2014-10-31

කොස්ලන්දට අවශ්‍ය රේඩියෝ හා රූපවාහිනීකාරයන්ගේ සම්මාදම් ද?

ඇතැම් ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකාවන් නැවතත් තරගෙට මෙන් ආධාර එකතු කරන්නට පටන් ගෙන තිබේ. 

හරියට සුනාමියෙන් පසුව වගේ ය. එක්තරා රූපවාහිනී නාලිකාවක් නාය යාමට පසුදා මහත් අභිමානයෙන් උදම් ඇනුවේ සියල්ලට පළමුවෙන් මේ ගැන වාර්තා කළේ තමන් ය කියා ය. ඔවුන්ට ඒ ගැන මාර ජොලි ය.

විපතට පත් වූවන්ට ආධාර උපකාර කිරීම හොඳ දෙයකි. එහෙත්, මේ තරම් සද්දෙ දමාගෙන දඟලන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ඔය මීඩියා සම්මාදම් යනු ජනතාවගෙන් මුදල් හා වෙනත් දේ එකතු කරන, එහෙත් ජනතාව ඉදිරියේ විගණනය නො වන සේවාවකි.

නාය යාම් හේතුවෙන් දැනට අවතැන් වී සිටින ජන සංඛ්‍යාව දහසකට අඩු ය. මිය ගිය සංඛ්‍යාව 200ක් පමණ වේ යයි විශ්වාස කෙරේ. 

මේ දහසට කන්නට දෙන්නට රේඩියෝ රූපවාහිනී පතුරු ගහමින් මුළු රටෙන් ම සම්මාදම් කරන්නට අවශ්‍ය ද? මේ පිරිස බලා කියා ගන්නට රජයට බැරි ද? බෑ කියන්නට බැරි ය. රජය එය කළ යුතු ය. එය අවිධිමත් සම්මාදම්කාරයන්ට භාර නො දිය යුතු ය.

අවතැන් වී සිටින මිනිස්සු තවමත් ඉන්නේ දරුණු කම්පනයක ය. ඔවුන්ට මේ මොහොතේ කන්නට, අඳින්නට වඩා අවශ්‍ය සිය ප්‍රියයන්ගේ ඉරණම පිළිබඳ දැන ගන්නට ය. මේ මහා වියෝගය දරා ගන්නට ය. සිය ආවේග පිට කර ගන්නට ය. හඬා වැළපෙන්නට ය. 

ඕපාදූප අසා දැන ගැනීමේ රුචියෙන් එහි ඇදෙන මිනිසුන් හමුවේ ප්‍රදර්ශන භාණ්ඩ වී, ඔවුන්ගේ අනේ අපොයි කතා අසා ගත්තා කියා මේ මිනිසුන්ට කිසිවක් ලැබෙන්නේ නැත. 

ජනමාධ්‍ය විසින් කළ යුතුව තිබෙන්නේ සම්මාදම නොව මේ මිනිසුන්ගේ හා සමාන අනතුරුවලට මුහුණ දී සිටින සෙසු මිනිසුන්ගේ අයිතිවාසිකම් නියෝජනය කරමින් විසඳුම් ලබා දීමට බලධාරීන් යොමු කිරීමයි. 

රජය නාය යාම් අනතුර ගැන කලින් දැන සිටියා නම්, මේ ජනයා එතැනින් ඉවත් නො කළේ ඇයි? ඔවුන්ට පිළි ගත හැකි විකල්ප ඉඩම් සැපයුවේ නැත්තේ ඇයි? ඔවුන් බහුතරය දෙමළ වතු කම්කරුවන් නිසා ඔවුන්ට වෙනස් ලෙස සැලකුවා ද? මෙම ජනයා මුහුණ දී සිටින කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රශ්නවලට විසඳුම් සැපයීමේ සැලසුම් තිබෙනවා ද? 

මෙම කාර්යයන්හි නියැලී සිටින සහන සේවකයන්ට උදව් කිරීම සඳහා කළ යුතු හොඳම දෙය වන්නේ විස්තර හා ඕපාදූප හොයන්නට මෙහි නො ගොස් සිටීමයි.

අවතැන් වූ ජනයාට සහන සැලසීම නියාමනයකින් යුතුව කළ යුතු ය. ඔවුන්ට කෙටි කාලීනව තිබෙන ප්‍රශ්නවලට ප්‍රමුඛතාව දිය යුතු ය. මිය ගියවුන් නම් වශයෙන් හෝ හඳුනා ගත යුතු ය. ඔවුන් වෙනුවෙන් ජීවත් වන්නන්ට කිරීමට අවශ්‍යව තිබෙන ආගමික ආදී කාර්යයන් වෙනුවෙන් ඔවුන්ට පහසුකම් සැලසිය යුතු ය. 

අවතැන් කඳවුරුවලට යා යුතුව තිබෙන්නේ රේඩියෝ, රූපවාහිනීකාරයන් නොව මනෝ වෛද්‍යවරු හා උපදේශනයෙහි සුදුසුකම් ඇති අයයි.

විශේෂයෙන් ම මව්පියන් අහිමි දරුවන් සම්බන්ධයෙන් කළ යුතු දේ ගැනත්, සෙසු ජනයා ගැනත් සොයා බලා අවශ්‍ය පියවර ගත යුතු ය.

මෙම දරුණු ව්‍යසනයෙන් පීඩාවට පත් ජනයා පුනරුත්ථාපනය කිරීම ඊළඟ වැදගත් කාර්යයි. 

ඔවුන්ට ආරක්ෂිත වාසස්ථාන සැපයිය යුතු ය. එසේම, මෙවැනි තවත් පිරිසක් අනතුරට ලක් වන එක වළක්වා ගන්නට අවශ්‍ය පියවර ගත යුතු ය. 

මේවා කළ යුත්තේ හා කළ හැක්කේ රජයටයි. ඒ සඳහා රජය යොමු කළ යුතු ය. ආධාර උපකාර වුව යම්කිසි නියාමනයක් යටතේ සිදු විය යුතු ය. ඒ සඳහා විපතට පත් වූවන්ගේ සංවිධානයක් ගොඩනගා ගන්නට පුළුවන. 

ඕපාදූප සොයන්නන්, ප්‍රචාරය සොයන්නන් හා ක්ෂණික සම්මාදම්කාරයන් විසින් විපතට පත් වූ ජනතාවට කරන්නේ තවත් විපතකි. 

ඔවුන් මේ කරන්නේ ජනතාවගේ හෘදය සාක්ෂිය මෝචනය කර රජයට වගකීම් පැහැර හැරීම සඳහා අවස්ථාව ලබා දීමයි. 

සිදු විය යුත්තේ එය නොව, මේ ජනයාගේ හා අනෙකුත් ජනයාගේ ප්‍රශ්න සම්බන්ධයෙන් රජය කටයුතු කළ යුතු බවට අවශ්‍ය පීඩනය පවත්වාගෙන යාමයි.  

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
0 ඉදිරියට කියවන්න »

සුන්දර ඉංගිරිසි: සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්නට අලුත් යෝජනාවක්

6
සිංහල අකුරින් ලියැවුණ වචන ඉංග්‍රීසි අකුරෙන් ලිවීම සුලබව සිදු වෙන දෙයක්. වර්තමානයේදී නම් විශේෂයෙන් ම කෙටි පණිවුඩ ලිවීම සඳහා මේ ක්‍රමය බහුලව භාවිතා වෙනවා. 

ඒ නැතත් අපට නම්, ගම් ආදිය ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. 

ඒ විතරක් නොවෙයි, ඇතැම් සිංහල වදන්වලට ඉංග්‍රීසි පරිවර්තන නැහැ. උදාහරණයක් ලෙස රජය පිරිනමන කලාශූරී වැනි නම්බු නාම අපට ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න බැහැ. ඒවා ඉංග්‍රීසියෙන් ම ලියන්න වෙනවා.

මේ ආදී හේතු නිසා අපට සිංහල වචන ඉංග්‍රීසියෙන් ලියන්න සිදු වෙනවා. මේ සඳහා පිළිගත් ක්‍රමයක් නැති නිසා අපට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳ අපි පසුගිය ලිපි කීපයකින් සාකච්ඡා කළා. 

මේ ගැටලුවට විසඳුම් ලෙස අලුත් ලතින් අකුරු හඳුන්වා දීම සුදුසුයි කියා මා පිළි ගන්නේ නැහැ. හේතුව දැනට තිබෙන අක්ෂරවලින් ම මේ ගැටලුව විසඳා ගන්නට පුළුවන් නිසායි. 

අද අපි උත්සාහ කරන්නේ මේ සඳහා විධිමත් ක්‍රමයක් යෝජනා කරන්නටයි. 

අද අපි භාවිතා කරන නූතන සිංහල හෝඩියේ අක්ෂර 64ක් තිබෙනවා. ඒවා වෙන වෙනම ශබ්දයි. ඒවා ඉංග්‍රීසියෙන් ලිවිය යුත්තේ කෙසේ ද යන්න විමසා බලමු. 

අපි මුලින් ම අවධානය යොමු කරන්නේ සිංහල ස්වරවලටයි. 

සිංහල වර්ණ මාලාවේ යෙදෙන වර්තමාන භාවිතයේ තිබෙන ස්වර මෙසේ ය: අ ආ ඇ ඈ ඉ ඊ උ ඌ ඍ ඎ එ ඒ ඓ ඔ ඕ ඖ (අං අඃ)

මේවා ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා අපට යොදා ගත හැකි ඉංග්‍රීසි අකුරු මෙසේ ය: උදාහරණයක් අක්ෂරයට ඉදිරියෙන් දැක්වෙනවා.
අ - a උදා: අමර - Amara
ආ - aa උදා: ආනන්ද- Aananda
ඇ - ae උදා: ඇල්පිටිය- Aelpitiya
ඈ - aea උදා: ඈතගම - Aeathagama
ඉ - i උදා: ඉංගිරිය - Ingiriya
ඊ - ee උදා: මීගොඩ - Meegoda
උ - u උදා: උපුල්- Upul
ඌ - uu උදා:ඌරාපොළ - Uurapola
ඍ - ru උදා:කර්තෘ - Karthru
ඎ - ruu උදා: කෘෘර - Kruura
එ - e උදා: එගොඩඋයන - Egodauyana
ඒ - ea උදා: අවිස්සාවේල්ල - Awissawealla
ඓ - ai උදා: ඓරාවණ - Airawana
ඔ - o උදා: ඔරුවල - Oruwala
ඕ - oo උදා: ඕපාත - Oopatha
ඖ - au උදා: ගෞතම - Gauthama
අං - ng  උදා: සිංහ - Singha
අඃ - uh උදා:පොල්ම:කාර - Polmuhkara

මෙහිදී මතභේදාත්මක අක්ෂර වන්නේ ඇ, ඈ, ඌ, ඒ, ඕ යන ස්වර වෙනුවෙන් යෙදූ ඉංග්‍රීසි අක්ෂරයි. 

දැනට භාවිතාවේ පවතින ක්‍රමයට අනුව ඇ, ඈ, එ, ඒ යන ස්වර හතර ම ලියන්නේ e අකුර භාවිතා කරලායි. Elpitiya (ඇල්පිටිය), Ethagama (ඈතගම), Eluwila (එලුවිල), Weweldeniya (වේවැල්දෙනිය) යන ග්‍රාම නාම ලියන ආකාර මේ කරුණ පැහැදිලි කර ගැනීමට උදාහරණ ලෙස සැලකිය හැකියි. 

ඒ වචන ටික ම මම යෝජනා කරන ආකාරයට ලිවිය යුත්තේ මෙහෙමයි: Aelpitiya, Aeathagama, Eluwila, Weaweldeniya

ඌ ස්වරය ඉංග්‍රීසියෙන් ලිවීම සඳහා දැනට භාවිතා කරන oo වෙනුවට මම යෝජනා කරන්නේ uu යන අකුරු දෙකයි. ඒ අනුව Rookantha ලිවිය යුත්තේ Ruukantha ලෙසයි.

දීර්ඝ ඕ ස්වරය ලිවීම සඳහා ඇතැමෙක් දැනටත් oo භාවිතා කරනවා. උදාහරණයක් ලෙස තෙන්නකෝන් ලියන්නේ Thennakoon ලෙසයි.

සිංහල ව්‍යංජනාක්ෂර හෙවත් ගතකුරු ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කියන එක අපි ඊළඟට බලමු. 

මෙහිදී මූලිකව ම දැනට භාවිතා වන අක්ෂර ම භාවිතා කිරීමත්, එක් අක්ෂරයකට වඩා භාවිතා වේ නම්, ඒ අතුරින් එක් අක්ෂරයක් අත්හැර දැමීමටත් මම යෝජනා කරනවා. 

මෙහිදී ලොකු ම ප්‍රශ්නය මතු වන්නේ ව අක්ෂරය වෙනුවෙන් අපි භාවිතා කළ යුත්තේ w ද v ද යන්න සම්බන්ධයෙනුයි. 

ඉංග්‍රීසි w අකුරේවත්, v අකුරේවත් ශබ්දය පූර්ණව සිංහල වයන්නේ ශබ්දයට සමාන වන්නේ නැහැ. ඒත්, ඉංග්‍රීසි v අකුරේ ශබ්දය තරමක් ෆ ශබ්දයට බර 'fව' ශබ්දයක් නිසා එය සිංහල ව ශබ්දයට කිසි සේත් ම නො ගැලපෙන බවයි මගේ අදහස. ඒ නිසා මම යෝජනා කරන්නේ w අක්ෂරය පමණක් භාවිතා කරන්නටයි. 

තවත් ප්‍රශ්නයක් මතු වන තැනක් තමයි ද ශබ්දය. මෙහිදී අපි භාවිතා කළ යුත්තේ d ද th ද යන්න ප්‍රශ්නයක්. 

මා යෝජනා කරන්නේ ද ශබ්දය වෙනුවෙන් d භාවිතා කළ යුතු බවයි. එවිට ඇති වන ප්‍රශ්නය වන්නේ ඩ වෙනුවෙන් භාවිතා කරන අක්ෂරය කුමක් ද යන්නයි. මෙයට විසඳුමක් අපි කල්පනා කළ යුතුයි. එතෙක් ද හා ඩ යන ශබ්ද දෙක ම වෙනුවෙන් d භාවිතා කරන්නට සිදු වෙනවා. 

එතකොට ත වෙනුවෙන් th භාවිතා කරන්නට පුළුවන්. 

මහාප්‍රාණ අක්ෂර වෙනුවෙන් අපට මූලික අක්ෂරයට h අකුර එකතු කරන්නට පුළුවන්. kh, gh, dh යනුවෙන්. ඒත්, මහාප්‍රාණ ථ වෙනුවෙන් මොනවද කරන්නේ. මම යෝජනා කරන්නේ තයන්න වෙනුවෙන් යෙදෙන thට තවත් hඅකුරක් එකතු කරන්න කියායි. ඒ අනුව මහාප්‍රාණ ථයන්න thh ලෙස ලිවිය යුතුයි.

මේ ප්‍රශ්නය ම ඡ අක්ෂරය සම්බන්ධයෙනුත් මතු වෙනවා. මේ ක්‍රමවේදය අනුව ඡ අක්ෂරයත් chh ලෙස ලිවිය යුතුයි. 

ඒත්, තවත් ප්‍රශ්නයක් ඉතිරි වෙනවා. ඒ තමයි මහාප්‍රාණ ඨයන්න ඉංග්‍රීසියෙන් ලියන්නේ කොහොමද කිය කාරණයයි. th ලෙස ලිව්වොත් තයන්න වෙනවානේ. එතකොට ඨ ලියන්න විධියක් නැහැ. මම යෝජනා කරන්නේ ඒ සඳහාත් t අක්ෂරය පමණක් භාවිතා කරමු කියායි. මන්ද, ඨ අක්ෂරය පුද්ගල හා ග්‍රාම නාමවල යෙදෙන අවස්ථා ඉතා විරල නිසා. සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියන්න අවශ්‍ය වෙන ප්‍රධාන හේතුව සිංහල පුද්ගල හා ග්‍රාම නාම ලියන්න සිදු වීමනේ. 

මේ ප්‍රශ්නය ම මහාප්‍රාණ ඪ සම්බන්ධයෙනුත් එනවා. දැනට අපි ද හා ඩ යන අක්ෂර දෙක ම වෙනුවෙන් යෝජනා කර තිබෙන්නේ d අකුරයි. මහාප්‍රාණ ඪයන්නත් ග්‍රාම හා පුද්ගල නාමවල යෙදෙන්නේ අඩුවෙන් නිසා අප ඪ වෙනුවෙනුත් d භාවිතා කරමු. දැන් එතකොට අපි d අකුර ශබ්ද තුනක් වෙනුවෙන් භාවිතා කරනවා. ඒ ද, ඩ හා ඪ යන ශබ්ද තුනයි. මෙය ගැටලුවක්. එය විසඳා ගත යුතු ආකාරය සාකච්ඡා කරමු.

මහාප්‍රාණ ඵයන්නත් පුද්ගල හා ග්‍රාම නාමවල යෙදෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා ඒ සඳහාත් p අක්ෂරය ම යොදා ගන්න පුළුවන්. මන්ද, ph විසින් ඉංග්‍රීසියේදී f අක්ෂරයේ ශබ්දය ලබා දෙන නිසා අපි මහාප්‍රාණ ඵ වෙනුවෙන් ph භාවිතා කළොත් පටලැවිල්ලක් ඇති වෙන්න පුළුවන්.  

න ශබ්දයත්, ං හෙවත් ඞ ශබ්දයත් අතර වෙනසක් තිබෙනවා. න ශබ්දය සඳහා n අකුරත්, ං හෙවත් ඞ ශබ්දය සඳහා ng අකුරු දෙකත් යෝජනා කරන්නේ ඒ නිසායි.

ක - මේ සඳහා k පමණක් භාවිතා කරමු. c භාවිතය අත්හරිමු.
ඛ - kh (උදා: සංඛ - Sankha)
ග - g
ඝ - gh (උදා: සංඝදාස - Sanghadasa)
ච - ch
ඡ - chh (උදා: ඡායා - Chhaya)
ජ - j
ඥ - gn (උදා: ඥානපාල - Gnanapala) 
ට - t
ඨ - t (උදා: අරිට්ඨ - Aritta)
ඩ - d
ඪ - d 
ත - th
ථ - thh (උදා: අත්ථදස්සි - Aththhadassi)
ද - d
ධ - dh (උදා: සිරිවර්ධන - Siriwardhana)
න / ණ - n
ප - p
ඵ - p (උදා: ඵුස්සදේව - Pussadewa)
බ - b
භ - bh (උදා: භාෂණ - Bhashana)
ම - m
ය - y
ර - r
ල / ළ - l
ව - w (උදා: විමල් වීරවංශ - Wimal Weerawansha)
ස - 
ශ / ෂ - sh (උදා: ශර්මිලා - Sharmila)
හ - h
ං / ඞ - ng (උදා: සිංහ - Singha)
ෆ - ෆ

මෙතැනදී සිංහල අක්ෂර කීපයක් නො තකා හැර තිබෙනවා. න, ණ, ල, ශ, ෂ, ඤ, ඥ, ජ, ඣ අක්ෂර අතර වෙනස සිංහල අකුරු ඉංග්‍රීසියෙන් ලියද්දී අදාළ වෙන්නේ නැහැ. මන්ද, මේ අක්ෂර උච්චාරණයෙන් වෙනස් නො වන නිසා. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-30

අපි අයින් වෙන්න කිව්වා, ඒගොල්ලෝ බෑ කිව්වා, අපට කරන්න දෙයක් නැහැ යි කියන එක ද රජයේ වගකීම?

18
නාය ගිය තැන
කොස්‌ලන්ද, හල්දුම්මුල්ල, මීරියබැද්ද වතුයායේ ඊයේ උදෑසන සිදු වූ නාය යාම අතිශය කණගාටුදායක ඛෙදවාචකයකි. එහිදී ජීවිත අහිමි වූ 300කට අධික පිරිස වෙනුවෙන් අපි සාතිශය සංවේගය පළ කරමු.

මෙම ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වීමට උපදෙස් ලැබී තිබුණු බවත්, ඔවුන් එයට කැමැත්තක් නො දැක්වූ බවත් ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය පවසයි. 

මිනිස්සු ලෙහෙසියෙන් තමන් ජීවත් වූ තැනින් ඉවත් වන්නේ නැත. ඉඩමක් යනු නිකම් ම බිමක් පමණක් නො ව මිනිසුන්ගේ ජීවිතය බැඳී පවතින තැනකි. තැනකින් තැනකට චලනය වීම අපහසු කරන මූලික සාධකයක් වන්නේ ජීවනෝපාය පිළිබඳ ගැටලුවයි. 

නාය යාමේ අනතුරු නිසා ඉවත් වන්නට සිදු වන මිනිසුන්ට රජය ඇත්තෙන් ම උපකාර කරනවා ද? රජය විකල්ප ඉඩම් දෙන බව ඇත්ත ය. මේ ඉඩම් බොහෝ විට නිසි ප්‍රවේශ මාර්ග නැති, ජලය, විදුලිය ආදී යටිතල පහසුකම් නැති, නිසරු, මුඩු ඉඩම් ය. එසේම, යළි පදිංචි කරන ලද ජනයාට නිවාස ඉදි කර ගැනීම සඳහා රජය කරන ආධාර උපකාර කිසි සේත් ම ප්‍රමාණවත් නැත.

1985දී මතුගම, අගලවත්ත ප්‍රදේශවල ඇති වූ නාය යාම හේතුවෙන් පදිංචි ඉඩම්වලින් ඉවත් කරන ලද මිනිසුන් ජීවත් වන ගමක් අපේ ගම ආසන්නයේ තිබේ. වසර 30කට පමණ පසුවත්, ඒ ගමේ වැසියන්ගේ මූලික ප්‍රශ්න තවමත් විසඳී නැත. 

ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල සංවර්ධනය බොහෝ දුරට අවිධිමත් අන්දමින් සිදු වන පාරවල් කොංක්‍රීට් කිරීමට හා විදුලිය ලබා දීමට සීමා වී තිබේ. ග්‍රාමීය ජනයාගේ පානීය ජල ගැටලු බොහෝ දුරට විසඳා ගනු ලබන්නේ ග්‍රාමීය ජනයා විසින් ම අවිධිමත් ආකාරයටයි. ග්‍රාමීයව සිදු වන ඉදිකිරීම්, පස් කැපීම්, වැලි කැණීම්, ඉඩම් ගොඩ කිරීම් හා වැවිලි ආදිය සිදු වන්නේ විධිමත් සැලසුම් අනුව නො වේ. 

නාය යාම් අනතුරු වැඩි වීමට මෙය ප්‍රධාන හේතුවයි. නාය යාම්වලින් අනතුරට පත් වන ජනයා බොහෝ විට දිළින්දෝ ය. වැඩි ම අනතුරුදායක තත්වයක් තිබෙන්නේ දිළින්දන් ජීවත් වීම සඳහා තෝරා ගන්නා ඉඩම්වල බව පෙනේ. ඔවුන් එවැනි ඉඩම්වල පදිංචි වන්නේ වෙනත් විකල්ප නැති නිසා වන්නට පුළුවන. 

මේ රට සංවර්ධනය වෙමින් පවතින්නේ ප්‍රධාන වශයෙන් ම මිනිසුන් දරන අප්‍රතිහත ධෛර්යය නිසා මිස දේශපාලකයින්ගේ සැලසුම් නිසා නො වේ. ඉඩමක් මිළ දී ගන්නට ගිය විට, එම ඉඩම සංවර්ධනය කර ගෙයක් හදන්නට ගිය විට, රජයේ ආයතන හා නිලධාරීන් කරන්නේ ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා මග පෙන්වීම් ලබා දී දිරි ගැන්වීම නො ව, මොනවා හෝ නීති රීති පාවිච්චි කර එයට අකුල් හෙළීමයි.

කොළඹ මිළ අධික ඉඩම්වල දැනට පදිංචිව සිටින මිනිසුන් ඉවත් කර ඒ ඉඩම් අත්පත් කරගෙන ව්‍යාපාර සඳහා විකුණා දැමීම සඳහා කරන දේ හැර නිවාස සංවර්ධනය සඳහා මේ රටේ ආණ්ඩුවට වෙනත් සැලසුමක් තිබේ ද යන්න සැක සහිත ය. 

ග්‍රාමීය සංවර්ධනය පැත්තෙන් බැලුවත් තත්වය එය ම ය.

මිනිස් වාසස්ථාන අනතුරුදායක තත්වයකට පත් නො වන අන්දමින් පවත්වාගෙන යාම ද රජයේ වගකීමකි.

අපි අයින් වෙන්න කිව්වා, ඒගොල්ලෝ බෑ කිව්වා, අපට කරන්න දෙයක් නැහැ යි කියන එක පමණ ද රජයේ වගකීම? 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-29

ලංකාවේ පාර්ලිමේන්තුවේ අපූරු ඵලදාව

8
ලංකාවේ පාර්ලිමේන්තුව කෙතරම් විහිළුවක් බවට පත් වී තිබේ ද යන්න ඊයේ සිදු වූ සිද්ධියකින් පෙන්නුම් කරන ලදී. 

අයවැය විවාදය ඇමතීමට සිටි ආණ්ඩු පක්ෂයේ ඇමතිවරයකු හා මන්ත්‍රීවරු තුන්දෙනෙකු ද, විපක්ෂයේ මන්ත්‍රීවරියක ද නො සිටි නිසා පාර්ලිමේන්තුව පැයකුත් විනාඩි 45කට පෙර කල් දමන ලදී. 

ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ අජිත් කුමාර මන්ත්‍රීවරයාගේ සභාව කල් තැබීමේ යෝජනාව ස්ථිර කිරීමට කිසිදු විපක්ෂ මන්ත්‍රීවරයෙක් සභාව තුළ නො සිටි නිසා කල් තැබීමේ යෝජනාව ද විවාදයට නො ගැනිණි. 

හිනා යන කාරණයක් වන්නේ පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතව සිටියත් නො පැමිණි එක් කථිකයකු වන ඇමති බසීර් සේගු දාවුද්ගේ ඇමති තනතුර ඵලදායිතාව සංවර්ධනය කිරීම වීමයි. 

අනෙක් කට්ටිය නම් ආණ්ඩු පක්ෂයේ නෙරන්ජන් වික්‍රමසිංහ, ජානක වක්කුඹුර, වී.කේ. ඉන්දික හා එක්සත් ජාතික පක්ෂයේ තලතා අතුකෝරළයි. 

මොවුන් මේ රටේ මහජන මුදලින් අති විශාල වැටුප් හා වෙනත් වරප්‍රසාද රැසක් භුක්ති විඳින්නෝ ය. 

මොවුන්ට පාර්ලිමේන්තු ඒම පහසු කිරීම සඳහා නිල නිවාස ද, තීරු බදු රහිත වාහන හා ඒවාට ඉන්ධන ද මහජන මුදලින් ලබා දී තිබේ. පාර්ලිමේන්තු ආවා ම ඕනෑ දෙයක් ඕනෑ විිදියට නොමිළේ වගේ කන්නට බොන්නට දෙන දන්සැලක් වැනි දෙන කැන්ටිමක් ද තිබේ.

තවද මොවුන් ඇතැමෙක් පාර්ලිමේන්තු එන්නේ ආරක්ෂාව දමාගෙන, සයිරන් ගසාගෙන හරියට අමාරු ලෙඩෙක් රෝහල් ගෙන යන්නා වගේ ය.

පාරලිමේන්තුවෙන් ඇති වැඩක් නැති බව සැබෑ ය. පසුගිය දිනවල ඉදිරිපත් කරන ලද අයවැයෙහි රජයේ වියදම්වලින් ජනාධිපති යටතේ ඇති 36%ක් ආරක්ෂක අමාත්‍යාංශයටයි. තව 16%ක් ජනාධිපතිටයි. 

ජනාධිපතිට අවශ්‍ය පාර්ලිමේන්තුවට තමන්ගේ ක්‍රියා අනුමත කරන සිග්නල් කණු ටිකක් පත් කර ගන්නට පමණි. පාර්ලිමේන්තුවේදී හර්ෂ ද සිල්වා මහතා මත්තල ගුවන් තොටුපළ ගැන ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සිවිල් ගුවන් සේවා ඇමතිවරයාට ප්‍රශ්නය තේරුම් කර දෙන්නට කතානායක චමල් රාජපක්ෂට ද ලොකු වෙහෙසක් දැරීමට සිදු විය. ලියාගෙනැවිත් කියවූ පිළිතුර කෙතරම් අවුල් සහගත ද යත් අමාත්‍යාංශයේ ලේකම්වරයාට කියා හරි පිළිතුරක් ලියවාගෙන කියවා පැමිණෙන්නැයි උපදෙස් දෙන්නට ද කතානායකට සිදු විය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-28

නෝනිසමේනියාවේ සිට හම්ප්ටි ඩම්ප්ටි දක්වා

12
මේ කවිය අපි ටික කලකට කලින් ලියූ එකක්. ඒත්, මේ වෙලාවට එය අදාළ නිසා නැවත පළ කරනවා. 

කවියේ මාතෘකාව නෝනිසමේනියාව

ඩොක්ටර් ක්‍රිස් නෝනිස් ඉස් ට්වින්කල් ට්වින්කල් ලිට්ල් ශ්‍රී ලංකන් එක්ස්පැට්‍රියේට් ස්ටාර් 
හී කැන් ස්පීක් ඉංග්ලිෂ් සෝ එලක්වන්ට්ලි ලයික් අ ඩයමන්ඩ් ඉන් ද ස්කයි.  

අයි ඩෝන්ට් නෝ මේ ලෝකෙ දෙයක් එයාගේ වෙදකම් ගැන  
බට් හී කැන් ස්පීක් ඉංග්ලිෂ් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ්

වෙන් හී ස්පීක්ස් ඉංග්ලිෂ් ලයික් ක්වීන්ස් එලකියුෂන් මාස්ටර් 
අපේ ඇඟේ මයිල් කෙළින් වෙනවා ය.  

ආෆ්ටර් දැට් වී ස්පීක් අබවුට් හව් හී ස්පීක්ස්  
අන්ටිල් වී ඉජකයුලේට්  හව් සොමි ඉට් ඉස්
නෝ ප්‍රොබ්ලම් දෝ වී ඩොන්ට් අන්ඩස්ටෑන්ඩ් මේ ලෝකෙ දෙයක්  

ඇක්චුවලි හිස් වර්ඩ්ස් ආ පට්ට හිස්  
ඒත්, හී ස්පීක්ස් ලයික් එනි බෙගර් ඉන් ඉංග්ලන්ඩ් යූ නෝ 
හී කැන් ඊවන් බ්ලේම් ඉන් ඉංග්ලිෂ්

ඉංග්ලන්ඩ් ඉස් ප්‍රෝ එල්ටීටී බට් යූ ‍නෝ ඉංග්ලිෂ් ඉස් වෙරි පොෂ්  
දැට් කන්ට්‍රි ඉස් අයිඩියල් ටු මයිග්‍රේට් සම්හව්   
සේ යූ ආ ටෝචර්ඩ් බයි ශ්‍රී ලංකන් පොලිස්  
ලැබෙනවා නම් වීසා කොහොම වුණත් මක්කෙයි

ඉංග්ලන්ඩ් ඉස් ද හෙවන් වන් ඩේ වී පුනරුත්පත්ති ආෆ්ටර් දිස් ආත්මෙ  
ඉංග්ලිෂ් ඉස් ද ලැංවිජ් ද සුරංගනාවො ස්පීක්  
දැට්ස් වයි වී ලව් ඉංග්ලිෂ් සෝ මච් ඇන් හේට් ඉට් ටූ 
බිකස් වී කාන්ට් ස්පීක් දිස් ෆකිං ලැංවිජ් ලයික් සුද්දාස්

ඩොක්ටර් නෝනිස්ගේ ඉංගිරිසියෙන් කොර වී සිටි ඇතැම් ලාංකිකයෝ හිතුවේ නෝනිස්ට සිය කඩ්ඩෙන් ලෝකෙම කරකවලා අතාරින්න පුළුවන් වෙයි කියලායි. 

ඒත්, එහෙව් නෝනිස් පාටියකදී බීල වැඩි වෙලා හම්ප්ටි ඩම්ප්ටි වගේ පුටුවෙන් පෙරලිලා කුඩු සංසාර වෙලා ගිහින් සජින් වාසා මට ගැව්වා කියා අඬන්න පටන ගත්තා. 

දැන් ඕල් ද කිංස් මෙන් ඇන් ඕල් ද කිංස් හෝසස් කියනවා ඔයා බය නැතිව ලංකාවට එන්න මෙයා වාසා ගැව්වොත් අපි අතගාන්නං කියලා.

සජින් වාසට බයේ ලංකාවට එන්න බැරි බුවාලානේ අපි මහ කොමසාරිස්කං කොරන්න පත් කළේ. 

පහත හඬ පටයේ තිබෙන්නේ මේ නෝනිස් සිය රැජිනගේ කඩ්ඩෙන් ලංකාවේ ගමේ ගොඩෙන් විදේශ සේවයට ගිය ගැහැනියකට ඇදල අරින හැටියි. සිද්ධිය වෙන කවුරුද ගැහැනියකගේ පාස්පෝට් හුටපටයක් වගෙයි පේන්නේ. මහ කොමසාරිස්ලා ඉන්නේ පාස්පෝට් ගැන හොයන්න ද අප්පා?

සෝක් කඩු පොඩ්ඩ!



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-27

කොහොමද බයි‍යොන්ගෙ අය වැය

14
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ 2015 අයවැය යෝජනා තනිකර ම ඡන්ද අල්ලසකි.

එම අල්ලසේ දැවැන්තකමේ තරමින් පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණය ජය ගැනීම පිළිබඳ කිසිදු විශ්වාසයක් නැති බවයි.1977දී සිරිමා බංඩාරනායක ආණ්ඩුව ද, 1994දී විජේතුංග ආණ්ඩුව ද මෙවැනි ඡන්ද අල්ලස් ජනතාවට දුන් නමුත් ඔවුහු ඡන්ද පැරදුණ හ. පසුගිය පළාත් සභා ඡන්දයේදී ද ආණ්ඩුව ඉන්ධන මිළ අඩු කරමින්, බඩු බෙදමින්, අල ගනිමින් ඡන්දය දිනන්නට උත්සාහ කළත්, අවසානයේදී බලන විට ලැබූ ජයක් නැත.

මේ අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම ඉතා ම අවිශ්වසනීය ය. ඔහු ජය ගතහොත් මුලින්ම බලාපොරොත්තු විය හැකි දෙය මෙම අයවැය යෝජනා ක්‍රියාත්මක නො කිරීමයි. රජයේ සේවකයන්ගේ වැටුප් ගණනය කිරීමට කල් ගත වන නිසා වැටුප් වැඩි වීම ලබා දෙන්නේ 2015 සැප්තැම්බරයෙන් පසු බව දැන් ආණ්ඩුව පවසයි. දැනට පවතින වැටුප නිශ්චිත ගණනකින් වැඩි කිරීමට හා ඒ හා අදාළ සෙසු ගණනයන් කිරීමට ආණ්ඩුව ඔච්චර කල් ගත යුතු නැත. ඒ ගණනය කිරීම් අදාළ වැටුප් අංශවලින් පහසුවෙන් ලබා ගන්නට පුළුවන. දැන් වැඩ කරන්නේ කොම්පියුටර්වලින් නොවැ.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව මෙම වැටුප් වැඩි කිරීම යෝජනා කළේ ඒ සඳහා යන වියදම ගණනය කරන්නේ නැතිව ද?

මේ අයවැය අන්න එවැනි අටමගලයකි. එය වචනයේ පරිසමාප්තයෙන් ම බයියොන්ගේ අයවැයකි. 

බයියා යනු මෝඩ පහේ ගැමියා ය. මෝඩ ගැමියකුට ලොතරැයියක් ඇදුණොත් කුමක් කරනු ඇද්ද? මේ අයවැයත් එවැනි වැඩකි. 

මෙය පසුපස තිබෙන දැක්ම මෙයයි. භාණ්ඩාගාරය හිස් වුණත් කම් නැත. මම කෙසේ හෝ ජනාධිපතිවරණය දිනමි. දෙන දේ දෙන්නේ දිනුවාට පසුවයි. 

රජයේ සේවකයිනි, ඔබට ලැබෙනු ඇත්තේ රුපියල් 5200ක හෝ 3000ක දීමනා පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබේ. 

මෙම අයවැය තනිකර ම ණය මත රඳා පවතින අයවැයකි. රජයේ සේවකයන්ට වැටුප් වැඩි කරන්නේ ණයට ගන්නා මුදලිනි. ඒ ණය ගෙවිය යුත්තේ ද මෙ රටේ ජනතාවයි. 

මෙතෙක් ණයට ගත් මුදලින් ජොලි කළේ දේශපාලකයෝ ය. දැන් රාජපක්ෂ ආණ්ඩුව ඒ අය අතරට රජයේ සේවක පිරිස ද එක් කරගෙන තිබේ. ඡන්දය දිනන්නට යන්නේ දූෂිත හමුදාව වැඩි කර ගැනීමෙනි.

මේ රටේ සැබැවින් වැඩ කරන විදේශගත ශ්‍රමිකයන්, වතු කම්කරුවන්, අපනයන සැකසුම් කර්මාන්තවල ශ්‍රමිකයන්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල ශ්‍රමිකයන් ඇතුළු පෞද්ගලික අංශයේ සේවකයන්, ස්වයං රැකියා කරන්නන්, ගොවීන් වැනි ජනයා වෙනුවෙන් ලැබේ යයි විශ්වාස කළ හැකි ප්‍රායෝගික සහනයක් මෙම අයවැයෙන් පිරිනැමෙන්නේ නැත. 

සරළ ප්‍රශ්න කීපයක් මතු කළ හැකි ය. දේශීය කිරි ගොවියාට ගෙවන මිළ වැඩි කර කිරි නිෂ්පාදනවල මිළ අඩු කළ හැකි ද?

වීවලට, රබර්වලට සහතික මිළ දුන්නාට ඒ මිළට ඒවා මිළ දී ගන්නේ කවුරු ද? අල ගත් හැටි මතකයි නේ ද? 

ආණ්ඩුව අලුත් වියදම් හොයන හැටි පැහැදිලි කර නැත. එහෙත් අලුතෙන් බදු පණවන්නට යන හැටි ගැන ඉඟියක් තිබේ. ඒ සීනිවල සෙස් බද්ද ශත 25 සිට රු. 5 දක්වා සීයට දෙදාහකින් වැඩි කිරීමෙනි. මේ වනාහි ඔබේ ම සාක්කුවෙන් ගෙන ඔබට ම ආපසු දීමකි.

ඔබ මේ රටට ආදරයක් තිබේ නම් මේ අල්ලස් දීමට යට නො වන්න. මේ අල්ලස නිසා රටේ ආර්ථිකය විනාශ වී ඔබ කබලෙන් ලිපට වැටෙනු ඇත. මෙවැනි ආර්ථික කළමනාකරණයකට තවත් වසර හයකට රට භාර දුන්නොත් කුමක් වේදැයි සිතන්න. 

දැනටමත් රටට සිදු වී ඇති හානිය ගැන සිතන්න. අද ඔබේ උදරය ගැන නොව හෙට ඔබේ දරුවාගේ අනාගතය ගැන සිතන්න.



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-26

දස දහස් ගණන් අතුරුදහන් වූ රටේ අතුරුදහන් වූවන් සමරන්න බැරි ද?

5
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
පුවත්පත් නිවේදනයයි.

ඔක්තෝබර් 27 අතුරුදහන්වූවන් සිහිපත් කිරීමේ පවුල් එකතුවට විරුද්ධව
සාහසික පෝස්ටර් ව්‍යාපාරයක්

සෑම වසරකම ඔක්තෝබර් 27 වන දින බලයෙන් අතුරුදහන්කරවූවන් සිහිපත් කරවීමේ සමරු දිනයක් සීදුව රද්දොඑව හන්දියේ අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිරියේ පැවැත්වේ. මෙම දිනය අතුරුදහන් වූ පවුල්වල දෙමාපියන් හා සහෝදර සහෝදරියන් හා හිතවතුන් එකතුවී තමන්ගේ පවුල්වලින් අතරුදහන්වූවන් ලෙස විපතට පත්වූවන් සිහිපත් කොට ආගමික වතාවත් හා වෙනත් ආකාරයේ සිහිපත් කිරීම් කරණු ලබයි. මෙම උත්සවයට බෞද්ධ, කි‍්‍රස්තියානි, මුස්ලිම් ආදී විවිධ ආගම් වල පූජකවරුන් ද පැමිණේ.

අතුරුදහන්වූවන්ගේ ස්මාරකය ඉදිකරණ ලද්දේ 2000 වර්ෂයේදීය. එහි අරමුණ වූයේ මෙවැනි විශාල අපරාධයක් නැවත ඇති නොවීම ස`දහා මහජන දැනුවත් කිරීමක් හා අධිෂ්ඨානයක් ගොඩනැගීම සදහා පසුගිය අවුරුදු 24 ඇතුළත නොකඩවාම මෙම සිහිකිරීම පවත්වා ඇත.

මෙම සිහිකිරීමට අතීතයේ දී පැමිණි අමුත්තන් හා කථිකයන් අතර දැනට ජනාධිපතිධූරයේ සිටින මහින්ද රාජපක්‍ෂ මහතා ද පැමිණ ඇත. එතුමා අතුරුදහන්කරවීම පිළිබදව අපරාධය පිළිබදවත්, එය අනාගතයේ දී නැති කිරීමට පමණක් නොව ඊට අතීතයේ දී සම්බන්ධවූවන්ට දඩුවම් දීම පිළිබදව ද මෙම සිහිකිරීමේ දී ප‍්‍රසිද්ධ කථා පවත්වා ඇත. වාර්ෂිකව පවත්වන මෙම සිහිපත් කිරීම එතුමාත්, රජයත් ඉතා හො`දින් දන්නා අතර අතීතයේ දී එයට අනුග‍්‍රහය දක්වා ඇත.

මෙම සිහිකිරීමේ උත්සවය ඔක්තෝබර් 27 වන දා (එනම් හෙට) දින පැවැත්වීමට නියමිතය. එසේ තිබියදී එම සිහිපත් කිරීමට බාධා කිරීම සදහා සහ එම සිහිපත් කිරීම පිළිබදව වැරදි මහජන මතයක් ඇති කිරීම සදහා ප‍්‍රසිද්ධ පෝස්ටරයක් මීගමු පලාතේ, කොළඹ හා වෙනත් පලාත් වල විශාල වශයෙන් අලවා ඇත. එම පෝස්ටරයේ මේ වසරේ උත්සවයේ ආරාධිත කතිකයෙකු වන රාවය පුවත්පතේ උපදේශක කර්තෘ වික්ටර් අයිවන්, අතුරුදහන්වීම් පිළිබදව පසුගිය කාලය තුළ ක‍්‍රියාකර ඇති ප‍්‍රවීන ගායන ශීල්පී ජයතිලක බණ්ඩාර, ප‍්‍රවීන මානව හිමිකම් කි‍්‍රයාකාරනියක් වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, ජාතික ධිවර සහයෝගීතාවයේ කැදවුම්කරු හර්මන් කුමාර, වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති මීපුර පුවත්පතේ කර්තෘ ප්‍රෙඞී ගමගේ හා ආසියානු පුවත් සේවයේ ශී‍්‍ර ලංකා වාර්තාකාරිණී මෙලනි මානෙල් පෙරේරා අතුරුදහන්වුන්ගේ පවුල් එකතුවේ සභාපති බි‍්‍රටෝ ප‍්‍රනාන්දු හා ශී‍්‍රනිකා නිලාශණී රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයේ පිලිප් දිසානායක හා ප‍්‍රසංග ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගේ ඡයාරූප ඇතුලත් කර මොවුන් ඩොලර් කාක්කන් ලෙස නම් කොට ඇත.

නිර්ණාමික වූ මෙම පෝස්ටරය ඉතා පැහැදිලිවම කිසියම් ගුප්ත දේශපාලන බලවේගයක් විසින් කර ඇති බවට සැකයක් නැත. එසේ කර ඇත්තේ අතුරුදහන් කරවූවන් පිළිබද ප‍්‍රශ්නය ඉස්මතු වීම වළක්වාලීම සදහා බව ද ඉතා පැහැදිලිය. මේ නිසා කෙළින්ම හෝ වක‍්‍රව අතුරදහන්වීම් වලට සම්බන්ධ වූ හෝ ඒවා මෙහෙය වූ අය හෝ ඔවුන්ගේ හිතවතුන් මෙම පෝස්ටර් ව්‍යාපාරය කර ඇති බව අනුමාන කළ හැකිය. එවැනි කණ්ඩායම් වලට හිතවත් වූ දේශපාලන ව්‍යාපාරයක් මේ පිටුපස ඇති බව සිතාගත හැක.

මෙම නිර්ණාමික හා ඒ නිසා නීතිවිරෝධී පෝස්ටරය පිටිපස කිසියම් සාහසික අරමුණක් පවතින බව පෙනී යයි. එම සාහසික අරමුණ මෙම සිහිපත් කිරීම කඩාකප්පල්කර දැමීම මෙන්ම එහි සංවිධායකයන්ට විරුද්ධව ප‍්‍රචන්ඩ ක‍්‍රියාමාර්ගයක් ගැනීමේ අරමුණින් ඒ සදහා මහජන මතය සකස් කිරීම සදහා මෙම පෝස්ටරය නිකුත්කර ඇතැයි අපි සිතමු.

අපි ලංකාවේ සියඑම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ අතුරුදහන්වූවන් සිහිපත් කිරීමේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරමුණු ඇතිව කෙරෙන මෙම සිහිපත් කිරීම ආරක්‍ෂා කිරීමට මැදිහත් වන ලෙසය. තමන්ට වූ කරදර පිළිබදව සිහිපත් කිරීමටත්, ඒ පිළිබදව මහජන සහයෝගය ඉල්ලා සිටීමටත්, ඒ පිළිබදව උද්ඝෝෂණය කිරීමටත් ඇති අයිතිය සියඑම ශීලාචාර සමාජයන් හී පවතින අයිතියකි. එවැනි සිහිපත් කීරීමකට බාධා කිරීම ම්ලේච්ඡු කි‍්‍රියාවකි. මෙවැනි අවස්ථාවක එවැනි සිහිපත් කිරීම් හා ප‍්‍රචාරක කටයුතු ආරක්‍ෂාකර දීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හිතවත් සියඑ දෙනාගේම යුතුකමකි. මම සිහිපත් කිරීමට සහභාගී වීමෙන් හා එය කඩාකප්පල් කිරීමේ ප‍්‍රයත්නයට විරුද්ධ වීමෙන් අතුරුදහන්වූවන් පිළිබදව ඔබගේ අමනාපය හා යුක්තිය ඉටුකිරීම සම්බන්ධයෙන් ඔබගේ උනන්දුව ප‍්‍රකාශයට පත්කරන ලෙස අප ඉල්ලා සිටිමු.

අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම නීතිවිරෝධී පෝස්ටරය පිළිබදව වහා පරීක්‍ෂණයක් පවත්වා එසේ කළ අයට නීතිය ඉදිරියේ දඩුවම් පමුණුවන ලෙසයි. මේ අතර මෙම රැස්වීමට ආරක්‍ෂාව සපයන ලෙසත් මෙම සාහසික ප‍්‍රචාරය මගින් තම ආරක්‍ෂාවට අනතුරක් ඇතිවී ඇති ඉහත නම් සදහන් සියඑ දෙනාගේම ආරක්‍ෂාව සළසන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

අපි මෙම සිහිපත් කිරීමට පැමිණෙන ලෙස සියඑම මාධ්‍යවලින් ඉල්ලා සිටිමු. කිසියම් කඩාකප්පල්කාරී කණ්ඩායමක් දමා බාධා කිරීමටත්, එහි පැමිණෙන අයට හිරිහැර කිරීමටත්, මෙම පෝස්ටරය පිටිපස සිටින සාහසිකයන් ක‍්‍රියා කිරීමටත් ඉඩ ඇතැයි අපි සිතමු. සියඑම මාධ්‍යකරුවන්ගේ පැමිණීම මගින් මෙම සිද්ධිය වාර්තා කොට ජනතාව ඉදිරියට පමුණුවන ලෙසද අපි ඉල්ලා සිටිමු.


බි‍්‍රටෝ ප‍්‍රනාන්දු
අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව
2014 වූ ඔක්තෝබර් මස 26 වන දිනදීය


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-25

මඩකලපුවේ ප්‍රචණ්ඩ මහණා වහා අත්අඩංගුවට ගනු!

40
පෙර ලිපිය කියවන්න: චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද? 

පන්සලක හාමුදුරුනමක් වූ පළියට හෝ ඒ පන්සල පිහිටා තිබෙන්නේ දෙමළ බහුතරයක් ජීවත් වන ප්‍රදේශයක ය කියා ඒ පන්සලට හොරෙන් විදුලිය ලබා ගන්නට කිසිදු අයිතියක් නැත.


විදුලිය විසන්ධි කරන්නට පැමිණි නිලධාරීන්ට පහර දෙන්නට හා තර්ජනය කරන්නට හාමුදුරුවන්ට අයිතියක් නැත. 

මේ නිලධාරියා එඩිතර පුද්ගලයෙකි. මෙම ප්‍රචණ්ඩ භික්ෂුවගේ හා පොලිසියේ තර්ජනය හමුවේ පවා ඔහු එකී භික්ෂුවට අවශ්‍ය දේ කියන්නේ නැත. ඔහු ඇත්තෙන් ම එවැන්නක් නො කීවා වෙන්නට ද පුළුවන. කීවා නම් මේ හාමුදුරුවන් කළ යුතුව තිබුණේ ඒ ගැන පැමිණිලි කිරීම මිස ඔහුට පහර දීම හා පොලු අරගෙන ප්‍රචණ්ඩව හැසිරීම නො වේ. පොලිසිය එතැනට ඇවිත් කළ යුතුව තිබුණේ තර්ජනයට ලක් වූ රාජ්‍ය නිලධාරියාව ආරක්ෂා කිරීමයි. ප්‍රචණ්ඩ මහණා අත් අඩංගුවට ගත යුතුව තිබිණි.

අනෙක් පැත්තෙන් මෙම භික්ෂුව පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියට අපහාස කරන ආකාරය සමස්ත ස්ත්‍රී වර්ගයාට ම නිගාවකි. 

රජයේ සේවය ඔහුට අනුව මහින්ද රාජපක්ෂගේ ඇට මිරිකීමයි. රාජ්‍ය නිලධාරීන් පකයෝ ය.

මෙවැනි පාදඩ මහණුන් හැදූ වැඩූ අය ද මේ කතා අසා ගන්නා එක දෛවයේ සරදමකි. 

එහෙත් විචාරශීලී පාඨකයන් හා ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන පුරවැසියන් ලෙස අප මෙවැනි සිද්ධි දෙස නිවැරදි දෘෂ්ටි කෝණයකින් බැලිය යුතු ය.

වහා මෙම භික්ෂුවට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරිය කරන්නට ඉඩ නො දීම, පහර දීම හා ශාරීරික හා මානසික වශයෙන් අඩන්තේට්ටම් කිරීම, රාජ්‍ය සේවය අවමානයට ලක් කිරීම, විදුලි බල ඇමතිනියට වාචිකව ලිංගික අඩන්තේට්ටමක් කිරීම යන කරුණු මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ යුතු ය.

මෙවැනි මහණුන් බුදු දහමට කරන නිගාව ගැන සංඝාධිකරණයක් වග බලා ගත යුතු ය. 

සමාජයක් ලෙස අපි මෙවැනි මහණුන් හෙළා දැකිය යුතු ය. ඔවුන් වීරයන් ලෙස නො සැලකිය යුතු ය. මෙවැනි දර්ශනවලින් මෝඩ චූන් නො ගත යුතු ය.







මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

චම්පිකගේ අමුඩෙ රුන්නේ කවුරුද?

18
(මෙම බ්ලොගයේ පිටු වෙත පිවිසුණු සංඛ්‍යාව අද දින විසිපන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව සතුටින් දැනුම් දෙමු! ස්තුතියි ඔබට! දිගට ම අප හා රැඳෙන්න. ඔබ අපට දිරියකි.)

‘‘2012 නොවැම්බර් මස ආනයනය කළ ගල් අඟුරු මෙ.ටො. 143,932 සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් අරඹා ඇත. ලංකා ගල් අඟුරු සමාගම සහ ශ්‍රී ලංකා නැව් සංස්ථාව අතර 2012 ජූලි 23 එළැඹුණු ගිවිසුම අනුව හදිසි ගල් අඟුරු සැපයුම ප්‍රදානය කර ඇත්තේ සීමාසහිත තෝරියන් අයන් ඇන්ඩ් ස්ටීල් පෞද්ගලික සමාගමටය. ආනයනකරු තෝරා ගත්තේ සීමාසහිත නැව් සංස්ථාව විසිනි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2013 ජුලි 29 වන දින වාර්තා කළ පරිදි මෙම ගල් අඟුරු දහනය කර විදුලිය උත්පාදනය කිරීම නිසා 85,27,68,000 ක (අසූපන් කෝටි විසි හත් ලක්ෂ හැට අට දහසක) අලාභයක් සිදුව ඇත. ඊට අමතරව මෙ.ටො. 29,896 ක ප්‍රමාණයක් අඩුවෙන් සැපයීම නිසා සිදුවූ අලාභය 65,42,76,116/25 කි. (හැටපන් කෝටි හතලිස් දෙලක්ෂ හැත්තෑ හය දහස් එකසිය දහසයයි ශත විසිපහකි) ඒ අනුව මුළු අලාභය රුපියල් 150,70,44,116/25 කි. (එකසිය පණස් කෝටි හැත්තෑ ලක්ෂ හතලිස් හතර දහස් එකසිය දහසයයි ශත විසිපහකි) අපි නීතිපති උපදෙස් අනුව සීඅයිඩී එකට පරීක්ෂණ බාර දුන්නා.” 

මෙසේ පැවසුවේ විදුලි බල හා බලශක්ති ඇමති පවිත්‍රා වන්නිආරච්චි ය. හදිසියේ ම ඇය මේ ප්‍රකාශය කළේ මීස මාස අටකට පෙර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි. 

ආණ්ඩුවට මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට උවමනාව ඇති වුණේ ජාතික හෙළ උරුම මන්ත්‍රී අතුරලියේ රතන හිමි ලොකු කැරැල්ලක් ගසමින් සිටින අතරතුර, ඔක්තෝබර් 21දා ජනාධිපතිවරයා හෙළ උරුමය සමග පවත්වන ලද සාකච්ඡාව කඩාකප්පල් වුණාට පසුව ය. හෙළ උරුමය ඉල්ලා සිටින පරිදි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළ නො හැකි බව ද ජනාධිපතිවරණය පවත්වනු ඇති බව ද ජනාධිපති මහින්ද රාජපක්ෂ සාකච්ඡාවෙන් නැගිට යාමට පෙර කෝපයෙන් පැවසූ බව වාර්තා වේ. 

මේ එන්නේ රිටර්න් එක ය. මෙම වංචාව සිදු වී තිබෙන්නේ චම්පික රණවක විදුලි බල හා බලශක්ති ඇමති කාලේ ය. මෙන්න ඔහුගේ ප්‍රතිචාරය:

2012 වර්ෂයේදී ලංකා විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අනුදැනුමකින් තොරව ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනය කර ඇති බවත් ඒ වනවිටත් ඒවා ගොඩ බා අවසන් බවත් සති අන්ත පුවත්පතකින් අනාවරණය කළේය. ඒ පිළිබඳව විමසීමේදී වරාය අධිකාරියේ සහ නැව් සංස්ථාවේ මෙහෙයවීම මත ඉන්දුනීසියාවේ තෝරියන් සමාගමේ ගල් අඟුරු සහිත නැව් දෙකක් දිවයිනට ආසන්න මුහුදු තීරයට ගෙන්වා ඇති බවත් ඒවා මිලට ගැනීමට ගල් අඟුරු සමාගම සූදානම් බවටත් හඳුනාගෙන තිබේ. මේ පිළිබඳව 2012.12.03 වන දින අමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ රැස්වීමක් කැඳවීය.

ඒ සඳහා ලංවිම, ලංකා කෝල් සමාගම සහ අමාත්‍යාංශ ඉහළ නිලධාරීන් සහභාගී විය. එහිදී ගත් තීරණය වූයේ නිවැරදි පිරිවිතරයන්ට අදාළ නොවන සියළුම ගල්අඟුරු තොග ප්‍රතික්ෂේප කළ යුතු බවත් ගොඩබා හෝ මුහුදු තීරයට ආසන්න ප්‍රදේශයේ ඊට අදාළ නැව් පවතින්නේ නම් ඒවා හරවා යැවිය යුතු බවත්ය. එමෙන්ම අවශ්‍ය ගල් අඟුරු ලංවිම පවතින රෙගුලාසි මත දැනට ගල් අඟුරු සපයන නොඛෙල් සමාගමෙන් මිලදී ගන්නා ලෙසට ද තීරණය විය. කෙසේ වෙතත් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගැනීමට විවිධ පිරිස් කටයුතු කිරීමෙන් අනතුරුව තෝරියන් සමාගමට අයත් නිසි ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු තොග බලාගාර භූමියට ගොඩබෑමට ලංකා ගල් අඟුරු සමාගම කටයුතු කළේය.

එහිදී ඇමතිවරයෙකුට හිමි බලතල භාවිත කරමින් විදුලිබල අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් පිළිනොගත් ලංකා ගල් අඟුරුසමාගමේ එවක සභාපති තිස්ස හේරත් මැතිතුමාව 2013.01.21 වන දින ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළේය. එමෙන්ම 2013.01.24 වන දින නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පිහිටුවා සිදුවූ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස ද තමන් නියෝග කළ බව අමාත්‍යවරයා සඳහන් කළේය. පරීක්ෂණය ආරම්භ කර දින හයකින් තමන්ට එම ධුරයෙන් ඉවත්වීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ වංචා සහගත ගණුදෙනුව පිළිබඳව අනිවාර්යෙන්ම පරීක්ෂණයක් සිදුකළ යුතු අතර මෙයට සම්බන්ධ පිරිස්වලට වහා දඬුවම් ලබාදිය යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙවැනි තාක්ෂණික වංචාවන් අති විශාල වශයෙන් රටපුරා සිදුවන අතර දැනට ගල් අඟුරු ටෙන්ඩරය ලබාදීම සම්බන්ධයෙන්ද ඉතාම ගැටළුකාරී තත්ත්වයක් තිබේ. මෙම දූෂණ සහ වංචා සොයාබැලීම සඳහා ව්‍යවස්ථාපිත ආයතනයක් රටේ පිහිටුවීම අනිවාර්ය බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.

මෙවැනි ප්‍රශ්න නැවත මතුවීම මහජනතාවගේ අනාගතයට සුභදායී අතර වංචා දූෂණ සිදුකරනු ලබන පුද්ගලයන් සොයා බලා දඬුවම් දීමට ද ඉන් හැකිවේ. මෙම වංචාව පිළිබඳව නැවත මතුකිරීම පිළබඳව තමන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ට සහ ප්‍රශ්නය නැගූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාට ස්තුතිවන්ත වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ හොරු දැන් හෙළුවෙන් ය. හොරකම් අසු වෙනවාට බියේ මෙතෙක් රාජපක්ෂගේ පය දැවටෙමින් සිටි සොරු දැන් රාජපක්ෂට අභියෝග කරන්නට ඉදිරිපත් වී තිබේ. ඔහු වියරු වැටී තිබෙන්නේ මෙම සංදර්භය තුළයි. 

චම්පික රණවක පිළිතුරු දීම සඳහා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවේදීත් කරන්නේ හොර වැඩකි. ඇමතිවරයා ලෙස තමන් එම වංචාව නො කළා නම් කළේ කවුරු ද යන්න ඔහු කියන්නේ නැත. වංචාකරුවන් පිටුපස තමන් නො සිටියා නම්, සිටියේ කවුරුද යන්න ගැන සොයා බැලීමට ඉඟියක්වත් ඔහු දෙන්නේ නැත. පරීක්ෂණයට අදාළව ඔහු සතු තොරතුරු ඉදිරිපත් කරන බව ද ඔහු කීවේ නැත. 

කවුරු කවුරු ළඟ වුණත් තිබෙන ලිපි ගොනු එළියට එන එක හොඳ ය. රෙද්ද උස්සාගෙන දඟලන කල ජනතාවට ඇත්ත දැන ගත හැකි වනු ඇත. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »

2014-10-24

සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගත යුතු ය

11
මොහුට සමාව නො දෙනු!
ජනාධිපතිවරයාට තුන්වරක් තරග කළ නො හැකි ය යන නීති තර්කය ගෙන ආවේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ය. 

ලංකාවේ අධිකරණ ක්‍රියාවලි පිරිහීමට ලක් වන පරිදි ක්‍රියා කළ මූලිකයකු ලෙස සැලකෙන සරත් නන්ද සිල්වාගේ නීති තර්කය පිටුපස මේ රටේ විපක්ෂය වැටී ඇත්තේ බැල්ලිගේ බුරුල්ලේ එල්ලෙන බලු කුක්කන් සේ ය. 

මෙම නීති තර්කය සරත් නන්ද සිල්වාගේ කුශාග්‍ර බුද්ධි මහිමය පළ කරන්නකැයි ඔහු හා අලියාගේ නැට්ටේ එල්ලී හෝ මහින්ද රාජපක්ෂ පරදා දෙව්ලොව යන්නට සිටින විපක්ෂය කල්පනා කරති. 

සරත් නන්ද සිල්වාගේ බුද්ධි මහිමය පසුගිය දිනෙක ඔහු ම ප්‍රකාශ කළේ ය. මහින්ද රාජපක්ෂ අගමැති ධුරය හොබවන සමයේ ලැබුණු සුනාමි සහනාධාර පෞද්ගලික ගිනුමකට බැර කර ගැනීමට එරෙහිව ඔහුට විරුද්ධව නැඟුණු චෝදනා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේ ඔහු එවැනි දැවැන්ත සොරකමක් නො කරනු ඇතැයි යන පූර්ව විනිශ්චය මත පිහිටා තමන් කටයුතු කළ බව එවකට අග විනිසුරු සරත් නන්ද සිල්වා පැවසී ය. 

ඔහුගේ නීතිමය පරිඥානයේ තරම ප්‍රකාශ කරන්නට මේ පූර්ව විනිශ්චය කතාවට වඩා තවෙකක් කුමට ද?

ඔහුට පිළිතුරු දෙමින් ජනාධිපති නීතිඥ අලි සබ්රි කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී පසුගියදා කළ ප්‍රකාශය ඉතා වැදගත් ය. ඔහු කරුණු හතරක් පෙන්වා දුන්නේ ය.

1. දහඅටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආවේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු සියලු ජනාධිපතිවරුන්ට දෙවතාවකට වඩා තරග කිරීමට තිබුණු බාධාව ඉවත් කිරීමට බව ඔහු පෙන්වා දුන්නේ ය. ව්‍යවස්ථාදායකය විවාද කළේ ඒ පිළිබඳව බව ඔහු පවසයි.

2. ජනාධිපතිවරයා දෙවරක් දිවුරුම් දෙන විට මෙම නීති සංශෝධනය කර තිබුණු නිසා එය ඔහුට අදාළ බව ඔහු පෙන්වා දුන්නේ ය. 

3. අර්ථ නිරූපණ ආඥා පනතේ 6 (3) වගන්තිය අදාළ වන්නේ ලිඛිත නීතිවලට බවත්, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රඥප්තියක් බැවින් එය අදාළ නො වන බවත් ඔහු පැවසී ය. 

4. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අරමුණු පිළිබඳ ප්‍රශ්නයක් මතු වන්නේ නම් කළ යුතුව තිබෙන්නේ අදාළ යෝජනාව සම්බන්ධයෙන් හැන්සාඩ් වාර්තා අධ්‍යයනය කිරීම බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

සරත් නන්ද සිල්වාගේ තර්කයට වඩා මෙම තර්කය ප්‍රබල බව අපගේ අදහසයි. සරත් නන්ද සිල්වාගේ තර්කය සමාන වන්නේ කොල්වින් ආර්. ද සිල්වා පිළිබඳ තිබෙන ගොයම් කොළයට මුවා වී වෙඩි තැබුවා ය කියන සාක්කිය කැඩූ ආකාරය පිළිබඳ කතාවටයි. ගොයම් ගසක කොළයක් පෙන්වා එයට මුවා වී වෙඩි තබන්නේ කෙසේදැයි කොල්වින් ආර්. ද සිල්වා තර්ක කළ බව කියැවේ. 

මෙවැනි ගොන් තර්ක වනාහි නීතිමය පරිඥානයේ ලක්ෂණ නො වේ. ඒවා සටකපටකමේ හා නඩුකාරයන්ගේ හා ප්‍රතිවාදී නීතිඥයන්ගේ මුග්ධකමේ සංකේත පමණි. 

සරත් නන්ද සිල්වා වර්තමානයේ සිය චක් ගෝලයන් සමග එක්ව පවත්වන මාධ්‍ය සංදර්ශනය අධිකරණයේදී සබ්රි වැනි නීතිඥයන් අතින් අභියෝගයට ලක් වනු ඇත. 

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පැරදවීම ගැන අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත්, කවරකුගේ හෝ දිනුමක්, පැරදුමක් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් නො වන්නේ නම් එයින් පලක් නැත. 

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් දැන්ම ම කළ යුතුව තිබෙන එක් දෙයක් වන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ආදාහනය කරන්නට මිනී වලවල් කැපූ සරත් නන්ද සිල්වා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මහජන ව්‍යාපාරවල හතර මායිමකට වැද්ද නො ගැනීමයි. අප ඉතිහාසයෙන් වර්තමානයට කැඳවිය යුත්තේ හොල්මන් හා පෙරේතයන් නොව වීරයන් ය. 

චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිතුමිය ගැන ද අපට කීමට තිබෙන්නේ එය ම ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. මෙම අඩවියේ සිදු වන සංවාද කඩාකප්පල් කිරීම සඳහා දරන කුමන්ත්‍රණකාරී උත්සාහයන් හෙළා දකිමු.
ඉදිරියට කියවන්න »
Related Posts Plugin for WordPress, Blogger...