2010-09-02

බඹර වළල්ල අපූරු දේශපාලනික සිනමා කෘතියක් වන්නේ කෙසේද?

(2010 සැප්තැම්බර් 02, W3Lanka - අජිත් පැරකුම් ජයසිංහබඹර වළල්ල ගැන බූන්දි වෙබ් අඩවියේ විචාරයක යෙදෙන කෞශල්‍ය කුමාරසිංහ හා විදුර ප්‍රභාත් මුණසිංහ මෙසේ පවසති.


'අතුල ලියනගේ විසින් නිර්මාණය කරන ලද සංකිර්ණ මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක් ද සහිත මෙම සිනමා කෘතිය කිසිදු වාරණයකින් තොරව ප්‍රදර්ශනය වන විට අපට වරක් කිසලොවුස්කි කියූ කථාවක් සිහිවේ. සමාජවාදී පෝලන්ත ආණ්ඩුව සිනමා කෘතීන් අරබයා වූ වාරණ නීති තද කරන හැම විටම සිනමාකරුවෝ කොඩි අතරින් ඒවායේ නොගැටී රිංගා යන හිම ක්‍රීඩකයන් පරිද්දෙන් වාරණ නීති අතරින් රිංගා යාමට උගත්තෝය. එසේ රිංගා යාමට ඔවුන් යෙදූ සංකේතාර්ථ වටහා ගැනීමට පෝලන්ත ප්‍රේක‍ෂකාගාර සමත්විය.'


එවැනි 'සංකීර්ණ මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක්' බඹර වළල්ලේ තිබේ ද යන්න සාමාන්‍ය සිනමා රසිකයන් වන අපට නම් නො තේරේ. එහෙත්, එය ප්‍රශ්නයක් විය යුතු නැත. මන් ද විචාරකයා ද තම නැණ පමණින් කෘතිය කියවන තවත් රසිකයකු පමණක් හෙයිනි. 


අප මෙම සිනමා පටය කියවන්නට උත්සාහ කරන්නේ දේශපාලනික දෘෂ්ටි කෝණයකිනි. ඒ අරභයා ඉහත දෙපොළ විසින් අදාළ ඡේදයේ පසුව පළ කරනු ලබන අදහස වැදගත් වේ. කෙළින් කියන්නට ගියොත් බෙල්ල ගහලා යන ඇත්තක්  අතුල ලියනගේ සිය දේශපාලනික යයි බොහෝ අය විසින් හඳුනා ගනු නො ලබන බඹර වළල්ල කෘතිය තුළින් ප්‍රතිනිර්මාණය කර ඇත. 


අතුල ලියනගේ නම් විශිෂ්ට සාහිත්‍යකරුවාගේ හා සිනමාකරුවාගේ ප්‍රතිභාව අතුල ලියනගේ නම් දුර්වල නළුවාගේ දුබලතා විසින් යටපත් නො වී නම් හොඳ ය. එහෙත්, රෝලන්ඩ් බාත්ස් පැවසූ පරිදි  වියමනක් යනු උපුටා ගැනීම් ජාලයකි. ඒවා ලබා ගැනුණේ සංස්කෘතියේ අසංඛ්‍යයක් සංස්කෘතික මධ්‍යස්ථානවලිනි. කෘතියක අත්‍යවශ්‍ය අරුත රඳා පවතින්නේ රචකයාගේ අනුරාගයන් හා රුචිකත්වයන් මත නො ව පාඨකයාගේ ධාරණාව මතයි. වියමනක ඒකීයත්වය පවතින්නේ නිර්මාපකයා තුළ හෝ එම කෘතිය නිපන් තැන නො ව එහි ගමනාන්තය  හෝ පාඨකයා මත ය. කර්තෘ යන වචනයේ ඇති ආධිපත්‍යයික බලය පිටුදකින බාත්ස් නිර්මානකරුවා හඳුන්වන්නේ පිටපත්කරු ලෙස පරිවර්තනය කළ හැකි, scriptor ලෙස ඉංග්‍රීසියට පරිවර්තනය වී ඇති වචනයකිනි. (බාත්ස් ලියුවේ ෆ්‍රන්ස බසිනි.)


කිසිදු කලාකරුවෙක් යථාර්ථය පූර්ණ ලෙස ප්‍රතිනිර්මාණය කිරීමට යත්න නො දරති. එසේ කරන්නෝ ඉතිහාසකරුවෝ ය. අතුල ලියනගේගේ සුන්දරත්වය සුවිශේෂ වන්නේ ඔහු යථාර්ථය තමන්ට ඕනෑ අයුරින් ඇද කර ගන්නා (warp) ආකාරය තුළයි. එහිදී ඔහු යථාර්ථවාදයේ සීමා අතික්‍රමණය කරන ආකාරය අපූරු ය. 


මෙහිදී කෙනෙකුගේ සිතට එක් වරම නැ‍ඟෙනු ඇත්තේ ජන ක්‍රීඩාවක් ලෙස පෙන්වන මැඩවීමේ තරගයයි. එහෙත්, අප සිතන අන්දමට නම් අතුල ලියනගේ විශිෂ්ට ම ලෙස යථාර්ථවාදයේ සීමා අතික්‍රමණය කරමින් යථාර්ථය නිරූපණය කරන්නේ මැල් මහත්තයා‍ගේ අවමංගල්‍ය අධ්‍යක්ෂක ව්‍යාපාරය හරහා ය. 


එය මිනිසුන්ගේ මරණයෙන් ලාභ ලබන ව්‍යාපාරයකි. එමෙන් ම එම ක්ෂේත්‍රය අතිශය තරගකාරී ය. කෙතරම් තරගකාරී ද යත් මැල් මහත්තයාගේ තරගකරු වන මාටින් මුදලාලි, සුනිල්, ඇන්ටා වැනි අය මරණයට පත් වන්නේ මෙම තරගකාරිත්වය නිසා ය. එපමණක් නො ව මැල් මහත්තයා මරා දමන ඔහුගේ ගෝලයෝ ඉන් පසු මෙම ව්‍යාපාරයෙන් සමෘද්ධිමත් වෙති. 


ඇඹිලිපිටිය, තුංකම වැනි ග්‍රාම නාමවලින් සංකේතවත් වන වියළි කලාපීය, ග්‍රාමීය, ගොවි ජන භූගෝලීය කලාපයක් තුළ මරණය ආශ්‍රිත මෙකී වෙළඳාම මෙතරම් තරගකාරී ලෙස නිරූපණය කරන්නට අතුල පෙළඹෙන්නේ එය හුදෙක් ම යථාර්ථවාදී නිසා නො වේ. අතුල තමන්ට තමන්ට අවශ්‍ය යථාර්ථය ප්‍රතිනිර්මානය කර ගන්නේ යථාර්ථවාදයේ සීමා බිඳ දමමිනි. 


මරණයෙන් ජීවත් වන මේ මිනිස් ප්‍රජාව විසින් සංකේතවත් කරනු ලබන්නේ ලංකාවේ ප්‍රභූ තන්ත්‍රය නිර්මානය කිරීමෙහි ලා වැදගත් සමාජ කාර්යභාරයක් කරන සමාජ බලවේගයකි. 


ග්‍රාමීය ප්‍රභූ පැළැන්තියත්, පාදඩ පංතියත් අතරමැද ස්ථානගත වන මැල් මහත්තයා මෙම සමාජයන් දෙකේ ම ලක්ෂණ කැටි කොට නිර්මානය කරන ලද චරිතයකි. ඔහුගේ ගුණවත්කම්, කෲරකම්, අවස්ථාවාදය, ආදරය, පළිගැනීම වැනි ලක්ෂණ පසුකාලීනව ලංකාවේ අතිශය බලවත් වන ග්‍රාමීය ප්‍රභූ පැළැන්තිය තුළින් කදිමට යථාර්ථවත් වේ. 


මේ ප්‍රභූ පැළැන්තියේ මුල් ශුද්ධ ලක්ෂණ අප්පුහාමි මාමා විසින් නිරූපිත ය. නම අනුව, නගරයෙන් සංක්‍රමණය වූයේ යයි සිතිය හැකි මැල් මහත්තයා මෙම ප්‍රභූ තන්ත්‍රය සංස්කෘතික වශයෙන් පෝෂණය කරන තවත් චරිතයකි. අප්පුහාමි මාමලාගේ පැළැන්තිය පසුව ජාතික මට්ටමේ බලවත් පිරිසක් බවට පත් වන්නේ නිසර්ග අප්පුහාමි ලක්ෂණ හා පසුව එක් කර ගත් මැල් ලක්ෂණවලින් පෝෂණය වෙමින් අප්පුහාමිලාත්, මැල්ලාත් සිය උන්නතිය සඳහා සූරා කමිනි. 


‍පසු කාලීනව ලංකාවේ ප්‍රභූ ධනේශ්වරය අභිභවා ඉදිරියට එන මෙම ග්‍රාමීය ප්‍රභූ තන්ත්‍රයේ අප්පුහාමි-මැල් ලක්ෂණ තේරුම් ගැනීමේ යතුර අතුල ලියනගේ අප අත තබයි. 


සමස්ත ලාංකීය සංස්කෘතිය ම හා දේශපාලනය ම අප්පුහාමි-මැල් ලක්ෂණ විසින් ගිලගනිමින් තිබෙන යුගයක බඹර වළල්ල අපූරු දේශපාලනික සිනමා කෘතියක් වන්නේ මේ පංති ගැටුම් හා අන්තර් සබඳතා කලාපය ස්පර්ශ කරමින් සංවාද විෂයක් ගොඩනඟන හෙයිනි. 


Bookmark and Share
You may also like to read our English blog  Lanka Polity

3 comments:

  1. your article also මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක්

    ReplyDelete
  2. @Anonymous
    'your article also මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක්'

    පැහැදිලි කරන්න.

    your comment also මනෝලිංගික ප්‍රශ්නාර්ථීකයක්?

    ReplyDelete
  3. චිත්‍රපටියේ තේමාව වෙත අප්පුහාමි - පොඩි එකා අතර සම්බන්ධතාවය සහ මැල් - පොඩි එකා/කුමරි සම්බන්ධතාවය කියන සම්බන්ධතා වර්ග දෙක හරහා ප්‍රවේශ වෙන එක උචිතයි.

    අප්පුහාමි මාමා සහ පොඩි එකා අතර ගනුදෙනුව සංවෘත ආර්ථිකයක් තුල ග්‍රාමීය ප්‍රභූ ස්ථරය හා පීඩිත ස්ථරයන් අතර සබදතාවය පිලිබද පැතිකඩක්.අමුඩයේ සිට ඩෙනිමට - විවෘත ආර්ථිකය විසින් ඇතිකල පරිවර්තනය තුලින් අප්පුහාමි මාමලා වෙනුවට මැල් මහත්තයාලා ඉස්මතු වෙන්න ගන්නව.එනම් වෙලද ප්‍රාග්ධනය බලවත් වෙනව.
    එවිට මැල් සහ පොඩි එකා/කුමාරි අතර සබදතාවය ලංකාවේ නවීන (අගනාගරික නොවන) ව්‍යාපාරික කුලකය සහ ඔවුන් වෙත සේවය සපයන ස්ථරයන් අතර සබදතාවයක් ලෙස නිරූපනය වෙනව.මේ සබදතා දෙවර්ගයම සංකීර්නයි.මතුපිටින් බැලූබැල්මට මේ සබදතා සාධාරනීකරනය කෙරෙන මානුෂික තර්කනයක් තිබෙනව.

    අප්පුහාමි මාමා පොඩි එකාට "මානුශික"ව සලකනව.මේසයේ වාඩි වෙලා කන්න කතා කරනවා.උමතු මවව බලාගන්නව.නමුත් එම මානුෂික සැලකීම තියෙන්නෙ පොඩි එකා මැඩවෙන්න සූදානම් ප්‍රමානයට විතරයි.සැබෑ තේරුමින් ඔහු හුදෙක් "උඹ අපේ හරක් බලන මිනිහා" විතරයි.
    මැල් මහත්තයාගේ හා පොඩි එකාගේ "සෙනෙහෙබර" සබදතාවය පවතින්නෙ නැවත මැල්ගේ ව්‍යාපාරික අවශ්‍යතා සදහා පොඩි එකා උපාංගයක් වන ප්‍රමානයට.පොඩි එකාට කෙරෙන ආදරනීය සංග්‍රහයන් ගැන මැලගේ සහයකයා දොස් කියද්දි මැල් දෙන පිලිතුර වැදගත්."ඉස්සරහට මේ බිස්නස් එක යුද්ධයක්".මිනිස්සු සහ මිනිස්සු අතර ස්වභාවිකව ඇතිවෙන මානව සම්බන්ධතා මිනිස්සු සහ මිනිස්සු අතර සමාජයීයව ඇතිවන නිෂ්පාදන සබදතා වලට අනුරූපීව හැඩගැහෙන ආකාරයට මෙය නියම උදාහරනයක්.

    මැල් හා අප්පුහාමි වැන්නවුන් අමනුශ්‍යයෝ නෙමෙයි.පොඩි එකා වැනි අය අහිංසකයොත් නෙමෙයි.පීඩකයා හැගීම් රහිත දුෂ්ටයෙකු වන සහ පීඩිතයා ලද බොලද අහිංසකයෙක් වෙන ගතානුගතින (රුසියාවේ සමාජ සත්තා යථාර්තවාදී පන්නයේ) විග්‍රහය තනි බොරුවක්.මිනිසුන්ව පීඩකයන් හෝ පීඩිතයන් බවට පත් කරන්නෙ සිස්ටම් එක හැඩගැහිලා තියෙන ආකාරය විසින්.මැල් මෙන්ම පොඩි එකාත් සංකීර්න සිස්ටම් එකක ඇන මුරිච්චි පමනයි.මැල් ඉවතට විසිකොට පොඩි එකා "දුක දිනා ජයගත් වීරයෙක්" බවට පත්වෙනවිට පොඩි එකා කලින් සිටි ස්ථානය ගැනීමට තවත් නහුතයක් පොඩි එවුන් ක්‍රමය විසින්ම බිහිකරනවා.

    සිනමාත්මකව චිත්‍රපටියෙහි දුර්වලතා රැසක් තියෙනවා.නමුත් චිත්‍රපටියෙහි සමස්ථය දේශපාලනිකයි.

    ReplyDelete

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.