2018-02-20

ප්‍රචණ්ඩත්වය කියන්නෙ මොකක් ද?

අපි නිතර ප්‍රචණ්ඩත්වය ගැන කතා කරනවා. ඒ වුණාට මේක අර්ථකථනය කරන්නේ කොහොම ද කියන එක බොහෝ දෙනෙකුට තේරෙන්නෙ නැහැ. ඒ නිසා මහ ලොකුවට ප්‍රචණ්ඩත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම් ආදිය ගැන පෙනී සිටින ගමන් ම ඔවුන් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙනවා.

සමාජවාදය ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප නො කරන අතර එය ඉතිහාසය පුරා ම ප්‍රචණ්ඩත්වය පුළුල් ලෙස භාවිතා කර තිබෙනවා. එහි පරස්පරය වන්නේ එසේ කරන ගමන් ම සමාජවාදීන් තමන්ට එරෙහි ප්‍රති ප්‍රචණ්ඩත්වයන්වලදී නාහෙන් අඬන්නේ මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය වැනි කාරණාවලට මුවා වෙලායි.

ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථකථනය කරන ආකාරයට, ප‍්‍රචණ්ඩත්වය යනු ශාරීරික බලය හෝ බලපෑම හෝ හිතා මතා පාවිච්චි කිරීම.

එයට සැබැවින් ම බලය පාවිච්චි කිරීම හෝ එසේ පාවිච්චි කිරීමට තර්ජනය කිරීම ද අයත් වෙනවා.

එය එක් පුද්ගලයකුට එරෙහිව මෙන් ම කණ්ඩායමකට හෝ සමූහයකට හෝ එරෙහිවත් කරන්නක් විය හැකියි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස තුවාල, මරණ, මානසික හානි, සංවර්ධනයට බාධා වීම් හෝ ආර්ථික පීඩා කිරීම් හෝ සිදු විය හැකියි.

ප‍්‍රචණ්ඩත්වය නිසා මරණ සිදු වූ විට, සමීපස්ථ හා විස්තෘත පවුල්වල සාමාජිකයන්ටත්, ප‍්‍රජාවටත් මිනිය නො හැකි තරම් බලපෑමක් සිදු වෙනවා. මෙවැනි ඛෙදවාචක නිසා බොහෝ විට ඔවුන්ගේ ජීවිත ආපසු හැරවිය නො හැකි ලෙස වෙනස් වෙනවා.

(අද කරමින් සිටි පර්යේෂණ පත්‍රිකාවක පරිවර්තනයකින් අහුලා ගත් විස්තර ටිකක් ඔබගේ දැන ගැනීම සඳහා)

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-16

යහපාලනය වෙනුවෙන් දැන් ඉතින් කළ යුත්තේ කුමක් ද?

ලංකාවේ දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මානය වෙමින් තිබේ. 2015 ජනවාරි 8 විප්ලවයට දායක වූ පුරවැසි හා සිවිල් සමාජ බලවේගය මෙම තත්වයට ප්‍රතිචාර දක්වන්නේ කෙසේ ද යන්න උභතෝකෝටිකයක් වී තිබේ.

මෙම අර්බුදය නිර්මානය කිරීම පිළිබඳ වැඩි වගකීමක් පැවරෙන්නේ එහි නායකයන් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ හා එක්සත් ජාතික පක්ෂයටයි.

මොවුන්ගේ මෝඩ උද්ධච්ඡකම හේතුවෙන් ඔවුන් අතින් වගකීම් සහගත දේශපාලනයක් සිදු වූයේ නැත. තමන් සමග සිටිය යුතු ජන බලවේග අමතක කර දැමූ ඔවුහු අලුත ලැබුණු තත්වයන්ගෙන් උදම්ව ඉතා අහංකාර ලෙස හැසිරුණ හ. එම මනෝභාවය තුළ සිය බලවේගය වේගයෙන් ඔවුන් වෙතින් ගිලිහෙමින් සිටින බව හෝ ඔවුන්ට වැටහුණේ නැත.

ජනයා බලමුළු ගැන්වීම වෙනුවට මාධ්‍ය, ප්‍රචාරණය ආදිය භාවිතා කරමින් ජන විඥානය තමන්ට උවමනා පරිදි හසුරුවා ගත හැකි යයි ඔවුන් විශ්වාස කළ බව පෙනේ.

කෙසේ වෙතත්, මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා නියෝජනය කරන පාර්ශ්ව අතර ගැඹුරු බෙදීමක් ඇති වී තිබේ. එය දේශපාලන අර්බුදයක් දක්වා දිග්ගැසී ඇති අතර යහපාලනය අපේක්ෂා කළ පිරිස්වල බලාපොරොත්තු සම්පූර්ණයෙන් ම සුන් වී රට අරාජිකත්වයකට ද ඒකාධිපතිවාදයක මුවවිට ද තල්ලු වන තත්වයක් නිර්මානය වී තිබේ.

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් නින්දිත පරාජයක් අත්පත් කර ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පක්ෂය බලලෝභී ලෙස මේ මොහොතේ පාර්ලිමේන්තුවේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක් කරමින් සිටියි.

ආණ්ඩු පක්ෂයේ පාර්ශ්ව අතර ගැටුම් ඇති කර රට අරාජිකත්වයක් කරා තල්ලු කිරීමේ රාජපක්ෂවාදීන්ගේ උපායමාර්ගයට ජනාධිපති මෛත්‍රීපාල හසු වී ඇති බව පෙනේ. යහපාලන ආණ්ඩුවේ සමගිය බිඳ දැමීම පිණිස ඔහු පසුගිය සමයේ ක්‍රියාත්මක වූ ආකාරය අතිශය මතභේදාත්මක ය.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ හා පුරවැසි බලවේග කටයුතු කළ යුතු ආකාරය විමසා බැලිය යුතු ය.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල මත පදනම් වී අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු බවට කරගෙන යන බල කිරීම ඉතා පැහැදිලිව ම පටු පෞද්ගලික අරමුණු සහිත එකක් බව පෙනේ. ඒ පසුපස මහරාජා ආයතනයේ ව්‍යාපාරික අරමුණු තිබෙන අතර එමගින් විශාල පිරිසක් නටවනු ලබන්නේ මාධ්‍ය ආයතනයක සීමාවන් උල්ලංඝනය කරමිනි.

අගමැතිවරයා ඉල්ලා අස් විය යුතු ද නැද්ද යන කාරණය මැතිවරණ ප්‍රතිඵලයට අදාළ එකක් නො වේ. එය එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තරයෙන් මතු විය යුතු උද්ඝෝෂණයක් මිස මාධ්‍ය ආයතන හා බාහිර සංවිධාන, පක්ෂ ආදියෙන් මතු විය යුතු එකක් නොවේ. එහි අරමුණ වන්නේ බලතුලනය බිඳ දමා, එජාපය දුර්වල කර, තමන්ට හිතවත් පාර්ශ්වයන් බලවත් කරගෙන පටු පරමාර්ථ ඉටු කර ගැනීම විය හැකි ය. එයට ඉඩ නො දිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ යනු ප්‍රබලතා මෙන් ම දුබලතා ද ඇති නායකයෙකි. කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුවේත්, එජාපයේත් නායකත්ව මණ්ඩලයේ සිටින පිරිස් අතර ඉදිරියෙන් සිටින්නේ ඔහු ය. ඔහුට සම විය හැකි දෙවෙනියකු නැති අතර, දෙවෙනියන් විය හැකි අය මාධ්‍ය ආයතනයක ප්‍රධානියකු විසින් නටවන තත්වයක් තිබේ නම්, එවැන්නන් කිසි සේත් ම නායකත්වයට සුදුසු නැත.

මෙම සංදර්භය තුළ සිවිල් සමාජ සහ පුරවැසි සංවිධාන ඉතා පැහැදිලි තෝරා ගැනීමක් කළ යුතු ය. එනම්, රටේ දෙවෙනි විශාලතම ඡන්ද පදනම ඇති මෙන් ම වත්මන් ආණ්ඩුවේ බලවත් ම පක්ෂය වන එජාප ආරක්ෂා කළ යුතු ය. එසේ ම, එහි නායකත්ව අර්බුදය විසඳා ගැනීමට පක්ෂයට ශක්තිය දිය යුතු ය. ඒ වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ සමග ඒකරාශී විය යුතු ය.

සිවිල් සමාජ හා පුරවැසි සංවිධාන තව දුරටත් පසුබිමින් සිට බලපෑම් කරන කණ්ඩායම්වල තත්වයේ සිට මෙම අර්බුදය ජය ගත නො හැකි ය. ඉතා පැහැදිලි තෝරා ගැනීම් කරමින් ඔවුන් දේශපාලනයට පිවිසිය යුතු ය. තත්වයන් වෙනස් කිරීම සඳහා බලවත් ලෙස මැදිහත් විය යුතු ය. නිදසුනක් ලෙස අඩු වශයෙන් කොළඹ වැනි කේන්ද්‍රීය ස්ථානවල හෝ සිවිල් සමාජය සිය ජන පදනම් දේශපාලනය තුළ ස්ථාවර කර ගත යුතු ය. ඒ සඳහා ඉදිරි පළාත් සභා මැතිවරණය වැනි අවස්ථා භාවිතා කළ යුතු ය. කෙළින් ම කියනවා නම්, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණ සමග සම්මුතියකට යා යුතු ය. ජනප්‍රිය පුරවැසි නායකයන් කිහිපදෙනෙකු හෝ දේශපාලනය තුළ ස්ථාවර වීම මෙම අවස්ථාවේ වැදගත් ය.

මේ අතර, ආණ්ඩු වෙනසක් සිදු වුවහොත් මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත අර්බුදයක් ඇති විය හැකි බවට ලකුණු දැනටමත් පහළ වී තිබේ. යහපාලන අරමුණු වෙනුවෙන් කැප වුණු එක් මාධ්‍යයක් හෝ ආණ්ඩු පෙරළියකට පසු ඉතිරි නො වන බව ද අවබෝධ කර ගත යුතු ය. මේ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. අනෙක් පැත්තෙන්, එජාප පළාත් පාලන මන්ත්‍රීන් හා විශේෂයෙන් ම ඒ අතරින් වැඩි පිරිස වන මන්ත්‍රිනියන් සතු විභවයන් සමාජ වෙනස්කම් ඇති කිරීම සඳහා යොදා ගැනීමට උපකාර කිරීමේ විශේෂ වගකීමක් ද යහපාලන ජන බලවේගයට තිබේ. 

ඉදිරි කාලයේදී රට නැවතත් අඳුරු යුගයකට තල්ලු විය හැකි ස්වභාවයක් දකින්නට ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, ජාතික සමානාත්මතාව, කාන්තා අයිතිවාසිකම් වැනි කාරණා දැඩි අභියෝගයකට ලක් විය හැකි අතර දීර්ඝ කාලීන අරගලයකට පුරවැසි බලවේග සූදානම් විය යුතු ය. පළා යාමට ඇති වන පරාජිත නැඹුරුව වෙනුවට එඩිතරව සටන් කිරීමට අවශ්‍ය ශක්තිය ගොනු කර ගත යුතු ය. ඒ වෙනුවෙන් පැරණි වැඩ ශෛලීන් හා යල් පැන ගිය ආකල්ප අතහැර දැමීමේ එඩිතරකම අවශ්‍ය ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-14

එජාපට කළ හැකි දේ

පවත්නා දේශපාලන සංදර්භය තුළ දේශපාලන බලවේග ඇත්තේ දෙකක් පමණි. එකක් පොහොට්ටුව ය . අනෙක අලියා ය. වෙනත් වචනවලින් කිව්වොත් පොදු ජන පෙරමුණ හා එජාප ය. අතරමැද ඇතැයි කියන සියල්ල බොරු ය. එහෙයින් සියලු දෙනා දෙකෙන් එකක් තෝරා ගත යුතු ය. අතරමැදි අය නැත. ඉන්නේ එකී බලවේග දෙකෙන් එකකට පාවිච්චි වෙන අය පමණි.

අපි මෙම අභියෝගය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, මානව හිමිකම්, සමානාත්මතාව හා සංවර්ධනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය තෝරා ගන්නෙමු. එහි සෙම නැත. සෙවල නැත. පැරදුණත් කමක් නැත.

එජාප මේ සිදු වූ දෙයින් පාඩමක් ඉගෙන ගන්නවා ද නැද්ද යන්න අපට දකින්නට ලැබෙන්නේ ඉදිරි ක්‍රියාකාරකම් සමග ය. තවම නම් මැතිවරණය ගැන ස්වයං වින්දන විශ්ලේෂණ සපයනවාට වඩා වෙනත් දෙයක් සිදු වී නැත. ඇත්තෙන් ම එජාපට කුමක් කළ හැකි ද?

කුමක් කරන්නට ගියත් කකුලේ පැටලෙන ෂොපිං බෑග් එකක් ද තිබේ. ඒ අර එලොවටත්, මෙලොවටත් නැති මෛත්‍රීපාල සිරිසේන ය. මොනවා වුණත් ඒ හාදයාවත් කළමනාකරණය කර ගත යුතු ය. හැබැයි ලෙහෙසි නැත.

මෛත්‍රීපාල සිරිසේන යනු හරියට පාලනයෙන් ගිලිහුණු අබලන් චන්ද්‍රිකාවක් වැනි ය. යළි පාලනයට ගැනීමට උත්සාහ කළ යුතු ය. එහෙත්, පාලනය කරනවා ය කියන්නේ වෙන කිසිවක් නොව අනතුරක් සිදු නො වෙන පරිදි ඈත ගැඹුරු මුහුදකට හෝ කාන්තාරයකට කඩා වැටෙන්නට සලස්වන එකට වන්නටත් පුළුවන.

කෙසේ වෙතත්, එජාපට මේ මොහොතේ පහත සඳහන් දේ කළ හැකි යයි අපි සිතමු.

හොරු ඇල්ලීම මෛත්‍රීපාලට ම භාර දිය හැකි ය. නීතිය ක්‍රියාත්මක කිරීම කඩිනම් කිරීමට පියවර ගන්නට ඔහුට උදව් කළ යුතු ය. එහෙත්, නීතිමය පටිපාටියෙන් බැහැරව කිසිවක් නො කළ යුතු ය. මහජන දේපල සොරුන්ට එරෙහි නඩුවලදී ශක්තිමත් ලෙස පෙනී සිටිය යුතු ය. විනිසුරුවරුන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ යුතු ය.

අධිකරණ අමාත්‍යාංශය මැනැවින් පාලනය කළ යුතු ය. වංගු ගහන විනිසුරුවරුන් හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් අනුකම්පා විරහිතව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු ය.

දෙමළ ජාතික සන්ධානයට උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා පූර්ණ බලතල සහිත අමාත්‍යාංශ ලබා දී ඔවුන් ආණ්ඩුවට ගත යුතු ය.

