රූම්ස් ෆෝ කපල්ස් – Rooms for Couples (Video)

පෙම්වතුන්ට කාමර සැපයීම මේ වන විට රටේ ප්‍රධාන ව්‍යාපාරයක්. මෙවැනි ස්ථාන කොපමණ ලංකාවේ තිබේ ද යන්න සමීක්ෂණය කළ යුතු ය. එහෙත්, එම සංඛ්‍යාව දළ වශයෙන් 3000ක් පමණ හැකි ය. කාමර සංඛ්‍යාව 15,000ක් පමණ ව්ය හැකි ය.

මෙම ස්ථාන වෙන් කර හඳුනා ගත හැකි වන්නේ ඒවා ලාභ හෝටල් වීම නිසා සහ ප්‍රධාන ව්‍යාපාරය පෙම්වතුන්ට කාමර සැපයීම නිසා ය. බොහෝ විට එය කළ හැක්කේ දිවා කාලයේ පමණි. රාත්‍රී කාලයේ මෙම ස්ථාන වාහනවලින් රට පුරා යන ජංගම වෙළඳ නියෝජිතයන්ට නවාතැන්පළවල් වේ.

පෙම්වතුන් සඳහා කාමර කුලිය පැය 1 1/2, 2 සඳහා රු. 500 – 1500 අතර වේ. කාලය අවසන් වන විට දොරට තට්ටු කරනු ලැබේ. සේල්ස් රෙප්ලාට කාමරයක් රු. 800 – 1500 අතර මිළකට පැය 12ක කාලයකට ලබා ගත හැකි ය.

සාමාන්‍යයෙන් මෙම ස්ථානවල කාමර එක දිගට පැය 24ක කාලයක් වෙනුවෙන් සැපයීමට හිමිකරුවෝ මැලිකමක් දක්වති.

කාමරයට අමතරව අවශ්‍ය නම් ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් වැනි ආහාර ද, පැණි බීම, වතුර බෝතල් ආදිය ද ලබා ගත හැකි ය. පිටතින් ගෙනෙන මත්පැන් පානය කිරීමට පහසුකම්, බයිට් ආදිය සැපයේ. ඇතැම් තැනකින් ⁣අවශ්‍ය නම් කොන්ඩම් ද ලබා ගත හැකි ය.

සාමාන්‍යයෙන් මෙම ස්ථානවල දැකිය හැකි පොදු ලක්ෂණය වන්නේ දැඩි අපිරිසිදුකම හා පිළිවෙලක්, නඩත්තුවක් නැතිකමයි. වැසිකිළි හා ඇඳන් අපිරිසිදුකමෙන් උපරිම ය. මෙම ස්ථාන පාවිච්චි කරන අය ද ඒවා අපිරිසිදු කරති.

මෙම ස්ථානවලට පෙම්වතුන් යොමු කරන ත්‍රිරෝද රථ හිමියන්ට කොමිස් මුදලක් සැපයේ.

මෙම ස්ථාන කළමනාකරණය කරන්නේ තරමක් රළු ගති පැවතුම් ඇති අයයි. මෙම ස්ථානවල ලිංගික අපරාධ ද සිදු වන මුත්, රහස්‍යභාවය පිළිබඳ ගැටලු නිසා බොහෝ විට ඒවා වාර්තා වන්නේ නැත. ඇතැම් තැන්වල ඉල්ලුම මත මත්පැන්, ලිංගික ශ්‍රමිකයන් ආදිය සැපයේ.

වර්තමානය වන විට මෙම ස්ථාන අතීතයට වඩා තරමක් ආරක්ෂිත ය. නවාතැන් ගැනීම සඳහා හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු ය. වයස අවුරුදු 18ට අඩු අයට කාමර සපයන්නේ නැති බවට දැන්වීම් ද ප්‍රදර්ශනය කෙරේ. හැඳුනුම්පත් විස්තර සටහන් කර ගනු ලැබේ. පොලිසිය මෙවැනි ස්ථාන පරීක්ෂා කරන්නේ ඉතා අඩුවෙනි.

එහෙත්, බාල වයස්කාරයන් මෙම ස්ථානවලට නො යන බව විශ්වාස කළ නො හැක. ව්‍යාජ අනන්‍යතා යටතේ හෝ දැන හැඳුනුම්කම් මත ‘ෂේප් එකේ’ හෝ එවැනි දේ සිදු වේ.

මෙබඳු ස්ථානවල ව්‍යාප්තිය නිසා රටේ ප්‍රේම සංස්කෘතියේ ද සුවිසල් වෙනස්කම් සිදු වී තිබේ. මේ හේතුවෙන් බොහෝ තරුණ තරුණියන් සිය ප්‍රථම ලිංගික අත්දැකීම ලබා ගන්නේ මෙවැනි ‘රූම්’වල ය.

මෙවැනි ස්ථාන නීති විරෝධී නො වේ. එසේ ම, එමගින් සැපයෙන්නේ නිදහස් සමාජයක අත්‍යවශ්‍ය සේවාවකි. එබැවින් මෙවැනි ස්ථාන සම්බන්ධයෙන් යම් නියාමනයක් අවශ්‍ය ය.

ලාභ සේවා සැපයීම හා අධික ලාභ ලැබීම වෙනුවට ගුණාත්මක සේවා සැපයීම හා ආරක්ෂිත පරිසරය වෙත ඔවුන් යොමු කළ යුතු ය. විශේෂයෙන් ම සනීපාරක්ෂාව කෙරෙහි අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය ය. මෙවැනි ආයතන සම්බන්ධයෙන් පැහැදිලි නියාමන නිර්නායක සැපයිය යුතු ය.

එසේම, ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය හා ඒ හා සම්බන්ධ හිමිකම් පිළිබඳ වැඩි ම අවදානමට පත් වූ ඉලක්ක කරා ළඟා වීමටත් මෙවැනි තැන් ඉතා හොඳ ය.

(මෙය විධිමත් සමීක්ෂණයක් නො වේ. සාමාන්‍ය අධ්‍යයනයකි. යමෙකු පහසුකම් සපයන්නේ නම් විධිමත් අධ්‍යයනයක් කළ හැකි ය. අප නො කළත්, කවුරු හෝ මේ පිළිබඳ අධ්‍යයනය කරනවා නම් හොඳ ය.)

Please follow and like us:

One thought on “රූම්ස් ෆෝ කපල්ස් – Rooms for Couples (Video)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *