2018-01-23

දේශපාලකයන් ඉදිරියේ වැඳ නො වැටෙන ජාතියක් හැදීම රාජ්‍ය සේවයෙන් පටන් ගනිමු

වන්දවා ගන්නා එවුන් මෙන් ම වඳින එවුන් ද දීනයෝ ය 
විදුහල්පතිනියක පැහැරගෙන ගොස් අඩන්තේට්ටම් කිරීම සම්බන්ධයෙන්, පැහැර ගැනීම, වධ හිංසා පැමිණවීම, පොදු දේපල අපහරණය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය වැනි අපරාධ ගණනාවක් යටතේ ඌව මහ ඇමති චාමර සම්පත් දසනායක සහ ඔහුගේ සහචර රජයේ නිලධාරීන් අත්අඩංගුවට ගත යුතු ය. අධ්‍යාපන ඇමතිකමින් ඉවත් වීමෙන් පමණක් මෙම සිදුවීම අවසන් විය යුතු නැත. (මෙම සටහන තබා අවසන් වන විට ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.)

මෙහි තවත් පැතිකඩක් ද තිබේ. ඒ රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් ය.

විදුහල්පති තනතුරක් යනු රජයේ සේවයේ ඉතා වැදගත් තනතුරකි. එවැනි තනතුරක් දරණ අයට එම තනතුරේ ගරුත්වය ආරක්ෂා කිරීමේ වගකීමක් ද තිබේ. මෙවැනි නිලධාරීන් දේශපාලකයන් ඉදිරියේ වැඳවැටීම සුලබ තත්වයකි. එයින් අවමානයට පාත්‍ර‍ වන්නේ ඔවුන් පමණක් නො වේ. එම තනතුර මෙන් ම සමස්ත රාජ්‍ය සේවය ම එයින් අවමානයට පත් වේ.

දේශපාලකයන් ඉදිරියේ වැඳ වැටෙන රාජ්‍ය නිලධාරීන් සාමාන්‍ය මහජනයා ඉදිරියේ කොයි තරම් රැස් විහිදුවණවා ද යන්න කවුරුත් දනිති. 

ලංකාවේ දේශපාලනය කොයි තරම් පසුගාමී එකක් වුණත්, එහි ද හොඳ ලක්ෂණ ඇත. දේශපාලකයෝ මහජනතාවට වගකියති. එහෙත්, රජයේ සේවය සම්බන්ධයෙන් තිබෙන මූලික ප්‍ර‍ශ්නය වන්නේ රාජ්‍ය නිලධාරීන් මහජනතාවට වග නො වීමයි.

රජයේ නිලධාරීන් පුරුදු වී සිටින්නේ ම දේශපාලකයන් ඉදිරියේ කොන්ද නවා ගැනීමටයි. 2015 ජනවාරි 8 විපර්යාසයෙන් පසු මෙය යම් දුරකට පාලනය විය. සම්පූර්ණයෙන් ම පාලනය නො වුණත්, රාජ්‍ය නිලධාරීන්ට සාපේක්ෂ ස්වාධීනත්වයක් ලැබී තිබේ. එහෙත්, එය පාවිච්චි වන්නේ කුමට ද?

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව පිළිබඳ බරපතල ප්‍ර‍ශ්න තිබේ. සේවාදායකයන් කෙරෙහි වෛරී ආකල්ප, අලසකම, වංචාව, දූෂණය හා විෂමාචාර රාජ්‍ය අංශය වසා පැතිර තිබේ. මෙම තත්වයන් වෙනස් කිරීම සඳහා කටයුතු කිරීම පිළිබඳ කිසිදු සාකච්ඡාවක් රජයේ සේවකයන්ගේ වෘත්තීය සංවිධාන ආදිය පැත්තෙන් මතු වී නැත. ඒ වෙනුවට මතු වන්නේ වැටුප් ඉල්ලීම්, තත්වය පිළිබඳ කාරණා හා වෙනත් අවුල් වියවුල් පමණි.

රජයේ සේවකයන් යනු මහජන මුදලින් වැටුප් ලබන පිරිසකි. එහෙයින් ඔවුන් පොදු මහජන අවශ්‍යතාවන් වන රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම හා ස්වාධීනත්වය ගොඩනැගීම පිළිබඳ වැඩි වගකීමකින් කටයුතු කළ යුතු ය. දේශපාලකයන් ළඟ වැඳවැටීමේ දීන සංස්කෘතිය අවසන් කිරීමට ඔවුන් ද පෙරට ආ යුතු ය. බදුල්ලේ සිද්ධියත් සමග මේ පිළිබඳ සාකච්ඡාව පෙරට ගැනීමට ඉදිරිපත් වූ රජයේ සේවකයන්ට අපගේ ශක්තිය හා ධෛර්යය පිරිනමමු.

දීනකම අයිතිවාසිකමක් නො වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. දේශපාලකයෝ ඉදිරියේ වැඳ වැටෙන, සල්ලි කාර දෙමව්පියෝ සමග කරේ අත දාගෙන ආශ්‍රය කරන විදුහල්පතිලා බොහෝ දෙනෙක්, අහිංසක දුප්පත් දෙමව්පියන්ට කඩා පනින්නේ බල්ලන් වගේ. මේ ළඟදී කොළඹ විදුහල්පති බල්ලෙක් බඩදරු අම්මෙකුට කඩා පනින විදිය වීඩියෝ කරලා ඒ අම්ම අන්තර්ජාලයට දමා තිබුන දුටුවා.

    ReplyDelete
  2. බුලත් අතක් දී දන නවා වැදීම පාසල් ජිවිතයේ පළමු යුතුකම වූ සමාජයේ වෙන මොන බලපොරෝත්තුවෙන්නද?

    ReplyDelete
  3. මගේ අදහස නම් රට දියුණු වීමට නම් එකිනෙකාට නමින් ඇමතිය හැකි සමාජයක් අවශ්‍යය කියායි.

    http://rasikalogy.blogspot.com.au/2015/06/what-hell-is-egalitarianism.html

    එකෙක් තවෙකෙකුට වඳිනවා යන්න නොදියුණු බවේ සංකේතයක්!

    ReplyDelete
  4. මම හිතන්නෙ කවුරුත් කාටවත් වඳින්න ඕන නෑ, තමන්ගෙ දෙමව්පියන්ට ඇරුනාම.

    ReplyDelete
  5. සම්පත් උතුමෝ දුර පෙනෙන නායකයෙකි, කෙල්ල නැගිටිනවිට සරම ඉස්සීමට ඉඩ ඇතිබැව් දැන එතුමා සිය සරම ගිරිජ්ජ පොල්ල අස්සේ රුවා ගෙන ඇත.

    ReplyDelete
  6. ගුරුවරු දෙසපාලුවන්ට වදින්නේ ඉඳල හිටලා. ඒගොල්ල හැමදාම වඳිනවා අද්යාපන කාර්යාලෙ ලිපිකරුවන්ට. මට හොඳට මතකයි මම ඉදිරියේ ප්‍රින්සිපල් කෙනෙක් ක්ලාක්ට සර් සර් කිය කියා එයාගේ පුද්ගලික ලිපිගොනුවක වැඩකට යාප්පු වුන විදිහ. මට ඒ ක්ලාර්ක්ගෙ නමත් මතකයි. ප්‍රින්සිපල්ගෙ නම නම් නොදනිමි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.