මහින්ද රාජපක්ෂට විපක්ෂ නායකකම දිය යුතු ය. ඔහු පාර්ලිමේන්තුවට කැඳවා ගත යුතු ය. නටන නැටුම් එතන නටන්නට සැලැස්විය යුතු ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය පුළුල් මහජන සාකච්ඡාවකට බඳුන් කළ යුතු ය. එයින් කට්ටි පනින්නට කිසිවෙකුට ඉඩ නො දිය යුතු ය.

එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම සඳහා අනවශ්‍ය පරිදි කඩිනම් නො විය යුතු ය. එය 2019 අවසන් කාර්තුව දක්වා කල් දැමිය යුතු ය.

රජයේ සමස්ත අවධානය ම වේගවත් සංවර්ධනයක් වෙනුවෙන් යොමු කළ යුතු ය. විදේශ ආයෝජනවලට පහසුකම් සලස්වා දිය යුතු ය. දේශීය ආයෝජකයන් තවත් දිරි ගැන්විය යුතු ය. විදේශගත ලාංකිකයන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්නේ නම් ඔවුන්ට බදු සහන ලබා දිය යුතු ය.

අගමැති හා සෙසු ඇමතිවරුන් ෆන් ගනිමින් රට සවාරි ගහන එක දැන් නැවැත්විය යුතු ය. ඔවුන් තම ආසනවලට යා යුතු ය. එහි කරන සංවිධාන හා සංවර්ධන වැඩ මොනිටර් කළ යුතු ය. සංවිධාන කාර්යක්ෂමතාව නංවා ගැනීමට ඉලක්ක දිය යුතු ය. පක්ෂ බල මණ්ඩල පිහිටුවිය යුතු ය. ඒවා නිතිපතා රැස් කළ යුතු ය.

පොහොර සහනාධාර, දිළිඳු සහනාධාර ආදිය කප්පාදු නො කළ යුතු ය. ඒවා ලබා දෙන ආකාරය විධිමත් කළ යුතු ය.

ග්‍රාමීය දිළිඳුකම නැති කිරීමට විශේෂ පියවර ගත යුතු ය. ග්‍රාමීය දිළිඳුකමට වැඩිපුර හේතු වන අලසකම, බේබදුකම, හොර වෙදුන්, කට්ටඩියන් හා ගිනි පොළීකාරයන් වැනි සාධක මර්දනය කළ යුතු ය. ග්‍රාමීය සුළු ව්‍යවසායන්, ස්වයං රැකියා ආදිය වෙනුවෙන් සහන ණය ලබා දිය යුතු ය.

ගැමි ගොවි ජනයාට කෘෂි ඵලදායිතාව නංවා ගැනීමට උපකාර කිරීමට රාජ්‍ය නිලධාරීන් යොමු කළ යුතු ය. ධීවර ජනයා කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කළ යුතු ය.

රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව නැංවීමට අවශ්‍ය පියවර ගත යුතු ය. විශේෂයෙන් ම සංවර්ධන නිලධාරීන් ග්‍රාමීය සංවර්ධනය සඳහා විධිමත් ලෙස සේවයේ යෙදවිය යුතු ය. හොර බොරු කරන රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව දැඩි විනය ක්‍රියාමාර්ග ගත යුතු ය. වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ඇගයිය යුතු අතර ඔවුන්ගේ වරප්‍රසාද කිසිවක් කපා නො දැමිය යුතු ය. 

රජයේ සේවකයන්ගේ අසාධාරණ වර්ජනවලට ඉඩ නො දිය යුතු ය. අසාධාරණ වර්ජනවලට එරෙහිව නීති මගින් තදින් ක්‍රියා කළ යුතු ය. සයිටම් එක වසා දැමිය යුතු ය. පෞද්ගලික අධ්‍යාපනය දැන් සිදු වන පරිදි සිදු වන්නට ඉඩ හැරිය යුතු ය. විදේශ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය දේශීයව මෙහෙයවන ආයතන දිරි ගැන්විය යුතු ය. අධ්‍යාපනය සඳහා විදේශගත වන සිසුන් වෙනුවෙන් මව්පියන්ට සහන ණය ලබා දිය යුතු ය.

සිවිල් සංවිධාන නායකයන් ඇතුළු ප්‍රගතිශීලීන්ට එජාප පළාත් සභා අපේක්ෂකත්වය ලබා දෙමින් ඔවුන්ට ඍජු දේශපාලනයට කැඳවා ගත යුතු ය. එක්සත් ජාතික පක්ෂය පොදු මහජන පක්ෂයක් වන අන්දමින් පුළුල් කළ යුතු ය. පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීම සඳහා පියවර ගත යුතු ය. 

පළාත් පාලන මන්ත්‍රීවරුන් වෙනුවෙන් කඩිනම් පුහුණු වැඩපිළිවෙලක් දියත් කළ යුතු ය. ඔවුන් සංවර්ධන කටයුතු සඳහා නිසි පරිදි යොමු කරමින් ඔවුන්ගේ නායකත්ව පෞරුෂයන් ගොඩනැගිය යුතු ය.

පළාත් පාලන ආයතනවලට වැඩි කාන්තාවන් ප්‍රමාණයක් නම් කරන්නට සිදු වන්නේ එජාපටයි. ඒ සම්බන්ධයෙන් මතභේද ඇති කර නො ගෙන, පත් වන කාන්තාවන් පක්ෂයට බලයක් කර ගත යුතු ය. ඔවුන්ට අමතර පුහුණුවක් ද ලබා දෙමින්, කාන්තාවන්ට සමීපව වැඩ කිරීම සඳහා ඔවුන්ට මග පෙන්වීම හා අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු ය. කාන්තාවන් යනු මේ රටේ ඡන්දදායකයන්ගෙන් අඩකට වැඩි පිරිසක් බැවින් පක්ෂයට ලැබෙන කාන්තා නියෝජනය ඔවුන්ගේ ඡන්ද ආමන්ත්‍රණය කිරීම සඳහා ආයෝජනය කළ යුතු ය.

මේ අතරවාරයේ හමුදා විනය ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතු ය. කිසිදු විනය විරෝධී ක්‍රියාවකට ඉඩ නො දිය යුතු ය.

නිසි මාධ්‍ය මෙහෙයවීමක් සිදු කළ යුතු ය. රාජ්‍ය මාධ්‍ය ජනප්‍රිය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු ය. ඒවායේ මාධ්‍යකරුවන් රජයට (ආණ්ඩුවට නොව) පක්ෂව කටයුතු කරන පිරිසක් බවට පත් කළ යුතු ය. එහෙම බැරි අයට දෙරණට, හිරුට හෝ සිරසට පාර පෙන්විය යුතු ය. එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය අංශය වෙන ම ශක්තිමත් කළ යුතු ය. එමගින් පොහොට්ටු අභියෝගයට එඩිතරව හා විධිමත්ව මුහුණ දිය යුතු ය.

දැන් ඉන්ටර්වල් එක ඉවර බව සියලු දෙනාට නිතිපතා බෙල් එකක් ගසා මතක් කර දිය යුතු ය. ඒ නිසා සෙල්ලං කිරීම නවත්වා වැඩ කළ යුතු බව අවධාරණය කළ යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-13

මෙතනින් එහාට මට කරන්නට පුළුවන් දේ

සංගීතයි අනෝමයි මායි 
රනිල් ඡන්ද කරන්නට හිතුවේ සල්ලිවලිනි. දිලිත් ජයවීරගේ කොම්පැනියට රු. කෝටි 15ක් දී දැන්වීම් හදා ගත්තේ ය. ඒවා ලංකාවේ ජනතාවට කිසිදු ආමන්ත්‍රණයක් කරන්නට සමත් වී නැති බව ප්‍රතිඵලයෙන් පැහැදිලි ය. ඒ ඇඩ්වටයිසිං කොම්පැනියෙන් ප්‍රචාරය කරවා ගන්නා කොම්පැනිවලට අබ සරණ ය.

අපේක්ෂකයන්ට එකාට ලක්ෂය බැගින් බෙදා දුන්නේ ය. හුඟක් එවුන් මේ ලක්ෂයෙන් ද ගානක් ගහ ගත්ත හ. ඇත්තට ම මෙම ක්‍රමය යටතේ උන්ට ලක්ෂයකින් කරන්නට දෙයක් තිබුණේ ද නැත. ගම්වල පෝස්ටර් ටිකක් ගහන්නට, හෑන්ඩ්බිල් ටිකක් බෙදන්නට හා රැස්වීමක් දෙකක් තියන්නට එය ඕනෑවටත් වැඩි ය.

රනිල් හා ඔහුගේ ගෝලබාලයන් හිතාගෙන හිටියේ දැන් හරි ය කියා ය. එහෙත්, ඡන්ද කෙරුවාව එහෙම එකක් නො වන බව ජනතාව රනිල්ට කියා දුන්නේ ය.

තනතුරු දී, පඩි දී පත් කර ගත් ඇතැමෙකු ගැන ද කියන්නට තියෙන්නේ එය ම ය. රනිල් සල්ලිවලින් ඡන්ද කරද්දී පත්වීම් ගත් ඇතැමෙක් පඩි අරන්, රට සවාරි යමින්, කමින් බොමින් ෂපාන් එකේ සිටිය හ. 

මේ අන්දමින් ප්‍රංශ මේස චාරිත්‍ර සහිතව භෝජන සංග්‍රහයකට වාඩි වූ මේසයේ අනෙක් පැත්තේ හිටියේ ඌරෙකු බව යූඇන්පීකාරයන්ට අමතක විය.

දැන් ඉතින් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නො හැකි ය. 

මම එජාප සාමාජිකයකු නො වේ. එහි සාමාජිකත්වය ගෙන එහි තනතුරු ගන්නට, ඡන්දවලට ඉදිරිපත් වන්නට මට උවමනාවක් නැත. එහෙත්, අපි 2015 ජනවාරි 8 අරමුණු වෙනුවෙන් විශ්වාසය තැබුවේ මෛත්‍රීපාල මත නො ව එජාප මත ය. අප එජාප සලකන්නේ අපගේ දේශපාලන අරමුණ සමග සමපාත වූ ව්‍යාපාරයක් ලෙස ය. රටේ තිබෙන දේශපාලන පක්ෂ අතරින් සාපේක්ෂව ඉදිරිගාමී ලෙස සමාජ සංවර්ධනයට දායක වීමේ වැඩි හැකියාවක් මෙම මොහොතේ තිබෙන්නේ එජාපට ය. එහෙත් අපි ඒවාට පටහැණි දූෂණ, අක්‍රමිකතා ආදිය දැඩි ලෙස විවේචනය කිරීමෙන් වළකින්නට එය හේතුවක් නො වේ. 

2015 ජනවාරි 8ට පෙරත්, පසුත්, අප සියල්ල කළේ ස්වේච්ඡාවෙනි. අතින් වියදම් කරගෙන ය. එහෙත්, අපේ සතුරන් අපට පහර දුන්නේ අපි සිරිකොතේ මුදලට ලියනවා ය, වැඩ කරනවා ය කියා ය. ඇත්ත එය නො වේ.  

විශේෂයෙන් සමාජ මාධ්‍යවල මතවාදී අරගල කරද්දී ආණ්ඩුවේ දේශපාලකයන් හා ආණ්ඩුවෙන් තනතුරු ගත් මහත්වරුන් වැඩි දෙනෙකු අපට එක වචනයකින් හෝ උපකාර නො කළ හ. 

මේ ආණ්ඩුවෙන් තනතුරු ගත් අය සිතා සිටියේ ඔවුන් අපට ආණ්ඩුවට උදව් කරන්නට චාන්ස් එකක් දී තිබෙකවා ය කියා ය. මේ සියලු කෙණහිලි විඳ දරාගෙන , විශේෂයෙන් ම වාමාංශිකයන්ගෙන් කුණු බැනුම් අසමින් අප සමාජ මාධ්‍ය තුළ දිවා රෑ වෙහෙසුණේ 2015 ජනවාරි 8 සමාජ වෙනස ඉදිරියට ගෙන යාමට දැවැන්ත මතවාදී අරගලයක් අවශ්‍ය නිසා ය. එහෙත් අපට කළ හැකිව තිබුණු දේ කරන්නට අපට අවස්ථාවක් නො ලැබිණි. ආර්ථික සීමා නිසා අප කළ දේ හා අපට කරන්නට පුළුවන්කම තිබුණු දේ අතර විසල් වෙනසක් තිබිණි.

රට වෙනුවෙන් හරි හමන් වැඩක් කරන්නට අවස්ථාවක් නො ලැබීම ගැන මම අදත් දුක් වෙමි. එහෙත්, එක එකා පසුපස බඩ ගෑමේ අවශ්‍යතාවක් ද මට නම් නො තිබිණි. දැන් නම් ඉතින් පස්සෙන් යන්නට තරම් දෙයකුත් මේ ආණ්ඩුවට නැත.

මම තවමත් ප්‍රජාතන්ත්‍රවාදයේ, නිදහසේ, සාධාරණත්වයේ නාමයෙන් 2015 ජනවාරි 8 අප විසින් ඉදිරියට ගෙන ආ අරමුණු රැක ගත යුතු ය කියන තැන ද මේ අත් වූ පරාජය ආපසු හැරවීමට වැඩ කළ යුතු බව ද විශ්වාස කරමි. මෙම ඡන්ද ප්‍ර‍තිඵලය එක්තරා දුරකට ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය ප්‍ර‍තික්ෂේප කිරීමක් ලෙස ද සැලකිය හැකි බැවින් මෙම කාරණා අප ගැඹුරින් සලකා බැලිය යුතු ය. එහෙත්, ජාතික සමානාත්මතාව, ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, මානව හිමිකම්, නිදහස වැනි කාරණාවලදී කිසි සේත් ම යටත් නො වී සටන් කළ යුතු ය. 

මා පසුපස එන්නැයි මම කවදාවත් කිසිවකුට කියා නැත. එහෙත්, බොහෝ අයට අප ලියූ දේ බලපෑ බව මම සිතමි. අප සැම වෙනුවෙන් මම මෙම තීරණය විවෘතව මෙහි සටහන් කරමි. 

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය, නිදහස, සමානාත්මතාව, සාධාරණත්වය වෙනුවෙන් පරාජය වෙමින් තිබෙන වත්මන් ආණ්ඩුව සමග පොදු අරමුණ වෙනුවෙන් ඉදිරියටත් වැඩ කරන්නට මා සූදානම් ය. එය හුදෙක් මාධ්‍යකරණයට පමණක් සීමා නො කරන්නටත්, ඒ වෙනුවෙන් දැනට ගත කරමින් සිටින සුවපහසු තත්වයන් අතහැර දමන්නටත් මා සූදානම් ය. අපට ඇතැම් විට වැඩ කරන්නට සිදු වන්නේ 2020 නොව 2025 වෙනුවෙන් විය හැකි ය. 

මෙය ලියන්නේ විවෘතව ය. මේක කියාගෙන කාගේවත් පස්සෙන් යන්නට මට බැරි ය. මට කරන්නට පුළුවන් දේ මම කීවෙමි. මම පුද්ගලයෙකු පමණි. සමාජය, සංවිධාන, දේශපාලන පක්ෂ ලෙස ඔබට අවශ්‍ය නම් මා ප්‍රයෝජනයට ගත හැකි ය. අරමුණු වෙනුවෙන් වැඩ කර පරාජය වීමේ ඉරණම භාර ගැනීමට මා සූදානම් ය. නැතිනම් මට ද මේ සියල්ල නවතා කවියක්, කතාවක් ලියාගෙන ඉන්නා තැනට යන්නට සිදු වනු ඇත.  

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-11

මෙහෙම වුණේ ඇයි? ඩූ යූ නෝ වයි?

වට කරගෙන ඉන්න එවුන් ටිකත් එක්ක ම යන්න කල හරි දොරේ! 
මෙම සටහන තබන විටත් පළාත් පාලන මැතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් වෙමින් තිබෙන මුත්, නො නිල ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

එම ජයග්‍රහණයේ සුවිශේෂ ලක්ෂණය වන්නේ සිංහල බෞද්ධ බහුතර ඡන්ද පදනම මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන එම දේශපාලන පක්ෂය විසින් හිමි කර ගැනීමයි. බලයේ සිටින පක්ෂ දෙක අතරින් එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු නො වූ පරාජයකට ඇද වැටී තිබෙන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්ත අසරණ අඩියකට වැටී තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලිව ම 2015 ජනවාරි 08 ජයග්‍රහණය ආපසු හරවන හා එහි ආයුෂ කෙටි කරන එකක් බව පැහැදිලි ය. වත්මන් ආණ්ඩුවට මේ අන්දමින් 2020 දක්වා ඉදිරියට යන්නට ලැබෙන්නේ නැත.

එක්සත් ජාතික පක්ෂයේ පරාජය ලංකාවේ සමාජ සංවර්ධනයෙහි ලා බරපතල ගැටලුකාරී තත්වයක් නිර්මානය කරන්නකි. ලංකාවේ සමාජ ආර්ථික දිශානතිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට යම් දැක්මක් තිබිණි. කාර්යක්ෂම රාජ්‍ය නියාමනයක් සහිතව, පෞද්ගලික අංශයේ හා විදේශ ආයෝජනවල මූලිකත්වයෙන් සිදු වන ආර්ථික සංවර්ධනයක්, නියාමනයක් සහිත විවෘත වෙළඳපොළක් හා වඩා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් පිළිබඳ ඔවුන්ට දැක්මක් තිබිණි. එහෙත් එය ද දූෂිත ය.

රාජපක්ෂ පවුල් පාලනයේ ආර්ථික උපායමාර්ගය ද ඊට වඩා ගොඩක් වෙනස් එකක් නො වේ. එහි තිබුණු මූලික ලක්ෂණය විනයක් නැතිකමයි. රාජපක්ෂ පවුලේ අයගේ හා ඔවුන්ගේ සහචරයන්ගේ කොල්ලකාරී, පටු අරමුණු එහිදී මූලික විය.

මෙම පාලනයන් දෙකෙහි මූලික වෙනස ඇත්තේ ආර්ථික උපායමාර්ගය හෝ දූෂණය සම්බන්ධයෙන් නො වේ. රාජපක්ෂ පාලනය වනාහි ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති නැඹුරුවක් සහිත එකකි. දේශපාලන විරුද්ධවාදීන් ඝාතනයේ සිට, කප්පම් ගැනීම සඳහා මිනිසුන් පැහැර ගෙන යාම, බරපතල අපරාධකරුවන් ගංගාවල ගිල්වා මැරීම වැනි බොහෝ අවනීතික තත්වයන් එසමයෙහි රජ කළේ ය. දේශපාලකයන්ගේ, හමුදා පොලිසිවල හා රජයේ නිලධාරීන්ගේ පීඩනයට නිරන්තරයෙන් ලක් වන්නට මහජනතාවට සිදු විය.

2015 ජනවාරි 8දා බලයට පත් වූ එජාප-ශ්‍රීලනිප හවුල් පාලනය විසින් මෙම තත්වය තීරණාත්මක ලෙස වෙනස් කරන ලදී. ගත වූ වසර තුන තුළ රටෙහි ප්‍රජාතාන්ත්‍රික ප්‍රතිසංස්කරණ රැසක් සිදු වූ අතර, වඩා නිදහස් වාතාවරණයක් රට තුළ ඇති විය. එකදු දේශපාලන විරුද්ධවාදියකු හෝ මරා නො දමන ලද මෙතරම් දිගු කාලයක් මෑත ලංකා ඉතිහාසයේ කිසිදු කලෙක තිබුණු බවක් අපි නො දනිමු.

නීතිය ක්‍රියාත්මක කරන ආයතනවල යම් ශක්තිමත් වීමක් සිදු වූ අතර වත්මන් රජයේ දූෂණවලට එරෙහිව පවා නීතිය ක්‍රියාත්මක වීම ආරම්භ වී තිබේ. එහෙත්, ඒවායේ අඩුපාඩු එමට ය.

මේ අතර, රටේ ඇති වූ සාපේක්ෂ නිදහස් වාතාවරණය වාමාංශික පක්ෂ, රජයේ සේවකයන්, වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන ආදිය විසින් අපහරණය කරන ලදී. මහජනතාව අපහසුතාවට පත් කරන වර්ජන, උද්ඝෝෂණ ආදිය පාලනය කිරීමේ කිසිදු උවමනාවක් ආණ්ඩුවට නො තිබිණි. මෙම තත්වයන් ඉතා සියුම් ලෙස රාජපක්ෂවාදීන් විසින් හසුරුවනු ලබන බව හෝ තේරුම් ගැනීමේ උවමනාවක් ඔවුන්ට නො තිබිණි.

කෙසේ වෙතත්, 2018 පෙබරවාරි 10 තීන්දුව ද 2015 ජනවාරි 08 තීන්දුව වැනි ම වූ එකකි. එය විසින් වත්මන් ආණ්ඩුවේ සදාචාරමය පැවැත්ම තීරණය කර තිබේ.

මෛත්‍රී-රනිල් හවුල් ආණ්ඩුවට එසේ වූයේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය. එතැනදී මෛත්‍රී යනු කෘත්‍රිමව නිර්මානය කරන ලද නායකයකු බැවින් ඔහුට හා ඔහුගේ පක්ෂයට අත් වූ ඉරණම බලාපොරොත්තු විය හැකි තත්වයකි. එහෙත් එජාපයට එසේ වූයේ ඇයි ද යන්න සාකච්ඡා කළ යුතු ය. 

එජාපයේ නායකත්වයේ සිට සංවිධායකවරුන් හා පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයන් දක්වා බොහෝ දෙනෙකු සිතාගෙන සිටියේ තමන් මෙම මැතිවරණය ජය ගනු ඇතැයි කියා ය. ඔවුන්ට තමන් ජයග්‍රහණය කරවූ බලවේගය අමතක විය. අලුත පහළ වූ සල්ලි මාධ්‍ය හා ප්‍රචාරක ආයතනවලට විසි කිරීමෙන් හා ප්‍රතිවාදීන් සමග හොර ඩීල් දැමීමෙන් ජය තහවුරු කර ගත හැකි යයි ඔවුහු විශ්වාස කළ හ. 

බිම් මට්ටමේ ඔවුන්ට සිටියේ දක්ෂ සංවිධායකයන් නො වේ. ඔවුන් දේශපාලනයේ ද අපරිණතයෝ ය. උදාහරණයක් ලෙස, මා ජීවත් වන මතුගම ආසනයේ සංවිධායක ධුරය හොබවන්නේ ගිනි පොළී ජාවාරමෙන් ධනවතකු වූ ජගත් පී. විතානයි. නිර්දය ලෙස ප්‍රදේශවාසීන් සූරා කෑමෙන් ම ධනතවතකු වූ, ගෞරවනීය නමක් නැති අයෙකුට සල්ලි විසි කිරීමෙන් (ඇත්තට ම ඔවුන් එසේ වියදම් කරන්නේ ද නැත) පමණක් කරන්නට පුළුවන් තරම මෙම මැතිවරණයෙන් ඔප්පු විය. ඔහුට අඩු ගණනේ ඔහුගේ ගමේ කොට්ඨාසයවත් දිනා ගැනීමට බැරි විය. මතුගම ආසනයේ එජාපය දිනා ගත් කොට්ඨාස දිනා ගත හැකි වූයේ සුළු ජාතික දෙමළ හා මුස්ලිම් ඡන්ද නිසා ය. මතුගම වැසියන්ගේ අවාසනාවේ ගැඹුර වන්නේ මෙතැනට බැල්ම දාගෙන සිටින අනෙකා පාලිත තෙවරප්පෙරුම වීමයි. 

රනිල් වික්‍රමසිංහගේ සිට පහළට එජාප නායකයන් පසුගිය සමයේ හැසිරුණේ උද්ධච්ඡ මෝඩයන් පිරිසක් ලෙසයි. ඔවුන් පසුපස ගොස් තනතුරු ලබා ගත් බැලයන් කිසිවෙකුට මෙය පෙන්වා දීමේ අවශ්‍යතාව ද නො තිබිණි. අලුත් ධනෝපායන මාර්ග, විදේශ සංචාර අවස්ථා ආදිය භුක්ති විඳිමින් ඔවුන් සිටියේ මාර සතුටිනි. හැබැයි දිය සැළියේ ලිපි ගිනි මොළවන තෙක් සතුටින් පීන පීනා සිටින කකුළුවන් සේ ය. 2015 ජනවාරි 8 හා ඉන් පසුව මහ මැතිවරණයේදී පවා ඔවුන්ට උපකාර කළ පුරවැසි බලවේගය ඔවුහු හිතාමතා ම බැහැර කළ හ. එසේ කරමින් ලෝක තක්කඩින් හයියෙන් හයියෙන් බදා ගත් හ.

මේ ගෙවන්නේ ඔය කාරණා සියල්ලේ වන්දියයි. එහෙත්, අවාසනාවන්ත තත්වය වන්නේ ඒ වන්දිය අවසාන වශයෙන් ගෙවන්නේ රටේ සමාජ වෙනසක් සැබැවින් අපේක්ෂා කළ ජනතාවක් වීමයි. 

ජනතාව නැවත ඉල්ලා සිටින්නේ ඒකාධිපතිවාදය, සමාජය බෙදා වෙන් කිරීම, දූෂණය, මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධය යයි මෙම ප්‍රතිඵලය සමග ඇතැම් විට රාජපක්ෂලා සිතනවා ඇත. එහෙත්, මෙම මැතිවරණ ප්‍රතිඵලය එසේ විග්‍රහ කර නො ගත යුතු ය. මේ සිදු වූයේ විරෝධයේ හා කලකිරීමක ප්‍රකාශනයයි. තවමත් වැරදි නිවැරදි කර ගන්නට කාලය නැත්තේ නැත. එහෙත්, ගිය නුවණ ආපසු අදින එක ලෙහෙසි නැත.

පුරවැසියන් ලෙස අප ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, සාමය, සංවර්ධනය හා සමාජ වෙනස සම්බන්ධයෙන් වූ අරගලය කිසි සේත් ම අත හැරිය යුතු නැත. මේ පරාජය අලුත් ජවයක අවශ්‍යතාවේ ප්‍රකාශනයක් ලෙස විග්‍රහ කර ගත යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-10

ඉන්චොන් ප‍්‍රකාශනය (සිංහල පරිවර්තනය)

(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි)

ලෝක අධ්‍යාපන සංසදය - 2015
ඉන්චොන් ප‍්‍රකාශනය
අධ්‍යාපනය 2030 - සියලූ දෙනා ඇතුළත් කර ගත් සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනය හා සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීම

පූර්විකාව
1. ඇමතිවරුන්, නියෝජිත පිරිස්වල නායකයන්, නියෝජිතායතන ප‍්‍රධානීන්, ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සංවිධාන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, ගුරු වෘත්තිකයන්, තරුණයන් හා පෞද්ගලික අංශය නියෝජනය කරන්නන් වන අපි 2015 මැයි මස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙන් කොරියානු ජනරජයේ ඉන්චොන්හිදී ලෝක අධ්‍යාපන සංසදය - 2015 වෙනුවෙන් රැුස් වුණෙමු. මෙම වැදගත් අවස්ථාව සඳහා සත්කාරකත්වය දැරූ කොරියානු රජය හා එහි සම කැඳවුම්කරුවන් වූ එක්සත් ජාතීන්ගේ ළමා අධ්‍යාපන අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය වෙත අපගේ ස්තුතිය පිරිනැමේ. 2030 අධ්‍යාපනය වෙනුවෙන් මෙම වැදගත් අවස්ථාව කැඳවීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයට අපගේ අවංක ඇගයීම පිරිනමමු.

2. 1990දී ජොම්ටියන්හිදී මුල පුරන ලද හා 2010දී ඩකාර්හිදී නැවත ප‍්‍රකාශ කරන ලද සැමට අධ්‍යාපනය සඳහා වූ ලෝක ව්‍යාපාරය මෙම ඓතිහාසික අවස්ථාවේදී අපි නැවත අනුමත කරන්නෙමු. එය මෑත දශකවලදී අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද වැදගත් ම කාර්යයකි. එමගින් අධ්‍යාපනයේ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කරන්නට උපකාර කර තිබේ. අධ්‍යාපනය සඳහා තිබෙන අයිතිය හා එය වෙනත් මානව හිමිකම් සමග සම්බන්ධ වන ආකාරය හුවා දක්වන විවිධ ජාත්‍යන්තර හා කලාපීය මානව හිමිකම් ගිවිසුම්වලින් ප‍්‍රකාශිත දැක්ම හා දේශපාලන අධිෂ්ඨානය ද අපි නැවත තහවුරු කරන්නෙමු. එම ප‍්‍රයත්නයන් අගය කරන ගමන් ම අපි අධ්‍යාපනය සැමට ලබා දීමේ අරමුණින් සෑහෙන දුරස්තර ය යන කාරණය කෙරෙහි ද බැ?රුම් අවධානය යොමු කරන්නෙමු.

3. පුළුල් අදහස් විමසීමකින් අනතුරුව සකස් කරන ලද, 2014 සැමට අධ්‍යාපනය සඳහා ගෝලීය සමුළුවේ දී සම්මත කරන ලද මස්කට් ගිවිසුම සිහිපත් කරන්නෙමු. එමගින් ධරණීය සංවර්ධන ඉලක්ක පිළිබඳ විවෘත වැඩ කණ්ඩායමේ යෝජිත අධ්‍යාපන ඉලක්ක සාර්ථකව දැනුම් දෙන ලදී. 2015න් පසු අධ්‍යාපනය පිළිබඳ කලාපීය අධ්‍යාපන සමුළුවල ප‍්‍රතිඵල ද අපි නැවත සිහිපත් කරන්නෙමු. 2015 සැමට අධ්‍යාපනය පිළිබඳ ගෝලීය නිරීක්ෂණ වාර්තාවේ ද සැමට අධ්‍යාපනය පිළිබඳ කලාපීය සංස්ලේෂණ වාර්තාවේ ද සොයාගැනීම් පිළිබඳවත් සඳහන් කරන්නෙමු. ගෝලීය අධ්‍යාපන පළමු මුලපිරුම මෙන් ම රජයන්, කලාපීය හා අන්තර් රාජ්‍ය සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අධ්‍යාපනය සඳහා දේශපාලන කැපවීම ස්ථාපිත කිරීම සඳහා කරන ලද වැදගත් දායකත්වය ද අපි අගය කරන්නෙමු.

4. සැමට අධ්‍යාපනය ලබා දීමේ අරමුණ වෙනුවෙන් 2000 වසරේ සිට සිදු වූ ප‍්‍රගතිය හා අධ්‍යාපනය හා සම්බන්ධ සහශ‍්‍රක සංවර්ධන ඉලක්ක සැලකිල්ලට ගනිමින් ද, උගත් පාඩම් සලකා බලමින් ද, ඉතිරි වී තිබෙන අභියෝග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, 2030 යෝජිත අධ්‍යාපන න්‍යාය පත‍්‍රය හා ක‍්‍රියාකාරිත්වය සඳහා වැඩ රාමුව මෙන් ම එය අත්පත් කර ගැනීම සඳහා අනාගත ප‍්‍රමුඛතා හා මූලෝපායන් ගැන සිතා බලමින් ද අපි මෙම ප‍්‍රකාශනය සිදු කරන්නෙමු.

2030 දෙසට අධ්‍යාපනය සඳහා නව දැක්මක්

5. අපගේ දැක්ම වන්නේ අධ්‍යාපනය හරහා ජීවිත පරිවර්තනය කිරීමේ, සංවර්ධනයේ සහ වෙනත් ධරණීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රධාන ධාවකය ලෙස අධ්‍යාපනයේ වැදගත් භූමිකාව හඳුනා ගැනීමයි. කිසිවකු අතහැර නො දමන, සාකල්‍ය, උන්නතිකාමී හා අභිලාෂමය නව ඒකීය අධ්‍යාපන න්‍යාය පත‍්‍රයක දැඩි අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙමු. යෝජිත සිව් වන ධරණීය සංවර්ධන ඉලක්කය වන කාටත් පිවිසිය හැකි සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් හා ජීවිත කාලය පුරා ම අධ්‍යාපනය ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප‍්‍රවර්ධනය කිරීම හා එහි අභිමතාර්ථ විසින් මෙම දැක්ම පූර්ණව ග‍්‍රහණය කරගෙන තිබේ. පරිවර්තනීය හා විශ්වීය වන එය විසින් සැමට අධ්‍යාපනය න්‍යාය පත‍්‍රය හා අධ්‍යාපනයට අදාළ ධරණීය සංවර්ධන ඉලක්ක සම්බන්ධ අවසන් නො කරන ලද කාර්යයන් වෙත අවධානය යොමු කරයි. එසේම, ගෝලීය හා ජාතික අධ්‍යාපන අභියෝග ආමන්ත‍්‍රණය කරයි. එය නිර්මානය වන්නේ මානව හිමිකම් හා ගරුත්වය, සමාජ යුක්තිය, සියලූ දෙනා ඇතුළත් කර ගැනීම, ආරක්ෂාව, සංස්කෘතික, භාෂාමය හා ජාතික විවිධත්වය, බෙදා හදා ගත් වගකීම් හා වගවීම් අනුදකින මානව හිමිකම් හා ගරුත්වය මත පදනම් වූ අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ මානුෂීය දැක්මක් මත ය. අධ්‍යාපනය පොදු යහපතක් බව ද, මූලික මානව හිමිකමක් බව ද, වෙනත් හිමිකම් සාධනය කර ගැනීම තහවුරු කර ගැනීමේ පදනමක් ලෙස ද අපි නැවත තහවුරු කරන්නෙමු. සාමය, ඉවසීම, මානව පරිපූර්ණත්වය හා ධරණීයසංවර්ධනය සඳහා එය අත්‍යවශ්‍ය ය. පූර්ණ රැුකියා නියුක්තිය හා දිළිඳුභාවය දුරලීම සඳහා අධ්‍යාපනය ප‍්‍රධාන යතුරක් බව අපි වටහා ගන්නෙමු. ජීවිතය පුරා (යාවජීව) ඉගෙනීමේ ප‍්‍රවේශයක් තුළ, පිවිසීම, සාධාරණත්වය හා ඇතුළත් කරගැනීම සහ අධ්‍යාපන ප‍්‍රතිඵලවල ගුණාත්මකභාවය වෙත අපි අපගේ ප‍්‍රයත්නයන් යොමු කරන්නෙමු.

6. පසුගිය වසර 15 තුළ අධ්‍යාපනය වෙත පිවිසීමේ පහසුව පුළුල් කිරීමේදී අප විසින් අත්පත් කර ගන්නා ලද කැපී පෙනෙන ජයග‍්‍රහණවලින් අභිපේ‍්‍රරණය වෙමින් අපි වසර 12ක නිදහස්, පොදු අරමුදලින් පවත්වාගෙන යන, සමාන ගුණයකින් යුත් ප‍්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයක් සහතික කරන්නෙමු. එහි අඩු වශයෙන් වසර නවයක කාලයක් අනිවාර්ය වන අතර අදාළ ඉගෙනුම් ප‍්‍රතිඵලවලට යොමු වේ. සියලූ ළමයින්ට ගුණාත්මක පූර්ව ළමා විය සංවර්ධනයකට අවස්ථාව ලබා දෙන, අඩු තරමේ එක් වසරක හෝ නිදහස්, අනිවාර්ය, ගුණාත්මක පූර්ව ප‍්‍රාථමික අධ්‍යාපනයක් අපි දිරි ගන්වන්නෙමු. පාසලෙන් බැහැර වූ ළමයින් හා ගැටවරයන්ගෙන් සමන්විත විසල් ජනගහණය වෙනුවෙන් අර්ථවත් අධ්‍යාපනයක් හා පුහුණු අවස්ථා ලබා දීම වෙනුවෙන් ද අපි ඇප කැප වෙමු. ඔවුන්ට ඉක්මණ්, ඔවුන් වෙනුවෙන් ම සකසන ලද, ධරණීය ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය ය. එහි අරමුණ විය යුත්තේ සියලූ ළමයින් පාසල්වල සිටින හා ඉගෙනුම ලබමින් සිටින බව සහතික කිරීමයි.

7. අධ්‍යාපනය තුළ හා අධ්‍යාපන කාලය පුරා දක්නට ලැබෙන ඇතුළත් කර ගැනීම හා සමානාත්මතාව පරිවර්තනීය අධ්‍යාපන න්‍යාය පත‍්‍රයෙහි මුල් ගලකි. එබැවින් සහභාගිත්වයේ හා ඉගෙනුම් ප‍්‍රතිඵලවල සියලූ ආකාරවල බැහැර කිරීම්, කොණ් කිරීම්, විෂමතා හා අසමානතා නැති කිරීමට අපි ඇප කැප වන්නෙමු. සියලූ දෙනා සම්බන්ධයෙන් සාධාරණ වන්නේ නැතිනම් කිසිදු අධ්‍යාපන ඉලක්කයක් සාක්ෂාත් කර ගත් බව සැලකිය යුතු නැත. එබැවින් අධ්‍යාපන ප‍්‍රතිපත්තිවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපි කැප වන්නෙමු. එහිදී වඩාත් ම අවාසි සහගත තත්වයන් තුළ ජීවත් වන, විශේෂයෙන් ම ආබාධ සහිත ජනයාට අවධානය යොමු කරමින් කිසිවකු අතහැර නො දැමෙන ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපි කැප වන්නෙමු.

8. සැමට අධ්‍යාපනයේ හිමිකම සාක්ෂාත් කර ගැනීමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ වැදගත්කම ද අපි හඳුනා ගන්නෙමු. එබැවින් අපි ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ගැන සංවේදී ප‍්‍රතිපත්ති සම්පාදනයට, පරිසරයන් සැලසුම් කිරීමට හා ඉගෙනීමට, ගුරු පුහුණුවලදී හා විෂයමාලාවලදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කාරණා විධිමත් කිරීමට සහ පාසල්වලදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන ප‍්‍රචණ්ඩත්වය හා අසාධාරණයන් දුරලීමට ඇප කැප වන්නෙමු.

9. ගුණාත්මක අධ්‍යාපනයක් හා ඉගෙනුම් ප‍්‍රතිඵල වර්ධනය කිරීම වෙනුවෙන් අපි ඇප කැප වන්නෙමු. ඒ සඳහා යෙදවුම් ශක්තිමත් කිරීම, ප‍්‍රතිඵල විශ්ලේෂණය, තක්සේරු කිරීම සහ ප‍්‍රගතිය මැනීමේ මිනුම් දඬු අවශ්‍ය ය. ගුරුවරුන් හා අධ්‍යාපනඥයන් බලගැන්වීම, ප‍්‍රමාණවත් පරිදි බඳවා ගැනීම, මැනැවින් පුහුණු කිරීම, වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලබා දීම, අභිපේ‍්‍රරණය කිරීම හා සම්පත් පූර්ණ, කාර්යක්ෂම හා මැනැවින් පාලනය කරනු ලබන පද්ධතියක සහයෝගය ලබා දීම තහවුරු කරන්නෙමු. ගුණාත්මක අධ්‍යාපනය විසින් දැනුම හා නිර්මානශීලිත්වය වර්ධනය කරනු ලැබේ. එමගින් සාක්ෂරතාවේ හා විවිධත්වයේ පදනම් කුසලතා ලබා ගැනීම මෙන් ම විශ්ලේෂණාත්මක, ගැටලූ විසඳා ගන්නා හා වෙනත් ඉහළ මට්ටමේ ඥානමය, අන්තර් පුද්ගල හා සමාජ කුසලතා තහවුරු කරනු ලැබේ. එමගින් පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න හා පිරිපුන් ජීවිත ගත කිරීම සඳහා අවශ්‍ය කුසලතා, වටිනාකම් හා ආකල්ප සංවර්ධනය කරනු ලැබේ. එසේම, තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමට ද, අධ්‍යාපනයේ ධරණීය සංවර්ධනයට හා ගෝලීය පුරවැසි අධ්‍යාපනයට අදාළ දේශීය හා ගෝලීය අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට ද අවස්ථාව ලබා දෙයි. මෙහිදී අපි අධ්‍යාපනයේ ධරණීයසංවර්ධනය පිළිබඳ 2014දී අයිචි-නගෝයාහි පවත්වන ලද ලෝක සමුළුවේදී දියත් කරන ලද ගෝලීය ක‍්‍රියාමාර්ග වැඩසටහන සහ අධ්‍යාපනයේ ධරණීය සංවර්ධනය ක‍්‍රියාත්මක කිරීමට දැඩිව සහාය දෙන්නෙමු. 2015න් පසු ධරණීය සංවර්ධනය න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා මානව හිමිකම් අධ්‍යාපනයේ හා පුහුණුවේ වැදගත්කම ද අපි අවධාරණය කරන්නෙමු.

10. සැමට ජීවිතය පුරා ම සෑම පසුබිමකදී හා සෑම අධ්‍යාපන මට්ටමකදී ම ඉගෙනීමේ අවස්ථා ලබා දීම වෙනුවෙන් ද අපි ඇප කැප වී කටයුතු කරන්නෙමු. ගුණාත්මකභාවය සහතික කිරීම පිළිබද අවධානයක් සහිතව සාධාරණ හා වැඩි ප‍්‍රවේශය සහිතව සපයනු ලබන ගුණාත්මක තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව, උසස් අධ්‍යාපන අවස්ථා සහ පර්යේෂණ මෙයට අයත් වේ. නම්‍යශීලී අධ්‍යාපන ක‍්‍රම, පිළිගැනීම, වලංගුභාවය හා නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපනයෙන් ලද දැනුම, කුසලතා හා නිපුණතා සහතික කිරීම වැදගත් ය. එසේම, සියලූ තරුණයන්ට හා වැඩිහිටියන්ටත්, විශේෂයෙන් ම ගැහැනු දරුවන්ට හා කාන්තාවන්ටත් අදාළ හා ප‍්‍රයෝජනවත් සාක්ෂරතාවක්, ගණිත හැකියා මට්ටමක් හා ජීවන කුසලතා ලබා ගැනීමට සහ ඔවුන්ට වැඩිහිටි ඉගෙනීම, අධ්‍යාපනය හා පුහුණු අවස්ථා ලබා ගැනීමටත් හැකියාව තහවුරු කරන්නට ඇප කැප වන්නෙමු. තවද, විද්‍යාව, තාක්ෂණය හා නව නිර්මානශීලිත්වය දිරි ගැන්වීමට ද අපි ඇප කැප වන්නෙමු. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ඔස්සේ අධ්‍යාපන පද්ධති ශක්තිමත් කළ යුතු අතර දැනුම බෙදා හැරීම, තොරතුරු වෙත ප‍්‍රවේශය, ගුණාත්මක හා කාර්යක්ෂම ඉගෙනීම සහ වඩා කාර්යක්ෂම සේවා සම්පාදනය සදහා එය යොදා ගත යුතු ය.

11. තවදුරටත්, අප විසින් බැ?රුම් අවධානයකින් යුක්තව සටහන් කරන දෙයක් වන්නේ ලෝකයේ පාසල්වලින් බැහැර කරන ලද ජනගහණයෙන් වැඩි ප‍්‍රතිශතයක් ජීවත් වන්නේ ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වී තිබෙන ප‍්‍රදේශවල බවයි. එම අර්බුද, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, අධ්‍යාපන ආයතනවලට පහරදීම, ස්වාභාවික විපත් හා වසංගත ලොව පුරා අධ්‍යාපනයට හා සංවර්ධනයට බාධාකාරී වී තිබේ. මෙම සංදර්භයන් තුළ, ළමයින්, තරුණයන් හා වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපිරෙන පරිදි අභ්‍යන්තරව අවතැන් වූවන් හා සරණාගතයන් ද ඇතුළුව සියලූ දෙනා වඩාත් ඇතුළත් කර ගන්නාසුළු, ප‍්‍රතිචාරාත්මක හා දරාගත හැකි අධ්‍යාපන පද්ධති සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි ඇප, කැප වන්නෙමු. අධ්‍යාපනය ප‍්‍රචණ්ඩත්වයෙන් තොර, ආරක්ෂිත, උපකාරශීලී හා ආරක්ෂිත ඉගෙනුම් වාතාවරණයන් තුළ ලබා දීමේ අවශ්‍යතාව ද අපි අවධාරණය කරන්නෙමු. අර්බුද සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ප‍්‍රතිචාර දැක්වීමක් අපි නිර්දේශ කරන්නෙමු. එයට හදිසි ප‍්‍රතිචාරවල සිට බේරා ගැනීම හා නැවත ගොඩනැගීම, වඩා හොඳින් සම්බන්ධීකරණය කරන ලද ජාතික, කලාපීය හා ගෝලීය ප‍්‍රතිචාර, අවදානම් අවම කිරීමේ හා වැළැක්වීමේ විස්තීර්ණ ක‍්‍රියාමාර්ග ඇතුළත් වේ. එමගින් බලාපොරොත්තු වන්නේ ගැටුම්, හදිසි තත්වයන්, පශ්චාත් ගැටුම් තත්වයන් හා යථා තත්වයට පත් වීමේ මුල් වකවානුව තුළ පවා අධ්‍යාපනය පවත්වාගෙන යාමයි.

අපගේ පොදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම

12. මෙම න්‍යාය පත‍්‍රය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමේ මූලික වගකීම තිබෙන්නේ රජයන්ට බව අපි නැවත තහවුරු කරන්නෙමු. වගවීම හා විනිවිදභාවය මෙන් ම සෑම මට්ටමකදී හා විවිධ අංශ අතර සහභාගිත්ව පාලනය හා සම්බන්ධීකරණය කරන ලද හවුල්කාරිත්වය සදහාත් සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගි වීමේ අයිතිය දිරිගැන්වීම සඳහාත් අවශ්‍ය නීති හා ප‍්‍රතිපත්තිමය වැඩ රාමු ස්ථාපිත කරන්නට ද, අපි අධිෂ්ඨාන කර ගනිමු.

13. රටවල්, කලාපීය අංශ, යාන්ත‍්‍රණයන්ගේ හා මූලෝපායන්ගේ මට්ටමේ වැඩරාමුව තුළදී දත්ත එක්රැුස් කිරීම, විශ්ලේෂණය හා වාර්තා කිරීම මත පදනම්ව, අධ්‍යාපන න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමේදී, සහයෝගය, සම්බන්ධීකරණය, අන්‍යොන්‍ය උපකාරිත්වය හා නිරීක්ෂණය සම්බන්ධයෙන් ශක්තිමත් ගෝලීය හා කලාපීය සහයෝගිතාවක් අපේක්ෂා කරමු.

14. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රයේ සාර්ථකත්වය සඳහා මනා ප‍්‍රතිපත්තිවල හා සැලසුම්කරණයේ අවශ්‍යතාව ද ඒවා සාර්ථක අන්දමින් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අපි හඳුනා ගන්නෙමු. යෝජිත සිව්වන ධරණීය සංවර්ධන ඉලක්කයේ අන්තර්ගත අභිලාෂයන් කැපී පෙනෙන හා හොඳින් ඉලක්ක කරන ලද මුල්‍ය දායකත්වයේ වැඩි කිරීමක් නොමැතිව සාක්ෂාත් කර ගත නො හැකි බව ද පැහැදිලි ය. සෑම මට්ටමක ම ගුණාත්මක අධ්‍යාපනයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පැත්තෙන් බොහෝ පසුපසින් සිටින රටවලට මෙම කරුණ විශේෂයෙන් අදාළ ය. එබැවින්, රටේ සංදර්භය අනුව අධ්‍යාපනය සඳහා පොදු අරමුදල් වැඩි කිරීම සදහා අපි අධිෂ්ඨාන කර ගනිමු. එහිදී ජාත්‍යන්තර හා කලාපීය ප‍්‍රමිති මට්ටම් වන දළ දේශීය නිෂ්පාදනයෙන් අඩු තරමින් 4 - 6% අතර හා / හෝ සමස්ත පොදු වියදම්වලින් 15 - 20% අතර අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සඳහා බැඳී සිටීම ද අවධාරණය කරමු.

15. රාජ්‍ය ආයෝජනයන් ප‍්‍රයෝජනවත් ලෙස කිරීමේදී අධ්‍යාපන සම්බන්ධීකරණයේ වැදගත්කම සඳහන් කරමින් අපි දියුණු රාජ්‍යවලට, සම්ප‍්‍රදායික හා අලූත් දානපතියන්ට, මධ්‍යම මට්ටමේ ආදායම් ඇති රටවලට හා ජාත්‍යන්තර මුල්‍ය යාන්ත‍්‍රණයන්ට අධ්‍යාපනය සදහා අරමුදල් වැඩි කිරීමට හා රටවල අවශ්‍යතා හා ප‍්‍රමුඛතා අනුව සකසන ලද න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට උපකාර කිරීමට ආරාධනා කරමු. නිල සංවර්ධන සහයෝගය සදහා වන කැපවීම සම්පූර්ණ කිරීම ඉතා වැදගත් බව අපි හඳුනා ගන්නෙමු. සංවර්ධනය වෙමින් පවතින රටවල නිල සංවර්ධන සහයෝගය සදහා සංවර්ධිත රටවල් සිය දළ ජාතික නිෂ්පාදනයෙන් 0.7%ක් වෙන් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම ද එයට අන්තර්ගත වේ. තම ඇප කැප වීම අනුව, තවමත් එසේ කර නොමැති සංවර්ධිත රටවල්වලට එම ඉලක්කය සාධනය කර ගන්නැයි අපි ඉල්ලා සිටින්නෙමු. අවම සංවර්ධිත රටවලට සහයෝගය වැඩි කරන්නට ද අපි ඇප කැප වෙමු. අධ්‍යාපනයට ඇති හිමිකම වෙනුවෙන් සියලූ ලබා දිය හැකි සම්පත් මුදාහැරීමේ වැදගත්කම ද අපි හඳුනා ගන්නෙමු. වඩා හොඳ සම්බන්ධීකරණය හා සුසංයෝගය ඔස්සේ , මුල්‍ය ප‍්‍රමුඛතා මැනැවින් සැකසීම, නොතකා හරින ලද උප අංශවලට හා පහළ ආදායම් සහිත රටවලට උපකාර කිරීම ඔස්සේ ආධාරවල ඵලදායිතාව වැඩි කිරීම ද අපි නිර්දේශ කරන්නෙමු. මානුෂීය හා දිග්ගැසුණු අර්බුද පවතින ස්ථානවලට සහයෝගය වැඩි කරන ලෙස ද අපි නිර්දේශ කරන්නෙමු. 2015 ජුලි මස ඔස්ලෝහි පැවති සංවර්ධනය සදහා අධ්‍යාපනය සමුළුව අගය කරන අපි යෝජිත සිව්වන ධරණීය සංවර්ධන ඉලක්කයට ආධාර කිරීම සදහා අඩිස් අබාබාහි සංවර්ධනය සදහා මුල්‍ය පහසුකම් සැපයීමේ සමුළුව කැදවන්නෙමු.

16. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන්ට අදාළ නිල වරම, සාපේක්ෂ දියුණුව හා සහයෝගය ලබා දීමේ හැකියාව මත තාක්ෂණික දායකත්වය, ජාතික ධාරිතා සංවර්ධනය හා මුල්‍ය සහයෝගය මගින් වෙන වෙන ම හා සාමූහිකව රටවලට සහාය වන ලෙස 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන්ටත්, විශේෂයෙන් ම යුනෙස්කෝ සංවිධානයටත්, අන් සියලූ පාර්ශ්වකරුවන්ටත් සාමූහිකව උපකාර කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මේ වෙනුවෙන් යෝග්‍ය ගෝලීය සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් සැකසීම සදහා සිය සාමාජික රටවල උපදෙස් මත යුනෙස්කෝ සංවිධානය, 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන් හා වෙනත් පාර්ශ්වකරුවන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාසය තබන්නෙමු. රටවල අවශ්‍යතා හා ප‍්‍රමුඛතාවන් අනුව සකසන ලද න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපනය වෙනුවෙන් ආධාර කරන බහු පාර්ශ්වකාර මුල්‍ය වේදිකාවක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් ගෝලීය හවුල්කාරිත්වය හදුනාගනිමු. ඒ සමගම, එය මෙම අනාගත ගෝලීය සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයේ කොටසක් විය යුතු බව ද අපි නිර්දේශ කරමු.

17. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රය සම්බන්ධීකරණය කරමින් එයට නායකත්වය දෙන යුනෙස්කෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනය සදහා විශේෂිත නියෝජිතායතනය ලෙස සිය භූමිකාව ඉදිරියට කරගෙන යනු ඇතැයි අපි විශ්වාසය තබන්නෙමු. එය කළ හැක්කේ විශේෂයෙන් ම, දේශපාලන ඇපකැපවීම ස්ථාවර කරන බලපෑම පවත්වාගෙන යාමෙන්, ප‍්‍රතිපත්ති සංවාදය සඳහා පහසුකම් සැපයීමෙන්, දැනුම බෙදා හදා ගැනීමෙන්, ප‍්‍රමිති සැකසීමෙන්, අධ්‍යාපන ඉලක්ක සදහා වූ ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන්, න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වීම පිණිස ගෝලීය, කලාපීය හා ජාතික පාර්ශ්වකරුවන්ගේ රැුස්වීම් කැඳවීමෙන් සහ සමස්ත ධරණීය සංවර්ධන ඉලක්ක නිර්මිතිය තුළ අධ්‍යාපනය සඳහා මූලික අවධානය යොමු කරන ස්ථානය ලෙස ක‍්‍රියාත්මක වීමෙනි.

18. ප‍්‍රතිපත්ති සම්පාදනය සහ අධ්‍යාපන පද්ධති කළමනාකරණයට මෙන් ම වගවීම සහතික කිරීම ද උදෙසා හොඳ සාක්ෂි ජනනය කරනු පිණිස විස්තීර්ණ ජාතික නිරීක්ෂණ හා තක්සේරු පද්ධතියක් සංවර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කරමු. රටවල් මට්ටමෙන් දත්ත එක්රැුස් කිරීමේදී, විශ්ලේෂණයෙහිදී හා වාර්තා කිරීමේදී ධාරිතා සංවර්ධනය කිරීම සදහා උපකාර කරන ලෙස 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන්ගෙන් හා හවුල්කරුවන්ගෙන් වැඩි අපි දුරටත් ඉල්ලා සිටිමු.

19. අධ්‍යාපන 2030 වැඩරාමුවෙහි ක‍්‍රියාවට නැගිය යුතු අත්‍යවශ්‍ය අංග පිළිබඳව අප සාකච්ඡුා කර එක`ග වී ඇත්තෙමු. 2015න් පසු සංවර්ධන සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ එක්සත් ජාතීන්ගේ සමුළුව (2015 සැප්තැම්බර්, නිව් යෝක්) හා සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් සැපයීමේ තුන්වන ජාත්‍යන්තර සම්මේලනය (2015 ජුලි, අඩිස් අබාබා) සැලකිල්ලට ගනිමින්, 2015 නොවැම්බර් පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානයේ මහා සභාව හා සමගාමීව පැවැත්වෙන විශේෂ ඉහළ පෙළේ රැුස්වීමේදී දියත් කර වලංගු කර ගැනීම සඳහා අවසන් පිටපතක් ඉදිරිපත් කරනු ඇත. එය වලංගු කිරීමෙන් අනතුරුව, එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අපි පූර්ණව ඇප කැප වෙමු. එසේම, අපගේ න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා රටවල් හා පාර්ශ්වකරුවන් දිරි ගැන්වීමට හා මග පෙන්වීමට ද පූර්ණව ඇප කැප වෙමු.

20. ජොම්ටියන් හා ඩකාර් උරුමය අනුව යමින් මෙම ඉන්චොන් ප‍්‍රකාශනය අධ්‍යාපනය පිළිබඳ නව දැක්මක් ඔස්සේ නිර්භීත හා නව නිර්මාණාත්මක ක‍්‍රියාමාර්ග ඔස්සේ, 2030 වන විට අපගේ උන්නතිකාමී අරමුණ කරා ළඟා වීම පිණිස ජීවිත පරිවර්තනය කිරීමෙහිලා අප සියලූ දෙනාගේ ඓතිහාසික කැපවීමක් වේ.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

හෙටින් පස්සෙ ගමේ ආණ්ඩුව එක්ක ඩීල් කරන හැටි

සිකුරාදා උදේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සාරප්‍රභාගිර වැඩසටහන වෙනුවෙන් ආචාර්ය සුජාතා ගමගේ සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඇය කලින් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක් වුණත්, මෑත කාලයේදී පාලනය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ කෙනෙක්. පහත අදහස් මතු වුණේ ඇය සමග කරන ලද සාකච්ඡාවේදීයි.

සමානුපාතික නියෝජනය හේතුවෙන් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුණාට, ඒ නිසා මහජනයාට දරන්නට සිදු වන වියදම් වැඩි වුණාට, එයින් මහජනයාට ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩියි. අනෙක ඉදිරියේදී අපට මෙම සභික සංඛ්‍යාව අඩු කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන්. හැබැයි, පළාත් සභා, පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව නම් කිසි සේත් ම වැඩි නො කළ යුතුයි. 

කොට්ඨාස ක්‍රමය නිසා සෑම අනු කොට්ඨාසයකට ම දේශපාලන නායකයෙකු බිහි වෙනවා. පරාජිත අය වුණත් ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කරනවා. ඒක මහජනතාවට හොඳ තත්වයක්. කොට්ඨාසයේ නියෝජිතයාට හිමි නායකත්වයට කවුරුත් ගරු කරන්නට ඕනැ. බලයේ සිටින පක්ෂ නො වන පක්ෂවලින් පත් වෙන අයට වුණත් ප්‍රතිපාදන දෙන්නට සිදු වෙනවා.

සමානුපාතික නියෝජනය යටතේ පත් වන අයට සභාවට යෝජනා ඉදිරිපත් කරලා තමන් කැමති විෂයක් පිළිබඳ කමිටුවක් ගොඩනගාගෙන වැඩ කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට මුළු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ම වැඩිහිටියන් වෙනුවෙන් වැඩ කරන්නට ඕනැ නම් ලැයිස්තුවෙන් ආපු අපේක්ෂකයකුට පුළුවන්. එහිදී ඔවුන්ට තමන් කැමති විෂයයක් තෝරාගෙන වැඩ කරන්නටත් පුළුවන්. 

කොට්ඨාස බෙදා තිබුණාට පළාත් පාලන ආයතනවලට වැඩ කරන විට කොට්ඨාස අතර සම්බන්ධය ඉතා වැදගත්. කාණුවක්, ඇලක්, පාරක් හදන්න ගියත් ඒක එහෙමයි. 

පළාත් පාලන ආයතනවලට මේ තරම් නියෝජිතයන් පිරිසක් පත් කර ඇරියාට පසුව ආයෙත් මහජනතාව ඒවා පිළිබඳ හොයා බලන්නට අවශ්‍ය නැහැ. ඒ වුණාට ලංකාවේ තිබෙන දේශපාලන පසුගාමිත්වය නිසා මහජනතාව මේවා පිළිබඳ සොයා නො බැලුවොත්, බලපෑම් නො කළොත් හරියට වැඩ සිදු වෙන්නෙ නැහැ. මේ වෙනුවෙන් වැඩ කරන්නට පුරවැසියන්ට සංවිධාන හදා ගන්නට පුළුවන්. ඒවාට ගොඩක් මහන්සි වෙන්නට ඕනැ නැහැ. වට්සැප් ගෘප් වගේ ඒවා භාවිතා කරන්නට පුළුවන්. 

පුරවැසියන්ට සෑම රැස්වීමක් ම නිරීක්ෂණය කරන්නට යන්නට පුළුවන්. පළාත් පාලන ආයතන විසින් පුරවැසි ප්‍රඥප්තියක් සකස් කළ යුතුයි. පළාත් පාලන ආයතන විසින් සපයනු ලබන සේවාවන්ට ගත වන කාලය වැනි දේවල් එමගින් ඉදිරිපත් කළ හැකියි. දැන් තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක නිසා පුරවැසියන්ට ඉතා සරල අයදුම්පතක් පුරවලා අවශ්‍ය තොරතුරු ලබා ගන්නටත් පුළුවන්.

පළාත් පාලන ආයතන විසින් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි. ඒ සංවර්ධන සැලැස්ම හදන්නට පුරවැසි සහභාගිත්වය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් අතුරු නීති සම්මත කර ගත හැකියි. 

අනෙක් වැදගත් කාරණය තමයි, වාර්ෂික වාර්තාව. තමන්ගේ ප්‍රගතිය ගැන ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා එය ඉතා වැදගත්. 

බිම් මට්ටමේ නායකයන් බිහි කරන මෙම මැතිවරණය ඉතා ම වැදගත්. මේ මැතිවරණයේ අපේක්ෂකයන් ඇත්තෙන් ම ගම්වල නායකයන් වීමට සුදුසු අය ද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒක එහෙම වුණේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් නිසා. පක්ෂවල හරි හමන් සංවිධාන, බල මණ්ඩල නැහැ. ඒවායේ තිබෙන්නේ වැඩවසම් ස්වරූපී සම්බන්ධතා. ඒ කියන්නේ සංවිධායක හා ඔවුන්ගේ ගෝලයන්. ගම් මට්ටමේ නායකයන් වෙන්නට ඡන්දය ඉල්ලන ගෝලයන් මෙතෙක් කළේ රැස්වීම්, මැයි දින ආදියට සෙනග ගෙන යන්නට එවන බස් එකට මිනිසුන් ටිකක් පුරවා දෙන එකයි, කොන්ත්‍රාත් ආදියයි විතරයි. 

මේ තත්වය අඩු වැඩි වශයෙන් හැම පක්ෂයක ම තිබෙනවා. මේක වෙනස් කරන්නට නම් මධ්‍යම පංතිකයන් පක්ෂ බල මණ්ඩලවලට සම්බන්ධ වෙලා පක්ෂ යාන්ත්‍රණය විධිමත් කරන්නට ඕනැ. ඒකට පටු අපේක්ෂාවලින් තොරව පක්ෂය වෙනුවෙන් වැඩ කරන මධ්‍යම පංතිකයන් ඉතා වැදගත්. ඔවුන්ට පුළුවන් මෙම තත්වය වෙනස් කරන්නට. කොහොම කිව්වත්, පක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් සාධකයක්. 

මේ අතරතුර තේරී පත් වන පළාත් පාලන නියෝජිතයන් නායකත්වයට හා පළාත් පාලනයට පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. එහි වගකීම තිබෙන්නේ පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයාටයි.

තවත් බොහෝ වැදගත් අදහස් රැසක් මෙම සාකච්ඡාවේදී මතු වුණා. සාරප්‍රභාගිරෙන් අප කරන්නේ මෙවැනි කතාබහ මාලාවක්. එය අරමුණක් සහිතව කරන වැඩසටහන් පෙළක්. සිකුරාදා උදේ 8 සිට 9 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් අප කරන සාකච්ඡා මාලාවට සවන් දෙන්නට පුළුවන්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-08

බ්‍රිගේඩියර්ගේ ශීර්ෂඡේදන මුද්‍රාව වීරකමක් ද?

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට අනුයුක්ත කර සිටින ආරක්ෂක නිලධාරියකු වන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නිදහස් දා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණයක යෙදුණු දෙමළ පිරිසක් ඉදිරියේ ගෙල සිඳින ඉරියව්වක් පෑමේ සිද්ධිය මේ වන විට දැවැන්ත ආන්දෝලනයකට හේතු වී තිබේ. පිරිසක් එය දෙමළ ජනයාට එරෙහි රාජ්‍ය මර්දනය ප්‍රකාශ කරන ක්‍රියාවක් ලෙස උලුප්පා දක්වන්නට උත්සාහ කරන අතර තවත් පිරිසක් එය සිංහල වීරකමක් ලෙස පෙන්වන්නට ප්‍රයත්න දරති. මේ දෙක ම වැරදි ය. මෙය වෘත්තීය අපරිණතකම නිසා සිදු කරන ලද මෝඩකමක් පමණි.

මේ වන විට යුද්ධය නිමා වී වසර අටකට වැඩි ය. ලංකාවේ සාපේක්ෂ සාමයක් ඇත. සාමය ස්ථාවර කිරීම සඳහා ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය ඇති කළ යුතු ය. සුළු ජාතීන්ගේ දේශපාලන ඉල්ලීම් සාකච්ඡා කළ යුතු වන්නේ ඒ නිසා ය. තිබුණේ දේශපාලන අරගලයක් මත පදනම් වූ යුද්ධයක් බව ද, යුද්ධයෙන් කොටි සංවිධානය පරාජය වූ මුත් ඉල්ලීම් අවසන් වී නැති බව ද අප මතක තබා ගත යුතු ය.

යුද්ධවල අතුරු ඵල රැසක් තිබේ. වඩා සුවපහසු ජීවිතයක් සොයා යුරෝපා, ඇමරිකා, ඕස්ට්‍රේලියා මහාද්වීපවලට සංක්‍රමණය වීමට පහසු මාර්ගයක් යුද්ධය නිසා නිර්මානය විය. ඒ ඔස්සේ දෙමළ ජාතිකයන් විශාල පිරිසක් විදේශගත වූ අතර එයින් දෙමළ ඩයස්පෝරාව නිර්මානය විය. එයින් මෙකී සංක්‍රමණය අවසන් වූයේ නැත. ඩයස්පෝරා සම්බන්ධකම් පාවිච්චි කරමින් ලංකාවේ පුද්ගලයෝ අඛණ්ඩව ම ඒ රටවලට සංක්‍රමණය වෙමින් සිටිති.

එහෙත්, රටක පුරවැසිකම ලබා ගැනීම ලෙහෙසි නැත. අධ්‍යාපනය වෙනුවෙන් වීසා ලබා ගැනීමට විශාල මුදලක් අවශ්‍ය ය. වෘත්තික සුදුසුකම් මත තාවකාලික හෝ ස්ථාවර පදිංචි වීසා ලබා ගැනීම සඳහා ඒ රටවලට අවශ්‍ය කුසලතා තිබිය යුතු ය. සංචාරක වීසාවක් ලබා ගැනීම පවා පහසු නැත. හේතුව, ලාංකිකයන් වෙනත් රටකට ගියොත් ආපසු මේ රටට නො එන තරමට රටට ආදරය කරන පිරිසක් නිසා ය. එබැවින්, සංචාරක වීසාවලින්, අධ්‍යයන වීසාවලින් හෝ වීසා නොමැතිව බෝට්ටුවෙන් හෝ ඒ රටවලට ගොස් ආපසු නො එන පිරිස විශාල ය. ඔවුන් කරන්නේ තමන්ට ආපසු සිය රට යා නො හැකි බව කියා දේශපාලන රැකවරණ පැතීමයි.

කිසිදු රටක් ආවාට ගියාට දේශපාලන රැකවරණ දෙන්නේ නැත. ඒ සඳහා තමන් පෞද්ගලිකව අසාධාරණ මර්දනයකට ඉලක්ක වී ඇති බව පෙන්විය යුතු ය. බොරුකාරයන්ට එය ඔප්පු කිරීම ලෙහෙසි නැත. මේ සම්බන්ධ මගේ පෞද්ගලික අත්දැකීමක් තිබේ. එකල අපි හිරු පුවත්පත මහත් දුෂ්කර තත්වයන් යටතේ මාසිකව පවත්වාගෙන යමින් සිටියෙමු. අපගේ දේශපාලන කණ්ඩායමට සම්බන්ධව සිටි පල්ලියෙන් නෙරපා හරින ලද කතෝලික පූජකවරයකුට සිය සොයුරියගේ රස්තියාදුකාර පුතා මෙසේ විදේශ රටක දේශපාලන රැකවරණ සඳහා යැවීමට ඕනෑ විය. ඒ වෙනුවෙන් හිරු පුවත්පතේ කර්තෘ රෝහිත භාෂණ විසින් ව්‍යාජ හිරු පුවත්පතක් සැලසුම් කරන ලදී. එහි මුල් පිටුවේ උද්ඝෝෂණයක ඡායාරූපයක් පළ කරන ලදී. එම ඡායාරූපය කොළඹ පැවති සත්‍ය උද්ඝෝෂණයක ඡායාරූපයක් තුළට, එම උද්ඝෝෂණයට සම්බන්ධ නො වූ ඉහත කී පුද්ගලයා ෆොටෝෂොප් මගින් ඇතුළු කර සකස් කරන ලද්දකි. මා මෙය විවෘතව කියන්නේ මෑතදී පවා මෙම කණ්ඩායමේ සිටි එක්තරා පුද්ගලයකු මෙම පුවත්පතේ උත්තරීතරකම ගැන පම්පෝරි ගසමින් මට අවලාදයක් නැගූ හෙයිනි.

පසු කලෙක මෙම දේශපාලන කණ්ඩායමේ වැඩි දෙනෙක් විවිධ උප්පරවැට්ටි භාවිතා කරමින් යුරෝපා රටවලට සංක්‍රමණය වූ හ. ඒ අතරට ඉහත පූජකවරයා හා රෝහිත භාෂණ ද ඇතුළත් වූ හ. මෙම කණ්ඩායමේ තවත් අයෙකු දේශපාලනයෙන් අයින් වී යුරෝපයේ ස්ථාවර පදිංචිය ලබා ගැනීමට උත්සාහ කර අසාර්ථක වූ පසු, යළි දේශපාලනයට සම්බන්ධ වී වෙබ් අඩවියක් ආරම්භ කර, එයට තර්ජන ඇති බවට ව්‍යාජයක් මවා පා, එම වෙබ් අඩවිය වසා දමා, දේශපාලන රැකවරණ ලබා ගනිමින් ස්විට්සර්ලන්තයට පැන ගත්තේ ය. මේවාට සම්බන්ධ ඇතැම් පුද්ගලයන් ඉතා ප්‍රසිද්ධ ප්‍රභූ චරිත වන බැවින් මා ඒ ගැන දැනට ඊට වඩා විස්තර ලියන්නේ නැත. මෙවැනි කතා තව රැසක් මා සතුව ඇත. සිංහල වාමාංශික දේශපාලන වීරයන් ගැන ඒ කතා සියල්ල කීවොත් බල්ලන් බත් කන්නේ ද නැත.

තවත් එක් කතාවක් කියමි. මෙම කණ්ඩායම විසින් පසු කලෙක වීඩියෝවක් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දෙන ලදී. එහි වගකීම ඔවුහු ප්‍රසිද්ධියේ භාර ගත් හ. ඒ අන් කිසිවකට නොව අවුරුදු ගණනාවකට වීසා ප්‍රශ්න හා ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා ය. තරුණයන් පිරිසකට වෙඩි තබන දර්ශනයක් වූ එම වීඩියෝව රූපගත කළ හමුදා සෙබළකු විය හැකි ඇත්ත පුද්ගලයා ඇතැම් විට තර්ජනයට ලක් වන්නට ඇත. එහෙත් එම වීඩියෝව වෙනත් පිරිසක් විසින් විකුණාගෙන කන ලදී. 

ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් රැඩිකල් අතිවාමාංශික ස්ථාවර ගත් හා දැනටත් ගනිමින් සිටින පුද්ගලයන් වැඩි දෙනෙකුගේ උන්නතිකාමී පෞද්ගලික සැලසුම්වල මෙවැනි පටු අරමුණු ඇති බව මම විවෘතව ම කියමි. විශේෂයෙන් ම, මර්දනයක් නැති, මහ පොළවේ ස්වයං නිර්ණය සම්බන්ධ අරගලයක් ද නැති සංදර්භය තුළ අලුතෙන් ස්වයං නිර්ණ වීරයන් පිරිසක් බිහි වීම පසුපස ඇත්තේ මෙවැනි පටු අරමුණු ය. හිරු කණ්ඩායම වීසා නිසා පරිහාණියට පත් වන්නට පෙර, දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ හිමිකම වෙනුවෙන් අවංක, පරිත්‍යාගශීලී අරගලයක් කළ බව රෝහිත භාෂණ වැනි අයගේ මුල් යුගයේ දේශපාලන අවංකභාවය සම්බන්ධයෙන් ගෞරවයෙන් පවසමි. දැන් ස්වයං නිර්ණ අයිතිය සම්බන්ධයෙන් වීරයන් වීමට උත්සාහ කරන ඇතැම් කට්ටිය ඒ කාලයේත් සිටිය හ. ඒ වුණාට අල්ප මාත්‍රයකින් හෝ ඒ වැඩවලට උදව් කළේ නැත.

මගේ මෙම අත්දැකීම මා සටහන් කළේ දෙමළ ඩයස්පෝරාවේ හා එයින් යැපෙන සිංහල කල්ලි ආදියේ ඇත්ත ගැන සාක්ෂි ලෙසයි. මේ ගැන නො දත් මෝඩ නිලධාරීන් කරන බොරු වීර රංගන හා ඒවාට උඩගෙඩි දෙන අය ලබා දෙන්නේ ඉතා පහසු උඩ පන්දු බව ඔවුන් දන්නේ ද නැත.

දෙමළ ඩයස්පෝරාවට සිය ආර්ථික අරමුණු වෙනුවෙන් තවත් දෙයක් අවශ්‍ය ය. ඒ වනාහි ලංකාවේ සිවිල් යුද්ධයක්, ගැටුමක් හෝ අර්බුදයක් ඇති කර ගැනීමයි. ඒ වෙනුවෙන් කළ හැකි හොඳම දෙය හමුදාව හා පොලිසිය කුපිත කිරීමයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයේ ග්‍රීස් යකුන්ගේ කතාවක් නිර්මානය කරගෙන මෙය කළ ආකාරය මතක ද?

හමුදාව හා පොලිසිය කුපිත කිරීම ගරිල්ලන්ගේ එදා සිට ම තිබුණු උපායකි. තමන්ට සම්බන්ධකම් නැති ගමක පාරක් අයිනේ සැඟව සිට හමුදාවට ප්‍රහාරයක් එල්ල කළ විට හමුදාව කරන්නේ ඒ ගමට කඩා පැන ගම්වැසියන්ට පහර දී ඇතැම් විට මරා දැමීමයි. එවිට එම සිද්ධිය පිළිබඳ ගරිල්ලන්ට පක්ෂ අය, මානව හිමිකම් ක්‍රියාකාරිකයන් හා මාධ්‍ය විසින් හුවා දක්වනු ලැබේ. ඒ මගින් නිර්මානය කරනු ලබන සමාජ අනුකම්පාව මුදල් බවට පත් වී ගරිල්ලා සංවිධාන, දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන සංවිධාන, මාධ්‍ය ආදිය වෙත ගලා යයි. අනෙක් පාර්ශ්වයට ද වාසි ඇත. මෙමගින් නිර්මානය කරනු ලබන්නේ විෂම චක්‍රයකි.

මෙය තේරුම් ගැනීමට තවත් උදාහරණයක් දැක්විය හැකි ය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙහෙයවන පෙසප හා ජවිපෙ සතියක් ගානේ කුමන හෝ හේතුවක් මත විශ්වවිද්‍යාල සිසුන් වීදි බස්සන්නේ ඇයි? එම සිසුන් අතර සිටින ළහිරු වීරසේකර වැනි දේශපාලන ක්‍රියාකාරිකයන් හැම විට ම ඉතා ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ ඇයි? ඔවුන්ට අවශ්‍ය පොලිසිය හා හමුදාව කුපිත කර ගැනීමයි. රතුපස්වලදී ද මෙය සිදු විය. එසේ කුපිත කර ගත් විට බොහෝ විට හමුදාව, පොලිසිය අතින් මිය යන්නේ අතට අසු වන අහිංසකයන් ය. එවිට එය ආණ්ඩුවට එරෙහිව පාවිච්චි කළ හැකි මෙවලමක් වේ. රාජපක්ෂ ආණ්ඩුව එපා වී සිටි අප පවා එම මෙවලම පාවිච්චි කළෙමු. දේශපාලනය එහෙම තමා ය. (හැබැයි එම සිද්ධිය නිර්මානය කිරීමට හා මිනිසුන් මරණයට යොමු කිරීමට අප සම්බන්ධ වූයේ නැත.)

ළහිරු වීරසේකර අභිමුව ලංකාවේ පොලිසිය විසින් පසුගිය කාලයේ දක්වන ලද වෘත්තිකභාවය ඉතා වැදගත් ය. කිසිම මරණයක් සිදු නො විය යුතු බවට ද, එසේ සිදු වුවහොත් එයට වගකිව යුතු අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනු ඇති බව ද රජයේ ප්‍රධානීන් පොලිසියට සන්නිවේදනය කර තිබීම මෙම තත්වයට හේතුවයි.

ආරක්ෂක අංශවල ඉහළ නිලධාරීන් බුද්ධිමත් වෘත්තිකයන් විය යුතු ය. ඊනියා මිනීමරු සෝබනයට පශ්චාත් යුද සමයේදී කළ හැකි කැකිරි ගෙඩියක් නැත. මෝඩ සිංහල ජාතිවාදීන් චූන් කිරීමෙන් තමන්ට හෝ රටට කිසිදු සෙතක් අත් වන්නේ නැත. මෝඩ සිංහල අන්ත ජාතිවාදය යනු දෙමළ ජාතිවාදයේ ම නිවුන් සොහොයුරා ය.

මෙම බ්‍රිගේඩියර්වරයා වහාම රාජ්‍ය තාන්ත්‍රිකභාවය හා ආරක්ෂක කළමනාකරණය පිළිබඳ පුහුණුවකට යැවිය යුතු ය. ඔහු ලංකාවේ නීතියෙහි මූලික දේ දැන ගත යුතු ය. ඔහු කටයුතු කළ යුතුව තිබුණේ මෙසේ නො වේ. කොටින් ම ඔහුගේ අසංවර හැසිරීම උද්ඝෝෂකයන්ගේ අතට ම දුන් ඉතා පහසු උඩ පන්දුවක් බව ඔහු සහ ඔහු වැනි අනෙක් අය දැන්වත් දැන ගත යුතු ය. එම උද්ඝෝෂණය පිළිබඳ සාමාන්‍ය අන්දමින් කටයුතු කළා නම් අඩු ගානේ මෙය වාර්තා වන්නේවත් නැත. දැන් ඉතින් ගලේ පැහැරුවාට පසු බෙට්ට වහන්නට ගලට බෝර දමන්නට සිදු වේ. 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-07

ඡන්දෙ දෙන්නෙ කාට ද?

මට කිසිදු දේශපාලන පක්ෂයක් සමග බැඳීමක් නැත. එහෙයින් ඡන්දයේදී අහවල් පක්ෂයට ඡන්දය දෙන්නැයි කියන්නට මට අවශ්‍යතාවක් නැත. මා මෙම ඡන්දයේදී ඡන්දය වර්ජනය කරන්නේ හෝ කිසිදු දේශපාලන පක්ෂයකට ඡන්දය දෙන්නේ හෝ නැත. මෙය ගමේ ඡන්දයකි. මා දන්නා ගමේ ආණ්ඩුවට පත් වීමට සුදුසු මිනිසුන් හා විශේෂයෙන් කාන්තාවන් කීපදෙනෙකු ස්වාධීන කණ්ඩායමකින් තරග කරන අතර ඉන් එක් අයෙකු ඉන්නේ මගේ නිවස ඉදිරිපිටයි. එවැනි කාරණා අමතක කර ඡන්දය දෙන්නට තරම් මට කිසිදු පක්ෂයක් වැදගත් නැත.

මෙම මැතිවරණයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ අතරින් මේ මොහොතේ රටට වැදගත් පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි. එහෙත්, එහි නායකයා මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන පුද්ගලයන්ගේ ඍජු සහචරයකු වන අතර එම අවමානය මත මේ වන විට ඇත්තට ම ඔහු ඉල්ලා අස් වී තිබිය යුතු ය. එක්සත් ජාතික පක්ෂය මෙම පුද්ගලයා නායකත්වයෙන් නෙරපා දැමිය යුතු ය. එහෙත්, ඒ සඳහා එම පක්ෂයට ශක්තියක් නැත. එය මහත් අවාසනාවකි. එහි ප්‍ර‍තිඵලය ලෙස එක්සත් පක්ෂය එක් පුද්ගලයකුගේ උද්ධච්ඡ මෝඩකමට යට වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යනු අද වන විට එහි නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනටවත් ෂුවර් නැති පක්ෂයකි. කොටින් ම පක්ෂ නායකයා පවා ලංකාවේ කාටවත් ෂුවර් නැත. ඔහුට වුව ඔහු ෂුවර් නැති නම් පුදුම විය යුතු නැත.

පොදුජන පෙරමුණ යනු රාජපක්ෂ පවුලේ හා සහචරයන්ගේ පක්ෂයයි. එහි පැවැත්මේ මූලික අවශ්‍යතාව රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ සහචරයන් විසින් කරන ලද වංචා, දූෂණ, අපරාධ ආදියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වා ගැනීමයි. ඒ වෙනුවෙන් ඕනෑම පසුගාමිත්වයක් සමග එකතු වීමට කැමති මෙම පක්ෂයට ඉඩ දීම රටට හානියකි.

ජවිපෙ යනු දූෂණයට හරි අවස්ථාවක් නො ලැබුණු නිසා පක්ෂයක් ලෙස දූෂණ විරෝධය ගැන මහ ලොකුවට කතා කරන පක්ෂයකි. එහෙත්, මෙම පක්ෂයේ සිටි අය එයින් ඉවත් වූ පසු දූෂණයේ යෙදී ඇති ආකාරය අනුව ඉතා පැහැදිලිව ම කිව හැකි දෙයක් වන්නේ මෙහි සිටින අය ද අනෙක් පක්ෂවල අයට නො දෙවෙනි බවයි. අනෙක් පැත්තෙන්, ඉතිහාසයේ හැමදාමත් ආසන කීපයක් රත් කරමින් මාධ්‍යවලින් හැම එකට ම විරුද්ධ වෙමින් සිටින පක්ෂයකින් ඇති ප්‍රයෝජනය සීමිත ය. මේ විදියට නම් සම්ම ජාතියේ රාජ්‍ය බලයට පත් නො වන ජවිපෙ සම්බන්ධයෙන් මට කිසිදු උනන්දුවක් නැත. ජවිපෙට මෙම මැතිවරණයේදී සභාවක් දිනා ගැනීමට තබා කොට්ඨාසයක් දිනා ගැනීම වුව අසීරු ය. ඔවුන්ට යම් ආසන සංඛ්‍යාවක් සමානුපාතික ලැයිස්තුවෙන් ලැබෙනු ඇත.

ඡන්දය වර්ජනය කරන බව කියන අය ඡන්දය දාන්නට නො එන මිනිසුන් තමන්ගේ ගිනුමට දාගන්නට බලන් සිටියාට මෙම මැතිවරණයේදී ඡන්දය ප්‍ර‍කාශයට පක් කිරීමේ සැලකිය යුතු අඩුවක් සිදු වෙතැයි මම නො සිතමි.

මැතිවරණ ප්‍ර‍තිඵල ගැන විවිධ පුරෝකථන සිදු වෙමින් තිබේ. ඒ පුරෝකථන ගැන මට නම් කීමට ඇත්තේ ඒවා සිදු වන්නේ තම තමන්ගේ පක්ෂපාතිත්වය අනුව බවයි. එහෙත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය ජය ගන්නා බවට කිසිදු පුරෝකථනයක් නැති බව ද දක්නට ඇත. අවසාන තරගය ඇත්තේ එක්සත් ජාතික පක්ෂය හා පොදු ජන පෙරමුණ අතර ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-03

ලැප්ටොප් නැටුම හා අධ්‍යාපනයේ පරිහාණිය

නිදහස් දින පෙළපාලියේ ලැප්ටොප් නැටුමක් පිළිබඳ උපහාසාත්මක අදහස්වලින් සති අග සමාජ මාධ්‍ය පිරී ගියා. නැටුම්වලදි හුරු පුරුදු සවරං, රබන් වගේ සෞන්දර්යාත්මක දේ වෙනුවට ලැප්ටොප්, දුරේක්ෂ වැනි දේ ආදේශ වීම නිර්මානාත්මක ප්‍රකාශනය පැත්තෙන් කෙසේ වෙතත්, ආන්දෝලනාත්මක බව නම් ඇත්ත. හැබැයි, ඔය ලැප්ටොප් නැටුම නටන්නෙ නිකං කෙලි පැංචියො ටිකක් නෙමෙයි, උසස් පෙළ සමත් වෙලා අධ්‍යාපන විද්‍යා පීඨයක ගුරුවරියන් වෙන්නට පුහුණු වෙන ගුරු සිසුවියන් පිරිසක්. බිංගිරියේ පිහිටි වයඹ අධ්‍යාපන විද්‍යා පීඨයේ බහුතරයක් සිසුන් ඉගෙන ගන්නෙ චිත්‍ර, සංගීත, නැටුම් විෂයන්. මේ වනාහි අනාගත ගුරුවරු. එතකොට මේ නර්තන නිර්මානය කරන්නෙ ගුරුවරුන්ටත් උගන්වන ගුරුවරු.

මේ මාතෘකාව ඔස්සේ කතාවට පිවිසෙන එක හොඳයි. මේවා දන්න අය දන්නවා. ඒ වුණාට නිශ්ශබ්දව ඉන්නවා. මේ වෙනකොට අවුරුද්දෙ අන්තිම හරියෙ පෙර පාසල්වල තර තරගෙට විවිධ ප්‍රසංග තියෙනවා. මේවායේ මොනවද තියෙන්නෙ. විච්චූරණ ඇඳුම් ඇඳලා, ළමයින්ගෙ ලස්සන මූණුවල තලි තලි මේකප් උලලා, හයියෙන් සිංදු සීඩී වාදනය කරලා, ළමයි වේදිකාවෙ අතපය හොල්ලනවා. අඩු තරමෙ මේවායෙ ගායනයක්, බෙර පදයක්, නාට්‍යයක්වත් නැහැ. ඊට පස්සෙ පාසල්වලත් ප්‍රාථමික පංතිවල කොන්සට් ය කියලා මේක ම කරනවා. මේ දවස්වල පාසල්වල ස්පෝට්මීට් හෙවත් ක්‍රීඩා සංදර්ශන පැවැත්වෙනවා.ඒවායේ දැන් දැන් ක්‍රීඩාවලට වඩා අවධානය යොමු වන්නෙ වෙනත් බාහිර ආටෝපවලට. බොහෝ පාසල්වල මේකත් ඇඳුම් ප්‍රදර්ශනයක්. සරඹ සංදර්ශනය කියලා කරන්නෙත් ඇඳුම් ඇඳලා අර වගේ චොකා බයිලා නැටුමක්. දන්නවා ද, පාසල් බොහොමයක ගෑනු ළමයකුට මේකප් කරලා ඇතීනා කියලා දෙවඟනකට අන්දනවා. පිරිවරකුත් ඉන්නවා. මේ එක් අයෙකුගේ ඇඳුමට විතරක් රු. 10,000කට වැඩිය වියදම් කරනවා.

මේ වන විට පාසල්වල සංස්කෘතිය අන්තයට ම පිරිහිලා. ප්‍රධාන පෙළේ පාසල්වලට වඩා මේ පිරිහීම වැඩි මධ්‍යම මට්ටමේ අර්ධ නාගරික පාසල්වලයි. ඒකට හේතුව වන්නේ මෙම පාසල්වලට අර පැරණි ප්‍රධාන පෙළේ පාසල්වලට මෙන් දිගු කාලයක් මුළුල්ලේ රැක ගත් සම්ප්‍රදායන් නැතිකමයි. ඒ නිසා මේවා එන එන රැල්ලට ලේසියෙන් යට වෙලා යනවා. බොහෝ විට මේවායේ ආදි ශිෂ්‍ය සංගම් අරක් ගෙන ඉන්නේ ප්‍රාදේශීය චන්ඩි, රස්තියාදුකාරයන් හා වංගු ගසා සල්ලි හම්බ කර ගත් ධනවතුන්. පාසල් අතර තරගය නිසා එකිනෙකා අභිභවා කැපී පෙනෙන්නට සංදර්ශන පැවැත්වීමට තමයි බොහෝ පාසල්වල මුල් තැන දී තිබෙන්නේ. උන්නතිකාමී හා මුදල් හම්බ කිරීමේ අරමුණු ඇති විදුහල්පති හා ගුරු පරපුරක බිහි වීමත් මෙම තත්වය තීව්‍ර කිරීමට ඉවහල් වෙනවා. පාසල් සංදර්ශන පිටුපස කැරකෙන්නෙ වෙන මොනවාවත් නෙමෙයි, මුදලට, තනතුරුවලට හා කැපී පෙනීමට තියෙන අසීමිත කෑදරකම. මේ සංදර්ශන පිටුපස ඇඳුම් මැසීමේ, විවිධ සැපයුම් කිරීමේ බිස්නස් හා ටියුෂන් ජාවාරම් කැරකෙනවා.

ලංකාවේ අධ්‍යාපනය වානිජකරණය ඇත්තට ම සිදු වන්නේ ඉහළින් නොවෙයි, පහළින්. උදාහරණයක් විදියට වෙනත් රටවල පාසල් අතර තරගකාරිත්වය ඉහළ ගියේ නව ලිබරල් අධ්‍යාපන ප්‍රතිපත්ති ක්‍රියාත්මක වීම නිසායි. ඒ කියන්නෙ මුදල් අය කර දෙනු ලබන අධ්‍යාපනයට සිසුන් ආකර්ශනය කර ගැනීම සඳහා තම ගුණාත්මකභාවය පෙන්නීමට විභාග ප්‍රතිඵල හා විෂය බාහිර ක්‍රියාකාරකම් ආදිය පාවිච්චි කිරීමයි. ලංකාවෙ පාසල් අතර තියෙන තරගය කොච්චර ද කියනවා නම්, ඇතැම් වෙලාවට පාසල් අතර මහා ගෝරිත් ඇවිලෙනවා. ඒවාට පිදුරු දාන්නෙ ආදි ශිෂ්‍යයන්, ගුරුවරුන්, විදුහල්පතිලා වැනි අය. තමන්ගෙ ජයග්‍රහණ ගැන කියන්න ගමේ පාසල් පවා පාරට පේන්න තඩි ඩිජිටල් බැනර් දාගන්නවා. විභාග ප්‍රතිඵල ආදිය වාර්තා කර ගන්නට විදුහල්පතිලා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් පසුපස යනවා. ලංකාවෙ පාසල්වල අධ්‍යාපනය සඳහා වියදම දරන්නෙ රජය. පෙළ පොත්, නිල ඇඳුම්, සපත්තු ආදිය පවා නොමිළේ දෙනවා. සිසුන්ගෙන් අධ්‍යාපනය වෙනුවෙන් කිසිම අය කිරීමක් කරන්නට අවශ්‍ය නැහැ. හැබැයි එහෙම කරනවා. ඒ විතරක් නෙමෙයි, පාසල් අතර සිසුන් ආකර්ශනය කරගන්නට දැඩි තරගයකුත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ජනප්‍රිය පාසල්වල සේවය කරන්නට ගුරුවරුන්, විදුහල්පතිවරුන් අතරත් තරගයක් තියෙනවා. ජනප්‍රිය පාසලක රැඳීම වෙනුවෙන් ඇතැමෙක් ආත්මය පවා පාවා දෙනවා.

වෙනත් රටවල ඉහළින් දියත් වූ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් ලෙස ඇති වුණ මෙම අධ්‍යාපන තරගකාරිත්වය ලංකාවේ පාසල්වල පහළ මට්ටමෙන් නිර්මානය කිරීම අධ්‍යයනය කළ යුතු තත්වයක්. ඒ වුණාට ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රඥයන්ට ඕවා අධ්‍යයනය කරන්නට වෙලාවක් නැහැ. ඒ වෙනුවට ඒගොල්ලන්ට වෙනත් වැඩ තියෙනවා. සයිටම් විරෝධය, ජවිපෙට ඡන්දය දීම, නලින් ද සිල්වාට උත්තරයක් හෙවීම වගේ.

ලැප්ටොප් නැටුම වගේ ජවුසන් එකක් ආවාම ඒකට බැන වදින එක මිසක් අපේ සමාජය ලංකාවෙ අධ්‍යාපන අර්බුදයෙ ගැඹුර හෙවීමක් කරන්නට යන්නෙ නැහැ. ලැප්ටොප් නැටුම හරියට මුහුදෙ පාවෙන අයිස් කුට්ටියක වතුරෙන් උඩ තියෙන කොටස වගේ. වතුරෙන් යට තමයි එහි වැඩි හරියක් තියෙන්නෙ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2018-02-01

ගමේ ආණ්ඩු නිසා රජය ඉදිමී පුපුරන්නට නො දී වැඩ ගන්නේ කෙසේ ද?

(2018 පෙබරවාරි 4 රාවයේ පළ වනු ඇතැයි සිතා සුපුරුදු ලෙස යවන ලදී. පළ වී නැත. ප්‍ර‍ශ්නෙකුත් නැත ජනරංජනගෙන් පසු රාවය තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිමි. සුබපැතුම්!)

පෙබරවාරි මාසයේදී අලුත් පළාත් පාලන ආයතන පත් වනු ඇත. එසේම, එම මැතිවරණයේ ජය පරාජයන් විසින් අනාගත දේශපාලනයේ දිශානති ද පැහැදිලිව සලකුණු කරනු ඇත. මේ මොහොතේ ලංකාවට අවශ්‍යව තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වයකි. එය ගොඩනගා ගැනීමට නම් ආණ්ඩුව ශක්තිමත් විය යුතුව තිබේ. ආණ්ඩුව තුළ ද ගැටුමක් ඇති බව කවුරුත් දනිති. එහෙත්, ඡන්ද ව්‍යාපාරවල අවලාද, මඩගසාගැනීම් කෙසේ වෙතත්, ආණ්ඩුවේ පාර්ශ්ව 2020 දක්වා එක් ගමනක් යා යුතු ය. රටේ මේ මොහොතේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දැනටමත් ඒ තීරණයට එළැඹ තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණයෙන් දේශපාලන බලතුලනයෙහි කැපී පෙනෙන වෙනසක් ඇති වන බවක් දැනට නිරීක්ෂණය වී නැත.

වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පළාත් පාලන සභා ක්‍රියාත්මක වූයේ නැත. පළාත් පාලන ආයතන පැවතියේ කොමසාරිස්වරුන්ගේ හෝ ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය. ඡන්දයෙන් පත් වූ සභාපතිවරුන්ගේ හා සභාවක පාලනය යටතේ තිබුණු යුගයට වඩා කිසිදු නරකක් නිලධාරි පාලනයක් පැවැති මෙම යුගයෙහිදී ද තිබුණේ නැත. පළාත් පාලන අයතනවල කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වුණ අතර ඡන්දයෙන් පත් වූ සභිකයන් නො සිටි නිසා ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදු වන දූෂණ දක්නට නො ලැබිණි. අවාසනාවකට මෙන් ඒ හැටි හොඳක් තිබුණේ ද නැත. ඇතැම් තැන්වල රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණෙන් මහජන මුදල් ගසාගෙන කෑම කරගෙන ගිය හ. රාජ්‍ය නිලධාරීන් කිසි සේත් ම දේශපාලකයන්ට නො දෙවෙනි පිරිසක් බව ද, දේශපාලකයන් නම් අඩු තරමේ ඡන්දයකදී හෝ මහජනතාවට වගකියන බව ද රාජ්‍ය නිලධාරීන් එහෙමවත් නැති බව ද නිලධාරීන්ගේ පළාත් පාලනයෙන් නැවත, නැවත ඔප්පු විය. එහෙත්, පළාත් පාලන සභා නැති වීම නිසා මහජන නියෝජිතකම පාවිච්චි කරමින් චන්ඩිකම් කරන, සොරකම් කරන, අපරාධ කරන පිරිසෙහි අඩුවක් ද තිබිණි. එහි හොඳ පැත්තක් මෙන් ම නරක පැත්තක් ද තිබිණි. බිම් මට්ටමේ දේශපාලන නායකත්වයක් නැතිකම විශේෂයෙන් ම ආණ්ඩුවට ගැටලුවක් වූ බව දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, පෙබරවාරියෙන් පසු නැවතත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නට පටන් ගත් විට ඇති විය හැකි නරක තත්වයන් පාලනය කර ගන්නට පුරවැසියන් පැත්තෙන් අවබෝධයෙන් යුතුව මැදිහත් වීම අවශ්‍ය ය. කලින් සිටියේ පළාත් පාලන සභිකයන් 4500කට ආසන්න පිරිසකි. අලුතෙන් පත් වන පළාත් පාලන මන්ත්‍රීන් 8300කට වැඩි පිරිසක් නඩත්තු කරන මහජනතාවට ඔවුන්ගේ ප්‍රයෝජනවත්කම පිළිබඳ වග විය යුතු තැනට දේශපාලකයන් පොළඹවා ගැනීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නැත. 2017 වසරේ අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදලට අමතරව තේරී පත් වන සභිකයන්ගේ දීමනා හා අනෙකුත් වියදම් වෙනුවෙන් අලුතින් රු. කෝටි 74ක් අවශ්‍ය වනු ඇතැයි පළාත් සභා හභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා තිබේ. ප්‍රාදේශීය සභිකයකුට රු. 15,000 බැගින් ද, නගර හා මහ නගර සභිකයකුට රු. 20,000 බැගින් ද, සභාපතිවරයකුට රු. 25,000 බැගින් ද මහජන මුදලින් දීමනා ගෙවිය යුතු ය. වැඩි වන මන්ත්‍රීන් වෙනුවෙන් අලුතෙන් ශාලා, පුටු මේස, විදුලි පංකා, ලිපි ලේඛන සැපයිය යුතු ය. එසේම, පළාත් සභා මට්ටමෙන් උප නීති සම්මත කර ගනිමින් රැස්වීම් සඳහා දීමනා, ආහාර පාන, ගමන් ගාස්තු ආදිය ද ඔවුන් මහජන මුදලින් වෙන් කර ගන්නවා ඇත. සභිකයන් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වශයෙන් වැඩි වීම නිසා වියදම් හතර ගුණයකින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එසේම, ඉක්මණින් ම ඔවුන් සිය දීමනා ප්‍ර‍මාණවත් නැති බව කියා වැඩි වැටුප් හා වෙනත් ආදායම් ඉපැයිය හැකි මාර්ග අපේක්ෂා කරනු ඇත.

පළාත් පාලන මන්ත්‍රීන් අයථා ක්‍ර‍මවලින් මහජන මුදල් ගසා කන ආකාරය ගැන කදිම විස්තරයක් ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතට දොම්පේ අජිත් මදුරප්පෙරුම විසින් ලියා තිබණි. ගම් මට්ටමෙන් ඡන්දය ඉල්ලන වැඩි දෙනෙකු මෙවැනි තත්වයන් වෙනස් කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් ඇති අය නො වේ. ඔවුන් ඇට මැස්සන් රෑනක් සේ පළාත් පාලන ආයතනය වසා ගත් කල මහජනතාවට අත් වන ඉරණම කුමක් වනු ඇද්ද? මේ වන විට ජනාධිපතිවරයා දූෂණයට එරෙහිව දැවැන්ත හඬක් නගමින් තිබේ. එහෙත්, දූෂණයට එරෙහිව ආයතන ශක්තිමත් කිරීමකින් තොරව පෞද්ගලිකව කෑගැසීමෙන් කිසිවක් සිදු වන්නේ නැත. පසුගිය වසර තුන තුළ ද මේ රටේ බරපතල දූෂණ සිදු වූ අතර ආණ්ඩුවේත්, රජයේත් ඉහළ සිට පහළ දක්වා පිරිස් එයට සම්බන්ධ වූ හ. ඔවුන් පිළිබඳ විමර්ශන සිදු වන්නේ හා අඩු තරමේ නම් කර ලජ්ජාවට පත් කිරීම හෝ සිදු වන්නේ රටෙහි ආයතන පසුගිය සමයේ යම් තරමකට ස්වාධීන හා ශක්තිමත් වූ නිසා ය. නීතිය ක්‍රියාත්මක වීම පමා වන්නේ ආයතනවල ශක්තියේ ගැටලුව නිසා ය.

දූෂණයෙන් තොර පිරිස් පත් කිරීමෙන් දේශපාලනය පිරිසිදු කළ හැකි යයි ඇතැමෙක් විශ්වාස කරති. එහෙත්, සමාජය තුළ අපට හමු වන්නේ දූෂණයෙහි කෙළ පැමිණි පිරිස් හා දූෂණයට අවස්ථා නො ලද පිරිස් පමණකැයි සිතන්නට ඕනෑ තරම් සාක්ෂි අපට තිබේ. ඕනෑම පිරිසිදු ආධුනික දේශපාලකයකු පවා දූෂ්‍ය කිරීමට තරම් බලවත් රාජ්‍ය ව්‍යූහයක් ලංකාවේ තිබේ. එයට මහජනතාවත් සම්බන්ධ ය. එහෙයින් සමාජ වෙනස්කම් සිදු කිරීම ලෙහෙසි නැත. 

දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය දෙයකි. එයින් කාන්තාවන්ගේ වත්මන් තත්වය සාකච්ඡාවට ගත හැකි ය. 2015 වසරේ නිල ශ්‍ර‍ම බලකා දත්ත අනුව, ලංකාවේ වැඩ කළ හැකි වියේ කාන්තාවන්ගෙන් ශ්‍ර‍ම බලකායේ ඉන්නේ 36%කට අඩු පිරිසකි. කාන්තාවන්ගෙන් 1%ක්වත් ව්‍යවසායකයන් වන්නේ නැත. දේශපාලනයේ කාන්තා නියෝජනයේ ඉහළ යාම සමග මෙම තත්වයන් වෙනස් වන්නේ නම්, එය කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් මහජනයා දරන වියදමට සාධාරණයකි. 

පළාත් පාලන සභික සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යන්නට හේතු වූ තවත් කරුණක් වන්නේ සුළු පක්ෂ නියෝජනය වෙනුවෙන් සමානුපාතික ලැයිස්තුවකට ඉඩ ලබා දීමයි. මෙම සුළු පක්ෂ නියෝජනයෙහි වැදගත්කම ඇත්තේ විශේෂයෙන් ම දූෂණය වළක්වා ගැනීමෙහි ලා ය. එහෙත්, පළාත් පාලනයේ සිට ම දේශපාලනය සම්බන්ධයෙන් සක්‍රිය පුරවැසි සහභාගිත්වයක් නො තිබුණහොත් මේ කිසිවකින් තත්වයන් වෙනස් කරන්නට බැරි වනු ඇත. 

පළාත් පාලන සභිකයන්ට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ඍජුව ම ප්‍ර‍තිපාදන ලබා දීමේ ක්‍ර‍මවේදයක් ද ලංකාවේ තිබේ. භූගෝලීය පදනමින් කොට්ඨාස සඳහා පත් වන 60%ක් වන සභිකයන්ට හා සමානුපාතික නියෝජනය අනුව ලැයිස්තුවෙන් පත් වන සභිකයන්ට ප්‍ර‍තිපාදන බෙදා දෙන්නේ කෙසේ ද, එසේ බෙදා දෙන ප්‍ර‍තිපාදන භාවිතා වනු ඇත්තේ කුමන ආකාරයෙන් ද වැනි ගැටලු රැසක් විසඳා ගත යුතුව තිබේ. මේ මහජන මුදල් ය. 

අවසානයේදී පළාත් පාලනය නිසා තවත් වටයකින් රජය ප්‍ර‍සාරණය වී තිබේ. දැනටත් පැසවූ හොරි ගෙඩියක් වැනි වන රජයට මේ ඉදිමීම දරා ගන්නට පුළුවන් ද? එය පුපුරා ගියහොත් රටට හා ජනතාවට සිදු වනු ඇත්තේ කුමක් ද? මේ සියල්ලට ම විසඳුම් තිබෙන්නේ දේශපාලන නායකත්වය අතේ ය. දේශපාලන නායකත්වය ඒවා ක්‍රියාත්මක කරනු ඇත්තේ පුරවැසියන් නිසි පරිදි මැදිහත් වන්නේ නම් පමණි. සුබවාදීව බැලුවොත්, ගමේ ආණ්ඩුවෙන් ගමේ සංවර්ධනය සිදු කර ගන්නට පුළුවන. එහෙත්, ඒ සඳහා ගමේ ආණ්ඩුවේ සවිබල නැංවිය යුතු ය. එහි ධාරිතාවන් පුළුල් කළ යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.