W3lanka.com

NEWS IN
ENGLISH

පාසල් බෑගයේ බර හා පංති කාමරය
දිනමිණට ඌන පූරණයක්

(W3Lanka, ජුනි 19, 2009)
රජයේ පාසල්වල සිසුන් දිනපතා පාසලට රැගෙන යන පෙළ පොත්වල සාමාන්‍ය පිටු ගණන 2480ක් බව සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බව දිනමිණ පවසයි. ග‍්‍රාමීය ප‍්‍රදේශවල සිසුවෙක් පාසලට ගෙන යන පොත්වල පිටු ගණන සාමාන්‍යයෙන් 2100ක් වන අතර නාගරික සිසුවෙකුගේ පොත් පිටු ගණන සාමාන්‍යයෙන් 2700කි.

රජය සෑම සිසුවකුටම නොමිළේ පෙළ පොත් ලබා දීමත් සමගම ගුරුවරුන් සෑම පෙළපොතක්ම දිනපතාම රැගෙන එන ලෙස ළමුන්ට බල කිරීමත්, එසේ නොගෙනෙන ළමුන්ට දඬුවම් කිරීමත් සුලබ තත්වයකි. ලංකාවේ පාසල් පංති කාමරය සියවසක් පමණ කාලයක් තිස්සේ නොවෙනස්ව පවතී. ග්‍රාමීය පාසල්වල පංති කාමර වෙන් කිරීමක් හෝ නොමැතිව දිග ශාලාවල එක ගොඩේ පංති පැවැත්වෙන අතර, ළමුන්‍ට පෙළ පොත් එහි තබා යාමට හැකියාවක් නැත. මෙම පංති කාමරවල සවසට රස්තියාදුකාරයෝද, රාත්‍රී කාලයට බල්ලෝ සහ හරක්ද ලැගුම් ගනිති.

ළමයින් පාසල් එන විට දිනපතාම පෙළ පොත්, අභ්‍යාස පොත්, ගණිත උපකරණ, පාට පෙට්ටි, පෑන්, පැන්සල්, කුඩයක් ආදිය රැගෙන ආ යුතුය. බහුතරයක් පාසල්වලට ළමුන්ට පිරිසිදු බොන වතුර ටිකක් ලබා දීමේ හැකියාව නොමැතිකමින් පාසලට එන විට වතුර බෝතලයක්ද රැගෙන එන්නට සිදු වේ. ඈත සිට එන ළමයින් උදේට, දවල්ට කෑමද රැගෙන ආ යුතුය. දැන් ඔබට දරුවකුගේ පාසල් බෑගයෙහි බර පිළිබඳ සිතාගැනීම අපහසු නැත.

මීළඟ ප්‍රශ්නය පාසලේදී දරුවා මෙම බෑගය තබන්නේ කොහිද යන්නයි. බහුතරයක් පංති කාමරවල මේ සඳහා පහසුකම් තබා ඉඩකඩවත් නැත. දරුවා බෑගය තබා ගන්නේ සිය පුටුව මතයි. ඒ සඳහා පුටුවෙන් අඩකට වඩා ඉඩක් අවශ්‍ය වන අතර දරුවා දිනකට පැය හයක පමණ කාලයක් වාඩි වී සිටින්නේ සම්පූර්ණයෙන්ම වැරදි ඉරියව්වකිනි. පාසලට යද්දීත්, එද්දීත් ඔහු ගමන් කරන්නේ දෙකට නැවීගෙන බර පොදියක් උරේ එල්ලාගෙනයි.

මෙම ප්‍රශ්නයට විසඳුම ඇත්තේ පාසල් පංති නාමරයේ පහසුකම් නැංවීම තුළය. දරුවන්ට තම පොත් පත් ආරක්ෂිතව තබා ඒමට හැකි පරිදි පහසුකම් පංති කාමරයේ තිබිය යුතුය. පෙළ පොත් ගැන පමණක් නොව පංති කාමරය ගැනද වහා සමීක්ෂණයක් කළ යුතුව ගිබේ.


Bookmark and Share

RSS icon
Facebook සමග බෙදා ගන්න
අදහස් දක්වන්න
නිවහන් පිටුවට | ඉංග්‍රීසි පිටුවට
¤ W3lanka පුවත් විද්‍යුත් තැපෑලෙන් ලබාගන්න
¤ RSS News Feed හා එක්වන්න

© POWERED BY W3LANKA