2010-05-26

ඇමති නිමල් සිරිපාලගේ ගේ පිටුපස ලෝක බැංකුව හොල්මන් කරනවාද? | Is World Bank haunting behind Minister Nimal Siripala?

(2010 මැයි 26, W3Lankaදිවයින පුරා ඇති සියලුම වාරිඇල සහ කෙත් ඇළ මාර්ග සංවර්ධනය, ප්‍රතිසංවර්ධනය, නඩත්තුව සහ ආරක්‍ෂා කිරීමේ වගකීම වාරිමාර්ග නිලධාරීන්ගෙන් මුදා හැර අදාළ ගොවි සංවිධානවලට පවරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පවසයි.


ඒ අනුව, තමන්ගේ කුඹුරට වතුර ගලා එන ඇල නඩත්තු කර ගැනීම සඳහා රජය සපයන ආධාර කොන්ත්‍රාත්කරුවන් අතට යන්නට නොදී ගොවීන්ට ම එම කර්තව්‍යය කර ගත හැකි ය. බැලූ බැල්මට මෙය ජනතාවාදී තීරණයකි. එහෙත්, පොදු අයිතියට යටත්ව පැවති, නමට හෝ ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගනු ලැබූ ආණ්ඩුවක පාලනයට යටත් රජය විසින් නඩත්තු කරන ලද වැව හා ඇල මාර්ග ආදිය අවිධිමත් ලෙස පත් කර ගන්නා ලද සංවිධාන ව්‍යූහයන් විශේෂයක් වන ගොවි සංවිධානයට භාර දුන් විට මතු වන පළමු පැනය වන්නේ ඒවා නඩත්තු කිරීමට ගොවි සංවිධානවලට ඇති ධාරිතාවන් ප්‍රමාණවත් ද යන්නයි. රජය විසින් ප්‍රමාණවත් පරිදි ආධාර නොසපයන විට ඇල මාර්ග නඩත්තුව සඳහා ගොවීන්ගෙන් මුදලක් අය කිරීමට ගොවි සංවිධාන තීරණය කරන්නට ඉඩ තිබේ. ලාභ ඉපැයීම සඳහා වැවේ වතුර ටික වානිජ කෘෂිකර්මයේ යෙදෙන සමාගමකට හෝ කම්හලකට විකුණන්නට වුව ගොවි සංවිධානය තීරණය කරන්නට හැකියාව ඇත. මේවා සරළ කරුණු ලෙස පෙනුනත්, ලංකාවේ මෙතෙක් නොපැවති අලුත් තත්වයන් නිසා ඒවා විසින් සමාජයට ඇති කරන බලපෑම සුවිසල් ය. 


වතුර කොරහේ කිඹුලන් දැකීම විකාරයක් වුවත් අනෙක් සියලු තැන්වල ‍වෙනත් ආකාරයක් ක්‍රියාත්මක වෙද්දී කුඹුරුවලට ජලය සපයන වාරිමාර්ග සම්බන්ධයෙන් පමණක් වෙනස් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යන්නේ ඇයිද යන්න විමසා බැලිය යුතු ය.


ජල කළමනාකරණය සම්බන්ධ නියාමක ව්‍යාපෘතියක් සඳහා ලෝක බැංකුව විසින් ලංකාව තෝරාගෙන තිබිණි. ලෝක බැංකුව විසින් දිළිඳුභාවය පිටුදැකීම සඳහා ආර්ථික වර්ධනය වේගවත් කර ගැනීම පිණිස  ප්‍රවර්ධනය කරනු ලබන වෙළඳපොල නිදහස්කරණයේ හොඳ නරක ගැන ලෝකයේ තියුණු විවාදයක් ඇති වී තිබේ. මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි. 


නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ.  


ජල සම්පත් වෙළඳපොලකරණය කිරීමේ ලෝක බැංකු හා ලෝක වෙළඳ සංවිධාන සැලසුම් ඉදිරියට ගැනෙන්නේ ජල කළමනාකරණය නමිනි. මෙම සැලසුම්වලට එරෙහිව ලෝකය පුරා ම විරෝධතා මතු විය. ලංකාවේ සිවිල් සමාජ සංවිධාන ද මෙම ප්‍රශ්නය පිළිබඳ සංවේදීව ජාතික සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන සටන් කළේ ය. මහමාන්කඩවල පියරතන හිමියන්ගේ නායකත්වයෙන් පිහිටුවන ලද එම සංවිධානය 2001 - 2004 සමයේ පැවති එක්සත් ජාත්ක පක්ෂයේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' සැලැස්මට එරෙහිව සටන් කරද්දී එහි ක්‍රියාකාරිකයන් අතර වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ද විය. 


ජලය දුර්ලභ සම්පතක් වෙමින් තිබෙන ලංකාවට ජල කළමනාකරණ ක්‍රමවේදයක් අවශ්‍ය බව රහසක් නොවේ. ප්‍රධාන නගරවල වාහන සෝදන්නේ ද ක්ලෝරීන් දමා පිරිසිදු කර අඩු මිළට දෙන ජලයෙනි. ලාභය පිණිස වී වගා කරමින් වානිජ කෘෂිකර්මාන්තයේ යෙදෙන ගොවීන්ට පොහොර සහනාධාරය පමණක් නොව කුඹුරට වතුර සැපයීම පිණිස අවශ්‍ය වාරිමාර්ග ද නඩත්තු කිරීමට මෙරට සෙසු පීඩිත ජනයා බදු බරට කර ගැසීමේ  යුක්තියුක්තභාවය විවාදාපන්න ය.


එහෙත්, මූලික අවශ්‍යතාවක් වන ජලය රජය සතු කර ගැනීම හා කළමනාකරණය නමින් එය වෙළඳපොලකරණය කරන්නට යාම සමාජ, සංස්කෘතික හා සදාචාරාත්මක ගැටලු රැසකට මුල් වේ. ලංකාවේ වාරිමාර්ග පද්ධතිය යනු වසර දහස් ගණනක සිට මේ රටේ ශිෂ්ටාචාරයන් විසින් ගොඩනගා ගන්නා ලද දෙයකි. ඒ හා සම්බන්ධ තීරණ ගැනීමට රජයට ඇති අයිතිය පවා මතභේදයට තුඩු දී තිබේ. 


2010 මහ මැතිවරණය ජය ගැනීමෙන් පසු ලංකාවේ දියත් වන බැසිලියානු ආර්ථික සැලසුම් තුළ ලෝක බැංකුව නැවත ලංකාවට හොට දමමින් සිටියි. 1994 සිට ලෝක බැංකුව සමග දිග කා 2004දී හොර ජාතිකවාදයක් වැළඳගෙන සාන්ත දාන්ත තීන්ත කූඩු මෙන් උන් ඇමතිවරුන්ගේ නාඩි දැන් නැවතත් ලෝක බැංකු පදයට වැටෙන්නට පටන් ගෙන තිබේ. 


ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ ජල කළමනාකරණ උපාධියක් ආරම්භ කිරීමේ අදහසක් ද ඇමති නිමල් සිරිපාලට තිබේ. 


ඇමති නිමල් සිරිපාලගේ ගේ වටා ලෝක බැංකුව හොල්මන් කරනවාද යන්න පිළිබඳ මේ රටේ ජනතාව සැලකිලිමත් විය යුතු ය. මන්ද, මෙතෙක්  ඔබ නිදහසේ දිය බුං ගැසූ වැවට, ඇලට හිටි හැටියේ අයිතිකරුවකු පහළ වීම, ඔබේ වත්තේ ළි‍ඳෙන් වතුර ටිකක් ගන්නට ආණ්ඩුවෙන් බලපත්‍ර ගන්නට වීම ආදිය ඔබේ ජීවිතයේ මූලික අවශ්‍යතාවකට අදාළව දැවැන්ත විපර්යාසයක් ඇති කරන බැවිනි.    

11 comments:

  1. ප්‍රශ්න කිහිපයක්.

    1. ජලය (පහසුවට වැව් ජලය කියමු.) අයිති කාටද? ජනතාවටද? (ගෙවල් දොරවල් වගේ) නැතිනම් රජයටද? (මහා මාර්ග, පාසල්, රෝහල් වගේ)

    2. ජලය කළමනාකරණය කළ යුත්තේ කවුද? ඒ සඳහා යන වියදම් දැරිය යුත්තේ කවුද?

    3. ජලය වෙළඳ භාණ්ඩයක්ද? එය විකිණිය හැකිද?

    4. (ඉහත ප්‍රශ්නයට උත්තරය 'නැත' නම් පමණක්) සැපයුමට වඩා වැඩි ඉල්ලුමක් පවතින අවස්ථාවලදී ජලය බෙදා දිය යුත්තේ කෙසේද? ප්‍රමුඛතාව දිය යුත්තේ කාටද? ඒ මොන පදනමක් මතද?

    5. වාරිමාර්ග හා කෘෂිකර්මය ඉතා දියුණුවට පැවතුනාය කියන පෙර රජ දවස ජල කළමනාකරණය කළ අයුරු ගැන ලේඛකයාට අවබෝධයක් ඇත්ද?

    6. වාණිජ කෘෂිකර්මය ගොවීන් විසින් තනි තනිව කිරීම හා රජය/සමාගමක් විසින් කිරීම අතර වෙනසක් ඇත්ද?

    7. ජලය යනු වාණිජ කෘෂිකර්මයට අමු ද්‍රව්‍යයක් නම් එය ලබා ගැනීමට යම් වියදමක් දැරීමට සිදුවෙතොත් එය බදු ගෙවන ජනතාවගේ මුදලින් රජය විසින් දැරිය යුතු ඇයි?

    8. "මෙහි ඇති මූලික ගැටලුවක් වන්නේ දිළින්දන්ගේ නමින් සිදු වන මේ ක්‍රියාවලි පිළිබඳ තීරණය කිරීමේදී දිළින්දන් එයට සම්බන්ධ නොවීමයි." අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් සිසුන්ට අදාළ තීරණ ගැනීමේදී එම රැස්වීම් වලට ළමුන් තියා දෙමාපියන් වත් සහභාගි කර ගන්නවාද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැස්වීම් වලට රෝගීන් සහභාගි කර ගන්නවාද? ප්‍රවාහන අමාත්‍යාංශයේ තීරණ වලට බස් මඟීන්ගේ දායකත්වයක් ඇත්ද?

    9. "නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ." මොනවාද මේ ප්‍රශ්න. තුනක් කියන්න.

    10. "ඔබ නිදහසේ දිය බුං ගැසූ වැවට, ඇලට හිටි හැටියේ අයිතිකරුවකු පහළ වීම" ඔබ 'නිදහසේ' ගිය පාසලට, ඔබ 'නිදහසේ' සෙල්ලම් කළ විහාර මහා දේවී උද්‍යානයට, ඔබ නිදහසේ යන බස් වලට, වෙනෙකක් තියා ඔබ නිදහසේ යන පන්සලට/පල්ලියට පවා අයිතිකරුවන් (රජය/පෞද්ගලික අංශය/පුද්ගලයින්) සිටී නම් මෙය විතරක් වෙනස් විය යුත්තේ ඇයි?

    - Taboo Subjects

    ReplyDelete
  2. It is not a case of private sector or the capacity of the farmer organisations. It is a question of the intentions and the credibility of this Minister. He basically has ruined the health sector in Sri lanka, at present rural sri lankans in a situation that they even have to buy the bottle of saline. However , they have at least the option of private sector health services and supllies. Imagine the same situation in irrigation sector. Do the farmers have an alternate way to get water? Water and irrigation services are for common and for a common cause, (unlike the health services). On the otherhand how the minister has become an expert on water mamagement (overnight). I am relly angry at the officials at the water management / irrigation sector, where i believe many proffessionals work. Why can they stand up say to the Minister- his crezy directions does not work, and to the public , that this MR appointed fool is trying to destroy another common service of rural poor farmers. I also feel minister sirisena should comment on this as he was the former minister.
    [ urban treated water is under purview of water suplly board, not under the irrigation]

    ReplyDelete
  3. "නිදසුනක් ලෙස, ලංකාව වැනි රටවල දූෂිත රාජ්‍යයන් සමග එක්ව ජනතාවට කොළය වසා සකසන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' වැනි සැලසුම්වල යුක්තියුක්තභාවය පිළිබඳ බරපතල ප්‍රශ්න තිබේ." මොනවාද මේ ප්‍රශ්න. තුනක් කියන්න යයි ටැබූ සබ්ජෙක්ට් කියා ඇත.

    1. මෙම ලේඛනය ලංකාව විසින් සකසන ලද්දක් බව ලෝක බැංකුව කියයි. එය සැකසුවේ කවුරුද?
    2. එය සැකසූ අය ලංකාව වන්නේ කෙසේද?
    3. කිසිදු මැතිවරණයකදී කවුරු හෝ පක්ෂයක් මෙම ලේඛනය ජන වරමක් සඳහා ඉදිරිපත් කර තිබේද?
    4. 2004දී එක්සත් ජාතික පක්ෂය පරාජය කිරීමට ජවිපෙ, කොටි සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කළේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා' පරාජය කිරීමට නොවේද?
    5. මහින්ද චින්තනයේ දේශීය ආර්ථික සංකල්පයක් අවධාරණය කරන්නේ 'යළි පුබුදමු ශ්‍රී ලංකා'ට එරෙහිව නොවේද?
    6. තමන් විසින් ම පරාජය කරන ලද සැලැස්මක් පෙරට ගන්නට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඇති අයිතිය කුමක්ද?
    7. 'යළි පුබුදමු ශ්‍රී ලංකා' ගෙන එන්නේ දිළිඳුභාවය පිටු දැකීමේ සැලැස්මක් ලෙසයි. එසේ නම්, දිළින්දන් මෙහි ප්‍රධාන අනතුරුධාරකයන් විය යුතු ය. දිළිඳුභාවය නැති කරන ආකාරය ගැන ඔවුන්ගෙන් නියෝජනයන් ලබා ගත්තේ කවදාද? කෙසේද?

    ReplyDelete
  4. 'ජලය වෙළඳ භාණ්ඩයක්ද? එය විකිණිය හැකිද?' යි ටැබූ සබ්ජෙක්ට් අසයි.

    හොඳයි අපි ජලය වෙළඳ භාණ්ඩයකැයි පිළි ගත්තා යයි මොහොතකට සිතන්න.

    හෙට දවසේ මෙවැනි ප්‍රශ්නයක් මතු වුවහොත් කොහොමද?

    (පිරිසිදු) වාතය වෙළඳ භාණ්ඩයක්ද? එය විකිණිය හැකිද?

    ReplyDelete
  5. Editor. ඔබගේ දෙවන ප්‍රශ්ණයට පිලිතුරු දෙන්නම්.

    වාතය හෝ ජලය වෙළඳ භාණ්ඩයක් වන්නේ එය විකිනෙන අවස්ථාව වන විට එයට මුදලක් වැය කර ඇතිද යන්න මතයි. මේ දෙකම දැනටමත් යම් අවස්ථා වලදී වෙළඳ භාණ්ඩ වී අවසානයි.

    ඔබ ඔය ප්‍රශ්ණයෙන් නොකියා අසන්නේ අපිට හුස්ම ගන්නටත් සල්ලි ගෙවන්න වෙයි කියලනෙ.
    ඔව්. . . . . . දැනටමත් අපි හුස්ම ගන්න සල්ලි ගෙවන අවස්ථා තියෙනව. එනම් අපට යම් රෝගයක් හේතුවෙන් හුස්ම ගන්නට අපහසු වී රෝහලකින් ඔක්සිජන් දුන්නොත් ඔබට මේ නිකන් තියෙන ඔක්සිජන් කියා සල්ලි නොගෙවා සිටිය නොහැකියි. මන්ද ඒ නිකන් ඇති ඔක්සිජන් ඔබගේ අවශ්‍යතාවට එම ස්ථානය තෙක් ගෙන ඒමේ කාර්ය්‍යය වෙනුවෙන් යම් යම් ආයතන යම් මුදලක් වියදම් කර ඇති හෙයින්.

    ජලය විකිනීමටත් අදාල වන්නේ එයට සමාන හේතුවක් තමයි. එනම් වානිජ කටයුතු වෙනුවෙන් ජලය ලබා ගන්නා අවස්ථාවන්හීදී පමණක්, එම ලබා ගන්නා ජලය වෙනුවෙන්, රජය විසින් මහජන බදු මුදල් වැය කර තනා ඇති යම් යම් වාරි කර්මාන්ත ප්‍රයොජනයට ගන්නේ නම් හා, ඒවා නඩත්තුවට රජය පුනරාවර්තන වියදම් දරන්නේ නම්, එම වියදම වෙනුවෙන් යම් කිසි මුදලක් අදාල ගොවි මහතා විසින් ගෙවිය යුතු බවයි. නමුත් තම ගෙදර පරිභෝජනය වෙනුවෙන් කරන කෘෂිකාර්ම්ක කටයුතු වෙනුවෙන් මුදල් අය කල යුතු නොවේ.

    අවසාන වශයෙන් කිව හැක්කේ පණ අදින විට දෙන ඔක්සිජන් වලටත් මිලක් ගෙවිය යුතු රටේ, තම ගෙදර දොර සුලු පරිභෝජනය වෙනුවෙනුත් ජලයට විශාල මුදලක් ගෙවිය යුතු රටේ, ගොවියාට මහජන බදු මුදලින් ජලය ලබා දීම කොතරම් අසාධාරණද?

    ජලය විකුණනවාට ඔච්චර අමාරු නම් ඊට පෙර ගෙදරට එන ජලයට ගෙවන බදු හා කුලිය නවත්වා ගන්න උත්සාහ කරන්න.

    ReplyDelete
  6. ඔබට හැකිනම් අනුපිළිවෙළට මගේ ප්‍රශ්න දහයට ඍජු පිළිතුරු දෙන්න. මට අවශ්‍ය වන්නේ ඔබේ මතය මිස අනුන් කියපුවා නොවේ. ඉන්පසු ඔබේ ප්‍රශ්න අසන්න. ස්තූතියි.

    Taboo Subjects

    ReplyDelete
  7. ඔබ මගේ නව වන ප්‍රශ්නයට කෙළින්ම නොවුනත් පිළිතුරක් දෙන්නට උත්සාහ දරා ඇත. ඔබ 'යළි පුබුදමු ලංකා' වැඩ පිළිවෙලෙහි හඳුනාගෙන ඇති ගැටළු මෙසේ ගොනුකරමි.

    1. එය ලංකාව නොව ලෝක බැංකුව විසින් පිළියෙළ කරන ලද ලියවිල්ලක් වීම.

    2. එය මැතිවරණයකදී පක්ෂ ප්‍රතිපත්ති මාලාවක් සේ ඉදිරිපත් කර ජනතා අනුමැතිය ලබා ගෙන නොතිබීම.

    3. රාජපක්ෂ ආණ්ඩුව මඟින් එය ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කොට තිබීම.

    4. එය පිළියෙළ කිරීමේදී දිළින්දන්ගේ අදහස් ලබා නොගැනීම.

    මේ සියල්ලක්ම එය පිළියෙළ ආකාරයේ procedural errors ය. මෙයින් අදහස් කෙරෙන්නේ මේ procedural errors නැතිනම් ඔබ එහි හරය පිළිගන්නා බවද?

    ReplyDelete
  8. Taboo, You talk like you know every thing, most of the time you seem to be bossy in ‘all’ the subjects, not just ‘taboo subjects’. With being jerk, just watch the documentary called ‘Flow: For Love of Water’ by Irena Salina in 2008. You will get all the answers for your water related questions. Not just ‘answers’ BUT EVIDENCE as well of bad consequences of so-called ‘water management’, from all over the world.

    ReplyDelete
  9. @Controlledminds,

    1. First I do not have to talk Taboo Subjects everywhere. I do that in my blog, elsewhere I do what I want.

    2. I am not a water management expert. I assume the author of this blog knows what he talks about when he critisises Nimal Siripala. That is why I asked him the questions. I am still waiting for replies.

    3. One requests another to read a book/watch a movie when the answers are too lengthy. Here I do not expect lengthy answers. A simple Y/N or single sentence answers will do for most questions I have asked above.

    4. Instead of the author of this post, you can have a go if you want.

    - Taboo Subjects

    ReplyDelete
  10. Taboo Subjects හා අනෙක් අය වෙත,
    පිළිතුර ලිපියක් ලෙස වෙන ම පළ වනු ඇත.

    ReplyDelete
  11. @ සහන්
    - අවසාන වශයෙන් කිව හැක්කේ පණ අදින විට දෙන ඔක්සිජන් වලටත් මිලක් ගෙවිය යුතු රටේ, තම ගෙදර දොර සුලු පරිභෝජනය වෙනුවෙනුත් ජලයට විශාල මුදලක් ගෙවිය යුතු රටේ, ගොවියාට මහජන බදු මුදලින් ජලය ලබා දීම කොතරම් අසාධාරණද? -

    ඔවු.ගොවින්ගෙන් මුදල් අය කල යුතුය.නොමිලේ බෙහෙත් දිය යුතු නැත.ඒවට රෝගීන්ගෙන් අය කල යුතුය.ඊලගට නොමිලේ අධ්‍යාපනය දීමද එපා.ඒකටත් අය කල යුතුය.කිසිම දෙයක් නොමිලේ එපා.සේරටම අය කල යුතුය.
    හැබැයි ප්‍රශ්නෙ රටේ 50% විතර තාම ජීවත්වෙන්නෙ දෛනික ආදායම ඩොලර් 2 සීමාවටත් යටින්.අය කරන්න ඕනෙ කියල පඩි තතා කීවට ගෙවන්න පුලුවන්ද ගෙවන්න බැරි අයට මොකද වෙන්නෙ කියල නිකමටවත් හිතල බැලුවනම් නේද හොද?
    ගොවියට හම්බෙන වතුර ටිකට මුදල් අය කරන්න ඕනෙ කියල කියන අය ආසාවට ගොවියා දැනට තියෙන නිෂ්පාදනය හරි කරන්නෙ කොහොමද කියල හොයල බලල තියනවද?
    වැව් ජලය කියන්නෙ අනික ආන්ඩුවේ බූදලයක් නෙමෙයි.මේ සම්පත් මිනිස්සු සතවර්ශ ගණනාවක් තිස්සෙ නොමිලේ භුක්ති වින්ද.මේව නිදහස් අයිතීන්.ආන්ඩුව සුබසාධන සේවා සපයන්නෙ ආන්ඩුවේ අයගෙ පුද්ගලික වියදමින් නෙමෙයි.ඒවට මේ ගොවීන් ඇතුලු සෙසු මහජනතාව බදු ගෙවනව.එහෙම එන බදු සමාජ අවශ්‍යතා වෙනුවෙන් වියදම් කරන එක රජයේ වගකීම.නිෂ්පාදනය කරන්න කෘෂිකර්මාන්තයට සහන සැපයුවම ඒ නිෂ්පාදනය සහන් ඇතුලු රටේ අනිත් මිනිස්සුන්ට අඩු මුදලකට භුක්ති විදින්න පුලුවන්.මෙහෙම තමයි මේව එකට ගැටගැහෙන්නෙ.තිරිගු වගේ දේවලට සහනාධාර දෙන එක අමෙරිකාව වගේ ලොකු රටවලත් කෙරෙන දෙයක්.සාධාරණ වර්ගීකරනයක් මත සුබසාධන සේවා සපයන එක සමාජ සාධාරණත්වය කියන එකට ඕනෙ දෙයක්.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.