2018 ෆේස්බුක් තහනම හා 1983 ජවිපෙ තහනම

ethics eye image
වාර්තාකරණයේ ගැටලු තිබෙන්නේ සමාජ මාධ්‍යවල පමණක් නො වේ. තෙල්දෙනිය සිදුවීම මේ අන්දමින් රූපමය ලෙස නිරූපණය කිරීමෙන් ඩේලි මිරර් පුවත්පත කරන්නේ හරි වැඩක් ද?

ෆේස්බුක් තවමත් බ්ලොක් කරලා. ලංකාවේ ඉන්ටනෙට් පරිහරණය කරන අය අතරින් සීමිත පිරිසක් විතරක් පරිහරණය කරන, ප්‍රධාන වශයෙන් ම පිංතූර පළ කිරීමේ සමාජ මාධ්‍යයක් වන ඉන්ස්ටග්‍රෑම් ද බ්ලොක් කරලා. හැබැයි, ඊට වඩා ජනප්‍රිය යූටියුබ්, ට්විටර් වැනි අවකාශයන් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වෙනවා. වට්සැප් පණිවුඩ හුවමාරු මාධ්‍යයත් බ්ලොක් කරලා තිබුණත්, ඉක්මණින් ම එය යථා තත්වයට පත් කළා.

මේ තහනම ඇත්තට ම කිසිදු පදනමකින් තොරව කළ එකක් බව මේ කරුණුවලින් පැහැදිලියි. මෙය සාක්ෂි මත පදනම් වුණ තීරණයක් නෙමෙයි. නිකම් ආවාට ගියාට ගත් හදිසි තීරණයක් නොවෙයි නම්, සත්‍ය වැරදිකරුවන් වෙනුවට වෙන පිරිසක් මත දෝෂාරෝපණය පටවන්නට කළ තහනමක් බවයි පෙනෙන්නේ. තහනම ඉවත් කිරීමට පමා කිරීමත් එවැනි ම තත්වයක්.

1983 ජුලි ජනවාර්ගික කලබල ඇති කිරීමට මූලික වුණ අය හිටියේ එක්සත් ජාතික පක්ෂයේමයි. ඒ වගේ ම, එදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන, අගමැති ආර්. ප්‍රේමදාස වැනි අයත් හිටියේ ජාතිවාදී ස්ථාවරවල. ඒ අනුව ඔවුන් මුල් අදියරේදී තත්වය පාලනය කරන්නට අවශ්‍ය දැඩි ක්‍රියාමාර්ග නො ගෙන සිදුවීම් පැතිරෙන්නට ඉඩ හැරියා. අවශ්‍ය පියවර ගත්තේ පමා වෙලා. ඒ වෙනකොට බොහෝ දේ සිදු වී හමාරයි.

අවසානයේදී එහි වරද පටවන්නට ව්‍යාජ වැරදිකරුවෙකු නිර්මානය කළා. වාර්ගික කලබල මෙහෙයවීමට කිසිදු ආකාරයකට සම්බන්ධ නො වූ ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සම නව සමසමාජ පක්ෂය තහනම් කළා. එසේ කළේ හදිසි නීතිය පාවිච්චි කරමින් රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කතාවකට මුවා වෙමිනුයි.

1983දී ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ගත් වැරදි ක්‍රියාමාර්ගය හේතුවෙන් 1989දී දකුණේ තරුණ කැරැල්ලක් ඇති වුණා. තිස් අවුරුදු යුද්ධයක් ද පැන නැගුණා. වාර්ගික ගැටුම් ඇති කළ සිරිල් මැතිව් හා ඇතැම් භික්ෂූන් ඇතුළු එජාපය සමග සම්බන්ධව සිටි පිරිස්වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනුණේ නැහැ.

අවුරුදු 25කට පසුව දැන් මේ ඉතිහාසය නැවත සිදු වෙමින් තිබෙනවා. ඒ කොහොම ද?

වාර්ගික කලබල ඇති කරන්නට මුල් වුණ ගලගොඩඅත්තේ ඥානසාර, අම්පිටියේ සුමනරතන වැනි ජාතිවාදී භික්ෂූන් හා මුස්ලිම් අන්තවාදී අදහස් පැතිරවූ නායකයන් නිරුපද්‍රිතව ඉන්නවා. ඔවුන්ගේ උසිගැන්වීම මත ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ බව කියන 100කට අඩු පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තහනමට ලක් වුණේ ෆේස්බුක්. ඒ විතරක් නෙමෙයි, දේශපාලන නායකයන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍යවලට බැන බැන ඇවිදිනවා. ඒවා වාර්තා කරන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පහුගිය කාලයේ ජාතිවාදය පතුරුවන්නට වැඩ කළ අන්දම අමතක කර දමා තිබෙනවා. දැන් වුණත්, මේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල වාර්ගික කලබල ඇති කළ අයට පුළුල් ඉඩක් තිබෙනවා.

ෆේස්බුක්වලට පදනමක් නැතුව දෝෂාරෝපණය කරන අය එම මාධ්‍යය හරි හැටි නිරීක්ෂණය කර තිබෙනවා ද කියන එකත් ප්‍රශ්නයක්. ජාතිවාදයට එරෙහිව දැවැන්ත ම අරගලය තිබුණෙත් ෆේස්බුක් ඇතුළෙ ම තමයි. අද වන විට ෆේස්බුක් තහනම නිසා ඒ අරගලයත් තහනම් වී තිබෙනවා. හැබැයි, ඉන්ටනෙට්හි ම ඕපාදූප වෙබ් අඩවි එහෙම තවමත් නිරුපද්‍රිතව ක්‍රියාත්මක වෙනවා.

ෆේස්බුක් කියන්නෙ පාලනය කළ නො හැකි අවකාශයක් නෙමෙයි. එහෙත්, මේ දක්වා එය පාලනය කරන්නට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනුණෙ නැහැ. ෆේස්බුක්හි සමබරබව ඇති කරන්නට ජාතිවාදයට එරෙහිව වැඩ කළ ප්‍රගතිශීලී පිරිස්වලටවත් රජය උදව් කළෙත් නැහැ.

ෆේස්බුක් වැරදි විදියට භාවිතා කිරීම පරිගණක ක්‍රීඩාවකට සමාන කරන්නට පුළුවන්. ඒ පිළිබඳ ඉදිරි ලිපියකින් සාකච්ඡා කරනවා.

(මේ ලිපිය ලිව්වේ ඉරිදා උදෑසන අයිටීඑන් රේඩියෝවේ සයිබර් වීදිය වැඩසටහන ඔස්සේ මා පළ කළ අදහස පදනම් කරගෙනයි.)

– අජිත් පැරකුම් ජයසිංහ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *