ජාතිවාදී නො වන ලාංකිකයකු බව හඬ ගා කියන්න

I am not a racist
මේ ස්ටිකරය අවශ්‍ය නම් අපට කියන්න. w3lanka@gmail.com

I AM NOT A RACIST by Chinthana Dharmadasa

“අවුරුදු මිලියන ගානක් මිනිස්සු අනිත් සත්තු වගේම ජීවත් වුනා. ඒත් එකපාරටම අපේ පරිකල්පනයේ ශක්තිය නිදහස් කරන යමක් සිද්ද වුනා. අපි කතා කරන්නත් සවන් දෙන්නත් ඉගෙන ගත්තා. කතා කිරීමේ හැකියාව නිසා අපිට අදහස් සන්නිවේදනය කරන්නත් එකට වැඩ කරමින් මෙතෙක් කළ නොහැකි දේවල් කරන්නත් පුළුවන් වුනා. මිනිස් වර්ගයාගේ ශ්‍රේෂ්ටතම ජයග‍්‍රහණ ලබාගත්තේ කතා කිරීම නිසයි. ඒ වගේම විශාලතම පරාජයන් ලැබුවේ කතා නොකිරීම නිසයි. අපිට අද තියෙන සුවිසල්ම සිහින හෙට යතාර්ථයන් වීමට නියමිතයි. අපි අතේ තියෙන තාක්‍ෂණය එක්ක අපිට කරන්න පුළුවන් දේවල් අසීමිතයි. අපි කරන්න ඕන දේ දිගටම කතාව පවත්වාගෙන යාමයි.”

ලෝකෙ වෙනස් වෙන්නෙ කතා කරන මිනිස්සු හින්ද. පොඩි පිරිසක් වුනත් දිගට පවත්වාගෙන යන කතාවකින් ලෝකෙ වෙනස් වීම අනිවාර්යයි. ස්ටීවන් හෝකින් කියන්නෙ ඒක.

නුවර ඇවිලිච්ච පිස්සුවෙදි ෆේස්බුක් පවා අහිමි වුන සතියෙදි යාලූවො මට කෝල් කරලා ඇහුවා,

‘මචං මොකුත් කරන්න බැරිද අපිට?’

ඒක හරිම බලාපොරොත්තු ඇති කරන තත්වයක්. රටම අරාජික වෙලාවක අදහසක් වෙනුවෙන් එකතු වෙන්න කීපදෙනෙක් හරි ඉන්න එක.

ඉතාම සරල පුංචි වැඩක් විදිහට මේ ස්ටිකර් එක ගැන අදහස එන්නෙ එතකොට.

මේ රටේ බහුතරයක් මිනිස්සු ජාතිවාදයට විරුද්දයි. ඒත් ජාතිවාදියො සද්දයි. දේශපාලන බලය වෙනුවෙන් ඕනකෙනෙකුට ඕන වෙලාවක මේක අවුස්සලා වාසි ගන්න පුළුවන්.

ඒත් ආර්තිකවත්, සමාජීයවත්, පුද්ගලිකවත්, මානසිකවත් කඩන් වැටෙන්නෙ රටම.
ඒ ජාතිවාදයට විරුද්ද නිහ`ඩ මිනිස්සුන්ගෙ කළකිරීම, හෙලාදැකීම කියන්න වොයිස් එකක් හදන්න පුළුවන් නම්..

මුලින් කීප දෙනෙක් වුනත් ඒ කීපදෙනා තමන්ගෙ පිළිකුල සද්දෙට කියනවා.

‘මේක පොසිටිව් විදිහට කියන්න බැරිද?’
සමහරු එහෙම ඇහුවා.

ඒ කියන්නෙ ‘අපි එකම රටක්’, ‘එකට නැගෙමු’ වගේ අදහස්. අපි කාලාන්තරයක් තිස්සෙ එහෙම දේවල් කිව්වා. ඒත් ඒ හැම එකකටම වඩා සිංහ ලේ පැතිරෙන්න ගත්තා.

ඊට වඩා ඍජු නිශ්චිත පුද්ගලික පෙනී සිටීමක් අවශ්‍ය වුනා. රොමැන්ටික් වෙනවා වෙනුවට ප්‍රොටෙස්ට් කරන්න ඕන වෙලා තිබුන.

මාත් ලංකාවෙ. ඒත්
මම ජාතිවාදියෙක් නෙමෙයි..
කරුණාකරලා උඹලගෙ ගොං තකතීරු මිනීමරු සෙල්ලංවලට මාව ගාවගන්න එපා.

එක විදිහකට ඒක අපි අවට නිතර දකින සෙනගට කියනවා. හිරිවැටුන අයව පොඞ්ඩක් කොනිත්තනවා. අනිත් පැත්තෙන් බලය වෙනුවෙන් ජාතිවාදය ප‍්‍රතිනිෂ්පාදනය කරන බල තක්කඩින්ට කියනවා.

රැලක් අන්ධ විදිහට දක්කන්න පුලූවන් වෙයි. ඒත් ඒ අතර අනෙක් අතට ඇවිදින්න උත්සාහ කරන කීප දෙනෙක් හරි ඉඳීවී. අනාගතයෙදි පිරිස තව ලොකු වේවි. අපිට තියෙන්නෙ දිගටම කතාව පවත්වාගෙන යාම.

ලොකුම පරාජය වෙන්නෙ කතා නොකිරීම.
එතකොට ඇයි ස්ටිකර් එකක්?

පළවෙනි එක ඒක මහපාරෙ පෙනී සිටීමක්. එක දවසක මහ පිරිසක් එක්ක කොහේ හරි තැනක කරන ප්‍රොටෙස්ට් එකකට වඩා ප‍්‍රබල තනි තනි මැදිහත්වීමක්. පැය විසි හතරක් පුරා පාරක් පාරක් ගානෙ පෝස්ටර් එකක උස්සන් ඇවිදින තරමෙ සද්දයක්. ස්ටිකර් එක පොඩි වුනාට ඒ වටේ ගොඩනැගෙන මිනිස් ක‍්‍රියාකාරීත්වය ලොකු එකක්.

ඇයි ඉංග‍්‍රීසියෙන්?

බාසා තුනෙන් හැමදේම ගහන එක හරි විකාරසහගත වැඩක්. ලංකාවෙ ත‍්‍රීවීල් එකක වුනත් ත‍්‍රීවිල් වැකි ගොඩක් ගහන්නෙ ඉංග‍්‍රීසියෙන්. ‘අයි ඇම් නොට් අ රේසිස්ට්’ කියන්නෙ ‘අයි ලව් යූ’ වගේ බාසා සීමාවක් නැතුව හොඳටම ලෝකලයිස් කරන්න හැකියාව තියෙන සහ කරන්න අත්‍යාවශ්‍ය ලයින් එකක්.

එක දෙයක් හරියටම කියන්න පුළුවන්. මේ රටේ ජාතිවාදය හදන හැමෝටම මේ වාක්‍ය හොඳට තේරුම් ගන්න පුළුවන්.

ජනක මේ ස්ටිකර් එක ඩිසයින් කරලා දුන්නා. අදහසට කැමති වුන යාලූවො පිරිසක් ප‍්‍රින්ට් කරන්න ඕන සල්ලි එකතු කරලා දුන්නා.

මේක නොමිලේ පුළුවන් තරම් පිරිසක් එක්ක ෂෙයාර් කරගන්න එකයි අරමුණ. ඒ වෙනුවෙන් උදව් වෙන්න කැමති අය ඇඩ‍්‍රස් එක w3lanka@gmail.com ලිපිනයට ඊමේල් කරන්න. ස්ටිකර් 10- 25ක් විතර වෙනකල් ප‍්‍රමාණයක් පෝස්ට් කරලා එවන්න පුළුවන්. මේ අදහස එලිපිට කියන්න කැමති අය අතරෙ ඒවා බෙදන්න.

ඒ වගේම නැවත නැවත රීප‍්‍රින්ට් කරන්න උදව් කරන්න කැමති අයත් එකතු වෙන්න. එතකොට ඕන වෙන ප‍්‍රමාණ වලින් ප‍්‍රින්ට් කරලා බෙදන්න පුළුවන්.

ආර්ට් වර්ක් එක එව්වම තමන්ට ප‍්‍රින්ට් කරගන්න හරි තව ප‍්‍රින්ට් කරලා අවට බෙදන්න හරි පුළුවන් අයට ආර්ට්වර්ක් එක මේල් කරන්න වුනත් පුළුවන්.

අලවන හැමෝමත් ෆොටෝ එකක් අරන් ෆේස්බුක් දාලා #IamNotaRacist හෑෂ් ටැග් කරන්න.

වැදගත්ම දේ වෙන්නෙ මේ අදහස වටේ අපි සවිඥානක සාමූහික ක‍්‍රියාකාරීත්වයක් හදාගන්න එක.

මේ පුංචි ස්ටිකර් එක ඒකට පුංචි ආරම්භයක්.

(මෙය W3Lanka විසින් මුල පුරන ලද කාර්යයක් නො වන බව ද, හොඳ වැඩක් වෙනුවෙන් අප විසින් දක්වන සහයෝගයක් පමණක් බව ද කරුණාවෙන් සලකන්න. එම සංකල්පයේ ගෞරවය එය නිර්මානය කළ අයට හිමි විය යුතු ය.)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *