|
||||||||||||||
|
"කොටින්ට ගහමු; දෙමළුන්ට මෘදු වෙමු," දයාන් ජයතිලක කියයි බලය බෙදාගත යුතු බව කියන්න දයාන් බයයි වගේ (W3Lanka, මාර්තු 25) ලංකාව කොටින් විෂයෙහි තද ස්ථාවරයක් ගන්නා තරමටම දෙමළ ජනයා විෂයෙහි මෘදු විය යුතු බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය තානාපති වන ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලිපියක් ලියමින් පවසයි. 1971දී ඝාකනය නොකරන ලද රෝහන විජේවීර 1989දී යළි වඩා ප්‍රචණ්ඩ කැරැල්ලක් ගැසීම, ඔහු මිය යාමෙන් පසු ජවිපෙ ප්‍රචණ්ඩත්වය අතහැර දැමීම, පේරු හා කුර්දිස්ථානයේ කැරැලි නායකයන් අත්අඩංගුවේ පසුවද්දී කැරැලි යළි පණ ගැනීම, ඇංගෝලාවේ හා චෙච්නියාවේ කැරැලි නායකයන් මරාදැමීමත් සමග කැරැලි අවසන් වීම උදාහරණ ලෙස දක්වන දයාන් කියන්නේ රජය ජාත්‍යන්තර නීතිය අනුව රැකීමට දැඩි ලෙස ක්‍රියා කරන අතරේ කොටි සංවිධානයේ හිස සුන් කිරීමේ හා විනාශ කිරීමේ හමුදා මෙහෙයුම් නතර කිරීමට කිසිවකුට ඉඩ නොදිය යුතු බවයි. දෙමළ විදෙස්ගත ප්‍රජාව පසමිතුරකු ලෙස බැරෑරුම් අන්දමින් සැලකිය සංවිධානාත්මකව බලමුළුගැන්වී ඇති බවද, එය මේ දක්වාම කොටින්ගේ දේශපාලන ඒකාධිකාරයට යටත් බවද ඔහු නිරීක්ෂණය කරයි. මෙම තත්වයට මුහුණ දීම සඳහා ලංකාව වෙනස් විය යුතු බව දයාන් කියයි. සිංහල අති ජාතිකවාදීන් ගැන ඔහුගේ අදහස ඔවුන් බටහිර පමණක් නොව ආසියාවේ චීනය, ඈත පෙරදිග හා ඉන්දියාවේ පවා නූතනත්ව ඉගැන්වීම් නොතකා හැර, ලෝකයේ තබා ආසියාවේවත් නොපවතින මන:කල්පිත ආගමික රටවල් කාණ්ඩයක් තුළ අනන්‍යතාව පිහිටුවීමට යත්න දරන බවයි. ඍජුව පවසන්නේ නැතිව වටෙන් කොට කොටා දයාන් ජයතිලක පෙන්වා දෙන්නේ ලංකාවේ සංස්කෘතික බහුවිධභාවයට අනුරූප රාජ්‍ය ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාවයි. දයාන් එය කෙළින් කියන්නට බිය වෙනවා පමණක් නොව තම ලිපිය අවසන් කරන්නේ එහි අඩංගු අදහස් තම පෞද්ගලික මතවාදයන් බවද අවධාරණය කරමිනි. පුවත් පිටුවට නිවහන් පිටුවට
ඔබේ අදහස්
|
|||||||||||||
|
© POWERED BY W3LANKA |
||||||||||||||