2018-02-10

හෙටින් පස්සෙ ගමේ ආණ්ඩුව එක්ක ඩීල් කරන හැටි

සිකුරාදා උදේ ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයේ සාරප්‍රභාගිර වැඩසටහන වෙනුවෙන් ආචාර්ය සුජාතා ගමගේ සමග සම්මුඛ සාකච්ඡාවක් කළා. ඇය කලින් රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරියක් වුණත්, මෑත කාලයේදී පාලනය පිළිබඳ ගැඹුරු හැදෑරීමක් කළ කෙනෙක්. පහත අදහස් මතු වුණේ ඇය සමග කරන ලද සාකච්ඡාවේදීයි.

සමානුපාතික නියෝජනය හේතුවෙන් අපේක්ෂකයන් සංඛ්‍යාව වැඩි වුණාට, ඒ නිසා මහජනයාට දරන්නට සිදු වන වියදම් වැඩි වුණාට, එයින් මහජනයාට ලබා ගත හැකි ප්‍රතිලාභ වැඩියි. අනෙක ඉදිරියේදී අපට මෙම සභික සංඛ්‍යාව අඩු කර ගන්නට උත්සාහ කරන්නට පුළුවන්. හැබැයි, පළාත් සභා, පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව නම් කිසි සේත් ම වැඩි නො කළ යුතුයි. 

කොට්ඨාස ක්‍රමය නිසා සෑම අනු කොට්ඨාසයකට ම දේශපාලන නායකයෙකු බිහි වෙනවා. පරාජිත අය වුණත් ඊළඟ මැතිවරණය වෙනුවෙන් වැඩ කරනවා. ඒක මහජනතාවට හොඳ තත්වයක්. කොට්ඨාසයේ නියෝජිතයාට හිමි නායකත්වයට කවුරුත් ගරු කරන්නට ඕනැ. බලයේ සිටින පක්ෂ නො වන පක්ෂවලින් පත් වෙන අයට වුණත් ප්‍රතිපාදන දෙන්නට සිදු වෙනවා.

සමානුපාතික නියෝජනය යටතේ පත් වන අයට සභාවට යෝජනා ඉදිරිපත් කරලා තමන් කැමති විෂයක් පිළිබඳ කමිටුවක් ගොඩනගාගෙන වැඩ කරන්නට පුළුවන්. උදාහරණයක් විදියට මුළු පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ ම වැඩිහිටියන් වෙනුවෙන් වැඩ කරන්නට ඕනැ නම් ලැයිස්තුවෙන් ආපු අපේක්ෂකයකුට පුළුවන්. එහිදී ඔවුන්ට තමන් කැමති විෂයයක් තෝරාගෙන වැඩ කරන්නටත් පුළුවන්. 

කොට්ඨාස බෙදා තිබුණාට පළාත් පාලන ආයතනවලට වැඩ කරන විට කොට්ඨාස අතර සම්බන්ධය ඉතා වැදගත්. කාණුවක්, ඇලක්, පාරක් හදන්න ගියත් ඒක එහෙමයි. 

පළාත් පාලන ආයතනවලට මේ තරම් නියෝජිතයන් පිරිසක් පත් කර ඇරියාට පසුව ආයෙත් මහජනතාව ඒවා පිළිබඳ හොයා බලන්නට අවශ්‍ය නැහැ. ඒ වුණාට ලංකාවේ තිබෙන දේශපාලන පසුගාමිත්වය නිසා මහජනතාව මේවා පිළිබඳ සොයා නො බැලුවොත්, බලපෑම් නො කළොත් හරියට වැඩ සිදු වෙන්නෙ නැහැ. මේ වෙනුවෙන් වැඩ කරන්නට පුරවැසියන්ට සංවිධාන හදා ගන්නට පුළුවන්. ඒවාට ගොඩක් මහන්සි වෙන්නට ඕනැ නැහැ. වට්සැප් ගෘප් වගේ ඒවා භාවිතා කරන්නට පුළුවන්. 

පුරවැසියන්ට සෑම රැස්වීමක් ම නිරීක්ෂණය කරන්නට යන්නට පුළුවන්. පළාත් පාලන ආයතන විසින් පුරවැසි ප්‍රඥප්තියක් සකස් කළ යුතුයි. පළාත් පාලන ආයතන විසින් සපයනු ලබන සේවාවන්ට ගත වන කාලය වැනි දේවල් එමගින් ඉදිරිපත් කළ හැකියි. දැන් තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක නිසා පුරවැසියන්ට ඉතා සරල අයදුම්පතක් පුරවලා අවශ්‍ය තොරතුරු ලබා ගන්නටත් පුළුවන්.

පළාත් පාලන ආයතන විසින් සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කළ යුතුයි. ඒ සංවර්ධන සැලැස්ම හදන්නට පුරවැසි සහභාගිත්වය ලබා ගත හැකියි. ඒ වෙනුවෙන් අවශ්‍ය නම් අතුරු නීති සම්මත කර ගත හැකියි. 

අනෙක් වැදගත් කාරණය තමයි, වාර්ෂික වාර්තාව. තමන්ගේ ප්‍රගතිය ගැන ජනතාවට සන්නිවේදනය කිරීම සඳහා එය ඉතා වැදගත්. 

බිම් මට්ටමේ නායකයන් බිහි කරන මෙම මැතිවරණය ඉතා ම වැදගත්. මේ මැතිවරණයේ අපේක්ෂකයන් ඇත්තෙන් ම ගම්වල නායකයන් වීමට සුදුසු අය ද කියන ප්‍රශ්නය තිබෙනවා. ඒක එහෙම වුණේ පක්ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටලුවක් නිසා. පක්ෂවල හරි හමන් සංවිධාන, බල මණ්ඩල නැහැ. ඒවායේ තිබෙන්නේ වැඩවසම් ස්වරූපී සම්බන්ධතා. ඒ කියන්නේ සංවිධායක හා ඔවුන්ගේ ගෝලයන්. ගම් මට්ටමේ නායකයන් වෙන්නට ඡන්දය ඉල්ලන ගෝලයන් මෙතෙක් කළේ රැස්වීම්, මැයි දින ආදියට සෙනග ගෙන යන්නට එවන බස් එකට මිනිසුන් ටිකක් පුරවා දෙන එකයි, කොන්ත්‍රාත් ආදියයි විතරයි. 

මේ තත්වය අඩු වැඩි වශයෙන් හැම පක්ෂයක ම තිබෙනවා. මේක වෙනස් කරන්නට නම් මධ්‍යම පංතිකයන් පක්ෂ බල මණ්ඩලවලට සම්බන්ධ වෙලා පක්ෂ යාන්ත්‍රණය විධිමත් කරන්නට ඕනැ. ඒකට පටු අපේක්ෂාවලින් තොරව පක්ෂය වෙනුවෙන් වැඩ කරන මධ්‍යම පංතිකයන් ඉතා වැදගත්. ඔවුන්ට පුළුවන් මෙම තත්වය වෙනස් කරන්නට. කොහොම කිව්වත්, පක්ෂ දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වැදගත් සාධකයක්. 

මේ අතරතුර තේරී පත් වන පළාත් පාලන නියෝජිතයන් නායකත්වයට හා පළාත් පාලනයට පුහුණු කිරීම අත්‍යවශ්‍යයි. එහි වගකීම තිබෙන්නේ පළාත් සභාවේ පළාත් පාලන කොමසාරිස්වරයාටයි.

තවත් බොහෝ වැදගත් අදහස් රැසක් මෙම සාකච්ඡාවේදී මතු වුණා. සාරප්‍රභාගිරෙන් අප කරන්නේ මෙවැනි කතාබහ මාලාවක්. එය අරමුණක් සහිතව කරන වැඩසටහන් පෙළක්. සිකුරාදා උදේ 8 සිට 9 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් අප කරන සාකච්ඡා මාලාවට සවන් දෙන්නට පුළුවන්. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

2 comments:

  1. රටේ සිංහලබෞද්ධ ජනගහනයෙන් 60% පමන සිංහලබෞද්ධ වර්ගවාදී රාජපක්ෂ මිනීමරුවන්ට කොන්දේසි විරහිතව කැමති බව විතරක් මේ චන්දෙන් පේන්න තියෙනව

    ReplyDelete
  2. චන්ද ප්‍රතිපල පැහැදිලි වෙමින් පවතී (දැන් 00.18 -පෙබ 11)...

    පැරා තාම හිතනවද රනිල්ගෙ නවීන ආර්ථික ප්‍රතිපත්ති හැන?

    මම හිතන්නෙ දේශපාලකයෙක් විදියට නම් තව දුරටත් බලපොරොත්තු තියාගන්න බැරිවෙයි (ලබාගත් බලය අවුරුදු 3ක්වත් අල්ල ගෙන ඉන්න බැරි කෙනෙක්!) අදාල අමාත්‍යංශයට (මුදල්/ප්‍රතිපත්ති ) රාජ්‍ය නිලධාරියෙක් විදියට ස්ථිර පත්වීමක් වත් දීල කරගන්න බලන්න වෙයි.

    Dimithri

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.