2017-02-28

කලුතර, පෑලියගොඩ, සයිටම් හා බැඳුම්කර කොමිෂම

අතිශය වැදගත් ප්‍රචණ්ඩකාරී සිදුවීම් කීපයක් ඔස්සේ රටේ පවත්නා තත්වය ගැන අදහසක් ඇති කර ගත හැකි ය.

1. කලුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් රැගෙන පිටත් වූ බසයට එල්ල කරන ලද ප්‍රහාරය හා එයින් සිරකරුවන් පස්දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලැබීම

2. පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවකු අත්අඩංගුවේදී මිය යාම

3. සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ඔහු විසින් ම රඟ දක්වා ගන්නා ලද ජවනිකාවක් බවට තොරතුරු හෙළිදරව් වීමත් සමග ඔහු අත්අඩංගුවට පත් වීම

4. කුප්‍රකට බැඳුම්කර සිද්ධිය සම්බන්ධ ජනාධිපති කොමිෂමේ විමර්ශනයෙන් හෙළි වන තොරතුරු

කුප්‍රකට භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය හැර අනෙක් සිද්ධි තුන දේශපාලන අධිකාරියේ මෙහෙයවීමෙන් සිදු වූ ඒවා ලෙස සැලකිය නො හැකි ය. ඒවා වනාහි ඉතා පැහැදිලිව ම සමාජයේ තිබෙන අනාරක්ෂිතභාවයේ හා ගොඩනැගෙමින් තිබෙන අරාජිකත්වයේ ප්‍රකාශන වේ.

දේශපාලන බලාධිකාරය එක් පැත්තකින් දුර්වල වෙමින් තිබෙන අතර අනෙක් පැත්තෙන් බලය බෙදී යාමක් ද දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පෙරට ගන්නා ලද බැලයකු වන බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රිය පළාත් සභා බලතල වෙනුවෙන් කරන පෙනී සිටීම තුළ දක්නට ලැබෙන්නේ මෙම බලය බෙදී යාමෙහි තිබෙන සුබවාදී ලක්ෂණයකි.

එහෙත්, දේශපාලන බලාධිකාරය අත බුරුල් කරන විට රාජ්‍ය සේවය ශක්තිමත් ලෙස නැගී සිටිමින් සිය ස්ථානය තහවුරු කර ගන්නවා වෙනුවට සිදු වුණේ මෙතෙක් දේශපාලකයන්ගේ අමනකම්වලට මුවා වී සිටි රාජ්‍ය නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවේ නිරුවත හෙළිදරව් වීමයි.

එහි නවතම ජවනිකාව මේ වන විට බැඳුම්කර ජනාධිපති කොමිෂම ඉදිරියේ දිගහැරෙමින් තිබේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම් සමරතුංගගේ සිට රාජ්‍ය නිලධාරීන් වගකීම් භාර නො ගෙන නන් දොඩවන ආකාරය දක්නට ලැබේ. මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ එක බූරුවෙකු හෝ කිසි දෙයක වගකීමක් භාර ගන්නේ නැත. අවසානයේදී මහින්ද රාජපක්ෂත් මොවුන්ගේ ගොදුරක් වී ඇති බව හෙළිදරව් වී තිබේ.

මෙය ඇත්තෙන් ම මේ වන විට සමස්ත රාජ්‍ය සේවයේ ම තත්වයයි.

එපමණක් නොව, ආණ්ඩුවේද තත්වය එය ම ය. රාජ්‍ය නායකයන් දෙදෙනා වන ජනාධිපති හා අගමැති හැසිරෙන්නේ කිසිවක වගකීමක් ඇති නායකයන් දෙදෙනෙකු ලෙස නො වේ. ඇමතිවරුන් යයි කියන අය ඊටත් එහා ය. ඔවුන් ඉන්නේ ආණ්ඩුවේ ද විපක්ෂයේ ද යන්න හෝ ඔවුහු නො දනිති.

කෙටියෙන් කීවොත්, මේ වනාහි කිසිවෙක් කිසිවක වගකීම භාර නො ගන්නා රාජ්‍යයකි. වැඩ කරන ජනතාවට පමණක් මෙම රජය නඩත්තු කිරීමේ අවාසනාවන්ත වගකීම භාර ගන්නට සිදු වී තිබේ.

ඉහත දක්වන ලද ප්‍රචණ්ඩ සිදුවීම් අතරින් දරුණු ම ප්‍රචණ්ඩ ක්‍රියාව කුමක්දැයි යමෙකු ඇසුවොත්, මා නම් කියන්නේ සත් මිනීමැරුමටත් වඩා භයානක ප්‍රචණ්ඩ ක්‍රියාව සයිටම් ප්‍රධාන විධායක නිලධාරියාගේ නාටකය බවයි.

ඒ සම්බන්ධ පොලිස් විමර්ශන සම්බන්ධ වාර්තා සත්‍ය නම්, එය ඉතා පැහැදිලිව ම භයානක දේශපාලන කුමන්ත්‍රණයකි. කිසිදු සමාවක් නො දී දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු සිද්ධියකි.

හේතුව මෙම ප්‍රහාරය එල්ල වන මොහොත වනාහි සයිටම් යනු රටේ කේන්ද්‍රීය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් වී තිබුණ මොහොතකි. එවන් තත්වයන් තුළ කුමන්ත්‍රණකරුවන්ට මෙවැනි කටයුතු කිරීමට කිසි සේත් ම ඉඩ නො දිය යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-27

කුමාර් ගුනරත්නම්ට ලැබුණු සෙසු දේශපාලන සිරකරුවන්ට නො ලැබෙන දෙය

යමෙකු දේශපාලන සිරකරුවකු වන්නේ රටක පවත්නා රජයට එරෙහිව කරනු ලබන කටයුතු හේතුවෙනි. එහෙත්, එම පුද්ගලයාට එරෙහිව වෙනත් නීතිමය චෝදනා එල්ල විය හැකි ය.

නිදසුනක් ලෙස, විමල් වීරවංශ දේශපාලන සිරකරුවෙකු යයි අපි සිතමු. හේතුව, ඔහු සිරගත කර තිබෙන්නේ ඔහු පවත්නා රජයට එරෙහිව කටයුතු කිරීම නිසා ය. එසේ නො වේ නම්, වර්තමාන රජයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් හොබවන ආශු මාරසිාහ හා නියෝජ්‍ය ඇමති ලසන්ත අලගියවන්න ද විමල් වීරවංශට එල්ල කරන චෝදනාවේ ම විත්තිකරුවකු විය හැකි ය.

එහෙත්, විමල් වීරවංශට එරෙහිව නැගෙන චෝදනා ඉතා පැහැදිලිව ම පදනමක් සහිත දූෂණ චෝදනා වේ. විමල් වීරවංශ හොරෙකු යයි චෝදනා කළ හැකි ය. එහෙත්, තවත් බොහෝ බලවත් හොරුන්ට ක්‍රියාත්මක නො වන නීතිය විමල් වීරවංශට එරෙහිව ක්‍රියාත්මක වන්නේ ඔහු හොරෙකු පමණක් නොව දේශපාලකයකු ද වන හෙයිනි.

කුමාර් ගුනරත්නම් ද දේශපාලන සිරකරුවෙකු වී සිටියේ ය. එහෙත්, ඔහු ඉතා පැහැදිලිව ම ආගමන විගමන නීති උල්ලංඝනය කළ අයෙකි. ඒ සම්බන්ධයෙන් ඔහුට තවත් චෝදනා එල්ල කළ හැකි මුත්, ආණ්ඩුව දේශපාලන උද්ඝෝෂණවලට සවන් දෙමින්, නීතියට උඩින් කටයුතු කරමින් ඔහුට පුරවැසිභාවය ද ලබා දුන්නේ ය.

කුමාර් ගුනරත්නම් දෙමළ ජාතිකයෙකි. ඔහුගේ මව හා පියා ද දෙමළ ජාතිකයෝ ය. එහෙත්, සිංහල ජාතිවාදී ජනතා විමුක්ති පෙරමුණ තුළ ඔහු කෙතරම් සිංහල ජාතිවාදයේ ගිලී ගියා ද යත්, කලෙක ඔහු පක්ෂය තුළ භාවිතා කළ නම වන්නේ සිංහල ජාතිවාදී අධිපති කතිකාවේ සංකේතාත්මක චරිතයක් සිහි කරන ගැමුණු යන නමයි.

දෙමළ ජාතිකයකු වන කුමාර්ට රජයේ සානුකම්පාව හිමි වන්නේ ද, නීතියට ඉහළින් වරප්‍රසාද ලත් පුද්ගලයකු වන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ ද මේ සිංහලකරණය නිසා ය.

කොටි සංවිධානයේ දෙවන පෙළ නායකයන් වූ කේ.පී., කරුණා අම්මාන් වැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නො වන්නේ ද ඔවුන් සිංහල ස්වෝත්තමවාදයේ සුරතලුන් වන්නට සමත් වූ නිසා ය.

කොටි සංවිධානය හා එහි නායකත්වය විශ්වාස කර මිනීමැරූ, බෝම්බ පිපිරවූ, හමුදාවලට හා පොලිසියට පහර දුන්, ඔත්තු දුන් සිය ගණනක් සාමාන්‍ය කොටි ක්‍රියාධරයන් දීර්ඝකාලීනව සිරගත වී සිටින්නේ කරුණා, කේපී වැනි ඔවුන්ගේ නායකයන් හා වෙනත් ඇති හැකි අය නීතියෙන් ගැලවී සිටින සංදර්භය තුළ ම ය.

ඔවුන් ඇතැමෙකුට කිසිදු ගැලවීමක් නැත. මෙවැනි දේවල් 1989 කැරැල්ල ආශ්‍රිතව ද සිදු විය. ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සෝමවංශ අමරසිංහට එරෙහිව කිසිදා නීතිය ක්‍රියාත්මක නො වූ මුත්, ඔහුට රටින් පැන යන්නට උදව් කළ කපිතාන්වරයකුට සිරබත් කෑමට සිදු විය. සෝමවංශ ලංකාවට එද්දීත්, 1989දී ජවිපෙ අණ මත කරන ලද ප්‍රේමකීර්ති ද අල්විස් ඝාතනය වැනි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අය සිරගතව සිටිය හ.

නීතිය ඉදිරියේ සියල්ලන් ම සමාන යයි කීවාට සමහරුන් වැඩිපුර සමාන වන බවට තවත් උදාහරණ අවශ්‍ය ද?

පසුගිය දිනෙක පුවත්පතකට කුමාර් ගුනරත්නම් දුන් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණේ ‘මට මගේ අයිතිය ලැබුණා, එච්චරයි!' කියා ය.

ඔහුගේ අයිතිය ලැබීමත් සමග ම, ඔහු වෙනුවෙන් පෙළගැසී සිටි වාමාංශිකයෝ දේශපාලන සිරකරුවන් පිළිබඳ උද්ඝෝෂණය අමතක කර දැමූ හ. ලංකාවේ වාමාංශිකයන්ගේ බොරු දෙමළ ප්‍රේමය ගැන මීටත් වඩා තවත් උදාහරණ අවශ්‍ය ද?

දෘෂ්ටිවාද, දේශපාලන ව්‍යාපාර හා නායකයන් විශ්වාස කර, ඔවුන්ගේ ඇණැවුමෙන් හෝ පෙළඹවීමෙන් නීතිය නො තකා වැරදි කළ ඇතැමෙකුගේ ඉරණම අවසානයේදී සිරගෙදර තීන්දු වන ආකාරය ගැන උදාහරණ හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඉලක්‌ක කර කොටි සංවිධානය නගර සභා පිටියේදී එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරය සම්බන්ධයෙන් වසර 300කට සිරගත වූ රඝුපති ෂර්මා පූජකවරයාගේ සිට මිරිසුවිල් සමූහ ඝාතනය සම්බන්ධයෙන් මරණ දඩුවම නියම වූ හමුදා සාජන් මේජර් සුනිල් රත්නායක දක්වා ඕනෑ තරම් තිබේ.

රඝුපති ෂර්මා හා සුනිල් රත්නායක ද දේශපාලන සිරකරුවෝ ය. ඔවුන්ගේ ප්‍රශ්නයට සෝමවංශලාට, කේපීලාට, කරුණාලාට, කුමාර්ලාට ලැබුණු අන්දමේ සරළ විසඳුම් තිබේ ද?

පැහැදිලිව ම නැත. වෙනස ඇත්තේ කොතැන ද? සමාවක්, දයාවක් නො ලැබෙන්නේ පීඩිතයාටයි.

පීඩිතයන්ගේ දේශපාලනය ගැන අපට කීමට තිබෙන තිත්ත ඇත්ත වන්නේ ඔබේ ජීවිතය ඉල්ලා සිටින දේශපාලකයන් කිසිවෙකු විශ්වාස නො කරන්න ය කියායි.

තරුණයිනි, බිලි බෝයිලා නො වන්න. ඔබේ ජීවිතය ගැන ඔබ වගකීම් සහගත වන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-26

පාසල් ස්පෝට්මීට් අධ්‍යක්ෂ වලිය

ජාත්‍යන්තර පාසලක ක්‍රීඩාවල ග්‍රාමීය තත්වය 
අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ක්‍රීඩා අධ්‍යක්‍ෂවරයා ලෙස යුද හමුදා කර්නල්වරයකු පත්කිරීමට එරෙහිව ලබන මාර්තු 1දා අසනීප නිවාඩු දමා සේවයට වාර්තා නොකිරීමට අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය තීරණය කර ඇත.

අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සේවයට නො පැමිණ සිටියා ය කියා ලොකු දෙයක් වේ යයි සිතිය නො හැකි ය. මන්ද, ඔවුන් සේවය කළා ය කියා ද එතරම් දෙයක් වන්නේ නැත.

ඔවුන්ගේ ඉල්ලීම වන්නේ අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක් වන පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයට අධ්‍යාපන ඇමතිවරයා විසින් පත් කරන ලද කර්නල් මංජුල කාරියවසම් ඉවත් කිරීමයි.

මෙම පත්කිරීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා කලාප, පළාත් සහ සමස්‌ත ලංකා යන සියලු පාසල් ක්‍රීඩා තරග සංවිධාන කටයුතුවලින් ඉවත් වීමට ද අධ්‍යාපන පරිපාලන සංගමය තීරණය කර තිබේ.

මෙය පාසල් ක්‍රීඩා පිළිබඳ කතා කිරීමට කදිම නිමිත්තකි. ඇත්තෙන් ම ලංකාවේ පාසල් ක්‍රීඩා හරියට කෙරෙනවා ද?

පාසල් මට්ටමින් ක්‍රීඩා හරි හැටි සිදු වන්නේ ප්‍රධාන පාසල්වල හා ක්‍රීඩා පාසල්වල පමණි. අනෙක් පාසල් මට්ටමින් සිදු වන්නේ වාර්ෂිකව ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමයි. මූලික අවධානය යොමු කරන්නේ උත්සවයේ සංදර්ශනාත්මකබව කෙරෙහි මිස ක්‍රීඩාව කෙරෙහි නො වේ. බොහෝ පාසල් ක්‍රීඩා තරගවලට සිසුන්ගේ සහභාගිත්වය අවම ය. ක්‍රීඩා උත්සවය පැවැත්වෙන දිනයේ පැවැත්වෙන සංකේතාත්මක තරගවලට පවා ඇතැම් විට සියලු නිවාසවලින් ක්‍රීඩකයෝ සහභාගි නො වෙති. සරඹ කණ්ඩායම්, බෑන්ඩ් කණ්ඩායම් ආදියේ ඇඳුම් ගැන දක්වන සැලකිල්ල ක්‍රීඩකයන්ගේ ඇඳුම් කෙරෙහි හෝ දක්වනු දක්නට නො ලැබේ. බොහෝ විට කණ්ඩායම් ධාවන තරග ආදියෙහි යෂ්ටි මාරු කිරීම් ආදිය ඇත්තේ ඉතා දුර්වල තත්වයක ය. ඇත්ත තත්වය එයයි.

සරළව කීවොත් ස්පෝට්මීට්වල නැති ප්‍රධාන දෙය ක්‍රීඩාවයි.

කොට්ඨාස, කලාප ක්‍රීඩා මීටත් අන්ත ය. දැන් කොට්ඨාස ක්‍රීඩා තරග නො පවත්වා කෙළින් ම කලාප තරග පැවැත්වීට තීරණයක් ගෙන ඇති බව වාර්තා වේ. මේවා කෙසේ කෙරෙනු ඇද්ද?

දැනට නම් මේ තරග සම්බන්ධයෙන් පරිපාලන නිලධාරීන්ගේ ආකල්පය නම් මොනවා හරි කර ඉවර කර දැමීමයි. ඇතැම් තරග පැවැත්වෙන ආකාරය ඉතා විසුළු සහගත ය. උදාහරණයක් ලෙස, කණ්ඩායමක ක්‍රීඩකයන් 11ක් ක්‍රීඩා කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරග ඇතැම් විට පවත්වන්නේ පන්දු හතරේ පන්දු වාර පහක් ලෙසයි. කලාප මට්ටමේ ක්‍රීඩා තරගවලට ද දැන් ස්පෝට්මීට් මානසිකත්වය ගසා තිබේ. පාසල් ස්පෝට්මීට් විදුහල්පතිලාගේ කලර්ස් පෙන්නන වැඩසටහන් වන්නේ යම් සේ ද, කලාප ක්‍රීඩා පරිපාලන නිලධාරීන්ගේ කලර්ස් පෙන්නන අවස්ථා වේ.

ප්‍රාදේශීය මට්ටමෙන් දක්ෂ ක්‍රීඩකයන් නිසි පරිදි හඳුනා ගැනීමේ හෝ ඔවුන්ට ඉදිරියට යාමට අත දීමේ කිසිදු විධිමත් ක්‍රමවේදයක් නැත.

අවුරුද්ද පුරා පාසල්වල ක්‍රීඩා පුහුණුවීම් නිසි පරිදි වෙන්නේ නැති තරම් ය. ක්‍රීඩාවලට සහභාගි වන්නේ සිසුන්ගෙන් ඉතා සුළු පිරිසකි. ඒ ද ස්පෝට්මීට් ඉලක්ක කරගෙන පමණි.

පාසල් මලල ක්‍රීඩාවලට වඩා කණ්ඩායම් ක්‍රීඩාවල තත්වය මඳක් ඉහළින් තිබේ. ඒ පාසල් ක්‍රීඩා සංගම් නිසා ය. එහෙත්, ඒවායේ ද ගැටලු රැසක් තිබේ.

සමස්තයක් ලෙස පාසල් ක්‍රීඩා පසුගිය දශකයක පමණ කාලය තුළ දැවැන්ත පිරිහීමකට ලක් වී තිබේ. එය රටේ ක්‍රීඩාව සමස්තයක් ලෙස පිරිහීමට හේතු වී තිබේ. ක්‍රීඩාවේ පිරිහීම සෞඛ්‍යයේ පරිහාණියට ඉවහල් වේ. අධ්‍යාපන පරිපාලන සංගමයේ නිලධාරීන්ගෙන් හෝ වෙන කාගෙන් හෝ මෙය වෙනස් කළ යුුතු ය.

අධ්‍යාපන පරිපාලන සංගමය අධ්‍යාපන අංශයේ මිලිටරිකරණයට එරෙහි වීම හොඳ දෙයකි. පසුගිය දිනවල අධ්‍යාපන පරිපාලන සේවයේ විදුහල්පතිවරුන් විසින් පැළඳ ගන්නා ලද ඊනියා හමුදා තරු ද ගලවනවා නම් හොඳ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-24

කවුරුවත් ඉවත් නො කරන කසල හා දේශපාලනය

පහත නිල් පැහැ අකුරින් දැක්වෙන සටහන පළ වුණේ මීපුර වෙබ් අඩවියේයි.

තලාහේන මුහුදු වෙරල තිරය තව ටිකදිනකින් කුණු කදු වලින් පිරෙනු ඇත. එවිට අපිට මුහුදු වෙරළේ සුන්දරත්වය වෙනුවට දැකිය හැකි වන්නේ කුණුගොඩවල් ය.
වෙරල තිරයේ ජීවත්වන මිනිසුන්ට නම් මේ ගැන කිසිම අවබෝධයක් හෝ උවමනාවක් ඇති බව නොපෙනේ. දිනපතා තමන්ගේ ගෙවල් වල එකතුවන කුණු මුහුදු වෙරළට විසිකරන්නේ එනිසාය.

එහෙත් මුහුදු වෙරල , එහි පිරිසිදුකම සහ සංරක්ෂණය ගැන වගකිවයුතු රාජ්‍ය ආයතනනම් ගණනාවක්ම ඇත. සේවය කරන නිලධාරිඳ බොහෝ ඇත. මෙම ආයතනවල නිලධාරින් කිසිම දවසක මුහුදු වෙරල පැත්ත පලාතකවත් එනබවක් නම් පෙනෙන්නට නැත.

මේ සදහා ක්‍රමවත් වැඩපිළිවෙලක අවශ්‍ය තාවය අපිදකිමු. මෙය ආරම්භ විය යුත්තේ ජනතාව දැනුවත් කිරීමෙන්ය. එසේ දනුවත් කිරීමෙන් පසුවත් ජනතාව තවදුරටත් එම වරදම කරන්නේ නම් ඔවුන්ට දඩුවම් කිරීමේ ක්‍රියාදාමයකට යා යුතුය.

මෙම දර්ශනය කොළඹ සිට දුම්රිය මාර්ගයේ මාතර දෙසට යන විට ඉතා පැහැදිලිව දක්නට ලැබේ. යම් පවිත්‍රත්වයක් දක්නට ලැබෙන්නේ සංචාරක හෝටල් අසල පමණි. එහෙත්, මේ වන විට මුහුදු ජලය පවා පොලිතින්, ප්ලාස්ටික් වැනි නො දිරන අපද්‍රව්‍ය නිසා ඉතා අපිරිසිදු තත්වයකට පත් වී තිබේ. මීට දශක කීපයකට ඉහතදී මෙම වෙරළ තීරයේදී අප දුටු විදේශ සංචාරකයන්ගේ ජල ක්‍රීඩා දැන් අවම වී ඇත්තේ ඇයි ද යන්න ඉතා පැහැදිලි ය. මෙවන් අපවිත්‍ර මුහුදක බසින්නට කිසිවෙකු ලංකාවට එනු ඇද්ද? ලංකාව ලොව වැඩිපුර ම සමුද්‍ර දූෂණයක යෙදෙන රටක් බව ලෝක ප්‍රකට ය. 

පොලිතින් කෑම නිසා අලියකුට සිදු වී ඇති උවදුර පිළිබඳ පුළුල් මාධ්‍ය ආවරණයක් පසුගියදා සිදු විය. මුහුදේ සිදු වන දේ පිළිබඳ අප දන්නේ ඉතා අඩුවෙනි. එහෙත්, හම්බන්තොට වෙරළේ කැස්බෑ මරණ ආදිය පසුපස මේ සමුද්‍ර දූෂණය තිබේ. 

ලංකාව සුන්දර පරිසරයක් ඇති රටක් ය යන්න දැන් අතීතයට අයත් කතාවකි. මේ වන විට ලංකාවේ අස්සක්, මුල්ලක් නෑර, සියලු මං මාවත්, ජලමාර්ග කැලි කසලවලින් පිරී ගොසිනි. 

ලංකාවේ ජනතාව යනු ඇත්තෙන් ම ලොව අපිරිසිදු ම හා කැලි කසල භාවිතය පිළිබඳ අඩු ම අවබෝධයක් ඇති පිරිසක් බව පැහැදිලි ය. 

අනාගත පරම්පරාවන්ට මේ පිළිබඳ ඉගැන්වීමට තිබෙන පාසල්වල තත්වය කුමක් ද? පාසල් ඉදිරිපිට ප්‍රදර්ශනය කරන ප්ලාස්ටික් ඩිජිටල් බැනර්, ගුරුවරුන්ගේ ප්ලාස්ටික් කටවුට් ආදිය කෙළින් ම පරිසරයට බැහැර වේ. ඒවා සවි කරන්නන් මිස ගලවා විධිමත් අන්දමින් ඉවත් කරන්නන් නැත. පරිසරය පිළිබඳ අධ්‍යාපනයේ කරන කතා බහ හෝ පාසල් පරිසරය තුළ භාවිතා වන්නේ නැත. 

කසල පාරට විසි කිරීම ලංකාවේ ඉතා සුලබ දෙයකි. පසුගිය බ්‍රහස්පතින්දා මා පැමිණි බසයේ මා අසල වාඩි වී ආ කාන්තාවක් පොලිතින් බෑගයකට වමනය කරන එය පානදුර හරියේදී බසයෙන් පිටතට විසි කර දැම්මේ කිසිදු හැඟීමකින් තොරව ය. 

මා ජීවත් වන්නේ ගමක ය. පරිසරය සෝදා හරින මහා වැසි දැන් අවුරුද්දකටත් වැඩි කාලයකින් අපට ලැබුණේ නැත. මේ වන විට සියලු ලොකු කුඩා වීදි අවට ප්ලාස්ටික්, පොලිතින් ගොඩගැසී හමාර ය. 

ප්‍රධාන නගර සීමාවෙන් පිටත කසල එක් රැස් කිරීමේ ක්‍රමවේදයක් නැත. විධිමත් කසල බැහැර කිරීම් පද්ධති මගින් ලංකාවේ භූමියෙන්  ආවරණය කරන ප්‍රමාණය 10%ක්වත් වේ ද යන්න සැක සහිත ය. ඉතිරි 90%හි පරිසරයට විසි කර දමන කසල කිසිවෙකු එක් රැස් කර විධිමත් අන්දමින් බැහැර කිරීමක් කරන්නේ නැත. පාරවල්වල දමන කොඩි, සැරසිලි, බැනර්, කටවුට් ආදිය ඔහේ ගැලවී වැටෙනවා මිස කිසිවකු ඒවා ගලවන්නේ නැත. සුළඟ, වැස්ස විසින් ඒවා පස යටට හෝ ගංගා, මුහුදු වෙත තල්ලු කර දැමුවොත් මිස වෙනත් කසල කළමනාකරණයක් ඇත්තේ ම නැත. 

කසල යනු ඇත්තෙන් ම දේශපාලනික ප්‍රශ්නයකි. රටේ ජනතාව සනීපාරක්ෂාව ගැන මෙතරම් අවම දැනුමක් සහිත පිරිසක් වෙද්දී ඔවුන් සමග ප්‍රජාතන්ත්‍රවාදය, සමාජවාදය, මානව හිමිකම්, නීතියේ ස්වාධිපත්‍යය, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදී ගැඹුරු දේශපාලනික සංකල්ප පිළිබඳ කතා කිරීම කෙතරම් ප්‍රායෝගික ද? 

සමාජ විප්ලව මොහොතකට පැත්තකින් තියමු. පාරට කුණු විසි කිරීම නීතිමය පමණක් නොව සමාජමය වරදක් ද වන බව නො දන්නා සමාජයක් වෙනස් කරන්නේ කෙසේ ද යන්න ගැන අප මුලින් ම සාකච්ඡා කළ යුතු ය. 

මා සිතන පරිදි මේ වනාහි රට විනාශ වී හෝ තම දේශපාලන අරමුණ ඉටු වෙනවා දකින්නට කැමති කුහකයන් හැර වාමාංශික, දක්ෂිණාංශික, ජාතිවාදී, ජාත්‍යන්තරවාදී, ආගම්වාදී ආදී සෑම ආකාරයක ම දේශපාලකයන්ට එකඟ විය හැකි ස්ථාවරයකි. 

අපේ රට, අපේ නගරය, අප අවට පරිසරය පිරිසිදුව තියා ගන්නට එක් වන වැඩසටහනක් යෝජනා කිරීම ගැන ගැඹුරින් සිතමු.

ගෝඨාභය රාජපක්ෂ දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු ලෙස අගය කිරීමට බැරි බොහෝ දුර්ගුණ ඔහු තුළ තිබිණි. එහෙත්, ඔහුගේ භීෂණකාරී බලපෑම තුළ මෙම කාරණා පිළිබඳ සංවේදීභාවයක් ගොඩනැගෙමින් තිබිණි. 

ලංකාවේ මිනිසුන් ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කරන්නේ කෙසේ ද යන්න ගැන කදිම පාඩමක් මේ දිනවල අපි ඉගෙන ගනිමින් සිටිමු. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-23

බුදු අම්මෝ රජයෙ ලොකු!

පිංතූරෙ ගැන විස්තර මෙතැනින්
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව ලංකාවේ රාජ්‍ය සේවය 2006 සිට 2016 අතර කාලය තුළ 30%කින් වැඩි වී තිබෙනවා.

එම වාර්තා අනුව හමුදා හා පොලිසිය හැර රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 11ක් වෙනවා. ඒ අතරට මධ්‍යම රජයේ, පළාත් සභාවල, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියේ සිටින සේවකයන් ද අයත් වෙනවා.

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, හමුදාවේ 272,000ක් සිටින අතර පොලිසියේ 84,000ක් ඉන්නවා.

මේ අනුව හා මහ බැංකුවේ දත්ත ද අනුව, රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්නයි. රටේ සමස්ත ජනගහණය ලක්ෂ 210කට අඩුයි. ඒ අනුව රටේ ජනගහණයෙන් සෑම සියදෙනෙකුගෙන් අටදෙනෙකු විතර ම රජයේ සේවකයන් බව පැහැදිලියි.

මීට අමතරව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ලක්ෂ පහමාරකට වැඩි රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිසකුත් ඉන්නවා. (සෑම අවුරුද්දක ම රජයේ සේවකයන් 30,000ක් පමණ විශ්‍රාම යනවා. විශ්‍රාමිකයන්ගෙන් කොටසක් මිය යනවා. ඒත්, විශ්‍රාමිකයන් සංඛ්‍යාවත් වැඩි වෙමින් තමයි තිබෙන්නේ)

ඒ අනුව, රජය කියන්නේ මිනිසුන් ලක්ෂ 20ක්. රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම එක්කෙනෙකු කෙළින් ම රජයේ. ඔවුන්ගේ ප්‍ර‍ධාන ජීවනෝපාය රජය.

මේ සෑම රජයේ සේවකයෙකුගෙන් ම තවත් දෙදෙනෙකු යැපෙන බව ගණන හැදුවොත්, මේ රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම තුන්දෙනෙකු ජීවත් වන්නේ රජයෙන්.

රජය පෞද්ගලික සමාගම් ලෙස පවා ව්‍යාපාර පවත්වාගෙන යනවා. උදාහරණයක් තමයි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් (පෞද්) සමාගම. ඇතැම් සමාගම්වල කොපමණ ප්‍ර‍මාණයක් රජයට අයිති ද කියන එක පවා පැහැදිලි නැහැ. ඒ නිසා සැබෑ රජයේ සේවකයන් සංඛ්‍යාවත් අවිනිශ්චිතයි. ඒ කොයි හැටි වෙතත්, සමස්තයක් ලෙස මෙම දැවැන්ත රාජ්‍ය අංශය නඩත්තු කරන්නට සිදු වී තිබෙන්නේ මේ රටේ මහජනතාවටයි.

හැබැයි ඉතින් මේ රජයෙන් මහජනතාවට ලැබෙන සේවාවන් ගැන සතුටු වෙන්නට පුළුවන් ද?

ගමනක් යන්නට පාරට බැස්සාම ලංගම බස් එකක් එනකල් කොච්චර වෙලා බලා ඉන්න ඕනැ ද? ඒකත් පෞද්ගලික බස් තරම් ම ගාස්තුවක් අය කරනවා. සේවාවත් ඒ තරම් ම නරකයි. දුම්රිය කියන්නේ තනිකර පොල් කරත්ත වගේ ජාතියක්. ඒ වෙනුවෙන් ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

පාසල් ගැන කතා කරමු ද? නො කර ඉඳිමු ද? ළමයින්ට නිල ඇඳුම්, පෙළ පොත් ආදිය නොමිළේ ලැබෙන බව ඇත්ත. ඒත්, පාසලෙන් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා ද?

රෝහලකට ගියාම මේ රටේ රජය නඩත්තු කරන පුරවැසියාට සලකන විදිය කොහොමද?

රජයේ කාර්යාලයකට කිසියම් කටයුත්තක් කර ගන්නට ගිහින් සතුටින් ආපසු එන්නට ලැබෙනවා ද?

දේශපාලනය ගැන නම් කතා කළ යුතු ම නැහැ නේ.

රජයෙන් මහජනතාවට කෙරෙන වැඩ ගැන සතුටු වෙන්නට බැහැ.

රජයෙන් කෙරෙන ලොකුම සේවය තමයි රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම. එමගින් රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු හෝ ජීවත් කරවීම. ඒක තමයි මූලික වැඩේ. ඔය සුබසාධනය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අරවා මේවා තියෙන්නේ ඔය රජය කියන එක සාධාරණීකරණය කර ගන්නට විතරයි. ඔය රජය නඩත්තු කරන්නට අප ගෙවන මුදල් අපේ අතේ තියෙනවා නම් ඔය නොමිළේ කියන ඒවා නැති වුණත් අපට එච්චර අමාරුවක් නැහැ.
ඒක තමයි තිත්ත ම තිත්ත ඇත්ත.

ඒත්, ප්‍ර‍ශ්නය මේකයි. සෑම මිනිසුන් දහදෙනෙකුගෙන් ම රජයේ සේවකයන් නො වන ඉතිරි හත්දෙනාට සිදු වෙනවා මේ රජයෙන් යැපෙන තුන් දෙනාව නඩත්තු කිරීම සඳහා වැඩ කරන්නට. ඒක සාධාරණ ද?

රයෙන් සැපයෙන අත්‍යවශ්‍ය සේවාවන් තිබෙනවා. ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය රජයේ නිලධාරීන් සිටිනවා.

සාමාන්‍යයෙන් ගුරුවරුන් ලක්ෂ දෙකක් විතර, වෛද්‍යවරුන් 11,000ක්, හෙදියන් 33,000ක්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 3,500ක් විතර එහෙම සිටින බව වාර්තා වෙනවා.

හැබැයි ඉතින් ඇතැම් රාජ්‍ය නිලධාරින් කරන දේවල් දන්නේ ඔවුන් සහ දෙවියන් පමණයි. උදාහරණයක් ලෙස, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරි පත්වීම් 88,000ක් දී තිබෙනවා. ඔවුන්ට පසුව යතුරුපැදි එහෙමත් දුන්නා. ඇත්තෙන් ම ඔවුන් මොනවා ද කරන්නේ?

රජයේ සේවකයන්ගෙන් 17.8%ක් ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්. රජයේ සේවයේ උපාධිධාරීන් ලක්ෂ දෙකකට වඩා (210,000ක් පමණ)ඉන්නවා. ආචාර්ය උපාධි තිබෙන 3,296ක් ඉන්නා බවත්, ඔවුන්ගෙන් 2,657ක් ඉන්නේ අර්ධ රාජ්‍ය අංශයේ බවත් වාර්තා වෙනවා.

ඉතින් ඔන්න ඕකයි තත්වය. අපි සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු රජයත් එක්ක කෙළින් ම සම්බන්ධයි. රජයේ පාර්ශ්වකරුවන් ලෙස ඔවුන් හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ රජය කාගෙද?

ඒ වුණාට මේ රටේ මිනිසුන් හැසිරෙන්නේ රජය වෙන කාගෙ ද වගේ. නැතිනම් ගණනින් 1,000කටත් අඩු දේශපාලකයන්ගෙ වගේ.

ඔන්න ඔය නිසායි අපි කියන්නෙ ඔය රජය කියන බඩකඩුත්තුව කඩා වැටෙන්න නො දී රැක ගනිල්ලා ය කියලා. රජයට කරන්නට බැරි මගුල් ඉල්ලමින් පිස්සු නටලා ඕක කඩා බිඳ දැම්මොත් ලංකාවට වැටෙන්නට තිබෙන්නේ පතුලක් නැති අගාධෙකට.

ඒ එක්කම මේකත් කියන්නට ඕනැ. දැන්වත්, ආණ්ඩුවෙන් කන්න බලා නො ඉඳ වැඩ කරන්න හිතා ගත්තෙ නැතිනම් මේ රටට අනාගතයක් නැත.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-21

සරසවි ළමයින් වධකාගාර පවත්වාගෙන යන්නෙ, ඉස්කෝලෙ ළමයින් මහපාරෙ ගහගන්නෙ ඇයි?

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් කීපයක ළමයින් අතර ගුටිකෙළි ගැන පසුගිය සතියේ වාර්තා වුණා.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කුලියට ගත් නිවසක් වධකාගාරයක් ලෙස භාවිතා කරමින් කණිෂ්ඨ සිසුන්ට නවක වධය දීම සඳහා යොදා ගැනීම පිළිබඳ පුවතක් ඊයේ වාර්තා වුණා. එම සිසුන් 1998 අංක 20 දරන නවක වධ පනතේ අංක 2, 2-II, 3 සහ 6 වගන්ති යටතේ ගැනෙන වැරදි සිදු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඇතැමෙක් මේවා කොලු වැඩ ය කියලා බැහැර කරන්නට හදනවා. හැබැයි, අපේ ළමයින්, තරුණයන් මෙසේ ප්‍රචණ්ඩ වෙන්නේ ඇයි ද කියන එක ගැන අප ඊට වඩා ගැඹුරින් සිතන්නට ඕනැ.

එක පැත්තකින් ළමයින් තුළින් නිරූපණය වන්නේ සමස්තයක් ලෙස සමාජයේ තිබෙන ප්‍රචණ්ඩත්වය ම මිස අනෙකක් නොවෙයි කියලා තර්ක කරන්නටත් පුළුවන්. ඒ වුණාට අපේ අනාගත පරම්පරාව අපටත් වඩා නරක නම් ඒක ඉතින් ඇත්තෙන් ම කණගාටුදායක තත්වයක්. හේතුව, දැන් රටේ යුද්ධයකුත් නැහැ.

මං ඉතින් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබපු නැති සාමාන්‍ය මෝඩයෙකු නිසා මට ඔය රැග් ගැන අත්දැකීම් තියෙන්නෙ වධකාගාරවලයි. හමුදාවේ තියෙන රැගිං මං දැකලා තියෙනවා. කවුරුහරි උසස්වීමක් ගත්තාම එහෙම දෙනවා නියම අමානුෂික රැගක්. ඒ නවක වධයයි, අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට දෙන වධයයි අතර වෙනස තියෙන්නේ හමුදාවේ නවකයා නො මැරෙන ගානට වධ දෙන එක විතරයි. ඒ වගේ රැගිං හමුදාවෙන් විශ්වවිද්‍යාලයට ඇවිත්, ආපහු විශ්වවිද්‍යාලවලින් හමුදාවට ගිහින් ආදී වශයෙන් එකිනෙකාගෙන් පෝෂණය වෙමින් දිගට ම සිදු වෙනවා වෙන්නට පුළුවන්.

ඒ වගේ නවක වධයක් විශ්වවිද්‍යාලවල විතරක් නෙමෙයි ඇතැම් ගුරු විද්‍යා පීඨවලත් තිබෙන බව මගේ අධ්‍යයනවලින් දැන ගන්නට ලැබුණා. දැන් ඔය පේරාදෙනිය කෘෂි විද්‍යා පීඨයෙන් මතු වී තිබෙන්නේ එවැනි නවක වධයක් පිළිබඳ තොරතරුයි. අප අමතක නො කළ යුතු කාරණයක් තමයි, 1975දී නවක වධය නිසා ස්ථිර ආබාධිතභාවයට පත් වී, අධ්‍යාපනය ද කඩාකප්පල් වී පසුව සිය දිවි නසා ගත් රූපා රත්නසීලිත් පේරාදෙනියේ කෘෂි විද්‍යා පීඨයේ සිසුවියක් බව.

නවක වධකයන් විසින් එයට එරෙහි වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ ශිෂ්‍යයාට පහර දීම නිසා ඔහු රෝහලේදී මිය ගියා.

නවක වධය සම්බන්ධ භයානක ම කාරණය වන්නේ එයට භාජනය වන නවක සිසුන් වැඩි දෙනෙක් විශ්වවිද්‍යාල උප සංස්කෘතිය විසින් දෙනු ලබන මිථ්‍යා මත විශාල ප්‍ර‍මාණයක් ජීවිතය පුරාම කරපින්නාගෙන යමින්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය ජීවිතයේ යම් යම් සාධනීය ලක්ෂණවලට නවක වධය දායක වූවා යයි සිතමින් එය ආරක්ෂා කිරීම හෝ එයට විරෝධය පළ නො කර සිටීමයි.

මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතියේ තිබෙන සින්නා, ජුන්නා, අයියා, මල්ලි වැනි ගොන් පාට් සංකල්ප ඇතැම් ප්‍ර‍ගතිශීලීන් පවා දිගට ගෙන යන ආකාරය මා දැක තිබෙනවා. විශ්වවිද්‍යාලයේ එකට සිටියදී ගොඩනැගුණු මිත්‍ර‍ත්වයන්ට හේතුව එම උප සංස්කෘතිය යයි සිතන අය නො සිතන කරුණක් වන්නේ ඔය වැනි මිත්‍ර‍ත්වයන් එකට හිරේ හිටිය අය අතරත් තිබෙන බවයි. අධ්‍යයනය කර බලන්න 71 සංසදය.

විශ්වවිද්‍යාල උප සංස්කෘතිය රැක ගන්නට ඉවහල් කර ගන්නා තවත් එක් තත්වයක් තමයි නිදහස් අධ්‍යාපනය ආරක්ෂා වී තිබෙන්නේ මේ උපසංස්කෘතිය නිසා ය යන මිථ්‍යා මතය. එය විශේෂයෙන් ම ප්‍ර‍වර්ධනය කරන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය දේශපාලනයෙන් පැවැත්ම තහවුරු කර ගන්නා වාමාංශික පක්ෂ විසිනුයි. ඇත්තම කියනවා නම්, අපේ රටේ රජය විසින් තෝරා ගත් සිසුන් පිරිසකට නොමිළේ දෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කරන්නට කිසිදු යෝජනාවක්, කවුරුවත් මේ දක්වා කර නැහැ. පැමිණි යෝජනාවලින් මුදල් ගෙවා අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා වැඩි කරන්නටත්, බරපතල අධ්‍යාපන ප්‍ර‍තිසංස්කරණ කරන්නටත් යෝජනා වුණා. එහෙත්, දිළිඳු දරුවන්ට රජයේ පාසල්වල, විශ්වවිද්‍යාලවල ඉගෙන ගැනීමට තිබෙන අවස්ථාව අහිමි කරන්නට කිසිවෙක් යෝජනා කරලා නැහැ. ගෙනා යෝජනා පදනම් කරගෙන මෙවැනි අදහස් ප්‍ර‍බන්ධ වුණා. තමන්ගේ රජය යනු තමන් නොව වෙනත් අද්භූත සතුන් පිරිසක් ය කියා පිළි ගැනීමට සූදානමින් සිටින ලංකාවේ ඊනියා රැඩිකල් තරුණයන් හා සාමාන්‍ය ජනතාව හැමදාමත් මේ බෝල ගිල්ලා.

පේරාදෙනිය නවක වධයේදී සිසුන් පිරිස වධකාගාරය වෙත පැහැරගෙන යන්නේ යතුරුපැදිවලින්. මහපොළ දිළිඳු සහනාධාරය ගන්නා සිසුන් අතරත් යතුරු පැදි, නවීන ජංගම දුරකථන විතරක් නෙමෙයි, කාර් පවා තිබෙනවා. ඔවුන් ඇතැමෙක් පෞද්ගලික විභාග විතරක් නෙමෙයි, පෞද්ගලික ව්‍යාපාරත් කරනවා. විශ්වවිද්‍යාලවල ඉන්නේ දිළිඳු සිසුන් ය කියන එකත් අර උපසංස්කෘතියේ මිථ්‍යාවලින් එකක්. මේ පිළිබඳ පසුගිය දිනෙක උමේෂ් මොරමුදලි මෙවැනි සටහනක් තබා තිබුණා:

වෛද්‍ය විද්‍යාල වලට ඇතුල්වන සිසුන්ගෙන් 47% නාගරික සිසුන්ද 41% අර්ධ නාගරික සිසුන්ද 11% පමණක් ග්‍රාමීය සිසුන්ද වේ.
ශාස්ත්‍ර පීඨ වලට ඇතුල්වන සිසුන්ගෙන් 15% පමණක් නාගරික සිසුන් වන අතර 51% ග්‍රාමීය සිසුන් වේ.
මූලාශ්‍රය - උසස් අධ්‍යාපන අමාත්‍යංශය

අන්තරේ කයිය ගහන ආකාරයට සමාජයේ පහල ආදායම් ලබන ග්‍රාමීය සිසුන් මහ ගොඩක් වෛද්‍ය විද්‍යාලයට එන්නේ නැත. ටියුෂන් පිහිටෙන් වෛද්‍ය විද්‍යාලයට එන්නේ ඉහළ මධ්‍යම හා මධ්‍යම පාන්තික සිසුන්ය. පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට එරෙහිව කරන්නේ එකී වෛද්‍ය සිහිනය ආරක්ෂා කිරීමේ සටන විනා නිදහස් අධ්‍යාපනයේ සටනක් නොවේ.

විශ්වවිද්‍යාල උප සංස්කෘතියට එරෙහිව අරගල නො කර, නවක වධය නැති කරන්නට බැහැ. නවක වධය ගැන මට ඉතා විසුළු සහගත අත්දැකීමක් තිබෙනවා. ඒ මහරගම ගුරු විද්‍යාලයේදී. අවුරුදු 28න් ගුරු වෘත්තියට බැඳුණු මා පුහුණුව සඳහා ගුරු විද්‍යාලයට බැඳුණේ වයස අවුරුදු 32දීයි. අපගේ කණ්ඩායමේ සිටි ගුරු සිසුන් අතර මට වඩා වියපත් අය රැසක් සිටියා. ගුරු විද්‍යාල (විද්‍යා පීඨ නෙමෙයි) බඳවා ගැනීමේ පටිපාටිය අනුව, යමෙකු ගුරු විද්‍යාලයට ඇතුළත් වන්නේ අවම අවුරුදු තුනකවත් සේවයකින් පසුවයි. ගුරු විද්‍යාලයේ සිටි බහුතරය අවුරුදු 25ට වැඩි අය. රජයේ සේවයේ වසර ගණනාවක් සේවය කර තිබුණ අය. ඒත්, විශ්වවිද්‍යාල යන්නට අවස්ථාව නො ලද, උසස් පෙළ සමත් හෝ අසමත් වී කාර්මික විද්‍යාල, ඩෙලික් වැනි පාඨමාලා කර ගුරු වෘත්තියට බැඳුණු මෙම පිරිස අතර විශ්වවිද්‍යාල සිහිනය දැකීමේ බොළඳ ආශාවක් මා ගුරු විද්‍යාල නවක වධය තුළ දැක්කා. හිනා කා මැරෙන කාරණයක් වුණේ අවුරුදු 25, 30 වූ ජ්‍යේෂ්ඨ ගුරු සිසුන් අවුරුදු 40, 45 වුණ කණිෂ්ඨ සිසුන්ට මල්ලි යයි කතා කිරීමයි. 

ඒ වන විටත් මා වෘත්තීය සමිති ක්‍රියාකාරිකයකු වූ නිසා ‘ශිෂ්‍ය ව්‍යාපාරය' ගැන කතා කරමින් අපට රැග් කළ ජ්‍යේෂ්ඨ කණ්ඩායමේ මෝරච්ච ගුරු සිසුන් අඩු තරමේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන්වත් වන්නට ඇතැයි මා සිතුවා. එහෙත්, පසුව බැලූ කල මට වැටහුණේ ඔවුන් ගුරු වෘත්තීය සමිතියකට බැඳුණොත් තමන් කැපිලි කෙටිලිවලට ලක් වනු ඇතැයි සිතා සිටි සාමාන්‍ය බියගුලු ගුරුවරුන් වූ බවයි. රජයෙන් පූර්ණ වැටුප් ලබමින්, අධ්‍යයන නිවාඩු මත ඉගෙනුම ලැබූ ගුරු සිසුන් මෙම ගුරු විද්‍යාල නායකයන් විසින් ඉතාම නීති විරෝධී, බොළඳ අරගලයකට යොමු කළා. ඒ, පුහුණුවෙන් පසුව අවුරුදු පහක් රජයේ පාසලක අනිවාර්යයෙන් ම වැඩ කරන බවට අධ්‍යාපන අමාත්‍යාංශය සමග එළඹිය යුතු ගිවිසුමට එළඹීම වැළැක්වීමයි. එහෙත්, අවසානයේදී සහතිකය ලබා ගන්නට අනිවාර්යයෙන් ම ඒ ගිවිසුම දිය යුතු වුණා. මේ අය නවක වධය දිහා බැලුවේ විශ්වවිද්‍යාවල උපසංස්කෘතිය නිර්මානය කරන්නට ඉවහල් වුණ සාධනීය දෙයක් ලෙසයි. මා මේ කරුණ ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාලවලින් බැහැර සමාජය පවා මෙම විශ්වවිද්‍යාල උප සංස්කෘතිය ඉතා වටිනා දෙයක් බව කල්පනා කරන බව පෙන්වීමටයි.

මේ රැග් කිරීම පාසල්වල ශිෂ්‍ය භටයන්, ශිෂ්‍ය නායකයන්, ක්‍රිකට් කණ්ඩායම් ආදිය අතර විතරක් නෙමෙයි, රජයේ 10 ශ්‍රේණියේදී අලුතෙන් දිග කලිසම් අඳින මල්ලිලාට 11 වසරේ අයියලා රැග් කිරීම දක්වා ම පැතිරිලා තිබෙනවා. පාසල්වලින් බැහැරව රැකියාවලටත් මෙය පැතිරී තිබෙන බව පසුගිය කාලයේ බැංකුවකින් පිට වූ වීඩියෝවකින් පෙනුණා.

සමස්තයක් ලෙස, පුද්ගල අයිතිවාසිකම් පිළිබඳ සමාජය මීට වඩා අවදි විය යුතුව තිබෙනවා. බලය, පරපීඩන කාමුකත්වය, ආදරය ගැන සංවේදී නො වීම, සහකම්පනය නැතිකම වැනි කාරණා රැසක් නවක වධය සමග සම්බන්ධයි. නවක වධය අනෙක් පැත්තෙන් සමාජයේ තව බොහෝ දේ සමගත් සම්බන්ධයි. මෙය සරළ ප්‍ර‍ශ්නයක් නෙමෙයි. 

නවක වධය ගැන වැදගත් ලිපි දෙකක්‍:

වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?

නවක වධය හා කාන්තාවන්ට එරෙහි හිංසනය

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-19

වෙළඳපොළ විරෝධී හාල්පාරුවන් එක්ක හාල් ගන්න කඩේ යමු

ලංකාවේ වාමාංශිකයන් සිතාගෙන ඉන්නේ රජය හාල් සිල්ලර බඩු විකිණීම පවා කළ යුතු බවයි. එහෙත්, දෙවන ලෝක යුද්ධ සමය වන විට පවා ලංකාවේ රජය වෙළඳාම්වල නිරත වුණේ නැත. වෙළඳාම කළේ වෙළෙන්දෝයි.

ඒ වන විට ආනයන අපනයන වෙළඳාම අල්ලාගෙන සිටියේ ඉන්දියන් ජාතිකයෝ ය. 1942 අප්‍රේල් 5 ජපන් හමුදා කොළඹට බෝම්බ දැමීම සමග මෙම ඉන්දියන් ජාතිකයෝ ව්‍යාපාර අතහැර සිය රට බලා ගිය හ. ඒ වන විට සිංගප්පූරුවේ බ්‍රිතාන්‍ය හමුදා ජපානයට යටත් වී තිබුණු අතර බ්‍රිතාන්‍යයන්ගේ ඊළඟ බලකොටුව වන ලංකාවට දැවැන්ත ජපන් ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලාංකිකයන්ගේ බිය සාධාරණ විය.

ඉන්දියන් ජාතික වෙළඳුන්ගේ පළා යාමත් සමග ආහාර ද්‍රව්‍ය ආනයනය හා තොග වෙළඳ කටයුතු අඩාල වීම නිසා රට පුරා ආහාර හිඟයක් ඇති විය. එවකට මහජන ආරක්ෂක කොමසාරිස් ධුරය දැරූ ඔලිවර් ගුණතිලක විසින් තත්වය පාලනය කිරීමට දැඩි වෙහෙසක් දරන ලදී.

ලංකාවේ සමුපකාර ව්‍යාපාරය ආරම්භ වූයේ මෙම අර්බුදය තුළ ය. එහෙත්, ඒ සමුපකාර සමිති යනු වර්තමාන ව්‍යාජ විවිධ සේවා සමුපකාර සමිති මෙන් රජයේ ව්‍යාපාරයක් නො වූ අතර සැබැවින් ම මහජන ව්‍යවසායන් විය. විවිධ අරමුණු වෙනුවෙන් මහජනතාව විසින් පිහිටුවන ලද සමුපකාර සමිති ක්‍රමානුකූලව රජයේ ව්‍යාපාර බවට පත් කර සමුපකාර සංකල්පය ම විනාශ කර දැමුවේ වාමාංශිකයන් හවුල් වී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් යටතේ ය.

නොමිළේ සහල් සලාකය ලබා දීම ආරම්භ කරන ලද්දේ ද දෙවන ලෝක යුද්ධය නිසා ඇති වූ ආහාර අර්බුදය තුළ ය.

මෙම ඉතිහාසය මතක් කර දෙන්නට සිදු වූයේ වර්තමානයේ පවතින සහල් අර්බුදය නිසා ය.

ලංකාව වනාහි ඇත්තෙන් ම ජේ.ආර්. ජයවර්ධන නම් කළ ආකාරයේ ම ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී ජනරජයකි. මේ නම දැමූ 1978 වන විට ලංකාවේ සමාජවාදය හෙවත් රාජ්‍ය ධනවාදී සමාජවාදය ද බලවත් තත්වයක තිබිණි. දැවැන්ත රජයක් හා රාජ්‍ය ව්‍යවසාය සමුදායක් තිබුණු අතර රජය ගම්වල පොඩි පොඩි කඩවලින් හාල් සිල්ලර විකිණීම දක්වා ම ව්‍යාපාරවල යෙදී සිටියේ ය. ලංකාව කියුබාව වැනි සමාජවාදී රටකින් වෙනස් වුණානම් වෙනස් වුණේ බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ඉතිරි වී තිබුණු නිසා ය.

ලංකාවේ ආර්ථිකය ගොඩනැගුණේ බ්‍රිතාන්‍ය අර්ථ ශාස්ත්‍රඥ ජෝන් මේනාඩ් කේන්ස්ගේ රාජ්‍ය බාධක සහිත වෙළඳපොළ න්‍යායයේත්, ස්ටාලින්වාදී රාජ්‍ය ඒකාධිකාරී සමාජවාදී ධනවාදයේත් අච්චාරුවක් ලෙසයි.

වාමාංශික වෙළඳපොළ විරෝධී කොටළුවන්ටත්, වෙළඳපොළට ප්‍රේම කරන කේන්ස්වාදී ධනේශ්වර පොන්නයන්ටත් දාව ඉපදී ඇති ලංකාවේ සමාජ ආර්ථික ක්‍රමය වනාහි මොහොකටවත් නැති අද්භූත සත්වයෙකි.

එහි තිබෙන්නේ ව්‍යවසායකයන් මරාගෙන කා හෝ අකාර්යක්ෂම රාජ්‍ය අංශය නඩත්තු කළ යුතු ය යන මෝඩ සමාජවාදයයි. ආණ්ඩුව රස්සා, විශ්‍රාම වැටුප්, නොමිළේ අධ්‍යාපනය, නොමිළේ සෞඛ්‍ය පහසුකම්, පාසල් යුනිෆෝම්, පෙළ පොත්, පොහොර, වතුර, පිංපඩි ආදී සියල්ල නිකම් දිය යුතු යයි ද ඒ වෙනුවෙන් තමන් වැඩ නො කළ යුතු යයි ද යන ආකල්පය ලංකාවේ මහජන මතයයි.

මෙතන ඇති ප්‍රශ්නය වන්නේ මේ රෙද්ද මේ විදියට පවත්වාගෙන යන්නට බැරිකම ය. මහින්ද ලෝකෙට ම ණය වී එය උපරිමයකට ගෙන ආ අතර, මහින්ද සැලසුම් කළ විදියට දිගට ම හිටියා නම් මේ වන විට ඒ ක්‍රමය අනෙක් පැත්ත හරවා ගෝටාත් සමග රට ලේ විලක් කරන්නට ද තිබිණි. එහෙම නම්, අද පාරවල් දිගේ ජවුසන් නටන නිකං කන්න බලං ඉන්න බබාලා නගුටු දෙපරැන්දේ ගසාගෙන ඇඳන් යට සැඟවී කන්නට හා දත් මදින්නට පමණක් කටවල් අරින හැටි බලා ගන්නට තිබිණි.

දැන් ඔවුන් හදන්නේ ආර්ථිකය කඩා වැටී ලංකාව තවත් වෙනිසියුලාවක්, ග්‍රීසියක් වුණත් කමක් නැත, අපේ මධ්‍යම පංතික වරප්‍රසාද ටික අප රැක ගත යුතු ය යන තැනින් ලංකාව හයිජැක් කරන්නට ය.

අප දිගට ම ලියන්නේත්, අපට හැකි හැම අන්දමකින් ම මැදිහත් වන්නේත් අන් කිසිවක් නිසා නො ව, ලංකාවේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගත යුතු නිසා ය. මන්ද, අප ඉදිරියේ තිබෙන්නේ පතුලක් නැති අගාධයකි. පිස්සු කෙළින්නට ලැබුණු නිවාඩු කාලය අවසානයට ම අවසන් වෙමින් තිබේ.

හාල්පාරුවන්ට හාල් ගැන කියා දී හෝ මෙය තේරුම් කර දිය යුතු ය.

හාල්පාරුවන්ට බය රනිල්ගේ මෛත්‍රී ආණ්ඩුව හාල් මාකට් එකට පැන්නේ ය. ඒ මිළ පාලනයක් දමමිනි. හාල් ආනයනය පාලනය කිරීම වෙන ම කාරණයකි. එහෙත්, මිළ පාලන දැමීම අර මා කලින් කී කොටළුවන් සමග හැමනෙන පොන්නයන්ගේ වැඩක් බව දැන් ඉතා පැහැදිලි ය.

ලංකාවේ හාල් හිඟයක් නැත. එහෙත් වෙළඳපොළේ හාල් නැත. හේතුව කුමක් ද?

ආණ්ඩුවට හාල් ගෙන්නන්නට හැකියාවක් නැත. පෞද්ගලික අංශයට හාල් මෙට්‍රික් ටොන් මිලියනයක් ගෙන්වන්නට ආණ්ඩුව අවසර දී තිබේ. එසේ ආනයනය කරන ලද පොන්නි සම්බා හා නාඩු දැන් ලංකාවට පැමිණ පිටකොටුවේ තොග වෙළඳපොළේ ඇත.එහෙත්, සිල්ලර කඩවල නැත. හේතුව සිල්ලර වෙළඳුන් ඒ සහල් මිළ දී නො ගැනීමයි. ඔවුන්ට ඒ සහල් ගෙන ගොස් ආණ්ඩුවේ පාලන මිළ වන නාඩු රු. 72 හා සම්බා රු. 80 බැගින් විකුණන්නට ගියොත් සිදු වන්නේ පාඩු ලබන්නට ය. දේශීය සහල් නම් ඔය මිළට ඇත්තේ ම නැත.

හාල්පාරුවන්ට බයේ කළ මේ ගල උඩ පැහැරීමේ වරද දැන් වසා ගන්නට හදන්නේ ඒ උඩින් තවත් කක්කා පාරක් දැමීමෙනි. හාල් මෝල්කාරයන් හා ආනයනකරුවන් සමග ජනාධිපතිවරයා කළ සාකච්ඡාවකදී යෝජනා වී තිබෙන්නේ දේශීය සහල්වලට වැඩි පාලන මිළකුත්, ආනයනික සහල්වලට අඩු පාලන මිළකුත් පණවන්නට ය.

මරේ මරු ය. හාල්වලට ඩයි ගසා විකුණන, කොත්තමල්ලිවල සාරය නැතුව රොඩ්ඩ විකුණන වෙළෙන්දන්ව නියාමනය කර ගන්නට බැරි ආණ්ඩුව ආනයනික හාල් දේශීය හාල් යයි කියා විකුණන වෙළෙන්දන්ව නියමෙට අල්ලනු ඇත.

අප නම් යෝජනා කරන්නේ වල් බූරු හාල් වෙළඳපොළ නිදහසක් නො වේ. රාජ්‍යය වෙළඳපොළ නිදහසට ඉඩ දෙමින් බුද්ධිමත් අන්දමින් එය නියාමනය කිරීමයි. මිළ පාලනයන් යනු තත්වයන් විකෘති කරන අර්ථ විරහිත වැඩකි. වෙළඳපොළ විරෝධීන් යෝජනා කරන්නේ කුමක්දැයි කිව යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-18

විජය නම් සුන්දර මිනිසා මරා දැමූ ලයනල් රණසිංහ නම් අවංක විප්ලවවාදියා

මෙහි පහත දැක්වෙන වීඩියෝවේ එක් තැනක විජයට වෙඩි තැබූ ලයනල් රණසිංහට හා යතුරුපැදිය පැද්ද ටාසන් වීරසිංහට ජවිපෙ සමග සම්බන්ධකම් තිබුණ ද ඒවා කෙබඳුදැයි හෙළි වී නැතැයි කියවේ.

මට මේ දෙදෙනා ම හමු වී තිබේ. ලයනල් රණසිංහ මට හමු වුණේ 1985දී ජවිපෙ විසින් යට්ටපාත ප්‍රදේශයේ සංවිධානය කළ සත් දින අධ්‍යාපන කඳවුරකට සහභාගි වෙද්දී ය. එම අධ්‍යාපන කඳවුරේ එක් දේශකයකු වූයේ ටිල්වින් සිල්වා හෙවත් එවක සුසිල් අයියා ය.

එම කඳවුරින් පසු මම ජවිපෙ පූර්ණ කාලීන දේශපාලනයට එකතු වී හොරණ ආසනයේ ශිෂ්‍ය අංශය භාරව වැඩ කළෙමි. එකල මට ලයනල් නැවත හමු විය. එවකට ඔහු හොරණ නගරයේ බස් නැවතුම්පළ අසල මත්පැන්හල ඉදිරිපිට රටකජු ලෑල්ලක් තබාගෙන විකුණමින් සිටියේ ය. පක්ෂයේ බොහෝ දෙනෙකු සම්බන්ධීකරණය සඳහා පණිවුඩ තබා ගියේ මේ රටකජු ලෑල්ලේ ය. ජවිපෙ තහනම් කර තිබුණු එම දුෂ්කර සමයේ අප බඩගින්නට රටකජු අහුරක් කෑවේ ද එතැනිනි.

ලයනල් ජීවත් වුණේ හොරණ, මුණගම පැත්තේ උදාගමක කුඩා නිවසකයි. යකෙකු වුණත් ඒ මගේ පුතා යි ලයනල් වෙනුවෙන් අධිකරණයේ නො බියව පැවසූ ඒ නැසී ගිය උදාර මාතාව මෙන් ම ලයනල්ගේ සොයුරු සොයුරියෝ ද ජනතා විමුක්ති පෙරමුණේ අවංක හිතවත්තු හා ක්‍රියාධරයෝ වූ හ. ලයනල්ගේ සොයුරියක් පක්ෂයේ කාන්තා අංශයේ පූර්ණකාලීනව වැඩ කළා ය. ඔවුන්ගේ නිවසේදී පක්ෂ ක්‍රියාකාරිකයන්ට තමන්ට පුළුවන් හැටියට කන්නට, බොන්නට දී සැලකූ ආකාරය තුළ තිබුණේ නියම නිර්ව්‍යාජ සහෝදරත්වයකි. ලයනල් සහ ඔහුගේ මව හැර සෙසු බොහෝ අය තවමත් ජීවතුන් අතර සිටිනවා ඇත.

කුළුපණ පිහිටි ලයනල්ගේ වැඩිමහල් සහෝදරයාගේ නිවස දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම පක්ෂ සාමාජිකයකුට විවෘත තැනක් විය. පක්ෂයේ අය නිතර යාම, ඒම, කෑම, බීම, නවාතැන් ගැනීම, සාකච්ඡා පැවැත්වීම ආදිය නිසා ඇති වන අවදානම තඹයකට නො තකමින් මේ පවුල ජවිපෙට උපකාර කළේ ය. 

අවදානම දැරීමේ සූදානම මා පීඩිත පංතිකයන් තුළ දැක තිබෙන එක් සුවිශේෂ ලක්ෂණයකි. ජවිපෙට දුෂ්කර සමයන්හිදී පක්ෂය මග හැර නො යමින් රැක ගත්තේ මෙවැනි පීඩිතයන් පමණි. ඔලුව උස්සාපු හැටියේ ජවිපෙ කරන්නේ මෙම පීඩිතයන් අමතක කර දමා මධ්‍යම පංතිය සරණ යාමයි. (ඒ ගැන පසුව ලිපියක් ලියන්නට අදහස් කරමි.) 

ජවිපෙ වනාහි පීඩිතයන්ගේ ජීවිත සූරා කා මධ්‍යම පංතියට බලය ගොඩ නගා දෙන තවත් එක් මධ්‍යම පංතික සුළු ධනේශ්වර පක්ෂයක් පමණි. 

ලයනල්ගේ අයියා රැකියාවට කළේ වෙස්මුහුණු කපන එකයි. කදුරු කොටයේ කිසිදු සලකුණක් නො යොදා අත් පොරවෙන් වෙස් මුහුණ කපාගෙන, කපාගෙන යන අයුරු ඒ දිනවල ශිෂ්‍යයකු වූ මම විස්මයෙන් බලා සිට ඇත්තෙමි. 

ජවිපෙට සම්බන්ධ නො වුණා නම් ලයනල් කිසි කලෙක එවැනි ඝාතකයකු වේ යයි මා නම් සිතන්නේ නැත. එහෙනම් ඔහු ද සුළු ව්‍යාපාරයක් කරගෙන, දරුවන් හදා වඩාගෙන තවමත් ඉන්නවා ඇත.

ටාසන් වීරසිංහව මට ලයනල් තරම් හමු වී නැත. ඔහු කලුතර ඩිපෝවේ වැඩ කළ රියදුරෙකි. විවාහකයෙකි. දරුවන් දෙදෙනෙකු සිටි බව මතක ය.

ඔවුන් කලුතර දිස්ත්‍රික්කයේ සන්නද්ධ කණ්ඩායම ආරම්භයේ සිට ම එහි ක්‍රියාකාරිකයන් ව සිට තිබේ. දේශපාලන අංශයේ වැඩ කළ අප පවා ඒ පිළිබඳව දැන ගත්තේ ජවිපෙ සන්නද්ධ ප්‍රහාර ආරම්භ වීමෙන් පසුවයි. ලයනල්ගේ තවත් සගයකු වන කරුණාරත්න බණ්ඩාර ජවිපෙ විසින් පක්ෂ සම්බන්ධකම් හරහා හමුදාවට යවා පුහුණුව ලබා ගත් පසු පැන ආ බව දනිමි. ලයනල් ද ඇතැම් විට ඒ පුහුණුවට යන්නට ඇත. මෙම කණ්ඩායමේ සිටි තවත් දක්ෂ සටන්කරුවකු වූ කරුණාරත්න බණ්ඩාර මිය ගියේ ජවිපෙ විසින් එල්ල කරන ලද ප්‍රහාරයකදී තමන්ගේ ම කණ්ඩායමේ අයකු වැරදීමකින් තබන ලද වෙඩිල්ලකින් බව දැන ගන්නට ලැබිණි.

මට කීමට ඇති මූලික කරුණ වන්නේ මේ කිසිවෙකු කුලී ඝාතකයන් නො වන බවයි. ඔවුන් එවැන්නන් වීමට කිසිදු පසුබිමක් නො තිබිණි. චන්ද්‍රිකා දේශපාලන වාසි වෙනුවෙන් විජයගේ මළගම පවා සිය වාසියට භාවිතා කෙරුවේ අතිශය නින්දිත අන්දමටයි. මෙම ඝාතනය එවකට පැවති ආණ්ඩුව පිට පටවන්නට යාම නිසා අවසානයේ සිදු වුණේ ජවිපෙ අවංක ක්‍රියාධරයන් දෙදෙනෙකු කුලී ඝාතකයන් ලෙස නම් කිරීමයි.

මෙම කණ්ඩායමේ අය සිය සන්නද්ධ ක්‍රියාකාරකම්වල නියැලුණේ මනා දේශපාලන අවබෝධයකින් යුුතුව, පක්ෂයේ නියමය නිසා මිස පෞද්ගලික ලේ පිපාසයකින් නො වේ. මෙම සන්නද්ධ කණ්ඩායමේ පිරිස් අතර ඔවුන් හුදු ඝාතකයන් ලෙස පමණක් පාවිච්චි කිරීම පිළිබඳ දැඩි විවේචනයක් තිබිණි. ඔවුන් පැරණි පක්ෂ සාමාජිකයන් වුව ද ඔවුන්ට පක්ෂයේ නිල දේශපාලන ධුරාවලිය තුළ කිසිදු තැනක් හිමි වුණේ නැත. ඒ වෙනුවට දේශපාලන අංශයේ සිටි වෙනත් අය සන්නද්ධ අංශයේ දිස්ත්‍රික් ලේකම් වැනි ඉහළ තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි විවේචනයක් තිබිණි. කලුතර දිස්ත්‍රික්කයේ අය සිටියදී පිටින් එන අයට ඉහළ තනතුරු දෙනවා යි බොළඳ, ප්‍රාදේශීයවාදී විවේචනයක් ද ඔවුන්ට තිබිණි. 

මෙම ඝාතක කල්ලි තුළ මිලිටරි විනයක් තිබුණේ නැත. ලයනල් රණසිංහ තමන් සිදු කළ ඝාතන පිළිබඳ පොලිසියට දුන් විස්තරාත්මක කටඋත්තර වැනි ම විස්තර ඔවුන් නතර වී සිටි නිවෙස්වල ගැහැනු ළමයි පවා දැන සිටිය හ.   

විජය ඝාතනය සිදු වන කාලයේ ලයනල් රණසිංහ හා ටාසන් වීරසිංහ වැඩ කළේ කොළඹ දිස්ත්‍රික්කයේ ය. එසේ වුව ද, ඔවුන් කිසි සේත් ම කුලී ඝාතකයන් බවට පත් නො වන බව මගේ දැඩි විශ්වාසයයි. අනෙක, ජවිපෙ ඒ වකවානුවේ විජය වැනි වාමාංශිකයන්ට එළව එළවා පහර දුන්නේ ය. ජවිපෙන් වැඩියෙන් ම බැට කෑවේ ජවිපෙට ආසන්න සතුරා වූ වාමාංශික ව්‍යාපාරයයි.

විජය ඝාතනය කළේ ජවිපෙ ය. එහෙත්, එය ඒ වකවානුවේ පැවති දේශපාලනය විසින් නිර්මානය කරන ලද තත්වයක් මිස තේරුම් ගත නො හැකි කුමන්ත්‍රණයක් නො වේ. එහෙත්, විජයගේ විවාහක බිරිඳගේ සිට ජවිපෙ දක්වා අවස්ථාවාදී දේශපාලකයන් රැසක් විසින් දැනුවත්ව නිර්මානය කරන ලද ප්‍රබන්ධ හේතුවෙන් විජයට මෙන් ම ඝාතකයාට සිදු වන්නේ අසාධාරණයකි.

ලයනල් රණසිංහට ද ගාන්ධි මැරූ ගොඩ්සේට සේ කියන්නට කතාවක් තිබෙන්නට ඇත. එවකට සිටි පාලකයන් හා ආරක්ෂක ප්‍රධානීන් ලයනල් රණසිංහ මරා දැම්මේ මෝඩකමට, උද්දච්ඡකමට හා මේ කතාව කියවෙන එක වළක්වන්නට ය.

විජය ඝාතනය සම්බන්ධයෙන් කුමන්ත්‍රණ ප්‍රබන්ධ නිර්මානය කරන කාටවත් ලයනල් රණසිංහ හමු වී නැත. ඔහු හමු වූ එක් අයෙකු ජවිපෙ නායකත්වයේ තවමත් ඇත. ඒ ටිල්වින් සිල්වා ය. 

ලයනල්ගේ අම්මා මෙන් මට ද කීමට ඇත්තේ යකෙකු වුවත් ඔහු අවංක තරුණයකු බවයි. ඔහු කුලී ඝාතකයකු නො වේ. 1989දී ලංකාවේ බලය අල්ලාගෙන සමාජවාදය ගොඩනැගීම වෙනුවෙන් කැරැලි ගැසූ, සියල්ල ඒ වෙනුවෙන් පරදුවට තැබූ අවංක තරුණ පරපුර නියෝජනය කරන, මා දන්නා හොඳම සංකේතය ලයනල් රණසිංහයි. 

ප.ලි: ලයනල් රණසිංහ ජවිපෙ කලුතර සන්නද්ධ අංශයේ වැඩ කරද්දී ඔහු භාවිතා කළ නම මහින්ද ය. 



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-16

මිහිකත සොලවාලා - මග ගල් පෙරළාලා - පාසල වෙතැ යන මේ

“අපේ දූ ඇවිත් කියනවා ගේට්ටුව ළඟ අක්කලා (ශිෂ්‍ය නායිකාවො වෙන්න ඇති) දෙන්නෙක් ඉඳගෙන මේස් දෙක කොටට නවා ගන්න ය කියනවා ය කියලා. ඇත්තට ම ඔය මේස් කියන ජාතිය දිගට හදලා තියෙන්නෙ ඇයි?"

මා ෆේස්බුක්හි දාපු මේ පෝස්ටුව පදනම් කරගෙන සංවාදයකුත් වැදගත් අදහස් රැසකුත් එළියට ආවා.

මේ අව් අස්සෙ ලංකාවෙ ප්‍රධාන බෞද්ධ පාසල් දෙකේ ශිෂ්‍යයෝ ‘පිස්සො වගේ, පිස්සො වගේ' පාරෙ ගහගන්නවා; ලංගම බස් කුඩු කරනවා. ඇයි මෙහෙම වෙන්නෙ? 

අවුරුදු 23ක ගුරු සේවාවකින් පසුව මට නම් කියන්නට තිබෙන්නේ ලංකාවෙ පාසල් කියන්නේ නියම හිරගෙවල් ජාතියක් බවයි. පාසලට යන ළමයාට මුහුණ දෙන්නට සිදු වන්නේ කොතන ඉඳන් කොයි වෙලාවෙ විදුහල්පති, ගුරුවරයෙකු, ශිෂ්‍ය නායකයෙකු බල්ලෙකු වගේ බුරාගෙන ඇඟට කඩා පනිනවාද කියලා බය හිතෙන තත්වයකටයි. එහෙම අධ්‍යාපනයකින් නිර්මානශීලී අනාගත පරම්පරාවක් හැදෙයි ද? ලංකාවේ පාසල්වල සීසීටීවී කැමරා දක්වා බොහෝ මර්දන උපකරණ තිබෙනවා. හැබැයි ආදරය හා ගෞරවය නැහැ.

නිර්මානශීලී මිනිසුන් හැදෙන්නේ පාසල් විනයට අනුගත නො වූවන්ගෙන් වෙන්නත් පුළුවන්. උදාහරණ ඕනැ තරම් තිබෙනවා.

මගේ පාසල් ශිෂ්‍ය කාලයේ අවසාන අවුරුදු කීපය ගැන මතක් කරන්නට මට තරමක් ලැජ්ජයි. මම ඒ තරමට ඒ සිස්ටම් එකට විරුද්ධව තනියෙන් කැරැල්ලක් ගැහුවා. ඉස්කෝල නිලඇඳුමෙ කමිසය බැගී විදියට මහගෙන, කොට කමිස අත් දෙකත් උඩට නවාගෙන ඉස්සරහ බොත්තම ගලවාගෙන කැළෑ පාරකින් පරක්කු වෙලා පාසල් එන එකේ ඉඳලා ඉගෙන ගැනීම සම්පූර්ණයෙන් ම ප්‍ර‍තික්ෂේප කිරීම දක්වා මෝඩ වැඩ ගොඩක් එතුළ තිබුණා. හැබැයි, පස්සෙ කාලෙක මා ගුරුවරයෙකු වුණාම ළමයින්ගේ මානසිකත්වය තේරුම් ගන්නට පුළුවන්කම හා ළමයින් එක්ක සුහදව කටයුතු කරන්නට පුළුවන්කම මට ලැබුණෙ මගේ පාසල් කාලයේ අත්දැකීම් නිසායි.

ගුරු ජීවිතය තුළදිත් ගොන් වැඩ නො කළේ නැහැ. කේන්තියෙන් ළමයෙකුට ගහපු අවස්ථාවක්, දෙකක් ගැන කවදාවත් සිතින් අයින් නො වෙන පසුතැවිලි වීම් තිබෙනවා. ඒවා ඒ ළමයින්ට සාමාන්‍ය දේ වුණත්, මට නම් නිවැරදි කරන්නට බැරි, සමාව ගන්නටත් බැරි බරපතල අතපසුවීම්. ගුරුවරයා කියන්නෙ පීඩිතයන් අතරිනුත් පීඩිතයෙක්. ගුරුවරයාට ගෙවන වැටුප ඇහුවොත් ඔබ පුදුම වේවි. අවුරුදු විසිතුනක සේවය කර පුහුණු ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස මා විශ්‍රාම යන විට මා ලැබූ මූලික වැටුප ගැන කිව්වොත් ඔබ එය පිළි ගන්නෙ නැහැ. ගුරුවරයාට දුන්න මේ ආර්ථික පීඩනයට ගුරුවරයා එල්ල කළ ප්‍ර‍ති ප්‍ර‍හාරය තමයි ටියුෂන්. එමගින් ලංකාවේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණයෙන් ම විනාශ වුණා. වර්තමානයේ පාසල්වල සිටින ප්‍ර‍ධාන ගුරුවරුන් වැඩි දෙනෙක් කපටි වෙළෙන්දෝයි. පාසල්වල තිබෙන ඊනියා විනය නීති, බොරු සදාචාරය, ළමයින් ලවා වන්දවා ගැනීම වැනි ගොන් පාට් මේ කපටි වෙළෙන්දන් විසින් අහිමි කරගෙන තිබෙන ගුරු ගෞරවය බලෙන් ආපසු ලබා ගැනීමේ විවිධ කූටකම් විතරයි.

පාසල්වල භීෂණය ආරම්භ වන හැටි මා කියන්නම්. මගේ පොඩි දුව පාසල් යන්න පටන් ගන්නකොට මාත් වැඩ කළේ ඒ පාසලේ. දෙවන දවසේ දුව මට කිව්වා, තාත්තෙ ගේට්ටුව ළඟ ඉඳලා තනියම යන්නම් කියලා. ඒත්, සතියක් දෙකක් යනකොට ගුරුවරිය මට කතා කරලා කිව්වා ළමයා දුර්වලයි, අකුරු දන්නෙ නැහැ, එයාගෙ ගෙදර පන්තියට එවන්න ය කියලා. මම යැව්වෙ නැහැ. මුළු පන්තියේ ම දෙමව්පියන් බයට ළමයින්ව පන්තියට යැව්වා. මගේ දරුවාව මම අවුරුද්දක් ම බලෙන් ඇදන් ගිහින් පන්තියට තල්ලු කරලා ආවා. ඒ ගුරුවරිය ළමයාගේ පාසල් ජීවිතේ මුල් අවුරුදු දෙක විනාශ කළා. අපි පැමිණිලි කළා. ඒත්, සිදු වුණේ ළමයාගෙන් පළි ගැනීම වැඩි වුණ එක විතරයි. විශ්‍රාම යන්නට ආසන්න වයසේ, වැන්දඹු, පීඩිත ගැහැනියකගේ රැකියාව නැති කරන්නට තිබුණු අකැමැත්ත නිසා අපි අපේ දරුවාගේ ජීවිතේ අවුරුදු දෙකක් විනාස වෙන්නට ඉඩ හැරියා.

ඔබ කියයි, ඇයි ළමයාව වෙන පාසලකට දැම්මේ නැත්තේ කියලා. එහෙම දාන්න බැහැ. මගේ නිවස අවට කිසිම පාසලක ඉඩ නැහැ. එහෙම නම්, අපි ළමයාව අරගෙන ගෙදරින් කිලෝ මීටර් දහයක් විතර ඈත, අප නො යන පැත්තක පාසලකට යන්නට ඕනැ.

පාසල් අධ්‍යාපනයේ නැති ප්‍රධාන දෙයක් තමයි ළමයින්ට ගරු කිරීම. පාසල් ගුරුවරයකු ලෙස වැඩ කරද්දි මා මට පුළුවන් උපරිමයෙන් ළමයින්ට ගරු කළා. ළමයින් නිසා තමයි අප රැකියාව කළේ. ඒ වගේ ම ළමයා කියන්නෙ අනාගත පුරවැසියෙක්. හෙට අපට ඒ ළමයා හමු වන්නෙ අපට ඇත්තට ම ගරු කරන්නට සිදු වන තත්වයක වන්නට පුළුවන්. ඒ නිසා අපි අද සිට ම ඒ ගරුත්වය ගොඩනගා ගත යුතුයි.

ගුරුවරයකු ලෙස සිටිද්දී, වැටුප් නො ලබා, හිරු පත්තරේ කර්තෘකමත් කරපු කාලේ මා වැඩ කළ දුෂ්කර පාසලේදී මා සියලු නිවාඩුත් අරගෙන නෝපේත් ගියා. එවකට මා සිතුවේ ජාතීන්ගේ ප්‍ර‍ශ්නය සම්බන්ධයෙන් අප කළ මැදිහත් වීම ගුරු වෘත්තියට වඩා වැදගත් ය කියලායි. ඇත්තෙන් ම කියනවා නම්, අප කණ්ඩායම අතර අර්බුද ඇති නො වුණා නම්, අවුරුදු හතළිහ ඉක්මවා සිටියදීත් මා සූදානම් ව හිටියේ රැකියාව අතහැර නැවතත් පූර්ණකාලීන දේශපාලනයට එන්නටයි. ඒත්, ඒ කාලයේත්, පාසල් ගිය දිනවල ඒ අති දුෂ්කර පාසලේ ඉගෙන ගත් හැටක් විතර වුණ මුළු ළමයින් පිරිස සමග එකතු වෙලා පයිඩ් පයිපර් කතාව ඇසුරෙන් ඉංග්‍රීසි නාට්‍යයක් කරලා බස්නාහිර පළාතේ කුඩා පාසල් අතරින් පළමු ස්ථානය දිනා ගන්නට සමත් වුණා. ඒ නාට්‍ය කණ්ඩායමේ ඇතැම් ළමයින් පළමු වරට කොළඹ ගියේ නාට්‍යය පෙන්නන්නටයි. ආපහු හැරිලා බලනකොට ඒවා ජීවිතේ සොඳුරු ම අත්දැකීම්.

ඒ වන විට මම පදවිය, මැදවච්චිය, පුසියන්කුලම වගේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ප්‍රදේශවලත්, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඊටත් වඩා දුෂ්කර පාසල්වලත් අවුරුදු 12ක්, 13ක් වැඩ කරලා තිබුණ නිසා මගේ ම ගමේ ඊට වඩා ළමයින් පිරිසකට උගන්වන්නට අපේක්ෂාවෙන් මා වඩා හොඳ යයි සම්මත පාසල්වලට ආවත්, ඒවායේදී මා දැක්කෙ නැහැ අර දුෂ්කර, ගම්බද පාසල්වල තිබුණු අව්‍යාජත්වය. කොටින් ම ළමයින් සමග දුෂ්කර පාසල්වලදි කරපු බොහෝ දේ කරන්නට පුළුවන් තත්වයක් ලොකු ය කියන පාසල්වල තිබුණෙ නැහැ.

මුදල් අවශ්‍ය නිසා මමත් අවුරුදු දෙකක් විතර ටියුෂන් කළා. ඒත්, මා කවදාවත් මගේ ටියුෂන් පංති ගැන මා වැඩ කළ පාසල්වල ප්‍ර‍චාරය කළෙත් නැහැ. මගේ පන්තිවල ළමයින්ට මගෙන් ටියුෂන් ගන්නට බල කළෙත් නැහැ. මගේ ටියුෂන් පන්ති සාර්ථක වුණෙත් නැහැ. අන්තිමට වැඩ කරපු පාසලේ ඉංග්‍රීසි, ඉංග්‍රීසි සාහිත්‍යය හා සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය විෂයයන් තුන ම උගන්වන ගමන් මා එම පාසලේ 13න්, 15න්, 17න්, 19න් පහළ සියලු ක්‍රිකට් කණ්ඩායම් භාරවත් වැඩ කළා. එය රැයක්, දවාලක් නැති, නිවාඩු දවස්වල පවා වැඩ කළ, එහෙත්, කිසිදු හොඳක් අසන්නටත් නො ලැබුණු කාලයක්. මා ටියුෂන් අතහැර දමා පරිවර්තනයට බැස්සේත් මේ ක්‍රිකට් නිසායි. අර්ධ නාගරික පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම යනු ඇත්තට ම අංක එකේ මෝඩකමක්. තුන්වන කාණ්ඩයේ පාසල් ක්‍රිකට් කියන්නේ ඇත්තෙන් ම තුන්වන පන්තියේ ගොන් වැඩක්. එය තිබෙන්නේ පාසල් ක්‍රිකට් සම්මේලනයට සාමාජික මුදල් සූරා කෑමටත්, ක්‍රිකට් විනිසුරුවන්, පුහුණුකරුවන් හා ක්‍රිකට් උපකරණ අලෙවි කරන්නන් වෙනුවෙනුත් විතරයි.

මා ගුරු වෘත්තියේ යෙදී සිටි අවසාන කාලය වන විට අර්ධ නාගරික පාසල් තනිකර ම මාළු මාකට් තත්වයට පිරිහී තිබුණා. ඒවායේ ගුරුවරුන් ටියුෂන් මුදලාලිලා වෙලා, විදුහල්පතිලා ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් වෙලා, ළමයින් ටියුෂන් මිළ දී ගන්නා පාරිභෝගිකයන් වෙලා. ගුරුවරයකු ලෙස කරන්නට ආසාව තිබුණු හා කරන්නට හැකිව තිබුණු බොහෝ දේ තිබුණත් ඒවා කරන්නට පුළුවන් පරිසරයක් ප්‍රධාන පාසල්වල තිබුණෙ නැහැ. කොටින්ම, උගන්වන්නට කාලසටහනක් ගන්නා එකත් අද කාලෙ ප්‍රධාන පාසල්වල අභියෝගයක්. විශ්‍රාම යන්නට අවුරුදු 10ක් තියෙද්දි මා රස්සාවෙන් දොට්ට බැස්සේ තව දුරටත් එතැන අපට ඉන්නට බැරි බව තේරුණ නිසායි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-15

කුණු නම් ඉතින් පාරට තමයි

පීටර් ජෙරම් තිසරණ පෙරේරා ගත් ඉහත ඡායාරූපයට පොඩි වචන ටිකක් එකතු කර මුහුණු පොතේ පළ කළා.

එයට රසික සූරියආරච්චි පහත දැක්වෙන අදහස පළ කළා. ඔහු දකින විධියට මේ තත්වයට හේතු දෙකයි: එකක් අධ්‍යාපනයේ වැරැද්ද, අනික කුණු බැහැර කිරීමට නිසි ක්‍රමයක් නොතිබීම.

ලංකාවේ කසල කළමනාකරණයේ මහා ගැටලුව රසිකගේ වචන කීපය තුළ ගැබ් වී තිබෙනවා. හැබැයි, ගැබ් නො වන ඉතා වැදගත් කරුණක් තියෙනවා. අපි හැමෝ ම මේ ගැන කණගාටු වෙනවා. ඒ වුණාට කිසිවක් කරනවා ද? අපේ උද්ඝෝෂණ ප්‍ර‍මුඛතා ලැයිස්තුවේ කවදද කසල කළමනාකරණය තිබුණෙ? තිබුණා නම් තිබුණෙ අපේ ගෙවල් පැත්තට කුණු දාන එක නවත්වා ගැනීම විතරයි. අපේ ගෙවල් පැත්තට නො දා වෙන කොහෙට කුණු ගිහින් දැම්මත් අපට මොක ද?

ලංකාවේ පාසල්වල අනෙක් හැම දේම උගන්නනවා, ශිෂ්ට මිනිසෙකු ලෙස ජීවත් වන ආකාරය හැර. ඒවා පෙළ පොත්වලට, විෂයමාලාවලට ඇතුළත් කිරීම අනිවාර්ය නැහැ. ඒවා ගුරුවරුන්ට උගන්වන්නට පුළුවන් දේ. එහෙත්, විභාගවලට ළමයින් හුරු කිරීම මූලික වූ අධ්‍යාපන ක්‍ර‍මයක් තුළ ජීවිතයට ළමයින් හුරු කිරීමට කාලයක් ගුරුවරුන්ට නැහැ. මුදල් ඉපැයීම පරම අරමුණ වූ ලෝකයක ජීවිතය ගැන නැවතී හිතා බලන්නටවත් මිනිසුන්ට වෙලාවක් නැති ලෝකයකයි, ගුරුවරුනුත් ජීවත් වෙන්නේ. 

පාසල්වල විදුහල්පතිවරුන් හා ටියුෂන් ගුරුවරුන් කියන්නේ මේ වන විට රටේ සිටින ප්‍ර‍ධාන ම පෙළේ පරිසර සංහාරකයන් පිරිසක්. පාසල් ඉදිරිපිට ප්‍ර‍දර්ශනය කරන ඩිජිටල් බැනර් තඩිවලට මොකක්ද වෙන්නෙ? ඔවුන් ඒවා බැහැර කරනවා ද? නැහැ. පාසල්වල කසල කළමනාකරණය සඳහා ක්‍ර‍මවේද සකසනවා වෙනුවට ඔවුන් කරන්නේ ළමයින්ට පොලිතින් ගෙන ඒම තහනම් කිරීම වැනි දේ විතරයි. හැබැයි ඉතින් ලංකාව වගේ වල් බූරු නිදහසක් තිබෙන රටක තහනම් කිරීමත් නරක ම නැහැ.

පාසල් ඇරෙන වෙලාවට පාසල් බසයක් පසුපස ගියොත් බලාගන්නට පුළුවන් ඒවායින් පිටට වැටෙන පොලිතින් දවටන සංඛ්‍යාව. විවිධ දවටන, වතුර බෝතල් ආදිය වාහනවලින් පිටත පාරට විසි කර දමන එක ලංකාවේ ඉතා සාමාන්‍ය ක්‍රියාවක්.

පසුගිය දිනෙක මාර්ග සංවර්ධන අධිකාරියෙන් අපේ නිරතුරු සිල් සුවඳ පැතිරෙන, සුන්දර, මනස්කාන්ත, පිටිසර ගම මැදින් යන ප්‍ර‍ධාන පාරේ දෙපැත්තේ තණකොළ කැපුවා. උසට වැඩුණු තණ ගස් කැපෙනකොට යටින් මතු වෙන්නේ පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල් ආදියයි. මේවා කිසිම දවසක, කවුරුවත් ඒ තැන්වලින් ඉවත් කරන්නේ නැහැ. සුළඟ, වැස්ස විසින් මුහුදට ගෙන ගොස් දැමුවොත් මිස ඒවාට කිසි දෙයක් සිදු වන්නේ නැහැ. උදැල්ලකින් පොළව පාරක් ගැහුවාම අපට හසු වන්නේ ප්ලාස්ටික්, පොලිතින්. නගර සීමාවලින් බැහැර කසල එකතු කිරීමේ කිසිම ක්‍ර‍මයක් ලංකාවේ නැහැ. මහජන මුදලින් කරන කසල කළමනාකරණයෙන් ආවරණය වන්නේ රටේ මුළු භූමියෙන් සුළු ප්‍ර‍තිශතයක් පමණයි. ගම්වල දිරාපත් නො වන කසල කළමනාකරණය දැන් බරපතල ප්‍ර‍ශ්නයක් වෙලා. සියලු ජල මාර්ග හා ඉවුරුවල ප්ලාස්ටික්, පොලිතින් ගොඩගැහිලා. සුන්දර ස්ථාන කිසිවක් මේ උවදුරින් බේරිලා නැහැ. දීප ව්‍යාප්ත විධිමත් කසල කළමනාකරණ ක්‍ර‍මවේදයක් ලංකාවට අත්‍යවශ්‍යයි. හදිසියි. සංචාරක කර්මාන්තය සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා නම් රජය මේ කෙරෙහි වහා අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යයි.

මේ පිංතූරයේ තිබෙනවා වගේ කසල මලු පාරට විසි කිරීම ලංකාවේ හැම තැනම සුලබ ක්‍රියාවක්. ජෝන් පර්කින්ස් ලියූ Confessions of an Economic Hit Man නම් පොතේ සඳහන් වන ආකාරයට ඉස්සර කාලේ සවුදි අරාබියේ ප්‍ර‍ධාන නගරවලට එළුවන් අත්‍යවශ්‍ය වුණාලු. ඒ කසල ශෝධනය සඳහා. ඒත්, අපේ රටේ දැන් එළුවෙකුට, හරකෙකුට අවේලාවක වැඩි වෙලාවක් පාරේ යන්නට පුළුවන් වාතාවරණයක් නැහැ. අයාලේ යන හරකුන්, එළුවන් පහුවෙනිදා ඉන්නෙ මස් කඩේ කොක්කේ.

හැබැයි, අයාලේ යන මිනිසුන් පිරිසක් නම් පළාත් පාලන ආයතනවල මැම්බර්ලා වෙලා හිටියා. පළාත් පාලන ආයතනවලින් කරන ලද එකම වැදගත් වැඩේ වුණේ කුණු අදින එකයි. ඒකත්, හරියට කෙරුණෙ නැහැ. පළාත් පාලන මැම්බර්ලා නැතුව පවා තවමත් ඒ මට්ටමෙන් ඒ වැඩේ කෙරෙනවා. මේ මෑතදී වෙබ් මාධ්‍යවේදීන් එක්ක තිබුණු සාකච්ඡාවකදී මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය අපූරු කතාවක් කිව්වා. ඔහු කියන පරිදි දෙවියන් හැම දෙයක් ම දන්නවා. හැබැයි දෙවියනුත් නො දන්නා කාරණය වන්නේ පළාත් පාලන මැතිවරණය පවත්වන දිනයයි. කසල කළමනාකරණය කරන එකට පළාත් පාලන ආයතන ම ඕනැ නැහැ. ඇත්තෙන් ම රජය කුණු අදින වැඩේ කරන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් පෞද්ගලික අංශය සහභාගි කර ගන්නට පුළුවන්. හැබැයි ඉතින් අන්තරෙනුයි, රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමයෙනුයි, වාමාංශික බුවාලාගෙනුයි අහලා ඉන්න වෙයි. මොකද, කුණු ඇදීම පෞද්ගලීකරණය කරන එක ගැන ඇරිස්ටෝටල්, මාක්ස්, ලකාන්, ජිජැක්, බදියු එහෙම මොනවා කියලා තියෙනවද කියලා ඒගොල්ලන්නේ දන්නෙ. අනෙක් පාර කියයි කසල කළමනාකරණය වගේ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය අංග වෙළඳපොළකරණය කරන එක අපරාධයක් ය කියලා.

හැබැයි ඉතින් කසල කියන්නේ ධනයයි. පොලිතින්, ප්ලාස්ටික් කියන්නේ කසල බැහැර කිරීමේදී මුහුණ දෙන ප්‍ර‍ධාන අභියෝගයයි. එහෙත්, ඒවා‍ ආරක්ෂිත පරිසරයක පූර්ණ ලෙස දහනය කිරීමෙන් බලශක්තිය නිපදවන්නට හෝ පුළුවන්. එහෙත්, සිදු වන්නේ ඒවා නිකම් තැන තැන ගොඩගැසීම පමණයි. පොලිතින්, ප්ලාස්ටික් බැහැර කරන්නට කිසිම විධිමත් ක්‍ර‍මයක් නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය මේ සම්බන්ධයෙන් කියන්නේ බොරු. ඉඳහිට අප්‍ර‍සිද්ධියේ නගරවල පවත්වන ප්ලාස්ටික්, පොලිතින් එකතු කිරීමේ සංදර්ශන හැර වෙනත් විධිමත් බැහැර කිරීමේ ක්‍ර‍මයක් නැහැ.

හැබැයි, කිසිදු අරපරිස්සමකින් තොරව ප්ලාස්ටික්, පොලිතින් පරිසරයට මුදා හරිනවා. මුදලාලිලා, සුපර් මාකට්වල ගෑල්ලමයි එහෙම ආදරේ පළ කරන්නෙත් බඩු වැඩිපුර පොලිතින් කවරවල දාලා දීලායි. කවර එපා කිව්වොත් එගොල්ලන්ට පුදුමයි. ගෙදරින් බෑග් අරගෙන එන අය ඒගොල්ලන්ට කරදරයක් වගේ. ඉවක් බවක් නැතිව පොලිතින්, ප්ලාස්ටික් බෙදා හරින කඩවල, සුපර් මාකට්වලට දිරාපත් නොවන අපද්‍ර‍ව්‍ය කළමනාකරණය වෙනුවෙන් බද්දක් පැනවිය යුතුයි. එම අපද්‍ර‍ව්‍ය ආපසු ලබා ගෙන විධිමත් අන්දමින් බැහැර කරන අයට බදු සහන ලබා දිය යුතුයි. දිරාපත් නො වන අපද්‍ර‍ව්‍ය කළමනාකරණය වෙනුවෙන් වන බදු පළාත් පාලන ආයතන විසින් මනා ලෙස භාවිතා කළ යුතුයි.

ඒ වගේම තමයි, ඵලදායී, අත්‍යවශ්‍ය සේවාවක් කරන කම්කරු පිරිසක් වන සනීපාරක්ෂක කම්කරුවන්ට ඉහළ වැටුප් ගෙවීම වෙනුවෙන් සෙසු වැඩ කරන ජනයාත් පෙනී සිටිය යුතුයි. ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාවත් ඉතා වැදගත්. බලන්න, කොළඹ නගරයේ පවා පිළිකුල් සහගත කුණු ලොරිවල පිටුපස එල්ලී මේ මිනිසුන් කරන අවදානම් සහගත රැකියාවේ ස්වභාවය. රක්ෂණාවරණ, නොමිලේ වෛද්‍ය පහසුකම්, අවදානම් දීමනා, විශ්‍රාම වැටුප්, නිල නිවාස විතරක් නෙමෙයි, තීරුබදු රහිතව යතුරුපැදියක්වත් ආනයනය කර ගැනීමේ වරප්‍ර‍සාදය හෝ ඔවුන්ට ලබා දිය යුතුයි.

හැබැයි ඉතින් 2020 වෙනකොට මේ ඔක්කොම නියමෙට වෙයි කියලා සිරාවටම බලාපොරොත්තු තියන්නට පුළුවන්. මොකද, ලංකාවෙ පරිසර ඇමති සිරා පොරක් නේ.

මම නම් කියන්නේ අපේ පැත්තෙන් කරන්නට පුළුවන් දේ හරි කරන්නට අප උත්සාහ කළ යුතුයි. පර්චස් දහයෙ ඉඩම් කෑල්ලක වුණත් කුණු වලක් කපා ගන්නට බැරිකමක් නැහැ උවමනාව තිබෙනවා නම්. ඒ වගේම, පොලිතින්, ප්ලාස්ටික් භාවිතයත් අපට අවම කරන්නට පුළුවන්. අඩු ගානෙ පාරට විසි නො කර, වත්තේ කොණක ගිනි තබා පිළිකාකාරක සමස්ත සමාජය ම එක්ක බෙදා ගන්නත් පුළුවන්. පස්සෙ බැරියැ පිළිකා කුමන්ත්‍ර‍ණය ගැන බටහිරට බනින්න. ඔය වෙසක්, පොසොන්, ඇසළ, නිකිණිවලට දන්සැල් ෆන් ගන්න සමාජවලට පුළුවන් ඕනැ නම් බෞද්ධ කොඩි, සිංහ කොඩි දාගෙන, සෙටප්වල දේශාභිමානී ගීත දාගෙන ප්ලාස්ටික්, පොලිතින්වලින් පරිසරය සුද්ද කරන්න. 

මං ලිව්වා මදැයි. ඉතුරු ටික ඔබට.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-13

රනිල් හා නවලිබරල් කෝකටත් තෛලය

නවලිබරල් ජාතිකවාදය 
අද ෆේස්බුක්හි නදී වාසලමුදලිආරච්චි නව ලිබරල්වාදය පිළිබඳ ඉතා වැදගත්, හරවත් සංවාදයක් ආරම්භ කර තිබුණා. එය ආරම්භ කර තිබුණේ විජය දිසානායකගේ සරළ පැහැදිලි කර දීමකින්. පහත දැක්වෙන්නේ එයයි.

නවලිබරල්වාදය යනු කුමක්ද?

නව ලිබරල්වාදය කියන්නේ පහුගිය අවුරුදු 30 ක විතර කාලේ ලෝකේ පුරාවට ව්‍යාප්ත වුනු ආර්ථික ප්‍රතිපත්ති මාලාවක්. ඉංග්‍රීසියෙන් ලිබරල් කියන වචනෙ ගත්තහම දේශපාලන, ආර්ථික එහෙමත් නැත්නම් ආගමික අදහසක් අපේ හිතට එන්නේ. මම පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, “නියෝ" කියල කියන්නේ “නව" කියන අදහස. එතකොට “නියෝලිබරලිසම්" කීවම ඒකෙන් අදහස් කරන්නේ නව ආකාරයක ලිබරල්වාදයක්. එතකොට අපේ හිතට නැගෙන ප්‍රශ්නය තමයි, “එහෙමනම් පරණ ලිබරල්වාදය මොකක්ද?" කියන එක.

ආර්ථික විද්‍යාව සම්බන්ධ ලිබරල් මතවාද යුරෝපය පුරා වඩාත් ජනප්‍රිය වුනේ ස්කොට්ලන්ත ජාතික ආර්ථික විද්‍යාඥ ඇඩම් ස්මිත් නිසයි. ඔහු 1776 පොතක් ලීවා, “ද වෙල්ත් ඔෆ් නේෂන්ස්" කියල. එයා නියෝජනය කරපු ගුරුකුලය පෙනී සිටියේ ආර්ථිකය හා සම්බන්ධ කාරණාවලදී රජය බලපෑම් නොකළ යුතුයි කියලයි. නිෂ්පාදන ක්‍රියාවලියේදී, ආණ්ඩුවක් ඇයි මැදිහත් වෙන්නේ? වාණිජ කටයුතුවලට ආණ්ඩුව අතපෙවීමෙන් වැළකිය යුතුයි. බදු පැනවීම නොකළ යුතුයි. රටක ආර්ථික වර්ධනයට ගත යුතු හොඳම ක්‍රියාමාර්ගය තමයි නිදහස් වෙළෙදාම. මෙන්න මේ අදහස තමයි “ලිබරල්" කියල අදහස් කෙරුණේ. සරලම අදහසින් ගත්තොත් මේකේ අදහස තමයි “වෙළෙදපොලට නිදහසේ ක්‍රියාත්මක වෙන්න ඉඩ දිය යුතුයි" කියන කාරණය. ඒ වගේ තත්වයක් තුළ ධනපතියන්ට ලාබ ලබා ගැනීමේ අවකාශයක් උදා වෙනවා. කවුරුවත් අහන්නේ නෑ “ඇයි මෙහෙම කරන්නේ?" කියල.

එතකොට 1800, 1900 වගේ ශතවර්ෂවල අමෙරිකා එක්සත් ජනපදයේ ආර්ථිකය හා සම්බන්ධව තිබුණේ ලිබරල් මතවාද. ඒත් 1930 අමෙරිකාව බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. ඒකට කියන්නේ “ද ග්‍රේට් ඩිප්‍රෙෂන්" ඒත් නැත්නම්, “මහා අවධමනය" කියල. මේ අර්බුදයේදී ඉදිරියට ආපු ආර්ථික විද්‍යාඥයෙක්, තමයි ජෝන් මේනාර්ඩ් කේන්ස්. එයා ආර්ථිකය හා සම්බන්ධ ලිබරල් මතවාද අභියෝගයට ලක්කරමින් අළුත් න්‍යායක් ඉදිරිපත් කළා. කේන්ස් කීවා, ධනේෂ්වර පංතියට ලාබය ඉපදවීමට නම් අනුගමනය කළයුතු හොදම ප්‍රතිපත්තිය තමයි, රජයේ මැදිහත්වීම කියල. එයා ඉදිරිපත් කරපු අදහස් සරළවම ගත්තොත්, පූර්ණ සේවා නියුක්තියක් ලබා ගන්න නම් රජය සහ මහ බැංකු රැකියා නියුක්තිය සදහා මැදිහත් විය යුතුයි කියන කාරණය තමයි ඉස්මතු වෙන්නේ. අමෙරිකා එක්සත් ජනපදයේ ඒ කාලයේ ජනාධිපතිවරයා හැටියට කටයුතු කරපු ෆ්‍රෑන්ක්ලින් රූසවෙල්ට්ගේ “නිව් ඩීල්" එහෙමත් නැත්නම්, “නව සම්මුතිය" කියන වැඩපිළිවෙලට කේන්ස්ගේ අදහස් දැඩි බලපෑමක් ඇති කළා.

ඇත්තටම ගත්තොත් අමෙරිකානු ජනජීවිතයේ විශාල පරිවර්තනයක් ඇති කරන්න මේ ආර්ථික ප්‍රතිපත්ති ඉවහල් වුනා. රටක ආර්ථික සුබසාධනය සදහා රජය මැදිහත් විය යුතුයි කියන එක තමයි මෙතෙන්දී හයිලයිට් වුනේ. ඒත්, කාර්ල් මාක්ස් වගේ ශ්‍රේෂ්ඨ ආර්ථික විද්‍යාඥයෝ කල් තියා දැක්ක වගේ, ධනේෂ්වර ආර්ථිකය පහුගිය අවුරුදු 30 විතර කාලයේ බරපතල අර්බුදයකට මුහුණ පෑවා. ලාභය අඩුවෙන්න පටන් ගත්තා, මේ තත්වය තුළ සමාගම්වල හිමිකාරීත්වය සහිත ධනේෂ්වර පංතියට අර ආර්ථිකය හා සම්බන්ධ ලිබරල් මතවාද ආපහු හඳුන්වා දෙන්න සිද්ධ වුණා. මේක තමයි “නියෝ", එහෙමත් නැත්නම් “නව" කියල අදහස් කෙරෙන්නේ. එතකොට අපි අද ගෝලීය මට්ටමෙන් දකින්නේ මේ නව-ලිබරල්වාදය හා සම්බන්ධ ආර්ථික ප්‍රතිපත්ති.

මම තව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, මේ නව-ලිබරල්වාදයේ කැපී පෙනෙන කාරණා කීපයක් තියෙනවා:
1. වෙළඳපොළට සියල්ල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි.
2. සමාජ සුබසාධනය සදහා පොදු වියදම් කප්පාදු කළ යුතුයි.
3. ලාභය ඉපැයීමට තියෙන බාධා ඉවත් කළ යුතුයි. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩීරෙගුලේෂන් කියා.
4. හතර වෙනි කාරණය තමයි, පෞද්ගලීකරණය. රජය සතු ව්‍යාපාරික ස්ථාන, භාණ්ඩ හා සේවාවන් පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියන එක.
බැංකු, දුම්රිය මාර්ග, අධිවේගී මාර්ග, විදුලිය, පාසැල්, රෝහල්, ඇතැම්විට අපි බොන ජලය පවා පෞද්ගලික අංශයේ අයිතියට පවරා දීම මේ නවලිබරල්වාදය යටතේ සිද්ධ වෙනවා. කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේක අත්‍යාවශ්‍යයයි කියල කියමින්, සිද්ධ වෙන්නේ මේක තමයි. මේ ක්‍රමය තුළ තමයි, ටික දෙනෙක් අතේ ධනය ගැවසෙන්නේ.
5. පොදු සුබසාධනය, එහෙමත් නැත්නම් ප්‍රජාව වෙනුවට “පෞද්ගලික වගකීම" කියන අදහස මේ යටතේ ඉදිරියට ආවා. සෞඛ්‍ය ක්ෂේත්‍රය, අධ්‍යාපනය, සමාජ ආරක්ෂණය හා සම්බන්ධයෙන් විසදුම් සෙවීමට දිළිඳු ජනතාවම ඉදිරිපත් විය යුතුයි, අකාර්යක්ෂමතාවට හේතුව කම්මැලි කම, මේ වගේ අදහස් සමාජගත කිරීමක් මේ යටතේ සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සුත් හිතනවා, වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දෙන්න නම් රාජ්‍ය අංශය සතු සේවාවන්, සමාගම්, සියල්ල පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියල.

මේ පැහැදිලි කිරීම ඉතා සරළ, පහසුවෙන් තේරුම් ගත හැකි එකක්. හැබැයි නව ලිබරල්වාදයට ඉතා පැහැදිලි නිර්වචනයක් නැහැ. එ් නිසා කිසිම පැහැදිලි කිරීමකට එහි සියලු පැතිකඩ අසු වන්නේත් නැහැ. එයට කේන්ස් වගේ පියෙක් ද නැහැ. ධනවාදී කඳවුර පැත්තෙන් තමන් නව ලිබරල්වාදී ය කියා කවදාවත් පිළිගන්නේත් නැහැ.

කේනීසියානු ආර්ථික උපායමාර්ගයත් එක්ක වුණ සිදු වූ දෙය තමයි ජාතීන් තුළ දැවැන්ත රජයන් ගොඩනැගුණු එක. වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල ආර්ථික අර්බුදයට හේතුව වන්නේ දැවැන්ත රජයන් නඩත්තු කරන්නට අපහසු වීම හා ඒවායේ කාර්යක්ෂමතාව නංවන්නට අසමත් වීම. ඒ වෙනුවෙන් අධික බදු අය කිරීම නිසා ජනතාව වගේ ම ව්‍යවසායකයන් මතත් දැඩි පීඩනයක් ඇති වෙනවා.

ඇත්තට ම නව ලිබරල්වාදී ය කියා අප හඳුනා ගන්නා බොහෝ ක්‍රියාමාර්ග කේනීසියානු ආර්ථික උපායමාර්ගයේ අසාර්ථකත්වය නිසා ධනවාදයට ආපසු හැරෙන්නට සිදු වීමත් සමග ඇති වූ තත්වයන්. එය බොහෝ දුරට ධනවාදය පැවැත්ම තහවුරු කර ගැනීමට කරන ප්‍රතිව්‍යූහගත වීමක්. හැබැයි, ඒ සමග ම වෙළඳපොළ නිදහස සම්බන්ධ අන්තවාදී මතවාදත් ගොඩනැගුණා.

මේ වකවානුවේ ම තොරතුරු තාක්ෂණයේ හා සන්නිවේදනයේත් විප්ලවයක් වුණා. ප්‍රවාහනයේත් දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා. ඒ සමග ම ප්‍රාග්ධන වෙළඳපොළ ගෝලීයව ප්‍රසාරණය වුණා. නිෂ්පාදනය ගෝලීයකරණය වෙන්නට පටන් ගත්තා. භාණ්ඩ නිෂ්පාදනය ගෝලීයකරණය වුණා. ඒකට ඒ වනකොට තිබුණු ලෝක තත්වයන් මහෝපකාරී වුණා. දියුණු ධනේශ්වර රටවල ශ්‍රමයේ මිළ ඉහළ නිසා ලාභ ශ්‍රමය වෙනුවෙන් කර්මාන්තකරුවන් ධනවාදයේ පරිවාරයේ රටවල් වෙත ගියා. මෙයින් නැවත වතාවක් ධනේශ්වර ආර්ථිකයට බූස්ට් එකක් හෙවත් උත්තේජනයක් ලැබුණා.

හැබැයි ප්‍රාග්ධනය කේන්ද්‍රයෙන් පිටට ගලා යනකොට කේන්ද්‍රෙය් රටවලත් අලුත් අර්බුද ඇති වුණා. රැකියා හා වැටුප් අඩු වුණා.

1990 දශකයේදී හා 2000 දශකයේ මුල් භාගයේදී ප්‍රාග්ධන ගෝලීයකරණය තුළ සිය ආධිපත්‍යය අලුත් වටයකින් තහවුරු කර ගැනීම සඳහා දියුණු ධනේශ්වර රටවල් ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක වෙළඳ සංවිධානය වැනි ආයතන හරහා වෙළඳපොළ නිදහස් කිරීමේ බලහත්කාරී වැඩසටහනක් ලෝකයේ සෙසු රටවල් මත පැටවීමට ප්‍රබල උත්සාහයක් දැරුවා. එම වැඩසටහන තුළ ජාතිකවාදය ඉක්මවා නව දේශපාලන ප්‍රජාවන් ගොඩනැගීමේ සාධනීය ලක්ෂණත් තිබුණා. උදාහරණයක් තමයි යුරෝපා සංගමය. යුරෝපා සංගමය යනු මෑත ඉතිහාසයේ ගොඩනැංවෙමින් තිබුණු පුළුල් ම දේශපාලන ප්‍රජා පදනමයි. එය තුළ ප්‍රාග්ධනයට විතරක් නෙමෙයි ශ්‍රමයටත් නිදහස් සංචලනයේ අයිතිය තහවුරු වුණා.

හැබැයි, කිසිම දෙයක් සුමට විදියට සිදු වුණේ නැහැ. විශේෂයෙන් ම ශ්‍රමයේ නිදහස් සංචලනයට ඉඩ හැරීම දියුණු ධනේශ්වර රටවලට බරපතල ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන තත්වයක් නිර්මානය කළා. ඒ නිසා ලෝකයට ඔවුන් ප්‍රවර්ධනය කළ වෙළඳපොළ නිදහස්කරණය ශ්‍රමය සම්බන්ධයෙන් දැඩිව සීමා කරන්නට ඔවුන්ට සිදු වුණා. ඒ විතරක් නෙමෙයි, ඒ වෙනුවෙන් ජාතිකවාදයේ අලුත් ස්වරූපයන්ටත් ඉඩ දෙන්නට සිදු වුණා.

ඒ නිසා ශ්‍රමය හැර වෙනත් ධනයක් නැති සංවර්ධනය වෙමින් පවතින රටවලින් මේ ප්‍රාග්ධන ගෝලීයකරණ උපායමාර්ගයට විරෝධය පළ කෙරුණා. ඒ එක්කම දියුණු ධනේශ්වර රටවල් තව දුරටත් උත්සාහ කළේ ප්‍රාග්ධනය ගෝලීයව සංවිධානය කරමින් ශ්‍රමය ජාතිකවාදය තුළ සිර කරන්නටයි. පරිවාරයේ රටවලින් ආරම්භ වූ අලුත් ජාතිවාදී රැල්ල අවසානයේදී අද වන විට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය පවා කඩා බිඳ දමන තැනට වර්ධනය වෙලා.

ඒක අනෙක් පැත්තට ප්‍රාග්ධන ගෝලීයකරණයටත් බල පා තිබෙනවා. දැන් ට්‍රම්ප් වගේ ජාතිවාදීන් උත්සාහ කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පිටට ගිය ප්‍රාග්ධනය ආපසු කැඳවා ගන්නටයි. වර්තමානයේ නව ලිබරල්වාදය තියෙන්නේ ඉතා සංකීර්ණ තැනකයි. උදාහරණයක් ලෙස ට්‍රම්ප් ට්‍රාන්ස් පැසිෆික් ආර්ථික සහයෝගිතාව ආපසු හරවන්නට හදනවා. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙනවා. හැබැයි, ලංකාව, ඉන්දියාව වගේ රටවල් ආර්ථික ගිවිසුම් හරහා වෙළඳපොළ නිදහස් කරන්නටත් උත්සාහ කරනවා. චීනයත් වැඩේට එන්ටර් වෙනවා. දැන් නව ලිබරල්වාදය කියන්නේ අගක් මුලක් සොයාගන්නට බැරි නූල් බෝලයක් වගේ පටලැවිල්ලක්.

මේ ඔක්කොම අස්සෙ එක් පිරිසක් හැම රෙද්දට ම නව ලිබරල්වාදය ය කියනවා. විශේෂයෙන් ම වාමාංශිකයන්ගේ කටේ ම තියෙන්නෙ නව ලිබරල්වාදය කියන වචනයයි. ඔවුන්ට නො තේරෙන හැම දෙයක් ම ඔවුන්ට අනුව නව ලිබරල්. හැබැයි, ඔවුන් කියන විධියේ සංවිධිත, ආක්‍රමණශීලී නවලිබරල්වාදී වැඩසටහනක් ලෝකයේ තියෙනවා ද කියන එක සැකසහිතයි.

උදාහරණයක් ලෙස ලංකාවේ රනිල් වික්‍රමසිංහ ගත්තොත්, ඔහු 2003දී යෝජනා කරපු ආර්ථික වැඩසටහන ඒ වකවානුවේ හැටියට දැඩි නවලිබරල්වාදී වැඩසටහනක් ය කියන්නට පුළුවන්. එම වැඩසටහන පිටුපසින් ජපානය, ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය, නෝර්වේ, ෆින්ලන්තය වගේ දියුණු ධනේශ්වර රටවල්වල ශක්තියත්, ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ආසියානු සංවර්ධන බැංකුව ආදියත් ආක්‍රමණශිලී ලෙස ක්‍රියාත්මක වුණා. හැබැයි, මහින්ද රාජපක්ෂගේ දශකය තුළ ඒ සියල්ල ආපසු හැරුණා. ලෝක පරිමාණෙන්මත් ගෝලීයකරණ වැඩසටහනට එරෙහිව දැවැන්ත විරෝධයක් මතු වුණා. පරිවාරයේ රටවල අධිපති පංති වන ධනේශ්වර හා මධ්‍යම පංතිත්, කේන්ද්‍රයේ රටවල මධ්‍යම හා කම්කරු පංතිත් ගෝලීයකරණයට විරෝධය පළ කළා. හැබැයි එක තැනක ඉඳන් නෙමෙයි. වෙනස් අරමුණු සහිතවයි. අවසානයේ දියුණු ධනේශ්වර රටවල පාලක පංති තුළ පවා ගෝලීයකරණය අනුරාගයෙන් දරාගෙන ඉදිරියට ගෙන යාම අතහැරියා. දැන් මේ නව ලිබරල්වාදී ව්‍යාපෘතියට පියෙක් නැහැ. ඇත්තම කියනවා නම් එහෙම දරුවෙක් ඉන්නවා ද කියන එකත් පැහැදිලි නැහැ.

2015 ශ්‍රී රනිල්ගෙන් මෙම තත්වය පහසුවෙන් තේරුම් ගන්නට පුළුවන්. මහින්ද රනිල්ට දෙන්නේ ධනපති පංතියක් නැති ධනේශ්වර ආර්ථිකයක්. ඒකෙ රනිල්ගේ 2003 යළි පුබුදමු ශ්‍රී ලංකා වගේ ව්‍යාපෘතියක් ඔසවන්නට උවමනාව තිබෙන ශක්තිමත් ධනපති පංතියක් නැහැ. 2003ත් ලංකාවෙ මහා ශක්තිමත් ධනපති පංතියක් හිටියෙ නැහැ. හැබැයි ඒ වැඩසටහන පිටුපස ලෝක ආර්ථික හා මිලිටර් බලවතුන් හිටියා. 2015 වන විට රනිල් හාමු අද තනියම වෙල මැද්දේ.

2015 ශ්‍රී රනිල් කියන්නේ 2002 සටන් විරාම ගිවිසුම අත්සන් කරන්නට හා යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන ගෙන එන්නට ශක්තිය තිබුණු රනිල් නෙමෙයි. අද වන විට ඔහු මහ දියාරු සෙවල ධනේශ්වර පාලකයෙක්. ඔහු අසරණයි. ඔහුට උපකාර කරන්නට ඔහුගේ ප්‍රියතම බටහිර රටවල්වත් නැහැ කියන එක දැන් ඔප්පු වෙලා ඉවරයි. අඩු ගානේ ෆොක්ස්වැගන් කොම්පැනියවත් ඔහුට උදව් කළේ නැහැ.

වර්තමානයේදී ඔහුගේ වැඩසටහන තුළ ධනවාදයට සුරැකීම සඳහා අවශ්‍ය ඩිකේනීසියානු (කේනීසියානුහරණ) වැඩසටහනක්වත් නැහැ. 2003 වසරේ රනිල් හා 2015 රනිල් අතර වෙනස හොඳින් හඳුනාගන්නට පුළුවන් තැන තමයි මධ්‍යම පංතිය සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රවේශය.

නව ලිබරල්වාදය සරළව පැහැදිලි කරන එක ඉතා හොඳයි. හැබැයි, ඒක වර්තමාන සංදර්භය තුළ තිබෙන්නේ දැඩි සංකීර්ණත්වයක බවත් අප වටහා ගත යුතුයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-10

සයිටම් එකට කඩේ යනවා ය කියන අය එහෙම කරන්නෙ ඇයි?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ඉතා පටු අරමුණු සහිත ප්‍රතිගාමී වෘත්තීය සමිතියක් බව කියා මම මෙය ආරම්භ කරමි. එය එම සංගමයේ අතීත ක්‍රියාකලාපය මත පදනම්ව එළඹෙන ඉතා පැහැදිලි නිගමනයකි. එසේ නො වේ නම් ඔබට කරුණු දැක්විය හැකි ය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ගැන මට කීමට තිබෙන්නේ එය වනාහි තවත් එක් සුළු ධනේශ්වර අරමුණු සහිත පූර්ව වෘත්තීය සමිතියක් බවයි. එහි මූලික අරමුණ බදු ගෙවන ජනතාවගෙන් වරප්‍රසාද ලබා ගැනීමයි.

මේ දවස්වල සයිටම් විරෝධයක එල්ලී සිටින මෙම සංවිධානවලට තිබෙන අරමුණු කිසි සේත් ම සමාජවාදී යයි අපි නො සිතමු.

එහෙත්, මෙම සංවිධානවල නැට්ටේ එල්ලී කම්කරු පංතිය වෙනුවෙන් සමාජවාදී විප්ලවයක් වෙනුවෙන් කටයුතු කරන බව කියන වාමාංශික පක්ෂ සම්බන්ධයෙන් මතු කළ යුතු පැහැදිලි ගැටලු කීපයක් තිබේ.

ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෞද්ගලීකරණය වීම පටන් ගත්තේ සයිටම් එකෙන් නො වේ. එසේම, ලංකාවේ තිබෙන එකම මුදල් අය කරන විශ්වවිද්‍යාලය ද සයිටම් නො වේ. සයිටම්ට එරෙහිව පමණක් මෙතරම් උනන්දුවක් ඇත්තේ ඇයි?

අප නම් දකින්නේ මෙතැන තිබෙන්නේ ඉතා පැහැදිලි මධ්‍යම පංතික ගැටලුවක් බවයි. දොස්තරකම යනු හුදු රැකියාවක් නොව ලංකාවේ සුවිශේෂ පංතියක් වැනි සමාජ ස්ථරයකි. එහි තිබෙන්නේ තමන්ගේ ඩියුටිය වෙන කාටහරි විකුණා, තමන්ම සේවා දිනපොතක් ලියාගෙන, එහි උපරිම අතිකාලත් ලියාගෙන, පෞද්ගලික ව්‍යාපාරවල යෙදී මහජන මුදලින් වැටුප්, වරප්‍රසාද, විශ්‍රාම වැටුප් පමණක් නොව, තීරු බදු රහිත වාහන බලපත්‍ර පවා ලබා ගත හැකි, අති විශාල මුදල් සම්භාරයක් ගොඩනගා ගත හැකි, මධ්‍යම පංතික පාරිභෝජනවාදී උන්නතිකාමයේ සංකේතාත්මක වෘත්තිය තමයි දොස්තරකම. හැබැයි තමන්ගේ සේවය හරියට කරන වෛද්‍යවරුන් ද සිටින බව මේ සමග ම සඳහන් කළ යුතුයි. ඔවුන් මෙය කියවා කලකිරිය යුත්තේ අප ගැන නොව තමන්ගේ වෘත්තියට අත් වී තිබෙන තත්වය ගැනයි.

හැබැයි මෙම වරප්‍රසාදිත තත්වය පවත්වා ගත හැක්කේ එම සමාජ ස්ථරය වෙත පිවිසීම සීමා කිරීමෙනුයි. මෙය හොඳින් තේරුම් ගන්නට පුළුවන් තවත් ක්ෂේත්‍රයක් තමයි නීති ක්ෂේත්‍රය. මේ වන විට, නීති උපාධිධාරීන්ට නීති විද්‍යාලය නිසා මෙවැනි ම තත්වයකට මුහුණ දෙන්නට වෙලා. පුංචි උසාවියක පවා නීතිඥයන් 100කට වඩා ඉන්නවා. අලුත් නීතිඥයන්ට දවසකට එක නඩුවක්වත් ලැබෙන්නේ නැහැ. වැඩි දෙනෙක් කරන්නේ ජ්‍යේෂ්ඨ නීතිඥයන්ගේ නඩුවලට දින ගන්නා එක වගේ සිල්ලර වැඩ.

වාමාංශිකයන්ට සයිටම් මෙතරම් වැදගත් වන්නේ ඉතා පැහැදිලි මධ්‍යම පංතික පදනමකිනි. එය අවංකව කියනවා නම් වඩා පහසු ය. එහෙත් කියන්නේ දුප්පතුන්ගේ හිමිකම් වෙනුවෙන් අරගල කරනවා ය කියා ය.

සයිටම් පැත්තක තියන්න. ඔය කියන ආකාරයේ දුප්පතුන් කීදෙනෙකුට රජයේ වෛද්‍ය විද්‍යාලවලට යන්නට ලැබෙනවා ද යන්න කල්පනා කරන්න. ඔවුන්ගේ අවස්ථා ගිලිහී යාම ආරම්භ වන්නේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වීම සමගයි. පහසුකම් සහිත හොඳ පාසල් ටික මධ්‍යම පංතිකයෝ විවිධ උපායන් මාර්ගයෙන් ඉතා පහසුවෙන් අල්ලා ගනිති. ඒ අතර අසාමාන්‍ය දක්ෂකම් ඇති දිළිඳු පවුල්වල ළමයකුට දෙදෙනෙකුට පහේ ශිෂ්‍යත්වයෙන් අවස්ථාව ලැබේ. එහෙත්, ඒ කෙතරම් සීමිතව ද?

උසස් පෙළ තරග විභාගයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගනිමින් විභාග සමත් වීමේ වැඩි හැකියාව ඇත්තේ වැඩි පහසුකම් ඇති, හොඳ ගුරුවරුන් සිටින පාසල්වල ඉගෙනුම ලබන, වැඩි ඉල්ලුමක් ඇති ටියුෂන් ගුරුවරුන්ගේ පංතිවලට යාමට හැකි, නිවසට ගුරුවරුන් ගෙන්වා ගැනීමට හැකි සිසුන්ටයි. දිස්ත්‍රික් කෝටාවලින් ලැබෙන අවස්ථාවන් ද වැඩිපුර ඩැහැ ගන්නේ එම දිස්ත්‍රික්කවල ප්‍රධාන පාසල්වල ඉගෙනුම ලබන, ධනවත් සිසුන් වේ. මෙම කඩඉම්වලින් දිළිඳු පවුල්වල දරුවන්ට ඉදිරියට ආ හැක්කේ අසාමාන්‍ය දක්ෂකමක් තිබේ නම් පමණි.

වෛද්‍ය පීඨයකට ගොස්, එහි සිසුන්ගේ පවුල් පසුබිම්, මව්පියන්ගේ ආදායම් මට්ටම් ආදිය අධ්‍යයනය කර බලන්න. ඔය කියන ආකාරයේ දුප්පතුන් කීදෙනෙක් එහි ඉන්නවා ද? සියලුම සිසුන් ධනවතුන් බවක් එයින් අදහස් වන්නේ නැත.

ඉතින් සයිටම් දැම්මාම දුප්පතුන්ට අවස්ථාව ලැබෙනවා ද යි අහන අයට අපට දීමට තිබෙන්නේ මෙම පිළිතුරයි. පහත දැක්වෙන පිළිතුර මම දුන්නෙ මගේ ෆේස්බුක් සටහනක් ළඟ හිනා මුහුණු ස්මයිලි දමපු අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නජිත් ඉන්දිකටයි.

මේ රටේ කී දෙනෙක් ඔය නේපාලෙ, ඉන්දියාව වගේ රටවල වෛද්‍ය විද්‍යාලවල පවා මුදල් ගෙවලා ඉගෙන ගන්නවා ද කියන එක විතරක් බලන්න. එසේ මේ රටෙන් පිටතට යන්නෙ මේ රටේ මහජන මුදල්. උදාහරණයක් විදියට මා දන්න නීතිඥයකුගේ ළමයින් දෙන්නෙක් නේපාලයේ වෛද්‍ය විද්‍යාලවල ඉගෙනගෙන දැන් ලංකාවේ වැඩ. ඒ නීතිඥයා නේපාලෙට සල්ලි යැව්වෙ එයා ගාවට නඩු ගෙන ගිය සාමාන්‍ය මිනිසුන්ගෙන් උපයපු සල්ලිවලින්. මේ නඩු ගෙනාපු වැඩි දෙනෙක් දිළිඳු ජනතාවයි. ඒ සල්ලි මේ රටේ ඉතිරි වෙනවනම් අඩු ගානෙ මේ රටේ මධ්‍යම පංතික රජයේ නිලධාරීන්ටයි, දේශපාලකයන්ටයි වැටුප් ගෙවන්න පිටරටින් ගන්නා ණය ප්‍රමාණය හරි අඩු වෙනවා.

නජිත් නියෝජනය කරන අක්ෂය කණ්ඩායමේ සාමාජිකයකු වන රමිඳු ලක්ඛික පෙරේරා අක්ෂය වෙබ් අඩවියේ ලියූ දිගු ලිපියක මෙම ප්‍රශ්නයට ඇති විසඳුම යෝජනා කරන්නෙ මෙහෙමයි:

“ඒ අනුව දැනට තිබෙන අධ්‍යාපන ප්‍රශ්නය විසදීම සදහා ද්විත්ව ප්‍රවේශයක් අවශ්‍ය යැයි යෝජනා කල හැක. පලමුව අධ්‍යාපනයේ සම අවස්ථා සමාජයට තහවුරු කෙරෙන සාධාරණ අධ්‍යාපන ක්‍රමයක් ඇති කල හැකි එකම මාර්ගය වන නිදහස් අධ්‍යාපන පද්ධතිය පුලුල් කිරීම සදහා වූ අධිෂ්ඨානසහගත වැඩපිලිවෙලක් හා ඊට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කල හැකි මොඩලයක්.

දෙවනුව, එය සිදු වන තුරු තාවකාලික අතරමැදි විසදුමක් ලෙස නාමික හෝ සහනදායී ගාස්තු මත සුදුසුකම්ලාභීන්ට රාජ්‍ය ආයතනවල අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදීම හා පවතින පුද්ගලික ආයතනවල ගාස්තු දැඩි සීමා කිරීමට යටත් කිරීම.

“දෙවැන්න අවශ්‍යයෙන්ම පලමුවැන්නට යටත් විය යුත්තකි. රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල් අධ්‍යාපන පිලිවෙතට එරෙහිව ඉදිරිපත් කල හැකි වාම-ප්‍රජාතාන්ත්‍රීය විකල්පය වූ කලී එයයි.“ - රමිඳු පෙරේරා (අක්ෂය)

සෙසු වාමාංශික කපටින්ගෙන් වෙනස්ව විසඳුමක් යෝජනා කිරීම සම්බන්ධයෙන් අපි රමිඳුට ස්තුතිවන්ත විය යුතුයි. හැබැයි, ඒ විසඳුම විසින් ම පෙන්වා දෙනවා විසඳුමක් නැති බව.

රතු පාටින් දක්වා ඇති කොටසෙහි තිබෙන දේ කරන අධිෂ්ඨාන සහගත වැඩපිළිවෙල හා එයට පහසුකම් සැලැසිය හැකි ලෙස ආර්ථිකය සංවිධානය කළ හැකි මොඩලය රහසක් ලෙස තියා ගන්නෙ නැතිව ඉක්මණින් හෙළිදරව් කළ යුතුයි. එතකොට ඔබට රාජ්‍ය බලය අවශ්‍ය නම් එය හෝ ලබා දීම වෙනුවෙන්  අපටත් අරගල කරන්නට පුළුවන්. 

හැබැයි ඉතින් ඔය රතු අකුරෙන් දක්වන ලද පළමු විසඳුම අලුත් කතාවක් නෙමෙයි. නිදහස ලබපු කාලෙ ඉඳන් ම ඔය කතාව තමයි කියන්නෙ. ඔය වැඩේ කරන්න නම් රටේ දැනට තිබෙන විශ්වවිද්‍යාල සංඛ්‍යාව අඩු තරමේ සිව්ගුණයකින් හෝ වැඩි කළ යුතුයි. එයට ප්‍රාග්ධනය සොයා ගන්න විධිය යෝජනා කරන්න. හැබැයි ප්‍රායෝගික විසඳුම්. ව්‍යවසායකයන්ගෙන් දැඩි බදු අය කර ඔවුන් විනාශ කර දැමීම වගේ විසඳුම් නෙමෙයි, සියලු දේපල රජයට පවරා ගන්නවා වගේ සමාජවාදී විසඳුම් යෝජනා කරන්න.  

හැබැයි ඉතින් කොළ පාටින් දැක්වෙන මේ සුපිරි වාමාංශිකයිනුත් පිළි ගන්නා දෙවෙනි පදනමේ ඉඳලා තමයි අපත් කියන්නෙ පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දිය යුතුයි කියලා. අපි කිව්වාම වැරදි වෙන්නටත්, ඔබ කියන එක හරි වෙන්නටත් තිබෙන හේතුව කුමක් වුණත් කමක් නැහැ, අපි ඔබ කියන දෙවන විසඳුම පිළිගන්නම්. 

දැන් මේ දෙවන යෝජනාව ක්‍රියාත්මක කරන්නට තමයි අප කියන්නේ පෞද්ගලික අංශය සම්බන්ධ කර ගත යුතුයි කියලා. ඒක විතරයි ලංකාවට ප්‍රායෝගිකව කරන්නට පුළුවන්. 

මෙම කාර්යය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල පුළුල් කරනවා නම්, ඒ සඳහා ප්‍රාග්ධනය සොයා ගත හැකි ආකාරයත් යෝජනා කරන්න. 

ලෝකයේ ස්වාධීන විශ්වවිද්‍යාලවලට තිබෙන උරුමය ලංකාවේ නැහැ. එහෙම ස්වාධීන ආයතන ගොඩනගන්නට තරම් බුද්ධිමය අවංකභාවයක් ලංකාවේ වර්තමාන බුද්ධිමතුන්ට නැහැ. මේ අයගේ ක්‍රියා කලාපයන් ගැන හොඳ නිරූපණයක් ලියනගේ අමරකීර්තිගේ රසබර කෙටිකතා එකතුවක් වන ‘අර මිහිරි සීනු නාදයේ ' තිබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවලට මොනවා හෝ විකුණා ගාන කපා ගන්නා අවස්ථාවාදී බුද්ධිමතුන් බහුතරයක් සිටින රටක මොන ස්වාධීන විශ්වවිද්‍යාල ද? සුචරිත ගම්ලත්ගේ මරණින් පසුව එහෙම අදහසක් සිතේ පිළිසිඳගන්නට පුළුවන් ඔලුවක්වත් ලංකාවේ ඉතිරි වෙලා නැහැ. ඒ නිසා ස්වාධීන විශ්වවිද්‍යාල කතාවත් යථාර්ථයක් නෙමෙයි. 

උසස් අධ්‍යාපනය නැංවීම සඳහා පෞද්ගලික අංශය සම්බන්ධ කර ගන්න එකට අපි පක්ෂයි. හැබැයි, ඔය කියන ගාස්තු දැඩි සීමා, කරන ආයෝජනය ආපසු ලබා ගන්නට තහනම් කිරීම, රජයට පවරා ගන්නා බවට තර්ජන කිරීම වගේ සමාජවාදී උපායමාර්ග මෙතනදී වලංගු නැහැ. ඔය වගේ තර්ජන කරලා පෙට්ටි කඩයක් දාන්නවත් හවුල්කාරයෙක් හොයා ගන්න බැහැ. 

පාලනයට පිටින් ඉඳගෙන වීරයන් වගේ කයිවාරු ගහන්න පුළුවන්. අපි දැන් ඕවා ඇති තරම් අහලා තියෙන්නෙ. මහදැනමුත්තා එරී සිටින මඩේ භූ ගර්භ විද්‍යාත්මක සංයුතිය ආදිය ගැන විග්‍රහ වැඩක් නැහැ. මහදැනමුත්තාව ගොඩට ඇදලා ගන්න හැටි සංයුක්තව කියන්න.

මේ රටේ ජනතාවගෙන් විශාල ප්‍රතිශතයක් අධ්‍යාපන නිදහස වෙනුවෙන් පෙනී සිටින බව ඊනියා නිදහස් අධ්‍යාපනයේ ලූලා නැති වලට කන්නන්ගරලා වෙන්නට කුණුහරුප කියන ගුරුවරුන් ඇතුළු සියලු වාමාංශිකයන් තේරුම් ගත යුතුයි. 

ඔබට සයිටම් විරෝධය වෙනුවෙන් පෙනී සිටින්නට තිබෙන අනුරාගය ම අපට අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින්නට ද තිබෙන බව ඔබට නො පෙනෙන්නේ අන් කිසිවක් නිසා නොව, ඔබ දමාගෙන සිටින කණ්ණාඩිවල මෝහාන්ධකාරය නිසා ය. අප ද මෙම සටන අතහරින්නේ නැත. ඒ සයිටම් කියන මගුල වෙනුවෙන් නොව, නිදහස පිළිබඳ ඉතා පැහැදිලි මූලධර්මයක් මත පදනම්ව ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-02-08

මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය

රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ.

රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ.

විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට හෝ ආණ්ඩුව හෝ තමන්ගේ පක්ෂය හෝ ගැන සිතා කටයුතු කිරීමක් නො වේ. ඒ වෙනුවට මෙම ගජමිතුරු කල්ලිය සිටින්නේ මනෝ රාජ්‍යයක ය. බලය රැක ගැනීමේ හෝ උවමනාවක් ඔවුන්ට ඇති බවක් නො පෙනෙන අතර කටයුතු කරන්නේ සිහිනෙන් ඇවිදින්නන් සේ ය.

අගමැතිවරයාගේ මූලිකත්වයෙන් දියත් කර ඇති ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ අවශ්‍ය ඒවා ය. එහෙත්, තමන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව මුලින් තමන්ගේ පක්ෂය සමග ද, දෙවනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය සමග ද සාකච්ඡා කළ යුතු ය. ඉන් පසු ඒ පිළිබඳ ජනතාව අතර යහපත් සංවාදයක් ඇති කර ගත යුතු ය. ඒ කිසිවක් කිරීමේ උවමනාවක්වත්, හැකියාවක්වත් අගමැති වටා සිටින පිරිසට නැත.

ජනාධිපතිවරයාගේ මූලික ගැටලුව වන්නේ දෘෂ්ටියක් නැතිකමයි. තමන් කවුරුද, තමන් ජනාධිපති පදවියට පත් වුණේ කුමන සංදර්භයක් තුළ ද, රට තමන්ගෙන් අපේක්ෂා කරන නායකත්වය කුමක් ද, රට දැනට තිබෙන තැනින් කුමන තැනකට යොමු කළ යුතු ද යන කරුණු පිළිබඳව ඔහුට හෝ ඔහු වටා සිටින පිරිසට හෝ අදහසක් ඇති බවක් නො පෙනේ. ඒ වෙනුවට එතුමා ගෙදරින් ගෙනා බත් මුල කන්තෝරුවේදී කා, උත්සව තිබුණොත් එහි ගොස් ඇට්ටි හැලෙන කතාවක් පවත්වා එයි. ඔහු හිතන්නේ ජනාධිපතිකම එය ය කියා විය හැකි ය.

එහෙම අයට පාලනය කරන්නට පුළුවන් රටවලුත් තිබිය හැකි ය. එහෙත්, පල් හොරුන් හා බොරුකාරයන් රැළක් වන සකලවිධ දේශපාලකයනුත්, නියම අංකූරන්ගෙන් කුසැදි දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවා පිල්ලුවත්, රටට ම ගැලපෙන නල්ල මලේ ජනතාවත් එක්ක ඔය වගේ නායකයන්ට වන්නේ දෙයියන් විෂ දෙන්නට පෙර කාලේ සර්පයන්ට වෙච්ච දේ ය. දරට ගිය අය දරමිටි බඳින්නට සර්පයන් ගත්තා සේ මේ නායකයන්වත් ලණුවට, දරණුවට ගන්නා තත්වයට ගොස් තිබේ.

ලංකාවේ ජනතාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස භාවිතා කළ යුතු විනයක් ඇති පිරිසක් නො වන බව නැවතත් ඔප්පු කරමින් තිබේ. දැන් අපට ප්‍රජාතන්ත්‍රවාදය එපා යයි විප්ලවවාදියෝ පවා කියති.

කෙසේ හෝ මේ වනාහි ආණ්ඩුව රට පාලනය ගැන ගැඹුරින් සිතිය යුතු මොහොතකි. ජනාධිපති හා අගමැති අතර යහපත් සංවාදයක් ඇති විය යුුතු ය. පාලක සන්ධානයේ නායකයන් අතර තමන් කරන දේ ගැන අවබෝධයක් තිබිය යුතු ය. දේශපාලන නායකත්වය හා රජයේ නිලධාරින් අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු ය. දේශපාලකයන් දුර්වල වී තිබෙන මෙම මොහොතේ රජයේ නිලධාරීන් හෝ නායකත්වයට වගකිව යුතු ය.

පුරවැසි ව්‍යාපාර මෙම තත්වය ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. තව දුරටත් පීඩන කණ්ඩායම් දේශපාලනයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි තත්වයක් නැත. පුනරුද ව්‍යාපාරයේ අදහස වන ජනතාව දියුණු වුණොත් පාලකයන් දියුණු වේ යයි සිතා වැඩ කරන්නට තරම් අවිහිංසාවාදී දේශපාලනයක් ද ලංකාවේ නැත. මහජනතාව දේශපාලන බලය ගැන බැරෑරුම්ව සිතිය යුතු ය. 

දේශපාලකයන් දේශපාලනය කරන්නේ නැතිනම් මෙය කියවන ඔබ හෝ දේශපාලනය කළ යුතු ය. ඔබේ අදහස් පළ කරන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.