2017-03-29

ඉන්ටරගේටඩ් බැඳුම්කර මාධ්‍ය කොම්පැනියට ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

ජනයුගය බිහි කරන බැඳුම්කරයට මුල් වූ කරකාර බන්ධනය 
2015 පෙබරවාරි මස, අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු සභාපති ධුරය හොබවන සමයේ, මහ බැංකු බැඳුම්කර අයුතු ලෙස මිළ දී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට දැවැන්ත පාඩුවක් සිදු කරමින් අධික ලාභයක් ලැබුවේ යයි චෝදනා ලැබ සිටින, මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස්ට අයිති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අරමුදලින් පිහිටුවන ඉන්ටර්ග්‍රේටඩ් මීඩියා නෙට්වර්ක් සමාගම විසින් වෙබ් අඩවි, පුවත්පත්, රේඩියෝ, රූපවාහිනී ආදියෙන් සමන්විතව ආරම්භ කරන මාධ්‍ය ජාලයේ සිංහල පත්තරය අප්‍රේල් මාසයේ මුලදී ආරම්භ කිරීමට නියමිත ය.

අර්ජුන් ඇලෝසියස් මේ අයථා මුදල්වලින් අඩු තරමේ ඇඟලුම් කම්හලක්වත් පටන් ගත්තා නම් සමාව දිය හැකි ය. එහෙමත් බැරි නම්, මාධ්‍ය ම උවමනා නම්, ජනතාවගේ මුදල් නිසා, ජනතාව තවත් බූරුවන් නො කරන බව පෙන්වන මාධ්‍යයක් පටන් ගන්නට තිබිණි. එහෙත්,මව්බිම ඊටත් වඩා අසික්කිත විදියට ඉස්සර කර, තමන් මෙතෙක් කල් වැඩ කළ ආයතනයේ වෙළඳපොළ අල්ලා ගැනීම සපථ කරන පිරිසක් සමග දියත් කරන පත්තරයකින් දොරට වඩින මෙම මාධ්‍ය පෙරහර ගැන දැන් තබා ම කියන්නට පුළුවන.

ඉන්ටරගේටඩ් (ප්‍රශ්න කරනු ලැබූ - ඔව්, ජනාධිපති කොමිෂම විසින් පවා) මාධ්‍ය කොම්පැනිය වෙත මේ රටේ ඒකාබද්ධ ය කියන විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍ය ආදිය ප්‍රතිචාර දක්වන ආකාරය ඉතා වැදගත් ය. මේ අය එම මාධ්‍යවලට කතා කරනවා ද? පළමු ප්‍රශ්නය එයයි. එසේ කතා කරනවා නම්, බැඳුම්කර මගඩිය ගැන ඔවුන් මෙතෙක් දැරූ අදහසට සිදු වන්නේ කුමක් ද?

දෙවන කාරණය වන්නේ ජනතාව දක්වන ප්‍රතිචාරයයි. මේ වන විට පුවත්පත් අලෙවි නියෝජිතයන්ට සන්තෝසම් දෙමින්, සෑම මාධ්‍යයක ම දැන්වීම් පළ කරමින් ඔවුන් කරගෙන යන මාධ්‍ය ප්‍රචාරය හමුවේ ජනතාව මෙම පුවත්පත මිළ දී ගනීවි ද? නැද්ද?

මේ දක්වා, බැඳුම්කර විරෝධී පෙරළිකරුවන් කිසි කෙනෙක් බැඳුම්කර මාධ්‍ය කොම්පැනිය ගැන ජනතාව දැනුවත් කිරීමට කට ඇර නැත.

හයියෙන් පත්තර දියත් කළාට ජනතාවට උවමනා නම් ඒවා හෙමින් සැරේ අකුළා දැමිය හැකි බව මීට කලින් රදලියගොඩ යකඩ හොරා දියත් කළ පත්තරයෙන් පෙනිණි.

මේ වන විටත් වෙළඳපොළේ අත පල්ලෙන් වැටි වැටී තිබෙන පත්තර ගණනාවක් අයිතිකාරයන් කවුරුදැයි නො දත් කළු සල්ලිවලින් දුවන ඒවා යයි සිතිය හැකි ව්‍යාපෘති ය. ඒවා කියවන සංඛ්‍යාව ඇතැම් විට අපේ මේ බ්ලොග් පඩංගු කියවන සංඛ්‍යාවටත් වඩා අඩු ය. ලංකාවේ සියලු මාධ්‍ය පවතින්නේ බොරු අලෙවි වාර්තා, කෙප්ප රේටිං, ඇඩ්වටයිසිං සඳහා සල්ලි මලුවල සිට යෝනි මාර්ග දක්වා පුද දීම් ආදී කුණු ජරා වැඩ මත ය.

පත්තර විතරක් නොව, සෙසු මාධ්‍ය ද සෑහෙන දුරට කළු සල්ලි සුදු කරන ලොන්ඩරි වේ. ලංකාවට ඇත්තට ම මාධ්‍ය වැඩි ය. මාධ්‍ය වැඩි වුණා ය කියා තරගකාරිත්වය ඇති වී තිබෙන්නේ සල්ලි හෙවීමේ කුණු වැඩවලට මිස ගුණාත්මකභාවය වැඩි කිරීමට නො වේ.

අපේ ඉල්ලීම මෙයයි. බැඳුම්කර මාධ්‍ය වර්ජනය කරන්නැයි කියන්නට මේ රටේ විපක්ෂය, ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ශිෂ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, උගතුන්, බුද්ධිමතුන්, සමාජ මාධ්‍යවලට ධෛර්යය තිබේ ද?

බැඳුම්කර මීඩියා කොම්පැනියේ ඉරණම ඔබේ අතේ ය.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-28

ක්‍රීඩා පාසලක නේවාසිකාගාරයක කතාවක්

මෙම ලිපිය සඳහා පාදක වන්නේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩා පාසලකින් අප වෙත යොමු කරන ලද දීර්ඝ ලිපියකි. එහි ඇති කරුණු අඩු වැඩි වශයෙන් සියලු ක්‍රීඩා පාසල්වලට ද, සියලු පාසල් නේවාසිකාගාරවලට ද, සියලු පාසල්වලට ද, සියලු ගුරුවර ගුරුවරියන්ට ද අදාළ ය. මෙම ලිපිය කියවන්නැයි අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ සුවිශේෂ හේතුවක් නිසා ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිසු දරු දැරියන්ගේ දෘෂ්ටි කෝණයෙන් සිදු වන විග්‍රහ ඉතා විරල ය. මෙහි ඇති අදහස් අව්‍යාජ සිසු අදහසක් ලෙස සැලකිය හැකි ය. 

මෙම ලිපියේ පූර්විකාව මෙතැනින් කියවන්න

සර්, මම,විද්‍යාලයට ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිවයි. මාව මෙම විදුහලට යොමු කලේ අපේ කලින් ඉස්කෝලේ මැඩම්. අපේ මැඩමුත් ඉගෙන ගෙන තිබුණේ, ඒ විද්‍යාලයේ. ඒ නිසා මටත් ලොකු විශ්වාසයක් තිබුණා විද්‍යාලය පිළිබඳ. ඒ නිසා මාත් කලින් කිව්ව විදියට එහි ආවේ ගොඩක් බලාපොරොත්තු ඇතිව.

එහි එන්න මුලින් ම කරන්න තිබුණේ, ඒ සඳහා ඉල්ලූම් පත‍්‍රයක් යොමු කරන එක. කලින් ඉස්කෝලේ මැඩම්ගේ උපදෙස් අනුව ඉල්ලූම්පතක් යොමු කළාට පසු ව, මාව සම්මුඛ පරික්ෂණයක් සඳහා කැඳවනු ලැබුවා. ඉන් මා හොඳින් සමත් වුණා. ඒ නිසා මීට වසර හතරකට පෙර මා, විද්‍යාලයට ඇතුලත් වුණා. එසේ ඇතුලත් වී මා එහි නේවාසිකාගාරයේ නවාතැන් ගත්තා. අදටත් නේවාසිකාගාරයේ ඉන්නේ. සර්, මාත් සමඟ තවත් සහෝදර සහෝදරියෝ සැලකිය යුතු ප‍්‍රමාණයක් අලූතෙන් නේවාසිකාගරයට ආවා. අපි එනකොට තවත් ගොඩක් ළමයි නේවාසිකාගාරයේ නැවතී සිටියා. නවකයින් වන අපි හැමෝම හිටියේ ඉතා ම සතුටෙන්. අප පැමිණි මුල් දින කීපය අලූත් අත්දැකීම් බොහෝමයකින් සමන්විත වුණා. බොහෝමයක් ඒවා ඉතාම කටුක ඒවා. නමුත් අපි ඒවා ඉතා ම සතුටෙන් විඳ දරා ගත්තා. අපේ අනාගත යහපත ගැන හිතලා. නමුත් ටිකින් ටික අපට මෙම පීඩනය දරාගැනීම අපහසු වුණා. ඒ සමඟ ම අපට දැනුණා මෙම පීඩාකාරී ක‍්‍රියා මඟින් අපේ ඉදිරිගමනට යහපතක් නොවන බව. එය හිංසාවක් පමණක් බව අපට තේරුණා.

සර්, අපේ පුහුණුව ගොඩක් අමාරුයි. දිනපතා උදේ පහට නැගිටින්න ඕන. ඉතා ම අපහසු ක‍්‍රියාකාරකම් ගොඩක් පුහුණුවේ කියෙනවා. උදේ පහයි තිහේ සිට හත පමණ වෙනකල් පුහුණු වෙනවා. පසු ව ඇඟ හෝදගෙන හතයි තිහ වෙනකොට ලැහැස්ති වෙලා ඉස්කෝලේ යන්නත් ඕනේ. ගොඩක් දවස්වලට හරියට කන්නත් නැහැ. මහන්සියත් බඩගින්නත් ඉවසගන්න බැහැ. ඉස්කෝලේ ගිය වෙලේ ඉඳලා නිදිමත. යමුනා මැඩම් එන්න ඉස්සල්ලා නේවාසිකාගාරයෙන් එළියට එන්න ඕන. නැත්නම් ඉවරයි.

සමහර දවස්වල කරාමවල වතුර එන්නේ නැහැ. එතකොට අපි හරි ම අමාරුවක වැටෙන්නේ. ඒවා අමාරු වුණත් අපි කොහොම හරි ඒවා විඳ දරා ගත්තා. එක පැත්තකින් යම්කිසි වින්දනයකුත් ඒකේ තිබුණා. එත් සර්, අපිට දරාගන්න බැරි තවත් ගොඩක් දේ නේවාසිකාගාරයේ සිදුවෙනවා. හැමදාම අඩු ම තරමින් ළමයි තිස්දෙනෙක්වත් අඬනවා, එක එක හේතු මත. මමයි තව කීපදෙනෙකුයි එකතුවෙලා සර්ලට මේ කියන්න යන්නේ ඒවා. අපි මේ කරුණු කියන්නේ කාටවත් කරදරයක් කරන්න නොවෙයි. අපිට එහෙම අදහසක් නැහැ. කාටත් අපි වෛර කරන්නෙත් නැහැ. නමුත් අපි විඳපු, තව තවත් විඳින මේ කරදරවල සීමාවක් තියෙන්න ඕන. අවසානයක් තියෙන්න ඕන.

නේවාසිකාගාරවල සිදුවන මේ කරදර නිසා ගොඩක් ළමයි නේවාසිකාගාරය අතහැර ගියා. යන්න ඉන්න අයත් ගොඩයි. හෙට ඉඳලා, කැමති කෙනෙක් යන්න කියලා කිව්වොත් කවුරුත් නේවාසිකාගාරයේ ඉතිරි වෙන එකක් නැහැ. ඒ තරමට එපා වෙලා තියෙන්නේ. කිසිකෙනෙක් සතුටෙන් නොවෙයි ඉන්නේ. අපි මේකේ ඉන්නේ, කරන්න දෙයක් නැතිකමට. මොනවා කරන්න ද ඉවසගෙන ඉන්නවා. ගොඩක් දෙනා හැමදාම අඬනවා මේ දුක විඳින්න බැරිව. හැම දේම සීමාවක් තිබෙනවා. කවදාහරි දවසක, බොහෝ විට ලඟදීම, අපේ ළමයෙකුට මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන්. එතකොට ඒක දරාගන්න වෙන්නේ, අපි කාගේ හරි දුප්පත් අහිංසක අම්මෙකුට තාත්තෙකුට. වරද පැටවෙන්නේත් අපේ පැත්තට. අපේ මැඩම්ලා අනතුරට පත් වෙන ළමයාට විරුද්ධව ලස්සනට වැරදි ගොන්නක් හදල තියෙයි.

සර්, සර් බලනවා ඇති, සර්ලා නොදන්න මේ තරමට නේවාසිකාගාරවල සිදුවන කරදර මොනවාද කියලා. අපට තේරෙන විදියට සර්ලා මේවා දැනගෙන ඉන්නේ. නමුත් මොන හේතුවක් නිසා හරි සර්ලා ඒකට උත්තර හොයන්නේ නැහැ. ඉස්කෝලේ ප‍්‍රශ්නවලට මැදිහත් වන කිසිකෙනෙක් නේවාසිකාගාරය දිහා බලන්නේ නැහැ. අනේ සර්, අපිට මේවා තවත් දරාගන්න බැහැ. ඒ නිසා සර්ලා දන්න, ඒත් නොදන්නවා වගේ ඉන්න කාරණා පුළුවන් තරම් අපි කියන්නම්.

නමුත් අපි දන්නවා මේවාට උත්තර නැති බව. මේක අපි කරන්නේ කියලා දැනගත්තොත් නේවාසිකාගාරයේ තියා ඉස්කෝලේවත් ඉන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර කල් අපි දුක්මහන්සියෙන් ගත්ත එක සහතිකයක්වත් ලැබෙන එකක් නැහැ. ඒවා ඔක්කොම යමුනා මැඩම් ලඟ තියෙන්නේ. අපිට අල්ලන්නවත් ආසාවට බලන්නවත් දෙන්නේ නැහැ. මීට ඉස්සල්ලා කරදර ඉවසගන්න බැරීම තැන, ඒවාට එරෙහිව කථා කරපු අයියලාට අක්කලාට වෙච්ච දේවල් අපි දැකලා තියෙනවා. අන්තිමේට එයාලට මෙහෙන් යන්න වුණේ, හිස් අතින්. දුක් මහන්සියෙන් ලබා ගත්ත කී‍්‍රඩා සහතිකත් කිසිවක් නැතිව. නින්දා අපහාසත් විඳලා. නැවත ඒ අය හිටපු පරණ ඉස්කෝලෙටවත් යන්න බැරි තත්ත්වයක් ඇති කරගෙන.

ගැහැණු ළමයින්ගේ නේවාසිකාගාරය


සර්, මේ විද්‍යාලය හරි ම ලස්සනයි. අපේ නේවාසිකාගාරය තියෙන්නේ පිට්ටනිය ඉස්සරමයි. අපි ආපු මුල් දවස් දෙක තුනක් යනකල් ටිකක් සහනයක් තිබුණා. ඊට පස්සේ අක්කලාගේ යට ඇඳුම් පවා හෝදන්න වුණා. අක්කලා කීපදෙනෙක් ඉන්නවා මැඩම්ලට කේලම් කියන. ඒ අයට නේවාසිකාගාරය ඇතුලේ ගොඩක් නිදහස. අපි පස්සේ දැනගත්තේ ඒ අය සාමාන්‍ය පෙළ විභාගෙත් අසමත් අය කියලා. ඒගොල්ලෝ ගෙවල්වලට කියලා තියෙන්නේ උසස් පෙළ කරනවා කියලා. නමුත් සාමාන්‍ය පෙළ විභාගෙවත් සමත් නැහැ.

ඉස්කෝලෙට පෙන්නන්නෙත් උසස් පෙළ කරනවා කියලා. අනෙක් අක්කලා නම් කියන්නේ එයාලට නේවාසිකාගාරයේ ඉන්නත් බැහැ ඉස්කෝලේ වෙනුවෙන් ජාතික තරඟවලට දුවන්නත් බැහැ කියලා. නමුත් ඒගොල්ලෝ ඒ දෙකම කරනවා. කිසි ප‍්‍රශ්නයක් නැහැ. මැඩම්ලා ඒ අයව තියා ගන්නේ අපව පාලනය කරන්න.

මොකද මැඩම්ලා ගොඩක් වෙලාවට නේවාසිකාගාරයේ නැහැනේ. දැන් නම් අර අලුතෙන් ආපු මිස්ලාගෙන් එකනෙකු ඉන්නවා. ඒ අයට මේ තත්ත්වය පාලනය කරන්න බැහැ. මොකද මැඩම්ලාගේ නියෝගනේ. අර අක්කලා කරන්නේ. ඒ අය තමයි අපෙන් වැඩ ගන්නේ. අනෙක් අක්කලාගෙන් කරදර නැහැ. මැඩම්ලාට නැති වුණාම මැඩම්ලාට කේලම් කියන අක්කලා අපිට හරියට වද දෙනවා. ළමයින්ට නොගැළපෙන දේ කරන්න කියනවා. අපේ සල්ලි හොරකම් කරනවා. අලුත් නංගිලාගේ සල්ලි බලෙන් ගන්නවා. බොරු දේවල් කියලා සල්ලි එකතු කරනවා. පසුව දාට, ඒ අක්කලා අපට කරදර කරනවා කියලා, මැඩම්ලාට කිව්වත් වැඩක් නැහැ. මැඩම්ලා පිළිගන්නෙ නැහැ. මැඩම්ලා පිළිගන්නේ, ඒ අක්කලා කියන දේ. මැඩම්ලට කියන්න යන අයට වෙන්නේ කන්න කෑමත් නැති වෙන එක විතරයි.

සර්, අපේ නේවාසිකාගාරය භාරව ඉන්නේ යමුනා මැඩම් සහ ඉවෝන් මැඩම්. අලුතෙන් ආවා සීලරත්න කියලා මැඩම් කෙනෙක්. අපි හැමෝම සතුටු වුණා, ඒ මැඩම් එනවාට අපේ ආදි ශිෂ්‍යාවක් නිසා. අප්පෝ ඒ මැඩම් ඔක්කෝටම හපන්. පුංචි වුණාට හරි ම නපුරුයි. තවත් ඉන්නවා, අමරකෝන් සර්. මුළු ක‍්‍රීඩා පාසැලේ ම ක‍්‍රීඩා භාර සුසන්ත සර්. සුසන්ත සර් ගොඩක් වෙලාවට එන්නේ සෙනසුරාදා සහ ඉරිදා දවස්වල. සමහර දා ට සතියේ දවස්වල සවසත් එනවා. එතකොට පුහුණුව ගොඩක් අමාරුයි. ඒ වගේ ම පොඩ්ඩ වැරදුනොත් ගුටි. හරියට අපේ අම්මලා තාත්තලා පාවාදීලා බනිනවා. ඉස්කෝලේ සර්ලා මැඩම්ලා එහෙම අම්මලා තාත්තලා මතක් කරලා බනින්නේ නැහැනේ සර්.

අම්මලා ලඟ නැති අපි, ඒ වෙලාවට හරියට වේදනාවට පත්වෙනවා. සුසන්ත සර් අපට පුහුණු වෙනකොට කොහොමත් ගහනවා. ඒත් එක දවසක් සුසන්ත සර්, අක්කලාට හොඳටම ගැහුවා. එදා අක්කලාට තිබුණේ පාරේ දුවන්න. කවුදෝ සර්ට කියලා අක්කලා පාරේ අැවිද්දා කියලා. සුසන්ත සර් පොල්ලක් අරගෙන ඒ අයට ගැහුවා හොඳට ම. අක්කලාට ඇවිදින්න තියා ඉඳගෙන ඉන්නත් බැරිවුණා එදා. සුසන්ත සර් හරියට කේලාම් අහනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ නැති ව අපට හරියට ගහනවා. එතකොට අපිට ජීවිතෙත් එපා වෙනවා.

සර්, සෙනසුරාදාට සහ ඉරිදාට සුසන්ත සර්ගෙන් පුහුණු වෙන්න පිට ඉස්කෝලවල ළමයි එනවා. එහෙම ගොඩක් අය එන්නේ වාහනවල. ඒ අය ගොඩක් සල්ලි තියෙන අය වෙන්න ඇති. ලස්සනට එනවා. සුසන්ත සර් ඒ අයට අපේ පිට්ටනියේ පුහුණුවීම් කරනවා. අපිට පුහුණු වෙන්න තියෙන ක‍්‍රීඩා උපකරණත් දෙනවා, ඒ අයට පුහුණු වෙන්න. සුසන්ත සර්, එහෙම පිටින් ලස්සනට එන ළමයින්ට ආදරෙන් කතා කරනවා. අපිට එතකොට සුසන්ත සර් එක්ක තරහකුත් ඇතිවෙනවා. මොකද අපිට එහෙම කතා කරන්නේ නැහැනේ. අපේ අක්කලා කියන්නේ ඒ අයට සුසන්ත සර් පුහුණු කරන්නේ සල්ලිවලට කියලා. අක්කලා කියනවා සුසන්ත සර්ට අපේ ආදි ශිෂ්‍ය සංගමයෙනුත් සල්ලි දෙනවාලූ. අපට උගන්වනවාට. සුසන්ත සර් අපටත් පුහුණුවීම් කරනවා. නමුත් අර අයට වගේ ආදරෙන් කරුණාවෙන් අපිටත් කතා කරනවා නම් මොන තරම් හොඳද කියලා අපි නිතර ම කතා වෙනවා. එත් ඒක හීනයක් විතරයි.

යමුනා මැඩම් නම් සර්, හරි ම සැරයි. බනින කොට අහගෙන ඉන්න බැරි තරමට නරක වචන කියනවා. මැඩම් ගොඩක් ලස්සනයිනේ සර්. ඒ වගේ ම ලස්සනට අඳිනවත්නේ. හැබැයි බනින්නේ අන්තිම නරක වචන කියලා. මුලින් ම අපි හිතුවේ, ඇත්තටම මේ ඉන්නේ යමුනා මැඩම්ම ද කියලා. ඒ තරමටම අපි පුදුම වුණා මෙතරම් ලස්සන කෙනෙකුට මෙච්චර කුණුහරුප කියන්න පුළුවන් ද කියලා. දවසක් අපේ ඉස්කෝලේ ස්වාමින්වාහන්සේත් පාවාදීලා අක්කා කෙනෙකුට බැන්නා. 

නමුත් සර්, යමුනා මැඩම්ට කේලාම් කියන අක්කලාට නම් කරදරයක් නැහැ. එක දවසක් අක්කලා කීපදෙනෙක් යමුනා මැඩම්ගේ ගෙදර එක්කර ගෙන ගියා. අපි පස්සේ දැනගත්තේ ඒකට හේතුව. ඒ යමුනා මැඩම්ගේ දුව වැඩිවියට පත් වූණු නිසාලූ. එක්කර ගෙන ගිය අක්කලා ඒ නංගිගේ තනියටයි ඉඳලා තියෙන්නේ. එහෙම ගිය අක්කලා කිව්වා උත්සව දවසේ ගෙදර වැඩ කරන්නත් වුණා කියලා. ඒ අක්කලා දවස් කීපයක් එහේ ඉඳලයි ආවේ. ඒ වගේ ම වැඩක් සුසන්ත සර්ගේ නැයෙකුගේ මලගෙදරකත් වුණා අස්ගිරිය කියන පැත්තේ. අපේ නේවාසිකාගාරයේ අයියලා කීපදෙනෙක් දවස් කීපයක් ම ඒ ගෙදර වැඩ කරලා තියෙනවා. ඉවෝන් මැඩම්ට දරුවා ලැබෙන්න ඉන්නකොට ඉස්කෝලෙ දී ඔක්කෝම වැඩ කළේ අපේ අක්කලා නංගිලා. තව දරුවෙක් ඉවෝන් මැඩම් ලඟ හිටියා එයාව බලාගත්තෙත්, පස්සේ ඉවෝන් මැඩම්ගේ දරුවා නේවාසිකාගාරයේ දී බලාගන්න‍ෙත් අපි. මීට ටික කාලයකට ඉස්සල්ලා අපේ අම්මලා තාත්තලා ඇවිත් මෙහෙ නේවාසිකාගාරවල ශ‍්‍රමදානයක් තිබුණා. එදා යමුනා මැඩම්, මැඩම්ලාගේ ගෙවල් පැත්තේ සමිතියක ටිකට් වගයක් ගෙනත් අපේ අම්මලාට බලෙන් ම වාගේ විකුණුවා. අම්මලාට ගෙදර යන්නත් සල්ලි මදි වුණා කිව්වා ඒක නිසා. ඒක දැනගත්තේ අපි නිවාඩුවට ගෙදර ගියාම.

සර්, නිහාල් සර් කියලා හිටියා අපේ ඉස්කෝලේ නියෝජ්‍ය විදුහල්පති කෙනෙක්. ඒ සර් කාලයක් අපේ නේවාසිකාගාරයට කෑම දෙන එක භාරව හිටියා. පස්සේ ඒ සර් අයින් වුණා. එහෙම අයින් වුණ දවස්වල අපේ මැඩම්ලා සර්ලා හිටියේ හරි ම සතුටෙන්. මැඩම්ලා අපිට කිව්වේ, දැන් අපේ ළමයින්ට කරදරයක් නැති ව කන්න දෙන්න පුළුවන් කියල. නමුත් සිද්ධ වුණේ වෙනත් දෙයක්. තුන්වේල බඩපිරෙන්න කාලා නැහැ. නිහාල් සර් අයින් වුණ දවස්වලම අපේ මැඩම්ලා සර්ලා, අපිවත් එකතු කරගෙන හොස්ටල් නයිට් එක සංවිධානය කරන්න පටන් ගත්තා. අපි නොහිතපු දෙයක් සිද්ධ වුණා. හොස්ටල් නයිට් එකට සල්ලි ඉස්කෝලෙන් නොදෙන බව අපේ මැඩම්ලා කීවා. ඒක නිසා අපිට කන්න තියෙන සල්ලි ඉතිරි කර ගන්න ඕනෑලූ. ඉස්කෝලෙන් සල්ලි දෙන එක නැවතුනේ නිහාල් සර් නිසාලූ. ඉතින් සතියක් විතර අපේ කෑම අන්තිම නරක අතට හැරුනා. වෙනදාත් හොඳ කෑම ලැබුණේ නැහැ. හැබැයි නිහාල් සර්ගේ කාලේ කොහොම හරි තුන්වේල කෑවා. ඒක, උයන අය අදත් මතක් කරනවා.

නමුත් මේ දවස්වල අපේ කෑම වේල අන්තිමටම නරක් වුණා. එක දවසක් දවල්ට කන්න තිබුණේ වටිටක්කා විතරයි. එහෙම කාලා පිට්ටනිය වටේ රවුමක්වත් යන්න බැහැ සර්. ඉතින් කට්ටියම පිට්ටනියට යන්න අදිමදි කලා. ඉවෝන් මැඩම්ටයි යමුනා මැඩම්ටයි හොඳට ම තරහා ගිහින් අපි කෙල්ලෝ ඔක්කෝටම කොස්සක් කැඩෙනකල් ගැහැව්වා. හොස්ටල් නයිට් එක කරන්නේ අපිට නොවෙයි තොපිට. ඒකේ ඇවිත් කාලා යන්නේ තෝපේ අප්පලා කියලා, යමුනා මැඩම් අපි හැමොට ම කැත විදියට බැන්නා. හොස්ටල් නයිට් එකට අපි හැම කෙනාම ගෙදරිනුත් රුපියල් 1000 ට වැඩියෙන් දුන්නා. පස්සේ අපේ අම්මලා තාත්තලා ඇවිත් හොස්ටල් නයිට් එකේ කනකොට අපි කෙල්ලෝ ඔක්කොම එක්කනාට එක්කනා හොරෙන් ඇඬුවා, සර්, යමුනා මැඩම් අපේ අම්මලාට කියපු කතා මතක්වෙලා. මීට ඉස්සල්ලාත් හොස්ටල් නයිට් තිබුණා. පසුවත් හොස්ටල් නයිට් තිබුණා.

සර්, අපේ මැඩම්ලා සර්ලා තවත් වැඩක් කරනවා. සමහර දවස්වලට අපේ ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගේ නම් කියලා අපිට කියනවා, ඒ අය එක්ක කතා කරන්න එපා කියලා. අපිට පන්තියේ උගන්වන මැඩම්ලාට සර්ලාට කතා නොකර ඉන්නේ කොහොම ද සර්. අපේ මැඩම්ලා කියන එක, අපි අහනවා ද නැති ද බලන්නේ අර කේලාම් කියන අක්කලා අයියලා.

නේවාසිකාගාරයේ පිරිමි ළමයින්ටත් එහෙම කතා කරන්න එපා කියනවා. එපා කියපු මැඩම්ලා එක්කයි සර්ලා එක්කයි කතා කරනවාද කියලාත් බලනවා. බැරිවෙලා හරි අහුවුනොත් එදාට කෑමත් නැහැ සර්. අපිට නම් එක වේලක් හරි දෙකක් හරි නැති වෙන්නේ. පිරිමි ළමයින්ට ඊට වඩා වැඩියි. අපිට වඩා ගොඩක් දරුණුයි පිරිමි ළමයිගේ කරදර.

මේ ලඟදී අපේ මැඩම්ලා සර්ලා අපිට කිව්වා, ඉස්කෝලේ කිසි ම ගුරුවරයෙක් එක්ක කතා කරන්න එපා කියලා. කීපදෙනෙකුගේ නම් කියලා, ඒ අයට විතරක් කතා කරන්න කීවා. පස්සේ අක්කලා කිව්වා ඒකට හේතුව ගුරුවරු කිසිකෙනෙක් පාලිත සර්ගේ මගුල් ගෙදර ගියෙ නැතිලූ. ඒ නිසා තමයි අපිට කතා කරන්න එපා කිව්වේ. අපි මේ විඳින කරදරය ඉස්කෝලේ මැඩම්ලා සර්ලා දන්නේ නැහැ. දන්නෙම නැහැ කියලා අපි හිතන්නෙත් නැහැ. ඒත් ඒ අයත් අපිට බනිනවා, අපි මහ පන්ඩිතයි කතා කරන්නෙත් නැහැ අහන එකට උත්තර දෙන්නෙත් නැහැ ඉගෙන ගන්නේත් නැහැ කියලා. නමුත් සර්, ඒ මැඩම්ලා දන්නේ නැහැ අපි කතා කරොත් රෑට කන්නත් නැහැ කියලා. අපිට එපා කියපු දෙයක් කරොත් එදාට කන්නත් නැහැ, ගුටිත් කන්න වෙනවා. ඉතින් අපි ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගෙනුත් බැනුම් අහලා ඉවසගෙන ඉන්නවා. සමහර කේලම් කියන අක්කලා අයියලා අපේ කාගෙන් හරි පලිගන්න ඕනෙ වුනොත් මැඩම්ලාට බොරු කියනවා. එතකොට වරද කළත් නැතත් දඬුවම ලැබෙනවා. යමුනා මැඩම්ගෙන් ඉවෝන් මැඩම්ගෙන් පාලිත සර්ගෙන් ගුටි කාපු බැනුම් අහපු අපිට ඉස්කෝලේ මැඩම්ලා සර්ලාගේ දඬුවම් දැනෙන්නෙත් නැහැ සර්. පිරිමි ළමයි කියන්නේ පාලිත සර්ගෙන් ගුටි කන අපිට අනෙක් සර්ලගෙ ගුටි දැනෙන්නෙත් නැහැ කියලයි.

සර්, ටේ‍්‍රනින් ඉවර වෙලා, සමහර දවස්වලට ඇඟ හෝදගන්න වතුරත් නැහැ. එහෙම දවස්වලට අපි යනවා ළඟපාත ලිං හොයාගෙන. එහෙම යන වෙලාවට, කලින් ම නංගිලාට නාන්න කියලා අපි වතුවලට පැනලා අල බතල හාරගෙන කනවා. ඉතින් වටපිටාවේ මිනිස්සු අපට බනිනවා. නමුත් යමුනා මැඩම් තරම් සැරට එගොල්ලෝ බනින්නේ නැති නිසා අපට ගානක් නැහැ. තවත් සමහර දා ට පහල තියෙන සොරොව්ව ලඟට යනවා නාන්න. ඉතින් ඇඟ හෝදගෙන නැවත නේවාසිකාගාරයට එනකොට රෑ වෙලා. පස්සේ මහන්සියටම නිදිමතයි. බාගෙට කාලා ඉන්න නිසා බඩත් දනවා. තවත් සමහර දා ට නාන්න ගිහින් එනකොට අහල පහල වතුවලින් කොල ජාති කඩාගෙන පොල් ගෙඩියකුත් අහුලගෙන ඇවිත් මැඩම්ට වැඳලා වැඳලා තෙල් ටිකකුත් ඉල්ලගෙන උයාගෙන කනවා. ඒ ඔක්කොම කරලා පොත් ටික අරගෙන පාඩම් කරන්න ගියාට වැඩක් නැහැ. මේසේ උඩම නින්ද යනවා. ඉතින් විභාගවල දී ලකුණු නැහැ. ආයෙත් ගුටි කන්න ඕනේ. ලකුණු අඩු වුණා ම ගහන්නේ පාලිත සර්. අපි හැමෝට ම හොඳටම රිදෙනවා සර්. අච්චර මහන්සිවෙලා කොහොමද සර් පාඩම් කරන්න පණ තියෙන්නේ. ලකුණු අඩු විෂයන්වලට ඉස්කෝලේ සමහර හොඳ මැඩම්ලාට සර්ලාට කියලා ලකුණු කීපයක් ඉල්ල ගන්නවා. ගුටි කන එකෙන් බේරෙන්න. ඊට පස්සේ ගුටි කන එකෙන් බේරුණා ම උදව් කරපු මැඩම්ලට අපි පිං දෙනවා.

(මතු සම්බන්ධයි)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-27

වීරයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරනු

බ්ලොග් සම්මාන උළෙලේදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් එම සම්මාන උළෙලට විවිධාකාරයෙන් සම්බන්ධ වූ අයටත් බැනුම් අසන්නට සිදු වී තිබේ.

මෙම සම්මාන උළෙලේදී මට සම්මානයක් ලැබුණා නම් ඒ ගැනත් හොඳ කතා අසන්නට ලැබෙන්නට ඉඩ තිබිණි.

බ්ලොග් සම්මාන උළෙලක වැදගත්කම මා නම් දකින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, විකල්ප මාධ්‍ය භාවිතාවන් හා පුරවැසි මාධ්‍යකරණය ප්‍රවර්ධනයට හා දිරි ගැන්වීමට එය මහෝපකාරී වන බැවිනි.

මට නම් පෞද්ගලිකව ගත් කල, බ්ලොග්කරණය දේශපාලන හා සමාජ භාවිතාවක් වන හෙයින් මට වැදගත් වන්නේ සම්මාන නො ව, බ්ලොග් කියවීමට පැමිණෙන පාඨක පිරිසයි.

ඒ කෙසේ වෙතත්, මෙම සම්මාන උළෙලෙහිදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට එම වැඩසටහන නිම වී ගෙදර යාමෙන් පසුව හෝ දැඩි කලකිරීමක් ඇති වීම සාධාරණය යයි මම සිතමි. එහෙත්, වැඩසටහන අතරතුර බැරි නම්, වැඩසටහන නිම වූ සැණින් හෝ සංවිධායකයන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් හොඳ ය. 

ඇතැම් විට, එහෙම වෙන එකත් මේ පිටපතේ ම කොටසක් විය හැකි ය. 😖😖😖

කෙසේ වෙතත්, මෙතන තිබෙන ප්‍රශ්නය අප වැඩි දෙනෙකු වීරයකු ලෙස පිළි ගන්නා පුද්ගලයකුගේ නමක් මෙම සන්සන්දනය සඳහා යොදා ගැනීමයි. 

පිළිගත් වීරයකු වීමට අවශ්‍ය සාධක කීපයක් තිබේ. 

1. වීරයකු වන්නට අපේක්ෂා කළ අයෙකු නො වීම
2. වීරයකු වීමට තරම් වැදගත් සමාජමය මැදිහත් වීමක් කර තිබීම
3. එම සමාජමය මැදිහත්වීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීම
4. වීරයකු වීමෙන් පසු ඉක්මණින් මිය යාම

වීරයකු වනවාට වඩා වීරත්වය රැක ගැනීම අමාරු ය. හතරවන කාරණය මා මෙහි දැක්වූයේ ඒ නිසා ය. වීරයන් වෙලාත්, ඇතැමෙකු වීරත්වය අහිමි කරගෙන මිය යන්නේ ඒ නිසා ය.

එහෙත්, තුන්වන කාරණය ඉෂ්ඨ නො වීම නිසා වීරයන් වුණත්, වීරයන් ලෙස පිළිගැනීමක් නො ලැබෙන පුද්ගලයෝ රැසක් සමාජයේ සිටිති.

ඒ කොයි හැටි වෙතත්, වීරත්වය යනු ඇත්තෙන් ම වීරයා සතු ගුණයකට වඩා වීරයාට අදාළව සෙස්සන් තුළ ඇති මානසික ගොඩනැගීමකැයි මම සිතමි.

රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සේනක බිබිලේට කරන අවමානයක් නො වේ. මක් නිසාද යත්, එය සේනක බිබිලේට අදාළ නැත. රාජිත සේනාරත්නට අදාළ ය. රාජිත සේනාරත්න මෙම කියමන කියලා කියවා ගත්තා ද යන්න අපි නො දනිමු. 

එසේම, එය අදාළ වන තවත් පිරිසක් වෙති. ඒ වනාහි, එයින් සේනක බිබිලේට අවමානයක් වුණා ය කීමෙන් තමන්ට සම්මාන දී ගන්නට හදන අයයි. සේනක බිබිලෙලා අපි වගේ අය ලෙස පෙනී සිටින්නට කැමති අයට ය. නැතිනම්, නයින්ගෙ අපේ වැඩ කොහොමදැයි අසන ...... එක්කො ඕනැ නැහැ. මේ වනාහි රාජිත සේනාරත්නගේ අනෙක් පැත්තයි.

මෙවැනි ප්‍රශ්නවලට විසඳුම වන්නේ වීරයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම යයි හෙට සිට කිසියම් පිරිසක් කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-24

විමුක්ති සමග ෆුල් අවුල් වෙන්න සුළඟ ගිනි අරන් බලන්න

සුළඟ ගිනි අරන් අවසාන දර්ශනය 
විමුක්ති ජයසුන්දරගේ සිව්වන චිත්‍රපටය වන ‘සුළඟ ගිනි අරන්' බැලූ විට සිතට නැගුණු සිතුවිල්ලක් මෙසේ ලියමි.

විමුක්තිගේ රූප රාමු ආලෝකයෙන් අඳින ලද ගැඹුරු සිනමා සිතුවම් ලෙස රස විඳිය හැකි ය. ඒවායේ තිබෙන අඳුරු, දොම්නස්, ගුප්තභාවය හා මන්දගාමී චලනය ද, ශබ්ද භාවිතයෙහි හා රංග වින්‍යාසයෙහි චමත්කාරය ද මන බඳිනසුළු බව අමුතුවෙන් කිව යුතු නැත.

එහෙත්, විමුක්ති සිය නිර්මානවලින් ඉදිරිපත් කරන්නේ කුමක් ද?

විමුක්තිගේ චත්‍රක් චිත්‍රපටයේ ද දැක්ම පිළිබඳ අපි මීට පෙර ප්‍රශ්න කළෙමු.

සුළඟ ගිනි අරන් සම්බන්ධයෙන් යමක් කීමට පෙර අධි යථාර්ථවාදය ලංකාවේ හා ලෝකයේ ඇතැමුන් අත පත් වී තිබෙන කණගාටුදායක තත්වය පිළිබඳ සටහනක් තැබිය යුතු යයි සිතමි.

යථාර්ථය කලාත්මක අයුරින් ප්‍රතිනිර්මානය කිරීම පහසු කාර්යයක් නො වේ. එයට ඉතිහාසය, සමාජ පසුබිම, චරිත අතර ගැටුම්, චරිතවල මනෝභාවයන් ආදිය පිළිබඳ ඉතා ගැඹුරු හැදෑරීමක් අවශ්‍ය ය. එහෙත්, ලංකාවේ ඇතැම් කලාකරුවෝ මේ ගැඹුරු හැදෑරීම කිරීමට තරම් විනයක්, විවේක බුද්ධියක් හා උවමනාවක් නැතිකම ඉතා පහසුවෙන් ආවරණය කර ගන්නේ අධි යථාර්ථවාදයෙනි.

මෑත වකවානුවේදී මෙම නිර්මාණ විනය මැනැවින් නිරූපණය කළ කෘතියක් වන්නේ සුමුදු නිරාගී සෙනෙවිරත්නගේ දූල්වල අලංකාරේ ය. එහෙත්, ගැඹුරු අධ්‍යයනය හා යථාර්ථවාදී නිරූපණයේ සියුම් විස්තර කෙරෙහි දක්වන ලද අධි සංවේදීබව නිසාදෝ ඇගේ කෘතියෙහි කිසියම් සියුම් වාර්තාකාරී ස්වභාවයක් දක්නට ලැබේ.

යථාර්ථ අධ්‍යයනය මගහැරීම උදෙසා අධි යථාර්ථවාදය වෙත යොමු වන නිර්මානකරුවා වස්තු බලා ඇඳීම නො දත්කම වසා ගන්නට  වියුක්ත චිත්‍ර අඳින ශිල්පියකු වැනි ය.

කලාත්මක අධියථාර්ථවාදය මතු වන්නේ යථාර්ථය පිළිබඳ ගැඹුරු හැදෑරීම් ඔස්සේ ය.

විමුක්ති ද නිරන්තරයෙන් අධියථාර්ථවාදී නිරූපණයන් වෙත යොමු වන්නෙකි. චත්‍රක් චිත්‍රපටයෙහි මානසික රෝගී තරුණයාගේ භ්‍රාන්තියක් ලෙස සැලකිය හැකි දේශ සීමා මුරකරුවකුගේ චරිතයක් තිබේ. එසේම, සිහිනයක් ද එහි ඉදිරිපත් කෙරේ. ගෘහ නිර්මාන ශිල්පියා සිය බිරිය සමග කැළයේ නිවසක් ඉදි කිරීමට කණු සිටුවීම හා ඒවා කඩා වැටීම එම ජවනිකාවයි. ඒවා කලාත්මක අධි යථාර්ථවාදයන්ට වඩා ශිල්පීය අධියථාර්ථවාදයන් ලෙස සැලකිය හැකි ය. එහෙත්, කලාත්මක අධි යථාර්ථවාදයට උදාහරණයක් ද චත්‍රක් චිත්‍රපටයෙන් ම සොයා ගත හැකි ය. ඒ චිත්‍රපටයේ අවසාන දර්ශනයයි.

මිනිස් කසල හා වනචාරී ලිංගිකත්වය ද විමුක්තිගේ සිනමා ඇස නිරන්තරයෙන් යොමු වන රූප අතර තිබේ.

සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ ද, වකුගඩු විකුණන, මිළ දී ගන්නා, ගලවන, විකුණන, කොමිස් ගන්නා, ලෙඩුන් දූෂණය කරන, මුදල් පසුපස කෑදර ලෙස හඹා යන, කුණු වෙන්නට බොන, කලහ කරන, මිනී මරන, රස්සාව වෙනුවෙන් කාලකණ්ණිකම් කරන, තමන් කරන්නේ කුමක් ද යන්න නො දත් මිනිස් අවතාර වන් මිනිස්සු ගැවසෙති. ඒ රූප රාමු අතරට සත්‍යය සොයා යන හාමුදුරුවරු, මරණය ගැන අදහස් ආදිය ද මුසු කර තිබේ. එහෙත්, සුළඟ ගිනි අරන් චිත්‍රපටයේ අධි යථාර්ථවාදී දර්ශන පෙළෙහි ආනන්දයෙන් අප වෙත ලබා දෙන ප්‍රඥාව කුමක් ද? කිසිවක් නැත. එහි විශේෂත්වය එයයි.

ඇතැම් විට, කිසිදු අදහසක් ප්‍රකාශ කරන්නට විමුක්තිට අවශ්‍යතාවක් නැතුවා විය හැකි ය. ඔහුත් නො දන්නා දෙයක් ඔහු තවෙකෙකුට කියා දෙන්නේ කෙසේ ද? ඔහු ඉදිරිපත් කරන්නේ ඔහුගේ නො දන්නාකම හා අවුල්සහගත බවයි. එහි ඇති මූසල දෝමනස්සයයි. කාලකණ්ණිකමයි. සත්‍යය අවබෝධ කර දීමට ආගම් හා දර්ශනවාදවල ද ඇති ප්‍රායෝගික අසමත්කමයි. එය විමුක්තිගේ විවරණයක් ලෙස නො ව, විමුක්ති සමාජ යථාර්ථයට දක්වන ප්‍රතිචාරයක් ලෙස සැලකිය යුතු යයි මට සිතේ. 

විමුක්ති කියන දෙය චිත්‍රපටයෙන් නිරූපණය වන්නේ වකුගඩු දොස්තර කැළයට හෝ වෙරළට හෝ ගොස් කරන ගුප්ත, වේදනාබර, වෛරී, බියකරු මොරගෑමෙනි. විමුක්තිගේ පණිවුඩය එයයි. චිත්‍රපටයේ සමස්තය කැටි වන්නේ ඒ අමානුෂික හඬ තුළ ය. විමුක්තිගේ ප්‍රකාශනය එයයි.

චිත්‍රපටයේ අවසාන ජවනිකාවේදී අසාමාන්‍ය තැනක ඕමි ගසන සිව්දෙනාගේ දර්ශනය විසින් ඔහු අප ඇලුම් කරන සම්මත කතා කලාවට ද අභියෝගයක් කරන්නේ යයි මට සිතේ. එක එක කතා!

චරිත විග්‍රහයත්, සමාජ විවරණයත් වැඩක් නැත. කතාත් වැඩක් නැත. කිසිවෙක් කිසිවක් නො දනිති. කිසිවක කිසිවක් නැත.

විමුක්තිගේ සුළඟ ගිනි අරන් චිත්‍රපටය රස විඳීමට එවැනි මානයක් නිර්මාණය කර ගත යුතු ය. කලාකරුවා නිර්මාණයක් කරන්නේ ඔහු යමක් දන්නා නිසා හෝ ඔහුට යමක් කියන්නට තිබෙන නිසා ම නො විය හැකි ය. ඔහුට ඔහුගේ අවුල අපට ප්‍රකාශ කළ හැකි ය. එවිට අප සහෘද වන්නේ ඔහුගේ වියවුල සමග ය. අප කරන්නේ ඔහුත් සමග අපත් අවුල් කිරීමයි.

වින්සන්ට් වෑන් ගෝ ඔහුගේ අවුල් මනසෙහි විචිත්‍ර අන්දමින් චිත්‍රණය වූ යථාර්ථය අප හමුවේ තැබුවා සේ විමුක්ති ජයසුන්දර සිය අවුල් මනසෙහි කාලකණ්ණි මූසලකම අප හමුවෙහි තබයි.

යථාර්ථය ගැන දන්නා දේ, දාර්ශනික හා පෞද්ගලික විග්‍රහ ඉවත දමා ෆුල් අවුල් වන්නට සුළඟ ගිනි අරන් බලන්න.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

ක්‍රීඩා පාසල්වල ග්ලැඩියේටර් වහල්ලු

මෙම ලිපිය විශේෂ ලියුම්කරුවකු විසින් අප වෙත එවන ලද දීර්ඝ ලිපියක හැඳින්වීමයි. අප එය සුළු සංස්කරණයකින් යුතුව මෙහි පළ කරන්නෙමු. 

අප මෙම පාසලේ නම මෙහි සඳහන් නො කරන්නේ මෙම තත්වය බොහෝ ක්‍රීඩා පාසල්වල අඩු වැඩි වශයෙන් මේ අන්දමින් ම ඇති බව අපගේ නිරීක්ෂණවලින් හෙළි වී තිබෙන හෙයිනි. ක්‍රීඩා පාසල්වල පමණක් නො ව, ක්‍රීඩාවේදී පමණක් නො ව, පාසල් අධ්‍යාපනයේ බොහෝ පැතිකඩවලදී ඔබේ දක්ෂ දරුවා උන්නතිකාමී අධ්‍යාපන නිලධාරීන්ගේ, විදුහල්පතිවරුන්ගේ, ගුරුවරුන්ගේ හා ආදි ශිෂ්‍ය සංගම් ආදියෙහි ග්ලැඩියේටර් වහලුන්, විද්‍යාගාර මීයන් බවට පත් වන බව ඔබ දන්නවා ද? 

මෙම ලිපිය ලියූ ලේඛකයා විසින් කරන ලද ගවේෂනය විසින් සමස්ත පාසල් අධ්‍යාපනයේ ම හරස්කඩක් මෙහි නිරූපණය කර තිබේ. කරුණාකර මෙම ලිපිය අධ්‍යාපන හා ක්‍රීඩා බලධාරීන්ගේ ඇසට යොමු කරන්න.

මෙම පාසල දිවයිනේ ප්‍රධාන ක්‍රීඩා පාසලකි. එහි නාමය ශී‍්‍ර ලංකාව පුරාම ප‍්‍රසිද්ධ මලල ක‍්‍රීඩාව සම්බන්ධයෙනි. ජාතික මට්ටමෙන් පැවැත්වෙන පාසැල් මලල කී‍්‍රඩා තරඟාවලීන්හිදී නිතර ම බාලක බාලිකා ජාතික ශූරතාවයන් මෙම පාසල විසින් දිනාගනු ලැබේ. මේ නිසා ම එම විදුහලේ කී‍්‍රඩා අංශභාර ආචාර්යවරු, බොහෝ දෙනාගේ ගෞරවාදරයට සම්මානයට පාත‍්‍රවෙති. විවිධ වූ වරප‍්‍රසාදයන් භුක්ති විඳිති. ජාතික මට්ටමේ, පළාත් මට්ටමේ සහ කලාප මට්ටමේ මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉහළ තනතුරු සඳහා තේරී පත්වෙති. මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ සංගම්හි විවිධ තනතුරු දරති. විදුහලේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ කී‍්‍රඩා පාසැලේ මෙම මලල ක‍්‍රීඩා ජයග‍්‍රහණ පිළිබඳ උද්දාමයට පත් ව මහත් සතුටින් ඒ පිළිබඳ ක‍්‍රීඩා පාසල භාර ආචාර්යවරුන් ඇගයිමට ලක් කරති. තමන් ද,  විදුමවගේ දරුවෙකු වීම පිළිබඳ එම අාදි සිසුහු ආඩම්බර වෙති.

එහෙත් එම විද්‍යාලයේ නේවාසිකව සිටිමින් මුළු ශී‍්‍ර ලංකාව පුරා ම, විදුහල් මාතාව බබළවන,  ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ නේවාසික ජීවිතය ඉමහත් ඛේදජනකය. බියකරු ය. දරුවෙකුට විඳදරා ගත නොහැකි වන තරමට ම පීඩාකාරීය. ඒ හේතුව නිසා ම , ජාත්‍යන්තර වශයෙන් ලංකාවටත් , එම විද්‍යාලයටත් ජයග‍්‍රහණයන් අත් කර දීමට සුදුසු ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ බොහෝමයක් විද්‍යාලීය නේවාසිකාගාරයෙන් පමණක් නොව සමස්ත මලල ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයම අත හැර සිය ගම්බිම් කරා ගොසිනි. තවත් අය යන්න සූදානමින් පසුවෙති. මෙම තත්ත්වය, විදුහලට පමණක් නොව මුළු ශී‍්‍ර ලංකාවට ම ඉමහත් පාඩුවකි. උදා වී ඇති මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු කිසිවෙකුගේ අවධානය යොමු වී නොතිබීම පුදුම සහගත ය. ඛේදජනක ය. තේරුම් ගත නොහැක.

අදාළ දිස්ත‍්‍රික්කයේ පමණක් නොව දිවයිනේ විවිධ ප‍්‍රදේශවල කුඩා පාසැල්හි මලල ක‍්‍රීඩා ඉසව් සඳහා ඉතා ඉහළ දක්ෂතා පෙන්වමින් සිටි මෙම දූ දරුවන්, විදුහලේ ක‍්‍රීඩා පාසැලට බඳවා ගැනෙන්නේ ශිෂ්‍යත්වධාරීන් ලෙස ය.

එසේ පැමිණෙන මෙම දරුවන්, පාසැල තුළ ම පවත්වා ගෙන යනු ලබන නේවාසිකාගාරයේ නවාතැන් ගන්වති. පිරිමි ළමුන්ට සහ ගැහැනු ළමුන්ට වන ලෙස වෙන වෙන ම නේවාසිකාගාර දෙකක් ඇත. සිය දෙමාපියන්ගෙන් සහ තමන් එතෙක් ඉගෙන ගත් පාසලෙන් සමුගෙන මෙම දරුවන් විදුහලේ ක‍්‍රීඩා පාසැලේ නේවාසිකාගාරය වෙත පැමිණෙන්නේ ඉමහත් බලාපොරොත්තු ඇතිව ය. සිය අනාගත මලල  ක‍්‍රීඩා ජයග‍්‍රහණයන් සහ සාර්ථකත්වයන් පිළිබඳ සිහින දකිමිනි. සිය දෙමාපියන්ගේ ආදරය හෙනෙහස තුරුලූ කරගෙන ඔවුන්ගේ ඇකයේ සුරතල් විය යුතු වයසේ පසුවන මෙම දරුවන්, නේවාසිකාගාර ගතවන්නේ එම සිහිනයෙනි. එහෙත් නේවාසිකාගාර ගතවීමෙන් පසු අත්විඳින්නේ, ඔවුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සිහිනෙන්වත් නොසිතූවිරූ බිය ජනක අත්දැකීම් සමූහයකට ය.

මෙම තත්ත්වය හරියට ම ග‍්‍රීක රෝම ශිෂ්ටාචාර පැවති සමයේ තිබූ වහලූන්ගේ ක‍්‍රීඩාවක් සිහිගන්වන සුළුය. වහල්හිමියන්ගේ සහ ඔවුන්ගේ රදළ සමාජයේ මනදොළ සපුරාලීම සඳහා කොලෝසියම වැනි කී‍්‍රඩාගාරයන්හි සටන් වැදුනු ග්ලැඩියේටර්වරු බඳුය. ග්ලැඩියේටර්වරු වහල්ලූ ය. ඔවුන් එක් එක් වහල්හිමියා වෙනුවෙන් දිවි නොතකා තවත් ග්ලැඩියේටර්වරයෙකු සමඟ සටන් වදිති. ගැලැඩියේටර්ට සටන ජය ගැනීමෙන් සිය ජීවිතය පමණක්  රැකගත හැකිය. එහෙත් ජයගත් ග්ලැඩියේටර්වරයාගේ ස්වාමියා හෙවත් වහල්හිමියා විශාල මුදල් මල්ලකට හිමිකම් කියනවා පමණක් නොව ජනප‍්‍රසාදයට ද පත්වෙයි. ඔහු එම රාජ්‍යයේ වගකිව යුතු තනතුරුවලට ද පත්වෙයි. මෙම මරාන්තික තරඟ නැරඹීමට සාමාන්‍ය ජනතාවද විශාල වශයෙන් සහභාගි වෙති. ඔවුහු ද මෙම තරඟ නැරඹීමෙන් මහත් සතුටක් ලබති. නමුත් සටනෙන් පසු ඒ සතුටෙන් ම ඔවුහු විසිර යති. බොහෝ දෙනාට සතුට කීර්තිය අත්කර දුන් ජයග‍්‍රාහි ග්ලැඩියේටර් නැවත වහලෙකු ලෙස විලංගුලා  සිර කුටියක වාසය කරයි. ඒ ඊළඟ මාරාන්තික තරඟය එනතුරු ය.

එලෙස ම මෙම විද්‍යාලයේ ක‍්‍රීඩා පාසැලේ අසරණ දරුවෝ ද ජාතික තරඟයන්හිදී බොහෝ දෙනාට සතුට ගෞරවය ලබා දී , නැවත එළිමහන් සිර කඳවුරක් බඳු පාසැල් නේවාසිකාගාරයේ වාසය කරමින් දිනපතා අනේක විධ වධ වේදනාවන්ට පත්වෙමින් කඳුලූ බොති. විදුහල් මාතාවගේ ආදි දරුවෝ, සිය විදු මාතාවට මෙතරම් කීර්තිනාමයක් අත් කර දෙන, නේවාසිකාගාර ගතව සිටින මෙම දරුවන් පිළිබඳ සැබෑ තතු නොවිමසන්නේ මන්දැයි බොහෝ දෙනාට ගැටලුවකි. මන්ද ආදිසිසුන් මෙම කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් හඳුන්වන්නේ කහ කුරුල්ලන් යන අන්වර්ථ ගෞරව නාමයෙනි. සිය විදුමවට ජාතික මට්ටමෙන් කීර්තියක් අත් කර දෙන මෙම කහ කුරුල්ලන් පසුව නැවත නේවාසිකාගාරයේ කූඩු කර වදවේදනාවන්ට පත්ව කඳුළු බොමින් ඉතා අවාසනාවන්ත ජීවිතයක් ගත කිරීම මොවුන්ට ප‍්‍රශ්නයක් නොවන්නේ ද ? එසේ ප‍්‍රශ්නයක් නොවන්නේ නම් ඒ මන්ද? මෙම ලියුම්කරු වසර ගණනාවක් මහත් වෙහෙසක් දරා, එම ක‍්‍රීඩා පාසලේ නේවාසික සිසුසිසුවියන් සමඟ සුහදව සාකච්ඡා කිරීමෙන්, සිය නේවාසිකාගාර දිවිය පිළිබඳ හෙළිදරව් කර ගත් තොරතුරු  භීතියට පත් කරවන සුළුය. මෙම දරුවන් මෙතරම් වද වේදනාවන් ඉවසා සිටින්නේ, කෙසේ ද යන්න විමතිය දනවන්නකි.

ලෙහෙසියෙන් මෙම දරුවෙකු සමඟ වෙනම කතා කල නොහැක. එම දරුවන් විසින් ම  සීඅයිඩී වශයෙන් හඳුන්වන තවත් සිසුන් කණ්ඩායමක් ඔවුන් වටා කැරකෙති. පිට අයෙකු සමඟ කතා කරන්නේ මොනවා දැ යි විමසිලිමත් වෙති. රාත්‍රිෙය් නේවාසිකාගාරයේ දී පහර දෙමින් ප‍්‍රශ්න කිරීමට ලක්වෙති. යම් වරදක් සිදු වී ඇත්නම් වේල් දෙක තුනක් අහර නැත. තමන් මෙතෙක් වෙහෙස මහන්සියෙන් අත් කර ගත් ක‍්‍රීඩා සහතික අනතුරේ ය. මෙම ප‍්‍රශ්න කරන්නන් වැරදි යනුවෙන් හඳුන්වන්නේ, නේවාසිකාගාරයේ තොරතුරු බාහිර අයෙකුට ප‍්‍රකාශ කිරීමයි. එය පාවාදීමකි. මෙතෙක් පැවති සම්ප‍්‍රදාය කැඩීමකි. දඬුවම් ලැබිය යුතු වරදකි. නේවාසිකාගාර භාර ආචාර්යවරුන් කෝප ගන්වන්නකි. එම නිසා මෙම නේවාසික දරුවෝ කිසිවෙකු ඉදිරියේ දොඩමලූ නොවෙති. ඒ මොවුන්ට කිසිවෙකු පිළිබඳ විශ්වාසයක් නොමැති නිසා ය. බාහිර අයට තම වද වේදනා ප‍්‍රකාශ කරන්නට යෑමෙන් බොහෝ සිසුන්ට අත් වූ ඉරණම මොවුන් දැක ඇති නිසා ය. නැතිනම් පැරණි සිසුන් විසින් නවක සිසුන් මැනවින් දැනුවත් කර ඇති නිසා ය.

මෙම විදුහලේ ගුරුවරියක, මෙම ලියුම්කරු සමඟ පැවසුවේ, පාසැලේ දරුවන් දහසක් අතරින් වුවත් නේවාසිකාගාරයේ සිසුවෙකු හඳුනාගැනීම ඉතා පහසු බවය. ඒ ඔවුන් නිතරම නිහඬ, කල්පනාකාරී, වේදනාබර, මැළවුණු මුහුණින් යුතුව සිටින නිසා යැයි ද ඇය පැවසුවා ය. ඇත්තටම මොවුන් නිහඬ කරවා ඇති බව ඇය තවදුරටත් පැවසුවා ය. තවද ඇය පවසන පරිදි, විදුහල් පරිපාලනයට ඉහළින් සිටින කණ්ඩායමක් විසින් මෙම නේවාසික දරුවන් පාලනය කරනු ලැබේ. නේවාසික සිසුන් භාර ගුරුවරු විසින් ද පාසැල් පරිපාලනය නොසලකා හැර ඇතැයි ද ඇය පවසයි. මෙම ගුරුවර ගුරුවරියන් පාසලේ සාමාන්‍ය කටයුතුවලදී වෙනම කණ්ඩායමක් ලෙස ද කි‍්‍රයා කරන බවත්, ඔවුන් මෙහෙයවනු ලබන්නේ අධ්‍යාපන කලාප කාර්යාලයේ ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේ ඉහළ නිළධාරියෙකු විසින් බවත් ඇය තව දුරටත් පැවසුවා ය. අධ්‍යාපන කලාපයේ මෙම ඉහළ ක‍්‍රීඩා නිළධාරියා දේශපාලන බලපුළුවම්කාරකම් ඇති අයෙකි. ඔහු විදුහලේ ආදිසිසුන් ද ඇසුරු කරයි. එසේ ම මධ්‍යම පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන් ද මොහුගේ මිතුරන් ය. එම නිසා හැම විටම පාසල් පරිපාලනය අභිබවා මෙම කණ්ඩායම බලවත් ය. එම නිසා විදුහලේ නේවාසිකාගාරය භාර ගුරුවරු ද තම අභිමතය පරිදි අහිංසක දරුවන් පීඩාවට පත් කරති. නේවාසික දරුවන්ට තමන්ට සිදුවන අසාධාරණයන් පිළිබඳ  කියන්නට කිසිවෙකු නැත. කරන්නට තිබෙන එකම දෙය නම් ක‍්‍රීඩාව පිළිබඳ තම අනාගත සිහිනය පසෙකලා නේවාසිකාගාරය හැරයාමය. එයද කියන තරම් පහසු කටයුත්තක් නොවේ යැයි ඔවුහු පැවසූහ.  මෙසේ මෙම දරුවන් රහසින් බියෙන් පැවසුවේ ඔවුන්ගේ වේදනාබර නේවාසිකාගාර අත්දැකීමයි. 

(මීළඟ කොටස සඳුදා බලාපොරොත්තු වන්න)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-23

විමලාලෝකනය හෙවත් විමල් ආපසු හැරී බැලීම

මීට කලකට ඉහතදී දිගු කාලීනව හිරේ විලංගුවේ වැටුණු අය ආපසු ගෙදර ආවේ ම නැත. දැන් තත්වය වඩා හොඳ ය. බන්ධනාගාර නිලධාරීන් සමග සහ හිරගෙදර අයිතිකාරයන් වී සිටින පරණ සිරකරුවන් සමග ලොකු කොක්කක් දමා නො ගත්තොත් සිංහල සිරකරුවන්ට නම් කවදා හෝ ගෙදර පැමිණිය හැකි යයි බලාපොරොත්තුවක් තබා ගත හැකි ය.

දෙමළ සිරකරුවන් සම්බන්ධයෙන් නම් ගැරන්ට් කරන්නට බැරි ය. මන්ද, නඩු නැතුව, ඇප නැතුව අවුරුදු දහයකට වඩා ඉන්න අයත් ඉන්නවා ය. එසේම, කොයි වෙලාවේ හරි ජාති ආලෙ නැගලා ගියොත් වැලිකඩ-1, බිඳුණුවැව වැනි සමූහ සංහාරවලට හිර ගෙවල් විවෘත ය.

ගෝඨාභය බලවත් කාලයේ රඟ දැක්වුණු වැලිකඩ-2ට ජාතිවාදයක්වත් තිබුණේ නැත. එතැන තිබුණේ තනිකර ලේ පිපාසයයි.

කොහොම වුණත්, හිරගෙදරදී පිටතදීට වඩා මිනිසුන්ගේ ජීවිත අනාරක්ෂිත ය.

විමල් වීරවංශ මෑත කාලීනව ගත කළ ජීවිතය අනුව ඔහුට සිරගෙය අපායක් වෙන එකත්, එහි සිටිනවාට වඩා මැරෙන එක හොඳයි කියා හිතෙන එකත් පුදුම විය යුතු තත්වයක් නො වේ.

විමල් සමග එකට දේශපාලනය කළ අප 1989දී සිරගත වන විට විමල්ට එයින් ගැලවී සිටීමේ හා ජීවිතය ද බේරා ගැනීමේ අවස්ථාව ලැබිණි. එහෙත්, එකට සිට මිය ගිය මිනිසුන් වෙනුවෙන් වූ හෘදය සාක්ෂිය විමල් අහිමි කර ගත්තා යයි මම සිතමි.

විමල්ට එල්ල වී තිබෙන චෝදනාව පැහැදලි දූෂණයකි. එහෙත්, එම චෝදනාවට ලක් විය යුතු තවත් විශාල පිරිසක් ආණ්ඩුවට සහයෝගය දැක්වීම ඔස්සේ බේරී ගිය අතර දැනටත් විශාල පිරිසක් අඩු වැඩි වශයෙන් එම දූෂණය ම කරමින් සිටිති.


විමල්ගේ නඩුවේ ම විත්තිකරුවන් විය යුතු ආශු මාරසිංහ සහ ලසන්ත අලගියවන්නට එරෙහිව චෝදනා එල්ල නො වීම හා විමල් පමණක් ඉලක්ක වීම පසුපස පැහැදිලි දේශපාලන මෙහෙයවීමක් ඇති බව පෙනේ.

කණගාටුදායක තත්වය වන්නේ විමල්ගෙන් වාහන ලැබූ ඔහුගේ හිතවතුන්, ඥාතීන් පවා ඔහුට පිටු පා ඇති බව දැනගන්නට ලැබීමයි.

කෙසේ වෙතත්, දැන් නඩුව තිබෙන්නේ අධිකරණයේ ය. පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන අංශයට දේශපාලන අතපෙවීම් ඇතත්, අධිකරණයට ඒ අන්දමින් දේශපාලන අතපෙවීම් ඇති බවක් මෑත කාලීන නඩු තීන්දු අනුව පෙනෙන්නේ නැත.

විමල් වීරවංශ දැන් මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙන්නේ කාට එරෙහිව ද යන්න පැහැදිලි නැත. ඔහුගේ දූෂණ චෝදනා යට නො ගසා විමර්ශනයට යොමු කළේ නම් ආණ්ඩුව බව පිළි ගත හැකි ය. එහෙත්, ඔහුට ඇප නො ලැබීම පසුපස තිබෙන්නේ පොදු දේපල නීති මිස වෙනත් හස්තයක් නො වේ.

මාරාන්තික උපවාසයක් කරමින් විමල් දැන් ඉල්ලා සිටින්නේ කුමක් ද? නීති නො තකා හරිමින් තමන් නිදහස් කර හරින ලෙස ද?

විමල් වීරවංශලා නීතියට උඩින් සිටි කාලයක් තිබිණි. එසේම, වර්තමානයේදී මෙන් ම, තෝරා ගත් පුද්ගලයන් සිරගත කිරීම පමණක් නො ව, ඝාතනය කළ යුගයක් ද තිබිණි. එම යුගයේ දූෂණ හා අපරාධවල නියැලුණු ප්‍ර‍ධානීන් රැසක් ම තවමත් නීතියට උඩින් බේරි බේරී සිටිති.

විමල් වීරවංශ පමණක් සිරගත විය යුතු නැත.

ඔහු සම්බන්ධයෙන් අජිත් පී. පෙරේරා කියා තිබූ කාරණය ඔහු නැවත සිහිපත් කර ගත යුතු ය. සාපේක්ෂව කෙටි කාලයක් සිරගත වී සිටි පමණින් මෙතරම් ඉක්මණින් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැතිව, හොඳ නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයෙන් ඇප ලබා ගැනීමට උත්සාහ කළ යුතු ය.

විමල් මෙම කාලය විමලාලෝකනයක් හෙවත් ආපසු හැරී බැලීමක් වෙනුවෙන් යොදා ගන්නවා නම්, ඔහු පටන් ගත් පොත් ලියනවා නම්, පොතක් කියවනවා නම්, අනාගතය වෙනුවෙන් යහපත් දායකත්වයක් කරන්නට ඔහුට තවමත් කාලය තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-22

සමාජ සත්කාර්ය කටයුතු හොඳයි ද? නරකයි ද?

බ්ලොග්කරණය පිළිබඳව ඊයේ පැවැත්වුණ රූපවාහිනී වැඩසටහනේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ඉදිරිපත් කළ අදහසක් පිළිබඳ සංවාදය වැඩිදුරටත් කළ යුතු යයි සිතනවා. (මෙම වැඩසටහන වෙත මෙතැනින් පිවිසිය හැකි ය.)

නන්දන පැවසුවේ බ්ලොග්කරුවන් පාසල්වලට උපකාර කිරීම වැනි දේශපාලකයන් විසින් කරන විදියේ සමාජ සත්කාර්ය වැඩ කරනවා වෙනුවට බ්ලොග් ප්‍රවර්ධනය, ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වැනි කාර්යයන්ට අවධානය යොමු කිරීම වැදගත් බවයි.

එයට හේතුව වන්නේ නෙළුම්යාය බ්ලොග් සම්මාන උළෙල සංවිධානය කරන නෙළුම්යාය පදනම විසින් එවැනි කටයුතු සංවිධානය කිරිම ප්‍රවර්ධනය කිරීමයි.

බ්ලොග්කරුවන් සියලු දෙනා දේශපාලනික බ්ලොග්කරුවන් නෙමෙයි. බ්ලොග් අවකාශය ඉතා පුළුල්. එහි දැනුම බෙදා ගන්නා පිරිස අතිශය විවිධත්වයකින් යුක්තයි. ඒ හැම කෙනෙකු ම වාමාංශික දේශපාලනයේ ආභාසය ලැබූ අය නෙමෙයි.

සමාජ සත්කාර්ය වැඩ ලෙස හැඳින්විය හැකි ඉංග්‍රීසියෙන් philanthropy ලෙස හඳුන්වනු ලබන වැඩ කටයුතු කරන්නට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වනවා. ඇතැමෙක් නිහඬව ම ඒවා කරනවා. තවත් අය ප්‍රසිද්ධියට කැමතියි. තවත් අයට ඒවායින් මතු බලාපොරොත්තු තිබෙනවා. උදාහරණයක් ලෙස දේශපාලකයන් ඒ වැඩවලින් ඡන්දය බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම, සමාගම් සමාජ වගකීම හෙවත් Corporate Social Responsibility කියන දේ බොහෝ විට ප්‍රචාරය, බදුවලින් නිදහස් වීම වැනි දේ සමගත් සම්බන්ධයි.

හැබැයි ඉතින් හොඳ වැඩක් කරන එක මොන විදියට කළත් හොඳයි.

මෙවැනි කටයුතු සම්බන්ධයෙන් වාමාංශිකයන් අතර ප්‍රචලිත අදහසක් වන්නේ රජයන් විසින් කළ යුතුව තිබෙන මෙවැනි වැඩ පුද්ගලයන් කරන්නට යාම අනවශ්‍ය දෙයක් බවයි. එම අදහසේ තවත් එහාට යනකොට එමගින් සමාජ ප්‍රශ්නවලට තාවකාලික පැලැස්තර විසඳුම් දීමෙන් සමාජවාදය සඳහා අරගලය මොට වනවා ය කියාත් තර්කයක් තිබෙනවා.

මා මේ අදහසට එකඟ නැහැ. ලංකාව වගේ රටවල රජය තිබෙන්නේ ඒ වෙනුවෙන් ජනතාව දරන බරට සාපේක්ෂව අපේක්ෂිත මට්ටමට වඩා බෙහෙවින් පසුපසිනුයි.

හැබැයි, මගේ මට්ටමෙන් මා සමාජ සත්කාරක වැඩ ලෙස සලකන්නේ අපට සේවා සපයන හෝ අපට සමීප දිළිඳු අයට උදව් කිරීමයි. මට කළ හැකි ප්‍රමාණයත් එයයි.

හැබැයි, මෙවැනි සමාජ සත්කාර්ය කටයුතු දෙස හුදු පුණ්‍ය දෘෂ්ටි කෝණයකින් නො ව, සංවර්ධන දෘෂ්ටි කෝණයකින් බලන එක වැදගත් බවයි මා නම් හිතන්නෙ.

මිනිහෙකුට මාළුවකු දෙනවාට වඩා බිලී පිත්තක් දී මාළුවා අල්ලා ගන්නා හැටි කියලා දෙන එක සාධනීයයි. සංවර්ධනාත්මකයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-20

අඟහරුවාදා රෑ තමයි රෑ

පුංචි කාලෙ මං 
මාර්තු 21, අඟහරුවාදා රාත්‍රී 9.30ට මාත් එනවා ස්වාධීන රූපවාහිනියට බ්ලොග් ගැන කතා කරන්නට. තරහකාරයන්ට, ඉරිසියාකාරයන්ට, කඩාකප්පල්කාරිත්වයට ලොල් අයට, නිර්නාමිකව ආතල් ගන්නා නම ගැන සැලකිලිමත් පඬිවරුන්ට ආදී කොයි කාටත් ආරාධනා කරනවා බ්ලොග්කරණය ගැන කතා කරන්නට. බලන්න කවුද ඇත්ත කියන්නෙ?

පුංචි කතාවක් කියන්නම් දැනට. ජොලියට මිස මනෝ විශ්ලේෂණයට නෙමෙයි. හැබැයි, එක එක විදියේ මිනිසුන්ගේ අත්දැකීම්වලින් ලෝකය තේරුම් ගන්නට කැමති බුද්ධිමත් මිනිසුන්ට මෙවැනි කතා වැදගත් වෙන්නට පුළුවන්. 

මා මේ බ්ලොගය පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. ඊට කලින් මා මේ නමින් ම වෙබ් අඩවියක් පවත්වාගෙන ගියා.

හිරු පුවත්පතෙන් ඉවත් වීමෙන් පසුව 2005දී අප කණ්ඩායමක් ලෙස මුලින් ම පටන් ගත්තේ ලංකා ලෙෆ්ට් කියලා වෙබ් අඩවියක්. අන්තර්ජාලය, වෙබ් අඩවි නිර්මානය ගැන මුළුමනින් ම අලුතෙන් ඉගෙන ගත් ඒ දිනවල ඇත්තට ම මට අන්තර්ජාල සම්බන්ධයක්වත් තිබුණෙ නැහැ.

රාජගිරියේ ජාතික ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ කාර්යාලයේ කොම්පියුටර් කාමරයේ රෑ එළි වෙනකල් අන්තර්ජාලය පෙරළමින් අපි තනිව ම තමයි වෙබ් අඩවි හදන හැටි ඉගෙන ගත්තෙ. මුලින් ම ඩුමේන් එකක් මිළ දී ගන්න ගිහින් වෙච්ච අකරතැබ්බ කියන්නේ ආපහු හැරිලා බැලුවා ම ඒවා රසවත් අත්දැකීම් නිසායි. ඒවා කියවන්නට, අහන්නට කැමති අයට රසවිඳින්නට පුළුවන්. මනෝවිශ්ලේෂකයන්ට ඉතින් සුපුරුදු විදියට හීනමානෙ අරවා මේවා කියන්නට පුළුවන්.

ඒ කාලෙ අපට ක්‍රෙඩිට් කාඩ් එකක් දෙන්නට කෙනෙකු හිටියෙ නැහැ. මා බොහොම අමාරුවෙන් ඇපකාරයන් එහෙම ඉදිරිපත් කරලා, මගේ ගුරු පඩිය තැන්පත් කරන ලංකා බැංකුවේ මැනේජර්ට වැඳලා වගේ රු. 10,000 ක්‍රෙඩිට් ලිමිට් එකකට ක්‍රෙඩිට් කාඩ් එකක් ගත්තා. උගෙ අම්මට, ඌ ඒක දීල තියෙන්න ජාත්‍යන්තර ගනුදෙනු බ්ලොක් කරලා. අන්තිමට ඒකෙන් ඩුමේන් එක ගන්න බැරි වුණා.

දැන් මොකද කරන්නේ කියලා හොයන අතරෙ තමයි සම්පත් බැංකුවේ වෙබ් කාඩ් කියලා එකක් තියෙනවා කියලා දැන ගත්තෙ. ඒ පාර බැංකු මූලස්ථානෙට ගිහින් එයින් එකක් අරගෙන රෑක මොන්ලාර් ඔෆිස් එකේ සැදී පැහැදී තෙපර බාලා නිදි මරගාතෙ ගත්තයි කියමුකෝ ඩුමේන් එකක්. මදැයි කොළා, Lankaleft.org වෙනුවට lakaleft.org කියලා අකුරක් අඩුවෙන් නේ අරගෙන තිබුණේ. මොනවා කරන්නද ඉතින්? ආයෙ ගත්තා හරි එක.

මුලින් ම සයිට් එක ඩිසයින් කළේ WYSIWYG හෙවත් What You See Is What You Get වර්ගයේ අන්තර්ගත කළමනාකාර සිස්ටම් එකකයි. ඒකෙ ඉංග්‍රීසියෙන් ලියලා, සිංහල ලිපි පේජ්මේකර්වල ටයිප් කරලා පී.ඩී.එෆ්. ෆයිල් විදියට අප්ලෝඩ් කරලා පිටුවලට ලින්ක් එක දැම්මා. සිංහල අකුරු පේන්න පොඩි කෑල්ලක ඉමේජ් එකක් දැම්මා.

කොහොමින් කොහොම හරි සයිට් එක මාට්ටු කරගෙන දියත් කළා කියමුකෝ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ. සිසිර යාපා හරහා ඒ කාලෙ ජනමාධ්‍ය ඇමති වුණ ඩිලාන් පෙරේරා අපට සහයෝගය දුන් නිසා එයාට අපි එන්න ය කිව්වා කතාවක් පවත්තන්න. අපේ ආරාධනයක් නැතුව ම, ඒ කාලයේ පාර්ලිමේන්තුවෙන් සමු අරගෙන හිටි ඩලස් අලහප්පෙරුමත් ඇවිත් හිටියා දියත් කිරීම බලන්න.

ලංකා ලෙෆ්ට් කණ්ඩායම විදියට අප ප්‍රවර්ධනය කළේ එක රටක්; දේශයන් දෙකක් කියන සටන් පාඨය. අපේ පෝස්ටරයේත් දැක්වුණේ ඒ සටන් පාඨය. එය කොල්වින් ආර්. ද සිල්වාගේ භාෂා දෙකක් එක රටක් කියමනේ දිගුවක්. අපත් එක්ක සිටි දෙමළ සහෝදරවරුන් එක්ක තිබුණු සංවාදය ඔස්සේ තමයි ඒ සටන් පාඨය නිර්මානය කළේ. එය ජාතික ප්‍රශ්නයට ෆෙඩරල්වලින් එහාට ගිය කොන්ෆෙඩරල් විසඳුමක් යෝජනා කරපු ව්‍යාපාරයක්. 

ඒ දොරට වැඩුමෙදි අන්තර්ජාලය ගැන දන්න තරුණ දෙමළ සහෝදරයෙකු අපට සිංහල යුනිකෝඩ් ගැන ඉගෙන ගන්නට උදව් කරන්නට ඉදිරිපත් වුණා.

ඊට පස්සෙ අපි සයිට් එකට සිංහල යුනිකෝඩ් සහ පී.ඩී.එෆ්. යන දෙක ම දැම්මා. අප ඉලක්ක කළේ වාමාංශිකයන්වනේ. හැබැයි ඉතින් අන්තර්ජාලයට එන්නට වාමාංශිකයන්ගේ උනන්දුවක් තිබුණෙ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු රැඩිකල් වාමාංශික වෘත්තීය සමිති සහෝදරයන්ට අපි මේ වෙබ් අඩවිය ගැන කිව්වාම ඔවුන් විවෘතව ම කිව්වා කම්කරුවන්ට ඉන්ටර්නෙට් වැඩක් නැති බව. හැබැයි, එහෙම කියපු අය දැන් ෆේස්බුක්වලදි නැවත අපට හමු වෙනවා. කාලය මැව් වෙනසක අරුමේ.

කාලයක් යනකොට අපේ දේශපාලන කණ්ඩායම විසිරුණා. මට රට දාලා ගිහින් මාස කීපයක් ඉන්දියාවේ හැංගිලා ඉඳලා, කරමින් හිටපු රස්සාවත් නැතුව ආපහු ලංකාවට එන්නට සිදු වුණා.

හැබැයි මා අන්තර්ජාල මාධ්‍යකරණයේ දිගට ම නියැලුණා. ලංකා පේජ්, කලම්බු පේජ්, ලංකා ඊ නිව්ස් වගේ වෙබ් අඩවිවල පරිවර්තන, අන්තර්ගත රචනා ලිවීම වගේ දේවලින් තමයි ඒ දවස්වල පණ ගැට ගසා ගත්තෙ. මේවායේ රස කතා ගොඩක් තියෙනවා. කියන්නට හිතෙන්නෙ නැත්තෙ ගොන් මනෝ විශ්ලේෂකයන් මෙතන ඇවිත් දාන ගොන් පාට් හින්දයි.

ඒ කාලෙ මගේ ගෙදර අන්තර්ජාල සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඒ නිසා මුලින් ම ලංකා බෙල් CDMA දුරකථනයකින් බොහොම හෙමින් තමයි අන්තර්ජාලයට ලොග් වුණේ. ඒ ඉබ්බාගේ පිටේ FTP ක්‍රමයට ගොනු හුවමාරු කරනකොට තිබුණ ආතල් එක හිතා ගන්නට පුළුවන් නේ.

දේශපාලන කණ්ඩායම විසිරුණාට පසුව මා ලක්මැග් කියලා සඟරාවක් කළා. ඒකෙ ඉංග්‍රීසි පිටුවල ගූගල් ඇඩ් දාලා පොඩි සම්තිං එකකුත් ඒ දවස්වල හොයා ගත්තා. අපේ විජේන්ද්‍රන් නම් කිව්වෙ ලක්මැග් කිව්වා ම ඌට මතක් වෙන්නෙ කුකුළු කෑම වගේ ජාතියක් ය කියලායි. ඒකටත් වැඩි ආයුෂ තිබුණෙ නැහැ.

ඔය කාලෙ මා HTML, CSS එහෙම ඉගෙන ගෙන ඒ කාලෙ තිබුණ හෙරිටේජ් ඉනීෂියේට් වගේ වැඩසටහන්වල එහෙමත් වෙබ් මාස්ටර් වැඩේ ළාවට කළා.

ඒවාත් අවසන් වුණාට පසුව තමයි W3Lanka වෙබ් අඩවිය හැදුවෙ. මුලින් ම මේක සිංහල හෝම් පේජ් එකක් විදියට තමයි හැදුවෙ. ඒකෙ මුල පිටුවෙ සිංහල ලට්ට ලොට්ට ගොඩකට ලින්ක් එක්ක කෙටි පුවත් හා දේශපාලන විශේෂාංග ලිපි පළ කළා.

හැබැයි ඉතින් ඒවා නැගලා ගියේ නැහැ. ඒ කාලෙ සිංහල බ්ලොග් අවකාශය අවදි වෙමින් තිබුණා. කොත්තු හා තවත් බ්ලොග් සින්ඩිකේටර හරහා පාඨකයන් වැඩිපුර ගොනු කර ගැනීමේ හැකියාව ගැන මුලින් ම අපේ අවධානය යොමු කළේ ඒ කාලෙ අදට වඩා සමාජශීලී වූ බූන්දි වෙබ් අඩවියේ තරංගයි.

මහින්ද කොටි සංවිධානය පරදවා යුද්ධය දිනලා ටික දිනකින් මා වෙබ් අඩවිය වසා දමා බ්ලොග්කරුවෙකු වුණා.

ලියන එක මගේ අනුරාගයක් බවට පත් වුණේ මේ බ්ලොග් එක නිසා. තාම මා වෙහෙසට පත් වී නැහැ. ඒ නිසා බොරුවට මා අධෛර්යවත් කරන්නට දඟළන අයට මා කියන්නේ ඊට වඩා හොඳයි තමනුත් බ්ලොග් එකක් පටන් ගත්තා නම්.

හැබැයි එක රැයින් තරු වෙන්නට ඕනැ නම් බ්ලොග් එකක් කරන්නට මහන්සි නො වී ගොසිප් සයිට් එකක් කරන්න.

මා බ්ලොග්කරණයේ ඉන්න හේතුව මා කියන්නම්. මට අවශ්‍යයි දේශපාලනයේ නො නැසී ඉන්නට. අල්ලගෙන ඉන්නට. මොකුත් බලාපොරොත්තුවක් නැතුවත් ක්‍රියාශීලීව ඉන්නට. සොයන්නට. හම්බ නො වුණත් සොයන්නට.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-19

ජේ.ආර්.ගේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ජේ.ආර්. ජයවර්ධන තමයි මේ රට ශ්‍රී ලංකා සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස ව්‍යවස්ථාගත කළේ. ඒ 1978දීයි.

මේ නමේ තිබෙන සමාජවාදී කෑල්ල බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා. ඇතැමෙකුට එය විහිළුවක් වුණා. එහෙත්, ජේ.ආර්. එය ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙන්නේ බොහෝ දුරට හිතලා මතලායි.

1979 මාර්තු 23දා හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විශ්වවිද්‍යාල පීඨය විවෘත කිරීමේ උත්සවයේදී ජේ.ආර්. මෙම කාරණය පැහැදිලි කරනවා. ඔහුගේ කතාවේ මෙහෙම තිබෙනවා.

“මා තෝරා දෙන්න යන වචනය සමාජවාදයයි. හුඟක් දෙනෙක් අහනවා තමුන්නාන්සේලා සමාජවාදය කියන්නේ එක්සත් ජාතික පක්ෂය සමාජවාදී පක්ෂයක් ද කියලා. ඔව්, අපි සමාජවාදී පක්ෂයක්.

“මේ රටේ සීයට හැටක් බඩු නිපදවන මාර්ග, බඩු බෙදන මාර්ග, මුදල් හුවමාරු කරන ක්‍රම රජයට හෝ මහජනයාට අයිතියි. සමාජවාදය කියන්නේ ඒකයි.

“ඩී.ඇස්. සේනානායක මහත්මයාගෙ කාලෙ තමයි (රජයේ) ඉඩම් පුද්ගලයන්ට, ධනපතීන්ට විකිණීම තහනම් කෙරුවෙ. ඒ නිසා ඒ සමාජවාදී ක්‍රමය අපි ආරක්ෂා කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරනවා වගේ ම. නමුත් අඩුපාඩු රාශියක් තියෙනවා.

“මේවා හොඳට පාලනය කරන්නෙ නැහැ. ඇතැම් ආයතන හොඳට පාලනය කරන්නෙ නැහැ. දූෂණ වැඩ කෙරෙනවා. රජයට ගත්තු වතුවල අඩුපාඩු තියෙනවා. හොරකම් කෙරෙනවා. පුද්ගලයන් අත තිබුණ කාලෙ වගේ මනා පාලනයක් නැහැ. නියම විදියට පාලනයක් නැත්නම් සමාජවාදය ඉතාමත් ම භයානක වාදයක් වෙනවා. භයානක ක්‍රමයක් වෙනවා."

මේ කතාවෙදි ජේ.ආර්. වැඩිදුරටත් සමාජවාදය ගැන කතා කරනවා. ඔහු මෙහෙමත් කියනවා.

“අපි කෝකත් කරන්නෙ තමුන්නාන්සේලාගේ ප්‍රයෝජනයට. තමුන්නාන්සේලා ධනපතියන් වෙනවා නම් සන්තෝෂ වෙනවා. ධනපති ක්‍රමයට අපි විරුද්ධයි. නමුත් ධනපතීන්ට විරුද්ධ නැහැ. ධනපති ක්‍රමය කියන්නේ සටනකින්, ලේ වැගිරීමකින්, එක් එක්කෙනා පාගලා සූරා කාලා, කඩා වඩාගෙන තමන්ගෙ දියුණු වීම පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තමන්ගෙ කර්මාන්තශාලාව ගැන පමණක්, තමන්ගෙ මුදල් ගැන පමණක්, තම තමන් පෞද්ගලිකව දියුණු වීම ගැන පමණක් තණ්හාධික ලෙස ක්‍රියා කිරීම. ඒ ක්‍රමයට (අපි) අකැමැතියි. ඊට ඉඩ දෙන්නෙ නැහැ. නීති මාර්ගයෙන් සේවකයන්ගෙ ජීවිත ආරක්ෂා කිරීමට, පඩිය ආරක්ෂා කිරීමට, රැකියා ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

“දුප්පතුන් ධනපතීන් වීමේ වැරැද්දක් නැහැ. සමාජවාදී ආණ්ඩුක්‍රමයක් යටතෙ ධනපතීන් නැහැ....."

මේ කතාව මා නැවත පළ කළේ එක් හේතුවක් මතයි. ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කිරීම, විප්ලව කිරීම, සමාජවාදය ගොඩනැගීම ගැන කතා කරන, ඒ වෙනුවෙන් දිවි කැප කර සිටින බව කියන විශාල පිරිසක් සිටිනවා. ඒ අය මුලින් ම ලංකාවේ පවතින ක්‍රමය තේරුම් ගත යුතුයි. 

ලංකාවේ සමාජය වෙනස් කරන්නට තීරණාත්මක මැදිහත් වීමක් කළ අයෙකු තමයි ජේ.ආර්. ජයවර්ධන. ඔහුගේ නායකත්වය යටතේ ලංකාවේ ආර්ථිකය ලෝකයට විවෘත කළා. ඒ වගේ ම, අදටත් ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නා.

ජේ.ආර්. තමයි, විදේශ ආයෝජනවලට ලංකාව විවෘත කළ රාජ්‍ය නායකයා. කලින් පැවති ආණ්ඩු විසින් වන්දි ගෙවා රජයට පවරාගෙන තිබුණු වතු සමාගම් වැනි ව්‍යවසාය නැවත පෞද්ගලික අංශයට ලබා දුන්නෙත් ඔහු තමයි. 

ජේ.ආර්. බලයට එන විට ඇත්තෙන් ම ලංකාවේ රාජ්‍ය ධනවාදී සමාජවාදී සමාජ ක්‍රමය අසාර්ථක වෙලා ඉවරයි. සෝවියට් දේශය, චීනය වැනි රටවල තිබුණේ සමාජවාදයක් ය කිව්වාට ඒවා බොහෝ දුරට රාජ්‍ය ධනවාදී ඒකාධිපති රටවල්. රටේ සියලු දේපල, නිෂ්පාදන හා බෙදාහැරීමේ මාධ්‍ය රජය යටතට ගැනීම තමයි එහිදී සිදු වුණේ. සමාජවාදී ලක්ෂණයක් ය කියන්නට පුළුවන් මහජනයා විසින් පිහිටුවා ගන්නා ලද සමුපකාර පමණයි. එහෙත්, ලෝකයේ බොහෝ සමාජවාදී යයි කියන රටවල වුණා වගේ ලංකාවේත් සමුපකාර රජය විසින් ම අල්ලාගෙන තවත් එක් රාජ්‍ය ව්‍යවසායක් බවට පත් කරනු ලැබුවා. ඒවා සමුපකාර වුණේ නමට විතරයි. සමගි පෙරමුණු සමාජවාදී රජය තමයි සමුපකාර සංකල්පය ම කාබාසිනියා කර දැම්මේ. ඉන් පසු පැමිණි ජේ.ආර්.ගේ ආණ්ඩුව විවිධ සේවා සමුපකාර සමිතිවල මිනීපෙට්ටියට ඇණ ගැහුවා.  

ඇන්.ඇම්. පෙරේරාගේ නායකත්වයෙන් සමාජවාදයේ නමින් දියත් කරන ලද ස්වයංපෝෂී ආර්ථික ජාතිකවාදයේ අත්හදා බැලීම නිසා රටේ ජනතාව සෑහෙන දුෂ්කරතාවකට මුහුණ දී, ජනතාවට සමාජවාදයත් එපා වෙන තත්වයක් තමයි ඇති වී තිබුණේ. ඇන්.ඇම්ගේ ආර්ථික මූලෝපාය වූ සියල්ල තම රට තුළ ම නිපදවාගෙන පරිභෝජනය කිරීම යන ආර්ථික ජාතිකවාදී සංකල්පය හේතුවෙන් ජනතාවගේ ජීවිත ගුණය පිරිහුණා. ඒ වගේ ම, ආර්ථික වර්ධනයත් අඩාල වුණා. රැකියා හිඟය, දිළිඳුකම වැනි ප්‍රශ්න උග්‍ර වුණා.

ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් සහිතව රජයක් පිහිටුවන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. එම ආර්ථික ප්‍රතිපත්තියේ නියමුවා වන ඇන්.ඇම්. පෙරේරාට 1936න් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීකම පවා අහිමි වෙනවා. 

ධනේශ්වර ලිබරල් ඒකාධිපතිවාදියකු ලෙස සැලකිය හැකි ජේ.ආර්. ලංකාවේ පැවති සමාජ ක්‍රමය ගැන ඔහුගේ අවබෝධය මා ඉහත උපුටා දැක්වූ කතාවෙන් ප්‍රකාශ කරනවා. 

ඔහු ලංකාවේ වෙළඳපොළට මූලිකත්වය දෙන ආර්ථික ප්‍රතිසංස්කරණවලට මුල පුරන්නේ ඒ අවබෝධයේ සිටයි. හැබැයි, ඔහුට පවා පහසුවෙන් ධනවාදයට හැරවිය නො හැකි තරම් දැවැන්ත රාජ්‍ය අංශයක් රටේ තිබෙනවා. 

මේ රාජ්‍ය අංශය හකුළුවන්නට තීරණාත්මක පියවරක් කවුරුවත් ගත්තෙ නැහැ. ඒකට හේතුව තමයි, රජයෙන් පෝෂණය වුණ මධ්‍යම පංතිය 1977 වන විට දැවැන්ත, බලවත් පංතියක් බවට පත් වී තිබීම. දේශපාලන බලය තීරණය කළේ ප්‍රධාන වශයෙන් ම ඔවුනුයි. ජේ.ආර්. පවා කළේ මෙම පංතිය මත ම යැපෙන එකයි. 

එහෙත්, පෞද්ගලික අංශයට ප්‍රමුඛතාව දුන් ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් රාජ්‍ය අංශය අකාර්යක්ෂම කරමින් දිය කර හරින්නටත් ඔවුන් කටයුතු කළා. මධ්‍යම පංතිය ඉතා ම පටු ආත්මාර්ථකාමිත්වයකින් යුක්තව තමන්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙත පමණක් අවධානය යොමු කරමින් අර කඩාවැටීම නො තකා හැරියා. ඒ විතරක් නෙමෙයි, ඒ අකාර්යක්ෂමතාව මත යැපෙමින් අඩුවෙන් වැඩ කරන්නට හා සාපේක්ෂව වැඩි වරප්‍රසාද ලබා ගන්නටත් අවස්ථාව පාදා ගත්තා.

මේ ආරම්භය තමයි පසුකාලීනව රාජ්‍ය සේවය සාධාරණීකරණය පිණිස සුබසාධනයට ආවරණය වන තත්වය දක්වා දිග්ගැහුණේ. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-16

නීතිඥ සංගමය, විදුහල්පති සංගමය හා අරාජික සංගමය

ලංකාව ක්‍රමානුකූලව ඉහළ සිට පහළ දක්වා ම පැතිරෙන මෘදු අරාජිකත්වයක ගොදුරක් බවට පත් වෙමින් තිබෙන බවට සාධක ඕනෑ තරම් තිබේ.

මේ සඳහා උදාහරණ දෙකක් දැක්විය හැකි ය. පළමුවැන්න ඉහළ මට්ටමේ ය.

එය ජනාධිපතිවරයා විසින් රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරුවරයකු ලෙස පත් කිරීමට අදළාව ය.

මෙම පත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂම දැන් කියන්නේ ඔහු මහාධිකරණ විනිසුරු ධුරයකට පත් කරන්නැයි නීතිඥ සංගමය විධිමත් ලෙස ඉල්ලා නැතිනම්, තමන් ඔහු සම්බන්ධයෙන් කරන ලද නිර්දේශය වලංගු නැති බව ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111 (2) වගන්තිය අනුව ජනාධිපතිවරයාට මහාධිකරණ විනිසුරුවරයකු පත් කළ හැක්කේ අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශය මත පමණි.

පත් කරන ලද මහාධිකරණ විනිසුරුවරයකු ඉවත් කිරීම සඳහා ද අධිකරණ සේවා කොමිෂමේ නිර්දේශ අවශ්‍ය නිසා දැන් ජනාධිපති ලේකම්වරයා එවැනි නිර්දේශයක් අධිකරණ සේවා කොමිෂමෙන් ඉල්ලා තිබේ.

රාමනාදන් කන්නන් මහාධිකරණ විනිසුරු ධුරයකට සුදුසු ද, නැද්ද, ඔහු පත් කරන්නැයි නීතිඥ සංගමය ඉල්ලුවා ද, නැද්ද ආදිය අපට අදාළ නැත. ජනාධිපති හා අධිකරණ සේවා කොමිෂම කටයුතු කර ඇති ආකාරය සමස්ත රජයේ ම දැන් තිබෙන තත්වය සංකේතවත් කරයි. ආණ්ඩුවේ වම් අත දකුණු අත කරන දෙය දන්නේ නැත. රජය තනිකරම විකාරයකි.

මහින්ද රාජපක්ෂ විසින් ගෙදර යමින් සිටි කාන්තාවන් කැඳවා විනිසුරු පත්වීම් දුන්නේ ය. මහින්ද කුපාඩිකම් පවා කළේ මෙසේ වැටේ සිටවූ ඉන්න මෙන් නො වේ. 

ලංකාව වැනි රටක ජනාධිපතිවරයකු මෙසේ දෙකට දෙවාරේ වැඩ කිරීම එම ජනාධිපතිවරයාට අතිශය හානිකර ය. 

බිම් මට්ටමේදී මෙම අරාජිකත්වය නිරූපණය වන සිද්ධියක් වන්නේ ඩෙංගි රෝගය ව්‍යාප්ත වීම නිසා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා අධ්‍යාපන කලාපයේ සියලු පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කිරීමයි.

ඒ පිළිබඳව දිවයින පුවත්පතේ පළ වූ වාර්තාවේ මෙසේ සඳහන් විය:

“පාසල් වසා දැමීමට පියවර ගත්තේ කලාපයේ විදුහල්පති සංගමය කළ ඉල්ලීමකට අනුව යෑයි කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ අහමඩ් ලෙබ්බේ මහතා 'දිවයින'ට ඊයේ පැවැසීය. විදුහල්පති සංගමය මෙම ඉල්ලීම කර ඇත්තේ ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස අඩුවීම නිසාය.

“පාසල් වසා දැමීම ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැළැක්‌වීමට ප්‍රතිකර්මයක්‌ නොවන බවත් ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරමින් මෙවැනි තීන්දුවක්‌ ගැනීමට තමන්ගේ කිසිදු අනුදැනුමක්‌ නොමැති බවත් කින්නියා මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අජිත් අබ්දුල් මජීඩ් මහතා පැවැසීය. ඩෙංගු රෝගය වැළැක්‌වීමට මහජන සහයෝගය අවශ්‍ය බව ද කින්නියා ප්‍රදේශයේ පාසල් සියල්ලක්‌ම නිසි ලෙස පිරිසිදු කර ඇති බව ද ඒ මහතා සඳහන් කළේය. රෝගියකුගෙන් රෝගියකුට ඩෙංගු බෝ නොවන හෙයින් පාසල් වසා දැමීමේ අවශ්‍යතාවක්‌ නොවන බව ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

“ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2300 ක්‌ පමණ වන අතර ඉන් 900 ක්‌ පමණම වාර්තාවී ඇත්තේ කින්නියා ප්‍රදේශයෙනි. දිස්‌ත්‍රික්‌කයේ ඩෙංගු මරණ 12 න් 11 ක්‌ම වාර්තාවී ඇත්තේ ද කින්නියා ප්‍රදේශයෙන්ය."

මව්බිම පුවත්පත වෙනුවෙන් ජනාධිපතිවරයාගේ අවස්ථා ආවරණය කරන උදේනි සමන් කුමාර පසුගිය දිනෙක අපූරු විශේෂාංග ලිපියක් ලියා තිබිණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මුලසුනේ තබාගෙන විවිධ ඇමතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසර ඉල්ලූ සිදුවීම් ලැයිස්තුවක් ම ඔහු ඉදිරිපත් කර තිබිණි.

වෙන එකක් තබා පවර්පොයින්ට් ප්‍රසන්ටේෂන් එකක් නිසා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීකමක් ලද මලිත් ජයතිලක පවා 2015 ජනවාරි 8 ආණ්ඩු මාරුව ගැන ඔහු ලියූ පොතක දොරට වැඩුමේදී ජනාධිපතිවරයා මුලසුනේ තබාගෙන එහි නො සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අවසර ඉල්ලා තිබේ.

නිවට කරණවෑමියා දුටු කල එළුවාත් රැවුල පාන්නේ යයි කියමනක් තිබේ. වත්මන් ආණ්ඩුවේ ඇතැම් යහපත් ලක්ෂණ පවා මේ වන විට විහිළු බවට පත් වෙමින් තිබේ. ඇතැම් ඒවා මාරාන්තික විහිළු ය. වාමාංශික අන්තවාදීන් සරසවි සිසුවකුගේ මළමිනියක් අපේක්ෂාවෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් ලවා පොලිසිය කුපිත කරවන කිරිල්ල එවැනි මාරාන්තික විහිළුවකි.

මේ රට මෙම තත්වයට පත් වීමට මූලික වශයෙන් වගකිව යුත්තේ එක්සත් ජාතික පක්ෂය හා එහි නායක රනිල් වික්‍රමසිංහයි. කෙතරම් උද්ධච්ඡ, කපටි කල්ලි නායකයකු වුව ද, වර්තමාන දේශපාලනඥයන් අතරින් ආර්ථිකය ගැන යම් දැක්මක් තිබුණු එක ම නායකයා ඔහු විය. (වෙනත් අය ඉන්නවා නම්, ඔවුන්ගේ නම් සහ දැක්ම කුමක් ද යන්න කියන්න.) මහා ජයග්‍රහණ පෙන්වන්නට බැරි වුණත්, ලංකාවේ ආර්ථිකය යන්තමින් පණ ගැට ගසාගෙන සිටින්නේ එම වැඩපිළිවෙල නිසා ය.

දැන් ඉතින් මෙතන භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය ගැන ලියන අයට මට කීමට ඇත්තේ මෙයයි. එජාපය හා රාජපක්ෂ කල්ලිය යන දෙක ම ඡන්ද කළේ සොරකම් කරන ලද මහජන මුදලිනි. කේතලේ මුට්ටියට කළු යයි කියන එක තේරුමක් නැත.

භාණ්ඩාගාර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂමේ විමර්ශනය දැන් සිදු වෙමින් තිබේ. එහිදී බොහෝ වැදගත් තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. මේ මුදල් ආපසු ලබා ගත යුතු ය. මෙවැනි අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවන්ට උපරිම දඬුවම් පැමිණවිය යුතු ය.

රාජපක්ෂ කල්ලියේ හොරු රැළ ආරක්ෂා කරන රනිල් වික්‍රමසිංහලාට මෙහෙම වෙන එක දෛවයේ සරදමකි.

කෙසේ වෙතත්, මේ මෘදු අරාජිකත්වය වර්ධනය වන්නට ඉඩ නො දිය යුතු ය. එය දේශපාලන අවස්ථාවාදීන්ගේ බල ක්‍රීඩාවලට හොඳ වන්නට පුළුවන. එහෙත්, මේ රටේ ජනතාවට එයිනි කිසිදු ප්‍රයෝජනයක් නැත.

බලය ගත් අය හරියට රට පාලනය කළ යුතු ය. පුරවැසියන් බලපෑම් කළ යුත්තේ ඒ වෙනුවෙනි. එසේ නැතිව, අද ආණ්ඩු පත් කර හෙට සිට ආණ්ඩු පෙරළන්නට ඕනෑ යයි කියන තකතිරුවන් කියන හැටියට නො වේ. හේතුව ලංකාවේ දේශපාලනයේ ඉන්න කොයි එකෙකුවත් වැඩක් නැති නිසා ය. 

මුන් පැන්නිය යුතු ය. හැබැයි 2020දී ය. එතෙක් මුන්ගෙන් වැඩ ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-15

මිනියක් දෙන්න ආණ්ඩුවක් පෙරළන්න

ගතානුගතික නිදහස් අධ්‍යාපනවාදී සංරක්ෂණවාදීන්ට වැරදී තිබෙන්නේ අධ්‍යාපනයේ නිදහසට පක්ෂ සියලු දෙනා සයිටම්වාදීන් යයි සිතන නිසා ය. එසේම, අප අධ්‍යාපනය වෙළඳපොළකරණය කළ යුතු ය කියනවා කියා ද, රජයේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කළ යුතු යයි කියනවා ය කියා ද ඔවුන්ගේ භින්නෝන්මාදී මනසට ඒත්තු ගොස් තිබේ. එය නම් ප්‍රතිකාර අවශ්‍ය තත්වයකි. මන්ද, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු එවැන්නක් කියා නැත. එවැනි අවලාද නිර්මානය කරන්නේ අනෙකක් වෙනුවෙන් නොව, මේ වන විට ඔවුන්ගේ උන්නතිකාමී බල අපේක්ෂාවල බිලි බෝයි බලාපොරොත්තුව බවට පත් වී තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලි යන පළමු වසරේ නො මේරූ විශ්වවිද්‍යාල සිසුන් නො මග යැවීම පහසු කර ගැනීමට ය. 

අන්තවාදී පක්ෂ, කල්ලි සයිටම් විරෝධය ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආණ්ඩු පෙරළීම බව දැන් දැන් ඔවුන්ගේ සයිබර් විප්ලවවාදීහු ප්‍රසිද්ධියේ කියති. දෛනිකව මහමග කුපිත කිරීම් කරන්නේ පොලිසිය ලවා මිනියක් මරවා ගන්නට ය. තමන් විසින් ගොඩනගන ලද අරගලයේ නායකත්වය ජවිපෙ අතට ගැනීම සමග ඇති වූ ඉච්ඡා භංගත්වය ද මෙයට හේතු වී තිබේ. මේ ආණ්ඩුව හොඳ නැති බවට අපට අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත. එහෙත්, මේ සා දරුණු ආර්ථික අර්බුදයක් මැද ආණ්ඩු පෙරළන්නට ඉදිරිපත් වන්නන් රට වෙනුවෙන් තමන්ගේ වැඩපිළිවෙල පැහැදිලිව කිව යුතු ය. කඩා බිඳ දමන්නට මිස හදන්නට වැඩපිළිවෙලක් කිසිවෙකුට නැත. අඩු තරමේ ලංකාවේ පවතින ක්‍රමය පිළිබඳ නිවැරදි විග්‍රහයක් හෝ ඔය විප්ලවවාදීන් කිසිවෙකුට නැත. අප ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර සමාජ ක්‍රමය පිළිබඳ ඉදිරිපත් කළ කරුණුවලට අභියෝග කරන්නට හෝ ඔවුන් ඉදිරිපත් වී නැත. 

සයිටම් යනු ලංකාවේ තිබෙන ප්‍රශ්න සමුදායෙන් එක් ප්‍රශ්නයක් වන අධ්‍යාපන ප්‍රශ්නයේ ද සුළු කොටසක් පමණි. එය ප්‍රමුඛ වී තිබෙන්නේ එ් ඔස්සේ සිසුන් වීදි බස්සා ගැනීමටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා වෛද්‍යවරුන්ගේ බදු නො ගෙවා වංචා කරන කළු සල්ලි දේශපාලනය සඳහා ලබා ගැනීමටත්, අරමුණක් නැතුව නිකමට වාගේ ආණ්ඩු පෙරළන වාමාංශිකයන්ට විකුණාගෙන කන්නට මළ මිනියක් සොයා ගත හැකි යයි සිතන නිසාත් ය. ආණ්ඩු පෙරළීම විනෝදාංශය හා ජීවිකාව කර ගත් අයගෙන් මේ රටට මෙතෙක් සෙතක් වී නැතුවා සේ ම ඉදිරියටත් වන්නේ නැත.  

ඇත්ත වශයෙන් ම අධ්‍යාපනය පමණක් නො ව, පාන් - බනිස් වුණත් හුදු ලාභය වෙනුවෙන් විකුණනවා නම් එම විකිණීම ද සමාජමය වශයෙන් හානිකර ය.

එහෙත්, වෙළඳපොළ යනු මිනිසා ශිෂ්ටත්වයට පත් වූ මුල් යුගයේ සිට ක්‍රමිකව වර්ධනය වූ දෙයක් මිස ධනවාදය විසින් නිර්මානය කරන ලද්දක් නො වේ. මිනිස් ජීවිතය සමග වෙළඳපොළෙහි ඇති සම්බන්ධය ඔය තරම් සරළ ලෙස විග්‍රහ කළ නො හැකි ය. නොමිළේ යයි සිතන රජයේ අධ්‍යාපනය ද වෙළඳපොළ සමග ඇතුළාන්තයෙන් ම බැඳී ඇත.

ඉතිහාසයේ අධ්‍යාපනය පැවති ආකාරය අධ්‍යයනය කර බලන්න. විශේෂයෙන් ම, උසස් අධ්‍යාපනය ලබා දීම සිදු වී තිබෙන්නේ ලාභ අපේක්ෂා නො කරන ස්වාධීන ආයතන විසිනි. ලාභ අපේක්ෂා නො කළ ද, ගුරුවරුන්ගේ වැටුප් ඇතුළු උසස් අධ්‍යාපනයට යන වියදම අධ්‍යාපනය ලබන්නා විසින් දරා තිබේ. සුවිශේෂ දක්ෂයන්ට ශිෂ්‍යත්ව දී තිබේ. රජය විසින් අධ්‍යාපනය දිය යුතු ය යන්න ඉතා මෑත කාලීන, කේනීසියානු ධනේශ්වර සංකල්පයකි. ලංකාවේදී එය රජය විසින් පමණක් අධ්‍යාපනය දිය යුතු ය යන ස්ටාලින්වාදී සංකල්පය බවට පත් විය. බුද්ධි හීනයන් බිහි කරන වර්තමාන අධ්‍යාපනය එහි ප්‍රතිඵලයයි. 

අතීතයේ පැවති නාලන්දා විශ්වවිද්‍යාලය වැනි විද්‍යායතන ස්වාධීන ආයතන මිස රජ්ජුරුවන්ගේ දේපල නො වේ. රජු ඒවාට උදව් කරන්නට ඇති. එසේම, බලපෑම් කරන්නත් ඇති. එහෙත්, ඒවා මූලික වශයෙන් ස්වාධීන ආයතන විය. ලාභ ලැබීමේ අරමුණක් නො තිබුණත්, අධ්‍යාපනය වෙනුවෙන් යන වියදම ගෙවන්නට සිසුන්ට සිදු විය. ලංකාවේ ද විද්‍යෝදය, විද්‍යාලංකාර වැනි ගොඩනැගෙමින් තිබුණු ස්වාධීන බෞද්ධ උසස් අධ්‍යාපන ආයතනවල තත්වය එසේ ය. ඒවාට ස්වාධීනව ගොඩනැගෙන්නට නො දී රජයට පවරා ගැනීම නිසා වර්තමානය වන විට විශ්වවිද්‍යාල බිහි කළ හැකි ස්වාධීන ආයතන නැත. 

ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය, සණස විශ්වවිද්‍යාලය, කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන ද මූලික වශයෙන් සයිටම් පන්නයේ ඒවා ය. ඒවායේ ද ඕනෑම ව්‍යවසායක ආරම්භයේදී තිබිය හැකි අඩුපාඩු දකින්නට හැකි ය. මෙම විශ්වවිද්‍යාල ගැන වාමාංශිකයන් කතා නො කරන හේතු මෙසේ ය. ඇක්වයිනාස්ට එරෙහිව කතා නො කරන්නේ පල්ලියට බය නිසා ය. සණස තහනම් වචනය වී තිබෙන්නේ වාමාංශික න්‍යායාචාර්යවරයකු වන මහාචාර්ය සුමනසිරි ලියනගේ එයට සම්බන්ධ නිසා ය. කොතලාවල ගැන කතා නො කරන්නේ ගෝටාට බය නිසා ය.   

විශේෂයෙන් ම උසස් අධ්‍යාපනය යනු ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනය වැනි අනිවාර්ය අධ්‍යාපනයක් නො වේ. යමෙකු උසස් අධ්‍යාපනයක් ලබන්නේ ඉතා පැහැදිලි ආයෝජනයක් ලෙස සලකා ය. උදාහරණයක් ලෙස, ලංකාවේ වර්තමානයේ පවතින වෛද්‍ය අධ්‍යාපන උන්මාදය වනාහි තනිකර ම අධික ලෙස මුදල් ඉපැයීම, මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද ලැබීම, වේගයෙන් පංති හිනිමගේ ඉහළ යාම, අසීමිත පරිභෝජන ලොල්කම වැනි කරුණු සමග සම්බන්ධ ය.

වෛද්‍ය අධ්‍යාපනය මෙන් ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් එරෙහි විරෝධය ද ඇත්තේ එක ම වෙළඳපොළේ ය.

අනාගතය වෙනුවෙන් කරනු ලබන පෞද්ගලික ආයෝජනයක ස්වරූපය ගන්නා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් තෝරා ගත් වරප්‍රසාදිත පිරිසක් වෙනුවෙන් සමස්ත සමාජය බදු ගෙවිය යුතු ය යන්න සමාජවාදී තබා ප්‍රජාතන්ත්‍රවාදී අදහසක්වත් නො වේ. එසේම, බදු ගෙවන, අවස්ථා අහිමි ජනතාවට තමන්ගේ අතින් වියදම් කර අධ්‍යාපනය ලබන්නට අවස්ථාව අහිමි කළ යුතු ය යන්න ද එවැනි ම ප්‍රතිගාමී අදහසකි.

එහෙත්, ලංකාවේ රාජ්‍ය උසස් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඒ නිසා රාජ්‍ය අධ්‍යාපනය දිගට ම පැවතිය යුුතු ය. විශේෂයෙන් ම දිළිඳු පවුල්වල දක්ෂ සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා රජයේ විශ්වවිද්‍යාල අත්‍යවශ්‍ය ය. එහෙත්, එහි සීමා ද අප අවබෝධ කර ගත යුතු ය. අවුරුදු පතා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ 20%ක් පමණි. එය තව පස් ගුණයකින් ඉහළ නංවන්නට රජයට හැකි යයි ඔබ විශ්වාස කරනවා ද? රජයට කළ නො හැකි දේ කරන්නට ද කවුරුන් හෝ සිටිය යුතු ය.

හැබැයි ලංකාවේ බුද්ධිමය සමාජය ස්වාධීන විශ්වවිද්‍යාල බිහි කරන්නට පුළුවන් මට්ටමකට එන තෙක් බලා සිටීමත් ජාතික ප්‍රශ්නය විසඳන්නට සමාජවාදය එන තෙක් බලා ඉන්නවා වැනි ය.

ලංකාවේ සිදු වන්නේ සිදු විය හැකි දේ මිස හොඳම දේ නො වේ. එහෙත්, කොතනින් හෝ පටන් ගත යුතු ය.

ලංකාවේ විප්ලවීය ම ආර්ථික උපායමාර්ග කීපයක් දෙස ආපසු හැරී බලන්න. හොඳම උදාහරණය ඇඟලුම් කම්හල් දිරි ගැන්වීමට ජනාධිපති ප්‍රේමදාස ගත් තීරණයයි. ඒ සමග ද මුලින් සම්බන්ධ වූයේ හොඳම ව්‍යවසායකයන් නො වේ. එම ව්‍යාපෘතියේ අනන්ත ගැටලු තිබිණි. එහෙත්, එම ආර්ථික උපායමාර්ගය නිසා ලංකාවේ සමාජයේ දැවැන්ත විපර්යාසයක් සිදු විය. එම වෙනස නිර්මානය කළ හැකි වූයේ කොතනින් හෝ පටන් ගත් නිසා ය.

සයිටම් හොඳ අයෝජනයක් නො වන බව ඇත්තකි. එහෙත්, ලංකාවේ හොඳ මොනවා ද? ලංකාවේ විශ්වවිද්‍යාලව සටහන් දෙන ගිරවුන් කීදෙනෙකු විශ්වවිද්‍යාල ආචාර්ය යන තනතුරු නාමයට සුදුසු ද? ලංකාවේ නායකත්වයට අප තෝරාගෙන තිබෙන දේශපාලන නායකයන් ඒ තනතුරුවලට සුදුසු ද? එහෙම තත්වයක් තිබියදී ව්‍යවසායකයන්ගේ විතරක් අටපහ සුද්ද කර ගත හැකි ද? සරළව කිව්වොත් විමානය යකාගේ හැටියට ය.

ලංකාවේ ස්වාධීන උසස් අධ්‍යාපන ආයතන නැත්තේ ඇයි ද යන ඉතිහාසයත්, ඒවා බිහි කිරීමට ලංකාවේ බුද්ධිමතුන්ට හැකියාවක් නැත්තේ ඇයි ද යන්නත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ය. ලංකාවේ සිටින දේශපාලනය කරන ඊනියා විශ්වවිද්‍යාල පඬිවරුන්ගේ තිබෙන ප්‍රමිතිය කුමක් ද? ජාත්‍යන්තර වශයෙන් පිළිගත්, උසස් ප්‍රමිතියක් ඇති අය මෙම දේශපාලන පඬිවරුන් අතර සිටී නම් ඔවුන්ගේ නම් කියන්න. රාජ්‍ය නො වන සංවිධාන නො තිබිණි නම් මොවුන්ට ඇපත් නැත.

මෙම සටහන තබන්නේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප සයිටම් සමග ඈඳා අපට මඩ ගසන අයට නැවත වරක් අපගේ ස්ථාවරය සැකෙවින් පැහැදිලි කර දීම සඳහා ය. එය ලොකු තේරුමක් ඇති දෙයක් නො වේ. අප ලියන්නේ මුදලට ය යන සුපුරුදු අවලාදය නඟා සතුටු වීමට ඔබට අයිතියක් ඇත. එහෙත්, මුග්ධත්වය ආරම්භ වන්නේ ම එවැනි පදනම් විරහිත අවලාදවලිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-13

ජාතික ඔඩිට් බාලගිරි දෝෂය

පොදු දේපල වෙනුවෙන් ඇසිඩ් ප්‍ර‍හාරයට ලක් වූ ලලිත් අඹන්වෙල
ජාතික විගණන පනත මේ වන විට සෑහෙන දුරට සැර බාල කර හමාර ය. එහෙත්, තවමත් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන දවසක් නැත.

යහපාලන රජයේ ප්‍ර‍මුඛ පොරොන්දුවක් වන ජාතික විගණන පනත සම්මත කර ගැනීමට නියමිතව තිබුණේ දින සීයේ වැඩසටහන අතරතුර ය. එහෙත්, එය සිදු වූයේ නැත.

එයට හේතුව විශේෂඥ මණ්ඩලයක් විසින් කෙටුම්පත් කරන ලද විගණන පනතේ ඇතැම් විධිවිධාන සම්බන්ධයෙන් මූලිකව ම රාජ්‍ය පරිපාලන සේවයෙන් මතු වූ විරෝධයයි. විශේෂයෙන් ම විගණන ගැටලු සම්බන්ධයෙන් වගකිව යුතු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය අධිභාර පැනවීමේ බලය මෙම පනත මගින් විගණකාධිපතිවරයාට පැවරීම මෙම විරෝධයට හේතුවයි.

පසුව මෙම අධිභාර බලතල විගණන කොමිෂම වෙත පැවරීමට යෝජනා වී තිබිණි. දැන් ඇතැම් විට අධිභාර ඉවත් වී තිබෙනවා විය හැකි ය.

විගණන පනත දිය කර හැරීම සඳහා මුල් වුණේ ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරියෝ ය. වැඩියෙන් ම මේ ගැන ඇම්ම තිබුණේ රාජ්‍ය පරිපාලන සේවයේ වැඩියෙන් ම දූෂිත පිරිස්වලට ය. ඔවුන්ගේ උවමනාව ඉටු කර දීමට අගමැති රනිල් වික්‍ර‍මසිංහ දක්වා දේශපාලකයන් සැදී පැහැදී ඉදිරිපත් වූයේ ඇයි ද යන්න තේරුම් ගැනීම අපහසු නැත.

දේශපාලකයන් සමග එක්ව දූෂණයේ යෙදුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග ඇතුළු පිරිසකට දැනටමත් නඩු පැවරී තිබේ.

ලංකාව මෙතරම් දූෂණයක ගිල්වන්නට මුල් වූයේ දේශපාලකයන් වුණත්, ඔවුන්ට දූෂණය සඳහා අවශ්‍ය යටිතලය නිර්මානය කර දුන්නේ රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරීහු ය.

රාජ්‍ය පරිපාලන සේවයට තම ආරක්ෂාව සලස්වා ගන්නට හා වෘත්තීය ගරුත්වය යළි ඇති කර ගැනීමට පවා ශක්තිමත් විගණන පනතක් ඉවහල් කර ගත හැකි ය. කොටින් ම, දේශපාලකයන්ගේ පක්කාලි වැඩ නො කර සිටීම සඳහා අධිභාරයන්ට ආවරණය විය හැකි ය. හරියට දැන් පොඩි මිනිසුන්ට කිසිදු වැදගත් සේවාවක් නො කර සිටින්නට රජයේ නිලධාරීන් FCID යන්න වෙනවා ය යන තර්කය පාවිච්චි කරන්නා සේ ය.

විගණන පනතට මෙහෙම වන්නට විගණකාධිපති ගාමිණී විජේසිංහගේ ළාමක හැසිරීම ද හේතු විය. ඔහු මාධ්‍ය පිටේ යමින් දේශපාලනය කරන්නට පටන් ගැනීම පනින රිලවුන්ට ඉනිමං තැබීමක් විය.

අවසානයේදී ජාතික විගණන පනත ද අද නොවේ හෙට ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-12

රාජ්‍ය සම්මාන ලැබූ කවියකු ඇසුරෙන් කම්කරු පංතිය හා මධ්‍යම පංතික දෘෂ්ටිවාදය

ලංකාවේ පවතින්නේ ධනපති පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් නො වේ. එය වනාහි මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වරයකි. 

මධ්‍යම පංතියේ ප්‍රධානතම කොටස සැදුම් ලබන්නේ රජයෙන් යැපෙන දේශපාලකයන්, රජයේ කොන්ත්‍රාත්කරුවන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙනි. වර්තමාන ලංකාවේ ආණ්ඩු බලය බොහෝ දුරට ඇත්තේ ලංකාවේ ජනගහණයෙන් පහෙන් එකක් පමණ වන ඔවුන් හා ඔවුන්ගේ පවුල් අත ය.

විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ පාලනය තුළ මෙම පංතියේ බලය කූටප්‍රාප්තියට පත් වී, දැවැන්ත රජයක් නිර්මානය වී, එය පවත්වාගෙන යා නො හැකි තැනට පැමිණියේ ය. 

මෙම පංතිය රාජ්‍ය සේවය ඇත්තෙන් ම පවත්වාගෙන යන්නේ තමන් වෙනුවෙනි. එහෙත්, රජයේ පැවැත්ම සාධාරණීකරණය කරන්නේ දිළිඳු ජනයාට සුබසාධනය සලසන මුවාවෙනි. එහෙත්, රජයේ සුබසාධනයෙන් දිළින්දන්ට පලක් නැත. ඵලදායී වැඩ කරන ජනයා වන නිෂ්පාදනයට දායක වන කම්කරුවන් හා ව්‍යවසායකයන් රජයට ගෙවන බදු මුදල්වලට සාධාරණ සුබසාධන සේවාවන් ඔවුන්ට ලැබෙන්නේ නැත. 

අතරමැදි පංතිකයන් මෙම රාජ්‍ය ක්‍රමය පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ සුබසාධනය පිණිස ය. එය සාධාරණීකරණය කර ගැනීම හා බදු ගෙවන ජනතාව රැවටීම පිණිස කියන්නේ මෙය සුබසාධන රාජ්‍යයක් කියා ය. එහෙත්, මහජන සුබසාධනය රාජ්‍යය සාධාරණීකරණය කරන්නට පුළුවන් මට්ටමකින්වත් පවත්වාගෙන යන්නේ නැත.  

රජය ශක්තිමත් කරන තරමට මහජන සූරාකෑම තව තවත් වැඩි වේ. එහෙයින් රජය දුර්වල කළ යුතු ය. මේ මොහොතේ එය කළ හැක්කේ ආර්ථික ලිබරල්කරණය තුළිනි. එමගින් ධනපති පංතිය ශක්තිමත් වන බව ඇත්ත ය. එහි වරදක් නැත. හේතුව ධනපති පංතිය ලෙස හඳුන්වනු ලබන ව්‍යවසායකයන් විසින් කරනු ලබන නිෂ්පාදන අංශයේ ඵලදායී රැකියා උත්පාදනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය ය. 

එසේම, ආණ්ඩු බලය හිමි මධ්‍යම පංතිය පරාජය කළ යුතු ය. එසේ නො කර පීඩිත පංතිය ශක්තිමත් කරන්නට ද බැරි ය. ලංකාවේ පීඩිත පංතියට අනන්‍ය දෘෂ්ටිවාදයක් හෝ නැත. පවතින්නේ මධ්‍යම පංතික දෘෂ්ටිවාදයයි.

මේ බව පෙන්වන්නට කදිම උදාහරණයක් පසුගිය දිනවල සිදු විය. රාජ්‍ය සම්මානලාභී කවියකු කිරි නිෂ්පාදන කම්කරුවකු ලෙස වැඩ කරන බව අසා කම්පා වූ මධ්‍යම පංතික මානව හිතවාදියෝ පිරිසක් ඔහුට වැඩ නො කර පඩි ගත හැකි රජයේ රැකියාවක් දිය යුතු බවට යෝජනා කළ හ. මේ සඳහා යෝජනා වූයේ ද පාසල් කම්කරු තනතුරකි. පාසල් කම්කරු යනු දේශපාලකයන් විසින් තමන්ට වැඩ කළ කුසලතා රහිත පිරිස්වලට දෙන රැකියාවකි. පාසල් කම්කරුවන් වැඩි දෙනෙක් වැඩ කරන්නේ නැත. පාසල්වල සියලු කම්කරු වැඩ කරවා ගන්නේ ළමා ශ්‍රමිකයන් බවට පත් කර ගන්නා සිසුන්ගෙන්, මව්පියන්ගෙන් හෝ මව්පියන් විසින් වෙන ම වැටුප් ගෙවා යොදවනු ලබන වෙනත් කම්කරුවන්ගෙනි.

මෙම යෝජනාවෙන් නිරූපණය වන්නේ කම්කරු පංතිය කෙරෙහි මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදය බලපාන තරමයි. ඔවුන් කියන්නේ කම්කරු පංතියට විමුක්තිය ඇත්තේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිය තුළට උසස් වීම තුළින් බව නො වේ ද? 

මෙය සම්පූර්ණයෙන් ම වැරදි දෘෂ්ටිවාදයකි. කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ කම්කරුවකු ලෙස ම මිස පංතියක් ඉහළ නැගීමෙන් නො වේ. අනෙක් පැත්තෙන් කලාකරුවකු නම් අනිවාර්යයෙන් ම මධ්‍යම පංතියේ සිටිය යුතු ය කියා එකක් නැත. 

කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ මධ්‍යම පංතියට යාමෙන් යයි කීම සමාන වන්නේ කාන්තාව විමුක්තිය සලස්වා ගත යුත්තේ පිරිමියකු බවට පත් වීමෙන් යයි කීමට ය.

කම්කරුවා යයි කියූ පළියට අපි පණ දෙන්නට යා යුතු නැත. අප සැලකිලිමත් විය යුත්තේ ඵලදායී සේවාවල යෙදෙන කම්කරුවන් පිළිබඳ පමණි. පාසල් කම්කරුවන්, රෝහල් කම්කරුවන් වැනි රජයේ සේවකයන් වැඩි දෙනෙක් ඵලදායී වැඩවල යෙදෙන ශ්‍රමිකයෝ නොවෙති.

ඵලදායී වැඩ කරන කම්කරු පංතිය සූරා කන ප්‍රධාන බලවේගය රජය හා රජයේ ලාභය ගරා ගන්නා දේශපාලකයන්ගෙන්, කොන්ත්‍රාත්කරුවන්ගෙන්, නිලධාරීන්ගෙන් හා රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් මධ්‍යම පංතියයි. 

ලංකාවේ මේ මොහොතේ දේශපාලනය ඉතා පැහැදිලිව ම ඵලදායී වැඩ කරන කම්කරු පංතිය හා ව්‍යවසායකයන් වෙත අවධානය යොමු කරන දේශපාලනයක් විය යුතු ය. 

ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ඉතා පැහැදිලිව ම මෙම ව්‍යවසායක තීරය වෙත අවධානය යොමු කරමින් ඉතා ආක්‍රමණශීලී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. 

රජයේ දේශපාලන ආධිපත්‍යය හොබවන මධ්‍යම පංතියට ද මෙය යහපත් තත්වයකි. මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් වර්තමාන සමාජ ක්‍රමය පවත්වා ගත හැකි වන්නේ ව්‍යවාසයක තීරය ශක්තිමත් කරන තරමට ය. 

එහෙත්, මෙහි තිබෙන නිශේධාත්මක පැත්ත වන්නේ ව්‍යවසායක පංතියේ ආවේණික ලක්ෂණ හේතුවෙන් ඇති වන තත්වයන් ය. උදාහරණයක් ලෙස, චීන රජය හා සමාගම් ශ්‍රී ලංකාවේ කරන සමාජවාදී සූරාකෑම ගත හැකි ය. මහින්ද රාජපක්ෂ රජයේ දූෂණය ඔස්සේ ලංකාව ණය අර්බුදයක හිර කිරීමෙන් පසු චීනය හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, වරාය නගරය වැනි ව්‍යාපෘති අත්පත් කර ගන්නේ දරුණු ලෙස ලංකාව සූරාකමිනි. 

එසේම, රජය දැවැන්ත ආයෝජකයන්ට දක්වන අනුග්‍රහය නො ලබන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට ද දැවැන්ත ප්‍රශ්න සමුදායකට මුහුණ දීමට සිදු වී තිබේ. 

ඊළඟ ගැටලුව කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙනි. මේ වන විට ඵලදායී වැඩ කරන කම්කරු පංතිය ගතානුගතික වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් මුළුමනින් ම ගැලවී ගොසිනි. ඇත්තෙන් ම ඔවුන්ට කිසිදු නායකත්වයක් හෝ දෘෂ්ටිවාදයක් හෝ නැත. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ගතානුගතික, යල්පැනගිය, අවිද්‍යාත්මක න්‍යායයන්ගෙන් කම්කරු පංතියට කිසිදු පලක් නැත.  ඵලදායී වැඩ කරන කම්කරුවන්ගේ දේශපාලනය අලුතෙන් ම පටන් ගත යුතුව තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2017-03-10

බෝගස් හා තවත් ගස්

මෙම කවිය ලියද්දී ජොයිස් කිල්මර් විසුවේ ඇමරිකාවේ නිව් ජර්සිහි මෙම නිවසේ ලු 
පහත පළ වන්නේ ඇමරිකානු කවියකු වූ ජොයිස් කිල්මර් (1886 - 1918) විසින් ලියන ලද සුප්‍රකට කෙටි කවියක් හා එහි පරිවර්තනයකි. වසර 1913දී ලියන ලද Trees නම් මෙම කවිය 1914දී Trees and Other Poems කාව්‍ය සංග්‍රහයෙහි මුල් වරට පළ විය.  

Trees

I think that I shall never see
A poem lovely as a tree.

A tree whose hungry mouth is prest
Against the earth’s sweet flowing breast;

A tree that looks at God all day,
And lifts her leafy arms to pray;

A tree that may in Summer wear
A nest of robins in her hair;

Upon whose bosom snow has lain;
Who intimately lives with rain.

Poems are made by fools like me,
But only God can make a tree.

- Joyce Kilmer

ගස්

මා හිතන්නෙ නො දකිමි මම
සොඳුරු කවක් ගසක් තරම

මිහි තන තුඩ රස වෑහෙන 
සාගිනි මුව තබා උරන

ගස දෙවියන් දෙස බලමින
පත් අත් ඔසවයි යදිමින

කොබෙයි කූඩුවක් සසොබන
ගිම්හානෙට මුහුළ දරන

සුළඟ සමග මිතුරු වෙමින
අව් වැසි හිම සමග වෙසෙන  

පුහුදුන් අය කවිත් ලියන
මුත් දෙවියො ය ගසක් සදන

- ජොයිස් කිල්මර් (පරිවර්තනය: අජිත් පැරකුම් ජයසිංහ) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.