2010-08-24

‛ගිනිගත් සමය‛ සහ ලංකාවේ ස්ත්‍රී බලය | 'Burning Times' and the power of Sri Lankan woman

(2010 අගෝස්තු 24, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහඩැනා රීඩ්ගේ Burning Times යනු මධ්‍යතන යුගයේදී යුරෝපය, ඇමරිකාව සහ අප්‍රිකාව පුරා පැතිර ගිය මායාකාරියන් ඝාතනය කිරීමේ (witch hunting) ක්‍රියාවලිය පිළිබඳ නිර්මානය වූ අපූරු වාර්තා චිත්‍රපටයකි.


පුරාතන යුගයත්, පුනරුද යුගයත් අතර අඳුරු යුගයට අයත් 12, 13, 14 සියවස්වලදී වසර 300ක කාලය තුළදී ස්ත්‍රීන් මිලියන නවයක් හෙවත් ලක්ෂ 90ක් මායාකාරියන් ලෙස හඳුනාගෙන ඝාතනය කරන ලදී.


මෙය වනාහි ලෝකයේ ස්ත්‍රී වර්ගයා මත පනවන ලද ඓතිහාසික සමූහ හිංසනයකි. සංහාරයකි. එහෙත්, පුරුෂ මූලිකත්වය තහවුරු වූ නූතන සමාජයේ අද එම සංහාරය පිළිබඳව සාකච්ඡා කෙරෙනුයේ ඉතා මඳ වශයෙනි. චිත්‍රපටයෙහි ම තැනක සඳහන් වන ආකාරයට ‛ඉතිහාසය ලියනු ලබන්නේ ජයග්‍රාහකයන් විසිනි.‛


කෲර වධ බන්ධනයට ලක් කර, පණ පිටින් පුළුස්සා හෝ දියේ ගිල්වා ඝාතනය කරන ලද මේ ස්ත්‍රීහු කවරහු ද?


නවීන විද්‍යාව හා සමාජ පරිණාමය විසින් මායාකාරිය පිළිබඳ පැරණි අර්ථකථනය වෙනස් කර, ඇය හුදු සාහිත්‍යමය ප්‍රබන්ධ චරිතයක් බවට පත් කර තිබෙනමුත්, මධ්‍යතන යුගයේදී මායාකාරිය යනු සමාජයේ ජීවත් වූ යම් බලයක් සහිත ස්ත්‍රියකි.


මේ යුගයේදී ලොව පුරා පැතිර ගිය වසංගත හේතුවෙන් විශාල ජනගහණයක් මිය ගිය අතර, යම් ජෛව විද්‍යාත්මක ඔරොත්තු දීමේ හැකියාවක් හේතුවෙන් ස්ත්‍රී ගහණය පුරුෂ ගහණයට වඩා වැඩි වන තත්වයක් දක්නට ලැබුණු බව චිත්‍රපටය පවසයි. යුද ගැටුම් හේතුවෙන් පිරිමින් වැඩිපුර මිය යාම ද මෙයට එකතු වූ තවත් තත්වයකි. අවිවාහක, ස්වාධීන ගැහැණුන් සුලබ වීම මෙම යුගයෙහිදී දක්නට ලැබෙන සුවිශේෂ තත්වයකි.


නවීන වෛද්‍ය විද්‍යාව දියුණුවට පත් ව නොතිබුණු, සොබා දහමේ අභියෝග හමුවේ මිනිස් අසරණකම වඩා ඉස්මතු ව පෙනුණු මෙම යුගයෙහිදී සම්ප්‍රදායික ඖෂධ පිළිබඳ දැනුම, සුව කිරීමේ හැකියාව, වින්නඹු ශිල්ප ඥානය ආදී බලයන් සහිත වූ කාන්තාවන්ට සමාජයේ බිය මුසු ගෞරවයක් තිබිණි.


පීතෘමූලිකත්වයේ ආධිපත්‍යය තහවුරු කිරීමේ ලා ක්‍රිස්තියානි පල්ලියේ ප්‍රයත්නයන් හමුවේ මායාකාරිය පිළිබඳූ අර්ථකථනය තුළට මෙම ‛බලවත්‛ ගැහැණුන් ඇතුළත් කරන ලදී. ක්‍රිස්තියානි පල්ලියේ ආධිපත්‍යයට එරෙහිව කැරලි ගැසූ, බුද්ධිමත්, අභියෝගාත්මක ගැහැණු ද මේ වර්ගයට අයත් වූහ. ඇතැම් විටෙක සාක්ෂරතාව පවා යක්ෂයාගෙන් ලද ලක්ෂණයක් ලෙස සැලකිනි.


මායාකාරියන් හඳුනාගැනීම සඳහා inquisition හෙවත් පරීක්ෂක සභාව නම් වූ ක්‍රමවේදයක් භාවිතා කරන ලදී. පිරිමින් විසින් කෲර වධ බන්ධනයට ලක් කරමින් ගැහැණුන් ප්‍රශ්න කරන ලද අතර එම කෘරත්වය හමුවේ බොහෝ ගැහැණු පාපොච්චාරණ කළහ. ලිඛිත සාධක අනුව මෙම පාපොච්චාරණ බොහොමයක් එක හා සමාන ය. යුරෝපා ක්‍රිස්තියානිත්වය තහවුරු කිරීමේ ක්‍රියාවලිය තුළ සංහාරයට ලක් වූ මිලියන ගණනාවක් ජනයා අතරින් 85%ක් පමණ ස්ත්‍රීන් බව කියැවේ.


‛මායාකාරිය‛ යනු අඳුර සමග සම්බන්ධ වූ ස්ත්‍රී බලයකි. ස්ත්‍රී බලයට එරෙහි වසර 5000ක මත ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළ මායා ශිල්ප (witchcraft) අපරාධ ලෙස නම් කර ඒවා හා සම්බන්ධ ගැහැණුන් අපරිමිත වධ බන්ධනයට ලක් කර ඝාතනය කිරීමේ හැකියාව තිබිණි. එම වධයට පැමිණවීම් සහ ඝාතන එදා සාමූහික වින්දන මාර්ගයක් වී තිබුණු බවක් ද පෙනේ.


මායාකාරියන් සංහාරය ස්ත්‍රී බලයට පුරුෂ මූලික සමාජයේ ඇති බිය සංකේතවත් කරයි.


මෙම ලිපියෙහි අරමුණ බටහිර ඉතිහාසයේ ඓතිහාසික කළු පැල්ලමක් වන මෙම මායාකාරියන් විනාශ කිරීම හෙවත් ස්ත්‍රී බලය පිටුදැකීම සිංහල සමාජයේ තත්වයන් සමග සන්සන්දනය කිරීමයි.


පැරණි සිංහල සමාජයේදී සම්ප්‍රදායික ඖෂධ දැනුම, වින්නඹු ශිල්පය හා යකැදුරුකම් වැනි විශේෂ හැකියාවන් සහිත වූ ගැහැණුන් පිටු දකිනු ලැබූ බවට ඓතිහාසික සාධක දක්නට නොමැත. ඒ වෙනුවට ඔවුනට සමාජයේ ගෞරව සම්ප්‍රයුක්ත, සුවිශේෂ ස්ථානයක් ලබා දී තිබුණ බව දැකිය හැකි ය.


මායාකාරියන් පිළිබඳව පැරණි සිංහල සාහිත්‍යයෙහි මඳ වශයෙන් සඳහන් වේ. මහාවංශයෙහි එන කුවේණි චරිතය එවැන්නකි. යක්ෂ ගැහැණියක වන ඇය තම්බපණ්ණි වැල්ලට ගොඩබට විජය කුමරු හමුවට බැල්ලක එවීම සහ බැල්ල පසුපස ගිය කුමාරවරුන් සත්සියයක් පොකුණක සඟවා තැබීම වැනි මායාවන් කළ බව දැක්වේ.


‛මායාකාරිය‛ නම් වූ බටහිර භාෂාත්මක ගොඩනැගීම පැරණි සිංහල සාහිත්‍යයෙහි වර නැගෙන්නේ ‛යක්ෂණිය‛ නම් වූ වෙනස් ස්වරූපයකිනි. ඇයට බටහිර සමාජයේ මායාකාරියට තරම් ‛මිනිස්භාවයක්‛ නොමැති අතර ඇය වඩා ප්‍රබන්ධාත්මක, පරිකල්පනීය චරිතයක ලක්ෂණ පෙන්නුම් කරයි. පැරණි සාහිත්‍යයෙහි යක්ෂණියන් ගැන සඳහන් වන්නේ යක්ෂයන්ට වඩා අඩුවෙන් ය.


සිංහල සමාජයේ යක්ෂ සංකල්පය බටහිර යක්ෂ සංකල්පයෙන් හාත්පසින් ම වෙනස් එකක් වන බැවින් සිංහල යක්ෂණිය බටහිර යක්ෂයා සහ මායාකාරිය පිළිබඳ ප්‍රවාදයන් සමග සන්සන්දනය කිරීම පදනම් විරහිත ක්‍රියාවකි.


එහෙත්, බාහිර සංස්කෘතීන්ගේ බලපෑමට වැඩිපුර ලක් වූ ජන සාහිත්‍යයෙහි එන මායාකාරිය සහ මන්තරකාරිය ආදී චරිත නම් සෑහෙන දුරට බටහිර සංකල්පවල බලපෑමට ලක් වී ඇති බව පෙනේ. නූතන සිංහල සාහිත්‍යය තුළ මායාකාරිය පිළිබඳ සංකල්පය ප්‍රචලිත වීමට බටහිර සාහිත්‍ය පරිවර්තන සහ විශේෂයෙන් ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. ඒ. දිසානායක විසින් නිර්මානය කරන ලද බටකොළ ආච්ච් චරිතය පදනම් වූ බව පෙනේ.


බටකොළ ආච්චි නම් චිත්‍ර කතා චරිතය 1960 දශකයේ මුල් වකවානුවේ සිට අද දක්වාම ‛මිහිර‛ ළමා පුවත්පත හරහා ළමයින් අතර ජනප්‍රිය වී තිබේ. මිට අග ගිනි දළුවක් ඇති ඉදලක නැගී අහසින් ගමන් බිමන් යන, බූසි කෙස්සක් සහිත, දළ සළු ඇඳි, මහළු ගැහැණියක වන බටකොළ ආච්චි චරිතය ඉතා පැහැදිලිව ම බටහිර සුරංගනා කතා ආභාසයෙන් නිර්මානය කරන ලද්දකි.


බටහිර ආභාසයෙන් සිංහල සමාජයෙහි ප්‍රචලිත වූ මායාකාරිය පිළිබඳ ප්‍රබන්ධාර්ථය ඉක්මවා යමින් භෞතික සමාජයේ මායාකාරී ස්ත්‍රීන් පිළිබඳ සාකච්ඡා කරන සාහිත්‍යමය ප්‍රවේශයක් අපට මුලින්ම හමු වන්නේ දේශීය සාහිත්‍යය තුළ නොව යටත් විජිත ප්‍රබන්ධ සාහිත්‍ය ප්‍රවර්ගයෙහි ලා සැලකිය හැකි ලෙනාඩ් වුල්ෆ්ගේ Village in the Jungle තුළයි. පසු කලෙක මෙය ඒ. පී. ගුනරත්න විසින් ‛බැද්දේගම‛ නමින් පරිවර්තනය කරන ලදුව සිංහල සාහිත්‍යයට එක් වේ.


වුල්ෆ්ගේ නවකතාවෙහි බැද්දේගම ගම්වැසියන් හින්නිහාමි නම් ස්ත්‍රිය මායාකාරියක ලෙස සලකා ගල් ගසා මැරීමේ සිද්ධිය සිංහල සමාජ ඉතිහාසයෙහි ස්ථානගත කරන්නේ කෙසේ ද යන්න මතභේදයට තුඩු දුන් කාරණාවකි.


එවන් තත්වයක් ඇත්තටම සිංහල සමාජයෙහි තිබුණා ද, නැතිනම් බටහිර චින්තන රාමුවෙහි හිඳ ලාංකීය සමාජය දෙස කුරුළු ඇසකින් උඩින් බැලූ යටත් විජිත සිවිල් නිලධාරියකු වන ලෙනාඩ් වුල්ෆ් මෙම සාහිත්‍යමය ගොඩනැගීම හරහා වෙනත් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට යත්න දැරුවේ ද යන්න තව දුරටත් සංවාදයට ලක් විය යුතු ය. වුල්ෆ් යුරෝපා සමාජයේ පුරාතන සහ මධ්‍යතන යුගවල යථාර්ථයන් බැද්දේගම නම් වූ ආසියාතික ප්‍රාථමික ගම්මානයක පසුබිමෙහි තබා ප්‍රතිනිර්මානය කිරීමට උත්සාහ කළේ ද යන්න මෙහිදී අවධානයට යොමු විය යුතු ය.


මායාකාරියන් පිළිබඳ ඉතිහාසය කෙසේ වෙතත්, ලංකාව බටහිරකරණයට වැඩිපුර ගොදුරු වූ මෑත සමයෙහිදී ස්ත්‍රී බලයට බිය වීම යන කාරණය පිළිබඳව නම් අපගේ අවධානය මීට වඩ යොමු විය යුතුව ඇති බව පෙනේ.


මේ සඳහා සලකා බැලිය හැකි නිදසුන් දෙකක් ගෙනහැර පාමින් මෙම සටහන සමාප්ත කරමි. නිදහසින් පසු යුගයේ ලංකාවේ රාජ්‍ය නායකත්වය හෙබවූ පුද්ගලයන් එකොළොස් දෙනා අතරින් දෙදෙනෙක් කාන්තාවෝ් ය. ඒ සිරිමා බංඩාරනායක සහ ඇගේ දියණියක වන චන්ද්‍රිකා බංඩාරනායක කුමාරතුංග ය. ඔවුනට බලයට පැමිණීමට පසුබිම සැකසෙන්නේ දේශපාලන නායකයන් වූ තම ස්වාමිපුරුෂයන් ඝාතනයට ලක් වීම ඔස්සේ ය. කෙසේ වෙතත්, ඔවුහු රාජ්‍ය බලය හෙබවූ සමයෙහිදී අතිශය බලවත් තත්වයක පසු වූ හ.


බලය අයථා ලෙස පාවිච්චි කිරීම සහ අඩු වැඩි මට්ටමින් දූෂණ ක්‍රියාවන්හි යෙදීම මෙම රාජ්‍ය නායකයන් එකොළොස්දෙනා තුළ ම දැකිය හැකි ය. එහෙත්, වත්මන් ජනාධිපතිවරයා සහ බලයේ සිටියදී ම ඝාතනයට ලක් වූ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බංඩාරනායක, ආර්. ප්‍රේමදාස යන රාජ්‍ය නායකයන් දෙදෙනා අත් හළ විට, සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?


1977 න් පසු හිටපු අගමැති සිරිමා බංඩාරනායකගේ ප්‍රජා අයිතිය පවා අහෝසි කරන ලදී. 2006දී චන්ද්‍රිකා බංඩාරනායක බලයෙන් ඉවත් කෙරුන පසු මුහුණ දෙන තත්වයන් පිළිබඳ නැවත ලිවීම අවශ්‍ය යයි නොසිතමු. මෙහිදී ඇය වටා නිර්මානය වූ ප්‍රබන්ධ හා යම් යම් යථාර්ථයන් ඒකරාශී කර වික්ටර් අයිවන් විසින් ලියා ප්‍රකාශයට පත් කරන ලද ‛චෞර රැජින‛ කෘතිය මෙරට ඉතිහාසයේ හොඳම අලෙවියක් තිබූ පොත් ගොන්නට එක් වීම ද අපගේ අවධානයට ලක් විය යුතු කරුණකි.


අප මතු කරන ප්‍රශ්නය වන්නේ ලංකාව දැඩි විපර්යාසකරණයකට ලක් කළ ජේ. ආර් ජයවර්ධන ඇතුළු සෙසු කිසිදු පුරුෂ රාජ්‍ය නායකයෙකු මෙවැනි තත්වයකට මුහුණ නොදුන්නේ ඇයි ද යන්නයි. ස්ත්‍රී බලයට ලාංකීය සමාජය බිය ද?


(2008 ජනවාරි මස පළ කරන ලද ලිපියකි.) 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

8 comments:

  1. යකෝ මේක සෑහෙන්න හිතන්න ඕන කථාවක්නේග සිරාවටම අලුත් අදහසක්.

    ReplyDelete
  2. "සෙසු පිරිමි රාජ්‍ය නායකයන් හය දෙනා බලයෙන් පහ වූ පසු අත් නොවිඳි සුවිශේෂ තත්වයන්ට ස්ත්‍රී රාජ්‍ය නායිකාවන් මුහුණ දීම මෙහිදී අප විග්‍රහ කරන්නේ කෙසේ ද?"

    සරල මිනිසෙක් ලෙස ජීවත්ව, ඒ අයුරින්ම ජනපති කම් කර, සාමන්‍ය මිනිසෙක් ලෙසම රජයේ රෝහලක මිය ගිය ඩී.බී. විජේතුංග මහතා සමග සසඳන විට චන්ද්‍රිකා මහත්මිය සිටින්නේ කොතැනද යන්නත් පැහැදිලි කලා නම වටී.

    ReplyDelete
  3. මගෝඩිස්August 24, 2010 at 10:47 PM

    කාන්තාව සම්බන්ධයෙන් දැන් තියෙන්නෙත් ඔය කියන කාලයේ තිබුණා වගේම තත්ත්වයක්. අද ඉන්න පිරිමින්ට සාපෙක්ෂව ගැහැණු උගත්. කැම්පස් පුරවලා ඉන්නේ ගෑණු. උසස් අධ්‍යාපනයත් එහෙමයි. සමාජයේ ප්‍රභූ යැයි සම්මත වෘත්තීන් වලට වැඩිපුර ඉන්නේ කාන්තාවෝ. මේ කාන්තාවන්ට විවාහ වෙන්න සුදුසුකම් ඈති පිරිමි හොයාගැනීමේ අපහසුවක් තියෙනවා. මොකද කාන්තාවට වඩා පිරිමියා සුදුසුකම් වැඩි වියයුතුයි කියන විශ්වාසේ තාම තියෙන හින්දා. පිරිමි වැඩිපුර ඉන්නේ ආමි එකේ....
    ලිපිය ​අතීත සිද්ධියක් ගැන උනාට අද දවසටත් ගොඩාක්ම අදාලයි.

    ReplyDelete
  4. බටහිර මාතෘකාව හා ලංකා මාතෘකාව ගැලපීම ඒ තරම් ගැලපෙන්නේ නැත. අතිශයෝක්තිකර ගැලපීමකි. නමුත් ලේඛකයා උනන්දුවන ආකාරය නම් වැදගත්ය. මෙසේ ලිවීමට හිතෙන්නේ කුමක් නිසාද යන්න ද සලකා බැලිය යුතු තත්වයකි. ඔහුගේ වන ස්ත්‍රීවාදී දෘෂ්ඨියක් හෝ පුරුෂ විරෝධයක් ද මේ තුල විය හැකිය. මට එවැනි ඉගියක් මෙයින් ලැබේ. නමුත් මතු කරන්නට උත්සාහ කරන දෙය නම් හොදය. නමුත් ඉන් ඉතිහාසයට හා අනාගතයට වන බලපෑම කුමක්ද? කෙටියෙන්ම කිවහොත් මෙහි දේශපාලනය කුමක්ද? යන්න ගැන සලකා බැලීම වටී.

    ReplyDelete
  5. @ anonymous.
    the political reading of this article is nothing more than radical humanism.that is to reestablish the lost/extincted humanity again.the so called feminist ideology or male chuvanism are now old fashioned terms in the presence of radical humanism.
    well done editor.!

    ReplyDelete
  6. @ Anonymous (24Aug),
    Mr. Wijetunga was given the opportunity in a transition and can just only be considered as a night-watchman! I believe there is no meaning of comparing him with other elected leaders.
    @ Editor,
    Well done. A nice article. We expect more of this type of articles other than just sloppy kind of writings.

    -Dimithry

    ReplyDelete
  7. , gehanu, pirimi body ekak gena nowei. 'gehanu kama' gunayak, [feminity]'pirimikama' kiyannet gunayak. [meskuilinity] me dekama degollo lagama tiyenawa. article ekata anuwa, gehunu kiyala select kale body ekai.

    ReplyDelete
  8. This is probably the best article of your blog.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.