W3lanka.com

 
NEWS IN
ENGLISH


රජය සටන් විරාමයකට එකඟ වෙන්න සැරසෙයි
ජාත්‍යන්තර පීඩනය දරාගන්න බැරි වෙයි

(W3Lanka, මාර්තු 31)
රජය 'මානුෂීය සටන් නැවැත්වීමක්' සලකා බලමින් සිටින බවත් ඒ සඳහා කටයුතු ඉදිරියේදී සම්පාදනය කරනු ලබන බවත් විදේශ අමාත්‍යාංශයේ ලේකම් පාලිත කොහොන BBCයට ප්‍රකාශ කර තිබෙනවා.

විස්තර


"ප්‍රජාතන්ත්‍රවාදීව බිහි වන ඊලමකට අපි කැමතියි," කරුණානිධි කියයි
එල්.ටී.ටී.ඊ. අලුත් තාලයට ඩී.එම්.කේ. එක් වෙයි

(W3Lanka, මාර්තු 31)
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියක් ඔස්සේ නිර්මානය වන්නේ නම්, ලංකාවේ දෙමළ ජනයා සඳහා වෙනම ඊලාම් රාජ්‍යයක් පිළිගැනීමට තමන් සූදානම් බව තමිල්නාඩු ප්‍රධාන ඇමති එම්. කරුණානිධි චෙන්නෛහිදී වාර්තාකරුවන්ට පැවසුවා.

විස්තර


කොටි නැවතත් විල්පත්තුවේ?

(W3Lanka, මාර්තු 30)
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ප්‍රදේශයේ ගමකට පහර දෙන්නට ආ බව කියන ‍කොටි සාමාජිකයන් පිරිසකට සිවිල් ආරක්ෂක බලකාය හා පොලිසිය එක්ව ඉරිදා රාත්‍රියේ පහර දී පළවා හැරි බව වාර්තා වෙනවා.

විල්පත්තු මායිමේ ඇති වූ මෙම සිද්ධියත් සමග පසුගිය කාලයේ මුදාගත් ප්‍රදේශවලට රිංගා ගත් කොටි ගරිල්ලන් විල්පත්තුව දක්වා පැමිණ ඇති බවට සැක මතු වී තිබෙනවා.

එහෙත් එක් ප්‍රදේශවාසියෙක් නිර්නාමිකව අපට කීවේ හොර ජාවාරම්වල යෙදී සිටින අය ඒවාට ආවරණය සලසා ගැනීම සඳහා ප්‍රදේශයේ ‍ආතතියක් ඇති කිරීමට මෙවැනි සිද්ධි නිර්මානය කරන බවයි.


පොලිසිය ආදර තහනම ක්‍රියාත්මක කරන්න යයි?

(W3Lanka, මාර්තු 30)
වයස අවුරුදු 16න් පහළ ගැටවර වියේ අය අතර ආදර සම්බන්ධකම් තහනම් නීතිය කෙරෙහි පොලිස් ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොල්ස් අධිකාරි රංජිත් ගුණසේකර දෙමාපියන්ගේ අවධානය යොමු කර තිබෙනවා. එවන් සම්බන්ධයකට අධිකරණයෙන් වැරදිකරු වන පිරිමියාව සිරගත කරන්නත් මේ නීති යටතේ පුළුවන් බව ඔහු පෙන්වා දෙනවා. සමහර පොලිස් නිලධාරීන් මේ නීතිය යටතේ ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය කාලයේ ඇතැම් බාල වයස්කාරයන් පීඩනයට පත්ව සියදිවි නසාගත්තා.


රාජ්‍ය සේවකයන් ඉදිරියේ අමාරු කාලයක්

(W3Lanka, මාර්තු 30)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගැනීමට අදහස් කරන ණය සඳහා සුදුසුකම් ලැබීමට හා උග්‍ර විදේශ සංචිත අර්බුදය හේතුවෙන් අලුතෙන් රාජ්‍ය සේවයට සේවකයන් බඳවා නොගන්නත්, හැකි තරම් සේවකයන් ඉවත් කරන්නත්, වැටුප් වැඩිවීම් හා දීමනා ආදී වරප්‍රසාද කප්පාදු කරන්නත් රජය තීරණය කරලා. රජය විසින් පෙබරවාරි 20 දින නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව, තුන් වරකදී කාර්යක්ෂමතා කඩඉම් විභාග අසමත් වන සේවකයන් විශ්‍රාම ගැන්වෙනවා. මෙතෙක් තිබුන නීතිය අනුව ඔවුන්ට වැටුප් වර්ධක නැතිව වයස අවුරුදු 55 දක්වා සේවය කරන්න පුළුවන්. එසේම අනියම් සේවකයන්ට ස්ථිර තනතුරු ඉල්ලා සිටීමට තිබුණු අයිතියද මෙම ගැසට් නිවේදනයෙන් කප්පාදු කරලා. වෘත්තීය සමිති කටයුතු සඳහා වෘත්තීය සමිති කටයුතු සඳහා නිලධාරීන් සේවයෙන් මුදාහැරීමට තිබුණු අයිතියද සීමා කරලා.


නැගෙනහිර පළාතේ වැන්දඹුවන් 49,000ක්

(W3Lanka, මාර්තු 30)
එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානයේ ජාතික අධ්‍යක්ෂ නවාස් රාජාබ්දීන් පවසන පරිදි නැගෙනහිර පළාතේ වැන්දඹු කාන්තාවන් අඩු තරමේ 49,000ක්වත් ඉන්නවා. ඔවුන්ගෙන් වැඩිදෙනෙකුගේ ස්වාමි පුරුෂයන් යුද්ධය හෝ සුනාමිය හෝ නිසා මියගිහින්. මේ වැන්දඹුව කාන්තාවන් අතරින් 35,000ක් පමණ දෙනා වයස අවුරුදු 30ට අඩු අය බව ඔහු කියනවා. ඔවුන් අතර විරැකියා අනුපාතය 30%ක්.


බොහෝ ජනමාධ්‍ය සංවිධාන නායකයන් ආරක්ෂාව පතා රටින් පිට වී යාමත් සමග නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු තනතුරට පත් වූ සුන්ල් ජයසේකර නිදහසේ වේදිකාව පුවත්පත් සාකච්ඡාවකදී කළ මෙම ප්‍රකාශයට කොටි හිතවාදී වෙබ් අඩවි විසින් පුළුල් ප්‍රචාරයක් දී ඇති බවට හා ඒ සඳහා ඔහුට රාජ්‍ය නොවන සංවිධාන විසින් මුදල් ලබා දී ඇති බවට දිනමිණ පුවත්පතේ වාර්තාවක් පළ විය. මෙය වනාහි ජනමාධ්‍යවේදීන්ට වඩාත්ම මර්දනකාරී අවධිය බවට සුනිල් ජයසේකර විසින් කරන ලද ප්‍රකාශය දිනමිණ ක්‍රියාකලාපය විසින් තහවුරු කර ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප්‍රිය පවසයි. මේ සුනිල් ජයසේකර විසින් කරන ලද ප්‍රකාශයයි.

යුද පුවත්:
යුද මුක්ත කලාපය මායිමේ දැඩි සටන්
කොටි මිසයිල 10ක් අරගෙන; වන්නිටෙක් අධ්‍යක්ෂ රජයට භාර වෙලා

(W3Lanka, මාර්තු 29)
වන්නියේ යුද මුක්ත කලාපය ආසන්නයේ කොටි කැරැලිකරුවන්ට ඉතිරි වී තිබෙන වර්ග කිලෝමීටරයක පමණ බිම්කඩෙහි දැඩි සටන් සිදු වන බවද, දෙපාර්ශ්වයටම හානි සිදු වී ඇති බවද නිල නොවන වාර්තා පවසනවා. කොටි හිතවාදී වෙබ් අඩවි පවසන්නේ ළමයින්ද ඇතුළුව සිවිල් වැසියන් විශාල පිරිසක් යුද මුක්ත කලාපයට එල්ල වූ කාලතුවක්කු ප්‍රහාරවලින් මියගොස් ඇති බවයි. දැඩි සටන් නිසා පසුගිය දිනවල සිවිල් වැසියන් රජයේ පාලන ප්‍රදේශවලට පැමිණීමද අඩු වෙලා.

විස්තර


රූපවාහිනී මාධ්‍යවේදියෙක් කොටින්ගෙන් සොරකම් කළ බඩු සමග අත්අඩංගුවේ

(W3Lanka, මාර්තු 28)
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථා‍ව විසින් වන්නියේ මෙහෙයුම්වල යෙදී සිටින හමුදා සමග සේවයේ යොදවා සිටි ආරක්ෂක වාර්තාකරුවකු වන සමන් කුමාර රාමවික්‍රම කොටි කඳවුරුවලින් සොරකම් කළ ලැප්ටොප් පරිගණක පහක් හා ඩිජිටල් කැමරා 10ක් සමග කොළඹ එමින් සිටියදී මැදවච්චිය පරීක්ෂක ස්ථානයේදී අත් අඩංතුවට පත් වුණ බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කළා. එහෙත් පසුව ජාතික ආරක්ෂක මාධය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂමන් හුළුගල්ලගේ මැදිහත්වීමෙන් ඔහු නිදහස් කර තිබෙනවා.


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාවේ මානුෂීය තත්වය සාකච්ඡා කරයි
ලංකා තානාපති රජයට සටන් නැවැත්වීමක් නිර්දේශ කරයි

(W3Lanka, මාර්තු 27)
චීනය රුසියාව ඇතුලු ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ලංකාවේ ප්‍රශ්නය අභ්‍යන්තර එකක් ලෙස සලකා එය පිළිබඳ සාකච්ඡා කිරීමට විරෝධය පළ කළත්, ආරක්ෂක මණ්ඩලය ඊයේ ලංකාවේ මානුෂීය තත්වය සාකච්ඡා කළා.

මෙහිදී යුද කලාපයේ සිර වී සිටින 190,000ක් ලෙස ගණනය කරන ලද සිවිල් වැසියන් වෙනුවෙන් බටහිර රටවල් 'මානුෂීය යුද නැවැත්වීමක්' සඳහා ලංකාවේ රජයටත්, කොටි කැරැලිකරුවන්ටත් බල කළා.
විස්තර


කොටි වැලිකන්දේ ගොවීන් මරති
පෙරේදා සේරුනුවරදීත් පහක් මරා දමලා

(W3Lanka, මාර්තු 26)
නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක කොටි සංවිධානයේ කණ්ඩායම් නැවත වතාවක් මායිම් ගම්මානවල සිංහල වැසියන් මරාදැමීමට පටන් අරන්.

විස්තර


දෙමළ ජාතික සන්ධානය සමග රජයේ කතා කඩාකප්පල් කරන්න උත්සාහයක්
මන්ත්‍රී කජේන්ද්‍රන්ගේ සොයුරා කොළඹදී උස්සලා

(W3Lanka, මාර්තු 26)
දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ හා මුස්ලිම් දේශපාලන පක්ෂවලට දේශපාලන සාකච්ඡාවක් සඳහා අද සවස එන්නැයි රජය ආරාධනා කරලා.

විස්තර


උදයන් ප්‍රහාරය දේශ සීමා නැති මාධ්‍යවේදියෝ හෙළාදකිති
සුඩර් ඔලි කර්තෘගෙන් මානව හිමිකම් පෙත්සමක්

(W3Lanka, මාර්තු 26)
යාපනයේ ප්‍රකාශයට පත් වන උදයන් පුවත්පතේ කාර්යාලයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව දේශ සීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානය පවසනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් කාර්යාලයට අලාභ හානි වී එක් පුද්ගලයකු තුවාල ලැබුවා.

විස්තර


එක්සත් ජාතීන් සිවිල් වැසියන්ගේ හානි සංඛ්‍යාලේඛන ගැන පැහැදිලි කළ යුතුයි -රජය
තවත් 54ක් බදාදා පමණක් මරුට - රජයේ වෛද්‍යවරයෙක්

(W3Lanka, මාර්තු 26)
උතුරේ යුදමුක්ත කලාපයේදී සාමාන්‍ය වැසියන් 2,683ක් මියගිය බවට හා 7,241ක් තුවාල ලද බවට එක්සත් ජාතීන් ළඟ තිබෙන වාර්තාව සකස් කළ ආකාරය පිළිබඳව නිල වශයෙන් කරුණු පැහැදිලි කරන ලෙස විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයෙන් ඉල්ලා සිටියා.

විස්තර


"කොටින්ට ගහමු; දෙමළුන්ට මෘදු වෙමු," දයාන් ජයතිලක කියයි
බලය බෙදාගත යුතු බව කියන්න දයාන් බයයි වගේ

(W3Lanka, මාර්තු 25)
ලංකාව කොටින් විෂයෙහි තද ස්ථාවරයක් ගන්නා තරමටම දෙමළ ජනයා විෂයෙහි මෘදු විය යුතු බව ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ නිත්‍ය තානාපති වන ආචාර්ය දයාන් ජයතිලක ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියට ලිපියක් ලියමින් පවසයි.

විස්තර


ප්‍රභාකරන්, පොට්ටු අම්මාන් සටන් මෙහෙයවති
කර්නල් ස්වර්නම්ගේ කකුලක් කපලා

(W3Lanka, මාර්තු 25)
කොටි නායක වේලුපිල්ලෛ හා පොට්ටු අම්මාන් ඇතුළු ජ්‍යේෂ්ඨ නායකයන් රජය විසින් කොටි පාලන ප්‍රදේශයේ ප්‍රකාශයට පත් කර ඇති ආරක්ෂක කලාපයේ සිවිල් වැසියන් අතර සැඟවී හිඳිමින් කොටින්ගේ ප්‍රතිරෝධී යුද්ධය මෙහෙයවමින් සිටින බව මිලිටරි ඔත්තු සේවා විසින් තහවුරු කරගෙන ඇති බව නිල නොවන වාර්තා පවසනවා.

විස්තර


අහිංසක ළමයි 37ක් නිරපරාදේ හිරේ
භයානක අපරාධකරුවන් 12කට ජනාධිපති සමාව

(W3Lanka, මාර්තු 24)
කිසි සේත්ම නුසුදුසු සමාජයක් තුළ කිසිදු වරදක් නොකළ අහිංසක දරුවන් 37ක් මැගසින් බන්ධනාගාරයේ සිරබත් කමින් සිටින අතරතුර, ඇමති භාර්යාවක් නිදහස් කිරීම පිණිස ජනාධිපතිවරයා බරපතළ අපරාධ සඳහා දඬුවම් විඳිමින් සිටි කාන්තාවන් 12කට සමාව දී නිදහස් කළා.

විස්තර


එජාපය වැනසීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය ව්‍යර්ථයි
රනිල් නැවතත් නායකත්වයට

(W3Lanka, මාර්තු 24)
ඊයේ රැස් වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී සභාව රනිල් වික්‍රමසිංහ නැවත නායකත්වයේ පිහිටුවීමටත්, නියෝජ්‍ය නායක කරු ජයසූරියට හා කෘත්‍යාධිකාරී සභාවට හිමි බලතල වැඩි කිරීමටත් තීරණය කළා.

විස්තර


එජාපයේ මීළඟ නායකත්වයට සුදුසු කවුරුද?
ඔන්ලයින් ජනමත විමසුමේ ප්‍රතිඵල

(W3Lanka, මාර්තු 24)
'එජාපයේ මීළඟ නායකත්වයට සුදුසු කවුරුද?' මැයෙන් විසින් මාර්තු 18 දින සිට අද දක්වා W3Lanka විසින් සිංහල පාඨකයන්වෙනුවෙන් පවත්වන ලද ඔන්ලයින් ජනමත විමසුමේ ප්‍රතිඵල අනුව මතය ප්‍රකාශ කළ 1518ක් අතරින් 95%ක් දෙනා ප්‍රකාශ කළේ ඒ සඳහා සුදුසු කරු ජයසූරිය බවයි. W3Lanka විසින් යෝජනා කරන ලද සෙසු නම් වූයේ රුක්මන් සේනානායක, එස්. බී. දිසානායක, තිස්ස අත්තනායක, සජිත් ප්‍රේමදාස, ගාමිනී ජයවිකුම පෙරේරා, ජෝන් අමරතුංග, රවි කරුණානායක යන නම්ය.


ලංකාව කච්චතිවු පූජාභූමියක් කරනවාට ජයලලිතා විරුද්ධයි

(W3Lanka, මාර්තු 23)
ලකාවත් ඉන්දියාවත් අතර පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටි කච්චතිවු දූපත පූජාභුමියක් බවට පත් කරන බවට නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්දන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කළ ප්‍රකාශයට ඉන්දියාවේ හිටපු මහඇමති ජයලලිතා විරෝධය පළ කළා. ඇය කියන්නේ 1974දී ඉන්දියාව විසින් මෙම කුඩා දූපත ලංකාවට පවරා දුන් ආකාරය වැරදි සහගත නිසා එය එරටට පවරා ගත යුතු බවයි.


වර්ෂා ඝාතන සැකකරුවන්ගේ මරණ ටී.එම්.වී.පී. හෙළිදරව් වළක්වන්නද?
මහ ඇමතිගේ ගෝලයකු සොයයි

(W3Lanka, මාර්තු 23)
ත්‍රිකුණාමලයේදී කප්පම් සඳහා පැහැරගෙන ගොස් මරා දමන ලද සය හැවැරිදි වර්ෂා දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිසිය නැගෙනහිර මහ ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ ළඟ හිතවතකු සොයනවා. මේ පුද්ගලයා අදාළ පැහැර ගැනීමට, ඝාතනයට මෙන්ම මළසිරුර මහමග දමා ඒම සඳහා ප්‍රවාහනයට මහ ඇමති කාර්යාලයේ වාහනයක් යොදාගැනීමටද සම්බන්ධ බව වාර්තා වෙනවා.

විස්තර


ලාංකික ධීවරයන් 100ක් පමණ ඉන්දීය අත් අඩංගුවේ

(W3Lanka, මාර්තු 23)
ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් අන්දමන් සහ නිකොබාර් දූපත් අසල මසුන් මැරීමේ යෙදී සිටි බව කියන ලාංකික ධීවරයන් 28දෙනෙකු දින කීපයකට පෙර අත්අඩංගුවට ගෙන පෝට් බ්ලෙයාර් පොලීසිය වෙත භාර දී තිබෙනවා.

විස්තර


ජාත්‍යන්තර බලපෑම් මත ලංකාව බලය විමධ්‍යගත කිරීම වේගවත් කරයි
පොලිස් බලතල පළාත්වලට

(W3Lanka, මාර්තු 23)
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුම් ලෙස රජය දැනට ඉදිරිපත් කර තිබෙන පළාත් සභා පූර්ණ ලෙස ක්‍රියාත්මක කරන්නැයි ජාත්‍යන්තර බලවේග වෙතින් එල්ල වන බලපෑම හමුවේ ලංකාවේ රජය වැඩිපුර බලතල විමධ්‍යගත කිරීමට සැරසෙන බවට තොරතුරු ලැබෙනවා. එහි අදියරක් ලෙස පොලිස්පතිවරයා විසින් නිකුත් කරන ලද RPM/532/2009/03/13 චක්‍රලේඛය අනුව, මෙතෙක් පොලිස් මූලස්ථානයේ සිට ක්‍රියාත්මක වූ පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරු වහා තම කාර්යාල අදාළ පළාත් තුළ පිහිටුවා ගත යුතුයි. මෙය පොලිස් බලගල විමධ්‍යගත කිරීමක් ලෙස සැලකෙනවා.


එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ලංකාව ගැන සාකච්ඡා කිරීම චීනය වළක්වයි
හුදු අභ්‍යන්තර ප්‍රශ්නයක් පමණක බවයි චීනයේ මතය

(W3Lanka, මාර්තු 21)
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේදී ලංකාවේ තත්වය පිළිබඳ දෙවන වරට සාකච්ඡාවක් මතු කරගැනීමට ඔස්ට්‍රියාව, මෙක්සිකෝව හා කොස්ටා රිකා ඇතුළු රටවල් විසින් දරන ලද උත්සාහයක් චීනයේ බලවත් විරෝධය මැද වළක්වා ඇති බව වාර්තා වෙනවා.

විස්තර


රත්මලාන ගුවන් තොටේදී සඟරාවක් සමග තවත් දෙමළ මිනිහෙක් අත්අඩංගුවට
ආනන්ද විකටන් දෙවන ජවනිකාව

(W3Lanka, මාර්තු 21)
සිංහ කොඩියේ සිව් කොණේ ඇති බෝපත් සතර වෙනුවට මිනී ඔළු සතරක් යොදා සකසන ලද විකට රූපයක් සහිත, කොළඹ පොත්හලකින් මිළ දී ගන්නා ලද සඟරාවක් රැගෙන යාපනයට යාමට රත්මලාන ගුවන් තොටුපළට පැමිණි විදෙස් සරසවියක සිසුවෙකු ගුවන් හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ගලකිස්ස පොලිසියට භාර දී තිබෙනවා.

මීට සති කීපයකට පෙර මෙවැනි 'ලංකාවට අපහාස කරන' රූප අඩංගු තමිල්නාඩුවේ ප්‍රකාශිත ජනප්‍රිය දෙමළ සඟරාවක් වූ ආන්නද විකටන් තොගයක් යාපනයට ගුවන් මගින් යැවීමට උත්සාහ කළේ යයි පූබාලසිංහම් පොත් සාප්පුවේ හිමිකරුද අත්අඩංතුවට ගනු ලැබුවා.


කෙයාර් සංවිධානයේ සේවකයෙක් 'ආරක්ෂිත කලාපයේදී' මියයයි

(W3Lanka, මාර්තු 21)
කෙයාර් ජාත්‍යන්තර සංවිධානයේ රැකියාවේ නියුතු ආර්. සබේසන් නමැති පුද්ගලයකු රජය විසින් ප්‍රකාශිත 'ආරක්ෂිත කලාපයේදී' කාලතුවක්කු ප්‍රහාරවලින් ලද තුවාල හා නිසි ප්‍රතිකාර නොමැති වීම නිසා මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කර තිබෙනවා.


රනිල් එජාප නායකත්වයෙන් පන්නන්න කට්ටිය හිටියාට
නායකත්වයට කෙනෙක් නැහැ

(W3Lanka, මාර්තු 20)
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තමන් සූදානම් බව රනිල් වික්‍රමසිංහ දැනුම් දීමත් සමගම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී සභාව අලුතෙන් නාමික ජ්‍යේෂ්ඨ නායක තනතුරක් පක්ෂයේ ඇති කිරීමට තීරණය කරලා. ඒ තනතුර හා පක්ෂයේ 'සැබෑ' නායක තනතුර සඳහා නම් යෝජනා කිරීමට පත් කරන ලද අට පුද්ගල කමිටුව දැන් හිර වෙලා ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග කියනවා. එයට හේතුව කමිටුවේ ඉන්න එස්. බී. දිසානායක, සජිත් ප්‍රේමදාස හා ලක්ෂ්මන් සෙනෙවිරත්න නායකත්වයේ වෙනසක් දැඩිව අවධාරණය කළත්, කිසිදු විකල්ප නායකයකු සියලු දෙනාගේ එකඟත්වය මත යෝජනා කිරීමේ හැකියාවක් මෙම කමිටුවට නැති වීමයි.


තොරතුරු විමසීමේ මෙහෙයුමක් සඳහා යුරෝපා සංගමයේ දූත පිරිසක්
සිවිල් වැසියන් පළා ඒම වැඩි වෙලා

(W3Lanka, මාර්තු 20)
තොරතුරු විමසීමේ මෙහෙයුමක් සඳහා ලංකාව යුරෝපා සංගමයේ දූත පිරිසකට යුද කලාපයේ පෙරමුණු ප්‍රදේශ දක්වාම යාමට අවසර දෙන්න යන බව සැළයි. විදේශ අමාත්‍යාංශයේ ලේකම් පාලිත කොහොන ෆ්‍රන්ස පුවත් සේවයට කීවේ ඒ සඳහා දින වකවානු නිර්ණය කරගැනීමේ කාර්යයේ දැනට යෙදී සිටින බවයි.

විස්තර


බලහත්කාරයෙන් ජනයා ඉවත් කරනවාට රතුකුරුසය විරුද්ධයි

(W3Lanka, මාර්තු 19)
ඉන්දියාවේ NDTV සමග සම්මුඛ සාකච්ඡාවකදී ලංකාවේ ජාත්‍යන්තර රතුකුරුස කමිටු ප්‍රධානී පෝල් කැස්ටෙලා කීයනවා බලහත්කාරයෙන් ජනයා යුද කලාපයෙන් ඉවත් කිරීමට රතුකුරුසය සම්බන්ධ නොවන බව. එවැනි සැලැස්මක් ගැන තමන් නොදන්නා බවත් ඔහු කීවා. කොටි සංවිධානය තවමත් රජයේ හමුදා සමග සටන් කරමින් සිටින නිසා තත්වය තවත් නරක අතට හැරිය හැකි බව ඔහු කීවා.


විද්‍යාධරන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක් රඳවා ගැනේ

(W3Lanka, මාර්තු 19)
පෙබරවාරි 26 දින පළමුව පැහැරගෙන ගොස් පසුව අත්අඩංතුවට ගනු ලැබූ සුඩර්ඔලි පුවත්ප‍තේ කර්තෘ විද්‍යාධරන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස තුනක් රඳවා ගැනීම පිළිබඳ දේශසීමා නැති මාධ්‍යවේදියෝ සංවිධානය විරෝධය පළ කරනවා. රජය කියන්නේ විද්‍යාධරන් කොටින්ගේ තුවන් ප්‍රහාරය සඳහා උපකාර කර ඇති බවයි.


තමිල්නාඩුවේ ලංකාවට විරෝධය පා ස්වයංව ගිනිතබාගෙන මිය යාම් 11ක්

(W3Lanka, මාර්තු 18)
වයස අවුරුදු 23 හා 24 වූ දෙමළ තරුණයන් දෙදෙනෙකු ඊයේ තමිල්නාඩුවේදී ලංකාවේ රජයට විරුද්ධව ගිනි තබාගනිමින් සියදිවි නසාගැනීමත් සමගම එහි එසේ මිය ගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගියා. ඊයේ මියගිය දෙදෙනා පට්ටාලි මහජන පක්ෂයේ සාමාජිකයෝ.


ලංකාවට යුද අපරාධ චෝදනා
ගෙනාවොත් ජනතාව වීදි බස්සනවා - විමල්

(W3Lanka, මාර්තු 17)
ශ්‍රී ලංකා රජයටත්, කොටි සංවිධානයටත් එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල වීම පිළිබඳ කතිකාව දැන් දැන් දෙමළ හිතවාදී ධාරාවේ සිට ප්‍රධාන ධාරාවටත් එන්න පටන් අරන්. මේ පිළිබඳව රජයේ ප්‍රතිචාරය ‍විමල් වීරවංශ හරහා දක්වා තිබෙනවා. ඔහු කියන්නේ කොටින්ගේ උවමනාව මත එක්සත් ජාතීන් ලංකාවේ රජයට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙන එන්න සැරසෙන බවයි.

විස්තර


උතුරේ අවතැන් වූවන් පුනරුත්ථාපනයට එක්සත් ජාතීන්ගෙන් රුපියල් කෝටි 1800ක්
කඳවුරුවල තත්වය පිළිබඳ එක්සත් ජාතීන්ට කුකුසක්

(W3Lanka, මාර්තු 17)
පොදු මානුෂීය ක්‍රියාකාරී සැලැස්ම (CHAP) නමින් හඳුන්වනු ලබන උතුරේ අවතැන් වූවන් පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහනකට ලංකාව එක්සත් ජාතීන්ගෙන් ඩොලර් මිලියන 155.5ක් හෙවත් රුපියල් කෝටි 1800ක් බලාපෙරොත්තු වෙනවා. එහෙත් ලංකාවේ සරණාගත කඳවුරු තුළදී සිදු වන ආරක්ෂක පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය හා කඳවුරුවාසීන්ට නිදහසේ සංචරණයට ඇති බාධා පිළිබඳ එක්සත් ජාතීන් තුළ කුකුසක් තිබෙන බව පසුගිය දිනවල එක්සත් ජාතීන්ගේ මානුෂීය ආධාර සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් සහ අවතැන් වූවන්ගේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥ වෝල්ටර් කලින් පසුගිය සතියේ කළ ප්‍රකාශවලින් හෙළි වුණා.

විස්තර


වර්ෂා ඝාතනයට ටී.එම්.වී.පී. සම්බන්ධයි
මරා දමා ඇත්තේ ටී.එම්.වී.පී. කාර්යාලයක

(W3Lanka, මාර්තු 16)
ත්‍රි'මලයේදී වර්ෂා නම් සය හැවිරිදි දැරිය මරා දැමීම පිටුපස නැගෙනහිර පළාත් සභාවේ පාලකයන් වන ටී.එම්.වී.පී. සංවිධානය සිටින බව පොලිසිය විසින් සොයාගෙන තිබේ.

විස්තර


උතුරේ යුද කලාපයේ සෞඛ්‍ය අර්බුදයක්
ඉන්දීය වෛද්‍ය කණ්ඩායමට ජවිපෙ විරෝධය

(W3Lanka, මාර්තු 16)
සිවිල් වැසියන්ට තුවාල සහ මරණ සිදු කිරීම කිසිදු බාධාවකින් තොරව සිදු වෙමින් තිබෙන ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට එම තුවාලකරුවන් දරාගැනීමේ නොහැකියාවක් ඇති වෙලා. පදවියේ සහ පුල්මුඩේ කම්හල් ගොඩනැගිලිවල තාවකාලික රෝහල් පිහිටුවන්න දැන් රජය පියවර අරන්.

විස්තර


උතුරේ යුද කලාපයෙන් සිවිල් වැසියන් ඉවත් කරන ඇමරිකන්, ඉන්දියන් යෝජනා රජය ප්‍රතික්ෂේප කරයි
රජයේ පාලන ප්‍රදේශ වෙත ඒම යළි වේගවත් වෙලා

(W3Lanka, මාර්තු 16)
යුද කලාපයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපදය සහ ඉන්දියාව පළ කර ඇති සහයෝගය ලංකාවේ රජය විනීත අන්දමින් ප්‍රතික්ෂේප කරන බව ආපදා කළමනාකරණ සහ මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය සෙවණැලි ආරක්ෂක ලේකම් ලියම් ‍ෆොක්ස්ට දැනුම් දුන්නා.

විස්තර


උතුරුමැද දේශපාලනඥයන්ට විරුද්ධව සාක්කි දුන් හිමිනම රිමානඩ්
අපරාධ සැකකාර දේශපාලනඥයන් නිදැල්ලේ

(W3Lanka, මාර්තු 15)
තමන්ට පහර දුන්නේ යයි චන්දන වීරරත්න වඩුගේ හෙවත් උක්කුවා නමැත්තෙක් මිහින්තලය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත අත්අඩංගුවට ගන්නා ලද මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වලහාහැංගුණවැවේ ධම්මරතන හිමියන් හා තවත් හිමිනමක් අනුරාධපුර වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් බදාදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවා.

විස්තර


මහනුවර බොරු බෝම්බ බිය
ළමයාගේ මල්ටිමීටරය දළදා දැක්ම අවසන් කරයි

(W3Lanka, මාර්තු 15)
මල්ටි මීටරයක් සහ තවත් විදුලි පරිපථ කීපයක් අඩංතු පාර්සලයක් ළමයකු අත තිබී දළදා දැක්මේ පෝලිමේදී හමු වීමත් සමගම මහනුවර නගරයේ ඇති වූ බොරු බෝම්බ බියක් නිසා මාර්තු 17 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ දළදා දැක්ම ඊයේ දිනයෙන් අවසන් කිරීමට දළදා මාළිගාවේ පරිපාලනය තීරණය කරලා. ලක්ෂ ගණන් ජනයා දළදා දැකගැනීම සඳහා මහනුවරට පැමිණ පෝලිම් ගැසුණේ ආරක්ෂක අනතුරු ඇඟවීම් පවා නොසලකා හරිමින්.


ජා.මු.අ. ණය ලබන මාසයේ?
විදේශ සංචිත සති දෙකකට පමණයි

(W3Lanka, මාර්තු 14)
උග්‍ර විදේශ සංචිත හිඟයකට මුහුණ දී සිටින ලංකාවේ ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉල්ලා ඇති ‍ඩොලර් බිලියන් 1.9ක හෙවත් (රු. කෝටි 22ක ණය) ලබන මාසයේ ලැබේ යයි ආණ්ඩුව බලාපොරොත්තු වන බව මහ බැංකුව කියනවා. මේ පිළිබඳ සාකච්ඡා මේ මාසය තුළ අවසන් කිරීමට රජය බලාපොරොත්තු වෙනවා.


විස්තර


යුද්ධයට රසායනික අවි යොදාගනීද?

(W3Lanka, මාර්තු 14)
මුලතිව් දිස්ත්‍රික්කයේ උදයාර්කට්ටුහි සොදිසි මෙහෙයුම්වල යෙදී සිටින හමුදා විසින් ගෑස් මුහුණු සහ ගෑස් බලපෑමෙන් ආරක්ෂා වීම සඳහා අඳින ඇඳුම් කට්ටල කීපයක් සොයාගැනීමත් සමග කොටි සංවිධානය යුද්ධයේ අවසන් ‍මොහොතේදී මහා පරිමාණ රසායනික ප්‍රහාරයක් හමුදාවට එල්ල කිරිමට ඉඩ ඇතැයි හමුදාව බලාපොරොත්තු වන බව වාර්තා වේ.


නැගෙනහිර උණුසුම වැඩි වේ
ටී.එම්.වී.පී. හතරක් මරා දමයි; බසයක් ගිනිබත්

(W3Lanka, මාර්තු 14)
නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරෛහි ටී.එම්.වී.පී. කාරයාලයකදී එම සංවිධානයේ ක්‍රියාකාරිකයන් හතරදෙනෙකු සිකුරාදා ඝාතනයට ලක්වුණා. බ්‍රහස්පතින්දා පාන්දර කල්මුණේදී බසයකටත් ගිනි තැබුවා.
විස්තර


මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක පැහැරගෙන

(W3Lanka, මාර්තු 12)
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක ඊයේ සවස 7.30ට පමණ ඔහුගේ නිවසට සුදුපාට වෑන් රියකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය බව වාර්තා වේ. කලෙක රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කළ දිසානායක ප්‍රකට නවලිබරල්වාදී විද්වතෙකි.


කොටි මුල්‍ය අංශයේ ප්‍රධානියා මිය යයි

(W3Lanka, මාර්තු 11)
දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ මුල්‍ය අංශයේ ප්‍රධානියා ලෙස සැලකෙන ජ්‍යේෂ්ඨ කොටි නායකයකු වන තමිලෙන්ති හෙවත් සබාරත්නම් සෙල්වදුරෛ පුදුකුඩිඉරුප්පු සටන් පෙරමුණේදී මරා දැමූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පවසයි. පුදුකුඩුඉරුප්පු උතුර ප්‍රදේශයේදී 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳදැමීමට පැමිණ හමුදා ප්‍රහාරවලින් මියගිය කොටි සාමාජිකයන් 150කගේ පමණ හමුදාව විසින් සොයාගෙන ඇති අතර තමිලෙන්තිගේ සිරුරද එහි තිබී හඳුනාගත් බව හමුදා ආරංචි මාර්ග පවසයි.


ලලිත් කොතලාවලට ඇප නෑ
26දා දක්වා රිමාන්ඩ්

(W3Lanka, මාර්තු 11)
කොළඹ මහාධිකරණය අද රුපියල් බිලියන් ගණනාවක මුල්‍ය වංචාවකට අත්අඩංගුවට ගෙන සිටින ප්‍රසිද්ද ව්‍යාපාරික ලලිත් කොතලාවලට ඇප දීම ප්‍රතික්ෂේප කළා. ඒ සමගම ඔහුගේ ඇප අයදුම්පතට විරෝධතා ඇත්නම් මාර්තු 26 දිනට පෙර චෝදනා ගොනු කරන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා. කොතලාවලගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර වාර්තා කරන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කරනු ලැබුවා.

මේ අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කරමින් අර්බුදයට තුඩු දී ඇති ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ හෝ එහි අනු සමාගම්වල දේපල විකිණීම හෝ පැවරීම තහනම් කළා.


ආනන්ද විකටන් ‍වෙළද නියෝජිත අත්අඩංගුවට අරන්
අනේ හැබෑටම මෙහෙමත් විගඩන්

(W3Lanka, මාර්තු 11)
ඉන්දියාවේ තමිල්නාඩුවේ පළ වන ජනප්‍රිය දෙමළ සඟරාවක් වන ආනන්ද විකටන් යාපනයට ගුවන් මගින් යවන්නට තැත් කළ වැල්ලවත්ත පූබාලසිංහම් පොත් සාප්පුවේ කළමනාකාරවරයාව රත්මලාන තුවන් තොටේදී සඟරා පරීක්ෂා කිරීමෙන් පසුව පොලිසිය විසින් ත්‍රස්තවාදයට උදව් කිරීමේ චොදනාව මත අත්අඩංගුවට අරන්. එම සඟරාවේ කොටින්ට හිතවාදී සහ රජය හා හමුදාව අපකීර්තියට පත් කරන කරුණු තිබුණ බවයි කියන්නේ.

ආන්න්ද විකටන් අසූ වසරක් පැරණි සඟරාවක්. එය ලංකාවේ තහනම් නැහැ. අදාළ පොත් සාප්පුව වසර 30ක සිට එය ලංකාවේ බෙදාහරිනවා.


හමුදාව අල්ලාගත් ප්‍රදේශවලට රිංගාගැනීමේ කොටි ප්‍රයත්නයක්
වන්නියේ දරුණුම සටන්

(W3Lanka, මාර්තු 11)
වන්නියේ දරුණු සටන් ඇවිළෙමින් ඇති අතර, කොටි සටන්කරුවන් පුදුකුඩිඉරුප්පු උතුරේ යුදහමුදා 58 සේනාංකයේ ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන හමුදාව විසින් අල්ලාගත් ප්‍රදේශවලට ඇතුල් වීමට උත්සාහ කර ඇති බව වාර්තා වෙනවා.

විස්තර


තහවුරු වී නැති නිසා ලංකාවේ මරණ සංඛ්‍යාලේඛන නිකුත් කරන්නේ නැහැ - එක්සත් ජාතීන්
ආධාර කරන්නේ කඳවුරු ජාත්‍යන්තර තත්වයේ ඇතිනම් පමණයි

(W3Lanka, මාර්තු 10)
එ.ජා. හදිසි මානුෂීය ආධාර සම්බන්ධීකාරක ජෝන් හෝම්ස් ඊයේ එ.ජා. මූලස්ථානයේ පැවති පුවත්පත් සාකච්ඡාවකදී කීවේ ලංකාවේ දිනපතා දුසිම් ගණන් මිනිසුන් මියයන්නේ යයි විශ්වාස කරනමුත්, සංඛ්‍යාලේඛන තහවුරු වී නැති බැවින් ඒවා හෙළි නොකරන බවයි.
විස්තර


උණුසුම් පුවත්: අකුරැස්සේ මරාගෙන මැරෙන ප්‍රහාරයක්
ඇමති මහින්ද විජේසේකරට තුවාලයි

(W3Lanka, මාර්තු 10)
අද පෙ.ව. 10.30ට පමණ මාතර, අකුරැස්සේ, ගොඩපිටිය මුස්ලිම් පල්ලියේ ජාතික මිලාද් උත්සවය පැවැත්වෙමින් තිබියදී,ට සහභාගි වීමට ඇමතිවරුන් එමින් සිටි රථ එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අඩු වශයෙන් 10දෙනෙකු මියගොස් ඇති බවද තැපැල් ඇමති මහින්ද විජේසේකර ඇතුළු 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා‍ වේ.

ඇමතිවරයා මාතර මූලික රෝහලේ සිට ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹ ගෙන එනු ලැබුවා. ඒ.එච්.එම්. ෆවුසි, චන්ද්‍රසිරි ගජධීර සහ අමීර් අලි ඇතුළු තවත් ඇමතිවරු කීප දෙනෙක් මෙම උත්සවයට සහභාගි වන්නට නියමිතව තිබුණා. මිය ගිය අය අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රදේශීය නායකයන් කීපදෙනෙක් ඉන්නවා.


උතුරේ දරුණු සටන්
සිවිල් වැසියන්ට හානි වීම ගැන වාර්තා රජය ප්‍රතික්ෂේප කරයි

(W3Lanka, මාර්තු 09)
යුද හමුදා ආරංචි මාර්ග පවසන ආකාරයට පසුගිය දින කීපය තුළ කොටි සංවිධානයේ සටන්කරුවන් 150කට අධික පිරිසක් මරා දමලා. රජය විසින් ප්‍රකාශිත ආරක්ෂිත කලාපය ආසන්නයේ සිටින යුද හමුදාවේ 58 හා 55 සේනාංක පුදුමට්ටලාන්හි අවතැන් වූවන්ගේ තාවකාලික මඩු කූඩාරම් දකින දුරට ළං වි ඇති බව වාර්තා වෙනවා.
විස්තර


ජයලලිතා අද උපවාසයේ
ලංකාවේ ජාතීන්ගේ ප්‍රශ්නය නිසා ලන්ඩනයේ සහ මුරුසියේ විරෝධතා සිද්ධි

(W3Lanka, මාර්තු 09)
සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (AIADMK) මහලේකම් ජයලලිතා ජයරාම් අද චෙන්නෛහිදී ලංකාවේ දෙමළ ප්‍රශ්නය පිළිබඳව ඉන්දීය හා ලංකා ආණ්ඩුවලට විරෝධය පළ කරමින් උපවාසයක් පවත්වනවා.
විස්තර


ටී.එම්.වී.පී. අවි භාරදීම
ආණ්ඩුවට යටහත්භාවය පෙන්වීමේ තරගයක්

(W3Lanka, මාර්තු 08)
විශ්වාසදායක ආරංචි මාර්ග පවසන්නේ නැගෙනහිර ප්‍රධාන ඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෛයන්ගේ දෙමළ මහජන විමුක්ති කොටි සංවිධානය (ටී.එම්.වී.පී.) ඊයේ මඩකලපුවේදී කළ නිල වශයෙන් අවි බිමතැබීම ඇත්ත වශයෙන්ම එදිරිවාදී කරුණා කණ්ඩායමත් සමග ඇති ආණ්ඩුවට පක්ෂපාතිත්වය පෙන්වීමේ තරගයේ ජවනිකාවක් බවයි.
විස්තර


වැසියන් මුදා හැරිය යුතු බවට විදේශගත දෙමළ ප්‍රජාව හරහා බලපෑම් කරන්න
ආණ්ඩුව ඇමරිකාවෙන් ඉල්ලයි

(W3Lanka, මාර්තු 08)
වි‍දේශ ඇමති රෝහිත බෝගොල්ලාගම සිකුරාදා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු සහකාර රාජ්‍ය ලේකම් රිචඩ් බවුචර්ට ලංකාවේ ප්‍රශ්නය පිළිබඳ කතා කරමින් කොටි සංවිධානය විසින් අහිංසක සිවිල් වැසියන් මුදා හැරිය යුතු බවට විදේශගත දෙමළ ප්‍රජාව හරහා බලපෑම් කරන්නැයි ඉල්ලා සිටියා.

කොටි සංවිධානය සිවිල් වැසියන් අතර හිඳිමින් රජයේ හමුදාවලට වෙඩි තබන බව එක්සත් ජනපද රජය දන්නා බව කී බවුචර්, රජය ඉවසීමෙන් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කීවා.


ළමයින් මරා දමනවා - යුනිසෙෆ් කියයි
60,000ක් පාසල්වලින් දොට්ට

(W3Lanka, මාර්තු 06)
ලංකාවේ යුද කලාපයේ ළමයින් ඝාතනයට, පවුල් කඩා විසුරුවීමට හා තුවාලවලට ලක්වෙමින් සිටින බව යුනිසෙෆ් සංවිධානය මාර්තු 04දා නිකුත් කළ නිවේදනයක පවසයි.
විස්තර සඳහා පුවත් පිටුවට


ලංකාවේ සිවිල් වැසියන්ගේ මරණ ඉහළ යාම එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩිව හෙළාදකියි
සිවිල් වැසියන්ට යුද කලාපයෙන් ඉවත් වන්න දෙන්න

(W3Lanka, මාර්තු 07)
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී-මූන්ගේ කාර්යාලය මාර්තු 05දා නිකුත් කළ නිවේදනයක පවසන්නේ ලංකාවේ යුද කලාපයේ සිවිල් වැසියන්ගේ මරණ ඉහළ යාම එක්සත් ජාතීන්ගේ මහලේකම් දැඩිව හෙළාදකින බවයි. එම මරණ අතරින් සැලකිය යුතු ගණනක් ළමයින් බවද ඔහු කියනවා. සිවිල් වැසියන්ට යුද කලාපයෙන් ඉවත් වීමට ඉඩ දීම පිණිස හා මානුෂීය ආධාර වහා ඔවුන් වෙත ළඟා කිරීම පිණිස එදිරිවාදිකම් අත්හිටුවන්නැයි රජයෙන් සහ කොටි සංවිධානයෙන් කලින් කළ ඉල්ලීම මූන් අලුත් කළා.


එක්සත් ජාතීන්ගේ අවධානය මානුෂීය එකක් - රාධිකා
දේශපාලන කරුණු ආරක්ෂක මණ්ඩලයට

(W3Lanka, මාර්තු 07)
එක්සත් ජාතීන්ගේ ළමයින් සහ සන්නද්ධ ගැටුම් පිළිබඳ විශේෂ නියෝජිත ලාංකික සම්භවයක් සහිත දෙමළ ජාතික රාධිකා කුමාරස්වාමි පවසන්නේ එ.ජා.ගේ අවධානය ජනතාව ගැටුම් ප්‍රදේශවලින් ඉවත් කිරීමේ මානුෂීය එකක් බව හා සටන් විරාමයක් ඉල්ලා සිටීම වැනි පුළුල් කාරණා ආරක්ෂක මණ්ඩලයට අයත් බවයි. කෙසේ වෙතත්, ලංකාව මේ මාසයේ ආරක්ෂක මණ්ඩල න්‍යාය පත්‍රයේ නැහැ.


රනිල් ප්‍රසිද්ධියේ කළ දේ අද මහින්ද හොර රහසේ කරනවා - ජවිපෙ
සංවර්ධනයට මුදල් ලබාගත්තාට ප්‍රශ්නයක් නැහැ - ජානිපෙ

රජය හා ජා.මු.අ. අතර කතා ගැන අදහස්

(W3Lanka, මාර්තු 06)
ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුද‍ගෙන් රු. කෝටි 22,000ක ණයක් ගන්නට යාම සහ එම ණය පසුබිමේ තිබෙන කොන්දේසි පිළිබඳව W3Lanka ජනතා විමුක්ති පෙරමුණෙන් සහ ජාතික නිදහස් පෙරමුණෙන් ඇහුවා. විශේෂයෙන්ම ඔවුන්ගෙන් ඇහුවේ පෞද්ගලීකරණය පිටුදකින ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න ප්‍රධාන වශයෙන්ම දායක වුණේ ඔවුන් නිසායි. මෙන්න ලැබුණ පිළිතුරු:
විස්තර


වන්නියේ සාගිනි මරණ 13ක්
නොකෑ කොළ ජාති කා ලෙඩ වෙලා

(W3Lanka, මාර්තු 06)
රජයේ හමුදා විසින් වටලනු ලැබ තිබෙන කොටි පාලන ප්‍රදේශයේ රජය විසින් ප්‍රකාශිත ආරක්ෂිත කලාපයේ සේවය කරන මුලතිව් ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ටී. වර්ධරාජා රජයටත්, මාධ්‍යවලටත් දන්වා ඇති පරිදි සාගින්නෙන් සිදු වූ මරණ 13ක් පිළිබඳව ප්‍ර‍දේශයෙන් ඔහුට වාර්තා වී තිබෙනවා. ඒ අතර වයස 17ක දැරියක, වයස 65ට වැඩි ගැහැනු දෙදනෙකු හා පිරිමි දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. බඩගින්න නිසා මිනිස්සු කලින් නොකෑ කොළ ජාති පවා කන බවත් ඇතැමුන් ලෙඩ වී රෝහල්ගත කර ඇති බවත් ඔහු කියනවා.

මේ අතර, මිනිසුන් දසදහස් සංඛ්‍යාවක් තදබද වී සිටින පානීය ජලය, බෙහෙත් හා සනීපාරක්ෂක පහසුකම් නැති මෙම ප්‍රදේශයේ පාචනය පැතිරෙමින් ඇති බවද වාර්තා වෙනවා.


ඉන්දියන් හමුදා වෛද්‍ය බලකාය ලංකාවට
යුද කලාපයේ වෛද්‍ය කඳවුරක්

(W3Lanka, මාර්තු 06)
උතුරේ යුද කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන්ට මානුෂීය ආධාර සපයනු පිණිස ඉන්දියන් හමුදාවේ 50 දෙනෙකුගෙන් යුත් වෛද්‍ය ඒකකයක් ලබන සතියේ ලංකාවට එනවා. නාවික හමුදා ආරක්ෂාව ඇතිව ඔවුහු යුද කලාපයේ වෛද්‍ය කඳවුරක් පිහිටුවන්න නියමිතයි.


ලංකාවේ ප්‍රශ්නය මර්දනකාරී ආණ්ඩු විසින් ජනිත කළ සිවිල් අර්බුදයක්
කැනේඩියානු දැක්ම

(W3Lanka, මාර්තු 06)
"ශ්‍රී ලංකාවේ සිදුවෙමින් තිබෙන මානව ව්‍යසනය පිළිබඳ රජයේ කම්පනය සමග සියලු කැනේඩියානුවන් එකඟ වනු ඇතැයි මා සිතනවා. එය දිගින් දිගටම බලයේ සිටි මර්දනකාරී ආණ්ඩු විසින් ජනිත කළ සිවිල් අර්බුදයක්. දෙමළ කොටින් නම් වූ ත්‍රස්තවාදී සංවිධානය බිහි වුණේ එහි ප්‍රතිඵලයක් ලෙසයි." -විදේශ කටයුතු පිළිබඳ කැනේඩියානු රාජ්‍ය ඇමති කෙන්ට් පහළ මන්ත්‍රී මණ්ඩලය අමතමින් ඊයේ...


තිස්සනායගම් වසරක් අත්අඩංගුවේ
ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් සාමකාමී විරෝධයක

(W3Lanka, මාර්තු 06)
මාධ්‍යවේදී ජේ. එස්. තිස්සනායගම් සිරගත කර වසරක් පිරීම නිමිත්තෙන් ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අද ලන්ඩනයේදී සාමකාමී විරෝධතාවක් පවත්වනවා.

ජා. ක්ෂ. සංවිධානයට අනුව, තිස්සනායගම් පුවත්පත් කලාවේදියකු ලෙස සිය යුක්තියුක්ත කාර්යයන්හි නියැලි, අදහස් ප්‍රකාශනයේ නිදහස මත සාමකාමීව යෙදුණු කටයුතු වෙනුවෙන් සිරගත කරන ලද හෘදය සාක්ෂි සිරකරුවෙක් (prisoner of conscience). ඔහුට විරුද්Oව නඟා ඇති චෝදනාව වන්නේ ත්‍රස්තවාදී සංවිධානයකට උදව් කිරීමයි.


ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අබියස දණ නමයි
රු. කෝටි 22,000ක ණයක් සොයයි

(W3Lanka, මාර්තු 05)
විදේශ සංචිත සිඳී යාමේ අර්බුදයකට මුහුණ දී සිටින ලංකාවේ රජය, ජාතික ආර්ථිකය ගැන සහ ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්ලග් ගැලවූ බවට දෙඩූ පුරසාරම් බල්ලන්ට දමමින් රු. කෝටි 22,000ක ණයක් සිඟමින් ජා.මු.අ. ඉදිරිපිට දණින් වැටී ඇත.

ඇමරිකන් ඩොලර් බිලියන 1.9ක ණයක් ගැනීම සදහා ජා.මු.අ. සමග සාකච්ඡා කරමින් සිටින බව මහ බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මහ බැංකුව කියන්නේ උතුරු පළාතේ මහා පරිමාණ යළිපදිංචි කිරීම්, පුනරුත්ථාපන හා ප්‍රතිසංස්කරණ කටයුතු සඳහාත්, නැගෙනහිර පළාතේ වේගවත් සංවර්ධන කටයුතු සඳහාත් බාහිර ආධාර අවශ්‍යව ඇති බවයි.

ජා.මු.අ. ණය එන්නේ රාජ්‍ය දේපල පෞද්ගලීකරණය සහ පෞද්ගලික අංශයට මූලිකත්වය දීමේ කොන්දේසි සහිත පැකේජ ලෙසයි. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව බලයට පැමිණියේ පෞද්ගලීකරණය නොකරන බවට පොරොන්දු දෙමිනි.


ලංකාවේ මානව ව්‍යසනයක් -එක්සත් ජාතීන්
මිනිස්සු බඩගින්නේත්, බෙහෙත් නැතිවත් මියයති

(W3Lanka, මාර්තු 05)
මුලතිව් දිස්ත්‍රික්කයේ සාගරය හා කලපුව අතර වර්ග කිලෝමීටර 14ක වැලිබිමක අඩු තරමේ ලක්ෂයකවත් පිරිසක් මානව ළුයසන තත්වයක ජීවත් වන බව එක්සත් ජාතීන්ගේ ප්‍රකාශක ගෝඩ්න් වේස් ප්‍රංශ පුවත් සේවයට පවසයි.

කෑම නැතිව මිනිසුන් මිය යාම යථාර්ථයක් බවට පත්ව ඇතැයි කියන හේ වැළැක්විය හැකි මරණවලට බෙහෙත් නැතිකම නිසා ළමයින් ගොදුරු වන බවද කියයි.

ප්‍රදේශයට බාධා රහිතව අඛණ්ඩව පිවිසීමට අවස්ථාව ලබා දීමේ හදිසි අවශ්‍යතාව බලධාරීන්ට පෙන්වා දෙන හේ කැරලිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සිවිල් වැසියන් පළා යාම නොවළක්වන ලෙසයි.


කළුබෝවිල රෝහලේ කැළඹීමක්
ආණ්ඩුවේ පළාත් සභා අපේක්ෂකයෙක් වැරදි හැසිරීමක

(W3Lanka, මාර්තු 05)
දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ආදේශක කම්කරුවන්ට පත්වීම් ලිපි සඳහා අද උදේ පැවති උත්සවයකදී, එක්සත් ජනතා නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක ඩික්සන් ජේ. පෙරේරා එක් කම්කරුවකුට පත්වීම් ලිපිය ලබාදීම ප්‍රතික්ෂේප කරමින් ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදුණේ යයි කියන සිද්ධියක් මත එම රෝහලේ සුළු සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.


බේරාගැනීම පතා මිනිස්සු වෙරළේ රැස්වෙති
නරකම ව්‍යසනයන්ගෙන් එකක් - ජාත්‍යන්තර රතු කුරුස කමිටුව කියයි

(W3Lanka, මාර්තු 04)
මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රහාරයට ලක්ව ඇති කොටි පාලන ප්‍රදේශවල ජනයා බේරාගැනීම පතා දහස් ගණනින් පිරිසිදු වතුර හෝ නිවාස හෝ නැති වෙරළට රැස් වන බව ජාත්‍යන්තර රතු කුරුස කමිටුව කියයි.

රතුකුරුස බෝට්ටුවකට සේන්දු වීමට හැකි වූ එක් වෙරළකින් 2000ක් පමණ ජනයා බේරාගෙන ඇති අතර, බේරාගැනීමේ මෙහෙයුම්වලදී බොහෝදෙනා දමා ඒමට සිදු වී තිබේ.

ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ දකුණු ආසියානු කලාපයේ මෙහෙයුම් ප්‍රධානී ජාක් ඩි මායෝ කියන පරිදි හදිසි, මහා ජන ඉවත් කිරීමක් මගින් මෙම අනවශ්‍ය ජන පීඩාව සහ මරණ වළක්වන්න පුළුවන්. එසේම, රජය මෙම ප්‍රදේශවලට යවන මානුෂීය ආධාර තොග අවශ්‍ය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු බවද ඔහු කියනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ප්‍රහාරය ගැන ඔබාමා කතා කරයි
එක්සත් ජනපද ජාත්‍යන්තර ප්‍රතිපත්ති ගැන නිවේදන මාලාවක් එනවාලු

(W3Lanka, මාර්තු 04)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්ථානයේදී එල්ල වූ ප්‍රහාරය ගැන දැඩි අවධානය යොමු කර ඇති බව පවසන ඇ.එ.ජ. ජනාධිපති බරක් ඔබාමා ඇෆ්ඝනිස්ථානයත්, පකිස්ථානයත් ත්‍රස්තවාදී ක්‍රියාවල තෝතැනි වීමට එරට හා බ්‍රිතාන්‍යය ඉඩ නොතබන බවත් කියනවා. ඔහු මේ බව කීවේ බ්‍රිතාන්‍ය අගමැති ගෝඩ්න් බ්‍රවුන් හමුවීමෙන් පසු වාර්තාකරුවන් හමුවෙමින්.

"ජී.20 කණ්ඩායමේ රටවල සමුළුව හා ඉන් පසුව පැවැත්වෙන නේටෝ සමුළුවට පෙරාතුව එක්සත් ජනපදය යාමට කැමති දිශාව පිළබඳ කියවෙන නිවේදන මාලාවක් මම නිකුත් කරනවා," යි ඔබාමා කිව්වා.

සංවර්ධනය වෙමින් පවතින හා සංවර්ධිත රටවල් 20ක සමුළුව අප්‍රේල් 02 ලන්ඩන්හිදීත්, නේටෝ සමුළුව අප්‍රේල් 3දා සිට 5දා දක්වා ස්ට්‍රැස්බර්ග්හිදීත් පැවැත්වෙනවා.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආපසු එයි.
තිලාන් සමරවීරට සැත්කමක්

(W3Lanka, මාර්තු 04)
පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේ පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වීමට පැමිණ බසයෙන් බසිමින් සිටියදී සන්නද්ධ කණ්ඩා‍යමක වෙඩි ප්‍රහාරයකට ලක් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම අද උදෑසන විශේෂ ගුවන් යානයකින් සියරට පැමිණියා. දණහිසට වෙඩි වැදුණු තිලාන් සමරවීර නවලෝක ‍රෝහලේදී ශල්‍යකර්මයකට මුහුණ දෙන්නට නියමිතයි. වෙඩි තැබීමෙන් ක්‍රීඩකයෝ හයදෙනෙක් සහ සහාය පුහුණුකරු පෝල් ෆෝබ්‍රේස් තුවාල ලැබුවා. පොලිසියේ පස්දෙනෙක් මියගියා.

ක්‍රීඩකයන් අතරන් තිලාන් සමරවීර වෙඩි වැදීම නිසා අනාගත ක්‍රිකට් කටයුතු අනතුරට පත් වීමේ තත්වයකට මුහුණ දෙනවා. තරගාවලියම අවලංගු කරනු ලැබුවා. සමීප යුද ගනුදෙනු සහිත, අර්බුදකාරී පසුබිම් සහිත පකිස්ථානයේ සහ ලංකාවේ ක්‍රිකට් බලධාරීන් දේශපාලන උවමනා වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ජීවිත පරදුවට තැබූ බවට ‍චෝදනා එල්ල වෙනවා.


වයිකෝ අතේ මාටිටු?
වන්නියට හොරෙන් ඇවිත්ද?

(W3Lanka, මාර්තු 02)
තමිල්නාඩුවේ එම්.ඩී.එම්.කේ. පක්ෂයේ නායක වයි ගෝපාලස්වාමි හෙවත් වයිකෝ කොටි නායක ප්‍රභාකරන් සහ තවත් පුද්ගලයන් සමග නොදත් දිනයකදී වන්නියේදී ගන්නා ලදැයි කියන ඡායාරූප කීපයක් පුදුකුඩිඉරුප්පුවේ සෝදිසි මෙහෙයුමකදී හමුදාව අතට පත්වෙලා. ඉන් සමහර ඡායාරූපවල වයිකෝ ඉන්නේ කොටින්ගේ යුද ඇඳුම් ඇඳගෙනයි.

මේ අතර ඉන්දීය විදේශ ඇමති මුඛර්ජිගේ තමිල්නාඩු සංචාරයකට වි‍රෝධය පළ කරමින් කළු කොඩි එසවීමේ චෝදනාවට වයිකෝ සහ ඔහුගේ අනුගාමිකයන් කීපදෙනෙකුව ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.


ආරක්ෂිත කලාපයට ෂෙල් ප්‍රහාර
දහයක් මියයති

(W3Lanka, මාර්තු 02)
මුලතිව් දිස්ත්‍රික්කයේ රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආරක්ෂිත කලාපයට ෂෙල් ප්‍රහාර එල්ල වීමෙන් ඉරිදා දින දසදෙනෙකු මියගොස් දුසිම් ගණනකට තුවාල සිදු වී ඇති බව එහි සිටින රජයේ වෛද්‍යවරයකු ප්‍රකාශ කළ බව International Herald Tribune ආසියා පැසිෆික් කලාපීය වෙබ් අඩවිය වාර්තා කළා.
විස්තර


මහින්ද හෙට ප්‍රචණ්ඩා හමුවෙයි

(W3Lanka, මාර්තු 02)
දෙදින නිල සංචාරයක් සඳහා නේපාලයට ගොස් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට එරට අගමැති පුෂ්ප කමල් දහාල් හෙවත් ප්‍රචණ්ඩා හමුවීමට නියමිතයි. ප්‍රචණ්ඩා යනු නේපාල රාජාණ්ඩුවට එරෙහිව ජනරජයක් පිහිටුවීම සඳහා සන්නද්ධ අරගළයක් මෙහෙයවූ නේපාල මාඕවාදී කොමියුනිස්ට් පක්ෂයේ නායකයායි. රාජපක්ෂ දැන් දෙදින නිල සංචාරයක් සඳහා කත්මණ්ඩු ගිහින්.


13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට ක්‍රියාත්මක කරන්න - මුඛර්ජි තූත්තුකුඩියේදී
තමිල්නාඩු දෙමළ ජනයා පිනවන්නද?

(W3Lanka, මාර්තු 02)
"ජනවාර්ගික ප්‍රශ්නයට අවසන් විසඳුම ඇත්තේ යුද ජයග්‍රහණ තුළ නොවෙයි, නියම බලය බෙදීමක් තුළයි. 1987 ඉන්දු - ලංකා ගිවිසුම අනුව ගෙන එන ලද 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කරන ලද, සියලු පක්ෂ ඇතුළත් ඉහළ පෙළේ කමිටුවක නිර්දේශ මත ක්‍රියාත්මක කල යුතුයි." ඉන්දීය විදේශ ඇමති ප්‍රනාබ් මුඛර්ජි ඊයේ මාධ්‍යවලට මෙසේ කීවේ තමිල්නාඩුවේ තූත්තුකුඩියේ පැවති ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන අතරතුරදීයි.


සටන් නැවැත්වීමකට කොටින්ගේ ඉල්ලීම පිළිගන්න
ඉන්දියාව ලංකාවට කියයි

(W3Lanka, මාර්තු 01)
ගත වන සෑම පැයක් පාසාම ලංකාවේ සිදු වන දේ ගැන ඉන්දියාව සැලකිල්ලෙන් පසු වන බව කියන එරට විදේශ ඇමති ප්‍රනාබ් මුඛර්ජි සටන් පවතින කලාපයේ ආහාර, ජලය හා බෙහෙත් දැඩි ලෙස හිඟ බවද කියනවා.

කොටි සංවිධානය කැමැත්ත පළ කර ඇති සටන් විරාමය අවා බිම තැබීමේ කැමැත්තකින් යුක්ත නොවුණත්, එදිරිවාදිකම් නැවැත්වීමට හා සිවිල් වැසියන්ට යුද කලාපයෙන් පිටවීමට ඉඩ දීම සඳහා මෙම අවස්ථාව උපයෝගී කර ගත යුතු බව ඉන්දියාව කියනවා.


නව විදුලිබල පනතට විරුද්ධව විදුලි, තෙල්, වරාය හා දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයක්
සම්මත කළත් ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ

(W3Lanka, මාර්තු 01)
මාර්තු 03දා පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට රජය බලාපොරොත්තු වන නව විදුලිබල පනතට විරුද්ධව විදුලි, තෙල්, වරාය හා දුම්රිය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයක් බිහි කළ බව එම සන්ධානයේ කැඳවුම්කරු සුමතිපාල මානවඩු අද පැවති පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී දුන් රජයේ දේපල පෞද්ගලීකරණය නොකරන පොරොන්දුවටද අනෙක් පොරොන්දුවලට වූ දේම සිදු වි තිබෙන බවට ඔහු චෝදනා කළා.

ලංකා විදුලි සේවක සමිතියේ ලේකම් රංජන් ජයලාල් කියන්නේ බනතට විරෝධය ඇමතිවරුන් අතරින්ම මතු වන බව හා එය සම්මත කරගැනීමට නොලැබෙන බවයි. සම්මත කළත්, රජයේ විදුලිබල ඒකාධිකාරය නැති කර පෞද්ගලීකරණයට ඉඩ සලසන මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බවටද ඔහු ශපථ කළා.

උග5 විදේශ විනිමය හිඟයකට මුහුණ දී සිටින රජය මෙම පනත ඉදිරිය‍ට ගෙනැවිත් තිබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 750ක ණයක් ලබාගන්නයි.


කොතලාවලට සැප දෙන්න බන්ධනාගාර කාර්ය මණ්ඩලය පෝලිමේ
හිරේ නෙමෙයි එයා දැන් රෝහලේ

(W3Lanka, මාර්තු 01)
සුළු වරදකට රිමාන්ඩ් බන්ධනාගාරගත වන්නට සිදු වන සාමාන්‍ය පුද්ගලයකුට අනන්ත දුක් පීඩාවන්ට මුහුණ දීමට සිදු වනමුත්, රුපියල් කෝටි ගණනක මුල්‍ය වංචාවකට සැක පිට රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද මහ ව්‍යාපාරික ලලිත් කොතලාවල වෙනුවෙන් සේවය කිරීමට බන්ධනාගාර කාර්ය මණ්ඩලය වැළ නොකැඩී රොද බැඳගත් බව මැගසින් බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.

තත්වය කොතරම් බැරෑරුම් වීද යත්, බන්ධනාගාරයේ සෙසු අංශවල කටයුතු අඩාල වූ බවද සැළයි.

දියවැඩියා සහ හෘද රෝගියකු වන කොතලාවල මුලින් බන්ධනාගාර රෝහලටද පසුව ජාතික රෝහලටද ඇතුළත් කරන ලදී. මෑතක සිට, 'ප්‍රභූවරයකු' යම් වරදකට රක්ෂිත හෝ බන්ධනාගාරගත වූ විට ඔවුන් ඉන්නේ රෝහල්වලයි.


හෙල්පිං හම්බන්තොට කේස් කවුරුද ඇද්දේ
හේමකුමාර අද තනියම වෙල මැද්දේ
(W3Lanka, පෙබරවාරි 28)
පසුගිය ජනාධිපතිවරණ සමයේ ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව හෙල්පිං හම්බන්තොට ගිනුමේ ප්‍රශ්නය ඇද්දේ එවකට එක්සත් ජාතික පක්ෂයේ සිටි, දැන් ආණ්ඩුවේ කෘෂිකර්ම ඇමති හේමකුමාර නානායක්කාර බව දකුණු පළාත් සභා ජවිපෙ මන්ත්‍රී නලින් හේවගේ පෙන්වා දුන්නා.

මේ සමගම ඇමති නානායක්කාරට යකා නැග්ග අතර දෙපාර්ශ්වය අතර ගුටි හුවමාරුවක් සිදුවෙන්න ඔන්න මෙන්න තැනට ළං වුණා. මෙහි තිබුණු විශේෂත්වය වුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කිසිදු මන්ත්‍රීවරයෙක් ඇමති නානායක්කාර වෙනුවෙන් කතා නොකිරීමයි.

සිද්ධිය වුණේ ගාලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිකුරාදා පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදීයි. ජවිපෙ පළාත් සභා මන්ත්‍රී හේවගේ රැස්වීම ඇමතීමෙන් පසු ඇමති නානායක්කාර 'හැඟීම්බර' ලෙස කීවේ ජවිපෙ ජනාධිපතිවරයා විවේචනය කරන්නේ නම් තමන් රැස්වීමෙන් නැගිට යනු ඇති බවයි. ජවිපෙ දෑත්වල තවමත් ලේ ඇති කතාවක්ද ඇමතිවරයා කීවේ මිනීමරුවන් යයි ජවිපෙට චෝදනා කරමින්.


ශ්‍රී ලංකා ප්‍රශ්නය එ.ජා. ආරක්ෂක මණ්ඩලයේ න්‍යාය පත්‍රයෙන් ඉවතට
හෝම්ස් සිය ලංකා ගමන ගැන කරුණු කියයි
(W3Lanka, පෙබරවාරි 28)
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ දොර වසාගෙන ලංකාව ගැන කළ සාකච්ඡාවකින් පසුව මණ්ඩලයේ සභාපති යුකියෝ තකාසු ප්‍රකාශ කළේ ලංකාවේ ප්‍රශ්නය මණ්ඩලයේ න්‍යාය පත්‍රය ත්‍රළ ඉදිරියට නොයන බවයි.

පසුගියදා ලංකාවේ කරුණු සොයා බැලීමේ චාරිකාවක නියැලුණ මානුෂීය කටයුතු පිළ්බඳ එ.ජා. දෙවන මහලේකම් ජෝන් හෝම්ස් මෙම රැස්වීම හමුවේ ඉදිරිපත් කිරීමට සකසන ලද ලේඛනයක් 'ඉනර්සිටි ප්‍රෙස්' පළ කළා. 'සටන් නැවැත්වීමක්' අවශ්‍ය බව ප්‍රකාශ කළ මහලේකම් බෑන් කී-මූන්ට වෙනස් ස්ථාවරයක් ගනිමින් හෝම්ස් ලංකාවේ යුද්ධය අනියමින් පිළිගත්තා. සිවිල් වැසියන්ට ඉවත් වන්නට ඉඩ දෙන්නැයි කොටි සංවිධානයට බලපෑම් කළ යුතු බව කී හේ සිවිල් වැසියන් ඉවත් වනතෙක් අවසන් යුද ගැටුම පමා කරන්නැයි රජයෙන් ඉල්ලා සිටියා.

ඔහුගේ කාරියට අයත් නෙවුණත්, සටන් අවසන් වූ පසුව, පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී පදනමකින් පොදුවේ පිළිගත හැකි බලය බෙදාගැනීමක් හරහා දේශපාලන විසඳුමකට යාමට මෙම ඓතිහාසික අවස්ථාව පාවිච්චි කරන ලෙස තමන් රජයට කී බව ඔහු කීවා.

සිවිල් වැසියන්ගේ ආරක්ෂාව පිණිස බර අවි භාවිතය සම්පූර්ණයෙන්ම නවතන බවට රජය තමනට තහවුරු කළ බව කී හේ එහෙත් එය කොතරම් ප්‍රායෝගික වී ඇද්ද යන්න පැහැදිලි නැති බව කීවා.

වන්නියෙන් පළා ආ අවතැන් වූවන්ගේ කඳවුරු ගැන ඔහු කියන්නේ රජය ආහාර, නවාතැන්, පිරිසිදු ජලය, සනීපාරක්ෂාව හා සෞඛ්‍ය පහසුකම් සපයා ඇතිමුත් ඇතැම් සංක්‍රාමීය කඳවුරු ඉතා තදබද බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානවලට හා රාජ්‍ය නොවන සංවිධානවලට කඳවුරුවලට පිවිසිය හැකි බව කියන ඔහු පෙන්වා දෙන්නේ කඳවුරු තුළට හා ඉන් පිටතට යාම ඒම දැඩිව පාලනය කර ඇති බවයි.

කඳවුරු බලන්න යද්දී තමන්ගේම පරිවර්තයකු වෙනුවට ඇමතිවරයකුගේ පරිවර්තන ලබා ගන්නට වීම පිළිබඳ චෝදනා ඇත්ත බව 'ඉනර්සිටි ප්‍රෙස්' හෝම්ස්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු පිළිගත්තා. ඒත්, තත්වය වටහා ගැනීමට අවශ්‍ය බුද්ධිය ඔහුට ඇති බවද ඔහු කීවා.


යෝජිත විදුලිබල පනතෙන් රජයේ විදුලි ඒකාධිකාරය ඉවරයි
- ජවිපෙ විරෝධය
(W3Lanka, පෙබරවාරි 28)
ලංකා විදුලි සේවක සංගමයේ ලේකම් රන්ජන් ජයලාල් කියන පරිදි යෝජිත විදුලිබල අනත සම්මත වුණොත්, සමුපකාර පනත යටතේ ලියාපදිංචි ඕනෑම ආයතනයකට විදුලිය නිපදවන්න හා බෙදාහරින්න පුළුවන්.

1950 විදුලිබල මණ්ඩල පනතින් රජයට ලබා දී තිබෙන ඒකාධිකාරය මෙයින් බිඳවැටෙන බව කියන ඔහු පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාත් මහඇමති සිවනේසතුරෛ චන්ද්‍රකාන්තන් දැනටමත් මෙගාවොට් 50ක විදුලි බලාගාරයක් පිහිටුවීමට අවසර ඉල්ලා ඇති බවයි.

ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු වෘත්තීය සමිති නායක පියසිරි විජේනායක කියන අන්දමට විදුලිබල ජනනය රජයේ හෝ රජය හවුල්කරුවකු වන පෞද්ගලික සමාගම්වලට පමණක් ලබා දීමට ආණ්ඩුව එකඟ වෙලා.

මෙම පනත පෞද්ගලීකරණයට පාර කපන බවට එන චෝදනා රජය ප්‍රතික්ෂේප කරනවා. ආසියානු සංවර්ධන බැංකුව ලං.වි.ම. ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්යයට ඩොලර් මිලියන 750ක ණය ලබා දෙන්න සූදානම්. මෙම යෝජනාව සේවක විරෝධය නිසා දිගින් දිගටම අක්‍රිය වෙමින් තිබුණා. ඒත්, උග්‍ර විදේශ විනිමය හිඟය හමුවේ මහින්ද රාජපක්ෂ රජය දැන් ආ.සං.බැං. සමග කටයුතු කරන්න සූදානම් වෙනවා.


මහ බැංකුව පොළී අනුපාතික පහත දමන්න යයි
උද්ධමනය අඩු වෙලා
(W3Lanka, පෙබරවාරි 28)
ආර්ථික වර්ධනය දිරිමත් කිරීම සඳහා රජය පොළී අනුපාතික පහළ දමනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනාවැකි කියනවා.

ඉඩු මිළ ඉහළ යාමේ වේගය ගිය අවුරුද්දේ පෙබරවාරියට‍සොපේක්ෂව මේ අවුරුද්දේදී 7.6%යි. ජනවාරියේදී මෙය 10.7%ක මට්ටමේ තිබුණා. 2006 ජනවාරිවල බඩු මිළ වැඩි වීමේ වේගය 7.3% මට්ටමේ තිබුණායින් පසු මේ එය මෙතරම් අඩු වූ පළමු අවස්ථාවයි.


පොලිසිය සුනන්දගෙන් ප්‍රශ්න කරයි
(W3Lanka, පෙබරවාරි 27)
පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ හිටපු කැඳවුම්කරු සුනන්ද දේශප්‍රියගෙන් ඊයේ ප්‍රශ්න කර තිබෙනවා. ඒ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ මඩකලපුවේ මාධ්‍යවේදියකු යයි කියන දෙමළ ජාතිකයෙකු සුනන්ද පිළිබඳ කර ඇති ප්‍රකාශයකට අදාළවයි. සුනන්ද එම පුද්ගලයා නොහඳුනන බව ප්‍රකාශ කර තිබේ.


විදුලිබල පනත බේරාගන්න ජානිපෙ පෙරට
(W3Lanka, පෙබරවාරි 27)
මාර්තු 03දා පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත නව විදුලිබල පනත පෞද්ගලීකරණයට පාර කැපීමක් බව කියමින් ජවිපෙ සටනට බහිද්දී ප්‍රතිමල්ලව ජානිපෙ ආණ්ඩුවේ ආරක්ෂාවට ඉදිරිපත් වෙලා. ජානිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු වෘත්තීය සමිති නායක පියසිරි විජේනායක කියන අන්දමට විදුලිබල ජනනය රජයේ හෝ රජය හවුල්කරුවකු වන පෞද්ගලික සමාගම්වලට පමණක් ලබා දීමට ආණ්ඩුව එකඟ වෙලා.


කොතලාවල රිමාන්ඩ් කරද්දී උසාවියේ ප්‍රීතිඝෝෂා
(W3Lanka, පෙබරවාරි 27)
ගෝල්ඩන් කී සමාගමේ මුදල් තැන්පත් කර අමාරුවේ වැටී සිටින 2000ක් පමණ තැන්පත්කරුවෝ ඊයේ ගල්කිස්ස උසාවියේදී ඉහළ පෙළේ ව්‍යාපාරික ලලිත් කොතලාවල රිමාන්ඩ් භාරයට පත් කරන්නට දුන් නියෝගය අසමින් ප්‍රීතිඝෝෂා කළා. මහේස්ත්‍රාත්වරයා කොතලාවල මාර්තු 11 දින දක්වා රිමාන්ඩ් කරමින් තැන්පත්කරුවන්ට මුදල් ගෙවන්න දින 10ක් දුන්නා. උසාවිය මගහැර සිටින සමාගමේ අධ්‍යක්ෂවරියකද වන ඔහුගේ බිරින්දෑ අත්අඩංගුවට ගැනීමට උසාවිය විවෘත වරෙන්තු නිකුත් කළා.


කොතලාවලට සම්බන්ධ රක්ෂණ සමාගම දුව දුව වැඩ
සමහරු ගහන්නේ කොළේ වහලා

(W3Lanka, පෙබරවාරි 27)
දැවැන්ත මුල්‍ය මගඩියක පැටලී සිටින ලලිත් කොතලාවල හා සම්බන්ධ සෙලින්කෝ රක්ෂණ සමාගම පසුගියදා කොටින්ගේ ගුවන් ප්‍රහාරයෙන් මහජන බැංකු මූලස්ථානයට සිදු වූ හානි වෙනුවෙන් ඉක්මණින් වන්දි ගෙවමින් රජයේ බැංකු නිලධාරීන් උපයෝගී කරගනිමින් මාධ්‍යවලින් නොමිලේ ප්‍රචාරයක් ලබාගත්තා. කොතලාවලට ඇති චෝදනා නිසා ඔහු සම්බන්ධ සෙසු සමාගම් සමගද ගනුදෙනු කිරීමේ අකැමැත්තක් බොහෝ දෙනා තුළ තිබෙනවා. ඔහු හා සම්බන්ධ දේපළ වෙළඳ සමාගම් දැන් ප්‍රචාරක කටයුතු කරන්නේ සමාගමේ නම සඟවලායි.


නීතිය ඉගෙනගන්න පුළුවන් 30ට අඩුනම් විතරයි
(W3Lanka, පෙබරවාරි 27)
මෙවර නීති විද්‍යාලයට සිසුන් ඇතුළත් කැර ගැනීමේ තරග විභාගය සඳහා එකතු කර තිබෙන අලුත් නීතිය අනුව වසර 2010න් පසුව නීති විද්‍යාලයට ඇතුළත්වීමට සුදුසුකම් ලබන්නේ අවු. 18 - 30 ත් අතර අය පමණයි. ඊට වඩා වයස්ගත අයට නීතිය ඉගෙනීම සඳහා ඇති හිමිකම මේ සමග ප්‍රායෝගිකව අහිමි වෙනවා.


අනුරාධපුර පූජා නගරයේ පාර නවීකරණය වෙයි
(W3Lanka, පෙබරවාරි 27)
අනුරාධපුර පූජා නගරයේ සිංහ කුළුණේ සිට කිලෝමීටර 15.6ක් දිග මාර්ගය ජාත්‍යන්නර තත්වයට නවීකරණය කිරීමේ වැඩසටහනක් සංචාරක අමාත්‍යංශය සහ උතුරු මැද පළාත් සභාව එක්ව ආරම්භ කරලා. මේ සඳහා ජපානය රු. මිලියන 185කින් ආධාර කරනවා, අමාත්‍යංශ ආරංචි මාර්ග කියනවා. ව්‍යාපෘතිය ලබන අවුරුද්දේ ජුලි වන විට අවසන් වීමට නියමිතයි.


සුඩර් ඔලි, උදයන් කර්තෘ පැහැරගෙන
කොටින්ගේ ගුවන් ප්‍රහාරයට සම්බන්ධයි - හුළුගල්ල

(W3Lanka, පෙබරවාරි 26)
කොළඹින් ප්‍රකාශයට පත් වන සුඩර් ඔලි හා යාපනයේ පළ වන දිනපතා උදයන් පුවත්පත්වල ප්‍රධාන කතුවරයා වන එන්. විද්‍යාධරන් මහතා අද උදේ 9.30ට පමණ ගල්කිස්සේදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගියා. පසුව පොලිස් ඹාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රංජිත් ගුණසේකර පවසන්නේ එය පැහැරගැනීමක් නොව ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගැනීමක් බවයි.

ජාතික ආරක්ෂක මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල පවසන්නේ විද්‍යාධරන් අත්අඩංතුවට ගත්තේ පසුගිය සිකුරාදා කොටින්ගේ ගුවන් ප්‍රහාරය හා සම්බන්ධයෙන් බවයි. අවශ්‍ය පුද්ගලයකු නිසා ඔහු අත්අඩංගුවට ගත් ආකාරයේ රළුකමක් නැති බවද ඔහු කීවා.

මේ අතර දේශසීමා නැති මාධ්‍යකරුවන් සංවිධානය පවසන්නේ වරෙන්තුවක් නොමැතිව කරන ලද මෙම අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවයි.

මාධ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා ‍දේශසීමා නැති මාධ්‍යකරුවන්ට කීවේ කොළඹ අපරාධ අංශය (CCD) ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව සහ පවුලේ අයට අද සවස ඔහු දැකිය හැකි බවයි. දේශසීමා නැති මාධ්‍යකරුවන් මාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටියා.

මේ අතර උදයන් මාධ්‍ය සමූහයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයන්ට මරණ තර්ජන එල්ල කරමින් රටින් පිට වන ලෙස කියා ඇති බවද වාර්තා වුණා. මෙම පුවත්පත් දෙක දිගටම ප්‍රචණ්ඩ ප්‍රහාරවලට ලක් වුණා. 2005 සිට එහි සේවකයන් හයදෙනෙකු ඝාතනයට ලක් වුණා.


කොළඹ වරායේ නැවි නැහැ
(W3Lanka, පෙබරවාරි 26)
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉතිහාසයේ පළමු වතාවට ඊයේ දවස තුළ මෙහෙයුම් කටයුතු සඳහා එක නැවක්වත් නොපැමිණි බව වරාය අධිකාරියේ සේවකයෝ පවසනවා. වරායේ සමගි පර්යන්තයට නම් දින 10කින්වත් නැවක් ඇවිත් නැහැ. සේවකයෝ නිකම් බලා ඉන්නවාලු. ආදායම් බිඳවැටීම නිසා වරායේ සුබසාධන ආපනශාලාවත් වහලා.


යුද මෙහෙයුම්වල අවධි තුනක් ගෝඨාභය හෙළි කරයි
(W3Lanka, පෙබරවාරි 26)
විදේශ පුවත් සේවයක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ යුද මෙහෙයුම්වල අවධි තුනක් ගැන සඳහන් කළා. ඒ අනුව කොටින්ගේ පාලනය යටතේ ඇති මුළු භූමි ප්‍රදේශය අත්පත් කර ගත් විට පළමු අදියර අවසන් වෙනවා. දෙවන අදියර වන්නේ ඉතිරි ගරිල්ලා ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සහ ආයුධ අත්අඩංගුවට ගැනීමයි. අවසන් අදියරේ අරමුණ තත්වය ස්ථායී කිරීමයි. "ආපසු ඒමට අපි ඔවුන්ට කිසිදු ඉඩක් ඉතිරි කරන්නේ නැහැ," ඔහු කියනවා.


සාම්පූර් ගල්අඟුරු බලාගාරයේ ගිවිසුම ළඟදීම අවසන්
තැන වෙනස් කරන ඉල්ලීම ඉවතට

(W3Lanka, පෙබරවාරි 26)
ත්‍රි'මලය වරාය ආසන්නයේ 2006දී කොටින්ගෙන් අල්ලාගත් සාම්පූර්හි ඉදි කිරීමට යෝජිත මෙගාවොට් 500 ගල් අඟුරු බලාගාරය පිළිබඳ ගිවිසුම අවසන් කිරීමට ඉන්දීය රජයට අයත් ජාතික තාප බල සංස්ථාව (NTPC) සමග සාකච්ඡා කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ළඟදීම එරටට යනවා.

2006දී ලංවිම හා NTPC අතර අත්සන් කරන ලද ගිවිසුම අනුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පමා වුණේ ඉන්දියාව සාම්පූර් වෙනුවට ක්ලැපන්බර්ග් බොක්කට නිරිත දෙසින් පිහිටි භූමිය ඉල්ලා සිටි නිසායි. ඒත්, රජය චීන වරායේ නැවත පිහිටුවීමට යෝජනා කර ඇති ගුවන් නියමු පුහුණු පාසලේ ගුවන් සීමාවට එම ප්‍රදේශය අයත් වන නිසා ප්‍රශ්නයක් පැනනැගුණා.


බ්‍රිතාන්‍ය විශේෂ නියෝජිතයා ගැන තවදුරටත් සාකච්ඡා
සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුම් ලබාදීම පිළිගන්න බැහැ, බ්‍රිතාන්‍යය කියයි

(W3Lanka, පෙබරවාරි 26)
ත්‍රස්තවාදී ප්‍රශ්නයට විසඳුම් ලබාදීම සුළුතර ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් අහිමි කරමින් සිදුවන්නේ නම් එය භාර ගත නොහැකි බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් දින කීපයකට ඉහතදී පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ බව එරට විදේශ කාර්යාලයේ වෙබ් අඩවියේ සඳහන් වෙනවා.

සියලු ප්‍රජාවන්ට තර්ජනයක් වන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ලංකාවේ තිබෙන බව කාටවත් ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු කියනවා. මේ මාසයේ මුලදී බ්‍රිතාන්‍යය ලංකාව වෙනුවෙන් පත් කරන ලද විශේෂ නියෝජිතයා ලක් රජය ප්‍රතික්ෂේප කළේ එය අගෞරවනීය අතපෙවීමක් ලෙස හඳුන්වමින්. ඒ පිළිබඳ කණගාටුව පළ කරන මිලිබෑන්ඩ් තවදුරටත් ඒ ගැන සාකච්ඡා කරන බවද කීවා.


ලංකාවත් පකිස්ථානයත් අතර සබඳතා ගැන ඉන්දියාව විමසිල්ලෙන්
(W3Lanka, පෙබරවාරි 26)
දෙරට අතර වර්ධනය වෙමින් ඇති සබඳතා මධ්‍යයේ පකිස්ථානයේ අන්තර්සේවා රහස් ඔත්තු කාර්යාංශය (ISI) සිය ඔත්තුකරුවන් ලංකාව හරහා දකුණු ඉන්දියාවට රිංගවීමට ඇති ඉඩ ගැන අවදියෙන් සිටින බව හා ඒවා වැළැක්වීමට පියවර ගෙන ඇති බව ඉන්දීය අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පී. චිදම්බරම් ඊයේ කීවා.


පුදුකුඩිඉරුප්පුවේ මහ සටන්
(W3Lanka, පෙබරවාරි 25)
කොටි සංවිධානයේ පාලනය යටතේ පවතින අවසන් නගරය වන පුදුකුඩිඉරුප්පුහි දරුණු සටන් සිදුවෙමින් පවතින අතර නගරය සියතට පත් වීම කොටින්ට වැළැක්විය නොහැකි බව හමුදාව කියනවා.

හමුදා කාලතුවක්කු ප්‍රහාරවලින් සිවිල් වැසියන් ගණනාවක් මියගොස් ඇති බව කොටි දංවිධානයට හිතවත් මාධ්‍ය කීවා. පෙබරවාරි මාසය මුලදී පුදුකුඩිඉරුප්පු අල්ලාගැනීමට හමුදාව දැරූ ප්‍රයත්නයේදී දැඩි හානි සිදු කළ බව මීට ඉහතදීත් කොටි සංවිධානයට හිතවත් මාධ්‍ය කිව්වා. කොටින්ගෙන් දැඩි ප්‍රතිරෝධයක් එල්ල වූ බව ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ පුවත්පතක් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී කිව්වා. විශාල අවි තොග, යුද ටැංකි ආදිය අල්ලා ගත් බවත් හමුදාවනට ඇම්බුෂ් හා මරාගෙන මැරෙන ප්‍රහාරවලින් විශාල වශයෙන් ජීවිත හානි සිදු කල බවත් කොටි කීවා.

රාජ්‍ය ආරක්ෂක හමුදා මෙම වාර්තා කොටින්ගේ ප්‍රචාර බව කියමින් ප්‍රතික්ෂේප කරනවා. ස්වාධීන වාර්තාකරුවන්ට යුද කලාපයට ප්‍රවේශය තහනම් නිසා ස්වාධීනව මෙම කරුණු තහවුරු කරගැනීමේ හැකියාවක් නැහැ.


ජවිපෙ, ජානිපෙ ආරම්භයේදීම පළාත් සභා සටන අතහැරලා
(W3Lanka, පෙබරවාරි 25)
ජනතා විමුක්ති පෙරමුණත්, එයින් බිඳී ගිය ජනතා නිදහස් පෙරමුණත් යන පක්ස දෙකම බස්නාහිර පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමෙහිදී දැඩි පරිස්සමකින් කටයුතු කරන බව වාර්තා වෙනවා.

උතුරුමැද පළාත් සභාවේ මහඇමති අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ වසන්ත සමරසිංහ මන්ත්‍රීවරයාගේ ජාතික ලැයිස්තු අසුන ආණ්ඩු පක්ෂය විසින් පැහැර ගත්තායින් පසුව, ජවිපෙ පළාත් සභා මැතිවරණ සඳහා මන්ග්‍රීවරුන් ඉදිරිපත් කරන්නේ නැහැ. බස්නාහිර පළාත් සභාව සඳහා ජවිපෙ මහඇමති අපේක්ෂකයා වන්නේ හිටපු පළාත් සභා මන්ත්‍රී වරැණ දීප්ත රාජපක්ෂයි.

බස්නාහිර පළාත් සභා මැතිවරණයට අපේක්ෂකයන් 10කට වඩා ඉදිරිපත් කිරීමට ජානිපෙ මුලින් අදහස් කළත්, අපේක්ෂකයන් 10ක් ඉදිරිපත් කළ වයඹ, මධ්‍යම මැතිවරණවලදී දිනාගන්න ලැබුණේ මධ්‍යම පළාත් සභාවෙන් එකම අසුනක් පමණක් නිසා ජානිපෙ මෙවර අපේක්ෂක සංඛ්‍යාව හයට බස්සලා. නළුවන් දෙදෙනෙකු වන රොජර් සෙනෙවිරත්න සහ ලාල් කුලරත්න පිළිවෙලින් කොළඹ සහ කලුතර දිසාවලට ජානිපෙන් තරග කරනවා.


13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු - ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය
(W3Lanka, පෙබරවාරි 25)
ශ්‍රී ලංකා රජය 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව සහ උතුරු-නැගෙනහිර ස්වපාලිත පළාතක් බවට පත් කළ යුතු බව ඉන්දීය ‍මාක්ස්වාදී කො.ප. ප්‍රධාන ලේකම් ප්‍රකාශ් කරට් ඊයේ කිව්වා. ඉන්දු - ලංකා සාම ගිවිසුම යටතේ ඒකාබද්ධ කළ උතුරු නැගෙනහිර දෙපළාත ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් වෙන් කරනු ලැබුවා. කොටි සංවිධානය පළාත් සභා ප්‍රමාණවත් බලය බෙදීමේ ව්‍යූහයක් ලෙස සලකන්නේ නැහැ.


ලංකාවේ ප්‍රශ්නය නිසා තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ අවුලක්
(W3Lanka, පෙබරවාරි 25)
තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ මහලේකම් තමිලරුවි මනියන් සිය තනතුරින් සහ මූලික සාමාජිකත්වයෙන් ඉවත්වෙලා. ලංකාවේ දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමස්ත ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධිගේ නිහඬ ප්‍රතිපත්තියට විරෝධය පෑමටයි ඔහු ඉල්ලා අස් වී ඇත්තේ.


ලංකාවේ ප්‍රශ්නය නිසා තමිල්නාඩු කොංග්‍රස් පක්ෂයේ අවුලක්
(W3Lanka, පෙබරවාරි 25)
කොටි සංවිධානය දෙමළ ජනයා අපහසුවට පත් වන අන්දමින් කටයුතු නොකරන බව ඇතුළු කොටි හිතවාදී ප්‍රකාශ දේශීයව සහ ජාත්‍යන්තරව කිරීම පිළිබඳව ඊයේ රහස් පොලිසිය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන්ගෙන් පැය දෙකහමාරක පමණ කාලයක් ප්‍රශ්න කළා.


එක්සත් ජාතීන් "සටන් නැවැත්වීමක්" ඉල්ලයි; කොටින්ගේ සටන් විරාම ඉල්ලීමට නිහඬයි
යුරෝපා සංගමය සටන් විරාමයක් ඉල්ලයි
"දෙපාර්ශ්වය සාකච්ඡා කළ යුතුයි," ඇමරිකාව කියයි

(W3Lanka, පෙබරවාරි 24)
කොටි සංවිධානය වහාම සටන් විරාමයක් ඇති කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාරයක් තවම ලැබී නැහැ. ඒත්, එ.ජා. මහලේකම් බෑන් කී-මූන් ඊයේ කියා සිටියේ "තවදුරටත් සිවිල් ජන ජීවිත හා ලංකාවේ සමාජය විනාශ වීම වැළැක්වීම පිණිස සටන් නැවැත්වීමක් සිදු විය යුතු" බවයි. 'සටන් විරාමය' යන වචනය පාවිච්චි නොකළ ඔහු "අර්බුදය විධිමත් අන්දමින් අවසන් කිරීම සඳහා දේශපාලන සාකච්ඡාවක්" පිළිබඳ එ.ජා.ගේ ඉල්ලීම අලුත් කළා.

විස්තර


කොටින්ගේ ගුවන් මෙහෙයුමේ වීඩියෝ පටය
(W3Lanka, පෙබරවාරි 24)
නාවික හමුදාව විසින් අධෝරක්ත කැමරා උපයෝගී කරගනිමින් ගිය සතියේ කොටින්ගේ ව්‍යර්ථ වූ සියදිවිනසාගැනීමේ ගුවන් මෙහෙයුම පටිගත කරන ලද වීඩියෝවක් ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙනවා.

වීඩියෝව බලන්න


ජාතික ප්‍රශ්නය නැවත මුලට?
කොටි සිංහල මායිම් ගමකට පහර දෙති; සිංහල වාර්ගික ආධිපත්‍යවාදීහු දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි අසති

(W3Lanka, පෙබරවාරි 22)
මොනරාගල - අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල, කිරිමැටිය ගමට ඊයේ සවස 3ට පමණ කඩාවැදුණු කොටි සාමාජිකයන් යයි සැක පිරිසක් වෙඩි තැබීමෙන් ළමුන් දෙදෙනෙක් ඇතුළු ගම්වැසියන් 10ක් මියගියා. ළමුන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙක් තුවාල ලැබුවා. ගෙවල්ද ගිනි තබා තිබෙනවා.

මේ අතර කොළඹ සිංහල වාර්ගික ආධිපත්‍යවාදීහු 'දෙමළ ජනයාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?' මැයෙන් පොතක් හා වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට සූදානම් වෙමින් ඉන්නවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව, මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ දෙමළ ජනයා වාර්ගිකව වරප්‍රසාද ලබා තිබෙන බව සහ සිංහලයා අසාධාරණයට ලක් වී ඇති බව පෙන්වා දීමටයි.


ජාතික ප්‍රශ්නය නැවත මුලට?
කොටි සිංහල මායිම් ගමකට පහර දෙති; සිංහල වාර්ගික ආධිපත්‍යවාදීහු දෙමළාට ඇති ප්‍රශ්නය කුමක්දැයි අසති

(W3Lanka, පෙබරවාරි 22)
මොනරාගල - අම්පාර දිස්ත්‍රික් මායිමේ පිහිටි ඉඟිනියාගල, රත්මල්ගහඇල්ල, කිරිමැටිය ගමට ඊයේ සවස 3ට පමණ කඩාවැදුණු කොටි සාමාජිකයන් යයි සැක පිරිසක් වෙඩි තැබීමෙන් ළමුන් දෙදෙනෙක් ඇතුළු ගම්වැසියන් 10ක් මියගියා. ළමුන් දෙදෙනෙක් ඇතුළු පස්දෙනෙක් තුවාල ලැබුවා. ගෙවල්ද ගිනි තබා තිබෙනවා.

මේ අතර කොළඹ සිංහල වාර්ගික ආධිපත්‍යවාදීහු 'දෙමළ ජනයාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?' මැයෙන් පොතක් හා වාර්තා චිත්‍රපටයක් නිකුත් කිරීමට සූදානම් වෙමින් ඉන්නවා. විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුව, මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ දෙමළ ජනයා වාර්ගිකව වරප්‍රසාද ලබා තිබෙන බව සහ සිංහලයා අසාධාරණයට ලක් වී ඇති බව පෙන්වා දීමටයි.


හෝම්ස් අවසන් මහගැටුම එපායි කියයි
ඉන්දියාව අංශක 180ක් ආපසු හැරෙයි

(W3Lanka, පෙබරවාරි 22)
රජයේ දේශපාලකයන් හා නිලධාරීන් සමග වවුනියාවේ අවතැන් කඳවුරුද නිරීක්ෂණය කළ එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෝන් හෝම්ස් සිය ලංකා චාරිකාව අවසානයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පුවත්පත් සාකච්ඡාවක් පැවැත්වූවා. සටන් විරාමයක් පිළිබඳ සඳහනක් නොකළ ඔහු දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටියේ විශේෂයෙන්ම සිවිල් වැසියන්ට දැඩි හානි ගෙන දෙන අවසන් මහා සංග්‍රාමය වළක්වා ගතහැකි සාමකාමී හා විධිමත් මාර්ගයකට එළඹීම සඳහා කළ හැකි සියලු දේ කරන ලෙසයි.

මේ අතර, පැය 72කට මත්තෙන් ලංකා රජය කොටින්ට එරෙහිව කරන මෙහෙයුම් නැවැත්වීම සඳහා ඉන්දියාවට කිසිවක් කළ නොහැකි බව කී එරට විදේශ ඇමති සහ වැඩබලන අගමැති ප්‍රනාබ් මුඛර්ජි, ඒ සමගම මධ්‍යම ආණ්ඩුවට එරෙහිව නැගී ආ විරෝධය හමුවේ දැන් වෙනස් දෙයක් කියනවා. කොටින්ගේ ගුවන් ප්‍රහාරය පිළිබද කතා කරමින් ඔහු කියන්නේ යුද ක්‍රියාමාර්ග හරි නොයන බව සහ දෙපාර්ශ්වය සාකච්ඡාමය විසඳුමකට එළඹිය යුතු බවයි.

යුද්ධයට මැදි වී සිටින දෙමළ වැසියන්ගේ විපත පිළිබඳ ඉන්දියාව සංවේදී බවද ඔහ් කියනවා. සාක් විදේශ ඇමතිවරුන්ගේ සමුළුව සඳහා මුඛර්ජි ලබන සතියේ ලංකාවට එනවා.


කොළඹට කොටි ගුවන් ප්‍රහාරයක්
එක් ගුවන් යානයක් කටුනායකදී බිම දැමුවා - ගුවන් හමුදාව අනෙක් යානය දේශීය ආදායම් කාර්යාල ගොඩනැගිල්ල මතට කඩාවැටිලා

(W3Lanka, පෙබරවාරි 21)
කොටි සංවිධානයට අයත් යයි සැක කරන ගුවන් යානා දෙකක් ඊයේ රාත්‍රී 9.15ට පමණ කොළඹ නගරයට ඇතුල් වී ප්‍රහාර එල්ල කළා. ඉන් එකක් කොළඹ ගුවන් හමුදා මූලස්ථානය අසල දේශීය ආදායම් කාර්යාලයට කඩාවැටුණා.

ගුවන් හමුදා ප්‍රකාශක ජනක නානායක්කාර තහවුරු කළා, කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් වෙඩි තබා අනෙක් එල්.ටී.ටී.ඊ. සැහැල්ලු ගුවන් යානය බිම හෙළූ බව සහ එහි නියමුවාගේ සිරුරද හමු වූ බව. මේ අතර, කොළඹ මහ රෝහලේ හදිසි අනතුරු අංශයට තුවාල ලැබූවන් 47ක් ඇතුල් කර තිබුණා. දෙදෙනෙක් මිය ගොස් තිබුණා.

කොටි ගුවන් යානා පැමිණීමත් සමග කොළම නගරයේ ගුවන් ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කර තිබුණා. වෙඩි වැදීම නිසා පාලනය කර ගත නොවුණු කොටි ගුවන් යානය කඩා වැටුණු බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා පැවසුවා.

හමුදාව මෙහෙයුම් වේගය අඩු කරයි
අවතැන් වූවන් රජයේ පාලන ප්‍රදේශයට පළා ඒමේ අඩුවක්

(W3Lanka, පෙබරවාරි 20)
සිවිල් ජනයාට හානි සිදු වීම වැඩි බව වාර්තා වීමත්, ජාත්‍යන්තර පීඩනයත්, එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා මේ දිනවල ලංකාවේ සිටීමත් සමග යුද මෙහෙයුම් වේගය අඩු කිරීමට රජය තීරණය කර ඇති බව සැලයි. සිවිල් වැසියන්ගේ ජීවිත සුරැකීම සඳහා දැඩි පරීක්ෂාවෙන් කටයුතු කරන බව ආපදා කළමනාකරණ හා මානව හිමිකම් අමාත්‍ය මහින්ද සමරසිංහ හින්දු පුවත්පතට ඊයේ ප්‍රකාශ කර තිබුණා.

පසුගිය දින කීපයේදී රජයේ පාලන ප්‍රදේශ වෙත සිවිල් වැසියන් පළා ඒම අඩු වී ඇති බවද ඇමතිවරයා කීවා. එයට හේතුව ලෙස ඔහු දැක්වූයේ පළා එන ජනයාට කොටි සංවිධානය පහර දීමයි. එකම පවුල කීප වාරයක් ගණන් ගැනීමත් සමග පළා ආ අවතැන් වූවන්ගේ සංඛ්‍යාව වැඩියෙන් ප්‍රකාශ වී ඇති බවද ඇමතිවරයා කීවා.

ස්වාධීන නිරීක්ෂකයන් කියන්නේ රජයේ අවතැන් කඳවුරුවල තත්වය පිළිබඳ පළ වූ ජාත්‍යන්තර වාර්තා සහ කටකතා සිවිල් වැසියන් පළා ඒම අඩුවීමට බලපා ඇති බවයි. කෙසේ වෙතත් මෙකී කරුණු ස්වාධීනව තහවුරු කරගැනීම දුෂ්කරයි, රජයේ දැඩි මාධ්‍ය වාරණය නිසා.


ලංකාවේ යුද්ධයට එරෙහිව දෙමළ මහ රැළියක් ජිනීවාහි
ස්වයං ගිනි තබාගැනීම් ගැන බියක්

(W3Lanka, පෙබරවාරි 20)
ජර්මනිය, ප්‍රංශය, නෝර්වේ සහ නෙදර්ලන්තය වැනි යුරෝපා රටවල සිට දහස් ගණනින් දෙමළ ජනයා ජිනීවාහි එක්සත් ජාතීන්ගේ යුරෝපා මූලස්ථානය අබියස ලංකාවේ යුද්ධයට එරෙහි උද්ඝෝෂණයක් පිණිස බස් රථවලින් පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

පිටතින් 10,000ක් ජනයා ස්විට්සර්ලන්තයට එනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙනවා.

දෙමළ ජාතිකයන් පසුගිය සති කීපය තුළ මෙම ස්ථානයේ කුඩා උද්ඝෝෂණ ගණනාවක් පැවැත්වුවා. ඉන් එක් උද්ඝෝෂණයකදී අවුරුදු 25ක පමණ විරෝධතාවාදී තරුණයෙක් සිරුරට ගිනි තබාගෙන සියදිවි නසා ගත්තා. ඒ නිසා ස්විස් පොලිසිය අද උද්ඝෝෂණයේදීත් එවැනි සිදුවීමක් වන්නට ඉඩ ඇති නිසා අවදියෙන් ඉන්න බව කියනවා.


එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානියා ලංකාවේ
යන්න කලින් පුවත්පත් සාකච්ඡාවක්

(W3Lanka, පෙබරවාරි 20)
එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු පිළිබඳ ප්‍රධානී ජෝන් හෝම්ස් රජයේ ආරාධනයක් මත තුන් දින සංචාරයක් සඳහා ඊයේ ලංකාවට පැමිණියා.

එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය ප්‍රකාශිකා මාරි ඔකබේ මාධ්‍යවලට කීවේ රජයේ යුද මෙහෙයුම් නිසා මතු වී තිබෙන මානුෂීය තත්වය පිළිබඳව හෝම්ස් රජයේ නියෝජිතයන්, එක්සත් ජාතීන්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන්, ජාත්‍යන්තර රතු තුරුස කමිටුව හා රාජ්‍ය ‍නොවන සංවිධාන සමග සාකච්ඡා කරනු ඇති බවයි.

ඔහු අවතැන් වූ ජනයාද හමු වනු ඇති බව හා සංචාරය අවසානයේ පුවත්පතු සාකච්ඡාවක්ද පවත්වනු ඇති බවත් ඔකබේ කීවා.


'ආරක්ෂිත කලාපයේ' ප්‍රහාරවලින් 38ක් මරුට = රජයේ වෛද්‍යවරයෙක්
ඕවා ප්‍රබන්ධ - හමුදා ප්‍රකාශක

(W3Lanka, පෙබරවාරි 19)
මුලතිව් දිස්ත්‍රික්කයේ රජය ප්‍රකාශයට පත් කර ඇති 'ආරක්ෂිත කලාපයේ' තාවකාලික රෝහලක් පවත්වාගෙන යන වෛද්‍යවරයෙක් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර ලෙස යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදය නානායක්කාර පවසන්නේ ප්‍රහාර එල් කළ ස්ථාන කොටි සංවිධානයේ යුදමය ඉලක්ක බවයි.

වෛද්‍ය තුරෛරාජා වර්ධරාජා ප්‍රංශ පුවත් සේවයට කියා තිබෙන්නේ ඊයේ උදේ කාලතුවක්කු ප්‍රහාරයක් නිවසකට පතිත වීමෙන් විස්තෘත පවුලක 13ක් නින්දේම මිය ගිය බවයි. පැය කීපයකට පසු ගුවන් හමුදා ප්‍රහාරක යානාවලින් එල්ල කරන ලද ප්‍රහාරයකින් තවත් 25ක් මිය ගිය බවද සිරුරු රෝහලට ගෙන ආ බවද ඔහු කියනවා.

බ්‍රිගේඩියර් උදය නානායක්කාර පවසන්නේ මේවා ප්‍රබන්ධ බවයි.


විදුලි ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ නැවතත් කරළියට
ආසියානු සංවර්ධන බැංකුව පිටුපසින්

(W3Lanka, පෙබරවාරි 19)
අලුත් බලශක්ති පාලන පනතක් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමති සරත් අමුණුගම ඊයේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සම්මන්ත්‍රණයකදී කිව්වා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන්ගේ විරෝධය නිසා රජය කලක පටන් විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරන කල් දමමින් ඉන්නවා. ආසියානු සංවර්ධන බැංකුව මේ සඳහා ආධාර කරන්න සූදානම්ග හැබැයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන කොන්දේසිය පිට.

දැන් ආණ්ඩුවට ආර්ථිකය ගෙන යන්න විදේශ විනිමය උවමනා නිසා නවත්වා තිබුණු මෙවැනි ව්‍යාපෘති රැසක් ඉදිරියට ගන්න යනවා. සමහර ව්‍යාපෘති නතර වී ති‍බුණේ ඒ සඳහා 15%ක රාජ්‍ය සම්මාදමක් ආ.සං.බැ. ඉල්ලා සිටි නිසායි. ඒත් දැන් එය 10%ට අඩු කරන්න බැංකුව කැමතියි. ආ.සං.බැ. තමයි ජපානය ළඟට ලංකාවට ‍වැඩියෙන්ම ආධාර කරන්නා.


සිවිල් වැසියන්ට හා සටන්කරුවන් නොවන අයට ඉවත් වන්න ඉඩදෙන්න
ලංකාවේ යුද වැදුණු පාර්ශ්ව දෙකෙන් ඇමරිකාව ඉල්ලයි

(W3Lanka, පෙබරවාරි 18)
"සිවිල් වැසියන් සහ සටන්කරුවන් නොවන අයට යුද කලාපයෙන් පිටවන්න ඉඩ දෙන්නැයි අපි දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා සිටිනවා," යි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ගෝඩන් ඩුගිඩ් ඊයේ මාධ්‍ය සාකච්ඡාවකදී ලංකාවේ තත්වය පිළිබඳ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙස කිව්වා.

"අපි දැනටත් ලංකාවේ රජය සමග සම්බන්ධ වී සිටිනවා. අපි ඔවුන්ට කීවා යුද මෙහෙයුම්වලදී සිවිල් වැසියන් පිළිබඳ සලකන්න. ලංකාවේ අවතැන් වූවන්ගේ විපත දුරලන්න රාජ්‍ය නොවන සංවිධානවලට උදව් කරන්නත් අපි උත්සාහ කරනවා."


යුද්ධයට මැදි වූ සිවිල් වැසියන් ඉවතට ගන්න ඉන්දීය සහාය ලංකාව පිළිගනී
කොන්දේසි සහිතයි

(W3Lanka, පෙබරවාරි 18)
ලංකාවේ රජය විසින් දැනටමත් සකසා තිබෙන රාමුව තුළ කටයුතු කරන්නේ නම් පමණක් උතුරු පළාතේ යුද කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් ඉවත් කිරීම සඳහා ඉන්දියාව පිරිනමා ඇති සහාය පිළිගන්න ලංකාව සූදානම් බව ආරක්ෂක ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල කියනවා.

ආරක්ෂාව, පරීක්ෂාව හා පුනරුත්ථාපනය පිළිබඳ වගකීම භාර ගන්නා ජාත්‍යන්තර රතු කුරුස කමිටුව හා ලංකාවේ රජය සමග එකට කටයුතු කරමින් යුද කලාපයේ සිර වී සිටින සිවිල් වැසියන් ඉවතට ගැනීමේ කාර්යයට සහාය ලබා දෙන්න ඉන්දියාව සූදානම් බව එරට විදේශ ඇමති ප්‍රනාබ් මුඛර්ජි ඊයේ ඉන්දීය පාර්ලිමේන්තුවේදී පැවසුවා.


ලංකාවට නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගන්නැයි බල කරන්න ඉන්දීය රජයට හැකියාවක් නැහැ - එරට විදේශ ඇමති
(W3Lanka, පෙබරවාරි 18)
ස්වෛරී රාජයයකට යම් නිශ්චිත ක්‍රියාමාර්ගයක් ගන්නැයි බල කරන්න ඉන්දීය රජයට හැකියාවක් නැතැයි එරට විදේශ ඇමති ප්‍රනාබ් මුඛර්ජි අද පාර්ලිමේන්තුවේදී පැවසුවා. ඔහු එසේ ප්‍රකාශ කළේ පාලක සන්ධානයේ හවුල්කාර පී.එම්.කේ. හා ඒ.ඩී.එම්.කේ. පක්ෂ ලංකාවේ දෙමළ ජනයාට එරෙහි ප්‍රහාර නවත්වන්න ශ්‍රී ලංකා රජයට නියෝග කරන්නැයි කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන්, එම පක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධය මැදයි.


රජය දෙමළ ජාතික සන්ධානයේ සටන් විරාම ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
(W3Lanka, පෙබරවාරි 18)
කොටින්ගේ රූකඩ සංවිධානයක් වන දෙමළ ජාතික සන්ධානයේ සටන් විරාම ඉල්ලීම හාස්‍යජනකබව පවසමින් ආරක්ෂක ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල අද එය ප්‍රතික්ෂේප කළා. රජය ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කැප වී සිටින බව ඔහු කියනවා.


රජය පුදුමට්ටලාන් වෙත ආහාර යවයි
ආහාර හිඟයි - ජාත්‍යන්නර සංවිධාන; හිඟ නෑ - රජය

(W3Lanka, පෙබරවාරි 18)
මුලතිව්හි ප්‍රකාශිත ආරක්ෂක කලාපයේ පිහිටි පුදුමට්ටලාන්හි බෙදාහැරීම පිණිස රජය මෙට්‍රික් ටොන් 50ක ආහාර හා බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රතුකුරුස යාත්‍රාවක අද යැවූ බව වාර්තා වෙනවා.

අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් එස්. බී. දිවාරත්න පවසන්නේ එහි දැඩි ආහාර හිඟයක් නැති බවයි.

එහෙත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කියන්නේ එම ප්‍රදේශයේ දැඩි ආහාර, බෙහෙත් සහ පිරිසිදු ජලය හිඟයක් ඇති බව හා ලෙඩ රෝග ව්‍යාප්ත වෙමින් ඇති බවයි. රතු කුරුසය වියළි ආහාර ටොන් 30ක් එහි යවන බව කියනවා. මානුෂීය ආධාර සේවකයන් පවසන්නේ මෙම ප්‍රදේශයේ ජීවත් වන ජනතාවට පැවැත්ම සඳහා මසකට ආහාර ටොන් 2500ක් අවශ්‍ය බවයි.

ලංකාවේ රතුතුරුස කමිටු ප්‍රධානී පෝල් කැස්ටෙලාට අනුව අසරණ ජනයා පවුල් පිටින් ප්‍රතිකාර හා ගැලවීම පතා පුදුමට්ටලාන් වෙත එමින් ඉන්නවා. ඒත්, එහි බෙහෙත් සහ සහන ද්‍රව්‍යවල දැඩි හිඟයක් පවතින බව ඔහු කියනවා.


ලංකාවේ යුද්ධය එක්සත් ජාතීන්ගේ මාධ්‍ය සාකච්ඡාවකදී මතු වේ
මරණ ගණන 1200ට වැඩිද? අඩුද?

(W3Lanka, පෙබරවාරි 18)
ලංකාවේ යුද්ධයේ මරණ සංඛ්‍යාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ තක්සේරුව, මේ වසර මුලදී ගාසාහිදී එක්සත් ජාතීන්ගේ සැලකිල්ලට ලක් වූ 1200 සංඛ්‍යාව ඉක්මවා තිබේද නැද්ද යන ප්‍රශ්නය ඊයේ එක්සත් ජාතීන්ගේ පුවත්පත් සාකච්ඡාවකදී 'ඉනර්සිටි ප්‍රෙස්' ආයතනය විසින් මහලේකම් බෑන් කී-මූන්ගේ ප්‍රකාශිකා මිෂෙල් ාමාන්ටාස්ගෙන් ඇහුවා. ඇය නිසි පිළිතුරක් දුන්නේ නැහැ. ඒත්, එම තතු වසන් කරන්නේ දේශපාලන උවමනාවකින්ද යන ප්‍රශ්නයට ඇය 'නැත' යන පිළිතුර දුන්නා. රටට පැමිණීමට ජනාධිපතිගෙන් ආරාධනාවක් ලැබී ඇති බව ඇය තහවුරු කළා. ඒත් ඒ පිළිබඳ තීරණයක් ගෙන නැති බවයි ඇය කියන්නේ.


'ආරක්ෂිත කලාපය' තුළ සටන්; සිවිල් වැසියෝ මියයති - එක්සත් ජාතීන්
රතුකුරුසය ලෙඩුන් 400ක් ගෙනැවිත්

(W3Lanka, පෙබරවාරි 17)
රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද 'ආරක්ෂිත කලාපය' තුළ සිදු වන සටන්වලින් සිවිල් වැසියන් මිය යමින් සිටින බව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය පවසනවා. වාර්තා අනුව, වෙඩි වැදීම්වලට හා මරණයට ලක් වෙමින් සිටින සංඛ්‍යාව වැඩි වෙමින් තිබෙන බව කියනවා.

මේ අතර ජාත්‍යන්තර රතු කුරුස කමිටුව පුදුමට්ටලාන්හි සිටි ‍රෝගීන් 400ක් ඊයේ බෝට්ටු මගින් ත්‍රි'මලයට ගෙන ආ බව කීවා.


ප්‍රහාර නවත්වන්නැයි ඉන්දියාව ලංකාවට නියෝග කළ යුතුයි - රාමදෝස්
දින දෙකක් ඇතුළත ප්‍රශ්නය එක්සත් ජාතීන් වෙත ගෙන ගිය යුතුයි

(W3Lanka, පෙබරවාරි 17)
"දෙමළ ජනයාට එරෙහි ප්‍රහාර වහා නවත්වන්නැයි ඉන්දියාව ලංකාවේ රජයට 'නියෝග' කළ යුතුයි. ඒ සඳහා ඉන්දියාවට සියලු අයිතීන් තිබෙනවා. දින දෙකක් ඇතුළත මෙම ප්‍රශ්නය එක්සත් ජාතීන් වෙත ගෙන යා යුතුයි." තමිල්නාඩුවේ පට්ටාලි මක්කල් කච්චි නායක එස්. රාමදෝස් මේ බව පැවසුවේ කොංග්‍රස් ව්‍යවස්ථාදායක පක්ෂයේ නායක ඩී. සුදර්ශනම් සමග පැවති සාකච්ඡාවකින් පසුවයි. පට්ටාලි මක්කල් කච්චි මධ්‍යම ආණ්ඩුවේ පාලක සන්ධානයේ හවුල්කරුවෙක්.


එක්සත් ජනපදය ලංකාවේ තත්වයට වගකිව යුතු අයට ආගමන විගමන තහංචි පැණවිය යුතුයි - මංගල සමරවීර
මංගල හැදූ සතා දැන් ඔහුවම කන්න පනිනවලු

(W3Lanka, පෙබරවාරි 17)
"පශ්චාත් යටත් විජිත ලංකාවේ අඳුරුම පාලක කල්ලියක් බලයට ගෙන ඒමට ප්‍රධාන ජනපතිවරණ සංවිධායක වීමේ වරදකාරිත්වයේ හා ලජ්ජාවේ බර මාද දැරිය යුතුයි." ටෙලිග්‍රාෆ් මාධ්‍යවේදී පීටර් ෆොස්ටර් සමග සම්මුඛ සාකචඡාවකට සහභාගි වෙමින් මංගල සමරවීර පැවසුවා.

(එක්සත් ජනපදය හා යුරෝපය) "ජනාධිපතිටත්, ඔහුගේ සහෝදර ආරක්ෂක ලේකම්ටත් කිව යුතුයි පවතින වැරදි කර දඬුවම් නොවිඳ සිටීමේ සංස්කෘතියට ඔවුන් වගකිවයුතු බව. දැවැන්ත මානව හිමිකම් උල්ලංඝනයන්ට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ආගමන විගමන සම්බාධක පැණවීම වැනි ශක්තිමත් පියවර හරහා එක්සත් ජනපදයට එරට පුරවැසියකු වන ආරක්ෂක ලේකම්ට සක්‍රිය බලපෑමක් කළ හැකියි."
මූලාශ්‍රය: ටෙලිග්‍රාෆ්


අවි බිම තබන්න කැමැත්ත පළ කරන්න - ඉන්දියාව කොටින්ට කියයි
සාම සාකච්ඡා සංවිධානය කරන්න ඉන්දියාව කැමතිලු

(W3Lanka, පෙබරවාරි 17)
"කිසිදු රජයක් ආයුධ අත්හැරීම ප්‍රතික්ෂෙaප කරන සංවිධානයක් සමග සංවාදයකට එළඹෙන්නේ නැහැ. කොටි සංවිධානය එයට කැමැත්ත පළ ‍කළොත්, එය ලංකාවේ රජයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්න බලපෑමක් වේවි." ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමති පී. චිදම්බරම් ඉරිදා තමිල්නාඩුවේ රැස්වීමකදී කීවා. ප්‍රහාර නතර කරන ලෙස රජයෙන්ද ඉල්ලා සිටි ඇමතිවරයා තම කොන්දේසි ඉටු වන්නේ නම් සාම සාකච්ඡා සංවිධානය කිරීමට ඉන්දියාව සූදානම් බවද කීවා.

ඒත්, ඉරිදා ලංකාදීපය පැවසුවේ අවි බිම තැබුවොත් ආරක්ෂාව සපයන්නැයි කොටින් කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදක්වා සිටීම‍ට ඉන්දියාව තීරණය කර ඇති බවයි.


වන්නියේ දරුණු සටන්
රතුකුරුසය ලෙඩුන් රැගෙන එන්න තවත් යාත්‍රාවක් යවලා

(W3Lanka, පෙබරවාරි 17)
රජයේ හමුදාත්, මුලතිව් දිස්ත්‍රික්කයේ පටු බිම් තීරයකට කොටු වී සිටින කොටි සංවිධානයත් අතර දරුණු සටන් අවිළෙමින් තිබෙන බව යුදබිමෙන් වාර්තා වේ. රජයේ හමුදා පසුගිය ඉරිදා කාලතුවක්කු හා මෝටාර් උණ්ඩ සහිත කොටි සංවිධානයේ දැවැන්ත අවි ගබඩාවක් අල්ලා ගත් බවද වාර්තා වනවා.

මේ අතර ජාත්‍යන්තර රතුකුරුස කමිටුව තුවාල ලැබූ තවත් පිරිසක් රැගෙන ඒම සඳහා යාත්‍රාවක් පිටත් කර තිබෙන බව එම සංවිධානයේ ප්‍රකාශිකාවක වන සරසි විජේරත්න කීවා. ලෝක ආහාර වැඩසටහනේ තවත් ආහාර තොගයක් සටන් සිදු වන ප්‍රදේශයට යැවීම සඳහා රතු කුරුසය යුද වැදී සිටින දෙපාර්ශ්වය සමග සාකච්ඡා කරමින් සිටින බවද සැළයි. ප්‍රදේශයට අවසාන ආහාර තොගය යවා තිබෙන්නේ ජනවාරි 29දායි.


එයාටෙල්ව අනෙක් අය කොනිත්තනවලු

(W3Lanka, පෙබරවාරි 17)
‍ජංගම දුරකථන සේවා ක්ෂේත්‍රයේ අනෙක් තරගකරුවන් තම සේවාව හරහා ඔවුන්ගේ ජාලවලට පිවිසීමට බාධා කරමින් සිටින බව භාරතී එයාටෙල් සමාගම මැසිවිලි නගනවා. සුපිරි සේවයක් පිළිබඳ දැවැන්ත ප්‍රචාරයකින් පසු ක්ෂේත්‍රයට පිවිසි එයාටෙල් දුර්වල සේවා තත්වය පිළිබඳ පාරිභෝගිකයන්ගේ විවේචනයට ලක් වෙලා. ලංකාව වේගයෙන් වර්ධනය වන ජංගම දුරකථන සේවා වෙළඳපොළක් ඇති රටක්. ජනගහණය කෝටි දෙකක් වන රටේ ලක්ෂ හැටක් ජංගම දුරකථන ඇති බව කියනවා.


ජවිපෙ, ජානිපෙ දෙකටම එක එක

(W3Lanka, පෙබරවාරි 16)
මධ්‍යම සහ වයඹ පළාත් සභා මැතිවරණවලින් ජනතා විමුක්ති පෙරමුණටත්, එයින් බිඳී ගිය ජාතික නිදහස් පෙරමුණටත් ලැබී ඇත්තේ එක් ආසනය බැගින් පමණයි.

ජවිපෙට මධ්‍යම පළාත් සභාවේ කිසිදු ආසනයක් හිමි නොවූ අතර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 16,084 (2.27%)ක් ලබා ගනිමින් එක් මන්ත්‍රීවරයකු තේරී පත් වී සිටියි. පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රකාශිත ආසන ප්‍රතිඵල අනුව ජවිපෙට එම දිස්ත්‍රික්කයෙන්ද ආසනයක් හිමි වන්නේ නැහැ.

සන්ධානයෙන් නුවරඑළිය ආසනයට තරග කළ ඕ. නිමල් පියතිස්ස මනාප ඡන්ද 19,961ක් ලබා ගනිමින් මධ්‍යම පළාත් සභාවට තේරී පත් වුණා. සෙසු කිසිදු දිස්ත්‍රික්කයකින් අපේකෂකයන් ජය ගෙන නොමැති අතර අවසන් ප්‍රතිඵලය නිකුත් කර නොමැති පුත්තලම දිස්ත්‍රික්කයෙන්ද තම අපේක්ෂකයකු පත් වීමට ඉඩ අවම බව ජානිපෙ ප්‍රකාශකයෙක් පැවසුවා. .


ගුවන් ප්‍රහාරයකින් ජනමාධ්‍යවේදියෙක් මිය යයි
"යුද අපරාධයක්", 'මායිම් නැති වාර්තාකරුවෝ' කියති

(W3Lanka, පෙබරවාරි 16)
කැනඩාව පදනම් කර ගත් ජනමාධ්‍ය කීපයක සේවය කළ වන්නිවාසී දෙමළ ජනමාධ්‍යවේදියකු වූ පුන්‍යමූර්ති සත්‍යමූර්ති, 37, ගුවන් ප්‍රහාරයකින් පසුගිය 12දා අභාවප්‍රාප්ත වූ බව 'මායිම් නැති වාර්තාකරුවෝ' ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් වාර්තා කරනවා.

නිවේදනයට අනුව, මරණය සිදු වී තිබෙන්නේ මුලතිවු දිස්ත්‍රික්කයේ තේවිපුරම්හිදීයි. 'මායිම් නැති වාර්තාකරුවෝ' මෙය යුද අපරාධයක් ලෙස හඳුන්වනවා.

ශ්‍රී ලංකා රජය ජනමාධ්‍යවේදීන් ලෙස පිළි ගන්නේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පත හිමි අය පමණක් බව ටික කලකට ඉහතදී ඇමතිවරයෙක් පැවසුවා.


අවතැන් වූවන් පිළිබඳ තොරතුරු අන්තර්ජාලයට
දැනට සන්නිවේදනය බැහැ

(W3Lanka, පෙබරවාරි 15)
කොටි පාලන ප්‍රදේශවල සිට අවතැන්ව පැමිණි පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබන බදාදා වන විට අන්තර්ජාලයට එක් කරන බව යළි පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් පවසනවා.

කඳවුරුවල සිටින මේ අවතැන් වූවන් බාහිර ලෝකය සමග සන්නිවේදනය කිරීමේ අවස්ථාව දැනට වළක්වා තිබෙනවා.


මුදාගත් ප්‍රදේශයක කොටි ප්‍රහාරයක්
ආරක්ෂිත කලාපයට ෂෙල් ප්‍රහාර

(W3Lanka, පෙබරවාරි 15)
කොටින් විසින් ඊයේ අලුයම අවතැන් වූ සිවිල් වැසියන් රැගෙන එමින් සිටි බස් රථයකට එල්ල කළ ප්‍රහාරයකින් එක් සිවිල් වැසියකු මිය ගොස් 13ක් තුවාල ලබා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානය පවසනවා. ප්‍රහාරය සිදු වූ පුලියන්කුලම යනු කලින් කොටින්ගේ පාලන ප්‍රදේශයට පිවිසෙන මුරකපොල්ල පිහිටි තැනයි.

මේ අතර කිලිනොච්චි ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ ටී. සත්‍යමූර්ති දුරකථනයෙන් ඒ.එෆ්.පී. පුවත් සේවයට කතා කරමින් පවසා ඇත්තේ රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන ආරක්ෂිත කලාපයේ පිහිටි වැඩිහිටි නිවාසයකට ෂෙල් ප්‍රහාරයක් එල්ල වීමෙන් සිවිල් වැසියන් සිව්දෙනෙකු මිය ගිය බවයි.


ලංකාවේ ප්‍රතිචාරයට බ්‍රිතාන්‍ය අගමැතිට හැටට නැගලා

(W3Lanka, පෙබරවාරි 14)
ලංකාවේ ජාතික ප්‍රශ්නයට මැදිහත් වීම සඳහා බ්‍රිතාන්‍ය අගමැති ගෝඩන් බ්‍රවුන්ගේ විශේෂ නියෝජිත ලෙස ඩෙස් බ්‍රවුනි පත් කිරීම පිළිබඳව ලංකාව හැරෙන තැපෑලෙන් විරෝධය පෑවා, එය අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමක් බව කියමින්. අලුත්ම වාර්තා කියන්නේ එම ප්‍රතික්‍‍‍ෂේප කිරීම බ්‍රිතාන්‍ය අගමැතිගේ අප්‍රසාදයට තුඩු දී ඇති බවයි.

වන්නියෙන් අවතැන් වූවන් 200,000ක් සඳහා තුන් අවුරුද්දක කාලයකට 'සුබසාධන ගම්මාන' පිහිටුවීම සඳහා ආධාර ලබා ගැනීමට ලංකාව කළ ඉල්ලීමක්ද බ්‍රිතාන්‍යය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔවුන් කියන්නේ අවතැන් වූවන් කඳවුරුගත කිරීමට විරුද්ධ බවයි.


විදෙස් මාධ්‍යවේදීන් පිරිසක් අසත්‍ය පුවත් වෙබ් අඩවිවල පළ කරලා - දිනමිණ

(W3Lanka, පෙබරවාරි 14)
රාජ්‍ය නොවන සංවිධානයක උදව්වෙන් රට තුළට රිංගාගෙන සිටින 30ක පමණ විදේශ මාධ්‍යවේදීන් පිරිසක් වොයිස් ඔෆ් ඇමරිකා ඇතුළු වෙබ් අඩවිවල ව්‍යාජ තොරතුරු ඇතුළත් ප‍්‍රවෘත්ති වාර්තා පළ කර ඇත.
මූලාශ්‍රය: දිනමිණ


ජනාධිපති තොරතුරු තාක්ෂණ ජාත්‍යන්තර උපදේශක නාරායන මූර්ති
2009 - ඉංග්‍රීසි සහ තොරතුරු තාක්ෂණ වසර

(W3Lanka, පෙබරවාරි 14)
ජනාධිපතිගේ තොරතුරු තාක්ෂණ ජාත්‍යන්තර උපදේශක ලෙස ඉන්දියාව පදනම් කර ගත් ගෝලීය තොරතුරු තාක්ෂණ සේවා හා උපදේශක සමාගමක් වන ඉන්ෆොසිස් නිර්මාතෘ සහ සභාපති එන්. ආර්. නාරායන මූර්ති පත් කර තිබෙනවා.

ඔහු ඉන්දියාවේ දෙවන ඉහළම පුරවැසි සම්මානය වන පද්ම විභූෂණ ඇතුළු සම්මාන රැසක් ලැබූවෙක්.


වන්නියේ සිවිල් වැසියෝ 40ක් දිනපතා මිය යති
රජයේ වෛද්‍යවරයෙක් ජාත්‍යන්තර පුවත් සේවයකට කියයි

(W3Lanka, පෙබරවාරි 13)
වන්නියේ සිවිල් වැසියන් 40ක් දිනපතා ෂෙල් හා වෙඩි ප්‍රහාරවලට ලක්ව මිය යන බව දැනට මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුමට්ටලාන්හි පාසලක රෝහලක් පවත්වාගෙන යන රජයේ වෛද්‍යවරයකු වන තුරෛයිරාජා වර්ධරාජා පවසනවා. තවත් 100ක් පමණ දිනපතා තුවාල ලබන බවත් ඔහු කියනවා.

ඔහුගේ රෝහලේ අත්‍යවශ්‍ය ප්‍රතිජීවක හා නිර්වින්දන ‍ඖෂධ හිඟයක් තිබෙන බවත්, කාර්ය මණ්ඩලය පළා ගොස් හෝ සේවයට වාර්තා නොකර සිටීම නිසා ශ්‍රම හිඟයකුත්, කෑම, වතුර හා සනීපාරක්ෂක ප්‍රශ්නවලට අමතරව පවතින බවත් ඔහු කියනවා.
මූලාශ්‍රය: Associated Press


වන්නියේ අවතැන් වූවන්ට පුනරුත්ථාපන වැඩපිළිවෙලක්

(W3Lanka, පෙබරවාරි 13)
වන්නියෙන් අවතැන් වූවන් පුනරුත්ථාපනය කරන්න රජය වවුනියා, මන්නාරම් දිස්ත්‍රික්කවල කඳවුරු පහක් හදන්න තීරණය කරලා. 200,000ක් දෙනා වෙනුවෙන් හැදෙන මෙම කඳවුරුවල පාසල්, බැංකු, උද්‍යාන, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ආදියත් තිබෙනවාලු.

අවතැන්ව එන සියලු දෙනා මේ කඳවුරුවල රැඳීම අත්‍යවශ්‍යයි. හමුදා ආරක්ෂාව යටතේ තිබෙන ඒවායේදී ත්‍රස්තවාදීන් හඳුනා ගැනීමට පරීක්ෂණ කෙරෙනවා.

නෑදෑයන්ට මේ කඳවුරුවාසීන් බලන්න එන්න පුළුවන් පරීක්ෂාවෙන් පසුවයි. තරුණ හා තනිකඩ පුද්ගලයන්ට පිටවීම තහනම්. ආධාර කණ්ඩායම් කඳවුරුවලට ඇතුල් වීම සීමා කෙරෙනවා. පුවත්පත් තලාවේදීන්ට එන්න පුළුවන් රජයේ අවසරය මත පමණයි.

දෙසතියකට ඉහතදී ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සකසන ලද මෙම යෝජනාව ආධාර ලබාගැනීම සඳහා තානාපති කාර්යාලවලට යොමු කර තිබෙන බව ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය රජීව විජේසිංහ පවසනවා.

මෙම කඳවුරු තුන් වසරක කාලයක් සඳහා වන බව මුල් යෝජනාවේ සඳහන් වූ බවත්, එක්සත් ජාතීන්ගේ සරණාගත කොමිෂමේ විරෝධය නිසා රජය 80%ක් දෙනා මේ වසර අවසානයට පෙර යළි පදිංචි කිරීමට අදහස් කරන බවත් කියැවෙනවා.
මූලාශ්‍රය: Times Online


ක්‍රිකට් අනුග්‍රාහකත්වය මොබිටෙල්ට

(W3Lanka, පෙබරවාරි 13)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව අනුග්‍රාහකත්වය මොබිටෙල් සමාගම අතට. මාර්තු තුන් වසරට අනුග්‍රාහකත්වය රු. මිලියන 500ක් පමණ. දැන් අන්‍රග්‍රාහක ඩයලොග් ටෙලිකොම් සහ ජාතික සංවර්ධන බැංකුවත් මේ සඳහා තරග කළා.


© POWERED BY W3LANKA