2018-01-28

ලියනගේ අමරකීර්තිගේ ‘අළුපාට ආරංචි', ‘එකම පුතා' සහ මොබ්

ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ ‘අළු පැහැති ආරංචි' කෙටිකතා සංග්‍රහයේ එන ‘එකම පුතා' කියන කෙටිකතාව කියවූ විට මෙම සටහන ලියන්නට හිතුණා. ඒකෙ තියෙන්නෙ සිංහල කොටියකු ලෙස හැඳින්වුණු මාධ්‍යකරුවකුගේ කතාවක්. ඒ වුණාට ඒ මාධ්‍යකරුවා ඒ කතාවේ ප්‍රධාන චරිතය නෙමෙයි. ඔහුත්, ඔහුගේ පවුලත්, ඔහුගේ සොහොයුරාගේ පවුලත්, ගමත්, රූපවාහිනියත් වටා දින කීපයක් තුළ දිගහැරෙන මේ වියමනේ ගැඹුර විඳගත් නිසායි මේ සටහන තබන්නේ.

එහෙම විඳගන්නට එක හේතුවක් වෙන්න ඇති, මේ අත්දැකීම මට තරමක් සමීප අත්දැකීමක් වීම. යුද්ධයට විරුද්ධව පෙනී සිටීම නිසා එල්ල වූ සිංහල කොටි චෝදනාව නිසාත්, මරණ බිය නිසාත් රටින් පළා යන්නට සිදු වූ කාලයක් මටත් තියෙනවා. ඊට කලින් වකවානුවේ හා පිටරට ගිහින් ආපසු ආවාට පසුවත්, තැනින් තැන සැඟවෙමින් හෝ පොඩි සද්දයකට පවා බය වෙමින් නිවසේ ම සිටි හෝ කාලයක් අපටත් තිබුණා. එවැනි අත්දැකීම්වල ගැඹුර සාහිත්‍යයකට හසු කර ගැනීම් ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. 19වන සියවසේ රුසියානු ලේඛක ඇන්ටන් චෙකොෆ් සලකපු විදියට ජීවිතයෙන් පෙත්තක් වන කෙටිකතාවට යථාර්ථය සංකේතාත්මකව ග්‍රහනය කර ගන්නට තිබෙන හැකියාව පිළිබඳ කදිම නිදසුනක් තමයි ආචාර්ය අමරකීර්තිගේ ‘එකම පුතා' කෙටිකතාව.

මං කතාව කියන්නට යන්නෙ නැහැ. ඒ කතාවෙ තේමාවන් අතර ඉතා වැදගත් ම තේමාව තමයි අයුතු ජනරාශි නිර්මානය වීම පිළිබඳ කෙරෙන ඉදිරිපත් කිරීම. ජනරාශි කියන වචනෙන් මා අදහස් කරන්නෙ මොබ් කියන ජාතිය. 

මොබ් එකක් කියන්නෙ ආවේග මගින් පාලනය වන ක්ෂණික මහජන නැගිටීමක්. ඒ සඳහා අවශ්‍ය ආවේග නිර්මානය කිරීම පසුපස දිගුකාලීන මෙන් ම කෙටිකාලීන දේශපාලනයන් ද තිබෙන්නට පුළුවන්. උදාහරණයක් විදියට පසුගිය කාලයේ රට පුරා මොබ් නැගිටීම්වලට හේතු වුණ ග්‍රීස් යක්කුන්ගේ සිද්ධිය ගන්න. උතුරේදී මෙය හමුදාවලට එරෙහිව ජනතාව තුළ තිබුණ විරෝධය කුළුගන්වන්නට දේශපාලනිකව උපයෝගී කර ගන්නා ආකාරයක් දක්නට ලැබුණා. ඒත්, දකුණේදී ඒවා බොහෝ විට අතාර්කික භීතිකාවන් මත තමයි පදනම් වුණේ.

මොබ් එකක් ධාවනය වන්නෙ එය විසින් ම නිර්මානය කරනු ලබන කෘත්‍රිම වාතාවරණයක් ඇතුළෙ. ඒක විසින් තනි තනි මිනිසුන්ගේ ලක්ෂණ යටපත් කරලා පොදු ප්‍රචණ්ඩත්වයක් තුළට සියලු දෙනා උකහා ගන්නවා. එතුළ පුද්ගලයන් හැසිරෙන්නේ තමන්ට උවමනා විදියට නෙමෙයි. ඒ නිසා ම මොබ් චර්යාවකින් පස්සෙ ඉතිරි වෙන්නෙ පශ්චාත්තාපයක් වෙන්නත් පුළුවන්.

එහෙම නැති අයත් ඉන්නවා. ජීවිතේ එක එක වකවානුවලදී මොබ් එක්ක ම ජීවත් වන මිනිසුන් අප දැක තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමිගේ පටන් අතුරලියේ රතන හිමි, ගලගොඩඅත්තේ ඥානසාර හිමි ආදී වශයෙන් ළහිරු වීරසේකර දක්වා ම මොබ් චරිත විශාල ප්‍රමාණයක් දකින්නට පුළුවන්. හැබැයි, මහින්ද රාජපක්ෂ වගේ අය මොබ් සමග ගමන් කළත් ඔවුන් මොබ්වල කොටස්කරුවන් වන්නෙ නැහැ. ඔවුන්ගේ තිබෙන උත්කර්ෂවත් හෙවත් සෙලබ්‍රිටි ලක්ෂණ නිසා ඔවුන් පසුපස එන මොබ් එකක් තමයි දකින්නට තිබෙන්නේ.

මොබ් මානසිකත්වයේ දිගු කලක් සිටි අය පවා පසු කාලීනව දැඩි ලෙස වෙනස් වෙනවා. කාටවත් දිගට ම ඒක ඇතුළෙ ඉන්නට බැහැ. හැබැයි, මොබ් මානසිකත්වය විසින් නිර්මානය කරනු ලබන කඩාකප්පල්කාරී හෙවත් ඩිස්රප්ටිව් මානසිකත්වය නම් ලෙහෙසියෙන් නැති වෙන්නෙ නැහැ.

විප්ලවය පිළිබඳ තිබෙන ඉතා වැරදි සහගත ආකල්පයක් තමයි, මහා පරිමාණ මොබ් තුළින් නිර්මානය වන බල වෙනස්කම් විසින් සමාජ වෙනස්කම් ඇති කරන බව. එහෙත්, ඒවා ඉවහල් වෙන්නෙ බල මාරුවලට පමණක් බව ඕනැ තරම් ඔප්පු වෙලා තියෙනවා. සමාජ වෙනස්කම් සිදු කිරීම ඊට වඩා අමාරුයි. ඒකට මොබ්වලින් ප්‍රයෝජනයක් ඇත්තේ ම නැති තරම්. ඒ විතරක් නෙමෙයි, අර මොබ් ම ප්‍රතිවිප්ලවයටත් හේතු වෙන්නට පුළුවන්.

‘එකම පුතා' කෙටිකතාව මේ මොබ් චර්යාව කදිමට නිරූපණය කරන වියමනක්. මොබ් එක නිර්මානය වන්නට හේතු වූ පසුබිම, මොබ් නිර්මානය වන්නට මාධ්‍ය බලපාන හැටි, මොබ් විසින් නිර්මානය කරන නායකයන් හා ඒ නායකයන්ගේ ස්වභාවය, මොබ් චර්යාවන් විසින් ඇති කරනු ලබන විනාශකාරී ප්‍රතිඵල සහ පශ්චාත්තාපය එහි අතිශයෝක්තියෙන් අපූරුවට චිත්‍රණය කර තිබෙනවා. මොබ් එකේ නායකයා බවට මන්ද මානසික ළමයකු පත් වීම විසින් සමස්ත මොබ් මානසිකත්වය ම සංකේතවත් කරනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

4 comments:

  1. පොත ලංකාවෙන් ගෙනාවා. ළඟදී ම කියවිය යුතුයි!

    ReplyDelete
    Replies
    1. කෙටිකතාව කියෙව්වා.

      කතා නායකයාගේ කතා විලාශයේ ආකෘතියෙන් ම කතාව ලියවී තිබීම අපූරුයි.

      කියවා අවසාන වූ පසු භෞතිකවාදය ද මොකක් ද එකත් අමතක වී, මෙහි කියවෙන එන්ටීඑන් නම් නාලිකාවේ ප්‍රවෘත්තිවලට පස්සේ ගිය වැඩසටහන ලියූ එකා අවීචි මහා නිරයේ දුක් විඳිනවා ඇතැයි කාලකණ්ණි සිතුවිල්ලක් ද සිතට ආ බව කණගාටුවෙන් වුවත් එකතු කළ යුතුයි!

      Delete
  2. අටවක පුත්තු සහ අහම්බකාරක කියෙව්වා. කලාතුරකින් කියවපු හොඳ පොත්. අළුපාට ආරංචි ගැන ආරංචියට තැන්ක්ස් පැරා...

    ReplyDelete
  3. මහින්ද විසින් යටපත් කළ දෙමළ අරගලය සහ ස්ත්‍රී අරගලය යළිත් මුවහත් කිරීම යහපාලනයේ වගකීමයි. ස්ත්‍රී අරගලය නිවසට ගෙන ගොස් නිවෙස සටන් බිමක් කළ යුතුයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.