පහේ ශිෂ්‍යත්වය අධ්‍යාපන ක්‍ර‍මයේ ගැටලුවක් ලෙස

බොරු නම් දුකම තමයි

පහේ ශිෂ්‍යත්ව විභාගය කියන්නේ ශ්‍රී ලංකාවේ තරගකාරී ම විභාගය බවට සැකයක් නැහැ. සෑම අවුරුද්දක ම මෙම විභාගයට සිසුන් ලක්ෂ තුනකට වඩා පෙනී සිටිනවා. විභාගයෙන් සමත් කරන්නේ 10%කටත් අඩු පිරිසක්. එම නිසා මෙම විභාගය සමත් වීමට නම් මේ වන විට 80%කට වඩා ලකුණු ගැනීමට සිදු වෙනවා. එම කඩඉම් ලකුණත් වසරින් වසර වැඩි වෙනවා.

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ආරම්භ කළේ සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහතා අධ්‍යාපන ඇමති කාලේයි. එහි අරමුණ වුණේ දක්ෂ සිසුන් තෝරා ඔවුන්ට අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව සමග මධ්‍ය මහා විද්‍යාල වැනි වැඩි පහසුකම් ඇති පාසල්වල ඉගෙනීමේ අවස්ථාව ලබා දීමයි. අතීතයේදී මෙවැනි විභාගයක් අට ශ්‍රේණියේදීත් පවත්වා තිබෙනවා.

මේ වන විට මෙම විභාගයේ ප්‍ර‍ධාන අරමුණ වන්නේ දක්ෂ සිසුන්ට ශිෂ්‍යත්ව සැපයීම නොවෙයි. ඒ වෙනුවට මෙය ජනප්‍රිය පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ විභාගයක් බවට පත් වී තිබෙනවා.

Reviewing of Performance at Grade 5 Scholarship Examination 2016 නමින් විභාග දෙපාර්තමේන්තුවේ ජාතික ඇගයීම් හා පරීක්ෂණ සේවාවේ පර්යේෂණ හා සංවර්ධන අංශය විසින් ප්‍ර‍සිද්ධ කරන ලද වාර්තාවට අනුව, සිසුන් 343,757ක් විභාගයට පෙනී සිටි අතර ඒ අතරින් එම වසරේ කඩඉම් ලකුණු ඉක්මවීමට සමත් වුණේ 32,646ක් පමණයි. එය ප්‍ර‍තිශතයක් ලෙස 9.5%ක් පමණයි. සාමාන්‍යයෙන් විභාගයකදී එක් ප්‍ර‍ශ්න පත්‍ර‍යකට ලකුණු 35කට වැඩියෙන් ලකුණු 70 ඉක්මවා ගත් සිසුන් සමත් යයි සැලකෙන නිසා මෙම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 75%කට වඩා සමත් වී තිබේ. ප්‍ර‍ශ්න පත්‍ර‍ දෙක සඳහා සාමාන්‍ය ලකුණු මට්ටම 107.86කි. 2016 වසරේ කඩඉම් ලකුණු ඉක්මවූ සිසුන් වැඩිම ප්‍ර‍තිශතයක් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි (13.3%). දෙවන ස්ථානයට පත් වන්නේ යාපනය දිස්ත්‍රික්කයයි (12.42%). අඩුවෙන් ම සමත් වන්නේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි (5.83%). දෙවෙනියට අඩුවෙන් ම සිසුන් සමත් වන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙනි (6.06%).

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේදී කඩඉම් මට්ටමට වඩා ලකුණු ගන්නා සිසුන් මෙම අධ්‍යයනයේදී ඉහළ ආදායම් ලබන පවුල්වල සිසුන් හා පහළ ආදායම් ලබන පවුල්වල සිසුන් ලෙස වර්ග කර තිබේ. ඒ අනුව, 105,370ක් සිසුන් ඉහළ ආදායම්ලාභී පවුල්වලට අයත් වන අතර ඔවුන් අතරින් 17,664ක් හෙවත් 16.8%ක් කඩඉම් ලකුණු ඉක්මවා තිබේ. සිසුන් 238,387ක් අඩු ආදායම්ලාභීන් වන අතර ඔවුන් අතරින් කඩඉම් ලකුණු ඉක්මවන්නේ 14,982ක් හෙවත් 6.3%ක් පමණි.

ඒ අනුව, පහේ ශිෂ්‍යත්ව විභාගයේදී ද නැවත වතාවක් හොඳ පාසල් ලබා ගන්නා වැඩි පිරිස වන්නේ ඉහළ ආදායම් සහිත පවුල්වල දරුවෝ ය (53%). එසේ වන්නේ විභාගයට පෙනී සිටින දරුවන් අතරින් 69%ක් ම පහළ ආදායම් ලබන පවුල්වල දරුවන් වෙද්දී ය. පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේදී ද වැඩි අවස්ථා හිමි වන්නේ මෙම ඉහළ ආදායම් තීරුවට ය. පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය මේ වන විට දැඩි තරගකාරී විභාගයකි. එයින් වැඩිපුර සිසුන් සමත් වන්නේ ද ජනප්‍රිය පාසල්වලින් ය. ගුණාත්මක අතින් වඩා හොඳ අධ්‍යාපනයක් හා ටියුෂන් ආදිය ලබාගැනීමේ හැකියාව එසේ වීමට හේතුවයි. අවසානයේදී පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වී ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව ලබා ගන්නා සාතිශය බහුතරය වන්නේ ද ඉහළ ආදායම්ලාභී පවුල්වල දරුවෝ ය.

උසස් පෙළ විභාගය ඉහළින් ම සමත් වී රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ වරම ලබාගැනීම සඳහා ඉගෙන ගන්නා පාසල හා ලබා ගත හැකි ටියුෂන් අධ්‍යාපනය වැදගත් වේ. එහිදී වැඩි අවස්ථා ප්‍ර‍මාණයක් නිතැතින් ම හිමි වන්නේ ඉහළ පෙළේ පාසල්වල ඉගෙන ගන්නා දරුවන්ට ය. ඔවුන්ගෙන් වැඩිදෙනෙකු ඉහළ ආදායම්ලාභී පවුල්වල අයයි.

නිදහස් අධ්‍යාපනය ලෙස හැඳින්වෙන, රජය මගින් නොමිළේ ලබා දෙන පොදු අධ්‍යාපන ක්‍ර‍මය තුළ අඩු ආදායම්ලාභීන් කෙතරම් විෂමතාවකට ලක් වෙනවා ද යන්න ඉහත කරුණුවලින් මනාව පැහැදිලි වේ. පළමු ශ්‍රේණියෙන් ම ජනප්‍රිය හා වඩා හොඳ පාසලකට ඇතුළත් වීමේ අවස්ථාව අහිමි වන දරුවකුට රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමට අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකිනි. ජනප්‍රිය නැති, ගුණාත්මක වශයෙන් උසස් නොවූ පාසලක ඉගෙනගෙන පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වන්නේ අසාමාන්‍ය දක්ෂතා ඇති දරුවන් පමණි. එවැනි පාසල්වලින් උසස් පෙළ සමත්ව වෛද්‍ය, ඉංජිනේරු වැනි ඉහළ ඉල්ලුමක් ඇති උපාධි පාඨමාලාවනට සිසුන් තේරෙන්නේ ඉතා කලාතුරකිනි.

අධි තරගකාරී පහේ ශිෂ්‍යත්ව විභාගය ශිෂ්‍යයන්ට ශාරීරිකව, මානසිකව හා සමාජමය වශයෙන් බලපාන බරපතල ගැටලුවක් බව ඇත්ත ය. අප එයට විසඳුම් සොයන්නේ කෙසේ ද? ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු යයි සරලව කියන්නට බැරි තරමට එම විභාගය දැන් අධ්‍යාපන ක්‍ර‍මය තුළ ගැඹුරින් මුල් ඇද තිබේ. එය ගලවා දමන විට තව ප්‍ර‍ශ්න රැසක් ඇති වේ. නිදසුනක් ලෙස, ජනප්‍රිය පාසල් තරගයට විසඳුමක් නොමැතිව පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ නොහැකි ය. ජනප්‍රිය පාසල් තරගය හා සම්බන්ධ සමාජ ආකල්ප පිළිබඳ බරපතල ගැටලු තිබේ. ඉතා ජනප්‍රිය පාසල්වල සිටින දරුවන් පවා පහේ ශිෂ්‍යත්ව විභාගයට තරග කර ඊට වඩා ජනප්‍රිය පාසල් සොයා යන්නේ මේ හා බැඳුණු අධික තෘෂ්ණාව නිසා ය.

පහේ ශිෂ්‍යත්ව ප්‍රශ්නෙට සරල විසඳුම් නැහැ. එය හොඳ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම සඳහා තිබෙන තරගයේ ප්‍ර‍බල පැතිකඩක්. රජය හැම දරුවෙකුට ම ගුණාත්මක අතින් ඉහළ, හොඳ පාසලක් තහවුරු කරන්නට ඕනැ. ඒකට සියලු පාසල්වලට හොඳ පහසුකම් සපයන්නට ඕනැ. ප්‍රාථමික, ද්විතීයක කියලා පාසල් වෙන් කරන්න ඕනැ. ප්‍රාථමික පාසල් හොඳ ද්විතීයක පාසලක් සමග සම්බන්ධ කරන්න ඕනැ. පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පදිංචි ස්ථානයේ සිට පාසලට ඇති දුර පමණක් සැලකිල්ලට ගන්නට ඕනැ. ආදිශිෂ්‍ය පදනම අහෝසි කරන්නට ඕනැ. ඒ වගේ ම, වටිනාකම එකතු කළ අධ්‍යාපනයක් ගන්නට අවශ්‍ය අයට මුදල් ගෙවා එය ලබා ගැනීමට පහසුකම් සලසන්නට ඕනැ. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර ය කියන පෞද්ගලික පාසල් සියල්ල රජයේ නියාමනයට ලක් කරන්නට ඕනැ. ඒවාට යන දරුවන්ටත් රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමේ අවස්ථාව ලබාදෙන්නට ඕනැ. රජයේ විශ්වවිද්‍යාලවල ඉඩ නොලැබෙන අයට රජයේ නියාමනය සහිත ගුණාත්මක පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සලසන්නට ඕනැ.

පහේ ශිෂ්‍යත්වය පමණක් නොවෙයි. සමස්ත අධ්‍යාපන ක්‍ර‍මය ම ගැටලුවක්. විසඳුම් සෙවීමේ පළමු පියවර විය යුත්තේ ගතානුගතික චින්තන රාමුවෙන් පිටතට විත් නිදහස්ව සිතීමයි.

(විභාග දෙපාර්තමේන්තුවේ ඉහත සඳහන් කළ අධ්‍යයනය https://www.doenets.lk/exam/docs/comm/Grade_05_Scholarship_2016_Symposium_Book-2016.pdf සබැඳියෙන් බාගත කර ගත හැකි ය.)

අජිත් පැරකුම් ජයසිංහ (2018 ඔක්තෝබර් 12දා අනිද්දා පුවත්පතේ පළ වේ.)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *