2018-02-01

ගමේ ආණ්ඩු නිසා රජය ඉදිමී පුපුරන්නට නො දී වැඩ ගන්නේ කෙසේ ද?

(2018 පෙබරවාරි 4 රාවයේ පළ වනු ඇතැයි සිතා සුපුරුදු ලෙස යවන ලදී. පළ වී නැත. ප්‍ර‍ශ්නෙකුත් නැත ජනරංජනගෙන් පසු රාවය තේරුම් ගැනීමට උත්සාහ කරමින් සිටිමි. සුබපැතුම්!)

පෙබරවාරි මාසයේදී අලුත් පළාත් පාලන ආයතන පත් වනු ඇත. එසේම, එම මැතිවරණයේ ජය පරාජයන් විසින් අනාගත දේශපාලනයේ දිශානති ද පැහැදිලිව සලකුණු කරනු ඇත. මේ මොහොතේ ලංකාවට අවශ්‍යව තිබෙන්නේ දේශපාලන ස්ථාවරත්වයකි. එය ගොඩනගා ගැනීමට නම් ආණ්ඩුව ශක්තිමත් විය යුතුව තිබේ. ආණ්ඩුව තුළ ද ගැටුමක් ඇති බව කවුරුත් දනිති. එහෙත්, ඡන්ද ව්‍යාපාරවල අවලාද, මඩගසාගැනීම් කෙසේ වෙතත්, ආණ්ඩුවේ පාර්ශ්ව 2020 දක්වා එක් ගමනක් යා යුතු ය. රටේ මේ මොහොතේ බලවත් ම දේශපාලන පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය දැනටමත් ඒ තීරණයට එළැඹ තිබේ. කෙසේ වෙතත්, මෙම මැතිවරණයෙන් දේශපාලන බලතුලනයෙහි කැපී පෙනෙන වෙනසක් ඇති වන බවක් දැනට නිරීක්ෂණය වී නැත.

වසර දෙකකටත් වැඩි කාලයක් තිස්සේ පළාත් පාලන සභා ක්‍රියාත්මක වූයේ නැත. පළාත් පාලන ආයතන පැවතියේ කොමසාරිස්වරුන්ගේ හෝ ලේකම්වරුන්ගේ පාලනය යටතේ ය. ඡන්දයෙන් පත් වූ සභාපතිවරුන්ගේ හා සභාවක පාලනය යටතේ තිබුණු යුගයට වඩා කිසිදු නරකක් නිලධාරි පාලනයක් පැවැති මෙම යුගයෙහිදී ද තිබුණේ නැත. පළාත් පාලන අයතනවල කටයුතු සාමාන්‍ය අන්දමින් සිදු වුණ අතර ඡන්දයෙන් පත් වූ සභිකයන් නො සිටි නිසා ඔවුන්ගේ පාර්ශ්වයෙන් සිදු වන දූෂණ දක්නට නො ලැබිණි. අවාසනාවකට මෙන් ඒ හැටි හොඳක් තිබුණේ ද නැත. ඇතැම් තැන්වල රාජ්‍ය නිලධාරීන් මහා පරිමාණෙන් මහජන මුදල් ගසාගෙන කෑම කරගෙන ගිය හ. රාජ්‍ය නිලධාරීන් කිසි සේත් ම දේශපාලකයන්ට නො දෙවෙනි පිරිසක් බව ද, දේශපාලකයන් නම් අඩු තරමේ ඡන්දයකදී හෝ මහජනතාවට වගකියන බව ද රාජ්‍ය නිලධාරීන් එහෙමවත් නැති බව ද නිලධාරීන්ගේ පළාත් පාලනයෙන් නැවත, නැවත ඔප්පු විය. එහෙත්, පළාත් පාලන සභා නැති වීම නිසා මහජන නියෝජිතකම පාවිච්චි කරමින් චන්ඩිකම් කරන, සොරකම් කරන, අපරාධ කරන පිරිසෙහි අඩුවක් ද තිබිණි. එහි හොඳ පැත්තක් මෙන් ම නරක පැත්තක් ද තිබිණි. බිම් මට්ටමේ දේශපාලන නායකත්වයක් නැතිකම විශේෂයෙන් ම ආණ්ඩුවට ගැටලුවක් වූ බව දක්නට ලැබිණි.

කෙසේ වෙතත්, පෙබරවාරියෙන් පසු නැවතත් පළාත් පාලන ආයතන ක්‍රියාත්මක වන්නට පටන් ගත් විට ඇති විය හැකි නරක තත්වයන් පාලනය කර ගන්නට පුරවැසියන් පැත්තෙන් අවබෝධයෙන් යුතුව මැදිහත් වීම අවශ්‍ය ය. කලින් සිටියේ පළාත් පාලන සභිකයන් 4500කට ආසන්න පිරිසකි. අලුතෙන් පත් වන පළාත් පාලන මන්ත්‍රීන් 8300කට වැඩි පිරිසක් නඩත්තු කරන මහජනතාවට ඔවුන්ගේ ප්‍රයෝජනවත්කම පිළිබඳ වග විය යුතු තැනට දේශපාලකයන් පොළඹවා ගැනීම ලෙහෙසි පහසු දෙයක් වන්නේ නැත. 2017 වසරේ අයවැය ලේඛනයෙන් වෙන් කරන ලද මුදලට අමතරව තේරී පත් වන සභිකයන්ගේ දීමනා හා අනෙකුත් වියදම් වෙනුවෙන් අලුතින් රු. කෝටි 74ක් අවශ්‍ය වනු ඇතැයි පළාත් සභා හභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා තිබේ. ප්‍රාදේශීය සභිකයකුට රු. 15,000 බැගින් ද, නගර හා මහ නගර සභිකයකුට රු. 20,000 බැගින් ද, සභාපතිවරයකුට රු. 25,000 බැගින් ද මහජන මුදලින් දීමනා ගෙවිය යුතු ය. වැඩි වන මන්ත්‍රීන් වෙනුවෙන් අලුතෙන් ශාලා, පුටු මේස, විදුලි පංකා, ලිපි ලේඛන සැපයිය යුතු ය. එසේම, පළාත් සභා මට්ටමෙන් උප නීති සම්මත කර ගනිමින් රැස්වීම් සඳහා දීමනා, ආහාර පාන, ගමන් ගාස්තු ආදිය ද ඔවුන් මහජන මුදලින් වෙන් කර ගන්නවා ඇත. සභිකයන් සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වශයෙන් වැඩි වීම නිසා වියදම් හතර ගුණයකින් පමණ වැඩි වනු ඇතැයි අපේක්ෂා කළ හැකි ය. එසේම, ඉක්මණින් ම ඔවුන් සිය දීමනා ප්‍ර‍මාණවත් නැති බව කියා වැඩි වැටුප් හා වෙනත් ආදායම් ඉපැයිය හැකි මාර්ග අපේක්ෂා කරනු ඇත.

පළාත් පාලන මන්ත්‍රීන් අයථා ක්‍ර‍මවලින් මහජන මුදල් ගසා කන ආකාරය ගැන කදිම විස්තරයක් ගිය සතියේ ඉරිදා ලංකාදීප පුවත්පතට දොම්පේ අජිත් මදුරප්පෙරුම විසින් ලියා තිබණි. ගම් මට්ටමෙන් ඡන්දය ඉල්ලන වැඩි දෙනෙකු මෙවැනි තත්වයන් වෙනස් කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් ඇති අය නො වේ. ඔවුන් ඇට මැස්සන් රෑනක් සේ පළාත් පාලන ආයතනය වසා ගත් කල මහජනතාවට අත් වන ඉරණම කුමක් වනු ඇද්ද? මේ වන විට ජනාධිපතිවරයා දූෂණයට එරෙහිව දැවැන්ත හඬක් නගමින් තිබේ. එහෙත්, දූෂණයට එරෙහිව ආයතන ශක්තිමත් කිරීමකින් තොරව පෞද්ගලිකව කෑගැසීමෙන් කිසිවක් සිදු වන්නේ නැත. පසුගිය වසර තුන තුළ ද මේ රටේ බරපතල දූෂණ සිදු වූ අතර ආණ්ඩුවේත්, රජයේත් ඉහළ සිට පහළ දක්වා පිරිස් එයට සම්බන්ධ වූ හ. ඔවුන් පිළිබඳ විමර්ශන සිදු වන්නේ හා අඩු තරමේ නම් කර ලජ්ජාවට පත් කිරීම හෝ සිදු වන්නේ රටෙහි ආයතන පසුගිය සමයේ යම් තරමකට ස්වාධීන හා ශක්තිමත් වූ නිසා ය. නීතිය ක්‍රියාත්මක වීම පමා වන්නේ ආයතනවල ශක්තියේ ගැටලුව නිසා ය.

දූෂණයෙන් තොර පිරිස් පත් කිරීමෙන් දේශපාලනය පිරිසිදු කළ හැකි යයි ඇතැමෙක් විශ්වාස කරති. එහෙත්, සමාජය තුළ අපට හමු වන්නේ දූෂණයෙහි කෙළ පැමිණි පිරිස් හා දූෂණයට අවස්ථා නො ලද පිරිස් පමණකැයි සිතන්නට ඕනෑ තරම් සාක්ෂි අපට තිබේ. ඕනෑම පිරිසිදු ආධුනික දේශපාලකයකු පවා දූෂ්‍ය කිරීමට තරම් බලවත් රාජ්‍ය ව්‍යූහයක් ලංකාවේ තිබේ. එයට මහජනතාවත් සම්බන්ධ ය. එහෙයින් සමාජ වෙනස්කම් සිදු කිරීම ලෙහෙසි නැත. 

දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම අත්‍යවශ්‍ය දෙයකි. එයින් කාන්තාවන්ගේ වත්මන් තත්වය සාකච්ඡාවට ගත හැකි ය. 2015 වසරේ නිල ශ්‍ර‍ම බලකා දත්ත අනුව, ලංකාවේ වැඩ කළ හැකි වියේ කාන්තාවන්ගෙන් ශ්‍ර‍ම බලකායේ ඉන්නේ 36%කට අඩු පිරිසකි. කාන්තාවන්ගෙන් 1%ක්වත් ව්‍යවසායකයන් වන්නේ නැත. දේශපාලනයේ කාන්තා නියෝජනයේ ඉහළ යාම සමග මෙම තත්වයන් වෙනස් වන්නේ නම්, එය කාන්තා නියෝජනය ඉහළ නැංවීම වෙනුවෙන් මහජනයා දරන වියදමට සාධාරණයකි. 

පළාත් පාලන සභික සංඛ්‍යාව විශාල වශයෙන් ඉහළ යන්නට හේතු වූ තවත් කරුණක් වන්නේ සුළු පක්ෂ නියෝජනය වෙනුවෙන් සමානුපාතික ලැයිස්තුවකට ඉඩ ලබා දීමයි. මෙම සුළු පක්ෂ නියෝජනයෙහි වැදගත්කම ඇත්තේ විශේෂයෙන් ම දූෂණය වළක්වා ගැනීමෙහි ලා ය. එහෙත්, පළාත් පාලනයේ සිට ම දේශපාලනය සම්බන්ධයෙන් සක්‍රිය පුරවැසි සහභාගිත්වයක් නො තිබුණහොත් මේ කිසිවකින් තත්වයන් වෙනස් කරන්නට බැරි වනු ඇත. 

පළාත් පාලන සභිකයන්ට ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ඍජුව ම ප්‍ර‍තිපාදන ලබා දීමේ ක්‍ර‍මවේදයක් ද ලංකාවේ තිබේ. භූගෝලීය පදනමින් කොට්ඨාස සඳහා පත් වන 60%ක් වන සභිකයන්ට හා සමානුපාතික නියෝජනය අනුව ලැයිස්තුවෙන් පත් වන සභිකයන්ට ප්‍ර‍තිපාදන බෙදා දෙන්නේ කෙසේ ද, එසේ බෙදා දෙන ප්‍ර‍තිපාදන භාවිතා වනු ඇත්තේ කුමන ආකාරයෙන් ද වැනි ගැටලු රැසක් විසඳා ගත යුතුව තිබේ. මේ මහජන මුදල් ය. 

අවසානයේදී පළාත් පාලනය නිසා තවත් වටයකින් රජය ප්‍ර‍සාරණය වී තිබේ. දැනටත් පැසවූ හොරි ගෙඩියක් වැනි වන රජයට මේ ඉදිමීම දරා ගන්නට පුළුවන් ද? එය පුපුරා ගියහොත් රටට හා ජනතාවට සිදු වනු ඇත්තේ කුමක් ද? මේ සියල්ලට ම විසඳුම් තිබෙන්නේ දේශපාලන නායකත්වය අතේ ය. දේශපාලන නායකත්වය ඒවා ක්‍රියාත්මක කරනු ඇත්තේ පුරවැසියන් නිසි පරිදි මැදිහත් වන්නේ නම් පමණි. සුබවාදීව බැලුවොත්, ගමේ ආණ්ඩුවෙන් ගමේ සංවර්ධනය සිදු කර ගන්නට පුළුවන. එහෙත්, ඒ සඳහා ගමේ ආණ්ඩුවේ සවිබල නැංවිය යුතු ය. එහි ධාරිතාවන් පුළුල් කළ යුතු ය. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

7 comments:

  1. පැරා, රාවය ට මොකද වෙන්නෙ? අද වැඩ ඇරගෙන ඒ ගැන තිබ්බ ලිපිටික කියෙව්වා. ෂොකිං!

    දීර්ග කාලීන පාඨකයෙක් විදියට, ප්‍රධාන කතෘ විදියට ජනරංජනගෙ අවුලක් මම කවදාවත් දැක්කෙ නැහැ. එයා යහපාලන ආන්ඩුව ගැන පෙන්වන ඇප්‍රෝච් එක මට නම් අවුලක් නැහැ. ඇතුලෙ දේවල් නම් මෙලෝ බෝලයක් මම දන්නෙ නැහැ. අයිවන්ගෙ පුනරුදය ව්‍යාපාරය ගැනත් මගේ තියෙන්නෙ පැහැදීමක්.

    උවිඳු, නිර්මාල්, අයිවන් කියන දේවල් කියවලා, මට නිකන් කරකෝලා අත ඇරියා වගේ.

    කවුද හරි? ජනරංජන මේ ගැන යමක් කියා ඇති තැනක් නම් දැක්කේ නැහැ. පැරා මේ ගැන දන්න දෙයක් තියෙනවද? (අමාරුවෙ දාන්න නෙමෙයි අහන්නෙ, ඇත්තටම ෂොක් වෙච්ච හින්ද.)

    ඒ අතරෙදි හඳගම මෙන්න මෙහෙම කියනවා එෆ්බී එකේ.. උපුටා දක්වනවා ඒ ගැන එකඟ වෙනගමන් එකෙන්ම..

    //රාවය නමත් එක්කම කියවෙන නම් අතර එහි නිත්‍ය සංස්කාරක මඩුල්ලේ ජනරංජන, ලසන්ත, ටිරන්, සංජීව නොමැති රාවයක්, රාවයක් විය නොහැකියි. ඒ නිසා රාවය යනු එනමින් ඇති තවත් පුවත්පතක් නොවන බව එහි ගැටුම් කලනාකරණය කරන්නන් සිහි තබා ගත යුතුයි. - අශෝක හඳගම //

    - Dimithri

    ReplyDelete
    Replies
    1. රාවය සමග මගේ සම්බන්ධය සිරිකොත සමග සම්බන්ධයට වඩා ලොකු වෙනසක් නැහැ. සිරිකොතට මා කිසි දවසක ගිහින් නැහැ. රාවයට ජීවිතේට ම දෙපාරක් ගිහින් තියෙනවා. මම අවුරුදු දහයක් විතර තිස්සෙ රාවයට ලිව්වාට රාවය කවදාවත් මාව රාවයේ කෙනෙකු ලෙස සලකා නැහැ. අඩු ගානෙ රාවයේ සුහද හමුවකටවත් මට නම් ආරාධනා ලැබිලා නැහැ. ඒ නිසා ඇත්තට ම මට රාවයත් එක්ක තියෙන සම්බන්ධය ඔය අනෙක් ඕනෑම පාඨකයෙකුට තියෙන සම්බන්ධයට වැඩි එකක් නෙමෙයි. හැබැයි, රාවය බොහෝ විට අපේ මතවලට ඉඩ දුන්නා. යම් ගැටුම් ඇති වුණත්, ආපහු රාවයට ම යොමු වෙන්නෙ වෙන ලියන්න පත්තර නැති හින්දා නෙමෙයි. රාවයට ලියනකොට හා රාවයෙ පාඨකයන්ට අමතනකොට පොඩි අපේකමක් දැනෙන නිසා.

      මට රාවය එක්ක තියෙන සම්බන්ධයයි, පුනරුදය එක්ක තියෙන සම්බන්ධයයි පටලවා ගන්න මට උවමනාවක් නැහැ. හැබැයි, හඳගම කියන මේ කතාව ඇත්ත බව මේ සතියෙ රාවය පෙන්නුම් කරලා තියෙනවා.

      Delete
  2. හා පික්February 2, 2018 at 5:22 PM

    ඉහත රූපය
    සමාජවාදී බෙට්ට දාන්න තටමන ලංකාවේ වාමාංශික ලමයෙක්.

    ReplyDelete
  3. Replies
    1. රාවය දැන් මාකට් එකට ඇවිත්

      Delete
  4. කාරි කරන්නට අසමත් මහතුන්ට
    කාරි කරන හැටි නිසි පහදා දෙන්ට
    සාරි පොටට බැරි නැති බව පෙන්වන්ට
    නාරිලතා එති චන්දෙන් සබාවට

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.