2018-01-06

රජයේ සේවය දෙස පුරවැසි දෘෂ්ටි කෝණයකින්

(රාවය පුවත්පතෙහි පළ වූ ලිපියකි)

අජිත් පැරකුම් ජයසිංහ විසිනි

අවුරුද්දෙ පළමුවෙනි දවස ම රජයේ නිවාඩු දවසක්. පෝය නිසා නිවාඩු ගන්න හැම කෙනෙකු ම බෞද්ධයන් නෙමෙයි. අනෙක් පැත්තෙන් හැම බෞද්ධයෙකු ම ඔය දවසේ අනිවාර්යයෙන් ම ආගමික කටයුතුවල යෙදෙන්නෙත් නැහැ. ආගමික කටයුතුවල යෙදෙන හැමදෙනෙකු ම වුණත් මුළු දවසෙම ඒක කරන්නෙත් නැහැ.

ලංකාවෙ නිවාඩු වැඩියි කිව්වා ම කෙනෙකු අහන්නට පුළුවන් මිනිසුන් විවේක ගන්න එකේ ඇති වැරැද්ද මොකක් ද කියලා. 2018 අවුරුද්දේ සතියේ දිනවලට වැටෙන නිවාඩු 19ක් තියෙනවා. රජයේ සේවකයන්ට සෙනසුරාදා, ඉරිදා නිවාඩු එක්ක, පෞද්ගලික නිවාඩුත් 40කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. එතකොට අවුරුද්දෙ දවස් 365කින් වැඩ කරන දවස් තියෙන්නෙ 250ක් විතර සංඛ්‍යාවක්.  

බැංකු වැනි ආයතනවල සේවකයන් සති අන්තයට එන නිවාඩුව සතියේ දිනක අරගෙන බැංකු වහලා ආර්ථිකය අඩපණ කරනවා.

හැබැයි, මේ රටේ ආර්ථිකය දරා ගන්නා වැඩ කරන ජනතාවට මේ සෙල්ලම් කරන්නට බැහැ. ඔවුන්ට බොහෝ විට ලැබෙන්නේ දවස් පඩි. දවස් 365 ම ජීවත් වෙන්න නම් 365 ම වැඩ කරන්නට ඕනැ. 

ඇත්තෙන් ම අපට මේ තරම් නිවාඩු අරගෙන රටක් විදියට ඉදිරියට යන්නට පුළුවන් ද?

මා නම් පෞද්ගලිකව හිතන්නේ රජයේ නිවාඩු සංඛ්‍යාව 10කට විතර සීමා කරලා, ආගමික අවශ්‍යතා වෙනුවෙන් තමන් කැමති පරිදි ඒ නිවාඩුවලින් අරගෙන, අමතර නිවාඩු අතින් ගන්නට සලස්වලා, යම් තුලනයක් සහිතව සේවකයන් ගෙන්වාගෙන, සතියේ හැකි සෑම දිනක ම රජයේ ආයතන, බැංකු ආදිය විවෘතව තැබිය හැකියි. 

ලංකාවේ ජනතාව මුහුණ දෙන ප්‍ර‍ධාන ආර්ථික ගැටලුව මේ දැවැන්ත රජයයි. එහි ලක්ෂ 15ක් සේවකයන් මහජන මුදලින් වැටුප් ගන්නවා. ඒ වුණාට රාජ්‍ය සේවා ගැන මහජන තෘප්තිය අවමයි.

මේක අපි පංතිමය ලෙස විග්‍ර‍හ කරනවා නම් සිදු වන්නේ මෙයයි. දේශපාලකයන්, නිලධාරීන්, රජයේ සේවකයන් වන මේ අය ලංකාවේ ධනේශ්වර රජයේ සැබෑ හිමිකරුවන් වන මධ්‍යම පංතියයි. ඔවුන් කරන්නේ මහජන බදු මුදල් වැටුප් ලෙස සූරාකෑමයි. රජයේ මූලික කාර්යය මේ අයට ප්‍ර‍තිලාභ සැපයීම වන අතර ඔවුන් මහජන සේවා සපයන්නේ ඒ ක්‍රියාවලිය යන්තමින් සාධාරණීකරණය කළ හැකි මට්ටමට පමණයි. මේක ඕනෑ ම රජයේ ආයතනයකට ගියාම කෙනෙකුට වටහා ගන්නට පුළුවන් සරල සත්‍යයක්.

මේ රජය උර දරා ගන්නට සිදු වීම මේ රටේ ඵලදායී වැඩ කරන ජනතාවට විතරක් නෙමෙයි ව්‍යවසායකයන්ටත් හිසරදයක්. හැබැයි, ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මය පදනම් වන්නේ මේ පංතිය මත වීම හා එක්සත් ජාතික පක්ෂයේ සිට පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා වෙනත් වාම අණු, පරමාණු දක්වා ම පදනම් වන්නේ මෙම පංතිය මත වන නිසා, ලංකාවේ මේ පන්තිමය ආධිපත්‍යයට අභියෝග කරන්නට හැකියාවක් නැහැ. ව්‍යවසායකයන් හා මධ්‍යම පංතිය අතරත්, මධ්‍යම පංතියේ ඉහළ හා පහළ ස්ථර අතරත් යම් ගැටුමක් තිබෙනවා. ලංකාවේ පංති අරගලය කියන්නෙ ඔන්න ඕකට.

මෙවැනි තත්වයක් තුළ, වැඩ කරන ජනතාව විදියට, පුරවැසියන් විදියට අපි කොහොම ද මේ රාජ්‍ය සූරාකෑමෙන් ගැලවෙන්නෙ? මේක ලේසි නැහැ. මේ දැවැන්ත රජය තමන්ව තව තවත් වර්ධනය කර ගන්නවා මිසක් හකුළා ගන්නට සූදානමක් නැහැ. හෙට අනිද්දා පත් වන 8000කට වැඩි පළාත් පාලන මන්ත්‍රී පිරිසත් මේ පන්තිය ශක්තිමත් කරන තවත් බලවේගයක් තමයි.

පුරවැසියන් විදියට අපට සිදු වී තිබෙන්නෙ පුළුවන් තරම් මෙන්න මේ දේ කරන්නටයි. “තොපි අපේ සල්ලිවලින් ජීවත් වෙනවා නම් හරියට වැඩ කරපියව්!“ කියන එක අඛණ්ඩව මොවුන්ට අවධාරණය කරන්නට ඕනැ. ඒ විතරක් නෙමෙයි, කිසිම අනුකම්පාවකින් තොරව රජයේ සේවකයන් සේවා සම්පාදනය සම්බන්ධයෙන් ප්‍ර‍ශ්න කළ යුතුයි. සරලව කියනවා නම්, ඔවුන් ඔබේ වැඩේ කර දිය යුතුයි.

රජයේ සේවයේ ඉහළ නිලධාරීන් දේශපාලකයන් තරමට ම හෝ ඊටත් වඩා දූෂිත බව ඇත්තක්. හැබැයි, ඔවුන් සමග පහළ නිලධාරීන්ට තිබෙන ප්‍ර‍ශ්න විසඳා ගනිමින් මහජනතාවගෙන් ගුටි නො කා වැඩ කරන ක්‍ර‍මයක් හදා ගැනීම වෘත්තීය සමිති භාර ගත යුතුයි. ලංකාවේ රජයේ සේවකයන්ගෙ වෘත්තීය සමිති කියන්නෙ වැටුප ගැන විතරක් කතා කරන, දෘෂ්ටිවාදීමය වශයෙන් ධනවාදයට විරුද්ධ පදනමකින් සිස්ටම් එකේ විනාශය වෙනුවෙන් පෙනී සිටින පිරිසක්. හැබැයි, ඔවුන් හිතාගෙන ඉන්නෙ ඔවුන් විනාශ කරන්නෙ ධනපති පන්තියක් ය කියලායි. ඔවුන්ගේ දෘෂ්ටිවාදී නායකයන් ඔවුන්ට කියා දීලා තියෙන්නෙ එහෙමයි. ඒ නායකයන් වැඩි දෙනෙකු ඇත්තටමත් එහෙම හිතාගෙන ඉන්න බව පෙනෙනවා.

ඒ වුණාට ඒක අමූලික බොරුවක්. ලංකාවේ එහෙම ධනපති පන්තියක් නැහැ. ලංකාවේ මහජනතාව සූරා කන ප්‍ර‍ධාන සමාගම රජයයි. මේක සරලව තේරුම් ගන්නට පුළුවන්. ඔබගේ ජීවිතය කාලකණ්ණි කරන තරමට ඔබ සූරා කන්නෙ කවුරුද බලන්න. ඔබ වාහනයක් මිළ දී ගන්නකොට එයින් වැඩි ම ලාභයක් ලබන්නෙ ඒ සමාගමේ අයිතිකාරය ද? නැහැ. බදු අය කරන රජය. ඔබ අරක්කු බෝතලයක් බොන විට එයින් වැඩි ම ලාභය ලබා ගන්නෙ කවුරු ද? රජය. ඔබ දුරකථනයක් භාවිතා කරන විට එයින් වැඩි ම ලාභය ගන්නෙ කවුරු ද? රජය. ඔබ බඩු ගන්න කඩවල හිමියන් හා එම භාණ්ඩ නිෂ්පාදකයන්, බෙදාහරින්නන්, වෙනත් සේවා සපයන්නන් ඔබෙන් කරන සූරාකෑමට වඩා අති විශාල සූරාකෑමක් රජය කරනවා. සමාගම්වලට සූරා කන්නට තිබෙන ඉඩ වෙළඳපොළ තරගකාරිත්වය නිසා සීමා වෙනවා. හැබැයි රජයට එහෙම තරගයක් නැහැ. ඒ සූරාකෑම නීතියෙන් තහවුරු වෙලායි තියෙන්නෙ.

රජය මේ ඔක්කොම කරන්නෙ ඔබට සපයන සේවාවවන් වෙනුවෙන් ය කියලායි කියන්නෙ. හැබැයි, රජයෙන් ලැබෙන සේවාවන්වල තත්වය ඔබ දන්නවා. ඒ සේවා සැපයීම කරන්නට ඉන්න කට්ටියට මහජනතාව කරදරයක්. වැඩ කරන අයත්, තමන් වැඩ කරනවා කියලා ලොකුවට කයිවාරු ගහනවා. ඔවුන් හිතන්නෙත් බොහෝ දෙනෙකු හරියට වැඩ නො කරන තැනක තමන් හරියට වැඩ කරන එක ඔවුන් කරන සේවයක් වගේ.

රජයේ සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. ඔවුන් හරියට වැඩ කරනවා නම් ඇත්තට ම මේ රට වෙනස් කරන්නට පුළුවන්. ඔවුන්ට වැටුප් ගෙවීම වෙනුවෙන් බදු ගෙවන ජනතාවගේ ජීවිත මීට වඩා ආලෝකවත් කරන්නට පුළුවන්. ඒ වුණාට මොකද වෙන්නෙ? ඔවුන් නිතර ම සැදී පැහැදී ඉන්නෙ දේශපාලනය නිසා ඔවුන්ට වැඩ කරන්නට බැරි ය කියන්න. විශේෂයෙන් ම රජය මත පදනම් වන මධ්‍යම පන්තියේ ස්ථරය නියෝජනය කරන ජවිපෙ, පෙසප වගේ පක්ෂ ඔවුන්ට මේ ආකල්පය තහවුරු කර ගන්නට අවශ්‍ය න්‍යාය සම්පාදනය කිරීම තමයි කරන්නෙ.

දේශපාලනය හොඳ නැහැ තමයි. දේශපාලකයන් හදන්නත් බැහැ. හදන්නට දරපු කිසිම උත්සාහයක් සාර්ථක වෙලා නැහැ. හැබැයි, දේශපාලකයන් ගණන සංඛ්‍යාවෙන් ගත්තොත් ළඟදි පත් වෙන පළාත් පාලන මන්ත්‍රීවරුනුත් එක්ක ම 10,000කට අඩුයි. රජයේ සේවකයන් ලක්ෂ 15ක් ඉන්නවා. 

ඒ අතරෙ මේ දේශපාලන පක්ෂ කියන දෙය තමයි, මේ කාටවත් මේ ක්‍ර‍මය වෙනස් කරන්නට බැහැ, ඔවුන්ට විතරයි පුළුවන් කියලා. හැබැයි, ඔවුන් ඒක කරන හැටි පැහැදිලි කරලාත් නැහැ. ඒ කියන්නෙ මේ රජයට මොකක් ද කරන්නෙ කියන එක කවදාවත්, කොහේවත් කියලා නැහැ. මේකට රැවටෙන්න එපා. මේ කාලකණ්ණි ක්‍ර‍මය රැකගනිමින් එය තුළ බලය තහවුරු කර ගන්නට න්‍යාය හදන අයට කවදාවත් මේ ක්‍ර‍මය වෙනස් කරන්නට බැහැ.

අප කියන්නෙ මෙයයි. මේ ක්‍ර‍මය වෙනස් කරන්නට එන කවුරුවත් ඒක වෙනුවෙන් ඇපකැප වෙන්නෙ නැහැ. ඒ නිසා එකෙකුගෙන් තව එකෙකුට බලාපොරොත්තු මාරු කර ගැනීම කිසිම තේරුමක් නැහැ. මේ ක්‍ර‍මය වෙනස් කිරීම මේ දැන්, මේ මොහොතේ, මෙතනින් ම පටන් ගන්නට ඕනැ.

දේශපාලකයන්ට එරෙහිව අප සටන් කරන ජවයෙන් ම රජයේ නිලධාරීන්ට එරෙහිවත් සටන් කරන්නට ඕනැ. හේතුව, ලංකාවේ ධනේශ්වර ක්‍ර‍මය තුළ මහජනතාව සූරා කන ප්‍ර‍ධාන සමාගම වන රජයට මේ සියල්ලන් ම අයිතියි. රාජ්‍ය සූරාකෑම අඩු කරන්නට නම් සේවා සම්පාදනය කාර්යක්ෂම කිරීම හැර වෙන විසඳුමක් නැහැ.

රජයේ සේවකයන්ගෙන් පුරවැසියන්ට කරන්නට පුළුවන් ඉල්ලීම මේ වගේ.  ‘‘දේශපාලකයන් අඳුර වැනි ය. අඳුරට සාප කර කර සිටීමෙන් එළිය ඇති වන්නේ නැත. එක පහනක් හෝ දල්වන්න. ඔබ කරන හොඳ වැඩ ඒ පහන වැනි ය."

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

6 comments:

  1. පැරා,

    //ලංකාවේ එහෙම ධනපති පන්තියක් නැහැ. ලංකාවේ මහජනතාව සූරා කන ප්‍ර‍ධාන සමාගම රජයයි. //

    මේ කතාව නම් ඉතාම නිවැරදියි.

    //තොපි අපේ සල්ලිවලින් ජීවත් වෙනවා නම් හරියට වැඩ කරපියව්!//
    මිට වසරකට පෙර මමත් සිටියේ ඔබේ මතයේ තමයි පැරා නමුත් ගිය වසරේ මම පලමුවතාවට රජය සමග වැඩ කළා, මෙනිසා ඔබ මෙතන නොදකින යමක් මම දැක්ක.

    //අප කියන්නෙ මෙයයි. මේ ක්‍ර‍මය වෙනස් කරන්නට එන කවුරුවත් ඒක වෙනුවෙන් ඇපකැප වෙන්නෙ නැහැ.//

    තවම ඔබත් තේරුම් ගෙන නෑ මොකද්ද වෙනස් කරන්න ඕනේ කියල.

    මම ඔබට උදාහරණයක් දෙන්නම් :-

    ඔබ කියනවා රජයේ නිවාඩු වැඩි බව මම මේ දිනවල රජයේ විශාල අමාත්‍යංශයක් සමග වැඩකරනවා මම දකිනවා ඉතා උසස් තක්ෂණික උපකරණ සමග වායුසමීකරණය කල අදාළ අමාත්‍යංශයේ සේවකයන් තේ බොමින් youtube.com වල සැරිසරමින් කාලය කාදමන අයුරු, දැන් ඔබ ඉක්මන්වෙයි මෙහෙම වැඩකරන සේවකයන්ට බනින්න, නමුත් ප්‍රශ්නය තියෙන්නේ මේ සේවකයන් තුල නෙමෙයි සෑම අමත්යන්ශයකම ඉන්නවා ඇමතිවරයාගේ ලේකම් වරයෙක්, මොහු තමයි බලවත්ම චරිතය බොහෝවිට ඇමතිවරයා වැඩ කරන්නේ ඔහුට ඕනේ විදියටයි, නමුත් ඔහු යටතේ අතිරේක ලේකම් වරු සිටිනවා, මේ අතිරේක ලේකම් වරු යටතේ නිලදාරීන් සිටිනවා, බොහෝවිට මේ පත්වන ප්‍රධාන ලේකම් වරයාට වඩා අඩු හැකියාවක් ඇති අය තමයි අතිරේක ලේකම් වරු වෙන්නේ මේ අතිරේක ලේකම් වරු බොහෝවිට විශාල සුදුසුකම් ඇති නිලදාරීන් පත් කරගන්න කැමති නෑ නමුත් මොවුන් මෝඩයන් පත්කරගන්නෙත් නෑ මොකද වැඩේ හරියට නොකෙරුනොත් වැරදිකරුවන් වෙන්නේ මේ ලේකම් වරු නිසා, මෙනිසා යම් දැනුමක් ඇති මිනිසුන් ඉතා සුළු ප්‍රමාණයක් පත්කරගන්නවා, මේ අය ලේකම් ට හෝ ඇමතිට ඇති පක්ෂපාති බව මත ඔවුන්ගේ අනාගතය පවතිනවා, මේ දක්ෂ නිලදාරීන් අතලොස්සට විශාල වගකීම් ප්‍රමාණයක් පැවරෙනවා.

    මෙනිසා මේ නිලදාරීන් යටතේ සිටින නිලදාරින්ට නිසි ලෙස වැඩ බෙදීමක් වෙන්නේ නෑ මෙනිසා සිදුවෙන දේ තමයි මම අර කලින් කිව්වා වගේ සේවකයන් වැඩ නොකර සිටීම.

    අනෙක් අතට බලය ලත් නිලදාරීන් තමයි තීන්දු තීරණ ගන්නේ මේ අය බොහෝවිට ඇමතිවරයා සමග විශාල සම්මන්ත්‍රණ වල සහබාගිවිම නිසා නිසි ලෙස ජනතාවට වැඩක් වෙන්නේ නෑ.

    අනෙක් වැදගත්ම කරුණ මම කියන්නම් රජයේ ආයතන සංග්‍රහයෙන් පිට යමින් තීරණ ගන්න බෑ ඔබ හිතන්න අද අන්තර්ජාල සේවා සමග වැඩකිරීමට සමාජජාලා පවත්වාගැනීමට රජයේ නීතිරීති මත සමාජජාලා පාලක වරයෙක් පත්කර ගන්න බෑ, වැඩිය ඕනේ නෑ 1980 දශකයේ සිටයි video editing තියෙන්නේ නමුත් Video Editor කියල තනතුරක් නෑ, වැඩිය ඕනේ නෑ ඔබ දන්නවද Network administrator (ජාල පරිපාලක ) කියල පුද්ගලික අංශයේ තනතුරක් තියනවා නමුත් රජයේ තවම එහෙම තනතුරක් නෑ.

    ඉතින් වෙන්නේ මේ තනතුරු වලට උපාදියක් ලබපු කෙනෙක් පත්වෙනවා විවිද තනතුරු නාම සහිතව නමුත් පත්වෙන්නේ සුදුසුකම් ඇති අය නෙමෙයි.

    මෙහිදී මේ නිලදාරීන් වංචනික සිතින් වැඩකරනවා නෙමෙයි පැරා ඔවුන් ට තම බලය ඉක්මවා මේ තීරණ ගන්න බෑ. මෙහිදී රජයේ ආයතන සංග්‍රහය යාවත්කාලින කිරීම ඉතාම වැදගත් නමුත් මෙය කිසිකලක ආයතනය තුලින් වෙන්නේ නෑ, ඔබත් අපිත් තමයි මේවයේ කතිකාව පටන්ගන්න ඕනේ, තවම මේ bottleneck වලට පිළිතුරු සොයන්නේ නැතුව ද්වේශයෙන් රජයේ සේක්වකයන්ට බැනල වැඩක් නෑ.

    අවන්කවම මම රජයේ සේවයේ මේ තනතුරු වල සිටියානම් අවන්කවම මම කරන්නෙත් ඕක තමයි, අපි අනෙකා මුහුණ දෙන ප්‍රශ්නය බලන්න සුදානම් නැති තාක් අපට විසදුම් සොයන්න බෑ.

    ඉදිරියේදී බොහෝ දේ පරිගණක ගත වීමත් සමග මේ අකාර්යක්ෂම තාවයන් අඩුකරගන්න පුළුවන් වෙයි.

    අපි හැකි උපරිම ලෙස මේ දුර්වලතා ඇතිවෙන්නේ ඇයි ඒවා නැතිකරගැනීමට පීඩනය යොදන්න ඕනේ කාටද කියල තේරුම් ගන්න ඕනේ.

    ReplyDelete
  2. සිතුවිලි සටහන් බ්ලොග් කියවනය http://sithuwilisatahan.com/

    ReplyDelete
  3. අදාල පරිදි වැඩි වෙන සේවා කාලය සඳහා වැටුප් වැඩි කිරීමෙන් නිවාඩු අඩු කිරීමට සේවයකයින් සහ වෘත්තීය සමිති කැමති කරවා ගත හැකි වේවි. උදාහරණයක් ලෙස වෙසක් පෝය හැර අනිත් සතියේ දිනවලට යෙදෙන පෝය නිවාඩු දහයක් අඩු කරනවා නම් පඩිය 4% කින් පමණ (10/260 %) වැඩි කළ යුතුයි.
    හැබැයි ඒ සමගම රජයේ සේවක සංඛ්‍යාව 4% කින් අඩු කළ යුතු වෙනවා.

    ReplyDelete
  4. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සේවකයෙකු වන මට ලැබෙන රජයේ නිවාඩු ගැන විස්තර දැක්වෙන සටහනක් මෙන්න:
    http://rasikalogy.blogspot.com.au/2015/04/my-great-loss-in-2015.html

    ReplyDelete
  5. අප රට 1972 ව්‍යවස්ථාවෙන් පසු රාජ්‍ය සේවයේ ඉහල බලය ඇත්තේ දේශපාලකයන් (ඈමති, ලේකම්, සභාපති) වෙත යි. ඊට කලින් ස්ථිර ලේකම් ට ඇමති ටත් වඩා පාලන බලය තිබු ණා යයි සිතමි. ඹවුන් සුරක්ෂිත කරන රාජ්‍ය සේවා කොමිසම බලවත් වුනා. දැන් තත්ත්වය අනුව දේශපාලකයන්ට අවශ්‍ය තම (කෙටි) පාලන කාලය තුළ හැකිතාක් තම ඡන්ද පදනම වැඩිකර ගැනීම හා රාජ්‍ය සේවයෙන් ලබාගත හැකි අනෙකුත්වාසි ලබා ගැනීම පමණ යි. නිලධාරි ඒ සඳහා දේශපාලකයින් විසින් හසුරුවන උපකරණ පමණයි. ඉහලින් බල කිරීමක් නැති විට නිලධාරිත් පුලු පුලුවන් වාසි අරගෙන සේවය පැහැර හැරීම තමා සිදුවන්නේ. වෙනත් රටවල මේ බල ප්‍රශ්නය විසදී ඇත්තේ කෙසේ දැයි නො දනිමි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.