධතා නීතිගත කිරීමට අමුතු නීති අවශ්‍ය නැත. ඒවා මේ සමාජයේ ඕනෑ තරම් සිදු වේ.හෝමෝෆෝබියාවෙන් පෙළෙන වර්තමාන කැබිනට් මණ්ඩලය තුළ සමරිසි සම්බන්ධතා හරහා පවා එවැනි දේ සිදු වී තිබේ. 

මෙම කැබිනට් පත්‍රිකාව ගෙන ආ බව වාර්තා වූ හර්ෂ ද සිල්වා සහ එයින් සතුන් සමග ලිංගිකව හැසිරීමත් නීතිගත වෙනවාදැයි ඇසූ සුජීව සේනසිංහ යනු අගනාගරික ලොකුකම පෙන්වන, ලොකු ඉස්කෝලවලට ගිය උගතුන් බව කියන, දියුණු මිනිසුන් බව පෙන්වන අය වුව ද ඔවුන් පොළොන්නරුවේ තරම් ම ගොඩේ හාදයන් බව මෙම කැබිනට් රැස්වීමේදී ප්‍ර‍දර්ශනය විය. සුජීව සේනසිංහගේ ප්‍ර‍ශ්නයට පිළිතුරු සපයන්නට රටේ සත්ව හිංසනය පිළිබඳ නීති උපයෝගී කර ගත හැකි ය. හර්ෂ ද සිල්වා වැනි අය එජාපයට සිටින බුද්ධිමතුන් වීම ම විහිළුවකි.

මේ එජාපයේ අනාගතයයි. එජාපයේ හා රටේ අනාගත නායකයන් වන්නට ඉන්නේ තමන් ගෙන එන කැබිනට් පත්‍රිකාව වෙනුවෙන් පෙනී සිටින්නට කොන්ද පණ නැති පිරිසකි. 

මේවා මේ වෙලාවේ අවශ්‍ය යෝජනා නො වේ යයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එහෙත්, ලිංගික නැඹුරුව නිසා කෙනෙකුට විෂම ලෙස සැලකීමක් නො කිරීම සමාජයක දියුණු ලක්ෂණයකි. ඒ සඳහා නීති ගෙන ඒමට විශේෂ කාලයක් අවශ්‍ය නැත. එහෙත්, මේ කරුණු සමාජයේ සංවාදයට භාජනය විය යුතු මතභේදාත්මක කාරණා ය. ඒ වෙනුවෙන් පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කරන්නට හා හරි දේ වෙනුවෙන් සටන් කරන්නට කොන්ද පණ ඇති නායකයන් අපට නැත.  

මීට කලින් දිනෙක මව්බිම පුවත්පතේ මුල් පුවතින් අවුරුදු 150ක් පැරණි, යල්පැන ගිය අයාල ආඥා පනත සංශෝධනය කිරීමෙන් සමලිංගිකත්වය නීතිගත කරන්නට යන බවට ප්‍ර‍ලාපයක් පතුරුවා හරින ලදී. එහි ඇත්ත නැත්ත පිළිබඳ ලිපියක් මෙතැනින්

මෙම ලිපියත් කියවන්න: ලෙස්බියානු, ගේ, ද්විලිංගික, පාරලිංගික, අන්තර්ලිංගික හා ලිංගිකත්වය විමසන ජනයා යනු කවුරු ද?
 

හෝමොෆෝබියාව


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-18

රතනගේ මුට්ටිය, චම්පිකගේ ගැට හා අනුරගේ ගණිතය

අපේ රටේ අනාගතේ
පුංචි අපි තමයි 
රනිල් කාලයක් තිස්සේ අවස්ථාවක් ඉල්ලමින් සිටියේ ය. වර්ෂ 2015දී මේ රටේ ජනතාව ඔහුට ඒ අවස්ථාව දුන්නෝ ය. ඔහු යම් යම් දේ කරමින් සිටියි. කරනවාටත් වඩා, ඔහු සිටින්නේ මාර උද්දාමයෙනි. ඔහුත්, ඔහු වටා සිටින සහචර නඩයත් ඉන්නේ ආතල් එකේත් සුරතාන්තයේ බව පෙනේ. 

මේ ආතල් කට්ටියට කියන්නට තියෙන්නේ මේකයි. මහින්දට කෙළ වූ පසු ඔහු පසුපස යන්නට බැලයන් පිරිසක් සිටිය හ. ඒ නිසා ඔහු තාමත් ජාමෙ බේරාගෙන හිරේ නො ගොස් සිටියි. රනිල් ඔයාට නම් කෙළ වූ දවසට මෙයා කවුරුවත් නැත. ඔයාගේ පක්ෂය පවා ඔයා අවිශ්වාස කරද්දී මෙයා ඔයාව අපි විශ්වාස කළෙමු. ඔයා මේ බැඳුම්කර කේස්සෙකෙන් අපට සුහද කොකා පෙන්නුවේ ය. වසර 2020න් පසු ඔයාට තිරුපතිවල ඉන්න අර ඔයාගේ දෙයියන්ගේ ම පිහිටයි. ඉදිරි වසර තුනේ මොනවා හරි කළොත් ඔයාට චාන්ස් එකක් තිබේ. 

ඔයාගේ ඔඩොක්කුවේ සිටින චම්පික එයාගේ රතන, ඥානසාර ආදී සාදුලා ලිහා දමා ඇති බව පෙනේ. මේ හනුමලා ඔය ලෑස්ති වෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට සූදානම් වන අවස්ථාවේ නැවත වතාවක් රට බෙදෙනෝ යි කියමින් රට ගිනි තියන්නට ය. 

මේ අවස්ථාවේදී නම් ඇත්තට ම බලලෝභීන් බොහෝ දෙනෙකුට යුද්දෙ නැතුව පාළු බව පෙනේ. එහෙම අය ඉන්නේ දකුණේ පමණක් නො වේ. උතුරේ ද සිටිති. ඒ නිසා මේ වන විට උතුරේ කොටි සංවිධානයක් පිහිටුවීමේ වැඩේ ද දකුණේ අනුග්‍රහයෙන් යළි සිදු වෙමින් තිබේ ද යන්න සොයා බැලීම බුද්ධි අංශවලට භාර ය. 

රනිල්ට අවස්ථාවක් දුන්නා නම්, චම්පිකටත් අවස්ථාවක් දුන්නාම මොකදැයි අසන එකත් සාධාරණ ය. ඒ වගත් මෙසේ ය.

ඔය චම්පික රණවක මේ රටේ ප්‍රබල අමාත්‍යාංශ හතරක් වන පරිසර, විදුලිබල, පෙට්‍රෝලියම් හා මේ වන විට මෙගාපොලිස් අමාත්‍යාංශ භාරව සිටියේ ය. ඒ වගකීම් තුළ ඔහු විසින් සලකුණු කරන ලද සුවිශේෂ රාජ්‍ය පාලන කුසලතාවක් ගැන දන්නා කෙනෙක් කියන්න. කරුණාකර අරයා අපට කරන්න දුන්නෙ නැහැ ය කියන සිරිසේනවාදය දේශනා නො කරන්න.

අමාත්‍යාංශයක් රන් කරපු කාලේ විමල් නම් අඩු ගානේ තමන්ගේ ඥාතීන්ට අමතරව, ජවිපෙන් තමන් සමග කැඩී ආ හාමතින් සිටි විප්ලවවාදී පල් හොරුන් රැළකට ද වාහන අරවා මේවා දී තමන්ගේ නඩය හෝ ශක්තිමත් කර ගත්තේ ය. උන්ට උන් පැතූ විමුක්තිය ලැබිණි. එසේම විමල් වෙනුවෙන් උද්ඝෝෂණයක් කරන්නට තිහ හතළිහක් සිටිති. 

චම්පිකට අඩු ගානේ තමන්ගේ පක්ෂය විමල්ගේ කොම්පැනිය ගානට හෝ හදා ගන්නට බැරි විය. ඒ නිසා චම්පිකලා හැමදාමත් උත්සාහ කරන්නේ මොකක් හෝ පල් වලක් ඉහින්නට ය. නන්නත්තාර වෙමින් සිටියදී සෝම හාමුදුරුවන්ගේ මිනිය විකුණා නැග්ග නැගිල්ල පරමාදර්ශ කරගෙන කවදා හෝ ජනාධිපතිකමට ම යන්නට කුමන්ත්‍රණයක් කර ගත හැකි දහම් ගැටයක් ගසා ගත හැකි යයි ඔහු සිතනවා ඇත. 

තත්වයන් වෙනස් වන්නේ එකයි එකයි දෙකයි, දෙකයි දෙකයි හතරයි විදියට නොව දෙකේ වර්ගය හතරයි, හතරේ වර්ගය දාසයයි ආදී වසයෙන් යයි සිතා සිටින ගණිතඥයෙක් ද අපට සිටිති. ඒ අපේ ජවිපෙ නායකතුමා ය. ජවිපෙට වුව අවස්ථාවක් දීම ගැන මට නම් ගැටලුවක් නැත. දැන් රනිල් කරන අනිවාර්ය ලයිෆ් සේවිං හෙවත් පණ බේරා ගැනීමේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ වැඩසටහන චීනයේ, වියට්නාමයේ කරන ආකාරයට තනි පක්ෂ ක්‍රමයකින් මීටත් වඩා හොඳින් කරන්නට පුළුවන් විය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ නො කෙරෙන මගුලක් වන්නේ මෙන්න මේ තනියෙන් ම කොරන්නට ඉල්ලන එක නිසා ය. නැතිනම් 2004දීත් මේ රටේ ජනතාව ඔවුන්ට ආණ්ඩුවක් දුන්නෝ ය. ඔය තනියෙන් මගුල වෙන්නේ නැති එකකි. අඩු ගානේ තමන්ගෙන් කැඩී ගිය පෙරටුගාමී එක හා කොළඹ තිබෙන දාර්ශනිකයන් එකතු කරන්නන්ගේ අන්‍යෝන්‍යාධාර සමිති සමගවත් පයුරුපාසානමක් හදා නො ගෙන අනේ මන්දා අනුර.

ලංකාවේ දේශපාලනයේ සිටින අනාගතය මිටින් ගත් නායකයන් වන්නේ මෙන්න මේ වගේ හාදයෝ ය. ඔවුන් බලා සිටින්නේ මේ රටට කෙළ වී ගිය කලෙක චාන්ස් එකක් ගන්නට ය. එහෙත්, කෙළ වී පුක බිම ඇනුණු පසු ලොකු පුටුවක වාඩි වීමේ තමන්ගේ ආතල් එක ගන්නවා හැර වෙන ලොකු දෙයක් කරන්නට නො හැකි බව ඔවුන් තේරුම් ගන්නේ නැත. අපි මේ උත්සාහ කරන්නේ කෙළ වෙන එක වළක්වා ගන්නට ය.

කඩා වැටෙනකල් බලා ඉන්නේ නැතුව, ගමින් ගමට ගොස් මහජනයා හමු වී දේශපාලනය කතා බහ කර, මහජන ශක්තිය පිළිබඳ විශ්වාසය තබා අනුරාගී උද්‍යෝගයකින් කටයුතු කරන කෙනෙකු මේ මොහොතේ ඉන්නවා නම් ඒ වික්ටර් අයිවන් පමණ ය. එම සාකච්ඡාව තුළ රාජ්‍ය බලය මාතෘකාවක් නො වන නිසා කවුරුවත් කලබල විය යුතු නැත. 

අපේ මාධ්‍ය මිතුරකු සමග නුදුරු දිනෙක කතා කරමින් සිටියදී ඔහු වැදගත් අදහසක් ඉදිරිපත් කළේ ය. මා කීවේ ලෝකයේ දේශපාලන නැඹුරුවක් වී තිබෙන සංස්ථාපිතයට පිටතින් මතු වන නායකත්වයක් මිසක දැනට ඉන්නා කිසිදු නායකයකුගේ හැකියාවක් දකින්නට නැති බවයි. මගේ මිතුරා කීවේ ඉදිරි පෙළේ සමායතන අංශයෙන් හෙවත් සිංහලෙන් කියනවා නම් කෝපරේට් සෙක්ටර් එකෙන් යමෙකු සංස්ථාපිතයට පිටතින් ආවොත් රට ගොඩ ගන්නට උත්සාහ කළ හැකි බවයි. එම අදහසෙහි ද වැදගත්කමක් තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-16

ධර්මදාසගේ චින්තනය හා ධර්ම දේශකයන්ගේ විරෝධය

‘කැපිටලිසම් කියන එක ලෝකෙට හඳුන්වා දෙන්නේ කාල් මාක්ස්. ඒ එයාගේ දාස් කැපිටාල් කියන ෆික්ෂන් එක ඇතුළේ. සොෂලිසම් කියන සුපර් හීරෝව හදන්න එයා කැපිටලිසම් කියන සුපර් විලන්ව නිර්මාණය කරනවා. එහෙම නැතුව කැපිටලිසම් කියල එකක් ලෝකේ කොහේවත් පැවතුනා නෙමෙයි.

ශිෂ්ටාචාරේ පටන් ගත්ත තැන ඉඳන් මිනිස්සු ජීවත් වුණු සාමාන්‍ය විදිහ මාක්ස් කැපිටලිසම් කියල ප්‍රබන්ධගත කරනවා. ඒකට ලෝකේ වටේම ෆෑන්ස්ලා හැදෙනවා. විප්ලවය කියන්නේ ඒකෙ මාකටින් කැම්පේන් එක.’

චින්තන ධර්මදාස විසින් කරන ලද උක්ත ප්‍ර‍කාශය විසින් ලංකාවේ වාමාංශික දේශපාලනය තුළ ඇති කරන ලද කම්පන තරංගය තවමත් ප්‍ර‍තිකම්පනය වෙමින් තිබෙනු දක්නට ලැබේ.

යමෙකු ආගමක් විවේචනය කළ විට ආගමික සමාජයෙන් එයට ප්‍ර‍තිචාර දැක්වෙන ආකාර දෙකක් තිබේ. එකක් වන්නේ විවේචකයා මරා දැමීමයි. එසේ කිරීමෙන් තමන්ගේ භක්තිය වැඩිපුර ප්‍ර‍දර්ශනය කළ හැකි ය. ඒ සඳහා වැඩිය කරදර වෙන්නට ද උවමනා නැත. 

වර්තමානයේදී නම් කුණුහරුප ටිකක් ෆේස්බුක්හි ලිව්වත් ඇති ය. මේ ප්‍ර‍ශ්නයේදී ද පිරිසක් එසේ කළ හ.

අනෙක් පිරිස වන්නේ මෙම විවේචනයට බුද්ධිමය ලෙස ප්‍ර‍තිචාර දැක්වීමෙන් එය පරාජය කළ යුතු යයි සිතන අයයි. බව බ්ලොග් අඩවිය ඒ වඩා දුෂ්කර කාර්යයට අත ගසා තිබේ.

ලෝකය එදා පටන් ම පැවති පිළිවෙල එක ම පිළිවෙලක් යයි කිව හැකි ද යන්න මම නො දනිමි. එහෙත්, එය අදහසක් ලෙස ප්‍ර‍තික්ෂේප කරන්නට ද මට උවමනාවක් නැත. එසේම, මාක්ස්ගේ යුගයේ පැවතියේ ධනවාදයක් ද, තවමත් පවතින්නේ ඒ ධනවාදය ම ද, නැතිනම් වෙනත් එකක් ද, මාක්ස්ගේ විග්‍ර‍හය මුළු ලෝකයට ම අදාළ ද යන්න ද මම නො දනිමි. අවංකව ම නො දනිමි. මට ඒ පිළිබඳව අවසන් තීරණයකට එන්නට උවමනාවක් ද නැත. 

විශ්වය ගැන දැනුම මහා සාගරයක් නම්, අප එයින් දන්නේ වතුර බිංදුවක තරම විය හැකි ය. එ් කතාව ඉතිහාසයට ද අදාළ ය. ඒ නිසා යමක් නො දන්නවා යයි කීමට ලජ්ජා විය යුතු නැත. මන්ද, දන්නවා යයි කියන අය ද ඇත්ත ම කිව්වොත් දන්නා රෙද්දක් නැත.

මෙතනදී නලින් ද සිල්වා ගුරුත්වාකර්ෂණය ගැන ඇසූ ප්‍ර‍ශ්නය නිදසුනකට ගත හැකි ය. ගුරුත්වාකර්ෂණය තිබෙනවා යයි අප පිළි ගන්නේ ඇයි? අප කවුරුවත් එය දැක ඇති නිසා ද? නැත. හැමෝ ම කියන නිසා ය. හැබැයි ඉතින් නටුවකින් ගෙඩියක් ගිලිහුණු විට එය අහසේ පා වී නො ගොස් පොළවට වැටෙන්නට මොකක් හරි හේතුවක් තිබිය යුතු ය. ඒ තියෙන එකට අයිසෙක් නිව්ටන් ගුරුත්වාකර්ෂණය යයි කීවේ ය. (නලින් ද සිල්වා මහතා ගුරුත්වාකර්ෂණය ඔහු ගේ පන්චෙන්ද්‍රියන්ට දැනෙන්නේ නැතැයි කියයි. එතුමා කළ යුත්තේ අංගොඩ හන්දියේ සිල්ලර කඩයකින් පිටි ගෝනියක්‌ මිල දී ගෙන එය කර තබාගෙන කිලෝමීටරයක්‌ ගමන් කිරීම ය. එවිටත් ගුරුත්වාකර්ෂණය නො දැනේ නම් අංගොඩින් ම පිහිටක්‌ ලබාගත හැකි ය. කියවන්න බෝධි ධනපාල, විදුසර)

ධනවාදය ගැන කියන්නට තිබෙන්නේ ද එය ම ය. මේ තිබෙන එක මොකක් හරි එකකි. මාක්ස් එය ධනවාදය ලෙස කදිමට විග්‍ර‍හ කළේ ය. මාක්ස්ගේ ඉතිහාසය පිළිබඳ විග්‍ර‍හය පිළි නො ගත්තත්, බොහෝ දෙනෙක් ධනවාදය පිළිබඳ විග්‍ර‍හය පිළි ගනිති. බව බ්ලොග් අඩවියේ දැක්වෙන ආකාරයට “උසස් පෙළ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්නා මට්ටමේ හෝ දැනුම" තුළ පවා එසේ තිබේ. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඉගෙන ගන්නා අය ලබන දැනුම තුළ දුකට හේතුවක් ලෙස කර්මය ද දැක්වේ.

අප කර්මය පිළිබඳ සංකල්පය ප්‍ර‍තික්ෂේප කර ධනවාදය පිළිබඳ විග්‍ර‍හය වැළඳ ගන්නේ ඇයි? අනෙක තෝරා ගන්නා අයට වඩා අප බුද්ධිමත් නිසා ද? අප වඩා බුද්ධිමත් යයි අප සිතන්නේ කුමකට සාපේක්ෂව ද? ඇත්තම කිව්වොත් මෙය ලියන මට වඩා ඔබ බුද්ධිමත් වන්නට ප්‍ර‍ධාන හේතුව මා මෝඩයකු බව මෙහි පැමිණ නිර්නාමිකව අදහස් පළ කරන බොහෝ දෙනෙකු නිතර කියන එක නිසා මිස වෙන හේතුවක් නිසා නො වන්නට පුළුවන. මිනිස් බුද්ධිය ද මහා සාගරය වැනි පුළුල් එකකි. දර්ශනය ගැන දැනුම එහි එක් කුඩා අංශයක් පමණි. එහි තව බොහෝ පැතිකඩ තිබේ. යමෙක් තව කෙනෙකුට වඩා බුද්ධිමත් යයි කියන්නේ යම් නිශ්චිත අංශයකින් පමණි. 

ඇන්.ඇම්. පෙරේරා එක වර බුද්ධිමය කාර්යයන් කීපයක් කිරීමේ සූරයකු බව කියැවේ. බුලත් විටක් කමින්, කොන්දොස්තර සමග කතා කරමින්, දුරකථනයට ද පිළිතුරු දෙමින්, බෙල් එකට ද ඇහුම්කණ් දෙමින්, පැති කණ්ණාඩිය ද බලමින්, ට්‍රැෆික් පොලිසිය ගැන ද සැලකිලිමත් වෙමින්, පාරේ වාහන අතරින් සීරුවෙන් ඔබ යන බසය ධාවනය කරන අට පාස් රියදුරා කරන කාර්යය ඇන්. ඇම්. පෙරේරාට කළ හැකි ද? ඒ කියන්නේ ඇන්. ඇම්. බුද්ධි හීන පුද්ගලයකු ය කියන එක නො වන බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත.

බව වෙබ් අඩවිය ප්‍රාග්ධනය මිනිසුන්ට තේරෙන බසකින් නැවත ලියන එක විශිෂ්ට, අගය කළ යුතු ක්‍රියාවකි. එහෙත්, පුංචි උපදේශයක් දිය යුතු ය.

ලංකාවේ වාමාංශිකයන් දෙමළාට දෙමළ වීම නිසා ප්‍ර‍ශ්නයක් ඇති බව කියා දෙන්නට කොයි තරම් උත්සාහ දරා තිබේ ද? එහෙත්, නැවත වතාවක් මෙම සටහනට පහළින් දෙමළාට දෙමළ වීම නිසා ප්‍ර‍ශ්නයක් තිබෙන ප්‍ර‍ශ්නය කුමක් ද යන ප්‍ර‍ශ්නය ලියැවෙන එක වළක්වන්නට බැරි ය. හේතුව ඒ ප්‍ර‍ශ්නය මතු වන සිංහල ජාතිකවාදී කතිකාව, වාමාංශිකයන් උත්තර දෙන මාක්ස්වාදී කතිකාව නො වන නිසා ය. 

බව බ්ලොග් අඩවිය කරන අය ඔය ඔක්කොම කළාට පසුවත් චින්තන ධර්මදාස අර මුලින් දැමූ තොරතුරු චිත්‍ර‍ණය නැවත පළ කළහොත් කලකිරී ඉවත් නො වන්නට ආත්ම ශක්තිය ගොඩනගා ගත යුතු ය.

මාක්ස්ට නො ව, ඉතිහාසයේ කිසිම මිනිස් ප්‍රාණියකුට ඉතිහාසය පිළිබඳ පරිපූර්ණ විග්‍ර‍හයක් කළ නො හැකි ය. හේතුව ඉතිහාසය යනු ශුද්ධ ගණිතය වැනි මිනිස් මනසේ පවතින දෙයක් නො ව, භෞතිකව තිබූ හා ඉදිරියටත් පවතින දෙයක් වන බැවිනි.

මාක්ස්වාදී ඉතිහාස කතිකාව අදාළ වන්නේ එම කතිකාව සමග යම් ආකාරයකින් සම්බන්ධ වන අයටයි. එම කතිකාව ප්‍ර‍තික්ෂේප කරන අයෙකුට එම කතිකාවෙන් කොයි තරම් ප්‍රාතිහාර්ය පෙන්නුවත් වැඩක් නැත. සම්පූර්ණයෙන් අන්ධ වූවෙකුට දේදුනු හතක් අහසේ මවා පෙන්නුවත් වැඩක් නැත.

චින්තන ධර්මදාස විසින් සිය වචන කීපයෙන් දර්ශනවාදීන්ගේ රෙදි ගලවා තිබෙන්නේ ඒ අයුරිනි.

චින්තනට ගංජාකාරයා, ඇඩ්වටයිසිංකාරයා, අරූ, මූ කියන ගමන්, මේ විවාදයේ සියලු පැති දෙස උනන්දුවෙන් බලා සිටින අපටත් මාක්ස්වාදියෝ බනිති. ඒ අපි ඒවාට ලයික් දානවා ය කියා ය.

අප නම් ලයික් දාන්නේ චින්තන ධර්මදාසට පමණක් නො වේ. අපි විදර්ශන කන්නන්ගරවත්, නිර්මාල් දේවසිරිවත්, සුමනසිරි ලියනගේවත්, වංගීස සුමනසේකරවත්, දීප්ති කුමාර ගුණරත්නවත්, රෝහිත භාෂාණවත් තමන් දාර්ශනිකයන් යයි හඳුන්වා නො ගන්නා තවත් බොහෝ දෙනෙකුත් කියවන්නෙමු. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන්ගේ පාඨකයන් වූ අපට අද වුණත් ඔවුන් කියන්නේ කිසිවක් නො දන්නා මැට්ටන් ය කියා ය. ඒ කියමන අපට වඩා අදාළ වන්නේ අපගේ එකී ගුරුවරුන්ට බව විලි ලැජ්ජාවේ සන්තෝසෙන් පවසමි. එහෙත්, ඔවුන්ට දන්නා අය ලෙස පෙනී සිටීමට නම් අප වැනි නො දන්නා අය ලෙස ඔවුන් විසින් පෙන්වා දෙන අය ද සිටිය යුතු ය.

අප නම් අප ගැන කියන්නේ අප නිදහස් මතධාරීන් බවයි. අපි සත්‍යය පිළිබඳ වාක්‍යයට නැවතුම් තිතක් නො තබා බලා සිටින්නෙමු. ඒ තිත අප කිසිදාක තබන්නේ ද නැත. 

වාදීන් වන ඔබ සමග අපට කිසිදු ගැටලුවක් නැත. ඔබේ කාර්යය ඔබ කරන්න. එහෙත්, පිළිගැනීම, ප්‍ර‍තික්ෂේප කිරීම සිදු වන්නේ කුණුහරුප කියන්නට තිබෙන හැකියාව මත නො ව, තමන්ගේ විදුරු නුවණ මෙහෙයවා කරන විග්‍ර‍හයන්ගේ තාර්කිකත්වය මත ය. 

ඔය දැන් කරන විදියේ පානදුරා වාද පරණ ජාතියක් බව ද, අදට එතරම් ආකර්ශනීය නො වන බව ද මගේ අදහසයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

දීපාල් සිල්වාගේ ආනන්ද භවන් ගීතයේ පසුබිම් කතාවක්

දීපාල් සිල්වාව අපි වින්දෙ වෙන ම තලයක. ඒ නිසා අපි මේ ගීයත් රස විඳිනවා. ඒකෙ ඇතුළෙ තියෙන දේශපාලනයට අපි ගරු කරනවා.



ඒත්, කරුණාරත්න අමරසිංහ සූරීන් මේ ගැන මතු කරපු කාරණයකුත් ඇත්තෙන් ම නො සලකා හරින්න බැහැ. ඔහු කීවේ දීපාල් සිල්වා විසින් විකෘති කරනු ලැබුවේ ඉතා සම්භාවනීය හින්දි ගීයක් බවයි.

මෙම ගීයේ මුල් ගීතය අඩංගු වුණේ 1943දී තිරගත වුණ කිස්මට් නම් චිත්‍රපටයේයි. එය ගායනා කළේ අමීර්බායි කර්නාටකී නම් කන්නඩ ගායිකාව හා නිළියයි. මහාත්මා ගාන්ධි පවා ඇගේ ගීවලට ඇලුම් කළ බව කියැවෙනවා. මේ ගීයේ නිර්මාපකයා අනිල් බිස්වාස්. මෙය ක්‍රිෂ්ණා වෙනුවෙන් ගයන බැති ගීයක්.



මේ ගීයේ මුල් අරුතට ආසන්න වන පරිදි සිංහලෙන් කළ මුල් කාලීන බොදු බැති ගීයක් තමයි මහ බෝධි මුලේ. යූ.ඩී. පෙරේරා ලියූ නිල් පාටින් දක්වා ඇති පද ටිකෙහි සුන්දරත්වය බලන්න.

මහ බෝධි මුලේ විදුරස්නේ රැස් විහිදෙන්නා
මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා

රාසී සදෙව් ලො සුරනා ගුණ ගීත නාද දී
අහසේ සුරංගනාවෝ මනරම් රැඟුම් දි දී
පුදනා සඳේහි දෙව් ලෝ මල් වැස්ස වහින්නා
මහ සාත් තුමාණෝ විදුරස්නේ වැඩ ඉන්නා

වෛශාඛ්‍ය චන්ද්‍ර කාන්ති සුරම් මලානීක වී
ශ්‍රී කාන්ති පානා තිලොවේ ඒකාලෝක වී
නව නීල පීත ආදී බුදු රැස් විහිඳෙන්නා
භගවත් භගවත් භගවත් භගවත්
මහසත් සව් කෙළෙසුන් පරදන්නා

සංසාර ජාති ජාති පිරූ උතුම් පාරමී
ගම්භීර ඥාණ මහිමෙන් ලෝ නාථ මා හිමී
තුන් ලෝ නාථ මා හිමී
ජගදේක මහා මංගල වෙසඟේ සුපසන්නා
භගවත් භගවත් භගවත් භගවත්
මහසත් සම්බුදු වී වැඩ ඉන්නා

රචනය - යූ.ඩී පෙරේරා
සංගීතය - මොහොමඩ් ගවුස්
ගායනය - එම්.බී ජොහොර්ෂා

(පදමාලාව ගත්තේ මෙතැනින්)



ඊටත් පසු කාලෙක විජය කුමාරතුංග මේ තනුව ඇසුරෙන් ගීයක් මේ ආකාරයෙන් මහ ශාක්‍ය කුලේ ලෙස ගැයුවා.



වසන්තා සන්දනායක ගායනා කරන නොකියාම එදා ගීතයේත් තනුව මේකමයි. පද රචනය මෙතැනින්




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-15

සුද්දා කියන විදියට රෙදි ඇන්දොත් අපේකමට මොකක් වෙයි ද?

පහත පළ වන්නේ උදයසිරි වික්‍රමරත්නගේ ‘සුද්දෙක් ඔබ අමතයි' නාට්‍යයේ නලින් ප්‍රදීප් උඩවෙල රඟපාන චරිතයේ දෙබස් ඛණ්ඩයකි.

“ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි. ඒ රටවල්වලින් ආධාර ලැබෙන්නෙ ඒ රටවල් විදේශ වීම නිසා ම නෙමෙයි. ඒ රටවල්වල සුද්දො ඉන්න නිසා.

“ඔන්න විදේශ කියන හැම රටකින් ම ආධාර ලැබෙනවා නම් විදේශාධාර කිව්වට කමක් නැහැ. ඒත් ඇත්තට ම ආධාර ලැබෙන්නෙ සුද්දො ඉන්න රටවල්වලින් විතරයි.


“ඒක නිසා නිවැරදි යෙදුම සුද්දාධාර."


දැන් අද දිවයින පුවත්පතේ මුල් පුවත කියවන්න.

යුරෝපා සංගමයේ ජී. එස්‌. පී. ප්ලස්‌ (GSP+) බදු සහනය යළි ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටට ඉතා අනතුරුදායක කොන්දේසි 58 කට රජය එකඟවී ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් 'දිවයින ඉරිදා සංග්‍රහය' ට වාර්තා වේ.

මේ කොන්දේසිවලට එකඟ වී ඒ පිළිබඳ ප්‍රගතිය යුරෝපා කොමිසමට දැක්‌වීමට ද රජය ක්‍රියාකර ඇති බවද වාර්තා වේ.


ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත ඉවත්කර ඒ වෙනුවට ගෙනෙන නව නීතිය සමාලෝචනය කර එය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සම්පාදනය කිරීම, අත්අඩංගුවේ සිටින රැඳවියන් සම්බන්ධ නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, සියලු එල්. ටී. ටී. ඊ. හිටපු සටන්කරුවන් පුනරුත්ථාපනය කිරීම අවසන් කිරීම, රැඳවියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට සංශෝධන ගෙනඒම, මහජන ආරක්‌ෂණ ආඥා පනත සමාලෝචනය කිරීම, අතුරුදන් වූවන් සම්බන්ධයෙන් වෙනම කාර්යාලයක්‌ ස්‌ථාපිත කිරීම, නව මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්‌මක්‌ (2017- 2021) හඳුන්වාදීම, ත්‍රස්‌තවාදී සංවිධාන ලෙස ලැයිස්‌තුගත කර ඇති දෙමළ සංවිධාන හා පුද්ගලයන් සම්බන්ධ තත්ත්වය සමාලෝචනයට ලක්‌ කිරීම (මින් පුද්ගලයන් 86 දෙනෙක්‌ සහ සංවිධාන 08 ක්‌ කරන ලද පරීක්‍ෂණ අනුව එම ලැයිස්‌තුවෙන් ඉවත් කිරීමට අපේක්‌ෂා කරන බව රජය දන්වා ඇත.)


පොලිස්‌ මූල්‍ය අපරාධ කොට්‌ඨාසය, නීතිපති දෙපාර්තමේන්තුව සහ අල්ලස්‌ කොමිසම හමුවේ ඇති දූෂණ චෝදනා නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම, දූෂණවලට එරෙහිව අල්ලස්‌ කොමිසම මගින් නව ක්‍රියාකාරී සැලැස්‌මක්‌ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ පළාත්වලට බලය බෙදාහැරීම යන කරුණු සලකා බැලීම, නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව යටතේ මැතිවරණ ප්‍රතිසංස්‌කරණ හඳුන්වාදීම, ඉඩම් ආඥාපනතට සංශෝධන සිදුකිරීම, දෙමළ භාෂාව කතා කරන කාන්තා පොලිස්‌ නිලධාරිනියන් ප්‍රමාණය ඉහළ නැංවීම, පාර්ලිමේන්තුවේ අවම වශයෙන් සියයට 25 කාන්තා නියෝජනයක්‌ ඇතිකිරීම සහ මුස්‌ලිම් නීතිය යටතේ විවාහ විය හැකි අවම වයස නීතියෙන් නියම කිරීම (මේ සඳහා කැබිනට්‌ අනුකාරක සභාවක්‌ පත්කිරීමට නියමිතය.) ඇතුළු ඉතා බරපතල කොන්දේසි රැසක්‌ මෙම බදු සහනය ලබා ගැනීම සඳහා රජය විසින් යුරෝපා කොමිසම වෙත එකඟවී එම කොන්දේසි ඉටු කිරීමේ ප්‍රගතියද එම කොමිසම වෙත වාර්තා කර තිබෙන බවද රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ගවලින් තවදුරටත් 'දිවයින ඉරිදා සංග්‍රහයට" වාර්තා වේ.


සුද්දා අපට රෙදි අඳින්නැයි කියයි. අපට විචිකිච්ඡාව ය. රෙදි ඇන්දොත් අපේකමට මොනවා හරි වෙයි ද?

අපේ ගැහැනුන්ට, තරුණයන්ට, අපේ මිනිසුන්ට සාධාරණ ලෙස සලකන්නැයි සුද්දා අපේ රජයට කියයි. අපට විචිකිච්ඡාව ය. අපේ ආණ්ඩුව අපට මිනිසුන් ලෙස සැලකුවහොත් අපේකම නැති වෙයි ද?

අපට නම් මිනිසුන් ලෙස සැලකුවත් ඉවසිය හැකි ය. හැබැයි දෙමළුන්ටත් එහෙම සැලකුවොත්....

බුදු අම්මේ අපට තියෙන ප්‍රශ්න ඒවා ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-14

පුනරුදය

මේ වගේ හැන්දෑවක සෙට් වෙමු 
ජාතික පුනරුද ව්‍යාපාරයක් පිළිබඳ සංවාද මාලාවක් මේ වන විට රට පුරා සිදු වෙමින් තිබේ. පස්යොදුන් කෝරළේ පුරවැසියන් ලෙස අප ද ඒ සමග සම්බන්ධ විය යුතු යයි අපි සිතුවෙමු. (අපි යනු මම නොව, මට වඩා එහා ගිය සාමූහිකත්වයකි. මා සිටින්නේ එම සාමූහිකත්වය තුළ වන අතර, මගේ ක්‍රියාමාර්ගය පොදු තීරණයක් මත පදනම් වූවකි. මේ සටහන ද ඒ අනුව ලියූ එකකි.)

ජාතියට පුනරුදයක් අවශ්‍ය ය. ප්‍රාදේශීයව අපේ ගමටත් එය අවශ්‍ය ය. මේ සංවාදයට අප ඔබට ආරාධනා කරන්නේ එහෙයිනි. මෙය විවෘත සංවාදයක් නො වේ. ඒ සංවාදයට අප ඔබට ආරාධනා කළේ ඔබ සමාජය වෙනස් කිරීම සඳහා මැදිහත් වීමේ හැකියාවක් ඇති පුද්ගලයකු ලෙස අප විසින් හඳුනාගෙන තිබෙන නිසා ය.

යටත් විජිත පාලකයන්ගෙන් නිදහස ලබා අපගේ ම පාලකයන් පත් කරගෙන අවුරුදු 68ක් ගත වී තිබුණත්, අපි තවමත් අපේ රට පාලනය වන ආකාරය ගැන තෘප්තිමත් නැත. එපමණක් නො ව, පාලනය ගැන කලකිරීම දිනෙන් දින වැඩි වෙමින් තිබේ.

අධික ණය බරකට උර දී සිටින ශ්‍රී ලංකා රජය පවත්වාගෙන යාම ම මේ වන විට බරපතල ගැටලුවක් වී තිබේ. රජය කඩා වැටුණහොත්, දරුණු ආර්ථික පීඩනයකට මුහුණ දෙන්නට සියලු ලාංකිකයන්ට සිදු වනු ඇත. එසේම, රටේ ස්ත්‍රීන්, පුරුෂයන්, ජාතීන් හා වෙනත් ප්‍ර‍ජාවන් එක් දේශපාලන ප්‍ර‍ජාවක් ලෙස එකට එකතු කර අනාගතය වෙත යොමු කරන්නට සමත් ආණ්ඩු පාලනයක් හා ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාවක් සකසා ගැනීමට අපට තවමත් බැරි වී තිබේ. මෙම තත්වය සාමය චිරස්ථායී කර ගැනීමෙහි ලා නරක ලෙස බලපායි. සමාජයක් ලෙස අපට අපගේ හා අපගේ දරුවන්ගේ අනාගතය පිළිබඳ ඇත්තේ දෙගිඩියාවකි.

දැනට සිටින ජනගහණයට හෝ ප්‍ර‍මාණවත් සම්පත් නොමැතිව තිබියදී රටේ ජනගහණය වේගයෙන් වර්ධනය වෙමින් තිබේ. මිලියන 22ක පමණ උපරිමයකට ළඟා වනු ඇතැයි කලින් සලකන ලද ශ්‍රී ලංකාවේ ජනගහණය 2040 දශකයේදී මිලියන 25ක උපරිමයක් දක්වා වර්ධනය වනු ඇති බව දැන් ජනවිකාස විද්‍යාඥයෝ පවසති. මේ අතර, වසර 2025 වන විට රටේ ජනගහණයෙන් හතරෙන් පංගුවක් වයස අවුරුදු 60 ඉක්මවූ වැඩිහිටියන් වනු ඇත. වැඩිහිටි ජනගහණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. ජනගහණයේ යැපෙන්නන් වන ළමයින්, වැඩිහිටියන් වැනි අයට වඩා වැඩි වැඩ කළ හැකි වියේ ජනගහණයක් සිටින වාසිදායක තත්වය අපට හැමදාමත් ලැබෙන්නේ නැත. අපේ අනාගතය තීරණය වන්නේ වර්තමානයේ ළමයින් හා තරුණයන් වෙනුවෙන් කරනු ලබන ඵලදායී ආයෝජන මතයි. එහෙත්, අපේ දරුවන්ට ලබා දිය හැකි අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, නිවාස, පරිසරය ආදිය ගැන අප සිටින්නේ සතුටින් ද?

අපට එසේ වූයේ ඇයි? මෙම ප්‍ර‍ශ්නයට ජනප්‍රිය පිළිතුරු තිබේ. එහෙත්, අප කල්පනා කර බැලිය යුතුව තිබෙන කාරණයක් වන්නේ වර්තමාන තත්වය ඇති කරන්නට පුද්ගලයන් ලෙස මෙන් ම සමාජයක් ලෙස ද අප කෙතරම් දායක වී තිබේ ද යන්නයි. අප හමුවේ තිබෙන වර්තමානය මෙසේ වන එක වළක්වන්නට අප ඇත්තෙන් ම කටයුතු කළා ද? අපේ සීයලාගේ, තාත්තලාගේ කාලයේ හා අපගේ ජීවිතවල මේ දක්වා කාලය තුළ අප කළ දෙයින් අපට අපේ දරුවන්ට සුබ අනාගතයක් තහවුරු දීමට බැරි වී තිබෙන්නේ ඇයි?

මෙතෙක් ආ මග සිදු වූ වැරදි ගැන සාකච්ඡා කරන්නට, ඉදිරියට කළ හැකි දේ ගැන කතා බහ කරන්නට, තත්වයන් වෙනස් කිරීම සඳහා සාමූහිකව වැඩ කරන්නට මහජන ව්‍යාපාරයක් අවශ්‍ය යයි අප සිතන්නේ එහෙයිනි.

රටට මෙන් ම ගමට ද අවශ්‍ය විධියේ නායකත්වයක් දකින්නට නො ලැබෙන වර්තමාන තත්වය තුළ, අපට සිටින නායකයන් මෙහෙයවා ගන්නටත්, අනාගතයට අවශ්‍ය නායකයන් නිර්මානය කර ගන්නටත් එවැනි ව්‍යාපාරයක් නැතුව ම බැරි ය.

එම නිසා සම්මත දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ රාමුවෙන් පිටතට විහිදෙමින් අපි අලුත් විධියක මහජන ව්‍යාපාරයක් පිළිබඳ සාකච්ඡාවක් පටන් ගනිමු.

එය කොතනින් හෝ පටන් ගත යුතු ය. මේ එතැන යයි සිතන්න.

මෙම සාකච්ඡාව අලුත් ම ඇරඹුමක් නො වේ. මෙවර අපි එයට දායක වීම සඳහා වික්ටර් අයිවන්ට හා සරත් විජේසූරියට ආරාධනා කර තිබේ.

මතුගම, අගලවත්ත පැත්තේ සිටින ඔබ මෙයට සහභාගි වීමට කැමති නම්, 15දා  ඉරිදා පස්වරු 2.30ට මතුගම නගරයේදී හමු වෙමු. ස්ථානය හා වෙනත් විස්තර දැන ගැනීම සඳහා අද දවස ඇතුළත 034-2248197 දුරකථන අංකය අමතන්න. කරුණාකර ඔබ කවුරුද යන්න හඳුන්වා දී කතා කරන්න.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-13

එහෙම නැහැ හාමුදුරුවනේ

ස්ලොත්
ඉස්සර අපේ ගමේ බණ ගෙවල්වල අත්‍යවශ්‍ය සේවාවක් ඉටු කරපු චරිතයක් තමයි මෝනිස් අයියා.

මෝනිස් අයියා රුක් වඩුවෙක්. ඒ කියන්නේ ගස් කපන්නෙක්.

ඔහු මිටියි. වැඩ කරලා ම පෙනුම බොහොම රළුයි. කර්කශයි. ඒත්, ඔහු අහිංසක මිනිහෙක්. වැඩත් ටිකක් හෙමින්. හැබැයි සීරුවෙන්. කෙටි අත් පොරවත් අතින් අරගෙන මෝනිස් අයියා හෙමින් සැරේ ගස් දිගේ යන්නෙ හරියට අර මහා කම්මැලි පෙනුමක් තිබෙන ස්ලොත් (sloth) වර්ගයේ සතෙකු වගෙයි.

මට මතක විදියට මෝනිස් අයියා ඉරුම් පට්ටල් වැඩ කළේ නැහැ. ගස් කපන එක තමයි කළේ. ලී කොට පලංචිය උඩ තියාගෙන සති ගණන් තිස්සේ ඉරන ඉරුම්කාර යුගල අතර මෝනිස් අයියා ඉන්නවා දැකපු බවක් මට මතක නැහැ.

මෝනිස් අයියා පන්සලේ හොඳ උපාසකයෙක්. පසළොස්වක පෝයට සිල් ගන්නවා විතරක් නෙමෙයි, ගමේ ම බණ ගෙවල්වලට හාමුදුරුවන් එක්ක පසුගමන් යන්නත් මෝනිස් අයියා එකතු වුණා.

මෝනිස් අයියාගේ රාජකාරිය මොකක් ද දන්නවා ද? හාමුදුරුවන් බණට කියන වාක්‍යයක්, වාක්‍යයක් ගානේ මෝනිස් අයිය “එහෙමයි හාමුදුරුවනේ" යි කියනවා. වැදගත් කෑලිවලදි සාදු කියනවා. හැබැයි, ඔය මාතර පැත්තේ වගේ බණ දෙසන හාමුදුරුවන් “බුදු රජාණන් වහන්සේ" කියන කොට ම සාාාදු කියන විලාසිතාව අපේ ගම්වල තිබුණෙ නැහැ. මං ඒක ඇහුවෙ මාතර පැත්තෙ සිට ගුවන් විදුලියෙන් විකාශය කළ පෝ දා වැඩසටහන්වලට සවන් දෙන විටයි.

අපේ ගමේ පන්සල එතකොට වානිජකරණය වෙලා තිබුණෙ නැහැ. එහි වැඩ සිටි හාමුදුරුවන් ඔය ඉඳහිට නො වැළැක්විය හැකි හේතු මත සීලයක් දෙකක් බිඳ ගත්තාට, ගමේ මිනිසුන් හූරා නො කාපු, දානෙ නැතිනම්, තමන් ම පොල් ගහකට නැගලා කුරුම්බා ගෙඩියක් කඩාගෙන බීලා සද්ද නැතුව හිටපු, බණ මඩුවෙ, ආවාස ගෙයි සිංහල උළු එහා මෙහා වෙනකොට තමන් ම වහලට නැගලා ඒවා හදා ගත්ත, ගමේ ජනතාවගේ ආගමික ඕනැකම්වලදී ඒ වෙනුවෙන් ඇපකැප වුණු නියම හාමුදුරු කෙනෙක්.

හාමුදුරුවන්ට විතරක් නෙමෙයි මෝනිස් අයියටත් හිටි ගමන් අසූහාරදාහට කේන්ති යනවා. හාමුදුරුවෝ බණ ගෙවල්වලදි හිටි ගමන් ඇනුම්පද කියලා ලෙඩ දාගන්නවා. හැබැයි, මේ කතාව එහෙම එකක් නෙමෙයි.

ඒ දවස්වල අප පොඩි නිසා විකාර කරන ලොකු අය බීල ද, නැද්ද කියන එක අපට හරියට තේරෙන්නෙ නැහැ. අපේ හාමුදුරුවන්ටත් සමහර බණ දෙසන කොට බ්‍රේක් නැහැ. පැය ගණන් බණ කියනවා. මේක වුණේ එහෙම දවසක. එදා එක්කෝ මෝනිස් අයියා දවල් ගස් කපලා ඇඟේ පතේ රුදාවෙන් ඉන්නත් ඇති. මෝනිස් අයියා බිව්වද නැද්ද කියලා මා දන්නේ නැහැ. ඒ කාලෙ මිනිසුන් වැඩිපුර බිව්වෙ රා. 

සාමාන්‍යයෙන් බණ ය කියන්නේ ඉතින් වැඩිය කවුරුවත් අහන ජාතියක් නෙමෙයි නේ. බණ අහනවා නම් ඉතින් ලංකාවෙ බණ කියන විදියට මේක සුරපුරක් වෙන්න ඕනැ. ඒ බණේදිත් කට්ටිය සුපුරුදු විදියට නිදි කිරුවා. කොහොමත්, පැට්‍රොමැක්ස් ලාම්පුවේ හුළං බහිනකොට එන අඩ එළියේ නිදි කිරන්න ලේසියි. එදා මෝනිස් අයියත් වෙනදට වඩා කිරුවා. කොච්චර කිරුවා ද කියනවා නම් ‘එහෙමයි හාමුදුරුවනේ' කියන එකත් අමතක වුණා.

ඒක නැති වුණා ම හාමුදුරුවන්ටත් බණ කියවෙන්නෙ නැහැ වගේ වෙන්න ඇති.

"එහෙම නේද මෝනිස්?" හාමුදුරුවෝ කීප වතාවක් ම ඇහුවා.

"එහෙමයි, එහෙමයි හාමුදුරුවනේ," යි මෝනිස් අයියා නින්දෙන් නැගිටලා කලබලෙන් කියනකොට ඒක බණ දේශනාව මැද්දෙ පොඩි කොමිට් කෑල්ලක් වුණා.

කට්ටිය තමන්ට හිනා වෙන බව දැනගෙන මෝනිස් අයියට කේන්ති ගියත්, නිදිමත ඊටත් වැඩි නිසා ආයෙත් කිරා වැටුණා.

"එහෙම නේද මෝනිස්?" හාමුදුරුවෝ ඔලොක්කුවට වගේ ඇහුවා.

මෝනිස් අයියා නැගිට්ටා.

"නෑ. එහෙම නැහැ," යි කියපු මෝනිස් අයියා පාර දිගට කුටු කුටු ගගා බැන බැන කළුවරේ ම ගෙදර ගියා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-12

ජන ජීවිත කාලකණ්ණි කරන ආගම්

පන්සලක දායකයකු වන එකත් ලේසි වැඩක් නො වේ. අපේ පැත්තේ පන්සල් දායකයකු කී කරුණක් වන්නේ අද පන්සලේ පැවැත්වෙන උත්සවයක් වෙනුවෙන් රු. 5000ක් ද, අට පිරිකරකට මුදල් ද (අට පිරිකරක් නො වේ) දුන් බවයි.

හාමුදුරුවන්ට ඉන්නට මාලිගාවක් හදන ව්‍යාපෘතියකට ගෙඩි රුපියල් පනස්දාහකින් දායක වන්නට පොරොන්දු වී සිටින අපේ අම්මා මට ද රුපියල් පන්දාහකින්වත් ඒ පිංකමට දායක වන්නැයි යෝජනා කර අම්මා නිසා මගෙන් මුකුත් අහ නො ගත්තා ය.

මගේ ව්‍යාපාරික මිතුරෙකු කී කාරණයක් වන්නේ පන්සලකට යන්නට බැරි තරම් හාමුදුරුවන්ගෙන් කරදර බවයි. දැක්ක ගමන් සිමෙන්ති, වැලි, සුදු යකඩ ආදිය ඉල්ලන බවයි.

මම නම් පන්සල් නො යමි. ඇත්තම කියනවා නම් මට පන්සල පෙනෙන්නේ ම මාළු මාකට් එකක් වැනි තැනක් ලෙස ය.

ලංකාවේ මිනිසුන්ගේ ජීවිත කාලකන්නි කරන ප්‍ර‍ධාන බලවේගයක් වන්නේ පන්සල්, පල්ලි, කෝවිල් ආදී ආගමික ස්ථානයි. ශාස්තෘ භේදයකින් තොරව මේවා ජනතාවගෙන් මහා පරිමාණෙන් මුදල් කොල්ල කති. එසේ කරන්නේ ජනතාව නො දන්නා සසරකට, දෙවියන්ට බිය කිරීමෙනි. එසේම, ආගමික ආයතනවලට පරිත්‍යාග සිදු කිරීම අති උතුම් පුන්‍ය කර්මයක් ලෙස ප්‍ර‍වර්ධනය කිරීමෙන් ද ඒ සඳහා පෙළඹවීම ඇති කරයි.

ආගමික ස්ථාන විසින් අත්පත් කරගෙන තිබෙන දේපලවල ආර්ථික වටිනාකම සුළුපටු නො වේ. පූර්ව ධනේශ්වර යුගයේදී ලංකාවේ ඇතැම් ආගමික ස්ථාන සතුව විශාල දේපල ප්‍ර‍මාණයක් තිබුණු අතර ඉඩම්වල පදිංචිකරුවන් රාජකාරි හා බිම් පංගු ඔස්සේ ඍජුව ම සූරාකෑමේ අවස්ථාව ආගමික පූජකයන්ට තිබිණි.

කාමසුඛල්ලිකානු යෝගී ප්‍ර‍තිපදාවෙන් දිවි ගෙවන පූජකයන් හා ඔවුන් විසින් ප්‍ර‍වර්ධනය කරනු ලබන විවිධාකාර උත්සව අද වන විට ජනතාව සූරා කමින් ජන ජීවිත කාලකණ්ණි කරන, පහත් රුචිකත්වය වඩවන බලවේග බවට පත් වී තිබේ. 

ඵලදායී වැඩ කරන ජනතාව ආගම් පිටුදැකිය යුතු ය. දැනටත් දැවැන්ත අකාර්යක්ෂම රජයක බර උර දරා සිටින වැඩ කරන ජනතාවගේ ජීවිත තවදුරටත් කාලකණ්ණි කරන්නට ආගම්වලට ඉඩ නො දිය යුතු ය. 

ජන ජීවිත කාලකණ්ණි කරන සෙසු බලවේග වන්නේ ජ්‍යෝතිෂකාරයන්, කට්ටඩින් හා හොර වෙදුන් ය. ජනතාව මුළා කරමින් අධික ලෙස සූරා කන මොවුන්ට විශේෂ බදු පැනවිය යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-11

විමල්ට මෙහෙම වුණේ ඇයි?

ඔබේ දරුවන් වෙනුවෙන් හෝ ආපසු හැරෙන්න විමල්. 
විමල් වීරවංශගේ බිරිඳගේ අක්කා වන තනුජා නිශාන්තිගේ ස්වාමි පුරුෂයා වන බෝඹුවල දිසාවගේ ආනන්ද අශෝක කුමාරට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ අංක KB-6038, HQ-4974, GR-5774, KI-4648, KA-7440 දරණ වාහන ලබා දී තිබුණු බව ප්‍රසිද්ධ විය.

පහත වීඩියෝවේ සිටින්නේ විමල්ගේ බිරිඳගේ අක්කාගේ දුව යයි කියන අයෙකු හා ඇගේ මව ලෙස සැලකිය හැකි අයෙකි. වේදනාවේ රහස තේරුම් ගත හැකි නේ ද?

මෙම වීඩියෝවේ අවසන් හරියේ කතා කරන කාන්තාව ජවිපෙ වෙනුවෙන් පාර්ලිමේන්තුවට බෝම්බ ගැසීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ, ඒ හේතුවෙන් ම සිය බිරිය හා කුඩා දරුවා මරා දැමීමේ කෘර අත්දැකීම ලද ජවිපෙ හිටපු මහජන නියෝජිතයකු වූ අජිත් කුමාරගේ සොයුරියක විය හැකි ය. විමල් වීරවංශ විවාහ වී සිටින්නේ අජිත් කුමාරගේ තවත් සොයුරියක් සමග ය. විමල්ගේ පවුල් ගස ද එසේ මෙසේ වල් ගසක් නො වේ.

තක්කඩින්ගේ අවසන් නවාතැන ජාතිවාදය ය යන කියමනට තවත් සාක්කියක් කුමට ද? මෙම වීඩියෝවේ සිටින කාන්තාව අවසානයේදී පොලිසියට කියන්නේ යාපනයට ගොස් ගහන්නට ය කියා ය. ඒ කියන්නේ සොරුන් වුණත් සිංහලයන්ට එරෙහිව කටයුතු නො කළ යුතු ය. පොලිසිය කළ යුත්තේ දෙමළුන්ට ගැසීම ය.

උදය ගම්මන්පිල තර්ක කරන්නේ විමල් වීරවංශ වාහන අවභාවිතයට අනුබල දුන් බවට කිසිදු සාක්ෂියක් නැති බවයි. එසේ නම්, මෙම වාහන නිකුත් කළේ හුදෙක් ම නිලධාරීන් තමන්ගේ කැමැත්ත පරිදි විය යුතු ය. මෙම වාහන අවභාවිතාවන් කළ පුද්ගලයන් ද අත්අඩංගුවට ගත යුතු ය. ඉංජිනේරු සංස්ථාවේ මෙවැනි වංචා ගණනාවක් හෙළිදරව් වී බොහෝ කල් ය. වාහන අවභාවිතාවට අමතරව, විමල් වීරවංශගේ ගෝලයන් ගණනාවකට සහ ඔවුන්ගේ බිරියන්ට, ඥාතීන්ට කිසිදු වැඩක් නො කර ගෙදර සිටියදී වැටුප් පවා ගෙවන ලදී.

විමල් වීරවංශ සිය දේශපාලනයේ ආරම්භක සමයේදී අප සමග එක්ව සිටියේ ය. කැරැල්ලක් සම්බන්ධයෙන් කිසිදු කලෙක අත්අඩංගුවට පත් නො වූ විමල් වීරවංශ ජවිපෙ දේශපාලන මණ්ඩලයෙන් මහින්දගේ සමීප කවයට පිවිස, ජාතිවාදයට මුවා වෙමින් මහජන දේපල සොරකම් කිරීමට අනුබල දී රිමාන්ඩ් භාරයට පත් වීම මා නම් දකින්නේ අපගේ පැරණි මිතුරකුට සිදු වූ මහා ඛෙදවාචකයක් ලෙස ය. 

පක්ෂයේ වැඩ කිරීම සඳහා බයිසිකල් හොරකම් කරන්නට සිදු වූ හා ඒ නිසා දණ්ඩනයට ලක් වූ මිතුරන් ඇසුරු කළ අතීතයක් විමල්ට තිබිණි. අතීතයේ විමල් ඇසුරු කළ ඒ හිතවතුන් තව දුරටත් ජවිපෙ සිටියත් නැතත්, යම් ජීවන පරමාදර්ශ රැක ගනිමින් තවමත් එවැනි අහිංසක ජීවිත ගත කරන බව විමල් නො දන්නවා විය නො හැකි ය.  

මේ වනාහි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉතා මන්දගාමී පරීක්ෂණයක ප්‍රතිඵලයකි. මෙම පරීක්ෂණය ද සිදු වී තිබෙන්නේ ඉතා අකාර්යක්ෂම අයුරින් නිසා විමල්ට ඇප හා නිදහස ලබා ගැනීම දුෂ්කර නො වනු ඇත.

විමල් සිය අත්අඩංගුවට ගැනීම ගැන දොස් පවරන්නේ මීට කලින් වතාවක විදේශ ගමන් බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වන්නට නියමිතව සිටියදී බේරා යැවීමට මැදිහත් වූ රනිල් වික්‍රමසිංහට ය.

රාජ්‍ය සේවයට දේශපාලන ඇඟිලි ගැසීම් සිදු වීම වළක්වා ගන්නට අවශ්‍ය පසුබිම මේ වන විට නිර්මානය වී තිබේ. රාජ්‍ය සේවකයන් කළ යුතුව තිබෙන්නේ එම පසුබිම භාවිතා කරමින් ඇඟිලි ගැසීම් වළක්වා ගැනීම හා නීත්‍යානුකූලව වැඩ කිරීම මිස ඇඟිලි ගසන තෙක් බලා සිටීම නො වේ. රාජ්‍ය සේවය යහපත් අන්දමින් වෙනස් කිරීමේ මූලික වගකීම ඇත්තේ රාජ්‍ය සේවකයන්ට හා ඔවුන්ගේ වෘත්තීය සමිතිවලට ය. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය ගොඩනගා ගැනීම දේශපාලකයන්ගෙන් බලාපොරොත්තු විය යුතු දෙයක් නො වේ.

එහෙත්, අවාසනාවට එය සිදු වන්නේ නැත. වෘත්තීය සමිති කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමට රජය පැත්තෙන් ඉදිරිපත් වන යම් කිසි යෝජනාවක් තිබේ නම් එයට එරෙහි වීම පමණි. රාජ්‍ය සේවකයන්ගේ පැත්තෙන් කිසිවක් සිදු වන බවක් නො පෙනේ. රජය යනු දේශපාලකයන්ගේ බූදලයක් නො වේ. රජය ජනතාවට අයත් දෙයකැයි අපි විශ්වාස කරන්නේ නැත. මන්ද, රජය එය භාවිතා කරන්නේ මහජන මුදල් අවශෝෂණය කර ගැනීමට පමණි. රජයේ හිමිකරුවන් වන්නේ ප්‍රධාන වශයෙන් ම දේශපාලකයන් හා රජයේ සේවකයන් ය. තමන්ගේ යැපුම් මාධ්‍යය වන රජය හරියට ගොඩනගා ගැනීමට රජයේ සේවකයන් මහන්සි විය යුතු ය. එය නඩත්තු කිරීම වෙනුවෙන් ජනතාව උසුලා සිටින අධික ණය හා බදු බර යම් දුරකට හෝ සාධාරණීකරණය කිරීමට රජයේ සේවකයන් උත්සාහ කළ යුතු ය.

රාජපක්ෂ පවුලේ සිට විමල් වීරවංශලා හරහා බැඳුම්කර සිද්ධිය දක්වා යුක්තිය පමා වීම රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව කදිමට නිරූපණය කරයි.

විමල් වීරවංශට ඇප ඉල්ලා සිටිමින් අධිකරණයට ඉදිරිපත් කරන ලද එක් හේතු කාරණාවක් වන්නේ විමල්ගේ දියනියගේ මානසික තත්වයයි. විමල් ජවිපෙ සමග සම්බන්ධ වන්නේ වර්තමානයේ ඔහුගේ දරුවන් බඳු ළමයකු ලෙසයි. ඒ වකවානුවේ විමල්ගේ පවුල වනාහි ඉතා දිළිඳු, කුල පීඩිත පවුලකි. විමල්ගේ දියනියට අද තිබෙන සැප සම්පත්වලින් අංශු මාත්‍රයක් විමල් කියන ළමයාට තිබුණේ නැත. එහෙත්, ඔහුට වඩා නිරවුල් මනසක් තිබිණි. ඔහුගේ දිළිඳු මව වරෙකත්, පියා වරෙකත් සොරකම් සම්බන්ධයෙන් සිරගත වන තත්වයකට ඔහු මුහුණ දුන්නේ නැත. 

විමල්ලා මේ රටේ අනාගතය විනාශ කරන්නේ තමන්ගේ දරුවන්ගේ ද මානසිකත්වය සමගයි. ධනය නො තිබුණත්, ඔහු ළඟ බොහෝ සුන්දර දේ තිබිණි. එක් විරු සමරුවකට ඔහු ඇතුළු පිරිස විසින් රහසේ නිර්මානය කර, ප්‍රදර්ශනය කරන ලද හැඟීම්බර සමරු නිර්මානයක් තවමත් මගේ සිතේ ඇඳී තිබේ. 

එදා සිටි අව්‍යාජ විමල් මෙවන් මහජන දේපල සොරකු වීම ගැන වගකිව යුත්තේ විමල් පමණක් නො වේ. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-01-10

ආයෙමත් හඩන්න. විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි වන්නේ නැත.

ගුරු විද්‍යාලයේදී මා සමග සිටි මගේ පැරණි මිතුරකු වන සුනිල් විහිළුවට මෙන් ඕනෑම දෙයකට බනින්නේ ජේ.ආර්.ට හා විවෘත ආර්ථිකයටයි. උගේ කකුල ගලක හැපුණත් “අම්මගෙ රෙද්දෙ විවෘත ආරථිකේ. ජේ.ආර්. නිසා තමයි මගෙ කකුල ගලේ හැපුණෙ," යි සුනිලා කියයි.

මේ අන්දමින් ම ලංකාවේ පවත්නා සියලු පිරිපතට හේතුව විධායක ජනාධිපති ක්‍ර‍මය යයි සිතන පිරිසක් ද සිටිති. විධායක ජනාධිපති ක්‍ර‍මය වෙනස් කිරීම යන සටන් පාඨය මතු වන්නේ එක්තරා හැඟීම්බරභාවයකිනි. ඒ පිටුපස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ සිට මෛත්‍රීපාල සිරිසේන දක්වා ජනාධිපතිවරුන්ගේ කඩවුණු පොරොන්දු තිබේ.

විධායක ජනාධිපති විරෝධීන්ට නැවත වරක් හඩා දොඩා වැළපෙන්නට ද, ඒ වැඩේ කරවා ගන්නට ය කියා තවත් වරක් කාගේ හෝ පස්සෙන් යන්නට ද අවස්ථාව තිබේ. 

විධායක ජනාධිපති ක්‍ර‍මය ගැන කතා කිරීමේදී අප මෙය ද සිහිපත් කර ගත යුතු ය. දැන් එය දශක හතරක් මේ රටේ ක්‍රියාත්මක ය. කලින් පැවති වෙස්ට් මිනිස්ටර් ක්‍ර‍මය තිබුණේ දශක තුනකි. එය තිබියදී හමුදා කුමන්ත්‍ර‍ණ දෙකක් මේ රටේ ඇති විය. දැවැන්ත තරුණ කැරැල්ලක් ද, දීප ව්‍යාප්ත හර්තාල් ව්‍යාපාරයක් ද පැවැත්විණි. සිරිමාවෝ බණ්ඩාරනායක විධායක බලතල පාවිච්චි කර ඡන්ද නො පවත්වා ජනවරමකින් තොරව අවුරුදු දෙකක ධුර කාලයක් අමතරව භුක්ති වින්දා ය.

විධායක ජනාධිපති බලතල ඉතා ම නරක විධියට භාවිතා කළේ චන්ද්‍රිකා බණ්ඩාරනායකයි. ඡන්දයෙන් පත් වූ ආණ්ඩුවක බලය පැහැර ගැනීම සඳහා ඇගේ විධායක ජනාධිපති බලතල පාවිච්චි කිරීමට ඇය තල්ලු කළේ ජනතා විමුක්ති පෙරමුණයි.  

කුමන බලයක් වුවත්, නරක පුද්ගලයකු අතට පත් වුවහොත් එයින් සිදු වන්නේ අනර්ථයකි. කුමන අඩුපාඩු තිබුණත්, වත්මන් ජනාධිපතිවරයා වනාහි විධායක බලතල පමණ දැන පරිහරණයෙහි සමර්ථයෙකි. එහෙත්, මේ රටේ විධායක ජනාධිපති ක්‍ර‍මයට විරුද්ධ අය පවා කියන්නේ එය කොන්ද පණ නැතිකමක් ය කියා ය. 

ජනතාව ජනාධිපතිවරණයට තරග කරන පුද්ගලයාගේ තරාතිරම ගැන අවබෝධයකින් කටයුතු කිරීම වැදගත් වන්නේ එහෙයිනි. 2005දී මේ රටේ ජනතාව විධායක ජනාධිපති ධුරයට පත් කර ගත්තේ සුනාමි අාධාර වංචා කිරීමට උත්සාහ කර අතට ම අසු වූ පුද්ගලයෙකි. 

2014 නොවැම්බර් 26දා මම මෙසේ ලියුවෙමි. (සම්පූර්ණ සටහන මෙතනින් කියවන්න)

විපක්ෂ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී දින සියයකින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බව කියයි.

මෙය කළ නො හැකි ය.

අපි වඩා ප්‍රායෝගිකව කල්පනා කරමු. විධායක ජනාධිපති ක්‍රමය ගෙන ආ 1978 එක්තරා ආකාරයක ව්‍යවස්ථා විප්ලවයක් සිදු වූ අවස්ථාවකි. එය අහෝසි කර අප කොතැනකට හෝ යනවා නම් එය ද ව්‍යවස්ථා විප්ලවයකි. ජනාධිපතිවරණයට තිබෙන්නේ තව දින 45ක පමණ කාලයකි. ඒ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයක් ගැන වෙන ම සංවාදයක් කළ නො හැකි ය. ජනාධිපති ධුරයට පත් වී දින 100ක් ඇතුළත ද තව බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වේ.

පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුත්තේ ගැඹුරු මහජන සංවාදයක් ඔස්සේ මිස මෙවැනි හදිසියකින් නො වේ.

අනෙක් පැත්තෙන්, 1978ට පෙර තිබුණු ක්‍රමය ඉතා හොඳ එකකැයි කියන්නට ද බැරි ය.

ඒ නිසා පොදු අපේක්ෂකයා යා යුත්තේ වඩා ප්‍රායෝගික තැනකටයි.

විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් අහෝසි කළ යුතු නැත.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍ර‍කාශ වන්නටත් පෙර 2015 ඔක්තෝබර් 8දා අපි මෙසේ ලියුවෙමු. මෙම කොටස අදටත් වලංගු නිසා නැවත පළ කරමි. එහි ඇති සමහර කරුණු වෙනස් වී තිබේ.

ලංකාවේ ගැටලුව තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට වඩා මහජනතාව තුළ ය. ලංකාවේ ජනතාව අතර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති අවබෝධය දිය වී යමින් තිබේ. මෙය දිය කර දමමින් තිබේ යයි කියන්නට ද පුළුවන. එහෙත්, එය තනිකර ම ජනාධිපතිවරයාගේ වරදකැයි සැලකිය නො හැකි ය. රටේ බුද්ධිමතුන්ගෙන් බහුතරයක් උන්නතිකාමී, පාරිභෝජනවාදී අවශ්‍යතා මත දූෂිත දේශපාලකයන්ට ඇම්බැට්ටකම් කරන සංදර්භයක් තුළ ජනතාවට සත්‍යාවබෝධය ලැබේ යයි අපේක්ෂා කළ හැකි ද?
ජනතාව ශක්තිමත් වන්නේ නම්, විධායක ජනාධිපති ක්‍රමය තුළ ම ජනාධිපතිවරයා පාලනය කළ හැකි නියාමනයන් සකස් කර ගත හැකි ය.
ලංකාවේ නම්, පක්ෂ මාරු කිරීම සම්බන්ධ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා විධිවිධාන නිසි පරිදි ක්‍රියාත්මක වන රාමුවක ජනාධිපතිවරයාට මෙතරම් බලයක් ගොඩනගා ගත නො හැකි ය. ජනාධිපති බලය ඉදිරියේ නගුට දෙපරැන්දේ ගසා ගත් දූෂිත, නිවට කැණහිලුන් වෙනුවට සැබෑ මහජන නියෝජිතයන්ගෙන් සැදුම් ලත් පාර්ලිමේන්තුවක් පත් වේ නම් ව්‍යවස්ථාදායකය ශක්තිමත් කර ගැනීම සඳහා පියවර ගන්නට බැරිකමක් නැත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 (3) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩි ම විශ්වාසය ඇති මන්ත්‍රීවරයා ය. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා විධිවිධාන තවමත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ තිබේ. 

එසේම, ජනාධිපතිට හිමි නීතිමය මුක්තිය ඉවත් කිරීම, දෙවරකට වඩා පත් විය නො හැකි බවට වූ නීතිය නැවත ගෙන ඒම, සිව් වසරකට පසුව ජනාධිපතිවරණයකට යන්නේ නම්, එයින් පසු වහා දිව්රුම් දිය යුතු බවට නීති සම්පාදනය, ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම සඳහා වූ 17වන අාණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ගෙන ඒම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්නට පුළුවන. 

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ම සංශෝධනය කළ යුතු යයි කියන අය බලය බෙදීම ගැන පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නේ නැත. ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ වැනි ජාතිවාදී පක්ෂවලට අවශ්‍ය වී තිබෙන්නේ පළාත් සභා පිහිටුවන්නට ඉවහල් වූ 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම අහෝසි කරන්නට ය. එවිට ජාතික ප්‍රශ්නයට බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ ක්‍රියාවලියට සිදු වන්නේ කුමක් ද?

13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හැකි වටපිටාවක් නිර්මානය කිරීම ද ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට හේතු වෙයි. ඒ සඳහා ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කළ යුතු ය. 

සමානුපාතික නියෝජනය හා මන්ත්‍රී ආසන ක්‍රමයේ සම්මිශ්‍රණයකින් යුත් මැතිවරණ ක්‍රමයක් සම්බන්ධයෙන් ඉතා හොඳ යෝජනා සාකච්ඡා වී තිබේ. ඒවා අන්තර්ගත වන සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පුළුවන. ඒ ඔස්සේ වත්මන් මනාප ඡන්ද ක්‍රමයේ දුර්ගුණ දුරලන්නට   පුළුවන. ඒ සඳහා අවශ්‍ය නම් මන්ත්‍රී ආසන සංඛ්‍යාව වැඩි කරන්නට පුළුවන. 

දූෂණ අවම කරන්නට අවශ්‍ය පියවර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ගත හැකි ය. පළාත් සභාවල ඇමති මණ්ඩලය පළාත් සභා පනතින් ම සීමා කර තිබේ. මධ්‍යම ආණ්ඩුවේ ඇමති මණ්ඩලය සීමා කිරීමේ විධිවිධාන ද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් ගත හැකි ය. තවත් මෙවැනි ක්‍රියාමාර්ග රැසක් මේ වන විටත් සාකච්ඡා වී තිබේ.

අප ඉදිරිපත් කරන මූලික තර්කය මෙයයි. විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන පෙළගැස්මක් ඇති කළ යුතු ය. ඒ සඳහා මහජනයා අතර ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවක් ඇති කළ යුතු ය. පවතින ඒකාධිපතිවාදී, ප්‍රජාතන්ත්‍ර විරෝධී පරිසරය තුළ එය සිදු වන්නේ නැත. 
එබැවින් විප්ලවීය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ සාකච්ඡා ද ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒවා කිසියම් කණ්ඩායමක අධිපතිවාදී මැදිහත්වීම් ය. 1972 හා 1978 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අපට ලැබුණේ එවැනි ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලෙසයි. 

අප විසින් කළ යුතුව තිබෙන්නේ පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පටන් ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා පවත්නා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ඔස්සේ ගත හැකි ක්‍රියාමාර්ග පළමුව ගත යුතු ය. ජනතාව තීරණ ගැනීමේ ක්‍රියාවලිය සමග සක්‍රියව සහභාගි වන, ප්‍රජාතන්ත්‍රවාදය ගැන සමාජ කතිකාවතක් පවතින සංදර්භයක අපට මෙතැනින් ඉදිරියට යාම ගැන සිතිය හැකි ය. 

එහෙම නොමැතිව, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා පෙරළි හා විප්ලව පිළිබඳ ඉදිරිපත් වන අදහස් හුදු පුද්ගල හිතලු හා ජනතාව රැවටීමේ උපායමාර්ග පමණක් බව කිව යුතු ය. 

සරළව කිවහොත්, ආණ්ඩු ක්‍රම සංශෝධනය කරන්නට යෝජනා කරන අය මෙතනින් පටන් ගන්නට කැමති ද යන්න පැහැදිලි කළ යුතු ය.
  • ජනාධිපති සතු නීතිමය මුක්තිය අහෝසි කිරීම
  • දෙවරකට වඩා පත් විය නො හැකි නීතිය යළි ගෙන ඒම
  • මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම
  • සමානුපාතික නියෝජනයෙන් පත් වන මන්ත්‍රීන් පක්ෂ මාරු කිරීම නතර කිරීම සඳහා පියවර ගැනීම
  • 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණව ක්‍රියාත්මක කළ හැකි විශ්වාසනීය වටපිටාවක් නිර්මානය කිරීම
  • 17වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නැවත පිහිටුවීම
  • ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ම ඇමති මණ්ඩලය සීමා කිරීම
  • දූෂණයට එරෙහි දැඩි පියවර ගැනීම
විප්ලව නැති වුණාට කමක් නැති ය. වෙලාවේ හැටියට එක් ධුර කාලයක් තුළදී  මේ ටික කරනවා නම් වුණත් ඇති ය.
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.